චතු අරිය සච්චයන්

ලොව්තුරා බුදුපියාණන්වහන්සේලා ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන, අඩු වැඩි නැතිවම ලෝකයාට දේශණා කරනු ලබන අරිය සත්‍යයන් සතරකි.

කවුරුත් අසා ඇති පරිදි, දන්නා පරිදි මේ අරිය සත්‍යයන් හතර නම්,
1. දුක්ඛ අරිය සත්‍යය
2. දුක්ඛ සමුදය අරිය සත්‍යය
3. නිරෝධ අරිය සත්‍යය හා
4. නිරෝධගාමී මාර්ග අරිය සත්‍යය යනුවෙන් හඳුන්වයි.

මේ අරිය සත්‍යයන් හතර ම මීට වඩා සරළ සිංහල බසින් විග‍්‍රහ කරනවා නම්,
1. පැවැත්ම (රිය)
2. පැවැත්වීමට හේතුව (රිය ගමන) – දිගටම පවත්වාගෙන යාම
3. නැවැත්ම (අරිය) රිය ගමන අත්හැර අවසන් කිරීම
4. නැවැත්වීමේ මාර්ගය යනුවෙන් විග‍්‍රහ කළ හැකිය

1. පැවැත්ම යනු ”තථමේතං” යනුවෙන් විග‍්‍රහ කළ තුන් ලෝකයක පැවැත්මයි. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන තුන් ලෝකයේ පැවැත්මයි. තම පැවැත්මට හේතු වූ, නිධාන වූ, ප‍්‍රත්‍ය වූ කිසියම් ක‍්‍රියාකාරකම් කොටසක් ඇති බව තමන්ට තේරුම් ගන්නට නොහැකි වන තාක් මේ ක‍්‍රියාකාරකම් සියල්ල තමන්ම කරන, කියන, හිතන දේ් බව තේරුම් නොගන්නා තාක් ”දුක්ඛ අරිය සත්‍යය” අවබෝධ නොවීමයි. තමන් තුළම පවතින තමන්ම හුරු පුරුදු කරගත් උපාදානය කරගැනීමේ ”ගති” පිරිසිඳ දැක ගැනීම, දුක පිළිබඳව අරිය සත්‍යයන් පිරිසිඳ දැක ගැනීමයි. (පරිඤ්ඤාතං – පරිඤ්ඤෙයියං) ප‍්‍රිය, අප‍්‍රිය ගති දෙකම සිඳ දමා උපේක්ඛා සිතක් පැවැත්වීමට පුරුදු වීම පංචස්කන්ධයම උපාදානය කරගැනීමෙන් නිදහස් වීමට මාර්ගයයි.

2. පවත්වාගෙන යාම යනු හේතුඵල පරම්පරාවක් එක දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන හේතුන් දිගින් දිගටම අඛණ්ඩවම බිහි කරගෙන යාමයි. සමුදය අරිය සත්‍යයද නිවැරදිවම අවබෝධ කරගන්න නම් සං+උපත ලබන්නේ තම චිත්තසංථානයේදීම බවත් තේරුම් ගෙන සං ප‍්‍රහාණය කර ඉවත් කළ හැකි බවත් ”සං” නිරෝධ කළ හැකි බවත් තේරුම් ගැනීමයි. සංසාර රිය ගමන නොකඩවාම දිගටම පවත්වාගෙන යන්නේ ”සමුදය” බිහිවන නිසාමය. මේ රිය ගමන අරිය කිරීමට නම් රිය ගමන නැවැත්වීමට නම් සමුදය ප‍්‍රහාණය කළයුතු බව දැන තේරුම් ගෙන ”පහාතබ්බංච පහීණං” කිරීම සමුදය අරිය සත්‍යය අවබෝධ වීමයි.

3. පැවැත්මේ නැවැත්ම නිරෝධ අරිය සත්‍යයයි. මේ පැවැත්ම දිගින් දිගටම නොකඩවාම රිය ගමනක් සේ පවත්වා ගෙන එන්නට උපකාර වූ සමුදයම නිරෝධ කර අනුත්පාද තත්ත්වයට පත්කර ගැනීම නිරෝධ අරිය සත්‍යාවබෝධයයි. මෙය ”සච්චිකිරියාච – සච්චිකරෝති” යනුවෙන් පෙන්වා වදාළ සාක්ෂාත් කරගත යුතු දෙයකි. එනම් අනුත්පාද නිරෝධය ප‍්‍රත්‍යක්ෂ වශයෙන් සාක්ෂාත් කර ගැනීම නිරෝධ අරිය සත්‍යාවබෝධයයි. ඒ සඳහා ”සං” දැක සං+උදය වීම දැක, ”සං” නිරෝධ කළ යුතුමය. ”යං කිංචි සමුදය ධම්මං, සබ්බත්තං නිරෝධ ධම්මං” බව දැකගත යුතුය.

4. නැවැත්වීම මාර්ග ප‍්‍රතිපදාවයි. සංසාර රිය ගමන අරිය තත්ත්වයට පත්කර මතු නැවත නූපදින ලෙසින්ම රිය ගමන නවතා දැමීම ඒ රිය ගමන පැවැත්වීම සඳහා උපකාර වූ හේතු සියල්ලමත් අනුත්පාද වශයෙන්ම සිඳ දැමිය යුතුය. පැවැත්ම සඳහා උපකාර වූ, රිය ගමනට හේතු වූ මූලික ගති වන රාග ගතිය, ද්වේෂ ගතිය සහ මෝහ ගතිය මුලින්ම සිඳදමා අරිය තත්ත්වයට පත්වන්නට නම් කිසි යම් නියත ප‍්‍රතිපදා මාර්ගයක් ක‍්‍රියාත්මක කළ යුතුය. මේ නිසා නිරෝධගාමී මාර්ග ප‍්‍රතිපදා අරිය සත්‍යය භාවේතබ්බංච භාවිතං” යනුවෙන් පෙන්වා වදාළහ. මේ අනුව සතර වන අරිය සත්‍යය නිරතුරුවම භාවිතා කළ යුතු භාවිතයට හුරු පුරුදු කරගෙන පුහුණු කරගත යුතු ප‍්‍රතිපත්ති මාර්ගයකි.

1.    දුක්ඛං අරිය සච්චං    –    පරිඤ්ඤාතං පරිඤ්ඤෙයිය
2.    සමුදයං අරිය සච්චං    –    පහාතබ්බංච පහීණං
3.    නිරෝධ අරිය සච්චං    –    සච්ජිකා තබ්බංච සච්ජිංකරෝති
4.    නිරෝධගාමී මග්ග අරිය සච්චං    –    භාවේතබ්බංච භාවිතං

මේ අනුව මේ අවස්ථා හතරේම වෙන වෙනම දැන හඳුනාගත් ක‍්‍රියාකාරකම් හතරක් වෙන් කොට පැහැදිළිවම විග‍්‍රහකර ඇත.

