කුසල මූල පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය

කුසල, කුසල්, කුසලමූල යනාදී වචන වල අර්ථය මුලින්ම නිවැරදිවම තේරුම් ගත යුතුය. බුද්ධ ධර්මයේ ”කු” යන වචනයෙන් පෙන්වා වදාළේ රාග, ද්වේෂ, මෝහ යන කළු ධර්මයන්ය. කිළිටි, කෙළෙස්, කහට ගති ලක්ෂණයන්ට පොදුවේ භාවිතා කළේ ”කු” යන්නයි. මේ කුණු ගති ලක්ෂණයන් පැවතීම නිසා නිතරම කෙනෙකුගේ ලේ ධාතුව අපිරිසිදු වන බව, අපිරිසිදු වී මොළයේ ශෛලයන් වසා මුවහ කර මෝහය, මෝඩකම, මොට්ටකම අවිද්‍යාව උපදවන බව ඔබ දන්නා දෙයකි. කෙළෙස් සහිත කුණු ගති ලක්ෂණවලින් මොළයේ ශෛලයන් වැසී, මුවහවී ගිය පසුව මිනිසෙකුට, සත්ත්වයෙකුට මනසිකාරය, යෝනිසෝමනසිකාරය කිරීමටද නොහැකි වෙයි. හේතුඵල, හොඳ නරක, ආදීනව ආනිසංස, අවිද්‍යාමූල කුසලමූල ආදී මනස මෙහෙයවා තේරුම් ගත යුතු ද්වතා ලක්ෂණයන් තේරුම් ගැනීමද කළ නොහැකි වේ.

යම් කෙනෙකුට, යම් මිනිසෙකුට මේ කුණු, කිළිටි ගති කෙළෙස් ගති තමා තුළම එකතු වී තමාගේම චිත්තසංථානයේම තැන්පත් වී තමාගේම මනස වසා මුවහකර තමන්වම මුළාකර මායා දර්ශන මවාපාමින් ක‍්‍රියාත්මක වන බව දැන දැක ගැනීමට යථාභූතඥාණ දර්ශනයක් ලද හොත් ඒ පුද්ගලයාට කුසලමූල පටිච්චසමුප්පාද ධර්මය අසා දැන අනුගමනය කරමින් ප‍්‍රතිපත්ති පුරා තමා තුළම ඇති කුණු, කිළිටි කෙළෙස් ගති ලක්ෂණයන් සළාහැර අස් කර ඉවත්කර ගැනීමටද හැකිවෙයි. ”කුසලස්ස උපසම්පදා” යනුවෙන් පෙන්වා වදාළේ මෙයයි. උපසම්පදා යන පදයේ අර්ථය අද වැසී යටපත්ව ගොස් ඇති නිසා ධර්මය තේරුම් ගැනීමටද නොහැකි වී ඇත. මෙහි වචන තුනක් ඇත. උප+සං+පහදා යනු අතීතයේ තමාම එකතුකර තමා තුළම තැන්පත් කර ඇති ”සං” ගති ලක්ෂණ (රාග, ද්වේෂ, මෝහ) ඉවත් කර මනස පහදා ගැනීමට ඇප කැපවී ක‍්‍රියා කිරීම උපසම්පදා යන්නෙහි අර්ථයයි. එවන් කුණු කිළිටි කෙළෙස් සහිත ගති එකතු කිරීම සඳහා කරන සියලු ක‍්‍රියාවන් අකුසල් ලෙසින් ද බුද්ධ ධර්මයේම පෙන්වා දී ඇත.

