අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද විග්‍රහය

විඤ්ඤාණ ශක්තිය හා විශ්ව ශක්තියේ උපත

විඤ්ඤාණ ශක්තිය යනු විශ්ව ශක්තියයි. උපන් හැම පුද්ගලයෙකුම සංසාර ගමනක් යන්නේ තමන්ම උපදවාගත් තම විඤ්ඤාණ ශක්තියෙනි. විඤ්ඤාණ ශක්තියට බාහිර වූ කිසිම ශක්තියක් ලොව නොපවතී. පෞද්ගලිකවම තමාටත් පොදුවේ සාමුහික ශක්තියක් ලෙසින් බාහිරවත් විඤ්ඤාණ ශක්තිය ක‍්‍රියාත්මක වෙයි. අපට පෙනෙන සියලු සත්ත්ව කොට්ඨාශ තුළ මෙන්ම නොපෙනෙන අනන්ත අප‍්‍රමාණ වූ භූත, පේ‍්‍රත, දේව ආදී කොට්ඨාශ සියල්ලමත් තුළ තමන්ම උපදවාගත් විඤ්ඤාණ ශක්තියක්ද පවතී. පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙන් බුදුපියාණන් දේශණාකර වදාළේ පුද්ගලයෙකු තුළ විඤ්ඤාණ ශක්තියක් උපදින ක‍්‍රියාවලිය පෙන්වා දීමයි. තම තමන්ම විඤ්ඤාණ ශක්තිය උපදවාගෙන සංසාර ගමනයාම සඳහා තමන්ම එය භාවිතා කරන ආකාරයයි. ඒ බව නොදන්නා පෘථග්ජන ලෝකයා නිරන්තරයෙන්ම උපන්දා පටන් මියැදෙන මොහොත දක්වාම සෑම උත්සාහයක්ම දරන්නේ සංසාර ගමන යාමට අවශ්‍ය වන විඤ්ඤාණ ශක්තියම උපදවා සපයා ගැනීම සඳහා ක‍්‍රියා කිරීමටයි. සැප සොයා, සැප හඹායමින් දුක් විඳිනවා දුක් උරුම කරගන්නවා යනු මෙහි යථාර්ථයයි. සැප දුක් ලෙස දකින්නේ මෙයයි.

විඤ්ඤාණ චිත්තයේ මතුවන නිමිත්තකට අරමුණකට බැඳී පටිඉච්ච වී, එය දැඩි බලාපොරොත්තුවක් බවට පත්කරගත් පසු ඒ බලාපොරොත්තුව ඉටුකර ගන්නට කරන, කියන, හිතන සියලුම දේ කරන්නේ කැමැත්තෙන්මය. තමා කරන, කියන, හිතන දේට අනුරූපව තමන්ට උරුමවන ඵලය විපාකය කිනම් ආකාර වූ එකක් දැයි සිතාගන්නට හෝ දැක ගැනීමට නොහැකි වූ පෘථග්ජන ලෝකයා මායා බලාපොරොත්තු වලට රැුවටී දුක්ම උරුම කරගනී. මෙය පටිඉච්චසමුප්පන්න ධර්මතාවයයි.

සංයුක්ත නිකායේ එන පච්චයා සූත‍්‍රයේ පටිච්චසමුප්පාදය පිළිබඳව බුදුපියාණන් විසින් ඉදිරිපත් කරන ලද විග‍්‍රහය තේරුම් ගැනීමෙන් සංසාර ගමනට හේතුවූ මුල්වූ කරුණු ද පැහැදිළිවම තේරුම්ගත හැකිවෙයි.

”පටිච්චසමුප්පාදඤ්ච වෝ භික්ඛවේ, දෙසිස්සාමි
පටිච්චසමුප්පනනේච ධම්මේ තං සුනාථ
සාධුංක මනසි කරෝථ, භාසිස්සාමිති
කථමෝච භික්ඛවේ, පටිච්චසමුප්පාදෝ
ජාති පච්චයා භික්ඛවේ ජරා මරණං
උප්පාදාවා තථාගතානං, අනුප්පාදවා තථාගතානං
ඨීතාව සා ධාතු ධමම්ට්ඨිතතා, ධම්මනියාමතා,
ඉදපච්චයතා, තං තථාගතෝ අභිසම්බුජ්ඣති
අභිසමෙති, අභිසම්බුජ්ක්‍ධිත්වා, අභිසමෙත්වා
ආච්ක්ඛති, දේසේති, පඤ්ඤාපේති, පටඨාපේති
විවරති විභජති උත්තානි කරෝති පස්සථා තිචාභ
ජාති පච්චයා භික්ඛවේ ජරාමරණං
භව පච්චයා ජාති ….
අයං වුච්චති භික්ඛවේ පටිච්චිසමුප්පාදෝ”

මෙහි තේරුම ‘‘මහණෙනි, තථාගතයන් වහන්සේ කෙනෙකුන් ලොව පහළ වූවත්, ලොව පහළ නොවූවත් නියත වශයෙන්ම ලොව ධර්ම නියාමයන් පවතී. පටිච්චසමුප්පාද ධර්ම නියාමයද නියත වශයෙන්ම සාදාකාලිකවම ලොව පවතින්නකි.

ජරා, මරණ, දුක් උරුමවීමට මුල් වූ, ප‍්‍රත්‍ය වූ හේතුව ජාති (ඉපදීම) බව අභිසම්බුද්ධ ඥාණයෙන් ඉතාම උසස් ප‍්‍රඥාවෙන් දැන යථාභූත ඥාණයෙන්ම වටහාගත් තථාගතයින්වහන්සේ කෙනෙක්ම මෙවන් වූ පටිච්චසමුප්පාද ධර්ම ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන මතුකර ලෝකයාට විග‍්‍රහකර, විභජනය කර පනවා දේශණා කර පැහැදිළි කරන සේක. අබුද්ධෝත්පාද කාලයන්හි භාවිතයෙන් යටපත්ව පවතින මේ පටිච්චසමුප්පාද ධර්මය කාටත් තේරුම් ගන්නට හැකි පරිදි සරළ ලෙසින් විවරණය කර, විභජනය කර, විස්තර කිරීම බුදුපියාණන්වහන්සේ කෙනෙකුගේ ලොව පහළවීමේ එකම ආශ්චර්යයයි. පටිච්චසමුප්පාද ධර්මය සොයාදැන ලෝකයාට දේශණා කිරීමට නොහැකි කාල පරාසයක් අබුද්ධෝත්පාද කාලයයි. ඒ කාලයේ ද පටිච්චසමුප්පාද ධර්මය ලොව ක‍්‍රියාත්මක වේ.

අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයෙන් විස්තර කර පනවා වදාළේ මෙවන් සංසාර ගමනකට ලෝක සත්ත්වයා තම කැමැත්තෙන්ම බැඳෙන්නට මුල් වූ, හේතුකාරක වන්නා වූ, ප‍්‍රත්‍යවන්නා වූ සත්‍යය ධර්මතාවය යථා පරිදි පෙන්වා දුන් දහම් න්‍යාය මතුකර පෙන්වීමයි.

එය මෙසේ විග‍්‍රහ කර දෙමි.

