මහා චත්තාරික සූත්‍ර දේශණාව

මහා චත්තාරිස සූත‍්‍රයේ පෙන්වා වදාළ පැහැදිළිවම ප‍්‍රකාශ කර වදාළ තවත් වැදගත්ම ලක්ෂණයක් වෙයි. එනම් ලෞකික සම්මා වාචා, ලෞකික සම්මා කම්මන්ත හා ලෞකික සම්මා ආජීව යන අංගයන් තුන සඳහා වේරමණී සීලයම පමණක් පෙන්වා වදාළ අතර ලෝකෝත්තර සම්මා වාචා, ලෝකෝත්තර සම්මා කම්මන්ත, ලෝකෝත්තර සම්මා ආජීව යන අංගයන් සම්පූර්ණ කර ගැනීමේදී වේරමණී සීලය ප‍්‍රමාණවත් නොවන බවත් වේරමණි සීලයද ඇතුලුව සංවර සීලය, ප‍්‍රහාණ සීලය, චේතනා සීලය හා අයිතික්කම සීලය යන අරියකාන්ත පංච සීලයම සම්පූර්ණ කර ගත යුතු බවත් පෙන්වා දීමයි. එහි පළමු කොටම මිච්ඡ වාචා පැහැදිළි කරයි.

1. ”කථමාච භික්ඛවේ මිච්ඡ වාචා”-: මුසාවාදෝ, පිසුනා වාචා, ඵරුසා වාචා, සංඵප්පලාපා, අයං භික්ඛවේ මිච්ඡ වාචා”
දෙවනුව සම්මා වාචා විස්තර කරයි.
2. ”කථමාච භික්ඛවේ සම්මා වාචා” : සම්මා වාචා සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා, මුසාවාදා වේරමණී, පිසුනාය වාචාය වේරමණී, පරුසාය වාචාය වේරමණී, සංඵප්පලාපා වේරමණී අයං භික්ඛවේ සම්මා වාචා සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා”
තුන්වනුව ලෝකෝත්තර සම්මා වාචා විග‍්‍රහ කරයි
3. ”කථමාච භික්ඛවේ සම්මා වාචා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා යා ඛෝ භික්ඛවේ, අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංග්ගිනෝ අරිය මග්ගං භාවයතෝ චතුහිපි වචීදුච්චරිතේහි ආරති, විරති, පටිවිරති, වේරමණී, අයං භික්ඛවේ සම්මා වාචා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. සෝ මිච්ඡ වාචාය පහානාය වායමති, සම්මා වාචාය උපසම්පදාය, ස්වාස්ස හෝති, සම්මා වායාමෝ, සෝසතෝ මිච්ඡ වාචං පජහති, සතෝ සම්මා වාචං උපසම්පජ්ජ විහරති. සාස්ස හෝති සම්මා සති, ඉතිස්සිමේ තයෝ ධම්මා සම්මා වාචාං අනුපරිධාවන්ති, අනුපරිවත්තංති, සෙය්‍යතිදං සම්මා දිට්ඨි, සම්මා වායාමෝ, සම්මා සති”

මෙතැන දෙවැනි හා තුන්වැනි පාඨවලින් පෙන් වූ සම්මා දිටිඨි දෙක සසඳා බලන කළ අද බුද්ධාගමේ භාවිතා කරන්නේ ලෞකික සම්මා දිට්ඨිය පමණක්ම බවත් ඊට උචිත වේරමණී සීලය පමණක් සමාදන් වන බවත් ඉතාමත්ම පැහැදිළිය. මෙම වේරමණී සීලය, යහපත් හොඳ නිවැරදි දිවි පැවැත්මක් සඳහා භාවිතා කළයුතු එකක් පමණි. මෙය කිසිසේත්ම නිවන් අවබෝධයට නම් ප‍්‍රමාණවත් සීලයක් නොවන බව මෙයින් සක්සුදක් සේ පැහැදිළි වෙයි. මේ වේරමණී සීලය හෝ රැකීම නරක දෙයක් නම් නොවේ. නමුත් එහි නිවන නම් නැත.

