සිත, විඤ්ඤානය, මනස හා චිත්තය

බුද්ධ ධර්මය යනු, මිනිස් ඉතිහාසයේ එදා මෙදා තුර සත්ත්වයෙකුගේ සිත පිළිබඳව සර්ව සම්පූර්ණ විග‍්‍රහයක් ඉදිරිපත් කළ එකම විද්‍යාවයි. මිනිසෙකුට තේරුම් ගන්නට හැකි තරමට සරළ බසිනුත්, මනසින් කල්පනා කර වටහා ගන්නට හැකි සේ විස්තර සහිතවත්, විග‍්‍රහ කළ බුද්ධ දේශණාවට වැඩි මනත් යමක් සිත පිළිබඳව පැවසිය හැකි බුදුවරයෙකු හැර, වෙනත් කිසිම විද්‍යාඥයෙකු, මිනිසුන්, දෙවියන් සහිත ලෝකයා අතරින් කවදාවත් මතු බිහිවිය හැකි වන්නේ ද නොවේ.

සිත, යන වචනය සිංහල භාෂාවේ සම්මත ලෝක ව්‍යවහාරයේ පවතින වචනයක් මිස, බුද්ධ භාෂිතයේ භාවිත කළ පදයක් නොවේ. බුද්ධ භාෂිතයෙහි සිත විග‍්‍රහ කරන්නට යොදාගත් පද අතරින් විඤ්ඤාණය, මනස, චිත්ත යන මූලික පද තුනක් සමඟ පද නවයක්ම විභංගප‍්‍රකරණයේ පෙන්වා දී ඇත. බුද්ධ භාෂිතයෙහි පෙන්වා දුන් සිතෙහි අවස්ථා සියල්ලම විග‍්‍රහ කරන්නට, සිංහල භාෂා ව්‍යවහාරයේ දී සිත යන එකම වචනය පමණක්ම භාවිත කිරීම නිසා, කෙනෙකුට සිත පිළිබඳව යථාර්ථය තේරුම් ගැනීම ද තරමක් අපහසු තත්ත්වයට පත් වී ඇත. බුද්ධ ධර්මය නිවැරදි ලෙසත්, නිරවුල් ලෙසත් තේරුම් ගන්නට අවංකවම උත්සහා ගන්නා සියලුම දෙනා බුද්ධ භාෂිතයෙහි සිත විග‍්‍රහ කරන්නට භාවිත කළ මූලික පද කිහිපයකවත් නිවැරදි අර්ථය තේරුම් ගත යුතුය.

බුද්ධ ධර්මය සොයා දැන බුදුපියාණන් දේශණා කර ඉදිරිපත් කළේ, සිත පිළිබඳව ප‍්‍රත්‍යක්‍ෂ අවබෝධයක් ලබා, සිත ක‍්‍රියාත්මක වන විවිධ ස්වරූපයන් ද හොඳින් තේරුම් ගෙන,  නිරන්තරයෙන්ම  විඤ්ඤාණ  තත්ත්වයෙන්  කිළිටි  වී  පවතින  සිත  පාරිශුද්ධ තත්ත්වයට පත්කරගෙන, විඤ්ඤාණ තත්ත්වයෙන් මිදී නිදහස්ව ප‍්‍රඥාව උපදවා පහදා ගැනීමට මිනිසුන්ට මඟ පෙන්වීම සඳහායි. මෙයම සිත නිවීමයි, නිවනයි. ස්වභාවිකවම කිළිටි  තත්ත්වයෙන්  පවතින  විඤ්ඤාණය,  කිළිටි  තත්ත්වයෙන්  මුදවාගෙන  පාරිශුද්ධ තත්ත්වයට පත්කර ගත්විට, සිත යැයි ලෝක සම්මතයෙහි භාවිත කරන මේ විඤ්ඤාණයට තව දුරටත් එම තත්ත්වයෙන් ජීවත් විය නොහැකිය. ජීවත්වීම යනු ජරාවට පත්වන, දිරායන, විපරිණාමයට පත්වන ස්වභාවයයි. ගමන් කරන රිය ස්වභාවයයි. එය සංසාර ගමනයි. එය විඤ්ඤාණයේ ස්වභාවයයි.