1. සංසාර රිය ගමන දිගින් දිගටම පවත්වන්නට උපකාර වන හේතු පිරිසිඳ දැන අවබෝධ කර ගත යුතුයි. දුක යනු ”ඵලයකි” ”විපාකයකි.” ”දුක විඳවන්නකි” යන්නද තේරුම් ගත යුතුයි. මේ දුක විඳින්නට මුල්වන හේතුව පැවැත්ම බව, පිරිසිඳ දැක තේරුම් ගැනීම අවබෝධ කරගැනීම දුක්ඛ අරිය සත්‍යාවබෝධයයි. රිය අරිය තත්ත්වයට පත්කර ගන්නට උපකාර වන පළමුවන අරිය සත්‍යය දුක පිරිසිඳ දැන දුක දැක ගැනීමයි. එනම් ප‍්‍රිය, අප‍්‍රිය යන අන්තගාමී ගති තමන් ළඟම ක‍්‍රියාත්මකව පවතින තුරාවටම දුක උරුම වන බවත්, ප‍්‍රිය අප‍්‍රිය ගති සිතින් ඉවත් කර සිඳ දමා, උපේක්ඛා සිතින් සෑම දෙයක් දෙසම ඉවසා, විමසා බලන්නට, දකින්නට, හිතන්නට පුරුදු වීමෙන්ම, උපාදානය කරගත් සියල්ලෙන්මත් නිදහස් වී, රිය අරිය තත්ත්වයට පත්කරගත හැකි බවත් අවබෝධ කරගැනීම දුක්ඛ අරිය සත්‍යාවබෝධයයි.

2. මේ ජීවිත පැවැත්ම දිගින් දිගටම පවත්වා ගැනීමට උපකාර වන එකම සාධකය ශක්තිය සමුදය ශක්තියයි. සමුදය යනු සං+උදය වීමයි. සමුදය බිහි වන්නේම සිතක පවතින කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නිසාමය. රාග, ද්වේෂ, මෝහ යන ගති තුනම මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන්නෙහි අඩංගුය. තණ්හාව නිසාම අවිද්‍යාවද සිතක උපත ලබා මෝහයෙන් මනස විකෘති කර මිච්ඡ දෘෂ්ඨියට ද පුද්ගලයාව පත් කරවයි.

කාම තණ්හා යනු ඇස, කන, නාසය, දිව, කය, මන ආදී ඉන්ද්‍රියයන් පිනවීමට රමණය කිරීමට යම් තැනක හා වීමයි. කාම තණ්හාවෙන් කරන, කියන, හිතන සියලුම දේ නිසා සිදුවන්නේ ඉන්ද්‍රියන් පිනවීමයි. සතුටු කරවීමයි. සං උත්පාදනය කිරීමත් මෙයමයි.

භව තණ්හා යනු යම් ගතියක්, ගති බවට පත්වීමට තැනක හා වීම භව තණ්හාවයි. පෘථග්ජන පුද්ගලයකු තුළ භව තණ්හාව පවතින තුරාවට තුන් ලෝකයම උපාදානය කරගනී. පොහොසත් බව, ධනවත් බව, බලවත් බව, උගත් බව, බුද්ධිමත් බව, රූපවත් බව, නපුරු බව, වෛරී බව, රාග බව, ද්වේෂ බව, මෝහ බව ආදී සියලු ”ගති” භව තණ්හාව නිසා සිතකම උත්පාදනය වෙයි. යම් බවකට පත්වීමේ ආශාව, කැමැත්ත භව තණ්හාවයි. මේ බවට පත්වීම නිසාද සං උපත ලබයි.

විභව තණ්හා යනු යම් තත්ත්වයකට, බවකට පත් වූ පසුව ඒ බව, ඒ තත්ත්වය, දිගින් දිගටම පවත්වාගෙන යාම සඳහා කරන කියන හිතන ක‍්‍රියාකාරකම් කිරීමයි. විභව තණ්හාව බොහෝ විටම ද්වේෂය, වෛරය, ව්‍යාපාදය ආදී ගති ලක්ෂණයන් නිසාම සිතක ඇති කරවයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තුනම පුද්ගලයාගේ සිතක ඉතා කෙටි කාලයක් තුළදී පවා ඇති වන ගති තුනකි. මෙය උදාහරණයකින් පැහැදිළි කරගත යුතුයි.

පුද්ගලයෙකු තමන්ගේ පැවැත්ම සඳහා කය රමණය කිරීමට, ඉන්ද්‍රියයන් පිනවීමට කරන, කියන, හිතන දේ, කාම තණ්හා කොටසට අයත්ය. ඒ පුද්ගලයාම රජ බවට පත් වන්නට සිතා, ඒ සඳහා කරන, කියන, හිතන සියලුම දේ ”භව” තණ්හාව නිසාම රජ බවට පත් වීමට තණ්හාවෙන්ම කරන ක‍්‍රියාවන්ය. එසේ රජු බවට පත් වූ පුද්ගලයා තමා උපාදානය කරගත් තණ්හාවෙන් අල්ලාගත් ”රජබව” දිගටම දිවි ඇති තෙක්ම පවත්වා ගෙන යන්නට කරන, කියන, හිතන බොහෝමයක් දේ විභව තණ්හාවෙන්ම කරන දේවල්ය. විභව යනු පත් වූ තත්ත්වයෙන් වෙන් වීමට, අල්ලාගත් දේ අතහැරීමට ඇති අකැමැත්ත, භය නිසා කරන කියන දේය. රජ යුද්ධ කරන්නේ, මිනිසුන් මරන්නේ, නීති පනවන්නේ, හිරගෙයි, දඟගෙයි, මිනිසුන් දමන්නේ, රජ අණට මිනිසුන් අවනත නොවීම නිසාය. රජ බව අහිමි වේය, තම බලය නැති වේය යන භයෙන් ද්වේෂයෙන් කරන, කියන, හිතන මෙවන් සියලු දේ විභව තණ්හාව නිසාම සිදු කරයි. මේ විභව තණ්හාව රජට පමණක් නොව හැම පෘථග්ජන පුද්ගලයා තුළම පවතී. තමන් ලබා උපන් මිනිස් ජීවිතය නැති වී, මරණයට පත්වේය යන මරණ භය, දුක ඇති වන්නේ විභව තණ්හාව නිසාමය. මරණයෙන් බේරෙන්නට කරන සියලු දේ විභව තණ්හාව නිසාම කරයි.

මේ අනුව බොහෝ අට්ඨකථාකරුවන් තම පොත්වල ලියා පෙන්වා දී ඇති පරිදි විභව තණ්හා යනු දේව, බ‍්‍රහ්ම ආදී අරූපී තලවල උපදින්නට ඇති ආශාව, තණ්හාව පමණක් නම් නොවේ. මේ ජීවත්වන මොහොතේදීම ඇති වන තණ්හාවකි. පවත්වාගෙන යන ජීවිතයෙන් වෙන්වීමට ඇති අකැමැත්ත ”විභව” තණ්හාවයි.

රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, කාම තණ්හාවෙන්, භව තණ්හාවෙන් හා විභව තණ්හාවෙන් උපාදානය කර අල්ලා, සිතින්ම සාදා සකස් කරගෙන, පවත්වා ගෙන යන තුන් ලෝකයම සාරවත්ය, වටිනවාය, මිහිරිය, ප‍්‍රියය යනුවෙන් සිතින්ම ඇති කරගත් මුළා දෘෂ්ඨිය, මිච්ඡුා දෘෂ්ඨියයි. වැරදි දැක්මයි. මේ ”සංසාර රිය ගමනට හේතුව, මේ මුළා දැක්මයි. සියලු දුක් විඳින්නට හේතුවද මේ මුළා දැක්මෙන් තණ්හාවෙන්ම කටයුතු කිිරීමයි. ”සං” පිළිබඳව හෝ ”සං” උපදින ආකාරය හෝ නොදැකීමයි. ”ධම්මෝ සංදිට්ඨිකෝ” නොවීමයි.

3. සමුදය නිරෝධ කළ හැකි බව, සමුදය නිරෝධ කළ යුතු බව, ඊට ක‍්‍රමවේදයක් ඇති බව, තේරුම් ගතහැකි වන්නේ අරිය තත්ත්වයට පත් වීමෙන්මය. ”සං” දැක නොගත් පුද්ගලයෙකුට සමුදය වීම, තම චිත්තසංථානය තුළින්ම බිහිවන, උත්පාදනය වන දෙයක් බව නොදන්නා කෙනෙකුට සමුදය නිරෝධ කිරීම කළ නොහැකිය. සමුදය දැක සමුදය නිරෝධ කළ හැක්කේ ”සම්මා දිට්ඨියට” පත් වූ කෙනෙකුටම පමණි. එනම් ”ධම්මෝ සංදිට්ඨිකෝ” යනුවෙන් පෙන් වූ අරිය ධර්මය යථාපරිදි අවබෝධ කරගත් ”සං” වලින් මිදී නිදහස් වීමේ ශාන්තිය, නිරාමිස සුවය දැකගත්, සම්මා දිටිඨියට පත් වු කෙනෙකුටමය. මේ අනුව නිරෝධ අරිය සත්‍යය සාක්ෂාත් කරගත යුතු ශාන්ත බවට, ප‍්‍රණීත බවට පත්වන්නට උපකාර වන ධර්මයයි. ”නිරෝධ” යනුවෙන් අදහස් කළේ නැති කිරීමක් නොවේ. ”නිර්උදා” යන්නයි. ”නිර් උදා” යනු අනුත්පාද යන අර්ථයයි. සමුදය අනුත්පාද වශයෙන් නිරෝධ කිරීම මඟින් මිස වෙනත් ක‍්‍රමයකින් සංසාර පැවැත්ම නැවැත්මක් බවට පත් කර ගත නොහැකිය. පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යාම සංසාර රිය ගමනයි. පැවැත්ම නම් වූ රිය, දිගින් දිගටම ගමන් කරවීමට උපකාර වන්නේ සමුදය ශක්තියයි. මේ රිය ගමන නැවැත්වීමට නොවරදින හා එකම ප‍්‍රතිකර්මය නම් බිහිවන සමුදය ශක්තිය අනුත්පාද වශයෙන්ම නිරෝධ කිරීමයි. එනම් සමුදය උපත ලබන මුල් සිඳ දැමීමයි. රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල යන සමුදය උත්පාදනය වන මුල් සිඳ දමා මුළින්ම උගුල්ලා දැමීම අවසාන සත්‍යය වූ නිරෝධගාමී මාර්ග අරිය සත්‍යයි.

4. ”යං කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං” යන මාගධී පදවලින් මේ අදහස මොනවට පැහැදිළි කරයි. චිත්තසංථානයේ උපදින යම් සමුදය ධර්මයක් ඇද්ද ඒ සියල්ලම අනුත්පාද ලෙසින්ම නිරෝධ කළ යුතු, නිරෝධ කළ හැකි, ධර්මයෝය. ඒ සඳහා ”සම්මා දිට්ඨියටම” පත් වී ඊළඟට අනෙක් ”සම්මා” අංගයන් ද සම්පූර්ණ කරගත යුතුය. මේ සඳහා පහසුම, සරළම නොවරදින එකම මාර්ගය සතර සතිපට්ඨාන භාවනා ක‍්‍රමයයි. සතර සතිපට්ඨාන භාවනා ක‍්‍රමයේ පෙන්වාදුන් අවස්ථා හතරම එනම් කායේ කායානුපස්සනාව, වේදනා වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව හා ධම්මේ ධම්මානුපස්සනාව අනුපූරක ලෙසින් භාවිතාකර ඒ ඒ අරමුණු සිතට ලැබෙන හැම මොහොතේම අනාපාන ක‍්‍රමවේදය භාවිතා කළ යුතුයි. සතියෙහි පිහිටා කටයුතු කරන්නට සිත පදම් කර ගැනීම ”භාවේතබ්බංච භාවිතං” යනුවෙන්ද පෙන්වා දුන් අරිය මාර්ග ප‍්‍රතිපදාවයි. මේ අනුව සතියෙහි පිහිටා සතියෙන් කටයුතු කරන පුද්ගලයෙකු නිතරම අරිය මාර්ගයේ යන, අරිය ධර්මය අවබෝධ කරගත් අරිය ප‍්‍රතිපදාවම අනුගමනය කරන්නෙකි. මේ නිසාම අරිය සත්‍යයන් අවබෝධ කරගත් අරහතුන් වහන්සේ කෙනෙකු බවටද පත්වෙන්නේමය.

අද සිංහල බෞද්ධයා පොතපතින් කියවා අසා දැන, කටට හුරුකරගත් පදයක් වන්නේ ”ආර්ය” යන සංස්කෘත පදයයි. ”ආර්ය සත්‍යයන් හතර, චතුරාර්ය සත්‍යය, ආර්යන් වහන්සේ, ආර්ය සීලය, ආර්ය සමාධිය” ආදී වශයෙන් හැම කෙනෙකුම අසා දැන, කටට හුරු වූ ”ආර්ය” කියන පදය, බුද්ධ භාෂිත මාගධී (පාලි) පදයක් නොවේ. එය සිංහල වචනයක් ද නොවේ. එය සංස්කෘත භාෂාවේ එන පදයකි. මේ සංස්කෘත පදයන්ට අර්ථ, ධර්ම, නිරුක්ති හෝ පටිභාන පටිසම්භිදා විග‍්‍රහයන් ඉදිරිපත් කරන්නටද නොහැකිය.

