බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ ඒකායන ප්‍රායෝගික නිවන් මාර්ගය

සියලුම බුදුපියාණන්වහන්සේලා ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන ලෝකයාට දේශණාකර වදාරණු ලබන්නා වූ ප‍්‍රායෝගිකවම අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්ති මාර්ගය වන්නේ ගෝතම බුදුපියාණන් ද පෙන්වා වදාරා ඇති පරිදි සතර සතිපට්ඨාන භාවනාව පුරුදු කිරීමයි. ත‍්‍රිපිටක ධර්මය තුළම ගෝතම බුදුපියාණන්වහන්සේම දේශණා කර වදාළ සතිපට්ඨාන සූත‍්‍ර දේශණාවෙන් මජ්ක්‍ධිම නිකායේත් අංගුත්තර නිකායේත් සංයුක්ත නිකායේත් විවිධ නම් වලින් දේශණා කර ඇති අතර දීඝ නිකායේ එය ”මහා සතර සතිපට්ඨාන සූත‍්‍ර දේශණාව” ලෙසින්ම නම් කර දේශණා කර වදාරා ඇත.

සතර සතිපට්ඨානය යනුවෙන් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළේ යථාවබෝධයෙන්ම භාවිතා කළයුතු, භාවනා කළයුතු, නිතර නිතර පුරුද්දක් වශයෙන් ම අනුගමනය කළයුතු ප‍්‍රායෝගික වූ ප‍්‍රතිපත්ති මාලාවකි. මහා සතර සතිපට්ඨාන සූත‍්‍රයේ සඳහන් වන මාගධී පදවැල් කටපාඩම් කරගෙන, ඒවා මතක තබාගෙන, උදේ සවස සජ්ඣායනා කිරීමෙන් පමණක්ම කෙනෙකුට මේ ප‍්‍රායෝගික ක‍්‍රියා පිළිවෙත කිසිසේත්ම සම්පූර්ණ කරගත නොහැකිය. සතර සතිපට්ඨාන වැඞීම යනුවෙන් බුද්ධ දේශණාවෙහිදී අදහස් කරන ලද ප‍්‍රායෝගික ක‍්‍රියා පිළිවෙත උගත්කමෙන් හෝ බුද්ධිමත්කමෙන් හෝ පමණක්ම කරගත හැකි දෙයක් නොවන බවද අවධාරණයෙන්ම සඳහන් කළ යුතුය. ත‍්‍රිපිටක ධර්මයේ සඳහන් වන මාගධී පදවැල් කටපාඩමෙන් කියවීම හෝ ඒ පදවැල් ඉගෙන ගෙන ඒ මාගධී පදවලට තමන්ගේ දැනීම අනුව තමන්ගේ මතයට අනුව සිංහල බසින් අර්ථයන් ඉදිරිපත් කිරීමද සතර සතිපට්ඨාන භාවනාවක පිහිටා ක‍්‍රියා කිරීමක් නොවන්නේමය.

සතර සතිපට්ඨානය භාවනා කිරීම යනු ”සතියෙහි පිහිටා සතියෙන් ක‍්‍රියා කිරීමට” යම් කෙනෙකු ප‍්‍රායෝගිකවම තමන්ම ලබාගන්නා පළපුරුද්දයි. මෙය ශික්ෂණයකි. තම සිතම පදම්කර ගැනීමකි. සතර සතිපට්ඨානයේ පිහිටා ක‍්‍රියා කරන්නට නම් ධර්මය අසා තමන්ම ලබාගත් නිවැරදි ධර්මාවබෝධයකුත් අසාදැනගත් ධර්ම මාර්ගය අනුගමනය කර තමන් ලබාගන්නා පළපුරුද්දත් යන දෙකම එක හා සමානවම වැදගත්ය. ධර්මාවබෝධය යනුවෙන් අදහස් කළේ හේතුඵල ධර්මාවබෝධයයි. පටිච්චසමුප්පාද ධර්මයයි. පටිච්චසමුප්පාද ධර්මයේ තිපරිවට්ටය අසා දැන ගැනීමයි. පළපුරුද්ද යනු පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙහි පෙන්වා වදාළ නිරෝධගාමී මාර්ග ප‍්‍රතිපදාව හා කුසලමූල මාර්ග ප‍්‍රතිපදාව ප‍්‍රායෝගිකවම යථාවබෝධයෙන් ම අනුගමනය කරන්නට පුරුදු පුහුණු වීමයි. ඒ සඳහා ලබා ගන්නා හා ඇති කරගන්නා හැකියාවයි. පළපුරුද්දයි. මේ අනුව බුද්ධ ධර්මයේ සඳහන් පටිච්චසමුප්පාද ධර්මය නිවැරදිවම තේරුම් නොගත් කෙනෙකුට සමුදය නිරෝධ කරන්නට නොදත් කෙනකුට කුසලමූල පටිච්චසමුප්පාද භාවිතා කරන්නට නොදත් කෙනකුට නිවැරදි ධම්මානුධම්ම පටිපදාවක පිහිටා සතර සතිපට්ඨාන භාවනාවක යෙදී නියම ප‍්‍රතිඵල ලබා ගැනීමද කරගත නොහැකිය. එවැනි කෙනෙකුට ”සතියෙන් ක‍්‍රියා කිරීම” යනු කුමක්දැයි යන්න පවා තේරුම් ගත නොහැකියි.

