සංකාර නිරෝධයේ සිට බව නිරෝධය දක්වා

“නිරෝධං අප්පජානත්ථා – ආගන්තාරෝ පුනබ්භවං” නිරෝධ කිරීම යනු කුමක්දැයි නිවැරදිව, ප‍්‍රත්‍යක්ෂ ලෙසින්ම තේරුම් නොගැනීමත් ප‍්‍රායෝගික වශයෙන් නිරෝධ කරන ආකාරය ගැන තේරුමක් නොමැති වීම නිසාම ගති ලක්ෂණයන් (භව) එකතු කර ගැනීමෙන් පුන පුනාම, නැවත නැවතත් නොදන්නා කමෙන් දිගින් දිගටම, භවට පත් ව සංසාර ගමන යයි යනු මෙහි තේරුමයි.

පටිච්ච සමුප්පාද ධර්මය දේශණා කර බුදුපියාණන්වහන්සේ ලෝකයාට පැහැදිළි කර වදාළේ ”භව” උපදින ආකාරයත්, ”භව” නිරෝධ කර ගැනීමට නම් අනුගමනය කළ යුතු නිසි ක‍්‍රියාමාර්ගයත් පෙන්වා දී ඇත. ”භව” නිරෝධය යනු නිවන ලෙසත් බොහෝමයක් තැන්වල පෙන්වා දී තිබේ. පටිච්චසමුප්පාද දේශණාවට අනුව සංඛාර නිරෝධයේ සිට ”භව” නිරෝධය තෙක් ‘‘ආදී නව’’ අවස්ථා වලදීම ”භව” නිරෝධ කරගත යුතු බවත් ”ජාති” නිරෝධ කරගත හැකි වන්නේ සංඛාර නිරෝධයේ සිට ”භව” නිරෝධය තෙක් අවස්ථා නවයක් තුළදීම ”භව” නිරෝධ කර ගැනීමෙන්ම බවත් පටිච්චසමුප්පාද ධර්මයෙන් ඉතාම පැහැදිළිව පෙන්වා දී ඇත.

කරුණු නිවැරදිව තේරුම් නොගෙන විශේෂයෙන්ම හේතුඵල දහමත්, ද්වතාවත් තරමක් දුරට හෝ නිවැරදිව තේරුම් නොගෙන ‘‘සත්ත්වයෙකු, පුද්ගලයෙකු ලෙස ගත් දෘෂ්ඨියෙන්ම මිදිය යුතුය” යන්න කල්පනා නොකර ඒ වෙනුවට ඵලයෙන්ම නිදහස් වීමට උත්සාහ කිරීම අද බොහෝ දෙනෙක් නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ දැරීම ලෙස හඳුන්වයි. මෙම සත්ත්ව, පුද්ගල සංකල්පය මේ පංචස්කන්ධය ඵලයක් බව තේරුම් නොගෙන මෙම පංචස්කන්ධයෙන් සත්ත්ව පුද්ගල තත්ත්වයෙන්් මුළුමණින්ම නිදහස් වීමට අද බොහෝ දෙනා උත්සාහ ගනිති. ඒ භව නිරෝධ කිරීම යනු කුමක්දැයි නොදන්නාකම නිසාවෙයි.

මම යන පුද්ගලයා, සත්ත්වයා යන පංචස්කන්ධය බිහි වූයේ ඇයි? මීට හේතු මොනවාද? ඒ හේතුවලින් නිදහස් වීමට නම් කුමක් කළ යුතුද? මෙවැනි ප‍්‍රශ්න සඳහා හේතුඵල දහම තුළින්ම කරුණු කාරණා තේරුම් කර ගැනීමෙන් මිස ”භව නිරෝධය” යන වචන තුළින් අදහසක් ගත නොහැකියි. ”භව නිරෝධ” යන වචන දහස්වරක් කීවද, මේ වචන වලින් බුදුපියාණන්වහන්සේ අදහස් කළ දේ නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි නිසාම අද බොහෝමයක් මිනිසුන් සංසාරේ අතරමං වී මංමුළා වී කටයුතු කරති.

