නාමරූප විග්‍රහය

සෑම පුද්ගලයෙකු තුළම ඔහු විසින්ම සාදාගත් නාමරූප ලෝකයක් ක‍්‍රියාත්මකව පවතී. මේ තමන්ම සාදාගත් නාමරූප ලෝකය තමන්ට කැමති සේ, ප‍්‍රිය මනාප සේ පවත්වා ගැනීමට හැමවිටම උත්සාහ දරයි. ධර්ම විග‍්‍රහයට අනුව රූප යනු සතර මහා භූතයන් ගෙන් සැදුම්ලත් දෙයකි. ”චතුන්නංච මහා භූතානං – උපාදාය රූපං” ලෙස රූප කොටස ”රූප නිර්වචනය” කර ඇත. ආපෝ, තේජෝ, වායෝ, පඨවි යනු රූප කොටසයි. එසේම නාම කොටස නිර්වචනය වන්නේ ”වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර” යන පද වලිනි.

නාම යනු යම් කෙනෙකුගේ සිතක් තුළම ඇතිවන දැනීමකි. සංඥාවක් හා හැඳිනීමකි. යම්කිසි රූපයක් මුල් නොවී සිතක සංඥාවක් උත්පාදනය නොවේ. එනම් මේ නාම රූප යන කොටස් දෙක වෙන් වෙන් වශයෙන් උපාදානය කරගත හැකි දේ නොවේ. රූපයකින් තොර නාමයක් හෝ නාමයකින් තොර රූපයක් ද නොපවතී. හොඳින් තේරුම් ගතයුතු දැනගත යුතු දෙය වන්නේ මේ ”නාම” කොටසට ”සංඛාර හෝ විඤ්ඤාණ” යන පංචස්කන්ධ අංගයන් දෙකම අයත් නොවන බව හොඳින් වටහා ගත යුතු වේ. සංඛාර යනු නාමරූප කොටස් දෙකම ඇතුළත් වන යමක් (සංඛතයක්) උපාදානය කරගැනීමට කරනු ලබන ක‍්‍රියාකාරකමකි. විඤ්ඤාණය යනු සංඛාරයක් කිරීමෙන් සිතින් ම උපද්දවා ගන්නා සමුදය (සං+උදය) ශක්තිය වේ.

සිතෙහි මතුවන උපදින ක‍්‍රියාත්මක වන වේගයක්, ශක්තියක්, ගින්නක් ලෙස විඤ්ඤාණ ශක්තිය හැඳින්විය හැකියි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරන, කියන, හිතන සංඛාර වලින්ම පමණක් විඤ්ඤාණ ශක්තියක් සිතකම උත්පාදනය වේ. මේ වෙනස තේරුම් ගත් කෙනෙකුට පමණක් විඤ්ඤාණ ශක්තිය ප‍්‍රහාණය කර සිත පිරිසිදු කිරීමෙන් තමන්ගේම සිතින් උපාදානය කරගන්නා නාම – රූප දෙකම උපාදානය කර ගැනීමෙන්ද තොරව නමුත් නාමරූප භාවිතයට ගැනීමෙන් හා පරිහරණය කිරීමෙන් පමණක්ම තෘප්තිමත් වීමටත් තම හිතම පුරුදු පුහුණු කරගත හැකි වේ. නිවන් අවබෝධ කරගත් අරහතුන්වහන්සේටත් නාම රූප ඇත. නාම රූප පරිහරණය කරයි. පිරිණිවන් පාන තුරාවටම නාම රූප සිතෙහි මතු වේ. නමුත් ඒ එකම නාම රූපයක් හෝ මම, මගේ, මගේ ආත්මය යනුවෙන් අල්ලා, බදාගෙන උපදානය කර නොගනී. අරහතුන්වහන්සේ තමන්ගේම චිත්තසංථානයේ තමන්ම සකස් කර තිබූ අතීත නාම රූප ලෝකය තමන්ගේ සිතින්ම එතෙක් කල් උපාදානය කර සිටි සිතේම පවත්වාගෙන ආ නාම රූප ලෝකයම ”අනිච්චයි – දුක්ඛයි – අනත්ථයි” යනුවෙන් යථා පරිදි, එහි අනිච්ච ස්වභාවය අවබෝධ කොට යනුවෙන්, ඒ සියල්ලම සිතින් ප‍්‍රහාණය කර, අත්හැර නිදහස් වූ උත්තමයෙකි. සෑම පෘථග්ජන පුද්ගලයා සත්ත්වයාම උරා බී රස බලන්නේ මේ නාම රූප ලෝකයම වේ.