01. ජරා මරණ ආදී දුකට හේතුව සත්ත්වයෙකුගේ උපතයි. (ජාති) ජාති ප‍්‍රත්‍යයෙන් ඉපදුණු නිසාම ජරා මරණාදී සියලු දුක් උරුම වෙයි.
02. ජාති (උපතක්) ඇතිවීමට හේතුව ”භව” (කර්ම බීජ) පැවතීමයි. ”භව” (කර්ම බීජ) ප‍්‍රත්‍යයෙන්ම පවතින නිසාම ජාති (උපත) සිදුවෙයි.
03. භව (කර්ම බීජ) බිහිවීමට හේතුව උපාදානයයි (පංචස්කන්ධයන්). පංචස්කන්ධයන් උපාදාන ප‍්‍රත්‍යයෙන්ම ”භව” (කර්ම බීජ) බිහිවෙයි.
04. උපාදානය කරගැනීමට හේතුව තණ්හා වීමයි. තණ්හා ප‍්‍රත්‍යයෙන්ම උපාදානය (පංචස්කන්ධයන්) ඇතිවෙයි.
05. තණ්හාව ඇති වීමට හේතුව වේදනාවයි. (වින්දනයයි) වේදනා ප‍්‍රත්‍යයෙන්ම තණ්හාවක් ඇති වෙයි.
06. වේදනාවක් ඇති වන්නට හේතුව ස්පර්ශයයි (පස්ස). ස්පර්ශ ප‍්‍රත්‍යයෙන්ම වේදනාවක් ඇතිවෙයි.
07. ස්පර්ශයක් (පස්ස) ඇති වීමට හේතුව සළායතනයයි. (ඉන්ද්‍රියයන් හයම ආයතන ලෙසින් ක‍්‍රියාත්මක කිරීමයි.) සළායතන ප‍්‍රත්‍යයෙන්ම ස්පර්ශයක් ඇතිවෙයි.
08. ඉන්ද්‍රියයන් සළායතන බවට පත්වී එකතු කරගන්නට හේතුව නාම රූපයි. නාමරූප ප‍්‍රත්‍යයෙන්ම ඉන්ද්‍රියයන් සළායතන බවට පරිවර්තනය වෙයි.
09. සිතක නාමරූප ඇතිවීමට හේතුව (බලාපොරොත්තු) විඤ්ඤාණයයි. විඤ්ඤාණ (බලාපොරොත්තු) ප‍්‍රත්‍යයෙන්ම සිතක නාමරූප බිහිවෙයි.
10. විඤ්ඤාණයක් (බලාපොරොත්තුවක්) ඇතිවීමට හේතුව සංඛාරයෝයි. සංඛාර ප‍්‍රත්‍යයෙන්ම විඤ්ඤාණයක් සිතක හට ගනී.
11. අවිද්‍යාමූල සංඛාරයක් සිතක හටගන්නට හේතුව අවිද්‍යාවයි. (යථාවබෝධයක් නොමැති වීමයි.)

මේ පැවැත්මෙහි ඇත්ත ඇති සැටියෙන් දැකගත හැකි වන්නේ මිනිසෙකුව උපන් කෙනෙකුට පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳ සත්‍යය අවබෝධ කර ගැනීමෙන් පමණි. ඉපදීම, ජීවත් වීම, විපරිණාමය, මරණය ආදී වචනවලින් විග‍්‍රහ කරන සත්ත්වයෙකුගේ, පුද්ගලයෙකුගේ ඇතිවීම හා නැතිවීමට එකම හේතුව විඤ්ඤාණයට අරමුණු වන සංඛාරයන් ඇසුරු කොට සිතින් රවුම් ගසා චිත්ත ශක්තින් බිහිකර ගැනීමයි. මෙය බිහිකර ගැනීමකට වඩා එකතු කර ගැනීමකි. ඉන්ද්‍රියයන් හරහා මනෝ විඤ්ඤාණයට අරමුණු වූ සංඛාරයක් අල්ලාගෙන චිත්ත වීථි දිගේ රවුම් ගසා රාග, ද්වේෂ, මෝහ හෝ අලෝභ, අද්වේෂ, අමෝහ යන හය ආකාර වූ ගති ලක්ෂණයන්ට අදාළව චිත්ත ශක්ති එකතු කර ගනී. මෝහය නිසාම චිත්තජ ශක්තියක්, චිත්තජ රූපයක් බවට පත්වී තම කර්මජ කෝෂයේ තැන්පත් වෙයි. මෙවැනි කර්මජ රූප කොයි මොහොතක හෝ චිත්තජ රූප නිපදවා ගත් පුද්ගලයා වෙතම ඵල විපාක ලබාදීමට සමත් ශක්තියකින්ද යුක්තය.

බුද්ධ ධර්ම විග‍්‍රහයට අනුව ලොව බිහිවන හැම සංඛතයක්ම, හැම සත්ත්වයෙකුම, හැම ද්‍රව්‍ය වස්තුවක්ම මූලික අවස්ථාවන් පහක්ම පසුකර වැනසී යයි. මේ අවස්ථා පහම හැම සංඛතයකටම පොදු වන අතර සිතෙහි බිහිවන හැම සංඛාරයකටමත් පොදුය.

01. උත්පාද අවස්ථාව – උදයංගම – සමුදය අවස්ථාව
02. අත්‍ථගම අවස්ථාව – අතුපතු හැදී වැඩෙන අවස්ථාව
03. ආස්සාද අවස්ථාව    – මල් ඵල දරා ආශ්වාදයන් විඳින අවස්ථාව
04. ආදීනව අවස්ථාව    – ලබන ලද ආශ්වාදයන්හි ඵලවිපාක විඳින අවස්ථාව
05. නිස්සරණ අවස්ථාව – සරණය නිමාවීම – ගමන අවසාන වීම.

සිතක බිහිවන සංඛාරයන් නිරෝධ කළේ නැතිනම් එයද පටිඉච්ච වීම නිසා කැමැත්තෙන්ම ඊට බැඳී මේ අවස්ථාවන් පහමත් පසුකර ජාති, ජරා, මරණ අවස්ථාවටම පත්වෙයි. බුදුපියාණන් දේශණා කර වදාළ අවිද්‍යා මූලයෙන් ක‍්‍රියාත්මක වන පටිච්ච සමුප්පාද ධර්ම ක‍්‍රියාවලිය මේ ආකාරයෙන් හැම සංකල්පනාවකටම, හැම සංඛතයකටම, හැම සංඛාරයකටමත් පොදුය.

මේ සියුම් ක‍්‍රියාවලිය, විද්‍යාත්මක ක‍්‍රියාවලිය සත්ත්වයෙකුගේ සිත තුළම ක‍්‍රියාත්මක වන ක‍්‍රියාවලියකි. අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද ධර්මය ගෙන හැර දක්වා බුදුපියාණන් පැහැදිළි ලෙස විග‍්‍රහ කරදුන් මේ ක‍්‍රියාවලියෙන් චිත්තජ රූපයක් බිහිකර ගන්නට උපකාර වන ‘‘ආදී නව’’ අවස්ථාත් එසේ බිහිකර ගත් චිත්තජ රූපයක ආනිසංසත් පැහැදිළි කර දුන් සේක.

යම් සංඛාරයක් චිත්තසංථානයක අරමුණු වූ වහාම එය විඤ්ඤාණයෙහි ප‍්‍රත්‍යය වෙයි. මෙය ”පච්චයා” යන පාලි වචනයෙන් පෙන්වා දුන්හ. ”පතිත” වීම, නැතහොත් ”පතබෑවීම” යන්න මෙහි සිංහල තේරුමයි.

අවිද්‍යා මූලයෙන් උපන් සංඛාර පිළිබඳ ගෙනහැර දැක්වූ පටිච්චසමුප්පාදය ධර්මය මෙසේය.

“අවිජ්ජා පච්චයා සංඛාරා
සංඛාරා පච්චයා විඤ්ඤාණං
විඤ්ඤාණ පච්චයා නාම රූපං
නාම රූප පච්චයා සළායතනං
සළායතන පච්චයා ඵස්සෝ
ඵස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා තණ්හා
තණ්හා පච්චයා උපාදාන
උපාදාන පච්චයා භව
භව පච්චයා ජාති
ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවන්ති
එවමේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති”

යනුවෙන් බුදුපියාණන් දේශණා කර වදාළ අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද ධර්මය පටිච්චසමුප්පාද විග‍්‍රහයන් අතරින් එක කොටසක් පමණි. මේ අවිද්‍යාමූල පටිච්චසමුප්පාද දේශණාව ඉදිරිපත් කර බුදුපියාණන් විග‍්‍රහ කර පෙන්වා දුන්නේ සත්ත්වයා මේ සංසාර ගමන දිගින් දිගටම නොනවත්වාම යන්නට හේතු පැහැදිළි කර දීමයි. මෙහි විස්තර වන්නේ නිවන් දැකීමට උපකාර වන ධර්මය නොව නිවන් මඟ වැසී තිබීමට මුල් වූ හේතුන් පැහැදිළි කර විස්තර කර දීමයි.

