ඥාණය හා ප්‍රඥාව

ජානතෝ, පජානතෝ සංපජානතෝ, සති සංපජානාති වැනි පද රාශියකින්ම බුදුපියාණන් දේශණා කර පෙන්වා වදාළේ ”නිවන් දැකීම සඳහා පළමුව ධර්මය අසා, දැනගත යුතු දේ නිවැරදිවම දැන ගත යුතුයි” යනුවෙනි. ”ජානතෝ” යන දැනීම ලැබූ කෙනෙකුට දෙවන පියවර වන ”පස්සතෝ” යන ප‍්‍රතිපත්ති මාර්ගය ද අනුගමනය කළ හැකි වේ. ධර්මය නොදැන ගත් කෙනෙකුට, දුකෙන් නිදහස් වීමට නිවනට උපකාර වන මෙම ප‍්‍රතිපත්ති මාර්ගය අනුගමනය කිරීම කළ නොහැක්කකි. ”පස්සතෝ” යනු දැකීම, ප‍්‍රඥාව යන ගැඹුරු අර්ථයක් බව මෙතනදී නිවැරදි ලෙසින්ම තේරුම් ගත යුතුය. ජානතෝ යනු දැනීම, එනම් ඥාණයයි. පස්සතෝ, යනු පිරිසිඳ දැකීම, ප‍්‍රඥාව යන අදහසයි. ලබාගත් දැනීම තුළින්ම දැකීමක් ලබා ගැනීමට නම් ”පජහති, පහානාති” යන පියවර දෙකක්ම අනුගමනය කළ යුතුය. ”පජහති, පහානාති” යන පදවලින් ධර්මයේ අර්ථ ගැන්වූයේ, ප‍්‍රහාණය කළ යුතු, බැහැර කළ යුතු, ඉවත්කළ යුතු, අතහැරිය යුතු දේ යන අදහස වේ. මෙසේ අත්හැරිය යුතු බැහැර කළ යුතු දේ කළු ධර්ම ලෙස විග‍්‍රහ වේ.

කළු ධර්ම, කෙළෙස් හෙවත් රාග, ද්වේෂ, මෝහ යනු කිළිටි ගති තුනකි. රාග ගතිය – රාග බව, ද්වේෂ ගතිය – ද්වේෂ බව, මෝහ ගතිය – මෝහ බව සත්ත්වයා සංසාරයේ අතරමං කරන කෙළෙස් කළු ධර්ම ලෙස හැඳින්වේ. මේ කළු ධර්ම තම තමන්ම ආත්ම ගණනාවක් තුළ දිගින් දිගට ම එකතු කර, ගබඩා කර, තමාම භාවිතා කරමින් අදටත් පැවතීම ජීවත් වීම යනුවෙන් අදහස් කෙරේ. පුද්ගලයෙකු ජීවිතය පවත්වන්නේම කළු ධර්ම එකතු කිරීම සඳහාමයි. කළු ධර්ම කෙළෙස් එකතු කර, ගබඩා කර තම චිත්තසංථානයේම ඒවා රැුඳී පවතිනා තුරාවටම විඤ්ඤාණය කූඩු තනමින් ජීවත් වේ. මේ ක‍්‍රියාදාමය හේතුඵල පරම්පරාවක් ලෙසින් බුදු පියාණන් වහන්සේ ඉතාමත් සරළ ලෙසින් විග‍්‍රහ කර පෙන්වා වදාළහ’

මේ දැනීම හෙවත් ජානතෝ යන නුවණ බාහිර ලෝකයාගෙන්ම අසා, එකතු කර ලබා ගත යුතුයි. පොත් පත් කියවීමෙන්, ධර්මය දේශණා කරන කෙනෙකුගෙන් ධර්මය ශ‍්‍රවණය කිරීමෙන්, යම් යම් දේ ඇසින් දැකීමෙන්, කනෙන් ඇසීමෙන්, දිවෙන්, නාසයෙන්, කයෙන්, රස විඳීමෙන්ම මේ දැනුම ලබා ගත හැකියි. ලබාගත යුතුයි. වෙනත් ක‍්‍රමයකින් දැනුමක්, උගත්කමක්, නුවණක්, බුද්ධිමත් කමක් ලබා ගත නොහැකි වේ.

මේ ඥාණය, දැනුම යනු ප‍්‍රඥාවම නොවේ. ප‍්‍රඥාව යනු ඊට හාත්පසින්ම වෙනස් වූ දෙයකි. ප‍්‍රඥාව බාහිර ලෝකයෙන් ලබාගත හැකි එකතු කරගත හැකි දෙයක් නොවේ. ප‍්‍රඥාව යන ශක්තිය මිනිසෙකුට ලැබෙන්නේම තම තමා තුළින්ම ආධ්‍යාත්මිකව මනීන්ද්‍රියෙනි. එසේ නැත්නම් තමාගේම මනසෙනි. මනස පිරිසිදු වූ තරමට කෙළෙස් වලින් තොර වූ පමණට මනසේ ශක්තියත් බලවත් වේ. මනස පිරිසිදු නම් කෙළෙස් වලින් තොර නම් ඒ පුද්ගලයාට මසැසින් (චක්ඛු) දකින දේට වැඩි යමක් මනසින් දැක ගත හැකි වේ. මනස අපිරිසිදු නම් කෙළෙස් වලින් අඳුරු වී, කිළිටි වී, ආවරණය වී ඇති නම් එවන් තත්ත්වයක් යටතේ ප‍්‍රඥාව යන ශක්තිය මතු නොවේ. මේ අනුව ඥාණය හා ප‍්‍රඥාව අවස්ථා දෙකක් බවත් මුළින්ම නිවැරදිව තේරුම් ගත යුතු වේ. සුතමයේ ඥාණය, චින්තාමයේ ඥාණය, භාවනාමයේ ඥාණය ලෙස කොටස් තුනකි. ඒ වාගේම සුතමයේ පඤ්ඤා, චින්තාමයේ පඤ්ඤා, භාවනාමයේ පඤ්ඤා යනුවෙන් ප‍්‍රඥාවේත් කොටස් තුනක්ම විග‍්‍රහ වේ. ඥාණයෙන්් සිදු කරනු ලබන්නේ මේ විශ්වය තුළ ඇති විවිධ ආකාර වූ ක‍්‍රියාකාරීත්වයන් හා දේ පිළිබඳව දැනුම එකතු කර තමන් තුළම දැනුම ගබඩා කර ගැනීමයි. එය උගත් කම, බුද්ධිමත්කම, නුවණ ලෙස හැඳින්වේ. මේ උගත්කම, දැනුවත්කම නිසා කෙනෙකුගේ මානය, මහන්තත්තකම, මමත්වය වැඩි දියුණු වේ. මේ නිසා බෙහෝවිටදී මිනිසුන් දැනුමින් මත් වීම සිදු වේ. ”බුද්ධිමත්” යනු ”බුද්ධියෙන් මත් වූ” යන තේරුමයි. මාන මත, අවිද්‍යා මත, අස්මිමානය මේ මත්වීමට හේතුවයි. ඉගෙන ගත් දේ, එකතු කර ගත් දැනුම හොඳ, නරක දෙකටම එක සේ හේතු වේ. ඒ එකතු කර ගත් දැනුමම භාවිතා කර එකතු කර ගත් දැනීමෙන්ම තමන් තුළම මෙතෙක් කල් ගබඩා වී, මුල් බැස ගෙන ක‍්‍රියාත්මක වූ කළු ධර්ම ඉවත් කිරීමේ ශක්තිය ප‍්‍රඥාව ලෙස දැනගත යුතුයි.

ප‍්‍රඥාව දුර්වල කෙනෙක් නිතරම තමාම එකතු කරගත් දැනුමෙන්ම මත් වේ. මනස පිරිසිදු කරගත් කෙනෙකුට ප‍්‍රඥා ශක්තිය මතුවීම නිසා කොතරම් දැනුම එකතු කර ගත්තද එයින් කිසිවිටෙකත් මත් නොවේ. ඒ දැනුම, ඥාණය තමන්ට වාගේම බාහිර ලෝකයාටත් නිරන්තරයෙන්ම යහපත සඳහාම ප‍්‍රඥාවන්තයා භාවිතා කරනු ලබයි. ප‍්‍රඥාව දියුණු කරගත් කෙනෙකුගේ මනස කිසි විටකත් මත් නොවීම නිසාම ඔහුගේ මානය අල්ප වේ. අස්මි මානය, උච්චමානය, අභිමානය, සදිසි මානය, හීන මානය වැනි මාන ගති එම පුද්ගලයා තුළින් මතු නොවේ. ඒ වෙනුවට නිහතමානී තත්ත්වයටම පත් වීම සිදු වේ. කම්පාවට, භයට, තැති ගැනීමට හේතුව ප‍්‍රඥාව නැති වීමයි.

උතුම් බුද්ධ ධර්මයේ පෙන්වා වදාළ ධම්මානු ධම්ම පටිපදාවෙන් මිස වෙනත් කිසිම ආගමක, දර්ශනයක ප‍්‍රඥාව යන උතුම් ශක්තිය ලබාගන්නා ආකාරය විග‍්‍රහ කර පෙන්වා දී නැත. ප‍්‍රඥාව යන උතුම් වචනය නම් බොහෝ ආගම් වල අදත් පාවිච්චි කළද එය ඥාණය යන එකතු කිරීමේ අර්ථයෙන්ම භාවිතා කරනු හැර පිරිසිඳ දැකීම යන ධර්ම අර්ථයෙන් භාවිතා කරන බවක් දැකිය නොහැකියි. බුද්ධ දේශණාව යනු පරම පවිත‍්‍ර ලෙසින් ලොව්තුරා බුදු කෙනෙකුම දේශණා කරන උතුම් ධර්මය යි. මිනිසෙකුට, දෙවියෙකුට නිවන් අවබෝධ කර ගත හැක්කේ ප‍්‍රඥාවෙන්ම පමණි. හැම විටම බුද්ධ ඥාණයකට පදනමත් ප‍්‍රඥාවම වේ. තෙසැත්තෑ බුද්ධ ඥාණ විග‍්‍රහ කර බැලීමෙන් මේ බව අවබෝධ කරගත හැකියි. සෑම බුද්ධ ඥාණයකම මුල් කොටසින් පඤ්ඤා යන පදයෙන් විග‍්‍රහ කර ඇත්තේ ප‍්‍රඥාවයි. කෙළෙස්, කුණු, කළු ධර්ම ප‍්‍රහාණය කර පිරිසිදු මනසක් මතු කර ගැනීමේ ශක්තිය ප‍්‍රඥාව ලෙස හැඳින්වේ. මේ අනුව ඥාණයෙන් තොර ප‍්‍රඥාවක් හෝ ප‍්‍රඥාවෙන් තොර බුද්ධ ඥාණයක් හෝ කිසිවකුට ලබා ගැනීම කළ නොහැකි වේ.

ප‍්‍රඥාව සහ ඥාණය යන පද දෙකෙන් බුද්ධ භාෂිතයෙහි පෙන්වා වදාළ ” ජානතෝ පස්සතෝ” යන තත්ත්වයන් දෙක පළමුව නිවැරදිවම තේරුම් ගතයුතුයි. මේ දෙයාකාරයක පියවරයන් දෙකකි.

පඤ්ඤා යන තත්ත්වය ඥාණය යන දැනීමට වඩා හුඟාක්ම පිරිසිදුයි. ප‍්‍රබල යි. කෙනෙකුට ප‍්‍රඥාව මතු කර උපදවා පහදා ගැනීමටත් හුඟාක්ම අපහසු යි. අමාරු යි. චක්ඛුං උදපාදී, ඥාණං උදපාදී, පඤ්ඤා උදපාදී යන අනුපිළිවෙලේ සඳහන් මුල් පියවර දෙකක්ම සම්පූර්ණ වූ විට පමණක්ම ප‍්‍රඥාව උපදවා පහදා ගැනීමට ශක්තිය ලැබේ. ඕනෑ ම පුද්ගලයෙකුට පොත් පත් කියවීමෙන්, විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරීමෙන්, මුදල් වියදම් කර දේශ දේශාන්තර වල සංචාරය කිරීමෙන් දැනුම, ඥාණය, ලබා ගත හැකි වේ. නමුත් ප‍්‍රඥාව ඒ ආකාරයට ලබා ගත හැකි දෙයක් නොවේ. ප‍්‍රඥාව ලබාගැනීමට නම් තමන්ගේ මනසෙහි, චිත්තසංථානයෙහි ගබඩා වී පවතින කිළිටි ගති, කෙළෙස් ප‍්‍රහාණය කර පිරිසිදු කරගත යුතු වේ.

මේ ක‍්‍රියාවලිය බුද්ධ භාෂිතයෙහි පැහැදිළි කර පෙන්වා දී ඇත්තේ ”ආසවඛ්‍යයා” යන පදයෙනි. දිට්ඨාසව, කාමසව, භවාසව, අවිජ්ජාසව යන ආසව හතර වර්ගයක් හා දිට්ඨි අනුසය, විචිකිච්චා අනුසය, කාමරාගානුසය, භවරාගානුසය, පටිඝානුසය, මානානුසය හා අවිජ්ජානුසය යන අනුසය කොටස් හතකුත් අවස්ථා හතරකදී ක‍්‍රමානුකූලවම ප‍්‍රහාණය කර, ඉවත් කර, ප‍්‍රඥාවෙන් චිත්තසංථානය පිරිසිදු කරගත යුතුම වේ.

නුවණ, ඥාණය, දැනුම යන දේ එකතු කර, හිත දියුණු කර, සංවර්ධනය කරගත හැකිය. නමුත් ප‍්‍රඥාව ඒ ආකාරයට යමක් එකතු කර දියුණු කර, සංවර්ධනය කර ගත හැකි දෙයක් නොවේ. පඤ්ඤා යනු තමා තුළම ඇති යම් යම් අනවශ්‍ය කොටස්, කෙළෙස් ඉවත් කිරීම නිසා මනස පිරිසිදු කර ගැනීමකි. අපිරිසිදු මනසක නුවණ මිස ප‍්‍රඥාවක් නොපවතී.

නුවණ, ඥාණය, දැනුම දිනපතාම පවා නවීකරණය කර, අලුත් කර, වෙනස් කර ගත හැකියි. ප‍්‍රවෘත්ති පත‍්‍ර කියවීම, රූපවාහිණියක් නැරඹීම දැනුම වෙනස් වීමට, අලුත් වීමට හේතු වේ. ප‍්‍රඥාව එසේ අලුත් වන වෙනස් වන දෙයක් නොවේ. පිරිසිදු වීමක් ම පමණි.

නුවණ, දැනුම, ඥාණය නිතරම විෂයානුබද්ධ වේ. මහාචාර්යවරයකුගේ දැනුම ඔහුට අදාළ විෂය පථයට පමණක් සීමා වේ. නමුත් ප‍්‍රඥාව එසේ විෂය පථයකට අයත් වන දෙයක් නොවේ. ඊට හේතුව එකතු කර ගත් දෙයක් ප‍්‍රඥාවේ නොපැවතීමයි.

ඒ වාගේම නුවණ, දැනුම, ඥාණය ලෞකිකයි. භෞතිකයි. මේ ලෝකය තුළ පවතින දේ් වලට පමණක්ම සීමා වූ දැනුමක් පමණක් එයින් ලබා ගත හැකි වේ. නමුත් ප‍්‍රඥාව ඒ ආකාරයට ලෞකිකත්වයට හෝ භෞතිකත්වයට හෝ බැදුණ දෙයක් නොවේ. එය පිරිසිදු වීමකි. එසේම ලෝකෝත්තර ඥාණයන් යනු හදාගත් භාවිතා කරන ලෝකයෙන් එතෙර වන්නටම උපකාර කරගත හැකි ඥාණයි. ඒවා ප‍්‍රඥාවෙන්ම මතු කර උපදවා, පහදාගත යුතු බුද්ධ ඥාණයන් වේ.

