පින් පව් – කුසල් අකුසල් (ලෞකික හා ලෝකෝත්තර වශයෙන්)

පින් පව්, කුසල් අකුසල් යනුවෙන් හඳුන්වන සියලුම දේ, ඒ ඒ සත්ත්වයා තම තමන්ම මොහොතක් මොහොතක් ගානේ සිතන, කරන, කියන සංඛාර අනුව, ඒ සංඛාර ආශ‍්‍රයෙන් තමාම උපදවා එකතු කර ගන්නා චිත්තජ ශක්තින්ය. එවන් චිත්තජ රූප ආශ‍්‍රයෙන් බිහිවන සියලුම කර්මජ ශක්තීන් අකුසල්, පව් හා පින් ලෙස හඳුන්වයි. චිත්තජ ශක්තීන් ආශ‍්‍රයෙන් එකතු කර ගන්නා චිත්තජ රූප පහ කර, ප‍්‍රහාණය කර සළා හැරීම කුසලයයි. තමාම එකතු කරගත් කුණු, කෙළෙස් ගති තම සිතින්ම සළා හැරීම කුසලයයි.

අකුසල් හා පව්කම්

අකුසල් හා පව්කම් ලෙස හඳුන්වන සියලු දේ ධර්මයට නොගැළපෙන, දුෂ්චරිතයන් ලෙස පෙන්වා දිය හැකි ගති ලක්‍ෂණයන්ය. දස අකුසල්, දස පාප ක‍්‍රියා, දස දුෂ්චරිත ආදී විවිධ නම් වලින් පෙන්වා දුන් සියල්ල පුද්ගලයෙකුගේ, සත්ත්වයෙකුගේ චිත්තසංථානයේ පහළවෙන වැරදි ගති ලක්ෂණයන්ය. මෙවන් සියලු දේ ඵල විපාක ලබා දෙන චිත්තජ ශක්තීන් බිහි කරන නිසා, කර්මජ රූප ලෙසින් කර්මජ කෝෂයේ තැන්පත් වෙයි. ඒ කර්මජ කෝෂයේ තැන්පත් වූ සියලු කර්මජ ශක්තීන්හි ඵල විපාකයන්ද පව, අකුසලය කරන ලද අය වෙතම අනිවාර්යයෙන් ම විපාක දෙයි. එය ධර්මතාවයෙන්ම සිදුවන දෙයකි. කරන ලද පාපයෙහි හෝ අකුසලයේ හෝ ප‍්‍රමාණය අනුව, බිහි කළ චිත්ත ආවේගයේ ශක්ති ප‍්‍රමාණය අනුව එහි විපාකය ද ප‍්‍රබල හෝ දුබල වෙයි. චිත්ත ආවේගය බලවත් නම් ගුණාකාරයෙන් වර්ධනය වී, සිය දහස් ගුණයෙන් ඵල විපාක වැඩි වෙයි. එක වරදක් වෙනුවෙන් සිය දහස් වරක් විපාක විඳින්නට ද සිදු වෙයි.

කෙනෙකු කළ පාපයක්, අකුසලයක් වෙනත් කෙනෙකුට පවරන්නට හෝ වෙනත් කෙනෙකුට ඵල විපාක ගෙන දෙන්නට හෝ කිසිසේත්ම සමත් නැත. ඒ නිසා තමන් කරගත් දේ තමන්ට ම අනිවාර්යයෙන්ම ඵල විපාක දීමටත්, දුගතියට පත් වීමටත්, දුක උරුම වීමටත් හේතු වනවා මිස, වෙනත් කෙනෙකු මතින් යැවිය නොහැකිය.

පව්කම්,  අකුසලයන්,  අධර්මයේ  හැසිරීම්  සියල්ලම  ඒවා  කරන  පුද්ගලයාගේම චිත්තය අඳුරු කරන, කිළිටි කරන, සිතට කුණු ගති එකතු කරන ශක්තීන්මය. ඒ නිසා ඒවා පොදුවේ සමාජයට, ස්වභාව ධර්මයට හා වෙනත් සත්ත්වයින්ට ද අහිතකර ලෙස ම බලපායි.

පින්කම් ද ප‍්‍රධාන කොටම ලෞකික පින්කම් හා ලෝකෝත්තර පින්කම් යැයි දෙකොටසකට බෙදා දැක්විය හැක. මේ දෙකෙහි වෙනස දැන හඳුනා ගැනීම, තෝරා බේරා ගැනීම හා ඒ අනුව ක‍්‍රියා කිරීම බුද්ධිය වඩා මෝහයෙන් මිදීමට උපකාර වේ.

ලෞකික පින්කම් බෞද්ධ අබෞද්ධ කාටත් පොදුවේ කරගත හැකි දෙයකි. මෙවන් පින්කම් කිරීමට බෞද්ධ රටක ඉපදීම හෝ බුද්ධෝත්පාද කාලයක ඉපැදීම හෝ අවශ්‍ය නොවේ. පන්සල්, වෙහෙර විහාර, ආගම් ඇතත් නැතත් මිනිසාට මෙවැනි පින්කම් කර ගත හැකිය. සිත පිනා යන, සිත පහන් වන සියලු පුණ්‍ය ක‍්‍රියා ලෞකික පින්කම් කොටසට අයත්ය. අබෞද්ධ බටහිර රටවල හා තෙල් සම්පත් ඇති රටවල මිනිසුන්, සැප සම්පත් යැයි පෘථග්ජන ලෝකයා සිතන, ධන ධාන්‍ය, මිල මුදල් හා පහසුකම්වලින් පරිපූර්ණ වන්නේ, ඔවුන් කරන ලද ලෞකික පින්කම්වල ඵල විපාක උරුම වීමයි.

නගරයේ මහ මන්දිරවල අතට පයට වැඩකාරයින් (මිනිසුන්) ඇතිව සියලු සැප සම්පත් විඳින බල්ලන් ද, ඒ සැප සම්පත් විඳින්නේ, පෙර ආත්මවල කරන ලද ලෞකික පින්කම්වල ඵල විපාක උරුම වීමෙනි. ලෞකික පින්කම් කිරීමත් සමඟම, දුසිරිතෙහි හැසිරීම ද සිදු කළ නිසා බලු බවට පත්විය. බහ ඉවතලා කටයුතු කිරීම බහලු බවට පත්වීමයි. අධර්මයේ හැසිරීම, බහ ඉවතලා කටයුතු කිරීමයි. පටිච්ච සමුප්පාද ධර්මයේ එන හේතුඵල ධර්මතාවය තේරුම් ගන්නට හැකි වූ කෙනෙකුට මේ ආකාරයෙන් බලු බව උරුම වූ ආකාරය පහසුවෙන්ම තේරුම් ගත හැකි ය.