තුන්වන පාඨයෙන් ඉතාම පිරිසිදුවත් ඉතාම පැහැදිළිවත් සම්මා වාචා අංගය යටතේ නිවනට උපකාරවන සීලය – ආරති, විරති, පටිවිරති, වේරමණී යන පදවලින් පෙන්වා විග‍්‍රහ කරදී ඇත. මෙතැන සංවර සීලය ප‍්‍රහාණ සීලය, චේතනා සීලය හා අයිතික්කම සීලයද ඇතුලුව වේරමණී සීලයද සම්පූර්ණ වී අරිය කාන්ත සීලයෙහි පිහිටන බව ප‍්‍රකාශ කර ඇත. ඒ නිසා නිවන් අවබෝධය සඳහා නම් උපකාරවන්නේ බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ මේ උතුම් පංච සීලය මිස ”වේරමණී සික්ඛාපදං සමාධියාමි” යන ලෙසින් අද සම්මතයෙන් සමාදන් වන සීලය පමණක් නොවේ. ආරති, විරති, පටිවිරති, වේරමණී යනු කිසිසේත්ම සමාදන් වූ පමණට පිහිටන සීලයක්ද නොවේ. මෙය කාගෙන්වත් ලබාගත හැකි සීලයක්ද නොවේ. මෙය කාටවත් දිය හැකි සීලයක්ද නොවේ. එය යථාවබෝධයෙන්ම තමන් සංවර වීමේ චේතනාවෙන්ම ප‍්‍රහාණය කර නිදහස් වීමේ චේතනාවෙන්ම වෙන් වී, විරමණය වීමෙන් ලබන සීලයක පිහිටා ක‍්‍රියා කිරීමයි. සංවරවී, සංසුන් වී, සංයමයට පත්වී, සංසිඳුවා, සම්මා වීමට උපකාර වන සේ පිහිටන මේ සීලය ”උපසම්පදා” යන උසස් තත්ත්වයට පත්වීමට බුද්ධ භාෂිතයේ පෙන්වා දුන් දහසක් සංවර සීලයයි. මෙය ප‍්‍රත්‍ය+සං+නිශ‍්‍රිත සීලයයි. බුද්ධ විනයේ එන නිවැරදි සංවර සීලයයි. සම්මා දිට්ඨියෙහි පිහිටා, සම්මා වායාමය සපුරාගෙන, සම්මා සතියෙන්ම මෙවන් උතුම් සම්මා වාචා අංගයන් සම්පූර්ණ කරගත හැකිවෙයි. මෙය සිල්පද සමාදන් වී ලබන ශික්ෂණය හෝ හික්මීම අභිබවා ගොස් සංවරත්වයටම පත්වීමක් බව ලෝකෝත්තර සම්මා අංගයන් පිළිබඳව ලියැවී ඇති බුද්ධ භාෂිතය කියවා තේරුම් ගත හැකි හැම මිනිසෙකුටම අවබෝධකර ගතහැකි වෙනු ඇත. සම්මා කම්මන්ත පැහැදිළි කිරීමේදීද මේ ආකාරයෙන්ම තුන් ආකාරයක් තිපරිවට්ටයක් පෙන්වා දී ඇත.

1. මිච්ඡ කම්මන්තය විස්තර කරමින්, ”කථමෝච භික්ඛවේ මිච්ඡුා කම්මන්තා, පානාති පාතෝ, අදින්නා දානා, කාමේසු මිච්ඡචාරෝ අයං භික්ඛවේ මිච්ඡ කම්මන්තෝ කථමෝච භික්ඛවේ සම්මා කම්මන්තෝ සම්මා කම්මන්තං පහං භික්ඛවේ, ද්වයං වදාමි.” (දෙයාකාර යැයි වදාරමි)

2. ලෞකික සම්මා කම්මන්තය පෙන්වා දෙමින්, ”කථමෝච භික්ඛවේ සම්මා කම්මන්තෝ, සාසවා පුඤ්ඤභාගියා, උපධිවෙපක්ඛා, පානාතිපාති වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡුාචාරා වේරමණී, අයං භික්ඛවේ සම්මා කම්මන්තා සාසවෝ පුඤ්ඤභාගීයෝ උපධිවෙපක්ඛා”

