විඤ්ඤානය හා ගති ලක්‍ෂණ එකතු කිරීම

විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වන සිතකින් කටයුතු කරන හැම පුද්ගලයෙකුම  ”මම”  නැමැති  සංකල්පයක්,  ඒකකයක්  තම  සිතෙන්ම  සකස්කරගෙන ජීවත්වෙයි. මෙය මඤ්ඤතාවය ලෙසින් ද බුදු දහමේ පෙන්වා දී ඇත. මෙය දෘෂ්ඨියකට බැඳීමකි. සංසාරයි කියා, සංඛාර කරමින් ලෝකයට සම්බන්ධ වී එකතුකරන සියලු දේ එකතු කරන්නේ ”මම” යනුවෙන් ගත් දෘෂ්ඨිය නිසාමය.

මේ අනුව විඤ්ඤාණයෙන් උපන් සත්ත්වයෙකු විඤ්ඤාණ තත්ත්වයෙන් සිත ක‍්‍රියාත්මක වන තුරාවට, උපන් මොහොතේ පටන් මියැදෙන තුරාවටම, අරහත් තත්ත්වයට පත් නොවූයේ නම් රාග, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ යන ගති ලක්ෂණ එකතුකර, ඒ ගති ලක්ෂණ හයට අදාළ චිත්තජ ශක්තීන් (ජාති) උපදවා එකතුකරගෙන චිත්තසංථානයේ ගබඩාකර ගනී. ඒවාම ඉන්ධන ලෙස භාවිතයට ගනිමින් සංසාර ගමන යයි.

මිනිසෙකු  ලෙස  උපන්  කෙනෙකු  ගැන  සළකා  බැලුවහොත්,  තම  මුළු  ජීවිත කාලයක් තුළදී කරන, කියන, හිතන සියලු සංඛාර කරන්නේ යම් යම් දේ එකතුකර ගැනීමටය. මෙසේ එකතු කරගන්නා සියලු දේ ප‍්‍රධාන කොටස් තුනකට බෙදා වෙන්කර පෙන්විය හැකිය.

01) උපන් මෙහොතේ පටන්ම දෙමව්පියන්, නෑදෑයින්, අඹුදරුවන්, සහෝදර සහෝදරයින් යාලු මිත‍්‍රයින්, සේවක ස්වාමින් ආදීන් එකතු කර ගනී. කල්යත්ම සතුරන් ද එකතුකර ගනී. තමන්ට හිමි නැති දේ සොරාගෙන බලෙන් අල්ලා ගෙන,  එකතු  කරගෙන,  පරිහරණයට  ගෙන  ලෝකයට  ණයකාරයෙකුද  වෙයි. මෙයද  එකතුකර  ගැනීමකි.  මිල  මුදල්,  ගේ  දොර,  වතුපිටි,  පොත්පත්  ආදී දහසකුත් භෞතික දේ ද එකතු කරගනී.මේ ලෙසින් එකතුකර ගත් කිසිවකු හෝ කිසිවක් හෝ තම අතින් අල්ලාගෙන නැත. සියලු  ආකාර  වූ  අය,  දේ,  තැන්  එකතුකරගෙන  උපාදානය  කරගෙන,  සීමා  මායිම් පනවාගෙන, පවත්වාගෙන යන්නේ තම සිතෙන්ම පමණි. සම්මත ව්‍යවහාරික ලෝකයක මිස සත්‍ය ලෝකයක මේ කිසිම සීමාවක්, අයිතියක් පැනවිය නොහැක.

02) උපදින මොහොතේ අඟල් ගණනකට සීමා වූ කිලෝ දෙක තුනක් බරට සිටි මේ  පංචස්කන්ධය  රූප,  වේදනා,  සංඥා,  සංඛාර,  විඤ්ඤාණ  යන  කොටස් පහකින්  යුතු  වත,  අද  වන  විට  විවිධ  ආහාර  පාන  ලබා  දී,  කවා  පොවා පෝෂණය කර, ලොකු මහත් කර හදා වඩා ගෙන, අද පවතින මේ තත්ත්වයට ගෙනාවේ යම් යම් දේ එකතුකර ගත් නිසාමය. මම යැයි, මගේ යැයි, මගේ ආත්මය යැයි ගෙන මේ පංචස්කන්ධයද සිතින්ම උපාදානය කරගත්, පංචඋපාදානස්කන්ධයකි. මෙය ද එකතුකර ගත් තවත් මූලික කොටසකි.