මේ අනුව තේරුම් ගත යුත්තේ ලෞකික පින්කම්, සැප සම්පත්, ධන ධාන්‍ය ආදිය ලැබීමට හේතුවන බවයි. නමුත් මෙවැනි පින්කම්වල ඵල විපාක නිසාම රාග, ද්වේෂ, මෝහ වඩවන, අකුසලයටම හිත තල්ලු කර හරින, සම්බන්ධකම් ඇති කරවන ගතියක් ඇත. මෙවන් පින්කම් සසර ගමන දිගින් දිගටම පවත්වා ගෙන යාමට හේතු වන බවත්, නිවනට බාධක වන බවත්, කෙළෙස් සහගත චිත්ත ශක්තීන් උපදවන සංඛාර පැවැත්වීමට උපකාර වන බවත් ප‍්‍රකාශ කළ යුතුය. රාගය හා මෝහය නිසාම සත්‍යාවබෝධය ලැබීම ප‍්‍රමාද කර, නිවන් මඟ වැසෙයි. සිත අඳුරු වීම, කිළිටි වීම හා කෙළෙස් සහිත වීම නිසා ක‍්‍රමයෙන් අගතියට, දුගතියටම යනු මිස මෙවන් ලෞකික පින්කම් සුගතියට යාමට උපකාර නොවේ.

ලෝකෝත්තර පින්කම්

ලෝකෝත්තර පින්කම් යනු මෙයට වඩා වෙනස් දේවල්ය. මහණ උතුමන්ට, සිල්වතුන්ට සිවුපසයෙන් සංග‍්‍රහ කිරීම, සිල් රැකීම, ධර්ම දානය, ධර්මයේ හැසිරීම වැනි සම්බන්ධකම්වලට, එකතු කිරීම්වලට උපකාර නොවන පින්කම්, ලෝකෝත්තර පින්කම් ලෙස පෙන්වා දිය හැක. ආයු, සැප, බල, වර්ණ, ප‍්‍රඥා යන පස් ආකාර වූ සැප සම්පත්

ලැබීමට මෙවන් පින්කම් හේතු වේ. සිහි නුවණ මෙහෙයවා කටයුතු කිරීමේ හැකියාව, හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාව හා විශේෂයෙන් හේතුඵල ධර්මතාවයේ සත්‍යය වටහා ගැනීමේ ශක්තිය ලැබෙන්නේ මෙවන් පින්කම්වල ඵල විපාක ලෙසින්ය. ධර්මය අසා ධර්මය තේරුම් බේරුම් කරගන්නට, සම්මතයෙන් පරම සත්‍යය වෙන්කර දකින්නට, ඒවායේ වෙනස්කම් වටහා ගන්නට හැකි ශක්තිය ලැබෙන්නේ, ලෝකෝත්තර පින්කම්වල ඵල විපාක ලෙසිනි. ලෞකික පින්කම් නිවන් අවබෝධය සඳහා උපකාර නොවන අතර, ලෝකෝත්තර පින්කම්ද නිවන් අවබෝධයට සෘජුවම හේතු නොවේ. නමුත් ලෝකෝත්තර පින්කම් කිරීමෙන්ම ඒ පින්වල ඵල විපාක ලෙසින්ම, නිවන් අවබෝධ කර ගන්නට අවශ්‍ය කරන ධර්මාවබෝධය, බුද්ධිය හා ප‍්‍රඥාව දියුණු කරගත හැකිය. මිනිස් ජාතියක මතු මතුත් උපත ලබන්නටද හේතු වන්නේ මෙවන් පින්කම්ය.

විඤ්ඤාණ ශක්තියක් ක‍්‍රියාත්මක වන්නේ මෝහය පවතිනා නිසාමය. මෝහය යනු අඳුරු වී, කිළිටි වී කෙළෙස් වලින් චිත්තය වැසී යාමයි. මෙය කුණු කන්දරාවකින් චිත්තය වැසී  යාමකි.  ඒ  කුණු  ඉවත්  කර,  සළා  හැර,  ශුද්ධ  පවිත‍්‍ර  කර  ගත  හැකි  වන්නේ, ලෝකෝත්තර පින්කම් කර, කුසල් කර – ආයු, සැප, බල, වර්ණ, ප‍්‍රඥා යන සම්පත් ලබා ගැනීමෙන්ම පමණි.

ලෞකික වුවත් ලෝකෝත්තර වුවත් තමන් කරන පින්කම්වල සියලු ඵල විපාක උරුම වන්නේ තමාටමය. සුගතියක උපත ලැබීමට, දුගතියෙන් නිදහස් වීමට හා දුකෙන් නිදස් වීමට මඟ දැක ගැනීමට නැණ නුවණ පහළ වන්නේද මෙවැනි පින්කම් කිරීමෙහි ඵල විපාක ලෙසිනි.

මෙයට අමතරව ලෞකික හා ලෝකෝත්තර පින්කම් කිරීමෙන් තමන් උපයා ගන්නා පින, කිරණ ශක්තියක් ලෙසින් තව කෙනෙකුට පැවරීමට, පින් පැමිණ වීමට, පින් අනුමෝදනා කිරීමට, පින් ලබා දීමටද උපකාර වෙයි. සංසාරයේ ගමන් කළ දීර්ඝ කාලය තුළද, මේ ආත්මයේ උපන් දා සිට අද තෙක්, තමාට උදවු උපකාර කළ දෙමවුපියන්, වැඩිහිටියන්, සහෝදර සහෝදරියන්, නෑදෑයින්, සේවක ස්වාමි පක්‍ෂයත්, හරකුන්, බල්ලන් වැනි සතුන්ට පවා තමන් විශාල වශයෙන් ණයගැති බව සිතා ගත හැකිය. මෙවන් සියලු ණයෙන් නිදහස් විය හැකි එකම ක‍්‍රමය, උපයාගත් පින්කම් ඒ ඒ අයට පැවරීමෙන්, පින් ලබා දීමෙන් ණය ගෙවීම හා වන්දි ගෙවීමෙනි. තමන් කළ සියලු පින්කම් එවැනි අයට පවරා ණයෙන් වන්දියෙන් නිදහස් වීම, නිවන් දකින්නට අවශ්‍යයෙන්ම කරගත යුතු දෙයකි.

