ද්වතාවය

සෑම සංකල්පයකම, සෑම සංඛතයකම නියත වශයෙන්ම ද්වතාවයක්ද පවතී. ඇතිවීම, නැතිවීම මෙහි මුල වේ. ”ඇත නැත යනුද මෙයම අර්ථ දැක්වීමකි. සංඛතයක් යනු එකතු කර, සකස් කරගත් දෙයක් යන අදහසයි. සංකල්පනාවක් යනු කාලය පීරා, එකතු කර හිතින්ම සාදාගත් දෙයක් යන තේරුම වේ. අටලෝ දහමම සංඛතයක් වාගේම ද්වතාවයක් සහිත සංකල්ප හතරක අන්තයන් අටකි. මෙවන් ද්වතාවයක් බිහිවීමට මූලික හේතුව මීට පෙරද පෙන්වා දුන් පරිදිම ”මම” යන මධ්‍ය ලක්ෂ්‍යයක් ඇතිව, මමත්වයෙන් කටයුතු කිරීමයි. මම යන සංකල්පය මැද පිහිටුවා මැනීමෙන්, දෙපැත්තෙන් එක පැත්තක් අල්ලා ගනී, උපාදානය කර ගනී. එසේ නැතිනම් එක පැත්තක් මඟ හැර පැන දුවයි. සැප දුක, ලාභ අලාභ, රූපී අරූපී, මම වෙමි, මම නොවෙමි, අපි, අපේ නොවේ ආදී සියලූ සංකල්ප වලට හේතුව ද්වතාවයක් පැවතීමයි. මම මැද ඉන්නා තුරාවට ලෝක ව්‍යවහාරයේ පවතින හැම සංකල්පයකටම, සංඛතයකටම දෙපැත්තක් ඇත.

විඤ්ඤාණයෙන් කටයුතු කරන හැම සත්ත්වයෙක්ම, පුද්ගලයෙක්ම නිරන්තරයෙන්ම උත්සාහ ගන්නේ මේ දෙපැත්තෙන් එක පැත්තක් අල්ලා ගැනීමටයි. එක පැත්තක් කරා නිරන්තරයෙන්ම ගමන් කිරීමටයි. නමුත් ලෝක ධර්මතාවය, ඒ කිසිම දෙයක් එකම ආකාරයට දිගටම නොපැවතීමයි. ඒ හැම දෙයක්ම අන්‍යතාභාවයට පත්වීම නියත ධර්ම ස්වභාවය බව වටහා ගත යුතුයි.

නිරන්තරයෙන්ම රිය ගමනක යෙදෙන මේ සංසාර පැවැත්මේ එකම ආකාරයක පවතින, වෙනස් නොවන, විපරිණාමයට පත්නොවන, ගෙවී විනාශ වී නොයන, කිසිම දෙයක්, කිසිම තැනක්, කිසිම කෙනෙක්, කවදාවත්, කාටවත්, දැක ගැනීමට නොහැකි හේතුවත් ඒ හැම දෙයක්ම චිත්ත ශක්තියෙන් හදාගත්, හිතින්ම එකතු කර හදාගත්, සංඛතයන් වන නිසයි. චිත්ත ශක්තිය ගෙවී යාමත් සමඟම ඒ සියල්ල ද ගෙවී යයි.

නිවන, නිවීම යන නිදහස පමණක් සංඛතයක් නොවන එකම අසංඛත ධර්මයක් වේ. සිතින්ම හදා ගත්, එකතු කරගත් සියල්ලෙන්ම මිදී නිදහස් වීම නිවනයි. නිවනේ අල්ලා ගැනීමට හෝ අත් හැරීමට හෝ කිසිවක් නැත. පැවතීමට, ප‍්‍රතිෂ්ඨාපනයට, පිහිටු වීමට බිමක්ද නැත. එසේ නම් නිවන යනු තම සිතින්ම, චිත්ත ශක්තියෙන්ම තමන්ම එකතු කර හදා ගත් සියලූ සංඛතයන්ගෙන් පූර්ණ ලෙස මිදී නිදහස් වීමයි.

