ධ්‍යාන හා මාර්ගඵල

භාවනාවේ යෙදීමෙන්, භාවනා කිරීමෙන් අද යම් කිසිවෙකු බලාපොරොත්තු වන්නේ ධ්‍යානයක් ලබා ගැනීමයි. ධ්‍යානයක් ලබා ගැනීම ධ්‍යානයකට පත් වීම යනු යම්කිසි ආකාරයක කෙළෙස් දවාහැරීමක් සිදුවීමයි. මේ දවා හැරීම නිසා සිදුවන්නේ, යමෙකුගේ චිත්තසංථානය තුළ මෙතෙක් ක‍්‍රියාත්මකව පැවති රාග, ද්වේෂ යන කිළිටි ගති ලක්ෂණයන් තාවකාලිකව දවා හැරීමයි. රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණයන් දවාහැර, ඒවායින් යම් තරමකට නිදහස්වීම නිසා කාය පස්සදිය – කය සංසිඳවීම, වේදනා පස්සදිය – වේදනා සංසිඳවීම, චිත්ත පස්සදිය – සිත සංසිඳවීම සිදුවෙයි.

අනාදිමත් කාලයක පටන්ම විවිධ ආගම්වල, දර්ශනවල විවිධ ක‍්‍රම මගින් භාවනා කර, ධ්‍යානයක් ලබා ගැනීමේ ක‍්‍රම උගැන්වීය. බුද්ධ ධර්මයට අනුකූලවද ධ්‍යාන ලබා, මඟඵල ලබා නිවන් අවබෝධ කරගත හැකිය. බුදුපියාණන් බුදු බවට පත්වන්නට පෙර වසර හයක්ම එවකට භාවිතයේ පැවති විවිධ ඉගැන්වීම් ඔස්සේ යමින් දුෂ්කර ක‍්‍රියා කරමින්, ධූතාංග රකිමින් එවකට භාවිතයේ පැවති සියලු අනරිය ධ්‍යානයන් ලබාගත්හ. එවැනි අනරිය ධ්‍යානයන් ලැබීමෙන් ප‍්‍රඥා විමුක්තියට පත්වීමක් සිදු නොවූ බව තේරුම්ගත් බුදුපියාණන්වහන්සේ එවන් දුෂ්කර ක‍්‍රියාවන්ගෙන් වෙන් වී අරිය මාර්ගයම සොයා දැන බුද්ධත්වයට පත්වූහ. එසේ නම් ගෝතම බුදුපියාණන් ස්වයංභූ ඥාණයෙන් තමන්ම සොයා දැන, අනුගමනය කර, තමන්ම අත්විඳි මෙම ධ්‍යානයන් එතෙක් කල් විවිධ ආගම්වල පැවති අනරිය ධ්‍යාන නමින් හැඳින්වූ ධ්‍යානයන් නොවේ. ඊට හාත්පසින්ම වෙනස් අරිය ධ්‍යානයන් කොටසකි. බුදුවරයෙකු ලොව පහළවන්නේම එතෙක් පැවති ලෞකික ක‍්‍රමයන් වෙනස් කර ඊට හාත්පසින්ම වෙනස් වූ ලෝකෝත්තර අරිය මාර්ගයක් සොයා දැන, ලෝකයාට දේශණාකර පෘථග්ජන ලෝකයා සංසාර දුකෙන් මුදවා ගැනීමේ ඒකායන අභිලාශයෙනි.

බුද්ධ දේශණාවට අනුව අරිය ධ්‍යානයන් හා අනරිය ධ්‍යානයන් ලෙස දෙවිධියක, දෙයාකාරයක ධ්‍යානයන් ඇති බවවත් අද බොහෝ බෞද්ධයින් නොදනිති. අනරිය ධ්‍යානයන් එකක් නොව සියල්ලම (අටම) ලබාගෙන විවිධ හාස්කම් කළ බොහෝ පුද්ගලයින් එදා ජන්බුද්වීපයේ ජීවත් වූ බවත්, අද පවා ලෝකයේ විවිධ තැන්වල ජීවත්වන බවත් සත්‍යයකි. නමුත් පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයෙන් පෙන්වා වදාළ ප‍්‍රඥා විමුක්තිය ලබා, අරහත් තත්ත්වයට පත්වීමේ හැකියාවක් ඒ කිසිම අනරිය ධ්‍යානලාභියෙකුට ලැබෙන්නේ නැත. සෝවාන් මාර්ග ඵලය නමැති නිවන් මාර්ගයේ පළමුවන පියවරට පත්වීමට නම් අරිය උත්තමයෙකු බවට පත්විය යුතුමය. සෝවාන් මාර්ගඵලයට පත්වීම යන උතුම් අරිය තත්ත්වයට පත්වීම හා අනරිය ධ්‍යානයන් අටටම පත්වීම යන තත්ත්වයන් දෙක සැසඳීමේ දී සෝවාන් මාර්ගඵලයට පත්වීමේදී ලබන සුවයෙන් කෝටියෙන් එකක් හෝ අනරිය ධ්‍යානයන් අටටම පත්වූ පුද්ගලයා ලබන්නේ නැත. සෝවාන් මාර්ග ඵලයට පත්වූ පුද්ගලයා සඳහටම සතර අපා දුකෙන් මිදුණු නියත වශයෙන්ම නිවන් මාර්ගයට පත්වූවෙකි. අනරිය ධ්‍යානයන් අටටම පත්වූ පුද්ගලයා පවා මතු යම් කලක යළි සතර අපා දුකටද පත්විය හැකිය. නමුත් සෝවාන් මඟඵලයට පත්වූ අරිය පුද්ගලයා නියත පරායනයෙන්ම දස්සනේන සම්පන්න වූ මාර්ගඵල ලාභියෙකි.

