බුද්ධ ඥාණ

“ඉමානි තෙසත්තති ඤාණනි, ඉමෙසං තෙසත්තියා ඤාණනං, සත්තසට්ඨි ඤාණානි සාවක සාධාරණානි, ජ ඤාණානි අසාධරාණානි සාවකේහි.”

බුද්ධ ඥාණයන් (73) හැත්තෑ තුනකි. මෙයින් හැට හතක් (67) බුද්ධ ඤාණයන් ශ‍්‍රාවකයන්ටද සාධාරණය. දරාගත හැකිය. බුද්ධ ඥාණයන් (6) හයක් ලොව්තුරා බුද්ධ තත්වයට පත්වු උතුමෙකුට පමණක් දරාගත හැකිය. ඒවා අසාධාරණ බුද්ධ ඥාණයන් ලෙසින් විග‍්‍රහ වෙයි.

බුද්ධ ඥාණයන් යනු කෙලෙස් බව උදුරා දමන්නට උපකාර වන්නාවූ ඥාණයන්ය. කෙලෙස් බව සහමුලින්ම උදුරා දැමු උතුමෙකුට උරුමයෙන්ම අයිතිවන දරාගත හැකි, ලබා ගත හැකි ඥාණයන් බුද්ධ ඥාණයන් ලෙසින් නම්කර ඇත. කෙලෙස් බව යනු රාග බව, ද්වේෂ බව හා මෝහ බව යන තුන් ”භව” වේ. මේ සසර ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්නට නියත ලෙසින්ම උපකාර වන්නේ රාග බව, ද්වේෂ බව හා මෝහ බව දිගින් දිගටම යලි යලිත් සිතක උපත ලැබීමයි. ”භව” උදුරා අස්කර ඉවත් කර දමන තුරාවට භව උත්පාදවෙයි. ”සංභව”, පුනබ්බව වෙයි. පුනබ්බව යනු පුන, පුනාම යලි යලිත්, මතු මතුවටත් නොනවත්වාම භව බිහිවීමයි. යම් දිනයකදී යමෙක් භව සහමුලින්ම උදුරා අස්කර දැමුයේ නම් එදිනට ”නත්ථි දානි පුනබ්බවෝ” යනුවෙන් තමන්ටම ප‍්‍රකාශ කළ හැකි වෙයි. ”අයමන්තිමා ජාති, නත්ථි දානි පුනබ්බවෝති” යනුවෙන් ධම්ම චක්කපවත්තන සූත‍්‍ර දේශණාවේදී පෙන්වා වදාළේ මෙම ධර්මතාවයයි. භව උදුරා දමා පැවැත්ම අවසන් කිරීමයි.

මේ අනුව බුද්ධ ඥාණයන් යනු ”භව” උදුරා දමන්නට උපකාරක ධර්මයෝ ලෙසින් පැහැදිලි කළහ. හැම බුද්ධ ඥාණයක්ම ලබා ගැනීමට නම් පඤ්ඤා (ප‍්‍රඥාව) මූලික විය යුතුමය. පහත විග‍්‍රහ වන සියලුම බුද්ධ ඥාණයන් පිළිබඳව කරණ මෙම විග‍්‍රයේ කොටස් දෙකක් ඔබට දැක ගත හැකි විය යුතුය. ”සෝතාවධානයේ පඤ්ඤා, සුතමයේ ඤාණං” යන පළමුවන බුද්ධ ඥාණය විග‍්‍රහ කරන තැන පටන්ම සියලුම බුද්ධ ඥාණවල කොටස් දෙකක් විග‍්‍රහ වී ඇති බව තේරුම් ගත යුතුය.

මෙයින් පළමුව විග‍්‍රහ වන්නේ ප‍්‍රඥාවයි (පඤ්ඤා) ප‍්‍රඥාව නැතිව බුද්ධ ඥාණ උත්පාදනය හෝ කි‍්‍රයාත්මක වීම නොවන බවයි. එසේත් නැතිනම් හැම බුද්ධ ඥාණයක් ලබන්නටම (භව උදුරා දමන්නට) ප‍්‍රඥාව අත්‍යාවශ්‍යම ශක්තියක් හා බලයක් බවයි. බුද්ධ ඥාණ යනු කෙලෙස් භව සිතින් උදුරා දැමීමයි. කෙලෙස් ගති සිතින් උදුරා ඉවත්කර අස් කර සහමුලින්ම කෙලෙස් වලින් මිදී නිදහස් විය හැක්කේ ප‍්‍රඥාව මතුකර ගැනීමෙනි. (පඤ්ඤා උදපාදි) මෙහිදී ප‍්‍රඥාවෙන් කෙරෙන්නේ කෙලෙස් ප‍්‍රහාණය කර කෙලෙස් මුල් පහදා කෙලෙස් මුල් උදුරා දමන්නට අවශ්‍ය සිතක ශුද්ධ පවිත‍්‍ර කිරීම කි‍්‍රයාත්මක කිරීමයි. මෙතැනදී බුද්ධ ඥාණයන් ලබා ගැනීමට නම් පඤ්ඤා ශක්තිය අවශ්‍යම බව පැහැදිලි කලත් ප‍්‍රඥාව ලැබෙන්නේද තනිවම නොවේ. එයටම අනුපුරක තවත් කාරණාවෝ කිහිපයක්ම ඇත. සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන පංච ඉන්ද්‍රියයන්, පංච බලයන් ඊට පුබ්බංගම වෙයි. එනම් අනුපුරක වෙයි. සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන අංග පහන්ම විග‍්‍රහ කරණු ලබන්නේ කෙලෙස් භව මුලින්ම උදුරා දමන්නට උපකාරක වනසේ සිත පහදා, කෙලෙස් මුල් දැන තෝරා බේරා ගෙන උදුරා ඉවත් කළ යුතු දේ තීරණය කිරීමයි. (තීරණ පරිඤ්ඤා) පටිසම්භිදා මග්ග ප‍්‍රකරණයේ මාගධි බසින් විග‍්‍රහ කරනු ලබන ආකාරයට ඉතාමත් කෙටියෙන් මෙම බුද්ධ ඥාණයන් හැත්තෑ තුන (73) පිළිබඳව මෙහි විග‍්‍රහයක් ඉදිරිපත් කරමි.

1. සෝතාවධානේ පඤ්ඤා – සුතමයේ ඥානං

කතමේ සෝතාවධානෙ පඤ්ඤා, සුතමයේ ඤාණං?
සබ්බේ සංඛාරා අනිච්චාති, සෝතාවධානං
තංපජානනා පඤ්ඤා සුතමයේ ඤාණං
සබ්බේ සංඛාරා දුක්ඛාතී සෝතාවධානං,
තංපජානනා පඤ්ඤා සුතමයේ ඤාණං,
සබ්බේ ධම්මා අනත්තාතී සෝතාවධානං,
තං පජානනා පඤ්ඤා සුතමයේ ඤාණං,
ඉමේ ධම්මා අභිඤ්ඤෙයාතී සෝතාවධානං,
තං පජානනා පඤ්ඤා සුතමයේ ඤාණං,
ඉමේ ධම්මා පරිඤ්ඤෙයියාතී සෝතාවධානං,
තංපජානනා පඤ්ඤා සුතමයේ ඤාණං,
ඉමේ ධම්මේ පහාතබ්බාතී සෝතාවධානං,
තං පජානනා පඤ්ඤා සුතමයේ ඤාණං,
ඉමේ ධම්මේ භාවේතබ්බාති සෝතාවධානං,
තංපජානනා පඤ්ඤා සුතමයේ ඥාණං,
ඉමේ ධම්මා සච්ජීකාතබ්බාතී සෝතාවධනං,
තංපජානනා පඤ්ඤා සුතමයේ ඤාණං”

ශාස්තෘන් වහන්සේ දේශනාකර වදාල ධර්මය පළමුව අවධානයෙන් යුතුව අසාදැන තම තමන්ගේ සිත තුළම උපත ලබන කෙලෙස් නැවත නැවතත් යලි යලිත් උපදින්නට හේතුවද අසා දැන, කෙලෙස් යලි නොඋපදින ලෙස උසස් මට්ටමෙන්ම යථාභූත ඥානයෙන් සත්‍යය දැක ගැනීම මෙම බුද්ධ ඥාණයයි. අනිච්ච, දුක්ඛ, අනත්ත යනාදී ති‍්‍රලක්ඛණය යථා පරිදි දැන දුක පිරිසිඳ දැක ගැනීම පළමුවන බුද්ධ ඤාණයේ අඩංගු වන හරයයි.

2. සුත්වාන සංවරේ පඤ්ඤා – සීලමයේ ඤාණං

සීලන්ති චේතනා සීලං, චේතිසික සීලං, සංවරෝ සීලං අවිතික්කමෝ සීලං කති ධම්ම සමෝදානං සීලන්ති – සංවරට්ඨේන සීලං, අවිතික්කමට්ඨේන සීලං, පහානට්ඨේන සීලං, වේරමණියා සීලං චේතනා සීලං පංච සීලානි

1. පරියන්ත පාරිශුද්ධ සීලං (අනුප සම්පන්න සීලය) (”සං” දැක නොගත්, ධම්මෝ සංදිට්ඨිකෝ නොවු අයගේ සීලය)
2. අපරියන්ත පාරිශුද්ධ සීලං (උපසම්පන්න පටිපදා)
3. පරිපුන්න පාරිශුද්ධ සීලං (සේඛපරියන්ත සීලය) සෝතාපන්න මාර්ග සීලය)
4. අපරාමට්ඨ පාරිශුද්ධ සිලං (සෝතාපන්න ආදි මගඵල ලැබුවන්ගේ සීලය)
5. පටිපස්සද්ධි පාරිශුද්ධි සීලන්ති (ලොව්තුරා බුද්ධ පච්චේක බුද්ධ, අරහත් බුද්ධ ආදී අරහතුන් වහන්සේලාගේ සීලය)

ඇසු ධර්මය අනුගමනය කිරීමෙන්, ඉන්ද්‍රිය සංවරය ආහාරේ මතඤ්ඤුතාව, ජාගරියං අනුයුක්තෝ යන ති‍්‍රවිධාකාර සංවරයෙන් යුතුව ජීවිත පැවැත්ම ගෙන යන්නේ සීලමයේ ඥාණයන් සම්පුර්ණ වී අනුක‍්‍රමයෙන් පෘථග්ජන කල්‍යාණ තත්වයේ සිට ක‍්‍රමයෙන් කෙලෙස් ප‍්‍රහාණය කරමින් අරහත් මගඵලයට පත්වන්නට උපකාර වන ප‍්‍රඥාව නිසා සීලමයේ ඤාණය නමැති බුද්ධ ඤාණය සම්පුර්ණ වන්නේය.

3. සංවරිත්ථා සමාදහනේ පඤ්ඤා – සමාධි භාවනාමයේ ඤාණං

“තං ඥාතට්ඨේන ඤාණං, පජානනට්ඨේන පඤ්ඤා තේන වුච්චති සංවරිත්වා සමාදහනේ පඤ්ඤා සමාධි භාවනාමයේ ඤාණං” මෙත්තානුස්සති වශයෙන් චිත්ත ඒකග්ගතාවයට පත්වීම සමාධියකි. අසුභානුස්සති වශයෙන් චිත්ත ඒකග්ගතාවයට පත්වීම සමාධියකි. මරණානුස්සති වශයෙන් හා බුද්ධනුස්සති වශයෙන් චිත්ත ඒකග්ගතාවයට පත්කරගැනීම සමාධියකි. මේ සතර කමටහන් නිවැරදිව අනුගමනය කිරීම මගින් කෙලෙස් භව උදුරා දමන්නට ඇතිවන හැකියාව ශක්තිය බුද්ධ ඥාණයකි. මෙහිදී ලෞකික වූ අනාර්ය සමාධියකුත්, ලෝකෝත්තර වූ විපස්සනා අනුපස්සනාවකුත් සම්පූර්ණ වීම සමාධිභාවනාමයේ ඤාණං නමැති බුද්ධ ඥාණයයි.

4. පච්චයපරිග්ගහේ පඤ්ඤා – ධම්මට්ඨිති ඤාණං

අවිජ්ජා සංඛාරානං උප්පාදට්ඨිති ච – පවත්තට්ඨිති ච – නිමිත්තට්ඨිතිච – ආයුහනට්ඨිති ච – සඤ්ඤෝගට්ඨිති ච – පලිබෝධට්ඨිතිච – සමුදයට්ඨිතිච – හේතුට්ඨිති ච – පච්චියට්ඨිති ච – ඉමෙහි නව ආකාරයෙහි අවිච්ජා පච්චයා සංඛාරා පච්චය සමුප්පන්නා, උබෝපේතේ ධම්මා පච්චයසමුප්පන්නාති – පච්චයා පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිති ඤාණ”

ධම්මට්ඨිති ඥාණං බුද්ධ ඥාණයකි. නව අකාර වූ අකුසල් සිත් උපදින්නට මුල්වූ හේතු වූ නිධාන වූ, ප‍්‍රත්‍ය වූ කරුනු යථාපරිදි දැනගෙන ප‍්‍රඥාවෙන් කෙලෙස් භව උදුරා දැමීම (පරිග්ග හේ) බුද්ධ ඥාණයකි. ”පටිච්ච” යනු මුල් වූ, නිධාන වූ, ප‍්‍රත්‍ය වූ හේතු යන්නයි. එම හේතුන් නිසා අවිද්‍යාව නිසා සංඛාර උපදවයි, පවත්වයි. නිමිති ඇති කරයි. ඒවා ඵල විපාක ලෙසින් උරුම කරදෙයි ආදි වශයෙන් මේවා දැක කෙලෙස් උදුරා දමන්නට උපකාර වන ඥාණය ධම්මට්ඨිති ඥානයයි.

5. අතීත, අනාගත, පච්චුප්පන්නා නං ධම්මානං සංඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා – සම්මස්සනේ ඥනං

යං කිංචි රූපං අතීතානාගතපච්චුප්පනානං අජ්ඣත්තංවා, බහිද්ධවා, ඕලාරිකං වා, සුඛුමංවා, හීනංවා, පණීතං වා, යංදූරේ වා, සත්තිකේ වා, සබ්බං රූපං අනිච්චතෝ වවතේථති, ඒකං සම්මස්සනං, දුක්ඛකෝ වවත්ථෙති, ඒකං සම්මස්සනං අනත්තතෝ වවත්ථෙති ඒකං සම්මස්සනං සම්මස්සන ඥනය බුද්ධ ඥානයකි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදී පංචස්කන්දයම අතීත අනාගත ආදී වශයෙන් වන එකලොස් ආකාරයෙන්ම සංඛාර වශයෙන් කි‍්‍රයාත්මක කර සිතකින්ම උපාදානය කරගනි. මෙසේ සිතකට ලැබෙන සියලු සංඛාර අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන්, මෙනෙහි කර ”සං” මස්සනය කිරීම සම්මස්සන ඥාණයයි. භව උදු රා දමන්නට බලවත් සේම උකාරවන්නේ මෙම ති‍්‍රලක්ඛණය මෙනෙහි කිරීමයි. ති‍්‍රලක්ඛණය යනු ”අනිච්ච, දුක්ඛ, අනත්ත” මිසක ”අනිත්‍යයි, දුකයි, අනාත්මයි” යන වැරදි පරිවර්ථනය නොවේ.