කුසලමූල පටිච්ච සමුප්පාද ධර්මය කෙනෙකුට අනුගමනය කිරීමට හැකියාව, ශක්තිය, දැනුම ලැබෙන්නේ අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මයත්, අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධයත් යන දෙකම පිළිබඳව මුලින්ම පූර්ණ දැනීමක් ලබාගැනීමෙන් පසුවමය. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙකුට පවා කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන් පමණක් මේ පිරිසිදු ධර්ම පරියාය අසා දැන මේවා තේරුම් ගත හැකි කාරණාවෝයි. අවිද්‍යාමූල සංඛාර විග‍්‍රහය දේශණාකර ආරම්භ වන පටිච්චසමුප්පාද ධර්මයෙන් විග‍්‍රහ වන්නේ්, පංචස්කන්ධයන්ම අල්ලා උපාදානය කර ගැනීමට කරනු ලබන අවිද්‍යා සහගත ක‍්‍රියාදාමයයි. කිසිම ආකාරයක ධර්මයක් පිළිබඳව දැනීමක් ඇතත් නැතත්, මේ අවිද්‍යාමූල ක‍්‍රියාවලිය නිරන්තරයෙන්ම පෘථග්ජන සිතක් තුළ ක‍්‍රියාත්මක වෙයි. මෙහිදී සිදුවන්නේ අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් බලවත් කුණුගොඩක්ම අල්ලා එකතු කර මම, මගේ යනුවෙන් තම චිත්තසංථානයේම තැන්පත් කර ඒ කුණු ගොඩම වටිනවා, සාරයි, හොඳයි යැයි දෘෂ්ඨියකට පත්වීමයි. උපාදානය කර ගැනීමයි.

ධර්මය අසා දැන, ඇත්ත තේරුම් ගත් කෙනෙකුට පමණක් මේ ආකාරයෙන් තම සිත තුළම මුල්බැස පවතින වැරදි දෘෂ්ඨින් කපා හැර දමා ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීමටද හැකිවෙයි. ඒ සමඟම අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධ කිරීමේ මාර්ගයද අවබෝධ වෙයි.

අවිද්‍යාමූල පටිච්චසමුප්පාදය නිරෝධ කිරීමෙන් සිදුවන්නේත්, කරගතහැකි වන්නේත් මේ ධර්මය තේරුම් ගත් මොහොතේ පටන් අලුතින් ඉදිරියට කුණු කිළිටි, කෙළෙස් ගති එකතු කිරීම නවතා දමා සංවර වන්නට අවශ්‍ය පියවර ගැනීමයි. නමුත් අතීතයේ තමාම එකතුකරගත් තම චිත්තසංථානයේම අතීතයේ ගබඩා කරගත් ආසව ලෙසින් ක‍්‍රියාත්මක වන කුණුමුල් කපාහැර ශුද්ධ පවිත‍්‍ර වන්නට නම් කුසලමූල පටිච්චසමුප්පාද පරියායම තේරුම් ගෙන එයම භාවිතා කළ යුතුය. මේ අනුව චිත්තසංථානයේ කාලයක් මුළුල්ලේම තැන්පත් වී පවතින රාග මුල්, ද්වේෂ මුල්, මෝහ මුල් සහමුළින්ම ගළවා, උදුරා දමා, ”සමුජ්තේජේති” කරගත හැකි වන්නේ කුසලමූල පටිච්චසමුප්පාද පරියායම තේරුම් ගෙන ප‍්‍රායෝගිකවම අනුගමනය කිරීමෙනි.

”කුසලමූල සංඛාර පච්චයා කුසලමූල විඤ්ඤාණං
කුසලමූල විඤ්ඤාණ පච්චයා කුසලමූල නාමරූපං
කුසලමූල නාමරූප පච්චයා කුසලමූල සළායතනං
කුසලමූල සළායතන පච්චයා කුසලමූල පස්ස
කුසලමූල පස්ස පච්චයා කුසලමූල වේදනා
කුසලමූල වේදනා පච්චයා කුසලමූල පසාදෝ
කුසලමූල පසාද පච්චයා කුසලමූල අධිමොක්කෝ
කුසලමූල අධිමොක්ක පච්චයා කුසලමූල භවෝ
කුසලමූල භව පච්චයා කුසලමූල ජාති
කුසලමූල ජාති පච්චයා
කුසලමූල ජරා මරණං
ඒවමේතේ සං ධම්මානං සමුදයෝ හෝති”