බුදුපියාණන් කිසි විටෙකත් අනරිය ධ්‍යානයන් ලබාගැනීම වර්ණනා නොකළ බවත් අගය නොකළ බවත් මජ්ක්‍ධිම නිකායේ දේවදහ වග්ගයේ එන ගෝපක මොග්ගල්ලාන සූත‍්‍රයේ ඉතාමත් පැහැදිළිවම විග‍්‍රහ කර පෙන්වාදී ඇත. පහත සඳහන් පාඨයෙන් එය මොනවට පැහැදිළි වෙයි.
”ගාරය්හං කිර භෝ ආනන්ද, සෝ භවං ගෝතමෝ ඣානං ගරහි පාසංසං පසංසි”
භවත් ආනන්දයෙනි, ගෝතම බුදුපියාණන්වහන්සේ ගැරහිය යුතු ලෞකික අනරිය ධ්‍යානයන් නිරන්තරයෙන්ම ගරහති. ප‍්‍රතික්‍ෂෙප කරති. ප‍්‍රසංශා කළ යුතු, අගය කළ යුතු අරිය ධ්‍යානයන් හා මාර්ගඵල නිතරම අගය කරති. භාවිතයට අනුදැන වදාරති.

ගැරහිය යුතු අනරිය ධ්‍යානයන් හා ප‍්‍රසංශා කළ යුතු අරිය ධ්‍යානයන් යැයි ධ්‍යානයන් දෙකොටසක්ම ඇති බව විග‍්‍රහ කර පෙන්වා වදාළ ගෝතම බුදුපියාණන්වහන්සේ මෙම ගෝපක මොග්ගල්ලාන සූත‍්‍රයෙහිම මේ අරිය ධ්‍යානයන් හා අනරිය ධ්‍යානයන්හි ගති ලක්ෂණයන් හි ඇති වෙනස්කම්ද විග‍්‍රහ කර පැහැදිළි කර දේශණා කර වදාළ සේක.

අනරිය ලෞකික ධ්‍යාන විස්තර කරමින්,
”න ඛෝ බ‍්‍රාහ්මණ සෝ භගවා සබ්බං ඣානං වණ්ණේසි
නාපි සෝ භගවා සබ්බං ඣානං න වණ්ණේසීතී”
”කථං රූපංඤච බ‍්‍රාහ්මණ, සෝ භගවා ඣානං න වණ්ණෙසී ඉධ බ‍්‍රාහ්මණ, ඒකච්චෝ කාමරාගපරියුට්ඨිතේන චේතසා විහරති, කාමරාගපරේතේන. උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. සෝ කාමරාගංයේච අන්තරං කරිත්වා ඣායති, පජ්ඣායති, නිජ්ඣායති අපජ්ඣායති…. එවරූපං ඛෝ බ‍්‍රාහ්මණ, සෝ භගවා ඣානං න වණ්ණේසි.”

බ‍්‍රාහ්මණය, භාග්‍යවතුන් වහන්සේ සියලු ආකාර වූ ධ්‍යානයන් වර්ණනා නොකරති. කාමරාග, පටිඝ ආදී පංචකාම නිවරණයන්ගෙන් වෙන් නොවූ කෙනෙකු, ධර්මයේ නොපිහිටා, යථා අවබෝධයකින් තොරව, ඇති තතු පිරිසිඳ නොදැන (නප්පජනාති) වඩන ලෞකික වූත්, අනරිය වූත් ධ්‍යානයන් මම කිසිසේත් වර්ණනා නොකරමි. අගය නොකරමි. ඒවා නිවනට උපකාර නොවන, සංසාරයේ අතරමං කරනා ධ්‍යානයෝ පමණකි.