විඤ්ඤාණය  යනු  සිතෙහි  එක්තරා  ශක්තියකි.  තත්ත්වයකි.  අවස්ථාවකි.  බුද්ධ ධර්මය හදාරන, නිවන් මඟ සොයන හැම මිනිසෙකුම විඤ්ඤාණ තත්ත්වයෙන් පවතින තම සිත ගැනම යථාවබෝධයක් ලබාගත යුතුය. විඤ්ඤාණය (වි+ඥාණය) යන පදයෙහි තේරුම,  විවිධ  වූ,  විෂම  වූ,  විකෘති  වූ  දැනුම්  ලබාදෙන  සිත  යන්නයි.  සංඥා  මඟින් ඉන්ද්‍රියයන් හරහා මනසට දැනෙන දැනුම වෙන්කර හඳුනා ගන්නට උපකාර වන සිත විඤ්ඤාණයයි.  ඒවාගේම  මොහොතක්  මොහොතක්,  චිත්තක්‍ෂණයක්  චිත්තක්‍ෂණයක් පාසා විවිධ තත්ත්වයන්ට, විෂම තත්ත්වයන්ට, විකෘති තත්ත්වයන්ට පත්වෙන්නට හැකි සිත විඤ්ඤාණයයි. විඤ්ඤාණයේ නියත ගති ලක්‍ෂණය, වෙනස්වන සුළු ගති ලක්‍ෂණයයි. දොම්නසට, සොම්නසට, උදහසට, උද්දාමයට, උද්වේගයට, ශෝකයට, භයට පත්වන සිත විඤ්ඤාණයයි.

විඤ්ඤාණ තත්ත්වයෙන් යුතු සිතක නියත ගති ලක්‍ෂණය, ගති ස්වභාවය එකතු කිරීමයි. නාම – රූප (ගත-හිත) දෙක එකතුකර පුද්ගලයෙකු, සත්ත්වයෙකු නිර්මාණය කළේ ද විඤ්ඤාණයයි. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන ධාතු කොටස් එකතුකර, ගත-හිත යනුවෙන් අපි හඳුන්වන මේ ”වත”, කූඩුව සකස් කර ගත්තේ ද විඤ්ඤාණයමයි. රූප, වේදනා, සංඥා, සංඛාර යන කොටස් පංචස්කන්ධයට එකතු කර සකස් කර ගත්තේ ද විඤ්ඤාණයමයි.

උපන් හැම සත්ත්වයකුටම නියත වශයෙන්ම විඤ්ඤාණයක් තිබේ. විඤ්ඤාණයක් නොමැතිව සත්ත්වයකුට උපතක් ලැබිය නොහැකිය. පංචස්කන්ධය ලෙස පෙන්වන උපාදානය  කරගත්  කොටස්  පහෙන්  විඤ්ඤාණය  ලෙස  හඳුන්වන  කොටස  සිතෙහි එක්තරා අවස්ථාවකි. එය චිත්ත අවස්ථාව නොවේ. මේ තත්ත්වය පැහැදිළි කරගැනීමට, නිරාකරණය කරගැනීමට නොහැකි වීම නිසා අද බොහෝ දෙනා චිත්තය, විඤ්ඤාණය ලෙසම වැරැදි ලෙස විග‍්‍රහ කරති.

විභංගප‍්‍රකරණයේ  සිත  පිළිබඳව  කර  ඇති  විග‍්‍රහයේ  දී  චිත්ත  යනු  පිරිසිදුම අවස්ථාවයි. ඊට පසු මනෝ, මනසං(මනස) ලෙසත් හදයං, පංඩරං, මනායතං, මනීන්ද්‍රියං ලෙස ඊළඟ අවස්ථාත්, අවසාන ලෙස විඤ්ඤාණයත්, විඤ්ඤාස්කන්ධයත් පෙන්වා දී ඇත.

