නිවන් දැකීම යනු කුමක්ද?

නිවන් අවබෝධ කරගැනීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිළි ලෙසම,
සරළ ලෙසම විග‍්‍රහ කර ඇති බුද්ධ දේශණාව වන්නේ,

“රාගක්ඛයෝ නිබ්බානං , ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං”

යන බුද්ධ දේශණාවයි.

යම්  කෙනෙකු  රාගය,  ද්වේෂය,  මෝහය  යන  ලාමක  ගති  ලක්ෂණයන්  තම චිත්තසංථානයෙන් පුර්ණ වශයෙන්ම ඛය කර දමන්නට, අතහැර දමන්නට, සදහටම එවැනි ගති ලක්ෂණ වලින් මිදී නිදහස් වන්නට හැකියාව ලැබුණොත්, ඒ උත්තමයා නිවන් අවබෝධ කර ගනී.

රාගය, චන්දරාගය යනුවෙන් විග‍්‍රහ කරන ලද මේ පළමුවන ගති ලක්ක්‍ෂණය පුද්ගලයකුගේ,  සත්ත්වයෙකුගේ  චින්තසංථානයේ  පහළවන  ගතියකි.  ප‍්‍රියයි,  මධුරයි, මිහිරියි, සුවයි, සැපයි යනුවෙන් යමක් කෙරෙහි ගන්නා වූ දෘෂ්ඨිය අනුවම, ඒ නිසාම යමකට බැඳීමක්, එකතු වීමක්, ඇලීමක් ඇතිකර ගැනීම මේ ගති ලක්‍ෂණයයි. රාග යනු මත්වීමෙන්, මත් වූ සිතෙන් යමකට එකතු වීමේ, ගෑවී සිටීමේ, සම්බන්ධ වීමේ කැමැත්තයි. තණ්හාව, ලෝභකම, ආශාව, උපාදානය ආදී විවිධ නම් වලින්ද ප‍්‍රකාශ කරන්නේ, මේ රාග ගති ලක්ෂණයම තවදුරටත් මෝරා වැඩි දියුණු වූ අවස්ථාවන්මයි. පටිච්ච වීම සිදුවන්නේ මේ අවස්ථාවේදීය.

රාග නැමැති ගති ලක්ෂණය සෑම පෘථග්ජන සිතකම මොහොතින් මොහොත පහළ වෙන, මතුවන, මොහොතින් මොහොත ගෙවී විනාශ වී යන, නැවත නැවතත් මතුවන විනාශවන ගතියකි. පෘථග්ජන කෙනෙකුගේ සිතක් නිතරම, ස්වභාවයෙන්ම කිළිිටි වූ, කහට ගැන්වුණ, කෙළෙස් සහිත තත්ත්වයෙන්ම පවතින නිසා මෙවන් රාග සහගත සිතුවිලි නිරන්තරවම මතුවීම ස්වාභාවිකයි. ”තණ්හාව” නැත්නම් ”තෘෂ්ණාව” යන සංස්කෘත වචනයෙන් විග‍්‍රහ කර පෙන් වූ මෙම ගති ලක්ෂණය, රාගය නිසාම හටගත්, රාගයෙහිම මෝරා වැඩි දියුණු වූ අවස්ථාවකි. රාගයෙන්  සිත  මත්වීම  නිසා  ප‍්‍රිය  මනාප  වූ  දෙයට  ගෑවීමේ,  එය  සමඟ  එකතුවීමේ සම්බන්ධවීමේ අවශ්‍යතාවය, කැමැත්ත නිසාම සිත තැනක හා වේ. යම් තැනකට, යම් දෙයකට, යම් කෙනෙකුට, යම් අවස්ථාවකට හා වීම, තණ්හාව යනුවෙන් විග‍්‍රහ වේ. යමක් කෙරෙහි ප‍්‍රිය බවක්, මනාප බවක් ඇතිවීම නිසා සිත රාගයෙන් මත්වීමේ නියත ප‍්‍රතිඵලය එතනට එකතුවීම, එය ”තණ්හා” වීමයි.

සාමාන්‍ය පුද්ගලයකුගේ සිතක මෙවැනි රාගයක්, තණ්හාවක් ඇතිවීමට මුල්වන මූලිකම හේතුවක් ඇත. මෝහය, මුලාව, අවිද්‍යාව, නොදන්නාකම ආදී විවිධ වචන 23කින්ම විභංගප‍්‍රකරණයේ විස්තර කළේ් මෙයයි. සත්‍යය නොදැනීම, සත්‍යය නොදැකීම, මේ හේතුවයි. කුමක්ද මේ මෝහය නැත්නම් නොදන්නා කම? යමක යථාස්වභාවය, ඇත්ත ස්වභාවය, ඇතිවීම නැතිවීම හා විපරිණාමය නැමැති හේතුඵල ක‍්‍රියාකාරීත්වය පිළිබඳ  සත්‍යය  තත්ත්වය  නොපෙනීම  මෝහයයි.  එහෙම  නැතිනම්  ”අනිච්ච,  දුක්ඛ, අනත්ථ” යන ත‍්‍රිලක්ඛණය නොදැනීම මෝහයයි. ද්වේෂය යන නමින් හැඳින් වූ දෙවැනි ගති ලක්‍ෂණය රාගය, තණ්හාව, ලෝභකම ආශ‍්‍රයෙන්ම සිතක බිහිවන ගති ලක්ෂණයකි. කැමැත්තෙන්ම, ආශාවෙන්ම සිත මත් වී යමකට එකතු වීමේ, සම්බන්ධ වීමේ අවශ්‍යතාවය චන්දරාගයයි. මේ ආශා කළ දේ, කැමතිවූ දේ, කැමති වූ පරිදිම, රිසිසේම, තම මනාපය පරිදිම නොලැබෙයි නම් එතැන ගැටීමක් ඇතිවේ. අර මුලින් බිහිවූ රාග ගති ලක්ෂණයම දැන්  දෙවනි වේශය, ද්වේෂය ලෙසින් හැඳින්වේ. රාගයක්, තණ්හාවක්, කැමැත්තක් සිතක මුලින්ම පහළ නොවේ නම්, ද්වේෂයක් ඇතිවීමට කිසිම හැකියාවක් නැහැ. තරහ, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, පටිඝ, ව්‍යාපාද වැනි විවිධ නම් වලින් විග‍්‍රහ කරන ද්වේෂය, රාගයේ, තණ්හාවේම දෙවැනි වේෂයක්ම පමණි.