අවිද්‍යාව නිසා සිතකට සංඛාරයක් අරමුණ වූ වහාම එය විඤ්ඤාණයෙහි පතිත වෙයි. ඒ නිසා විඤ්ඤාණයෙහි බලාපොරොත්තුවක් හටගනී. එය අදාළ සංඛාරයට අනුරූපව ඒ ගති ලක්ෂණයට අදාළවම හටගැනීමත් සමඟම ඒ බලාපොරොත්තු නාම රූප වල බැස ගනී. සළායතන වල බැස ගනී. එය උත්සාහයක් නැතිවම නිතැතින්ම අනිවාර්යයෙන්ම සිදුවන දෙයක් නිසාම පටිච්චසමුප්පාදය යන වචනය එය විස්තර කරන්නට යොදා ගත්හ. සළායතන වලින් එකක හෝ කිහිපයක බැසගත් අරමුණට සංඛාරයට අදාළ වූ ලක්ෂණයක් මනෝ විඤ්ඤාණයෙහි ස්පර්ශ වෙයි.

ඇසෙන් රූපයක් දැකීමෙන්, කනෙන් ශබ්දයක් ඇසීමෙන් ආදී ලෙස සළායතන වලින් විවිධ සංඥා මගින්් අරමුණු ගනියි. රූපයක් නම් රූපය හොඳයි, ප‍්‍රියයි, මනාපයි යනාදී වශයෙන් රාග, මෝහ යන ගති ලක්ෂණ වලට හෝ අලෝභ, අදේෂ, අමෝහ ගති ලක්ෂණ වලට හෝ අදාළව මනෝ විඤ්ඤාණයේ ස්පර්ශ වෙයි. මේ ස්පර්ශය නිසා වින්දනයක් ලබයි. එය ප‍්‍රිය මනාප නම් සැප ලෙස බාර ගෙන වින්දනයක් ලබයි. එය අප‍්‍රිය, අමනාප එකක් නම් දුක් ලෙස වින්දනයක් ලබයි. එය අතරමැදි වේදනාවක් නම් එයින්ද අතර මැදී වේදනාවක් ලබයි. ආයතන පහෙන්ම නිබඳවම කරන්නේ මෙවැනි සංඥා මනෝ විඤ්ඤාණය වෙත එකතු කර දීමයි. මේ එකතු කර දීමේ ක‍්‍රියාවලිය පෙළ දහමේ හැදින්වූයේ ”සං” යන පදයෙනි. සංඛාර යන නම ලැබුනේද ”සං” එකතු කරන්නට කරන ක‍්‍රියාවක් යන තේරුමෙනි. චිත්තසංතානයේ මෙසේ එකතු කරගත් ”සං” තැන්පත් කර ගනී. ඒ නිසා ම ”චිත්ත+සංතානය” යන නම ලැබුණි. මේ එකතු කරගන්නේ ගති ලක්ෂණයන්ය. චරිත ලක්ෂණයන්ය. මේ මිහිපිට පවතින සියලු ගති ලක්ෂණ බුදුපියාණන්වහන්සේ සංඛාර ලෙසින් හඳුන්වා කොටස් නමයකට විග‍්‍රහ කර පෙන්වා දුන්හ. ඒවා නම් රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති ලක්ෂණ අලෝභ, අද්වේෂ, අමෝහ ගති ලක්ෂණ හා ලෝභක්ඛය කරන ගති ලක්ෂණ, ද්වේෂක්ඛය කරන ගති ලක්ෂණ හා මෝහක්ඛය කරන ගති ලක්ෂණයන් යන නමයයි.

මේ විශ්වයෙහි සක්වල උපත ලැබූ හැම සත්ත්වයෙකුම, ප‍්‍රාණියෙකුම, භූතයෙකුම කරන සියලු සංඛාර මේ කොටස් නමයට බෙදා විග‍්‍රහ කළ හැකිය. හැම චරිත ලක්ෂණයක්ම මේ ගති නිසාම කෙනෙකු තුළ පහළ වෙයි. මේ ගති ලක්ෂණ වලින් බාහිර කිසිම සංඛාරයක් කිසිම සත්ත්වයෙකු, මිනිසෙකු, දෙවියෙකු තුළ පහළ නොවේ. ”සං” යනු මේ ගති ලක්ෂණ එකතු කරන්නට කරන ක‍්‍රියාවලියයි. අවිද්‍යාවෙන් කරන සියලුම සංඛාර වලින් රාග, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ යන සංඛාර හයෙන්ම ”සං” එකතු කර ගනී. ”සං” එකතු කර ගැනීම නිසා වින්දනයක් සිතට අරමුණු වී ඊට පසු තැනකට හා වෙයි. තැනකට, දෙයකට, අයෙකුට, අවස්ථාවකට ධර්මයකට හා වීම ”තණ්හා” වීමයි. තණ්හා වූ පසු ඒ තැන උපාදානය කර ගනී. උපාදානය යනු අල්ලා බදා ගැනීමයි. අල්ලා බදා ගැනීම නිසා ඒ ක‍්‍රියාවලියෙන් ආශ්වාදයක් ලබයි. ඒ තත්ත්වයට පත් වූ පසු ඒ අරමුණු කර ගත් සංඛාරයේ (රාග, ද්වේෂ, මෝහ ආදී) ගති ලක්ෂණයකට පත්වීම සිදුවෙයි. පසුව ඊට අදාළව චිත්තජ රූපයක් උපදවා ගනී. ඒ චිත්තජ රූපයක උපත ”ජාති” යන වචනයෙන් පැහැදිළි කර විග‍්‍රහ කර දුන්හ.

මෙහිදී ”ජාති” යනු ඵල විපාකයකි. චිත්තජ ශක්තියක් (ජාති) නිපදවා ගත් පසුව එය චිත්තජ රූපයක් ලෙස කර්මජ කෝෂයේ තැන්පත් වෙයි. කර්මජ කෝෂයේ තැන්පත් වූ
කර්මජ රූපයක් ඵල විපාක දීමට සමත් ශක්තියකින් යුතු නිසා අහෝසි නොවූයේ නම් කවදා හෝ ඵල විපාක අත්කර දෙයි. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දොම්නස්, උපායාස යනුවෙන් විස්තර කළේ මේ ඵල විපාක දීමයි.

මෙසේ ආයතන හයම ”සං” එකතු කරන්නට උපකාර වන ක‍්‍රියාවලියක් සඳහා හවුල් වන නිසා ඉන්ද්‍රියයන් හයටම ආයතන හයක් ලෙසද නම් කළහ. ආයතන යනු ‘‘එකතු කරන, අය කරන’’ තැන්ය. ”සං” එකතු කර මනෝ විඤ්ඤාණයෙහි ස්පර්ශ වීම නිසා ඇතිවන වේදනාව විස්තර කරන්නට ”සංපස්සජා වේදනා”යන පාලි පදය යොදා ගනී. ”සං” ස්පර්ශ වීම නිසා ජනිත වන වේදනාව යනු එහි තේරුමයි.

හැම පෘථග්ජන පුද්ගලයකුම මුළු ජීවිතකාලය තුළම මේ ක‍්‍රියාවලිය කැමැත්තෙන්ම කරයි. ඒ නිසාම එය ”පටිච්චසමුප්පාද” යන නමින් බුදුපියාණන්වහන්සේ දේශණා කළ සේක. පටි+ඉච්ච+ සං+උත්පාද යන පද හතරක් මෙහි ඇත. පටි යනු බැඳීම, බැඳ ගැනීම සම්බන්ධ වීමයි. ”ඉච්ච” යනු කැමැති යන තේරුමයි. ඒ නිසා කැමැත්තෙන්ම බැඳුනු යන තේරුම පටි ඉච්ච යන්නයි. සං+උත්පාද යනු එහි ඵල විපාක ලෙස ”සං” උපතක් ලබන බවයි. චිත්ත ශක්තියක්, චරිත ලක්ෂණයක් (භව) උපදවාගෙන ඒ ගති ලක්ෂණයට පත් වූ පසු ලැබෙන ඵල විපාක ඒ ගති ලක්ෂණයට, චරිත ලක්ෂණයට උරුම වූ සමාන ඵල විපාකයන්ම ලැබෙන බව නියාම ධර්ම වලින්ද පැහැදිළිව පෙන්වා දුන් සත්‍යයයි.