”භව” යනු උපතක්, ජාතියක් ලෙසින් වැරදි ආකාරයට තේරුම් ගෙන කටයුතු කිරීම පළමුවන වරද වේ. ලෝක සම්මතයෙහි ”භව” යන පදය පෙර ජාතිය, මතු ජාතිය, මේ ජාතිය ආදී වශයෙන් ජාතිය තේරුම් කිරීමට යොදා ගන්නා පදයකි. මෙහිදී ”භව” යනුද උපතකි. එය නිවැරදි යෙදීමක් වේ. නමුත් ”උපාදාන පච්චයා භව” ”භව පච්චයා ජාති” යනුවෙන් බුදුපියාණන් පටිච්චසමුප්පාද දේශණාවේ ගෙන හැර දැක්වූ ”භව” යන පදය සත්ත්ව, පුද්ගල උපතක් හැඳින්වීමට භාවිතා කළ වචනයක් නොවේ. එහිදී භව යනු ගති ලක්ෂණ, චර්යා රටා, හුරු පුරුදුකම් ආදියේ උපතයි. ගති උපතයි. සත්ත්වයෙකු, පුද්ගලයෙකු ගති ලක්ෂණ පුරුදු කර ගැනීම නිසා ඊට අදාළ චිත්තජ ශක්තීන් උපදවා ගෙන (ජාති) ඒවා කර්මජ කෝෂයේ තැන්පත් කර ගබඩා කර ගැනීමේ ක‍්‍රියාවලිය පටිච්චසමුප්පාද ධර්මයෙන් මෙහිදී පැහැදිළි කරන ලදී. ඒ චිත්තජ ශක්තීන් නිපදවීම ”ජාති” ලෙස පෙන්වා දී ඇත. ඒ චිත්තජ ශක්තීන් කර්මජ රූප ලෙස ඵල විපාක දීම සත්ත්වයාගේ, පුද්ගලයාගේ මතු උපතක් ලැබීමට හේතුවන එකම ක‍්‍රියාවලිය වේ.

මෙම කරුණු නිවැරදිව තේරුම් ගැනීමෙන් පමණක් ”භව” නිරෝධ කිරීමටත් නිවන තේරුම් ගැනීමටත් හැකි වේ. මෙහි නිරෝධ යන වචනෙහි නිරුද්ධ කිරීම නැති කිරීම යන අර්ථයක් අද ලෝක ව්‍යවහාරයේදී භාවිතා වේ. නිරෝධ කිරීම යනු නැති කිරීම නොවේ. නිරෝධ යන පදයේ ද්වතාවය මුලින්ම දැකගත යුතුයි. රෝද – නිරෝධ යනු මෙතන ද්වතාවයයි. රෝද තේරුම් නොගෙන රෝද කිරීම කරන ආකාරය නොදැක නිරෝධ කිරීම යන්න තේරුම් ගැනීම කිසිසේත් කළ නොහැකි වේ.

සත්ත්වයෙකු, පුද්ගලයෙකු, සංඛාර කිරීම යනු ”සං” එකතුකර ගැනීමට කරන ක‍්‍රියාකාරකමකි. ”සං” එකතු කිරීමට කරන සෑම ක‍්‍රියාකාරකමක්ම උපත ලබන්නේ සිතකම වේ. මුලින්ම අරමුණක් බලාපොරොත්තුවක් සිතට මනසිකාරකයක් ලෙස ලැබුණු වහාම සිත තුළදීම රෝද ගසා, සිතුවිලි අතර රවුම් ගසා චිත්ත වීථි දිගේ දුවමින් රවුම් ගැසීමෙන් පසුව නිගමනයකට එනම් ”භව” ට පත්වේ. යම් ගති ලක්ෂණයකට පත් වීමට පෙර සෑම අරමුණක්ම සිත තුළදී සිතා කල්පනා කර, සැලසුම් කර, දහ අතේ කල්පනා කර නිගමනයට බහී. මේ සිත තුළදීම දහ අතේ කල්පනා කර රවුම් ගැසීම රෝද කිරීම යනුවෙන් හඳුන්වා දී තිබේ. මෙයම ධර්මයේ පැහැදිළිවම හඳුන්වා දී තිබේ. මෙයම ප‍්‍රපංචතාවය යනුවෙන්ද භාවිතා වේ.