මේ නිසා සියලූ සංඛතවලට උරුම වූ මූලික ලක්ෂණ කිහිපයක් පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම නිවන් අවබෝධයට ඉමහත් රැකුලක් වනු ඇත.

හැම සංඛතයකටම ද්වතාවයක් පවතී යන්න පළමුවැනි ලක්ෂණයයි. බොහෝ විට එක පැත්තක් පමණක් හැම තැනකදීම ප‍්‍රකාශ වේ, අනිත් පැත්තත් විමසා, සොයා දැන, තේරුම් ගැනීම ද්වතාවය පිළිබඳ යථාවබෝධයක් ලැබීමයි. අත්ථකිලමතානුයෝගයත්, කාමසුඛල්ලිකානුයෝගයත් අන්ත දෙකකි. මෙය සමස්ත පැවැත්මේ ද්වතාවය පිළිබඳව බුදුපියාණන් පැහැදිළි කර දුන් බුද්ධ භාෂිතයයි. මේ අන්ත දෙකේම නිවනක් නොපවතී.

නිවනට, නිවීමට, නිදහස් වීමට නම් ”මජ්ක්‍ධිමා පටිපදාව” අනුගමනය කළ යුතු යැයි බුදුපියාණන් පැහැදිළිවම පෙන්වා වදාළහ. නමුත් ද්වතාවය තේරුම් නොගෙන නම් කිසිම කෙනෙකුට, කිසිමදාක මජ්ක්‍ධිමා ප‍්‍රතිපදාව යනු කුමක්ද යන්නත් නිවැරදිව තේරුම් ගත නොහැකි වේ. අද බොහෝ අය මජ්ක්‍ධිමා ප‍්‍රතිපදාව අනුගමනය කිරීමෙන් යම් කිසි ප‍්‍රතිපත්තියක්, මැද ප‍්‍රතිපත්තියක් අල්ලා ගැනීමට කටයුතු කරති. ඒ අල්ලා ගත් මැදත් මධ්‍යම ප‍්‍රතිපත්තියකි. සංඛතයකි. එය ද්වතාවයක් ඇති සංඛතයක්ද නැද්ද යන්න ප‍්‍රඥාවෙන් දැක ගැනීම අවශ්‍ය වේ. එයද සකස් කරගත් දෙයක් නම්, කෙස් ගහක හෝ දෙයක් ලෝකය තුළින් අල්ලා ගත් මැදක් නම් එතනද නිවනක් නොවේ. ඒ නිසා මජ්ක්‍ධිමා ප‍්‍රතිපදා යනුවෙන් බුදුපියාණන්වහන්සේ ප‍්‍රකාශ කළ වචනවලින් අදහස් කළේ කුමක්ද යන්න නිවැරදිව තේරුම් ගැනීමට ද්වතාවය තේරුම් ගැනීම අවශ්‍ය වේ. කෙස් ගහක හෝ යමක් ලෝකය තුළින් අල්ලා ගෙන නම් එතැන ද්වතාවයක් පවතී. එය සංඛතයකි. එතැන නිවනක් නැත. නිවන යනු දෙපැත්තම සම්පූර්ණ ලෙසින් අත් හැර, මැදිනුත් මිදී නිදහස් වීමයි. මජ්ක්‍ධිමා ප‍්‍රතිපදාව යනු මෙයයි.

ජීවි අජීවි, රූපී අරූපී සෑම සංඛතයකම ද්වතාවයක් පවතී. මේ ද්වතාවය, පුද්ගලයෙකුගේ, සත්ත්වයෙකුගේ සිතකම පවතී. විඤ්ඤාණ තත්ත්වයෙන් සිත ක‍්‍රියාත්මක වන තුරාවට සෑම දෙයකම ප‍්‍රිය අප‍්‍රිය යන ද්වතාවය විද්‍යාමාන වේ.

