බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ භාවනාව යනු කුමක්ද?

”භාවනා” යන මාගධී පදයෙන් බුද්ධ භාෂිතයෙහි අර්ථ දැක්වූ ක‍්‍රියාකාරකම සහ පෙරදිග ආගම්වල අන්‍යාගමිකයින් භාවනා යනුවෙන් අදහස් කළ ක‍්‍රියාකාරකම් යන දෙක අතර ප‍්‍රායෝගික වශයෙන් මෙන්ම න්‍යායාත්මකවද බොහෝ වෙනස්කම් දක්නට ඇත. ලංකාවේ බෞද්ධයින් මෙන්ම පෙරදිග බොහෝ රටවල ද අපරදිග සමහර රටවල ද අද භාවනා කිරීම විලාසිතාවක් බවට පත්කරගෙන ඇති බව පෙනේ. ඒ ඒ ආගම්වල මෙන්ම, ඒ ඒ රටවලදීත් භාවනා කිරීමෙන් අත්පත් කරගන්නට, ඉෂ්ට සිද්ධ කර ගන්නට බලාපොරොත්තු වන පරමාර්ථයන් ද, බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ භාවනා කිරීමෙන් ඉටු කර ගත යුතු පරමාර්ථය ද එකිනෙකට හාත්පසින් ම වෙනස් ය. භාවනාවක් කිරීමේ දී භාවිතා කරන කර්මස්ථානයන් ද මේ ආකාරයෙන්ම අද වන විට විවිධාකාර තත්ත්වයන්ට පත් වී ඇත. මේ සියල්ලටමත් වඩා භාවනාව පිළිබඳව මිනිසුන් අතරේ අද පවතින අනවබෝධය ද එතරම්ම විෂමාකාර ය.

ගෝතම බුදුපියාණන් බුද්ධත්වයට පත් වන්නට පෙරත් අබුද්ධෝත්පාද යුගයේදීත් පෙරදිග බොහෝ රටවල භාවනා කිරීමේ සම්මතයක් හා සම්ප‍්‍රදායක් පැවතිණි. භාවනා කිරීම මඟින් ධ්‍යාන ලබා ගත් ධ්‍යානලාභීන් මෙන්ම, අභිඥාලාභීන් ද එදා මිනිසුන් අතරම වාසය කළ බව ඉතිහාසයේ සඳහන්ව ඇත. බෞද්ධ සාහිත්‍ය පොත්පත්වල දක්වන පරිදි බෝසත් සිද්ධාර්ථ කුමාරයාත් වසර හයක්ම එවකට ප‍්‍රසිද්ධව සිටි විවිධ ගුරුවරුන් කරා ගොස් භාවනා ඉගෙන ගෙන භාවනා කරමින් සියලුම ධ්‍යානයන් ලබා ගත් බව අරිය පරියේෂණ සූත‍්‍රයෙහිත් පෙන්වා දී ඇත.

මුල්ම බුද්ධ දේශණාවල සඳහන් වන පරිදි නම් ගෝතම බුදුපියාණන් බුද්ධත්වයට පත් වූ පසුව දේශණා කර වදාළ නිවන් මඟ හෙළි කළ නිවැරදි බුද්ධ ධර්මයට අනුව නම්, භාවනා යනුවෙන් එදා ලෝකයා සම්මත කරගෙන අර්ථ දැක්වූ සම්මත භාවනා කිරීම ධ්‍යාන ලැබීම, අභිඥා ලැබීම යනාදියටත් බුදුපියාණන් නව අර්ථකථනයක් ලබා දුන් බව පෙනෙන්නට ඇත. එදා දේව සංකල්ප වලට යටත් වු අන්‍යාගමිකයෝ, දේවත්වයට පත් වන්නට, බ‍්‍රහ්මත්වයට පත් වන්නට, අරූපී බ‍්‍රහ්්ම ලෝකයන්හි උපත ලබන්නට බලාපොරොත්තුවෙන් භාවනානුයෝගී වූහ. මේ ආකාරයෙන් බ‍්‍රහ්මත්වයට පත් වීමෙන් සදාකාලික විමුක්තියක් ලබාගත හැකි බව එදා බොහෝ ආගම් අදහන්නන්ගේ විශ්වාසය විය.