චිත්තය පිරිසිදුම අවස්ථාව නම් විඤ්ඤාණය යනු, එයම අපිරිසිදුව කහට ගැන්වුණු කිළිටි වූ අවස්ථාවක් ලෙසින් විග‍්‍රහ කර ඇත. මෙය උදාහරණයක් මඟින් පැහැදිළි කරගත යුතුය. චිත්ත අවස්ථාව ඉතා පිරිසිදු පැහැපත් ජලය මෙනි. මේ ජලයට කහට, සීනි, කිරි වැනි විවිධ දේ මිශ‍්‍රවී අපැහැදිළි, කිළිටි කහට තත්ත්වයට පත්වූවොත්, ඒ ජලයෙහි පිරිසිදු බව නැතිව යයි. විඤ්ඤාණයද මෙවැනි කිළිටි තත්ත්වයක් සේ පෙන්වා දිය හැක. පිරිසිදු සිත (චිත්ත) රාග, ද්වේෂ, මෝහ එකතු කර ගැනීම නිසා කිළිිටි වී, කහට ගැන්වීම නිසා බිහිවන තත්ත්වයට විඤ්ඤාණය යයි කියමු. මේ තේ කහට වලද ඇත්තේ අර කලින් පිරිසිදුව තිබූ ජලයමය. දැන් ජලය පිරිසිදු නැත. පැහැපත් නැත.  විඤ්ඤාණයත් එවැනිමය. පිරිසිදු චිත්තය දැන් නැත. චිත්තය කිළිටි වූ පසු එය විඤ්ඤාණය ලෙස නම් කරයි.

මේ මුළු විශ්වයෙහිම විද්‍යාමාන වන සියලු දේ දකින්නට, අසන්නට, ස්පර්ශ කරන්නට, රස විඳින්නට ලැබෙන සියලු දේ (සබ්බේ ධම්මා), සිතින් නිපදවා ගත් මනස්කාර පමණකැයි අසන්නට ලැබුණහොත් ඔබ එය විශ්වාස නොකරනු ඇත. නමුත් සත්‍යය එයයි. මේ ගැන තව දුරටත් ගැඹුරෙන් විග‍්‍රහ කර ගත යුතුය. මේ විශ්වයේ (සක්වල) උපන්, ජීවත් වන සත්ත්වයා තම විඤ්ඤාණ ශක්තියෙන්ම බිහි කර ගත්, උපදවා ගත් සංඛත (සකස්කර ගත් දේ) මිස වෙනත් කිසිවක් මේ මිහිපිට නැත. සත්‍යය තත්ත්වය එයයි. මේ සත්‍යය වටහා ගත හැක්කේ හේතුඵල ධර්මය නිවැරැදිව දැකීමෙනි.