සිතක පහළවෙන අවිද්‍යා සංඛාර සියල්ලම අල්ලා, සිත තුළින්ම රවුම් ගසා, බලාපොරොත්තු ඇතිකර, ඉන්ද්‍රියයන් හරහා ඒවා පිළිබඳව විවිධ ආකාරයෙන් සිහින මවමින්, ඉන්ද්‍රියයන් පිනවා, ඊට තණ්හා වී, ඒවාම උපාදානය කර ගැනීම මගින් අවසානයේ ”භව” යන ගති ලක්ෂණයකට පත්වී, චිත්තජ ශක්තියක් එකතු කර ගනී. මේ ක‍්‍රියාවලිය ”අවිද්‍යා සංඛාර පච්චයා අවිද්‍යා විඤ්ඤාණ” පටන් ”අවිද්‍යා භව පච්චයා අවිද්‍යා ජාති” තෙක්ම පටිච්ච සමුප්පාද දේශණාවෙන් බුදුපියාණන් ගෙනහැර පා වදාළහ.

චිත්තජ ශක්තියක්, චිත්තජ රූපයක්, සත්ත්වයෙකුගේ, පුද්ගලයෙකුගේ සිතේ බිහි විය හැකි එකම ක‍්‍රමය නම් මේ සිතින් රවුම් ගැසීමේ ක‍්‍රියාවලියයි. චිත්තජ ශක්තියක් බිහිවීමට මේ රවුම් ගැසීමේ ක‍්‍රමය මිස වෙනත් කිසිම ක‍්‍රමයක් ඇත්තෙත් නැත.

මේ කරුණු කාරණා සහ ‘‘ආදී නව’’ අවස්ථාවත් අසා දැක, තේරුම් ගැනීමෙන් චිත්තජ ශක්තියක් සිතක බිහිවීම වළක්වා ගන්නත් කළ යුතු නිවැරදි දේ තේරුම් ගත හැකි වේ. සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව යන අවස්ථා නමයේදීම සිතින්ම අරමුණ දිගේ රවුම් ගසයි. ඒ අවස්ථා නවය තුළදීම කරන රෝද ගැසීම නැවැත්වීම නිරෝධ කිරීමයි. නිරෝධ යනු යමක් නැති කිරීමක් හෝ නිරුද්ධ කිරීමක් හෝ නොවේ. සිතුවිලි අතර රවුම් ගැසීම රෝද කිරීම නවතා දැමුවහොත් ”ජාති” යන අවස්ථාවට සිත පත් වීමක් සිදුනොවේ. ඒ නිසා නිරෝධ කිරීම යනු සිතින්ම කරන රෝද, නිරෝධ කිරීම බව නිවැරදිව මුලින්ම තේරුම් ගත යුතුයි.

සිතකට අරමුණු වන සියලුම මනසිකාරයන් ගති ලක්ෂණ උපදවන චිත්තජ ශක්තීන් එකතු කරන අවිද්‍යා සංඛාර නොවේ. සිතකට අරමුණු වන මනසිකාර කොටස් තුනකට බෙදා පෙන්විය හැකිය.

1. අවිද්‍යා සංඛාර
2. සංඛාර නොවන මනසිකාර
3. කුසලමූල අරමුණු

මේවා අතරින් අවිද්‍යා සංඛාර වලින් පමණක් ”සං” එකතු කරන ගති ලක්ෂණ එකතු කරන (භව) චිත්තජ ශක්තීන් බිහිකරන කොටසට අයත් වේ. මේ නිසා සිතකට අරමුණු වන අවිද්‍යා සංඛාර හා කුසල මූල අරමුණු වෙන් කර තෝරා බේරා දැනහැඳින ගෙන කටයුතු කිරීම ”සතියේ” පිහිටා කටයුතු කිරීමයි, සත්‍යය දැකීම, සතියෙහි පිහිටීමයි.

