විඤ්ඤාන ශක්තිය හා මනස

සත්ත්වයෙකුගේ, පුද්ගලයෙකුගේ සිත යැයි අප ව්‍යවහාරයේ දී හඳුන්වන විඤ්ඤාණ ශක්තිය, අපූර්ව ආකාර වූ පුදුමාකාර ශක්තියකි. ලෝකය යැයි අප අදහස් කරන මේ ඇතිවන, වෙනස්වන, විනාශවන, පැවැත්මට එහි සියලුම ක‍්‍රියාත්මක තත්ත්වයන් නොනවත්වා සජීවී තත්ත්වයෙන් පවත්වා ගන්නට ලැබෙන්නේ, සත්ත්වයාගේ සිතෙන්ම උපදින විඤ්ඤාණ ශක්තියෙනි. මේ සක්වල තුළ අපට පෙනෙන, නොපෙනෙන සියලු සජීවී බලවේගයන් ක‍්‍රියාත්මක වන්නට මුල් වූ එකම බලවේගය, අප චිත්ත ශක්තිය යැයි ප‍්‍රකාශ  කරන  මේ  විඤ්ඤාණ  ශක්තියමයි.  ගොඩ  දිය  දෙකෙහිම  ජීවත්වන  සියලු සත්ත්වයින්ද, ජීවීන් ලෙස අප හඳුන්වන සියලු සත්ත්ව කොට්ඨාශයන් ද, අපට මසැසට නොපෙනුනත් අනන්ත අප‍්‍රමාණ වූ දේව, භූත, අමනුස්ස කොටස් ආදී හැම කෙනෙකුටම,තමාටම පෞද්ගලික වූ විඤ්ඤාණ ශක්තියක් උපදවා ගනී. එවන් විඤ්ඤාණ ශක්තියක් නැති කෙනෙකුට ජීවියෙක්, භූතයෙක්, සත්ත්වයෙක්, ප‍්‍රාණියෙක් යැයි නම් කළ නොහැකිය.

මේ හැම ප‍්‍රාණියෙක්ම, හැම ජීවියෙක්ම තම විඤ්ඤාණ ශක්තිය මෙහෙයවා, ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයන් එක්කර තම පැවැත්ම සඳහා, පදිංචියට අවශ්‍ය කූඩුවක් ද සකස් කරගනී. මෙවන් කූඩුවක් (අභිනිවේසයක්) නැතිව කිසිම සත්ත්වයෙකුට තම විඤ්ඤාණය පවත්වාගත නොහැකිය. අපට මසැසට නොපෙනෙන නිසාම එවන් සත්ත්ව, භූත, දේව, බ‍්‍රහ්ම කොට්ඨාශවලට ශරීරයක් නැතැයි, පැවැත්මක් නැතැයි අප නිගමනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදිය. ස්පර්ශ කළ නොහැකි, මසැසට දර්ශනය කරගත නොහැකි, ඉතා සියුම් ආපෝ, තේජෝ, වායෝ, පඨවි භූතයන්ගෙන් සකස්  කරගත්  ඒ  ඒ  සත්ත්වයන්ගේ  අභිනිවාසයන්  අපට  දැකිය නොහැක්කේ,  අපේ විඤ්ඤාණය ශක්තිය අඳුරු පටලයන්ගෙන් වැසී ආසව තට්ටුවලින් මුවහ වී පවතින නිසාය. අපේ මනසට මැනිය හැකි වන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ, රස,  ඕජා යන ශුද්ධාෂ්ටක ධාතූන් පමණි. භූත, දේව, අමනුස්ස කොටස් සෑදී ඇත්තේ, මෙවන් ධාතු කොටස් බවට පත් නොවූ මහා භූත කොටස් වලිනි. මහාභූත ඝනීභවනය වීමෙන්  ධාතු  කොටස්  බිහිවෙයි.  යමෙකුට  තමන්ගේ  ආධ්‍යාත්මික  ශක්තිය,  මැනීමේ ශක්තිය (මනස) පිරිසිදු කරගෙන චිත්ත පාරිශුද්ධ තත්ත්වයට පත්කරගත හැකිනම්, එවිට ඒ මනසම අභිඥා යන තත්ත්වයට පත්වෙයි. එහිදී සංඥා වෙනුවට උසස් තත්ත්වයෙන් යුත් දැනුමක් වන අභිඥා ලැබෙන නිසා, ධාතු කොටස් මෙන්ම මහා භූත කොටස්වලින් ද සැදුණු සියලු භූත හා සත්ත්ව කොටස්ද දැකගත හැකිවෙයි. තවදුරටත් චිත්ත පාරිශුද්ධතාවය දියුණු කරගෙන, යම් කෙනෙකුට සියලුම අඳුරුපටල, ආසව තට්ටු සහ මුළින්ම තමා තුළින් ඉවත්කර, ආධ්‍යාත්මික පාරිශුද්ධතාවයටද පත්කර ගතහැකි නම්, එය ප‍්‍රඥාවයි. ඥාණයේ ප‍්‍රකෘති තත්ත්වය එයයි. එය පරම පවිත‍්‍ර දැනීමයි. එසේ නම් ඥාණ, විඤ්ඤාණ, අභිඥා, ප‍්‍රඥා යන විවිධ අවස්ථාවලට පත්වෙන්නේත් එකම සිතකි.

