පටිච්ච සමුප්පාද ධර්මය හා චතුඅරිය සත්‍යය

දස දහසක් සක්වල බිහිවන, උපදින, ඇතිවන, නැතිවන, සියලු ආකාරවූ ශක්තීන් ගොනුකර විග‍්‍රහ කර පෙන්වීමට බුදුපියාණන්වහන්සේ ඉදිරිපත් කළ ධර්මය පටිච්ච සමුප්පාද ධර්මයයි. හේතුඵල ධර්මයයි. හැම මිනිසෙකුටම, හැම පුද්ගලයෙකුටම මේ උතුම් ධර්මය එකසේ තේරුම් ගත නොහැකි වූවත් යම් හේතුවක් නිසා යම් ඵලයක් ලැබෙන බව මිනිසෙකුටම තරමක් දුරට හෝ තේරුම් ගත හැකිය. හේතුඵල දහමට අනුකූලවම ධර්ම නියාමයන්ට අනුරූපවම හේතුඵල ක‍්‍රියාත්මක වීමේ විද්‍යාත්මක සත්‍ය ස්වරූපය පූර්ණ වශයෙන් දැක ගැනීමේ හැකියාවක් එකවරටම කාටවත් ලබාගත නොහැකිය. හේතුඵල ක‍්‍රියාත්මක වීමේ යථා ස්වරූපය යටපත් කොට විවිධ වූත්, විෂම වූත්, විකෘති වූත් ස්වරූපයක් මවා පෙන්වන මායා දර්ශන වලින් මෝහයෙන් මුසපත් වූ විඤ්ඤාණයේම ක‍්‍රියාත්මක වීමකි. ප‍්‍රිය බව, මධුර බව, සුව බව, සැප බව වැනි දැඩිව ගත් බලාපොරොත්තු විඤ්ඤාණය තුළ බිහිවනතාක් මේ මායා දර්ශන පසුපස මිනිසා හඹා යයි. එය තණ්හාව හා මෝහය ලෙසින් පෙන්වා දුන් ගති ලක්ෂණයයි. විඤ්ඤාණය ක‍්‍රියාත්මකව පවතින තුරුම මොහොතක් මොහොතක් පාසා එකතු කර ගන්නා ගති ලක්ෂණයි.

මෙවන් සැප සුව බවට, ප‍්‍රිය මධුර බවට මුලා වී ඒවාම වටිනවා යැයි නිගමනය කර ඒවා සොයමින්, ඒවා පසුපසම හඹායන ගති ලක්ෂණය පවතින තුරු හේතුඵල දහමේ විද්‍යාත්මක සත්‍යය ස්වරූපය පෘථග්ජන පුද්ගලයෙකුට දැකගත නොහැකිය. මේ රිය ගමනකි. මේ නොනවතින රිය ගමන, භ‍්‍රමණ ස්වරූපය, හැම පෘථග්ජන සත්ත්වයෙකුටම, පුද්ගලයෙකුටම පොදු එකකි. හැම කාලයටම පොදු ලක්ෂණයකි. හැම දෙයකම සත්‍යය ස්වරූපය වසංකර මෝහයට, මුලාවට පත්කර, විවිධ වූ, විෂම වූ දෘෂ්ඨි මවා පෙන්නුම් කිරීම මේ නොනවතින රිය ගමන යාමට එකම හේතුවයි. සංසාර ගමන යනු සාර බව සොයා හඹා යන රිය ගමනක් සේ හැඳින්වූයේද ඒ නිසාමය. නිරන්තරවම නොනවත්වාම සෑම කෙනෙකුම මේ රිය ගමනෙහි යෙදෙති. මෙය කාලයේ ගමන හා සමානය. කාලයේ ගමනද කාගේවත් උත්සාහයක් නිසා වන දෙයක් නොවේ. ඒ අයුරින්ම මේ පැවැත්ම ද, පැවැත්ම ලෙසින් දකින ගමනද බාහිර කාටවත්ම නැවැත්විය හැකි එකක් නොවේ.