03) උපන් හැම මිනිසෙකුම තම ජීවිත කාලය තුළදී විඤ්ඤාණයේ ක‍්‍රියාකාරීත්වය සඳහාත්,  විඤ්ඤාණයේ  මතු  පැවැත්ම  සඳහාත්  උපකාර  වන  ගතිගුණ, ගති ලක්ෂණ, හුරු පුරුදු, චර්යා රටා, ඇබ්බැහිකම් ද එකතුකර ගනී. මෙසේ එකතුකරගත්  ගති  ලක්ෂණ  සියල්ලම  ”භව”  යන  පදයෙන්  පටිච්ච  සමුප්පාද ධර්මයේ පෙන්වා දුන්, ඒ ඒ භවට පත්වීමට උපකාර වන ගති ලක්ෂණයෝය. ඒ සියල්ල ද එකතුකරගෙන චිත්තසංථානයේ ගබඩා කර ගනී.

හැම මිනිසෙකුම උපන් මොහොතේ පටන් මියැදෙන මොහොත දක්වාම සංඛාර කරමින් තම කැමැත්තෙන්ම එකතුකර ගන්නා මේ කොටස් තුනටම අදාළ සියලු දෑ මතු මේ ජීවිතය පවත්වාගෙන යාමට මෙන්ම, මතු මතුත් උපතක් සකස් කර ගැනීම සඳහාත් ගබඩා කර  පවත්වා ගන්නා චිත්තජ ශක්තීන්ය.

මෙලෙස ජීවිත කාලයක් තුළ දුක්විඳ මහන්සි වී, වෙර වීරිය යොදා හරිහම්බ කර රැක  බලා  ගත්  සබ්බ  සකළමනාවත්,  සියලු  නෑදෑයින්,  හිතමිතුරන්,  දුවා  දරුවනුත්, ආදරයෙන් මගේ යැයි කියා කවා පොවා පෝෂණය කළ, රැුක බලාගත් මේ පංචස්කන්ධයත්, මරණ මොහොතේ දී අතහැර දමා යන්නට වීම නියතය. මෙසේ ජීවිත කාලයක් තුළ එකතුකර ගත් භෞතික, නාමික, කිසිම දෙයක්, කෙස්ගහකවත් දෙයක් මතු උප්පත්තියක් ලබන තැනකට කිසිම කෙනෙකුට ගෙන යා නොහැකිය. මෙහි පළමුවන හා දෙවන කොටස් වලට අයත් සියලු දේ හා අය කොතරම් උපාදානය කර මගේ යැයි දැඩිව අල්ලාගෙන සිටියත්, මරණ මොහොතේ ඒ සියල්ල අතහැර හිස් අතින්ම යා යුතුය.

මෙහි සඳහන් කළ තුන්වැනි කොටසට අයත් ජීවිත කාලයක් පුරා එකතු කරගත්, උපාදානය කරගත් ගබඩා කරගත්, ගති ලක්ෂණ (භව) චිත්තසංථානයේ චිත්තජ ශක්තීන් ලෙස තැන්පත් වී කර්මජ කෝෂයේ ද කර්මජ රූප ලෙසින් ගබඩා වී පවතින නිසා, ඒ ගති ලක්ෂණ කෙස්ගහකවත් දෙයක් අත නොහැර ඒ සියල්ලම මතු උපතක් ලැබීමේ දී, ඒ මතු උපත ලැබූ විඤ්ඤාණයට ද උරුමයෙන්ම හිමිවෙයි. සංසාර රිය ගමන නොකඩවා ගෙන යාමට උපකාර වන්නේ මේ ගති ලක්ෂණයන්ය. පංචස්කන්ධයේ මරණයත් සමඟ විනාශ නොවන මෙවන් ගති ලක්ෂණයන්, චිත්තජ රූප ලෙස (ජාති) ක‍්‍රියාත්මක වී, ඒ චිත්තජ රූපවල ශක්තියෙන්ම අලුතින් විඤ්ඤාණයක් ද උපදවාගෙන නැවතත් එකතු කරන්නට පටන් ගනී. මෙසේ අනන්ත සංසාරය තුළ තමාම එකතුකරගත් චිත්තජ ශක්තීන්, ගති ලක්ෂණ, හුරු පුරුදුකම්, මරණ මොහොතේ දී එපා කියා ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ද කිසිවෙකුට නැත.