6. “පච්චුප්පන්නානං ධම්මානං විපරිනාම අනුපස්සනේ පඤ්ඤා – උදයබ්බයානු පස්සනේ ඤාණං”

”ජාතං රූපං පච්චුප්පන්නං, තස්ස නිබ්බත්ති තිලක්ඛණං උදයෝ, විපරිනාම ලක්ඛණං වයෝ, අනුපස්සණා ඤාණං” රූප, වේදනා, සංඥා ආදී උපාදානය කරගත හැකි සියලුම පංචස්කන්ද අංගයන්ම වත්මන් මොහොතේදී උපත ලබන්නේ සිතකමය. වර්තමානයේ සිතක උපත ලබන රූපාදී සියලු අරමුණු අභිනව තත්වයෙන් අලුතින් උපත ලැබීම උදය වීමයි. රූපාදී අරමුණු විපරිනාමයට පත්වීම වැයවී යාමයි. මේ උදය හා වැය වීම දැක ගැනීම උදයබ්බයානු පස්සනේ ඤාණයයි. මෙහි අදහස නොකඩවාම මෙසේ උදය වීම හා වැයවීම සිදුවන්නේ හේතුපල පරම්පරාවක් නිසා පමණක් බවත්, එය නිච්චවූ දෙයක් නොවන බවත් දැක ගැනීම පස්සනේ ඥාණයයි.

7. ආරම්මණං පටිස`ඞඛා භාංගානුපස්සනේ පඤ්ඤා විපස්සනේ ඤාණං

”රූපාරම්මණතා චිත්තං උප්පජ්ජිත්වා භිජ්ජති, තං ආරම්මණං පටිසංඛා තස්ස චිත්තස්ස භංගා අනුපස්සති”

අනිච්චතෝ අනුපස්සති – නො නිච්චතෝ
දුක්ඛතෝ අනුපස්සති – නො සුඛතෝ,
නොසුබ තෝ අනත්තතෝ අනුපස්සති – නො අත්තතෝ
නිබ්බිංදති – නො නන්දති, නො අභිනන්දති
විරජ්ජති – නො රජ්ජති,
නො රාගති නි රෝදෙති – නො සමුදේති
පටිනිස්සග්ගති – නො උපාදියති

අනිච්ච, දුක්ඛ, අනත්ත ත‍්‍රිලක්ඛණය නිවැරදිවම තේරුම් ගෙන අනුපස්සනා කිරීමෙන් නිච්ච, සුඛ, සුබ, අත්ත සංඥා ප‍්‍රහාණය කිරීම විපස්සනා ඥාණයයි. මෙය ත‍්‍රිලක්ඛණ භාවනාවයි. මරණානුස්සති භාවනාව හා බුද්ධානුස්සති භාවනාවයි. බුද්ධ භාවනාවක් ලෙසින් භාවනා කර කෙලෙස් මුල් (භව) කපා දමන්නට උපකාර වන්නේ මෙම විපස්සනා අනුපස්සනා භාවනාවන් යථාපරිදි තේරුම් ගෙන භාවනා කිරීමයි. ”හේතුං පටිච්ච සංභූතං, හේතු භංගා නිරුජඣති” යන්න අවබෝධ කරගැනීම ”පටිසංඛා භංග” කිරීමටද උපකාරක වෙයි. මෙය ප‍්‍රඥාවකි. එ් මගින් විපස්සනා අනුපස්සනා බුද්ධ ඥාණයන් ලැබෙයි. ”පටිසංඛා” සහ ”පච්චවෙක්ඛිතබ්බං” යන පද දෙකෙහි වෙනසක් ඇති බව මෙහිදී අවබෝධ කරගත යුතුය.

8. භයතුපට්ඨානේ පඤ්ඤා – ආදීනවේ ඤාණං

උප්පාදෝ භයන්ති, පවත්තං භයන්ති, නිමිත්තං භයන්ති, ආයුහනං භයන්ති, පටිසන්ධිං භයන්ති, ගතිං භයන්ති, නිබ්බත්තිං භයන්ති, උපප්පත්තිං භයන්ති, ජාති, ජරා ව්‍යාධි මරණ, ශෝක පරිදේව උපායාසෝ භයන්ති.

අනුප්පාදෝ ඛේමන්ති, අප්පටිසන්ධිං ඛේමන්ති. අගතිං ඛේමන්ත්ති අනිබ්බතිං ඛේමන්ති, අනුපපත්තිං ඛේමන්ති, අජාති, අජරා අව්‍යාධි, අමර, අශෝක අපරිදේව අනුපයාසෝ ඛේමන්ති. ඛේමන්ති සන්තිපදං ඤාණං, ආදීනවේ ඤාණං

උපත භයට හේතුවයි. අනුත්පාද වීම ශාන්ති පදයයි. නිවනයි. එය ඛේමං යන ශාන්ති පදයයි. ඛන්ති, ඛේමං යනු ශාන්ති පදයයි. භය යනු ඛේමං යන පදයේ විරුද්ධ පදයයි. භයෙන් මිදී නිදහස්වීම භයතු පට්ඨානේ පඤ්ඤායි. බයෙන් මිදී නිදහස් වීමම ආදීනවේ ඤාණය නමැති බුද්ධ ඤාණය අවබෝධ කරගැනීමයි. මේ පටිච්ච සමුප්පාද විග‍්‍රහයම වෙනත් ආකාරයකින් ඉදිරිපත් කිරීමකි. භයට මුලික හේතුව උපතයි. උපතින් මිදී නිදහස් වීමම ආදීනව ඤාණය අවබෝධ වීමයි.

9. මුංචිතුකම්‍යතා පටිසංඛා සන්තිට්ඨනා පඤ්ඤා සංඛාර උපෙක්ඛා ඤාණං

”සබ්බේ සංඛාරා අනිච්චාතී යථා පඤ්ඤාය පස්සති, අතනිබ්බිදෙති දුක්කේ ඒස මග්ගෝ විමුත්තියා”

සියලු සංඛාරයන් උපෙක්ඛා සිතින් ඉවසා විමසා බලා විමුක්තියට පත්වීමේ නිවී සැනසීම ලැබීමේ ඥාණය සංඛාර උපෙක්ඛා ඥාණයයි. මේ සඳහා උපකාර වන්නාවූ ප‍්‍රඥාව (පඤ්ඤා) මුංචිතුකම්‍යතා, පටිසංඛා, සන්තිට්ඨනා පඤ්ඤායි. මුංචිතුකම්‍යතා යනු – යථාභූත ඥාණය ලබාගෙන සිතේ නැවත, මතුවන කෙලෙස් ගති සිතින් උදුරා ගලවා ඉවත් කර දමන්නට කැමැත්තෙන්ම ක‍්‍රියාකරන්නට ලැබෙන ශක්තිය යන්නයි. (කෙලෙස් මුල් උදුරා දමන්නට කැමති වීම)

සිතකට ප‍්‍රිය මනාපවු, මිහිරිවු, සුවයි සුභයි කියා තීරණය කළදේ (සංඛාර) කැමැත්තෙන්ම සිතින් ඉවත්කර චේතෝ විමුක්තියත්, ප‍්‍රඥාවිමුක්තියත් ලැබීමට උපකාරවන්නේ සංඛාර උපේක්ඛා ඥාණය නමැති බුද්ධ ඤාණයයි.

පටිසංඛා – සන්තිට්ඨනා යනු ප‍්‍රත්‍යවේක්‍ෂා ඥාණයන් හා සිතේ ”සං” ක‍්‍රියාත්මක වන ආකාරය දැකීම (සම්මදක්ඛතා) පිළිබඳ ප‍්‍රඥාවයි. සංඛාර උපෙක්ඛා ඥාණය බුද්ධ ඥාණයන් (භව උදුරා දමන්නට උපකාරක ඥාණයන්) අතරින් ඉතාමත්ම බලවත් ඥාණයකි. ”කතීහාකාරේහි සංඛාර උපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරෝ හෝති – අට්ඨහාකාරේහි (8) සංඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනිහාරෝ හෝති, සංඛාර උපෙක්ඛා ඥාණය අට ආකාරය කින් විග‍්‍රහවෙයි. පෘතග්ජන පුද්ගලයින්ටද සංඛාර උපෙක්ඛා ඥාණය දෙයාකාරකින් අවබෝධ වෙයි. සෝතාපන්න ආදී මගපල ලැබු සේක. පුද්ගලයින්ට තුන් ආකාරයකින් සංඛාර උපේක්ඛා ඥාණය අවබෝධ වෙයි. වීතරාගස්ස වූ අරහතුන් වහන්සේලාට තුන් ආකාරයකින් සංඛාර උපේක්ඛා ඥානය අවබෝධ වෙයි.

මෙතුවක් කලක් සාරයි, වටිනවා, ප‍්‍රියයි මනාපයි කියා තීරණය කළ, ක‍්‍රියාත්මක කළ, රාගයෙන් ඇලීම, ද්වේෂයෙන් ගැටීම, මෝහයෙන් මැනීම යන ක‍්‍රියාවන්හි නිස්සාර බව, අනාථ බව, අසාර බව දැක කැමැත්තෙන්ම මෙවන් වූ කෙලෙස් ගති සිතින් උදුරා ඉවත් කර දැමීමේ ශක්තිය සංඛාර උපේක්ඛා ඥාණයයි. මේ කෙලෙස් කැමැත්තෙන්ම සිතින් උදුරා ඉවත්කර දමන්නටත්, කෙලෙස් මුල් උදුරා ඉවත් කළ බව ප‍්‍රත්‍යවේක්ඛා ඥාණයෙන් මෙනෙහි කරන්නටත්, ධම්මෝ සංදිට්ඨිකෝ තත්වයෙන් සං දැක ඉන් මිදී නිදහස් වන්නටත්, ඇති කැමැත්ත ප‍්‍රඥාවයි. මුංචිතුකම්‍යතා, පටිසංඛා, සංතිට්ඨනා යන පද තුනෙන්ම විග‍්‍රහකලේ සියලුම සංඛාරයෝ උපේක්ඛා සිතින් ඉවසා විමසා ක‍්‍රියාකරන්නට ලබාගත් ශක්තිය විග‍්‍රහ කිරීමයි. බුද්ධ ඥාණයන් යනු භව උදුරා දමන්නට උපකාර ඥාණයන්ය. රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට නියත වශයෙන්ම හා බලවත් ලෙසින්ම උපකාරවන ඥාණය සංඛාර උපේක්ඛා ඥාණයයි. සබ්බේ සංඛාරා අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව දැකගත හැකිවන්නේ මෙම බුද්ධ ඥාණයෙනි.

10. බහිද්ධා වුට්ඨානවිවට්ටනේ පඤ්ඤා ගෝත‍්‍රභූ ඤාණං

”උප්පාදං වුට්ඨාතීති ගෝත‍්‍රභූ, පවත්තං වුට්ඨාතීති ගෝත‍්‍රභූ නිමිත්ත වුට්ඨාතීති ගෝත‍්‍රභූ, ආයුහන වුට්ඨාතීති ගෝත‍්‍රභූ,…. බහිද්ධා සංඛාර නිමිත්තා වුට්ඨාතීති ගෝත‍්‍රභූ, බාහිද්ධා සංඛාර නිමිත්ත වුට්ඨහිත්වා නිරෝධා නිබ්බානං, පක්ඛන්‍දතීති ගෝත‍්‍ර භූ, බහිද්ධා සංඛාර නිමිත්තා විවට්ටතීති ගෝත‍්‍රභූ”

තම සිතින් කෙලෙස් මුල් උදුරා ඉවත් කර දමන පිරිසිදු චේතනාවෙන් යුක්තවීමත් අවිද්‍යා මූලයෙන් සිතේ උපත ලැබු අරමුණු, කි‍්‍රයාත්මකව පවතින, නිමිනි වශයෙන් ගන්නා, ගති හැටියට මුල්බැස ගන්නා කෙලෙස් ගති, දිගේ සිතෙන්ම රෝද නොකර ඒවා සිතින් උදුරා ඉවත් කර ඒවායින් මිදී නිදහස් වන ඤාණයත් ග්‍රෝතභූ ඥාණය වශයෙන් පෙන්වා දෙයි. මෙයද කෙලෙස් බව මුලින් උදුරා දමා සිත නිදහස් කර දමන්නට උපකාරක වන නිසා බුද්ධ ඥාණයකි.

11. දුභතෝ වුට්ඨාන විවට්ඨේන පඤ්ඤා මග්ගේ ඤාණං

සෝතාපත්ති මග්ගක්ඛනේ
i. දස්සනට්ඨෙන සම්මා දිට්ඨි, මිච්ඡදිට්ඨියා වුට්ඨාති, තදනුවත්තකකිලේසේහිච ඛන්දේහිච වුට්ඨාති, බහිද්ධ ච සබ්බ නිමිත්තේහි වුට්ඨාති තේන වුච්චති:”
ii. අභිනිරෝපනට්ඨේන සම්මාසංකප්පෝ, මිච්ඡ සංකප්පෝ වුට්ඨාති
iii. පරිග්ගහට්ඨේන සම්මා වාචා මිච්ඡවාචාය වුට්ඨති.
iv. සමුට්ඨානට්ඨේන සම්මා කම්මන්තෝ මිච්ඡ කම්මන්තෝ වුට්ඨති.
v. චෝදනට්ඨේන සම්මා ආජීවෝ මිච්ඡ ආජීවෝ වුට්ඨාතී.
vi. පග්ගහට්ඨේන සම්මා වායාමා මිච්ඡවායාමෝ වුට්ඨාතී.
vii. උපට්ඨානට්ඨේන සම්මා සති මිච්ඡ සතියා වුට්ඨාතී.
viii. අවික්ඛේපට්ඨේන සම්මා සමාධි මිච්ඡ සමාධිතෝ වුට්ඨාති.

මෙම බුද්ධ ඤාණය සෝතාපත්ති මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය හා අර්හත් මාර්ගය යන මාර්ග හතරම සම්පූර්ණ වීමට උපකාරක වන, සම්මා අංගයන් සම්පූර්ණ කරගන්නට අවශ්‍යවන කෙලෙස් උදුරා දමන ප‍්‍රඥාව විග‍්‍රහ කරදෙන්නකි. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙද්දී එක එකක්ම සම්මා අංගයන් සම්පූර්ණ වන්නේ තදින්ම මුල් බැසගත් කෙලෙස් මුල් එකිනෙකම උදුරා දැමීමෙනි. සම්මා දිට්ඨියට පත්වන්නේ මිච්ඡුා දිට්ඨියට හේතු වූ කෙලෙස් මුල් ගලවා දැමීමෙනි. (වැරදි දැක්ම) සම්මා සංකප්ප සම්පූර්ණ වන්නේ තදින්ම මුල්බැසගෙන පැවති මිත්‍යාසංකල්ප උදුරා දැමීමෙනි සම්මා වාචා සම්පූර්ණ වන්නේ තදින්ම මුල්බැසගෙන පැවති මිත්‍යා වාචාවට හේතු වූ කෙලෙස් මුල් ගලවා උදුරා දැමීමෙනි. සම්මා කම්මන්ත සම්පූර්ණ වන්නේ මිච්ඡ කම්මන්ත තත්වයට මුල් වූ කෙලෙස් මුල් සහමුලින්ම මුලින් උපුටා දැමීමෙනි. සම්මා ආජීව සම්පූර්ණවන්නේ මිච්ඡ ආජීවයට මුල් වූ තදින් බැසගත් කෙලෙස් මුල් සහමුලින්ම ගලවා ඉවත් කිරීමෙනි.