විඤ්ඤාණ ශක්තිය දිගින් දිගටම උපද්දවා සංසාර ගමන ක‍්‍රියාත්මකව පවත්වාගෙන යෑමට නම් මේ නාම රූප ලෝකය උරාබී, රහ බැලීමේ ක‍්‍රියාව දිගටම ක‍්‍රියාත්මක කර විඤ්ඤාණයට ආහාර සපයා ගත යුතුයි. අරහතුන්වහන්සේ තමන් ලබාගත් යථාවබෝධයෙන්ම නාම – රූප ලෝකය උරාබී, රහ බැලීම විඤ්ඤාණ ආහාර එකතු කිරීම සහමුළින්ම අත්හැර දමා ඇත. ඒ නිසාම ”අරහත්” යන විශේෂණ නාම පදයෙන් උන්වහන්සේ හඳුන්වනු ලබයි. ඒ නිසා සියලුම පෘථග්ජන ලෝකයා ලෝක සත්ත්වයින් තමන්ම හදාගත් උපාදානය කරගත් නාම රූප ලෝකය ඇස, කන ආදී ආයතන හයෙන්ම උරාබී, රහ බලා, විඤ්ඤාණ ආහාර උපයා, සපයා ගනී. ජීවත්වීම යනු මේ ක‍්‍රියාවලියයි.

සෑම පුද්ගලයෙකුම, සත්ත්වයකුම, ප‍්‍රාණියෙකුම පෞද්ගලිකවම ඔවුන් සාදාගත් පවත්වගෙන යන ඔවුනටම ආවේණික වූ නාම රූප ලෝකයක් ඇත. තම තමන්ටම මිස වෙනත් කිසිවෙකුට මේ තමන්ගේ නාම රූප ලෝකය දැක ගත නොහැකි වේ. මේ ආකාරයට තමන් හදාගත් තමන්ම පවත්වාගෙන යන මේ නාම රූප ලෝකය ලුජ්ජති, පලුජ්ජති එනම් නිරතුරුවම කැඩෙන, බිඳෙන, පළුදුවන ලෝකයකි. එය තමන්ට කැමති ආකාරයට ප‍්‍රිය මනාප ආකාරයට දිගටම පවත්වාගෙන යෑමටත් නොහැකියි. නාම රූප ලෝකය ප‍්‍රිය ආකාරයට මනාප ආකාරයට තමන්ට කැමති ආකාරයට පවත්වාගෙන යෑමට සෑම පෘථග්ජන ප‍්‍රද්ගලයාම සැපයක්, සුවයක් ලෙස තීරණය කරයි. එසේ සැප, සුව යනුවෙන් තීරණය කරන ලද තමන්ම සාදාගත් නාම රූප ලෝකයම වෙනස්වීම, විපරිණාමයට පත්වීම, විනාශවීම දුකක් ලෙසද දකී. එසේ නම් පෘථග්ජන ලෝකයාගේ වැරදි දෘෂ්ඨිය නිසාම තමන්ම සාදාගත් දේ ලෙස දුක සැප දෙකමත්, ප‍්‍රිය අප‍්‍රිය යන ගති දෙකමත් හැඳින්විය හැකියි.

”සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ” යන ධර්මාවබෝධය යථාභූත ඥාණය ලබාගත් පුද්ගලයා නාම රූප ලෝකයම උපාදානය කරගැනීමෙන් ද වළකී. ”සබ්බූපදි පටිනිස්සග්ගෝ” යන තත්ත්වයටම පත් වේ.

සෑම පෘථග්ජන පුද්ගලයෙකුම ජීවත් වෙනවාය යනු යම් කිසි සැපයක්, සුවයක් අපේක්ෂාවෙන්ම නාම රූප ලෝකයක් සාදා ඒ නාම රූප ලෝකයම උපාදානය කරගැනීමයි. තමන්ම සාදාගත් තමන්ගේම නාම රූප ලෝකය ”නිච්ච සේ, සුඛ සේ, අත්ථ සේ” දිගටම පවත්වා ගැනීම හැම පෘථග්ජන පුද්ගලයෙකුගේම සත්ත්්්වයෙකුගේම ඒකායන උත්සාහයයි. යමකු සියලු ආකාර වූ දුක් විඳින්නෙත් දුක් උරුම කරගන්නෙත් තමන්ම සාදාගත් නාම රූප ලෝකය තමන්ට ගැළපෙන සේ, මනාප සේ, දිගටම පවත්වා ගැනීමට කරන, කියන, හිතන ක‍්‍රියාකාරකම් නිසාත් එවන් බලාපොරොත්තු ”නිච්ච” ආකාරයෙන්ම ඉටු නොවන නිසාමත්ය.

මේ තමන්ම සාදාගත් තමන්ම පවත්වා ගැනීමට උත්හාස ගන්නා නාම රූප ලෝකය ‘‘අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි, මේක මායා ලෝකයක්, මේ නාම රූප ලෝකය විපරිණාමයට පත්වීම, විනාශවීම සිදුවන්නෙත්, මේ වෙනස්වීම් දකින්නේත්, තමන්ගේම සිතින්මයි’’ යනුවෙන් යම් දවසක යම් අවස්ථාවකදී මේ පුද්ගලයාටම අවබෝධ වුව හොත් එවිට තමන්ගේම සිතින් උපාදානය කර තමන්ම පවත්වාගෙන යෑමට උත්සාහ කළ ”නිච්ච සුඛ අත්ථ” සේ තමන්ම තීරණය කර සිටි නාම රූප ලෝකයම ”අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි” යන යථාවබෝධය සත්‍යාවබෝධය යම් අවස්ථාවකදී ලබාගත් යථා පරිදි චතුරාර්ය සත්‍යයන්ම අවබෝධ කරගත් අරිය තත්ත්වයට පත් වූ පුද්ගලයෙකු බවට පත් වේ. එසේ නම් යම් කෙනෙක් තමන්ම සාදාගත් තමන්ගේම නාම රූප ලෝකය තුළින් යම් කිසි නිච්ච බවක්, සුඛ බවක් හෝ යම් අත්ථ බවක් අපේක්‍ෂා කරයි නම් බලාපොරොත්තු වේ නම් දුක උපදින තැනද එතනම බව වටහා ගතයුතු වේ. අඥාණ බව යනු දුප්පඤ්ඤස්ස බව යනු මේ තමන්ම සාදාගත් නාම රූප ලෝකයෙහි ”අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව” යථා පරිදි දැන ගැනීමට දැක ගැනීමට තරම් සිත පිරිසිදු නොමැති වීමයි.

පරමාර්ථ ලෝකයේ දුක හෝ සැප ලෙස වෙනසක් දැකිය හැකි නොවේ. එසේ වෙනසක් දැකගැනීමට හැකි වෙන්නේ සම්මත නාම රූප ලෝකයේදීම පමණිි. එසේ නම් මේ නාම රූප ලෝකයම තම සිතින්ම සාදාගත් මනඃකල්පිත ලෝකයක් මිස සත්‍ය වශයෙන්ම පවතින්නක්ද නොවේ.