නිවන් දකිනවා මිස නිවන පිළිබඳව දැනීමක් ලබා ගත් පමණින්ම ඒ දැනීම විමුක්තියට ප‍්‍රමාණවත් නොවේ. ඒ නිසා නිවන් දුටු අරහතුන්වහන්සේත් පළමුවෙන්ම අරිය උත්තමයකුගෙන් බුද්ධ ධර්මය අසා, අනුමාන ඥාණයක් හා ශ‍්‍රද්ධාවක් සිතේ පහළ කරගත යුතු වේ. එසේ සිතේ පහළ කරගත් අනුමාන ඥාණය හා ශ‍්‍රද්ධාව යන දෙකම තමන් එකතු කරගත් බාහිරයෙන් ලබා ගත් දේ වේ. ඒ දැනුම, උගත්කම හා ශ‍්‍රද්ධාව නොලැබුණා නම්, කිසිදාක ප‍්‍රඥාවෙන් බුද්ධ ඥාණයන් මතු කර අරහත් තත්ත්වයට පත් වීමටත් නොහැකියි.

මෙහිදී ”පඤ්ඤා” යන පදයෙන් පෙන්වා වදාළ ”පස්සති” යන පදයෙන් විග‍්‍රහ කරන ලද ප‍්‍රඥාව ඒ ඒ පුද්ගලයා තමා තුළින්ම ආධ්‍යාත්මික වශයෙන්ම මතු වන උපදවා, පහදා ගත යුතු ශක්තියකි. තමාගේම චිත්තසංථානයේ අනත්ත අප‍්‍රමාණ කාලයක පටන් ගැබ් වී, ගබඩා වී පවතින, දැනටත් ක‍්‍රියාත්මක වන ආසව, අනුසය ධර්මයන් වෙන් කොට දැකීමත් එවැනි ආසව, අනුසය ප‍්‍රහාණය කර, අස්කර, බැහැර කර, ඉවත් කළ යුතුයි යන තීරණයත්, ආසව, අනුසය ඉවත් කිරීමේ මඟ අනුගමනය කිරීමත් යන අවස්ථා තුනම මේ ප‍්‍රඥාවේ ශක්තියයි. මේ ප‍්‍රඥාවේ ශක්තියම ”සන්නිට්ඨති, සංනිසීදතී, එකෝධි භාවං සංමාදියති” ලෙස ” ද්වේධා විතක්ක සූත‍්‍රයේ දී” පැහැදිළිව ම දේශණා කර පෙන්වා වදාරා ඇත.

තවදුරටත් විග‍්‍රහ කර බැලූ විට ප‍්‍රඥාව යනු ප‍්‍රායෝගික පුහුණුවකි. ප‍්‍රායෝගික පුහුණුවක් ලැබීමට පෙර කෙනෙකු න්‍යායාත්මකව දැනුමක් ලබා ගත යුතුයි. ඒ නිසා ඒ න්‍යායාත්මක දැනුම ඥාණය ලෙස හැඳින්වේ. ප‍්‍රායෝගික අත් දැකීම පුහුණුව ප‍්‍රඥාවයි. ඒ නිසා ධම්මානුධම්ම පටිපදාව යන ප‍්‍රායෝගික පුහුණුව නොමැතිව ප‍්‍රඥාව උපදවා පහදා ගැනීමටත් නොහැකි වේ. මුළු ත‍්‍රිපිටක ධර්මයම කටපාඩම් කර ගත්තද, ගිරවකු සේ අනෙකාට කටපාඩමෙන් කියා දී ප‍්‍රකාශ කළ හැකි වුවද, මතක තබාගෙන ධර්මය දේශණා කළ ද ප‍්‍රායෝගිකවම එම ධර්මයේ පෙන්වා වදාළ ධම්මානුධම්ම පටිපදාව තම තමන්ම අනුගමනය කර, අත්විඳ නොගත්තේ නම් ප‍්‍රඥාව උපදවා පහදා ගත නොහැකියි. ඒ නිසා නිවන් දකිනවාය යනු සීල, සමාධි, ප‍්‍රඥා යන පියවර තුනම දැන, අනුගමනය කර, අත්දැක ගැනීමම මිස දැන ගැනීම පමණක් ම නොවේ. මේ නිසාම ප‍්‍රඥාවත් කොටස් තුනකට ම බෙදා විග‍්‍රහ කර ඇත. සුතමයේ ප‍්‍රඥා, චින්්තාමයේ ප‍්‍රඥා, භාවනාමයේ ප‍්‍රඥා යන මේ පියවර තුනේදී ම කළ යුතු වන්නේ කෙළෙස් ප‍්‍රහාණය කර, අත් හැර, නිදහස් වීමයි. එනම් මනස පිරිසිදු කර ගැනීමයි.

මේ අනුව සෑම බෞද්ධයකුම කාගෙන් හෝ ධර්මයක් අසා ඒ කියූ ධර්මය භක්තියෙන් පිළිගැනීම හෝ පිළිපැදීම හෝ පමණක්ම නිවනට උපකාර නොවන බව තේරුම් ගත යුතු වේ. යෝනිසෝමනසිකාරයෙන් ශ‍්‍රවණය කරන ලද ධර්ම කාරණා තමාම තේරුම් ගෙන, ප‍්‍රත්‍යක්‍ෂ කර, යථාවබෝධයක් ලබා, තමාගේම මනස තුළින්, ආධ්‍යාත්මය තුළින් මතු වන්නා වූ අරමුණු පිළිබඳව මැන බැලීමක්, පෙරා පිරිසිදු කිරීමක් කර ගැනීම ප‍්‍රඥාවයි. තම සිතේ මතු වන රූපාරම්මණයක්, ශබ්දාරම්මණයක්, ගන්ධාරම්මණයක්, රසාරම්මණයක්, පොට්ඨබ්බාරම්මණයක් හා ධම්මාරම්මණයක් පිරිසිදුවම දැන හඳුනාගෙන ඒ අරමුණ රාගයෙන් ඇලීමක් ද, ද්වේෂයෙන් ගැටීමක් ද, මෝහයෙන් මුළා වන්නක් ද යන වන බව තෝරා බේරා, වෙන් කර දැක, ඒ අරමුණ දෙස විමසා බලා, එය කළු ධර්මයක් නම් එය අතහැර නිදහස් වීමට ප‍්‍රඥාවම තිබිය යුතුයි. ප‍්‍රඥාව යනු මේ අතහැර, නිදහස් වීමේ ශක්තියයි. හැකියාවයි.

ප‍්‍රඥාව යනු පස්සතෝ, පජහතෝ, පජානනා යන අර්ථයම වේ. මේ පැවැත්ම පිළිබඳව, ලෝකය පිළිබඳව, කර්මය පිළිබඳව, දුක පිළිබඳව, චතුරාර්ය සත්‍යයන් පිළිබඳව මෙන්ම නිවන පිළිබඳව ද කෙනෙකුට තවත් කෙනෙකුගේ අසා තොරතුරු දැනගත හැකියි. මේ අසා දැන ගත් දේ, ප‍්‍රයෝජනයට ගෙන තමන්ගේම මනසිකාරයට යොමුකර, විපස්සනා නුවණින් දැක, තමා තුළම මුල් බැස ගෙන පවතින සමහර කිළිටි දේ ඉවත් කළ යුතු වේ. ඝණ සංඥාව, ධුව සංඥාව, නිච්ච සංඥාව, සුඛ සංඥාව, අත්ථ සංඥාව වැනි නිවනට බලවත්සේ බාධක වන සංඥාවන් සිතින් ප‍්‍රහාණය කර දැමීමට නම් ප‍්‍රඥාවම මිස නුවණ කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවේ. රාගය, ද්වේෂය, මෝහය වැනි කිළිටි ගති නැවත නැවතත් සිතක මතු වන්නේ මෙවැනි සංඥාවන් තමන් තුළම මුල් බැසගෙන චිත්තසංථානයේ පවතින නිසාම වේ. තමා ලෞකිකත්වයට බැඳන්නේ පටිච්ච වන්නේ මේ ආකාර වූ සංඥා තමා තුළම පවතින බැවිනි.

සංසාරයේ මෙපමණ කාලයක් තමන් ඉපිද, ඉපිද දුක් වින්දේත් මෙවන් නිච්ච සුඛ, අත්ථ, ඝණ, ධුව සංඥාවන් තමන් තුළ පවතින්නේත්, අතීතයේ කවදා හෝ එකතු කර, අල්ලා ඉන්ද්‍රියයන් පිනවීමේ කැමැත්තට බැඳීමක් පවතින නිසාම යි. තමන් අතීතයේ කවදා හෝ අල්ලා, එකතුකර නොගත් ගතියක්, ගති ලක්ෂණයක්, තමන් තුළ ඇබ්බැහි වී පැවතිය නොහැකියි. මෙවැනි ලක්ෂණයන් සියල්ලම තමා තුළම ඇබ්බැහි වී පවතින බව දැක ගන්නට නොහැකිි වීම ප‍්‍රඥාව නොමැති වීම ලෙස හැඳින්වේ. දුප්පඤ්ඤා යනුවෙන්ද එයම අර්ථ ගන්වයි.

ප‍්‍රඥාව නැති නමුත් නුවණ පමණක් ඇති පුද්ගලයෙකු තම නුවණ මෙහෙයවා තව තවත් දේ මේ ලෞකිකත්වය තුළින් ම එකතු කර ගැනීමට ක‍්‍රියා කරති. ඒ එකතු කර ගන්නා දේ සාරවත් බවත්, වටිනා බවත්, නිච්ච සේ පවතින බවත් දකී. තීරණය කරයි. මේ ආකාරයට වටිනා දේ, සාරවත් දේ උපාදානය කර, එකතු කර ගත්විට ඒවා තමන්ට නැති වෙයි ද, සොරා ගනියි ද, රජුන් ගනියි ද ස්වාභාවිකව විනාශ වෙලා යයි ද යන භයක්, තැති ගැනීමක් තම හිතට ම ඇති වේ. හිත කම්පනයට පත් වේ. වේදනාවට පත් වේ. සුඛ වේදනාව වාගේම දුක් වේදනාවටත් පත් වේ. මේ තත්ත්වය විඤ්ඤාණය නිසා මතු වන ස්වභාවයකි. ගතියකි. ප‍්‍රඥාවෙන් මේ සියලු දේ (ගති) බැහැර කළ පුද්ගලයෙකු කවදාවත්ම භයට පත් නොවේ. කම්පනයට පත් නොවේ. වේදනා නොවිඳියි. තැති නොගනී. වික්ෂෝප නොවේ.

මේ අනුව ප‍්‍රඥාව නිසා කොතරම් දුරට නිවීමක් ලැබේද යන්න පිළිබඳව කෙනෙකුට අනුමාණ වශයෙන් හෝ හිතාගත හැකි වය යුතුයි. ඥාණය යන දැනීම, නුවණ, උගත්කම, ප‍්‍රඥාවක් බවට පත්කර ගැනීමත්, ප‍්‍රඥාව උපදවා පහදා ගැනීමෙන් පසුව විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීමත් බුද්ධ ඥාණයෙන්් ම කර ගත යුතු වේ. මේ අනුව හැම බෞද්ධයෙකු ම නිවන් දැකීමට අධිෂ්ඨාන කර කටයුතු කරනවා නම් අසා දැන ඉගෙන ගත් ධර්ම ඥාණයෙන් ම, ප‍්‍රඥාවත් උපදවා පහදා ගත යුතු වේ. ප‍්‍රඥාවෙන් තොරව සත්‍ය ඥාණ, බුද්ධ ඥාණ ලැබිය නොහැකියි. මේ සඳහා උපකාර වන පියවරයන් දෙකක්ම පටිසම්භිදා මග්ගයෙහි සරළ ලෙසින් විග‍්‍රහ කර පෙන්වා දී ඇත.

1. පරිඤ්ඤෙයියාති,
2. තං පජානනා පඤ්ඤා

1. පළමුවැන්න විදර්ශනාව ලෙස සිංහල බසින් අද පෙන්වා විග‍්‍රහ කරනු ලැබේ. විදර්ශනා ඥාණ යනු වෙන් කර, බෙදා බලා යථා තත්ත්වය අවබෝධ කර ගැනිමේ ශක්තියයි. (වි=වෙන් කිරීම, දර්ශනා= දැනීම හා දැකීම) ද්වතාවය, තිපරිවට්ටය වැනි තවත් බොහෝමයක් දැනගත යුතු බෙදීම්, පටිසම්භිදා මග්ගයේම පෙන්වා දී තිබේ. ස්කන්ධ වශයෙන් (රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ) ආයතන වශයෙන් (චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන හා ධම්ම) වශයෙන් බාහිර ආයතන වූ රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, සුව පහස, ධම්ම, විඤ්ඤාණ වශයෙන්,( චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ), ධාතු වශයෙන් (පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ) බෙදා වෙන් කර විදර්ශනා කිරීමට පුරුදු විය හැකි නම් එය විදර්ශනා නුවණයි. මෙලෙසින් බෙදා බලා සත්‍යාවබෝධ කර ගැනීම විදර්ශනා නුවණ ලෙස විග‍්‍රහ කළ හැකිය.

2. විපස්සනා නුවණ, අනුපස්සනා නුවණ යනු මීට වඩා බොහෝම ගාම්භීර දෙයකි. විදර්ශනා නුවණ නොමැති කෙනෙකුට විපස්සනා, අනුපස්සනා නුවණක් පිළිබඳව සිතීමටත් නොහැකියි. ත‍්‍රිලක්ඛණය හා ඊටම සම්බන්ධ වූ කාරණා 16ක් පිළිබඳවම ”අසේවති, භාවේති, බහුලීකරෝති” යන භාවනා කිරීම විපස්සනාව අනුපස්සනාව වේ. මෙතැනදී ත‍්‍රිලක්ඛණය හා ඊටම සම්බන්ධ කරුණු 16ක් පිළිබඳවත් නිවැරදි අවබෝධයක් ලබා ඒ කරුණු 16 ම සම්බන්ධවම ද්වතාවයත් තේරුම් ගෙන විපස්සනා අනුපස්සනා භාවනා කිරීම ප‍්‍රායෝගිකවම කළ යුතු වේ. විපස්සනා, අනුපස්සනා භාවනාවත්, අනාපානාසති භාවනාවත් යන දෙකම ප‍්‍රායෝගිකව එකම භාවනා ක‍්‍රමයකි.

මෙතැනදී ආනාපානා සති භාවනාව යනු හුස්ම ගැනීම, පිට කිරීම දෙස බලා සිටීම හෝ බඩ පිම්බීම, හැකිළීම දෙස බලා සීටීම නම් නොවේ. ද්වතාවය තේරුම් නොගත් කෙනෙකුට මේ අරිය අනාපනා සතිය යන ඇතුළට ගත යුතු දේ හා ප‍්‍රහාණය කර බැහැර කළ යුතු දේ වෙන් කර, විග‍්‍රහ කර තේරුම් ගත නොහැකි වීම නිසාම අද ආනාපාන සතිය හුස්ම ගැනීමකට හා පිට කිරීමකට ගළපා මුළු අනුපස්සනා, විපස්සනා භාවනා ක‍්‍රමයම ලෞකික ප‍්‍රාණයාම භාවනාවකට හරවා ගෙන අතරමං වී සිටිති.