3. ලෝකෝත්තර සම්මා කම්මන්තය පැහැදිළි කර දෙමින්,
”කථමෝච භික්ඛවේ, සම්මා කම්මන්තෝ අරියෝ, අනාසවෝ, ලෝකුත්තරෝ මග්ගංගෝ, යා ඛෝ භික්ඛවේ අරිය චිත්තස්ස, අනාසව චිත්තස්ස, අරිය මග්ග සම්මග්ගිනෝ, අරිය මග්ගං භාවයතෝ, තී හිපි කාය දුච්චරිතේහි ආරති, විරති, පටිවිරති, වේරමණී, අයං භික්ඛවේ සම්මා කම්මන්තෝ, අරියෝ, අනාසවෝ ලෝකුත්තර මග්ගංගෝ, සෝ මිච්ඡ කම්මන්තස්ස පහානාය වායමති, සම්මා කම්මන්තස්ස උපසම්පදාය ස්වාස්ස හෝති සම්මා වායාමෝ සෝ සතෝ මිච්ජා කම්මන්තං පජහති. සතෝ සම්මා කම්මන්තං උපසම්පජ්ජ විහරති, සාස්ස හෝති සම්මා සති, ඉතිඉස්ස මේ තයෝ ධම්මා සම්මා කමිමන්තං අනුපරිධාවන්ති, අනුපරිවත්තංති, සෙය්‍යතිදං සම්මා දිට්ඨි, සම්මා වායාමෝ සම්මා සති”

මෙතැනදී පැහැදිළිවම ප‍්‍රකාශ කර පෙන්වා දිය යුතු වන්නේ ලෝකයාට බුදු කෙනෙකුන් පහළවී උතුම් ධර්මය දේශණා කරන්නේ එතෙක් ලෝකයා භාවිතා කළ හොඳ, යහපත් නිවැරදි ලෝකයම තවදුරටත් අල්ලා ගෙන, සංසාර සැප විඳින්නට හොඳ මඟක් පෙන්වා දීම සඳහා කරන දේශණාවක් නොවන බවයි. මෙයට පෙර නොඇසූ, මෙයට පෙර භාවිතයේ නොතිබූ, දැන නොසිටි උතුම් ධර්මයක් (පුබ්බේ අනනුස්සුතේසු ධම්මේ) අලුත්ම, අර්ථ, ධර්ම, නිරුක්ති විග‍්‍රහයක් සහිතව දේශණා කර ලෝකයාට සංසාර දුකෙන් මිදී නිදහස් වීමේ නිවැරදි මාර්ගයම පෙන්වා දීමට ක‍්‍රියාකළ බවයි. මේ නිසා මහාමායා දේවිය පවා එදා සමාදන් වූ වේරමණී සීලය අභිබවා ආරති, විරති, පටිවිරති, වේරමණී යන පංච සීලය ලෝකයාට කියාදී, එම අරිය කාන්ත සීලයේ පිහිටා ක‍්‍රියාකරන්නට අරිය මාර්ගය පෙන්වාදීම ලොවුතුරා බුදුකෙනෙකුන් ලොව පහළවී කරුණු ලබන උතුම්ම ක‍්‍රියාවයි.

චුල්හත්ථිපදෝපම සූත‍්‍රයේදී මෙම අරිය කාන්ත සීලය නිවැරදි ලෙසින් සියලුම සිල් පදයන් සහිතව පෙන්වා දී ”උපසම්පදා නැමැති උසස් තත්ත්වයට පත්වන්නට අවශ්‍යවන අරිය කාන්ත සීලය, සංවර සීලය, චේතනා සීලය, වේරමණි සීලය, ප‍්‍රහාණ සීලය, හා අයිතික්කම සීලය යන පංච සීලයක් විස්තර සහිතව විග‍්‍රහකර පෙන්වා දී ඇත. අද මේ සූත‍්‍රයේ පෙන්වා දී ඇති උතුම් සීිල ප‍්‍රතිපදාවද භාවිතයේ නැත.