සම්මා වායාම සම්පූර්ණ වන්නේ මිච්ඡවායාමයට මුල්වු තදින්ම මුල්බැසගත් කෙලෙස් මුල් (ගති පුරුදු) සහමුලින්ම උදුරා දැමීමෙනි. සම්මා සති සම්පූර්ණ වන්නේ මිච්ඡ සතියට හේතු වූ තදින්ම මුල් බැස ගත් කෙලෙස් මුල් ගලවා ඉවත් කිරීමෙනි. සම්මා සමාධිය සම්පූර්ණ වන්නේ මිච්ඡසමාධියට හේතු වූ තදින්ම මුල්බැසගත් කෙලෙස් මුල් ගලවා උදුරා දැමීමෙනි. මේ ආකාරයට සෝතාපත්ති මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරහන්ත මාර්ගය යන සතර මාර්ගයේදීම මෙවන් වූ ආර්ය අට්ඨාංගික මාර්ගයක් සම්පූර්ණ වී තදින් සිතේ මුල්බැසගත් කෙලෙස් මුල් හතරවරකදීම උදුරා ඉවත් කර අස්කර දමයි. මෙය බුද්ධ ඥාණයන් සම්පූර්ණ වීමයි. කෙලෙස් භව උදුරා දැමීමයි. කෙලෙස් මුල් (භව) උදුරා දමන තුරු මිච්ඡ ගති පවතී.

12. පයෝගපටිපස්සද්ධි පඤ්ඤා ඵලේ ඤාණං.

මාර්ගය සම්පූර්ණකරගත් පසු ලබන අධිගම මග ඵලයන්ට පත්වීමේ බුද්ධ ඥාණයයි. මේ පැහැදිලි කිරීම සඳහා කරණ ලද විග‍්‍රහය සෝතාපන්න ආදී මාර්ගයන් හතර සඳහා විස්තර කරණ ලද කෙලෙස් භව උදුරා දැමීමෙන්ම මගඵල ලාභී වන ආකාරය විස්තර කිරීමයි. මෙයද බුද්ධ ඥාණයකි. මාර්ග ඵලයන් සතර අවස්ථාවකදීම සම්පූර්ණ වන්නේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් අනුපූරකව සම්පූර්ණ කර ගැනීමෙනි.

13. ජීන්නවට්ටමනුපස්සනේ පඤ්ඤා විමුක්ති ඤාණං

සෝතාපත්ති මග්ගේන සක්කායදිට්ඨි විචිකිච්චිතා සීලබ්බත පරාමාසෝ, දිට්ඨානුසයෝ, විච්කිච්චානුසයෝ අත්තනෝ චිත්තස්ස උපක්කිලේසා සම්මා සමුච්ජීන්නා හොන්තී, ඉමේහි පංච උපක්කිලේසේහි පරියුට්ඨානේහි චිත්තං විමුත්තං හෝති, සුවිමුත්තං.

සකදාගාමී මග්ගේන ඕලාරිකං කාමරාග සංඤෝජනං පටිඝසංඤේජනං, ඕලාරිකෝ කාමරාග අනුසයෝ පටිඝානුසයෝ අත්තනෝ චිත්තස්ස උපක්කිලේසා සම්මා සමුච්ජින්නා හොන්තී.

අනාගාමී මග්ගේන අනුසහගතං කාමරාග සංඤෝජනං පටිඝ සංඤෝජනං අනුසහගතෝ කාමරාගඅනුසයෝ පටිඝානු සයෝ අත්තනෝ චිත්තස්ස උපක්කිලේසා සම්මා සමුච්ජින්නා හොන්තී.

අරහන්ත මග්ගේන රූපරාගෝ, අරූපරාගෝ, මානෝ, උද්දච්චං අවිජ්ජා, මානානුසයෝ, අවිජ්ජානුසයෝ, භවරාග අනුසයෝ අත්තනෝ චිත්තස්ස උපක්කිලේසා සම්මා සමුච්ජින්නා හොන්තී.

මේ ආකාරයෙන් සංයෝජන දහය සහ අනුසය ධර්ම හතම ජින්නවට්ටමනුපස්සනා (සහමුලින් කෙලෙස් භව උදුරා දැමීම) මඟින් විමුක්ති ඤාණය සම්පූර්ණ වෙයි. මෙය සෝතාපන්න, සකදාගාමී, අනාගාමී අරහත් යන සතර මග ඵලයන්ට පත්වන අවස්ථාන්හිදීම කෙලෙස් මුල් කපා, සංයෝජන ප‍්‍රහාණය කර අනුසය යලිනූපදින ආකාරයට සිත විමුක්ති මාර්ගයට පත්කරගත යුතුය. ප‍්‍රඥාවිමුක්තියට පත්වන්නේ, මගපල ලබා නිබ්බාන තත්වයට පත්වන්නේ, මෙම බුද්ධ ඥාණයෙන් කෙලෙස් භව සහමුලින්ම කපා උදුරා දැමීමෙනි. අනුසය ධර්මයන් සිතක අලුතින් උත්පාදනය වීම එක දිගටම දින හතක් සහමුලින්ම නවතා දැමීමෙන් විමුක්ති ඥාණ දර්ශනය සම්පූර්ණ වී අරහත්ඵලය ක්ෂාත්ක්ෂාත් කරගනී.

ජින්න වට්ට යනු වටය කපා දැමීම සඳහා අනුපස්සනා කිරීමයි. වටය යනු රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සකස් කර සාදාගත් සංසාර වටයයි. මේ වටය විවට්ට කිරීමට උපකාරවන්නේ ජින්නවට්ට කිරීමයි. මෙය විමුක්ති ඥාණයයි.

14. තදා සමුදාගතේ ධම්මේ පස්සනේ පඤ්ඤා පච්චවෙක්ඛනේ ඤාණං

පච්චවෙක්ඛනේ ඤාණය යනු ප‍්‍රත්‍යවේක්ෂා ඥාණයන්ය. පසු විපරම් කර ප‍්‍රතිලාභ – ප‍්‍රතිවේධ වශයෙන් තමන් පැමිණි මග ආපසු හැරී බලා යථාභූත ඥාණ දර්ශනය ලැබීම මෙහිදී සිදුවෙයි.

ආධිපත්‍යෙටේඨ්න ඉන්ද්‍රියා තදා සමුදාගතං,
අකම්පියට්ඨේන බලා තදා සමුදාගතා,
නිය්‍යානට්ඨේන බොජ්ඣඞධගා තදා සමුදාගතා,
හේතුට්ඨේන මග්ගෝ තදා සමුදාගතා,
උපට්ඨානට්ඨේන සතිපට්ඨානා තදා සමුදාගතා,
පහදනට්ඨේන සම්මප්පධානා තදා සමුදාගතා,
ඉජඣනට්ඨේන ඉ ද්ධිපාදා තදා සමුදාගතා,
තථට්ඨේන සච්චං තදා සමුදාගතා,
අවික්ඛේපට්ඨේන සමථං තදා සමුදාගතා,
අනුපස්සනට්ඨේන විපස්සනා තදා සමුදාගතා,
ඒකරසට්ඨේන සමථ විපස්සනා තදා සමුදාගතා,
අනතිවත්තනට්ඨේන යුගනද්ධං තදා සමුදාගතා,
සංවරටේඨේන සීලවිශුද්ධිං තදා සමුදාගතා,
අවික්ඛේපට්ඨේන චිත්ත විශුද්ධිං තදා සමුදාගතා,
දස්සනට්ඨේන දිට්ඨිවිශුද්ධිං තදා සමුදාගතා,
විමුක්ති අට්ඨේන විමොක්ඛා තදා සමුදාගතා,
පටිවේදනට්ඨේන විජ්ජා තදා සමුදාගතා,
පරිච්චාගට්ඨේන විමුත්තී තදා සමුදාගතා,
සමුච්චේදට්ඨේන ඛයේ ඤාණං තදා සමුදාගතා

මෙහි සඳහන් වන්නේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, සතර සතිපට්ඨාන, සතර සම්මප්පධාන සතර ඉද්ධිපාද ආදී වශයෙන් සත්තිස් බෝධි පාක්ෂික ධර්මයෝත්, පසුව සප්ත විශුද්ධීන් සත් ප‍්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් මෙනෙහි කර මෙතෙක් කලක් සාරයි, වටිනවා, කියා සිතු බොහෝමයක් දේවල් වලට තදින්ම සම්බන්ධවී බැඳී සිටි තමන් එම බැමිවලින් මිදී දැන් ඒවායින් නිදහස් වන, පිරිසිදු වන ආකාරය පසුවිපරම් කිරීමයි. තදා සමුදාගතා යනුවෙන් හැම පියවරකදීම විග‍්‍රහ කර පෙන්වුයේ මෙතෙක් සංසාරයට බැඳී තදින්ම සම්බන්ධ වී සිටි බැමි වලින් මිදී නිදහස් වන ආකාරය හා නිදහස් වූ ආකාරය පසුවිපරම් කර බැලීමයි. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් එකක් එකක් පාසාම යම් බුද්ධ ශක්තියක් (කෙලෙස් භව උදුරා දැමීමට උපකාරක ශක්තියක්) තමන් තුළම උත්පාදනය වන බවත් අන්තිමට සමුච්චේදනය කිරීමේ එනම් සංසාර බැමි සහමුලින්ම කපා බැමි සිඳ දැමීමේ බුද්ධ ඥාණයන් සම්පූර්ණ වූ බවත් මෙහිදී පෙන්වා දෙයි. මෙය ඛයේ ඥාණයයි. එනම් ආසවක්ඛයේ ඥාණය, රාගක්ඛයේ ඥාණය, ද්වේෂක්ඛයේ ඥාණය, මොහක්ඛයේ ඥාණය, කම්මක්ඛයේ ඥාණය ආදියයි. මේවා බුද්ධ ඥාණයන්ද වෙයි. කෙලෙස් බව සිතින් උදුරා අස්කර දැමීම කළ හැකිවන්නේ බුද්ධ ඥාණයේ මාර්ගයෙන්ම පමණි.

16. බහිද්ධා වවත්ථානේ පඤ්ඤා ගෝචර නානත්තේ ඤාණං

කතං බහිද්ධා ධම්මේ වවත්ථේති – රූපේ බහිද්ධා වවත්ථේති, සද්දෝ බහිද්ධා වවත්ථේති, ගන්ධෝ බහිද්ධා වවත්ථේති, රසේ බහිද්ධා වවත්ථේති, පොට්ඨබ්බේ බහිද්ධා වවත්ථේති. ධම්මේ බහිද්ධා වවත්ථේති.

රූපා, අවිජ්ජා සංභූතා, තණ්හා සම්භූතා, කම්මසංභූතා, ආහාර සම්භූතා, චතුන්නං මහා භූතානං උපාදායති, වවත්තේති.

රූපා, අනිච්චා, සංඛතා, පටිච්චසමුප්පන්නා, ඛය ධම්මා වයධම්මා, විරාග ධම්මා, නිරෝධ ධම්මා වවත්තේති.

රූපේ අනිච්චතෝ වවත්තේති, නො නිච්චතෝ, දුක්ඛතෝ වවත්තේති, නො සුඛතෝ, අනත්තතෝ වවත්තේති, නො අත්තතෝ. නිබ්බින්දති, නොනන්දති. විරජ්ජති, නොරජ්ජති. නිරෝධෙති, නො සමුදේති, නොරෝදති, පටිනිස්සජ්ජති, නො අදියති. නොඋපාධියති. අනිච්චතෝ අනුපස්සන්තෝ, නිච්චං පජහාති. දුක්ඛකෝ අනුපස්සන් තෝ, සුඛසඤ්ඤං පංහති. අනත්තතෝ අනුපස්සන්තෝ, අත්ත සංඤ්ඤං පජහති. නිබ්බිංදන්තෝ නන්දිං පජහති. විරජ්ජන්තෝ රාගං පජහති. නිරෝධෙන්තෝ සමුදයං පජහති. පටිනිස්සජ්ජන්තෝ ආදානං පජහති. (සබ්බුපදි පජහති) රූපේ බහිද්ධා වවත්තේති.

රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම යන හය ආකාරවූ බාහිරයෙන් පැමිනෙන සියලු දේ කෙරෙහි මේ ආකාර වූ මෙනෙහි කිරීම භාවිත කරන්නේ, භාවනා කරන්නේ අනුපස්සනා කරන්නේ, වත්ථුනාත්ථ ඥාණය සම්පූර්ණ වේ. පෘතග්ජන ලෝකයා රූප, ශබ්ද, ගඳ, සුවඳ, රස, සුව පහස මෙන්ම ධම්ම නිච්චසේ සුවසේ, අත්ත සේ ගනී.

වවත්තේති යනු සතියෙන් ධර්මයට සූත‍්‍රයට බහා ගලපා බැලීම, හා ණය-විනය-සලකා විනයට සසඳා බැලීමයි. යම් ලෙසකින් නය වේ නම් ඉන් වෙන්වී නිදහස් විය යුතුමය. ති‍්‍රලක්ඛණයට ගලපා බැලීම කළ යුතුමය. මෙය වත්තුනානත්ත ඤාණයයි.

17. වරියාවවත්ථානේ පඤ්ඤා චරියා නානත්තේ ඤාණං

(චරියා තුනකි.) තිස්සෝ චරියා.

1. විඤ්ඤාණ චරියා
2. අඤ්ඤාණ චරියා
3. ඤාණ චරියා

”අඤ්ඤා විඤ්ඤාණ චරියා, අඤ්ඤා අඤ්ඤාණ චරියා, අඤ්ඤා ඤාණං චරියා තං ඤාතට්ඨේන ඤාණං පජානනට්ඨේන පඤ්ඤා චරියා වවත්තේන පඤ්ඤා චරියා නානත්තේ ඤාණං”

විඤ්ඤාණ සිතින් හැසිරීම එකකි. අඥාණ සිතින් හැසිරීම තවත් එකකි. ඥාණ සිතකින් හැසිරීම (චර) තවත් එකකි. මේ හැසිරීම් තුනම යථා පරිදි තමන් තුළින්ම තේරුම් ගෙන ඤාණ චරියාවෙන් හැසිරීම බුද්ධ ඥාණයකි. රාගය, ද්වේෂය, මෝහය සිතින් උදුරා ඉවත් කර සිත පිරිසිදු කර ගන්නට කි‍්‍රයා කිරීම ඤාණ චරියාවයි. ද්වතාවය දැන, විනයෙහි පිහිටා, ණය නොවී ණයෙන් මිදී නිදහස් වන්නට කි‍්‍රයා කිරීම චරියා නානත්තේ ඥාණයයි. මෙයද බුද්ධ ඤාණයකි. කෙලෙස් බව උදුරා දමන්නට උපකාර වන දැනුමකි.

චරියා වවත්ථාන යනු තමන් එදිනෙදා හැසිරෙන ආකාරය විමර්ශනය කර එහි ඇති දොස් නිදොස් දැක නිදොස් හැසිරීම තෝරාගෙන කි‍්‍රයාත්මක වන්නට ඇති හැකියාවයි.

18. චතුධම්මවවත්තානේ පඤ්ඤා භූමි නානත්තේ ඤාණං

“චතස්සෝ භූමියා
1. කාමාවචර භූමි
2. රූපාවචර භූමි
3. අරූපාවචර භූමි
4. අපරියාපන්න භූමි”

අනාර්යයන් හැසිරෙන භූමි තුනකි. ඒවා කාමාවචර භූමි රූපාවචර භූමි හා අරූපාවචර භූමි නම් වේ. ආර්යයන් හැසිරෙන භූමිය වන්නේ අපරියාපන්න භූමියයි. ආර්ය මාර්ග හා ආර්ය ඵලයන් අපරියාපන්න භූමිවලට අයත්ය. මේ හැසිරීම් රටාව තේරුම් ගත් ”චර හා චරණ” යන පදදෙක යථා පරිදි තේරුම් ගත් අරිය ශ‍්‍රාවකයා භූමි නානත්තේ ඤාණය ලැබුවෙකි. හැසිරීම යනු ”චර” බවයි. තමන් හැසිරිය යුත්තේ කුමන මාර්ගයක යාමට දැයි දැන ගෙන අකුසල් භව උදුරා දමන්නට හැසිරීම ”චරණ” නම් වෙයි. එය අපරියාපන්න භූමියයි.