කුසල් යනු, කුණු සළා හැර ශුද්ධ පවිත‍්‍ර වීමයි. පින්කම් කිරීමේ දී මෙන් කිසිවක් එකතු කර ගැනීමක් කුසලය පිරීමේදී සිදු නොවේ. රාග, ද්වේෂ, මෝහ හෝ අලෝභ, අද්වේෂ, අමෝහ නිසා හෝ සත්ත්වයා තම තමන්ම එකතු කර ගත්, එකතු කර ගන්නා සියලු  කෙළෙස්  ගති,  චිත්තය  අඳුරු  කරන,  කිළිටි  කරන,  අපිරිසිදු  බවට  පත්  කරන දේවල්මය. වැරදි, ඇද, වංක, අපිරිසිදු ආදී පහත් ගති ලක්ෂණ පහ කර දමා, ඒවා සළා හැර, චිත්ත පාරිශුද්ධියට පත් කර ගැනීම කුසල් පිරීමයි. වැරදි චරියාවෙන්, දුෂ්චරිතයෙන් වැළකී, වැරදි අතහැර, අනාචාරය අතහැර, වංචාව අතහැර, ඇද නැතිව, පිරිසිදුව, පිවිතුරු වීම කුණු සළා හැරීමයි. එය කුසලය පිරීමයි. සංවර වීම, සංසිඳුවීම ඒ සඳහා උපකාර කරගත හැකි ක‍්‍රියාකාරකම් ය.

ලෞකික කුසලය

ලෞකික කුසල යනු දස අකුසලයෙන්, දස පාප ක‍්‍රියාවන්ගෙන්, දස දුෂ්චරිතවලින් වැළකී සිටීමයි. එවන් නුසුදුසු දේ අතහැර නිදහස් වීම ලෞකික කුසලයයි. ”වේරමණී සික්ඛා  පදං  සමාදියාමි”  යයි  සීලයක්  සමාදන්  වීමෙන්  උත්සාහ  දරන්නේද  මෙවන් අකුසලයෙන්  මිදීම,  නැති  නම්  මේ  ලෞකික  කුසලය  පිරීමයි.  මෙය  අධර්මයෙහි හැසිරීමෙන්  වැළකී  සිටීමයි.  පස්  පවින්,  දස  අකුසලෙන්  වැළකී  සිටීමයි.  පෘථග්ජන පුද්ගලයින් සිල් රකිනවා යනුවෙන් කරන්නේද මෙම ලෞකික කුසලය පුරා ගැනීමයි. මෙය වේරමණී සීලයෙහි කොටසක් පිරීමකි. පංච සීලයට අයත් චේතනා සීලය, සංවර සීලය, ප‍්‍රහාණ සීලය හා අවිතික්කම සීලය පුරා ගත හැකි වන්නේ, ලෝකෝත්තර කුසලය පිරීමෙනි. නැතිනම් ලෝකෝත්තර කුසලය පිරීමෙන් ඒ සඳහන් කළ පංච සීලයේ කොටස් පූර්ණ වෙයි.

බුදුපියාණන් නිවන මඟ සොයා ලෝකයාට අරිය සීලය දේශණා කරන්නට පෙරද පන්සිල් සමාදන් වීමත්, විවිධ ආකාර වූ වත් රැුකීමත්, පෙහෙවස් සමාදන් වීමත්, ආගම් ගණනාවක මූලික ලක්ෂණ ලෙස පැවතුණි. එසේ නම් ලෞකික කුසලය හෙවත්, අකුසලය පහ කර නිදහස් වීම බුදුපියාණන් නිවන් මඟ සොයා ගන්නට පෙර පටන්ම පැවති එකකි.

අකුසල්  කිරීම,  පව්කම්  කිරීම  යනු  අයුතු  අසාධාරණ,  නොකටයුතු  දේ කිරීමයි. මෙවන් නොකටයුතු, නොකළයුතු දේ නොකර වැළකී සිටීම, පින්කමක් හෝ කුසලයක් විය නොහැකි බවද දැන් අවබෝධ කර ගත හැකි විය යුතුය. නමුත් මෙය ලෞකික කුසලයකි. වෙනත් විදියකින් කීවොත් අයුතු, අසාධාරණ, නොකටයුතුවලින් එවන් පාපකාරී ක‍්‍රියා, වදන්, සිතුවිලිවලින් ඉවත් වී, ඒවා සළාහැර, සිත පවිත‍්‍ර කර ගැනීම ලෞකික කුසලය පිරීමයි. පෘතග්ජන පුද්ගලයෙකු, සත්ත්වයෙකු සංසාරය පුරාම කර ගන්නේ, අහක යන කුණු එකතු කර ගෙන තම මල්ල පුරවා ගැනීමයි. එකතු කර ගත්, පුරවා ගත් කුණුවල බර තමන්ම ඇද්ද යුතුය.

අකුසලයෙන් මිදී වැළකී සිටීමට නම්, යම් කෙනෙකු හේතුඵල දහම ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සත්‍යය යම් තරමකින්වත් දැනගත යුතුය. හොඳ – නරක, යහපත – අයහපත, ලාභ – අලාභ ලෙස මසැසට පෙනෙන දේ සත්‍යය විය හැකි නොවේ. නැති නම් හැම විටම පරම සත්‍යය නොවේ. ඒ නිසා ධර්මයට බහා බැලීමෙන්ම, හේතුඵල ධර්මයට බහා බැලීමෙන්ම ඒවායේ පරම සත්‍යය ස්වරූපය යථාවබෝධයෙන් දැකගත යුතුය.

එකතුකර ගත් බලවත් කුණු කන්දරාව නිසාම, කෙළෙස් නිසාම, සිතෙහි අඳුරු බව නැති  නම්  මෝහ  පටලයෙන්  සත්‍යය  වැසී  යාම  නිසාම,  හේතු  ඵල  දහමේ  සත්‍යය ස්වභාවය, ධර්මතාවය දැක ගත නොහැකි වෙයි. දැඩි මෝහයෙන්, අවිද්‍යාවෙන් වැසී අඳුරු වූ සිතක් සහිත සත්ත්වයෙකුයට, හේතු ඵල ධර්මය ගැන සිතන්නටවත් නොහැකිය. එවන්

තත්ත්වයක් යටතේ පව්කම් කිරීම, අකුසල් කිරීම තරම් සතුටක්, වින්දනයක්, ප‍්‍රියමනාප දෙයක්, වටිනා දෙයක්, ඒ සත්ත්වයාට තවත් නැත. එවැනි පව්කම් කෙරෙහි ගිජු බවක් ඒ සත්ත්වයාගේ සිතෙහි පහළ වෙයි. එය අවිද්‍යාවේ නොදන්නාකමේ උග‍්‍රම තත්ත්වයයි. සෑම පව්කමක්ම, අකුසලයක්ම කරන කලට ඒවා ප‍්‍රියජනක, සැප සුව වින්දනයන් ලෙසම දකින්නේ, තමන් කරන, කියන, හිතන එවැනි දෙයෙහි එල විපාක කොයි ආකාරයකින් තමාටම ආපසු ලැබේදැයි, යාන්තමින්වත් සිතා ගන්නට නොහැකි වීම නිසාමය. එය මෝහයයි. වෙන කෙනෙකුට වන අසාධාරණය හෝ අවැඩ, ස්වභාවධර්මයට වන අවැඩ හෝ අසාධාරණය, සමාජයට වන අවැඩ හෝ අසාධාරණය ගැනවත් කිසිම තැකීමක්, දැනීමක් නැති වන්නේ, ඒ අවස්ථාවේ ලබන තෘප්තිය, ප‍්‍රියමනාප බව මතම පමණක් තීරණය කර, නිගමනය කර කටයුතු කිරීම නිසයි. එය මෝහයයි.