අවිද්‍යා සංඛාරවලින් එකතු කරන ”සං” නිසා සංසාර ගමන පවත්වයි. ඒවා පින් පව් දෙකම විය හැකියි. හොඳ යහපත්, නරක අයහපත් ගතිගුණ ද විය හැකියි. සිත පිනා යන චිත්තජ ශක්තීන් එකතු කිරීම පින්කම් ලෙසිනුත්, සිත කිළිටි කර අඳුරු කරන චිත්තජ ශක්තීන් පව්කාරකම් ලෙසිනුත් හැඳින්විය හැකිය. මේ කොටස් දෙකෙන්ම චිත්තජ ශක්තීන් නිපදවන නිසා කොටස් දෙකම අවිද්‍යා සංඛාර ලෙස හඳුන්වයි. මේ සියල්ලම සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යෑමට පමණක් උපකාර වන චිත්තජ ශක්තීන් වේ.

සංඛාර කොටසට අයත් නොවන මනසිකාර එළොවටත් නැති, මෙළොවටත් නැති චෛතසික පමණි. කුසලමූල අරමුණු යනුවෙන් හැඳින්වන්නේ මෙතෙක් සංසාර ගමනේදී අතීතයේ එකතු කරගත් චිත්තසංථානයේ, කර්මජ කෝෂයේ ගබඩා වී පවතින චිත්තජ ශක්තීන් කර්මජ රූප සළාහැර, පිරිසිදු බවට පත්කරවන අරමුණු වේ. මේවා කුසල් ලෙස හඳුන්වන්නේ කුණු සළාහැර, සිත පිරිසිදු තත්ත්වයට පත්කර ගැනීමට උපකාර වන අරමුණු පැවැත්වීමක් නිසයි. ලෝභක්ඛය කරන අරමුණු, ද්වේෂක්ඛය කරන අරමුණු, හා මෝහක්ඛය කරන අරමුණු පැවැත්වීම කුසල් පිරීමයි. සංසාර ගමනේ මතු මතුත් උපත් ලැබීමට හේතු වන්නේ මේ පෙර අතීතයේ එකතු කර ගබඩා කර ගත් චිත්තජ ශක්තින්, කර්මජ රූප ලෙසින් ක‍්‍රියාත්මක වීමයි. මේ කර්මජ රූප සළාහැර, සිත ශුද්ධ පවිත‍්‍ර කර ගැනීම ලෝකෝත්තර කුසල් පූර්ණය කිරීමයි. මෙම අවස්ථා දෙකම නිවැරදිවත් පහැදිළිවත් තේරුම්ගත යුතුයි.

1. අවිද්‍යා සංඛාර කරමින්, සිතින් රෝද කරමින් ගති ලක්ෂණ එකතු කිරීම (භව) හා ඒ අනුව චිත්තජ ශක්තීන් (ජාති) නිපදවා ගබඩා කර ගැනීම පළමුවන අවස්ථාවයි. මේ චිත්තජ ශක්තීන් එකතු කිරීම, බිහිකිරීම නැවැත්වීමට නම් රෝද, නිරෝධ කළ යුතුයි.
2. එකතුකර ගබඩා වී ඇති අතීත ගති ලක්ෂණවලට අදාළ චිත්තජ ශක්තීන් කර්මජ රූප ලෙසින් චිත්තසංථානයේ මෙන්ම කර්මජ කෝෂයේ ද තැන්පත් වී ඇති නිසා ඒවා අරමුණු ලෙස සිතෙහි මතු වී ක‍්‍රියාත්මක වීම දෙවන අවස්ථාවයි. මේ අතීතයේ එකතු කරගත් චිත්තජ ශක්තීන් හෝ කර්මජ රූප සළාහැර ශුද්ධ පවිත‍්‍ර කර ගැනීමට නම් රෝද නිරෝධ කිරීම මෙන්ම කුසල් පිරීම ද යන දෙකම කළ යුතු වේ. ඒ කුණු සළාහැර ශුද්ධ පවිත‍්‍ර වීමද කළ යුතුමයි.

