ධම්මානුධම්ම පටිපදාව II

”අභිඤ්ඤෙයියං අභිජානන්තෝ
පරිඤ්ඤෙයියං පරිජානන්තෝ
පහාතබ්බං පජහන්තෝ
භාචේතබ්බං භාවෙන්තෝ
සච්ජිකාතබ්බං සච්ජිකරොන්තෝ
තස්ස තං මග්ග ආසේවතෝ, භාවයතෝ, බහුලීකරෝතෝ සංයෝජනා පහියන්තී, අනුසයා ඛ්‍යයන්තීහොන්තී ති”

ලෝකයේ උපතක් ලබන සත්ත්වයින්, භූතයින්, ප‍්‍රාණීන් අතුරින් මනුස්සයින් ලෙස හඳුන්වන කොටසට පමණක් සෘජුවම මේ උතුම් බුද්ධ ධර්මය අසා ශ‍්‍රවණය කර, අනුගමනය කර, අත්විඳ ගැනීමෙන් නිවන් අවබෝධය ලැබීමට හැකියාව හා ශක්තිය ලබා ඇත. මේ ශක්තිය, මනස, යෝනිසෝමනසීකරණීය ශක්තිය උපතින්ම සෑම මිනිසකුම ලබා තිබුණත් මේ ශක්තිය, හැකියාව නිවැරදි ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගැනීමට නම් කළ්‍යාණ මිත‍්‍රයකුගෙන්ම පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය අසා දැනගත යුතුයි . වෙනත් කිසිම සත්ත්වයකුට මනස උසස් තත්ත්වයකට පත් කර ගැනීමටත් මනීන්ද්‍රිය පාවිච්චි කිරීමටත් හැකියාවක් උපතින් ලබා නැත. ”දෙවි දේවතාවන්ට මේ ශක්තිය ලැබී නැද්ද?” යන්න ඔබට ගැටළුවක් පැන නැගිය හැකිය. දෙවි දේවතා කොටස් වලටත් මේ ශක්තිය හැකියාව ලබාගන්නට නම් ඒ අයටත් අරිය උත්තමයකු විසින් දේශණා කරනු ලබන ධර්මය ශ‍්‍රවණය කරන්නට හැකිසේ මනුස්සාවේශයක් ගත යුතුයි. එනම් මිනිහකුගේ කටහඩ අසා ගන්නට හැකි පරිදි කන් යොමු කර මනුස්සාවේශයට පත් විය යුතුයි. දෙවියන්ටත් ඒ ආකාර වූ ශක්තියක් හැකියාවක් ලැබී තිබේ. මේ හේතුව නිසා ධර්ම දේශණාවකදී පළමුව ”සමන්තා චක්ඛවාලේසු” යනුවෙන් දෙවියන්ට ආරාධනා කරනු ලැබේ. ධම්මචක්කපවත්තන සූත‍්‍රයේ සඳහන් පහත ගාථා පේළි වලින් එය මනාව දැක ගත හැකියි.

”භුම්මා දේවා සද්ද මනුස්සාවේසුං”
චාතුර්මහා රාජිකා දේවා සද්ද මනුස්සාවේසුං

ආදී වශයෙන් සෑම දෙව්ලොවකටම වෙන් වෙන් වශයෙන් ධර්මය ඇසීම සඳහා කන් යොමු කරන ලෙසට කරන ලද ආරාධනය ”සද්දා මනුස්සාවේසුං” යනුවෙන් දක්වා ඇත. බුදුපියාණන් වහන්සේ මනුස්ස කටහඬින් දේශණා කරනු ලබන ධර්මය ශ‍්‍රවණය කිරීමට හැකිවන ලෙසින් අවේශය වෙනස් කර කන් යොමු කරන ලෙස දෙවියන්ට ආරාධනා කළ වදාළහ. එසේ නොවුණානම් දෙවියන්ට ධර්මය අසා තේරුම් ගැනීමට නොහැකි වේ.

නමුත් සෑම මිනිහෙකුට ම උපතින් ම මනසක් ලැබී ඇති නිසා තවත් මිනිසෙකු ප‍්‍රකාශ කරන දේ අසා තේරුම් ගැනීමටත් අවබෝධ කරගැනීමටත් හැකියාවක් ශක්තියක් ලබා ඇත. ”සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥාණං” යන සත්‍යාවබෝධය ලබා ගැනීමට සෑම මිනිසෙකුට ම ශක්තිය හා හැකියාවක් උපතින්ම උරුම වී ඇත.එම නිසා අද මිනිසත් බවට පත් වී සිටින ඔබ සැම මේ උතුම් ධර්මය අසන්නටත් අද වාසනාවන්ත වී සිටින බව තේරුම් ගත යුතුයි.

මේ මනුස්සකම ලැබුවේ අනන්ත අප‍්‍රමාණ කාලයකට පසු විය හැකියි. මනුස්සයකු ලෙස උපත ලැබූ කෝටි ගණනක් අතුරෙන් බෝහෝම සුළු පිරිසකට පමණක්ම මේ උතුම් බුද්ධ ධර්මය අසා තේරුම් ගැනීමට අවස්ථාවක් ලැබී ඇත. එම නිසා මේ ලැබූ දුර්ලභ අවස්ථාව උපරිම ලෙසින් ප‍්‍රයෝජනයට ගෙන මනස යොමු කර මේ ධර්මය අසා දැන, අනුගමනය කිරීමට පසුබට නොවිය යුතුයි.

අසන, ශ‍්‍රවණය කරන ධර්මය යෝනිසෝමනසිකාරයෙන්ම විමර්ශණය කළ යුතුයි. කවුරු හෝ කියූ නිසා මේ සියල්ලම අන්ධ භක්තියෙන් පිළිගැනීම යෝනිසෝ මනසිකාරයෙන් ධර්මය දැන ගැනීම නොවේ. යෝනිසෝමනසිකරණය යනු අසා දැනගත් දේ මනසින් විමසා බැලීමයි. සති සම්පජානකාරී වීම යනුද යෝනිසෝමනසිකරණ ශක්තියයි. එනම් අසා දැනගත් ධර්ම කාරණා හේතුඵල දහමට බහා ගළපා බැලීමයි. යම් හේතුවක් නිසා පටිච්ච වීමක් සිදු වී නම් හේතුව අත්හැර නිදහස් විය යුතුයි. හේතුව නිදහස් වීමක් නම් නොඇලෙන, නොගැටෙන මුළා නොවන්නක් නම් එය භාවිතා කිරීම ආශ‍්‍රය කිරීම නිවනට මඟයි. මේ අනුව සතිපම්පජානකාරී වන කෙනෙකුට සතර සතිපට්ඨානයෙහි ම පිහිටා සතර ඉරියව්වෙන් ම දිනයේ පැය විසිහතර පුරාම සතියෙන් ක‍්‍රියාකිරීමට හැකියාව ලැබේ.

කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යනු ඇලෙන, ගැටෙන, මුළා වන ක‍්‍රියාවලින් වෙන් වී එවන් ක‍්‍රියා, සිතුවිලි, වදන් වලින් ඉවත් වී ඒවා ඉවසා, විමසා උපේක්ඛා සිතින් සළකා බැහැර කර සැනසීම ලබා ගැනීම මිස වෙනත් ප‍්‍රතිහාර්ය පෑමක් නොවෙයි. මේ අනුව ”සතියෙන් යුතුව ක‍්‍රියා කිරීම යනුවෙන් ධර්ම විග‍්‍රහයේ සඳහන් ප‍්‍රකාශය හොඳ සිහියෙන් ක‍්‍රියා කිරීමට යන අදහසට වඩා බලවත් වෙනසක් සහිත ප‍්‍රකාශයක් බව සෑම කෙනෙකුම තේරුම් ගත යුතුයි. ඕනෑ ම කපටි, කෛරාටික වැරදි වැඩක් කිරීම සඳහාත් කෙනකුට හොඳ සිහියක් අවශ්‍ය වේ. නමුත් සතියෙහි පිහිටා හේතුඵල දෙකම දැන ක‍්‍රියා කරන කෙනකු තමාටම ආපසු අනිසි ප‍්‍රති විපාක උරුම වන පව්කාරකම්, ළාමක දේ කිසි විටකත් නොකරයි. සතියෙහි පිහිටා ක‍්‍රියා කීරීමේ ධර්ම අර්ථය හොඳ සිහියෙන් ක‍්‍රියා කිරීම යන්නට වඩා ඉතා ගැඹුරු බව දැන ගත යුතුයි.