ධර්මාවබෝධය යනු, තමා කරන, කියන, හිතන මෙවන් දේවල් නිසා හේතුඵල දහමට අනුව තමන්ටම ආපසු ලැබෙන ඵල විපාකවල සත්‍යය දැකීමයි. ඒ සඳහා නුවණ, ප‍්‍රඥාව  තරමක්  දුරට  හෝ  තිබිය  යුතුය.  මසැසට  පෙනෙන  දේ  මෝහයෙන්  යුතු විඤ්ඤාණයට දැනෙන දැනීම, සත්‍යයෙන් තොර මායා දෘෂ්ඨියක් බවත්, මෙහි පරම ප‍්‍රකෘති තත්ත්වය දැකීමට, ප‍්‍රඥාව උපකාර කර ගත යුතු බවත්, හේතුඵල ධර්මතාවයට බහා බැලීමට පුරුදු පුහුණු කරගත යුතු බවත් අවබෝධ කරගත යුතුය.

ප‍්‍රඥාව හා මෝහය කාසියක දෙපැත්ත මෙනි. මේ දෙකම එක සිතක එකවර පහළ විය නොහැකිය. ලෝකෝත්තර කුුසල් පිරීම යනු මෝහයෙන් මිදී නිදහස් වීම, කිළිටි, අඳුරු, කුණු සළා හැර නිදහස් වීමයි. ප‍්‍රඥාව උදාකර ගත හැකි වන්නේ, මෙවන් කාලයක් තිස්සේ එකතු කරගත්, මුල් බැසගත් කෙළෙස් ගති උදුරා දමා, මුල් බැසගත් කුණු තට්ටු ශුද්ධ කර ගැනීමෙන් පමණි.

ලෝකෝත්තර කුසලය

ලෝකෝත්තර කුසලය පිරීම යනු කුමක්දැයි තේරුම් ගෙන, ලෝකෝත්තර කුසල පිරීමට ප‍්‍රායෝගිකව කළ යුතු දේ දැන ගෙන, යථාවබෝධයෙන් කටයුතු කිරීම මෝහයෙන් මිදී නිවන් අවබෝධ කර ගැනීමයි. ලෝකෝත්තර කුසල් පිරීම යනු, කිසියම් දෙයක් එකතු කර ගැනීමක් නොවේ. එකතු කර ගත් කෙළෙස් ගති සළා හැර, ප‍්‍රහාණය කිරීමකි. ඒ නිසා ලෝකෝත්තර කුසලය, කිසිවිටකත් ඵල විපාක දෙන එකක් නොවේ. අතහැර මිදී නිදහස් වීම ඵල විපාක ද අත්හැර මිදී නිදහස් වීමකි.

සීලයෙහි  සිත  පිහිටුවීමෙන්  ළය  සිසිල්  වූ  විට  සමාධිය,  ශ‍්‍රද්ධාව,  බුද්ධ  ඥාණ ක‍්‍රමයෙන් වැඩෙන නිසා, ප‍්‍රඥා විමුක්තිය ළඟා කර ගැනීමට අනුගමනය කළ යුතු ධම්මානු ධම්ම ප‍්‍රතිපත්තිය බුද්ධියට වැටහෙයි. ඒ සඳහා බාහිර ගුරුවරයෙකුගේ උපදෙස්, මඟ පෙන්වීමේ අවශ්‍යතාවයක් ඉන් පසු අවශ්‍ය නොවන බව බුද්ධියට වැටහෙයි.

කර්මජ කෝෂවල මෙතෙක් කලක් තිස්සේ එකතු කර ගෙන පවත්වාගෙන ආ රාග,ද්වේෂ, මෝහ සහිත චිත්තජ ශක්තීන්, මතක සටහන් ලෙස එකතු වී රැඳී පවතී. ඒවා ඛය කර දමා, ප‍්‍රහාණය කර දමා, දවා හැර, ක‍්‍රමයෙන් කර්මජ කෝෂය ශුද්ධ කර ගත යුතුය. එය ලෝභක්ඛය කිරීම, ද්වේෂක්ඛය කිරීම, මෝහක්ඛය කිරීම ලෙස පෙන්වා දුන් ක‍්‍රියාවලියයි. පිරිසිදු චිත්ත තත්ත්වය මතු කර ගත හැක්කේ, විඤ්ඤාණ තත්ත්වයේ දී සිතෙහි පැවති කෙළෙස් ගති, සියලු කුණු දැක, ඒවා සළා හැරීමෙනි. මෙය ලෝකෝත්තර කුණු සළා හැරීම, ලෝකෝත්තර කුසලය පිරීමයි. මේ සඳහා අනුගමනය කළ යුතු ක‍්‍රියා මාර්ගය පෙන්වා  දුන්නේ්,  අරිය  අෂ්ටාංගික  මාර්ගය  පිරීම  ලෙසයි.  අරිය  අෂ්ටාංගික  මාර්ගය අනුගමනය කිරීම, නිරෝධ ගාමිණී පටිපදාව පිරීම යනු, ලෝකෝත්තර කුසලය පිරීමම මිස වෙන එකක් නොවේ. මේ සඳහා ලෝකෝත්තර සම්මා දිට්ඨියේ සිට ඇති සම්මා අංග අට පූර්ණ කළ යුතු යි.

අෂ්ටාංගික මාර්ගය පිරීම යනු සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නමින් එන පද වැල්වල වචන කියවීම නොවේ. ඒ වචන කියවීම භාවනාවක් ද නොවේ. මේ වචන කියවීමෙන් මෙතෙක් සංසාරයේ එකතු කර ගත් කුණු සළා හැරීමක් ද සිදු නොවේ.

ලෝකෝත්තර සම්මා දිට්ඨියේ සිට සම්මා සමාධිය තෙක් ඇති අංගවල සම්මා යන වචනයේ තේරුම නිවැරදිව තේරුම් ගෙන, ප‍්‍රඥාවෙන් දැන, කළ යුතු කි‍්‍රයාවලිය අවබෝධ කරගෙන  ප‍්‍රායෝගිකවම  ඒ  කිරීමෙන්ම  ප‍්‍රඥා  විමුක්තිය  ලබගත  හැක.  ”සංවරේන පහාතබ්බා” යනුවෙන් බුදුපියාණන් දේශණා කර වදාළේ මෙයයි. ”සං” වලින් මිදී නිදහස් වීම සම්මා වීමයි. සංවර වීම, සංසිඳ වීම, ”සංමා” වීම යනු එකතු කරගත් කුණු සළා හැර ශුද්ධ වීමමයි.