”තං පජානනා පඤ්ඤා” යන වචන වලින් පෙන්වා දුන්නේ ප‍්‍රහාණය කර, අස්කර ඉවත් කළ යුතු දේ ඉවත් කිරීමත්, භාවිතා කළ යුතු, ආශ‍්‍රය කළ යුතු දේ භාවිතා කිරීමත් යන ද්වතාව ධර්මයයි. අනාපානා සතිය යනු ද මෙයම වේ. අස්ස, පස්ස යනු මේ තේරුමම වේ. අතීත කාල පරාසයක් තුළ තමන්ම එකතු කර, තම චිත්තසංථානයේම ගබඩා කරගත් රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති ප‍්‍රහාණය කර අස් කර දැමීමටත් ධර්මය අසා දැන ගත් පරිදි වීතරාගී, වීත ද්වේෂී, වීතමෝහී දේ ඇතුළට ගැනීමටත් ක‍්‍රියා කළ හැකි නම්, චිත්තසංථානය කුණු වලින් තොර පාරිශුද්ධ තත්ත්වයටම පත් වේ. මේ ශක්තිය පඤ්ඤා ශක්තිය ලෙසින් බුද්ධ දේශණාවෙහිම පෙන්වා වදාරා ඇත. පටිසම්භිදා මග්ගයෙහි පෙන්වා දී ඇති පරිදි සියලුම ආකාරයේ පඤ්ඤා (ප‍්‍රඥාවන්) ලැබෙන්නේ ”භාවේතබ්බංච භාවිතං පහාතබ්බංච පහීනං” යන දෙයාකාර වූ විපස්සනා භාවනාවෙන් පමණි. සියලුම අරිය සත්‍යයන් ප‍්‍රත්‍යක්‍ෂ කරගත හැකි වන්නේත් මේ ආකාරයෙන්ම පහා තැබිය යුතු – ප‍්‍රහාණය කර අස් කර දැමිය යුතු රාග, ද්වේෂ, මෝහ ප‍්‍රහාණය කර දැමීමෙනුත්, ආශ‍්‍රය කළයුතු වීතරාගී, වීත ද්වේෂී, වීතමෝහී ගති ආශ‍්‍රය කිරීමෙනුත් පමණි.

මේ අනුව විදර්ශනා යනු වෙන් කර දැනගැනීමයි. විපස්සනා යනු වෙන් කර දැනගත් දේ අතරින් කෙළෙස් ප‍්‍රහාණය කර, මනස පිරිසිදු කර ලබාගන්නා දැකීමේ ශක්තියයි. ප‍්‍රඥාව විස්තර කළ හැම තැනකම විස්තර කර, අර්ථ නිරුක්ති දක්වා ඇත්තේ ”පජානනට්ඨේන පඤ්ඤා” යනුවෙනි. පජානන අර්ථයෙන් පඤ්ඤා යන අර්ථය වේ. මෙහි ජානාති හා පජානනය යන වචන දෙකෙන් ම අර්ථ ගැන්වෙන්නේ දැන ගැනීම හා පිරිසිඳ දැන ගැනීම යන තේරුම වේ.

මේ අනුව පිරිසිඳ දැක ගැනීම යනු කුමක්ද යන්න විමසිල්ලෙන් ම අසා දැන තේරුම් ගත යුතුයි. තමාගේ ජීවිතේන්ද්‍රිය නැත්නම් ලේ ධාතුව අපිරිසිදු වීමටත් පිරිසිදු කර ගැනීමටත් දෙකටම උපකාර වන්නේ දොරවල් හයකින් තම තමන් ම ඇතුළට ගන්නා හා පිට කරන ගතියි. ඇස, කන, නාසය, දිව, කය, මන යන මේ ආයතන හයෙන්ම කරනු ලබන්නේ යම් යම් ගති ඇතුළට ගැනීමයි. එසේම යම් යම් ගති පිට කිරීම යි. විඤ්ඤාණ නිරන්තරයෙන්ම උත්සාහ ගන්නේ ඉන්ද්‍රියයන් පිනවීමටයි. නිතරම ඇස පිනවන රූප, කන පිනවන ශබ්ද, නාසය පිනවන ගඳ සුවඳ, දිව පිනවන රස, කය පිනවන පහස, මන පිනවන මතක සටහන් ආදිය ඇතුළට ගැනීමටයි. මේ සියල්ලම ප‍්‍රිය දේවල්ම වේ.

එසේම මේ ඉන්ද්‍රියයන් හයම අමිහිරි, අප‍්‍රිය දේ ප‍්‍රතික්ෂේප කර පළවා හැරීමට නැත්නම් ඒවායින් ඉවත් වීමටත් කටයුතු කරයි. එනම් මේ ප‍්‍රිය අන්තය සේම අප‍්‍රිය අන්තයටත් හැම පෘථග්ජන පුද්ගලයෙකුම පටිච්ච වේ. පටිච්ච වීම යනු කැමැත්තෙන්ම බැඳීම යන අර්ථයයි. ප‍්‍රිය දේ එකතු කර ගැනීම සේම අප‍්‍රිය දේ බැහැර කිරීමට ඇති කැමැත්තත් පටිඉච්ච වීමක් බව හොඳින්ම තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ අන්ත දෙකම පෘථග්ජන පුද්ගලයකුට ප‍්‍රිය අන්තයන් වේ. මේ අන්ත දෙකට ම නොබැදී, නො ඇලී, නො ගැටී උපේක්ඛාවෙන් බැලිය හැකි නම් එවිට එතැනදී ඒ පුද්ගලයා පිරිසිඳ දැක ගත හැකි ශක්තියක්, පජානන ශක්තියක් – ප‍්‍රඥාවක් – ඇතිව යමක් දෙස බලා ඉවසා, විමසා ක‍්‍රියා කරන ශක්තියක් ඇති පුද්ගලයෙක් බවට පත් වේ.

යම් පෘථග්ජන පුද්ගලයෙකු දුටු දේ, ඇසුව දේ, ආස්වාද කළ දේ, මනසට මතු වූ අරමුණ ප‍්‍රිය නම් ඊට කැමැති වේ. ඵල විපාක හේතුඵල කිසිවක් නොසොයාම, නොවිමසාම එයට ඇලේ. තණ්හා වේ. එය උපාදානය කර ගනී. ඊට සම්බන්ධ වේ. ඒවාගේම දුටු දේ, ඇසුව දේ, ආස්වාදය කළ දේ, මනසෙහි මතු වූ අරමුණ අප‍්‍රිය එකක් නම්, ඒ සමඟ ගැටේ. ව්‍යාපාදයක්, ද්වේෂයක්, තරහක්, වෛරයක් හිතේ ඇති කර ගනී. මේ අන්ත දෙක ම පෘථග්ජන පුද්ගලයෙකුගේ ලේ ධාතුව කළු කරන කළු ධර්මයන් වේ. පෘථග්ජන පුද්ගලයෙකුට පිරිසිඳ යමක් ගැන දැක ගැනීමට නොහැකි වන තාක් කල් එහි ප‍්‍රතිඵලය ලෙස උරුම වන්නේ මේ අන්ත දෙකෙන් එකකට බැඳීම හෝ ගැටීමයි. මේ අන්ත දෙකම කෙළෙස් උපදවන ලේ ධාතුව කළු කරන, කිළිටි කරන, අඳුරු කළු ධර්මයන් වේ. පිරිසිඳ දැක ගැනීමට නොහැකි වන තාක් කල් මේ අන්ත දෙකටම පට්ච්ච වීම සිදු වීම නියතයකි.

එසේම යම් කෙනෙකුට ධර්මය අසා ධර්මය තේරුම් ගෙන මේ අන්ත දෙකට ම නො ඇලී, නො බැදී, නො ගැටී, මුළා නොවී ද්වේෂයක් සිතේ ඇති කර නොගෙන රාගයක් සිතේ ඇති කර නොගෙන උපේක්ඛාවෙන් මේ කරුණු විමසා ඉවසීමෙන් බලා එහි යථාස්වභාවය තේරුම් ගැනීමට හැකි නම් එවිට ඒ පුද්ගලයා පිරිසිඳ දැකීමේ ශක්තියක් සහිත”පජානනය” කළ හැකි පඤ්ඤාවන්තයෙකි. පටිඉච්ච වීමෙන් නිදහස් වීමට හැකි පුද්ගලයෙකි.

අරිය මාර්ගයේ ගමන් කරන අරිය උත්තමයෙකු නම් පටිච්ච ගළවා දැමීමට තවත් ඉදිරි පියවරකුත් අනුගමනය කළ යුතුමයි. පිරිසිඳ දකිනවා සේම කළු ධර්ම බැහැර කර සුදු ධර්ම භාවිතා කිරීමට ක‍්‍රියා කිරීමත් එම ඉදිරි පියවරයි. කළු ධර්ම බැහැර කිරීම යනු දැක්ක, ඇසුව, ආස්වාදය විඳින, මනසට අරමුණු වූ ප‍්‍රිය දේ නිසා රාගයෙන් සිත කිළිටි කරවන ස්වරූපයේ, ස්වභාවයේ රාගික ගතියක් නම් ඒ ප‍්‍රිය ගතිය වහාම සිතින් ඉවත් කර ඒ වෙනුවට වීතරාගී, නෙක්ඛම්ම, නොඇලෙන තත්ත්වයට හිත පත් කර වීතරාගී තත්ත්වයක් හිතේ ඇති කර ගැනීමේ ශක්තියයි. ඒ රාගික ආරම්මණයෙහි ඇලීමට සිතට ඇති වූ කැමැත්ත සිතින් ඉවත් කිරීම සඳහා පටිච්ච බව ගැළවීම සඳහා අනිච්ච, දුක්ඛ, අනත්ථ ති‍්‍රලක්ඛණය අනුපස්සනා කළ යුතුය. ඒ ප‍්‍රිය දේ කෙරෙහි නිච්ච සංඥාවක්, සුඛ සංඥාවක්, අත්ථ සංඥාවක් මතු වී ප‍්‍රිය රූපය කෙරේ පටිච්ච වේ නම් අරමුණ වූ නිච්ච සංඥාව ප‍්‍රහාණය කිරීම සඳහා අනිච්චානුපස්සනාව වඩා එහි ඇති අනිච්ච බව ප‍්‍රත්‍යක්ෂ කර යථා පරිදි තේරුම් ගත යුතුයි. සුඛ සංඥාව ප‍්‍රහාණය කිරීම සඳහා දුක්ඛානුපස්සනාව භාවිතා කර දුකට හේතුව සුඛ සංඥාවට බැඳීම බව ප‍්‍රත්‍යක්‍ෂ කර තේරුම් ගත යුතුයි. එසේම අත්ථ සංඥාව ප‍්‍රහාණය කිරීම සඳහා අනත්ථානුපස්සනාව බහුලව භාවිතා කර, අනාථ වීමට හේතුව අත්ථ සංඥාවකට බැඳීම බව ප‍්‍රත්‍යක්‍ෂ කර දැකිය යුතුයි. පටිඉච්ච වීම යනු ඒ අරමුණට බැඳීමයි. ඒ පටිඉච්ච ගැළවීම නිවනයි.

එසේම හිතේ ද්වේෂයක්, වෛරයක්, තරහක්, ඊර්ෂ්‍යාවක් ඇති වන ආරම්මණයක් ඇසින් දැක, කනින් අසා, නාසයෙන්, කටින් කයෙන් ආස්වාදය කර, මනසෙන් අරමුණක් ලෙසින් සිතේ ගැටුමක් පහළ වුවහොත් එයද සිත කළු කරන, කෙළෙස් උපදවන, මනස අඳුරු කරන, මෝහයට හේතු වන කළු ධර්මයක් බව දැක වහාම එයද පිළිසිඳ දැක, ඒ වෙනුවට ව්‍යාපාදයෙන්, වෛරයෙන් දුරුවෙනු සඳහා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා බව සිතේ ඇති කරගත හැකි කර්මස්ථානයක් ගෙන භාවිතා කළ යුතුයි. ඒ සමඟම මෙතැනදී ද පටිඉචිච වීමෙන් ගැළවීම සඳහා පෙර අවස්ථාවේදී රාගයෙන් මිදීමට ගත් ත‍්‍රිලක්ඛණ භාවනාව ම භාවිතා කර නිච්ච, සුඛ, අත්ථ, සංඥා ප‍්‍රහාණය කිරීම සඳහා අනිච්චානුපස්සනාව, දුක්ඛානු පස්සනාව, අනත්ථානු පස්සනාව භාවනා කළ යුතුයි. ද්වේෂයෙන් ඇතිවන පටිඉච්ච වීමද ගළවා දැමිය යුතුයි. රාගය මෙන්ම ද්වේෂය ද තම සිතේ ඇතිවන කැමැත්ත නිසාම ක‍්‍රියාත්මක වේ. මේ පිළිබඳව උදාහරණයන් ගෙන බලමු. ඔබේ මිතුරෙකුට, ඔබ ප‍්‍රිය කරන කෙනෙකුට- යහපතක් වීම දකින්නට, අසන්නට, ලැබීම ඔබේ සිතේ සතුට ඇති කරවන්නකි. එය නිච්ච, සුඛ, අත්ථ සංඥාවට හේතුවකි. ඒ වාගේම ඔබේ සතුරෙකුට අයහපතක් පාඩුවක්, විනාශයක් වීමත් අසන්නට හෝ දක්නට ලැබීමත් ඔබේ සිතට සතුටකි. මෙයද නිච්ච, සුඛ, අත්ථ සංඥාවකි. මේ අන්ත දෙකට ම ඔබ ගැටුණොත් හෝ බැඳුණොත් හෝ ඔබේ සිත රාගයෙන් හෝ ද්වේෂයෙන් කිළිටි වේ. ලේ ධාතුව කළු වේ. මනස මෝහයෙන් මොට්ට වේ. මේ නිසා ඔබ මෝඩයෙකු බවටද පත් වේ. පිරිසිඳ දැකීමට ශක්තියක් නැති පුද්ගලයෙකු බවට පත් වේ. දුප්පඤ්ඤ තත්ත්වයට පත් වේ.

ඔබේ චිත්තසංථානය වික්ෂෝප තත්ත්වයට පත් වන්නේත්, උද්ධච්ච තත්ත්වයට පත් වන්නේත් කම්පනයට, තැති ගැන්මට, භයට, වේදනාවට පත් වන්නේත් මේ දෙයාකාර වූ කළු ධර්මයන් (රාග, ද්වේෂ) සිතට ඇතුලු වීම නිසාම තමාගේ ලේ ධාතුවම අපිරිසිදු වී මෝහයට පත් වීම සිද්ධ වීම හේතුව කොට ගෙනම වේ. මෝහය, මෝඩකම, අවිද්‍යාව වැනි ළාමක ගති ලක්ෂණයන් කෙනකුගේ සිතට බාහිරයෙන් ඇතුලු වන ගති ලක්ෂණ නොවේ. රාගය හා ද්වේෂය නිසාම තම ලේ ධාතුව අපිරිසිදු වී, අපිරිසිදු ලේ මොළයේ ශෛලවල ඇති ශක්තිය වසා, අඳුරු කර, මුවහ කරන නිසා සිදුවන අභ්‍යන්තර ක‍්‍රියාවකිි. මේ නිසා හැම පෘථග්ජන පුද්ගලයෙකුම නිවැරදි ලෙසම තේරුම් ගතයුත්තේ පිරිසිඳ දැකිමේ ශක්තියෙන් තොර වූ විට පුද්ගලයෙකුට නිරන්තරයෙන් ම රාගයෙන්, ද්වේෂයෙන් ක‍්‍රියාකිරීමත් සමඟම මෝහය තමා තුළම අභ්‍යන්තර වශයෙන් තමාම බිහි කර ගන්නා බවයි. මෝහය තමා තුළ බිහිවීමත් සමඟ ම මනසේ ශක්තිය යෝනිසෝමනසීකරණය දුර්වල වී ඇත්ත නැත්ත, හොඳ නරක, කුසල් අකුසල්, කළු ධර්ම, සුදු ධර්ම, වෙන් කර දැන හඳුනා ගැනීමේ හැකියාව හා ශක්තිය දුර්වල වේ. දුප්පඤ්ඤස්ස පුද්ගලයෙකු බවට පත් වේ.