මේ අනුව පරම්පරා ගණනක් තුළ සම්මත කරගෙන වැරදි ලෙසින් පවත්වාගෙන ආ සීලය සමාදන් වීමක් පමණි අරිය තත්ත්වයට පත්වීමට උපකාර වන අරිය කාන්ත සීලයත් උපසම්පදා සීලයත් දෙයාකාරයක, දෙවිධියක සීල ප‍්‍රතිපදාවන් බව නිවැරදිවම තේරුම් ගැනීමට බුද්ධ භාෂිතය නිවැරදිවම හැදෑරිය යුතුබව පෙන්වා දිය යුතුය. හොඳ, යහපත්, නිවැරදි ලෞකිකත්වයට පමණක් උපකාරවන සංසාර ගමන දිගින් දිගටම පවත්වා ගෙන යන්නට උපකාර වන ”සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්ඛා ” යනුවෙන් පෙන්වා දුන් ලෞකික සම්මා අංගවලට හිරවී අද සිල් රැුකීමද, භාවනා කිරීමද කරයි. සම්මා ආජිවයද මේ ආකාරයෙන්ම තුන් ආකාරයට පෙන්වා දුන්හ.

1. මිච්ඡ ආජීවය
2. ලෞකික සම්මා ආජීවය
3. ලෝකෝත්තර සම්මා ආජීවයයි

මෙතැනදී බුදුපියාණන් පෙන්වා වදාළේ ඉතාමත්ම ගැඹුරු ලෝකෝත්තර ධර්මයකි. සම්මා වාචා, සම්මා කම්මන්ත යන අංගයන් දෙකෙහි පෙන්වා වදාළ සිල් පදයන්ට අමතරව සියලු සිල්පද සංවරත්වයට උපකාර වන බවත් සංවරත්වයේ පිහිටා සීල සමාධි, ප‍්‍රඥා යන අංගයන් තුනම සම්පූර්ණ කර ගැනීමේදී ජීවත්වීම කුමක්ද යන්න පිළිබඳව යථාභූත ඥාණය අනුව ඇත්ත දැක ගැනීමට හැකි වී ඉන් මිදී නිදහස් වීමට ගතයුතු පියවරයන් පෙන්වා දීමත් මෙතැනදී සිදු විය.

මහාචත්තාරික සූත‍්‍රයේ පෙන්වා වදාළ මීළඟ පියවර වන්නේ අනාපානා සති භාවනාවට උපකාර වන ද්වතාවය විග‍්‍රහ කිරීමයි. එනම් සේවිතබ්බා, අසේවිතබ්බා යන කොටස් දෙකට අයත් ධර්මයන් විග‍්‍රහ කිරීමයි. සම්මා දිට්ඨියේ සිට සම්මා සමාධි තෙක් අංග අටේදීමත් ඊට පසුව සම්මා ඥාණ හා සම්මා විමුක්ති යන අංග දෙකද ඇතුලුව අංග දහයකදීමත් මේ දෙපැත්තම විග‍්‍රහ කරදී පෙන්වා වදාරා ඇත.

1. සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති, සම්මා දිට්ඨිස්ස භික්ඛවේ මිච්ඡුා දිට්ඨි නිප්ජින්නා හෝති, යේ ච මිච්ඡ දිට්ඨි පච්චයා අනෙකේ පාපකා අකුසලා ධම්මා සංභවන්තී. තේ චස්ස නිජ්ජින්නා හොන්ති. සම්මා දිට්ඨි පච්චයා ච අනෙකේ කුසලා ධම්මෝ භාවනා පරිපූරං ගච්ඡුන්ති.
2. යෙ ච මිච්ඡ සංකප්පා පචිචයා අනෙකේ පාපකා අකුසලා ධම්මා සංභවන්ති- තේ චස්ස නිජ්ජින්තා හොන්ති. සම්මා සංකප්ප පච්චවා ච අනේකේ කුසලා ධම්මා භාවනා පරිපූරං ගච්ජන්ති.

මෙලෙස සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග අටම විස්තර කර දුන්හ. ඊළඟට,

1. සම්මා ඥාණස්ස මිච්ඡ ඥාණං නිජ්ජින්නං හෝති. යෙ ච මිච්ඡ ඥාණං පච්චයා අනේකේ පාපකා අකුසලා ධම්මා සංභවන්ති. තේ චස්ස නිජ්ජින්තා හොන්ති. සම්මා ඥාණ පච්චයා ච අනේකේ කුසලා ධම්මා භාවනා පරිපූරං ගච්ඡුන්ති.