මේ ක‍්‍රියාවලියෙන් සැප වේදනාවන් ලැබීම යනු විඤ්ඤාණය ඉන්දියයන් උපකාරයෙන් ආහාර සොයා ගන්නට කරන මේ ක‍්‍රියාවලියයි. විඤ්ඤාණයට ආහාර වන්නේ ලෝභ, ද්වේෂ, මෝහ හෝ අලෝභ, අද්වේෂ, අමෝහ සංඛාරයෝ පමණි. ඒ නිසාම ඒවා අවිද්‍යාවෙන් නොදැනීම නිසාම කරන කටයුතුය. ඉන්ද්‍රියයන් පිනවීමෙන් සෑම සත්ත්වයෙකුම, පුද්ගලයකුම කරන්නේ මොහොතක සැපයක් පතා කටයුතු කිරීමකි. එය කැමැතිසේ පැවැත්විය නොහැකි, කැමතිසේ නොලැබෙන බව නොදන්නා නිසාම කරන දෙයකි. ඒ නිසාම මෙය මෝහයෙන්, නොදන්නාකම නිසාම කරන ක‍්‍රියාවකි. කිසි දිනක කිසිම පුද්ගලයෙකුට ඉන්ද්‍රියයන් පිනවීමෙන් දිගටම පැවතිය හැකි සුවයක් සැපයක් විමුක්තියක් ලැබිය නොහැකිමය.

ලෝභ, ද්වේෂ, මෝහ ගති එකතු කර ගැනීම සඳහ, විඤ්ඤාණය මේ ඉන්ද්‍රියයන් පිනවීම නිරන්තරයෙන්ම දිගින් දිගටම කරයි. ඒ ගති ලක්ෂණ වලින් චිත්තය මුවහ කර වසා දමා අඳුරු කර ආසව තට්ටු එකතු කර ගැනීම නිසා දිගටම මෝහය පැවැත්විය හැකිය. මේ ක‍්‍ර‍්‍රියාවලිය සිදුවන තාක්කල් විඤ්ඤාණය ඒ ගති ලක්ෂණයන් එකතු කර ගනිමින් විඤ්ඤාණයේම පැවැත්ම සඳහා ආහාර එකතු කරගනී.

විඤ්ඤාණය මේ ගති ලක්ෂණයන් එකතු කර ගැනීම මේ චරිත ලක්ෂණයන් එකතු කර ගැනීම ”භව” යන තත්ත්වයට පත් වීමයි. මේ නිසාම මෝහ බව, ද්වේෂ බව, ලෝභ බව ආදී තත්ත්වයන්ට පුද්ගලයා පත්වෙයි. ඒ ”භව” තත්ත්වයට පත්වීමේ නියත ප‍්‍රතිඵලය ඒ බවට අනුරූප වූ චිත්ත ශක්ති ”ජාති” ජනිත කර ගැනීමයි. මෙතෙක් විස්තර කළ මේ ක‍්‍රියාවලිය මුළුමනින්ම සිදුවන්නේ සත්ත්වයෙකුගේ, පුද්ගලයෙකුගේ සිත තුළමය. සිතින් රවුම් ගැසීම කරන්නේ මේ ගතියට ”භව” ට පවත්වන්නටමය.

අවිද්‍යා මූලයෙන් සිතකට අරමුණු වූ සෑම සංඛාරයක්ම මේ අවස්ථා නවයම අනිවාර්යයෙන් පසු කර ”ජාති” යන චිත්ත ශක්තිය බිහි කරගනී. අවස්ථා නවය ”ආදීනව” ලෙසින් පෙන් වූ අවස්ථා නවයයි.

1. සංඛාර             2. විඤ්ඤාණ    3. නාමරූප
4. සළායතන        5. ඵස්ස           6. වේදනා
7. තණ්හා            8. උපාදාන       9. භව

යන අවස්ථා නවය පසුකර ”ජාති” තත්ත්වයට පත්වේ.

සෑම සත්ත්වයෙකුගේම සිතකට යම් සංඛාරයක් අරමුණු වූ පසුව මේ අවස්ථා නවය ඇතුළත ඒ සංඛාරයට අනුරූප වූ ගති ලක්ෂණ එකතු කර ගැනීමට ගති ලක්ෂණයට පත් වීමට සිතින් රවුම් ගසයි. රෝද කරයි. මේ රවුම් ගැසීම එක චිත්තක්ෂණයක් තුළ නියත වශයෙන්ම අඩු වැඩි කමක් නැතිවම හතර වරක් සිදු වෙයි. මෙවැනි චිත්තක්ෂණ සිය දහස් ගණනක් ලක්‍ෂ ගණනක් එක ගති ලක්ෂණයක් සම්පූර්ණ කර ගන්නා කාලය තුළ සිතෙහි ඇතිවෙයි. මේ මුළු කාලය තුළම ඒ ගතියට ලක්ෂණයට චරිත ලක්ෂණයට ”භව” ට අදාළ ගති ගුණ එකතු කරයි. මෙය ”සං” කිරීමයි.

”භව” යනු ගති ලක්ෂණයකි. තම තමන්ම තමා තුළම ඇති කරගන්නා ගති ලක්ෂණයන් ”භව” යනුවෙන් පෙන්වාදිය හැකිය. දෙව් භව, මිනිස් භව, බලු භව, හොඳ භව, නපුරු භව, කැත භව, පෙරේත භව, යක්ෂ භව, මෝඩ භව, රාග භව, ද්වේෂ භව මෙන්ම සකෘදාගාමී භව, අනාගාමී භව හා අරහත් භවද මිනිසෙකුට මේ ජාතියේදීම තමා තුළම ඇති කර ගත හැකි දියුණු කරගත හැකි ගති ලක්ෂණයන්ය. ඒ ගති ලක්ෂණ වලට අනූරූපවම තමන් තුළම මේ විවිධ ”භවද” දැකගත හැකි වෙයි. ද්වේෂයට පත් වූ සිතකින් කටයුතු කරණ පුද්ගලයෙකු තුළින් රෞද්‍ර බවක්, වෛරී බවක්, ක්‍රෝධ බවක්, දරුණු බවක් දැකගත හැකිය. මේ ”භව” යනු ගති ලක්ෂණයක් නිසා එවන් ගති ලක්ෂණයන් තමා තුළම ඇති කරගැනීම කර්ම භව – කර්ම බීජ ඇතිකර ගැනීමයි. එවැනි යම් ගති ලක්ෂණයක් තමා තුළ ස්ථාපිත වූ පසුව, මුල්බැස ගත් පසුව ඒ ගති ලක්ෂණයන් තමා තුළින්ම නිතරම මතුවෙයි. තමා තුළින් උපත ලබන සියලු ක‍්‍රියා, වදන්, සිතුවිලි ඒ භවට, ඒ ගතිගුණයට, ගති ලක්ෂණයටම අදාළ වූත්, අනුකූල වූත් ඒවාම වෙයි. මේ නිසාම මෙවැනි ගති ලක්ෂණයන් කර්ම බීජ – කර්ම භව ලෙසින් හා උත්පත්ති බීජ ලෙසින්ද ධර්යේ පෙන්වා දී ඇත. කෙනෙකු මිය යන මොහොතේ ඒ පුද්ගලයාගේ චිත්තසංථානයේ කර්මජ කෝෂයේ තැන්පත් වී පවතින මෙවන් කර්ම බීජ (භව) අතරින් බලවත්ම ගති ලක්ෂණ ධර්මතාවයෙන්ම මතු වී, ඊට අදාළ වූ උපතක් ජාතියක් උරුමවීම, ජාතියක ඉපදීම කර්ම නියාමයයි. කර්ම නියාමය වෙනස් කළ හැකි දෙයක් නොවන නිසා ඒ ඒ පුද්ගලයා ජීවත්ව සිටින කාලය තුළ යම් ගති ගුණයන් සමූහයක් බලවත් සේ පුරුදු පුහුණු කරගත්තේ නම් ඒ පුරුදු පුහුණු ගති ලක්ෂණයට අදාළ වූ, අනුරූපී වූ ”භව” ට පත් වේ. ඒ භවට අනුරූපීවම ඔහුගේ මතු ජාතියේ උත්පත්තියද සිදුවෙයි. ”භව පච්චයා ජාති” යනුවෙන් පටිච්චසමුප්පාද ධර්මයේ පෙන්වා දුන් නියත ධර්මතාවය මෙයයි. නිවන් අවබෝධ කරගන්නට අවංකවම උත්සාහ කරන කෙනෙකු මුළින්ම අසා දැන තේරුම් ගතයුතු වන්නේ ”උපාදාන හා භව” යන පද දෙකෙන් පටිච්චසමුප්පාද දේශණාවේ පැහැදිළි කර දුන් අර්ථ හා ධර්ම කරුණු පිළිබඳවයි.