19. නවධම්ම වවත්ථානේ පඤ්ඤා ධම්මනානත්තේ ඤාණං

කාමාවචර ධම්මයෝ මෙනෙහි කරත්ම සිතේ පවතින කෙලෙස් අස්කරන්නට හෝ අස්නොකරන්නට හෝ එමෙන්ම වෙනසක් නොවන්නටද හේතුවන ධර්ම මෙනෙහි කිරීම් ඇත. (කුසලතෝ වවත්තේති. අකුසලතෝ වවත්තේති. අඛ්‍යාකතතෝ වවත්තේති)

රූපාවචර ධර්මයෝ මෙනෙහි කරත්ම කෙලෙස් ප‍්‍රහාණය කරවා (කුසලතෝ වවත්තේ) එවන් කිසිවක් සිදු නොවන අඛ්‍යාකතතෝ වවත්තේති) මෙනෙහි කිරීම් ඇත.

අරූපාවචර ධර්මයෝ මෙනෙහි කිරීමෙන්ද කෙලෙස් ප‍්‍රහාණය වන (කුසලතෝ වවත්තේති) කුසල් හෝ අකුසල් නොවන (අඛ්‍යාකත වවත්තේති) මෙනෙහි කිරීම්ද ඇත. එමෙන්ම අපරියාපන්න ධම්ම මෙනෙහි කිරීමේදී ද (කුසලතෝ වවත්තේති) කෙලෙස් පහව යන හා කෙලෙස් වෙනසක් නොවන (ආඛ්‍යාකත වවත්තේති) මෙනෙහි කිරීම් ඇත. මේ නව ආකාර වූ සිත් වෙන් කර වෙනවෙනම දැන හඳුනා ගැනීම නව ධම්ම වවත්ථානේ පඤ්ඤාවයි. එය ධම්මනානත්තේ ඤාණයයි. මෙයද කෙලෙස් භව උදුරා දැමීමට උපකාරක වන නිසා බුද්ධ ඤාණයකි.

20-21-22-23-24

20. අභිඤ්ඤා පඤ්ඤා ඤාතට්ඨේ ඤාණං
21. පරිඤ්ඤා පඤ්ඤා තීරණට්ඨේ ඤාණං
22. පහානේ පඤ්ඤා පරිච්චාගට්ඨේ ඤාණං
23. භාවනා පඤ්ඤා ඒකරසට්ඨේ ඤාණං
24. සාච්ජීකිරියා පඤ්ඤා ඵුසනට්ඨේ ඤාණං

”යේ යේ ධම්මේ අභිඤ්ඤාතා හොන්ති තේ තේ ධම්මා ඥාතං හොන්ති” යම් යම් ධර්මයක් යථාභූත ඥාණායෙන් මෙනෙහි කරයිද, ඒ ඒ ධර්මයන් පිළිබඳ උසස් දැනුමක් පූර්ණ වෙයි. දැක්මට උපකාරක දැනුම අභිඤාණයි.

”යේ යේ ධම්මා පරිඤ්ඤාතාහොන්ති, තේ තේ ධම්මා තීරිකා හොන්තී” යම් යම් ධර්මයක් පිළිබඳව පි‍්‍රය, අපි‍්‍රය සිඳ (පිරිසිඳ) උපේක්ඛා සිතින් දකින්නට හැකිවෙයිද එය තීරණ පරිඤ්ඤා ඥාණයයි. ප‍්‍රහාණය කල යුතු දෑ සහ භාවිතා කල යුතුදේ තීරණය කරයි.

”යේ යේ ධම්මා පහීනා හොන්තී, තේ තේ ධම්මා පරිච්චතා හොන්ති” යම් යම් ධර්මයක් කෙලෙස් ලෙස දැක ප‍්‍රහාණය කරයිද? ඒ ඒ ධර්මයන් අත්හැරි සිත නිදහස් වෙයි. (චාගෝ)

”යේ යේ ධම්මා භාවිතා හොන්ති, තේ තේ ධම්මා ඒකරසා හොන්ති” යම් යම් යහපත් ධර්මයක් භාවිතා කලේද ඒ ඒ භාවිතා කිරීම මගින් හිත ඒකග්ගතා තාවයට පත්වී සිරිසිදුවේ.

”යේ යේ ධම්මා සච්ජිකතා හොන්ති, තේ තේ ධම්මා ඵුසිතා හොන්ති. යම් යම් ධර්මයක් ක්ෂාත් ක්ෂාත් කරගත්තේද ඒ ඒ ධර්මයන් සිත ප‍්‍රසන්න බවට පත් කරයි. (ඒතං සංතං ඒතං පනීතං)

මෙම බුද්ධ ඤාණයෝ පහම චතුරාර්ය සත්‍යයන් අවබෝධ කර ගන්නටත්, සීල සමාධි පඤ්ඤා ති‍්‍රශික්ඛා පූර්ණ කරගන්නටත් බෙහෙවින්ම උපකාරක වන බුද්ධ ඥාණයන් වෙනි. මෙයම ආනාපාන සතිය වැඞීම, සතර සති පට්ඨානය වැඞීම, භාවනා කිරීම, ලෙසින් ද පෙන්වා දිය හැකිය.

25-26-27-28

25. අත්ථනානත්තේ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං
26. ධම්ම නානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං
27. නිරුක්තිනානත්තේ පඤ්ඤා නිරුක්තිපටිසම්භිදෙ ඤාණං
28. පටිභානනානත්තේ පඤ්ඤාපටිභානපටිසම්භිදෙ ඤාණං

පංච ඉන්ද්‍රියයන්, පංච බල ධර්මයන්, සත්තබොජ්ජංග හා සම්මා අංග අට (අරි අට මග) පිළිබඳව මෙන්ම පටිච්චසමුප්පාද ධර්මය, චතුරාර්ය සත්‍යයන් හා කෙලෙස් ”භව” උදුරා දැමීමේ කි‍්‍රයාවලිය පිළිබඳව අත්ථ නානාත්වය, ධර්ම නානත්වය, නිරුක්ති නානත්වය හා පටිභාන පටිසම්භිදා නානාත්වය විග‍්‍රහ කරමින් කෙලෙස් ගති සහ මුලින්ම උදුරා ඉවත් කර දමන්නට උපකාරක ලෙසින්ම බුද්ධ දේශනාව ඉදිරිපත් කිරීමේ ශක්තිය, හැකියාව සිව්පිළිසිඹියාපත් ඥාණ හෙවත් පටිසම්භිදා ඥාණයන් හතර හැටියට පෙන්වා දෙයි.

මෙසේ අත්ථ, ධම්ම, නිරුක්ති, පටිභාන නානත්වය විග‍්‍රහ කළ යුත්තේ ලෝකයක් හදන්නට උපකාරක වන ලෞකික අර්ථයෙන් හෝ ලොව පවත්වාගෙන යන්නට උපකාරක ධර්මයක් යන සම්මත අර්ථයෙන් හෝ නොවේ. ලෞකික, ලෝකෝත්තර යන අර්ථයන් දෙකම විග‍්‍රහ කරමිනි. උභය අර්ථ සාධනය සඳහාම උපකාරක වන අයුරිනි. උභතෝ භාග විමුක්තියම ක්ෂාත් ක්ෂාත් කරගන්නට මාර්ග විවෘත කර දෙන්නටය.

”පංච ධම්මේ සංදෙස්සේතුං ඛ්‍යඤජන නිරුත්තාභිලාපා, පංච අත්ථේ සංදෙස්සේතුං බඤජන නිරුත්තාභිලාපා” ආදී වශයෙන් ව්‍යාංජන නිරුක්ති වශයෙන් සංදේසනාවක් අත්ථ ධම්ම විග‍්‍රහ කිරීමට මුල් කර ගත් දේසනාවද සිවුපිළිසිඹියා විග‍්‍රහයේම ඇතුලත්ය.
”සං” බෙදා කොටස්කර විග‍්‍රහකිරීමත්, ව්‍යංජන, නිරුක්ති ලෙසින් බෙදා ඉදිරිපත් කිරීමටත්, මෙහිදී ඉදිරිපත් කරණ නිසාම මෙම බුද්ධ භාෂිතය ”පටිසම්භිදා” ඥාණයන් ලෙසින් නම් කර ඇත. මේ අනුව ”අත්ථපටිසම්භිදා ඥාණය ධම්ම පටිසම්භිදා ඤාණය නිරුක්ති පටිසම්භිදා ඤාණය, පටිභාන පටිසම්භදා ඤාණය ලෙසින් මෙම බුද්ධ ඤාණයන් නම් කර ඇත.

29- 30- 31

29. විහාරනානත්තේ පඤ්ඤා විහාරට්ඨේ ඤාණං
30. සංමාපත්තිනානත්තේ පඤ්ඤා සංමාපත්තට්ඨේ ඤාණං
31. විහාර සංමාපත්තිනානත්තේ පඤ්ඤා විහාරසම්මාපත්තට්ඨේ ඤාණං

මෙහිදී විහාර තුනක්, සංමාපත්ති තුනක් හා විහාර සම්මාපත්ති තුනක් බුද්ධ ඥාණයන් ලෙසින් විග‍්‍රහ කරයි. අනිමිත්ත විහාර, අප්පණිහිත විහාර, සුඤ්ඤත විහාර යනුවෙන් විහාර තුනකි. අනිමිත්ත සංමාපත්තිය, අප්පණිහිත සම්මා පත්තිය, සුඤ්ඤත සම්මාපත්ති ඤාණයන් තුනක්, අනිමිත්ත විහාර සමාපත්තිය, අප්පණිහිතවිහාර සම්මාපත්තිය සුඤ්ඤතවිහාර සම්මාපත්තිය යනුවෙන් විහාර සම්මාපත්ති ඤාණයන් තුනකි.

”නිමිත්තං භයතෝ සම්පස්සමානෝ, අනිමිත්තේ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති, පවත්තං අජඣුපෙක්ඛිත්වා නිරෝධං, නිබ්බානං, අනිමිත්තං ආවජ්ජිත්වා සංමාපජ්ජති. අනිමිත්ත විහාරසංමාපත්ති.

පණිධිං භය‍තෝ සම්පස්සමානෝ අප්පණිහිතේ අධිමුත්තත්තා ඵුස්ස වයං පස්සති, පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරෝධං නිබ්බානං අප්පණිහිතං ආවජ්ජිත්වා සංමාපජ්ජති, අප්පණිහිතං විහාරසම්මාපත්ති.

අභිනිවෙසං භයතෝ සම්පස්සමානෝ සුඤ්ඤතේ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති, පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරෝධං නිබ්බානං සුඤ්ඤතං ආවජ්ත්වා සංමාපජ්ජති සුඤඤතාවිහාර සමාපත්ති.

මෙම විහ‍්‍රහයේ ”විහාර” යනුවෙන් බුද්ධ ඥාණයක්ද ”සම්මාපත්ති” යනුවෙන් බුද්ධ ඥාණයක්ද විහාරසම්මාපත්ති යනුවෙන් බුද්ධ ඤාණයක්ද පෙන්වා දී ඇත. ”විහාර” යන මාගධී පදයේ අර්ථය (වි+හාර) ”වි” යනු කෙලෙස් තෝරා බේරා වෙන් කිරීම යන්නයි. ”හාර” යනු අත්හැර මිදී නිදහස් වීම යන ධර්ම අර්ථයයි. සිතක උපදින උපදින (ඵුස්ස ඵුස්ස) කෙලෙස් භව තෝර තෝරා වෙන් කර වෙන්කර කෙලෙස් වලින් මිදී නිදහස් වීමට කි‍්‍රයා කිරීම ”විහාර” යන මාගධී පදයේ තේරුමයි. අපි අද විහාරය යනුවෙන් භාවිතා කරන්නේ මෙසේ කෙලෙස් මුදවා හරින්නට භාවිතා කල ස්ථානයයි.

සම්මාපත්ති (සං+මා+පත්ති) යන පදයේ තේරුම ”සං” යනු රාගය, ද්වේෂය, මෝහය යන කෙලෙස් නිසා සසරට සම්බන්ධවීමයි. ”මා” යනු මේ කෙලෙස් වලින් (සං වලින්) මිදී නිදහස්වීමයි. කෙලෙස් වලින් මිදී නිදහස් වූ පසුව පත්වන තත්වය ”පත්ති” යන පදයෙන් විග‍්‍රහවෙයි. මේ අනුව ”සම්මාපත්ති” යනු සිතේ උපදින රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් (කෙලෙස් වලින්) මිදී සිත නිදහස් කරගත් පසුව ලබන ශුද්ධපවිත‍්‍ර තත්වයයි. සම්මාපත්ති යනු සිතක උපත ලබන පිරිසිදු ප‍්‍රභාෂ්වර තත්වයයි. ඒතත්වය දිගටම පවත්වාගෙන යාමයි. විහාර සම්මාපත්තිය යනු මේ අයුරින් පිරිසිදු වූ කෙලෙස් වලින් තොර වූ සිතක් එක දිගටම පවත්වාගෙන යාමයි. මෙම ඤාණයන් තුනම බුද්ධ ඤාණයන් ලෙසින් භාවිතයට ගත යුතුය. මෙය අසා දැන ගැනීම පමණක්ම කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවේ. සම්මා පත්තීන්ට පත්වීම ප‍්‍රායෝගික වශයෙන්ම තමන්ම අත් විඳ ගත යුතු එකකි.

32. අවික්ඛේපපරිශුද්ධත්තා, ආසවසමුච්ඡේදේ පඤ්ඤා ආනන්-තරික සමාධිස්මිං ඤාණං

නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගතා අවික්ඛේපො සමාධි (කාමයෙන් නිදහස් වූ සිත පාපයෙන් අකුසල කි‍්‍රයාවන්ගෙන් වෙන් වූ සිත නෙක්ඛම්ම සිතයි.) එවන් සිතක් අවික්ඛේප (එනම් වික්ෂිප්ත නොවු,) නොවිසුරුණු ඒකාග්ගතාවයට පත් වූ සිතකි. මෙවන් ඒකග්ගතාවයට පත් වූ සිතක් සමාධි සිතක් ලෙසින් හඳුන්වයි. මෙවන් සිතක බුද්ධ ඥාණ උපත ලබයි.

”උප්පජ්ජති ඤාණං, තේන ඤාණේන ආසවා ඛීයන්ති” ඉති පඨමං සමථෝ පච්චා ඤාණං, තේන ඤාණේන ආසවානං ඛයෝ හෝති” මෙම අවික්ෙඛිපපරිශුද්ධතා ආසවසමුච්ෙඡ්දේ පඤ්ඤා ආනන්තරික බුද්ධ ඤාණයයි.

කාමසව, භාවාසව, දිට්ඨිාසව හා අවිජ්ජාසව යන ආසව සියල්ලමක්ඛය කළ යුතුය. (කපා සිඳ දැමිය යුතුය)

සෝතාපත්ති මාර්ගයෙන් දිට්ඨාසව, දිට්ඨානුසය, විචිකිච්චානුසය සහ අපායගාමිනී, කාමාසව, භාවා සව හා අපායගාමිනී, අවිජ්ජා සව කපා සිඳ දමයි. (ආසවෝ ඛීයතී)

සකෘදාගාමී මාර්ගය වැඞීමේදී ඕලාරික කාමාසව හා තදේකට්ඨේ (තදින්මමුල්බැසගත්) භාවාසවෝ මෙන්ම අවිජ්ජාසවෝද කපා සිඳ දමයි. අනාගාමී මාර්ගය වැඞීමේදී ශේෂයක්වත් ඉතිරි නොවන සේ කාමාසව කපා සිඳ දමයි. ඒවාගේම කදේකට්ඨේ භාවාසවෝ (ඛීයති) කපා දැමීම කෙරෙයි. අවිජ්ජාසව කොටසක්ද කපා හරියි.