රාගය,  තණ්හාව  මෙන්ම  ද්වේෂයද  සිතක  එක  දිගටම  පවතින  ස්ථිර  ගති ලක්ෂණයන්  නොවේ.  චිත්තක්‍ෂණයක්,  චිත්තක්‍ෂණයක්  පාසාම  බිහිවෙන,  නැතිවෙන, වෙනස්වන ගති ලක්‍ෂණයන්ය. රාගය සිතක බිහිවීමට හේතුව වූ නොදන්නාකම, අවිද්‍යාව, සත්‍ය නොවැටහීමම සිතක ද්වේෂය ඇතිවීමටත් එකම හේතුවයි. රාගය හා මෝහය එකතු වී ක‍්‍රියාත්මක වේ. ද්වේෂය හා මෝහය එකතු වී ක‍්‍රියාත්මක වේ.

මෝහය යනු සත්‍ය නොදන්නා කමයි. මෝහය යනු මුවහ කර තැබීම, වසා තැබීම යන තේරුමයි. මෙසේ මුවහකර වසා ඇත්තේ කුමක්ද? තමාගේම මනසයි. හේතුඵල ක‍්‍රියාත්මක වන ධර්මතාවයේ යථා ස්වභාවය, සත්‍ය ස්වභාවය මනසට දැකගන්නට නොහැකි ලෙස මුවා කර වසා ඇති බවයි. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයකුගේ සිතට මේ හේතුඵල ක‍්‍රියාකාරිත්වයේ ධර්මතාවය යථාපරිදි නොපෙනෙයි. ඒ නොපෙනෙන්නේ රාග, ද්වේෂ වැනි කිළිටි අඳුරු ගති වලින්, ප‍්‍රිය මනාප මධුර දේ වලින් මත් වී පැවැත්මේ සත්‍ය වැසී ඇති හෙයිනි.

ඒ නිසාම ”මෝහය” යන වචනය තනි වචනයක් ලෙසින් භාවිතා කිරීමෙහිද කිසිම තේරුමක් නැත. නිතරම යම් දෙයක් සම්බන්ධව කරන ප‍්‍රකාශයකදීම පමණක් භාවිතා කළ හැකි වචනයකි. මේ ආකාරයෙන්ම ”සත්‍යය” යන වචනයද අර්ථයක් ඇති තේරුමක් ඇති ප‍්‍රකාශයක් සේ භාවිතා කළ හැක්කේ, යමක් සම්බන්ධ කර කරණු ලබන ප‍්‍රකාශයකදීම පමණි.

සියලූ ලෝක සත්ත්වයා දිගින් දිගටම යළි යළිත්් උපතක් ලැබීමට, ජීවත්වීමට, දුක් විඳීමට, මරණයට පත් වීමට එකම හේතුව යමක යථා ස්වභාවය, සත්‍යය නොදන්නා කමයි. එය මෝහයයි. මෝහය නිසාම රාගයෙන්, තණ්හාවෙන්, චන්දරාගයෙන් මත්වී යමකට එකතුවෙයි, සම්බන්ධවෙයි. මෝහය නිසා, නොදන්නාකම නිසා තැනකට හාවී හේතු උත්පාදනය කරයි. ඵල විපාක උරුම කරගනී.

මුළු  බුද්ධ  ධර්මයේම  විග‍්‍රහ  කර,  විවරණය  කර  පෙන්වා  දෙන්නට  උත්සාහ කරන්නේ, මේ පැවැත්ම ලෙසින් ගෙනහැර දැක් වූ හේතුඵල පරම්පරාවන් උපත ලබන ආකාරය පිළිබඳව සත්‍යය ධර්මතාවය පෙන්වීමයි. රාගයෙන්, තණ්හාවෙන් මිදී මෝහයෙන් වෙන්විය හැක්කේ, හේතුඵල ක‍්‍රියාත්මක වීමේ සත්‍ය ධර්මතාවය මනා ලෙස වටහා ගැනීමෙන් ම පමණි. බුද්ධ ධර්මය යනු භව උදුරා දැමීමයි. බුද්ධ යනු මේ හේතුඵල ධර්මතාවය ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පුර්ණ සත්‍යය විද්‍යාත්මක ලෙසින් ගෙනහැර දැක්වූ භව උදුරා දැමූ උත්තමයායි. චතුරාර්ය සත්‍යය සොයා දැන විග‍්‍රහකර ඉදිරිපත් කිරීම බුදුපියාණන්වහන්සේ කළ වැදගත්ම හේතුඵල විග‍්‍රහයයි. එය පටිච්ච සමුප්පාද ධර්මයයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.