මෙහි අනෙක් පැත්තද මේ ආකාරයෙන් තේරුම් ගත යුතුයි. රාගයෙන්, දැඩි ආශාවෙන්, අභිජ්ජාවෙන් අරමුණකට නොඇලී, ද්වේෂයෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් අනෙකා සමඟ නොගැටී, උපේක්ඛා සිතින් ඉවසා, විමසා කටයුතු කිරීමට පුරුදු වූ විට තම මනස පිරිසිදු වී, ඒ අනුව කාමයෙන් තොර වූ නෙක්ඛම්ම තත්ත්වයටත්, ද්වේෂයෙන් තොර වූ අව්‍යාපාද තත්ත්වයටත් පත් වී, පිරිසිඳ දැකීමේ ශක්තිය තමාම මනස තුළින්ම දියුණු කරගත් පසු චිත්තසංථානය රාගයෙන් තොර තැනක් විමත් සමඟම මනසේ ශක්තිය හා පිරිසිඳ දැක ගැනීමේ ශක්තිය එනම් ප‍්‍රඥාව තමා තුළින්ම මතු වේ. දෙවනුව රාගයට, ද්වේෂයට මුල් වූ හේතුව වන පටිඉච්ච වීම ඉවත් කර මේ ගතිය උදුරා දමා සහමුළින්ම එය ඉවත් කර දැමීමට එනම් සමුච්ජේද කිරීමට නිච්ච, සුඛ, අත්ථ සංඥා ප‍්‍රහාණය කර අනිච්ච, දුක්ඛ, අනත්ථ අනුපස්සනා කර භාවිතා කළ යුතුයි. එවිට පටිඉච්ච වීම සිදු නොවී සමුදය ධර්ම බිහිවීම සිදු නොවී,උද්ධච්ච, විචිකිච්චා යන ගති සිතෙන් පහවී, සිත අවික්ඛේප තත්ත්වයටම පත්වේ. උද්ධච්චය සිතින් ඉවත් වීමත් සමඟම අවික්ඛේප තත්ත්වයට පත් වූ සිතට කම්පනයක්, තැති ගැනිමක්, භයක්, වේදනාවක් ඇති වීමට මුල් වූ හේතුවම නැති වේ. හේතුව පහව ගිය පසු ප‍්‍රහාණය කළ පසු සමුච්ජේද වශයෙන් ම සිතින් ඉවත් කළ පසුව ඵලයක්, විපාකයක් ඇති නොවේ. පටිච්ච නොවූ සිතක ”සං” උපතක්ද සිදු නොවේ. සමුදය බිහි වීමද සිදු නොවේ. සංසාරයට නොබැඳේ. පංචස්කන්ධයන් භාවිතා කළද ඒවා දැඩිව උපාදානය කර නොගනී.

කළු ධර්ම යනු තමාගේ ම චිත්තසංථානය කළු කරන, අඳුරු කරන, කිළිටි කරන කෙළෙස් ධර්ම ලෙස හැඳින්වේ. මේ නිසා ජීවිතේන්ද්‍රිය එහෙමත් නැත්නම් ලේ ධාතුව අපිරිසිදු වී, අභ්‍යන්තර වශයෙන් කෙනෙකුට නොයෙකුත් ආබාධත් ඇති වේ. එසේම මනස මුවහ වී මෝහය ක‍්‍රියාත්මක වීමද සිදු වේ. සංසාර ගමනට දිගින් දිගටම සංසාරේ අතරමං වීමට මුල් වූ හේතුව අතීතයේ දී කළු ධර්ම චිත්තසංතානයේ ඇතුළට එකතු කර ගැනීම හා එම කළු ධර්ම චිත්තසංථානයේ ගබඩා කර විඤ්ඤාණය ඒවා ආහාර ලෙසින් (ඒ කළු ධර්ම) විඤ්ඤාණයම භාවිතා කිරීමයි. විඤ්ඤාණයේ ආහාරය කළු ධර්ම නිසා නිරන්තරයෙන් ම විඤ්ඤාණය තමන්ට ආහාර සපයා ගැනීමට ක‍්‍රියා කරන බව කාටත් පැහැදිළි විය යුතුයි. මේ අනුව රාග ගතිය, මෝහ ගතිය, ද්වේෂ ගතිය එකතු කර චිත්තසංථානය තුළම ගබඩා කර ගත් විට ඒ ගති චිත්තසංථානය තුළදී ම පැසී, මෝරා වැඩිදියුණු වේ. මේ ගති ඇතුළට ගත්ත ස්වරූපයෙන්ම ආපසු අරමුණ වශයෙන් සිතේ මතු නොවේ. මේ ගති පැහී, මෝරා කාමාසව, භාවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව යන බලවත් ශක්තියෙන් යුතුව කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, අවිද්‍යා විතක්ක විචාර ලෙසින් තමාගේ ම සිතේ අරමුණු වේ.

ධර්මය අසා, දහම් ඇස පහදා ගෙන කෙනෙකුට විපස්සනා නුවණක් උපදවා මතු කර ගත යුතු වන්නේ මේ කළු ධර්ම එනම් අවිජ්ජාසව, භවාසව, දිට්ඨාසව තමන්ගේම චිත්තසංථානය තුළ ක‍්‍රියාත්මක වීම පිළිබඳව පිරිසිදුවම වෙන් කර දැන ගැනීමටයි. සිතේ මතු වන විතක්ක විචාර, රාගයට, ද්වේෂයට, මෝහයට මුල් වන අරමුණු නම් ඒවා දැන හඳුනා ගැනීමට හැකි ශක්තිය විපස්සනා ඥාණයයි. එසේම ධර්මය අසා, දහම් ඇස පහදා ගත් පසුව සිතේ නෙක්ඛම්ම, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සේම වීතරාගී, වීත ද්වේෂී, වීත මෝහී අරමුණු පහළ වේ නම් ඒවා යහපත් සුදු ධර්ම ලෙස සැළකේ. එනම්, සවිතක්ක සවිචාර බවත් තේරුම් ගත හැකියි. මේ ශක්තිය ලැබෙන්නේ විපස්සනා ඥාණයන් තුළින්ම වේ.

සීලයේ පිහිටා කටයුතු කරන කෙනෙකුගේ ක‍්‍රියාව, වචනය මෙන්ම සිතුවිල්ල ද පිරිසිදු වන නිසා ඉන්ද්‍රියයන් හයම සංවර වී, සුදු ධර්ම ක‍්‍රියාත්මක වීමත් කළු ධර්ම එකතු නොවීමත් සිදු වේ. මේ නිසා සීලය එනම් සංවර සීලය, චේතනා සීලය, ප‍්‍රහාණ සීලය, විපස්සනා ඥාණ පහළ වීමටද කෙනෙකුට නියත වශයෙන්ම කෙනෙකුට උපකාර වේ.

ලෝකයේ ලෞකික පැවැත්ම, විශ්ව ශක්තිය ක‍්‍රියාත්මක වන්නේ මේ කළු ධර්ම හා සුදු ධර්ම යන කොටස් දෙකම විශ්වය තුළ ක‍්‍රියාත්මක වන නිසයි. කළු ධර්ම පමණක්ම විශ්ව ශක්තියක් ලෙස ක‍්‍රියාත්මක වේ නම් සත්ත්වයාට ජීවත් වීමට යහපත් තැනක් ලෙස මේ ලෝකය පත් වන්නේ හෝ පවතින්නේ හෝ නැත. සුදු ධර්ම පමණක්ම ක‍්‍රියාත්මක වේ නම් ඒ හැම කෙනෙක් ම නිවන් දැක ගනී. මේ කළු ධර්ම හා සුදු ධර්ම දෙකමත් ක‍්‍රියාත්මක වන්නේ ඒ ඒ සත්ත්වයා ගේ සිතෙහිය. එනම් චිත්ත ශක්තිය, විඤ්ඤාණ ශක්තිය ලෙසින්මය. කළු ධර්ම චිත්තසංථානයේ විඤ්ඤාණ ශක්තියක් ලෙසින් ක‍්‍රියාත්මක වන තුරාවට නැවත නැවතත් සත්ත්වයා ඉපදි ඉපදී සංසාරයේ දුක් විදී. සුදු ධර්ම චිත්තසංථානයේ වගා වේ නම් විඤ්ඤාණ ශක්තිය දුර්වල වී, ප‍්‍රඥාව මතු වී සංසාර ගමන නිමා වී නිදහස් වේ. නමුත් කවදාවත්ම කොතරම් බුදුවරයන් ලොව පහළ වුවද ලෝකයේ ජීවින් ලෙස සිටින සියල්ලන්ම නිවන් නොදකී. ඒ ආකාරයට සියල්ලන්ම නිවන් දැක අවසාන වුවහොත් විශ්ව ශක්තියක් ලෝකයේ ක‍්‍රියාත්මක වීමද සිදු විය නොහැක්කකි.

මිනිසෙකු ලෙසින් මනුස්ස ආත්මයක උපත ලැබූ සෑම කෙනෙකුම අතීතයේදී සුදු ධර්ම එනම් කුසල් හා ඒවාගේම පුණ්‍ය ශක්තීන් පින්කම් ආදියත් යම් ප‍්‍රමාණයකට හෝ කරගෙන තිබේ. ඒ ආකාරයට පින්කම් හා කුසල් යන දෙකම අතීත සංසාරයේ දී වඩා පුරුද්දක් නොමැති කෙනෙකුට අද මිනිසෙකු ලෙස ඉපදීමට නොහැකියි. මිනිහකු වී උපත ලබන හැම කෙනකුමත් උපත ලබන්නේ විඤ්ඤාණ ශක්තියෙනි. මාර්ග ඵලයට පත්වී සිටින ජාත සෝතාපන්නකු ලෙසින් අරිය උත්තමයෙකු ලෙසින් මිනිස් ජාතියක උපතක් ලැබූවත් තවමත් විඤ්ඤාණ ශක්තියත් ක‍්‍රියාත්මක වේ. අරහත් තත්ත්වයට පත්වන තුරාවටම කළු ධර්ම එකතු කරනු ලබයි. එනම් විඤ්ඤාණ ශක්තිය තවදුරටත් ක‍්‍රියාත්මක වීමයි. සේඛ යන අරිය තත්ත්වයට පත් වූ පසුව ක‍්‍රමානුකූලව කුසලස්ස උපසම්පදා යන ක‍්‍රියාවලියට අනුගතවන නිසා ප‍්‍රඥාවෙන් සියලු ආකාර වූ කෙළෙස් ධර්මයන් ප‍්‍රහීණ කරගත හැකිියි. එසේම දස සංයෝජනයන් ම ප‍්‍රහාණය වේ. ආසව, අනුසය ධර්මයන් සියල්ලම ඛය කර කළු ධර්මයන් උපත ලැබීමේ ශක්තියත් සහමුළින්ම අවසන් කරනු ලැබේ. ඊට පසුව ‘‘ඛීණා ජාති, වුසිතං බ‍්‍රහ්මචරියං, කතංකරණීයං නාපරං, ඉතත්ථායාති, පජානාති’’ යන අරහත් තත්ත්වයටම පත්වේ. නවලෝකෝත්තර සිරි සද්ධර්මය යථා පරිදි අවබෝධ කරගත් සඳහටම සංසාර දුකින් මිදී නිදහස් වූ මිනිස් තත්ත්වය ඉක්ම වූ උත්තමයකු වේ. ඒ නිසාම අරහතුන්වහන්සේ කෙනෙකුට ”සත්ත්ව” යන නම භාවිතා කළ නොහැකියි. ඒ සියලු ‘‘ස්ව තත්ත්වයන්’’ ඉක්මවූ උත්තමයකු හෙයිනි. භව – උදුරා දමා බුද්ධ වූ හෙයිනි.

තවත් මිනිසෙකුට ඔහු තුළ ඇති කළු ධර්මයන් නැසීමට බැහැර කර ඉවත් කිරීමට මඟ කියා දෙන අරිය උත්තමයන්වහන්සේ කෙනෙකුට ”කළ්‍යාණ මිත‍්‍රයා” යන නම භාවිතා කරයි. කළු ධර්මයන් ඉවත් කිරීමට මඟ පැහැදිළිවම ප‍්‍රකාශ කර තවත් කෙනෙකුට නිවන් මඟ පාදා දීමට දේශණා කළ නොහැකි ගිහි හෝ පැවිදි කාට වුවද ”කළ්‍යාණ මිත‍්‍රයෙක් ” ලෙස හැඳින්විය නොහැකිය.

වරක් බුදුපියාණන්වහන්සේ, ආනන්ද හාමුදුරුවන්වහන්සේට දේශනා කර වදාළේ ”ආනන්ද මේ බුද්ධ සාසනයේ නිවන් මඟ පවතින්නේ කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය නිසාම යි, කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය නැති වූ විටක මේ නිවන් මඟත් වැහිලා, යටපත් වෙලා යනවා” යනුවෙනි. ඒ නිසා සියයට සියයක්ම මේ බුද්ධ සාසනයේ නිවන් මඟ රැඳී පවතින්නේම කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය නිසාමයි යනුවෙන් බුදුපියාණන්වහන්සේම දේශණා කර වදාළා නම් මේ කළ්‍යාණ මිත‍්‍රයා යනු කවරෙක්ද යන්න නිවැරදිවම තේරුම් ගත යුතුම යි.

කළ්‍යාණ මිත‍්‍රයා යනු කළු ධර්ම නසන්නට මඟ කියා දිය හැකි උත්තමයාට යි. මේ කළු ධර්ම යනු ආසව, අනුසය ධර්ම එහෙම නැත්නම් රාග, ද්වේෂ, මෝහ යන කෙළෙස් ධර්මයි. සෑම පෘථග්ජන කෙනකුම තමන්ම ඇතුළට එකතු කර ගන්නේ රාග, ද්වේෂ, මෝහ යන කෙළෙස් වර්ග තුනක් පමණි. විවිධ නම් වලින් කෙළෙස් 1500ක් ලෙස විග‍්‍රහ කළද, මේ මූළික කොටස් තුනට ඒ සියල්ලම ඇතුළත් වේ. චිත්තසංථානය ඇතුළට එකතු කර ගත් රාග, ද්වේෂ, මෝහ කළු ධර්ම බවට පත් වී ඒවා බල ගැන්වී, පැහී, මෝරා, පාක වී, ආසව අනුසය ලෙසින් නැවතත් සිතකම මතු වේ. මේ සංසාර ගමනට හේතු වන මූලිකම ක‍්‍රියාවලිය වේ. සාරයි යනුවෙන් එකතු කර ගන්නා දේ නිසාම පුද්ගලයකු, සත්ත්වයකු දෘෂ්ඨි ගත වේ.