මේ ලෙසින් බෞද්ධ ලෝකයා අද වැරදි ආකාරයට භාවිතා කරන නමුත්, කටට හුරු ”ආර්ය” යන වැරදි පදය මාගධී බුද්ධ භාෂිතයේ වදාළ ”අරිය” යන උතුම් අර්ථයෙන් ගෙනහැර දක්වන පදයේ අර්ථය, ධර්මය මතුකර දෙන්නේ නැත. ”අරිය” යන මාගධී පදයේ අර්ථය රිය අත්හැරීම, (අ+රිය) රිය ගමන අවසන් කිරීම යන අර්ථයයි. රිය යනු ගමන් කරන්නට උපකාර වන දෙයයි. ”අනරිය” යන්නද රිය ගමන අත් හරින්නට නොහැකිව ගමන දිගටම පවත්වා ගැනීමයි. (අ+න+රිය) ඒ අනුව අනරිය (රිය) අරිය තත්ත්වයට පත්කර ගැනීමෙන් සංසාර ගමන නිමාකොට පැවැත්ම අවසන් කරගෙන අපැවැත්මක් බවට පත්කරගත හැකි වන්නේ අරිය ධර්මය අවබෝධ කරගැනීමෙන් පමණි. ”ආර්ය” යන සංස්කෘත පදයෙන් මෙය සම්මතයක් ලෙසින් භාවිතයේ පවත්වාගෙන ආවත් එය ”පදපරම” අදහසක් මිස ඉන් පරමාර්ථ ධර්මයක් ඉස්මතු වන්නේ නැත. මේ නිසා හැම බෞද්ධයෙකුම ”අරිය” යන මාගධී පදයේ අර්ථය හා ධර්මය තේරුම් ගෙන අරිය සත්‍යයන් හතර තේරුම් ගත යුතුය.

මේ සඳහාම උපකාර වන මීටම සම්බන්ධ තවත් පදයක් ද මාගධී බුද්ධ භාෂිතයේ ඇත. එනම් ”විරිය” යන පදයයි. ”වි” යන්නෙන් අදහස් කළේ වෙන් කිරීමයි. කැමැත්තෙන්, අවබෝධයෙන් යමකින් වෙන්වීම, වෙන් කිරීම යන අර්ථයයි, ”විරිය” යන පදයේ රිය, අරිය තත්ත්වයට පත්කර ගන්නට උපකාර වන අත්හැර ප‍්‍රහාණය කර දමා, වෙන්වීම විරිය අර්ථ ගන්වා පෙන්වයි. මේ අනුව ”අනරිය (රිය) විරිය, අරිය” යන්න මෙහි තිපරිවට්ටයයි. රිය තත්ත්වයෙන් අරිය තත්ත්වයට පත් වෙන්නට නම් ”විරිය” අත්‍යවශ්‍යයෙන්ම පවත්වාගත යුතු ගුණයකි. විරිය ඉන්ද්‍රියය, විරිය සම්බොජ්ජංගය, සම්මා විරිය (සම්මා වායාම) ආදී හැම තැනකදීම මාගධී බුද්ධ භාෂිතයේ එන මේ පදය, ”විරිය” මිස වීරිය හෝ වීර්යය යන පදය නොවේ. අද මේ පදයද ව්‍යවහාරයේ භාවිතයේ ඇති පරිදි එහි අර්ථය වීර්යයක් උත්සාහ කිරීමක් සේ වැරදි ලෙසින් අර්ථ ගන්වයි. නමුත් මෙහිදී වෙන් කිරීම, වෙන්වීම, ප‍්‍රහාණය, පහතබ්බා, පහාණති යන පදවලින් ද මාගධී භාෂාවේ පෙන්වා දුන් රිය, විරිය අරිය යන පද වලින් ද අර්ථ ගැන්වූවකි.

මේ අනුව ”ආර්ය, වීර්යය” යනාදිය සංස්කෘත භාෂාවේ එන පද මිස බුද්ධ භාෂිතයේ එන පද නොවේ. බුද්ධ ධර්මය ත‍්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කළ පරිවර්තකයින් විසින් යොදාගත් වැරදි සංකර පද සමූහයකි. මේවා උතුම් මාගධී බසත්, හෙළ බසත් විකෘති කරමින් සංස්කෘත භාෂාවේ එන බොහෝ වචන අද වන විට සිංහල භාෂාවට ඇතුලු කරගෙන ධර්ම අර්ථයන් විකෘති කළේ ත‍්‍රිපිටකය සිංහලයට පර්වර්තනය කිරීමේදීය. මාගධී භාෂාවෙන් දේශණා කළ උතුම් නිවන් මාර්ගය, බුද්ධ භාෂිතය අද වන විට සිංහල බෞද්ධයාට ප‍්‍රායෝගිකවම තේරුම් ගන්නට, අනුගමනය කරන්නට නොහැකි වන තත්ත්වයට පත් කර ඇත්තේ ත‍්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කිරීමේ දී යොදාගත් මෙවැනි සංස්කෘත පදයන් නිසාමය. සංස්කෘත භාෂාව සුන්දර භාෂාවකි. නමුත් මාගධී භාෂාව පර්මාර්ථ ධර්මය දේශණා කිරීම සඳහාම සකස් වූ බුද්ධ භාෂිතයකි. උතුම් බුද්ධ භාෂිතය ඉදිරිපත් කිරීමට සියලුම බුදුවරයින්වහන්සේලාම භාවිත කළේ මාගධී ශබ්ද සංඥාවන්ය. මේ මාගධී භාෂාවේ එන පදවලට වෙනත් කිසිම භාෂාවක නැති අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන වශයෙන් අර්ථ නානත්වයක් ඉදිරිපත් කළ හැකිය. එනම් ”සිව්පිළිසිඹියා” ශක්තියක් ලබාගත යුත්තේ ලබාගත හැක්කේ පවිත‍්‍ර මාගධී පද තුළින්ම පමණි. වෙනත් කිසිම භාෂාවක පදවලට මේ ආකාරයේ අර්ථ නානත්වයක්, ධර්ම නානත්වයක්, නිරුක්ති නානත්වයක්, පටිසම්භිදා නානත්වයක් විග‍්‍රහ කර පෙන්වා දිය නොහැකිය. සිව්පිළිසිඹියා දේශණාවක් කරන්නට නම් මාගධී භාෂාවම උපයෝගී කරගත යුතුය. උතුම් බුද්ධ භාෂිතය ශුද්ධ මාගධී පදවලින් යුක්තය.

