9. ද්වතාවය, ද්වතානුස්සතිය හා සතර සතිපට්ඨානය

”සතර සතිපට්ඨාන භාවනාව ප‍්‍රගුණ කිරීම” යනුවෙන් බුද්ධ භාෂිතයේ එදා විග‍්‍රහ කර පෙන්වා වදාළ ප‍්‍රායෝගික ක‍්‍රියාවලිය පෙළ දහමේ එන මාගධී පදවැල් ඉගෙන ගැනීමෙන් හෝ කටපාඩම් කර ගැනීමෙන් හෝ පමණක්ම ඉෂ්ඨ සිද්ධ කරගත හැකි දෙයක් නොවේ. මහා සතරසතිපට්ඨාන සූත‍්‍ර දේශණාව පදයක් පදයක් නෑර කටපාඩමෙන්ම සජ්ඣායනා කරන්නටත් එ් පදවැල් මතකයෙන්ම ගායනා කරන්නටත් දැන ඉගෙන ගත් පමණින්ම කෙනෙකුගේ සිත සතර සතිපට්ඨානයෙහි පිහිටන්නේ ද නැත. ”පට්ඨාන” යනු සිත ”පදම් කරගැනීම” යන අර්ථය ඇති පදයකි. සතියෙහි පිහිටා සතියෙන් කටයුතු කිරීමට දැන තේරුම් ගෙන එ් අනුව නිරතුරුවම ක‍්‍රියා කරන්නට තමන්ගේම සිත පුරුදු කරගැනීම, පුහුණු කර ගැනීම, සිත පදම් කර ගැනීම සතර සතිපට්ඨාන භාවනාව කිරීමයි. සතියෙහි පිහිටා සතියෙන් කටයුතු කරන්නට පුරුදු කරගත්, පුහුුණු කරගත් සිතක් භාවිත සිතක් ලෙසද හැඳින්විය හැකිය. අසතියෙන් කටයුතු කරන කෙනෙකුගේ සිත අභාවිත සිතක් ලෙසද හැඳින්විය හැකිය. මේ අනුව සතියෙන් ක‍්‍රියා කිරීම හා අසතියෙන් ක‍්‍රියා කිරීම මෙන්ම භාවිත සිතක් හා අභාවිත සිතක් යන්න පිළිබඳවත් මැනවින් දැනගත යුතුය. ”සති, අසති” යන මාගධී පද යුගලය ”සිහිය අසිහිය” යනුවෙන් වැරදි ලෙසින් සිංහලයට පරිවර්තනය කර අද වන විට භාවිතා කරන බව පෙනේ. ”සති” යන මාගධී පදය ”ස්මෘති” (සංස්කෘත පදයක්) ලෙසින් වැරදියට පරිවර්තනය කරගෙන භාවිතා කරන බවද ත‍්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ බොහෝමයක් තැන්වලදී දැකගත හැකි වෙයි. ”සති” ”අසති” යන මාගධී පදවලින් බුද්ධ භාෂිතයේදී අර්ථ දැක්වූයේ මීට වඩා ඉතාමත් ගැඹුරු අදහසකි. හේතුඵල දහමට බහා ගළපා බලා හේතුව හා ඵලය යන දෙකම පිළිබඳව සත්‍යාවබෝධයෙන් යුතුව කටයුතු කරන්නට පුරුදු වීම සතියෙන් ක‍්‍රියා කිරීමයි. සතියේ පිහිටා ක‍්‍රියා කිරීමයි. හේතුඵල පිළිබඳව නොසළකා හිතට වහල් වී, හැඟීමට වහල් වී ක‍්‍රියා කිරීම ”අසති”යෙන් ක‍්‍රියා කිරීමයි.

යම් වචී සංඛාරයක්, කාය සංඛාරයක් හෝ චිත්ත සංඛාරයක් ක‍්‍රියාත්මක කරන්නට පෙර එ් සංඛාරය ක‍්‍රියාත්මක කිරීම නිසා තමන්ට හෝ බාහිර ලෝකයාට හෝ උරුම වන ඵලය විපාකය පිළිබඳවත් සළකා බලා එ ඵලය අයහපත් නම් සංඛාරය ක‍්‍රියාත්මක කිරීම හෝ නොකරම අත්හැර දැමීම හෝ කළ හැකි නම් එය සතියෙන් යුතුව ක‍්‍රියා කිරීමයි. තමන් කරන, කියන, හිතන දේ හේතුව කොට තමාටම යම්කිසි නිවීමක්, සැනසීමක්, මිදීමක්, බානෙන් ගැළවීමක් ඵලය ලෙසින් සිදු වෙයි නම් එ හේතුව ක‍්‍රියාත්මක කළ යුතුය. තමන් කරන, කියන, හිතන යම් දෙයක් හේතුව කොට බාහිර පුද්ගලයෙකුට, සත්ත්වයෙකුට යම්කිසි නිවීමක්, සැනසීමක්, මදයෙන් මිදීමක්, බානෙන් ගළැවීමක් ඵලය ලෙසින් උරුම වෙයි නම් එ් හේතුව ක‍්‍රියාත්මක කිරීමද කළ යුතුය.

තමන් කරන යම් හේතුවක් නිසා එහි ප‍්‍රතිඵලය ලෙසින් විපාකය ලෙසින් තමා තුළම රත් වීමක්, මත් වීමක්, සිත විසිරීමක්, සිතේ ආවේගයක්, අසහනයක්, අතරමං වීමක් හෝ බානෙන් බැඳීමක් සිද්ධ වේ නම් එ හේතුව නොකර, හේතුව අත්හැර, ඉන් මිදී නිදහස් විය යුතුය. එමෙන්ම තමන් කියන, කරන, හිතන දේ නිසා බාහිර පුද්ගලයෙකුට සත්ත්වයෙකුට හිංගියක්, හිංසාවක්, අසහනයක්, සසර අතරමං වීමක් හෝ බානෙන් බැඳීමක් හෝ සිදු වෙයි නම් එ් හේතුව ද අත්හැර ඉන් මිදී නිදහස් විය යුතුය. එ් ආකාරයට සත්‍යාවබෝධයෙන් ධර්මයට, සූත‍්‍රයට බහා ගළපා බලා, විනයට සසඳා බලා කටයුතු කරන්නට පුරුදු පුහුණු වීම සතියෙහි පිහිටා සතියෙන් ක‍්‍රියා කිරීමයි.

