පරම ගාම්භීර බුද්ධ දේශණාව – පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය

ලොව්තුරා බුද්ධත්වයට පත්වන සියලුම බුදුපියාණන්වහන්සේලා ස්වයංභූ ඥාණයෙන්ම සොයාදැන මතුකර ලෝකයට දේශණාකර වදාරනු ලබන පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය නම් උතුම් පටිච්ච සමුප්පාද ධර්මයයි. කිනම් කාලයකදී හෝ අවංකවම නිවන් අවබෝධකර ගැනීමට උත්සාහ දරණ යම් කෙනෙකු විසින් තේරුම් ගත යුතු වන්නේ ද පටිච්චසමුප්පාද ධර්මය යනු කුමක්ද යන්න වේ. යම් කෙනෙකු පටිච්ච සමුප්පාද ධර්මය යම් පමණකට තේරුම් ගත්තේ ද ඔහු එපමණටම නිවන් අවබෝධ කරගත්තා ද වෙයි.

අප ජීවත්වන සජීවී ලෝකයේ මෙන්ම අප අවට ඇති අජීවි ලෝකයේ ද විවිධාකාර වූ ක‍්‍රියාකාරීත්වයන් ක‍්‍රියාත්මක වීමට මුල් වූ හේතුව කුමක්ද? මේ විවිධ ක‍්‍රියාකාරීත්වයන්ගේ උපතට හේතු වූ මූලික ශක්ති ප‍්‍රභවය කුමක්ද? යම් ශක්තියකින් හටගත් දෙයක් සදාකාලිකවම නොපවතින්නටත් නිරන්තරයෙන්ම ගෙවී ගෙවී විපරිණාමයට පත්වී වැනසී යාමටත් හේතුව කුමක්ද? මේ නියත ධර්ම ස්වභාවයට නියාම ධර්මයන්ට මුල් වූ හේතුව කුමක් ද?

අනන්ත අප‍්‍රමාණ කාලයක පටන්ම මිනිසා උත්සාහ දරණ ලද්දේ මෙවන් මූලික ප‍්‍රශ්ණ වලට කාටත් පිළිගත හැකි ආකාරයේ නිවැරදි පිළිතුරක් සොයා දැන ඉදිරිපත් කිරීමටය. ගෝතම බුදුපියාණන් බුද්ධත්වයට පත් වීමටත් පෙර අතීතයේ පටන්ම විවිධ විද්වතුන්, දාර්ශනිකයින්, ඉසිවරුන් හා උගතුන් මෙවන් ප‍්‍රශ්න වලට ඉදිරිපත් කළ විවිධ පිළිතුරු හා මතවාද නිසාම බොහෝමයක් ආගම් සංකල්ප හා දර්ශනවාදයන් ද බිහිවිය. නියතිවාදය, සාපේක්ෂතා වාදය, කාලවාදය, ස්වයංකථ වාදය, පරංකථ වාදය, සත්කාර්ය වාදය ආදී දර්ශන වාදයන් මෙන්ම ආත්ම වාදය, අනාත්ම වාදය, උච්ෙඡ්ද වාදය, සාස්වත වාදය, ඊශ්වර වාදය, කර්ම වාදය, අධිච්ච සමුප්පන්න වාදය, වේද ආගම, උපනිශද් ආගම ආදී විවිධ ආගමික සංකල්පයන් ද කලින් කලට ලොව ප‍්‍රචලිත විය.

ගෝතම බුදුපියාණන්වහන්සේ ද එවකට ජම්බුද්වීපයේ ප‍්‍රචලිතව භාවිතයේ පැවති සියලු ආගම් සංකල්ප මෙන්ම දර්ශන වාදයන්ද ගැඹුරින් හදාරා ඒවායේ පැවති අඩුපාඩුකම් දුර්වලතා මැනවින් තේරුම් ගෙන ඒවා තුළ ගැබ්ව තිබූ ලෞකික, භෞතික අන්තවාදී මති මතාන්තර බැහැර කර දොස් කපාහැර, කාටත් පිළිගතහැකි විද්‍යාත්මක වූත්, සර්ව සාධාරණ වූත් කාලය හා දේශය අනුව වෙනස් නොවන්නා වූත් ලෝකෝත්තර හා ලෞකික යන උභය අර්ථ සාධනය සඳහාම උපකාර කරගත හැකි වූත් පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය නම් මේ උතුම් බුද්ධ ධර්මය ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන ලෝකයාට දේශණාකර වදාළ සේක.