”සං” යනු එකතු කිරීම, රැුස් කිරීම යන තේරුම දෙන පදයකි. සංඥා යනු දැනුම එකතු කිරීමයි. ඥාණ, විඤ්ඤාණ, අභිඥා යන අවස්ථා තුනේදීම, සංඥා කි‍්‍රයාත්මක වෙයි. නමුත් ප‍්‍රඥාව යන තත්ත්වයේදී සංඛාර නොකරන නිසා, රැස් නොකරන නිසා එය පරම පවිත‍්‍ර තත්ත්වය දකින අවස්ථාවකි. ප‍්‍රඥාව නැමැති තත්ත්වයට පත්වූ කෙනෙකුට, යම් දෙයක් පරම පවිත‍්‍ර ප‍්‍රකෘති තත්ත්වයෙන්ම දැකගන්නට ලැබෙන නිසා, ඒ පිළිබඳව දැනුමක් රැස්කර ගන්නට (සංඥා) අවශ්‍ය නොවේ. මැන බලා දැනගන්නට අවශ්‍ය නොවේ. මානය යනු මැනීමයි. එකතුකරගත් දැනුම මැන බලා හොඳ, නරක, රස, ගුණ වැනි සියලු දැනුම ලබාගන්නේ මනසෙනි. එසේ මැන බලා දැනගන්නට සිදුවන්නේ, විඤ්ඤාණ ශක්තියෙන් එකතු කරගත් දැනීමයි. සංඥා යනු විඤ්ඤාණ ශක්තියෙන් එකතු කරගත් රාග, ද්වේෂ, මෝහ සහිත වූ අලෝභ, අදේවේෂ, අමෝහ සහිත වූ දැනුමයි. එසේ නම් විඤ්ඤාණ ශක්තිය යනු, ලෝභ, ද්වේෂ, මෝහ ගති නිසා සිත තුළ බිහි වූ ශක්තියයි. ලෝභ, ද්වේෂ, මෝහ ගති සහමුළින් ශුද්ධ පවිත‍්‍ර කර, චිත්ත පාරිශුද්ධතාවයට පත් කරගත් කෙනෙකු, විඤ්ඤාණ ශක්තියක් තම සිතෙහි නොඋපදවයි. විඤ්ඤාණ ශක්තිය යනු වාහනයක් දුවවන්නට අවශ්‍ය වන ඉන්ධන ශක්තිය හා සමාන ශක්තියකි. හැම සත්ත්වයාම සංසාර රිය  ගමනක  යෙදෙයි.  මේ  රිය  ගමන්  කරන්නට  අවශ්‍ය  වන  ඉන්ධන  නිපදවන්නේ විඤ්ඤාණ ශක්තියෙනි. එසේ නම් රාග, ද්වේෂ, මෝහ බිහි නොකරන තත්ත්වයක පවතින සිතකින්  සංසාර  රිය  ගමන  යාමට  උපකාරවන  ඉන්ධන,  එනම්  විඤ්ඤාණ  ශක්තිය උපදවන්නේ නැති නිසා එම තත්ත්වය අරිය තත්ත්වයයි.