සියලු ආකාර වූ කෙළෙස් උත්පාදනය වන්නේ තමන්ගේම ආධ්‍යාත්මික වූ මනඃකල්පිත නාම රූප ලෝකය තුළමයි. කෙළෙස් පරිහරණය කරමින් කෙළෙස් භාවිතා කරමින් පව්කම් කරනවාය අකුසල් කරනවාය යනුවෙන් සම්මතයෙන් ප‍්‍රකාශ කරනු ලබන්නේ රාග ගතියෙන්, ද්වේෂ ගතියෙන් හා මෝහ ගතියෙන් නාම රූප ලෝකයක් උපාදානය කර ගැනීමයි.

පෘථග්ජන ලෝකයා සැපයි, හොඳයි, ප‍්‍රියයි, මනාපයි ලෙස යමක් පිළිබඳව නිගමනය කරන්නේ තමන්ගේම ඉන්ද්‍රියයන් හයම පිනවන යම් ක‍්‍රියාවකටයි. ඉන්ද්‍රියයන් පිනවීමට නම් කෙළෙස් පරිහරණය කළ යුතුම වේ. තම ඉන්ද්‍රියයන් පිනවීම සඳහා කෙළෙස් පරිහරණය කිරීමට වීම නිසා තම චිත්තසංථානයම කිළිටි වේ. මනසත් මුවහ වී මනසීකරණ ශක්තියත් දුර්වල වේ. තමන්ගේම සිතෙහි මතු වන නාම රූප පරම්පරාව තමන්ගේම මනසින් වෙන් කර තෝරා බේරා, දැන හඳුනාගෙන චිත්තසංථානය කිළිටි වන නාම රූප බැහැර කිරීමත් චිත්තසංථානය පිරිසිදු කිරීමට උපකාර වන නාම රූප භාවිතා කිරීමත් පුරුදු වීම සති භාවනාවක් පුරුදු කර ගැනීම වේ. මෙසේ යහපත් හා අයහපත් යන කොටස් දෙකකට වෙන් නොකර සිතට වහල් වී සිතට අරමුණු වන සෑම ප‍්‍රිය දේම භාවිතා කිරීමෙන් ඉන්ද්‍රියයන් පිනවීමට ක‍්‍රියා කිරීම පෘථග්ජන පුරුද්දයි. සතියෙහි පිහිටා කටයුතු නොකිරීමයි.

උපාදානීය ධර්මයෝ යනු එක දෙයකි. උපාදානය කර ගැනීම යනු වෙනත් දෙයකි. රූපය උපාදානීය ධර්මයකි. රූපය කෙරේ ඇති චන්දරාගය ආශාව, තණ්හාව නිසාම රූපය උපාදානය කර ගැනීමත් සිදු වෙයි. රූපය නමැති උපාදානීය ධර්මයක් නොමැති විටක වේදනාවක් තණ්හාවක් හෝ උපාදානයක් ද සිදු වීමට නොහැකිය. රූපය කෙරෙහි චන්දරාගයක් නැති විටක දී ද රූප උපාදානයක් සිදු නොවේ.

යම් කෙනෙකුට තමන්ගේම චිත්තසංථානය තුළම උපදින බිහිවන රූප පරම්පරාව,

01. අනිච්ච වශයෙන් – අනිච්චතෝ
02. දුක්ඛ වශයෙන් –     දුක්ඛතෝ
03. රෝගතෝ – රෝග වශයෙන්
04. ගණ්ඩතෝ – ගඩු වශයෙන්
05. සල්ලතෝ – ඇනෙන උල් වශයෙන්
06. අඝතෝ, ආබාධතෝ – පලිබෝධ වශයෙන්, ආබාධ වශයෙන්
07. පරතෝ, පලෝකථෝ – අනුන් වැනසීම් වශයෙන්
08. සුඤ්ඤතෝ – කිසිම හරයක් නැති සුන්‍ය දේ වශයෙන්
09. අනත්ථ තෝ – තමන්ම අනාථ අසරණ තත්ත්වයට පත් කරවන දේ වශයෙන්