අරිය ධ්‍යානයන් විස්තර කරමින් (ලෝකෝත්තර ධ්‍යානයන්)
”කථංරූපඤ්ච බ‍්‍රාහ්මණ, සෝ භගවා ඣානං වණ්ණේසී
ඉධ බ‍්‍රාහ්මණ, භික්‍ඛු විවිච්චේව කාමෙහි, විවිච්ච
අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං
පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති….
ඒවං රූපං ඛෝ බ‍්‍රාහ්මණ, සෝ භගවා ඣානං වණ්ණේසිති”

කාමයෙන් වෙන්වූ සිතින් යුතු, අකුසල ධර්මයෙන් වෙන්වූ සිතින් යුතු, භක්ඛු තත්ත්වයට පත්වූ කෙනෙකු ලබන පළමුවන ධ්‍යානයේ පටන්ම මම එය අරිය ධ්‍යානයන් ලැබීම යයි වර්ණනා කරමි. මේ අරිය ධ්‍යානයන් නියත පරායනයෙන්ම විජ්ජා විමුක්තිය සඳහාම උපකාර වෙයි.

කළ යුතු දේ හා නොකළ යුතු දේ පිරිසිඳ දැන (පජානාති) භව ඛය කිරීමට කැපවී කටයුතු කරන පුද්ගලයා ”භික්ඛු” යන නමින් මෙහි නම්කර තිබේ. ”භික්ඛු” යනු මහණ, මෙහෙණි, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසය. මේ සිවුවනක් පිරිසට අයත් සියලුම අය, ධර්මය අසා, දස්සනේන සම්පන්න වූ, සම්මා දිට්ඨියට පත් වූ ආශ‍්‍රය කළයුතු හා ආශ‍්‍රයෙන් බැහැර කර ප‍්‍රහාණය කළයුතු ධර්මයන් යන දෙකොටසම පිළිබඳ යථා අවබෝධයක් ලැබූ (කාමෙහි විවිච්ච) කාමයෙන් වෙන් වූ සිතින් යුතු (අකුසල ධම්මෙහි විවිච්ච) අකුසල ධර්මයන් සිතින් ඉවත් කරගත් නිවන් මාර්ගයෙහි යන අරිය පුද්ගලයින්ය. ඔවුන් යම් ධ්‍යානයක් වැඞීම නිසා ලබන්නේ අරිය ධ්‍යානයන්ය. එම අරිය ධ්‍යානයන් හා අනරිය ධ්‍යානයන් අතර විශාල වෙනසක් ඇතැයි මම දේශණා කරමි.

ආනාපාන සති සූත‍්‍ර දේශණාව ආරම්භයේම දක්වා ඇති පරිදි, බුදුපියාණන් මෙම සූත‍්‍ර දේශණාව කරන්නේ ”භික්ඛූ”න් සඳහාම බව විශේෂයෙන්ම එහි සඳහන් කර ඇත. (මජ්ක්‍ධිම නිකාය අනුපද වර්ගය) ”භික්ඛු” යනුවෙන් බුද්ධ භාෂිතයේ යම් තැනක නම් කළේ මහණ, මෙහෙණ, උපාසක, උපාසිකා යන සතර වරිගය සඳහාම බව අංගුත්තර නිකායේ චතුර්ථක නිපාතයේ පැහැදිළිවම සඳහන් කර ඇත. භික්ඛු යන පදයේ තේරුම භව ඛය කර දමන්නට ඇප කැපවී ක‍්‍රියා කරන, පූර්වභාග නුවණ පහළ වූ පුද්ගලයා යන්නයි. සිවුරු හැඳ මහණ වූ මහණ හා මෙහෙණි යන කොටස් දෙක පමණක්ම නොව ගිහිගෙයි වාසය කරන භව ඛය කර දමන්නට ඇප කැපවී ක‍්‍රියා කරන උපාසක උපාසිකා සියල්ලෝ ද ජාති ආගම් කුල භේදයකින් තොරවම ”භික්ඛු” යන නමින් එකල හඳුන්වනු ලැබූහ.

ත‍්‍රිපිටක ධර්මයෙහි ආනාපානසති භාවනාව පිළිබඳව විවිධ තැන්වල විවිධ ආකාරයෙන් බුදුපියාණන් දේශණාකර පෙන්වා වදාරා ඇත. මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත‍්‍ර දේශණාව යන නමින්ම විශේෂ දේශණාවක් කර ඇත. මජ්ක්‍ධිම නිකායේම ආනාපානසති සූත‍්‍ර දේශණාවට අදාළවම ගිරිමානන්ද සූත‍්‍රයේත්, සේවිතබ්බා සේවිතබ්බා සූත‍්‍රයේත් මෙම කරුණුම දේශණා කර ඇත. සංයුක්ත නිකායේ ආනාපාන සංයුක්තය යැයි මීට අදාළ සූත‍්‍ර ධර්ම රාශියක්ම දේශණා කර ඇත. ආනාපාන සති භාවනාව නිවැරදිව භාවිතා කිරීම, නිවන් මඟට නොවැරදීම උපකාරවන, ඒකායන කෙටිම මාර්ගය බවද බොහෝ තැන්වලදී බුදුපියාණන්ම දේශණා කර වදාරා ඇත.