උපන් හැම සත්ත්වයෙක්ම, භූතයෙක්ම, දෙවියෙක්ම, ප‍්‍රාණියෙක්ම, අමනුස්සයෙක්ම  ජීවත්වීම,  හේතුඵල  පරම්පරාවක්  ක‍්‍රියාත්මක  කිරීමට  සම්බන්ධ  වූ සකළවිධ ක‍්‍රියාදාමයන් ක‍්‍රියාවට නංවන්නේ, ඒ ඒ සත්ත්වයාම උපදවා බිහිකරගෙන, ගබඩා කරගෙන ඇති විඤ්ඤාණ ශක්තියෙන්මය. මේ අනුව බලන කළ මේ හැම සත්්ත්ව, භූත, දේව, අමනුස්ස කොට්ඨාශයක්ම ජීවත් වෙනවා යනු, විඤ්ඤාණ ශක්තීන් බිහිකිරීමේත්, ගබඩා කිරීමේත්, ඒ විඤ්ඤාණ ශක්තිය භාවිතා කිරීමේත් එකම රාජකාරියක මුළු ජීවිත කාලයම නිරත වීමයි. මීට අමතරව කිසිම දෙයක් කිසිම කෙනෙකු නොකරන බවද නිවැරදිවම  තේරුම්  ගත  යුතුයි.  මෙය  විඤ්ඤාණය  ආහාර  සෙවීමේ  ක‍්‍රියාවලියයි. ගබඩාකරගත් විඤ්ඤාණ ආහාර කර්ම බීජ ලෙසින් ක‍්‍රියාත්මක වී මතු උපතක් ලබන්නට ද උපකාර වෙයි.

මෙසේ රැුස්කරගත් කර්ම බීජ (විඤ්ඤාණ බීජ) ඒ ඒ සත්ත්වයාගේම චිත්තසංථානයේම ගබඩා වන අතර, මහාකල්ප 91 ක් යනතුරු නැවත නැවතත් උපත ලබන්නට තරම් බලවත් කර්ම බීජ මේ අතර පවතී. බුද්ධ දේශණාවට අනුව, යම් කෙනෙකු විඤ්ඤාණයේ  ක‍්‍රියාකාරීත්වය  වන  මෙම  ශක්තිය  නිවැරදිව  තේරුම්  ගතහොත්  මේ ශක්තියම ප‍්‍රයෝජනයට ගෙන විඤ්ඤාණ ශක්තීන් උත්පාදනය කරන මූලයද සොයා දැන රාග, ද්වේෂ, මෝහ ඛය කර දමා සිත පිරිසිදු කර ගැනීමෙන්, මේ සංසාර ගමනද සදහටම නිමාකරගත හැකිවෙයි. මේ රිය ගමනට, සංසාර ගමනට, අත්‍යාවශ්‍ය සාධකය වූ ඉන්ධන සැපයීම නතර කිරීම මිස, මේ ගමන නතර කිරීම සඳහා වෙනත් ක‍්‍රමවේදයක් ද නැත. තෙල් අවසන් වූ පසු පහන නිවී යන්නා සේ, ඉන්ධන නැතිකළ මේ සංසාර රිය ගමනද ස්වභාවිකවම නතර වන බව බුදුපියාණන්වහන්සේ පෙන්වා වදාළහ.

මිනිසෙකුව උපත ලත් සෑම කෙනෙකුගේම සිත, අනෙකුත් සියලුම සත්ත්ව, භූත, දේව, අමනුස්ස සිත්වලට වඩා ක‍්‍රියාත්මක ශක්තියෙන් වෙනස්ය. මිනිස් සිතෙහි මානයක්, මැන බැලීමේ ශක්තියක් – මනසක් – මනීන්ද්‍රියක් ඇත. මෙයම මනායතනය ලෙසින් ද ක‍්‍රියාත්මක වෙයි. මෙවන් මනස, කෙනෙකුට පිරිසිදු කරගෙන, දියුණු කරගත හැකිය. මෙය දෙයාකාරයකින් දියුණු කරගත හැකිය. එක ආකාරයකින් ලෝකය ගැන ඥාණය, දැනීම එකතුකර, ගබඩාකර ඥාණ ශක්තිය දියුණු කර ගැනීමයි. මෙය උගත්කම, නුවණ, බුද්ධිමත් බව ආදී වචනවලින් පෙන්වාදුන් විඤ්ඤාණ ශක්තියම දියුණු කර ගැනීමකි. දෙවන ආකාරය ලෝභ, ද්වේෂ, මෝහ ආදී කිළිටි, අඳුරුගති, ආසව අනුසය තට්ටු සළාහැර, ශුද්ධ පවිත‍්‍ර කර, සිත පිරිසිදු කරගෙන ප‍්‍රභාස්වර තත්ත්වයට පත්කර ගැනීමයි.