සම්මා දිට්ඨියේ සම්මා දිට්ඨිය දැක ගත යුතුයි. එය නම් ”සං” එකතුවන බවත් ”සං” උපදින ආකාරයත් දැක ගැනීමයි. ”සං” වරා පිරිසුදුව ශුද්ධ කර ගත හැකි  බවත් දැකිය යුතුයි. එය සම්මා දිට්ඨියේ සම්මා සතියෙහි පිහිටීමයි. දැකීමයි. සම්මා දිට්ඨියේ සම්මා වායාම පිරීම ඊළඟට කරගත යුතු දෙයයි. එනම් දැක ගත් ”සං” වලින් මිදී නිදහස් වීමට වායාමයක්, උත්සාහයක් දැරීමයි.

සම්මා සංකප්ප යනු ”සං” වලින් මිදෙන්නට ගත යුතු පියවර ගන්නට ”සං” උපද වන කාල පරාසය දැකිය යුතුයි යන්නයි. නෙක්ඛම්ම, අවිහිංසා, අව්‍යාපාද යන තත්ත්වයට පත් විය හැක්කේ, කුණු සළා හැර ”සං” එකතු කිරීම නැවැත්වීමෙන් පසුව බව දැක, සම්මා සංකප්පයේ සම්මා දිට්ඨියත්, සම්මා සංකප්පයේ සම්මා සතියෙහි පිහිටීමත් සිදු වූ පසු, සම්මා සංකප්පයේ සම්මා වායාමය පිරිය යුතුය.

සම්මා වාචා සඳහා ද ”සං” එකතු කිරීම නවත්වන කුණු සළා හරින වචන, සම්මා වාචාහි සම්මා දිට්ඨියෙන් දැක, සම්මා වාචා සඳහා සම්මා සතියෙහි පිහිටා, සම්මා වාචා පවත්වා ගෙන යාමට සම්මා වාචාහි, සම්මා වායාමය පිරිය යුතුයි.

සම්මා කම්මන්තයෙහි ද සම්මා දිට්ඨිය දැක, සම්මා කම්මන්තයෙහි සම්මා සතියෙහි පිහිටා, සම්මා කම්මන්තයෙහි සම්මා වායාමය පිිරීමෙන්, කුණු සහිත සියලු ක‍්‍රියාවන් සළා හැර ශුද්ධ විය හැකිය.

සම්මා ආජීවය යනු දිරණ, ජරාවතක් පැවැත්වීම සඳහා උපකාර වන දේ දැක, සම්මා ආජීවයේ සම්මා දිට්ඨිය අවබෝධ කර ගෙන, සම්මා ආජීවයේ සම්මා සතියෙහි පිහිටා, සම්මා ආජීවයේ සම්මා වායාමයෙහි යෙදිය යුතුය.

මේ ආකාරයෙන් සම්මා වායාමය හා සම්මා සතියද සම්පූර්ණ කරගත් පසු සම්මා සමාධියෙහි පිහිටීම ඉබේ ම සිදුවන දෙයකි. අනිකුත් අංග පූර්ණ කර සියලු ”සං” වලින් මිදී, කුණු සළා හැර නිදහස් ව පිරිසිදු වූ කළ එය සම්මා සමාධියට පත් වීමයි.

සම්මා සමාධියට පත් වීමෙන් සම්මා ඥාණ ලැබෙයි. මෝහයෙන් තොර ප‍්‍රඥාව උදා වෙයි. සම්මා ඥාණ නිසා සම්මා විමුක්තිය ලැබෙයි. මෙය චේතෝ විමුක්තිය හා ප‍්‍රඥා විමුක්තිය දෙකම පූර්ණ වීම යි. නිවන් දැකීම යි.

පින් පැමිණවීම හා මෙත් වැඩීම

පුද්ගලයෙකු, සත්ත්වයෙකු තම චිත්තසංථානයේ උපදින සංඛාරවලින් චිත්තජ ශක්තීන් උපදවා ගනී. අවස්ථා නවයම, ආදී නවය පසු කර චිත්තජ රූප ලෙස බිහි වී කර්මජ  රූප  ලෙසින්  ඒ  ඒ  සත්ත්වයාගේම  කර්මජ  කෝෂයේ  තැන්පත්  වෙයි. සෑම සත්ත්වයෙකුටම මතු ඵල විපාක ලැබීමට උරුම වන මේ කර්මජ රූප, පින් – පව්, අකුසල් ආදී ලෙස බෙදා වෙන් කළ හැකි බව මුලින් ද පෙන්වා දුනි. මෙසේ තැන්පත් වී පවතින කර්මජ රූපයන්, කර්මජ ශක්තීන්, අවස්ථාවක් ලද වහාම ඵල විපාක ලබා දෙයි. අපි පින් – පව්, අකුසල් ලෙස හඳුන්වන්නේ ඒ ඒ සත්ත්වයාම, තම තමන් විසින්ම දැන හෝ නොදැන රැස් කර ගත් දේවල් ය. තම තමන්ම නිපැද වූ කර්මජ රූප, කර්මජ කෝෂයේ පවතිනා තුරාවට, ඒවා වල විපාක ලැබීම ද නිරතුරුවම උරුමයෙන්ම ලැබෙයි. නැතිනම් කර්මජ රූප ගෙවා නිම කර දැමීම සඳහාම නැවත නැවතත් උපතක් ලබයි.

ඒ ඒ සත්ත්වයා තමා විසින්ම උපදවා තැන්පත් කර ගන්නා කර්මජ රූපවලට අමතරව ඵල විපාක ලැබිය හැකි බාහිරයෙන් ලැබෙන චිත්තජ ශක්තීන් කොටසක් ද තිබේ.

පහන් සිතින් පින්කමක් කර ගත් කෙනෙකුට ඒ පින් තවත් කෙනෙකුට පැවරිය හැකිය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා ගුණ පතුරුවා මෙත් වැඩිය හැකිය. එමෙන්ම වෛරී සිත උපදවා ශාප කළ හැකියි. මේ සියල්ල චිත්ත ශක්තීන් ය.

මේවාද චිත්ත ශක්තියෙන්ම ගොඩනඟා ගත් කර්මජ රූප නිසා ඒවායෙහි ද යම් කිසි බලපෑමක් තිබේ. තමාට මෙන්ම බාහිර ලෝකයට ද මේ බලපෑම ඇත.