මේ නොනවත්වාම කෙරෙන රිය ගමනට ශක්තිය දෙන්නේ ශක්ති ප‍්‍රභවය වන්නේ ඒ ඒ සත්ත්වයාම බිහිකොට එකතු කර ගන්නා චිත්ත ශක්තියමයි. චිත්ත ශක්තියෙන් උපදවා ගන්නා ගති ලක්ෂණමයි. වෙනත් ආකාරයකින් පැහැදිළි කළහොත් ඒ ඒ සත්ත්වයාම බිහිකර, එකතුකර ගන්නා, රාග, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ ගති ලක්ෂණයන්ම ඉන්ධන ලෙසින් මේ ගමන යාමට භාවිතා කරන බවයි. මේ ප‍්‍රකාශයෙහි සත්‍යය වටහා ගන්නට නම් හේතුඵල දහම ක‍්‍රියාත්මක වන ආකාරයම දැකබලා ගත යුතුය.

1. මේ අනුව අවිද්‍යා මූලයන් උපදින පටිච්චසමුප්පාද ධර්ම පරියාය යථා පරිදි තේරුම් ගැනීම.
2. අවිද්‍යා මූලයෙන් උපදින පටිච්චසමුප්පාද ධර්මය නිරෝධ කළයුතු බව යථාපරිදි තේරුම් ගෙන, නිරෝධ කිරීම.
3. කුසලමූල පටිච්චසමුප්පාද ධර්මය යථාපරිදි තේරුම් ගෙන, එය ප‍්‍රායෝගිකවම භාවිතාකර, කුණුමුල් සළාහැර, ශුද්ධ පවිත‍්‍ර වීමත් යන පියවර තුනම සම්පූර්ණ කර ගැනීම චතුරාර්ය සත්‍යයන් අවබෝධ වීමයි. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මය යථාපරිදි තේරුම් ගැනීම යනු දුකට හේතුවන, දුකට ප‍්‍රත්‍යය වන, දුකට නිදාන වන, දුක්ඛ සමුදය වන ”පටිඉච්ච වීම” තේරුම් ගැනීමයි. මෙය පළමුවන අරිය සත්‍යය යථාභූත ඥාණයෙන් සත්‍යාවබෝධ කර ගැනීමයි. දුක්ඛ අරිය සත්‍යාවබෝධයයි.

පටිඉච්ච වීම නිසා සං උත්පාදනය වන බව, සමුදය බිහිවන බව යථාභූත ඥාණයෙන් තේරුම් ගැනීම දෙවන අරිය සත්‍යාවබෝධයයි. පටිඉච්ච වීම යනු කැමැත්තට බැඳීමයි. කැමැත්තට බැඳීම යනු තැනක හා වීමයි. තණ්හාවයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන සියලු ආකාර වූ තණ්හා උපදින්නේ පටිඉච්ච වීම නිසයි. මේ සමුදය අරිය සත්‍යයයි.

පටිච්චසමුප්පාද නිරෝධ කළයුතු බවත්, නිරෝධ කළහැකි බවත්, එය තමාගේම සිත තුළදීම ආදී නව අවස්ථා වළදීම නිරෝධ කළහැකි බවත් යථාභූත ඥාණයෙන්ම තේරුම් ගැනීම තුන්වන අරිය සත්‍ය අවබෝධ කර ගැනීමයි. එය නිරෝධ අරිය සත්‍යයයි.

තමාගේ සිත තුළම චිත්තසංථානයේම මුල්බැස ගෙන පවතින රාග මූල, ද්වේෂ මූල, මෝහ මූල (ගති) මුලින් උදුරා දමා චිත්තසංථානය ශුද්ධ පවිත‍්‍රකර ගන්නට, කුණු සළාහැර, කුසලමූල පටිච්චසමුප්පාද ධර්මය භාවිතා කිරීම සතරවන අරිය සත්‍යයයි. නිරෝධ ගාමිණී ප‍්‍රතිපදාවයි.