අතීතයේ දී කවදා හෝ තමන්ම එකතු කරගත් කෙළෙස්, කිළිටි, කහට ගැන්වුණු, ආසව තට්ටු මිසක වෙනත් බාහිර කෙනෙකුගෙන් ලැබුණු කිසිම ශක්තියක්, බලයක්, සිතක නැත. තමාගේ සිත තුළ ඇති මේ ආසව තට්ටු දැකගත හැකි වන්නේද තමාටම පමණි. මනස මෙහෙයවා මැන කුණු ඉවත්කර පිරිසිදු කරගත හැකි වන්නේද තමාටම පමණි. කුසලය පිරීම, කුසලස්ස, කුණු සළාහැර පිරිසිදුවීම යනු සංසාරයේ තමන්ම කවදා හෝ එකතුකර, ගබඩාකරගත් මෙවන් රාග, ද්වේෂ, මෝහ ගති ලක්‍ෂණයන්, කර්ම බීජ සළාහැර, චිත්තය පාරිශුද්ධතාවයට පත් කර ගැනීමයි. ඒ නිසා කුසල් පිරීම යනු යම් කිසිවක් එකතු කිරීම, රැුස් කිරීම නොවේ. කුණු සළාහැර, පිරිසිදු වීමයි.

භාවනා කර ධ්‍යාන වඩා, රාග, ද්වේෂ, මෝහ ගති දවාහැරිය හැකි වෙයි. භාවනා කර ධ්‍යාන වැඞීම, රාග, ද්වේෂ, මෝහ දවා හැරීමද දෙයාකාර වෙයි. වර්තමානයේ රාග, ද්වේෂ, මෝහ එකතු කිරීම වළකා දමා, නවතා දමා, අනාගතයේ ඒවා එකතු කිරීමට හේතුවන ක‍්‍රියාවන්ගෙන් ද වැළකීම එක් ක‍්‍රමයකි. මෙය අනාර්ය භාවනාවයි. මෙහි දී අතීතයේ රැුස්කර ගත්, ගබඩා කරගත්, කර්මබීජ දවාහැර ඒවායින් නිදහස් වන්නට ක‍්‍රමයක් පිළිබඳව දැනීමක් නැත. ඒ නිසා තාවකාලිකව, රාග, ද්වේෂ, මෝහ වලින් ඉවත්වී රූපී, අරූපී ධ්‍යාන ලැබ තාවකාලිකව ලෞකික සුවයක් ලබයි. මේ ක‍්‍රමය අනාර්ය ධාන්‍යයක් ලබා ගැනීමයි. බුද්ධෝත්පාද කාලවල මෙන්ම අබුද්ධෝත්පාද කාලවලදීද මෙය කරගත හැකිය.  බුදු  කෙනෙකුන්  ලොව  පහළ  වී,  සොයා  දැන  දේශණා  කරන්නේ  මෙයට හාත්පසින්ම වෙනස් වූ අරිය භාවනා ක‍්‍රමයයි. මෙය බුදුපියාණන්වහන්සේ කෙනෙකු ලොව  පහළ  වීමෙන්ම  පමණක්  ලෝකයාට  පෙන්වා  දෙනු  ලබන  සදාකාලික  වූත්, පරමශාන්ත වූත්, අකුප්පා චේතෝ විමුක්තිය ලබන ක‍්‍රමයයි. ප‍්‍රඥා විමුක්තිය ලබන භාවනා ක‍්‍රමයයි. මෙහිදී වර්තමානයේ දී රාග, ද්වේෂ, මෝහ රැුස්කිරීම නවතාලන මාර්ගය වූ සංවර සීලයත්, අනාගතයේ රාග, ද්වේෂ, මෝහ බිහිවීමට හේතුවන කෙළෙස් මුල් උදුරා දමන සංසිඳවීමත්, අතීතයේ එකතුකර ගබඩා කර ඇති සියලු මෝහ මුල් සිඳලන ”සම්මා” අංග සම්පූර්ණ කිරීමත් යන ක‍්‍රම තුනම අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුමය. අතීතයේ රැස්කර ගබඩා කරගෙන චිත්තසංථානයේ තැන්පත් වී ඇති ආසව තට්ටු කපාහැර, ශුද්ධ පවිත‍්‍ර වීමට මඟ සොයා දැන පැහැදිළි කර දීම කළ හැකිවන්නේ බුදුපියාණන්වහන්සේ කෙනෙකුටම පමණි. ඒ හැර, බුදුපියාණන්වහන්සේගෙන් අසා දැනගත් මේ නිවැරදි මඟ කියා පැහැදිළි කර, විග‍්‍රහ කරදීමේ හැකියාව ඇත්තේ ද, බුද්ධ ශ‍්‍රාවකයෙකුට පමණි.