මෙලෙස බුදුපියාණන් දේශණා කර වදාළ, භික්ඛූන්ට භාවිතා කරන්නට අනුදැන වදාළ ආනාපාන සති භාවනාවට අමතරව පෙර අතීතයේ පටන්ම වේද ආගම්වල, ශිව ආගම්වල හා උපනිශද් ආගම්වල පැවත ආ භාවිතා කළ අනුගමනය කළ ආනාපාන සති භාවනා ක‍්‍රමයක්ද එකල භාවිතයේ පැවති බවට පැහැදිළි වන සාක්ෂි ආනාපාන සංයුක්තයේ එන ”අරිට්ඨ සූත‍්‍රයෙන්” මොනවට පැහැදිළි වෙයි. (සංයුක්ත නිකාය – අරිට්ඨ සූත‍්‍රය)

”අහං ඛෝ භන්තේ භාවෙමි ආනාපානසතින්ති, යථා කථං පන ත්වං අරිට්ඨ භාවෙසි ආනාපානසතින්ති, අතීතේසූ මේ භන්තේ කාමේසු කාමච්ඡන්දෝ පහීනෝ. අනාගතේසු මේ කාමේසු කාමච්ඡන්දෝ විගතෝ, අජඣත්තබහිද්ධා ච මේ ධම්මේසු පටිඝසඤ්ඤා සුප්පටිවිනිතා. සෝ සතෝව අස්ස සිස්සාමි සතෝ පස්ස සිස්සාමි ඒවං ඛෝහං භන්තේ භාවෙමි ආනාපානසති”
”අත්ථෙසා අරිට්ඨ, ආනාපානසති නෙසා නත්ථිති වදාමි. අපි ච අරිට්ඨ යථා ආනාපානසති විත්ථාරේන පරිපුණ්ණා හෝති තං සුනාහි……”
”එවං ඛෝ අරිට්ඨ, ආනාපානසති විත්ථාරේන පරිපුණ්ණා හෝතිති”

අරිට්ඨ අරහතන් වහන්සේ අරහත් තත්ත්වයට පත්වන්නට පෙර ආනාපාන සතිය නම් වූ භාවනාවක් භාවිතා කළ බවත් එය භාවනා කළ නමුත් කිසිම යහපත් ඵලයක් නොලැබූ නිසාත් බුදුපියාණන් හමුවී මේ බව ප‍්‍රකාශ කර සිටියහ. අරිට්ඨ හිමියන්ගෙන් බුදුපියාණන් කරුණු අසා දැන ප‍්‍රකාශ කර සිටියේ සම්මතයේ පවතින අනරිය වූත් ලෞකික වූත් ආනාපානසති භාවනාවක්ද ඇති බවයි. ”අරිට්ඨ ඔය ආකාරයේ නිවන් මගට උපකාර නොවන, ලෞකික ධ්‍යාන ලබාගත හැකි ආනාපන සති භාවනාවක්ද ඇත. එවැන්නක් නැතැයි මම නොකියමි. මම මගේ ශ‍්‍රාවකයන්ට අනුදැන වදාළ නිර්දේශ කරන ආනාපාන සති භාවනාව වෙන එකකි” යනුවෙන් පවසා අරිය ආනාපානසති භාවනා ක‍්‍රමය විස්තර වශයෙන් දේශණා කර පෙන්වා වදාළහ. ”මෙය භාවිතා කර අරිය මඟඵල හා ධ්‍යාන පූරණය කරගන්න. අනරිය වූත්, ලෞකික වූත් ආනාපානසතිය බැහැර කරන්න.” යැයි ඉතාමත් පැහැදිළිවම දේශණාකර පෙන්වා වදාළහ.

බුදුපියාණන්වහන්සේද බෝධිසත්ව යුගයේ වසර හයක් තිස්සේම විවිධ දුෂ්කර ක‍්‍රියා කරමින් අනුගමනය කළේ මෙවන් අනරිය වූත් ලෞකික වූත් නියත ප‍්‍රතිඵලයක් ලබාගත නොහැකිවූත් ආනාපාන සති භාවනා ක‍්‍රමයකි. එය තමන් වහන්සේම අත්දැක තිබූ නිසාත් එම භාවනා ක‍්‍රමයන් ප‍්‍රාණයාම, හතයෝග ආදී විවිධ නම් වලින්ද කසින භාවනා ක‍්‍රම ලෙසින්ද එවකට ජන්බුද්වීපයේ ප‍්‍රචලිතව පැවති නිසාත් පැහැදිළිවම මේ ලෞකික භාවනා ක‍්‍රම බැහැර කළහ. තමන් වහන්සේ වසර හයක්ම අත්විඳි මහා දුක් කන්දරාව තවත් කෙනෙකුට විඳවන්නට ඉඩ නොතබනු පිණිස මෙම පිරිසිදු බුද්ධ ආනාපාන සති භාවනාව විග‍්‍රහකර තම ශ‍්‍රාවකයින්ට පෙන්වා වදාළහ.