පින්කමක් කර තම ඥාතියෙකුට, මිත‍්‍රයෙකුට හෝ පොදුවේ සියලු ලෝක සත්ත්වයාට ම ඒ පින පැවරිය හැකිය. ලබාදිය හැකිය. පින්කමක් කර ඉන් උපදවා ලත් පින් තවත් කෙනෙකුට පැවරූ නිසාම, පින්කම කළ පුද්ගලයාටත් පින් පැවැරෙන සත්ත්වයාටත් දෙදෙනාට ම එහි ඵල විපාක ලැබෙයි. පින් දීම නිසා, පින් පැවරීම නිසා, පින්කම කළ පුද්ගලයාගේ කර්මජ කෝෂයේ තැන්පත් වන කර්මජ ශක්තිය,ගුණාකාරයෙන් බලවත් වෙයි. පිනෙහි ඵල විපාක බලවත් වෙයි. ඥාතියෙකු මිය ගිය පසු දන් පින්කම් කර පින් පවරන්නේ, පින් අනුමෝදන් කරන්නේ මේ පරමාර්ථය ඇතිවය. මෙහි ඵල විපාක සොයා බැලුවොත් පින් පැමිණ වීම ද, පැතිර වීම ද, පින් පිහිටු වීම ද චිත්ත ශක්තියකින් ම කළ යුතුය. දුන් දානමානාදියෙහි භෞතික ලොකු කුඩා කම් අනුව නොව, චිත්ත ශක්තියෙන් පැතිරූ චිත්ත කිරණවල ප‍්‍රමාණයෙන්, චිත්ත ශක්තියේ ශක්ති ප‍්‍රමාණය අනුවම පින් පැවැරුණු පුද්ගලයාට පින් පිහිට වෙයි. මෙහිදී ද වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර ක‍්‍රියාත්මක වී, චිත්තජ රූප බිහි වී, කර්මජ රූප බවට පත් වී ඵල විපාක ලබාදෙයි.

එසේ පවරන පින්, පින් පැවරෙන පුද්ගලයාට හෝ සත්ත්වයාට හෝ  උපකාර වන, පිහිට වන ආකාරය ද සළකා බැලිය හැකිය. පින් ලබා ගැනීමට සුදුසු පරිසරයක, සුදුසු උප්පත්තියක් ලබා සිටින කෙනෙකුට ද මේ පින් පහසුවෙන්ම ලැබෙයි. පින් බලාපොරොත්තුව සිටිනා කෙනෙකුටද මේ පින් ලබා ගත හැකිය. එවන් ඥාතියෙකුට, මළගිය කෙනෙකුට පින් පැවරූ මොහොතේ පටන්ම පින් ඵල දී, අගතියෙන්, දුකින් මිදී යාමට ඒ පින් උපකාර කර ගත හැකිය. දුගතියෙන් මිදීමට යහපත් තැනක උපත ලැබීමට මෙවන් පින්කම් උපකාර වේ. පින් ලබා ගැනීමට නොහැකි සතර අපායක වැනි තැනක උපත ලබා ඇත්නම්, එවැනි පින් පැවරුවත්, ඒ පින්කම්වල ශක්තිය ඒ දුකින් මිදවීමට ප‍්‍රමාණවත් නොවේ. නමුත් එවැනි පැවැරූ පින්කම් ඒ මළගිය ප‍්‍රාණකාරයාගේ පුණ්‍ය කෝෂවල තැන්පත් වී, අවස්ථාවක් ලැබුණු අවස්ථාවක දී ඵල විපාක ගෙන දිය හැකිය. කාලයකට පසු අහෝසි වීමට ද ඉඩ තිබේ.

සතර අපායක උපන් සත්ත්වයෙකුට තමාම කර ගත් පව්කම් වල ශක්තිය බොහෝ බලවත් නිසා ඒවා ඵල දී අවසාන වනතුරු මෙසේ වෙනත් කෙනෙකු පැවැරූ සුළු පිනක් පවා ඵලදීමට අවස්ථාව නොලැබෙන්නට ඉඩ තිබේ. අනුන් පැවරූ පින තමන් කර ගත් පාපය අභිබවා යන්නට සමත් නොවේ. කෙසේ වුවත් එවැනි ඥාතියෙකුට, සත්ත්වයෙකුට සතර අපායේ දී කිසිම පින්කමක් කර ගන්නට ඉඩක් නැති නිසා, පව් පළ දී අවසාන වුවත්, සුගතියකට පත් වන්නට නම් තම ඥාතීන්ගෙන්, මිත‍්‍රයන්ගෙන් පින් ලැබෙන තුරු බලා සිටිය යුතුය. ඒ නිසා මිනිසුන් වූ අප සියලු සත්ත්වයන්ට පින පැවරීම, ඒ ඒ සත්ත්වයාට කවදා හෝ උපකාර වන නිසා යහපත් ක‍්‍රියාවකි.

ඒ නිසා මියගිය සත්ත්වයෙකු, ඥාතියෙකු පින් ගත්තත්, නොගත්තත් පින් පැවැරීම අපතේ යන දෙයක් නොවේ. ඒ නිසා දිනපතාම තමන් කරන පින්කම්වලින් කොටසක් සියලු ලෝක සත්ත්වයා වෙත පැවරීම, පිහිටුවීම, හැම මිනිසෙකුම කළ යුතු යුතුකමකි. ඊට හේතුව පින්කම් කර ගත හැක්කේ පින් පැවරීම කළ හැක්කේ මිනිසෙකුට ම පමණක් නිසාය.

මේ පින් පැවරීම යනු තමා එකතු කර ගන්නා කුණු සළා හැරීමක් ද වන බව ප‍්‍රඥාවෙන් කල්පනා කර හේතුඵල දහමට ගළපා බලන කෙනෙකුට පැහැදිළි විය යුතුය. ”තිරෝකුඞ්ඩ සූත‍්‍රය” යනු පසුව එකතු කර ගත් ලෞකික පර්මාර්ථයෙන් ලියූ එකක් යැයි විනයවර්ධනධාරීන් පවසන්නේ මේ යථාර්ථය නොදැනය.

සත්ත්වයාට සුගතියට පත් වීමටත්, දුගතියෙන් මිදීමටත්, දුකින් මිදී ලෞකික සැප සම්පත් ලැබීමටත් මේ පින් පැමිණ වීම, පින් ලබාදීම උපකාර වුවත්, නිවන් දැකීමට මෙවැනි පින්කම් කිසි ලෙසකින් උපකාර නොවන බව හැම කෙනෙකුටම හොඳින් සිහිපත් කරගත යුතු ය. නිවන් දැකීමට උපකාර වන්නේ කුසලයම පමණි. එය අනුන්නට කළ හැකි දෙයක් නොවන බව දැන් වැටහී ඇත. පින්කම් කර පින් පවරනු ලබන්නාට ද මෙම පින්කමේ යහපත් ඵල විපාක ගුණාකාරයෙන් වැඞී වර්ධනය වී ආපසු ලැබෙයි. පින් පැමිණවීමේ දී නිතරම මෙත් සිතක් ද, කරුණා සහගත සිතක් ද, උපේක්‍ඛා සහගත සිතක් ද පතුරන  නිසා,  මෙයින්  උපදින  චිත්ත  ශක්තිය,  පැවරූ  පින්කමෙන්  ලැබෙන  බලයට ශක්තියට  වඩා  විශාල  වශයෙන්  පින්  පවරනු  ලබන්නා  වෙතම  ආපසු  ලැබේ.  එය ලෝකෝත්තර කුසලයක් ද වෙයි.