මේ කළු ධර්ම පිළිබඳව විස්තර කර, විග‍්‍රහ කර මේවා හිතක හට ගන්නේ කෙසේද අතීතයේ තම තමාම දැන හෝ නොදැන හෝ චිත්තසංථානය ඇතුළට අරගත් මෙවන් කළු ධර්ම ඉවත් කර, ප‍්‍රහාණය කර, චිත්තසංථානය පිරිසිදු කර ගන්නේ කෙසේද, මතුවටත් කළු ධර්ම එකතු කිරීමේ ක‍්‍රියාවලියෙන් වැළකී නිදහස් වන්නේ කෙසේද යන සම්පූර්ණ නිවන් මාර්ගයම ප‍්‍රකාශ කළ හැකි වන්නේ මේ පිළිබඳව ප‍්‍රායෝගිකවම අත්විඳ ගත්, අත් දැක ගත් අරිය උත්තමයකුට පමණි. අනුමානයෙන් කාගෙන් හෝ අසා දැන පොතකින් පතකින් කියවා දැනගත් දේ අනුව මේ කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා ගැනීමට හෝ නිවන් මඟඵල ලබා ගැනීමට හෝ උපකාර වීමක් සිදු නොවේ. ලෞකික වශයෙන් යහපත් දිවි පෙවෙතක් ගත කිරීමට නම් අපායෙන් ගැළවීමට නම් දිව්‍ය ලෝක වලට යෑමට නම් ඒවා උපකාර කරගත හැකි වේ.

ඒ නිසා ආදී කළ්‍යාණංවා, මජ්ෙඣ කළ්‍යාණංවා, පරියෝසා කළ්‍යාණංවා යන තුන් ආකාරයටම අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයටම අයත් කළු ධර්ම නසා, චිත්තසංථානය පිරිසිදු කර ගත හැකි වන්නේ අරිය උත්තමයකුගෙන්ම පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයම ශ‍්‍රවණය කිරීමෙන්ම පමණි. එසේම අරිය උත්තමයකුට කෙනෙකුගේ අතීතයේ මහා කල්ප ගණනක් තුළදී එකතු කර ගත් අදටත් චිත්තසංථානයේ ගබඩා වී පවතින කළු ධර්ම එනම් කාමාසව, භාවාසව, දිට්ඨාසව, අවිද්‍යාසව ඉවත් කර ගැනීමටත් මඟ කියා දී, අනුගමනය කළ යුතු කර්මස්ථාන හා සීල, සමාධි, ප‍්‍රඥා ත‍්‍රිශික්ඛාවම පැහැදිළි කර දීමට හැකියාව ඇත. එතැනදී වර්තමානයේ එකතු කරගන්නා කළු ධර්ම එකතු කිරීමේ ක‍්‍රියාවලියෙනුත්, අනාගතයේ දී කළු ධර්මයන් එකතු කිරීමට ඉඩ ඇති ක‍්‍රියාවලියෙනුත් කෙනෙකුට ඉවත් වීමට මඟ පෙන්වා දී සමුච්ෙඡ්ද වශයෙන්ම කළු ධර්ම නසා දැමීමේ පිළිවෙත පැහැදිළි කර දීමේ හැකියාව ඇත්තේ කළ්‍යාණ මිත‍්‍රයකුටම පමණි.

එදා ගෝතම බුදුපියාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය යුගයේදී නම් පැයක් දෙකක් ඇතුළත දී මුල, මැද, අග යන තුන් කාලයම සළකා දාන කථා, සීල කථා, සග්ග කථා, නෙක්කම්ම කථා වැනි අංග සම්පූර්ණ සාමුක්කංසික දේශණාවක් කර කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා දී මිනිසුන් මාර්ග ඵලයන්ට පත්කිරීමේ ශක්තියක් ලබා දුන්හ. නමුත් අද කාලයේ ජිවත් වන මිනිසුන් හා සමාජය ඊට වඩා පිරිහී ආගම් සංකල්ප වලින් විකෘති වී ඇති නිසා දවසකින් නොව මාස ගණනකින් වුවද මිනිසුන්ට දේශණා කර මේ ධර්මාවබෝධය ලබා දීම අමාරු කාර්යයකි. ඊට මූලික ම හේතුව අද ලෞකිකත්වය කෙරෙහිම යොමු වූ දෙව්, මිනිස් සැප සම්පත් දැඩි සේ බලාපොරොත්තුවෙන්ම බුද්ධාගම පවා ඇදැහිල්ලක් ලෙසින්ම අදහන ලේබල් බෞද්ධ පිරිසම බහුල වීමයි. කොතරම් ශ‍්‍රද්ධාවෙන් යුක්ත වූ බෞද්ධයකුට වුවද අද එකවරක්, දෙකක් අසා මේ උතුම් ධර්මය තේරුම් ගෙන තම චිත්තසංථානයේ ගබඩා වී ඇති දෙව්, මිනිස් සැප පැතීමේ ගතිය, දෘෂ්ඨිය ඉවත් කර ගත නොහැකියි. එය ඉතාමත් ම අමාරු කාර්යයකි. කළු ධර්ම යනු මේ ගතිගුණ හා බැදුණු මතු බලාපොරොත්තු වේ. අද මිනිසුන් සිල් රකින්නේ දෙව් ලොව යෑමේ සැප විඳීමේ බලාපොරොත්තුවෙනි. දන් දෙන්නේ, දෙන දේ මෙන් සිය දහස් ගුණයක් ආපසු ලබා ගැනීම සඳහායි. භාවනා කරන්නේ ධ්‍යාන ලබා මානයෙන් ලෝකයාට ඍද්ධි ප‍්‍රාතිහාර්යයන් පෙන්වීම සඳහායි. මානයෙන්, මමත්වයෙන් ක‍්‍රියා කරනු මිස කළු ධර්ම මොනවාද යන්න නිසි අවබෝධයක් ඇතිව ධර්මානු ධම්ම ප‍්‍රතිපදාවේ යෙදෙන මිනිසුන් අද බෞද්ධයින් අතරත් විරල වේ. ධර්මය දේශණා කරන බොහෝ දේශකයින් ද තමාගේ ම ආත්ම ලාභය සඳහා ම මුදල් එකතු කර ගැනීමටත්, පොත් විකුණා වෙහෙර බෝමළු සෑදීමටත්, තමන්ගේම සුඛ විහරණය සඳහා ප‍්‍රසිද්ධිය, ප‍්‍රචාරය ප‍්‍රසංසාව, ප‍්‍රණාමය හෝ ප‍්‍රතිලාභයක් හෝ සඳහාම ධර්මය දේශණා කරයි නම් නිසා කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියක් ලැබේ යැයි සිතිය නොහැකියි. මේ අනුව කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා දීමත්, ලබා ගැනීමත් යන දෙකම අද එක සේ අමාරු කාරණා දෙකකි. කළ්‍යාණ මිත‍්‍රයා යනුු කවුද, කළ්‍යාණ මිත‍්‍රයාට කළ හැකි දේ මොන වාගේ දෙයක් ද යන්න හොඳින් නිවැරදිව ම තේරුම් ගත යුතුයි.

මිනිසුන් ඇතුලු සියලු සත්ත්වයන්, දෙවියන් පවා සංසාර ගමනට කැමැත්තෙන්ම බැඳෙන්නේ, ඇලන්නේ, පටළැවෙන්නේ, මුළා වෙන්නේ තම තමාගේම චිත්තසංථානයෙහි රාග, ද්වේෂ, මෝහ යන කෙළෙස්, කළු ධර්ම ගබඩා වී, මුල් බැස පැවතීම නිසයි. මේ කෙළෙස් අත් හැරීමට, ප‍්‍රහාණය කර ඉවත් කර දමා ඒවායින් නිදහස් වීමට තම තමන් තුළම ඇති මේ ශක්තිය පිළිබඳව මනසක් ඇතිව උපන් මිනිසුන් අතුරින් පවා තේරුම් ගන්නේ කිහිප දෙනෙකු පමණි. බොහෝමයක් දෙනෙකුට මේවා තේරුම් ගැනීමටද නොහැකියි. තවත් කොටසක් මෙවැනි ධර්මය ඇසීමට පවා අකමැතියි. මේ කෙළෙස්, කළු ධර්ම බුදුපියාණන් වහන්සේම පෙන්වා දුන්නේ කුණු ලෙසයි. මේ කුණු සොළවා, ගළවා අස්කර දැමිය යුතු දේ නිසා ”කුසලස්ස උපසම්පදා” යනුවෙන් දේශණා කර වදාළහ. කුසලස්ස යනු ”කුණු සොළවා අස්කර දැමිය යුතුයි” යන අදහසයි.

අද කුසලස්ස යන පදයත් පින්කම් යන පදයත් බොහෝ අය පටලවා ගෙන භාවිතා කරති. අස්කර, ඉවත් කර නිදහස් විය යුතු කුණු ගොඩක් පිළිබඳව කියැවෙන කුසල් යන පදයත්, සිත පහන් කර චිත්ත ප‍්‍රසාදයත් සඳහා කරන පින්කමත් ක‍්‍රියා දෙකක් බව තේරුම් ගත යුතුයි. පින්කම් කර සිතේ පැහැදීමක් ඇති වූ විට දෙවනුව සිතේ ගබඩා වී පවතින කුණු, රාග, ද්වේෂ, මෝහ මුළින්ම ගළවා, අස්කර ගැනීමටත් හැකි වේ. ඒ නිසා නිවනට මේ දෙකම එක සේ අවශ්‍ය වේ. කුණු සළා අස්කර දැමීමට නම් ප‍්‍රඥාව යන ශක්තියත් අවශ්‍ය වේ.

ප‍්‍රඥාව අවශ්‍ය වන්නේම කුසල් පූර්ණ කර ගැනීමටයි. ප‍්‍රඥාවෙන් කර ගන්නේ පජාහති, පහානාති, පස්සති යන අස්කිරීම, බැහැර කීරීම, මුළින්ම ගළවා ඉවත් කිරීම වශයෙන් පෙන්වූ ක‍්‍රියාවන්මයි. මෙතැනදී කළු ධර්ම බැහැර කිරීම සිදු කරනු ලැබේ. ඒ වෙනුවට සුදු ධර්ම භාවිතා කිරීමකුත් අවශ්‍ය කෙරේ. සුදු ධර්ම ලෙසින් ධර්මයේ පෙන්වා වදාළේ චිත්තසංථානය පිරිසිදු කරන කළු ධර්ම වලට විරුද්ධ වූ දේවල්ම වේ. සුදු ධර්මයන් ලෙසින් පෙන්වා වදාළ වීතරාගී, වීතද්වේෂී, වීත මෝහී මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අනාසව, නිරාමිස ගති චිත්තසංථානය ඇතුළට ගැනීමෙන් මෙතුවක් කල් චිත්තසංතානය තුළම ගබඩා වී තිබූ කළු ධර්මයන් කැපී විනාශ වී යයි. සුදු ධර්මයන් කිසිවිටකත් විඤ්ඤාණයට ආහාර ලෙසින් භාවිතා කළ නොහැකියි. ඒ නිසා විඤ්ඤාණ ශක්තිය දුර්වල වී, ප‍්‍රඥාව උපදවා, පහදා ගත හැකි වේ. මේ අනුව සහමුළින්ම ”භව” උදුරා දමන්නට උපකාර වන බුද්ධ ඥාණ මතු වේ. ඒ ප‍්‍රඥා විමුක්තියට පත්වීමේ මාර්ගයයි.

කළු ධර්මයන් චිත්තසංථානයේ ගබඩා වී පවතින තුරාවටම විඤ්ඤාණයට අවශ්‍ය ආහාර ද ලැබේ. ඒ වාගේම සත්ත්වයාට මතු ජාතියක්, උපතක් සකස් කර ගැනීමට අවශ්‍ය වන උපකාර වන කර්ම බීජද මේ කළු ධර්මයෝම වේ. ඒ නිසා විඤ්ඤාණයට මේ කූඩූව නැති වීමේ භයක් ඇති නොවේ. නැවතත් කූඩුවක් සදාගෙන එහි පදිංචි විය හැකි වේ. මේ කර්ම බීජ ”භව” යන පදයෙන් ධර්ම විග‍්‍රහයේදී පෙන්වා වදාරා ඇත. ”භව පච්චයා ජාති” ලෙස පටිච්චසමුප්පාද විග‍්‍රහයේ පැහැදිළි ලෙසින්ම දේශණා කර වදාළ ”කර්ම බීජ අවස්ථාව” උපතක් හෝ ආත්මයක් හෝ ජාතියක් යන අර්ථය ඇති පදයක් නොවේ. ඊට පෙර අවස්ථාවයි. පටිච්චසමුප්පාද විග‍්‍රහය පිළිබඳව නිවැරදි ලෙසින් අර්ථ විග‍්‍රහයක් කිරීමට නොහැකි වූ බොහෝ බෞද්ධයන් උගතුන් පවා අතරමං වී ”ජාති හා භව” යන අවස්ථා දෙකම පටළවා ගෙන ක‍්‍රියාකිරීම නිවන් මඟ වසා ගත් මූලිකම හේතුව වී ඇත.

යමෙකුට නිවන් දැක ගැනීමට අවශ්‍ය නම් ඒ පුද්ගලයා කරගත යුතු වන්නේ කර්ම බීජ, භව නිරෝධ කර තම චිත්තසංථානයේ ගබඩා වී පවතින සියලුම අතීත කර්ම බීජද හිස් කර දැමීමයි. ඒ සඳහා පළමුවම අලුතින් නව කර්ම බීජ රැුස් කිරීම වළක්වා, වාරණය කර ගත යුතු වේ. දෙවනුව අතීතයේ රැස් කළ කර්ම බීජ අස් කර චිත්තසංථානය හිස් කර ගත යුතු වේ. තෙවනුව නව කර්ම බීජ මතු අනුප්පාද වන ලෙසින්ම සමුච්ජේද වශයෙන් සමුදය මුල් ගළවා දැමිය යුතුයි. මේ පියවර තුනම සීල, සමාධි, ප‍්‍රඥා ලෙසින් ද ධර්මයේ විග‍්‍රහ කර තිබේ. මෙහිදී මෙම පියවර තුනම කළු ධර්ම බැහැර කිරීම හා සුදු ධර්ම භාවිතා කිරීම යනුවෙන්ද විග‍්‍රහ කළ හැකියි. ”භාවේතබ්බංච භාවිතං – පහාතබ්බංච පහීනං” යන මාගධී පද වලින් විග‍්‍රහ වන්නේ මේ අදහසම ඇතිවයි. ”ආසව අනුසය පරික්ඛීණා” කිරීමත් සමඟම දස සංයෝජනයන් ම ප‍්‍රහාණය වේ.

”ඒවං සංයෝජනා පහීයන්තී,
ආසව අනුසයා ඛ්‍යන්තීහොන්තී”

මේ ආකාරයට සෝතාපන්න මාර්ගයේදී සංයෝජන තුනකුත් දිට්ඨානුසය, විචිකිච්චානුසය යන අනුසය කොටස් දෙකත් ඛයා හොත්තී සහමුළින් ම ගැළවී යයි.

සකෘදාගාමී මාර්ගයේදී කාම රාග හා පටිඝ යන සංයෝජන දෙකත් කාමරාග අනුසය හා පටිඝ අනුසය යන අනුසය ධර්මය දෙකත් තුනී වී ඕලාරික තත්ත්වයට පත් වේ.