මේ අනුව හැම කෙනෙකුම නිවැරදි ආකාරයට තේරුම් ගත යුත්තේ ආනාපාන සති භාවනාවද දෙයාකාරයකින්ම භාවිතා වන බවයි. එකක් ලෞකික අර්ථයෙන් අර්ථ ගැන්වූ පෙර පටන්ම පැවත එන හුස්ම ඉහළ පහළ යාම පිළිබඳ මෙනෙහි කරමින් පිම්බීම හැකිළීම දෙස බලා සිටින අනරිය ආනාපාන සති භාවනා ක‍්‍රමයයි.

අනික ධර්මයෙන් අර්ථ ගැන්වූ කාමයෙන් වෙන්විය හැකි, අකුසල ධර්මයන්ගෙන් වෙන්විය හැකි, සේවනය කළයුතු හා සේවනයෙන් බැහැර කළයුතු ධර්මයන් තේරුම් ගෙන ඒවා ආනාපානය කිරීමේ අරිය භාවනා ක‍්‍රමයයි. ආන යනු ඇතුළට ගැනීමයි. (ආනයන) පාන යනු පිට කිරීමයි (අපනයන). අස්ස යනු ආශ‍්‍රය කිරීමයි. පස්ස යනු ප‍්‍රහාණය කර බැහැර කිරීමයි. අස්සාස පස්සාස යන පද දෙකද හුස්ම ඇතුළට ගැනීම හා පිට කිරීමට මෙන්ම, ඉන්ද්‍රියයන් හයෙන්ම ඇතුළට ගන්නා විවිධ ගති ලක්ෂණ ඇතුළට ගැනීමත් ඉන්ද්‍රියයන් හයෙන්ම පිට කර බැහැර කළයුතු දේ බැහැර කිරීමත් යන අර්ථයෙනුත් බුද්ධ භාෂිතයේ භාවිතා කළ බව ඉතාම පැහැදිළිය.

හුස්ම ඉහළට පහළට ගැනීම කෙරෙහි පමණක් සිත යොමුකර, කය දෙස බලා සිට සිතට එන අරමුණු සියල්ලම බැහැර කර දැමීමෙන්ද සිත සමථයට පත්වීම සිදුවේ. මේ ආකාරයට සිත සමථයට පත්කර ගැනීම මගින්ද රාග, ද්වේෂ සිතුවිලි වලින් බැහැරව, එවන් අරමුණු යටපත් කර, ධ්‍යානයන් ලබාගත හැකි ක‍්‍රමයක් ද තිබේ. එය ලෞකික වූත්, අනරිය වූත් බුදුපියාණන් ප‍්‍රතික්ෂේප කළ ආනාපාන සති භාවනා ක‍්‍රමයයි. මෙහිදී වන්නේ රාග, ද්වේෂ, මෝහ අරමුණු, සිතිවිලි තාවකාලිකව යටපත් කිරීමේ ක‍්‍රියාදාමයක් සිදුවීම මිස රාග, ද්වේෂ, මෝහ අරමුණු සහමුළින්ම ඉවත්කර දමා ”භව” නිරෝධ කරන අරිය ක‍්‍රමයක් නොවේ. උපාදාන නිරෝධ කර, ”භව” නිරෝධ කිරීමේත්, භව නිරෝධ කර ජාති නිරෝධ කිරීමේත් අරිය ආනාපන සති භාවනාව වෙනත් කිසිම ආගමක හෝ දර්ශනයක හෝ භාවිතා කළ එකක්ද නොවේ. පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය ජීවමානවීමත් සමඟම මතුවී එන භාවිතයට ගත හැකි මෙම ආනාපානසති භාවනා ක‍්‍රමය භාවිතා කිරීමෙන්ම පමණක් උතුම් නිවන් අවබෝධයද පූර්ණ කර ගත හැකිය. ඒ සඳහා බුද්ධ දේශණාවෙන් ගෙනහැර වදාළ ආනාපාන සති සූත‍්‍ර දේශණාවේත්, ඊට සම්බන්ධ තවත් සූත‍්‍ර ධර්ම කිහිපයකත් ධර්ම අර්ථයම විග‍්‍රහකර යථා පරිදි පෙන්වාදී කළයුතු හා නොකළ යුතු යන දෙපැත්තම තේරුම් කර පෙන්වා දිය යුතුමය.