මේ අනුව මොහොතින් මොහොතම තම සිත තුළම ක‍්‍රියාත්මක වන අවිද්‍යා මූලිික පටිච්චසමුප්පාද ක‍්‍රියාදාමය නිවැරදිව තමන්ම තේරුම් ගැනීම පළමුවන පියවරයි.

අවිද්‍යා ප‍්‍රත්‍යයෙන් සංඛාර උපදී. සංඛාර ප‍්‍රත්‍යයෙන් විඤ්ඤාණය උපදී. විඤ්ඤාණ ප‍්‍රත්‍යයෙන් නාමරූප උපදී. නාමරූප ප‍්‍රත්‍යයෙන් සළායතන උපදී. සළායතන ප‍්‍රත්‍යයෙන් ස්පර්ශය උපදී. ස්පර්ශ ප‍්‍රත්‍යයෙන් වේදනාව උපදී. වේදනා ප‍්‍රත්‍යයෙන් තණ්හාව උපදී. තණ්හා ප‍්‍රත්‍යයෙන් උපාදානය සිදුවෙයි. උපාදාන ප‍්‍රත්‍යයෙන් ”භව” (කර්ම බීජ) උපදී. කර්ම බීජ (භව) ප‍්‍රත්‍යයෙන් ජාති (උපතක්) සිදුවෙයි.

ජාති ප‍්‍රත්‍යයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස උපායාස සියල්ලම උරුමවෙයි. මෙහිදී විග‍්‍රහ කරන ලද පටිඉච්ච සං උත්පාද (සමුදය) යන පළමුවන හා දෙවන අරිය සත්‍යයන් දෙක විග‍්‍රහ කිරීමේදී මූලික වශයෙන් සතර ආකාරයකින්ම සමුදය වන බව සං උපත ලබන බව පෙන්වා දී ඇත.

1. පච්චයා – යමකින් යමක් ප‍්‍රත්‍ය වීම නිසා සමුදය වීම.
2. හේතුං – යම් හේතුවක් නිසා සමුදය වීම.
3. අඤ්ඤාමඤ්ඤවීම – හේතු ප‍්‍රත්‍යය දෙකම අන්‍යෝන්‍යය වශයෙන් ක‍්‍රියාත්මක වී සමුදය වීම.
4. සම්ප්‍රයුක්තව – හේතු, ප‍්‍රත්‍ය යන දෙකම එක සමඟ යෙදෙමින් සමුදය වීම, යන හතර ආකාරයටයි.

මේ සතර ආකාරයෙන්ම සමුදය ධර්මයක් බිහිවන බව පෙන්වාදුන් බුදුපියාණන්වහන්සේ, මෙම සතර ආකාර නැවතත් තවදුරටත් බෙදා පට්ඨානප‍්‍රකරණයේ 16 ආකාරයකින්ම විග‍්‍රහ කර දී ඇත.

අවිද්‍යා මූලයෙන් හටගන්නා සංඛාරයක් නිසා, ”සං” උපත ලබන ආකාරය (සමුදය) ප‍්‍රත්‍ය, හේතු, අඤ්ඤාමඤ්ඤ, සම්ප‍්‍රයුක්ත යන හතර ආකාරයෙන් විග‍්‍රහකර පෙන්වා දුන් බුදුපියාණන්වහන්සේ කුසලමූල සංඛාරයක් මගින් පටිඉච්ච සං කපා දැමීම විග‍්‍රහ කිරීමේදී භාවිතා කළේ පච්චයා (ප‍්‍රත්‍ය වීම) පමණකි. ඊට හේතුව කුසලමූල යනු කුණු, කිළිටි කෙළෙස් උපදවන මුල් ගළවා ශුද්ධ පවිත‍්‍ර කළ පසු ඒ ප‍්‍රත්‍යයෙන් ඊළඟ පියවරද ශුද්ධ පවිත‍්‍ර වන නිසයි. එහිදී හේතුවක් ලෙසින් හෝ අඤ්ඤමඤ්ඤ වීමෙන් හෝ සම්ප‍්‍රයුක්ත වීමෙන් හෝ ක‍්‍රියාත්මක වන්නට දෙයක් කුණු මුලක් ඉතිරි නොවන නිසා ඒ මුල ගළවා නිදහස් වූ නිසා ප‍්‍රත්‍ය වීම ”පච්චයා” පමණක් පෙන්වා දුන්හ.