මිනිසෙකු ලෙසින් උපත ලබා සිටින සියලු දෙනාම මනස මෙහෙයවා, කල්පනා කළ යුතු වන්නේ ”උපාදානය” කරගන්නවා යන ක‍්‍රියාවෙහි අර්ථය කුමක්ද කියාය. පංචඋපාදානස්කන්ධය යනු කුමක්ද? උපාදානය කරගන්නා සියලු දේ අල්ලා බදාගන්නේ විඤ්ඤාණ ශක්තියෙන්ම නේද? උපන් හැම පුද්ගලයෙකුටම, සත්ත්වයෙකුටම බරක් වන්නේත්, බලයක් ලෙසින් දැනෙන්නේත්, බයක් ඇතිවන්නේත්, බැඳීමක් සිදුවන්නේත් මෙසේ උපාදානය කරගත් දේවල් නිසාම නේද? ජීවත්වන හැම පෘථග්ජන පුද්ගලයෙකුම අභ්‍යන්තර වශයෙන් උපාදානය කරගත් පංචස්කන්ධයකුත්, බාහිර ලෝකයෙන් උපාදානය කරගත් පංචස්කන්ධයකුත් උපාදාන කොටස් දහයක්ම උපාදානය කරගෙන ඇත. මෙසේ අල්ලා බදාගෙන මම, මගේ, මගේ ආත්මය යැයි උපාදානය කරගත් කොටස් දහයම නිසා, පුද්ගලයෙකු බිමට බරවෙයි. එසේ නම් දසබ්ම්බර මාර සෙනඟ යනු තමන්ම උපාදානය කරගත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන අභ්‍යන්තර පංචඋපාදානස්කන්ධය හා බාහිර පංචඋපාදානස්කන්ධයයි. මේ කොටස් දහයෙන් කිසිම කොටසක් කෙස්ගහක තරම්වත් දෙයක් තමන්ට කැමැති සේ එක දිගටම පවත්වා ගත හැකි දේවල් ද? නැත. මේ පංචඋපාදානස්කන්ධයන් නිසා කෙනෙකු බිමට බරවන්නා සේම, බාහිර පංචඋපාදානස්කන්ධයන් වන ධන බලය, නිල බලය, සේනා බලය, වත්කම්, රජ සිටුකම් ආදියත් උපාදානය කරගත් දේවල්මය. ඒ ඒ පුද්ගලයාගේ සිතට බය ඇති වන්නේත් මේ උපාදානය කරගත් දේවල් තමාට අහිමි වේද? කෙනෙකු බලයෙන් හෝ සොරාගනීද? මේවා මොන ආකාරයකින් හෝ තමාට නැතිවේද? යන සිතුවිල්ල නිසාම බව තේරුම් ගත හැකිය.

උපාදානය කරගත් පංචඋපාදානස්කන්ධයම සංඛත බවත්, පටිච්චසමුප්පන්න බවත්, අනිච්ච ස්වභාවයෙන් යුතු බවත්, ඒවා අල්ලා අයිතිකරගෙන සිටියොත් තමන්ම අනාථ තත්ත්වයට පත්වන බවත් යමෙකුට නිවැරදිවම තේරුම් ගන්නට ශක්තිය, හැකියාව ලැබුණොත් ඔහු දුක්ඛ අරිය සත්‍යය තේරුම් ගත් කෙනෙකු බවට පත්වෙයි.

තමා යම්කිසි දෙයක් උපාදානය කරගැනීමෙන් පි‍්‍රය වස්තුවක් යැයි නිගමනය කර ගෙන එය අල්ලා අයිතිකරගෙන බදාගැනීමෙන් තමාටම සිදුවන උරුම වන ඵල විපාක මොනවාදැයි තමන්ම කල්පනා කළ යුතුයි. මුලින්ම ඒ ප‍්‍රිය වස්තුව අයිතිකරු බවට පත්වෙයි. ”උපාදාන පච්චයා භව” යනු මෙයයි. ඒ ප‍්‍රිය වස්තුව අයිතිකරු බවට පත් වූ පසුව, එය තමාට බලයක්, හිතට හයියක් සේ බොහෝවිට දකින්නේ විඤ්ඤාණයට වහල්වී ක‍්‍රියා කිරීම නිසයි. ක‍්‍රමයෙන් එයම හිතට බරක් බවටත්, පසුව සියලු ආකාර වූ දුක් වේදනාවන්ටත් ඒ උපාදානය කරගත් දේම හේතුවක් වෙයි. ඒ ”භවට” පත්වීම නිසා ඒ භවට උරුමවන සියලු දුක් වේදනාවන්ද උරුම වෙයි. ඒ ප‍්‍රිය වස්තුව උපාදානය කරගෙන, ඒ වස්තුව අයිතිකාරයා බවට පත්වූයේ සැප බලාපොරොත්තුවෙනි. නමුත් ඒවා සංඛත වස්තු නිසා වෙනස් වී, විපරිණාමයට පත් වී, බලාපොරොත්තු සුන් වී යාමත් සමඟම දුකද උරුමවෙයි. කාම උපාදාන, රූප උපාදාන, අරූප උපාදාන නිසාම කාම භව, රූප භව, අරූප භව බිහිවෙයි. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක බිහිවන්නේද මේ ආකාරයෙන්මය. මේ තුන්ලෝකයම ඇත්තේ තමා තුළමය. මේ උපාදානයන් මෙන්ම ”භව” ද එකොළොස් ආකාරයකින්ම පවතී. අභ්‍යන්තර, බාහිර, ළඟ, දුර, සියුම්, ඝන, හීන, ප‍්‍රණීත, අතීත, අනාගත, වර්තමාන යන එකොළොස් ආකාර වූ උපාදාන මෙන්ම ”භව ” අංගයෝද ඇත.

කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන සියලු ලෝක තමා තුළම ඒ ඒ අවස්ථාවලදීම බිහිවෙයි. මෙසේ තමා බිහිකරගත් ”භව” ට පත් වූ ආකාරයට අනුවම කර්ම බීජද (ගති ලක්ෂණයන්ද) උපත ලබන නිසා තම චිත්තසංථානයේ ගබඩා වූ බලවත්ම කර්ම බීජ වලට අනුරූප වූ කාම ලෝකයක, රූප ලෝකයක හෝ අරූප ලෝකයක හෝ මරණින් පසුව උපතක් ද ලබයි. මිනිස් ලෝකය හා දෙව්ලෝ ඇතුලු කාම භව එකොළහකි. බ‍්‍රහ්ම ලෝක සියල්ලද ඇතුලුව රූප ලෝක 16කි. ආකාසඤ්ඤායතන ආදී අරූප භව 4කි. මතු උපතක් ලබන්නට හේතුවන ප‍්‍රත්‍යය වන සියලු කර්ම භව (කර්ම බීජ) නිපදවා ගන්නේ මේ ජීවිතයේදීම හෝ අතීතයේ ජීවත් වූ යම් ජීවිත වලදීය. ඒ භවට අනුරූපීවම ජාතියකද උපදී. ”භව පච්චයා ජාති” යනු එයයි.