මම යන සංකල්පය මැද ලක්ෂය කොට ලෝකය මනින්නේ දෙපැත්තක් දකින නිසයි. ඒ ඉන් එක් පැත්තක් අල්ලා ගැනීමටයි. එක පැත්තකට ගමන් කිරීමටයි. මම වෙමි, මම නොවෙමි යනුවෙන් දෙපැත්තෙන් එක පැත්තකට සීමා මායිම් පනවා ඉවත් කරන්නේත්, අනෙක් පැත්ත අල්ලා ගන්නේත් මේ ධර්මතාවය නිසයි. ලෝභ අලෝභ, ද්වේෂ අද්වේෂ, මෝහ අමෝහ යන සියල්ලම මම වෙමි, මම නොවෙමි යන ද්වතා සංකල්පයට අනුවම තේරුම් ගත යුතු අන්ත දෙකක්ම විග‍්‍රහ කළ හැකි ධර්මතාවයන්ය. ද්වතාවය තේරුම් නොගත් අය බොහෝමයක් දෙනා අද්වේෂ, අලෝභ, අමෝහ යනු නිවනට උපකාර වන සංඛාර ලෙස නොදැනීම නිසාම තේරුම් කරති. නිවනට හේතු වන්නේ ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය යන එකතු කරගත් දේ ඛය කර, සළා හැර සම්පූර්ණ කිරීමයි. ලෝභ, අලෝභ ආදී දෙකම ඛය කර, සළා හැර, නිදහස් වීම නිවනයි. ද්වතාවය තුළින්ම මෙය නිවැරදිව දැක ගත යුතුයි.

විඤ්ඤාණ තත්ත්වයෙන් සිතක් ක‍්‍රියාත්මක වන තුරුම ලෝභ, අලෝභ, අතරේ හිත දුවයි. මේ දෙපැත්තෙන්ම පූර්ණ ලෙසින්ම නිදහස් වීමට නම් විඤ්ඤාණ තත්ත්වයෙන් ද හිත නිදහස් කර ගත යුතු වේ. විඤ්ඤාණ තත්ත්වයෙන් හිත නිදහස් වූ පසුව මඤ්ඤතාවයෙන්ද, මානයෙන්ද, මැනීමෙන්ද, මමත්වයෙන්ද සිත නිදහස් වී පිරිසිදු චිත්ත තත්ත්වයට සිත පත් වේ.

විඤ්ඤාණය නිරන්තරයෙන්ම උත්සාහ ගන්නේ දෙපැත්තෙන් එක පැත්තක් අල්ලා ගැනීමටයි. ප‍්‍රිය අප‍්‍රිය යන දෙපැත්තක් දකින තුරාවට ප‍්‍රිය පැත්තම අල්ලා ගැනීමට උත්සාහ ගනී. ප‍්‍රිය දේ සොයමින්, අප‍්‍රිය දේ ඉවත් කර, අප‍්‍රිය දෙයින් පළා යෑමට විඤ්ඤාණය හැම විටම උත්සාහ දරයි. නමුත් කිසිම දිනක ප‍්‍රිය දේ දිගටම ප‍්‍රිය ලෙසින්ම පවත්වා ගත නොහැකියි. කැමැත්ත පරිදි ප‍්‍රිය ආකාරයට දිගටම පවතින ලෝකයක් හෝ ධර්මතාවයක් නැත. ඊට හේතුව එය සංඛතයක් නිසාත්, ද්වතාවයක් අතර ගමන් කරන නිසාත්ය.