පටිච්චසමුප්පාද නිරෝධ කිරීමේ අවස්ථාවේදීද හේතුව නිරෝධ වීමෙන් යම් ඵලයක් උපදවන්නට උපකාරක හේතුව නිරෝධ වන නිසා එතැනදීද ප‍්‍රත්‍ය පමණක්ම භාවිතා කර ඇත. සංඛාර නිරෝධ කිරීමෙන් විඤ්ඤාණ ඉබේම නිරෝධ වෙයි. විඤ්ඤාණ සමුදය වීමක් සිදු නොවේ. යම් සංඛාරයක් සිතෙහි මතුවූ කළ එයට බැඳී (පටිඉච්ච වී) ඒ සංඛාරය දිගේම සිතුවිලි දිගින් දිගටම පවත්වයි නම් පමණක් ආදීනව අවස්ථාවම පසුකර සමුදයද බිහිවෙයි. නමුත් ආදීනව අවස්ථාවලින් එකකදී හෝ සිත නිරෝධ කළේ නම් සමුදයද නිරෝධ වේ. නිරෝධ කිරීම යනු සංඛාරය දිගේ සිතුවිලි පැවැත්වීම නතර කිරීමයි. ඒ විනා යමක් නැති කිරීම නොවේ.

පට්ඨානප්පකරණය නැමැති අභිධර්ම පොතේ විසිහතර ආකාරයකට බෙදා විග‍්‍රහ කර පෙන්වූයේ සංඛාරයක් විසිහතර (24) ආකාරයකින් පච්චයා වන (ප‍්‍රත්‍ය) ධර්මතාවයයි. මෙම සූවිසි ආකාරය අතුරෙන් මුල් දාසය (16) ආකාරයම අවිද්‍යා මූලයෙන් හටගත් සංඛාරයක් සිතක උපදින්නට මුල්වන හේතු ප‍්‍රත්‍යයන්ය. ඉතිරි අට (8) ආකාරයම කුසලමූල සංඛාරයක් සිතක ක‍්‍රියාත්මක වන්නට මුල්වන ප‍්‍රත්‍යයවන කාරණාවෝය. අවිද්‍යාමූල සංඛාරයක් උපදින්නට මුල්වන කරුණු

1.    හේතුං පච්චය                     2.    ආරම්මණ පච්චය
3.    අධිපති පච්චය                    4.    අනන්තර පච්චය
5.    සමනන්තර පච්චය              6.    සහජාති පච්චය
7.    අඤ්ඤාමඤ්ඤ පච්චය         8.    නිස්සය පච්චය
9.    උපනිස්සය පච්චය              10.  පුරේජාත පච්චය
11.   පච්චේජාත පච්චය             12.  අසේවන පච්චය
13.   කම්ම පච්චය                    14.  විපාක පච්චය
15.   ආහාර පච්චය                   16.  ඉන්ද්‍රිය පච්චය

මේ ආකාරයට පෙන්වාදුන් කරුණු දාසයක්ම අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ක‍්‍රියාවලියක් සිත තුල ක‍්‍රියාත්මක වීමට උපකාර වේ. ජාතියක් බිහිවී ජරා, මරණ උරුම වන්නට හේතුවන හේතුඵල පරම්පරාවකට බැඳෙන්නේත්, පංචස්කන්ධයම උපාදානය කරගෙන සංසාර ගමනකට සම්බන්ධ වන්නේත් මෙවන් හේතු එකක් හෝ කිහිපයක් ප‍්‍රත්‍ය වීමෙනි. හේතුව වීමෙනි, නිදානය වීමෙනි සමුදය වීමෙනි. ”පච්චයා” හෙවත් ප‍්‍රත්‍ය වීම යන පදයද නිවැරදිව ම තේරුම් ගත යුතුයි.