අරහන්ත මාර්ගයේදී අනවසේසා භාවාසවෝ ඛීයති. අනවසේසා අවිජ්ජාසවෝ ඛියති. රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිජ්ජා යන සියලු ආකාර වූ ආසය අනුසය ධර්මයන් සහමුලින්ම කපා සිඳ දමයි. අනවසේසා යනු ශේෂයක්වත් ඉතිරි නොවනසේ කපා දැමීම යන්නයි.

මෙසේ ආසය අනුසය සියල්ල කපා දමා ලබන චිත්ත ඒකග්ගතාවත්, ප‍්‍රඥාවිමුත්තියත්, මුල්කර ගෙන ලබන සංමාපත්තිය සඤ්ඤා වේදයිත නිරෝධ සම්මාපත්තිය හෙවත් ආනන්තරික සමාධි ඤාණයෙන් ලබන නිබ්බාන සුවයයි.

අධිශ්ඨාන කළ ආකාරයට එක දිගටම අතරක් නැතිවම (අන් අන්තරිකව) සමාපත්තියේ පිහිටා නිවන් සුවය, එනම් ඉහතාත්ම සුඛ විහාරණය අත් විඳින බුද්ධ ඤාණය ආනන්තරික සමාධි ඤාණයයි. මෙය සියලු ආසව අනුසය සහමුලින්ම කපා දැමු අරහතුන් වහන්සේටම ලබාගත හැකි, අධිශ්ඨාන කරමින් සම්මාපත්තියට සමවැඳීමෙන්ම ලබාගත හැකි බුද්ධ ඤාණයකි.

33. දස්සනාධිපත්‍යෙයං සන්තෝච විහාරාධිගමෝ පනීත- අධිමුත්තතා පඤ්ඤා අරණ විහාරේ ඤාණං

අනිච්චානු පස්සනා, දුක්ඛානු පස්සනා, අනත්තානු පස්සනා දස්සනාධිපතෙයි්‍යයං – රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදී වශයෙන් පංචස්කන්ධය පිළිබඳවම හා පටිච්ච සමුප්පාද ආදී හැම අංගයක් කෙරෙහිම අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව මෙනෙහි කරමින් නිච්ච බව, සුඛ බව, අත්ත බව, ප‍්‍රහාණය කර සිත ශුද්ධ තත්වයට පත් කර ගැනීම මෙහිදී සිදුකර ගත යුතුය. අනිමිත්ත, අප්පණිහිත, සුඤ්ඤත සමාපත්ති වලට සමවැඳීමෙන් කෙලෙස් සහිත වූ නිමිත්තෙන් මිදී ආමිස සුවයක් විඳීමේ පණිහිත (පිණවීම) තත්වයෙන් වෙන්වී සිත රාගයෙන් සුඤ්ඤ කරගත යුතුය. ද්වේෂයෙන් සුඤ්ඤ කරගත යුතුය. මෝහයෙන් සුඤ්ඤ කරගත යුතුය.

එය පණිතාධි මුත්තතා සිතයි. මේ අනුව අරණ විහාර ඤාණය නමැති බුද්ධ ඤාණය ක්ෂාත් ක්ෂාත් කරගත හැකි වෙයි. නීවරණයන් බැහැර (ප‍්‍රහාණය කිරීම) කිරීම මඟින් සිතේ පවතින නොසන්සුන් බව නැතිකර සන්සුන් සිතක් ඇතිකර ගැනීම මඟින් ධ්‍යාන සමාපත්තියෙහි පිහිටා කි‍්‍රයා කරන්නට හැකි ශක්තිය (රණබිමෙන් නිදහස් වීම) අරණ විහාර ඤාණයයි. මෙයද කෙලෙස් බව උදුරා දමන්නට උපකාරක බුද්ධ ඥාණයකි.

34. ද්විහී බලේහි සමන්තාගතෝ, තයෝ ච සංඛාරානං පටිපස්සද්ධියා, සොළසේහි ඤාණචරියාහි, නවහි සමාධි චරියානි, වසීභවතා පඤ්ඤා නිරෝධසමාපත්තියා ඤාණං

ද්විහි බලේ යනු සමථ විපස්සනා බලයන් දෙකයි, තයෝ ච සංඛාරා යනු වචි සංඛාර, කාය සංඛාර මනෝ සංඛාර යන තුනයි. සොළසෙහි යනු ආසය (16) ආකාර වූ ඥාණ චරියාවයි. නවහි සමාධි චරියා යනු නව පාමොජ්ජකා මුල ධර්මතාවයෝයි. මෙවන් ආකාරවූ සියල්ලෙහි වසීභාවිතාවය යනු කෙලෙස් සහමුලින්ම කපා සිඳ දමා පාරිශුද්ධ තත්වයට සිත පත් කර ගැනීමයි. මෙම කරුණු එකින් එක මීට පෙර විග‍්‍ර කරණ ලද බුද්ධ ඥාණ වලින් එකින් එක විග‍්‍රහ කර පෙන්වන ලදී. මෙහිදී සිද්ධ වන්නේ ඒ ඒ බුද්ධ ඥාණයෙන් ලැබු පරිශුද්ධ තත්වය සිතේ පවත්වාගෙන යාම මගින් රෝද නිරෝධ කර සමුදය (සංඛාර) නිරෝධ කර බැමි සිඳ දමා නිබ්බාන තත්වයට සිත පත්කර ගැනීම මගින් නිවන් සුවය, නිරාමිස සුවය ලැබීමයි. මෙය නිරෝධ සම්මාපත්තිය ලෙසින් විග‍්‍රහ කරණ ලද බුද්ධ ඤාණයයි. ඉන්ද්‍රියයන්ට (චක්ඛු සෝත ආදී) ලැබෙන රූප වේදනා ආදියෙන් යම් වේදනාවක් උපත ලබයි. මේ වේදනාව පිනව පිනවා, විඳව විඳවා හෝ මැන මැන සිටීමෙන් රෝද කිරීම සංඛාර සිතක ස්වභාවයයි. මේ පිනවීමෙන්, විඳවීමෙන්, මැනීමෙන් තොරව නිරෝධ (රෝධ නොකිරීම) උපේක්ඛා සිතක් පැවැත්වීමයි. ඒකග්ගතාවයට පත්වීමයි. බුද්ධ ඥාණයන් උපකාරවන්නේ මේ සඳහාය.

35. සම්පජානස්ස පවත්තපරියාදානේ පඤ්ඤා පරිනිබ්බානේ ඤාණං

”ඉධ සම්පජානෝ නෙක්ඛම්මේන කාමච්ඡුන්දස්ස පවත්තං පරියාදිති, අඛ්‍යාපාදේන ඛ්‍යාපාදස්ස පවත්තං පරියාදියති, අලෝකසඤ්ඤාය ථීනමිද්දස්ස පවත්තං පරියාදියති, අවික්ෙඛිපේන උද්ධච්චස්ස පවත්තං පරියාදියති, ධම්මවවත්ථාතේන විචිකිච්චං පවත්තං පරියාදිති. බුද්ධ ඤාණෙන අවිජ්ජාය පවත්තං පරියාදියති, පාමොජ්ජේන අරතියා පවත්තං පරියාදිති, ඣානේන නීවරණං පවත්තං පරියාදිති. සෝතාපත්ති මග්ගේන, සකෘදාගාමී මග්ගේන අනාගාමී මග්ගේන අරහත්ත මග්ගේන සබ්බ කිලෙස්සානං පවත්තං පරියාදියති. (පරියාදියති යනු පුර්ණ වශයෙන් උදුරා දමා වෙන් වීමයි.)

අථවා පන සම්පජානස්ස අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බානස්ස ඉදංඤේච්ච චක්ඛු පවත්තං පරියාදියති. පවත්ත පරියාදානේ පඤ්ඤා පරිනිබ්බානේ ඤාණං. සමථ විපස්සනා වශයෙන් පංචකාම නීවරන ධම්මයන් සමථයට පත්කර ගැනීමත්, නිවණ ආවරණය කළ කෙලෙස් ගති පැවැත්වීම සහමුලින්ම උදුරා දමා (පරියාදියති) නැවත කෙලෙස් නොඋපදින ලෙසින්ම සිත පිරිසිදු කර ගැනීමෙනුත් සියලු කෙලෙස් ප‍්‍රහාණය කිරීමෙනුත් අනුපදිසේස නිබ්බාන සුවයට පත්වීම මෙම බුද්ධ ඤාණයයි. මෙහිදී මෙතෙක් උපාදානය කරගෙන පවත්වාගෙන ගිය පංචස්කන්ධයෙන්ම සහමුලින්ම මිදී නිදහස්වීම හා නැවත පංචස්කන්ධය උපාදානය කරගැනීමෙන් වැළකී සිටීම අනුපදිසේස නිබ්බානයයි. උපධි යනු උපාදානයයි. අනුපදි යනු උපාදානය කරගැනීමෙන්ද වැළකී උපාදානය කරගෙන සිටි සියල්ලම අතහැර මිදී නිදහස් වීමයි.

මෙය අනුපදිසේස නිබ්බාන තත්වයට පත්වීමයි. අරහත් තත්වයටම පත්වීමයි. මෙතෙක් විග‍්‍රහ කරණ දළ සියලු බුද්ධ ඥාණයන් දැන හෝ නොදැන හෝ සම්පූර්ණ කරගත් සියලුම මගඵල ලාභීන් අරහතුන් වහන්සේලාය.

36. සබ්බ ධම්මානං සම්මා සමුච්ජේදේ නිරෝධෙච අනුපට්ඨා-නතා පඤ්ඤා සමසීසට්ඨේ ඤාණං

සබ්බ ධම්ම යනු

1.) පංචස්කන්ධයන්
2.) ද්වාදස ආයතන
3.) අට්ඨාරස ධාතු
4.) කුසලා ධම්මා
5.) අකුසලා ධම්මා
6.) අබ්‍යකථා ධම්මා
7.) කාමාවචර ධම්මා
8.) රූපාවචර ධම්මා
9.) අරූපාවචර ධම්මා
10.) අපරියාපන්න ධම්ම

සම්මා සමුච්ජේදේති යනු ”සං” දැක සංවලින් මිදී නිදහස්ව, සමුදය උපදින මුල් කෙලෙස් මුල් සිඳ දමා යලි කෙලෙස් නොඋපදින ලෙසින් භව උදුරා ඉවත් කිරීමයි. නිරෝධෙති යනු රෝධ නොකිරීමයි. අරමුණු දිගේ රෝද කිරීමෙන් රිය ගමන යයි. නිරෝධ කිරීමෙන් අරිය තත්වයට පත් වෙයි. අනුපට්ඨානතා යනු යළි යළිත් අලුතින් කෙලෙස් නොඋපදින ආකාරයටම සිත පිරිසිදු කර ගැනීමයි. මෙම බුද්ධ ඤාණය සමසීසට්ඨ ඥාණය ලෙසින් නම් කර ඇත.

37. පුථුනානත්තේකත්තතේජපරියාදානේ පඤ්ඤා සල්ලේ-ඛට්ඨේ ඤාණං

”රාගෝ පුථු, ද්වේසෝ පුථු, මොහෝ පුථු, සබ්බ භාවගාමී කම්මා පුථු” (පුථු යනු ඒකත්ත නානත්ත ද්වතාවය දැකීමයි.)
කාමච්ඡුන්දෝ නානත්තං – නෙක්ඛම්මං ඒකත්තං
ඛ්‍යාපාදෝ නානත්තං – අඛ්‍යාපාදෝ ඒකත්තං
ථිනමිද්ධං නානත්තං – අලෝක සඤ්ඤා ඒකත්තං
සම්බ කෙලේසා නානත්තං – අරහත්ත මග්ගෝ ඒකත්තං
බුද්ධ ඤාණයන් තේජෝ බලය සහිතය සල්ලේඛ යනු සියලු කෙලෙස් වලින් මිදී නිදහස්වීමයි. සලේලේඛ ඤාණයද මේ අනුව භවගාමී කම්මයන් එනම් සියලු කෙලෙස් උදුරා ඉවත් කර දමන්නට උපකාරක ධර්මයන්ය.

38. අසල්ලීනත්ත පහිතත්තපග්ගහට්ඨේ පඤ්ඤා විරියාරම්භේ ඤාණං

”අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය අසල්ලීනත්තා පහිතත්තා පග්ගහට්ඨේ පඤ්ඤා විරියාරම්භේ ඤාණං”
(නූපන් අකුසල් නොඋපදවා සිටීම) උප්පන්නං පාපකානං අකුසලධම්මානං පහානාය…
අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය…
උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භියේ‍යාභාවාය වෙපුල්ලාය භාවනාය
පරිපුරියා අසල්ලීනත්තා පහිතත්තා පග්ගහට්ඨේ පඤ්ඤා විරියාරම්භේ ඤාණං

නූපන් අකුසල් මතු යළි නොඉපවීමෙන් උපන් අකුසල් ප‍්‍රහාණය කර සිත නිදහස් කර ගැනීමටත්, නූපන් කුසල් සිත් උපදවාගෙන කෙලෙස් ප‍්‍රහාණය කිරීමටත්, උපන් කුසල් සිත් දිගින් දිගටම පවත්වාගෙන යමින් කෙලෙස් ගති උපුටා දමන්නටත් කි‍්‍රයා කිරීම විරියාරම්භ ඥාණයයි. මෙයද බුද්ධ ඤාණයකි. මෙයම සතර ඉද්ධිපාද සම්පූර්ණ කරගැනීමෙන් ලබන බුද්ධ ඤාණයයි.

39. නානා ධම්මපකාසනතා පඤ්ඤා අත්තසංදස්සන ඤාණං

40. සබ්බ ධම්මානං ඒකසංහතා නානත්තේකත්ත පටිවේධෙ පඤ්ඤා දස්සන විශුද්ධි ඤාණං

පංචස්කන්ධ, ද්වාදසායතනාති, අට්ඨරස ධාතු ආදී සියලු ආකාර වූ ධම්මයන් අනිච්චසේ, දුක්ඛ සේ අනත්ත සේ ප‍්‍රකාශ කිරීමට, දැකගැනීමට ඇති හැකියාව, අවබෝධය අත්ත සංදස්සන ඥාණයයි. එහි දැක්ම, දර්ශන විශුද්ධියයි. මෙම දර්ශණ විශුද්ධිය සතර මාර්ගයේදීම හා සතර ඵලයන්හිදීම ශුද්ධ පවිත‍්‍ර වේ. ඒ අනුව චතුරාර්ය සත්‍යයන් පිළිබඳව තිබු දැනුම, දැක්මක් බවට පත්වී ප‍්‍රත්‍යක්ෂවෙයි. නානත්වය තුළින් ඒකත්වය දැකීම මෙම විශුද්ධි ඤාණයයි. නානත්වය රොද ගැසීමයි. ඒකත්වය නිරෝධයයි.

41. විදිතත්තා පඤ්ඤා ඛන්තී ඤාණං

රූපං අනිච්චතෝ විදිතං රූපං දුක්ඛතෝ විදිතං, රූපං අනත්තතෝ විදිතං, යං යං විදිතං තං තං ඛමතීතී විදිතත්තා පඤ්ඤා ඛන්තී ඤාණං වේදනා, සංඥා, සංඛාරා, විඤ්ඤාණ, චක්ඛු, සෝත ඝාණ ආදී සියලු අංගයන් පිළිබඳව ති‍්‍රලක්ඛණය යථාපරිදි මෙනෙහි කර යථාභූත ඥාණය මගින් සත්‍යාවබෝධය ලැබීම ඛන්ති ඤාණයයි.