විභජ්ජා වාදය ඉදප්පච්චයතාවය යන නම් වලින්ද එකලදී හැඳින්වූ ”පටිච්චසමුප්පාද” යන වචනවල නිරුක්ති අර්ථය පටිලෙහා, ගැටලෙහා ධර්මානුකූලවම සොයා බලන කෙනෙකුට මිස මේ උතුම් ධර්මයේ ගාම්භීර බවද තේරුම් ගත නොහැකිමය. පටිඉච්ච සංඋත්පාද යන පද හතරක්ම මෙහි ගැබ්වී ඇත. මේ වචන හතරම විග‍්‍රහකර තේරුම් කර ගැනීම ධර්මාවබෝධය ලබාගැනීමට ඉමහත් පිටිවහළක් වෙනු ඇත.

පටි :- යනු බැඳීමයි. සම්බන්ධ වීමයි. පටියකින් බැඳීම හා ලණුුවකින් බැඳීම යන දෙක, එකම ආකාරයේ බැඳීමක්ද නොවේ. හිතට ගැළපෙන සුව පහසු ලෙසින් බැඳීම පටියකින් බැඳීමයි.

ඉච්ච :- යනු කැමැත්තයි. විඤ්ඤාණ චිත්තයේ මතුවන කැමැත්ත ”ඉච්ච” යනුවෙන් හඳුන්වයි. මේ අනුව, ”පටිඉච්ච” යනු සිතෙහි මතුවන ප‍්‍රිය මනාප වූ, ඉෂ්ට කාන්ත වූ කැමැත්තට බැඳීමයි. නිරන්තරයෙන් ම ඉන්ද්‍රියයන් හයටම හමුවන මුණගැසෙන ප‍්‍රිය සංඥාවන්ට කැමැත්තෙන්ම බැඳීම පටිඉච්ච වීමයි. ඇසට ලැබෙන රූප සංඥා, කනට ඇසෙන ශබ්ද සංඥා, නාසයට දැනෙන ගඳ සුවඳ සංඥා, දිවට දැනෙන රස සංඥා, ගතට දැනෙන සුව පහසු සංඥා හා මනසෙහි මතුවන මනෝ සංඥා ප‍්‍රිය ආකාරයේ ඒවා නම් මධුර ඒවා නම් ඒ ආකාර වූ ප‍්‍රිය සංඥාවලට බැඳීම ”පටි ඉච්චවීම” ලෙසින් පෙන්වා දිය හැකිය.

සං උත්පාද :- යනු සමුදය වීමයි. සංඥාවකට බැඳීම නිසා ”සං” උපතක් ලබයි. සංඛතයක් ද උපත ලබයි. සංකල්පනාද උපත ලබයි. ඒ අනුව සිතෙහි සංඛාරයක් බිහිවෙයි. රූප ආදී යම් සංඥාවකට කැමැත්තෙන්ම බැඳුනු පසු ඊට අනුරූප වූ ”සං” උත්පාදයක් සිදුවීම (සමුදය වීම) ධර්ම නියාමයයි. ප‍්‍රිය මනාප සංඥාවක් සමඟ ගැටෙන ඉන්ද්‍රියයන් නිසා විඤ්ඤාණ චිත්තයේ නිතරම යම්කිසි බලාපොරොත්තුවක් බිහිවෙයි. ඒ අරමුණට, නිමිත්තට, සිතුවිල්ලට, සිතින්ම ඒ ප‍්‍රිය මනාප දේ සමග එකතු වී එයම උපාදනය කර ගැනීමට කරනු ලබන සියලු උත්සාහයන් ”සං උපත” ලෙසින් (සමුදය) හැඳින්විය හැකිය. පටිඉච්ච – කැමැත්තෙන් බැඳීම හේතුව ලෙසත්, සමුදය – සං උත්පාදනය ඵලය ලෙසත් පෙන්වා දෙන නිසා මේ ධර්මතාවයට හේතුඵල දහම ලෙසින් ද සිංහල භාෂා ව්‍යවහාරයේදී නම්කර ඇත.