දුක්ඛ අරිය සත්‍යවබෝධය යනු ”දුක” නැමැති ඵලය උරුම වන්නට, උරුම කරගන්නට නිධාන වූ, මුල් වූ, ප‍්‍රත්‍ය වූ කරුණු නිවැරදිවම අවබෝධ කරගැනීමයි. මෙයම ”සංසාර ගැටළුව” පිළිබඳ යථාවබෝධයක් ලැබීමයි. සාරයි, හොඳයි, යහපත්, ප‍්‍රියයි, මනාපයි” යනුවෙන් පෘථග්ජන ලෝකයා පංචස්කන්ධයම උපාදානය කර ගැනීම ”සංසාර” ගැටළුවට එකම හේතුවයි. මෙසේ උපාදානය කර ගන්නා පංචස්කන්ධයම තමන්ට අයිති දේවල් නොවේ. ඒවා ස්වභාවධර්මයටම අයිති ”ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන මූලික සතර මහා ධාතු කොටස්ය. මේ සතර මහා භූතයන් පරිහරණය කිරීමේ හා භාවිතා කිරීමේ අයිතියක් හා හිමිකමක් උපන් හැම සත්ත්වයෙකුටම උරුමයෙන්ම, උපතින්ම ලැබෙයි. නමුත් ඒවා උපාදානය කරගෙන මගේ, මම, මට අයිති වශයෙන් තනි අයිතියට, භුක්තියට වෙන් කර ගැනීමේ හැකියාවක්, බලයක් කාටවත්ම නැත. තමන්ට අයිති නැති, හිමිකරගත නොහැකි මේ සතර මහාභූත උපාදානය කරගන්නා හැම විටකදීම ඒ සත්ත්වයාම, පුද්ගලයාම දෙවියාම, මාරයාටද ණය වෙයි. ණය ගණුදෙනුවකටද පටලැවෙයි. ණයකරුවෙකු බවටම පත්වෙයි. මේ ණය ගණුදෙනුවෙන් සහමුළින්ම මිදී නිදහස් වන්නට නම් උපාදානය කරගත් පංචඋපාදානස්කන්ධයම අතහැර ”සබ්බූපදී පටිනිස්සග්ග” යන තත්ත්වයටම පත්විය යුතුයි. එනම් උපාදානය කරගන්නටම හුරු පුරුදු වී, සකස් වී පවතින පටි ලෙහා ගළවා දමා බැඳීමෙන්මද නිදහස් විය යුතුය. ”සංයෝජන’’ යනු ප‍්‍රියයි මනාපයි” කියා පෘථග්ජන ලෝකයා පංචස්කන්ධයම උපාදානය කර ගැනීම ”සංසාර” ගැටළුවට එකම හේතුවයි. මෙසේ උපාදානය කර ගන්නා පංචස්කන්ධයම තමන්ට අයිති දේවල් නොවේ. ඒවා ස්වභාව ධර්මයටම අයිති ”ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන මූලික සතර මහා ධාතු කොටස්ය. මේ සතර මහා භූතයන් පරිහරණය කිරීමේ හා භාවිතා කිරීමේ අයිතියක් හා හිමිකමක් උපන් හැම සත්ත්වයෙකුටම උරුමයෙන්ම උපතින්ම ලැබෙයි. නමුත් ඒවා උපාදානය කරගෙන, මගේ, මම, මට අයිති වශයෙන් තනි අයිතියට, භුක්තියට වෙන් කර ගැනීමේ හැකියාවක් බලයක් කාටවත්ම නැත. තමන්ට අයිති නැති, හිමිකරගත නොහැකි මේ සතර මහාභූත උපදානය කරගන්නා හැම විටකදීම ඒ සත්ත්වයාම, පුද්ගලයාම, දෙවියාම මාරයාටද ණය වෙයි. ණය ගණුදෙනුවකටද පටලැවෙයි. ණයකරුවෙකු බවටම පත්වෙයි. මේ ණය ගණුදෙනුවෙන් සහමුළින්ම මිදී නිදහස් වන්නට නම් උපාදානය කරගත් පංචඋපාදානස්කන්ධයම අතහැර ”සබ්බූපදී පටිනිස්සග්ග” යන තත්ත්වයටම පත්විය යුතුයි. එනම් උපාදානය කරගන්නටම හුරු පුරුදු වී සකස් වී පවතින පටි ලෙහා ගළවා දමා බැඳීමෙන්මද නිදහස් විය යුතුය. ”සංයෝජන” යනු පටි දහයකි. මේ පටි දහයම නිසා රිය ගමන යන්නට ”මම” කියා කෙනෙකු නැවත නැවතත් නිරන්තරයෙන්ම සකස් කරගනී. පෘථග්ජන පුද්ගලයෙකු ජීවත්වන හැම මොහොතකම කරන්නේ මේ පටි (සංයෝජන) දහයම අලුත්වැඩියා කරගැනීමට, ප‍්‍රතිසංස්කරණය කරගැනීමට අවශ්‍ය වන සමුදය (සං+උදය) ශක්තිය බිහිකර පටි නැවත නැවතත් සකස් කර ගැනීමයි. සංයෝජනය තද කරගැනීමයි. මෙය ”සංවට්ට” ක‍්‍රියාවලියයි.

”යායං තණ්හා පොනොභවිකා” යනුවෙන් ධම්මචක්කපවත්තන සූත‍්‍රයේ ප‍්‍රකාශ කර වදාළේ මෙයයි. පොනොභවිකා යනු පුන පුනා, නැවත නැවතත්, නොනවත්වාම, සමුදය බිහි කිරීම යන්නයි. ”යායං” යනු එක යායටම, එක දිගටම මේ සමුදය ශක්තිය බිහිකරන ක‍්‍රමවේදය පෙන්වා දීමයි. රාගයෙන් යමකට ඇලෙන, මත්වන හැම විටම, ”සං” උපදී. ද්වේෂයෙන් යමකට ගැටෙන, රත්වෙන, ගිනි ගන්නා හැම විටකම ”සං” උපදී. මානයෙන්, මෝහයෙන්, මමත්වයෙන් මුළාවන හැම විටකදීම ”සං” උපදී. සං උපත යනු සමුදයයි. මේ අනුව මේ සංසාර රිය ගමන නොනවත්වාම, දිගින් දිගටම පවත්වාගෙන යන්නට උපකාර වෙන එකම ශක්තිය සමුදය ශක්තියයි. රාගයෙන් ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරන තාක්කල් සමුදය බිහිවන නිසා රිය ගමනද දිගටම සිදුවෙයි. සමුදය බිහි වන්නට උපකාරක වූ, නිදාන වූ හේතුවම සොයා දැන සමුදය බිහිවෙන මුල් (සං+උදය+උච්ෙඡ්දනය) සමුච්ෙඡ්දනය වශයෙන්ම ප‍්‍රහාණය කිරීමම අරිය තත්ත්වයට පත්වීමයි. එනම්, ”සං” උපදින මුල් සිඳ දමා රාග මුල ගළවා දමා, ද්වේෂ මුල ගළවා දමා, මෝහ මුල ගළවා දමා ”සං” උපත ලැබීමේ සියලු මාර්ග වසා දැමීම නිවනයි. එය සමුදය නිරෝධයයි.

මේ අනුව සමුදය අනුත්පාද නිරෝධයම නිවනයි. රිය ගමන අරිය තත්ත්වයට පත්කර ගන්නට නම් සමුදය අනුත්පාද ලෙසම නිරෝධය කර, රිය ගමනට මෙතෙක් කල් සැපයූ ඉන්ධන සහමුළින්ම කපා දැමිය යුතුයි. මෙය සමුච්ඡ්දනප්ප‍්‍රහාණයයි.

