සුව අසුව දහසක් ධර්මස්කන්ධය

බුදුපියාණන් දේශණාකර වදාළ බුද්ධ ධර්මය සහමුළින්ම ද්වතාවයක් පෙන්වා වදාළ දහමකි. මේ විශ්වය තුළ විද්‍යාමාන වන සියලූම සංඛාර හා සංකල්පනාවන් චිත්ත ශක්තියකින්, විඤ්ඤාණ ශක්තියකින් සාදා සකස්කරගත් දේ නිසා ඒ සියලූ දේවලම දෙපැත්තක්ම ඇති බව බුදුපියාණන් පැහැදිළිවම දේශණාකර පෙන්වා වදාළහ. ලෝකයේ පවතින්නේ හරි හෝ වැරදි, හොඳ හෝ නරක, සැප හෝ දුක් ආදී වශයෙන් ද්වතාවයෙන් යුතු ධර්මයෝමයි. එක පැත්තක් හරි නිසා අනික් පැත්ත වැරදිය. හරි පැත්තක් පෙන්වා දෙන්නට නොහැකි නම් වැරදි පැත්තක්ද නැත. දවාලක් නැතිනම් රැයක්ද නැත. සංසාර ගමනක් නැතිනම් නිවනක් ද නැත. මෙය ඉතා සරළ ධර්මතාවයකි. මේ ද්වතාවයයි.

වරද, වැරැද්ද, වරදක් ලෙස පෙන්වාදීමත් එය නිවැරදිකර නිවැරදි මඟ පෙන්වාදීමත් බුදුපියාණන්වහන්සේ දේශණාකර පෙන්වා වදාළ සමස්ත ධර්මස්කන්ධයේම හරයයි. ප‍්‍රිය අප‍්‍රිය යැයි සෑම දේකම දෙපැත්තක් ඇත. ප‍්‍රිය දේ සොයා යෑම පෘථග්ජන පුද්ගලයින්ගේ නියත ස්වභාවයයි. අප‍්‍රිය දේ ඉවත් කර ඉන් වෙන්වී නිදහස් වීමට උත්සාහ දැරීමද පෘථග්ජන ගතියකි. මේ ආකාරයෙන් විශ්වයේ ඇති සෑම දේකම දෙපැත්තක්ම ඇති නිසා බුදුපියාණන් දේශණාකර වදාළ ධර්මයේද නිතරම දෙපැත්තක් ම පෙන්වා වදාළහ. මේ දෙපැත්ත නම් ද්වතාවය නම් සුව දේ හා අසුව දේයි. සුව අසුව දහසක් දේ පෙන්වා දීම මුළු බුද්ධ ධර්මයේම හරය ලෙසින් කැටිකර පෙන්වා වදාළ සේක.

මේ සුව අසුව දහසක් දේ පෙන්වා වදාළ උතුම් බුද්ධ ධර්මයට යම් සීමාවක් පනවා මෙහි ඇත්තේ 84000ක් පමණ වූ ධර්මස්කන්ධය යැයි පෙන්වා දීම අටුවා ආචාරීන් දැරූ අසාර්ථක උත්සාහයකි. බුදුපියාණන් දේශණා කළ ධර්මය පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශණා කළ සියලූම ධර්මය සුව අසුව දහසක් ධර්මය බව නම් සහතික ඇත්තය. නමුත් එය 84000ක් නම් නොවේ. එය කෝටි ප‍්‍රකෝටි ගණනක් වූ වචනවලින් දේශණාකර වදාළ අසීමිත ධර්ම කණ්ඩයන්ගෙන් සමන්විතය. එය අසුහාර දහසකට සීමා කිරීම බුද්ධ ධර්මයට කළ අපහාසයකි.

තරමක් හෝ විමසිලිමත්ව ත‍්‍රිපිටක ධර්මයේ එන ඕනෑම ධර්ම විග‍්‍රහයක් කියවන විට ඇත්තේ අනුපුබ්බ ශික්ෂා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා යන තුන් කොටසකට අයත් දේ බවත් ඒ හැමතැනකදීම පෙන්වා දී ඇත්තේ සුව අසුව යන ද්වතාවය බවත් ඔබට තේරුම්ගත හැකි වෙනු ඇත. මෙලෙස දෙපැත්තක් විග‍්‍රහ නොකළ දෙපැත්තක් පෙන්වා නොදුන් සුව අසුව දෙපැත්තම විග‍්‍රහ නොකළ දෙයක් ඇත්නම් එය නිවන පමණි. එහි පෙන්වා දුන්නේ එක පැත්තක් පමණි. එය අසංඛත ධර්යක් වූ එකම තත්ත්වය නිසයි.

