හේතුඵල ධර්මතාවය

හේතුඵල ධර්මතාවය යනු කුමක්ද? එය ක‍්‍රියාත්මක වන ධර්ම ස්වරූපය කෙබඳුද? යන කරුණු ගැන පැහැදිළි වැටහීමක් ලබන්නට පහත සඳහන් කරුණු ද තේරුම් ගත යුතුය.

01. සත්ත්වයෙකු පුද්ගලයකු අත්විඳින හැම ඵල විපාකයටම මුල්වූ හේතුවක්ද අනිවාර්යයෙන්ම තිබිය යුතුය.
02. ඒ හැම හේතුවක්ම සංඛාරයකි. චිත්ත සංඛාරයක්, වචී සංඛාරයක් හෝ කාය සංඛාරයකි.
03. හැම සංඛාරයක්ම කිරීමෙන්, සිතීමෙන් චිත්ත ශක්තියක් බිහිකර ගැනීමද සිදු වෙයි.
04. පුද්ගලයෙකු, සත්ත්වයෙකු එකතු කර ගත් චිත්ත ශක්තිය එකතු කර ගත් අය වෙතම ඵල විපාක දීමට ද සමත් වෙයි.
05. මේ හේතු හා ඵල විපාකයන් අතර විද්‍යාත්මක සම්බන්ධයක්ද ඇත. නියාම ධර්මයන්ට අනුකූල ලෙසින් හැම ඵල විපාකයක්ම විග‍්‍රහ කර විස්තර කර පෙන්විය හැකිය. නියාම ධර්මයකින් විස්තර කළ නොහැකි විග‍්‍රහ කළ නොහැකි කිසිම සංඛාරයක් නැත.
06. එවන් වූ නියාම ධර්මයන්ට අනුරූපිවම, අනුකූලවම යහපත් හේතුවක් යහපත් ඵල විපාකයක් ලබා දීමටත්, අයහපත් හේතුවක් අයහපත් ඵල විපාකයක් ලබාදීමටත් සමත්වේ. යහපත් හේතුවකින් අයහපත් ඵල විපාකයක් කිසිදා බලාපොරොත්තු විය නොහැකිය. මේ නියත ලක්ෂණය නියාම ධර්ම නම් විය.
07. කෙනෙකු වර්තමානයේ අත් විඳින හා අතීතයේ අත්විඳි සියලු ඵල විපාක දුක සැප, ලාභ අලාභ, කීර්ති ප‍්‍රශංසා, අපකීර්ති අවමාන ආදී අටලෝ දහමට අයත් හැම අංගයක්ම තමන්ට අත් විඳින්නට සිදුවූයේ මේ මොහොතට පෙර තමන්ම එකතු කර ගන්නා ලද හෝ අල්ලා ගන්නා ලද චිත්ත ශක්තියක් හේතු කොට ගෙනමය. ඒ සියල්ල තමන්ගේම අතීත උරුමයන්ය.
08. හේතු ලෙස පෙන්විය හැකි සියලු දේ ක‍්‍රියා, වදන්, සිතුවිලි තම සිතින්ම සිතා ක‍්‍රියාවෙන් හෝ කථාවෙන් කරන ලද ඒවාය. වෙන කවුරුන් හෝ කරන ලද, කියන ලද, සිතන ලද දෙයක් තමන් අල්ලා නොගත්තොත් තමන්ට ඒවා ඵල විපාක ලෙස උරුම නොවේ. අහක යන කුණු ගොඩවල් තමන් බලෙන්ම අල්ලා නොගත්තොත් ඒවා කාටවත් බලෙන්ම තමා වෙත පැටවිය නොහැකිය. එවැනි කුණු ගොඩවල් බලෙන්ම තවත් පුද්ගලයෙකුට හෝ සත්ත්වයෙකුට පැවරිය හැකි ශක්තියක් වෙනත් කිසිම කෙනෙකුට ද නැත.