මේ අනුව තමන් කරන, කියන, හිතන සෑම දෙයක් පිළිබඳවම නිසි අවධානයෙන් පසු වී එ් සිතිවිල්ල දිගටම සිතිය යුතුද නැද්ද, එ් කථාව කළ යුතු එකක්ද නැද්ද, එ් ක‍්‍රියාව ක‍්‍රියාත්මක කළ යුතුද නැද්ද යන්න එ් ක‍්‍රියාව කරන්නට පෙරදීම තීරණය කරන්නට හැකි නම් එය සතියෙහි පිහිටා, සතියෙන් ක‍්‍රියා කිරීමයි. හේතුඵල දහමට බහා ගළපා බලා සතියෙන් කටයුතු කිරීමයි. ධර්මයට, සූත‍්‍රයට නොගැළපේ නම්, විනයට නොසැසඳේ නම් එය සිතින්ම ඉවත් කර ගැනීමත් එය ධර්මයට ගැළපේ නම්, විනයට සැසඳේ නම්, එය ක‍්‍රියාත්මක කිරීමත් සතියෙහි පිහිටා සතියෙන් ක‍්‍රියා කිරීමයි. සතියෙන් ක‍්‍රියා කරන්නට පුරුද්දක් හෝ ශික්ෂණයක් හෝ නැති පෘථග්ජන පුද්ගලයා හැම අවස්ථාවකදීම යමක් පිළිබඳව ක‍්‍රියා කළ යුතුද නැද්ද, කථා කළ යුතුද නැද්ද, සිතිවිලි පැවැත්විය යුතුද නැද්ද යන්න තීරණය කරන්නේ හැඟීමට වහල් වී, හිතට වහල් වී, ප‍්‍රිය අප‍්‍රිය යන මැනීමට අන්ත දෙකට ඇලීමෙන් හෝ ගැටීමෙනි. ඇස, කන, නාසය යනාදී ඉන්ද්‍රියන් පිනවන්නා වූ ප‍්‍රිය දෙයක් නම් ලාභයක්, ආස්වාදයක් තමන්ටම ආපසු ප‍්‍රතිලාභ ලෙසින් ලබා ගන්නට හැකි නම් ආදීනව, ආනිසංස හෝ හේතුඵල හෝ ගැන නොබලාම නොසිතාම ක‍්‍රියා කරන්නට ඇති පුරුද්ද අසතියෙන් ක‍්‍රියා කරන පෘථග්ජන පුද්ගලයාගේ පුරුද්දයි. ප‍්‍රිය, අප‍්‍රිය යන පුරුදු දෙකම ගති දෙකම තමන් හුරු පුරුදු කරගත් තමා තුළම පවතින ගති දෙකක් මිස පුරුදු දෙකක් මිස කාටත් එක සේ පොදු, සාධාරණ ධර්මතාවයක් නොවේ. මෙවන් ගති තමන් තුළම පවතින බව තමන්ම නොදන්නාකම අවිද්‍යාවයි. ප‍්‍රිය දේට ඇලීමත්, අප‍්‍රිය දේට ගැටීමත්, මානයෙන් මුළා වීමත් තමන්ම පුරුදු කරගත්, තමා තුළම මුල් බැසගත් පුරුදු හතරක් (චතු වොහාරේසු) බව යථා පරිදි නොදැනීම අවිද්‍යාවට තණ්හාවට හා මෝහයටත් හේතුවයි. තමන් කල් ඇතිවම ප‍්‍රිය යැයි තීරණය කළ දේට ඇලෙන්නේ, බැඳෙන්නේ, සම්බන්ධ වන්නේ, තණ්හාව ඇති කරගන්නේ, උපාදානය කරගන්නේ තමා තුළ ඇති ගති පුරුදු නිසාමයි. එ්වාගේම තමන් අප‍්‍රිය යැයි කලින්ම තීරණය කරගත් යම් යම් දේවල් සමඟ ගැටෙන්නේ, වෛර කරන්නේ, තරහ යන්නේ, එ්වාට ඊර්ෂ්‍යා කරන්නේද තමා තුළම පුරුදු කරගත් ගතියක් නිසාය. තමන් ප‍්‍රිය දේට මිහිරි දේට කැමති දේට ඇලීමත්, තමන් අකමැති අප‍්‍රිය දේට අමිහිරි දේට ගැටීමත් පෘථග්ජන ගතියයි. මේ ගති සංසාර පුරුදු ලෙසින් තමන්ම පුරුදු කරගෙන දිගටම සංසාර රිය ගමනේ අතීතයේ පටන් පවත්වා ගෙන ආ බවත් ඉදිරියටත් පවත්වාගෙන යාම නිසා සංසාර ගමන සිදු වන බවත් තේරුම් ගන්නට නොහැකි වීම පෘථග්ජන ස්වාභාවයයි.

බුද්ධ දේශණාවට අනුව ”පරිමුඛං සතිං උපට්ඨපෙත්වා” යනුවෙන් මහා සතරසති පට්ඨාන සූත‍්‍රයේ පෙන්වා වදාළ පරිදි සතියෙහි පිහිටා තම චිත්තසංථානයට අරමුණු වන සියලු අරමුණු පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කිරීමට මිනිසකුට පුරුදු විය හැකිය. යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන්නට පුරුදු වීම යනුද මේ අදහසමයි. එසේ නොකරන මිනිසා අමනසිකාරයෙන්, අයෝනිසෝමනසිකාරයෙන්, අසතියෙන් ක‍්‍රියා කරන්නෙකි. එවන් කෙනකු අතින් පාපකාරී, ළාමක, අකුසල් ක‍්‍රියා නිතරම සිදු විය හැකිය. දෛනිකව එදිනෙදා සාමාන්‍ය දිවි පැවැත්මේදී ඔබ කරන, කියන, හිතන සියලු දේ කරන්නේ, කියන්නේ, හිතන්නේ යෝනිසෝමනසිකාරයෙන්ද, සතියෙහි පිහිටාද එසේත් නැත්නම් අයෝනිසෝමනසිකාරයෙන්, අසතියෙන්ද යන්න මැන බැලීමට තරම් දැනුමක්, නුවණක් ඔබේ මනස තුළම ඔබටම සකස් කර ගත හැකිය. ඔබේ යහපත සඳහා ඔබේ නිවීම සඳහා ඔබට දුකින් මිදී නිදහස් වීම සඳහා මෙතරම් උපකාර කරගත හැකි වෙනත් වටිනා කිසිවක් මේ මිහිපිට නැති බව සිතන්න.