2. සම්මා විමුත්තස්ස භික්ඛවේ මිච්ඡුා විමුක්ති නිජ්ජින්නා හොන්ති. යෙච මිච්ජා විමුක්ති පචිචයා අනෙකේ පාපකා අකුසලා ධම්මා සංභවන්ති තේ චස්ස නිර්ජින්නා හොන්ති. සම්මා විමුක්ති පච්චයා ච අනේකේ කුසලා ධම්මා භාවනා පරිපූරං ගච්ඡුන්ති”

”මෙහි සංභවන්ති” යැයි පදයක් දස අවස්ථාවෙහිම යොදාගෙන ඇත. ”සං” භවයක් හටගන්නා ආකාරය පෙන්වා දුන්නේ මෙතැනදීය. අවිද්‍යාමූූල පට්ච්චසමුප්පාද ධර්මයෙහි ”සංඛාර පච්චයා විඤ්ඤාණ ………… උපාදාන පච්චයා භව” යන අවිද්‍යා මූල පටිච්චසමුප්පාද පද වැලෙහි ”සං – භව” හටගන්නා ආකාරය මෙතැනදීද පෙන්වා දී ඇත. ”සං” වලින් මිදී නිදහස් වීමට නම් කුණු සළාහැර කෙළෙස් වලින් මිදී නිදහස් වීමේ ප‍්‍රතිපත්තියම භාවිතා කර ”භාවනා පරිපූරං” තත්ත්වයට පත්වීම මෙහිදීද පෙන්වා දී ඇත. මෙතන ”කුසලා” ධම්මා යැයි පෙන්වා දුන්නේ පින්කම් කිරීම නොවේ. රාග, ද්වේෂ, මෝහ ගති සියල්ලම සළාහැර ඉවත් කිරීමයි. ”පුඤ්ඤ පාප පහීනස්ස” යනුවෙන් ධර්මයේ පෙන්වා වදාළේ පින් පව් දෙකම සළාහැර මිදී නිදහස් විය යුතු නිසයි. අරිය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වා වදාළ මේ අවස්ථා අටෙහිදීම කළ යුත්තේ ලෝකෝත්තර අරිය මාර්ගය උපදවා ගැනීමට අවශ්‍ය කුණු, කෙළෙස් සළාහැර චිත්තසංථානය පිරිසිදු කර ගැනීමට නිවැරදි මාර්ගයම භාවිතා කිරීමයි. මෙතරම් පිරිසිදුවත්, පැහැදිළිවත් නිවන් මඟ පෙන්වා වදාළ වෙනත් තැනක් මුළු ත‍්‍රිපිටක ධර්මයේම නැතැයි කීවොත් එය සත්‍යයකි.

මහා චත්තාරිසක සූත‍්‍ර‍්‍ර දේශණාව කොතරම් ගැඹුරු සූත‍්‍ර දේශණාවක් ද කියතොත් ත‍්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ අනුපද වර්ගයේ එන මෙම පාලි පාඨ සිංහලට පරිවර්තනය කිරීමේදී පරිවර්තකයින්ට මෙහි අර්ථය දැක ගන්නට නොහැකි වී වැරදි ලෙසින් පරිවර්තනය කිරීමෙන්ම මෙහි ගැඹුරු බව පැහැදිළිය. මහා චත්තාරික සූත‍්‍රයේ අවසානයේ දක්වා ඇති පාඨ කිහිපයක්ම නිවැරදි කර සිංහල බසින් පෙන්වා දිය යුතුය.

”යෝ හී කෝ චි භික්ඛවේ, සමණෝ වා බ‍්‍රාහ්මත්‍ණා්වා ඉමං මහාචත්තාරිසකං ධම්ම පරියායං ගරහිතබ්බං පටික්කෝසිතබ්බං මඤ්ඤෙය්‍ය, තස්ස දිට්ඨෙව ධම්මේ දස සහධම්මිකා වාදානුවදා ගාරයිහං ඨානං ආගච්ඡුන්ති”