හේතුවක් නැතිව කිසි ලෙසකින්, කිසි තැනක, කිසි දිනක කිසිම දෙයක් බිහි විය නොහැකිය. හේතු නිසා බිහි වූ දෙය, ඒ හේතුව නිපද වූ ශක්තිය අවසන් වනවාත් සමඟම, ශක්තිය ගෙවීයත්ම විනාශයට පත්වෙයි. මේ හේතු බිහි කරන එකම උල්පත, එකම ශක්ති ප‍්‍රභවය, ජීවත් වන සත්ත්වයාගේ විඤ්ඤාණ ශක්තියයි. උපන් හැම සත්ත්වයෙකුම තම සිතින්, විඤ්ඤාණයෙන්, යම් ශක්ති විශේෂයක් උපදවයි. විශ්වයේ චිත්ත ශක්තියෙන් පරිබාහිර වෙනත් කිසිදු ශක්ති ප‍්‍රභවයක් පෙන්විය හැකි කිසිම ජගතකු මිහිපිට නැත. එසේ පෙන්වීමට නොහැකි වීම නිසාම, සියල්ලෙහි මැවුම්කරු දෙවියෝය, මහා බ‍්‍රහ්මයාය වැනි ප‍්‍රකාශ කරති. ඒ දෙවියන් මෙන්ම බ‍්‍රහ්මයන්ද මේ සත්ත්ව කොටසටම අයිතිය. අපේම කෙනෙකි. පෙර දෙවියකු, බ‍්‍රහ්මයෙකු නොවූ කිසි කෙනකු අප අතර නැත. ඒ නිසා අපට ඇති  චිත්ත  ශක්තියට  වෙනස්  ආකාරයක  ශක්ති  විශේෂයක්  කිසි  දෙවියෙකුට  හෝ බ‍්‍රහ්මයෙකුට පහළවිය නොහැකිය.

මේ දැන් පවතින ලෝකයද, පෙර පැවති ලෝකයද, මතු බිහිවන සියලු ලෝකද විද්‍යාමාන වීමට එකම හේතුව, මෙහි ජීවත් වන සත්ත්වයා තම විඤ්ඤාණ ශක්තියෙන් බිහිකරගත් දේම මිස වෙනත් බලයක් නොවේ.

සත්ත්වයා පුද්ගලිකවත්, සාමුහිකව පොදුවේත් බිහිකළ හේතු, චිත්ත ශක්තීන් ලෙස බලගැන්වී ක‍්‍රියාත්මක වීමක් මිස, මේ පැවැත්ම යනුවෙන් ගෙන හැර දක්වන ලෝකයෙහි තේරුම් ගත නොහැකි වෙන දෙයක් නැත. ඒ ඒ හේතු බිහිකළ අය වෙතම ඵල විපාකද ආපසු ලැබේ.

මේ සක්වල තුළ ජීවත්වන සියලු සත්ත්වයෝ තම සිත් වලින්ම ජනිත කරගත් ශක්තීන් ”සංසාරයි” කියා පවත්වාගෙන යති. සිතුවිලි වල ශක්තියෙන්ම තම විඤ්ඤාණය තම කය නිපදවා ගනී. විඤ්ඤාණය තමන්ගේ පැවැත්මට කූඩුවක් සාදාගනී. ඒ නිසාම මෙය ශරීර කූඩුව යයිද හඳුන්වයි. කූඩුවක් නැති විටක විඤ්ඤාණයට පැවතිය නොහැක. සිතක් නැති විටක කය පැවැත්මක්, ජීවයක් ඇති දෙයක් නොවන්නේ ද ඒ නිසාමය. සිත පමණක් ඇති බඹලොව හා කය පමණක් ඇති බ‍්‍රහ්ම ලෝක ගැන පොත්වල සඳහන් වුවත් එය සම්මත විග‍්‍රහයක් පමණි. විඤ්ඤාණය අසංඥ වූ හෝ විසංඥ වූ තත්ත්වයක් යටතේ උපදින්නේ මෙවැනි ලෝකවලය. විඤ්ඤාණයේ ක‍්‍රියාකාරීත්වය තාවකාලිකව අක‍්‍රිය වූ පසු මෙවැනි ලෝකවල උපදී. මෙය නිවන් දැකීම නොවේ.