42. ඵුට්ඨත්තා පඤ්ඤා පරියෝගාහන ඤාණං

අනිච්ච, දුක්ඛ, අනත්ත ආදී ති‍්‍රලක්ඛණය මගින් නිච්ච, සුඛ, අත්ත, ප‍්‍රහාණය කිරීමේ ශක්තිය ප‍්‍රඥාව පරියෝගාහන ඤාණයයි.

43. සමෝදහනේ පඤ්ඤා පදේසවිහාරේ ඤාණං

මිච්ඡා දිට්ඨි – සම්මා දිට්ඨි, මිච්ඡා සංකප්ප – සම්මා සංකප්ප ආදී වශයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි එන සියලුම අංගයන් පිළිබඳව ද්වතාවය මෙනෙහි කර ඊට හේතු වූ ප‍්‍රත්‍ය වූ ඡන්දය (කැමැත්ත) විතක්කයන් හා සඤ්ඤාවන් පිළිබඳව ද්වතාවය මෙනෙහි කරන්නට ඇති හැකියාව සහ වේදනාව විමසා කි‍්‍රයාකර සැනසීම ලබා ගැනීම පදේසවිහාරේ ඤාණයයි.

44-49 විවට්ටේ ඥාණයන් හයකි.

44. ආධිපත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටේ ඤාණං
45. නානත්තේ පඤ්ඤා චේතෝවිවට්ටේ ඤාණං
46. අධිට්ඨානේ පඤ්ඤා චිත්ත විවට්ටේ ඤාණං
47. සුඤ්ඤතේ පඤ්ඤා ඤාණං විවට්ටේ ඤාණං
48. වොස්සග්ගේ පඤ්ඤා විමොක්ඛ විවට්ටේ ඤාණං
49. තථට්ඨේ පඤ්ඤා සච්චවිවට්ටේ ඤාණං

විවට්ට යනු පංචස්කන්ධය එකතුකර (සංඛාර කරමින්) උපාදානය කර සකස් කර ගත් සංවට්ටය, සංසාර වටය තේරුම් ගෙන මෙම සංසාර වට්ටයෙන් මිදී නිදහස්වන්නට අවශ්‍ය කි‍්‍රයා මාර්ගයන් අනුගමනය කිරීම විවට්ටේ ඤාණයයි. සංවට්ටයෙන් සංසාර වට්ටයෙන් මිදී නිදහස් වීම විවට්ට තත්වයට පත්වීමයි.

සඤ්ඤා විවට්ට, චේතෝවිවට්ට, චිත්තවිවට්ට විමොක්ඛවිවට්ට, සච්ච විවට්ට යන හය ආකාරයකියන්ම කි‍්‍රයාකර මෙම සාදා සකස් කරගත් සංසාර වටයෙන් මිදී නිදහස් විය යුතුය. මේ හයම එකිනෙකට සම්බන්ධය.

1. කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථිනමිද්ධ, උද්දච්ච කුක්කුච්ච, විච්කිච්චිතා යන පංචකාම නීවරණ ධර්මයන් නිසා නිවන ආවරණ කර නිවන වසා සංසාර වටයක් සකස් කරණ බව යථා පරිදි දැන, දැක – සංජානනය වන ආකාරය (සම්බන්ධය උපත ලබන ආකාරය) දැක ඉන් මිදී නිදහස් වීමට කටයුතු කිරීම සඤ්ඤා විවට්ටේ ඤාණයයි. ”සඤජානනත්තෝ විවට්ටතීති සඤ්ඤා විවට්ටෝ ඤාණං”
2. චේතයන්තෝ විවට්ටතීති චේතෝවිවට්ට ඤාණං කාමච්ඡුන්ද ආදී පංචකාම නීවරණයන් දිගේ යලි යලිත් සිතින් රෝද ගැසීම ( සංඛාර කිරීම) නිසා චේතෝ වටයක් සකස්වන බව දැක ඉන් මිදී නිදහස් වන්නට නිරෝධ ගාමිණී මග අනුගමනය කිරීම.
3. විජානනත්තෝ විවට්ටතීති, චිත්ත විවට්ටෝ ඤාණං කාමච්ඡුන්දය ආදී නීවරණ ධර්මයන් යලි යලිත් ජනිත වන අයුරු දැක ඉන් මිදී නිදහස්වීම විජානනයයි. චිත්ත විවට්ටයයි.
4. ඤාණං කරොන්තෝ විවට්ටතීති ඤාණ විවට්ටේ ඤාණං කරණීය ධර්ම දැන (නෙක්ඛම්ම, අව්‍යාපාද, අලෝකසඤ්ඤා, ධම්ම වවත්තේන ආදිය) එ්වා අනුගමනය කිරීම ඤාණ විවට්ටේ ඤාණයයි.
5. චොස්සජ්ජන්තෝ විවට්ටතීති විමොක්ඛ විවට්ටේ ඤාණං වොස්සග්ග පරිනාමී තත්වයෙන් සිත පිරිසිදු කර ගැනීම විමොක්ඛ විවට්ටේ ඤාණයයි.
6. තථට්ටේ විවට්ටතීති සච්චවිවට්ටේ ඤාණං, චතුරාර්ය සත්‍යයන් යථා පරිදි අවබෝධ කරගැනීම සච්ච විවට්ටේ ඤාණයයි. චතුරාර්ය සත්‍යයන් අවබෝධයත් සමගම පංචකාම නීවරණ ධර්ම වලින්, පංචස්කන්ද උපාදානයෙන් වටවී සැකසී පවත්වාගෙන ගිය සංසාර වටය කපා දමා නිදහස් වෙයි.

50. කායම්පි, චිත්තම්පි, එ්ක වවත්ථානතා, සුඛසඤ්ඤාඤ්ච, ලහු සඤ්ඤඤ්ච, අධිට්ඨාන වශයෙන් ඉජ්ඣනට්ඨේ පඤ්ඤා, ඉද්ධිවිධෙ ඤාණං

මෙය ඉද්ධිවිධ නැමති, ඉර්ධි ප‍්‍රාතිහාර්යයන් පෑමට උපකාරවන බුද්ධ ඤාණයකි. චංද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි, විමංසා සමාධි යන සමාධි සතරම උපකාර කරගෙන (සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භවෙති) යන ආකාරයට ඉද්ධිපාද වඩා භාවනාකර කාය වශයෙන් හා චිත්ත වශයෙන් අධිශ්ඨාන කර චිත්තපාරිශුද්ධ තාවයෙන් යුතුව අභිඥා ලැබීම ඉද්ධිවිධ ඤාණයයි.

මෙම සතර ඉද්ධිපාදයන් බහුල කොට වඩත්ම ”කම්මනීයං කායම්පි චිත්තේ සමෝදහති, චිත්තම්පි කායේ සමෝදහති, කාය වසයේන චිත්තං පරිනාමෙත්වා, චිත්තං වසයේන කායම්පි පරිනාමෙත්වා, කාය වසයෙන චිත්තං අධිට්ඨාති, චිත්ත වසයෙන් කායං අධිට්ඨාති” මේ ආකාරයට යථා පරිදි භාවිතයට ගත් සිත පිරිසිදු වෙයි. සැහැල්ලු වෙයි. (පරිශුද්ධෙන, පරියෝදාතේන) ඉද්ධිවිධ ඤාණං අභිනීහරති. අභිනින්නාමෙති. මේ අනුව අභිඤ්ඤා ශක්තිය හා චේතෝ විමුක්තිය ලබා ඉද්ධිවිධ ඤාණයන් ලැබීමද බුද්ධ ඤාණයකි.

51. විතක්ක විප්පාර වසයෙන නානත්තේකත්ත සද්ධා නිමිත්තානං පරියෝගාහනේ පඤ්ඤා සෝතධාතු විශුද්ධි ඤාණං

ඉද්ධිවිධ ඤාණය ලබාගත් පසුව තවදුරටත් චන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි, විමංසා සමාධි වඩා සිත පිරිසිදු කරගෙන, චේතෝවිමුක්තියට පත්වූ පසුව සද්ධ නිමිත්ත හා සම්බන්ධව යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කර යථා පරිදි භාවිත සිතක් බවට පුරුදු කරගත් පසුව සෝතධාතු විශූද්ධි ඥාණය ලැබෙයි. මෙය දිව කන (දිබ්බ සෝතධාතු) ලැබීමයි. මෙයද අභිඥාවලටම අයත් එක් බුද්ධ ඤාණයකි.

52. තිණ්ණං චිත්තානං විප්ඵාරත්තා ඉන්ද්‍රියානං පසාදවසයෙන නානත්තකත්ත විඤ්ඤාණචරියා පරියෝගාහනේ පඤ්ඤා චේතෝපරිය ඤාණං

කලින් විස්තර කළ ඉද්ධිවිධ ඤාණය හා සෝතධාතු විශුද්ධි ඤාණය හා සමගම මෙම ඤාණයද ලැබෙයි. මේ සඳහාද පෙර පරිදිම චංද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි හා විමංසා සමාධි වඩා චේතෝ විමුක්තිය සම්පූර්ණ කරගත් පසුව මෙම බුද්ධ ඤාණය ලබයි. මෙය සෝමනස්ස ඉන්ද්‍රිය හා දෝමනස්ස ඉන්ද්‍රිය හා සම්බන්ධ දැකීමකි. මෙය උපේක්ඛා ඉන්ද්‍රිය මතුවීමකියි යථා පරිදි දැක ගනී. මේ අනුව පර පුද්ගලයින්ට පර සත්තයින් ගේ සිත කියවීමට ශක්තිය ලැබෙයි. සරාගී සිත සරාගී සතයි දැනගනී. විරාගී සිත විරාගී යැයි දැනගනී. සදෝසං චිත්තං සදෝසං චිත්තය යැයි දැනගනී. වීතදෝසං චිත්තං වීතදෝසං චිත්තය යැයි දැනගනී. සමෝහ චිත්තය මෝහ චිත්තය යැයි දැන ගනී. වීත මෝහං චිත්තය වීතමෝහි ලෙසින් දැනගනී. මේ ආකාරයට සිතේ විවිධ පැතිකඩයන් ද්වතාවයක් සහිතව දැකීම චේතෝපරිය ඤාණයයි. මෙයද බුද්ධ ඤාණයකි.

53. පච්චයපවත්තානං ධම්මානං නානාත්තේකත්තකම්ම විප්පාරවසේන පරියෝගාහනේ පඤ්ඤා පුබ්බේනිවාසානුස්සති ඤාණං (ත‍්‍රිවිද්‍යා ඤාණ)

පච්චය පවත්තානං යනු පටිච්ච සමුප්පාද ධර්මය නම් වූ හේතුපල ධර්මයයි. හේතුපල ධර්මයේ තිපරිවට්ටයටම දැක, යථා පරිදි අවබෝධ කරගෙන, නානත්ත ඒකත්ත කම්ම විභංග විග‍්‍රහය යථා පරිදි තේරුම් ගෙන, හේතුපල පරම්පරාවක් දිගේ අතීතය ආවර්ජනය කරන්නට හැකි ශක්තියක් ලැබීම, පරිශුද්ධ තත්වයට පත්කර ගැනීම පුබ්බේ නිවාසානුස්සති ඤාණයයි. ”අනේකේහි සංවට්ට කප්පේ, අනේකේහි විවට්ටකප්පේ, අනේකේහි සංවට්ට විවට්ට කප්පේ, අමුත‍්‍රාසිං එ්වන්නාමෝ, ඒවං ගොත්තෝ ඒවං වණ්ණෝ, ඒවමාහාරෝ, ඒවය සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමායුපරියන්තෝ, සෝ තතෝ චුතෝ ඉධුපපන්නෝති, ඉතිසාකාරං උද්දේසං අනේකවිහිතං පුබ්බේ නිවාසං අනුස්සරති”. හේතුපල පරම්පරාවක් දිගේම අතීතය ආවර්ජනය කරමින් සංසාර වට්ටය සකස්කරගත් අයුරු ඒ සංසාර වට්ට විනාශවී ගිය අයුරු අසවල් අසවල් තැන්වල මෙනම් ඇතිව ගෝත‍්‍ර ඇතිව මෙවන් ජාතිවල රටවල මෙවන් ආයුෂ ඇතිව මෙවන් රජසැප වින්දහ, අපාදුක් වින්දහ. මෙවන් පිංකම් කළහ. මෙවන් පව්කම් කළහ. මෙවන් අතීත බුදුවරුන් දැකගත්හ. මෙවන් බන ඇසුහ. ආදී වශයෙන් ආවර්ජනා කරන්නට ශක්තිය ලැබීම පුබ්බේ නිවාසානුස්සති ඤාණයයි.

මෙම බුද්ධ ඤාණය ත‍්‍රිවිද්‍යා ඤාණවලින් මුල්ම ඤාණයයි. පටිච්චසමුප්පාද ධර්මය යථාපරිදි අවබෝධ කරගත් තරමට, හේතුපල පරම්පරාව දිගේ ආවර්ජනය කරන්නට ශක්තිය ලබාගත් තරමට මෙම බුද්ධ ඤාණයේ ශක්තියද බලවත් වෙයි.

54. ඕභාසවසෙන නානත්තේකත්තරූපනිමිත්තානං දස්සනට්ඨේ පඤ්ඤා දිබ්බචක්ඛු ඤාණං

දිබ්බචක්ඛු (දිවැස් ඇති බව) හෙවත් චුතිඋපත පිළිබඳ ඤාණය ත‍්‍රිවිද්‍යා ඤාණ අතරින් දෙවැන්නයි.

ප‍්‍රභාස්වරවූ සිතින් ඒ ඒ පුද්ගලයින්ගේ, සත්වයින්ගේ, දෙවිබඹුන්ගේ භූත පේතයින්ගේ චුතිය හා උපත හේතුපල පරම්පරාවක් තුලින් දිවැසින් දැකීම චුතූපපාත ඤාණයයි. (තමන් ගේ හා බාහිර පුද්ගලයින්ගේ) වචී දුෂ්චරිතයෙන්, කාය දුෂ්චරිතයෙන්, මනෝ දුෂ්චරිතයෙන් නොයෙකුත් වැරදි ක‍්‍රියා කළ පුද්ගලයින්, ආර්යෝපාදයන් කළ පුද්ගලයින්, මිච්ඡාදෘෂ්ඨියෙන් ක‍්‍රියා කළ පුද්ගලයින්ට අපාගත වන්නට සිදුවූ අයුරු, රජකම් කරමින්, සැප විඳිමින් අයුතු අසාධාරණ කම් කළ රජවරුන්ට අපාදුක් විඳින්නට වූ අයුරු තම තමන්ගේම අතීතය මෙනෙහි කිරීමෙනුත් සත්‍ය වශයෙන්ම දැකගන්නට ලැබෙන ඤාණය දිබ්බචක්ඛු ඤාණයයි. මෙයද බුද්ධ ඤාණයකි. දිබ්බ චක්ඛු ඤාණය ලබාගන්නට නම් පූර්වගාමීව පුබ්බේ නිවාසානුස්සති ඤාණය ලැබිය යුතුමය.