යම්කිසි ධර්මයක, යම් ධර්මතාවයක යම් ගති ලක්ෂණයක උපතට, සමුදයට, ප‍්‍රතිශ්ඨාවට, පැවැත්මට මෙන්ම නිරෝධයට හා නිස්සරණයටද උපකාරවන ලක්ෂණය ප‍්‍රත්‍ය වීමයි. මෙයින් පැහැදිළි වන ධර්ම නියාය නම් යම් සංඛතයක යම් සංකල්පනාවක, යම් ගති ලක්ෂණයක, කර්ම බීජයක උපතට, සමුදයට මෙන්ම ගෙවී විනාශ වී යාමටද මුල්වන බලවේග විවිධාකාර බවයි. මේ කරුණු රාශිය අතරින් එකක් හෝ කිහිපයක හෝ බලපෑම මත සමුදය, නිස්සරණය යන දෙකම සිදුවිය හැකි බවයි. උපතට, පැවැත්මට විනාශයට ප‍්‍රත්‍ය වන කරුණු රාශියක් අතරින් එක කරුණක් එක ආකාරයකින් උපකාර වන විට තවත් කරුණු වෙනත් ආකාරයෙන්ද ඊටම උපකාර වෙයි. ”පටිඉච්ච” එසේත් නැතිනම් කැමැත්තකට බැඳීම සිදුවන ආකාරය පෙන්වාදීම සඳහා මේ සියලු කරුණු ධර්මයේ විග‍්‍රහකර පෙන්වා දී ඇත. මේ අභිධර්ම විග‍්‍රහයයි.

අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙන් පෙන්වා වදාළේ සිතක පුණ්‍යාභි සංඛාර, අපුණ්‍යාභි සංඛාර හා අනෙජ්ඣාභි සංඛාර බිහිවී ක‍්‍රියාත්මක වී සිත තුළදීම සමුදය වන ආකාරය පෙන්වා දීමයි. මේ අවිද්‍යාමූල සංඛාරයෝම වචී සංඛාර, කායා සංඛාර, චිත්ත සංඛාර ලෙසින්ද බෙදා විග‍්‍රහකර ඇත.

කුසලමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙන් පෙන්වා වදාළේ කුණුමුල් කෙළෙස් මුල් ගළවා දමා ඉවත් කර ආසවක්ඛය කර දමන්නට උපකාර වන වි+සංඛාරයෝ පැවැත්වීමයි. මෙතෙක් කල් සංසාරයේදී සාරයි කියා නිගමනය කර එකතුකර, ගබඩාකරගත්, චිත්තසංථානයේ ඇති ගතිගුණ, කිළිටි ගති ලක්ෂණ සළාහැර, පිරිසිදු කරගැනීම සඳහා කුසලමූල සංඛාරයෝම පැවැත්විය යුතුය. ඒවා කුසලමූල සංඛාර ලෙසින්ම ධර්මයේ පෙන්වා දෙයි. කෙළෙස්, කුණු, කහට ගති එකතු කරන සියලු සංඛාරයෝ අවිද්‍යා මූල සංඛාරයෝයි.

මේ අනුව නිවන් දකින්නට උත්සාහ දරණ හැම කෙනෙක්ම අවිද්‍යාමූල සංඛාර දැන හඳුනා ගෙන ඒවා බැහැර කර ඒවා නිරෝධ කිරීමත් කුසලමූල සංඛාරයෝ දැන හඳුනාගෙන ඒවා ආශ‍්‍රය කිරීමත් පුරුදු, පුහුණු කරගත යුතුමය. මෙයම අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධයත් කුසලමූල පටිච්චසමුප්පාද භාවිතයත් ලෙසින්ද පෙන්වා දී ඇත.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.