බුද්ධ භාෂිතයේ පෙන්වා දුන් පරිදි භාවනා කිරීම නැමති ක‍්‍රියාකාරකම ප‍්‍රායෝගිකවම යම් කිසි පරමාර්ථයක් ඉටු කරගන්නට උපකාර වන ඉලක්කයක් කරා යොමුවන්නට මඟ පෙන්වා දුන් මාර්ගයකි. භාවනා කිරීම නම් වූ මෙම ක‍්‍රියාකාරකම, ප‍්‍රතිපදාව යම් තරමක හෝ ධර්මාවබෝධයක් ලබා ගත් කෙනෙකුට තම දෛනික වූ දිවි පැවැත්මේ හැකි හැම අවස්ථාවකදීමත් ප‍්‍රායෝගිකවත් භාවිතයට ගතයුතු භාවිතා කර හුරු පුරුදු කර ගතයුතු පුහුණු කරගත යුතු ප‍්‍රතිපදාවකි.

ගිහියාට මෙන්ම පැවිද්දාට ද එදිනෙදා තම ජීවිත පැවැත්මේ දී නිරතුරුවම භාවනාවක් භාවිතයට ගැනීමෙන් සිතේ මතුවන, පවතින, කෙළෙස් ගති සිතින් ඉවත් කර දමන්නටත් ඒ වෙනුවට ඊට ප‍්‍රතිපක්ෂ වූ සිතේ යහපත් චේතනාවන් සිත තුළ වගා කර ගන්නටත් ඒ අනුව සිත පිරිසිදු කරගන්නටත් භාවනාව උපකාර කර ගතයුතුයි. මේ අනුව තමන්ටත් පෞද්ගලිකවම යහපතක්, සහනයක්, සැනසීමක් ලබා දෙන ඒ වගේම බාහිර ලෝකයාටත්, සමස්ත සමාජයටත් යහපතක්, සහනයක්, සාමයක් උදාකර වන්නා වූ පිරිසිදු හා යහපත් චේතනා හා අරමුණු සිත තුළ පවත්වා ගන්නට භාවනා කළ යුතුය. සීල, සමාධි, ප‍්‍රඥා යන ත‍්‍රිශික්ෂාවටම අයත් ශික්ෂණය, සංවරත්වය, හා සම්මා තත්ත්වයට පත් වීම, භාවනා යන ක‍්‍රියාව තුළින් අර්ථ දක්වන ලද බව බුද්ධ දේශණාවෙහි නම් පෙන්වා දෙයි. සීලයෙන් තොර වූ භාවනාවක් ගැන හෝ සමාධියක් ගැන හෝ සීලයෙන් තොරව ලබා ගත හැකි ප‍්‍රඥාවක් ගැන හෝ ධම්මානු ධම්ම පටිපදාවෙහි නම් දකින්නට නැත. මේ අනුව සීලයෙහි පිහිටා සංවර වීමටත්, සමාධියෙන් කෙළෙස් සංසිඳුවීමටත්, ප‍්‍රඥාවෙන් සම්මා දිට්ඨියට පත් වීමටත්, සම්මා දිට්ඨියෙන් ප‍්‍රඥා විමුක්තියට පත් වීමටත් යන සියලු ක‍්‍රියාවන්ට භාවනා කිරීම යන ක‍්‍රියාකාරකම භාවිතා කළ යුතුය යන්න බුද්ධ දේශණාවයි. මේ අනුව උතුම් බුද්ධ දේශණාවට අනුකූලව නම් භාවනා කිරීම යනු ගල් පිළිමයක් සේ නොසෙල් වී, එක තැනකට වී, සමාජයෙන් වෙන් වී, සමාජයෙන් කොන් වී, වනාන්තරයකට වී, ගසක් මුලකට වී හෝ මිනිසුන් රහිත ශූන්‍යාගාරයකට වී කාලය ගත කිරීම හෝ කාලය ගෙවා දැමීම අනරිය ධ්‍යානයන් ලබන්නට ක‍්‍රියා කිරීම මිස, භාවනා කිරීම නොවේ.

අද භාවනා කරනවා යැයි බහුතරයක් ලෝකයා කය (ශරිරය) භාවනාවට හුරු පුරුදු කිරීමේ ක‍්‍රමය බුද්ධ භාවනාවක් වන්නේ නම් නැත. සතියෙහි පිහිටා, මනස මෙහෙයවා, යෝනිසෝමනිසිකාරයෙන් ක‍්‍රියාකරන්නට පුරුදු වී සිත හා මනස යන දෙක ම හික්මවා ගෙන ඒ අනුව ඉන්ද්‍රියයන් හයම සංවර කර ගන්නටත්, සංවර ලෙසින් ඉන්ද්‍රියයන් හයම භාවිතයට ගන්නටත් පුරුදු පුහුණු වීම බුද්ධ දේශණාවට අනුකූලව භාවනා කිරීමයි.

බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ සීල, සමාධි, ප‍්‍රඥා යන ත‍්‍රිශික්ෂාව භාවනා කිරීම ද ”ආනා පාන” පිළිවෙතකි. ”ආනා පාන” පිළිවෙතක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය බුද්ධ දේශණාවේ හැම තැනකදීම අවධාරණයෙන්ම ප‍්‍රකාශ කර, අනුදැන වදාරා නිර්දේශ කර ඇත. මේ ආනාපාන පිළිවෙත සමථ, විපස්සනා, අනුපස්සනා ආදී සියලුම භාවනා අංගයන්හි දී ද පැහැදිළිවම හඳුනාගෙන භාවිතා කළ යුතුය. මහා සතර සතිපට්ඨානය සූත‍්‍රයේ පෙන්වා වදාළ පබ්බයන් 21 හිදී ම මෙම ආන පාන පිළිවෙත අස්ස පස්ස ලෙසින් පෙන්වා දී ඇත. අස්ස යනු ආශ‍්‍රය කිරීම යන අර්ථයයි. පස්ස යනු ප‍්‍රහාණය කිරීම, බැහැර කිරීම යන අර්ථයයි. ආන යනු ආනයන යන අර්ථයෙන් ඇතුළට ගැනීම යන්නත් ආපාන යනු අපනයන යන අර්ථයෙන් පිට කිරීම, බැහැර කිරීම යන්නත් අර්ථ දක්වයි.

බඹයක් පමණ වූ මේ ශරීර කූඩුව තුළට යමක් එකතු කර ගන්නට දොරවල් හයක් ඇති බවත්, ඇතුළට ගත් දේ පිට කරන්නටත් දොරවල් හයක්ම ඇති බවත් බුද්ධ දේශණාවේ පෙන්වා දී ඇත. මේ දොරවල් හයෙන්ම ඇතුළට ගන්නා කිළිටි දේවල් නිසා, කෙළෙස් ගති නිසා, චිත්තසංථානය හා මනස යන දෙකම අඳුරු වෙයි. කිළිටි වෙයි. කෙළෙස් ගති බැහැර කර දැමීම මගින් චිත්තසංථානය හා මනස යන දෙක ම පිරිසිදු වෙයි. ආගන්තුක වශයෙන් ඇතුළට ගන්නා උපක්ලේශයන් නිසා චිත්තසංථානය ද, ආධ්‍යාත්මිකව මතුවන කෙළෙස් නිසා චිත්තසංථානය හා මනස ද යන දෙක ම කිළිටි වෙයි. මේ අනුව ආනපාන භාවනාව පිළිබඳව බුද්ධ දේශණාවේ විග‍්‍රහ කළ තැන් ගැඹුරින් අධ්‍යයනය නොකර පදපරම ලෙසින් අශ්වාස ප‍්‍රශ්වාස කිරීම යැයි අර්ථ දැක්වීමෙන් අද වන විට සිදු කරගත් හානිය විනාශය අති මහත් ය. මේ ආකාරයෙන් වැරදියට බුද්ධ භාෂිතය පදපරම ලෙසින් අර්ථ දක්වා ප‍්‍රායෝගිකවම ඒ ප‍්‍රාණයාම භාවනාවන් මතු කරමින් අනරිය ධ්‍යානයන් ලබා ගෙන අතීතයේදී අසඤ්ඤ තලයන්හි අතරමං වූ මිනිසුන් ගණන අතිවිශාලය. ඒ උතුම් බුද්ධ ධර්මයෙහි පෙන්වා දුන් ආන පාන සති භාවනාව වැරදි ලෙසින් තේරුම් ගැනීම නිසාම සිදු වූ, සිදු කර ගත් මහා විනාශයේ ප‍්‍රතිඵලයන් ය.