”අසේස විරාග නිරෝධෝ, චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ” යනුවෙන් දුක්ඛ නිරෝධ අරිය සත්‍යය නිවැරදිව තේරුම් ගැනීමට නම්, මේ වචනවල ද්වතාවය ද තේරුම් ගත යුතු වේ. (දුක්ඛ සුඛ, නිරෝධ රෝද, අරිය රිය, සත්‍ය අසත්‍ය) සත්‍ය තේරුම් ගැනීමට නොහැකිවීම නිසා, නොදැනීමෙන් කටයුතු කරන නිසා සැප සොයා රෝද කරමින් යන මේ රිය ගමන සංසාර ගමනයි. මේ සංසාර ගමන නැවැත්වීමට නම් රෝද – නිරෝධ කිරීම එකම ප‍්‍රතිකර්මයයි. රෝද නිරෝධ කළ හැකි වන්නේ පැවැත්මේ නියම තත්ත්වය ත‍්‍රිලක්ඛණය තේරුම් ගෙන සත්‍යාවබෝධය කරගැනීමෙන්ම පමණි. රෝද- නිරෝධ කර, රාග- විරාග කර, රිය අරිය කිරීම කරගත හැකි වන්නේද ඒ අනුවමයි.

රෝද කිරීමට හේතු වන්නේ සිතින්ම සංකල්පනා හා කල්පනා පැවැත්වීමයි. (සංකල්පනාව යනු ”සං”- එකතු කිරීම, කල් – කාලය, පනා – පිරීම) අතීතය පීරා, අදාළ අරමුණට ගැළපෙන ගති ලක්ෂණ එකතු කිරීම, සිතින් රවුම් ගැසීම, අතීතය පීරීම සංකල්පනා පැවැත්වීමයි. කල්පනා නොකර, සංකල්පනා නොපවත්වා, කර්මජ රූප ලෙසින් සිත තුළ තැන්පත් වී තිබෙන අතීතයේ තැන්පත් කළ ගති ලක්ෂණ මතුකර එකතු කර ගත නොහැකිය. විඤ්ඤාණය කල්පනා කරන්නේ ඒ අතීත ගති ලක්ෂණයන් එකතුකර ගැනීම සඳහාමය.

මෙයින් පැහැදිළි කරගත යුතු අනික් සත්‍යය නම් හේතුඵල පරම්පරාවක අතීත සම්බන්ධතාවයන් තුළ සිතින්ම රෝද ගසා ඒ අතීත සම්බන්ධතාවයන්ට අනුකූලව අලුත් ගති ලක්ෂණයන් ද, අලුත් චිත්තජ ශක්තිය ද බිහිකරගන්නා බවයි. මේ අනුව සිතින් රවුම් ගැසීම රෝද කිරීම මගින් සිදු වන්නේ අතීතය පාදක කර, අනාගතයක් සකස්කර ගැනීමට විඤ්ඤාණය විසින් වර්තමානය උපකාර කර ගැනීමයි. වර්තමාන මොහොතේ සිතින් රෝද කිරීම කරන්නේ මැරුණු අතීතයම සිහිපත් කර නූපන් අනාගතයක් සකස් කර ගැනීමට වර්තමාන මොහොත පාලමක් ලෙස භාවිතා කිරීමයි. එසේ නම් රෝද- නිරෝධ කිරීම යනු මැරුණු අතීතය තුළ සිතින් රෝද ගැසීම නවතා දමා, නූපන් අනාගතයක් බිහිකර ගැනීමට විඤ්ඤාණය දරණ උත්සාහය නතර කිරීමයි. වැළැක්වීමයි.