අපට  පෙනුනත්  නැතත්  සියලුම  සත්ත්වයෝ  තම  විඤ්ඤාණයේ  පැවැත්මට උපකාර වන ලෙස ශරීර කූඩුවක් සකස්කර ගෙන ඇත. එය ඒ ඒ සත්ත්වයින් තම චිත්ත ශක්තියෙන්ම සකස් කර ගත් දෙයකි. මෙහි කිය යුතු වැදගත්ම දේ නම් මේ සියල්ල යම් රටාවකට අනුවම සිදුවන බවයි. බුදුපියාණන් පෙන්වා දුන් ඒ නියාමය, රටාව, ධර්ම නියාමය, කර්ම නියාමය, චිත්ත නියාමය, බීජ නියාමය, ඍතු නියාමය ලෙස හඳුන්වයි. මේවා සත්‍ය ධර්මතාවයෝය. මෙම නියාමයන්ට පිටින් කිසිවක් සිදු වෙතැයි, සිදුකළ හැකියැයි යමෙකු පැවසුවොත් ඒ ධර්මය නොදැනීමය. හේතුඵල ධර්මය පිළිබඳව සත්‍යය නොදැනීම යනු මේවා නොදැනීමයි.

තම තමාගේ පැවැත්ම අවශ්‍ය නිසාම ඒ (ස්ව බව) තම තත්ත්වය දැරීමට යෝග්‍ය පරිදි පොදුවේ බිහිකරගත් දේ, ස්වභාව ධර්මයයි අපි හඳුන්වමු. මේ ස්වභාව ධර්මය යැයි අපි හඳුන්වන දේ, ඒ ඒ සත්ත්වයින් පෞද්ගලිකවත්, පොදුවේත් තම පැවැත්ම සඳහාම ඊට උපකාර කර ගැනීමට සකස්කර ගත්, බිහිකරගත් දේ මිස දෙවියකු හෝ විශ්වකර්මයෙකු හෝ මැවූ දේ නොවේ. මේ ස්වභාව සම්පත් බිහිකළ චිත්ත ශක්තිය, පොදු චිත්ත ශක්තියයි. ඒ  නිසා  ස්වභාව  ධර්මය  ලෙසද  හඳුන්වන්නේ,  සත්ත්වයා  තම  චිත්ත  ශක්තියෙන්ම නිර්මාණය කරගත්, තම තමන්ටම උපකාර වන දේමය.

බුදු දහම හේතුඵල ධර්මය විග‍්‍රහ කිරීමකි. හේතුවක් නැති තැන ඵලයක් නැත. හේතුවක් ඇති තැන ඵලයක් විපාකයක් අනිවාර්යය. හටගත් හැම සංඛාරයකම හටගැනීමට පාදක වූ නිදාන වූ හේතුවක් ඇත. මේ හේතු ලෙස බුදු දහමේ පෙන්වූයේ වෙන දෙයක් නොවේ. විඤ්ඤාණ ශක්තියක්ම පමණි. ක‍්‍රියාවක් හෝ වචනයක් ලෙස පිටකරන සියලු හේතුද සිතෙන්ම උපදවාගත් ඒවාය. සිත නැතිව මේ කයට කිසිවක් කළ නොහැකිය. සිතෙන්, ක‍්‍රියාවෙන්, වචනයෙන් යම් සත්ත්වයෙක් නිපදවන සංඛාර, ශක්තීන් ලෙස, හේතු ලෙස විශ්වයට නිකුත් කරයි. එහි යම් ශක්තියක් ගැබ් කළ නිසා, ඒ ශක්තිය ගෙවී අවසාන වනතුරු විපාකයක් ලෙස ඵලය ලැබෙයි. කර්ම නියාමයට අනුව හේතුව බිහිකළ පුද්ගලයාටම ඵලය ලැබෙයි. විපාක ලැබෙයි.

ඒ බිහිකරන ශක්තියට අනුරූප වූ, ඊටම උරුම වූ විපාකයත් ඵලයත් ලැබෙන නිසා ”බීජ නියාමය” ලෙසින් එය හඳුන්වයි. හේතුව බිහිකළ ශක්තිය පවතින තුරු විපාකදී, බිහිකළ ශක්තිය අවසාන වනවාත් සමඟම බිහිකළ දේ, උපන් දේ, වැනසී විනාශ වී මැරී යයි.  එය  ”ධර්ම  නියාමයයි”.  පටිට්චසමුප්පාද  ධර්මයෙන්  පැහැදිළි  කරන්නේ  ද  මේ ධර්මතාවයමයි.