55. චතුසට්ඨියා ආකාරේහි තිණ්නං ඉන්ද්‍රියානං වසීභාවනා පඤ්ඤා ආසවානංඛයේ ඤාණං

චතුඝට්ඨියා යනු හැට හතර ආකාරයකින් යන තේරුමයි. (64) තිණ්ණං ඉන්ද්‍රියානං වසීභාවතා යනු බුද්ධ දේසනාවෙහි පෙන්වා වදාල ත‍්‍රිවිද්‍යා පරිපූරණයට අනිවාර්යයෙන්ම උපකාරක වන, මිනිසෙකුගේ අධ්‍යාත්මය තුලින්ම පහදාගත හැකි, උපදවාගත යුතු ඉන්ද්‍රියයන් තුනකි.
ඒවා නම්

1. අනඤ්ඤතඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය
2. අඤ්ඤඉන්ද්‍රිය
3. අඤ්ඤාතාවිඉන්ද්‍රිය යන තුනයි.

මේ ඉන්ද්‍රියයන් තුනම කෙලෙස් ප‍්‍රහාරණය කර, අස්කර උදුරා ගලවා දමන්නටම උපකාරවන නිසා ඒවා වසීභාවතා යනුවෙන් නම්කර ඇත.

ආසවානං ඛයේ ඤාණං යනු ආසය, අනුසය යලි මතු සිතේ නොඋපදින ආකාරයෙන්ම කෙලෙස් මුල් සිඳ කපා දැමීමයි. ”ඛය” යනු කපාදැමීම, සිඳ දැමීම, යන අර්ථයයි. සෝතාපත්ති මාර්ගයේ දී කැපිය යුතු කෙලෙස් කපා දැමීමට මෙයින් පළමුවන ඉන්ද්‍රිය වූ අනඤ්ඤතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය භාවිතා කළ යුතුය. ඉන්ද්‍රියයක් යනු යමක් පිරිසිදු කර, පෙරා තෝරා බේරා යහපත් දේ භාවිතයට ගන්නටත්, අපිරිසිදු දේ බැහැර කරන්නටත් ඇතිවන ශක්තියකි.

සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රි හා පඤ්ඤා ඉන්ද්‍රිය යන ඉන්ද්‍රියයන් බලගැන්වීමෙන් පසුව ඒ අනුගමනය කිරීමෙන්ම, පංච ඉන්ද්‍රියයන් හා බලයන් භාවිතයෙන්ම සෝතාමග්ගක්ඛණ ඉන්ද්‍රියවූ මෙම පළමුවන ඉන්ද්‍රියය ක‍්‍රියාත්මක වෙයි.

පුබ්බේ නිවාසානුස්සති ඤාණය හා චුතූපපාද ඤාණයද අනුපූරක ලෙසින් මෙම ඉන්ද්‍රියයන් තුන උපදා පහදා ගැනීමට බෙහෙවින්ම උපකාර වෙයි. වෙනත් වචනවලින් පැවසුවොත් ආසවක්ඛයේ ඤාණය ලබාගැනීමට පුබ්බේ නිවාසානුස්සති ඤාණය හා චුතුපපාද ඤාණය අනිවාර්යයෙන්ම අනුපුබ්බංගම ලෙසින්ම උපකාර වෙයි. මෙහි සඳහන් කරණ ලද ආසය අනුසය කපා දමන්නට උපකාරක වන ඤාණයන් හැටහතරෙන් අටක් සෝතාපත්ති මාර්ගයේදී සම්පූර්ණ වෙයි.

සෝතාපත්ති මාර්ගයේදී සමුඨටාන වශයෙන්ම, උපන් උපන් කෙලෙස් උදුරා දමන්නටම, සබ්බේව කුසලා හොන්ති, සබ්බේව අනාසවා හොන්ති, සබ්බේව නිය්‍යානිකා හෝන්ති, සබ්බේව අනාසවා හොන්ති, සබ්බේව නිය්‍යානිකා හෝනිත, සබ්බේව අපචය ගාමීහොන්ති, සබ්බේව ලෝකුත්තරා හොන්ති, සබ්බේව නිබ්බානාරම්මනාහොන්තී. මෙම කරුණු අටෙන්ම සිතක උපතලබන (ජාතා ධම්මා) සියල්ලම සහමුලින් ම කපා උදුරා දමන ක‍්‍රියාවලින් ක‍්‍රියාත්මක වන බුද්ධ ඤාණයන්හි උපරිම ශක්තියක් ලැබෙන උපකාරක ධර්ම අටක් ක‍්‍රියාත්මක වෙයි. මෙම උපකාරක ධර්ම අටනම්,

1. සද්ධි ඉන්ද්‍රියා අධිමොක්ඛ පරිවාරා – සහජාත පරිවාරාහොන්ති
2. විරිය ඉන්ද්‍රියා පග්ගහපරිවාරා – අඤ්ඤමඤ්ඤ පරිවාරා හොන්ති
3. සති ඉන්ද්‍රියා උපට්ඨානපරිවාරා – නිශ්සය පරිවාරා හොන්ති
4. සමාධි ඉන්ද්‍රියා අවික්ඛේප පරිවාරා – සංපයුක්ත පරිවාරා හොන්ති
5. පඤ්ඤ ඉන්ද්‍රියා දස්සන පරිවාරං – සහගතා හොන්ති
6. මනීන්ද්‍රියා විජානන පරිවාරං – සහජාතා හොන්ති
7. සෝමනස්සි ඉන්ද්‍රියං අභිසංදන පරිවාරං – සංසට්ඨා හොන්ති
8. ජීවිති ඉන්ද්‍රියං පවත්තසංතතාධිපත්ත්‍යෙය පරිවාරං – සම්පයුත්තාහොන්ති

මෙම ආකාරයෙන්ම සෝතාපත්ති ආදී මාර්ග හතරේදීමත් සෝතාපන්න පල ආදී පල හතරේදීමත් අට ආකාරයකින් ආසය අනුසය මුලින් කපා උදුරා දැමීමක් සිදුවෙයි. ඒ සඳහා ඉන්ද්‍රියයන් අටක් (ඉහත සඳහන් පරිදි) අට ආකාරයකින් (පරිවාරං) උපකාරක වීමෙන් අට ආකාරයකින්ම කෙලෙස් මුල් ආසය අනුසය උපත ලැබීම වලකාලයි. යලි නොඋපදින ලෙසින්ම කෙලෙස් බැමි කපා දමයි.

මේ අනුව සෝතාපත්ති මාර්ගයේ දී දිට්ඨාසව අනවසේස වශයෙන් (සේසයකුදු ඉතිරි නොවනසේ) කපා දමයි. සකෘදාගාමී මාර්ගයේදී ඕලාරික කාමාසව කපා දමයි. අනාගාමී මාර්ගයේදී කාමාසව සහමුලින්ම කපා දමයි. භවාසව අවිජ්ජාසව යන ආසව තුනී කර කැපීමට පහසු කරයි. අරහත්ත මාර්ගයේදී භවාසව අවිජ්ජාසව සහමුලින්ම කපා ඉවත්කර යලි කිසිම ආකාරයකින් ආසව අනුසය උපදින්නට නොහැකි ආකාරයට සිත පිරිසිදු කරගනී.

56. පරිඤ්ඤ අට්ඨේ පඤ්ඤා දුක්ඛෙ ඤාණං

දුක පැවැත්ම හා හේතුපල ධර්ම පිරි අපිරි දෙකම සිඳ (පිරිසිඳ) දැකගන්නා අර්ථයෙන් අරිය තත්වයට පත්වීම දුක්ඛේ ඤාණයයි. දුකයනු,

1. පීලන අර්ථයෙන්, දුක් පීඩාවලින් පෙලෙන මානසික කායික පීඩනයට පත් කරණ,
2. සංඛත අර්ථයෙන්, දුක සකස්කර ක‍්‍රියාත්මක කරණ දෙයකි යන අර්ථයෙන්
3. සන්තාප අර්ථයෙන් (දුක් සුසුම් සෝ තැවුල් උපදවා තවන අර්ථයෙන්)
4. විපරිනාම අර්ථයෙන් (පවතින තත්වය නිරන්තරයෙන්ම වෙනස් වන)

නිසා දුක නමැති ඵලය සිතක උපත ලබන බව පිරිසිඳ දැකගත යුතුය. මේ කාරණා හතර මුල්කර දුක් විඳවයි. පිරිසිඳ දකින්නට පුරුදුවීම දුක්ඛේ ඥාණයයි.

57. පහානට්ඨේ පඤ්ඤා සමුදයේ ඤාණං (සංසාර සම්බන්ධය)

උපත ලබන ආකාරය දැක – සමුදය දැක සම්බන්ධය සිදුවන අයුරු දැක එය ප‍්‍රහාණය කරන්නට උපකාර වන ධර්ම මාර්ගය අනුගමනය කිරීම සමුදයේ ඤාණයයි.
සමුදය යනු
1. ආයුහනට්ඨෝ (සසර දික්කරණ) සසර දික් කරන්නට නිධාන හේතුවක් වන
2. නිදානට්ඨෝ දස සංයෝගයන් සකස් කර සසරට බැඳ තබන
3. සඤ්ඤගට්ඨෝ
4. පලිබෝධට්ඨෝ සියලු බාධක දුක් කම්කටොලු උපදන්නට හේතුව පලිබෝධයක් අයුරින් දැක ගත යුතුය.
මේ නිසාම සමුදය ප‍්‍රහාණය කළයුතු බැහැර කළයුතු දෙයක් ලෙසින් දැක ගැනීම සමුදයේ ඤාණයයි.

58. සච්ජිකිරියට්ඨේ පඤ්ඤා නිරෝධෙ ඤාණං

නිරෝධ යනු රෝද කිරීම නැවැත්වීම යන අර්ථයෙන් දැනගත යුතුය. සිතින් රෝද කිරීම යනු චිත්ත විථි දිගේ යම් යම් අරමුණු දිගේ රවුම් ගැසීමයි. රවුම් ගසන තුරා සංඛාර ශක්තියක් උපදී. එ්විඤ්ඤාණ ශක්තියයි. කෙලෙස් ශක්තියයි. භව ශක්තියයි. (සංභවං = සමුදය = සංභූතං) මේ ශක්තිය නොඋපදවන්නට නම් අරමුණු දිගේ රෝද නොගසා රවුම් නොගසා නිරෝධ කළ යුතුය.
1. නිස්සරණට්ඨෝ නිරෝධස්ස – චර (සර) නොකරණ අර්ථයෙන්
2. විවේකට්ඨෝ – ක‍්‍රියාවේ වේගයෙන් වෙන්වීමේ අර්ථයෙන් (විවේකාය)
3. අසංඛතට්ඨෝ – සංඛාර නොකර සංඛත සකස් නොකිරීමේ අර්ථයෙන්
4. සචජිකිරියට්ඨෝ – ඇති තතු යථාපරිදි ක්‍ෂාත් ක්‍ෂාත් කර ගන්නා අර්ථයෙන් සමුදය නිරෝධ කිරීම නිරෝධෙ ඤාණයයි. ”යං කිංචි සමුදය ධම්මං, සබ්බත්තං නිරෝධ ධම්මං” කීවේ මේ ධර්මතාවයයි.

59. භාවනට්ඨෙ පඤ්ඤා මග්ගේ ඥාණං

සෝතාපන්න ආදී මගපලයන් ලබන්නට උපකාරක වන බුද්ධ ඤාණය මග්ගේ ඤාණයයි. මෙය භාවනාමයේ පඤ්ඤා යනුවෙන් පෙන්වයි. භාවනාව යනු භාවිතා කිරීමයි. සිත පිරිසිදු වන කෙලෙස් කපා මිදී නිදහස් වන, කෙලෙස් ගති ඉවත් කරණ, රාගය ද්වේෂය මෝහය සිතින් කපා ඉවත් කරණ, ක‍්‍රියාමාර්ග භාවිතා කිරීම භාවනාවයි. එ්වාගේම සිත පිරිසිදු වන සිත මිදී නිදහස්වන නික්කෙලෙස් ධර්මයන් භාවිතා කිරීමද භාවනාවයි. මෙය ආනපාන සති භාවනාවයි. (හුස්ම ගැනීම පිටකිරීම මෙහිදී අදහස් නොකරයි.)
1. නිය්‍යානට්ඨෝ
2. හේතුට්ඨෝ
3. දස්සනට්ඨෝ
4. ආධිපතෙයියට්ඨෝ භාවනා අර්ථයයි.

සසර ගමනට හේතුන් දැක හේතු වලින් මිදී නිදහස් වන භාවනාව භාවිතා කිරීම ආනා පානා සතියෙන් සතර සතිපට්ඨානය සම්පූර්ණ කිරීම මග්ගේ ඤාණයයි.

60. දුක්ඛේ ඤාණං
61. දුක්ඛ සමුදයේ ඤාණං
62. දුක්ඛ නිරෝධෙ ඤාණං
63. දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඤාණං

මෙම ඤාණ හතරම චතුරාර්ය සත්‍යයන් පූර්ණ වශයෙන් දැක නිබ්බානය ක්‍ෂාත් ක්‍ෂාත් කරගැනීම ලෙසින්ද පෙන්වා දිය හැකිය. මෙසේ කොටස් හතරකට බෙදා වෙන් කළත් සමුදය, නිරෝධ කිරීම යන්න මෙහි හරයයි. සමුදය දුකට මුලය. දුක සමුදයට නිධාන හේතුවයි. නිරෝධය පිළියමයි. නිරෝධගාමී මාර්ගය දිගටම අනුගමනය කළ යුතු භාවිතා කළයුතු පිළිවෙතයි. සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන්ම යම් ආකාරයකට තේරුම් ගෙන, කෙලෙස් උපදින උපදින තැනදීම, ඒ ඒ අවස්ථාවන්හිදීම, කෙලෙස් කපා සිතින් කෙලෙස් ප‍්‍රහාණය කරදමා කෙලෙස් මුල් යලි නොඋපදින්නටම සහමුලින්ම උදුරා කපා දමන්නට නම් මේ පැවැත්මේ ඇති අනිච්ච, දුක්ඛ, අනත්ත, මෙනෙහි කර නිබ්බිදා, විරාගා, නිරෝධා පටිනිස්සග්ගා භාවනා කිරීම මෙම ඤාණයන් හතරටම මුල්වූ ප‍්‍රඥාවයි.

64-67 සුද්ධික පටිසම්භිදා ඤාණයන් හතර
64. අත්ථ පටිසම්භිදා ඤාණය – අෙත්‍ථසු ඤාණං
65. ධම්ම පටිසම්භිදා ඤාණං – ධම්මේසු ඤාණං
66. නිරුක්ති පටිසම්භිදා ඤාණං – නිරුක්තීසු ඤාණං
67. පටිභාන පටිසම්භිදා ඤාණං – පටිභානේසු ඤාණං

මෙම සිවුපිළිසිඹියාපත් ඥාණයන් 4ම නව (9) ආකාරයකින් තේරුම් ගෙන, යථාභූත ඤාණ දර්ශණය ලැබ කෙලෙස් ප‍්‍රහාණය කර කෙලෙස් මුල් කපා සිඳ දමන්නට උපකාර වන ආකාරයෙන් ධර්ම විග‍්‍රහයක් ඉදිරිපත් කරන්නට, ලෝකයාට ධර්මය විවෘත කර දේසනා කර පෙන්වා දෙන්නට, ලෝකයාට නිවන් මග පල ලබාගන්නට උපකාර වන ආකාරයට මග කියාදී ප‍්‍රකාශ කර, විග‍්‍රහකර විභජනය කර බෙදා දක්වන්නට හැකි ශක්තිය, හැකියාව බලය සිවු පිළිසිඹියාපත් ඤාණයන් ලෙසින් බුද්ධ දේසනාවෙහි පෙන්වයි. හැම මගඵලලාභියෙකුටම මේ බුද්ධ ශක්තීන් හතරම ලබාගන්නට නම් පෙර බුදුවරුන්ගෙන් මේ උතුම් ධර්මය මනාකොට අසාදැන, ප‍්‍රගුණ කරගෙන පටිච්චසමුප්පාද ධර්මය යථාපරිදි දැක මෙම ඥාණයන් ලබාගැනීමේ අධිශ්ඨානය ඇතිව මග අනුගමනය කළ යුතුමය. බොහෝ අරහතුන් වහන්සේලා සුක්කවිදස්සකය. තවත් අරහතුන් වහන්සේලා අභිඥාලාභීන්ය. ඉතා සුළු පිරිසක් අරහතුන් වහන්සේලා පමණක් සිවුපිළිසිඹියාලාභී මහ අරහතුන් වහන්සේලාය.