රාග, ද්වේෂ ගති ලක්ෂණයන් තාවකාලිකව දවාහැර, යටපත් කරදමා ලබන ලෞකික වූත්, අනරියවූත් ධ්‍යානයන් ලැබීමෙන් නිවන් අවබෝධය සඳහා මාර්ගඵල පූර්ණ කර ගැනීම හෝ ප‍්‍රඥා විමුක්තියට පත්වීම හෝ සිදුවන්නේ නැත. පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය අසාදැන, තේරුම් ගෙන තම තමන්ගේම සිත් කිළිටි වන්නේත්, තමන්ගේ සිත තුළට රාග, ද්වේෂ, මෝහ අරමුණු ඇතුලු කරගන්නේත්, තම කැමැත්තෙන්ම බවත් ඒ කැමැත්ත අවිද්‍යාව නිසා නොදන්නාකම නිසා තමන්ම ඇති කරගත් තණ්හාව බවත් තේරුම් ගත යුතුය.

බුදුපියාණන් දේශණා කර වදාළ ආනාපාන සති සූත‍්‍ර දේශණාවේ එන මුල් පේළි හතර ගෙන සළකා බැලුවොත්,

දීඝංවා අස්සසන්තෝ දීඝං අස්සසාමිති පජානාති
දීඝංවා පස්සසන්තෝ දීඝං පස්සසාමිති පජානාති
රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමිති පජානාති
රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමිති පජානාති

මෙහි ”පජානාති” යනුවෙන් වචනයක් භාවිතාකර ඇත. මෙහි විරුද්ධ පදය ”නප්පජානාති” යන්නයි. අරිය භාවනා ක‍්‍රමය තේරුම් ගැනීමේදී පජානාති යන පදය ඉතාමත් වැදගත් පදයකි. පජානාති, පරිජානාති, පරිජානං යන පදවල තේරුම පිරිසිඳ දැන ගැනීම යන්නයි. ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීම යන්නයි. ධර්මය අසා දැන, ඇත්ත ඇති සැටියෙන් තේරුම් නොගත් කෙනෙකුට මෙම අරිය ආනාපාන සතිය නිවැරදිව භාවනා කළ නොහැකිය. සත්‍යය අවබෝධකරගත්, දස්සනේන සම්පන්න වූ සම්මා දිට්ඨියට පත්වූ පුද්ගලයා අරිය ධ්‍යානයක් වඩන්නට ද සුදුසු වූ කෙනෙකි. ”පජානාති” යන්නෙහි තේරුම එයයි.

ධ්‍යානයක් ලබා ගත් කෙනෙකුට ධ්‍යාන ක‍්‍රියාකාරීත්වය පවත්වා ගත හැකි වන්නේ ධ්‍යානයකට සම වැදී සිටින කාල පරාසයක් තුළදී පමණකි. ධ්‍යානයකට සම වැදුණු ධ්‍යානලාභියාට රාග, ද්වේෂ යන කෙළෙස් කොටස් දෙක තාවකාලිකව යටපත් කර කෙළෙස් දවා හැර යම් සුවයක්, සහනයක් ලබා ගත හැකි වන්නේ ඒ ලබාගත් ධ්‍යානයට සමවැදී කාලය ගත කරන අවස්ථාවන්හි දී පමණි. ධ්‍යානයට සම නොවැදුණු අවස්ථාවන්හිදි ධ්‍යානලාභියා තුළද මෝහය ක‍්‍රියාත්මක වන නිසා රාගයෙන් ද්වේෂයෙන් කටයුතු කිරීමේ සංසාර පුරුද්ද යළිි පණ ගැන්වී, නැවතත් පෘථග්ජන පුද්ගලයෙකු බවටම ඔහු පත් වෙයි. මේ අනුව ධ්‍යාන සුවය ලෞකිකත්්වය තුළින්ම ලබා ගන්නා ලෞකික සුවයක් මිස ලෝකොත්තර නිවන් සුවය නම් නොවේ.

සම්මා දිටිඨියට පත් වූ ශ‍්‍රැතවත් අරිය ශ‍්‍රාවකයා ලබන ඵල සමාපත්තිය හා ධ්‍යාන ලාභියෙකු ධ්‍යානකට සම වැදීමෙන් ලබන ධ්‍යාන සුවය යනු දෙයාකාර වූ තත්ත්වයන් දෙකකි. ධ්‍යානලාභියෙකුට සම්මාපත්තියකට සමවැදීමේ හැකියාවක් නැත. සමාපත්තියට සම වැදෙන්නට නම්, ”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වයට ම පත්ව, ”සං” වලින් මිදී නිදහස් වන ක‍්‍රමය ද තේරුම් ගත් ” සම්මා” අංගයන් සම්පූර්ණයෙන් ම අවබෝධ කරගත්, ශ‍්‍රැතවත් අරිය පුද්ගලයෙක් විය යුතුයි. ධ්‍යානයකට සමවදින්නට ඕනෑම පෘථග්ජන පුද්ගලයෙකුටත් හැකිය.

