ඉච්ච හා පටිච්ච

ඒ ඒ පුද්ගලයා, සත්ත්වයා තනි තනිවත්, සාමූහිකවත් විඤ්ඤාණ ශක්තියෙන්ම, කිළිටි වූ කැමැත්තෙන්ම බැඳී ක‍්‍රියා කරන තුරාවට ”සං” උත්පාදනය වන බවත් සමුදය ධර්මතාවය උපදින බවත් පෙන්වා වදාළ ධර්ම නියාමය පටිච්චසමුප්පාද ධර්මයයි. ප‍්‍රිය යැයි මනාප යැයි නිගමනය කර ප‍්‍රිය සංඥාවලට කැමැත්තෙන්ම බැඳෙන තුරාවට අවිද්‍යාව මුල්වී සිතින්ම සංඛාර කරයි. අවිද්‍යා සංඛාරයකට බැඳීමෙන් සමුදය ධර්මතාවය බිහිවෙයි. සංඥාවට බැඳී සංඛාර කරන තුරාවට සමුදය ධර්මතාවයට බැඳීමෙන් සංසාර ගමනද සිදුවෙයි. හේතුඵල පරම්පාවක්ද බිහිවෙයි.

”පටිඉච්ච වීම” යනු ප‍්‍රිය සංඥාවකට කැමැත්තෙන්ම බැඳීමයි. මේ නිසා ”ඉච්ච” යන පදයේ ධර්ම අර්ථය නිවැරදිවම තේරුම් ගන්නා තාක් කෙනෙකුට නිවන් දකින්නට උපකාර වන උතුම් බුද්ධ ධර්මයද තේරුම් ගත නොහැකිය. බුද්ධ භාෂිතයේ නිතර නිතර විවිධ ආකාරයෙන් භාවිතා වන ”ඉච්ච” යන පදයේ තේරුම ධර්ම අර්ථය ”කැමැත්ත” යන්නයි. සිතක පහළවන කැමැත්ත පිළිබඳවම විවිධ ආකාරයෙන් බුද්ධ ධර්මයේම භාවිතා වන තැන් කිහිපයක් ගෙන එහි අර්ථ, ධර්ම, නිරුක්ති සොයා බැලීම වැදගත්ය.

01. ඉච්ච – සිතක පහළවන කැමැත්තයි.
02. නඉච්ච – නොකැමත්තයි.
03. අනිච්ච – අනිච්ච යනු සිතේ ඇති වූ කැමැත්ත කැමති පරිදි පැවැත්වීමට නොහැකි යන අදහසයි.
04. පටිච්ච – යනු සිතක පහළවන කැමැත්තට බැඳීමයි.
05. අභිච්ච – අභිජඣා යනු ලෝභය, දැඩි කැමැත්ත, දැඩි ආශාවයි.
06. අප්පඉච්ච – අල්පේච්ච යනු අල්ප වූ කැමැත්තයි
07. විචිකිච්ච – වි+චි+කි+ඉච්ච යනු විඤ්ඤාණ චිත්තයෙහි කිළිටි වූ කැමැත්තට බැඳීමයි. හිතට වහල්වීම – අරමණුට ගැති වීමයි.
08. උද්ධච්ච – උද්ධ+ඉච්ච උදහස් වූ සිතක පහළවන අභිමානයයි. එසේත් නැතිනම් උදහස් වූ කැමැත්තයි.
09. කුක්කුච්ච – පහත් වූ සිතක පහළවන හීනමානයයි. කුණු රසයන් විඳීමේ, කුණු රස බැලීමේ කැමැත්තයි.
10. මරිච්ච – මසුරුකම සඳහා ඇතිවන කැමැත්තයි.

හැම පෘථග්ජන මිනිසෙකුගේම සිතක් තුළ නිරුතුරුවම මේ සියලු ආකාරවූ කැමති පහළ වේ. යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන්නට නොහැකි වූ කළ පටිඉච්ච වීම නියත ධර්ම නියාමයකි. යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන්නට පුරුදු පුහුණුවීමත් සමඟම හැම මිනිසෙකුටම තමාගේම සිතතුළ පහළවන කැමැත්තෙහි ස්වභාවය ස්වරූපය මැනබලා ගන්නටත් හැකියාවද ලැබෙයි. මේ ආකාරයෙන් සිතෙහිම පහළවන කැමැත්තට බැඳීමෙන්,

I. චන්දරාගයක්, කාමච්ඡන්දයක් බවට පත්වීමක් ද, චන්දරාගයෙන් බැඳීමක් ද,
II. ද්වේෂය, වෛරය නිසා පහළවන්නා වූ කැමැත්තේම දෙවෙනි වේෂයද,
III. මෝහය, අවිද්‍යාව නිසා පහළ වන මුළා වූ කැමැත්තක් ද,