දෙවියන්, මිනිසුන්, බ‍්‍රහ්මයින්, අමනුස්සයින්, ආදී විවිධ ස්වරූප වලින් පෙනී සිටින සත්ත්වයාට, නිවන් දකින තුරු තමන් කැමති වුවත් නැතත් කුමන ආකාරයේ උත්සාහයකින් හෝ විනාශයකින් හෝ මේ සංසාර පැවැත්මෙන් ඉවත් වී ගිය නොහැකිය. ලෝක විනාශ දහසක් සිදු වුවත්, එහිදී සිදු වන්නේ විඤ්ඤාණය සාදාගත් කූඩුව (ගත) විනාශ වී යනවා මිස, චිත්ත ශක්තිය විනාශ වීම නොවේ. ලෝක විනාශයක දී සිදු වන්නේ, චිත්ත ශක්තියෙන් වායු කසිනයට සමවැදී, ආභස්සර බ‍්‍රහ්ම ලෝක තලයන් හි ඉපැදී පසුව මෙළොවට යළි පාත් වීමයි.

විඤ්ඤාණය ශක්තීන් අලුතින් උපදවනතාක් කල් සිත පවතින නිසා, උපදවන උපදවන හේතුවට, ශක්තියට, ඵලයක්, විපාකයක් ඒ ඒ සත්ත්වයාට උරුමය. කැමති වුවත් නැතත් තම උරුමය තමන්ටම ලැබෙයි. තමන් නිපද වූ හේතුවට උරුම වූ ඵලය, විපාකය තමාම විඳිය යුතුය.

හැම සත්ත්වයෙකුම, භූතයෙකුම, ප‍්‍රාණියෙකුම උපන්දා සිට මරණ මොහොත දක්වා ම, මුළු වෙර වීරිය යොදා කටයුතු කරන්නේ යමක් එකතු කර ගැනීමේ එකම පරමාර්ථයෙනි. මෙලෙස එකතු කිරීමක් නොකරන සිතක විඤ්ඤාණ තත්ත්වයේ පැවැත්මක්ද නැත. විඤ්ඤාණයේ පැවැත්ම දිගටම පවත්වාගෙන යාම සහතික කර ගැනීම සඳහාම විඤ්ඤාණය එකතු කිරීම කරයි. මේ ප‍්‍රකාශය තුළ ඉතාම ගැඹුරු, ඉවසීමෙන් තෝරා බේරා වටහා ගත යුතු, හැදෑරිය යුතු, අවබෝධ කරගත යුතු සත්‍ය ධර්මයක් ගැබ් වී ඇත. නිවන් අවබෝධ කර ගැනීමට උපකාරීවන බුද්ධ ධර්මය තේරුම් ගත හැකි වන්නේ, විඤ්ඤාණයෙන්  කරන  නිරන්තර  එකතු  කිරීමේ  ක‍්‍රියාවලිය  ගැන  පූර්ණ  හැදෑරීමක් කිරීමෙන් ය.