මිනිසෙකු ලෙස ජීවත්වන මේ ජීවිත කාලය තුළ දී එවැනි නරක ගතිගුණ, ගති ලක්ෂණ අතහැර, සළාහැර චිත්ත පාරිශුද්ධත්වයට පත් වන්නටත් හැම මිනිසෙකුටම හැකියාවක්ද තිබේ. හේතුඵල දහම අසා, එකතු කරන කෙළෙස් දැක (සං දැක) සංවර වීමෙන්, සංසිඳුවීමෙන්, සං නිරෝධ කිරීමෙන් හා සම්මා වීමෙන් එය කරගත යුතුය. මේ මහඟු  අවස්ථාවෙන්  නිසි  ඵල  ප‍්‍රයෝජන  ලබා  නොගත්තේ  නම්  ධර්මතාවයෙන්ම එකතුකරගත් දේවල්වල උරුමය සංසාර ගමන පුරාම තමාටම කර ගසන්නට ද සිදුවෙයි. මෙසේ සත්ත්වයෙකු, පුද්ගලයෙකු එකතු කර ගන්නා (සං) ගති ලක්ෂණයන් (භව) බුද්ධ ධර්ම විග‍්‍රහයේ මූලික කොටස් හයකට බෙදා විග‍්‍රහ කර පෙන්වා දී ඇත. ඒ මූලික කොටස් හය නම් ලෝභ බව, ද්වේෂ බව, මෝහ බව, අලෝභ බව, අද්වේෂ බව, අමෝහ බව යනුයි. සියලුම ආකාර වූ සංඛාර කිරීමෙන්ම එකතු කර ගන්නා ගති ලක්ෂණ මේ කොටස් හයට බෙදා විග‍්‍රහ කර දැක්විය හැකිය.

මේ ගති ලක්ෂණ හයට (භව) අදාළ චිත්තජ රූප, චිත්තජ ශක්තීන්, (ජාති) ලෙසින් තම කර්මජ කෝෂයෙහිම තැන්පත් වන නිසා මතු උපතකදී භාවිතා කරන්නට හැකි ඉන්ධන වශයෙන් ද මේවා පෙන්වා දිය හැකිය. මෙසේ ඉන්ධන එකතුකර, ගබඩාකර, තැන්පත් කළේ තම විඤ්ඤාණය විසින්මය. මිනිසෙකු ජීවත්වන කාලය තුළදී ද සිතින්, ක‍්‍රියාවෙන්, කථාවෙන්, කරන සංඛාර නිසාම මේ ඉන්ධන එකතුකර ගනී.

මේ කරුණු අනුසාරයෙන් මනස මෙහෙයවා තේරුම් ගත යුතු එක්තරා විශේෂ කාරණයක් මෙහිදී පෙන්වා දිය යුතුය. එනම් යම් පුද්ගලයෙකු, සත්ත්වයෙකු උපතක් ලබා ජීවත්වන මේ වර්තමාන ජීවිත කාලය තුළ (සංකල්පය තුළ) විඤ්ඤාණයෙන් කරන, කියන, හිතන බොහෝ දේ, බොහෝ සංඛාර කරන්නේ මතු ජාතියක උපතක් සහතික කර ගැනීම සඳහා අවශ්‍ය බීජ නිපදවා ගබඩා කර ගැනීමට කරන ක‍්‍රියාවලියකි. වෙනත් වචනවලින් ප‍්‍රකාශ කළොත් මේ ජීවිත කාලය තුළ සංඛාර කර චිත්තජ ශක්තීන් එකතුකර, ගබඩාකර, බිත්තර වී අටුවේ තැන්පත් කරන්නාක් මෙන් නිරතුරුවම කරන මෙම ක‍්‍රියාවලිය, මේ ජීවිතයේ පැවැත්මට වඩා මතු ජීවිත උපතක් සහතික කර ගන්නට විඤ්ඤාණය විසින්ම ක‍්‍රියාත්මක වීමකි. ඒ අනුව තමන්ගේම විඤ්ඤාණය සියලු වෙර වීරිය දරා, සත්ත්වයා මුළාකර, ප‍්‍රිය, මධුර දේ මවා පෙන්වා ”සං” එකතු කරන්නේ, විඤ්ඤාණයේම මතු පැවැත්ම සහතික  කර  ගැනීමට  අවශ්‍ය  බීජ  එකතුකර  ගබඩා  කිරීමේ  ක‍්‍රියාවලියක  යෙදීම  බව පැහැදිළිවම අවබෝධ කරගත යුතුය.