පින් පවරනු ලබන්නා හැම විමට ආපසු යමක් බලාපොරොත්තු නොවී, පිනක් හෝ බලාපොරොත්තු නොවී, අත්හැරීමේ බලාපොරොත්තුව ඇතිවම මේ පින් පැවරීම කළේ නම්, එය ලෝකෝත්තර කුසලයක් ද වේ. ඒ පින් පවරා ඉන් නිදහස් වීමත්, මතු ඵල විපාක දීමට ඇති කුණු සළා හැර ශුද්ධ වීමත් නිදහස් වීමක්ම වන නිසාය. තමා කරගත් පව්කම් සේම, පින්කම් ද තම පුණ්‍ය කෝෂවල, කර්මජ කෝෂයේ උපාදානය කරගෙන ඉතිරි වී පවතී නම්, ඒවා ඵල විපාක දීමට ද නැවත නැවතත් උපතක් ලැබිය යුතුමය. ඒ නිසා කිළිටි දේ, කුණු සහිත දේ පහකර ශුද්ධ වන්නා සේම මෙවැනි පින්කම්වලින් රැුස්කර ගත් සියලු චිත්තජ රූප ද, කර්මජ ශක්තීන් ලෙස චිත්තසංථානයේ තැන්පත් වී තිබේ නම්, ඒවා ද සළා හැරීම කුණු සළා හැරීමෙහි එක් කොටසකි. දිනපතා අනුන්ට පින් පවරා පරණ ණය ගෙවා, වන්දි ගෙවා, ලෝක සත්ත්වයා වෙත අනුකම්පාවෙන් පින් පමුණුවා, ඒවායින් ද නිදහස් වීම නිවන් දැකීමට අවශ්‍යම දෙයකි. එයද ලෝකෝත්තර කුසල් වැඞීමයි.

සිල්වතෙකුට, අරිය උත්තමයෙකුට පින් පැමිණ වීම සාමාන්‍ය ලෝක සත්ත්වයාට පින් පැමිණ වීමට වඩා ඉතා බලවත්ය. ඒ උත්තමයින් පින් බලාපොරොත්තු නැති නිසා, පින් භාර නොගන්නා නිසා එවැනි පින්කම් කිහිප ගුණයකින් බලවත් වී ආපසු පින් පැමිණවීම කළ අය වෙතම ලැබෙයි. මෙවැනි ආපසු ලැබෙන පින් ලෝකෝත්තර පින්කම් වන නිසා ඒවායේ ඵල විපාක ලෙසින් නැණ නුවණ පහළ වී කුසල් පුරා ගැනීමටත්, නිවන් මඟ අවබෝධ කර ගැනීමටත් උපකාර වෙයි.

මෙහි අනික් පැත්ත ද මෙතැන දී සළකා බැලීම වටී. සිල්වත් මහණ උතුමෙකුට, අරිය උත්තමයෙකුට, මහඅරහතුන්වහන්සේ කෙනෙකුට ආදී උත්තමයින්ටත්, බුදු, පසේ බුදුන් වහන්සේලාටත් යමෙකු අපවාද, අවමාන, හිංගි, හිංසා, වැරැුදි පාප ක‍්‍රියා කිරීම සිතෙන්, කි‍්‍රයාවෙන්, කථාවෙන් යන කුමන ආකාරයකින් හෝ කළත් එය පෘතග්ජන පුද්ගලයෙකුට  සංසාරයේ  විඳවන්නට,  ගෙවා  නිම  කරන්නට  නොහැකි  තරමේ  මහා පාපයක් වේ. ”ආර්යෝපවාදයන්” යනු මේවාය. එයට හේතුව එවැනි උත්තමයින් ඒ සියලු දේ අංශු මාත‍්‍රයකින්වත් භාර නොගන්නා නිසා, උපේක්‍ඛාවෙන් සළකා බැහැර කරන නිසා, ඒ පාප කර්මය කළ අය වෙතම ආපසු පාරා වළල්ලක් සේ දහස් ගුණයෙන් ශක්තිමත් වී ආපසු ලැබෙන නිසාය.

සියලුම මඟඵල ලාභී අරිය උත්තමයන් මේ තත්ත්වය හොඳින්ම වටහා ගෙන තමන් වරදින් පාපයෙන් මිදෙන්නා සේම, අනුන්ට ද වරදක් පාපයක් කර ගැනීමෙන් මුදවාලන්නට හැම විටම සිතා මතා ක‍්‍රියා කරති. අරිය උත්තමයන් තමන් ලබා ගත් මඟඵල පිළිබඳව පෘථග්ජන පුද්ගලයින්ට ප‍්‍රකාශ නොකරන්නේ ද මේ හේතුවෙන්මය. මඟඵල ප‍්‍රකාශ කිරීමෙන් වන සීමිත යහපතට වඩා, මඟඵල ප‍්‍රකාශ කිරීමෙන් පෘථග්ජනයා කර ගන්නා අසීමිත ආර්යෝපවාදයන්ගෙන් ඔවුන් වළකා ගැනීම සඳහා ම එසේ ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටී.

මෙත් වැඞීම, මෙත් සිත පැතිර වීම පින් පැමිණ වීමට වඩා දහස් ගුණයෙන් බලවත් යහපත් දෙයකි. නමුත් ඒ සඳහා අද භාවිත කරන ලෞකික මෙත් වැඞීම නොව පරම මෙත් භාවනාවක්ම භාවිතා කිරීමෙන් එකම උත්සාහයෙන්, ලෞකික කුසලයක් හා ලෝකෝත්තර කුසලයක්ද වඩා ගත හැකිය. අද භාවිතා කරන ”මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා, නිවන් දකිම්වා” වැනි ලෞකික භාවනා කිසිසේත්ම ලෞකික හෝ ලෝකෝත්තර කුණු සළා හැර කුසල් පිරීමට තරම් හැකියාවක් නැති මමත්වය වඩවන එකක් පමණක් බව දැන, දැක පරම මෙත් භාවනාවක් යනු කුමක්දැයි යථාවබෝධයෙන් ම දැන, එය කරන්නේ නම් මහඟු ප‍්‍රතිඵල ලැබිය හැකිය.

පරම මෙත් වැඞීම යනු කුමක්දැයි අසා දැන එහි තේරුම හා හරය වටහා ගෙන, සියලු ලෝක සත්ත්වයාට සම මෙත පැතිර වීම, පින් පැමිණ වීම මෙන් දහස් ගුණයකින් බලවත් ලෙස ඵල විපාක දෙන කුසල කර්මයකි. කායික, මානසික සුවයක් මෙන්ම ලෞකික, ලෝකෝත්තර කුසලයක් ද මෙත් සිත වඩවන්නාට ඉන් අයිති වෙයි.