යම් දෙයක් දැකීමෙන්, ඇසීමෙන්, ස්පර්ශ වීමෙන් සිතට ලැබුණු අරමුණක් දිගේ රවුම් නොගසා සිතින් සිතීම නතර කර සංඛාර නිරෝධ කිරීම කරගත හැකිය. සංඛාරයක් බලාපොරොත්තුවක් බවට පත්වී නම් බලාපොරොත්තුව පිළිබඳව සිතින් රෝද කිරීම නවතා විඤ්ඤාණ නිරෝධ කර ගත හැකිය. බලාපොරොත්තුව නාමරූපවල බැස ගත්තේ නම් ඒ පිළිබඳ මනසිකාර කිරීම නවත්වා නාමරූපවල නිරෝධ කර ගැනීම කර ගත හැකිය. ඉන්ද්‍රියයන් හයෙන් එකකට හෝ බලාපොරොත්තුව පිළිබඳ නැවත නැවතත් දකින්නට, අසන්නට, සිතන්නට අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ඒ සිතුවිලි නිරෝධ කර, සළායතන නිරෝධ කර ගත හැකිය. ඒ සළායතනවල අදාළ අරමුණු පටළැවී, ස්පර්ශ වී නම්, මනෝ විඤ්ඤාණයේ ස්පර්ශ වීම නවත්වා ස්පර්ශ මාත‍්‍රයට පමණක් සිත සීමා කර රෝද නිරෝධ කිරීම ස්පර්ශ නිරෝධ කිරීමයි. අදාළ අරමුණ මනෝ විඤ්ඤාණයේ ස්පර්ශ වී යම් සුව අසුව හෝ අතරමැදි වේදනාවක් විඳීමෙන් වැළකී සිටීම රෝද නිරෝධ කිරීම වේදනා නිරෝධ කිරීමයි. තැනකට හාවීමට මත්වීමෙන් ගෑවීමට සිත දරණ උත්සාහය නිරෝධ කිරීම තණ්හා නිරෝධ කිරීමයි. තැනකට හා වූ පසු ඒ තැන පැළ පදියම් වී ඒ තැන අල්ලා බඳාගෙන, ලෝකය උරා බීමට දරණ උත්සාහයට අදාළ සිතුවිලි රෝද- නිරෝධ කිරීම, උපාදාන නිරෝධ කිරීමයි. උපාදානය කරගත් අරමුණට සම්බන්ධ ගති ලක්ෂණයකට අදාළව භවට පත්වීම නැවැත්වීම රෝද- නිරෝධ කිරීම භව නිරෝධයයි. ”භව” නිරෝධ කිරීම ජාති නිරෝධ කිරීමයි. යම් අරමුණක් දිගේ රෝද කිරීමෙන් භවට පත්වුවහොත් අනිවාර්යයෙන්ම ”ජාති” තත්ත්වයට ද පත්වී, චිත්තජ ශක්තියක් ද උපදවා ගනී. ඒ නිසා ආදීනව අවස්ථාව තුළදීම රෝද නිරෝධ කර ”ජාති” තත්ත්වයට පත්වීම නවතා ගැනීම මිස වෙන කිසිම ක‍්‍රමයකින් ”අසේස විරාග නිරෝධෝ” යන තත්ත්වයට පත්වීම කරගත නොහැකිය.

එසේ නම් නිවන් අවබෝධ කර ගැනීමට සම්පූර්ණ කරගත යුතු පළමුවෙනි හා වැදගත්ම ක‍්‍රියාමාර්ගය වන්නේ මේ ආකාරයෙන් අවිද්‍යා සංඛාර ”භව” ට පත්වීමට පෙර අවස්ථා නමය තුළදී නිරෝධ කර ඉන් මිදී නිදහස් වීමයි. මෙයම සිත සංවර කර ගැනීමයි. ත‍්‍රිවිධ සුචරිතයෙහි පිහිටා කටයුතු කිරීමයි. දහසක් සංවර සීලයයි.

සිතින් රෝද ගසා, සිතින් සිතා මිස කටින් හෝ කයෙන් හෝ පමණක් කිසිම ක‍්‍රියාවක් කාටවත් කළ නොහැකි බව ඔබ හොඳින්ම දන්නා කරුණකි. එසේනම් මනෝ සංඛාර, වචී සංඛාර, කාය සංඛාර යන තුන් ආකාරයෙන්ම අවිද්‍යා සංඛාර නිරෝධ කර සංවර විය හැකි වන්නේ සිතින් රෝද කිරීම නැවැත්වීමෙන්ම පමණි. එය භව නිරෝධ කිරීමයි. කුසල මූල අරමුණු සිතින් ගෙන රෝද කිරීම පිළිබඳව ද මෙතැනදීම පැහැදිළි අවබෝධයක් ලබාගැනීම නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන අනිත් ක‍්‍රියා මාර්ගයයි. මෙය සම්මා වීමයි. ”සං” වලින් මිදී නිදහස් වීමට කටයුතු කිරීමයි. ගබඩාකර එකතුකරගත් කුණු සළාහැර, චිත්ත පාරිශුද්ධත්වයට පත්කර ගැනීමට කටයුතු කිරීම සම්මා වීමයි.