පෘථග්ජන පුද්ගලයින් ලෙස උපන් සෑම කෙනෙක්ම ඇස, කන, නාසය, දිව, කය, මන ආදී තම ඉන්ද්‍රියයන් හයම ආයතන හයක් බවට පරිවර්තනය කරගෙන විඤ්ඤාණයේ පැවැත්ම පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන ශක්තියක් (ආහාර) උපදවා ගන්නට විවිධාකාර වූ ක‍්‍රියාකාරකම් කරති. ප‍්‍රිය දේට ඇලීමෙන්, අප‍්‍රිය දේ සමඟ ගැටීමෙන් ද, මෝහයෙන් මුළා වීමෙන් ද මේ ශක්ති විශේෂය උපද්දවා ගනිති. මේ ශක්ති වේගයන් හයම ක‍්‍රියාවන් හයක් නිසාම සිතකම උපදින චිත්ත වේගයන්ය. මෙවන් වේගයන් උපදවා ගැනීමක් සිදු නොවන්නේ නම් විඤ්ඤාණයේ පැවැත්මට අවශ්‍යවන ආහාරද නොලැබෙයි. විඤ්ඤාණයෙන් කරන, කියන, හිතන සියලු ක‍්‍රියාකාරකම් කරන්නේ එහි පැවැත්මට අවශ්‍ය කරන ශක්තිය උපද්දවා ගැනීම සඳහායි. මෙවන් ශක්තියක් උත්පාදනය වන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියන්හි මත්වීමේ ස්වභාවයක්, මත් වීමේ ගතියක් පවතින නිසාමයි. ප‍්‍රිය දේකට ඇලීමෙන් මෙන් ම අප‍්‍රිය දේකට ගැටීමෙන්ද, මානයෙන්ද, මුළාවෙන්ද මේ මත් වීමේ ස්වභාවයට පත්වෙයි. මේ මත් වීමේ නියත ප‍්‍රතිඵලය වන්නේ වා, පිත්, සෙම් කෝප වී ලේ ධාතුව කිළිටි වීමයි. මෙය යමෙකුට දෘෂ්ඨි ගතවීමටත්, මිත්‍යා දෘෂ්ඨියට පත් වීමටත් හේතුවන නියත ක‍්‍රියාදාමයකි.

යම් කෙනෙක් බුද්ධ ධර්මය අසා දැන තේරුම් ගෙන සතර සතිපට්ඨාන භාවනාවක යෙදීමෙන් ඉෂ්ඨ සිද්ධ කරගත යුත්තේ තමා තුළින්ම මතුවන මෙවන් වූ ක‍්‍රියාවන්හි වේගය සංසිඳවා ගැනීමට පුරුදු වීමයි. කායේ කායානුපස්සනාව යනු ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හයකින් විඤ්ඤාණ ශක්තියක් උත්පාදනය කරන බව දැනගෙන ඒ ක‍්‍රියාවන්හි වේගය සංසිඳුවා ගැනීමයි. මේ ක‍්‍රියාවන් නිසා උපදින වේගය විනා වෙනත් කිසිම ශක්ති විශේෂයක් මේ පංචස්කන්ධ ශරීරය තුළින් උත්පාදනය නොවේ. මෙවැනි ක‍්‍රියාවලින් උත්පාදනය වන ශක්තිය නිසා සංසාර ගමනක්, රිය ගමනක් ලෙසින් හේතුඵල පරම්පරාවක් නොකඩවාම දිගින් දිගටම පවත්වාගෙන යාමට ක‍්‍රමවේදයක්ද සකස් වෙයි. ඇසට රූපයක් පටිච්ච වීමෙන් ශක්තියක් උත්පාදනය වෙයි. මේ ශක්තිය චක්ඛු විඤ්ඤාණ ශක්තිය ලෙසින් නම් කර ඇත. කනට ශබ්දයක් පටිච්ච වීමෙන් සෝත විඤ්ඤාණ ශක්තිය ද, නාසයට ගඳක් සුවඳක් පටිච්ච වීමෙන් ඝාණ විඤ්ඤාණ ශක්තියද, දිවට රසක් පටිච්ච වීමෙන් ජිව්හා විඤ්ඤාණ ශක්තියද, මනසට ධම්මයක් අරමුණු වී පටිච්චවීමෙන් මනෝ විඤ්ඤාණ ශක්තියද උත්පාදනය වෙයි. මේ හය ආකාරයට පරිබාහිර වූ වෙනත් කිසිම ශක්ති විශේෂයක් මේ ශරීර කූඩූව තුළින් උත්පාදනය වන්නේද නැත. මේ හය ආකාර වූ විඤ්ඤාණ ශක්තීන්ට ම බුද්ධ ධර්මයේ එක පොදු නමක් භාවිතා කරයි. ඒ පොදු නම නම් සමුදය (සං උදය) ශක්තිය යන නමයි. සමුදය ශක්තියෙන් තොර වූ විටෙක දිගින් දිගටම සංසාර ගමනක් පවත්වා ගෙන යන්නට උපකාර වන (සංභව) විඤ්ඤාණ බීජයන් සකස් වන්නේද නැත. ”භව” යනුවෙන් පටිච්චසමුප්පාද විග‍්‍රහයේ පෙන්වූ අවස්ථාව ”විඤ්ඤාණ බීජ” සකස් කරගන්නා අවස්ථාවයි. විඤ්ඤාණ බීජයක් සකස් වී එය චිත්තසංථානයේ ගබඩා වීමෙන් ඊළඟට ”ජාති” යන අවස්ථාවද උදාවෙයි. ”භව පච්චයා ජාති” යැයි පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙහි සඳහන් වන්නේ විඤ්ඤාණ බීජ සකස් වන අවස්ථාව හා විඤ්ඤාණ බීජය උප්පජ්ජති යන අවස්ථාවට පත්වීමයි.

සමුදය ශක්තිය පාලනය කර විඤ්ඤාණ බීජ නිපදවීමේ ක‍්‍රියාවලිය නවත්වාගත හැකි එකම උපාය මාර්ගය වන්නේ සමුදය ශක්තීන් උත්පාදනය කරන්නා වූ ක‍්‍රියාවන්හි වේගය, ශක්තිය පාලනය කර, ප‍්‍රහාණය කර ඉන්ද්‍රියයන් හයම සංවර කර ගැනීමයි. මේ ක‍්‍රියාවන්හි වේගය පාලනය කර කෙළෙස් ශක්තිය ප‍්‍රහාණය කිරීම ”කායේ කායානුපස්සනාව” ලෙසින් මාගධී පද වලින් සතර සතිපට්ඨාන සූත‍්‍ර දේශණාවෙහිදී ඉතාමත්ම පැහැදිළිව දේශණා කර පෙන්වා වදාරා ඇත. ”සබ්බ කාය පටිසංවේදී” යනුවෙන් විග‍්‍රහ කර පෙන්වා වදාළේ පටිච්ච වීම නිදාන කොට, හේතුව කොට, ”සං” උපතක් ලබන සියලු ආකාර වූ ක‍්‍රියාකාරකම් වලින් උත්පාදනය වන ශක්තිය පාලනය කිරීම සඳහා මඟ පෙන්වූ ප‍්‍රතිපාදාවයි. ක‍්‍රමවේදයයි.