මිනිසෙකු ලෙස උපතලත් ඔබට මේ කරුණු කාරණා හොඳින් අසා තේරුම් ගෙන, මනසින් කල්පනා කර, හේතුඵල දහම දැක, මේ සංසාර ගමනට මුල් වූ සියලු හේතු ද තේරුම් ගත හැකි විය යුතුය. මේ ලෝකයද ඔබේම විඤ්ඤාණය විසින්ම විඤ්ඤාණයේ පැවැත්ම සඳහාම සකස්කරගෙන, පවත්වාගෙන යන එකක් පමණි. ඔබේම විඤ්ඤාණය මේ ආකාරයට එකතු කරගන්නා කුණු දැක කිළිටි, අඳුරු ගති ලක්ෂණ දැක, ඒවා කෙළෙස් බව දැක, ඒ සියලු කුණු සළාහැර, එවන් බීජ නිපදවීම නවත්වා, තැන්පත් කර ගබඩා වී ඇති බීජද සළාහැර, කුණු මල්ල ශුද්ධ පවිත‍්‍ර කර ගැනීම හෝ තව තවත් කුණු එකතු කර මල්ල පුරවා ඒ බර කරට ගෙන සංසාර ගමන යාම හෝ තෝරා ගැනීම ද ඔබටම අයිති කාර්යයකි.

මීට පෙර ජාතියේදී එකතුකර ගත්, ගබඩා කරගත් ගති ලක්ෂණ හෝ මේ ජීවිතයේදී මෙතුවක් කල් එකතුකර ගත් ගති ලක්ෂණවල හෝ ඵල විපාක විනා පූර්ව සම්බන්ධතාවයකින් තොරව හේතුවක් නැතිව, අහම්බෙන් කිසිවක් සිදුවන ධර්මතාවයක් ලොව නොපවතී. මෙම ධර්මතාවය පැහැදිළිවත්, සරළ ලෙසත් විග‍්‍රහ කළ බුද්ධ ධර්මය, හේතුඵල ධර්මයයි.

ජීවත්වීම, ජීවිතය පැවැත්වීම යනුවෙන් විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වන තම සිතම මේ සියලු ගති ලක්ෂණ එකතු  කර ගන්නා බවත්, එකතුකර ගබඩා කර ගන්නා බවත් විඤ්ඤාණයම තම මතු පැවැත්ම සඳහා ඒවා භාවිතා කරන බවත් පැහැදිළි විය යුතුය. පුද්ගලයෙකු, සත්ත්වයෙකු, මිනිසෙකු, දෙවියෙකු, බ‍්‍රහ්මයෙකු හෝ වෙන මොනයම් බලවතෙකු වුවත් මීට වඩා හරයක්, අර්ථයක්, වටිනාකමක් ඇති ක‍්‍රියාකාරකමක් මේ සංසාර ගමනේ දී කරන්නේ නැත. කම් සැප, රජ සැප, දෙව් සැප, බ‍්‍රහ්ම සැප ආදී මොනයම් සැප හෝ බලාපොරොත්තුවකට පමණක් හෝ සීමාවූවක් මිස, විඤ්ඤාණයේම අවශ්‍යතාවයක් මිස වෙනත් හරයක් අර්ථයක් මෙහි නැත. මිනිසෙකු ලෙස උපතක් ලැබූ මේ ජීවිතයේදී, මිනිස්කමටම පමණක් උරුමයෙන් ලැබුණු මනස මෙහෙයවා, මනස පිරිසිදු කරගෙන, ධර්මය අසා මේ පැවැත්මෙහි සත්‍යය ස්වරූපය දැක, තේරුම් ගෙන සංසාර ගමන දිගින් දිගටම දුක් විඳිමින් පවත්වා ගන්නට උපකාර වන රාග, ද්වේෂ, මෝහ, අලෝභ අද්වේෂ, අමෝහ තව තවත් එකතු කර ගන්නවා ද, සංසාර ගමන නිස්සාර බව දැක ඉන් සදහටම මිදී දුකින් නිදහස් වෙනවාද යන්න නිගමනය කර, ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පූර්ණ කර ගැනීමට හැම මිනිසෙකුටම හැකියාව ඇත.