මෙහි තේරුම, ”මහණෙනි, යම් මහණෙක්, ශ‍්‍රමණයෙක් හෝ බ‍්‍රාහ්මණයෙක් හෝ වෙනත් යම් කෙනෙක් හෝ මෙම මහා චත්තාරික ධර්ම ක‍්‍රමය ධර්ම පරියාය නිසි පරිදි තේරුම් නොගෙන මෙය ප‍්‍රතික්ෂේප කළයුතු, ගැරහිය යුතු, අත්හැරිය යුතු, තේරුමක් නැති ඵලක් නැති දෙයක් යැයි සිතා කටයුතු කරමින් ධර්මය විකෘති කරන්නේ නම් මෙළොවදීම ඒ තැනැත්තාට දස ආකාර වූ ගැරහුම් ලබන්නට හේතුවන පාප ධර්මයක් සිදු කරගත්තා වෙයි. එවන් කෙනෙකුට නිවන නොපිහිටන්නේමය”

ඊළඟට ගෙනහැර දක්වා ඇති පාඨය ඉතාම වැදගත්ය. නමුත් මේ පාඨයන් සියල්ලම සිංහල භාෂාවට පරිවර්තනය වීමේදී අර්ථය කණපිට පෙරළාගෙන මහා සාගරයක අතරමං වූවන් බවටම පත් වී අර්ථ දක්වා ඇති බව පෙනේ. ”සම්මා දිට්ඨිං චේ භවං ගරහති. යේ ච මිච්ඡුා දිට්ඨි සමණ බ‍්‍රාහ්මණා, තේ භෝතෝ පුජ්ජා තේ හෝතෝ පසංසා සම්මා සංකප්පං චේ භවං ගරහති. යේ ච මිච්ජා සංකප්පා සමණ බ‍්‍රාහ්මණා, තේ භෝතෝ පුජ්ජා, තේ භෝතෝ පසංසා”

මේ ආකාරයට අරිය අෂ්ටාංගික මාර්ගයේ අංග අටක් හා සම්මා ඥාණ, සම්මා විමුක්ති යන අංගයන් ගැනත් ප‍්‍රකාශ කර ඇත. මෙහි තේරුම යමෙක් ලෝකෝත්තර නිවන් මාර්ගය වූ උතුම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය බොරුයි කියා ගරහයි ද ඔහු මිත්‍යා දෘෂ්ඨිගත වූ ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයෙකුම වෙයි. එවැනි ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයෙකුට පූජ්‍යත්වයෙන් සැළකීම හෝ ප‍්‍රසංසා කිරීම අභව්‍ය වේ. නොකළ යුතු වේ. ඒ ඔහු බුදුපියාණන් පෙන්වා වදාළ ලෝකෝත්තර නිවන් මඟ බොරුයැයි කියා පෙන්වා දෙන අභ්‍යව්‍ය යැයි පෙන්වා දෙන අනුන්ගේ නිවන් මඟද වසා, අසුරා දමන කෙනෙකු නිසයි.

සැළකිය යුතුයි :- ත‍්‍රිපිටකයේ මේ පාඨය සිංහලයට පරිවර්තනය කර දක්වා ඇත්තේ මෙසේය. ඉදින් භවත් සම්‍යක් දෘෂ්ඨිය ගරහා නම් මතු මිසදුටු ගත් මහණ බමුණු කෙනෙක් ඇත්ද, ඔහු භවතුන් විසින් පූජ්‍යයෝ වෙති. ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙති යනුවෙනි.

මෙයින් කියැවෙන්නේ ”සම්මා දෘෂ්ඨිය ගරහයි නම්, ඔහු පූජ්‍යයෙකු වෙයි. ප‍්‍රසංසා කළ යුතු වෙයි”, යන්නයි. එසේ නම් මෙය කොතරම් මුසාවක්ද යන්න සළකා බැලිය යුතුය. මෙයට හේතුව ”භෝතෝ” යන මාගධී ශබ්ද සංඥාව නිවැරදිව පරිවර්තනය නොකිරීමයි. ”භේතෝ” යනු සත්‍යයෙන් තොර අභව්‍ය, නුසුදුසු, නොගැළපෙන යන අර්ථයයි. එවන් නොගැළපෙන, නුසුදුසු කෙනෙකු පිදීමට හෝ ප‍්‍රසංසා කිරීමට නොවටිනා බව මෙහි නිවැරදි අර්ථය වන්නේය.