”ද්වතා අනුස්සතිය” ලෙසින් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ මේ උතුම් පිළිවෙත අද භාවිතයෙන් ගිලිහී ගොස් ඇත. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කිරීමත්, මෙනෙහි නොකළ යුතු දේ අතහැර නිදහස් වීමත්, ආශ‍්‍රය කළයුතු අරමුණු ආශ‍්‍රය කිරීමත්, ප‍්‍රහාණය කළයුතු දේ සිතින් බැහැර කිරීමත්, සේවනය කළයුතු දේ සේවනය කිරීමත්, අසේවනය කළයුතු දෑ අත්හැර මිදී නිදහස් වීමත් ද්වතා අනුස්සතියයි. ද්වේධා විතක්ක සූත‍්‍රය, ද්වය සූත‍්‍ර, ද්වයකාරී සූත‍්‍ර, ද්වයතායානු පස්සනා සූත‍්‍රය, ද්විධාපත සූත‍්‍රය, සේවිතබ්බා අසේවිතබ්බා සූත‍්‍රය හා ඉතාම වැදගත් අනාපානසති සූත‍්‍රයත් දේශණා කර වදාළේ මේ ද්වතාවය විග‍්‍රහ කර පෙන්වීම සඳහාමය. ආන-පාන යනු ද්වතාවයකි. අස්ස-පස්ස යනුද ද්වතාවයයි. අස්ස යනු ඇසුරු කළයුතු, ආශ‍්‍රය කළ යුතු යහපත් දේයි. පස්ස යනු ප‍්‍රහාණය කළයුතු, බැහැර කළයුතු අයහපත් දේයි. ආශ්වාස, ප‍්‍රස්වාස යන සංස්කෘත භාෂාවෙන් ණයට ගත් වැරදි පද දෙකක් අද පදපරම ලෙසින් මේ ”අස්ස පස්ස” විග‍්‍රහ කිරීමට යොදාගෙන ඇත.

මහා චත්තාරීස සූත‍්‍රයේ ”දුවිධෙනං වදාමි” යැයි සම්මා දිට්ඨියේ ද්වතාවය පෙන්වා දී ඇත. සේවිතබ්බා අසේවිතබ්බා සූත‍්‍රයේද,” දුවිධෙනං වදාමි” යන්න ඉතාම පැහැදළිව දේශණා කර වදාරා ඇත.

කාය සමාචාරම් පහං දුවිධෙනං වදාමි
සේවිතබ්බම්පි – අසේවිතබ්බම්පි
වචී සමාචාරම් පහං දුවිධෙනං වදාමි
සේවිතබ්බම්පි – අසේවිතබ්බම්පි
මනෝ සමාචාරම් පහං දුවිධෙනං වදාමි
සේවිතබ්බම්පි – අසේවිතබ්බම්පි
චිත්තුප්පාදම් පහං දුවිධෙනං වදාමි
සේවිතබ්බම්පි – අසේවිතබ්බම්පි
සඤ්ඤා පටිලාභම්පහං දුවිධෙනං වදාමි
සේවිතබ්බම්පි – අසේවිතබ්බම්පි
දිට්ඨි පටිලාභං පහං දුවිධෙනං වදාමි
සේවිතබ්බම්පි – අසේවිතබ්බම්පි
අත්ථ පටිලාභං පහං දුවිධෙනං වදාමි
සේවිතබ්බම්පි – අසේවිතබ්බම්ප

මෙහි ”සේවිතබ්බම්පි හා අසේවිතබ්බම්පි” ලෙසින් විග‍්‍රහකර පෙන්වා වදාළ ”ද්වතාවය” යථා පරිදි තේරුම් ගත් මිනිසෙකුට නම් මග්ගේ මග්ග (මග හා අමග) ඥාණ දර්ශනයද ලබාගත හැකිය. මග්ගේ මග්ග ඥාණ දර්ශනය නොලැබු පුද්ගලයා සම්මා දෘෂ්ඨිය හා මිච්ඡ දෘෂ්ඨිය වෙන්කර තේරුම් නොගත් පුද්ගලයෙකි. යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝමනසිකාරය යන්නද වෙන්කොට දැනගත්, දැකගත් කෙනෙකුන් වන්නේද නැත.

ප‍්‍රිය, අප‍්‍රිය අන්ත දෙකම අත්හළ යුතු බවත් (උභේ අන්තේ අනුපගම්ම) උපේක්ඛා සිතින්ම කටයුතු කිරීම, මිදීමේ පටිපදාව (මා පටිපදා) බවත් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ ද්වතාවයයි.