සතියෙහි පිහිටා ක‍්‍රියා කිරීමටත්, භාවනා කිරීමටත් ”ද්වතා” ධර්මතාවය පිළිබඳව තරමත් දුරට හෝ අවබෝධයක් ඇති කර ගත යුතුමයි. සෑම සංඛතයකම සෑම සංකල්පනාවකම දෙපැත්තක් තිබේ. ප‍්‍රිය දේ, අප‍්‍රිය දේ, හොඳ දේ, නරක දේ, කළු ධර්ම, සුදු ධර්ම, පින් පව්, කුසල් අකුසල්, සුව අසුව, ලාභ අලාභ, දුක සැප ආදී වශයෙන් ඕනෑ ම දෙයක දෙපැත්තක් ඇති බව කුඩා දරුවකුට පවා තේරුම් ගත හැකි සරළ දෙයකි.

පෘථග්ජන පුද්ගලයෙකු නිතරම උනන්දු වන්නේ ප‍්‍රිය දේට ඇලීමට, අප‍්‍රිය දේ සමඟ ගැටීමට, අප‍්‍රිය දේ ප‍්‍රතික්ෂේප කර ලාභ දේ ඇතුළට ගැනීම හා අලාභ දේ බැහැර කිරීම සඳහායි. හොඳයි යනුවෙන් තීරණය කරනු ලැබූ දේ සමඟ එකතු වීමටත් නරකයි යනුවෙන් තීරණය කළ දේ ඉවත් කිරීමටත් සැම විටම ක‍්‍රියා කරති. එවන් පෘථග්ජන පුද්ගලයෙකු ප‍්‍රිය දෙයක් පිළිබඳව හේතුඵල ධර්මතාවය නොදකී. ප‍්‍රිය දේට ඇලීම නිසා තමන්ට උරුම වන ඵලවිපාක ගැන සොයා කටයුතු නෙකරයි. බොහෝ විටම ප‍්‍රිය ගතිය යනු තමා තුළම ඇති සංසාර පුරුද්දක් බව පෘථග්ජන පුද්ගලයා නොදනී. ඒ ප‍්‍රිය බව විඤ්ඤාණය ආහාර සොයා ගැනීම සඳහා ම ඇටවූ උගුලකි. මේ බව තේරුම් ගත නොහැකි පෘථග්ජනයා මේ උගුලේ පැටලී මුළාවට පත් වී සංසාරයට බැඳෙති. ප‍්‍රිය දේම උපාදානය කරගැනීමට වෙහෙසෙති.

පෘථග්ජන පුද්ගලයෙකු ප‍්‍රිය, අප‍්‍රිය යනුවෙන් මිම්මක් තම තමන්ට ම පෞද්ගලික වූ මානයක් ඇති කරගෙන ක‍්‍රියා කරති. මේ මැනීම මේ මිම්ම සැමටම සර්ව සාධාරණ වූ පොදු මිම්මක් නොවේ. මේ මිම්ම තමන්ට රිසි ආකාරයට ගොඩනඟා ගත් ප‍්‍රිය, ලාභ හොඳ මිම්මකි. ප‍්‍රිය දෙයට ඇලීම නිසා හෝ අප‍්‍රිය දෙයක් සමඟ ගැටීම නිසා හෝ තමාගේ ම චිත්තසංථානය තුළ සිදුවන විපර්යාසය, කිළිටි වීම ඔහුටම දැක ගැනීමට නොහැකි වීම නිසාම මෙවන් ප‍්‍රිය දේට ඇලීමත්්, අප‍්‍රිය දේ සමඟ ගැටීමත්, ප‍්‍රිය දේට ඇලීම නිසා තමන්ට උරුම වන ඵල විපාකයත්, තමන් උපාදානය කරගන්නා පංච උපාදානස්කන්ධය තමාටම උරුම කර දෙන සංසාර බරත්, සංසාර බැම්මත්, සංසාර භයත් ඔහුටම දැක ගැනීමට නොහැකි වේ. හිතේ මුල් බැස ගෙන පවතින ප‍්‍රිය දේට ඇලීමේ ගතිය ඊට වඩා බලවත් වීම නිසාම තමාට උරුම වන ඵල විපාක නොපෙනී යයි.

මේ ගතිය හැඟීමට වහල් වී ක‍්‍රියා කිරීමයි. විචිකිච්චාවෙන් ක‍්‍රියා කිරීම යන පෘථග්ජන ගතිය පටිඉචිච වීම යනු මෙයයි. මේ පුරුද්ද තමන්ම අතීතයේ එකතු කරගත් තම චිත්තසංථානයේ ම ගබඩා කරගත් ගති පුරුදු වේ. මේ ගති පුරුදු වලට සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම දෘෂ්ඨි ගත වීම නිසා නිරන්තරයෙන්ම ක‍්‍රියා කරනු ලබන්නේ් අන්තවාදී දෘෂ්ඨියකිනි. තමන්ට යම් ලාභයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ නිසාම සක්කාය දිටිඨියත්, මිච්ඡුා දිට්ඨියටත් පත් වේ. භව දෘෂ්ඨිය, විභව දෘෂ්ඨියටත් පත් වේ. මේ නිසා පෘථග්ජන ලෝකයා නිරතුරුවම තමාගේම ලෝකයක් නිර්මාණය කරගෙන ලෝකස්වාදයක් විඳීමේ, ලෝකාස්වාද දෘෂ්ඨියකින් ක‍්‍රියා කරති. එනම් සැප හඹා යමින් දුකම උරුම කරගැනීමයි. මේ පරම සත්‍යය දැක ගන්නට නොහැකි වන ලෙසින් ඒ ඒ පුද්ගලයාගේම මනස ප‍්‍රිය, අප‍්‍රිය යන ගති වලින්, පුරුදු වලින් වැසී මුවහ වී පවතී. ප‍්‍රිය, අප‍්‍රිය යන අන්ත දෙකටම අන්තගාමී ලෙසින් නොඇලී, නොගැටී, උපේක්ඛා සිතින් ඉවසා, විමසා ක‍්‍රියාකරන්නට පුරුදු වීම, පුහුණු වීම නිවනට මඟය. ඇලීමෙන්, ගැටීමෙන් හා මුළාවෙන් මිදීමම නිවැරදි මඟයි. පිරිසිඳ දැක ක‍්‍රියා කිරීමට පුරුදු වීම සතියේ පිහිටා සති සම්පජානකාරීව ක‍්‍රියා කිරීම නිදහස් වීමේ මාර්ගයයි.

පෘථග්ජන ලෝකයාගේ දැනුම ඒ ඒ පුද්ගලයාගේ ම ප‍්‍රිය අප‍්‍රියතාවය අනුවම ඊටම සීමා වූ එකකි. ඒ නිසා කෙනෙක් යමක් පිළිගන්නේ හෝ තේරුම් ගන්නේ හෝ ඒ ගැන හොයන්නේ බලන්නේ හෝ එය ප‍්‍රිය මනාප දෙයක් නම් පමණි. ලෝකයේ වාසය කරන මිනිසුන් දෙදෙනෙකුට එකම දෙයක් පිළිබඳව දෙයාකාරයකින් දැකගන්නට, තේරුම් ගන්නට, අවබෝධ කරගන්නට නොහැකි වීමේ හේතුව මේ ප‍්‍රිය, අප‍්‍රිය, මනාප, අමනාප යන අන්තවාදී ගති ලක්ෂණයි. හුරු පුරුදුයි. මේ ප‍්‍රිය අප‍්‍රිය, මනාප අමනාප යන අන්තවාදී ගති ලක්ෂණ නිසා කෙනෙකුගේ චිත්තසංථානය කිළිටි වේ. චිත්තසංථානය කිළිටිවීමත් සමඟම මනස මුවහ වී මෝහය යනුවෙන් හඳුන්වනු ලබන ගති ලක්ෂණය නිසා මනසීකරණීය ශක්තිය දුර්වල වේ. එම නිසා ප‍්‍රියතාවයෙන් ඇලීමත්, අප‍්‍රියතාවයෙන් ගැටීමත් යන අන්ත දෙකම මනස මුවහ කරන කළු ධර්ම වේ. එවන් ගති කෙළෙස්, අකුසල් යනුවෙන් හඳුන්වනු ලබයි. සරළව විග‍්‍රහ කරනවා නම් මේ සියල්ල කුණු ගොඩකි.