පෘථග්ජන පුද්ගලයෙක්, සත්ත්වයෙක් ජීවත්වන හැම මොහොතක් පාසාම තම විඤ්ඤාණ ශක්තිය උපකාරයෙන් කරන එකම රාජකාරිය විඤ්ඤාණයේ මතු පැවැත්ම සහතික කර ගැනීම සඳහා කර්ම භව (කර්ම බීජ) උපදවා ගබඩා කිරීමයි. ඉපදි, ඉපදී මැරී මැරී යන සංසාර ගමනෙහි නිමාවක්, කෙළවරක් පිළිබඳව කෙනෙකුට සිතාගත නොහැකිවන්නේ මේ කර්ම ”භව” උපදින ආකාරය තමන්ටම තේරුම්ගත නොහැකි වීම නිසයි. ඒ අවිද්‍යාවයි නොදන්නාකමයි. උපාදාන හා භව යන පදවලින් බුද්ධ ධර්මයේ, පටිච්චසමුප්පාද ධර්මයේ විග‍්‍රහ කර පෙන්වා වදාළ ධර්ම අර්ථය නිවැරදිවත්, පිරිසිදුවත් තේරුම්ගත් කෙනෙකුට නිවන් මාර්ගයද දැකගත හැකි වෙයි. පූර්වභාග නුවණද පහළ වෙයි. මඟ නැණද පහළ වෙයි. පටිච්චසමුප්පාද ධර්මය නම් උතුම් බුද්ධ ධර්මයෙන් විග‍්‍රහ කර විස්තර කර විභජනය කර පෙන්වා වදාළේ ඒ ඒ සත්ත්වයාගේ ම සිත තුළ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසාම ක‍්‍රියාත්මක වන හේතුඵල පරම්පරාවේ හැසිරීම විග‍්‍රහ කර පෙන්වා දීමයි. පටිච්චසමුප්පාද ධර්මය තමා තුළින්ම තමාම තේරුම් ගත යුතු දෙයකි. තමා තුළම ක‍්‍රියාත්මක වන අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මය, තමාම නිරෝධ කර ගැනීමෙනුත් තමා තුළම ක‍්‍රියාත්මක කළ හැකි කුසලමූල පටිච්චසමුප්පාද ධර්මය ක‍්‍රියාත්මක කිරීමෙනුත්, සියලුම කර්ම බීජ, කර්ම භව උදුරා දමා තමන්ටම නිදහස් විය හැකිය. එසේ නැතිනම් සියලු කර්ම බීජ ඇහැකර පැළවෙන්නට නුසුදුසු තත්ත්වයට පත් කරගත හැකිය.

නිවන් අවබෝධ කරගන්නා හැම කෙනෙක්ම තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පත්ව නිවන් අවබෝධ කරගත යුතුයි. ඒ තුන්තරා බෝධි නම් ලොව්තුරා බුද්ධ, පච්චේක බුද්ධ, අරහත් බුද්ධ යන තුන් ආකාරයයි. බුද්ධ යනු බු+උද්ධ යන පද දෙක එකතු වී සෑදුනු වචනයකි. ”බු” යනු භවට පත්වීම, බිහිකිරීම භව යන්නයි. උද්ධ යනු උදුරා, සහමුළින්ම උදුරා දැමීමයි. එසේ නම් බුද්ධ යනු කර්ම භව, කර්ම බීජ සහමුළින්ම ගළවා උදුරා දමා නිදහස් වීමයි. බුද්ධ භවට පත් වූවෙකු තවදුරටත් මතු උපතක් නොලබන කෙනෙකි. ඊට හේතුව මතු උපතක් ලැබීමට අවශ්‍ය කර්ම බීජ කිසිවක් ඉතිරි නොවන සේ උදුරා දමා චිත්තසංථානය ශුද්ධ පවිත‍්‍ර කරගෙන සිටින නිසයි. එසේ පාරිශුද්ධ තත්ත්වයට පත්කරගත් චිත්තසංථානයට අලුත් කර්ම බීජ එකතු කර, රැුස් කර ගැනීමේ ශක්තික්ද නැත. ඒ නිසා බුද්ධ තත්ත්වයට පත් වීමෙන්ම භව උදුරා දැමීමෙන්ම පමණක් නිවනද, නිදහසද පූර්ණ ලෙසින්ම අත්කර ගත හැකි වෙයි.

ත‍්‍රිපිටක ධර්මයේ පෙන්වා වදාළ ”භික්ඛු” යන පදයද මීටම සම්බන්ධ පදයකි. අංගුත්තර නිකායේ චතුර්ථක නිපාතයේ පෙන්වා ඇති පරිදි භික්ඛු යනු මහණ, මෙහෙණි, උපාසක, උපාසිකා යන සතර වර්ගයාටම භාවිතා කළ නමකි. ”භික්ඛු” යනු භවය ඛය කර දමන්නට මගපුරණ ඒ සඳහා කැප වී ක‍්‍රියාකරන පුද්ගලයා යන්නයි. සිවුරු පොරවාගත් භික්ෂුවද මේ කොටස් හතරෙන් එක් කොටසකි. භව යන පදය නිවැරදි ලෙසත්, පටිච්චසමුප්පාද ධර්මයට අනුවත් තේරුම් ගෙන භව ඛය කරන්නට අවංකවම කැපවී කටයුතු නොකරන කෙනෙකු භික්ඛු යන නාමයට කොතෙක් දුරට ගැළපේ දැයි සළකා බැලිය යුතුයි.