මේ පොත කියවන ඔබ සෑම දෙනෙක්ම අද මිනිසෙකු වී උපත ලබා මේ මැන බැලීමේ ශක්තිය මනස උසස්කර ගතහැකි තත්ත්වයකින්ද ජීවත් වෙති. තමන් ජීවත්වෙනවා යන්න පිළිබඳව සිතා බලා, විඤ්ඤාණ ශක්තිය තේරුම් ගෙන, මනසින් මැනබලා මෙනෙහි කර , නැවත නැවතත් විවිධාකාරයෙන් විමර්ශනය කිරීමෙන්, අතීතයේ එකතු කරගත් කිළිටි, කහට, කුණු පැල්ලම් ප‍්‍රහාණය කරගත හැකි වන්නේද මනසට පමණි. එකතු කරගත්  කෙළෙස් ගති ඛය කර දමා, ගෙවා දමා, විරාග කර, ප‍්‍රහාණය කර, අතහැර, මීදී නිදහස් විය හැකි වන්නේද මනස මෙහෙයවා ක‍්‍රියා කිරීමෙනි. එය කළහැකි වන්නේ මිනිස් සිතකින්ම පමණි. මේ මිනිස් සිතට විවිධාකාර වූ චිත්ත ශක්තීන් ඇතිබව දැන හඳුනාගන්නටත්,  ඒ  ශක්තීන්  පිරිසිදු  කර  වැඩි  දියුණු  කරගන්නටත්,  සිත  පාරිශුද්ධ තත්ත්වයට  පත්කර  ගන්නටත්,  ප‍්‍රභාෂ්වර  තත්ත්වයට  පත්කර  ගන්නටත්  හැකියාවක් ශක්තියක් ඇත. ඒ නිසාම මනුස්ස යන නමද මිනිසාට ලැබී ඇත.

විඤ්ඤාණ  ශක්තිය  යමෙකු  තුළ  උපදින්නේම  සිත  රාගයෙන්,  ද්වේෂයෙන්, මෝහයෙන් ක‍්‍රියාත්මක වීමෙන්මය. රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණ කර්ම බීජ ලෙසින් සිතෙහි තැන්පත් වීම නිසා, ආසව තට්ටුවලින් සිත මුවහ වී, අඳුරු වී, කිළිටි වී යයි. සිතෙහි ප‍්‍රභාස්වර  තත්ත්වය  නැතිව  මුලා  වූ  තත්ත්වයකට  පත්වෙයි.  ඇත්ත  ඇති  සැටියෙන් දැකගන්නට හෝ හේතුඵල ධර්මතාවය තේරුම්  ගන්නට හෝ ආදීනව ආනිසංස වටහාගන්නට හෝ නොහැකි  තත්ත්වයට මිනිසා පත්වෙයි.  තිරිසන්  සත්ත්ව කොට්ඨාශවලට  අයත්  සතුන්ට තම මවුපියන්, දරුවන්  වෙන්කොට දැනගන්නට නොහැකිව ඇත්තේ රාගයෙන්, මෝහයෙන් දැඩි සේ සිත මුවහ වී ඇති හෙයිනි.

මෙවැනි කෙළෙස් ගති තම සිත තුළ පවතින බවක්, තමන් මෝහයෙන් මුලාවෙන් ක‍්‍රියාත්මක වන බවක්, රාගයෙන්, ද්වේෂයෙන්, පටිඝයෙන් ඇවිළෙන බවක් බොහෝ මිනිසුන්ට පවා තේරුම් ගත නොහැකි වන්නේ, තමාගේම සිත වැසී, අඳුරු වී ඇති ආසව තට්ටුවල බලවත් කම නිසාමය. අනෙක පෘථග්ජන මිනිසාද විඤ්ඤාණ ශක්තියකින්ම කටයුතු කරන, ප‍්‍රිය මනාප දේම සොයා යන සත්ත්වයෙකු බව, කිසි ලෙසකින් කෙළෙස් සහිත වූ කෙනෙකුට තේරුම් ගත නොහැකි වෙයි. මේ නිසා තරඟය, දෘෂ්ඨිගතවීම, වෛරය, ක්‍රෝධය, මානය ආදී ගති සිත තුළ මුල්බැස ගනී.