”අස්ස” යනු ඒ කෙළෙස් ප‍්‍රහාණය කිරීමේ ප‍්‍රතිපදාව අනුගමනය කිරීමේදී ආශ‍්‍රය කළයුතු, භාවිතා කළයුතු, බහුලව භාවිතා කළයුතු, මෙනෙහි කළ යුතු යහපත් ක‍්‍රියා පටිපාටියයි. ”පස්ස” යනු ඒ පටිපදාව අනුගමනය කිරීමේදී ආශ‍්‍රයෙන් ඉවත්කර ප‍්‍රහාණය කළයුතු ප‍්‍රහාණය කර බැහැර කළ යුතු අයහපත් දේ පිළිබඳවයි. මෙයම සේවිතබ්බා අසේවිතබ්බා යනුවෙන් ද වෙනම සූත‍්‍ර ධර්මයකින් පැහැදිළි කර විග‍්‍රහ කර දී ඇත. ක‍්‍රියා හයකින් උපදින කෙළෙස් වේගයන් සංසිඳවා ගැනීම කායේ කායානුපස්සනාව ලෙසින් විග‍්‍රහ කර දුන් පසුව කෙළෙස් නිසාම උපදින වේදනාවද, වින්දනයද, වේගයද, සංසිඳෙන නිසා එය වේදනා වේදනානුපස්සනාව ලෙසින් විග‍්‍රහ කර ඇත. ක‍්‍රියාවේ වේගය හා වේදනාවේ වේගය සංසිඳීම හේතු කොට ගෙන චිත්ත ආවේගය ද සංසිඳවීමට පටන් ගනී. එය චිත්තේ චිත්තානුපස්සනාව ලෙසින් විග‍්‍රහ කර දී ඇත. දැන් මත්වන ස්වභාවයක් නැත. ධම්මේ ධම්මානුපස්සනාව අනුගමනය කිරීම සඳහා අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ත‍්‍රිලක්ඛණය නිවැරදි ලෙසම අවබෝධ කරගෙන හැම ”පටිච්ච” වන අවස්ථාවකදීම ඒ පටිච්ච වීමේ ප‍්‍රතිඵලය ලෙසින් සමුදය ධර්මයක් ද බිහිවන බව දැක සමුදය නිරෝධ කිරීම සඳහාම ”අනිච්ච, දුක්ඛ, අනත්ථ” අනුපස්සනාවන් මෙනෙහි කර නිබ්බිදානුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව මෙන්ම පටිනිස්සග්ගානුපස්සනාව යථාවබෝධයෙන්ම භාවනා කිරීම, භාවිතා කිරීම ධම්මානුපස්සනාවයි.

පටිච්චසමුප්පාද ධර්මය නොදැන රූප ආදී අරමුණකට පටිච්චවීම නිසා තම සිත තුළම උත්පාදනය වන සමුදය ධර්මය උපදින ආකාරය තේරුම් නොගෙන සංසාර ගමනක යෙදෙමින් දුක් විඳින්නට මුල් වන්නා වූ නිදාන වන්නා වූ හේතුන් ද දැක ගත නොහැකිය. සියලුම සමුදය ධර්මයන් උපත ලබන්නේම තම සිත තුළම බවත් සමුදය ධර්මයක් උත්පාදනය වීම නිසාම උපත ලැබු ”සං” ශක්තිය චිත්තසංථානය තුළම ගබඩා වන ආකාරයත් චිත්තසංථානයේ ගබඩා වූ ”සං” ශක්තිය විඤ්ඤාණ ආහාර ලෙසින් හා විඤ්ඤාණ බීජ ලෙසින් සිත තුළදිම සකස් වන ආකාරයත් තමන්ටම තමා තුළින්ම දැකගත හැකි වන්නේ තමන් පටිච්චසමුප්පාද ධර්මාවබෝධය ලැබූ පමණටමයි. සංඛාර කිරීමට යම් කෙනෙකු නිරතුරුවම පෙළඹෙන්නේ රුචිකමක් දක්වන්නේ විඤ්ඤාණයට වහල් වී හිතට වහල් වී ක‍්‍රියා කරන නිසාමයි. මෙය හිතට වහල් වීම, හැඟීමට වහල්වීම ලෙසින්ද අපට සරළ ලෙසින් පෙන්වා දිය හැකි පෘථග්ජන ගතියයි.

”සං” උත්පාදනය වන ආකාරය හා ”සං” ශක්තිය චිත්තසංථානයේ තැන්පත් වන ආකාරය හා ජීවිතය පවත්වාගෙන යන්නට ”සං” ශක්තිය උපයෝගි කර ගන්නා ආකාරයත් විඤ්ඤාණ බීජ වශයෙන් මතු උපතක් සහතික කරගන්නට සමුදය ශක්තියම සකස්වන ආකාරයත් නිවැරදිවම තේරුම් ගෙන අවබෝධ කරගත් තැනැත්තා ”ධම්මෝ සංදිට්ඨිකෝ” යන තත්ත්වයට පත් වූවකු බවටද පත්වෙයි. ”සං” දැක නොගත් කෙනෙකුට සංසාර දුකින් නිදහස් වීමේ මාර්ගය දැකගත් කෙනෙකු යැයි ප‍්‍රකාශ කළ නොහැකිය. තම සිත කිළිටි වී, ලේ ධාතුව කිළිටි වී, සංකිළිට්ඨේන තත්ත්වයට පත්වීමෙන් තමාගේම මනසේ මනසීකරණ ශක්තියත් දුර්වල වී, මැනීමේ ශක්තිය නැතිව යන බව දැන ගන්නට දැක ගන්නට නොහැකි වීමද සංදිට්ඨිකෝ නොවීමේම ප‍්‍රතිඵලයකි. අවිද්‍යාව, නොදන්නාකම, මෝඩකම, මොට්ටකම, මෝහය මෙන්ම අස්මිමානය යන ගති උපත ලබන්නේද තමන්ම උපදවාගත් සමුදය ශක්තිය තමන්ම තම චිත්තසංථානයේම ගබඩා කර ගැනීමෙන්මයි.