මේ අනුව පෘථග්ජන ලෝකයා හොඳය, යහපත්ය, සැපය, සුවයක්ය යනුවෙන් හිතන සියලු දේ, ඒ ඒ පුද්ගලයාගේ සංසාර පුරුද්දට අනුව ඒ ඒ පුද්ගලයාට ම ආවේණික වූ ප‍්‍රිය දේ හා අප‍්‍රිය දේ මිස ඒවායෙහි කාටත් පොදු පරම සත්‍යයක් නැති බව තේරුම් ගත හැකියි. මේ ප‍්‍රිය දේට අන්තගාමී ලෙසින් ඇලීම නිසාත්, අප‍්‍රිය දේට අන්තගාමී ලෙසින් ගැටීම නිසාත් සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම සංසාර ගමන යාමට හේතු වන, උපකාර වන සමුදය, කර්ම බීජ තමන් ම සකස් කර ගනී. මේ අනුව රාග, ද්වේෂ, මෝහ යන ගති තුන එනම් කළු ධර්ම, කෙළෙස් නැත්නම් කුණු ගති මෙසේ කර්ම බීජ සකස් කිරීමට හේතු වේ.

එසේම රාගක්ඛ්‍යය, ද්වේෂක්ඛ්‍යය, මෝහක්ඛ්‍යය කිරීම සඳහා උපකාර වන සියලුම ක‍්‍රියාකාරකම් කුසල් ධර්ම ලෙසත් ධර්මයේම විග‍්‍රහ වේ. විඤ්ඤාණ ශක්තියෙන්ම උපත ලැබූ සෑම කෙනෙක් ම කළු ධර්මත්, සුදු ධර්මත් ක‍්‍රියාත්මක කරමින් හොඳ නරක දෙයාකාරයේම ඵල විපාක උරුම කර ගනී. රාග, ද්වේෂ, මෝහ යන කළු ධර්ම සිතක උපත ලැබීමට මුල් වූ ක‍්‍රියාකාරකම් හා රාගක්ඛ්‍යයට, ද්වේෂක්ඛ්‍යයට, මෝහක්ඛ්‍යයට හේතුවූ කුසල් ධර්ම සිතක උපත ලබන ක‍්‍රියාකාරකම් යන ද්වයතාවයම නිවැරදිවත් පූර්ණ ලෙසත් තේරුම් ගැනීම චතු අරිය සත්‍යයයන් තේරුම් ගැනීමටත් උපකාර වේ.

සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම ජීවත් වීම යනුවෙන් අර්ථ ගන්වන්නේ කළු ධර්ම ඉපදීම සඳහා සංඛාර ක‍්‍රියාත්මක කරමින් කුණු එකතු කර ගැනීමේ ක‍්‍රියාවලියක නිරත වීමයි. එසේම සුදු ධර්මයන් ක‍්‍රියාත්මක කරමින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන ගතිගුණාංග නිරාමිස, නිරාසව, වීතරාගී, වීතදේසී, වීතමෝහී යන ක‍්‍රියාකාරකම් වලත් නිරත වේ. තම මනස අපිරිසිදු නම් මෝහය, මුළාව සිතේ පවතී නම් කළු ධර්ම හා සුදු ධර්ම වෙන් කර තෝරා බේරා දැන හඳුනාගෙන, සංසාර දුකෙන් මිදී නිදහස් වන්නට දැනීමක් නැතිකම නිසා අතරමං වූවන් සේ සැප හඹා ගොස් දුකම උරුම කරගනී.

මනසේ ක‍්‍රියාවලිය යනුවෙන් හඳුන්වනු ලබන්නේ මැනීම, පෙරීම, තෝරා බේරා හොඳ නරක වෙන් කිරීමේ ශක්තියයි. මේ සඳහා මනායතනය උපකාර නොවන අතර ”මනීන්ද්‍රිය”උපකාර වන බව තේරුම් ගත යුතුයි. මනායතනය ලෙස මනස ක‍්‍රියාත්මක වනතාක් එතැනදීත් විඤ්ඤාණයට ම (ආහාර) කුණු එකතුකර ගැනීමටම මනායතනයත් උපකාර වේ. මනස ඉන්ද්‍රීයයක් වශයෙන් ක‍්‍රියාත්මක වන විට පමණක්ම කෙනෙකුට යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කිරීමේ ශක්තිය හා හැකියාව ලැබේ.

එසේ නම් කළු ධර්ම එකතු කිරීම නිසා චිත්තසංථානය කිළිටි වන බවත්, මනස වැසී අඳුරු වී යන බවත් සුදු ධර්ම ඇතුළට ගැනීම නිසා චිත්තසංථානය පිරිසිදු වී මනස  ශක්තිමත් වන බවත් දකී. සුදු ධර්ම නිසා විඤ්ඤාණ ශක්තිය දුර්වල වේ. ප‍්‍රඥාව දියුණු වේ. අරහතුන්වහන්සේ කෙනෙකු තුළ විඤ්ඤාණ ශක්තියක් ක‍්‍රියාත්මක නොවේ. රාග, ද්වේෂ, මෝහ එකතු කරන ක‍්‍රියාකාරකම් එනම් අවිද්‍යා සංඛාර නොකරයි. පංචස්කන්ධය පරිහරණය කළත්, භාවිතා කළත් පංචස්කන්ධය උපාදානය කර නොගනී. ඒ අනුව අරහතුන්වහන්සේ කෙනෙකු ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන් හයම භාවිතා කළත් ඒ කිසි ම ඉන්ද්‍රියයක් ආයතනයක් බවට පත් කොට කුණු (රාග, ද්වේෂ, මෝහ) එකතු කරන්නට ක‍්‍රියා නොකරයි. අරහතුන්වහන්සේගේ ඉන්ද්‍රියයන් හයම සංවර වී ඇත.

අතීතයේ කවදා හෝ තමන් ම කළු ධර්ම තම චිත්තසංථානය ඇතුළට නොගත්තේ නම් අද තමන්ට ම විඤ්ඤාණයෙන් කටයුතු කරන කෙනෙකු ලෙස මෙවැනි උපතක් ලබා ජීවිතයක් ගත කළ නොහැක. අතීතයේ කවදා හෝ සුදු ධර්ම ස්වල්පයක් හෝ චිත්තසංතානය තුළට නොගත්තේ නම් අද තමන්ට ම මනසක් ලැබී මේ ආකාරයට මිනිසෙකු ලෙස මනීන්ද්‍රිය භාවිතා කිරීමේ හැකියාවද නොලබයි.

මේ අනුව කළු ධර්ම කළු ධර්ම ලෙසත්, සුදු ධර්ම සුදු ධර්ම ලෙසත් නිවැරදිව ම දැන හඳුනාගෙන, තෝරා බේරා ගැනීමේ ශක්තිය හැකියාව දියුණු කර ගැනීම ධර්මාවබෝධය ලැබීම යනුවෙන් හඳුන්වයි. කළ්‍යාණ මිත‍්‍රයෙක් යනු, කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලැබීම යනු කළු ධර්ම පෙන්වා දී ඒවා නසා දැමීමට, ප‍්‍රහාණය කිරීමට, නිවැරදිව මඟ කියා දිය හැකි උත්තමයාටයි. කළ්‍යාණ යනු ”කළු නසන” යන අර්ථයයි. කළ්‍යාණ මිත‍්‍රයෙක් කළු ධර්ම කළු ධර්ම ලෙසත්, සුදු ධර්ම සුදු ධර්ම ලෙසත් පිරිසිදුව, පැහැදිළිව වෙන් කර පෙන්වා දී කළු ධර්ම ප‍්‍රහාණය කිරීමට හා සුදු ධර්ම ආශ‍්‍රය කිරීමටද නිවැරදිව මාර්ගය පෙන්වා දෙයි. ඒ නිසා කළ්‍යාණ මිත‍්‍රයකුගෙන් ම පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය ම අසා දැන, ඊට පසු මේ මඟ නිවැරදිව අනුගමනය කිරීමෙන් තමන්ගේ ම චිත්තසංතානය පිරිසිදු කර, ප‍්‍රඥාව උපදවා පහදා ගෙන, භව උදුරා දමන්නටත් ක‍්‍රියා කළ හැකි වේ.