යනුවෙන් දේශණා කළේ කුණු සළා හැර, ශුුද්ධ පවිත‍්‍ර වන්නට උපකාර කරගත හැකි පටිච්චසමුප්පාද ධර්මයයි. චිත්තසංථානයේ මතක සටහන් ලෙස එකතු කර කාලාන්තරයක් මුළුල්ලේ තැන්පත්ව ඇති ලෝභ, ද්වේෂ, මෝහ ගති ලක්ෂණ සමාධි ගත වූ සිතක සංඛාර ලෙසින් මතුවී සිත මත්කරවීමට ක‍්‍රියා කිරීම විඤ්ඤාණයේම උපායකි. යථාවබෝධය ලැබූවෙකුට පටිච්චසමුප්පාද ධර්මය යථා පරිදි තේරුම් ගැනීමට හැකි නිසාම හේතුඵල ධර්මය අනුව කටයුතු කර සිතෙහි මෙවන් ආකාරයෙන් මතුවන කිළිිටි, කෙළෙස් ගති ලක්ෂණ පහ කර, සළාහැර ශුද්ධ පවිත‍්‍ර විය යුතු බවද තේරුම් ගත හැක. ඒ අනුව කටයුතු කර ඒ කුණු සළාහැර ශුද්ධ පවිත‍්‍ර වීමට සංඛාර විසංඛාර මෙනෙහි කිරීම ලෝභක්ඛය කිරීම, ද්වේෂක්ඛය කිරීම, මෝහක්ඛය කිරීම සඳහා කටයුතු කිරීමයි.

හේතුඵල ධර්මය ගැන මනා අවබෝධයක් ඇති කෙනෙකුගේ සිත සමාධි ගතවූ මොහොතේ පටන් අවදියෙන් සිට සිතට අරමුණු වන සෑම සංඛාරයක්ම තෝරා දැන හඳුනා අවිද්‍යාමූල සංඛාර ප‍්‍රහාණය කර නිදහස් වීමත් කුසලමූල සංඛාර ආශ‍්‍රය කර භාවිතා කර කුණු සළා හැර ශුද්ධ වීමත් යන දෙයාකාරයෙන්ම නිරෝධ ගාමිණී පටිපදාව පූර්ණ කරගත හැකිය. කුසලමූල පටිච්චසමුප්පාද ධර්මය නොදැන, ඒ පිළිබඳව නිවැරදි වැටහීමකින් තොරව, කුසල මූල සංඛාර දැන හඳුනා නොගෙන ලෝකෝත්තර කුසලය පූර්ණ කර ගැනීමට හෝ සම්මා දිට්ඨියේ සිට සම්මා සමාධිය තෙක් අරිය අෂ්ටාංගික මාර්ගය පුරා, නිරෝධ ගාමිණී පටිපදාව සම්පූර්ණ කර ගැනීමට හෝ හැකියාවක් නැත. අද කුසල මූල පටිච්චපමුප්පාද ධර්මය පිළිබඳව කිසිම අදහසක් නොමැතිව එය ලෝකයාට තේරුම් කර දීමට නොහැකි වී ඇත්තේ අග සිට මුල දක්වාම මේ උතුම් ධර්මය වැසී යාමෙහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. එය නිවන් මඟ වැසී යාමට මුල් වූ හේතුව බවද කාටත් පැහැදිළි වනු ඇත.