දැක ගත හැකි නම් ඒ පුද්ගලයා රූපයන් උපාදානය කර නොගනී. රූප කෙරේ තණ්හාවක් චන්දරාගයක් ඇති කර ගන්නේ ද නොවේ. රූපය උපාදානය කර ගැනීමට කරන ”සංඛාර” සිත් පැවැත්වීම ද නවතා දමයි. ඒ අනුවම නාම රූප කොටස් දෙකම උපාදානය කර ගැනීමෙන්ද වැළකී පංචස්කන්ධයමත් උපාදානය කරගැනීමෙන් ද වැළකෙයි.

නාම රූප ලෝකය හා පංචස්කන්ධ ලෝකය අතර ඇති වෙනස්කම්ද යථා පරිදිම තේරුම් ගත යුතුය. නාම රූප ලෝකය ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන උපාදාය රූපයන්ගෙන් හා වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර යන නාම කොටස් වලින්ද සමන්විත වේ. පංචස්කන්ධ ලෝකය රූප, වේදනා සංඥා, සංඛාර හා විඤ්ඤාණ යන උපාදාය කොටස් පහකි.

නාම රූප ලෝකයක් නිසාම පංචස්කන්ධ ලෝකයක ද සිතින් ම සාදා සකස් කර ගනී. නාම රූප ලෝකය උපාදානය කර ගැනීමට හැකි ආකාරයකින් සකස් කරගන්නේ ”සංඛාර හා විඤ්ඤාණ” යන ක‍්‍රියාකාරකම් නිසාය. නාමරූප ලෝකය කෙරෙහි යම් චන්දරාගයක් ප‍්‍රිය මධුර බවක් පවතීද ඒ අනුව ”සංඛාර” සිත් පවත්වා විඤ්ඤාණ ශක්තියද උපද්දවා පංචස්කන්ධ ලෝකයම අල්ලා බදා ගැනීමෙන් උපාදානය කර ගැනීම සිදු වෙයි.

පෙර දැක් වූ පරිදි නව ආකාර වශයෙන් රූප කෙරෙහි එහි යථා තත්ත්වය කෙරෙහි මෙනෙහි කිරීමට විමර්ශණය කිරීමට විපස්සනා කිරීමට පුරුදු වූ හැකි වූ පුද්ගලයාට රූප උපාදානයෙහි ආදීනව, ආනිසංස යථා පරිදි දැකගැනීමටත් ලැබෙයි. ඒ අනුව ”රූපං අනිච්චා, රූපං දුක්ඛා, රූපං අනත්ථා” යන සත්‍යය පසක් කොට දැකගත් විට ඒවා උපාදානය කර ගැනීමෙන් ද වැළකෙයි. මේ අනුව නාම රූප හෝ පංචස්කන්ධයන් හෝ සිතක් කිළිටි කරන මනස මුවහ කරන දේ නොවේ. පංචස්කන්ධය උපාදානය කරගැනීමම සිත කිළිටි කරන මනස මෝහයෙන් මුවහ කරන මූලිකම හේතුවයි.

පංචස්කන්ධයම උපාදානය කර මම, මගේ යනුවෙන් වෙන් කර තමන්ම අල්ලා බදාගත් සියලු දේ වෙනස් වී, වැනසී, විනාශ වී, විපරිණාමයට පත් වීමෙන් දුක් උපදවන හේතුව බවටද පත් වේ. තමන් අල්ලා උපාදානය කර නොගත් යමක් වැනසී විනාශ වී යාම නිසා තමන්ට කිසිම දුකක් ඇති නොවේ. තමන් අල්ලා, උපාදානය කරගත් හා උපාදානය කර නොගත් යන සියලු දේම වැනසී, විනාශ වන නියත ධර්මතාවයට යටත් වන බව යථා පරිදි දැනගත් තේරුම් ගත් පුද්ගලයා ”පංචස්කන්ධය” උපාදානය කර ගැනීමේ ක‍්‍රියාවලියම දුකට හේතුවන වන බවත් යථා පරිදිම තේරුම් ගනී. ”සංඛිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා” යනුවෙන් ප‍්‍රකාශ කළේ මේ අර්ථයෙනි.