මහා චත්තාරික සූත‍්‍රය අද ධර්ම දේසකයින් කවුරුවත් ධර්ම දේශණාවකදී භාවිතා නොකරයි. එයට හේතුව මෙම සූත‍්‍ර දේශණාවෙන් පෙන්වා වදාළ උතුම් ධර්මය තේරුම් ගන්නට නොහැකි ලෙසම යටපත් වී ඇති නිසයි. පටිච්චසමුප්පාද ධර්මය තුළ ඇති තිපරිවටිටයම – එනම්,
1. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මයේ බැඳුනොත් අවිද්‍යාමූල ”සං” උපත ලබන්නට හේතුවන බවත්,
2. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්ම නිරෝධ කර සං උපත නිර් – උදා කළ හැකි බවත්,
3. කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය භාවිත කර සං උපත ලබන කුණු මුල් ගළවා දමා චිත්තසංථානය පිරිසිදු කරගත හැකි බවත් තේරුම් නොගත් කෙනෙකුට මෙම චත්තාරික සූත‍්‍ර දේශණාවෙන් බුදුපියාණන් පෙන්වා වදාළ තිපරිවට්ටයම තේරුම් ගැනීමේ හැකියාවක්ද නැත. එනම්,

i. මිච්ඡ දිට්ඨිය, මිච්ඡුා දිට්ඨිය බවත්, සියලු ”සං” උපදවන්නේ මිච්ඡුා අංගයන් භාවිතා කිරීම නිසාම බවත්
ii. මිච්ඡ අංගවලින් වෙන් වී, නිදහස් වී ලෞකික සම්මා අංග භාවිතා කළහොත් සිදුවන්නේ අයහපත් පැවැත්මෙන් ඉවත් වී යහපත් පැවැත්මක් කරා පැමිණීම බවත් එයද නිවන නොවන බවත්, සසසග නිවනට උපකාර වන අරිය ධර්මය, අරිය සිතුවිල්ල, අරිය මාර්ගය වන්නේ යහපත්, අයහපත්, හොඳ, නරක, සියලුම ලෞකික තත්ත්වයන්ගෙන්ද මිදී නිදහස් වන අරිය සම්මා ප‍්‍රතිපදාව බවත් නිවැරදිවම තේරුම් ගැනීමෙනි.

ආගමක් භක්තියෙන් අදහන කෙනෙකුට මේ තිපරිවට්ටයම පහසුවෙන් තේරුම් ගත නොහැකියි. ”අදහනවා” යන්න මේ ලෞකිකත්වය තුළම ඇති යහපත්, නිවැරදි හොඳ දේ කෙරෙහි විශ්වාස තබා ඒවා ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්ම කරන, කියන, හිතන සංඛාර පැවැත්වීමයි. නිවන යනු සියලු සංඛාරයන් ගෙන් තොරව කාර සිත් පමණක් කරන එනම් ක‍්‍රියා සිත් පමණක් පැවැත්වීමකි.

අරහතුන්වහන්සේ කිසිවක් එකතු නොකරයි. කිසිවක රස විඳීමක් නොකරයි. කිසිවකින් කය රමණය නොකරයි. ලාභ ලැබීමේ කිසිම පර්යේෂණයක් නොකරයි. එවන් සිතුවිල්ලක් නොපවත්වයි. රටක් අල්ලා ගැනීමේ බිමක් අල්ලා ගැනීමේ (සංභවං) ක‍්‍රියාවන් නොකරයි. කිසිම ආකාරයක රඟපෑමක් නොකරයි. මේ නිසා කිසිම සංඛාරයක් නොකරයි. සං+කාර යනු එකතු කරන්නට කරන ක‍්‍රියාකාරකම් යන තේරුමයි. ”සම්මා” යනු ඉහත දැක් වූ රම, රස, රඟ, රට, රජ, රති යන එකතු කිරීමේ ගති ලක්ෂණයන් හයෙන්ම මිදී නිදහස් වූ යන තේරුමයි. මේ ගති හය නිසාම ගති හයට අදාළ දේ එකතු කිරීම සඳහාම සියලු පෘථග්ජන සත්ත්වයා ජීවත් වෙති. එය සංසාර පැවැත්මයි. එයම සංසාර පුරුද්දයි.

මහා චත්තාරික සූත‍්‍ර ධර්මයෙන් විග‍්‍රහකර පෙන්වා වදාළ ධර්මයේ සාරාංශයක් මෙසේ ඉදිරිපත් කළ හැකිය.