අනාගාමී මාර්ගයේ දී කාම රාග හා පටිඝ යන සංයෝජන දෙකත් කාමරාගනුසය, පටිඝානුසය දෙකත් සහමුළින් ම ඉවත් වේ. අරහත් මාර්ගයේදී රූපරාග, අරූප රාග, මාන, උද්ධච්ච අවිජ්ජා යන පංච උද්ධංභාගිය සංයෝජනත්, මානානුසය, භාවරාගානුසය හා අවිජ්ජානුසයත් සහමුළින් ම ප‍්‍රහාණය කර විද්‍යා විමුක්තියට පත්ව ප‍්‍රඥා විමුක්තිය සාක්ෂාත් කර ගනී.

මේ හතර අවස්ථාවේදීම මාර්ගය සම්පූර්ණ වීමත් සමඟම ”ඛණ” සම්පත්තියට පත් වේ. මෙතැන ”ඛණ” යන පදයෙන් විග‍්‍රහ කළේ අර්ථ දැක් වූයේ ”ආසවඛ්‍යා” යන අර්ථයෙනුයි. ආසව, අනුසය මුලින් උදුරා දැමුවාය යන අර්ථයයි. අද ඛණ යන පදයට ”ක්ෂණ සම්පත්තිය” කියන පදය යොදාගෙන තිබුණත් මෙතැන ක්ෂය කිරීමක් හෝ ක්ෂණයක් යන අදහසක් හෝ බුද්ධ භාෂිතයේ දී අර්ථ ගැන්වූයේ නැත. ආසව, අනුසය මුලින් උදුරා දැමීම මෙතැනදී සිදු වේ. ඛීණා ජාතී, බීණං පුරාණං, ඛයං විරාගං යන හැම තැනම මේ පදය යොදා ඇත.

මනීන්ද්‍රිය හා මනායතන යන පද දෙකෙන් විග‍්‍රහ වන්නේද අවස්ථා දෙකකි. මනස නැතිනම් මනීන්ද්‍රිය යනු මැනීමේ පෙරීමේ, එහෙමත් නැත්නම් හොඳ නරක, කළු සුදු ධර්මයන් වෙන් කර, දැන හඳුනා ගෙන, තෝරා බේරා භාවිතයට ගැනීමේ හෝ බැහැර කිරීමේ හෝ ශක්තියයි. මනායතනයක් ලෙසින් මනස ක‍්‍රියාත්මක වෙන අවස්ථාවල දී, දැනුම, ඥාණය එකතු කර ගැනීමක් සිදු වේ. මනායතන අවස්ථාවල දී හොඳ නරක, කළු සුදු ධර්ම කොටස් දෙකම මනායතනයෙන් එකතු කර ගනී. මනීන්ද්‍රිය ක‍්‍රියාත්මක වන අවස්ථාවල දී පෙරා මැන බලා, තෝරා බේරා ගති ඇතුළට ගත්තද මනායතනය ක‍්‍රියාත්මක වන විට එසේ තෝරා බේරා ගැනීමක් සිදු නොවේ. මනීන්ද්‍රිය පිරිසිදු වීමත් සමඟ ම කෙනෙකුගේ ප‍්‍රඥාවත් ක‍්‍රියාත්මක වේ. මනීන්ද්‍රියෙන් තෝරා බේරා දුන් කළු ධර්ම, චිත්තසංථානයෙන් පිට කිරීම, බැහැර කිරීම, ප‍්‍රහාණය කිරීම සිදු කරන්නේ ප‍්‍රඥාවෙනි. ඒ නිසා ඒ අවස්ථාව වන විට, ශ‍්‍රද්ධා, වීර්ය, සති, සමාධි යන ඉන්ද්‍රියයන් හතරමත් ක‍්‍රියාත්මක වී කළු ධර්ම ප‍්‍රහාණය කිරීමට පඤ්ඤා ඉන්ද්‍රියට උපකාර වේ.

මේ අනුව ඥාණ, දැනුම, උගත්කම එකතු කර ගැනීමට මනායතනය උපකාර වන අතර මනීන්ද්‍රිය මගින් ඒ එකතු කර ගත් ලෞකික ඥාණය පෙරා, ශුද්ධ පවිත‍්‍ර කර නිවන් අවබෝධයට අවශ්‍ය වන ප‍්‍රඥාව හා බුද්ධ ඥාණයන් උපදවා මතු කර දෙනු ලැබේ. එසේ නම් යෝනිසෝමනසිකාරය යනු මනීන්ද්‍රිය භාවිතා කරන අවස්ථාව ලෙස හැඳින්විය හැකිය.

මේ අනුව නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන හැම කෙනෙක්ම පළමු කොට ධර්මය අසා – පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය ම අවධානයෙන් අසා සුතමයේ ඥාණයක් හා සුතමයේ පඤ්ඤාවක් ලබාගත යුතු වේ. ඒ සුතමයේ පඤ්ඤාවෙන් තමාගේ ම චිත්තසංථානයේ ගබඩා වී පවතින, අරමුණු වශයෙන් සිතේ අරමුණු වන, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක දැන හඳුනා ගැනීමටත් දැක ගැනීමටත් හැකියාව ලැබේ. එවැනි සිතක කාම විතර්ක මතු වෙන්නේ කාමාසව, දිට්ඨාසව, භවාසව, අවිද්‍යාසව, චිත්තසංථානයේ ගබඩා වී පවතින නිසාම බවත් දැක ගැනීමේ ශක්තියක් ලැබේ. මේ ශක්තිය ශ‍්‍රද්ධා බල, වීර්ය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල ලෙසින් පෙන්වා වදාරා ඇත. මෙවැනි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, අවිද්‍යා විතක්ක සිතට අරමුණු වූ වහාම ඒවා දැන හඳුනා ගෙන, ඒවා ප‍්‍රහාණය කර, ඉවත්කළ යුතු බවත් ප‍්‍රඥාවෙන් ම දැක ගනී. මේ විතක්ක, විචාර යටපත් කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බවත්, මේවාට නිධාන වූ ආසව අනුසය සහමුළින් ම උදුරා, ගළවා දැමිය යුතු බවත් යථාපරිදි අවබෝධ කර ගනී. විපස්සනා නුවණින් විපස්සනා භාවනා කර්මස්ථානයක් භාවිතා කර ආසව, අනුසය ධර්මයන් කළු ධර්මයන් සමුච්ජේද වශයෙන් ගළවා ඉවත් කිරීමටත් පියවර ගත හැකි වන්නේ ප‍්‍රඥාවෙන්මයි.

කාම විතක්කයන් ලෙස සිතකට අරමුණු වන්නේ ප‍්‍රිය රූපාරම්මණයක්, ප‍්‍රිය ශබ්ධාරම්මණයක්, ගන්ධාරම්මණයක්, ප‍්‍රිය රසාරම්මනයක්, ප‍්‍රිය පොට්ඨබ්බා රම්මණයක් හෝ ප‍්‍රිය ධම්මාරම්මණයන්මයි. ඒ වාගේම ව්‍යාපාද විතක්ක විචාර ලෙස සිතකට අරමුණු වන්නෙත් අප‍්‍රිය රූපාරම්මණ, අප‍්‍රිය ශබ්දාරම්මණ, අප‍්‍රිය ගන්ධාරම්මණ, අප‍්‍රිය රසාරම්මණ, අප‍්‍රිය පොට්ටබ්බාරම්මණ හා අප‍්‍රිය ධම්මාරම්මණයෝ යි. මේ කුමන ආකාරයේ හෝ අරමුණක් සිතේ පහළ වුවද අවිද්‍යාවෙන් හා තණ්හාවෙන්ම ඒ සංඛාරයන් සමඟ ඇලෙන්නට හෝ ගැටෙන්නට හෝ යොමු වේ නම් එතැනදී සිතේ ඇති වූ කැමැත්තට බැඳේ. එය පටිච්ච වීම වේ.

පටිච්ච වූ සිතක් තමා ම නිරෝධ කර නොගත්තේ නම් ඒ අවස්ථාවේදී සමුදය ධර්මයකට ම බැදී සංඛතයක් බිහි කර තමාම සංසාරයට බැඳේ. මේ ආකාරයට අවිද්‍යා මූලයෙන් සිතකට අරමුණු වූ සංඛාරයකට බැඳී ඒ සංඛාරය දිගේ සිතුවිලි පැවැත්වූවොත්, මුළු පටිච්චසමුප්පාද ක‍්‍රියාවලියම සිද්ධ වී සංසාරයට බැඳීම සිදු වේ. මේ ක‍්‍රියාවලිය අවිද්‍යාමුල පටිච්චසමුප්පාද ක‍්‍රියාවලියයි. ප‍්‍රඥාව උපදවා පහදා ගත් පුද්ගලයකුට ධර්මය අසා තේරුම් ගත් කෙනෙකුට පටිච්චසමුප්පාද ක‍්‍රියාවලිය සිදු වන ආකාරය දැන ගත්තත්, නැතත් තමන්ගේ සිතේ මතු වූ ප‍්‍රිය ආරම්මණයට බැඳෙන බවත්, අප‍්‍රිය ආරම්මණයට ගැටෙන බවත් තේරුම් ගැනීමෙන් ඒ ආරම්මණයට නොබැඳී, නොඇලී, නොගැටී, මුළා නොවී කටයුතු කිරීමට අනිච්ච, දුක්ඛ, අනත්ථ ත‍්‍රිලක්ඛණය භාවනා කර සිතේ ඇති වූ සංඛාරය නිරෝධ කර සමුදය ධර්මයක් බිහි වීම නවතා ගන්නටත් හැකි වේ. එසේ නැත්නම් ඒ ප‍්‍රිය හෝ අප‍්‍රිය හෝ ආරම්මණයට පටිච්ච වීමේ ගතිය උදුරා දමා නිදහස් වීමටද හැකියාව තිබේ.

මේ හැම විපස්සනා භාවනාවක් ම වැඞීම සඳහා ද්වතාව ධර්මය හා ආනාපානා සති භාවනාව නිවැරදීවම තේරුම් ගත යුතු වේ. ද්වතාව ධර්මය තේරුම් නොගත් කෙනෙකුට කළු ධර්ම හා සුදු ධර්ම වෙන් කොට දැන හඳුනා ගත නොහැකියි. අවිද්‍යාමූල හා කුසල මූල ධර්ම වෙන් කොට දැන හඳුනා ගත නොහැකියි. ආසව හා ආනිසංස දැන හඳුනා ගත නොහැකි වේ. භාවිතා කළ යුතු දේ හා භාවිතයෙන් බැහැර කළ යුතු දේ දැන හඳුනා ගත නොහැක. ඒ නිසාම ආනාපාන සති භාවනාවක් වැඞීමද කළ නොහැක. අස්ස කළ යුතු දේ හා පස්ස කළ යුතු දේ වෙන් කර තේරුම් ගැනීමට නොහැකි වූ ද්වතාවය තේරුම් නොගත් අය හුස්ම ගැනීම හා පිට කිරීම පමණක් කරනු මිස ඇතුළට ගත් සුදු ධර්ම හා පිට කළ යුතු කළු ධර්ම ගැන තේරුම් නොගනී. මනසේ ශක්තිය උසස් තත්ත්වයට පත්කර ගැනීමේ ශක්තිය ද, හැකියාව ද සහිත මිනිසකු හැටියට උපත ලැබූ හැම කෙනෙකුටම ඥාණය යන දැනුමත් ලබාගත හැකියි. උතුම් බුද්ධ ධර්මය අසා ධර්ම ඥාණය ලබා ගත හැකි වන්නේ පෙර කළ පින් ඇති නිවන් දැකීමේ අධිෂ්ඨානයෙන් ක‍්‍රියා කරන මිනිසුන් කොටසකට පමණි. අද ලංකාවේම උපත ලත් හැම කෙනෙකුටමත් මේ උතුම් ධර්මය අසා ශ‍්‍රවණය කර දැනුමක්, නුවණක් ලබාගත හැකිව තිබුණත් මේ ධර්ම මාර්ගයට අනුගත වී ප‍්‍රඥාව උපදවා පහදා ගත හැකි වන්නේ අතළොස්සකට පමණි.

ප‍්‍රඥාව තවත් කාගෙන් හෝ ලබා ගත නොහැකි තමන්ගේ ම ආධ්‍යාත්මය තුළින්ම ලබා ගත යුතු පිරිසිදු ශක්තියක් බව හැම කෙනෙකුම තේරුම් ගත යුතුයි. නුවණක් නැතිව, දැනගත යුතු දේ අසා දැනගන්නේ නැතිව, ප‍්‍රඥාව යන ශක්තිය කෙනෙකුට උපදවා පහදා ගත නොහැකි වේ. ප‍්‍රඥාව යන වචනයෙන් අදහස් කරන්නේ සංවර්ධනයක් හෝ දියුණුවක් හෝ යන අදහසක් නොවේ. ප‍්‍රඥාව යනු පිරිසිදු වීමක්, පිවිතුරු වීමක්, ප‍්‍රභාස්වර තත්ත්වයට සිත පත් වීමකි. භාවිතා කළ යුතු දේ හා භාවිතයෙන් බැහැර කළ යුතු දේ බැහැර කිරීමෙනුත් යන ක‍්‍රියා මාර්ග දෙකෙන්ම වන්නේ පිරිසිදු වීමයි. කළු, කැත, කිළිටි, කුණු බැහැර කළ යුතුයි. සුදු, පිරිසිදු දේ ඇතුළට ගත යුතුයි.

අපි මේ සංසාරයේ අතීත කල්ප කාලාන්තරයක් පුරාම ඥාණය, දැනුම, එකතු කර රැගෙන ආවද මේ එකතු කර ගන්නා දැනුම, ඥාණය පිළිබඳ ඇත්ත ඇති ලෙස පිරිසිඳ දැක ගෙන නොමැත. එසේ පිරිසිඳ දැක ගත්තා නම් දුකට මුල්වන, දුක්ඛ සමුදයට මුල් වන, දුක්ඛ නිරෝධයට උපකාර වන, දුක්ඛ නිරෝධගාමී ප‍්‍රතිපත්තිය අනුගමනය කර තිබිය යුතු වේ. මේ චතුරාර්ය සත්‍යය ධර්මයේ පෙන්වා වදාළ දුක හා දුක්ඛ සමුදය මෙන් ම දුක්ඛ නිරෝධයත් අරිය උත්තමයෙකුගෙන් අසා දැන ඥාණයෙන් ම අවබෝධ කරගත යුතු දේ වෙ. ඒවා අසා දැන පිරිසිඳ දැකගත්තා නම් දුක්ඛ නිරෝධගාමී පටිපදාවත් අනුගමනය නොකර නොසිටී.

මේ අනුව ඥාණය යන අර්ථයෙන් පෙන්වා වදාළ දැනුමත් ඉතාමත් ම වැදගත් වේ. අඥාණ පුද්ගලයකුට කෙසේවත් චතුරාර්ය සත්‍යයන්, පටිච්චසමුප්පාද ධර්මය වැනි දේ තේරුම් ගැනීම හෝ අනුගමනය කිරීම හෝ කළ හැකි නොවේ. දැනීම හා දැකීම යන ජානතෝ, පස්සතෝ යන පියවර දෙකම නිර්වාණ අවබෝධයට එක සේ වැදගත් පියවරයන් දෙකකි. ”භව උදුරා දමා” බුද්ධත්වයට පත් වීමට නම් ඥාණය හා ප‍්‍රඥාව යන දෙකම නිවැරදි ලෙසම දැන ගැනීමත්, දැක ගැනීමත්, අනුගමනය කර අත්විඳ ගැනීමත් අවශ්‍යම වේ. බුද්ධත්වය යන භව උදුරා දැමීම නොකර කෙනෙකුට අරහත් බුද්ධ, පසේ බුද්ධ, ලොවිතුරා බුද්ධ යන තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත් වීමටත් නොහැකි වේ.