තමන්ගේ සිත නිවෙන, තමන්ගේ සිත පිරිසිදු වන, තමන්ට ම යහපත් ප‍්‍රතිඵල උරුම කර දෙන, උදා කරවන, විතරාගී, වීත ද්වේෂී, වීත මෝහි, අරමුණු භාවිතා කරන්නට පුරුදු විය යුතුයි. ඒවාගේම බාහිර ලෝකයාටත්, ස්වභාව ධර්මයටත් යහපතක් ගෙන දෙන, සාමය, සමාදානය, උදාකරවන දේ කරන්නට සිත, කය, චවනය යන තුනමත් පුරුදු පුහුණු කළ යුතුයි. ඒවාගේම තමන්ගේ සිත කිළිටි වන, අයහපත් ප‍්‍රතිඵල (අපල) තමන්ටම උරුම කර දෙන, සිතේ හා මනසේ පිරිසිදු බවට හානි කරවන, සියලුම අරමුණු, සිතුවිලි තෝරා බේරා ඒවා නොකරන්නට, ඒවා අත්හැර ඉන් මිදී නිදහස් වන්නට සිත, කය, වචනය යන තුනමත් පුරුදු කරගත යුතුයි.

එවාගේම බාහිර ලෝකයාට අයහපත් දේ, ලෝක සත්ත්වයාට අහිතකර දේ, සංසාර ගැටළු නිර්මාණය කරන ආකාරයේ අයහපත් සිතුවිලි, කථා හා ක‍්‍රියාවන් කිරීමෙන් වැළකී, එවැනි දේ අත්හැර, ඉන් මිදී නිදහස් වන්නටත් වගබලාගත යුතුයි. ශ‍්‍රැතවත් අරිය ශ‍්‍රාවකයෙකු මෙසේ පිළිවෙතින් පෙළ ගැසීම ආනාපාන සති භාවනාවයි. මේ මඟින් තමන් නිවුණු, නිදහස්වුණු, මිදුණු, විමුක්තියට පත් වූ පුද්ගලයෙකු බව දැන නිරාමිස ප‍්‍රීතියට පත් වන්නටත්, ඒවාගේ ම තමාගෙන් බාහිර ලෝකයාට හෝ ස්වභාව ධර්මයාට හෝ අහිතක්, අයහපතක්, අවැඩක්, අසාධාරණයක් නොවන ලෙසින් හැම විටම උපේක්ඛා සිතින් ක‍්‍රියා කරන්නෙකු බවට පත්වීමෙන් ඉන් නිරාමිස සුවයක් ලබන්නටත් හැකිවෙයි. මෙවැනි යහපත් පිළිවෙතක් දෛනිකව අනුගමනය කරන්නට අවබෝධයක් ඇති කර ගැනීම ධර්මාවබෝධය ලැබීමයි. බුද්ධ ධර්මයෙහි පෙන්වා වදාළ ”ධම්මානු ධම්ම ප‍්‍රතිපදාවයි”. සීල, සමාධි, පඤ්ඤා යන ත‍්‍රිශික්ෂාවමත්, සමථ විපස්සනා භාවනාත්, චේතෝ විමුක්තිය, ප‍්‍රඥා විමුක්තිය යන උභතෝභාග විමුක්තියත්, ලෞකික, ලෝකෝත්තර උභයාර්ථ සාධනයත් සතර මඟ, සතර ඵලයනුත් සම්මා අංගයන් දහයමත් සම්පූර්ණ වන්නට මේ මාර්ගයම අනුගමනය කළ යුතුම ය. ඒ සඳහා මේ මාර්ගය හැර වෙනත් මාර්ගයක්ද නැත.

ලෝභ, ද්වේෂ, මෝහ යන කිළිටි, කෙළෙස් ගති තමන් තුළම ක‍්‍රියාත්මක වේදැයි සිතා සොයා බලා දැක ගෙන අලෝභ අද්වේෂ, අමෝහ වශයෙන් මේ ගති අත්හැර දමන්නටත් ලෝභක්ඛ්‍යය, ද්වේෂක්ඛ්‍යය, මෝහක්ඛ්‍යය වශයෙන් මේ කෙළෙස් ගති යළි සිත තුළ නොඋපදින්නට ම සිත හා මනස යන දෙකම පිරිසිදු කරගන්නටත් මේ භාවනා ක‍්‍රමයන් හතරම මිනිසෙකුට ඉමහත් සේ උපකාරකය. මෙතෙක් සාරයි කියා සංඛාර කරමින් එකතු කරගත් ”සංසාර” ගති දැක ඒ ගති තමා තුළින් ඉවත් කරන්නට ක‍්‍රියාකර, ”අසං” තත්ත්වයට පත් වී ඒ ගති සහමුළින්ම සිතින් කපා ඉවත්කර දැමීම ”සංඛ්‍යය” යනුවෙන් ද ධර්මයයේ පෙන්වා දී ඇත. සාර අසංඛ්‍යය යන පදවල තිපරිවට්ටය හා අර්ථය මේ අනුව හොඳින්ම තේරුම් ගන්නට ද උත්සාහ කළ යුතුය.