ධ්‍යාන ක‍්‍රියාකාරීත්වය ධ්‍යානයට සම වැදුණුු කාල සීමාවට පමණක් ම සීමා වන අතර මාර්ග ඵල සමාපත්තියට පත් වූ අරිය උත්තමයන් වහන්සේ කෙනෙකු තම ඉතිරි මුළු ජීවිත කාලයමත් නිවන් අවබෝධය සම්පූර්ණ කරගන්නා තුරුම මතුවටත්, සම්මා දිට්ඨියෙන් යුතුව ම කාලය ගෙවයි. ඒ අනුව රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වීම යන අර්ථයෙන්ම සම්මා දිට්ඨියද, සමාපත්තිය ද, ඵලසමාපත්තියද යන සියල්ලම එකම ක‍්‍රියාකාරකමකි. නමුත් ධ්‍යානය යන්න මීට වඩා වෙනස්ය. ධ්‍යානයක් ලැබීමේදී රාගය හා ද්වේෂය යන කෙළෙස් ගති දෙක පමණක් තාවකාලිකව දවා හැර, කෙළෙස් යටපත් කර ගැනීම සිදු වේ.

”යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති” යනුවෙන් පෙන්වා වදාළ පටිච්ච වීම හා සං උත්පන්න වීම – සං උදයවීම දැක නොගත් කෙනෙකුට, ඵල සමාපත්තියට සමවැදීමට ද නොහැකිය. සමුදය නිරෝධ කරමින්, නිරෝධගාමී පටිපදාවෙන්ම කාලය ගෙවිය හැක්කේත් චතුරාර්ය සත්‍යයන්ම අවබෝධ කරගත් අරිය උත්තමයෙකුට පමණි.

ආධ්‍යාත්මික වශයෙන් තමා තුළින් තමන්ම ලබා ගන්නා චෛතසික පාරිශුද්ධතාවයත්, මානසික පාරිශුද්ධතාවයත් යන දෙකම ලබා ගන්නට නම් සීලයෙන් සංවරවීමත්, සමාධියෙන් සංසිඳවීමත්, ප‍්‍රඥාවෙන් සම්මා අංගයන් සම්පූර්ණ කර ගැනීමත් යන තුන් ආකාර වූ ප‍්‍රතිපදාව ම භාවිතා කරන්නට පුරුදු පුහුණු විය යුතුමය. සිත හා මනස යන දෙකම සංවර වන්නේ ඉන්ද්‍රියයන් සංවර කරගත් පසුවමය. ඒ සමඟම ජීවිතයේ එදිනෙදා කරන, කියන, හිතන සාමාන්‍ය කටයුතුද, ඇවතුම් පැවතුම් ද, කල්කිරියාවන් ද, බාහිර හැසිරීම් රටාව ද, ආකල්පයන් ද විශේෂයෙන් ම ලෝකය පිළිබඳව මෙතෙක් පැවති දෘෂ්ඨිය ද, දැක්ම ද වෙනස් වී, යහපත් අතට හැරී, භාවනාවෙහි නියම සුවය, සහනය අත්විඳ ගන්නටත් හැකි වෙයි.