ගෝතම බුදුපියාණන්වහන්සේ පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයේදී දේශණා කර වදාළේ ”වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භව,භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යනුවෙනි. මෙය අවිද්‍යා ප‍්‍රත්‍යයෙන් සිදු වන හේතු ඵල ක‍්‍රියාදාමය යි. ජාතියක් ඇති වීමට, ජාතියක ඉපදීමට නියත වශයෙන්ම හේතු වන මූලිකම කාරණය ”භව” යන අවස්ථාවයි. ”භව” යන පදයෙන් අදහස් වන්නේ උපතක්, ජාතියත් හෝ ආත්මයක් යන අර්ථයෙන්ම නොවේ. ”භව” යනු උපතක් යනුවෙන් තේරුම් ගත් බොහෝම උගත් බෞද්ධයින් පවා, අවිද්‍යාවෙන්ම නැවතත් සංසාරයේම අතරමං වී ඇත. ”භව” යනු බීජ අවස්ථාව වේ. ”ජාති” යනු බීජයක් උපත ලබා පැළ වූ අවස්ථාවකි. ”භව” නිරෝධ කිරීමෙන්ම ජාති නිරෝධ කර ගත හැකි බව හැම කෙනෙකුටම තේරුම් ගත හැකියි. මේ ඉපදී ජීවත් වන ජාති නිරෝධ කළ නොහැකියි. නමුත් මේ ජීවත් වී සිටින කාල පරාසය තුළදී ම නිවැරදි ලෙසින් ධර්මය අසා ධර්මාවබෝධයක් ලබාගෙන ඕනෑ ම මිනිහකුට ධම්මානුධම්ම පටිපදාවේ යෙදීමෙන් ”භව” නිරෝධ කරගත හැකි වේ. ”භව” නිරෝධ කළවිට මතු ”ජාති” ත් නිරෝධ වේ. ජාති නිරෝධ කර ගත් විට මතු ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යන සියලුම දේ නිරෝධ කර ගත හැකි වේ.

මේ අනුව මුළු බුද්ධ ධර්මයම, පටිච්චසමුප්පාද ධර්මය ම දේශණා කර, විග‍්‍රහ කර, පැහැදිළි කළේ ”භව” උදුරා දැමීම ම නිවන යන අදහස ඇතිවයි. අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන යන සියලුම අවස්ථාවන් නිරෝධ කිරීමෙන් බලාපොරොත්තු වන්නෙත් ”භව” යන බීජ අවස්ථාව නිරෝධ කිරීමයි. සංඛාර, විඤ්ඤාණ ආදී මේ මුල් අවස්ථා නවයම ”සමුදය” තත්ත්වයට පත් වන්නේ ”භව” යන අවස්ථාවට කර්ම බීජයක් ලෙසින් සකස් වීමෙන් පසුවයි.

මේ නිසා අලුතින් කර්ම බීජ සකස් වීම වැළැක්වීමටත්, අතීතයේ සකස් කර එකතු කර, ගබඩා කර ඇති සියලුම කර්ම බීජ ඇහැ කර, විනාශ කර දමන්නටත් මඟ පැහැදිළි කර දුන්නේ බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ පටිච්චසමුප්පාද විග‍්‍රහයෙන්ම වේ. ඒවාගේම කර්ම බීජ සකස් වීමට මූලිකවම උපකාර වන යාන්ත‍්‍රණය සහමුළින්ම චිත්තසංථානයෙන් ඉවත් කරගැනීමට සමුච්ජේද වශයෙන්ම ගළවා ඉවත් කිරීමට උපකාර වන්නේත් කුසලමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයෙන් පෙන්වා වදාළ කුණු මුල් සොළවා, ගළවා, අස්කර දැමීමේ ප‍්‍රතිපත්ති මාර්ගයයි.

බුද්ධ ධර්මයේ ”භව” යන පදය ”භවය, භවයක්” ලෙස අදහස විකෘති කර ජාතිය හා භවය එකම අර්ථයකින් තේරුම් කිරීම නිසා ”භව” නිරෝධ කර ගැනීමේ ක‍්‍රියාවලිය ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නැගිය නොහැකි වී තිබේ. සංසාර ගමන දිගින් දිගටම නොනවත්වාම පවත්වා ගෙන යන බලවේගය කෙනෙකුගේ චිත්තසංථානයක් තුළ පවතින රාග බව, ද්වේෂ බව, මෝහ බව ගබඩා වී, තැන්පත් වී ශක්තියක් ලෙසින් ”සම්භව” ක‍්‍රියාත්මක වී තණ්හාවෙන්, අවිද්‍යාවෙන් පංචඋපාදනස්කන්ධයම උපාදානය කර, සංසාරයට බැඳී හේතුඵල පරම්පරාවක් ක‍්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙලයි. මේ වැඩ පිළිවෙල නිමා කිරීමට නම් ගමනට ශක්තිය ලබා දෙන ශක්ති උල්පත වූ රාග බව, ද්වේෂ බව, මෝහ බව, නිරෝධ කිරීම කළ යුතුයි. මෙහි ”බව” හා ධර්ම විග‍්‍රහයේ ”භව ” යනු එකම අදහසයි. ඒ නිසාම බුද්ධ දේශණාවේ නිවන විග‍්‍රහ කිරීමේදී ”රාගක්ඛයෝ, ද්වේෂක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බානං” යනුවෙන් විග‍්‍රහ කර ඇත.

රාග බව, ද්වේෂ බව, මෝහ බව යනු සංසාර පුරුද්දකි. ගතියකි. ප‍්‍රිය මධුර දේ වලට කැමැත්තෙන් ඇලෙන, බැඳෙන, එකතුවන ගතිය මේ සංසාර ගමනට මූලික ම හේතුව වේ. මේ ප‍්‍රිය මධුර වස්තුන් දිගටම හැමදාම එකම ආකාරයට තමන්ගේ කැමැත්ත පරිදිම ”නිච්ච” වශයෙන්ම පවත්වා ගැනීමට සෑම පෘථග්ජන පුද්ගලයෙකුම නිරන්තරවම උත්සාහයක යෙදේ. මේ ආකාරයට ප‍්‍රියයි, මධුරයි යනුවෙන් අරමුණක් තමන්ගේම කරගැනීමටත්, ඒ ප‍්‍රිය මධුර දේ ඒ ආකාරයෙන් ම පවත්වා ගැනීමටත් ඇති වූ කැමැත්ත සැප ලෙස හැඳින්වේ. ඇස, කන, නාසය, දිව, කය, මන පිනවන, සතුටු කරවන දේට ඇලීම, බැඳීම හා ඒවා තමන් සතු කර, උපාදානය කර ගැනීම කාම තණ්හාවයි. කය රමණය කිරීමට උපකාර වන ඉන්ද්‍රියයන් පිනවන සියලුම ප‍්‍රිය, මධුර ක‍්‍රියාවන්ට හිතින් බැඳීම කාම තණ්හා වේ. අතීතයේ කුමන ආකාරයක උපතක් ලැබුවද සෑම සත්ත්වයෙකුම, පේ‍්‍රතයකුම, භූතයකුම, දෙවියෙකුම පුරුදු වී ඇත්තේ ඉන්ද්‍රියයන් පිනවා යම් ආස්වාදයක් විඳීමේ ගතියක්, පුරුද්දක් ඇති කර ගෙන ඒ මගින් විඤ්ඤාණ ආහාර, සංචේතනා ආහාර, ස්පර්ශ ආහාර මෙන්ම කබලිංකාර ආහාරත් සොයා ගැනීමටයි. මෙය සංසාර පුරුද්දක් වේ. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා යනුවෙන් විග‍්‍රහ වන්නේ ඒ හේතුවෙනි.

රාගයෙන් තමන් කැමති වූ දෙයක් තමන්ගේ කැමැත්ත පරිදිම, මනාපය පරිදිම රිසි පරිදි ම දිගට ම පවත්වා ගැනීමට නොහැකි වූ විට ඒ රාග සිතේම දෙවන වේෂයක් මතු වේ. ඒ දෙවන වේෂය නිසාම තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පටිඝය වැනි ගති තම සිත තුළදීම උපදී. රාග හා ද්වේෂ ගති දෙකම නිසා මෝහය උත්පාදනය කර ගනී. නැත්නම් තමාම තමන්ගේම මනස රාගයෙන්, ද්වේෂයෙන් මුවහ කර වසා ක‍්‍රියාකරයි. මේ තුන්වන කිළිටි වීම නිසා නුවණ, ප‍්‍රඥාව යන ශක්තීන් දෙකමත් කෙනෙකුට නැතිව යයි. ඥාණය හා ප‍්‍රඥාව නැති කෙනෙකු අඥාණ, දුප්පඤ්ඤස්ස පුද්ගලයෙකු වේ. මනස දුර්වල වී මෝහයෙන් ක‍්‍රියා කරන විට පව්කම්, අවැඩ, අසාධාරණ, වැරදි, හිංගි, හිංසා කිරීම නිසා තමාට මෙන් ම බාහිර ලෝකයාටද බරක් වන පුද්ගලයකු බවට පත් වේ. අවසානයේදී මනසින් ක‍්‍රියාකළ හැකි මිනිසෙකු යන තත්ත්වයෙන් ද ඉවත් වී සතර මහා නිරයටම අපාගත වේ. මේ තත්ත්වයට පත් වූ කෙනෙකුට බුදු බණ හෝ ලෞකික ධර්මයක් හෝ අසා තේරුම් ගැනීමටද නොහැකියි. අතීතයේ කරන ලද යම් යම් පින්කම් හා කුසල් නිසා අද මිනිසත් බවට පත් වූවත් මේ මිනිස් ආත්මයේදී කරන ලද නොමිනිස්කම් නිසා තම තමන්ම මිනිසත් බව විනාශ කර ගනී.

මිනිසෙකු ලෙසින් උපතක් ලැබූ හැම කෙනෙකුම තේරුම් ගත යුතු වන්නේ තමන්ම සංසාරයේදී පුරුදු කරගත් කැමැත්තෙන් ම පුහුණු කරගත් ගති හතරක් තමන් තුළම පවතින බවයි. මේ මූලික ගති හතර පිළිබඳව සෑම මිනිසෙකුටම යම් කිසි අවබෝධයක් තම තමන්ගේ ඥාණ ශක්තියට අනුව ම ලබා ගත හැකියි. මේ ගති හතර දිට්ඨි, සුත, මුත, විඤ්ඤත යන ගති හතරයි. පුරුදු හතරයි. මේ ගති හතර ම මේ ජීවිතයේ දී පමණක්ම පුරුදු කරගත් ගති හතරක් නොවේ. අනන්ත අප‍්‍රමාණ වූ අතීත සංසාරයේදී තමාම පුරුදු කරගත්, පුහුණු කරගත් ගති හතරකි. අදටත් තමන් පෘථග්ජන පුද්ගලයෙකු ලෙසින් ජිවිතය පවත්වන්නේ මේ පුරුදු හතර නිසාමයි. මේ පුරුදු හතර,

1. ඇසින් දුටු දේ
2. කනෙන් ඇසු දේ
3. නාසයෙන්, කටින්, කයෙන් වින්ද, ආස්වාදය
4. මනසින් සිතීමේ විඤ්ඤාණ ශක්තිය

මේ පුරුදු හතරෙත් අන්ත දෙක බැගින් ම ක‍්‍රියාත්මක වේ. මේ අන්ත දෙක ප‍්‍රිය අන්තය හා අප‍්‍රිය අන්තයයි. ඇසින් දුටු රූපය ප‍්‍රිය නම් තමන්ගේ අතීත පුරුද්දට ගැළපෙයි නම් ඒ රූපයට ප‍්‍රිය වේ. කැමති වේ. ඒ ප‍්‍රිය රූපයෙන් සිත මත් වේ. එහෙමත් නැත්නම් තණ්හාවෙන් උපාදානය කර ගනී. ඇසෙන් දුටු රූපය අප‍්‍රිය එකක් නම් අතීතතයේ කවදා හෝ තම මනසට අප‍්‍රිය නොගැළපෙන ස්වරූපයේ රූපයක් නම් ඒ රූපයට අකමැත්තක් ඇති වේ. ද්වේෂයක් සිතේ හට ගනී. තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව සිතේ හට ගනී. මේ ප‍්‍රිය, අප‍්‍රිය දෙකම අන්ත දෙකකි.

මේ දෙයාකාර වූ අන්ත දෙකෙන් කුමන අන්තයකට හෝ පටිච්ච වීමක් සිතේ ඇති වුවද එය හොඳ ලක්ෂණයක් නොවේ. කැමැත්තෙන් ප‍්‍රිය රූපයකට බැඳුණු විට සිත විඤ්ඤාණ තත්ත්වයෙන්ම මත්වී ක‍්‍රියාත්මක වන නිසා ප‍්‍රිය රූපයට ඇති වූ කැමැත්ත බලවත් වේ. පටිච්ච වීම අභිඉච්ච තත්ත්වයටම පත්වේ. අභිඉච්චාව යනු දැඩි ආසාවයි. අභිඉච්ච වූ සිතේ කිළිටි බවක් ඇති වේ. මේ ප‍්‍රිය රූපයට බැදී, ඇලී සිටීමේ නියත වූ කැමැත්තක් ඇති වේ.

ඒ සිතක් කිළිට් වීමේ නියත ලක්ෂණයකි. ඒ නිසාම ප‍්‍රිය රූපය ඒ ප‍්‍රිය ආකාරයෙන්ම නිච්ච ලෙසින් පවත්වා ගැනීමේ ආශාවක් උත්සාහයක් සිතට ඇති වේ. මේ ගතිය ”නිච්ච ගතිය” යි. නිච්ච සංඥාවයි. නිච්ච සංඥාවක් නිසා කිළිටි වී ”විචිකිච්චා යන කිළිටි තත්ත්වයට සිත පත්වේ. මෙසේ සිත කිළිටි වීම නිසා, සිතේ අසහනයක්, වික්ෂෝප බවක් ඇති වේ. මේ වික්ෂෝප බවට පත් වූ සිතක් ”උද්ධච්ච” සිතක් බවටද පත් වේ.

මේ ආකාරයටම අප‍්‍රිය රූපයක් සමඟ සිතේ ද්වේෂයක්, ගැටීමක්, විරෝධයක් ඇති වූ විට එතැන දීත් සිතේ ඒ අප‍්‍රිය රූපය සමඟත් ”පටිච්ච” විමක් සිදු වේ. මුල් අවස්ථාවේ ප‍්‍රිය රූපයට ඇලීමේ අවශ්‍යතාව නිසා ”පටිච්ච” වූ අතර මේ අවස්ථාවේ දී අප‍්‍රිය රූපයට ගැටී, එය ඉවත් කිරීමේ, විනාශ කිරීමේ අවශ්‍යතාවක් නිසා ”පටිච්ච” වේ. මේ පට්ච්ච වීම නිසා තරහ, වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය හට ගනී. එතැනදීත් තරහකාරයා, වෛරයක්කාරයා යන ”නිච්ච” සංඥාවක් සිතේ හට ගනී. ඒ අනුවම විචිකිච්චාව, උද්ධච්ච යන ගති ලක්ෂණත් සිතේම මුල් බැස ගනී.