ද්වතා අනුස්සතිය අද වන විට දස අනුස්සති අතරෙන් ද ගිළිහී ගොසින් බෞද්ධ උගතුන් අතරේ පවා භාවිතා නොවන තත්ත්වයට පත් වී ඇත. බුද්ධ කාලයේ මෙන්ම අනුරාධපුර යුගයේද භාවිතා වූ ද්වතා අනුස්සතිය භාවනාව පොළොන්නරු යුගය වන විට දේව ආගම් සංකල්ප වලට යට වී ” දේවතා අනුස්සතිය” ලෙසට වෙනස් කරගෙන භාවිතා කරන්නටත් පටන් ගෙන ඇත. මේ නිසාම මුල් ත‍්‍රිපිටකයේ ලියා තිබූ ”ද්වතා අනුස්සතිය” පොළොන්නරු, දඹදෙනි යුගවලදී ලියූ ත‍්‍රිපිටක ග‍්‍රන්ථ වල පවා ”දේවතා අනුස්සතිය” ලෙසින්ම පාලි බසින්ද ලියා දක්වා ඇත. මේ අනුව නිවන් අවබෝධ කරගන්නට අත්‍යවශ්‍ය වූ මග්ගේ මග්ග ඥාණ දර්ශනය හෝ සම්මා දෘෂ්ඨිය හෝ ලබා ගන්නට නොහැකි තත්ත්වයෙන්ම, පදපරම අර්ථයෙන්ම ධර්මයද විකෘති විය.

අවිද්‍යා මූල පටිච්ච සමුප්්පාද ධර්ම විග‍්‍රහය මගින් විස්තර කර, විග‍්‍රහ කර පෙන්වා වදාළේ සංසාර ගැටළුව යළි යළිත් සකස් කරන්නා වූත් සසරට පුද්ගලයා බැඳ තබන්නට නියත වශයෙන්ම හේතුවන්නා වූත් සමුදය බිහි කරන ක‍්‍රමවේදය පුද්ගලයෙකු, සත්ත්වයකු තුළම ක‍්‍රියාත්මක වන ආකාරයයි. ප‍්‍රිය, අප‍්‍රිය දේට පටිච්ච වීම හේතුව ලෙසත් සමුදය ධර්මයක් බිහි වීම (සං උත්පාදනය) ඵලය ලෙසත් පැහැදිළිවම මෙහිදී පෙන්වා වදාරා ඇත.

සමුදය බිහිනොකරන්නට නම් සමුදය නිරෝධ කරන්නට නම් ”පටිච්චවීම” යනුවෙන් පෙන්වා වදාළ හේතුවම ”නපටිච්ච” තත්ත්වයට පත් කළ යුතුය. ප‍්‍රිය දේට අන්තවාදී ලෙසින් අභිච්ඡුාවෙන් නොබැඳෙන්නේ නම්, අප‍්‍රිය දේට ද්වේෂයෙන් නොගැටෙන්නේ නම්, මෝහයෙන්, මානයෙන් මුළා නොවන්නේ නම්, එ් ”න පටිච්ච” වීමයි. ”න පටිච්ච” යනු කැමැත්තට නොබැඳීමත්, අකමැත්තට නොගැටීමත්, මානයෙන් ක‍්‍රියා නොකිරීමත්ය. උපේක්ඛා සිතින් ඉවසා, විමසා කටයුතු කිරීමත්ය.

සතියෙහි පිහිටා සත්‍යාවබෝධයෙන් කටයුතු කිරීම මඟින් සමුදය නිරෝධ කරන්නටත්, කුසලමූල පටිච්ච සමුප්පාද ධර්මයේ පෙන්වා වදාළ කෙළෙස් මුල් සිඳ දමා අනුප්පාද නිරෝධයට පත් වන්නටත් මිනිසෙකුට කටයුතු කළ හැකිය.

අසතියෙන්, අමනසිකාරයෙන් ක‍්‍රියාකරන හේතුඵල ධර්මය ගැන නොදන්නා හේතුඵල ධර්මය නොතකා ක‍්‍රියාකරන හැම අවස්ථාවකම හැම පෘථග්ජන පුද්ගලයාම තමන් ප‍්‍රිය කරන දේට බැඳීම, ඇලීම නිසාත්, අප‍්‍රිය කරන දේ සමඟ ගැටීම, තරහ වීම, වෛර කිරීම නිසාත් පටිච්ච වීමක් සිදු වෙයි. සිතින්ම පටිච්ච වීමේ නියත ප‍්‍රතිඵලය වන්නේ ”සං උපත” ලබා, ”සමුදය” බිහි වී, සංසාර දුකට බැඳීමයි. සමුදය බිහි වන්නේ නම් එතැන සතියෙහි පිහිටා ක‍්‍රියා කිරීමක් හෝ සතර සතිපට්ඨානයෙන් ක‍්‍රියා කිරීමක් හෝ සිදු වන්නේද නැත.

අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, සමුදය බිහි වීමත්, සමුදය බිහි වීම නිසා සිතෙහි කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක මතු වීමත් සමගම සිත කෙළෙස් සහිත කිළිටි සිතක් බවට පත් වීමත්, පාපකර්ම, ළාමක ක‍්‍රියා කිරීම නිසා, අකුසල් සිතක් බවට පත් වීමත් එහි නියත ප‍්‍රතිඵලයකි. ඒ අනුව චිත්තසංතානය කිළිටි වෙයි. මනස මෝහයෙන් මුවහ වී මොට්ට වෙයි. යෝනිසෝමනසීකරණ ශක්තිය දුර්වල වී මඟ නොමඟ, හොඳ නරක තේරුම් ගැනීමට නෙහැකි තත්ත්වයටම පුද්ගලයා පත් වෙයි.

වතුරාර්ය සත්‍යයන් අවබෝධකර ගැනීමටත්, සම්මා දිට්ඨියට පත් වීමටත්, මග්ගේ මග්ග ඥාණ දර්ශනය ලබා ගන්නටත්, කෙළෙස් ප‍්‍රහාණය කර චේතෝ විමුක්තියට
පත්වන්නටත්, අවිද්‍යාවෙන් හා මෝහයෙන් මිදී පඤ්ඤා විමුක්තියට පත් වන්නටත්, නිවන් මාර්ග ඵලයන් සාක්ෂාත් කර ගන්නටත් සතර සතිපට්ඨානයෙහිම පිහිටා ධම්මානුධම්ම පටිපදාවම සම්පූර්ණ කරගත යුතුය. මේ සඳහා උපකාර වන්නේ උගත්කමට හෝ බුද්ධිමත්කමට හෝ වඩා යථාභූත ඥාණ දර්ශනයයි. කෙළෙස් ප‍්‍රහාණය කරන්නට උපකාර වන අයුරින් සමථ විපස්සනා භාවනා කිරීමයි. ග‍්‍රන්ථ ධූරය පමණක් ප‍්‍රගුණ කිරීමෙන් උගත්කම, බුද්ධිමත්කම ලබා ගත්තද බොහෝ විටම එ් බුද්ධියෙන් මත් වීමද නිවනට පත් වීමට බාධකයක්ම බවට පත් වෙයි. නිබ්බාන යනු බාන ගළවා දමා අත්විඳගත යුතු නිදහසක් මිස අසා දැනගත් පමණින් ඉගෙන ගත හැකි දෙයක් නොවේ.