ද්වතාවයත්, ද්වතාවය අතර නිරන්තරවම සිදුවන ගමනත් නිසා ප‍්‍රිය මනාප අන්තය අල්ලා ගැනීමට විඤ්ඤාණය දරණ උත්සාහය සංසාර ගමනයි. මේ සියලූ තත්ත්වයන්, ගති ලක්ෂණයන්, සත්ත්වයකුගේ, පුද්ගලයෙකුගේ හිතකම පහළ වෙන දේ මිස, මේ පැවැත්මේ වෙන තේරුම් ගත නොහැකි අරුමයක්ද නැත. සිතින්ම රෝද ගැසීමත්, සිතින්ම දෙකෙළවර අතරේ ගමන් කිරීමත් ඉන් එක් කෙළවරක් අල්ලා ගැනීමට උත්සාහ ගැනීමත් නිසා තණ්හා ඇති වී, තැනක හා වී, උපාදානය කර ගැනීමත් මේ ආකාරයට සිතින්ම සිදු කරනු ලබයි.

සෑම සංඛතයකම ද්වතාවයක් පැවතීමත්, විඤ්ඤාණය ප‍්‍රිය මනාප කෙළවර අල්ලා ගැනීමට දරණ උත්සාහයත් නිසාම සෑම පෘථග්ජන සිතකම නිරන්තවම බලාපොරොත්තු බිහිවේ. එකතු කරගැනීමට යම් දෙයකුත් දකී. මේ ආකාරයෙන් සිතින්ම සකස් කරගත් ද්වතාවය නිසාම මාන, දිට්ඨි, අවිද්‍යා යන ලක්ෂණයන් තුනම විඤ්ඤාණයේ පහළ වේ.

සෑම සංඛතයකම ද්වතාවයක් දකින නිසාම නිරන්තරයෙන්ම දෙකෙළවර අතරේ කරන ගමන නිසාම අන්‍යතාභාවයට පත්වීම සිතක පහළවන තවත් ලක්ෂණයකි. අන්‍යතාභාවය යනු පැවති තත්ත්වයෙන් වෙනත් තත්ත්වයකට පත්වීමේ ස්වභාවයයි. පවතින තත්ත්වය ”තථ” බව ලෙසත්, ඒ තත්ත්වය ඊට වෙනස් තත්ත්වයකට පත්වීම අන්‍යතාභාවයට පත්වීම ලෙසත් බුද්ධ භාෂිතයේ පෙන්වා දී ඇත. තථ අන්‍යතා යනුද ද්වතාවයක්ම වේ.

සෑම සංඛතයක්ම සිතෙන්ම එකතු කර (සං) හදාගත් දෙයක් වන නිසාත්, විඤ්ඤාණයේ නිරතුරුවම වෙනස් තත්ත්වයකට පත්වීමේ ගති ලක්ෂණය නිසාත්, එසේ සිතින් හදා ගත් සංඛතයක් ගෙවී, විපරිණාමයට පත්වී, වෙනස් වන නිසාත් අන්‍යතාභාවයට පත්වීම සිදු වේ. මෙම සිත හා සංඛතය එකම ආකාරයට සමාන්තරව, එකම රටාවකට අන්‍යතාභාවයට පත්වීමද සිදු නොවේ. මේ හේතුව නිසාම මෙතරම් මිනිසුන් ජීවත්වන ලෝකයේ හැම අතින්ම එක හා සමාන මිනිස්සු දෙදෙනෙක් හෝ, සොයා ගැනීමට නොහැකි වීමට හේතුව මෙම ධර්මතාවය බව වටහා ගත යුතුයි. අන්‍යතාභාවයත් සමඟම තවත් නියත ධර්මතාවයක් පවතී. එය අනියතභාවයයි. අනියත යනු ස්ථිර ලෙසම, නියත ලෙසම පවතින දෙයක් නැත යන අර්ථය වේ. ලොව බිහි වූ සියලූ ම දේ, සියලූම අය, සියලූම තැන් සංඛත ලෙස සිතින්ම එකතු කර සාදා ගත් දේ නිසා ඒවායේ නියත ලක්ෂණය සදාකාලිකව නොපැවතී, විනාශ වී යන ලක්ෂණයයි. එය අනියතභාවයයි. අනිත්‍ය යනු මේ අනියත ස්වභාවය වේ.