රූපය – දිට්ඨ, ශබ්දය – සුත, ස්පර්ශය- මුත, සිතුවිල්ල- විඤ්ඤත යන පුරුදු හතරක් ම ප‍්‍රිය හා අප‍්‍රිය යන අන්ත දෙකෙන් ම පෘථග්ජන පුද්ගලයෙකුගේ සිතක් සංසාරයට බැද තබයි. සම්බන්ධ කරයි. මෙය පුරුද්දක් ලෙස අර්ථ දැක්වේ. ප‍්‍රිය දේට ඇලීමත්, අප‍්‍රිය දේ සමඟම ගැටීමත් ඒ අනුව හැම පෘථග්ජන පුද්ගලයකුම අතීත සංසාරයේ හුරු පුරුදු කර ගත් ගතියක් මිස හදිසියේ ගහෙන් ගෙඩි එන්නා සේ අහම්බෙන් සිදු වූ දේ නොවේ. දිගින් දිගටම පුරුදු කර ගත් ගති පුරුදු හතරකි.

ඒ ඒ පුද්ගලයා තම තමන්ටම ආත්මීය වූ පෞද්ගලික වූ හුරු පුරුදු ඇති කරගෙන තිබේ. කෙනෙකුට ප‍්‍රිය රූපයක් තවත් කෙනෙකුට අප‍්‍රිය එකකි. කෙනෙකුට ප‍්‍රිය රසක් තවත් කෙනෙකුට වමනේ යන තරම් අප‍්‍රියයි. උදාහරණයක් ලෙස හොඳින් ඉදුණු දූරියන් ගෙඩියක රූපය, සුවඳ අඝ‍්‍රාණය වීමත් සමඟ ම කෙනෙකුට එහි රසය, සිහිපත් වී කටට කෙළ උණයි. ඒ රසය අමෘත්තයක් සේ දැනෙයි. තවත් මිනිසෙකුට ඒ සුවඳම, ඒ රූපයම, ඒ රසයම වමනෙ යන තරමටම අප‍්‍රියයි. මේ අන්ත දෙකෙන් එකක් හෝ දූර්යන් ගෙඩියේ හෝ රසයේ හෝ ගඳ සුවඳේ හෝ පවතින ලක්ෂණ නිසා ඇති වූ දේ නොවේ. ඒ ඒ පුද්ගලයාගේ ම සිතේම අබ්බැහි වූ, හුරු පුරුදු වූ ගති දෙකකි.

මේ අන්ත දෙකම පට්ච්ච වීමක් බවත් නිවැරදිව ම තේරුම් ගත යුතුයි.

චක්ඛුං ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං
සෝතං ච පටිච්ච සද්ධං ච උප්පජ්ජති සෝත විඤ්ඤාණං
ඝානං ච පටිච්ච ගන්ධං ච උප්පජ්ජති ඝාන විඤ්ඤාණං
ජිවිහා ච පටිච්ච රසානං ච උප්පජ්ජති ජීව්හා විඤ්ඤාණං
කායං ච පටිච්ච පොට්ඨබ්බං ච උප්පජ්ජති කාය විඤ්ඤාණං
මනං ච පටිච්ච ධම්මේ ච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං

මේ ආකාරයට ඇස හා රූපය යන දෙක පටිච්ච නොවුණි නම් විඤ්ඤාණ ශක්තියක් මතු විය නොහැකියි. ගිනි කූරත්, ගිනි පෙට්ටියත් දෙක එකට ගැටීමෙන් ගින්දර හට ගන්නා සේ මේ අභ්‍යන්තර හා බාහිර ආයතන දෙකම පටිච්ච වීමෙන්ම විඤ්ඤාණයක් හට ගනී. විඤ්ඤාණ ශක්තියත් ගින්දර හා සමාන දෙයකි. ජීවත් වීමට අවශ්‍ය වන රිය ගමන ක‍්‍රියාත්මක කරවීමට අවශ්‍ය වන ඉන්ධන ශක්ති ප‍්‍රභවය මේ විඤ්ඤාණ ශක්තියයි.

”තින්නං සංගති පස්සෝ, සංපස්සජා වේදනා,” චක්ඛු (ඇස), රූපය හා චක්ඛු විඤ්ඤාණය යන ගති තුන එකට ස්පර්ශ වීම නිසා වේදනාවක් සිතේ උපදී. මේ වේදනාව උපදින්නේ ප‍්‍රිය හෝ අප‍්‍රිය අරමුණු අනුවමයි. ප‍්‍රිය රූපයක් නම් සැප වේදනාවක්, අප‍්‍රිය රූපයක් නම් දුක් වේදනාවක්, එහෙමත් නැත්නම් අදුක්ඛම අසුඛ වේදනාවක් සිතේ හටගනී. චක්ඛු හා රූපය පටිච්ච වීම වළක්වා ගත හැකි නම් සිත උපේක්ඛා යන තත්ත්වයට පත් කර ගත හැකි නම් එතැන දී පටිච්ච වීම නොවූ නිසාම සිතේ නිච්ච සංඥාවක් නොඋපදී. අභිජ්ජා යන දැඩි ලෝභය සිතේ හට නොගනී. විචිකිච්චා යන සිත කිළිටි වීමක් සිදු නොවේ. උද්ධච්ච යන සිතේ අසහනයක්, වික්ෂෝප වීමක් සිදු නොවේ. මේ උපේක්ඛා යන තත්ත්වය ප‍්‍රිය අප‍්‍රිය අන්ත දෙකෙන් ම මිදීමක් මිස මේ අන්ත දෙක මැදට පැමිණීමක් නොවේ. බොහෝ අය උපේක්ඛා යනු ප‍්‍රිය අප‍්‍රිය යන අන්ත දෙකේ මැදිහත් තත්ත්වයකට පැමිණීම ලෙස විස්තර කරනු ලැබේ. නමුත් ”උපේක්ඛා” යනු අන්ත දෙකෙන්ම මිදී, නොඇලී, නො ගැටී, ඉවසා, විමසා ක‍්‍රියා කිරීමේ ශක්තියයි.

”දිට්ඨේ දිට්ඨ මත්තං භවිස්සති
සුතේ සුත මත්තං භවිස්සති
මුතේ මුත මත්තං භවිස්සති
විඤ්ඤතේ විඤ්ඤාත මත්තං භවිස්සති”

යනුවෙන් බාහිය දැරුවීරියතුමාට බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළේ මේ ධර්ම කාරණයයි. මේ ගාථාවේ ”භවිස්සති” යන පදය ඉතාමත් ගැඹුරු අර්ථයක් දෙන ධර්ම පදයකි. දුටුවොත් දුටුවා පමණය යනුවෙන් මෙහි තේරුම තේරුම් ගැනීම ධර්මාවබෝධයක් ලබා නැති බව දැනගත යුතු වේ.

දුටුව දේ දැකීම් මාත‍්‍රයකට සීමා කර ගැනීමට ඒ කෙරේ උපේක්ඛාවෙන් බලා එහි ඇති ”සංභව” ශක්තිය වෙන් කර සිතින් අස් කරගත යුතුයි යනු මෙහි තේරුම වේ. පටිච්චවීම වැළැක්වීමට උපේක්ඛාවෙන් අන්ත දෙකෙන් එකකටවත් හෝ නොබැදී, ”තින්නං සංගති” යන තත්ත්වයටත් පත්වීමෙන් ද වැළකී ”සං පස්සජා වේදනා” යන තත්ත්වයෙනුත් මිදීමට බාහිය දාරුවීරිය තුමාට දුන් උපදේශයක් ”භවිස්සති” යනුවෙන් විග‍්‍රහ වේ. යම් කෙනෙකුට දිට්ඨ, සුත, මුත, විඤ්ඤත යන සංසාර පුරුදු හතරම උපේක්ඛාවෙන් ඉවසා, විමසා අනන්තයන් දෙකටමත් නොබැඳී මැද කොයියම්ම තැනකට හෝ නොබැඳී, ඇලීමෙන් හා ගැටීමෙන් සහමුළින්ම මිදී නිදහස් වීමේ ශක්තියක් සිතේ ඇති කර ගත හැකි වේ නම් ඒ පුද්ගලයා අරහතුන්වහන්සේ කෙනෙකු බවටම පත්වේ. ඒ නිසා ”උපේක්ඛාව” යනු අරහතුන්වහන්සේගේ ලක්ෂණයකි. පෘථග්ජන පුද්ගලයෙකු තුළ පරිපූර්ණ ”උපේක්ඛාව” යන තත්ත්වයක් කිසිම විටෙකත් ඇති නොවේ.

මේ අනුව බුද්ධ භාෂිතයේදී පැහැදිළි වන ආකාරයට යමෙකු උපේක්ඛා පාරමිතාව සම්පූර්ණ කර ගත්තේ නම් ඒ මොහොතේ දී එම පුද්ගලයා පෘථග්ජන තත්ත්වයෙන් මිදී අරහත් තත්ත්වයට පත්වේ. බුදුපියාණන් වහන්සේ පවා අරිය ආනාපාන සතිය වඩා ඇසතු බෝ මුල දී මෙම ”උපේක්ඛා” පාරමිතාව සම්පූර්ණ කර බුද්ධත්වයට පත් වූහ. මේ අනුව හැම කෙනෙකුටම ඒ උතුම් අරිය ආනාපාන සතිය නිවැරදිවම වැඩිය හැකි නම් කෙටි කාලයක් තුළදීම ”අනිච්ච දුක්ඛ අනත්ථ” යන ත‍්‍රිලක්ඛණය භාවිතා කර නිච්ච සංඥා, සුඛ සඤ්ඤා, අත්ථ සංඥා ප‍්‍රහාණය කර උපේක්ඛා තත්ත්වයට තමාගේම සිත පත්කර දස සංයෝජනය ප‍්‍රහාණය කර ආසව අනුසය පරික්ඛීණා කර අරහත් තත්ත්වයට ම පත් වීමටත් හැකියාව ඇත.

මේ ආකාරයට අරහත් තත්ත්වයට පත් වූ අරහතුන්වහන්සේගේ තත්ත්වය ධර්මයේ විග‍්‍රහ වන්නේ මේ පද හතරෙනි.

”දිට්ඨේ දිට්ඨ වාදිතා
සුතේ සුත වාදිතා
මුතේ මුත වාදිතා
විඤ්ඤතේ විඤ්ඤාත වාදිතා”
”වාදිතා” යන පදයෙන් විග‍්‍රහ කර මෙතැනදී පෙන්වා දුන්නේ වේදනාවෙන් තොර වින්දනයක් නොලබනවාය යන උපේක්ඛා තත්ත්වයයි. ඒ නිසාම ”වාදිතා” යන පදය පටිසම්භිදා මග්ගේ දී විග‍්‍රහ වන්නේ මේ ආකාරයටයි.

”න කම්පති, න වේදති, න චලති, න භයන්ති අවික්ඛේපෝ හෝති”

යම් කෙනෙකුගේ සිතක් ලෞකික අරමුණු වලට නො ඇළී, නො ගැටී, නොපැටළී, මුළා නොවී, කම්පනයට පත් නොවී, භයට තැති ගැනීම් වලට පත් නොවී, වේදනා විඳීමෙන් තොර වූ තත්ත්වයට පත් වී නම් ඒ පුද්ගලයාගේ සිතේ ”උද්ධච්ච” යන ගතිය සහමුළින්ම ඉවත් වී ”ධම්ම උද්ධච්ච විග්ගහිත මානසං” යන නිවන් අවබෝධයට පත් වූ කෙනෙකුම බවට පත් වේ. පටිසම්භිදා මග්ගප්ප‍්‍රකරණයේ මේ බව ඉතාමත් ම පැහැදිළිව දේශණා කර ඇත.

හය ආකාර වූ විඤ්ඤාණ ශක්තීන් සිතක බිහි වන්නේ්ම හට ගන්නේම පටිච්ච වීම මුල් කර ගෙනම වේ. එක අතකින් අප්පුඩි ගසන්නට නොහැකි සේම ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන් තිබූ පළියට ඒවා බාහිර වූ රූප, ශබ්ද, ගඳ සුවඳ, රස පහස, ධම්ම යන බාහිර ආයතනත් සමඟ පටිච්ච නොවූයේ නම් කිසි විටකත් විඤ්ඤාණ ශක්තියක් උපත නොලබයි. විඤ්ඤාණ ශක්තීන් උපත නොලබන විට ”සංපස්සජා වේදනා” උපත නොලබයි. ඒ අනුවම ”භව” ද උපත ලැබිය නොහැකියි. එය නිවනට නිවැරදි මාර්ගය යි. භව නිර් – උදා වීම යි.

යහපත් මිනිසෙකු ලෙසින් සමාජයේ හැසිරෙන්නටත්, සමාජ දුකෙන්, සංසාර දුකෙන් මීදි නිදහස් වන්නටත් අරිය සත්‍යයන් වූ දුක පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර ගන්නටත් මිනිසෙකුට හැකියාව හා ශක්තිය ලැබෙන්නේ තමන්ගේ සිත තුළින්ම ලෝකය සමඟ ”පටිඉච්ච” වීමේ අන්ත ගති ලක්ෂණය සිතින් උදුරා ඉවත් කර දැමීමෙනුයි. පටිඉච්ච වීමේ ආදීනව හා අනිසංස යථාපරිදි දැක ගැනීමෙන් ඉච්ච, පටිඉච්ච, නිච්ච, අභිඉච්ච ගති ලක්ෂණ තමාගේ සිතේ පහළ වීමත් සමඟම සිත කිළිටි වේ. විඤ්ඤාණ ශක්තියද බලවත් වේ. ”විචිකිච්චා” සිතක් බවටම පත් වේ. සිතේ සහනය, සමථය, නිවීම නැති වී උද්ධච්ච සිතක් ලෙසින් සිත ක‍්‍රියාත්මක වේ. සංසාර පැවැත්මට උපකාර වන්නේ පෘථග්ජන සිතක මේ ගති ලක්ෂණයන් මුල් බැස ගෙන පවතින ස්වභාවය ම යි.

මේ අනුව ගෝතම බුදුපියාණන්වහන්සේ මිනිසුන්ට දේශණා කර වදාළ උතුම් බුද්ධ ධර්මය ඉතාමත් ම සරළ පැහැදිලි ධර්මයකි. විඤ්ඤාණය යන ශක්තිය තමන් තුළ ම ක‍්‍රියාත්මක වන තුරාවට පෘථග්ජන හැම කෙනෙකුම විඤ්ඤාණයේ මවා පෑම් වලට අසුවී, රාගයෙන්, තණ්හාවෙන් ඇලී, අවිද්‍යාවෙන් මෝහයෙන් මුළා වී, සාරවත් දේ එකතු කරමින් සංසාර ගමනක් යයි. සංසාරයට බැදී දුක් විදී. අනිච්චානුපස්සනාව ප‍්‍රත්‍යක්ෂ කර ”නිච්ච” සංඥාව ප‍්‍රහාණය කිරීමටත්, දුක්ඛානුපස්සනාව වඩා දුක යනු කුමක්ද යන්න ප‍්‍රත්‍යක්ෂ කර සුඛ සංඥාව ප‍්‍රහාණය කිරීමටත්, අනත්ථානුපස්සනාව වඩා ආත්ම අනාත්ම අන්ත දෙකටම නොවැටී අත්ථ සංඥාව ප‍්‍රහාණය කිරීමටත් හැකි වූ අවස්ථාවක ත‍්‍රිලක්ඛණය සම්පූර්ණ වීමෙන් පුද්ගලයෙකු අරිය මාර්ගයටම අවතීර්ණ වීම අනිවාර්යයෙන්ම සිදු වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි වේ.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.