යම් කෙනෙකුට සතර සතිපට්ඨාන භාවනාව කිරීමට අවශ්‍ය වන්නාවූ නිවැරදි අවබෝධයක් ලබාගත හැකි වන්නේ තමා තුළින් ම සමුදය උත්පාදනය වන ආකාරය දැක, තමා තුළින් ම උත්පාදනය වන මේ සමුදය ශක්තිය තමාටම නිර්උදා කර ගත හැකි ක‍්‍රමවේදයක් ද ඇති බවත් නිවැරදිවම දැනගෙන ඒ නිවැරදි නිරෝධගාමී මාර්ගයම අනුගමනය කිරීමෙනි. මේ ප‍්‍රතිපදාව හේතුඵල දහමට බහා ගළපා බලා සතියෙන් ක‍්‍රියා කිරීමට පුරුදු වීමයි. ක‍්‍රියාවේ වේගය නිරෝධ වන ආකාරයත් නිවැරදිවම තමන් තුළින්ම
දැකගැනීමට හැකිවීම ”කායානුපස්සනාව” වැඞීමට බලවත් සේම උපකාර වන්නකි. ක‍්‍රියාවේ වේගය සංසිඳවා ගත හැකි වන්නේ එවන් අවබෝධයකිනි.

සංඛාරයක් නිසා වේගයක්, ශක්තියක් උත්පාදනය වන්නේම ”පටිච්ච” වීම හේතුව කොටගෙනමය. පටිච්ච වීම යනු රාගයෙන් ක‍්‍රියාකරන කෙනෙකු තමාගේ ඇස, කන වැනි ඉන්ද්‍රියයන් පිනවන ප‍්‍රිය දේවලට ඇලීම නිසා මත්වීමෙන් එයම ඒ ප‍්‍රිය දේම උපාදානය කර ගැනීමේ ගතිය සහ තමාගේ ම ඇස, කන වැනි ඉන්ද්‍රියයන් අප‍්‍රිය කරන දෙයක් නම් ඒවා සමඟින් ගැටීමක් ඇති වී ද්වේෂයක් සිතෙහි උපත ලැබීමත් යන සංසාර පුරුද්ද නිසා සිත මත්වීමයි. ප‍්‍රිය, අප‍්‍රිය යන අන්ත දෙක අතර සිදුවන මුළාව නිසාද සිතේ මතුවන මානය, මෝහය යන ගතිද තමා තුළම පැවැත්වීමයි. මේ ගති සංසාරයේ පුරුදු කරගත්, පුහුණු කරගත් දිගටම පවත්වා ගෙන ආ ගති කිහිපයකි. ප‍්‍රිය, අප‍්‍රිය යන ගති පුරුද්ද තම සිතේ පවතිනා තුරාවට පටිච්ච වීමද සිදුවෙයි. ප‍්‍රිය දේට ඇලෙයි. අප‍්‍රිය දේ සමඟ ගැටෙයි. පටිච්ච වීමෙන් ”සං” උප්පාදනය වෙයි. සමුදය බිහිවෙයි. රිය ගමනට අවශ්‍ය ශක්තිය උපද්දවා ගනී. එය මත්වීමකි.

පෘථග්ජන පුද්ගයෙක් යම්කිසි සතුටක් ලබනවාය, සැප විඳිනවාය, සංතෝස වෙනවාය යනු තමන් ප‍්‍රිය කරන දේකට ඇලී, සම්බන්ධවීම හෝ අප‍්‍රිය දේවල් වලින් වෙන්වීම හෝ යන අන්ත දෙකට පත්වීමයි. ප‍්‍රිය, අප‍්‍රිය යන අන්ත දෙකට ම අයත් වන ඊට අදාළ වූ ක‍්‍රියාදාමයකට ඇලීම බැඳීම හෝ ගැටීම ඉන්ද්‍රියයන් පිනවීමක්ම පමණි. ඇස, කන ආදී ඉන්ද්‍රියයන් පිනවීමෙන් ලබන ආමිස සුවයක් ගැන මිස නිරාමිස සුවයක් ඇති බව හෝ එවන් සුවයක් ලබා ගත හැකි බවක් හෝ ඒ සඳහා අනුගමනය කළ යුතු ක‍්‍රියා පටිපදාවක් ඇති බව හෝ පෘථග්ජන පුද්ගලයකුට කල්පනා කළ නොහැකියි. ප‍්‍රිය හා අප‍්‍රිය අන්තවලට ඇලීමෙන්ම හෝ ගැටීමෙන් හෝ ඉන්ද්‍රියයන් පිනවීමේ සංසාර පුරුද්දක් පවතින තාක් කල්ම තමන්ම දුක්විඳිමින් සංසාර ගමනක නොනවත්වා ම ගමන් කරනු මිස සසර දුකින් නිදහස් වන නිවැරදි මාර්ගයක් ගැන නම් නිසි අවබෝධයක් ලැබෙන්නේ ද නැත.

ප‍්‍රිය දේට අන්තවාදී ලෙසින් ඇලීමක් සිදු නොවන්නට ක‍්‍රියා කළහොත් හා අප‍්‍රිය දේ අන්තගාමී ලෙසින් ද්වේෂ නොකරන්නටද ක‍්‍රියා කළ හොත් මෝහයෙන් මානයෙන් මුළාවීමක් සිදු නොවන්නටද ක‍්‍රියා කළහොත් රූපාදී ආරම්මණයන්ට පටිච්ච වීමක් ද සිදු නොවන නිසා සිත කිළිටිවන සමුදය ශක්තියක්ද උත්පාද නොවන නිසා එතැනදී සිත නිදහස් වෙයි. එයම කායේ කායානුපස්සනාවෙහි පිහිටා ක‍්‍රියා කිරීමයි. ප‍්‍රිය දේට ඇලෙන, රාගයෙන් ක‍්‍රියා කරන ගතියත්, අප‍්‍රිය දේ වලට ගැටෙන ද්වේෂයෙන් ක‍්‍රියා කරන ගතියත්, මානයෙන්, මමත්වයෙන් ක‍්‍රියා කරන මෝහ ගතියත් යන ගති තුනම ඒ ඒ පුද්ගලයා ම දිර්ඝ සංසාරයේදී පුරුදු ලෙසින් කාලාන්තරයක් පුරාම පුරුදු පුහුණු කරගෙන ආ ඒ ඒ පුද්ගලයාගේම චිත්තසංථානයේම තදින්ම මුල්බැසගත් ගති පුරුදු තුනකි. තමා තුළ මෙවැනි ගති පුරුදු තුනක් මුල් බැස ගෙන ක‍්‍රියාත්මක වෙමින් පවතින බව තමන්ටම දැකගන්නට නොහැකිවීම සියළු දුක් උරුම වන්නට, සියලු දුක් විඳවන්නට මුල් වූ ප‍්‍රධානම හේතුවයි. හේතුව පටිච්චවීම ලෙසත් ඵලය සමුදය බිහිවීම ලෙසත් තමා තුළින්ම දැක හේතුව හා ඵලය යන දෙකම දැක ගත් පසුව හේතුවක් නිසාම චිත්තසංථානය කිළිටි වන බව තේරුම් ගෙන හේතුවෙන්ම නිදහස් වී ඵලයද උරුම නොවන්නට ක‍්‍රියා කළ හැකි බව යථා පරිදි දැක තම චිත්තසංථානය කිළිටිවන ක‍්‍රියාවන්ගෙන් බැහැරවීමත් තම චිත්තසංථානය පිරිසිදු වන ක‍්‍රියාවන් භාවිතා කිරීමත් යන ප‍්‍රතිපදාව පිරීම සතර සති පට්ඨානයෙන් ක‍්‍රියා කිරීමයි. හේතුව යහපත් නම් සිත පිරිසිදු කරන ආකාරයේ ක‍්‍රියාවක් නම් ඉන් සමුදය බිහි නොකරයි නම් එයම භාවිතා කිරීම, බහුලවම භාවිතා කිරීම සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියා කිරීමයි.