හේතුව හා ඵලය යන දෙකම දැක හේතුවම නොකිරීමෙන් ඵලය නොලබන, ඵලය උරුම කර නොගන්නා තත්ත්වයටම පත්වීම නිවනයි. ”අනරිය තත්ත්වයෙන් මිදෙන්නට නම් බුද්ධ තත්ත්වයට පත් වන්නට බලාපොරොත්තු වන හැම කෙනෙකුම ”අරිය” පර්යේෂණයක් කළ යුතුමයි. ලොව්තුරා බුද්ධත්වයට පත්වන, පසේ බුද්ධත්වයට පත්වන අරහත් බුද්ධත්වයට පත්වන හැම කෙනෙකුම ”අරිය පර්යේෂණයක්” කිරීමෙන්ම චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගත යුතුය. ලොව්තුරා බුද්ධත්වයට පත්වන බුදුපියාණන් වහන්සේ කාගේවත් උපකාරයක් නැතිවම ස්වයංභූ ඥාණයෙන්ම, ස්වඋත්සාහයෙන්ම මේ ”අරිය” පර්යේෂණ සිදුකර උතුම් ”අරිය” සත්‍යයන් හතරම අවබෝධ කරගනිති. නමුත් අරහත් බුද්ධත්වයට පත්වන සියලුම බුද්ධ ශ‍්‍රාවකයින්ට අරිය පර්යේෂණ කළයුතු නිවැරදි ආකාරය බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාරා ඇත. උතුම් බුද්ධ දේශණාවෙහි ”පණ”, ජීවය පවතිනා තුරු, චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගෙන සංසාර රිය ගමන නැවත්වීමට, නිවන් අවබෝධ කරගන්නට මිනිසුන්ට හැකියාව ඇත.

ඉදංඛෝ පණ භික්ඛවේ දුක්ඛං අරිය සච්චං ඉදංඛෝ පණ භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සච්චං ඉදංඛෝ පණ භික්ඛවේ දුක්ඛ සමුදය නිරෝධ අරිය සච්චං ඉදංඛෝ පණ භික්ඛවේ දුක්ඛ සමුදය නිරෝධ ගාමිණී පටිපදා අරිය සච්චං යනුවෙන් ප‍්‍රකාශ කළ පාඨයන්හි ”පණ” පිහිටුවීම මැනවින්ම ප‍්‍රකාශ කර වදාරා ඇත. ”පණ” පිහිටුවීම යනු රිය, අරිය තත්ත්වයට පත් කිරීමයි.

මේ අනුව සදාකාලික වූ, අකාලික වූ චතුඅරිය සත්‍යයන් ලොව හැමදාමත්ම පවතී. ලොව්තුරා බුදුපියාණන්වහන්සේ කෙනෙකුන් විසින් කරන්නේ මේ අරිය සත්‍යයන් ”පණ” පිහිටුවීමයි. ලෝකයාගේ භාවිතයට සුදුසු සේ අරිය සත්‍යයන් ”පණ” පිහිටුවා දේශණා කර, මතුකර විග‍්‍රහ කරදීමයි. අරහතුන්වහන්සේ කෙනකුට හෝ පසේ බුදු කෙනෙකුට පවා මේ අරිය සත්‍යයන් ”පණ” පිහිටුවීම කළ නොහැකිය. අබුද්ධෝත්පාද කාලය යනු මෙසේ ”පණ” පිහිට වූ අරිය සත්‍යයන් භාවිතයෙන් ඉවත් වී අභාවිත තත්ත්වයට පත්වීමයි.

මෙසේ සියලුම ලොව්තුරා බුදුපියාණන්වහන්සේලා විසින් ”පණ පිහිටුවා” දේශණාකර වදාරණු ලබන බුද්ධ ධර්මය නම් දුක් බිහි කිරීමට (පුනබ්භවෝ) හේතුවන මූලික හේතුවම සොයාදැන ”සමුදය” උදුරා දමන ක‍්‍රමවේදය පෙන්වා දීමයි. බු + උද්ද යනු දුක් බිහි කරන්නට උපකාර වන හේතුව සහමුළින්ම උදුරා දැමීම යන අදහසයි. පැවැත්ම, බිහිකිරීම යනු සමුදය යනු, රාග බව, ද්වේෂ බව, මෝහ බව නිසාම සිදුවන්නකි. මේ අනුව රාග මුල උදුරා දමා, ද්වේෂ මුල උදුරා දමා, මෝහ මුල උදුරා දමා නිදහස්වීම ”බුද්ධ” යන පදයේ ධර්මාර්ථයයි. පැවැත්ම සඳහා උපකාර වන ”සං” බිහිකිරීම උදුරා දමා නිදහස්වීම පෙන් වූ ධර්මය බුද්ධ ධර්මයයි.

දුක යනු ඵලයකි. විපාකයකි. දුක යන්න අවිද්‍යාව නිසාම, නොදන්නාකම නිසාම සත්ත්වයා උරුම කරගන්නා ඵල විපාකයකි. දුක ඇත්තේම ලෝකය තුළමය. ලෝකය යන්න තමාම, තම සිතින්ම සදා සකස් කරගත්, අල්ලා උපාදානය කරගත්, උපාදානය කරගෙන පරිහරණය කරනු ලබන්නකි. මෙසේ අල්ලා උපාදානය කරගෙන, පරිහරණය සඳහා සකස් කරගත් ලෝකය තමා කැමති සේ නොපැවතීම, කැමති සේ දිගටම පවත්වා ගන්නට නොහැකිවීම දුකයි. එවන් ලෝකයක් උපාදානය කර නොගත්තේ නම් දුකක් ද උරුම නොවේ.

සංසාර රිය ගමන යනු පි‍්‍රය මනාප සේ, කැමති සේ නිච්ච සේ, තමන් හදාගත් ලෝකය දිගින් දිගටම පවත්වාගෙන යන්නටම හිතන ඒ සඳහාම කරන, කියන, සකළවිධ වූ ක‍්‍රියාකාරකම් සමූහයකි. සෑම පෘථග්ජන සත්ත්වයෙකුම, පුද්ගලයෙකුම දැන හෝ නොදැන හෝ කරන සකළවිධ ලෞකික ක‍්‍රියාකාරකම් කරන්නේ හිතන්නේ තමන්ම හදාගත් තමාගේම ලෝකය, දිගටම ප‍්‍රිය මනාප සේ පවත්වොගෙන යන්නට ඇති වූ බලවත් කැමැත්ත නිසාමය. මෙසේ තමන්ම හදාගත් ලෝකය තමන්ට කැමති සේ ”නිච්ච” සේ, පවත්වාගන්නට දරණ උත්සාහයද දුකකි. එසේ කැමති සේ, නිච්ච සේ පවත්වාගන්නට, නවත්වා ගන්නට නොහැකි වීමද දුකකි. පංචස්කන්ධය උපාදානය කර ගැනීමෙන්ම මේ දුක උරුම වෙයි.