මේ අනුව,

01. සතර මහා භූතයෝ (ආපෝ, තේජෝ, වායෝ, පඨවි) හේතුකොට, ප‍්‍රත්‍යය කොට, නිධාන කොට රූපස්කන්ධයමත් සිතකම බිහි වේ.
02. වේදනා ස්කන්ධයම ස්පර්ශය හේතුව කොට, ප‍්‍රත්‍යය කොට, නිධානය කොට, සිතකම මතු වේ.
03. සංඥා ස්කන්ධයමත් ස්පර්ශය (පස්ස) හේතුව කොට, ප‍්‍රත්‍යය කොට, නිධාන කොට සිතකම මතු වේ.
04. සංඛාර ස්කන්ධයමත් ස්පර්ශය හේතුකොට, ස්පර්ශය ප‍්‍රත්‍යය කොට, ස්පර්ශයම නිධාන කොට, සිතකම ඇති වේ. බිහි වේ.
05. විඤ්ඤාණ ස්කන්ධයම නාම රූප හේතුව කොට, නාම රූප ප‍්‍රත්‍යය කොට, නාම රූප නිධානය කොට සිතකම ඇති වේ. බිහි වේ.

සක්කාය දිටිඨිය නමැති ”වැරදි දැක්මක්” පෘථග්ජන පුද්ගලයෙකු තුළ ඇති වන්නේ ම මේ සතර මහාභූත උපාදානය කර ගැනීමෙන්ම විඤ්ඤාණය සාදා සකස් කරගත් කූඩුව, ශරීර රූපය ”රූපය මමයි, මගේ රූපයයි, රූපය මගේ ආත්මයයි, මම රූපය තුළ ඇත, රූපයෙන් තොර මමෙක් නැත.” යන හැඟීම අදහස සිතේ ඇති කරගත් නිසයි. මේ ආකාරයෙන්ම වේදනාව, සංඥාව, සංඛාර හා විඤ්ඤාණ යන පංචස්කන්ධයම පිළිබඳව දකින්නා වූ වැරදි දෘෂ්ඨිය, සක්කාය දෘෂ්ඨියයි. පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය තමා තුළින්ම තමන්ගේම මනසින්ම වෙන් කොට තෝරා බේරා දැක ගැනීමට හැකි නම් එය සක්කාය දිට්ඨියෙන්ද මිදී චතුරාර්ය සත්‍යයන්ම අවබෝධ කර ගැනීමට ද බලවත්ම උපකාරයක් ද වන්නේය. පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය යන දෙක අතර වෙනස යථා පරිදි තේරුම් නොගත් සියලුම මිනිස්සු පෘතග්ජන ලෝකයටම අයත් වෙති. උපාදානය කරගත් සියල්ලම පංචස්කන්ධයම (සබ්බූපදි) පටිලෙහා, ගැටලෙහා, අත්හැර දමා නිදහස් වීම (පටිනිස්සග්ගෝ) කරගත හැකි වන්නේ ද උපාදානය පිළිබඳව යථාවබෝධය ලැබූ පමණටමය. සත්තබොජ්ජංග සම්පූර්ණ වීම යනු මෙතෙක් සිතින්ම උපාදානය කර සිටි ”සබ්බූපදි පටිනිස්සග්ග” කිරීමයි. සතර සතිපට්ඨානය වැඞීම සත්ත සම්බොජ්ජංග සම්පූර්ණ කරගැනීමේ ප‍්‍රායෝගික ක‍්‍රියා පටිපාටිය වේ.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.