නිබ්බාන යන මාගධී පදයේ ධර්ම අර්ථය බානෙන්, බැම්මෙන් මිදී නිදහස් වීම යන්නයි. පෘථග්ජන ලෝකයා නොදැනුවත්වම බැමි දහයකින්ම සංසාර රිය ගමනට බැඳී, අතරමං වී ගමන් කරන අය වෙති. එ් බැමි දහයම තම තමන්ම තමන්ගේ කැමැත්තෙන්ම සාදා සකස් කරගන්නා බැමි දහයකි. මේ බැමි දහයට ”බාන්” දහයට දස සංයෝජන යනුවෙන්ද ධර්මයේ ව්‍යවහාර වෙයි. සක්කාය දිට්ඨි, විචිකිච්චිතා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන නම් වලින් අප සම්මතයේ හඳුන්වන මේ බැමි දහය නිසාම අපි සංසාර ගමනට බැඳී සිටී. මේ බැමි දහයම ගළවා ඉවත්කර නැවත නොබැඳෙන ආකාරයට බැමි සකස් නොකරන තත්ත්වයටම සිතින් නිදහස් වීම නිදහස් තත්ත්වයට පත්වීම ”නිබ්බාන” යන පදයේ අර්ථයයි.

මේ බැමි දහය හැමදාම එකම ආකාරයකට නිශ්චිත වශයෙන්ම දිගින් දිගටම ස්ථිරවම පවත්වාගෙන යන බැමි දහයක් නොවන බවද තේරුම් ගත යුතුය. මේ බැමි දහයම දෛනිකව ප‍්‍රතිසංස්කරණය කරගත යුතු, අලුත්වැඩියා කරගත යුතු බැඳීම්ය. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක‍්‍රියාකරන හැම මොහොතකම කරනු ලබන සංඛාර නිසා සමුදය බිහි වෙයි. සමුදය බිහි වීමත් සමඟම සංවට්ටය සකස් වෙයි. මේ සං වට්ට ක‍්‍රියාවලිය සිදුවීමත් සමඟම දස සංයෝජනද සකස් වෙයි. සංවට්ටය යනු සංසාර වට්ටයයි. දස සංයෝජන යන අදහසමයි.

නිබ්බේදික පරියාය, ධම්ම පරියාය, වේදිතබ්බෝ පරියාය යනුවෙන් බුද්ධ දේශණාවෙහි පැහැදිළිවම විග‍්‍රහ කර විස්තර කර පෙන්වා වදාළේ මේ සංයෝජන දහයම එකින් එක ගළවා දමා නැවත මතුවට බැමි සකස් නොකරන ආකාරයට තමාගේ චිත්තසංථානය හා මනස පාරිශුද්ධ තත්ත්වයට පත්කර ගන්නට උපකාර වන ප‍්‍රතිපදාවයි. පිළිවෙතයි. ධම්මානුධම්ම ප‍්‍රතිපදාවයි.

කෙළෙස් සහිත වූ අකුසල් සිතක් නිසා තමන්ගේ චිත්තසංථානය අපිරිසිදු වී, අඳුරු වී, කිළිටි වී පවතියි නම් මනස කෙළෙස් වලින් කුණු වලින්, මුවහ වී, මොට්ට වී පවතියි නම් තමා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සංසාර වට්ටයද නිරන්තරයෙන්ම සකස් කර ගැනීමද සිද්ධ වෙයි. හේතුව අකුසල් සිතක් තමා තුළම ක‍්‍රියාත්මක වීමයි. ඵලය සංයෝජන දහයම සකස් වී සංවට්ටය සැකසී සංසාර ගැටළුවට තමන්ම බැඳීමයි.

මිනිසෙකු වී උත්පත්තියක් ලැබූවත් පෘථග්ජන පුද්ගලයෙකුට තම ශක්තියෙන්ම ස්වයංභූ ඥාණයෙන්ම මේ සංසාර ගැටළුවෙන් මිදී නිදහස් විය නොහැකිය. ඊට හේතුව මේ සංසාර ගැටළුවේ නියම ස්වරූපය නියත ස්වභාවය යථා පරිදි තේරුම් ගන්නට නොහැකි ලෙසින්ම එ් ගැටළුවෙන්ම මනස මුවහකර මොට්ටකර අඥාණ තත්ත්වයට පත්කර තිබීමයි. ජීවිතය පවත්වාගෙන යන්නට හා මතු පැවැත්ම පවත්වා ගැනීම සකස් කර ගන්නටත් යන දෙකටම හේතු කාරක වන්නේ ”සං” උපත ලැබීමයි. සමුදයයි. ඇස, කන, නාසය, දිව, කය, මන නැමැති ඉන්ද්‍රියයන් හයම පිනවීමට කරන, කියන, හිතන සියළු ක‍්‍රියාකාරකම් වලින් ”සං” උපත ලබයි. ජීවත්වන හැම පෘථග්ජන පුද්ගලයාගේම ආශාව, කැමැත්ත, අවශ්‍යතාවය සැප, සුව, සුඛ දේ හඹා ගොස් ඉන්ද්‍රියයන් පිනවීමයි. මේ ඉන්ද්‍රියයන් පින වීමෙන් ලබන සුවයේ ඇති වීමක්ද නැත. එය අතිත්තෝ වූ (අතෘප්තිකර) දෙයකි. කොපමණම ඉන්ද්‍රියයන් පින වූවත් තව අඩුවක්, මදිකමක්, හිඟකමක් පැවතීම සෑම පෘථග්ජන සත්ත්වයාගේම නියත ගති ස්වාභාවයයි.