මේ අනුව බුද්ධ ධර්ම විග‍්‍රහයේ ”භාවනා” යන පදයෙන් විග‍්‍රහකර පෙන්වා වදාළ ගාම්භීර පිළිවෙත් සමූහය හා වෙනත් පෙරදිග ආගම් වල පෙන්වා දුන් ධ්‍යානයන් ලබා ගැනීමේ පිළිවෙත එකක් නොව පිළිවෙත් දෙකක් බව පැහැදිළිවම හා පිරිසිදුවම වෙන් කොට අවබෝධ කර ගත යුතුය. ගල් පිළිමයක් සේ එක තැනකට වී, නොසෙල් වී, සමාජයෙන් වෙන් වී, කැලයකට ගොස් ශරීරය – කය භාවිතයට පුරුදු පුහුණු කිරීම අනරිය ක‍්‍රමයයි. මෙහිදී තම හුස්ම රැුල්ල දෙස බලා සිටීම, අස්වාස ප‍්‍රස්වාස කිරීම දෙස අවධානයෙන් බලා සිටීම, බඩ පිම්බීම, බඩ හැකිළීම දෙස අවධානයෙන් බලා සිටීම, වායෝ කසීන භාවනාවකි. වායෝ කසිනය ඇතුලු කසින භාවනා ක‍්‍රම දහයක්ම විසුද්ධි මාර්ගයෙහි පෙන්වා දී ඇත. ධ්‍යානයක් ලබා ගැනීමට මේ කසින භාවනා ක‍්‍රම භාවිතා කිරීම ප‍්‍රමාණවත් බව අපිදු පිළිගනිමු. නමුත් බෞද්ධයින් ලෙස ඒකායන පරමාර්ථය වන්නේ ධ්‍යානයන් ලබා ගැනීම නොව මඟඵල ලබා ගැනීමයි. බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ ”දස අනුස්සති” භාවනා ක‍්‍රමයන් භාවිතා කිරීමෙන් මිස වෙනත් කිසිම අනරිය කසින භාවනා ක‍්‍රමයකින් විපස්සනා, අනුපස්සනා භාවනාවක් සිදු නොවන අතර කෙළෙස් ප‍්‍රහාණය කිරීමක් සිදු වන්නේ ද නැත. සමථ භාවනාවකින් කෙළෙස් තාවකාලිකව යටපත් වන අතර විපස්සනා, අනුපස්සනා භාවනාවකින් කෙළෙස් සහමුළින්ම උදුරා දමා, නික්ලේශී සිතක් හා මනසක් ඇති කර ගත හැකි වෙයි. වෙනත් කිසිම ආගමක දර්ශනයක හෝ විද්‍යාවක හෝ පෙන්වා දී නැති නමුත් බුද්ධ ධර්මයෙහිම පමණක්ම පෙන්වා වදාළ ආසවක්ඛ්‍යය ඥාණය ලබා ගැනීමෙන් මිනිසෙකු ලෙසින් උපත ලැබූ කෙනෙකුටම පමණක් ප‍්‍රඥා විමුක්තියට ද පත්විය හැකිය. ආසවඛ්‍යා ඥාණය උපකාර වන්නේ, මෙතෙක් සංසාර රිය ගමනට (ආහාර) ඉන්ධන සැපයූ දිට්ඨාසව, කාමාසව, භවාසව හා අවිද්‍යාසව යන ආසව, අනුසය කෙළෙස් කොටස් සහමුළින්ම ප‍්‍රහාණය කරදමා, සිත හා මනස යන දෙකම පිරිසිදු තත්ත්වයට පත්කර ගන්නටය. ආසවක්ඛ්‍යය කිරීමේ, ආසව සහමුළින්ම ගළවා, කපා දැමීමේ ඥාණ ශක්තිය ලබා ගත් තැනැත්තාට තම සිත තුළින් අභ්‍යන්තර වශයෙන් උපත ලබන සියලුම කෙළෙස්ද, ආගන්තුක වශයෙන් චිත්තසංථාතානයට බාහිර වශයෙන් ඇතුළු වන්නට එන සියලු කෙළෙස් ද සහමුළින්ම කපාහැර, චිත්තසංථානය හා මනස යන දෙතැන ම එකවර පිරිසිදු කරගත හැකි වෙයි. රාගක්ඛ්‍යය කළ හැකි වෙයි. ද්වේෂක්ඛ්‍යය කළ හැකි වෙයි. මෝහක්ඛ්‍යය කළ හැකි වෙයි. කම්මක්ඛ්‍යය කළ හැකි වෙයි. ඒ අනුව ආසවක්ඛ්‍යය කළ හැකි වෙයි. අනුසයක්ඛ්‍යය කළ හැකි වෙයි. මේ සුවිශේෂි බුද්ධ ඥාණය සම්පූර්ණ කර ගන්නට උපකාර වන්නේ, පටිච්චසමුප්පාද ධර්මාවබෝධය මිස ධ්‍යානයන් ලැබීම නොවේ. හය වසරක් ම නොවිඳිනා දහදුක් විඳ එදා සම්මතයෙන් විමුක්තිය ලෙස සැළකු ධ්‍යානයන් අටමත් ලබාගත් සිද්ධාර්ථ බෝසත්තුමා තමන් ලබාගත් මේ ධ්‍යානයන්ගෙන් කිසි සේත් ම සෑහීමකට පත් නොවීය.තමන් සෙවූ ප‍්‍රඥා විමුක්තිය, නිවන මේ ධ්‍යානයන්ගෙන් ලබා ගත නොහැකි බව පසක් කොට දැක පස්වග තවුසන් ද අත්හැර ගයා බෝධීන් වහන්සේ අසළදී අවබෝධ කරගත්තේ, පටිච්චසමුප්පාද ධර්මයයි. ලැබූ පටිච්ච සමුප්පාද ධර්මාවබෝධය නිසාම පුබ්බේනිවාසානුස්සති ඥාණයද උපදවා පහදා ගත්හ. ඒ අනුව ආසව, අනුසය කපාහැර දමා සංයෝජන ප‍්‍රහාණය කර දමා ප‍්‍රඥා විමුක්තියට ම පත්වූහ. බුද්ධත්වයට ම පත්වූහ.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.