සතියෙන් ක‍්‍රියා කිරීම සතියෙහි පිහිටා කි‍්‍රයා කිරීම සතර සතිපට්ඨානය භාවනා කිරීම යනුවෙන් අදහස් කරන මෙම ක‍්‍රියාවෙහි ”සති” යන මාගධී පදයේ අර්ථය අද වන විට හොඳ සිහියෙන් ක‍්‍රියා කිරීම ලෙසින් අර්ථ ගන්වා වැරදි ආකාරයට භාවිතා කරන බව පෙන්වා දිය යුතුය. ”සති” යන මාගධී පදයෙන් අදහස් කළේ හොඳ සිහිය යන ව්‍යවහාර අර්ථයට වඩා ඉතාමත් ගැඹුරු අර්ථයකි. සතියෙහි පිහිටා කටයුතු කරන යම් කෙනෙකුට තමන් කරන, කියන, හිතන දේ නිසා තමන්ටම මතු උරුම ඵල විපාකයන් ගැනද යථාපරිදි දැක ගන්නට ලැබෙන නිසා අපායගාමී ඵල විපාක ලැබෙන බව දැක දැකම ඒ ක‍්‍රියාවෙහි සිත නොයොදනු ඇත. මේ අනුව සතියෙහි පිහිටා සතියෙන් යුතුව ක‍්‍රියාකරන කෙනෙකු බවට පත් වන්නේ තමා කරන ක‍්‍රියාව නිසා මතු තමාටම උරුමවන ඵල විපාකද යථා පරිදිම දැනගත් දැකගත් කෙනෙකුනම් පමණි. අයහපත් ඵල විපාකයක් තමාට උරුමවන බව දැක දැකම යම් කිසි ක‍්‍රියාවක්, කථාවක්, සිතුවිල්ලක් ක‍්‍රියාත්මක කරන්නට සතියෙන් ක‍්‍රියා කරන්නෙකුට නම් කළ නොහැකිය. නමුත් හේතුඵල දහම නොදත්, උගත්, බුද්ධිමත් අය බොහෝ දෙනෙකු පවා ලාභය, ආස්වාදය, කීර්තිය, ප‍්‍රසංසාව පමණක් බලාගෙන බොහෝමයක්ම අපායගාමී ක‍්‍රියාකාරකම් ඉතාමත් හොඳ සිහියෙන් යුතුවම ක‍්‍රියාත්මක කරති. ඒ ඔවුන් සතියෙන් ක‍්‍රියා නොකරන නිසාය. හේතුව හා ඵලය යන දෙකම නොදකින නිසයි. තමන්ට උරුමවන අයහපත් ඵලවිපාකය නොදකින හෙයිනි.

මේ අනුව බුද්ධභාෂිතයේ පෙන්වා වදාළ සතියෙහි පිහිටා, සතියෙන් ක‍්‍රියාකිරීම යනු හේතුඵල ධර්මය දැනගෙනම, හේතුඵල ධර්මයට බහා ගළපා බලාම කටයුතු කිරීමට පුරුදුවීමයි. මෙසේ සතියෙහි පිහිටා ක‍්‍රියාකිරීමටද යම් පළපුරුද්දක්, පුහුණුවක් ලබාගත යුතුමයි. මෙතෙක් කාලයක් සංසාරයේ පුරුදු වී පුහුණු වී සිටියේ ප‍්‍රිය දේට කැමැත්තෙන්ම ඇලීමටයි. අප‍්‍රිය දේ සමඟින් ගැටීමටයි. මෙය හිතට වහල් වී, හැඟීමට වහල් වී කටයුතු කිරීමකි. දැන් හිතට වහල් නොවී, හැඟීමට වහල් නොවී හේතුඵල ධර්මයට බහා ගළපා බලා කොතරම් ප‍්‍රිය දෙයක් වුවත් එහි ඵලය අහිතකර නම් එය බැහැර කිරීමටත්, ඒ ක‍්‍රියාව නොකර ඉන් වැළකී සිටීමටත් ක‍්‍රියාව අප‍්‍රිය නමුත් ඵලය යහපත් නම් එය භාවිතා කිරීමටත් පුරුදු වීමයි. හේතුඵල දහම අසා, ධර්මය තේරුම් ගෙන, පටිච්ච සමුප්පාද ධර්මය දැක, කළු, සුදු ද්වතාවය වෙන් කොට තෝරාගෙන කළු ධර්ම බැහැර කිරීමටත්, සුදු ධර්ම භාවිතා කිරීමත් යනු සතියෙන් ක‍්‍රියාකිරීම ලෙසින්ද අර්ථකථනය කළ හැක. මෙසේ සතියෙන් යුතුව ක‍්‍රියා කරන්නට පුරුදු පුහුණු වීම සතර සතිපට්ඨාන භාවනාව භාවනා කිරීම යැයි ද පෙන්වා දිය හැකියි.