මිනිසකුගේ, සත්ත්වයෙකුගේ සිතක බලාපොරොත්තු උපදින්නේම සිත විඤ්ඤාණ තත්ත්වයේ  පවතින  නිසාමය.  විඤ්ඤාණ  තත්ත්වයෙන්  නොපවතින  සිතක  කිසිම ආකාරයක බලාපොරොත්තුවක් කිසිසේත්ම බිහිවීමට අවකාශ නැත. බලාපොරොත්තුවක් යනු ඌන තත්ත්වයක්, හිඟ තත්ත්වයක්, අඩුපාඩුවක් ඇති නිසාම, ඒ අඩුව පුරවා ගන්නට, එකතු කර ගන්නට ඇතිවන බලාපොරොත්තුවකි. මතු යළි උපදින බලාපොරොත්තුවක් හට ගන්නේ, මියයන විට විඤ්ඤාණ තත්ත්වයෙහි පවතින සිතකය. එසේ නම්, උපතක් ලැබූ හැම සත්ත්වයෙකුම, ප‍්‍රාණියෙකුම, භූතයෙකුම, දෙවියෙකුම උපතක් ලබන්නේ, සිත විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මකව වන නිසාමය. බුදුපියාණන්වහන්සේලා මෙන්ම නිවන් අවබෝධ කරගත් සියලුම අරහතුන් වහන්සේලා ද මිනිසුන් ලෙස උපත ලැබූයේ, සිත, විඤ්ඤාණ තත්ත්වයෙන්ම ක‍්‍රියාත්මකව පැවති නිසාය. විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මකව නොපවතින සිතකින් කිසිම ආකාරයක එකතු කිරීමක් කරන්නට ද නොහැකි නිසා, බලාපොරොත්තු හට ගන්නේ ද නැත. නාම – රූප එකතුකර කූඩු හදන්නට හැකි ශක්තියද නැත. ශුද්ධාෂ්ටක එකතුකර වතක් සකස්කර ගන්නට ද නොහැකිය.

විඤ්ඤාණය සහිතවම උපත ලත් බෝධිසත්ත්වයන් වහන්සේලා මෙන්ම සියලුම අරහත් තත්ත්වයට පත් උත්තමයින් ද තම සංසාර ක‍්‍රියාකලාපයන් වෙනස්කර ගෙන ඒ අනුවම සිත ශුද්ධ පවිත‍්‍ර කරගෙන, කෙළෙස් එකතු කිරීමෙන් පූර්ණ ලෙස මිදී නිදහස් වී, බලාපොරොත්තු අතහැර, ඉන් මිදී, විඤ්ඤාණ තත්ත්වයෙන් පාරිශුද්ධ චිත්ත තත්ත්වයට පත්වීම නිසාම නිවන පූර්ණ කර ගත් සේක.

විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වන සිතක හැම මොහොතකම වාගේ යම් බලාපොරොත්තුවක් බිහිවෙයි. බලාපොරොත්තු මතම රැඳුණු බලාපොරොත්තු නිසාම ජීවත්වන  විඤ්ඤාණය, මරණ මොහොතේත් තව  දුරටත්  ජීවත් වීමට  දැඩි බලාපොරොත්තුවක් ඇතිවම මිය යයි. ඒ බලාපොරොත්තුව අනුව, විඤ්ඤාණය විසින්ම, අලුත් ලෝකයක් ද බිහිකර ගෙන, ඊට අවශ්‍ය සියලු දේ එකතු කරගන්නට සියලු උත්සාහ, වීර්යයන් ගනී. මේ අනුව බලාපොරොත්තුවලින් තොර විඤ්ඤාණයක් හෝ විඤ්ඤාණයෙන් තොර බලාපොරොත්තුවක් හෝ කිසිවිටෙක සිතක ඇතිවිය නොහැකිය.

බලාපොරොත්තුව  යන  වචනයේම  තේරුම,  යම්  දෙයක්,  යම්  තැනක්,  යම් කෙනෙක්,  යම්  සංකල්පයක්,  යම්  ධර්මතාවයක්  එකතුකර  ගැනීමට,  අල්ලා  ගැනීමට, උපාදානය කර ගැනීමට ඇති අවශ්‍යතාවයි. එයම තැනක හා වීම, තණ්හා වීම යනුවෙන්ද හඳුන්වයි.