මිනිස් සිතෙහි ඇති මානය, මැනීමේ ලක්ෂණය – යහපත් ලක්ෂණයක්, යහපත් ශක්තියක්  බවට  පත්කර  ගෙන  සිත  ශුද්ධ  පවිත‍්‍ර  කර  ගැනීමටද  යොදාගත හැකිය. අභ්‍යන්තර අධ්‍යාත්මික ශක්තීන් සිත තුළින්ම බිහිකර, ඒවා උපකාරයෙන් විඤ්ඤාණ ශක්තිය අභිබවා ආධ්‍යොත්මික ශක්තිය මතු කරගත හැකිවෙයි.

”මනෝ පුබ්බංගමා ධමමා මනෝ සෙටඨා මනෝමයා” යනුවෙන් බුදුපියාණන් දේශණා  කර  වදාළේ්  මිනිසෙකුගේ  රාග,  ද්වේෂ,  මෝහ  ගති  ලක්ෂණ  මුල්කරගත් විඤ්ඤාණ ශක්තියට වහල් වී කටයුතු කරනතාක් කල්, මනසෙහි ශක්තිය යටපත්ව, අවිද්‍යාවෙන්ම ක‍්‍රියා කරන බව පෙන්වීමයි.

පෙර අතීතයේත්, අද වර්තමානයේත් තමා විසින්ම හිතන, කරන, කියන සංඛාර මිසක, ඒ සංඛාර නිසා රැස්කරගත් රාග, ද්වේෂ, මෝහ ගති හා ඒ නිසාම රැස්කරගත් කර්ම බීජ මිස වෙනත් කිසිම බාහිර පුද්ගලයෙකු හෝ බලවේගයක්, අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් කිසිම සත්ත්වයෙකුගේ අනාගතය ලෙසින් ඵල විපාක උරුමකර දෙන්නට සමත් නැත. චිත්ත ශක්තිය නමින්ද අප අදහස් කරන විඤ්ඤාණ ශක්තියට පරිබාහිරව මේ විශ්වය තුළ ක‍්‍රියාත්මකව පවතින කිසිම බලවේගයක් නොපවතින බව නිවැරදිව තේරුම් ගත යුතුය.

හිරු, සඳු, තාරකා පවා චිත්ත ශක්තියෙන් උපදවාගත් සත්ත්වයාගේ පැවැත්මට උපකාර වන දේවල් පමණි. හේතුඵල ධර්මය නමැති උතුම් බුද්ධ ධර්මයය පූර්ණ ලෙස තේරුම් ගත් කෙනෙකුට, බුදුපියාණන්වහන්සේ සොයා දැන දේශණා කරන ලද මෙම සත්‍යයන් පූර්ණ ලෙස අවබෝධකරගත හැකිවනු ඇත. ලෝකය ජීවී තත්ත්වයට පත්කර ක‍්‍රියාත්මක කරවන්නේ, හේතුඵල දහම ක‍්‍රියාත්මක වීමෙනි. හේතු කරන්නේ විඤ්ඤාණ ශක්තියෙනි.  ඵල  උරුම  කරගෙන  විපාක  විඳින්නේ  විඤ්ඤාණ  ශක්තිය  නිපද  වූ සත්ත්වයාමය. මෙය නියත ධර්මතාවයකි. මේ ධර්මතාවය කාටත් වෙනස් කළ නොහැකිය. නමුත් මනස මෙහෙයවා කටයුතු කළ හැකි සෑම මිනිසෙකුටම, හේතු වෙනස් කර, හේතු කිරීම නවතා දමා, ඵල විපාකද වෙනස් කරගත හැක. විඤ්ඤාණ ශක්තිය නිපදවීම සහමුළින් නවතා දමා, විමුක්තිය ළඟාකරගත හැකිය. එය ප‍්‍රඥා විමුක්තියයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.