තමා තුළින්ම ”සං” උපත ලබන ආකාරයත්, සමුදය බිහි වීමට මුල්වන හේතුත් තමා තුළම ක‍්‍රියාත්මකව පවතින බවත් සංඛාර කරමින් ඉන්ද්‍රියයන් හයම පින වීමේ කමැත්තක් (පටිච්ච වීමේ කැමැත්ත) තමන් තුළම පවතින බවත් දැක ගන්නට තරම් පෘථග්ජන ලෝකයාගේ මනස පිරිසිදු නැත. සමුදය නිරෝධ කළ හැකි බවත් ශේෂයක් වත් සමුදය යළි බිහි නොවන්නටම සමුදය බිහි වීමේ ක‍්‍රමවේදය සහමුළින්ම උදුරා දමා නිදහස් වන්නටත් ක‍්‍රමයක් ධම්මානුධම්ම පටිපදාවක් ඇති බවවත් තේරුම් නොගැනීම සංසාර ගැටළුව දිගටම පවත්වා ගෙන යාමට එකම හේතුවයි.

”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වයට පත් නොවූ කෙනකුට සමුදය බිහි වන ආකාරය නිරවුල්ව, නිවැරදිව තේරුම් ගන්නට නොහැකි වූ කෙනකුට ”සං” වලින් මිදී ”සම්මා” දෘෂ්ඨියට පත් වන්නටත් නොහැකිය. සම්මා දෘෂ්ඨියට පත් වන තුරුම පෘථග්ජන පුද්ගලයකුගේ දැක්ම මිච්ඡ දෘෂ්ඨියකි. වැරදි දැක්මකි.

ඔබ රාගයෙන්, ද්වේෂයෙන් හෝ මෝහයෙන් ක‍්‍රියා කළහොත් යළි කිළිටි වන්නේ ඔබේම චිත්තසංථානයයි. ආගන්තුක උපක්ලේෂ වලින් ඔබේ චිත්තසංථානය කිළිටි වන බව දකින්නට ඔබට නොහැකි වන්නේ ඔබේ මනස දුර්වල කර, මනස මොට්ට කර, මනීන්ද්‍රියයත් මනායතනයක් බවට පත්කර ගැනීමට මේ ආගන්තුක උපක්ලේෂයන් සමත් වන නිසයි. මේ ආකාරයට සං උපත ලබන්නේ සමුදය බිහි වන්නේ බාහිර ලෝකයේ නොවේ. තමන්ගේම ඇසින් දකින රූපය ප‍්‍රිය එකක් නම් එ් ප‍්‍රිය රූපයට ඇලුණොත්, ප‍්‍රිය රූපයට තණ්හා වුණොත්, ප‍්‍රිය රූපය උපාදානය කරගන්නට සංඛාර කළොත් එතැනදී සිදු වන පටිච්ච වීම නිසා ”සං” බිහිවෙයි. ”සංභවන්ති” = සංභව යනු මේ සමුදය බිහි වීමයි. එ් උපාදානය කරගත්, අල්ලා ගත් ප‍්‍රිය රූපය, එ් ප‍්‍රිය ආකාරයෙන්ම පවත්වා ගන්නට නිශ්චය වශයෙන්ම කැමැත්තක් සිතේ ඇති වුණොත් නියාම ධර්මයන්ට අනුව එසේ නිස්සිතවම නොපවතින ධර්මතාවයක් ලොවේ පවතින නිසා,එහි ප‍්‍රතිඵලය ප‍්‍රිය දේ අපි‍්‍රය දෙයක් බවට පරිවර්තනය වීමයි. පටිඝය, තරහ, ද්වේෂය, වෛරය ඇතිවන්නේ මෙසේ කලින් තමා ප‍්‍රිය යැයි නිගමනය කළදේ දැන් අප‍්‍රිය බවට, විපරිණාමය වීමයි. වෙනස් වීමයි. එය විභව තණ්හාවයි. ”සං” උපත ලබන ආකාරය තමා තුළින්ම යථා පරිදි අවබෝධකර ගත් කෙනකුට සමුදය නිරෝධ කිරීම පිළිබඳවත් ”සම්මා” තත්ත්වයට පත් වීම පිළිබඳවත් කරුණු කාරණා අසා දැන තේරුම් ගත හැකිය. මේ නිසා ”සං” දැක ගැනීම පළමුවැනිම අවශ්‍යතාවයයි. ”සංදිට්ඨිකෝ” යැයි මාගධී භාෂාවෙහි පෙන්වා වදාළේ මේ අවශ්‍යතාවයයි. සංසාර රිය ගමන, ජීවිත පැවැත්ම දිගින් දිගටම නොකඩවා පවත්වා ගෙන යාමට අවශ්‍ය වන ශක්තිය = ආහාර = ඉන්ධන – ”සං” යනුවෙන් පෙන්වා වදාළ සමුදය එකතු කිරීමේ ක‍්‍රියාවලියයි.

මෙසේ එකතු කර ගන්නා ශක්තිය නිසා ආහාර නිසා, චිත්තසංථානය කිළිටි වෙයි නම් අපි එ්වා කෙළෙස් = කළු ධර්ම = කාලි, කණ්හ = කුණු = කාලා ආදී නම් වලින් හඳුන්වමු. මෙසේ එකතු කරගන්නා ආහාර නිසා චිත්තසංථානය පිරිසිදු වෙයි නම්, පැහැදිලි නම්, සිත පිනා යයි නම් අපි එවැනි දේ පුණ්‍ය ධර්ම, පින්කම්, පින, පින් ආදී නම් වලින් හඳුන්වමු. මේවා පුණ්‍යාභිසංඛාර නම් වේ. මෙවැනි සංඛාරයකින් බිහි කරන්නේ චිත්තසංථානය පහදවන පිරිසිදු කරන ”සං” ශක්තියකි. කෙළෙස් වලට, කළු ධර්ම වලට ”අපුණ්‍යාභි සංඛාර” ලෙසින් නම් කර ඇත්තේ අපුණ්‍යාභි සංඛාර මඟින් චිත්තසංථානය කිළිටි කරන, අඳුරු කරන, අපිරිසිදු කරන නිසාය. මේ අනුව ඔබ පැහැදිළිවම තේරුම් ගත යුතු වැදගත්ම කාරණය නම් පුණ්‍යාභි සංඛාර වුවත් අපුණ්‍යාභි සංඛාර වුවත් මේ සංඛාර කොටස් දෙකෙන්ම කරන්නේ මේ පැවැත්ම දිගින් දිගටම හොඳින් හෝ නරකින් හෝ පවත්වාගෙන යන්නට උපකාර වන ”සං” ශක්තියක් බිහිකර, එකතු කර ගන්නා සංඛාරයක් ක‍්‍රියාත්මක කිරීමයි.