උගත්කම, බුද්ධිමත්කම බොහෝ අවස්ථාවන්හී දී සතියෙන් ක‍්‍රියාකරන්නට බාධාවක් ද විය හැකිය. පෘථග්ජන මිනිස්සු හේතුඵල ධර්මය නොදැන උගතුන්, බුද්ධිමතුන් බවට පත්වූ විට ඒ ඉගෙන ගත් දේ නිසාම ඒ දැනුම නිසාම මත් වෙති. මේ නිසාම බුද්ධිමත් යන පදයද ව්‍යවහාර භාෂාවෙහි දී භාවිතා කරයි. බුද්ධියෙන් මත්වූවෙකුට හේතුඵල ධර්මයට බහා ගළපා බලන්නට හෝ ඊට අනුරූපව ක‍්‍රියාකරන්නට හෝ පළපුරුද්දක් නැත්නම් ඔහු නියත වශයෙන්ම ලාභයෙන්, ආස්වාදයෙන්, ආත්මලාභයෙන් මත් වී ක‍්‍රියා කරන්නෙකු බවටද පත්වී අපායගාමී විය හැකියි. උගත්කමෙන්, බුද්ධිමත්කමෙන් මත්වූවෙකුට හේතුඵල ධර්මය හෝ ද්වතාව ධර්මය හෝ තේරුම් ගන්නට නොහැකි වූවොත් ඔහු නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ හැකිතාක් දේ (පංචස්කන්ධය) උපාදානය කරගන්නටමය. ඉන් සෑහීමකට පත් වීමක් හෝ තෘප්තියක් හෝ ලබන්නේද නොවේ. මෙවන් වූ බුද්ධිමතෙක් ඉතා හොඳ සිහියෙන් උපායෙන් යුතුව ක‍්‍රියා කරන කෙනෙකි. නමුත් සතියෙන් ක‍්‍රියා කරන කෙනෙකු නම් නොවේ. ඔහු එකතු කරගත් දේ ඔහුටම බරක් වී, බැම්මක් වී, සංයෝජනයක් වී, භයට මුල් වන හේතුවක් වී,ඔහු සංසාර දුකටම පත් වීමද නියත වශයෙන් සිදු වෙයි. ඒ අසතියෙන් ක‍්‍රියා කිරීම නිසා අත්වන නියත ප‍්‍රතිවිපාකයයි.

උගත්කම, බුද්ධිමත්කම අඩු පුද්ගලයෙකුට පවා හේතුඵල ධර්මය, ද්වතාවය ධර්මය යම් ප‍්‍රමාණයකට අසා දැන තේරුම්ගෙන සතියෙහි පිහිටා ක‍්‍රියා කරන්නට යම් පුරුද්දක් පුහුණුවක් ලබාගත් පසුව ඔහු මොහොතින් මොහොතම නිවුණු පුද්ගලයකු බවට නිදහස් පුද්ගලයකු බවටම පත්වෙයි. බැදීම් වලින් තොර වූ උපාදානයෙන් තොරවූ කෙනෙකුට භයට, කම්පා වීමට හේතුවක් ද නැත. ඔහු නිවන කරාම ගමන් කරන්නකු බවට පත්වෙයි. මේ අනුව උගත්කම, බුද්ධිමත්කම, දැනුවත්කම යන දේවල් සම්මත ලෝකයේ ලෞකිකත්වය තුළ වටිනා, වැදගත් දේ ලෙසින් සැළකුවත් ලෝකෝත්තර වශයෙන් වැදගත් වන්නේ හේතුඵල දහමට බහා ගළපා බලා ක‍්‍රියා කරන්නකු ලෙසින් ලබාගත් පලපුරුද්ද හා පුහුණුවයි. මෙයම සමුදය නිරෝධ කිරීමේ පුරුද්දයි. හැකියාවයි. සියලුම පෘථග්ජන පුද්ගලයින් සාරවත් යැයි කල්පනා කරන්නේත්, වටිනවා යැයි සිතන්නේත්, සුළු මොහොතකට හෝ තමාගේම ඉන්ද්‍රියයන් පිනවීමෙන් ලබාගන්නා තාවකාලික සුවය, සතුට, ලාභය හෝ සැපය ගැන පමණි. ඉන්ද්‍රියයන් පිනවා මොහොතකට ලබා ගන්නා වූ සැපත, සුවය සඳහා කරන, කියන, හිතන දේම හේතුවක් ලෙසින් ක‍්‍රියාත්මක වී තමන්ටම ආපසු උරුම වන ඵල විපාකයන් කුමන ආකාරයක ඒවාදැයි දැක ගන්නට නම් ඒ සඳහා ද පළපුරුද්දක් ශක්තියක් ඇතිකර ගත යුතුමය. හේතුව හා ඵලය යන දෙකම මනා කොට දැකගෙන තමා කරන යම් ක‍්‍රියාවක් නිසා තමාටම ආපසු මතුවට උරුම වන ඵලය යළිත් තමාටම බරක් වේ නම්, බැම්මක් වේ නම්, භයට හේතුවක් වේ නම් එය තමාටම පලිබෝධයක් වේ නම් ඒ ක‍්‍රියාව නොකර නිදහස් වීමට පුරුදු වීම සතියෙන් ක‍්‍රියා කිරීමයි. සතියෙහි පිහිටා කටයුතු කිරීමයි.

මොහොතකට තමන් ලබන ලාභයට, ආස්වාදයට, සුවයට, තමන්ම මුළාවී, හිතට වහල්වී, ඉන්ද්‍රියයන් පිනවන්නට ක‍්‍රියා කළහොත් එහි නියත ඵල විපාක ලෙසින් සංසාරය පුරාම දිගින් දිගටම තමන්ටම විඳින්නට උරුම වන ආදීනව හා ආනිසංස ගැන නොසළකා ක‍්‍රියා කි‍්‍රයාකිරීම යනු අසතියයි. සතියෙහි පිහිටා ක‍්‍රියා නොකිරීමයි. අසතියෙන් ක‍්‍රියා කිරීමයි. හේතුඵල දහමට බහා ගළපා බලා ද්වතාව ධර්මයට බහා ගළපා බලා කළයුතු දේ හා නොකළ යුතු දේ මෙන්ම මෙනෙහි කළයුතු ධර්ම මෙනෙහි කිරීමත් මෙනෙහි නොකළ යුතු අධර්මය මෙනෙහි නොකර බැහැර කිරීමත් යන දෙක පුරුදු පුහුණු කරගත හැකි වන්නේ සතර සතිපට්ඨානයෙන්ම යුතුව කටයුතු කිරීමෙනි. අතීත සංසාර පුරුද්දට පටහැනි වූ මෙම අලුත් පුරුද්ද උත්සාහයෙන්ම, අවබෝධයෙන්ම තමා තුළින්ම ඇති කර ගත යුතු මෙතෙක් තමා තුළ නොතිබූ අලුත්ම විධියේ පුරුද්දකි. රූපාරම්මණයක් ආදී වශයෙන් සිතට ස්පර්ශ වූ යම් ප‍්‍රිය හැඟීමකට, ප‍්‍රිය අරමුණකට වහල් වී ඒ අරමුණ දිගේම දිගටම සිතුවිලි පවත්වමින් රූප රාගයෙන් සිත මත්වීම නිසා ඒ ප‍්‍රිය රූපයම උපාදානය කරගන්නට දරණ උත්සාහයද දුකකි. රූපය උපාදානය කරගත්තේ නම් එයද බරකි . බැම්මකි. දුකටම හේතුවකි. ප‍්‍රිය රූපය උපාදානය කරගන්නට නොහැකි වූයේ නම් එයද බලවත්ම දුකකි. මේ අනුව අරමුණකට තදින් බැඳීම කොයි ආකාරයෙන් සිතා බැලුවත් දුකකි.