මේ සත්‍යයන් යථා පරිදි දැකගන්නට හැකි වී නම් එයම දුක්ඛ අරිය සත්‍යය පිරිසිඳ දැකීමයි. මේ පැවැත්මේ ”අරිය” සත්‍යය පිරිසිඳ දැකගන්නට නොහැකි වන තාක් කල් සැප හඹා ගොස් රිය ගමනකම යෙදී ලෝකයක්ම උපාදානය කරගෙන දුකම උරුම කරගනී. සැප විඳින්නට, තමන් කැමති සේ ලෝකය දිගටම පවත්වාගෙන යන්නට මෙසේ උපාදානය කරගත් පංච උපාදානස්කන්ධයම ගෙවී විනාශ වී යනවා මිස වෙනත් කිසිවක් ගෙවී, විපරිණාමයට පත්වී, විනාශ වී යාම කාටවත්ම දුකක් ඇති කරවන්නට හේතු වන්නේ ද නැත. මෙසේ ලෝකයක් තනන්නට, උපාදානය කරගත් පංචඋපාදානස්කන්ධයම උපාදානය කරගන්නෙත්, පවත්වාගෙන යන්නෙත් සිතින්මය. අතින් අල්ලාගත් දෙයක් ලෝකයක් නැත. උපාදානය කරගත් සියල්ලෙහි බර දැනෙන්නේද සිතටමය. භය දැනෙන්නේද සිතටමය. බැඳීමක් ඇති වන්නේද සිතටමය. මේ අනුව දුක යනු සිතින්ම මවාගත් විඳවන දෙයකි. මේ අනුසාරයෙන් පංචඋපාදානස්කන්ධයම පිලිබඳව කරුණු යථාපරිදි තේරුම්ගෙන, අවබෝධ කරගැනීමම දුක්ඛ අරිය සත්‍යාවබෝධය ලැබීමයි.

තුන් ලෝකයම පවතින්නේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළය. තුන් ලෝකයෙන් මොනයම් ලෝකයක් හෝ පවත්වන්නට උත්සාහ දරන්නේ නම් එයම දුක උරුම කර දෙන ක‍්‍රියාවකි.

අප ගෝතම සම්මා සම්බුදුපියාණන්වහන්සේ චතුඅරිය සත්‍යයන් අවබෝධ කරගත් හෙයින් බුද්ධ තත්ත්වයට පත්වූහ. අවශේෂ ලෝකයාටත් තමන් වහන්සේ අවබෝධ කරගත් අරිය සත්‍යයන් අවබෝධ කරගන්නට මාර්ගය පහදා දුන් හෙයින්ම බුද්ධ විය. මේ උතුම් චතු අරිය සත්‍ය ධර්මය ගැඹුරුය. පෙර පින් පිරූ, නුවණ ඇත්තන්ටම අවබෝධ කරගත හැකිය. දුක සේ හෝ අවබෝධ කරගැනීම අතිමහත් සේ වටින්නේමය. අරිය සත්‍යයන් අවබෝධ කරගන්නට පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයම කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන්ම සත් පුරුෂයෙකුගෙන්ම අසාදැනගත යුතුය. අනුමානයෙන්, උගත්කමෙන් ප‍්‍රකාශ කරන බොහෝ දේ අරිය සත්‍යයන් අවබෝධ කරගන්නට නම් උපකාර නොවේ. නිරෝධ, නිර්උදා, අනුත්පාද, නිරෝධය වැනි බුද්ධ භාෂිතයේ එන පදවල අර්ථය, ධර්මය, නිරුක්තිය පෘථග්ජන අනරිය පුද්ගලයින්ට කිසිම ආකාරයකින් අවබෝධ කරගත නොහැක්කේය. එසේ තමන්ම යථා පරිදි අවබෝධ කර නොගත් අරිය ධර්මයක් තවත් පුද්ගලයෙකුගේ නිවන සඳහා මඟ පෙන්වීමට උපකාර වනසේ දේශණා කර පෙන්වීමද කළ නොහැක්කේමය.

බුද්ධ භාෂිතයේ එන ”අරිය” සත්‍යයන් පිළිබඳව ධර්ම විභාගය, විවරණය විවිධ තැන්වලදී විවිධාකාරයෙන් විග‍්‍රහකර පෙන්වා දී ඇත.

01. මේ සතර අරිය සත්‍යයන්ම ආකාර, විභාග වශයෙන් දැක්විය හැකිය. දුක පිළිබඳව අරිය සත්‍යය, පීලනට්ඨෝ, සංඛතට්ඨෝ, සන්තාපට්ඨෝ, විපරිණාමට්ඨෝ යනුවෙන් සතර ආකාරයකින් විභාග වෙයි. පීලනට්ඨෝ යනු පෙළන, විඳවන අර්ථයයි. සංඛතට්ඨෝ යනු සංඛාර කරමින්, තමාම සකස් කරගන්න නිසා හේතු ප‍්‍රත්‍යයෙන්ම හටගත් දෙයක් බව දැනගැනීමයි.සන්තාපට්ඨෝ යනු ”සං” නිසා තැවෙන, එරෙන, සංතාපට, සංවේගයට, සංවේදී බවට පත්වීම යන අර්ථයෙන් තේරුම් ගැනීමයි. විපරිණාම අර්ථයෙන් වැය වී, වෙනස් වී අන්‍යතාභාවයට පත්වී, වැනසී, විනාශ වී යන අර්ථයෙන් තේරුම් ගැනීමයි.

02. ඒවාගේම සමුදය අරිය සත්‍යයද – ආයුහනට්ඨෝ, නිදානට්ඨෝ, සංයෝගට්ඨෝ, පලිබෝධට්ඨෝ යනුවෙන් සතර අකාර වූ විභාගයකින් පෙන්වයි.ආයුහනට්ඨෝ යනු කර්මබීජ සකස් කිරීම, ගති සකස් කිරීම යන අර්ථයෙන් දැකිය යුතුය. නිදාන අර්ථයෙන් සමස්ත ලෝක සත්ත්වයාටම දුක උරුම කර දෙන්නට නිදාන වූ හේතුව සමුදය ධර්ම බිහි කිරීම වශයෙන් දැකිය යුතුය. ඒවාගේම සංයෝග අර්ථය යනු යළි යළිත් නොකඩවාම සංයෝජනයන් දහයම ප‍්‍රතිසංස්කරණය කරන, අලුත්වැඩියා කර පවත්වාගෙන යන අර්ථයෙන් තේරුම් ගත යුතුය. පලිබෝධ අර්ථය නම් නිවනට යා නොදී, නිවනට ඇති මඟ වසා දමා, පලිබෝධයක් ලෙස මාර්ගය වසා මුවහ කරන අර්ථයෙන්ම දැකිය යුතුයි.

03. නිරෝධ අරිය සත්‍යයේ ද මෙවැනි ආකාර විභාග වශයෙන් කොටස් හතරක් ඇත. නිස්සරණට්ඨෝ, විවේකට්ඨෝ, අසංඛතට්ඨෝ, අමතට්ඨෝ යනු නිරෝධ අරිය සත්‍යයේ ආකාර විභාගයයි. නිස්සරණට්ඨ යනු සංසරණ නොකරන, රිය තත්ත්වයට උපකාර වන හේතුඵල පරම්පරාවක් දිගේ චරණය නොකරන තත්ත්වයට පත්වීම යන අර්ථයයි. විවේකට්ඨෝ යනු ක‍්‍රියාවන් හයක වේගය සංසිඳවා, ක‍්‍රියාවේ වේගයෙන් වෙන්වීම යන අර්ථයයි. ක‍්‍රියාවන් හයක වේගය පවතින තුරු මත්වීම, රත්වීම, ගින්න, දාහය තමා තුළම පවතී. ක‍්‍රියාවන් හයේම වේගය පාලනය කරගෙන, විවේක නිශ‍්‍රිත තත්ත්වයට පත්වීම විවේක අර්ථයෙන් සමුදය නිරෝධ කිරීමයි.