යම් කිසි මිනිසකුගේ මනස අපිරිසිදු නම්, මනායතනය ක‍්‍රියාත්මක වේ නම් ඔහුට ද්වතාවය ධර්මය තේරුම් ගත නොහැක. කළු ධර්ම හා සුදු ධර්ම වෙන් කර තේරුම් ගැනීමට නොහැකි නිසා ඔහු කුණු එකතු කර තව තවත් චිත්තසංථානයේ කෙළෙස් පුරවා ගනී. කළු ධර්ම චිත්තසංථානය තුළට ගැනීමත් සමඟම මනස වැසී මෝහයෙන් මුළා වී සත්‍යාවබෝධය දුරස් වේ.

ප‍්‍රඥාව යනු චිත්තසංථානයේ ගබඩා වී පවතින කෙළෙස් කළු ධර්ම ප‍්‍රහාණය කර ඉවත් කිරීමේ හැකියාවයි. ප‍්‍රඥාව ක‍්‍රියාත්මක වීමට නම් පඤ්ඤා ඉන්ද්‍රියම ක‍්‍රියාත්මක විය යුතුයි. මනීන්ද්‍රිය ක‍්‍රියාත්මක වීමත් සමඟම ශ‍්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය යන ඉන්ද්‍රිය ධර්මයන් සිත තුළම ක‍්‍රියාත්මක වී පඤ්ඤා ඉන්ද්‍රිය ක‍්‍රියාත්මක වීමෙන් කෙළෙස් ප‍්‍රහාණය කර ආසව, අනුසය ඛය කර අස්කර දමන්නටත් ශක්තිය ලැබේ.

තමන්ගේම මනස කිළිටි කර ගැනීමෙන් මනස, මනීන්ද්‍රිය ලෙසින් ක‍්‍රියාත්මක නොවීමත්, එසේම මනස පිරිසිදු කිරීමෙන් මනීන්ද්‍රිය වාගේම පඤ්ඤා ඉන්ද්‍රියත් ක‍්‍රියාත්මක කිරීමට හැකි ශක්තිය ලබා ගන්නෙත් තම තමන්මය. මනස මුවහ වූ තරමට චිත්තසංථානයේ කුණු ගබඩා වූ තරමට කෙනෙක් දුක් විඳියි. උපාදානය කර ගන්නා දේ වල සීමාවක් ද නොදනී. ඒ උපාදානය කර ගන්නේ ම කුණු ගොඩවල් බවත් ඒවා සංසාර බරක් බවත් නොදනී. නොදකී.

කුණු ඉවත් කර අස් කර හිත නිදහස් වූ තරමට ම තමන්ටම නිදහස ලැබේ. තමන් දුක් විඳීමෙන් බැහැර වේ. සත්‍යාවබෝධය පූර්ණ වේ. ප‍්‍රඥාව ක‍්‍රියාත්මක වේ. ආසව, අනුසය ඛය කිරීමෙන් සංයෝජන ප‍්‍රහාණය වේ. නිවන යනු මෙසේ අතීතයේ තමන් එකතු කරගත් කෙළෙස් තමන්ගේම චිත්තසංථානයෙන් සේසයක්වත් ඉතිරි නොවන්නට ප‍්‍රහාණය කර ඉවත්කර දැමීමටයි. මෙතැනදී රාග විරාගයත්, අවිද්‍යා විරාගයත් යන දෙයාකාරයෙන්ම චිත්තසංථානය පිරිසිදු කරගත යුතුයි. චිත්තසංථානය කෙළෙස් රහිත වූ තත්ත්වයටම පිරිසිදු කර ගැනීමත් සමඟම විඤ්ඤාණ ශක්තිය සුඤ්ඤත තත්ත්වයටත් ප‍්‍රඥා ශක්තිය පූර්ණ තත්ත්වයටත් පත්කර ගැනීම අරහත් ඵලයට පත්වීමයි. එසේ නම් නිවන රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර, විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමී සිතක් බවට තමාගේම සිත විමුක්තියට පත් කර ගැනීමයි නිදහස් කර ගැනීමයි.

එසේ නම් ඔබේම සිත ඔබම කිළිටි කර ගන්නේ ප‍්‍රිය දේට අන්තගාමී ලෙස ඇලීමෙනුත්, අප‍්‍රිය දේට අන්තගාමී ලෙසින් ගැටීමෙනුත් බිහි වන මුළා ගතිය නිසා ම බව නිවැරදිව ම තේරුම් ගත යුතුයි.

ඔබේ සිත තුළ තැති ගැනීමක්, චලනයක්, නොසන්සුන්කමක්, කම්පනයක් ඇති වන්නේ මේ මුළාව නිසාමයි. මුළාව නිසාම මානයක්, මමත්වයක් සිතක ඇති වේ. මානයෙන් සිත මත් වීම නිසා කෙනෙකු තුළ අවිද්‍යාව පහළ වේ. මානය නිසාම කෙනෙකු තුළ තණ්හාවද ඇති වේ. මේ ”මම” යන දෘෂ්ඨිය මුළා දෘෂ්ඨියකි. මායාවකි. තමන්ම ඇත්ත ඇති සැටියෙන් තේරුම් නොගැනීම නිසා බිහි කරගත් මුලා දෘෂ්ඨියක් මිස මම, මාගේ, මාගේ ආත්මය යනුවෙන් අල්ලා ගැනීමට, දිගටම පවත්වා ගැනීමට හැකි කිසිම දෙයක් මේ පැවැත්ම තුළ නොපවතී. මේ පැවැත්ම යනු, ජීවත් වීම යනු තමන්ම කරන, කියන, හිතන හේතුඵල පරම්පරාවකට පටිච්ච වීම නිසා බිහි කරගන්නා ඵලවිපාක පරම්පරාවක් උරුම කරගැනීම හා ඒ ඵලවිපාක සංසාරයි යැයි යන මිථ්‍යා දෘෂ්ඨියෙන් උපාදානය කර ගැනීමයි.

සම්මා දෘෂ්ඨියට පත් වීම යනු මෙසේ එකතු කර ගැනීමේ ක‍්‍රියාවලිය දැක, හේතුඵල පරම්පරාවක් තමන්ම තම චිත්තසංථානයෙන්ම සකස් කර ගන්නා බව නිවැරදිවම දැක, ඒ හේතු පරම්පරාවටමත් පටිච්ච නොවී, ඉන් මිදී, ඵලයෙන්ද නිදහස් විය හැකි බව දැකීමයි. ඒ මිස හොඳ යහපත් දේ අල්ලා උපාදානය කර ගැනීමක් සම්මා දිට්ඨිය යන පදයෙන් ධර්ම අර්ථ නොගැන්වේ. හොඳ, නරක දෙක ම පවතින්නේ් උපදින්නේ මේ හදාගත් ලෝකය තුළමයි. ඒ දෙකම ලෞකිකයි. එම නිසා මිච්ඡ දිට්ඨියෙන් මිදී ඊළඟට ලෞකික සම්මා දිට්ඨියෙනුත් මිදී ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වීම නිවනයි.

ප‍්‍රිය දේකට බැඳුණු විට (පටිච්ච වීමෙන්) ප‍්‍රිය මනාපයැයි තමා තීරණය කරගත් දේ, ඒ ප‍්‍රිය ආකාරයෙන්ම එක දිගටම පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක්, කැමැත්තක් සෑම පුද්ගලයකු තුළම හට ගනී. මේ ගතිය ”නිච්ච සංඥාව” යන පදයෙන් විග‍්‍රහ වේ. මේ ”නිච්ච” වීම තමන්ගේ සිතේම හටගත් ”නිච්ච සංඥාවක්” නිසා සෑම පෘථග්ජන පුද්ගලයකුම තමන් ප‍්‍රිය කළ දේ තුළින්ම තම ඉන්ද්‍රියන් පිනවීමක් ද බලාපොරොත්තු වේ. මේ ආමිස සැපය, ආමිස සුවය, ඉන්ද්‍රිය පිනවීම යන ගති ලක්ෂණයයි. මේ වාගේ ඉන්ද්‍රියයන් පිනවීමෙන් යම් සැපයක් විඳගන්නට තමාම බලාපොරොත්තු වීමත් සමඟම, පෘථග්ජන පුද්ගලයකු තුළ මමත්වය ඇති වේ. ”සැප විඳගන්නේ” ”මමයි” යන අන්තවාදී දෘෂ්ඨියටත් පත් වේ.

චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං,
තින්නං සංගති පස්සෝ,
සං පස්ස ජා වේදනා
වේදනා පච්චයා තණ්හා, උපාදාන, භව

ඇසට ප‍්‍රිය රූපයක් අරමුණු වීම නිසා ඇසත්, ප‍්‍රිය රූපයත්් පටිච්ච වීමෙන් චක්ඛු විඤ්ඤාණයක් (රූපය උපාදානය කරගැනීමේ බලාපොරොත්තුවක්) සිතේ හටගනී. ඇස, ප‍්‍රිය රූපය හා ඒ රූපය පිළිබඳව ඇති වූ විඤ්ඤාණය, බලාපොරොත්තුව (තින්නං සංගති පස්සෝ) එකට ස්පර්ෂ වීම නිසා ”සංපස්සජා වේදනා” යන ප‍්‍රිය වේදනාවක්, වින්දනයක් සිතේ ජනිත වේ. මෙවන් ප‍්‍රිය වේදනාවක් සිතේ ජනිත වීම යනු තමාගේම මන පින වීමට, ඇස පින වීමට එම රූපය උපාදානය කර ගැනීමේ අවශ්‍යතාවයක් බලවත් සේ සිතෙහිම හට ගැනීමයි. උපාදානය කර ගැනීමත් සමඟම ”භව” තත්ත්වයට පත් වීමෙන් කර්ම බීජ සකස් වේ. නැතිනම් සමුප්පාද ක‍්‍රියාවලියක් පූර්ණ වේ. සමුදය ධර්මයක් සැකසී බිහි වේ. සමුදය බිහි වීමෙන් පසු ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක් දොම්නස්, උපායාස ආදී සියල්ලමත් උරුමයෙන්ම තමන්ටම ලැබේ.

මුළින් සඳහන් කරන ලද ප‍්‍රිය රූපය දුටු විගසම ඒ අවස්ථාවේදීම ඒ රූපය අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව සේම අසුභ බවත් අවබෝධ කරගැනීමෙන් ඒ ප‍්‍රිය රූපය නිච්ච බවක්, සුභ බවක් හෝ අත්ථ වශයෙන් ගැනීමට යමක් හෝ එහි නැති බව ප‍්‍රත්‍යක්ෂ කර පිරිසිඳ දැකීම සඳහා රූපං අනිච්චා, රූපං දුක්ඛා, රූපං අනත්ථා වශයෙන් ත‍්‍රිලක්ඛණ භාවනාව මෙනෙහි කළ යුතුයි. මේ ආකාරයට රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයමත් නිච්චයි, සුඛයි, අත්ථයි, සුබයි යනුවෙන් මෙතෙක් සංසාරයේ ඇති කරගෙන පැවති වැරදි පුරුද්ද නිසාම සියලු මිනිසුන් සැප හඹා ගොස් දුකම උරුම කර ගන්නා බව හතර අවස්ථාවකදී පූර්ණ වශයෙන්ම දැක සත්‍යාවබෝධ කර ගැනීම අනිච්ච, දුක්ඛ, අනත්ථ දැකීමයි. මඟඵල ලබා නිවන් අවබෝධය, සම්පූර්ණ කර ගැනීමයි.

බුද්ධ ධර්මය අසා දැන, අනුගමනය කර ධම්මානුධම්ම පටිපදාවෙහි නිරත වීම යනු අභ්‍යන්තර වශයෙන් මෙන් ම බාහිර වශයෙනුත් තමන්ම හදා ගත් ලෝකය තමන්ටම අදාළව තමා තුළින්ම යථා පරිදි දැක ගැනීමයි. පිරිසිඳ දැකීමයි. යමෙක් ලෝකය යථා පරිදි දැක ගන්නට උත්සාහ කරයි නම් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන තුන් ලෝකයම තමා තුළින්ම දැක ගත යුතුයි. තමන් ජීවත් වෙනවාය, උත්පත්තියක් ලබනවාය, කර්ම සකස් කරනවාය, පටිසන්ධි ලබනවාය, අභිනව තත්ත්වයන්ට පත් වෙනවාය, ජරා, ව්‍යාධි, ශෝක පරිදේව ආද’ ඵල විපාක ලබනවා යන මේ සියල්ලම තමාගේම ක‍්‍රියාකාරකම් නිසාම මිස ඉබේ සිදුවන දේ හෝ ඉබේ සිදු විය හැකි දේ හෝ නොවන බවත් නිවැරදිවම තේරුම් ගත යුතුයි.

තමා යනු කවුද? මේ ජීවත් වීම කියන්නේ කුමකටද? ජීවිත යන පදයේ අර්ථය, ධර්මය කුමක්ද? ලෝකය යනු කුමක්ද? මේ ලෝකය නිර්මාණය කර ගත්තේ කවුද? ඇයි මේ ලෝකයක් හැදුනේ? ලෝකය සාදා ගෙන මම යනුවෙන් කෙනෙක් උපදවා, බිහිකර ගත්තේ නැත්නම්, දුක් විඳින කෙනෙක් ඉන්නවාද? තමන් කිසි විටෙකත් දුකක් බලාපොරොත්තු නොවුණත් නිරතුරුවම තමාට දුකම උරුම වන්නේ ඇයි? මේ ආදී තවත් දහසක් ප‍්‍රශ්ණ වලට තමා තුළින්ම තමන්ට ම පිළිතුරු සපයා ගත යුතුයි. මේ ප‍්‍රත්‍යක්ෂ අවබෝධය හතර අවස්ථාවකදී පුර්ණ වීම නිවනයි.

එදා බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළ මුළු බුද්ධ ධර්මයම දේශණා කර වදාළේ පෘථග්ජන ලෝකයාට මේ කරුණු අවබෝධ කරගැනීමටත් මෙම මායා පැවැත්මෙහි සත්‍යය ප‍්‍රත්‍යක්ෂ කරගැනීමට මාර්ගයත් පෙන්වා දීමේ ඒකායන පරමාර්ථයෙනි. පෘථග්ජන ලෝකයා රූපය මමයි, මාගේ රූපයයි, රූපයෙන් තොර මමෙක් නැත, මගෙන් තොර ලෝකයක් නැත, රූපය තුළ ආත්මයක් ඇත ආදී වශයෙන් තමා පිළිබඳවම ඇති කර ගත් වැරදි තීරණයක් නිසා ”මම” යන මමත්ත්ව සංකල්පයන් හිතෙන් මවාගෙන මම ”නිච්ච” බවට පත් කර ගන්නට, මම සැප, සුව, සුඛ විඳගන්නට හැම විටම මුලා වූ දෘෂ්ඨියකින් ක‍්‍රියා කරයි. අවිද්‍යාවට මුළාවට හා තණ්හාවට හේතුව මෙයයි.

මේ සාදාගත් ශරීර කූඩුව තුළ ක‍්‍රියාත්මකව පවතින ගත, හිත යන කොටස් දෙක ”වත” යනුවෙන් හඳුන්වයි. ”වත” විවිධාකාරයෙන් බෙදා වෙන් කර, කොටස් නම් කර විභංග කර පෙන් වූ එකම විද්‍යාඥයා ලොව්තුරා බුදුපියාණන්වහන්සේයි. ගත, හිත යන නාම රූප කොටස් දෙක නැවත නැවතත් විභංග කර බෙදා බලන ආකාරයත් මේ හදාගත් ශරීර කූඩුවේත්්, විඤ්ඤාණ ශක්තියේත් ”අනිච්ච, දුක්ඛ, අනත්ථ” බව පිරිසිඳ දැක ගෙන මේ පැවැත්මෙහි ඇති නිස්සාර බව පසක්කර දැක ගැනීමට උපකාර වීම සඳහා ධර්මය දේශණා කර වදාළහ. විභංග යන පද දෙක වි+වෙන් කිරීම, භංග+බෙදා බැලීීමයිි. විභංග කිරීම යනු බෙදා බැලීමයි. ”භගවත්” ගුණය යන්නත්් විභංග කර බැලීමයි. පැවැත්මෙහි සත්‍යය අවබෝධ කර ගැනීමේ පහසුව තකාම ඉදිරිපත් කරන ලද්දේත් විභජ්ජ වාදයයි. බුද්ධ පරිනිර්වාණය සිදු වී වසර දෙසිය පනහක් පමණ කාලයක් ගතවන තුරු මේ උතුම් බුද්ධ ධර්මයට ”විභජ්ජවාදය” ලෙසින්ද හැඳින්වූයේ මේ විභංග කර පෙන්වීම නිසයි. ”අනිච්ච, දුක්ඛ අනත්ථ, අසුබ” යන සංකල්ප පහසුවෙන්ම කෙනෙකුට තේරුම් ගත හැකි වන්නේ තම වතම බෙදා බලා ඇත්ත ඇති සැටියෙන් දැන ගත් විට පමණකි.