කාමලෝක වල උපත ලබන්නේ පින්කම් කිරීමෙනි. අපායන්හි උපත ලබන්නේ පව්කම් කිරීමෙනි. අරූපී තලවල උපත ලබන්නේ ආනෙඤ්ජාභි සංඛාර (අනරිය ධ්‍යාන) කිරීමෙනි. එසේ නම් පුණ්‍යාභි සංඛාර කළත්, අපුණ්‍යාභි සංඛාර කළත්, ආනෙඤ්ජාභි සංඛාර කළත් මේ තල තිස් එක තුළ කොහේ හෝ උපත ලබා අතරමං වන්නටම සිද්ධ වෙයි. කුසල්, කුසලස්ස උපසම්පදා යන මාගධී පදවල යමක් එකතු කර ගැනීම යන අර්ථයක් නැත. එහි ඇත්තේ එකතු කරගත් කුණු සළාහැර, ගළවා දමා, අස්කර දමා චිත්තසංථානය පිරිසිදු කරගැනීම යන අර්ථයයි. (කු+සළ+අස්ස) කු = කුණු, කෙළෙස්, චිත්තසංථානය කිළිටි වන දේ කුණුය. සළ = ඒවා චිත්තසංථානයේ මුල් බැසගෙන ගබඩා වී, උපාදානය කරගෙන පවතින නිසා එ්වා සළාහැර, සොළවා, මුළින්ම ගළවා දැමිය යුතුය.

අස්ස = එසේ මුළින් ගැළවූ කෙළෙස් අස්කර චිත්තසංථානයෙහි මුල් බැසගත් සිත කිළිටි වන කුණු = කෙළෙස් = කළු ධර්ම චිත්තසංථානයෙන් සොළවා, ගළවා දමා, අස්කර ඉවත්කර දැමීම යන අර්ථයයි. මේ කුසල යන පදයේ යමක් එකතු කර ගැනීම යන අදහසක් හෝ අර්ථයක් කිසිසේත්ම ඇත්තේම නැත. එ් වෙනුවට මෙහි ඇත්තේ එකතු කරගත් යම් දෙයක් අස්කර ඉවත් කර දැමීම යන පැහැදිළි අර්ථයකි. මේ අනුව පින්කම්, පව්කම් සහ කුසල් – අකුසල් යන්න සම්පූර්ණයෙන්ම ප‍්‍රතිවිරුද්ධ අර්ථයන් විග‍්‍රහ කරන මාගධී පද බව පැහැදිළිවම තේරුම් ගත යුතුය.

”මා” යන පදය බුද්ධ භාෂිත මාගධී භාෂාවේ එන ඉතාම වැදගත් බහුලවම භාවිතා කරන පදයකි. ”සං” යන පදයෙන් එකතු කිරීම, රැුස් කිරීම අදහස් කළා මෙන්ම ”මා” යන පදයෙන් අදහස් කළේ අර්ථ ගැන්වූයේ මෙසේ එකතු කරගත් දේ ඉවත්කර, අස්කර දමා, සහමුළින්ම ඉන් මිදී නිදහස් වීම යන අර්ථයයි.

බුද්ධ ධර්මය යනු ”මා පටිපදාව” බව ධම්මචක්කපවත්තන සූත‍්‍රයේ පැහැදිළිවම පෙන්වා වදාරා ඇත. මජ්ක්‍ධිම නිකායේ පළමුවැනි සූත‍්‍රය වූ මූලපරියාය සූත‍්‍රයේ එකසිය විසිහතර අවස්ථාවකම විග‍්‍රහ කර පෙන්වා වදාළේ ”මා” විග‍්‍රහයයි. ”මඤ්ඤති” ”මා මඤ්ඤති” කරගත හැකි බවයි. මඤ්ඤති යනු මමත්වයයි – අස්මි මානයයි. තම්මතාවයයි. ”මා මඤ්ඤති” යනු මමත්වයෙන්, අස්මි මානයෙන්්, තම්මතාවයෙන් මිදී නිදහස් වීමයි. එසේ නම් ”මා” යනු මිදී නිදහස් වීමයි. ඔබ හොඳින්ම අසා ඇති නිතර භාවිතා කරන ”ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ” යන ගාථාවේ ”මා” යනු මිදී නිදහස් වීමයි. බාල සමාගමෙන් මිදී නිදහස් වීම මෙහි අර්ථයයි. ”කාලාමා” සූත‍්‍රය නමින් අද හඳුන්වන සූත‍්‍රයේ දක්වා වදළේ කෙළෙස් වලින් මිදී නිදහස් වීම ගැනය. කාල යනු කෙළෙස්ය. ”මා” යනු මිදී නිදහස් වීමයි. කාලාමා යනු කෙළෙස් වලින් මිදී නිදහස් වීමය. මේ සූත‍්‍රය පැහැදිළිවම ”මා” ඉතිකිරාය, ”මා පිටක සම්පදාය” ආදී වශයෙන් මිදී නිදහස් විය යුතු දේ බොහෝමයක් පෙන්වා දෙයි.