අෂ්ටාංගික මාර්ගය තුන් ආකාර වූ තිපරිවට්ටයක් සහිතය.
1. මිච්ඡ අෂ්ටාංගික මාර්ගයයි.
2. ලෞකික අෂ්ටාංගික මාර්ගයයි
3. අරිය අෂ්ටාංගික මාර්ගයයි.

සග අපායට යන්නට, දුගතියට පත්වන්නට, දුක් විඳිමින් තිරස්චීන ගතිවලට පත්වන්නට හේතුවන මිච්ඡුා දිට්ඨියේ පටන් මිච්ඡ සමාධිය තෙක් විස්තර කරදුන් අංග අටයි. සසග අපායෙන් මිදී, සුගතියට පත්වන්නට ලෞකිකත්වය තුළින්ම විඳගත හැකි ලෞකික සැප සම්පත් ලබන්නට උපකාර වන සම්මා දිට්ඨියේ පටන් සම්මා සමාධිය දක්වා අංගයන් අටයි. හොඳ, යහපත් නිවැරදි දැකීම ලෙසින් අද බුද්ධාගමේ අෂ්ටාංගික මාර්ගය ලෙසින් පෙන්වා දෙන්නේ මේ සම්මා අංගයන් අටයි. සසසග අරිය අෂ්ටාංගික මාර්ගය බුදුපියාණන් දේශණාකර වදාළ පෙන්වා වදාළ නිවන් මාර්ගයට උපකාර වන ලෝකෝත්තර අරිය අෂ්ටාංගික මාර්ගයයි. මේ උතුම් අෂ්ටාංගික මාර්ගය නිවැරදිව පෙන්වා දිය හැකි නිවැරදිව විග‍්‍රහ කර මිනිසුන්ට පැහැදිළි කරදිය හැකි අය අද ඉතාම විරලය. අද මේ මාර්ගය සම්පුර්ණයෙන්ම වාගේ වැසී, යටපත් වී ගොස් ඇත.

බොහෝමයක් බෞද්ධ උගතුන් සිතා සිටින්නේ්ත් විග‍්‍රහකර පෙන්වා දෙන්නේත් අරිය අෂ්ටාංගික මාර්ගය යැයි වැරදියට අර්ථ දක්වන්නේත් ලෞකික අෂ්ටාංගික මාර්ගයයි. මෙහි දෙවැනි පියවර ලෙසින් සඳහන් කළ මේ ලෞකික අෂ්ටාංගික මාර්ගය දැන ගැනීම හෝ සම්පූර්ණ කර ගැනීම හෝ කිසිසේත්ම නිවන නොවේ. එය සංසාරයේ අතරමං වන, සැපයට මුලා වී, දුක් උරුම කර ගන්නා ස්වරූපයේ ලෞකික අෂ්ටාංගික මාර්ගයයි. මධ්‍යම ප‍්‍රතිපදාව යනුවෙන් අද අදහස් කරන මැද මාවතද මෙයටම ගැළපෙන ලෙසින් පසුව සාදා සකස් කරගත් එකකි. මේ බව බුදුපියාණන් දේශණා කර පැහැදිළිවම පෙන්වා වදාරා ඇත. අද භාවිතයේ පවතින බෞද්ධ උගතුන්, විද්වතුන් දන්නා අනුගමනය කරන්නට යැයි ලෝකයාට අනුදැන වදාරණ ඒ මැද මාවත, ලෞකික සම්මා අෂ්ටාංගික මාර්ගයට ගැළපෙන ලෙසම සීල, සමාධි යන අංග දෙකද වෙනස් කරගෙන අද භාවිතා කරයි.

මේ නිසා අද භාවිතාවන, භාවිතයේ පවතින බුද්ධාගමේ අරිය අෂ්ටාංගික මාර්ගයක් නැත. මජ්ක්‍ධිමා පටිපදාවක් ද නැත. අරිය කාන්ත සීලයක්ද නැත. අරිය සමාධියක්ද නැත. ඒ නිසා අරිය මාර්ගයක්ද නැත. මේවා භාවිතයේ නැති විටක අරිය උත්තමයෝ බිහිවන්නටද හේතුවක් නැත.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.