බුදුපියාණන්වහන්සේ දේශණාකර වදාළ සුව අසුව දහසක් ධර්මයෝම මේ පටිච්චසමුප්පාද ධර්මය විග‍්‍රහ කරන්නටම දේශණාකර වදාළ, පටිච්චසමුප්පාද ධර්මයම පදනම් කොට ගෙනම දේශණා කළ දහමකි. බුදුපියාණන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම සොයා මතුකර පෙන්වා වදාළ සෑම ධර්ම විග‍්‍රහයකටම සෑම ධර්ම නියාමයකටම සෑම ධර්ම දේශණාවකටම මූලික පදනම වූයේත් එහි මූලික හරය වූයේත් මේ උදාර චින්තනයයි. ඒ නිසාම මෙය ඉතාමත් ගාම්භීර ධර්මයක් සරළ ලෙසින් මතුකර පෙන්වීමක් ලෙසින්ද සඳහන් කළ හැකිය.

හේතුවක් හා ඵලයක් අතර යම්කිසි ආකාරයක නියත සම්බන්ධයක් ඇති බව බොහෝ දාර්ශනිකයන් ද තේරුම් ගත් නමුත් මේ හේතුඵල සම්බන්ධතාවය ඇතිවන ආකාරය නිවැරදිවත් පැහැදිළිවත් විග‍්‍රහකර පෙන්වා දී මෙහි අඩංගු විද්‍යාත්මක සත්‍යයන් මතුකර පෙන්වා දීමට සමත්වන්නේ ලොව්තුරා බුදු කෙනෙකුන්ම පමණි. එකල ප‍්‍රචලිතව පැවති ආත්මවාදයන් අනාත්ම වාදයන් හා ඊශ්වර වාදයන් සෑම එකක්ම යම්කිසි දෘෂ්ඨියකට දෘෂ්ඨිගතවීම නිසාම උපත පැවැත්ම හා නිස්සරණය මෙන්ම විපරිණාමය වැනි මූලික ප‍්‍රශ්ණ පවා විසඳා ගැනීමට හැකියාවක් ඒවායේ තොතිබුණි. නැවත නැවතත් කෙනෙකු උපදින්නටත්, උපදින හැම වාරයක් පාසාම මිය යන්නටත්, උපදින හැම කෙනෙකුම නියත වශයෙන්ම දුක් විඳින්නටත් පදනම් වූ හේතූන් පැහැදිළි කරගන්නට තරම් ඒ දර්ශනවාද සමත් නොවීය. මේ නිසාම මහා බ‍්‍රහ්මයා, ඊශ්වර වැනි සර්වබලධාරී දෙවියෙකුට හෝ කර්මවාදය ආත්මවාදය වැනි දෘෂ්ඨියකට හෝ කැමති පරිදි මේ සියල්ල සිදුවේ යැයි ගොඩින්ම ප‍්‍රශ්ණයට පිළිතුරු සපයා ගත්හ. හේතුව හා ඵලය අතර ඒකත්වයක් දැක්විය නොහැකි බව පෙන්වා දුන් බුදුපියාණන්වහන්සේ පටිඉච්චසමුප්පාද ධර්මතාවය විග‍්‍රහ කර පෙන්වා වදාළහ. සිතක ඇතිවන පටිඉච්ච බව කැමැත්තකට බැඳීම ප‍්‍රත්‍යය කොටගෙන හේතුව කොටගෙන නිදානය කොටගෙන සමුදය කොටගෙන ”සං” උපත ලබන බව පෙන්වා වදාළ සේක. මේ නිසා සත්ත්වයෙකුගේ පුද්ගලයෙකුගේ සිතෙහි පහළවන කැමැත්ත සංසාර ගමනට මුල්වන බවද පෙන්වා වදාළහ.