චිත්තසංථානය යනු විඤ්ඤාණය එකතු කර ගන්නා ”සං” තැන්පත් කරගන්නා ස්ථානය යන තේරුම ඇතිව භාවිතා වන පදයකි. කාලයක් මුළුල්ලේ චිත්තසංථානයේ එකතු කර පවත්වාගෙන එනු ලබන රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණ සිත සමාධි ගත වීමත් සමඟම විවිධ මිත‍්‍ර ස්වරූපයෙන්, යහපත් වේෂයෙන්, මායා දර්ශන මවමින් සිතෙහි මතුවෙයි. විඤ්ඤාණය තම පැවැත්ම සඳහා ඒ සියල්ල කරන බව හේතුඵල දහම අවබෝධ කරගත් කෙනෙකුට පමණක් තේරුම් ගත හැකිය. විපස්සනා කිරීම යනු සමාධි ගත වූ සිතක විවිධ වේෂයෙන් මතුවන මෙවන් කිළිටි, කෙළෙස් සහිත සංඛාර කෙරෙහි තියුණු ලෙස, පරීක්‍ෂාකාරීව සිට ඒවායේ විවිධ වේෂයන්, විවිධ ගති ලක්ෂණයන් දැන හඳුනාගෙන අවිද්‍යා මූලයෙන් මතුවන සියලු සංඛාර නිරෝධ කර ප‍්‍රහාණය කිරීමත්, කුසල මූලයෙන් මතු වූ සංඛාර දැන හඳුනාගෙන එවන් සංඛාර ආශ‍්‍රය කර, භාවිතා කර, චිත්තසංථානයේ එකතු වී පවතින කුණු සළාහැර පිරිසිදු වීමත්ය.

සතියෙන් යුතුව කටයුතු කිරීම අවශ්‍යවන්නේ මේ අවස්ථාවේහිදීය. සතිය යනු හොඳ සිහිය නම් නොවේ. සතියෙන් කටයුතු කිරීම යනු හේතුඵල දහමට බහා බලා, සිතෙහි මතු වූ අරමුණු, සිතිවිලි පිළිබඳව පරම සත්‍යය දැක ඊට අනූරූපව කටයුතු කිරීමයි. නැතිනම් සත්‍යය දැක කටයුතු කිරීම සතියෙන් කටයුතු කිරීමයි. හොඳ සිහියෙන් කටයුුතු කිරීම යනු තවමත් විඤ්ඤාණයෙන්ම කටයුතු කිරීමයි. කොපමණ හොඳ වුවත් තවම මෝහය ඇත. විඤ්ඤාණය පවතින තුරු හේතුඵල ධර්මය නොදකින තුරු සතියෙන් කටයුතු කළ නොහැකිය. සතියෙන් කටයුතු කිරීමට පුරුදු පුහුණු වීමෙන් පමණක්ම අවිද්‍යාමූල හා කුසල මූල සංඛාර තෝරා බේරා දැන හඳුනා ගැනීමට හැකි වෙයි. භාවනානුයෝගියෙකු විපස්සනා භාවනාවෙහි යෙදෙන විට, චිත්තසංථානයේ නිතැතින්ම මතු වී එන්නේ, පසුගිය උපත් ගණනාවක සිට කාලාන්තරයක් තිස්සේ පුරුදු පුහුණු කර ගෙන ආ, එකතු කර හදා වඩාගෙන ආ, කෙළෙස් සහිත ගති ලක්ෂණයන්ය. එවැනි දේ මතුවෙන්නා හා සමඟම සංඛාරයෙහි ස්වරූපය දැන, හේතුඵල දහමට බහා ගළපා බලා, ඒවා ඛය කර දමන්නට කටයුතු කිරීම කුසල මූල සංඛාර පැවැත්වීමයි.

මෙවන් කුසල මූල සංඛාරයක් අරමුණු වූ අවස්ථාවේදී ද, අවිද්‍යා මූල සංඛාරයක් අරමුණ වීමේදී මෙන්ම නව අවස්ථාවක් පසු කර එය සළාහැර ශුද්ධ පවිත‍්‍ර විය යුතුයි. අවිද්‍යාමූල සංඛාරයකදී ”සං” එකතු කරන අතර, කුසල මූල සංඛාරයකදී කෙරෙන්නේ එවැනි ගති ලක්ෂණ සළා හැර පිරිසිදු වීමයි.