මෙත් සිතින් සමස්ත ලෝක සත්ත්වයා වෙත සම මෙත පැතිර වීම යහපත් ප‍්‍රතිඵල දෙන ක‍්‍රියාවකි. සිතුවිල්ලකි. මෙහිද විරුද්ධ පැත්තක් ඇත. එය නම් වෛරී, ක්‍රෝධ සිතින් ලෝක සත්ත්වයා වෙත ශාප කිරීම, පළි ගැසීම, යැදීම, යාඥා කිරීම හෝ කන්නලව් කිරීම වැනි නොහොබිනා ක‍්‍රියාවෝය.

මෙවැනි නොහොබිනා සිතුවිල්ලක්, ක‍්‍රියාවක්, කථාවක් කරන පුද්ගලයා වෙතම අනිවාර්යයෙන්ම එහි ඵල විපාක ලැබෙයි. තමා කළ දේ බිහි කළ ශක්තිය අනුන් වෙත යනවාට වඩා වැඩි වේගයකින්, වැඩි ප‍්‍රමාණයකින් තමා වෙත ආපසු එයි. ”ඒකට හෙණ හතක් වදින්න  ඕනෙ,” “නයා කාල මැරෙන්න  ඕනෙ”, ”හතරට පැලෙන්න  ඕනෑ” ආදී වෛරී වචන පිට කරන විටම තමා චිත්තජ ශක්තියක් බිහි කර, තම කර්මජ කෝෂයේ එය තැන්පත් කර ගනී. එය තමාට මතු කවදා හෝ ඵල විපාක දෙන දෙයකි. තමා ද්වේෂයෙන්, ක්‍රෝධයෙන් කළ ක‍්‍රියාව නිසා තම චිත්තසංථානය අපිරිසිදු වීම, කිළිටි වීම ඒ මොහොතේම සිදු විය. මෝහය නිසා තමන් කළ ක‍්‍රියාවේ, කළ කතාවේ ඵල විපාක තමන්ටම ආපසු ලැබෙන බව, තම සිතම කිළිටි වූ බව දැක ගත නොහැකි වෙයි. නමුත් ඵල විපාක නම් අනිවාර්යයෙන් තමන්ටම උරුම වෙයි.

ඒ ශාපය හෝ කතාව එල්ල කළ පුද්ගලයාට හෝ සත්ත්වයාට එය ඵල විපාක දෙන්නේ ඒ පුද්ගලයා හෝ සත්ත්වයා එය භාර ගතහොත් පමණි. කෝපයෙන්, වෛරයෙන්  එකෙක්  කළ  කතාව,  ක‍්‍රියාව  බාර  ගත්තේ  නම්,  බාරගත්  පුද්ගලයාට  ද එවෙලේම ඵල විපාක විඳිය හැක. ඒ තම සිත ද කිළිටි තත්ත්වයට පත් වී, වෛරී චිත්තජ ශක්තියක් බිහිකර, එවන් කර්මජ ශක්තියක් තම කර්ම කෝෂයේ ද තැන්පත් කර ගත් හෙයිනි.

නමුත් එවැනි ශාප, වෛරී ක‍්‍රියා භාර නොගෙන බැහැර කරන, උපේක්‍ඛාවෙන් ඉවසා වදාරණ කෙනෙකුට එහි ඵල විපාක කිසිවක් බලනොපායි. අරිය උත්තමයෙකු, මඟ ඵල ලාභියෙකු කිසි විටකත් මෙවැනි දේ කිසි ලෙසකින් භාර නොගන්නා නිසා, එවැනි උත්තමයෙකුට වෛරී සිතින්, ක්‍රෝධයෙන් යමක් කීවොත්, කළොත් පමණක් නොව එවැනි සිතුවිල්ලක් සිතූ පමණින්ම, එය ඒ උත්තමයා අංශු මාත‍්‍රයකින් හෝ ඒ භාර නොගන්නා නිසා, ඒ ක‍්‍රියාව කළ තැනැත්තා වෙතම ආපසු පාරා වළල්ලක් සේ ඵල විපාක ලැබෙයි. ඒ නිසා නිතරම එවැනි නොහොබිනා ක‍්‍රියාවලින්, සිතුවිලිවලින් වැළකී, ඒවා භාර නොගෙන සිටීම යහපත්ය.

දහසක් පින්කම් කරනවාට වඩා කුණු එකතු කර ගන්නා අකුසල්වලින් වැළකී සිටීම සුදුසුය. බලවත් පාප කර්ම නිතරම දිගුකාලීනව ඵල විපාක දීමට හේතු වන බැවින් සුළු පින්කම් හෝ අනුන් පවරන පිනෙන් හෝ ඒවා යටපත් කළ නොහැකිය.

පින්කම්  කිරීම,  කුසල්  වැඞීම  හා  මෙත්  සිත  පැතිර  වීම  යනාදියෙහි  තේරුම නිවැරදිව වටහා ගෙන, තෝරා බේරා භාවිතා කිරීමෙන්, චේතෝ විමුක්තියත්, ප‍්‍රඥා විමුක්තියත් ලබා නිවන් අවබෝධ කර ගැනීමට හැම මිනිසෙකුටම උපකාර වේ.

මෙහි සඳහන් කරන්නට යෙදුණු කරුණු කාරණා කිසිවෙකුගේ හිත රිදවන්නට හෝ කාට හෝ දෝෂාරෝපණයක් කරන්නට හෝ කාගේ හෝ සම්පත් අහිමි කරන්නට හෝ ජනප‍්‍රියත්වය නැති කරන්නට හෝ එවන් කිසිදු බලාපොරොත්තුවකින් ලියූ දේ නොවේ. නිවන් අවබෝධ කර ගන්නට, විමුක්තිය ලබා ගන්නට ඒ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ඉදිරිපත් කළ පරම පවිත‍්‍ර සිරි සද්ධර්මය මිනිසෙකුට මනස මෙහෙයවා අදද අවබෝධ කරගත හැකි තත්ත්වයක පවතින බව පැහැදිළි කර දෙන්නට ගත් උත්සාහයක් පමණි. ලෝකය පුරා සිටින බුද්ධ ධර්මය සොයා යන පින්වත් පිරිසට ධර්මය කුමක්ද, අධර්මය කුමක් දැයි තෝරා බේරා ගැනීමට යම් පිටිවහලක් ලැබෙයි නම්, ඒ ප‍්‍රතිඵලය සෑහීමට පත් විය හැකි එකකි. බුද්ධියෙන් සිතා බලා නිවැරදි දේ ගෙන, වැරැුදි දේ අතහැර කටයුතු කිරීම විමුක්තියයි. ඒ සඳහා මිනිසුන් පුහුණු කිරීම බුද්ධ ධර්මයයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.