”ආරම්මණ විජාණන ලක්ඛණං චිත්තං” යනුවෙන් ධර්මයේ දේශණාකර පෙන්වා වදාළ පරිදි සිතක නියත ලක්‍ෂණය වන්නේ නිරතුරුවම විවිධ අරමුණු මතුවීමයි. ජනිත වීමයි. මේ අරමුණු අතුරෙන් සමහරක් අරමුණු නිමිති, සිතුවිලි ප‍්‍රිය ඒවා වෙයි. ප‍්‍රිය ඒවාට කැමැත්තෙන්ම බැඳීම පටිඉච්ච ධර්මතාවයයි. විඤ්ඤාණ ශක්තියක් සිතක බිහිවන්නේම මෙවන් ප‍්‍රිය මනාප අරමුණු වලට සංඥාවලට බැඳී සිතේ බලාපොරොත්තුවක් ඇති වීමෙනි. ”සංඥා”, ”සංඛාර”, ”විඤ්ඤාණ” සිතක පහළවන්නේම කැමැත්තට බැඳීමෙනි. ඒ පටිඉච්ච ධර්මතාවයයි. සිතෙහි පහළ වූ අරමුණකට, ආරම්මණයකට, නිමිත්තකට, කැමැත්තෙන්ම බැඳුණු පසු ඒ කැමැත්තට අනුකූලවම, ඊට සමානුරූපවම, ධර්ම නියාමයට අදාළවම, ”සං” උපතක්, සමුදයවීමක් සිදුවන ධර්ම නියාමය පෙන්වා වදාළ ධර්මය පටිච්චසමුප්පාද ධර්මයයි.

හේතුව එකකි, ඵලය තවත් ආකාරයේ එකකි. හේතුවක් නැතිව යම් ඵලයක් බිහිවීම සිදුනොවේ. හේතුව හා ඵලය සම්බන්ධ කරවන යම් බලවේගයක් ද ශක්තියක් ද ඇත. හේතුව හා ඵලය වෙන්කරන, ගෙවා, විපරිණාමයට පත්කරවන ශක්තියක් ද ඇත. හේතු රාශියක් නිසා එක ඵලයකුත් එක හේතුවක් නිසා ඵල රාශියකුත් ආදී වශයෙන් විවිධ ආකාර වූ සිදුවීම් සිදුවීම නියාම ධර්මයන් පහටම අනුගතව සිදුවෙයි. නියත වශයෙන්ම ලොව පවතින නියාම ධර්මයන් වෙනස් කරන්නට කිසිවෙකුටත් නොහැකිය. හේතු නොකරන තාක් කිසිවෙකු නියාම ධර්මයන්ට යටත් වන්නේද නැත. මේ අනුව හේතුඵල ධර්මය හා නියාම ධර්මයන් ලොව සාදාකාලිකවම පවතී.

පොල් ගෙඩියක් සිටුවා කෙනෙකුට අඹ පැලයක් අඹ ගසක් ලබාගත නොහැකිය. පොල් ගසක් ලබාගන්නනට නම් පොල් ගෙඩියක්ම සිටුවිය යුතුය. පොල් ගෙඩියක් සිටවූ පමණින්ම පොල් ගසක් බලාපොරොත්තු විය නොහැකිය. තවත් බොහෝ හේතු ඊට උපකාරක විය යුතුය. අනික් සියලු උපකාරක හේතු තිබුණත් පොල් ගෙඩිය පැළ නොවන තත්ත්වයේ එකක් නම් එතැන පොල් ගසක් ලබන්නටද නොහැකිය. මේ ආකාරයටම හේතුඵල ධර්මය හා කර්ම වාදයද තේරුම් ගත යුතුය. කර්මය යනු ක‍්‍රියාවයි. ක‍්‍රියාව වෙනස් කර ගැනීමෙන්ම ඵලයද කර්මය ඵලයද වෙනස් කරගත හැකිවෙයි. මේ අනුවම බුදු දහමෙහි හරය වූ, ප‍්‍රතිෂ්ඨාව වූ, හේතුඵල ධර්මය හා කර්මවාදය යනු එකක්ම නොවේ. බුද්ධ ධර්මයට අනුව කර්මය ප‍්‍රතිකර්මය කිරීමෙන් හා උපක‍්‍රම (උපකර්ම) වලින්ද සම්‍යක් ප‍්‍රයෝග වලින්ද වෙනස් කරගත හැකිය. හේතුඵල ධර්මයට අනුව හේතුවම වෙනස්කර ගැනීමෙන් හෝ හේතුව අත්හැර නිදහස් වීමෙන් හෝ ඵලය විපාකයද වළකා ගත හැකිය. කර්මයද වෙනස්කර ගත හැකිය.

Share Button