මෙවැනි කුසල මූල සංඛාරයක නව අවස්ථා මෙසේය.

01.    සංඛාර         02.    විඤ්ඤාණ         03.    නාමරූප
04.    සළායතන    05.    ස්පර්ශ               06.    වේදනා
07.    පසාදෝ       08.    අධිමොක්ඛෝ    09.    භව

මෙතැනදී ”සං” එකතු නොකරන නිසා, තැනකට හා වීම ”තණ්හා” හෝ තැනක් අල්ලා බදා ගැනීම උපාදානය හෝ සිදු නොවේ. ඒ වෙනුවට මෙහිදී සිදුවන්නේ කුණු සළාහැර පිරිසිදු වීමකි. එය නිදහස් වීමකි. ඒ නිසාම ”පසාදෝ” යන අවස්ථාවට පත් වේ. මෙය කෙළෙස් ගති, කිළිටි ගති සළාහැර ශුද්ධ පවිත‍්‍ර වීමකි. ප‍්‍රසාදය නිසා ලැබූ නිදහස නිසා ”අධිමොක්ඛ” භවට පත්වේ. ඒ ආශාවන්ගෙන්, තණ්හාවන්ගෙන් මිදී පාරිශුද්ධ තත්ත්වයට පත්වීමයි.

කුසල මූල සංඛාරයක් පැවැත්වීමේදීද ”භව” තත්ත්වයට පත්වෙයි. මෙතැන ”භව” යනු බුද්ධ බවයි. ලැබූ බුද්ධ ”භව” නිසා බුද්ධ ”ජාතියට” පත්වෙයි. එනම් චිත්ත ශක්තිය නොඋපදවා, කර්මජ කෝෂය සියලු කුණු වලින්, කෙළෙස් වලින් තොර කර ගැනීමයි. අලුතෙන් කුණු එකතු කිරීම නවතා අලුතින් ගති ලක්ෂණ (රාග, ද්වේෂ, මෝහ ආදී ) එකතු කිරීම නවතා දමා, මෙතෙක් සංසාරයේ එකතු කර තිබූ එවැනි ගති ලක්ෂණ, චරිත ලක්ෂණ සියල්ලද සළා හැර, ශුද්ධ පවිත‍්‍ර කරගත් පසු මෝහයේ මුල් සිඳ ඇති නිසා මෙතෙක් කල් පුන පුනා භවට පත්වීමත් ”ජාති” එකතු කිරීමත්, චිත්ත ශක්ති එකතු කිරීමත් නවතා දැමූහ, යනුවෙන් බුදුපියාණන් වහන්සේ මෙසේ දේශණා කර වදාළ සේක.

”අයමන්තිමා ජාති නත්‍ථිදානිපුනබ්භවොති” පුන පුනා භවට පත්වීම, ගති ලක්ෂණ එකතු කිරීම නැවැත්වීම මෙන්ම ජාති එකතු කිරීමද නවත්වා සංසාර ගමනෙන්, රිය ගමනෙන් පූර්ණ ලෙස ඉවත් විය හැකි වන්නේ මිනිසෙකු ලෙස ජිවත්ව සිටියදීම බව මෙයින් පැහැදිළිව තේරුම් ගත යුතුය.

බුද්ධියෙන්, ප‍්‍රඥාවෙන් කටයුතු කළ හැකි වන්නේ සම්මත සත්‍යය විද බලා, පරම සත්‍යය දැක ගැනීමෙනි. පරම සත්‍යය දැක ගැනීමට නම් මෙතෙක් කල් එකතු කර තිබූ ගති ලක්ෂණ, ”සං” ගසා බිඳහැර, නිදහස් විය යුතුයි. කුසල මූල සංඛාර වඩා දියුණු කර, බුද්ධ ”ජාති” යටපත් උත්තමයා, ”සං” ගසා හැර, බිඳ දමා, පිරිසිදු වී ඇති නිසාම ”සංඝ” යන නමින් හැඳින්වූහ.

අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයේදී ”ජාති” පච්චයා ජරා, මරණං, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යන සියලු ඵල විපාකයන් උරුමයෙන්ම ප‍්‍රත්‍යවන බව පෙන්වා දී ඇති නමුත්, කුසලමූල පටිච්චසමුප්පාද ධර්මයේදී ”ජාති පච්චයා ජරා මරණං ඒවමේතේ සං ධම්මානං සමුදයෝ හෝති” යනුවෙන් දක්වන්නේ, ”සං” නිරෝධකර, ඉවත් කර සම්මා තත්ත්වයට පත්වීමෙන් සමුදය අවසන් වන බව පෙන්වා දීමයි. මේ නිවන් මඟ ප‍්‍රායෝගිකවම පෙන්වා දුන් ආකාරයයි.

මෙතැනදී ක‍්‍රියාත්මක වන සංඛාර කුණුමුල් ගළවා දමා ඉවත් කරන්නටම ක‍්‍රියාත්මක කළ යුතු කුසලමූල සංඛාරයෝය. රාගය වෙනුවට වීතරාගී ක‍්‍රියා සිතක් ඇතුළට ගත යුතුය. කාම සංකල්පනාවක් වෙනුවට නෙක්ඛම්ම සංකල්පනාවක් ඇති කර ගත යුතුයි. ආසව වෙනුවට නිරාසව, නිරාමිස උපේක්ඛා සිතුවිලි ඇතුළට ගත යුතුයි. වෛරය, ද්වේෂය, ක්‍රෝධය වෙනුවට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ඇතුළට ගත යුතුයි. මානය, මමත්ත්වය වෙනුවට මානයෙන්, මමත්ත්වයෙන් ඉවත් වී ආත්ම – අනාත්ම සංකල්ප දෙකෙන්ම ඉවත්විය යුතුය. මේ නිවැරදි නිවන් මඟයි. ආනාපාන සති සූත‍්‍ර දේශණාවෙහි පෙන්වා වදාළ මාර්ගයම මෙහිදී ද පෙන්වා දිය හැකි වෙයි. ප‍්‍රායෝගිකව නිවන් ප‍්‍රතිපත්තිය පිරීම එකම ආකාරයක් ගනී.

යථාභූත ඥාණය, සත්‍යාවබෝධය නොලැබූ කෙනෙකුට කුසලමූල සංඛාරයක් පැවැත්වීමද කළ නොහැකියි. කුණු, කුණු ලෙසින්ම පළමුවම නිවැරදිවම දැකගත යුතුයි. කුණු උපත ලබන සමුදයවන ආකාරයද දැක තේරුම් ගත යුතුය. කුණු ඉවත් කර චිත්ත පාරිශුද්ධිය ලබන්නට අනුගමනය කළ යුතු මඟද අනුගමනය කළ යුතුය.

මේ දර්ශනය නිවැරදි ලෙසින්ම දැකගත් උත්තමයා දුක්ඛේ ඥාණං, දුක්ඛ සමුදයේ ඥාණං, දුක්ඛ නිරෝධ ඥාණං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඥාණං යන චතුරාර්ය සත්‍යයන්ම අවබෝධ කරගත් අරිය උත්තමයෙකුම වෙයි. මේ අනුව පටිච්ච සමුප්පාද ධර්මාවබෝධයෙන් තොරව ලැබිය හැකි නිවනක් නැත.