භාවනා කර නිවන් අවබෝධ කර ගැනීම යනු මෙතෙක් කාලයක් සාරයි කියා එකතු කර ගත් ”සං” (සමුදය දැක) සං අත්හැර, ”අසං” කරන්නටත්, යළි ‘‘සං’’ නොඋපදින ලෙසින්ම කෙළෙස් කපා, මුල් හැර දමා ”සං” ”ඛය” කර දමන්නටත් ක‍්‍රියා කරන කාල පරාසයයි. එය ”කල්පය” ලෙසින් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාරා ඇත.

මාන, දිට්ඨි, අවිජ්ජා යන ප‍්‍රපංච ධර්මයන් සිතක ක‍්‍රියාත්මක වීම නිසා උද්ධච්ච බව, උදහස් වීමේ ගතිය, අස්මි මානය, මමත්ත්වය, මඤ්ඤතාවය මෙන්ම ආත්මාර්ථකාමී බව, කපටි බව වැනි ළාමක ගති ගුණයන්ද මිනිසෙකුගේම සිතක් තුළ රැඳී පවතින්නේ චිත්තසංථානය හා මනස යන දෙතැනම කෙළෙස්වලින් අපිරිසිදු වී, මෝහයෙන් මුවහ වී පවතින නිසාමය. තරහා යන ගතිය, වෛර කරන ගතිය, ක්‍රෝධය, ද්වේෂය, ඊර්ෂ්‍යාව හා පටිඝය වැනි නරක ගතිගුණ පුද්ගලයෙකුගේ චිත්තසංතානය හා මනස යන දෙකමත් කිළිටි කර ලේ ධාතුව හා හදවත නිරන්තරවම කිළිටි කරවන රෝග කාරක මූල බීජයන් ද උපද්දවනවා වාගේ ම තමන්ව ම අපා ගත කරවන ගතිගුණයන් බව ද තේරුම් ගන්නට නම් මිනිසෙකු විසින් යම් කිසි ධර්මාවබෝධයකුත් ලබාගත යුතු ම ය.

ආසව, අනුසය ලෙසින් තම සිත තුළ පවතින මේ ගති ක‍්‍රියාත්මක වී තමන්ට ම සතුරන් ලෙසින් අපල උපද්‍රව උරුම කර දෙන්නේ තමා තුළම ඇති මේ ගති නිසාම මිස වෙනත් බාහිර බලවේග නිසා නොවන බවද තේරුම් ගන්නට මිනිසෙකු දක්ෂයකු විය යුතුය. දස සංයෝජන වලින් ම තමන් සසරට බැඳ තබන්නේ දුකට පත් කරවන්නේ තමා තුළම මුල් බැස ගෙන ක‍්‍රියාත්මකව පවතින මේ කෙළෙස් ගතිමය. යළි යළිත් සිතේ කෙළෙස් උපත ලබන්නේ ද, සමුදය බිහි වන්නේ ද, ඒ කෙළෙස් ගති සිතේ මුල් බැස ගෙන පවතින නිසාමය. ධර්මාවබෝධයක් ලබාගෙන, සුතමය ඥාණයෙන් යුතුව ක‍්‍රියා කර, තමන්ගේ ම සිත හා මනස යහපත් සේ භාවිතා කරන්නට පුරුදු පුහුණු වීම භාවනා යනුවෙන් අර්ථ ගැන්වූ ක‍්‍රියාවයි. මේ අනුව භාවනා කිරීමෙන් කරගත යුතු වන්නේ තම සිත තුළම මුල් බැස ගෙන පැවති හා පවතින ලෝභ, ද්වේෂ, මෝහ යන කෙළෙස් ගති සහමුළින් ම කපා හැර, සිඳ දමා ඒවායින් නිදහස් වීම යි. සිත හා මනස පිරිසිදු කර ගැනීම යි.

Share Button