ධම්මචක්කපවත්තන සූත‍්‍රයේ සඳහන් ”ආචික්ඛනා දේශණා පඤ්ඤපනා, පට්ටපනා, විභජනා, විවරණා උත්තානිකම්මන්ති” යන පද වලින් ඉතාම පැහැදිළි ලෙසින් බුදුපියාණන් ලෝකයාට දේශණාකර පෙන්වා වදාළේ චතුරාර්ය සත්‍යයන්, ත‍්‍රිලක්ඛණය, අෂ්ටාංගික මාර්ගය මෙන්ම මජ්ක්‍ධිමා පටිපදාව ද අවබෝධ කර ගැනීමට මේ වත බෙදා භාග කර, විභජනය කර, විවරණා කර දැකීමට උපකාර වන නිසයි.

මේ ආකාරයට තමන්ගේම ගත, හිත බෙදා බලා තමන්ම එහි යථා තත්ත්වය පරිපූර්ණ වශයෙන් දැක බලා ගැනීමට නම් අවම වශයෙන් ”භගවත්” ගුණයෙන් පෙන්වා වදාළ විභංග කිරීම යථා පරිදි අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන බෙදීම් කිහිපයක් හෝ දැනගත යුතුමයි. මේ පහත සඳහන් සියලු විභංග කිරීම් තමා තුළින්ම දැක ගන්නට උත්සාහ ගත යුතුයි.

1. ස්කන්ධ විභංගය – රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය හා විඤ්ඤාණ ස්කන්ධය යනුවෙන් කොටස් පහකට බෙදා වෙන් කර දැක ගත යුතුයි. අවබෝධ කරගත යුතුයි.
2. පංචඋපාදානස්කන්ධ විභංගය – රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය. ස්කන්ධය හා උපාදානස්කන්දය වෙන් කොට දැකිය යුතුයි.
3. ඉන්ද්‍රිය විභංගය – චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාණ ඉන්ද්‍රිය, ජීව්හා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනීන්ද්‍රිය යන හය මනාව වෙන් කොට දැක ගත යුතුයි.
4. ආයතන විභංගය – චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, රසායතනය, පොට්ඨබ්බායතනය, ධම්මායතනය වෙන් කොට දැකිය යුතුයි. ආයතනය හා ඉන්ද්‍රියයන් වෙන් කොට දැකිය යුතුයි.
5. විඤ්ඤාණ විභංගය – චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණය, හා මනෝ විඤ්ඤාණය වෙන් කොට තේරුම් ගත යුතුයි.
6. රූප විභංගය – අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, දුර රූප, ලඟ රූප, සියුම් රූප, ඝණ රූප, ප‍්‍රිය මධුර රූප, ඕලාරික රූප, කටුක රූප ලෙස විභංග කර දැකිය යුතුයි.
7. රූප සංඥාව – රූප සංචේතනාව, රූප තණ්හාව, රූප චිතක්ක, රූප විචාර වෙන් කොට දැන හඳුනා ගත යුතුයි. (මේ ආකාරයට ම වේදනා, සංඥා, සංඛාර හා විඤ්ඤාණත් මේ පස් ආකාරයට ම බෙදා බලා දැන හඳුනාගත යුතුයි).
8. ධාතු විභංගය – පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ යන ධාතු හය විභංග කර දැන ගත යුතුයි.
9. කේසා, ලෝමා, නඛා, දන්තා ආදි රූප කොටස් 32 පිළිබඳව බෙදා බලා දැන තේරුම් ගත යුතුයි.
10. චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු ආදී කොට ඇති අට්ඨාරස ධාතු පිළිබඳවත් තමා තුළින් දැනගත යුතුයි.
11. චක්ඛු, සෝත, ඝාණ, ජීව්හා, කාය, මන යන ඉන්ද්‍රියයන් හයට අමතරව ජිවිතේන්ද්‍රිය, සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා පඤ්ඤා ඉන්ද්‍රිය යන ඉන්ද්‍රිය ධර්ම ගැන ද දැන ගත යුතුයි. මේ සියලුු ඉන්ද්‍රියයන් තමා තුළ ම පවතින බව දැකගත යුතුයි.
12. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු, කාම භව, රූප භව, අරූප භව, සඤ්ඤී භව, අසඤ්ඤී භව, නේවසඤ්ඤා නාසඤ්ඤ භව ඒකවෝකාර භව, චතුචෝකාර භව හා පඤ්ඤාවෝකාර භව පිළිබඳවත් දැනගත යුතුයි.
13. පළමු වන ධ්‍යානයේ සිට සතර වන ධ්‍යානය ගැනත් (රූප ධ්‍යාන) ආකාසඤ්ඤායතන, ආකිඤ්ඤායතන, විඤ්ඤාණඤ්ඤායතන හා නේවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූප ධ්‍යාන ගැනත් දැනගත යුතුයි. (අරිය ධ්‍යානයන් අරිය ධ්‍යාන ලෙසත්, අනරිය ධ්‍යානයන් අනරිය ධයානයන් ලෙසත් වෙන් කොට දැන ගත යුතුයි.)
14. ධ්‍යාන යනු චේතෝ විමුක්තිය බවත් රාග විරාගය බවත් දැනගත යුතුයි. මඟඵල යනු ප‍්‍රඥා විමුක්තිය, විද්‍යා විමුක්තිය බවත්, අවිද්‍යා විරාගය බවත්, දැනගත යුතුයි. මඟඵල ලැබීමෙන් සංයෝජන ප‍්‍රහාණය වී, ආසව අනුසය ධර්මයන් ඛය වී, ඉවත් වන බවත් දැන ගත යුතුයි. ධ්‍යානයන් ලබාගත් පමණින් ආසව අනුසය ධර්ම ඛය කිරීමට නොහැකි බවත් දැනගත යුතුයි.
15. අවිද්‍යා මූල පට්ච්ච සමුප්පාද ධර්ම අවිද්‍යාව නිසා උපදින බව දැන ගත යුතුයි. සංඛාර, නාම රූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති වශයෙන් තමාගේ ම සිත තුළ අවිද්‍යාව ක‍්‍රියාත්මක වන ආකාරය තමාම දැකගත යුතුයි.
16. අවිද්‍යා මූල සංඛාර ආදී සියලුම පටිච්ච සමුප්පාද අංගයන් තම සිත තුළදීම නිර් උදා කර, සමුදය ශක්තියක් උදා නොකර නිරෝධ කළ හැකි බවත් දැකිය යුතුයි.
17. කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය කුණු සළාහැර, සිතින් කෙළෙස් අස්කර දැමීමේදී කුසල මූල සංඛාර විඤ්ඤාණ, නාමරූප, සළායතන, පස්ස, වේදනා පසාදෝ, අධිමොක්කෝ, භව, ජාති යන තත්ත්වයට සිත පත්වන සැටිත් දැක ගත යුතුයි.
18. පටි+ඉච්ච+සං+උප්පන්න යන ක‍්‍රියාවලිය තුළින් ඉච්ච (නිච්ච) ගළවා දැමීමට එහි අනිච්ච, දුක්ඛ, අනත්ථ බව පසක් කොට දැක දුක්ඛ අරිය සත්‍යය, සමුදය අරිය සත්‍යය, නිරෝධ අරිය සත්‍යය හා නිරෝධගාමී මාර්ග අරිය සත්‍යය ද තමාම අවබෝධ කර ගත යුතුයි.
19. දුක්ඛං අභිඤ්ඤෙයිය, දුක්ඛ සමුදයං අභිඤ්ඤෙයිය, දුක්ඛ නිරෝධෝ අභිඤ්ඤෙයිය, දුක්ඛස්ස සමුදය නිරෝධෝ අභිඤ්ඤෙයිය, දුක්ඛස්ස චන්දරාග නිරෝධෝ අභිඤ්ඤෙයිය, දුක්ඛස්ස අස්සාදෝ අභිඤ්ඤෙයිය දුක්ඛස්ස ආදීනවෝ අභිඤ්ඤෙයිය, දුක්ඛස්ස නිස්සරණං අභිඤ්ඤෙයිය පිළිබඳවද යථා පරිදි අවබෝධ කරගත යුතුයි. (අභිඤ්ඤෙයිය යනු උසස්ම මට්ටමකින් සත්‍යවබෝධය, පුර්ණවබෝධය ලැබීමේ යන අදහසයි.)
20. රූපං අභිඤ්ඤෙයිය … වේදනා අභිඤ්ඤෙයිය……..
සංඥා අභිඤ්ඤෙයිය ….සංඛාර අභිඤ්ඤෙයිය…
විඤ්ඤාණ අභිඤ්ඤෙයිය ….රූපං සමුදය අභිඤ්ඤෙයියං
වේදනා සමුදය අභිඤ්ඤෙයියං
රූපං නිස්සරණං අභිඤ්ඤෙයියං, වේදනා නිස්සරණං අභිඤ්ඤෙයියං, සංඥා නිස්සරණං අභිඤ්ඤෙයියං, සංඛාර නිස්සරණං අභිඤ්ඤෙයියං, විඤ්ඤාණ නිස්සරණං අභිඤ්ඤෙයියං මේ ආකාරයට රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයාගේම උපත (සමුදය), වැය, නිස්සරණය, නිරෝධය ප‍්‍රත්‍යක්ෂ කර දැක ගත යුතුයි.
21. මේ ආකාරයටම රූප, වේදනා ආදී පංචස්කන්ධයෝත්, ආයතනත්, ඉන්ද්‍රියයනුත්, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම යන බාහිර ආයතනයෝත් යන සියල්ලෙහි ම
1. අනිච්චානුපස්සනා අභිඤ්ඤෙයියං
2. දුක්ඛානුපස්සනා අභිඤ්ඤෙයියං
3. අනත්ථානුපස්සනා අභිඤ්ඤෙයියං
4. නිබ්බිදානුපස්සනා අභිඤ්ඤෙයියං
5. විරාගානුපස්සනා අභිඤ්ඤෙයියං
6. නිරෝධානුපස්සනා අභිඤ්ඤෙයියං
7. පටිනිස්සග්ගානුපස්සනා අභිඤ්ඤෙයියං
මේ විපස්සනා භාවනාවයි. අනුපස්සනා භාවනාවයි. තමා තුළින්ම උපත ලබන පංචඋපාදානස්කන්ධයම පිළිබඳව මේ ආකාරයට තමන් අනුපස්සනා කරමින් ත‍්‍රිලක්ඛණ භාවනාව ප‍්‍රත්‍යක්ෂ වන තුරුම භාවනා කළ යුතුයි. උපාදානය බැහැර කළ හැක්කේ ”නිච්ච, සුඛ, අත්ථ ” සංඥා ප‍්‍රහාණය කිරීමෙන් පමණි.

22. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදී අරමුණුවලට පටිච්ච වූ චක්ඛු, සෝත, ඝාණ, ජීව්හා, කාය, මනෝ ආයතන වලින් සමුදය උපදී. (සං උපත ලබයි) උදය වෙයි. මේ ආකාරයට බිහි වන සමුදය උප්පාදෝ අභිඤ්ඤෙයියං (අවබෝධ කර ගත යුතුයි.)

1. උප්පාදෝ අභිඤ්ඤෙයියං (අවබෝධ කරගත යුතුයි)
2. පවත්තං අභිඤ්ඤෙයියං    
3. නිමිත්තං අභිඤ්ඤෙයියං    
4. ආයුහනං අභිඤ්ඤෙයියං (කර්මය සකස් වීම)
5. පටිසන්ධිං අභිඤ්ඤෙයියං    
6. ගතිං අභිඤ්ඤෙයියං    
7. නිබ්බත්ති අභිඤ්ඤෙයියං (අභිනව තත්ත්වය)
8. උපපත්ති අභිඤ්ඤෙයියං (නෙකඩවා උපතක් වීම)
9. ජාති, ජරා, මරණ, ව්‍යාධි, ශෝක, පරිදේව, උපායාස අභිඤ්ඤෙයියං

23. මේ ආකාරයට ම අරමුණුවලට (රූප ආදී) ඇස ආදී ඉන්දියයන් පටිච්ච නොවුවොත් පටිච්ච වීම නිරෝධ කළහොත්”

1. අනුප්පාදෝ අභිඤ්ඤෙයියං
2. අපවත්තං අභිඤ්ඤෙයියං
3. අනිමිත්තං අභිඤ්ඤෙයියං
4. අනායුහනං අභිඤ්ඤෙයියං
5. අප්පටිසංධිං අභිඤ්ඤෙයියං
6. අගතිං අභිඤ්ඤෙයියං
7. අනිබ්බත්ති අභිඤ්ඤෙයියං
8. අනුපපත්ති අභිඤ්ඤෙයියං
9. අජාති, අජරා, අමර, අව්‍යාධි, අශෝකං, අපරිදේව, අනුපයාස අභිඤ්ඤෙයියං. අභිඤ්ඤෙයියං යනු තම සිතින් ම බිහිවෙන තත්ත්වයන් ප‍්‍රත්‍යක්ෂ කර ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීමේ උසස්ම යථාවබෝධයයි.

24. උප්පාදෝ දුක්ඛං – අනුප්පාදෝ සුඛං අභිඤ්ඤෙයියං
පවත්තං දුක්ඛං – අපවත්තං සුඛං අභිඤ්ඤෙයියං
නිමිත්තං දුක්ඛං – අනිමිත්තං සුඛං අභිඤ්ඤෙයියං
ආයුහනං දුක්ඛං – අනායුහං සුඛං අභිඤ්ඤෙයියං
පටිසන්ධිං දුක්ඛං – අප්පටිසන්ධි සුඛං අභිඤ්ඤෙයියං
ගතිං දුක්ඛං – අගතිං සුඛං අභිඤ්ඤෙයියං
නිබ්බන්ති දුක්ඛං – අනිබ්බන්ති සුඛං අභිඤ්ඤෙයියං (අභිනව)
උපපත්ති දුක්ඛං – අනුප්පත්ති සුඛං අභිඤ්ඤෙයියං
ජාති, ජරා…දුක්ඛං – අජාති, අජරා, අමර, අශෝකං සුඛං අභිඤ්ඤෙයියං(ද්වතාවය පිරිසිඳ දැකීමයි)

25. උප්පාදෝ භයං – අනුප්පාදෝ ඛෙමන්ති අභිඤ්ඤෙයියං
පවත්තං භයං අපවත්තං ඛෙමන්ති අභිඤ්ඤෙයියං
නිමිත්තං භයං – අනිමිත්තං ඛෙමන්ති අභිඤ්ඤෙයියං
ආයුහනං භයං – අනායුනහං ඛෙමන්ති අභිඤ්ඤෙයියං
පටිසන්ධිං භයං – අප්පටිසන්දිං ඛෙමන්ති අභිඤ්ඤෙයියං
ගතිං භයං – අගති ඛෙමං අභිඤ්ඤෙයියං
නිබ්බති භයං – අනිබ්බති ඛෙමං අභිඤ්ඤෙයියං
උපපත්ති භයං -අනුපපත්ති ඛෙමං අභිඤ්ඤෙයියං
ජාති, ජරා, ව්‍යාධි, මරණං, භයං – අජාති, අව්‍යාධි, අමර, ඛෙමං අභිඤ්ඤෙයියං (ඛෙමං යනු සහනයක් අභය තත්ත්වයකි.)

26. උප්පාදෝ සාමිසන්ති – අනුප්පාදෝ නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
පවත්වත්තං සාමිසන්ති – අපවත්තං නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
ආයුහනං සාමිසන්ති – අනායුහනං නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
පටිසන්ධිං සාමිසන්ති – අප්පටිසන්ධිං නිරාමිසන්ති අභිඤ්ඤයියං
ගතිං සාමිසන්ති – අගති නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
නිබ්බත්ති සාමිසන්ති – අනිබ්බති නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
උපපත්ති සාමිසන්ති – අනිබ්බති නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
ජාති, ජරා, ව්‍යාධි, මරණ සාමිසන්ති – අජාති, අජරා, අව්‍යාධි අමර නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
සාමිසන්ති යනු ආමිස බිහි කරන, සමුදය බිහි කරන ගතිගුණ යන අදහසයි. මේ අනුව රාග,ද්වේෂ, මෝහ මෙන්ම කාමසව, භවාසව, දිට්ඨාසව බිහි කිරීමට මේ ආමිස හේතුවේ.