බුද්ධ භවට පත්වන්නට ධර්ම මාර්ගය අනුගමනය කරන සියලුම අය සෝවාන් මාර්ග භව, සෝවාන් ඵල භව, සකෘදාගාමී මාර්ග භව, සකෘදාගාමී ඵල භව, අනාගාමී මාර්ග භව, අනාගාමී ඵල භව, අරහත් මාර්ග භව, අරහත් ඵල භවටත් පත්විය යුත්තේමය. යමෙකු සෝවාන් ඵල බවට පත්වී නම් නිවන් මාර්ගයේ ස්ථාවර තත්ත්වයකටම පත්වූවා වන්නේය. සෝවාන් ඵලයට පත්වූවෙකු අරිය තත්ත්වයටද පත් වූවෙකි. මතු කවදාවත් සතර අපා දුකට පත් වන්නේ නැත. සතර අපා දුකට පත්වන ආනන්තරීය පාප කර්මයක් සිදුකරන්නේ ද නැත. මිත්‍යා දෘෂ්ඨිකයෙකු වී, ධර්ම මාර්ගයට විරුද්ධව ක‍්‍රියා කරන්නේද නැත. එවන් සෝවාන් මාර්ග ඵලයට පත් වූ පුද්ගලයෙකු අටවැනි භවකට පත්වන්නේ ද නැත. ”නතේ භවං අට්ඨමං ආදියන්ති” යනුවෙන් රතන සූත‍්‍රයේ දේශණා කළේ උපත් හතක් හෝ ජාති හතක් හෝ යන තේරුමෙන් නොවේ. ”භව” හතකි. මේ බව හත යන්න නිවැරදිව තේරුම් ගන්නට නම් ”භව” තේරුම් ගත යුතුය. සෝවාන් බවට පත් වූ උත්තමයාගේ පළමු ”භව” ඒ සෝවාන් ඵලය සහිතව මතු උපත ලබන සියලුම ජාති අයත්ය. එය මිනිස් ජාතියේ හෝ දෙව් ජාතියේ හෝ බ‍්‍රහ්ම ජාතියේ හෝ උපත ලබන උපත් විය හැකිය. සෝවාන් භවට පත්වූ කෙනෙකු ධ්‍යානයන්ද ලබාගත හොත් දෙව් ජාතියේ හෝ බ‍්‍රහ්ම ජාතියේ උපත ලබනු ඇත. දෙවන ”භව” අවස්ථාව වන්නේ සකෘදාගාමී මාර්ග භවයි. තුන්වන භව වන්නේ සකෘදාගාමී ඵල භවයි. සතරවන භව වන්නේ අනාගාමී මාර්ග භවයි. පස්වන භව අනාගාමී ඵල භවයි. හයවන භව අරහත් මාර්ග භවයි. හත්වන භව අරහත් ඵල භවයි. අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම සෝවාන් ඵලයට පත් වූ කෙනෙකු මේ ”භව” හතම පසුකර යා යුතුමය. අටවැනි භවකට පත් වන්නේ ද නැත. මෙහිදී උපදින ජාති ගණන හෝ ආත්ම ගණන කාටවත්ම කිසිසේත්ම කිව නොහැකිය. විනාඩි ගණනක් තුළදි භව හතටම පත් වන්නටත්, ආත්ම සියගණනක් ඒ සඳහා ගත කරන්නටත් සිදු විය හැකිය. මේ නිවැරදි බුද්ධ භාෂිතයේ එන ධර්ම විග‍්‍රහයයි. භව හා ජාති යන පද දෙක තේරුම් ගන්නට නොහැකි වූ බොහෝ උගතුන් මෙය පටලවාගෙන විග‍්‍රහ කරයි. කාටත් විමසා බලා නිවැරදි අර්ථය තේරුම් ගන්නට යෝනිසෝමනසිකාරය අවශ්‍ය වෙයි. සාමාන්‍ය පුද්ගලයකු සිතින් රවුම් ගසනවා, සිතිවිලි මවනවා, සිතුවිලි අතර අතරමං වී කල්පනා කරනවා, මනෝ විකාර කරනවා යනුවෙන් විවිධ වචනවලින් හඳුන්වන මේ ක‍්‍රියාවලිය කරන්නේ මුලින් පෙන් වූ අවස්ථා නවය ඇතුළත සිතුවිලි මෙහෙයවා ”සං” එකතු කිරීමටයි. ”භව” ට පත් වීම පූර්ණ වූ පසු සිතින් රෝද කිරීමද නවතී. දැන් චිත්ත ශක්තියක්, ”ජාති” බිහිවීම එහි ඵල විපාකයයි. මුළු ජීවිත කාලය තුළම පෘථග්ජන පුද්ගලයකු මොහොතක් පාසාම කරන්නේ මෙවන් සංඛාර අල්ලා ගෙන සිතින් රවුම් ගසා ”සං” එකතු කර චිත්තජ ශක්ති නිපදවා ගැනීමයි. එසේ නිපදවා ගත් චිත්ත ශක්තිවලට අනුරූප වූ ඵල විපාක භුක්ති විඳීමයි. ඒ ඵල විපාක විඳීම චිත්ත ශක්තිය නිපද වූ මොහොතේ සිට කල්ප ගණනක් යන තුරු කවදා හෝ ඵල විපාක ලෙසින් භුක්ති විඳියි. බොහෝ ශක්ති ඵල විපාක දීමට කලින් අහෝසි වී යාමට ද ඉඩ තිබේ.

පටිච්ච සමුප්පාද ධර්මය ලෙසින් බුද්ධ ධර්මයෙහි බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළ ධර්මයෙන් එක මූලික කොටසක් පමණක් මෙතෙක් විස්තර කර දුන් අවිද්‍යා මූල පටිච්චසමුප්පාද ධර්මයයි. පෘථග්ජන පුද්ගලයෙකුගේ සිත මෝහයෙන් වැසී පවතිනා තාක් කල් මේ ආකාර වූ අවිද්‍යාමූල අරමුණු විනා, ඊට බාහිර අරමුණු ගති ලක්ෂණ, සංඛාර බිහි වන්නට ඉඩක් නැත. ගිහි වුවත්, පැවිදි වුවත් හැම පුද්ගලයකුම මෝහයෙන් කටයුතු කරයි නම් ඔහු පෘථග්ජන පුද්ගලයෙකි.

බුද්ධ ධර්මය අසා ශ‍්‍රවණය කර යම් කිසි ආකාරයක යථාවබෝධයක් මේ පැවැත්ම පිළිබඳව හේතුඵල ධර්මය පිළිබඳව දැනගත් පසුව මෙවන් අවිද්‍යාමූල සංඛාර නිසා තම සිතෙන්ම මේ රෝද ගැසීම කර මේ ගති ලක්ෂණ තමන්ම එකතුකර ගන්නා බව දැකිය හැකිවෙයි. තමාට අවශ්‍ය නම් උත්සාහයෙන් වීර්යයෙන් මේ ධර්මතාවය තේරුම් ගෙන සිතින් මෙලෙස රෝද ගැසීම නතර කර ගත හැකි බවද දැකිය හැකි වෙයි. හේතුඵල ධර්මය අසා බණ අසා දැන ගත් පරිදි සිතන්නට පටන් ගතහොත් මෙවැනි සංඛාර අතර රෝන්ද ගැසීම, රවුම් ගැසීම, අතහැර ඉන් මිදී එවැනි ගති ලක්ෂණ චරිත ලක්ෂණ බිහි කිරීමෙන් වැළකී සිටිය හැකි බවද දකියි. මෙය ප‍්‍රායෝගික වශයෙන් අත්විඳ, තමාටම අත්දැක ගත හැකි දෙයක් බවද දකී.

විඤ්ඤාණය හැම වෙර වීරියක්ම යොදා මිනිසුන් මෝහයෙන් මුළාකර, මෝඩයන් බවට පත් කර රාග, ද්වේෂ, මෝහ, අලෝභ, අදේෂ, අමෝහ, අරමුණු ගති ලක්ෂණ එකතු කර ගැනීමට ඒවා දියුණු කර ගැනීමටම සදාකාලික උත්සාහයක යෙදී සිටී. එසේ රවුම් ගසා එකතු කරගන්නා ”සං” ගති ලක්ෂණ වලින් තොර නිදහස් තත්ත්වයක් ඇති වූවොත්, විඤ්ඤාණයට ආහාර නැතිව මියැදෙන්නට වන බව විඤ්ඤාණය හොඳින්ම දනී. මෙසේ විඤ්ඤාණය එකතු කර ගන්නේ කුණු ගොඩවල්ය. කිළිටි, කහට කෙළෙස්ය. පින් පව්, අකුසල් යන මොන නමින් හැඳින්වූවත් ඒ සියල්ල විඤ්ඤාණයට ආහාර වන කුණු ගොඩවල්ය. කිළිටි කහට කෙළෙස්ය. මේ කෙළෙස් නිසා කුණු නිසා කහට ගැන්වී, කිළිටි වී, අඳුරු තත්ත්වයට පත් වී සිත, විඤ්ඤාණය ලෙසින් පැවතෙයි. කාලාන්තරයක් තුළ මෙසේ එකතු කරගත් කුණු තට්ටු කෙළෙස් ආසව ලෙසින් සිත තුළ පවතී. විඤ්ඤාණය ලෙසින් ක‍්‍රියාත්මක වන චිත්තය මෙසේ කුණු වලින් වැසී, අඳුරු වී පවතින තුරු මේ පැවැත්ම පිළිබඳ සත්‍යය දැක ගත නොහැකිව මෙය ප‍්‍රියයි, සුවයි යනුවෙන් දිගටම රිය ගමන යයි. මේ පැවැත්ම, දුක් විඳීම සංසාර ගමන වටිනා දෙයක් වැදගත් දෙයක් සුව දෙයක් ලෙසම විඤ්ඤාණය පෙන්වා දෙයි. ඒ දැකීම නිසාම නැවත නැවතත් ඒ ගති ලක්ෂණයටම පත්වී නැවත නැවතත් කුණු එකතු කර ගනී. සත්‍යය දකින්නට කොහෙත්ම ඉඩක් නොදී සංසාර ගමන ප‍්‍රිය මනාප දෙයක් සේ සුව සැප දෙයක් සේ මායා දර්ශන මවා පා මෝහයෙන් මුළා කරවයි.