යන කරුණු විපස්සනා නුවණින්, යෝනිසෝමනසිකාරයෙන් නිවැරදි ආකාරයටම තෝරා බේරා යථා පරිදි දැකගන්නටත් ශක්තියද මනසටම ඇතිවෙයි. මෙවන් ප‍්‍රිය මධුර දෙයකට කැමැත්තෙන්ම බැඳුනොත් ඒ කැමති වූ දේ, ඒ ආකාරයෙන්ම දිගින් දිගටම පවත්වාගන්ට නොහැකි ලක්ෂණය වූ ”අනිච්ච ධර්මතාවයද” දැකගත හැකිවෙයි. දුක යනුවෙන් අප අදහස් කරන වේදනාව ඇතිවන්නේ අපි කැමති වූ, ප‍්‍රිය මනාප වූ යම් දෙයක්, යම් කෙනෙක්, යම් තැනක් ඒ ආකාරයන්ම දිගටම නොපැවතී දෙවැනි ආකාරයකට දෙවැනි වේෂයකට පත්වීමේ නියත ධර්මතාවය නිසා බවද දැන් තේරුම් ගත හැකිය.

බුද්ධ භාෂිතයේ ”දුක” යන පදයෙන් විග‍්‍රහ කළේ දෙවැනි පැත්ත යන්නයි. දෙක යන අර්ථයයි. අංගුත්තර නිකායේ ”එක නිපාතයෙන්” අංග එකක් සහිත කරුණු විග‍්‍රහ කර ඊළගට අංග දෙකක් සහිත කරුණු විග‍්‍රහ කරන්නේ ”දුක නිපාතයෙනි”. මේ අනුව දුක යනු සැප නමැති සංකල්පයේම දෙවැනි පැත්තයි. කිසිම කෙනෙකු දුක කැමැත්තෙන්ම අල්ලා උපාදානය කරගන්නේ නැත. සැප හඹා ගොස් සැප අල්ලා ගන්නට සැප උපාදානය කරගන්නට උත්සාහ දරණ හැම අවස්ථාවකදීම උරුම කර ගන්නේ එහි දෙවැනි පැත්ත වූ දුකයි. මේ නිසාම පළමුවන අරිය සත්‍යය වූ දුක්ඛ අරිය සත්‍යය තේරුම් ගන්නට නම් මේ ප‍්‍රිය මධුර දේට බැඳෙන ස්වභාවය ”පටිඉච්ච” ධර්මතාවයම නිවැරදිවම තේරුම් ගත යුතුයි. පෘථග්ජන පුද්ගලයෙකු පංචස්කන්ධයම උපාදානය කරගන්නේ දැඩිව අල්ලාගන්නේ මම, මගේ කියා වෙන්කර ගන්නේ ඒ පංචස්කන්ධයේ යම් කොටසක් ප‍්‍රිය මනාප සේ දකින මායා දෘෂ්ඨියට බැඳීමෙනි. ප‍්‍රිය මනාප දේට කැමැත්තෙන්ම බැඳීම ”පටිඉච්ච” ධර්මතාවයයි. ”සංඛිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා” යයි ධර්මයේ පළමුවන අරිය සත්‍යය ලෙසින් ප‍්‍රකාශ කළ දේ දැන් නිවැරදිවම තේරුම් ගැනීමට ඔබ සමත් වී නම් පළමුවන අරිය සත්‍යයද ඔබට අවබෝධ වෙනු ඇත. ”පටිඉච්ච” තේරුම් නොගැනීම නිසාම හැම පෘථග්ජන මිනිසාම, කැමැත්තට දැඩිව බැඳී සංසාර දුකම උරුම කරගනී. මේ අනුව ලෞකික සැප විඳින්නට ලෞකික සැප සොයා හඹායන්නට උත්සාහ දරණ හැම අවස්ථාවකම නියත වශයෙන්ම දුක උරුම වන බවද තේරුම් ගත යුතුය. උපදානය කරගත් පංචඋපාදානස්කන්ධයම තමන්ට බරක් වන බව, බැම්මකට තමන්ම බැඳෙන බව සියලු භය උපදවන්නට උපාදානය කරගත් දේවල්ම හේතුවන බව සෑම මිනිසෙකුටම තේරුම් ගත හැකිය. නමුත් හැම පෘථග්ජන මිනිසාම මේ පංචස්කන්ධයන් කොතරම් උපාදානය කරගත්තත් සෑහීමකට පත්වන්නේ ද නැත. ඊට හේතුව ධර්මයේ පෙන්වා වදාළ නියත සත්‍යයන් වන ත‍්‍රිලක්ඛණය තේරුම් නොගත් නිසයි.

මේ අනුව සිතකට අරමුණු වන ප‍්‍රිය සංඥා වලට කිළිටි වූ කැමැත්තෙන්ම විචිකිච්චාවෙන්ම බැඳී සිතටම වහල් වී කටයුතු කරන තාක් ”පටිඉච්ච” වීමත් අවිද්‍යා, තණ්හා, උද්ධච්ච, කුක්කුච්ච ආදී කිළිිටි ගති සිත තුළම පහළ වීමත් නිසා සං උපතක් සමුදය ධර්මයක් සිත තුළම පහළ වන බවත් නිවැරදිවම හැම මිනිසෙකුටම යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගත හැකිය. පටිඉච්ච හේතුවයි. සං උත්පාද වීම, සමුදය වීම ඵලයයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.