එකතුකර ගන්නා සියලු ගති ලක්ෂණ හොඳ හෝ නරක මෙන්ම පින් හෝ පව් විය හැක. මොනවා වුණත් මේ ගති සංසාර ගමන දිගින් දිගටම සුගතියට හෝ දුගතියට පත්කරවන්නටම උපකාර වන බව දැන, මේ කුණු කද පැත්තකට දමා බරෙන් නිදහස් වී, චිත්ත පාරිශුද්ධතාවයට පත් කරගෙන කටයුතු කරන්නට මිනිසාට උරුම වූ මනස බලවත් අවියකි.  මේ  අවිය  උපකාර  කරගෙනම  විඤ්ඤාණය  විසින්  එකතු  කරන  කුණු  දැක, විඤ්ඤාණය ආහාර සඳහා ගබඩා කරගත් කුණු කන්දරාවද දැක, ඒ කිළිටි, කහට, අඳුරු කුණු  කන්දරාව  එකින්  එක  මැන  තෝරා  බේරා  සළා  හැරීම  සඳහා  කළ  යුත්තේ, බුදුපියාණන් පෙන්වා වදාළ ලෝකෝත්තර කුසලය පූර්ණ කර ගැනීමයි. සංසුන්වීම, සංයමයට පත්වීම, සංවරවීම, සංසිඳුවීම, සං නිරෝධ කිරීම, සම්මා බවට පත්වීම මේ ක‍්‍රියාවලියයි.

තමන්ම සංසාරය පුරා සාරයි කියා එකතුකර ගත් ගති ලක්ෂණ (කුණු) සළාහැර පිරිසිදු වෙනු මිසක වෙනයම් හාස්කමක් මෙහි ඇත්තේ නැත. මෝහයෙන් මිදී ප‍්‍රඥාලෝකය උපදවා පහදා ගැනීම යනු විඤ්ඤාණයම එකතුකර ගත් කුණු තට්ටු වලින් වැසී, අඳුරු වී පවතින චිත්තය ඒ කුණු තට්ටු ඉවත්කර පිරිසිදු කර ගැනීමයි. මෝහය යනු චිත්තය කුණු වලින් වැසීී, මුවා වී පැවතීමයි. මේ සංසාර ගමනේ ජීවත්වීම නම්, පැවැත්මේ සත්‍යය ස්වරූපය කෙනෙකුට පහසුවෙන් දැක ගන්නට නොහැකි වී මංමුළා වන්නේ මේ මෝහ ගති ලක්ෂණයන් සිතක පවතින නිසාමය. එසේ චිත්තය මුවහ කර, වැසී නොතිබුණේ නම්, විඤ්ඤාණයට පැවැත්මක් ද නැත. මෙයම තවත් ආකාරයකින් විස්තර කළොත් ”සං” නැමැති ඉන්ධන එකතුකරන ක‍්‍රියාවලිය පවතින තුරාවට විඤ්ඤාණය ද ක‍්‍රියාත්මක වෙයි. විඤ්ඤාණය ඒවාම ආහාර ලෙසින් පරිහරණය කර තමන්ගේම මතු පරිභෝජනයට ද ඒවාම ආහාර ලෙස එකතුකර, ගබඩා කරගනී.

පිරිසිදු චිත්ත තත්ත්වයෙන් පවතින සිතකින් චිත්ත ශක්තීන් (ජාති) හෝ ගති ලක්ෂණ (භව) නිපදවා එකතුකර ගත නොහැකිය. සංඛාර පැවැත්වීම, එනම් මේ ”සං” එකතු කිරීමේ ක‍්‍රියාවලියෙහි පිරිසිදු චිත්තය යෙදෙන්නේ ද නැත. පිරිසිදු චිත්තයකට මතු භාවිතයට ගත හැකි ඉන්ධන (බීජ) ගබඩා කර ගැනීමේ ශක්තියක්ද, අවශ්‍යතාවයක් ද නැත. ලෝකය උරා රස බැලීමෙහි ක‍්‍රියාවලියෙන් ද සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇත. අරහත් තත්ත්වයට පත්වීම යනු විඤ්ඤාණ තත්ත්වයේ පවතින කිළිටි සිත පිරිසිදු කර, චිත්ත තත්ත්වයට පත්කර ගැනීම මිස වෙනත් කිසිවක් නොවේ. අරහත් යනු ලෝකය උරා බී, ලෝකය රහ බලන්නට මෙතෙක් තිබූ පළපුරුද්දෙන් ඉවත් වී, ලෝකය රස බැලීම අතහැර අරහත්  තත්ත්වයට  පත්වීමයි.  එය  කළ  හැක්කේ  ද  කරගත  යුත්තේ  ද  විඤ්ඤාණ තත්ත්වයෙන් පවතින මේ හිතම උපකාර කරගෙන බවද අමතක කළ යුතු නොවේ. ඒ සඳහා වෙනත් හිතක් ද නැත.