පසු කාලෙක එකතු කර ලියා පළකළ හෝ වෙනස් කරන ලද හෝ බුද්ධ භාෂිතය යම් කෙනෙකුට සත්‍යවශයෙන්ම බුද්ධ භාෂිතයක්ද, එසේ නැතිනම් එය වෙනස් කර පසුව ලියූ එකක්දැයි පරික්‍ෂාකළ යුතු නම් එහි සුව අසුව දෙපැත්තම පෙන්වා ඇද්දැයි පරීක්‍ෂාකර බැලීමෙන් පමණක්ම එය සහතික කර දැන ගත හැකිය. සුව අසුව දෙපැත්තම පෙන්වා ඇත්නම් එය බුද්ධ භාෂිතයකි. එසේ සුව අසුව දෙපැත්තක් විග‍්‍රහ කර නැතිනම් එය පසුව එක් කරගත් සම්මතයකි. බුද්ධ භාෂිතයක් නොවන දෙයකි.

බුද්ධඝෝෂ ආචාරීන් අකුරු වචන ගණන් බලා ත‍්‍රිපිටකයෙහි අඩංගුව ඇත්තේ අසුහාර දහසකැයි ප‍්‍රකාශ කළේ ඔහුගේ නොදැනුවත්කම නිසා මිස ”පදපරම” නම් වූ පෘථග්ජන තත්ත්වය නිසා මිස වෙනත් කිසිවක් නිසා නොවේ.

සෑම සූත‍්‍රයකම, හැම ධර්ම පාඨයකම, අභිධර්ම පිටකයේ, විනය පිටකයේ පවා මේ සුව හා අසුව යන දෙපැත්තම මනාලෙස විග‍්‍රහ කර ඇත. අනුගමනය කළ යුතු පිළිවෙළ සුව දේ සුව ධර්මය ලෙසත්, අතහැරිය යුතු දේ අසුව අධර්මය ලෙසත් සෑම තැනකම පෙන්වා දී ඇත. හොඳ නරක, කළු සුදු, චාරිත‍්‍ර වාරිත‍්‍ර, සිරිත් විරිත්, මණසිකාර අමණසිකාර, මිත්‍යාදෘෂ්ඨි සම්මා දෘෂ්ඨි, සංඛත අසංඛත, කරණීය අකරණීය, ද්වේෂ අද්වේෂ, මෝහ අමෝහ, ලෝභ අලෝභ, අස්ස පස්ස, ලෝක අලෝක, විද්‍යා අවිද්‍යා, සෝක අසෝක, මර අමර, නිච්ච අනිච්ච, නාථ අනාථ ආදී වශයෙන් දහසක් කාරණාවල (අනන්ත අප‍්‍රමාණදේ) සුව අසුව දෙපැත්තම පෙන්වා වදාළ ධර්මය සුව අසුව දහසක් ධර්මය ලෙසින් බුදුපියාණන් වහන්සේම නම් කළහ. නිවන් සුවය විමුක්ති සුවය අරමුණු කරගෙන දේශණා කරණ ලද උතුම් සුවාසු දහසක් ධර්මස්කන්ධය ආගමික සංකල්ප වලට හරවා උතුම් බුද්ධ ධර්මය බුද්ධ ඇදහිල්ලක් බවට පත්කරන්නට ලියූ සමන්තපාසාදිකාව, විශුද්ධි මාර්ගය ආදී පොත් පෙළ ගුරුකොට එයම ගුරුතැන්හිලා සළකා ඊට පසුකාලීනව ලියූ බොහෝ දේ බෞද්ධ සාහිත්‍යය, බෞද්ධ සංස්කෘතිය මිස උතුම් බුද්ධ ධර්මය නොවන බවත් කවුරුත් ගැඹුරින් සිතා බලා තේරුම් ගැනීමට උත්සාහ ගත යුතුය.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.