එකතු කර ගත් චිත්තසංථානය තුළ ගබඩා කරගත් සංසාර රිය ගමනට උපකාර වන කුණු සියල්ලම අස්කර, ඉවත්කර, ඉන් මිදී නිදහස් වීම ”සම්මා” යන මාගධී පදයේ ධර්ම අර්ථයයි. මහා චත්තාරිස සූත‍්‍රයේ මේ බව ඉතාම පැහැදිළිවම පිරිසිදුවම විග‍්‍රහකර විස්තර කර පෙන්වා දී ඇත. අද බුද්ධාගමේ සම්මතයෙන් භාවිතා කරන ලෞකික සම්මා දෘෂ්ඨිය එකකි. නිවනට උපකාර වන අරිය සම්මා දෘෂ්ඨිය තවත් එකකි. මාගධී බුද්ධ භාෂිතයේ ”සම්මා” යන පදයේ අර්ථය නිවනට උපකාර වන නිබ්බාන මාර්ගය පෙන්වා දුන් ”සං” වලින් මිදී නිදහස් විය යුතුය යන අර්ථයයි.

”මා” යන මාගධී පදයට ත‍්‍රිපිටක සිංහල පරිවර්තනයේදී ”නහමක්” යන සිංහල පදයක් යොදාගෙන ඇතත් මෙහි අර්ථය අපැහැදිළිය. මේ නිසා ”මා” යනු අතීතයේ එකතු කරගත් යමකින් මිදී නිදහස් වීම, අනාගතයේ එකතු කරගත හැකි යමකින්ද මිදී නිදහස් වීම හා වර්තමානයේ එකතුකර ගන්නා යමකින් මිදී නිදහස්වීම යන තුන් කාලයටම ගැළපෙන පදයකි. ”මා පටිපදා” යනු එකතුකර ගැනීමෙන් මිදී නිදහස් විය හැකි පටිපදාවයි. ”මජ්ක්‍ධිමා පටිපදා” යනු මදයෙන්, මත් වන දෙයින් මිදී, නිදහස් වන ප‍්‍රතිපදාවයි.

මජ්ක්‍ධි යනු මදය – මත්වීම බව ඉතාම පැහැදිළිව දේශණා කර ඇත. ”සුරා මේරය මජ්ක්‍ධිපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං” යන්නෙහි රහ මෙර නිසා මදයට – මත් වීමට පත් වීමෙන් ප‍්‍රමාද වන්නේ නිවනයි. මේ අනුව ”මජ්ක්‍ධිමා පටිපදා” යනු මත් වීමෙන් මදයෙන් මිදී නිදහස් වන ප‍්‍රතිපදාවයි. මූලපරියාය සූත‍්‍රයේ,බුද්ධ දේශණාවේ සාරාංශයක් ලෙසින් සමස්ත හරය ලෙසින් පෙන්වා වදාළේ මෙම ”මා මඤ්ඤති” ප‍්‍රතිපදාවමයි.

පෘථග්ජන ලෝකයා තම සංසාර ගමන රිය ගමනක් ලෙසින් දිගින් දිගටම පවත්වාගෙන යන්නට මුල් වූ හේතුව මෙසේ බාහිර ලෝකයෙන් එකතු කරගන්නා යම් යම් දේ නිසා (ආහාර වර්ග හතරම නිසා) මත් වීමයි. ”රහමෙර” යනු මත් වීම, රස බැලීම යන්නයි. ඇසෙන් රූප රස උරා බීමත්, කනෙන් ශබ්ද රස බලා, රස උරාබී සිත මත් වීමත්, නාසයෙන් ගඳ සුවඳ උරාබී රස බලා සිත මත් වීමත්, දිවෙන් රස උරාබී රස බලා රසයෙන් සිත මත් වීමත්, කයෙන් ශරීරයෙන් සුව පහස විඳිමින් මත් වීමත්, මනසින් දහ අතේ සිතුවිලි සිහිපත් කරමින් ධම්ම රස බැලීමත් යන රහ මෙර නිසා මත් වන ස්වාභාවයයි. අරිය තත්ත්වයට පත් නොවූ පුද්ගලයා රාගයෙන් මත් වෙයි. ද්වේෂයෙන්ද මත් වෙයි. මානයෙන්, අස්මිමානයෙන්ද මත් වෙයි. ඒවාගේම නිලය නිසා, බලය නිසා, කුලය, ජාතිය, ආගම, පාට නිසාද මත් වෙයි.

තරුණ බව නිසා යොබ්බන මත ඇති වෙයි. ආහාරය බුදින නිසා බුදිමත ඇති වෙයි. මේ ආකාර වූ සියලුම මත් වීම මදයට පත් වීම රහ මෙර නිසා මත් වීම වේ. එයම ”මජ්ක්‍ධි” යන පදයෙන් පොදුවේ දේශණාකර කර වදාරා ඇත. මත් වීම නිසා සිදු වන නියත ප‍්‍රතිඵලය, විපාකය නිවන ප‍්‍රමාද වීමයි. ”අප්පමාදේන සම්පාදේත” යැයි කීවේ ”සං” ප‍්‍රහාණය කර දමා සංවලින් මිදී නිදහස් වියයුතු බව පැහැදිළි කිරීමයි. මත්වන්නේ ”සං” නිසාමය.

සම්මා දෘෂ්ඨියේ පටන් සම්මා සමාධිය තෙක් අංග අටක්ම අද දේශකයින් වහන්සේලා දේශණා කර විග‍්‍රහ කළත් එය හොඳ, යහපත්, නිවැරදි ලෝකයක් සකස් කර ගන්නට හොඳ ලෝකයක් උපාදානය කරගන්නට පමණක් උපකාර වන්නා වූ ලෞකික සම්මා අංග අටක් මිස අරිය මාර්ගයට උපකාර වන රාග, ද්වේෂ, මෝහ සහමුළින් උදුරා දමන්නට මඟ පෙන්වූවක් නම් නොවේ. ලෝකෝත්තර සම්මා අංග අට අරිය අෂ්ටාංගික මාර්ගයයි. ලෞකික සම්මා අංග අට ලෞකිකත්වය යහපත් කරගන්නට මාර්ගයයි. මජ්ක්‍ධිමා පටිපදාව වන්නේ ලෝකෝත්තර සම්මා අංග අටයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.