මෙලෙස විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වන සිතකින් එකතුකර ගන්නා සියලු ගති ලක්ෂණයන් සම්මත ව්‍යවහාර භාෂාවෙන් ලෝකයා, ගතිගුණ, ගති ලක්ෂණ, චර්යා රටා, හුරු පුරුදු, ඇබ්බැහිකම් ආදී විවිධ වචන වලින් හඳුන්වති. මේ මොන වචනවලින්  හෝ හඳුන්වන ගති ලක්ෂණ සියල්ලම බුද්ධ භාෂිතයෙහි ”භව” යන පදයෙන් හැඳින්වීය. රාග බව, ද්වේෂ බව, මෝහ බව, අලෝභ බව, අදේවේෂ බව, අමෝහ බව ආදී විවිධ ”බවට” විඤ්ඤාණය පත්වන්නේ, තම තමන්ම එකතුකර ගත් ගති ලක්ෂණ නිසාමය. පටිච්ච  සමුප්පාද  දේශණාවේ  බුදුපියාණන්  විග‍්‍රහ  කර,  පැහැදිළි  කර  දුන්නේ,  ඒ  ඒ පුද්ගලයාම සංඛාර පැවැත්වීමෙන් එකතුකර ගන්නා ගති ලක්ෂණ (භවට පත්වීම) නිසා, ඒ බවට අදාළ චිත්තජ ශක්තීන් (ජාති) උපදවා ගබඩා කර ගන්නා ආකාරයයි. එය හේතුඵල ධර්මයයි.

මේ ගති ලක්ෂණ (භව) හයම නැවතත් කොටස් තිස් එකකට බෙදා ධර්ම විග‍්‍රහයේ පෙන්වා දී ඇත. තම තමන්ම එකතුකර ගබඩා කර ගත් ගති ලක්ෂණයන්ට අනුව, තම තමන්ට මතු උරුම වන ”ජාති” (උපත්) පෙන්වූ ආකාරය මෙයයි. මේ ගති ලක්ෂණ 31 ට අදාළව සත්ත්ව ලෝකයද භව 31 කට බෙදා පෙන්වා ඇත. නරකයේ පටන් මිනිස් ලොව, දෙව් ලොව ඇතුලු කාම භව 11 ක් ද, මනෝමය ආත්ම ප‍්‍රතිලාභය ලබන රූපාවචර බ‍්‍රහ්ම ලෝක 16 ක් ද, අරූපාවචර ලෝක 4 ක් ද ලෙස මේ භව 31 කට බෙදා පෙන්වා දී ඇත.

මේ හැම ජාතියකම ප‍්‍රතිසන්ධිය, උපත ලැබීමට හේතුව එකම විඤ්ඤාණය විවිධ තත්ත්වයන්ට, ගති ලක්ෂණවලට (භවට) තමන්ම පත්කර ගැනීමයි. මේ ගති ලක්ෂණයන් හැර තේරුම් ගන්නට බැරි ආශ්චර්යයක් හෝ විශ්ව කර්ම දෙයක් මෙහි නැත. මහා බ‍්‍රහ්මයා, සක් දෙව් රජ, ආදී සියලුම දෙනාත් මේ සත්ත්ව කොටසටම අයත් ඒ ඒ ගති ලක්ෂණයන්ට පත් වූ විඤ්ඤාණයෙන්ම ජීවත් වන අයයි. ඒ ඒ අය පුරුදු පුහුණු කරගත් ගති ලක්ෂණවලට අදාළවම බලය, ශක්තිය ද උරුම වෙයි.

මේ කාරණයෙන් නියත ලෙස ගම්‍ය වන, තේරුම් ගත යුතු සත්‍යය නම් අද ජීවත්වන, මේ උපතේදී බහුල ලෙස හුරු පුරුදු කරගත් ගති ලක්ෂණවලට අදාළවම මතු උපත ලබන ”ජාතිය ද” තීරණය වන ආකාරයයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.