27. උප්පාදෝ සංඛාරාති – අනුප්පාදෝ නිබ්බානන්ති අභිඤ්ඤයියං
පවත්තං සංඛාරාති – අපවත්තං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
නිමිත්තං සංඛාරාති -අනිමිත්තං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
ආයුහනං සංඛාරාති – අනායුහං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
පටිසන්ධිං සංඛාරාති – අප්පටිසන්ධිං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
ගතිං සංඛාරාති – අගතිං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
නිබ්බත්ති සංඛාරති – අනිබ්බිත්තං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
උපපත්ති සංඛාරාති – අනුපපත්තිං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
ජාති, ජරා, ව්‍යාධි, මරණ, සංඛාරාති – අජාති, අජරා, අව්‍යාධි, අමරණං අශෝකං, අපරිදේව, අනුපයාසං, නිබ්බානන්ති අභිඤ්ඤෙයියං

යම් කෙනෙකු යෝනිසෝමනසිකාරයෙන් මේ කරුණු අනුපස්සනා කර විපස්සනා කර තමා ගැනම අවබෝධය පූර්ණ කර ගත හොත් ”අභිඤ්ඤෙයියං” තත්ත්වයට පත් වෙනු ඇත. අවබෝධය ප‍්‍රත්‍යක්ෂ ලෙසින් දැක සත්‍යාවබෝධය බවට පත් කර ගත හොත් අභිඤ්ඤෙයියං යන උසස් තත්ත්වයට පත්වෙනු ඇත. අවබෝධය පරිපූර්ණ කර පරිපූර්ණ සත්‍යාවබෝධය ලබා ගැනීම නිසා ”අභිඤ්ඤෙයියං, අභිජානනත්තෝ” යන තත්ත්වයට ම පත්වීම ද සිදු වේ.

මේ ආකාරයට තමා තුළම ක‍්‍රියාත්මක වන හේතුඵල ධර්ම ක‍්‍රියාවලිය පිරිසිඳ දැක ඒ පිළිබඳව පූර්ණාවබෝධයක් ලැබූ විට,

අභිඤ්ඤාය – අභිඤ්ඤාතට්ඨෝ (උසස් අවබෝධය)
පරිඤ්ඤාය – තීරණට්ඨෝ (පිරිසිඳ දැක තීරණ ගැනීම)
පහානස්ස – පරිච්චාගට්ඨෝ (ප‍්‍රහාණය කළයුතු දේ අත්හැරීම) භාවනාය – ඒකරසට්ඨෝ (ඒකාග්ග සිතින් භාවනා කිරීම)
සච්ජීකිරියාය – දස්සනට්ඨෝ

යන පූර්ණාවබෝධය ලැබූ පුද්ගලයා චතුරාර්ය සත්‍යයන් පරිපූර්ණ ලෙසින්ම අවබෝධ කරගත් කෙනකු බවටත් පත් වේ. ආසව හා අනුසය ධර්ම ඛය කර (උදුරා, ගළවා දමා) ඉවත් කිරීමට අවශ්‍ය ආසවඛ්‍යා ඥාණය ද ලබා ගනී. අනුසය ධර්මයන් ඛ්‍යාහොන්තී, සංයෝජනා පහියන්තී යනුවෙන් පෙන්වා වදාළේ ආසවඛ්‍යා ඥාණය ලැබීමෙන් ආසව ධර්ම ගළවා ඉවත් කර, අනුසය ධර්මයන් ද ගළවා ඉවත් කර දමා, චිත්තසංථානය ප‍්‍රභාශ්වර තත්ත්වයට පත් කර ගැනීමත්, දස සංයෝජන ක‍්‍රමානුකූලව අවස්ථා හතරක දී ප‍්‍රහාණය වී යාමත් සිදු වී සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ගයන් හා ඵලයන් සම්පූර්ණ වන ආකාරයත් පැහැදිළි කර පෙන්වා දීමයි.

මෙතැනදී පෙන්වූ උප්පාදෝ භයං, උප්පාදෝ දුක්ඛං, උප්පාදෝ සාමිසං, උප්පාදෝ සංඛාරං යන විග‍්‍රහයේදී ”උප්පාදෝ” යනු පුද්ගලයකුගේ, සත්ත්වයකුගේ සම්මත උත්පත්තිය පමණක්ම නොවේ. මොහොතක් මොහොතක් පාසාම, චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසාම සිතක උපත ලබන්නාවූ අරමුණු වලට පටිච්ච වීම නිසා ප‍්‍රිය අප‍්‍රියතාවයන්ට බැඳීම නිසා ඇලීම, මුළා වීම නිසා සිතක හේතුඵල පරම්පරාවක් උපත ලබන, පවතින, ක‍්‍රියාත්මක වන ආකාරයත් විග‍්‍රහ කිරීමයි.

අනුප්පාදෝ ඛෙමං, අනුප්පාදෝ සුඛං, අනුප්පාදෝ නිරාමිසං, අනුප්පාදෝ නිබ්බානන්තී යනුවෙන් විග‍්‍රහ වන්නේ චිත්තසංථානයක නිච්ච සංඥාවක්, අත්ථ සංඥාවක් නොඉපදුණොත්, සංඛාර උත්පත්තියක් පටිච්ච නොවුණොත්, චිත්තසංථානය අනිමිත්ත බවට, අප්පණිහිත බවට, සුඤ්ඤත බවට පත්වීම නිසා නිබ්බානන්තී බවට පත්වන බව පෙන්වීමටම කරන ලද විග‍්‍රහයකි. ඒ මිස දැන් ගත කරන මේ ලබා ඇති උපත අනුප්පාද කිරීමේ ක‍්‍රමයක් පිළිබඳව නොවේ. පංචඋපාදානස්කන්ධයම අතහැරියහොත්, සංඛාර පැවැත්වීම (එකතු කිරීම) අත්හැරියහොත්, ආසව – නිරාසව කළහොත් නිබ්බානන්ති යන නිවන් සුවයත් මේ මිනිස් ජීවිත කාලය තුළදීම අත් දැක, අත්විඳ ගත හැකි සත්‍යය වූ දෙයක් බව ප‍්‍රකාශ කිරීමයි. මෙතැනදී විග‍්‍රහ කර පෙන්වා වදාළේ”

”චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති     චක්ඛු විඤ්ඤාණං
සෝතංච පට්ච්ච සද්ධං    උප්පජ්ජති    සෝත විඤ්ඤාණං
මනාච පටිච්ච ධම්මා    උප්පජ්ජති    මනෝ විඤ්ඤාණං”

මේ ඉහත පෙන්වා ඇති වාක්‍යවල ”උප්පජ්ජති” යන පදයෙන් පෙන්වා දුන්නේ පෙරදී විග‍්‍රහ කරන ලද උප්පත්ති යන අදහසමයි. එමනිසා පුද්ගලයෙක්, සත්ත්වයෙක් අත්විඳින සම්මත උත්පත්තියත් සම්මත මරණයත් අතර ජීවිත කාලයක් තුළ අනත්ත අප‍්‍රමාණ වාරයක් උප්පත්ති, උපපත්තිි, නිබ්බත්ති යන පද වලින් විග‍්‍රහ කරන ලද ”උපත්” ලබයි. එසේම ඒවා ගෙවී, දිය වී විනාශ වී යයි. ”පොනෝභවිකා” යනු පුන පුනා බිහි කිරීම යන අදහසයි.

”අනුපපත්ති යන සංඛාර නොකරන තත්ත්වය අනුව සමුදය ධර්මයෝ උපදවා නොගැනීම සඳහා ”සං” නූපදීම, නිර්උදා හේතුව කොටගෙන ලබන නිදහස, නිවන අත්විඳ ගත හැකියි. සමුදය නිරෝධ කිරීමත් – නිරෝධගාමී මාර්ගයත් නිවනයි.

මේ අනුව බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ පිරිසිදු නිවන් මාර්ගය ඒකායන අර්ථයෙන්ම ”අනුප්පාදෝ ඥාණං” මුල් කොටගත් අනුප්පාදය අවසාන පරම අර්ථය කොටගත් අනූපූරක නිවන් මාර්ගයක් ම වේ.

මේ නිවන් මාර්ගය පැහැදිළිවම, පිරිසිදුවම දැන ගැනීමත්, ඒ නිවෙන මාර්ගය යථාවබෝධයෙන්ම අනුගමනය කිරීමත්, ඒ දැනගත් මඟ තමන්ම අත්විඳ ගැනීමත් නිවනයි.

Share Button