අසංඛතට්ඨෝ යන අර්ථය, සංඛාර කරමින් මෙතෙක් කලක් සංඛතයන් සකස් කළද එවැනි සංඛත වල නිස්සාරවත් කම දැක සංසාරයි කියා කටයුතු කළ ක‍්‍රමවේදය රිය ගමන සඳහාම උපකාර වූ බව දැන සංඛත සැකසීම අත්හැරීම, අසංඛත අර්ථයෙන් සමුදය නිරෝධ කිරීමයි.

අමතට්ඨෝ යනු අමර අර්ථයෙන්, මාරයාට ණය නොවන මතු මරණයට පත් නොවන තත්ත්වයට පැවැත්ම අවසන්කර, අපැවැත්මක් බවට පත්කර ගැනීමයි. මෙයද සමුදය නිරෝධ කිරීමෙන්ම සාක්ෂාත් කරගත හැකි බව දැකීම අමතට්ඨෝ යනුවෙන් විභාග කර පෙන්වීය.

04. නිරෝධගාමී මාර්ග පටිපදාවද මේ ආකාරයෙන්ම අර්ථ විභාග වශයෙන් සතර ආකාරය. ඒ සතර ආකාරය නම් සෝතාපන්න මාර්ගය හා ඵලය, සකෘදාගාමී මාර්ගය හා ඵලය, අනාගාමී මාර්ගය හා ඵලය, අරහත් මාර්ගය හා ඵලය භාවිතා වශයෙන්ම අවබෝධ කර ගැනීමයි. මෙයම අෂ්ටාංගික වූ අරිය මාර්ගය නම් වූ සම්මා අංග ලෙසිනුත් විග‍්‍රහ කෙරෙයි. සතර සතිපට්ඨානය භාවනා කිරීම යන්නද මෙහිම ප‍්‍රායෝගික පැත්තයි.

චතු අරිය සත්‍යයෙන්ම සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය හා අරහත් මාර්ගය යන මාර්ග හතරේදීමත්

01. පිරිසිඳ දැක ගත යුතුය.
02. ප‍්‍රහාණය කළ යුතු සමුදය, ප‍්‍රහාණය කළ යුතුයි.
03. නිරෝධයෙන්ම සාක්ෂාත් කළ යුතු සත්‍යාවබෝධය, අනුත්පාද වශයෙන් සාක්ෂාත් කර ගත යුතුය.
04. අනිච්ච, දුක්ඛ, අනත්ථ වශයෙන් සියලු උපාදානයන් දැක, ත‍්‍රිලක්ඛණයට සිත පදම් කරගත යුතුය. ”සබ්බූපදි පටිනිස්සග්ග” කළ යුතුය.

මේ මාර්ග හතරේදීම එකම අරිය සත්‍යයන් හතරක් මිස වෙන වෙනම අරිය සත්‍යයන් හතරක් අවබෝධ කර ගැනීමක් සිදු නොවේ.

අරහත් මාර්ගය සම්පූර්ණ විමෙන් මෝහයේ මුල් සුන්ව, මුල් සිඳ විජ්ජාචරණ සම්පන්න බවට පත්වෙයි. එතෙක් කල්ම අවිජ්ජාචරණ අසංපන්න තත්ත්වයේ පසුවිය. අරහත් මාර්ග ඵලය සම්පූර්ණ කරගත් අරහතුන්වහන්සේට සිතූ සිතූ ඕනෑම මොහොතක, ඵලසමාපත්තියත්, ප‍්‍රත්‍යවේක්‍ෂාඥාණ වශයෙන් ලැබූ නිවනත් මෙනෙහි කර නිවන් සුවය විඳින්නටද හැකියාව ඇත. අරහතුන්වහන්සේ කෙනෙකු සමුදය නිරෝධය කර ඇති නිසාත්, ”සං” උත්පාදනය කරන මාර්ගයන් සියල්ලම මුල් සිඳ සමුච්ඡ්දප‍්‍රහාණයෙන්ම මෝහ මුල් සිඳ ඇති නිසාත් පටිපස්සදිප්ප‍්‍රහාණ වශයෙන්ම සංයෝජන ප‍්‍රහාණය කර ඇති නිසාත්, නිස්සරණප්ප‍්‍රහාණයෙන් නැවත සමුදය බිහි නොවන තත්ත්වයටම සිත පිරිසිදු නිසාත්, ප‍්‍රඥා විමුක්තියට පත් වී ඇති නිසාත් නැවත නැවතත් භාවනා කිරීමක් හෝ මාර්ගය වැඞීමක් හෝ යෝග කර්මයන්හි යෙදීමක් හෝ පින්කම් කිරීමක් හෝ කරන්නට අවශ්‍ය වන්නේ ද නැත. අරහතුන්වහන්සේට මල් පහන් පූජා කර, ගාථා සජ්ඣායනා කර හෝ වෙනත් ආකාරයක වතක් රැුක, පින්කම් කර, පින්රැුස් කරගැනීමේ අවශ්‍යතාවයක් ද නැත. චිත්තසංථානයේ හෝ මනසේ හෝ කෙළෙස් නැති නිසාත්, චිත්තසංථානය පාරිශුද්ධ නිසාත්, ප‍්‍රඥාවෙන් පිරිපුන් නිසාත්, කුසල් කිරීමේ අවශ්‍යතාවයක් ද දැන් ඇත්තේ නැත. ප‍්‍රහාණය කර, සළාහැර ශුද්ධ පවිත‍්‍ර කරගන්නට කෙළෙස් චිත්තසංථානයේ දැන් නැති කළ කුසල් කර්ම කිරීමක් ද අවශ්‍ය නොවේ. මේ අනුව අරහතුන් වහන්සේට පින්කම් හෝ කුසල් කි‍්‍රියා හෝ කිරීමේ අවශ්‍යතාවයක් ද නැත.

එසේ වන්නේ නමුත් අරහතුන් වහන්සේට ද සතර සතිපට්ඨානයෙන් වාසය කිරීම නම් අවශ්‍ය වන්නේමය. ඊට හේතුව සියලු කෙළෙස්් ප‍්‍රහාණය කළ අරහතුන් වහන්සේටද රූප ආදී සියලු සංඥා තව දුරටත් ලැබෙයි. ඵලසමාපත්තියෙන් නොසිටින හැම අවස්ථාවකදීම ලැබූ පුරුද්ද නිසා (සිත පදම් වී ඇති නිසා) සතර සතිපට්ඨානයෙන්ම කාලය ගත කිරීමෙන් ඇලීම, ගැටීම, මුළාව යන තුනෙන්ම මිදී නිදහස්ව නිවන් සුවය, නිරාමිස සුවය, නිබ්බිදා සුවය ලබා පිරිණිවන් පානා අවස්ථාව තෙක්ම නිස්සරණ සුවයෙන්ම කාලය ගත කළ හැකි වෙයි. ඒ සඳහා ඉදිරි ජීවිත කාලයම සතර සති පට්ඨානයෙන් යුතුවම වාසය කිරීම අරහතුන් වහන්සේටද අවශ්‍යම දෙයකි.

Share Button