සිවු පිළිසිඹියා ලාභය සඳහා අවශ්‍ය වන්නාවු ශක්තීන් 9ක් මෙසේ විග‍්‍රහ කළ හැකිය.

1. අත්ථ නානත්තය, ධම්ම නානත්තය, නිරුක්ති නාත්ථය හා පටිභාන නානත්ථය පිළිබඳ දැනුම. ලෞකික අර්ථය ලෝකෝත්තර අර්ථය, සම්මත අර්ථය පඤ්ඤාත්ති (පනවාගත්) අර්ථය, පරමාර්ථය හා ධර්ම අර්ථය දැනීම හා විග‍්‍රහ කිරීම මෙම නානත්වයයි. සම්මතය විද බලා පරමාර්ථය තේරුම් ගෙන විග‍්‍රහ කරන්නට හැකිවන්නේ මේ නානත්වය දැකීමෙනි.
2. අත්ථ වවත්ථානේ පඤ්ඤා, ධම්ම වවත්ථානේ පඤ්ඤා, නිරුක්ති වවත්ථානේ පඤ්ඤා, පටිභානවවත්ථානේ පඤ්ඤා යන වවත්ථානේ ඤාණයන් හතර දෙවැන්නයි. පටිච්චසුමප්පාද ධර්මයට, සූත‍්‍රයට, විනයට ගලපා සසඳ බලා විග‍්‍රහ කිරීමට හා අනුගමනය කළයුතු හා අත්හැරිය යුතු දේ පෙන්වා දීමේ හැකියාව වවත්ථානේ පඤ්ඤායි.
3. අත්ථ සල්ලක්ඛනේ පඤ්ඤා, ධම්ම සල්ලක්ඛනේ පඤ්ඤා, නිරුක්ති සල්ලක්ඛනේ පඤ්ඤා, පටිභාන සල්ලක්ඛනේ පඤ්ඤා තුන්වන ඤාණයයි. සලාහැර ප‍්‍රහාණය කළයුතු ලක්‍ෂණ වශයෙන් කෙලෙස් දැකීම ඒවා වෙන්කොට තේරුම් ගැනීම එ්වා ප‍්‍රකාශකර පෙන්වාදීමේ හැකියාව මෙම ඤාණයයි.
4. අත්ථුපලක්ඛනේ පඤ්ඤා, ධමුපලක්ඛනේ පඤ්ඤා, නිරුත්තිඋපලක්ඛනේ පඤ්ඤා, පටිභානුපලක්ඛනේ පඤ්ඤා හතර වැනි ඥාණයයි. උපලක්ඛන වශයෙන් බෙදා බලා පටිච්චසමුප්පාද විග‍්‍රහයේ එන, සත්තිස් බෝධි පාක්‍ෂික ධර්මයන්ම ප‍්‍රායෝගිකවම අවබෝධ කරගන්නට උපකාර වන දැනුම මෙම අර්ථ උපලක්ඛණ ඤාණයයි.
5. අත්ථප්පභේදේ පඤ්ඤා ධම්මප්පභේද පඤ්ඤා නිරුක්තිප්පභේදේ පඤ්ඤා, පටිභානප්පභේදේ පඤ්ඤා පස්වැනි ඤාණයයි. මෙය ඒ ඒ ප‍්‍රභේද වශයෙන් විභජනය කර විභංග කර බෙදා බැලීමේ දැක ගැනීමේ ශක්තිය – ”සං” බෙදා බැලීමේ ”සං” ප‍්‍රජනනය වන ආකාරය (සංජානනය) දැකීමේ ශක්තිය, ධර්මය ප‍්‍රභේද වශයෙන් දැකීමේ ඥාණයන් හතරයි.
6. අත්ථප‍්‍රභාවනේ පඤ්ඤා, ධම්මප‍්‍රභාවනේ පඤ්ඤා නිරුක්තිප්ප- භාවනේ පඤ්ඤා පටිභානප්පභාවනේ පඤ්ඤා පටිසම්භිදා ඥාණයෝය. ඉහත සඳහන් කරණ ලද කරුණු අවබෝධයෙන් භාවිතයට ගැනීම මෙන්ම බැහැර කළයුතු කෙලෙස් බැහැර කිරීමද භාවනාපධානේ පඤ්ඤා යන අර්ථයෙන් අර්ථ ගන්වයි. අද භාවනා යනුවෙන් වැරදියට අනුගමනය කරන්නේ ප‍්‍රාණයාම ක‍්‍රමයකි. භාවිතයට ගත යුතු දේ හා බැහැර කළයුතුදේ යන දෙපැත්තම දැක ආනපාන සති භාවනාවම භාවනා කිරීම මෙම පටිසම්භිදා ඥාණයෙන් මොනවාට විහ‍්‍රහකර පෙන්වා දෙනු ලබයි.
7. අත්ථ පජ්ජෝතනේ පඤ්ඤා, ධම්ම පජ්ජෝතනේ පඤ්ඤා නිරුක්තිපජ්ජෝතනේ පඤ්ඤා, පටිභානපප්ජෝතනේ පඤ්ඤා හත්වැනි සිවුපිළිසිඹියාපත් ඥාණයයි. පජ්ජෝතනය යනු එලිදැක්වීම, බබුලුවීම, මතුකර ඇත්ත පෙන්වීම යන අර්ථය ගෙනෙන වචනයකි. තමෝ යනු අඳුරට වැසී මුවහ වීම යන්නයි.පජ්ජෝතන යන පදයේ විරුද්ධ පදය තමෝ යන්නයි. තමෝ තම පරායනෝ ජෝති ජෝති පරායනෝ යනුවෙන් චතුර්ථක නිපාතයේ මේ දෙපැත්ත විග‍්‍රහ කර ඇත.
8. අත්ථ විරෝචනේ පඤ්ඤා ධම්ම විරෝචනේ පඤ්ඤා, නිරුක්ති විරෝචනේ පඤ්ඤා, පටිභාන විරෝචනේ පඤ්ඤා යන සතර ඥාණයන් පිළිසිඹියාපත් ඥාණයන්ය. විවටති විරෝචති යනු විවෘත වූ පසු ආවරණ ගලවා දැමු පසු බැබලෙයි. දිලිසෙයි යන්නයි. මේ අනුවම මෙම සිවුපිළිසිඹියාපත් ඥාණයන් ලබාගත් පසුවම ධර්මය නිවන් දකින ආකාරයට ප‍්‍රඥා ලෝකය සිතක උපදින ආකාරයට විග‍්‍රහ කර පෙන්වා දිය හැකි ශක්තිය විරා්චනේ ඥාණයයි. මෙයද එළි දැක්වීමකි.
9. අත්ථප්පකාසනේ පඤ්ඤා, ධම්මප්පකාසනේ පඤ්ඤා නිරුක්තිප්පකාසනේ පඤඤා පටිභානප්පකාසනේ පඤ්ඤා යන හතරම පටිසභිදා ඥාණයෝයි. ඉහත සඳහන් කරණ ලද මුල් අට ආකාරයෙන්ම දැනගත්, පිරිසිදු ධර්මය අත්ථ ව්‍යාංජන සහිතව, සරල ලෙසින් ලෝකයාටත් තේරුම් ගෙන අනුගමනය කරමින් විමුක්ති ඥාණ දර්ශණය ලබා ගන්නට උපකාරවන ආකාරයට දේසනා කිරීම, ප‍්‍රකාශ කිරීම මෙම පටිසභිදා ඥාණයයි. බුද්ධ ධර්මය මේ ආකාරයෙන් විවෘත කර, වැසුනු තැන් මතුකර අභාවයට ගිය තැන් භාවිතයට ගන්නට සුදුසු අයුරින් ප‍්‍රකාශ කර එළිදක්වන්නට හැකි ශක්තිය සිවු පිළිසිඹියාපත් ශක්තියයි. අවසේස ලෝකයාටත් නිවන් අවබෝධ කර ගන්නට උපකාර වන ධර්මය දේශනා කළ හැක්කේ, මාර්ගය පහදා දිය හැක්කේ මෙම සිවුපිළිසිඹියාපත් ඤාණයන් සහිත මගඵල ලාභියෙකුට පමණි.

68. තථාගතස්ස ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණං
69. තථාගතස්ස ආසයානුසයාඤාණං
70. තථාගතස්ස යමකපාටිහීරේ ඤාණං
71. තථාගතස්ස මහාකරුණා සම්මාපත්ති ඤාණං
72. තථාගතස්ස සබ්බඤ්ක්‍දුත ඤාණං
73. තථාගතස්ස තත්‍ථ ආවරණං නත්ථිති අනාවරණ ඤාණං

ලොව්තුරා බුද්ධත්වයට පත් වූ උත්තමයෙකුට පමණක්ම දැනගෙන, දරාගෙන, විග‍්‍රකර දැක්විය හැකි විශේෂිත වූ ඤාණයන් හයක් අසාධාරණ ඤාණයන් ලෙසින් විග‍්‍රහ වෙයි. මේවා අසාධාරණ ඤාණයන් ලෙසින් නම් කලේ බුද්ධ ශ‍්‍රාවකයෙකුට හෝ මහඅරහතුන් කෙනෙකුට හෝ දරාගත නොහැකි හෙයිනි. ලොව්තුරා බුදුපියාණන් වහන්සේට මෙන් දරාගත නොහැකි හෙයිනි. ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කළ නොහැකි හෙයිනි. විග‍්‍රහ කර පෙන්වා දිය නොහැකි හෙයිනි.

ලොව්තුරා බුදුපියාණන් වහන්සේ කෙනෙකුට පරචිත්ත විජානන ඥාණයට වඩා ඉහළ වූ, චේතෝපරිය ඤාණයට වඩා ඉහළ වූ දිබ්බචක්ඛු ඤාණයට වඩා බලවත් වූ බුද්ධ ඤාණයක් වන ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාණය ලැබෙයි. බාහිර ලෝකයා පිළිබඳව අල්ප වූ රජස්, මාහාරජස් ඇති බව වෙන් කොට දකී. ඉන්ද්‍රීයයන්ගේ (ශ‍්‍රද්ධා ඉන්ද්‍රිය ආදී) තියුණු බව හා නොවැඩුණු බව වෙන් කොට දකී. පුද්ගලයින් තුළ පවතින විවිධාකාර අඳුරු ලෝක ස්වභාවයන් මෙන්ම අලෝක ස්වභාවයද දැක හඳුනාගනී. පුද්ගලයින් තුළ ඇති කෙලෙස් ගති, දුශ්චරිත ගති භව ගාමී කම්ම ගති දැකගනී. පෙර කළ පුන්‍ය ශක්තීන්ද දැකගනී.

පුද්ගලයින් තුළ ආසය, අනුසය උපත ලබන හා තැන්පත් වන එමෙන්ම කි‍්‍රයාත්මක වන විවිධාකාරයන්ද දනී. ලෝකයාට ඒවා පැහැදිලි කරදීමටද හැකියාව ඇති වෙයි. පුද්ගලයින් තුළ කාමාසව, භාවාසව දිට්ඨාසව මෙන්ම අවිජ්ජා සව කි‍්‍රයාත්මක වන ආකාරයත්, රාග අනුසය, පටිඝ අනුසය අවිජ්ජා අනුසය උපත ලබන ආකාරයත්, දිට්ඨි අනුසය, විචිකිච්චා අනුසය උපත ලබන ආකාරයන් මාන අනුසය සකස් වන ආකාරයන් දකී. ඒවා විග‍්‍රහ කර විස්තර කර දෙන්නටද තේරුම් කර කියා දෙන්නටද දනී.

එකම අවස්ථාවේ ප‍්‍රතිවිරුද්ධ කරුණු කාරණා දෙකක් කිරීමේ ශක්තියක්ද පවතී. එය යමක පාටිහීර ඤාණයයි.

මහාකරුණා සමාපත්ති ඤාණය ලෝකයා දෙස බලා උපකාර කිරීමේ ශක්තියක්ද ලැබෙන සම්මාපත්ති ඥාණයකි. ”සං” විග‍්‍රහයක් කර ”සං” පද හතර විග‍්‍රහ කර ලෝකයාට සංසාර භය විග‍්‍රහ කර සංදේශනාවක් කිරීමේ ශක්තිය ලැබෙන්නේද මෙම බුද්ධ ඤාණයන් ලැබීමත් සමගමය.

සියලු ආකාර වූ මෙම බුද්ධ ඥාණයන් ලැබෙන්නේ මිනිසෙකුටය. බුද්ධත්වයට පත්වන්නේද මිනිසෙකුමය. බුද්ධත්වය යනු කෙලෙස් භව උදුරා දැමීම නිසා පත්වූ ශුද්ධ තත්වයයි. ඒ නිසා ලොව්තුරා, බුද්ධත්වයට පත් වූ උතුමෙකු ලෝකයාට මෙවන් බුද්ධ ඥාණයන් ප‍්‍රකාශ කර පෙන්වා වදාලේ අවශේෂ ලෝකයාට (දෙව් මිනිසුන්ටත්) කෙලෙස් භව සහමුලින්ම උදුරා දමා භව ගාමී කම්ම ක්ඛය කර දමා සසර දුකින් සදහටම මිදී නිදහස් වන්නටය.

මෙවන් බුද්ධ ඤාණයන් කටපාඩම් කරගෙන සජ්ජායනා කිරීමෙන් පමණක්ම කිසිම කෙනෙකුට කෙලෙස් භව උදුරා ඉවත් කර දමා නිබ්බාන ගාමී විය නොහැකි බව සියලු මිනිසුන් විසින් යථා පරිදි අවබෝධ කර ගත යුතුය.

සියලු බුද්ධ ඥාණයන් ලබා ගන්නට නම් පරියාප්ති, ප‍්‍රතිවේධ, ප‍්‍රතිපත්ති යන ති‍්‍රවිධාකාර කි‍්‍රයාමාර්ගයන් ප‍්‍රායෝගිකවම අසා දැන, මෙනෙහි කර, ධාරණය කරගෙන ප‍්‍රායෝගිකවම අනුගමනය කර තම තමන්ම අත් දැක ගත යුතුය. වසර සියයක් ආත්ම සියයක් කියව කියවා, සජ්ජායනා කරමින්, වැඳුම් වැඳිමින්, යැඳුම් යදිමින්, පැතුම් පතමින්, පිදුම් පුදමින්, පූජා පවත්වමින් සිටියත් එකද බුද්ධ ඤාණයක් හෝ ලැබෙන්නේ නැත. භව ගාමී කම්මයන් උපත ලබන්නේ සිතකමය. භව ගාමී කම්ම කෙලෙස් භව උදුරා දමන්නට උපකාරවන සියලුම කි‍්‍රයා මාර්ග බුද්ධ ඤාණයෝය. යෝනිසෝමනසිකාරයෙන් කි‍්‍රයා කර මනස උසස් පිරිසිදු තත්වයට පත්කරගත් මිනිසෙකුගේම සිතක සියලු බුද්ධ ඤාණයෝ කි‍්‍රයාත්මක වෙයි.

Share Button

One thought on “බුද්ධ ඥාණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.