රූප සංඥාවක් ඇසට ස්පර්ශ වූ වහාම එය පිළිබඳව යථා පරිදි දැනගෙන උපේක්ඛාවෙන් සළකා ඉවසීමෙන් විමසා බලා හේතුව හා ඵලය යන දෙකම පිළිබඳවත් යථා පරිදි තේරුම් ගෙන කටයුතු කළහොත් ඒ රූපාරම්මණය කොතරම් ප‍්‍රිය හෝ අප‍්‍රිය හෝ එකක් වූවත් එයට පටිච්ච නොවී දහසක් දුක් දොම්නස් වේදනා වලින් සදහටම අතමිදී නිදහස් විය හැකි බවත් තේරුම් ගෙන සතියෙහි පිහිටා ක‍්‍රියා කරමින් ලබන නිදහස, නිවන් දැකීමේ මාර්ගය අනුගමනය කිරීමයි. මෙයම සම්මා දිට්ඨියෙන් ක‍්‍රියා කිරීමයි. මේ අනුව හොඳ සිහිය යනුවෙන් පෙන්වූ දේ ලෞකික වශයෙන් නම් හොඳ, යහපත් දෙයක් විය හැකි වුවත් ලෝකෝත්තර නිවන් සුවය සඳහා නම් උපකාර වන්නේ සතියෙන්ම ක‍්‍රියා කිරීමයි. හොඳ සිහිය යන්න බොහෝ විටම සතියෙන් නොව අසතියෙන්ම කරන්නක් විය හැකිය.

මේ අනුව සතර සතිපට්ඨාන භාවනාවෙහි ප‍්‍රායෝගිකවම යෙදෙන්නට නම් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ ධම්මානුධම්ම පටිපදාවෙහි පිහිටා ක‍්‍රියාකරන්නට නම් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ භාවනා කර්මස්ථාන ප‍්‍රායෝගිකවම භාවනා කරන්නකු වන්නට නම් නිවැරදිවම පටිච්චසමුප්පාද ධර්මය හා ද්වතාවය ධර්මය යන දේ යම් තරමකට හෝ අසා දැන තේරුම් ගත යුතුයි. අවබෝධ කරගත යුතුයි. සතර සතිපට්ඨාන භාවනාවක් කරන්නට අදහස් කරන යම් කෙනෙකුට මේ මූලික දැනුම පවා නොලැබුණ හොත් නිවන් මාර්ගය උපදවා පහදා ගැනීමද පහසු දෙයක් නොවෙනු ඇත. සේවිතබ්බා අසේවිතබ්බා සූත‍්‍රයෙහිත් ආනාපානාසති සූත‍්‍රයෙහිත් ද්වේධා විතර්ක සූත‍්‍රයෙහිත් මහා සතරසතිපට්ඨාන සූත‍්‍රයෙහිත් ගිරිමානන්ද සූත‍්‍රයෙහිත් තවත් සූත‍්‍ර ධර්ම රාශියකමත් පෙන්වූ මූලිකම හරය වූයේ සේවනය කරන්නට සුදුසු ධර්මයන් පෙන්වා දීමත් සේවනයෙන් බැහැර කළයුතු කළු ධර්මයන් පෙන්වා දී ඒවා සේවනයෙන් බැහැර කරදමා, ප‍්‍රහාණය කරදමා, අස්කර දැමීමට මඟ කියාදීමත්ය. මේ සඳහා ප‍්‍රායෝගිකවම පුරුදු විය යුත්තේ මෙනෙහි කළයුතු දේ මෙනෙහි කිරීමටත් මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකර බැහැර කිරීමටත් පුරුදු වීමයි. පුහුණු වීමයි.

භාවිතා කළ යුතු වන්නේ සුදු ධර්මයන්ය. ප‍්‍රහාණය කර, භාවිතයෙන් බැහැර කළයුතු වන්නේ කළු ධර්මයන්ය. කළු ධර්ම යනුවෙන් බුද්ධ භාෂිතයෙහි හඳුන්වා දෙන්නේ චිත්තසංථානය කිළිටි කරන ලේ ධාතුව කිළිටි කරන පාපී ක‍්‍රියාවන්ට මුල්වන අපායගාමී ඵලවිපාක උරුමකර දෙන ක‍්‍රියාවන්ය. රාගය, ද්වේෂය, මෝහය යැයි ප‍්‍රධාන කොටස් තුනකටම බෙදා දක්වන්නේ මෙම කළු ධර්මයන්ය. සියලුම කළු ධර්මයන් විඤ්ඤාණයේ ආහාර වශයෙන්ද සංසාර ගමන දිගින් දිගටම පවත්වා ගෙන යන්නට උපකාර වන සමුදය ශක්තිය උපදවන දේ ලෙසද ද පෙන්වා දී ඇත. මතු උපතකට උපකාර වන විඤ්ඤාණ බීජ සකස් කිරීම සඳහා ද ඒවාම උපකාර වෙයි. විඤ්ඤාණයෙන් ක‍්‍රියාකරන පෘථග්ජන පුද්ගලයින්ට මෙම කළු ධර්මයන් බොහෝ අවස්ථාවල ප‍්‍රිය දේවල්, යහපත් දේවල්, හොඳ දේවල්, නිවැරදි දේවල් ලෙසද දකින්නට හැකි වෙයි. ඒ තම තමන්ගේම දෘෂ්ඨිය අපිරිසිදුතාවය අනුවම තීරණය වන්නකි. සම්මා දෘෂ්ඨියට පත්වූවෙකුට පමණක් නිවැරදිවම කළු ධර්ම කළු ධර්ම ලෙසින් දැකගත හැකි වෙයි. සම්මා දිට්ඨියට පත් නොවූ සංසාර දෘෂ්ඨියෙන් ක‍්‍රියාකරන හැම කෙනෙකුටම බෙහෝමයක්ම කළු ධර්මයන්ද මනාප වූ දේ ලෙසින්ම දැක ගන්නට ලැබෙයි.