අවිද්‍යාමූල සංඛාර පැවැත්වීමේදී පච්චයා, හේතු, නිදාන, සම්ප‍්‍රයුක්ත අඤ්ඤාමඤ්ඤ ආදී විවිධ ආකාරයෙන් සංඛාර අනිකුත් නව අවස්ථාවන් සමඟමත් යෙදෙයි. නමුත් කුසලමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයේදී පච්චයා යන එකම ආකාරයක් පමණක් ක‍්‍රියාත්මක වන බව නිවැරදිවම තේරුම් ගත යුතුය. මෙහිදී සිදුවන්නේ හේතුව මුලින් උදුරා දා නැති කිරීමයි. ”සං” මා (සම්මා) යනු එයයි. හේතුව නැති කිරීම නිසා දැන් නිදානයද නැතිවිය. අඤ්ඤාමඤ්ඤ ලෙසින් හෝ සම්ප‍්‍රයුක්ත ලෙසින් ද හෝ යෙදෙන්නටද නොහැකිය. හේතුව නැති කිරීමේ ඵලය ප‍්‍රත්‍ය වීමෙන් අනික් අංගයන් ද, ආදීනව අංගයන් ද බලරහිත වී කුණු මුල් ගැළවී යාම සිදුවෙයි. හේතුව මුලින්ම ගළවා ඉවත් කිරීම නිසා, දැන් සමුදය වීමත්, සං උපත ලැබීමත් සිදුනොවේ. සං උපත ලැබීමක් නොවන විට සංසාර ගති ලක්ෂණයන් අහෝසි වී යයි. ඵල විපාක දීමට නම් (සං උපතක්) සමුදය ධර්මයක් උපත ලැබිය යුතුමය. ”සං” උපත ලැබීම අවසන් වූ පසුව ඵල විපාක දීමක් නොවන නිසා (ජාති) උත්පත්තියක් ලැබීමද නවතී. නමුත් නිවැරදිවම තේරුම් ගතයුතු වන්නේ අතීතයේ උපදවාගත් මේ දැන් පවතින ජීවත්වන ”ජාති”, ඵලය, මරණයෙන්ම කෙළවර කරගත යුතු බවයි. මේ ජාතිය අතීත හේතුවක ඵලයක් නිසා එය නැතිකරගත හැකි වන්නේ අතීත ශක්තිය ගෙවීයාමෙන් පමණි.

කුසලමූල පටිච්චසමුප්පාද ධර්මය යැයි විභංගප‍්‍රකරණයේ දක්වා ඇති වචන වල, පදවැල් වල නිවනක් නැත. මේ පදවැල් කියව කියවා කටපාඩම් කර ගත්තද එතැනත් නිවනක් නැත. මේ පදවැල් කියවා, තේරුම් ගෙන තමාගේම චිත්තසංථානයේම ගැබ්වී පවතින කුණුමුල් තුනම ප‍්‍රායෝගිකවම ගළවා දමා තමන්ම ඉන් නිදහස් වීම නිවනයි.

රාග, ද්වේෂ, මෝහ යන ගති ලක්ෂණ තම තමන්ම අතීතයේ කවදා හෝ සාරයැයි ඇතුළට ගෙන තැන්පත් කරගත් ගති ලක්ෂණයන්මය. ඒ ගති ලක්ෂණයන් තමා තුළ පවතින තුරාවට කුණුමුල් ක‍්‍රියාත්මක වී, රාගයෙන් කාම විතර්කයන්, ද්වේෂයෙන් ව්‍යාපාද විතර්කයන්, මෝහයෙන් පාප විතර්කයන් තමා තුළින්ම මතුවන බව තේරුම් ගත යුතුය. මේ නිසා තමන්ම එකතු කරගත් තමා තුළම ගැබ් වී පවතින දුකට මුල් වූ මෙවන් කුණු මුල් තුන තමාටම විනා පිට කෙනෙකුට ගළවා මුලින් උදුරා දමා තමාගේම චිත්තසංථානය පිරිසිදු කර ගන්නට වෙනත් කිසිම ක‍්‍රමයක්ද නැත. ඒ අනුව පටිච්චසමුප්පාද ධර්මය මනාකොට දැන, තේරුම්ගත් කෙනෙකුට සියලු කුණු සළාහැර, ප‍්‍රභාශ්වර තත්ත්වයට චිත්තය පත්කර ගැනීම අපහසු දෙයක් නොවන්නේමය.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.