මේ ආකාරයට හේතු ප‍්‍රත්‍යයන් විභජනය කර විස්තර කර බෙදා දක්වා වදාළේ ලෝක සත්ත්වයා අවිද්‍යාව නිසාම ඇත්ත ඇති සැටියෙන් තේරුම් නොගැනීමේ හේතු නිසාම දිගින් දිගටම මේ සංසාර ගමන සාරවත් එකක් සේ දැක ගන්නා මායා දර්ශනය (සක්කාය දිට්ඨිය) නිසාම සංසාරයේ අතරමං වී මංමුළා වී ගමන් කරන බව පෙන්වා දීමටයි. මෙහි දැක්වෙන්නේ අවිද්‍යාව මූලික වී සිදුවන පටිච්චසමුප්පාද ධර්මය විග‍්‍රහ කර පෙන්වා දුන් ආකාරයයි. මේ ක‍්‍රියාවලිය පෘථග්ජන සිතක හැම මොහොතක් පාසාම ක‍්‍රියාත්මක වන්නකි. මෙහි දක්වා වදාළ අවිද්‍යා මූලික පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය යථාපරිදි යථාභූත ඥාණයෙන්ම තේරුම් ගත යුතු දෙයකි. මෙහි නිවන් මඟක් දක්වා නැත. මෙහි දක්වා ඇත්තේ නිවන් මඟ වැසී යටපත් වීමට හේතුවයි. ප‍්‍රත්‍යය වන කාරණාවෝයි. ඒවාගේම සංසාර ගමනට හේතුවයි. සංසාර ගමනට නිදාන වූ සමුදය වූ ධර්මතාවයයි. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මය මනාකොට දැන අවබෝධ කරගත් කෙනෙකුට මිස 1. අවිද්‍යා මූල පටිච්චසමුප්පාද නිරෝධ කරන්නට නොහැකියි. 2. කුසලමූල පටිච්චසමුප්පාද දැන, භාවිතා කරන්නටද නොහැකියි

මෙතෙක් විස්තර කරන ලද අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ක‍්‍රියාවලිය පහත ආකාරයට සාරාංශ කර පෙන්විය හැකිය.

අතීතයේ එකතුකර, ගබඩාකරගත් කාමාසව, භවාසව, දිට්ඨාසාව, අවිද්‍යාසව තම චිත්තසංථානයේම ගබඩා වී රැඳී පවතින තුරාවට ඒවා ආශ‍්‍රයෙන්ම සිතේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, පාප විතර්ක මතුවේ. මෙසේ මතුවන්නට එකම හේතුවද එවන් ගති ලක්ෂණයන් අතීතයේ කවදා හෝ කාලයකදී තමන්ම තම කැමැත්තෙන්ම උපාදානය කර ගෙන අල්ලා බදාගෙන තම චිත්තසංථානයේ ඒවා තැන්පත් කරගත් නිසාමයි. මෙම ගති ලක්ෂණයන් කර්ම බීජ, ”භව” ලෙසින් ධර්ම විග‍්‍රහයේ පෙන්වා දුන්හ. මෙවන් ගති ලක්‍ෂණ, කර්ම බීජ චිත්තසංථානයේ ගැබ් වී පවතින්නේ නැතිනම් එවන් ගතිගුණ, ගතිහඬ, ගතිබව, ගතිරුව තමා තුළින් මතුවන්නටද හේතුවක් නැත. මෙවන් ගති ලක්ෂණයන් තමා තුළම ගැබ්වී පැවතීම හුරු පුරුදු, ඇබ්බැහිකම්, චර්යා රටාවන් ලෙසින් ද අපි නම්කර ව්‍යවහාර භාෂාවෙහි භාවිතා කරන්නෙමු. මෙවන් ගති ලක්ෂණ කර්ම බීජ චිත්තසංථානයේ ගැබ්වී පවතිනතාක් කල් සිතට අරමුණු ලැබීම, නිමිති ලැබීම, හැඟීම් ඇති වීමද සිදු වෙයි. ඇසට රූප සංඥාවක් ලැබීම නිසා ඒ රූපය ප‍්‍රිය මධුර දෙයක් සේ, තමාට හුරු පුරුදු දෙයක් සේ දකින්නේ පෙර සංසාරයේ පුරුදු වූ අතීත ගති ලක්ෂණයක් නිසාමය. එසේ රූප සංඥාවක් ප‍්‍රිය එකක් සේ දකින නිසාම එයට බැඳෙයි. මෙය කැමැත්තෙන්ම බැඳීමකි. මෙය ”පටිඉච්ච” ලෙසින් ධර්මයේ පෙන්වා දී ඇත. මේ ආකාරයට ප‍්‍රිය රූප, ප‍්‍රිය ශබ්ද, ප‍්‍රිය ගඳ සුවඳ, ප‍්‍රිය රස, ප‍්‍රිය ස්පර්ශය, ප‍්‍රිය මතක සටහන් යන හය ආකාර වූ සංඥා නිසාම අවිද්‍යාමූල සංඛාරයෝ සිතක බිහිවෙයි. පෘථග්ජන සත්ත්වයෙකු, පුද්ගලයෙකු ජීවත්ව සිටින හැම මොහොතක් මොහොතක් පාසාම මෙවැනි මධුර සංඥාවන්, සංඛාර ලෙසින් ඇතුළට ගෙන බලාපොරොත්තු සිතේ ඇති කර ගැනීමත් (විඤ්ඤාණයක් පහළවීම) ඒ බලාපොරොත්තුවට අදාළ වූ නාම රූප සිතේ පහළවීමත් ඒවා ස්පර්ශ වීමෙන් වේදනාවක්, ඉන්ද්‍රියයන් පිනවීමේ කැමැත්තක් ඇතිවීමත් නිසා ඒ ප‍්‍රිය සංඥා වලට අදාළ වූ දේ සමඟ එක්වීම, තණ්හාවීම හා ඒ ප‍්‍රිය මධුර දේ උපාදානය කර මගේ කර ගැනීම අපේ කර ගැනීම යන ක‍්‍රියාවලියම අවිද්‍යා මූලිකව සිතක් තුළම සිදුවන ක‍්‍රියාදාමයයි. මේ ක‍්‍රියාදාමය අවසන් වන්නේ ”සමුදය” ධර්මයක් බිහිවීමෙනි. සමුදය යනු සංඛතයක් හෝ සංකල්පනාවක් උත්පත්ති කරන්නට සමත් කර්ම බීජයක් බිහිවීමයි. එවන් කර්ම බීජයක් පැළවීම ”ජාති” තත්ත්වයට පත්වීමයි. උපතක් ලැබීමයි. මේ උපත යනුවෙන් ධර්මයේ පෙන්වා වදාළ ධර්මතාවය පංචඋපාදනස්කන්ධය එකතු කර සකස්කර ගන්නා සංඛතයක් හෝ සංකල්පනාවක උපතයි. මිනිසෙකු, සත්ත්වයෙකු ජීවත්වන හැම මෙහොතකම මේ උපත ”ජාති” වීම සිදුවෙයි. ඒ උපදින උපදින සංඛත ඒවායේ ශක්තිය ගෙවී යාමත් සමඟම නිස්සරණයට පත් වී, විනාශ වී, ගෙවී, මැරී යයි. මේ ක‍්‍රියාදාමය සත්ත්වයෙකු, පුද්ගලයෙකු ජීවත්ව සිටින හැම මොහොතකම ක‍්‍රියාත්මක වන හේතුඵල පරම්පරාවක් ක‍්‍රියාත්මක වීමයි. හැම චිත්තක්ෂණයකදීම මේ හේතුඵල පරම්පරාවටම සම්බන්ධ පටිච්චසමුප්පාද ක‍්‍රියාවලියද සිදුවෙයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.