සුදු ධර්ම යනුවෙන් අදහස් කරන්නේ චිත්තසංථානය පිරිසිදු කරන ලෝභ, ද්වේෂ, මෝහ ගති සහමුළින්ම ඉවත්කර දමන්නට උපකාර වන ක‍්‍රියාකාරකම්ය. අතීතයේ කවදා හෝ තමාම හොඳය, යහපත්ය, නිවැරදිය කියා පුරුදු කරගත්, පුහුණු කරගත් රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය යන කිළිටි ගති දැන් තමන් තුළම මුල්බැස ගෙන පවතින බවත් මේ ගති තමන්ගේම අනර්ථය සඳහාම තම චිත්තසංථානයම කිළිටි වීම සඳහාම හේතුවන බවත් නිවැරදිවම දැක මේ ගති සහමුළින්ම ගළවා ඉවත්කර දමන්නට ක‍්‍රියාකිරීම සුදු ධර්ම භාවිතා කිරීමයි. ඒවාගේම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක‍්‍රියාකර අලුතින් මේ ගති පුරුදු කර ගැනීම නිසා තව තවත් කුණු එකතු වී තම චිත්තසංථානයම කිළිටි වී, තම මනසද මුවහ වී, මෝහය මතුවන බවද දැක එවන් ක‍්‍රියාවන් බැහැරවීම ද, ඒවා අත්හැරීම ද, සුදු ධර්මයන් භාවිතා කිරීමක් වන්නේය.

රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු ක‍්‍රියා සිත් පැවැත්වීම විඤ්ඤාණයට එතරම් සුදුසු, ගැළපෙන ක‍්‍රියාකාරකම් නොවේ. ඊට හේතුව මෙවන් සුදු ධර්මයන් දිගටම පැවැත්වීමෙන් විඤ්ඤාණයට අවශ්‍ය ආහාරයන් නොලැබෙන හෙයිනි. සුදු ධර්මයන් නිරතුරුවම භාවිතා කරමින් කෙළෙස් දුරු කළ විට චිත්තසංථානය පිරිසිදු වී සම්මතය විදබලා පරම සත්‍යය දැකබලා ගන්නට හැකි ප‍්‍රඥාව නම් වූ බලවත් ශක්තියක්ද සිතේම උපදී. ප‍්‍රඥාව සිතක උපදින්නේම රාග, ද්වේෂ, මෝහ යන කෙළෙස් ගති සළාහැර කෙළෙස්වලින් තොරවූ නිදහස් වූ චිත්තසංථානයකමය.

සතර සතිපට්ඨාන භාවනාව භාවනා කිරීම භාවිතා කිරීම හැර නිවන් දැකීමට උපකාර වන වෙනත් කිසිම ප‍්‍රායෝගික ප‍්‍රතිපදාවක් නම් නැති බව ගෝතම බුදුපියාණන්ම ඉතාම පැහැදිළිවම පිරිසිදුවම සතර සතිපට්ඨාන සූත‍්‍ර දේශණාවෙහි ප‍්‍රකාශ කර ඇත. අප බෞද්ධයින් ලෙස බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, මරණානුස්සතිය, අසුභානුස්සතිය, චාගානුස්සතිය, මෙත්තානුස්සතිය, කයාගතාසතිය, ආනපානසතිය ආදී සියලුම ”සති” භාවනා කරන්නේත් භාවිතා කරන්නේත් අවසාන හා ඒකායන පරමාර්ථය වූ සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියා කරන්නට උපකාර කරගත යුතු උපකාර වන ප‍්‍රතිපදාවන් ඒවා මඟින්ද සම්පූර්ණ කරගන්නට හැකි නිසාමයි. ඒ කුමන ආකාරයක හෝ ”සති” භාවනාවක් භාවිතා කරමින් ඒවා ප‍්‍රගුණ කිරීමේ ඒකායන බලාපොරොත්තුව සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියාකරන්නට පුරුදු පුහුණු වීමයි. සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියාකරන්නට උපකාර නොවන කිසිම භාවනාවක් නිවනට උපකාර වන බුද්ධ භාවනා ක‍්‍රමයක්ද නොවේ. සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියාකරන්නට උපකාර වන සියලු භාවනා, බුද්ධ භාවනාවන් වේ.

මේ අනුව නිවැරදි ලෙසම තේරුම් ගත යුත්තේ බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ සියලුම භාවනා ක‍්‍රම සියලුම කර්මස්ථාන උපකාර කරගත යුතු වන්නේ නොවැරදීම නිවන් මඟ සම්පූර්ණ කරගත හැකි සතර සතිපට්ඨාන භාවනාවම පුරුදු පුහුණු කර ගැනීමටයි. සතර සතිපට්ඨානය වැඩෙන්නේ නම් සතියේ පිහිටා ක‍්‍රියා කරන්නට උපකාර වන්නේ නම් කායානුපස්සනාව වැඩෙන්නේ නම් එය මොන නමකින් හැඳින්වූවත් එය බුද්ධ භාවනාවකි. නිවනට නොවරදින මඟ උපදවා පහදවා දෙන්නකි. මොහොතින් මොහොතම පියවරෙන් පියවරම ක‍්‍රියාවේ වේගය සංසිඳීමේ යහපත් ප‍්‍රතිවිපාකයන් තමාටම අත්විඳ ගත හැකි නිවැරදි ප‍්‍රතිපත්ති මාර්ගයකි. නිවන යනු මේ ගින්න නිවීමයි. පැවැත්ම යනු ගින්න දිගටම පැවතීමයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.