සිතින් රෝද කිරීම නවතා සිත නිරෝධ කළවිට සිත සමාධි ගත වෙයි. මෙසේ අලුතින් චිත්තජ ශක්තීන් එකතු කිරීම නැවැත්වූූ විට විඤ්ඤාණයට ආහාර නැතිවී යයි. විඤ්ඤාණය දැන් උත්සාහ කරන්නේ අතීතයේ එකතුකර ගබඩාකරගත් ආහාර (කුණු) සොයා සංකල්පනා ඇති කිරීමට කටයුතු කිරීමයි. විපස්සනා කිරීම සතියෙහි පිහිටා කටයුතු කිරීම අවශ්‍ය වන්නේ මේ අවස්ථාවෙහිදීය. සතියෙහි පිහිටා හේතුඵල දහමට බහා ගළපා බලා විඤ්ඤාණයට අරමුණු වන සියලු චෛතසිකයන් දැන හඳුනා, තෝරා බේරා ගෙන කටයුතු කිරීමෙන්ම අවිද්‍යා සංඛාර හා කුසලමූල අරමුණු වෙන්කොට දැන හඳුනා කටයුතු කළ යුතුය. අවිද්‍යා සංඛාරයකට මුල්වන ගති ලක්ෂණයක්, චෛතසිකයක් සිතෙහි අරමුණු වීමත් සමඟම ඒ බව හොඳින් දැන හඳුනා එය සළාහැර සිත ශුද්ධ පවිත‍්‍ර කර ගැනීමට සිතින්ම රෝද කිරීම කුසල මූල අරමුණු පැවැත්වීමයි. මේ අවස්ථාවේදී කළයුතු වන්නේ සිත නිරෝධ කිරීමයි. මේ අවස්ථාවේදී ද පෙර සඳහන් කළ පරිදි අවස්ථා නවයක් තුළදීම කුණු සළාහැර සිත ශුද්ධ පවිත‍්‍ර කර ගැනීමට සිතින්ම නිරෝධ කිරීම කළ යුතුය. මෙතැනදී නිරෝධ කිරීමක් නොකරන අතර, ලෝභක්ඛය කිරීමට, ද්වේෂක්ඛය කිරීමට, මෝහක්ඛය කිරීමට අදාළ අරමුණු නිරෝධ කර ඒ ගති ලක්ෂණය සම්පූර්ණයෙන්ම සළාහැර සිත ශුද්ධ පවිත‍්‍ර වීමක් සිදුකර ගත යුතුය.

සිත සමථයට, සමාධියට පත් වූ විට සිත තුළින්ම නැගී මතු වී එන මෙවැනි ගබඩා වී ඇති අභ්‍යන්තර අරමුණු (කුණු) යටපත් කර, සඟවා දැමීමට උත්සාහ දැරීම නුසුදුසු ක‍්‍රියාවකි. ඒවා යටපත් කර සඟවා දැමීමෙන් වන්නේ යළිත් කවදා හෝ අළුයට ඇති අඟුුරු සේ මතුවී කවදා හෝ යළි ගින්න ඇවිළීමට හේතුවක් වීමයි. මේ නිසා විපස්සනා කිරීමෙන් කළ යුත්තේ මෙවන් අළුයට ඇති ගිනි අඟුරු හාරා අවුස්සා මතුකර ඒවා සළා හැර ශුද්ධ පවිත‍්‍ර වීමයි.

මෙයින් පැහැදිළිවම තේරුම් ගතයුතු වන්නේ ”භව” නිරෝධය යනු සත්ත්වයෙකුගේ, පුද්ගලයෙකුගේ මතු උපතක් අතිවීමට හේතුවන (ගති) ”භව” නිරෝධ කිරීමට දරණ උත්සාහයක් බවයි. හේතුවම නිරෝධ කර ඵලයක් ඇතිවීම වළක්වනු මිස ඵලය අල්ලාගෙන එය නැති කිරීමට වෙර වීරිය දැරීම නිශ්ඵල ක‍්‍රියාවකි. ඒ නිසා කරුණු කාරණා නිවැරදිව දැන ඉන්පසුව කළ යුතු දේ කර ගැනීමෙන්ම නිවන් අවබෝධ කරගතහැකි වෙයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.