අනිච්චතාවය යනුද ධර්මතාවයකි. ශබ්ද ස්වරයෙන් නම් අනිච්ච යන පදය අනිත්‍ය භව, අන්‍යතාභාවය යන පද අසලින්ම යන පදයකි. නමුත් අනිච්චතාවය යන පදය මීට වඩා හාත්පසින්ම වෙනත් අර්ථයක් දෙන පදයකි. මේ පදවල ද්වතාවය ගැන සළකා බැලූවිට හැර වෙන කිසිම ආකාරයකින් මේ පදවල ධර්ම අර්ථයේ වෙනස්කම් දැක ගැනීමත් පහසු නොවේ.

තථ අන්‍යතා, නියත අනියත, ඉච්ච අනිච්ච යන පදවල තේරුම සහ ද්වතාවය නිවැරදිව තේරුම් ගැනීමෙන් මේවායින් ත‍්‍රිලක්ඛණයට අයිති වන පද වෙන්කර තේරුම් බේරුම් කරගැනීමත් පහසු වේ.

”ඉච්ච” යනු කැමැත්තයි, බුද්ධ භාෂිතයේ ඉච්ච යන වචනය විවිධ තැන්වල නිතර භාවිතා කර ඇති වචනයකි. අප්ප+ඉච්ච (අප්පිච්ච), උද්ධ+ඉච්ච (උද්ධච්ච), කුක්කු+ඉච්ච (කුක්කුච්ච), අභි+ඉච්ච (අභිජ්ජා), අනිච්ච මේ හැම තැනකම ඉච්ච යනු කැමැත්තයි. අනිච්ච යනු කැමති සේ පැවැත්විය නොහැකි, කැමති පරිදි සිදු නොවන යන තේරුමයි. කැමැත්තට විරුද්ධව සිදුවන සියල්ල අනිච්ච වේ. කැමැත්ත පරිදි, කැමැත්තට එකඟව සිදුවන සියල්ලම ඉච්ච වේ.

සෑම සංඛතයකම නියත ලක්ෂණය වූ අන්‍යතාභාවයට පත්වීම නිසාම හැම විටම කෙනෙකු උත්සාහ ගන්නේ සංඛතයක එක කෙළවරක් අල්ලා ගැනීමටයි. සංඛතයක නියත ගති ලක්ෂණය තේරුම් නොගෙන ඒවායේ එල්ලීමට, ඒවා උපාදානය කර ගැනීමට දරණ උත්සාහය එසේ නැතිනම් සංඛතයක් කැමති පරිදි පැවැත්වීමට දරණ උත්සාහය කිසිම දවසක, කිසිම කෙනෙකුට, කිසිම විධියකින් තම කැමැත්තට අනුව පවත්වා ගැනීමට හැකියාවක් නැත. ඊට හේතුව, ඒ සියල්ලම චිත්ත ශක්තියෙන් සදාගත්, අන්‍යතාභාවයට පත්වෙන, විපරිණාමයට පත්වෙන සංඛත වීමයි. මේ අන්‍යතාභාවයට පත්වෙන යම් සංඛතයක්, තම කැමැත්තට විරුද්ධව වෙනස් වේ නම් ඒ සියල්ලම අනිච්චතාවය ලෙසින් ද පෙන්නුම් කළ හැකිය. නමුත් අන්‍යතාභාවයට හෝ අනියතභාවයට පත්වෙන සියලූම දේ දුකට හේතුවන දේ නොවේ. අන්‍යතාභාවයට පත්වීම නිසාත්, අනියතභාවයට පත්වීම නිසාත්, ඇතිවන ප‍්‍රතිඵලය ලෙසින් දුක සැප දෙකම අත්විඳින්නට හැකිකම ඇත. නමුත් නිච්ච යන පදයේ විරුද්ධ පැත්ත වූ අනිච්ච යන තත්ත්වය නිතරම කැමැත්තට විරුද්ධ යන අර්ථය දෙන නිසා එතැනදී දුක නියත වශයෙන්ම උරුම වේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ”අනිච්ච” යනු කැමැත්ත පරිදි නොවන යන තේරුම වේ.

Share Button