මම කියා සංකල්පයක්, සත්ත්ව පුද්ගල ඒකකයක්, විඤ්ඤාණයෙන්ම බිහිකර ගත් පසුව, මම ජීවත් කරවීමට, මාගේ ලෝකය පවත්වා ගැනීමට, සියලු බලාපොරොත්තු ඇති කර ගනී. මම කියා ඇති කරගත් ”මම” සංකල්පය විඤ්ඤාණයෙන්ම ඇති කරගත් මායාවකි. දෘෂ්ඨියකි. ඒ නිසාම පුද්ගලයෙකු, ඒකකයක් යන සංකල්පය ද බිහි වී, මට ජීවත් වන්නට, මගේ අයට ජීවත් වන්නට මෙන්ම මගේ නොවන අය, දේ, තැන්වලට, සීමා වැට කඩොළු පනවා වෙන්කර දක්වන්නට ද පටන් ගනී. මගේ යන සංකල්පය නිසාම අපේ යන සංකල්පය ද ඇතිවෙයි. අපේ දේ, අපේ ගෙදර, අපේ රට යැයි සිතන්නට ද පුරුදු වෙයි. අපේ නොවන දේවල් ද බිහිවෙයි. අපේ රට නොවේ, අපේ මිනිස්සු නොවේ, යන විඤ්ඤාණයෙන් ඇතිකර ගත් සිතිවිලි ද මුල් බැස ගනී.

මම යන සංකල්පය බිහිවෙන්නට එකම හේතුව සිත, විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මකව පැවතීමයි. මම මධ්‍ය කොට ගෙන, විඤ්ඤාණය ලෝකය මනින්නට පටන් ගනී. මෙසේ මැන මැන කරන්නේ, මගේ ගොඩ ලොකු කරගන්නට එකතු කිරීමයි. මම යන සංකල්පය නිසා මානයත්, මඤ්ඤතාවයත්, අස්මිමානයත්, මමත්වයත් ඒ සමඟම මගේ ලෝකයක් ද බිහිවෙයි. මම කියා සංකල්පයක් බිහිනොවූයේ නම් මගේ ලෝකයක් ද නැත. විඤ්ඤාණ තත්ත්වයක් සිතෙහි ක‍්‍රියාත්මක වන තුරාවට මගේ ලෝකයක් ද, මමද, මට කියා විවිධ දේ එකතු කරන්නට ද, මගේ නොවේ කියා සීමා පනවන්නට ද, උස් පහත්, ලොකු පොඩිකම් ආදී සියලු භේදයන්ද සිතෙහිම ඇතිවෙයි.

විඤ්ඤාණය ක‍්‍රියාත්මක වන සිතක නියත ගති ලක්‍ෂණයන් පෙන්වීමට බුදුපියාණන්  දේශණාකර  වදාළ  ධර්ම  පාඨය  වන්නේ  ”ඌනෝ  ලෝකෝ  අතිත්තෝ තණ්හා දාසයෝ” යන්නයි. කොපමණ එකතුකර ගත්තත් තමන්ගේ ලෝකයේ ඌනතාවයක්, අඩුවක් ඇති බවත්, තෘප්තිමත් වන ස්වභාවයක් නැතිකමත් නිසාම තැනක හා වීමත්, හැම පෘථග්ජන පුද්ගලයෙකුගේම නියත ගති ලක්‍ෂණයයි. රජකම ලැබුණත් සක්විති රජකම බලාපොරොත්තු වේ. සක්විති රජකමෙනුත් සෑහීමකට පත්නොවී සදෙව් ලොවටම අධිපති ශක‍්‍ර දේවේන්‍ද්‍රයාගේ තනතුර ගන්නට ද එක්තරා රජෙකු උත්සාහ ගත් කතාවක් ත‍්‍රිපිටකයේ සටහන් වී ඇත. මේවා විඤ්ඤාණයේ මූලික ගති ලක්‍ෂණයන්ය. ඒ නිසා තණ්හාව, ආශාව, උපාදානය ආදී ගතිගුණ නැතිකර ගන්නට නම්, විඤ්ඤාණ තත්ත්වයේ පවතින සිත පාරිශුද්ධ තත්ත්වයට පත්කර ගත යුතු බව හැම කෙනෙකුම තේරුම් ගත යුතු සත්‍යයකි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.