09. තමන් යම් ක‍්‍රියාවක් හෝ කථාවක් කරන්නට පෙර තම සිතුවිලි මෙහෙයවා කල්පනා කර ඒ ගති ලක්ෂණයට, චරිත ලක්ෂණයට (භව) අදාළව චිත්ත ශක්තියක් නිපදවා, චිත්ත ශක්තියේ බලය මතම ක‍්‍රියාව හෝ කථාව කරන බවත් දැක ගත යුතුය. ඒ උපදවා ගත් ගති ගුණයට, චරිත ලක්ෂණයට අදාළ ගති රුව, ගති හඬ, ගති බව, ගති බල තමන් තුළින්ම විද්‍යාමාන වන බවද දැක ගත යුතුය.
10. තම සිතට යම් සංඛාරයක් අරමුණ වූ පසුව යම් ගති ලක්ෂණයකට පත්වී, ක‍්‍රියා කළහොත්, කථා කළහොත් එහි ඵල විපාකවල ස්වරූපය මනසින් මැන බුද්ධියෙන් අනුමාන කර දකින්නට මිනිසෙකුට ශක්තිය ඇති බවද දැක ගත යුතුය.
11. සිතට අරමුණ වූ යම් හේතුවක් තමාට නොගැළපේ නම් තම අයහපතට හේතුවේ නම් කුණු එකතුකර ගැනීමක් වේ නම් එවැනි සිතුවිල්ලක් උත්සාහයෙන්, වීර්යයෙන් සිතින් අතහැර, සිතුවිලි පරම්පරාවට නොබැඳී, සිත නිරෝධ කර ඉන් නිදහස් විය හැකි බවද දැන ගත හැකිය.
12. ඵල විපාක උරුම වීමෙන් නිදහස්වීමට නම් ඵල විපාක අත්හැරීමට නම් හේතුවට අදාළ ගති ලක්ෂණ ගතිගුණ බිහි කිරීමෙන් වැළකී සිතුවිලි නිරෝධ කිරීම කළ යුතු බවත් දැන ගත යුතුය.
13. අහිත කර අයහපත් ඵල විපාක දෙන සියලු සිතුවිලි, සියලු අරමුණු දැන එවැනි සිතුවිලි සිතෙහි මතු වූ මොහොතේම උත්සාහයෙන් ඒවා නිරෝධ කර ඉන් නිදහස් විය හැකි බවද දැක ගතයුතුය.
14. වෙනත් ලෝක සත්ත්වයකුට අයහපතක්, අවැඩක්, අසාධාරණයක්, තමා අතින්, සිතින් සිදුවන්නේ නම් එයද තමාටත් ඵල විපාක උරුම වන දෙයක් බවද දැකිය යුතුය. කවදා හෝ මෙවැනි අයුතු අසාධාරණකම් වලට තමන්ටත් වන්දි ගෙවන්නට ණය ගෙවන්නට දුක් විඳින්නට සිදුවන බවද දැකගත යුතුය. වෙනත් ලෝක සත්ත්වයකුට යහපතක් හොඳක් කළොත් එහිදී යහපත් ඵල විපාක තමාටත් අත්විඳින්නට සිදුවන බවත් දැකගත යුතුය.
15. අද තමා අත් විඳින හා අතීතයේ අත් විඳි සියලු අහිතකර ඵලවිපාක මෙන්ම හිතකර යහපත් ඵල විපාක ද තමාම පෙර දිනක කළ හේතුවල ඵලවිපාක ලෙසින්ම ලැබී ඇති බවද දැකිය යුතුය.
16. තමන්ට අත් විඳින්නට සිදුවන සිදුවුන සියලු අයහපත් හා යහපත් ඵල විපාකයන් සම්බන්ධයෙන් වෙනත් කිසිදු පුද්ගලයකුට වෙනත් කිසිදු සත්ත්වයෙකුට හෝ ස්වභාවධර්මයා කෙරෙහි කිසිම ආකාරයක අහිතක්, ද්වේෂයක්, වෛරයක් ඇති කර ගැනීමෙන් වැළකී සිටිය යුතුය. එසේ වෛරයක්, ද්වේෂයක් ඇති කරගන්නේ නම් තමන් අත් විඳින ඵලවිපාක නැවත නැවතත් එවැනිම ඵල විපාක ලබන්නට මතු මත්තෙත් හේතුවක් බවට පත් කරගන්නා බවද දැකිය යුතුය. සැප ලැබීම නිසා උඩඟු වීම, උද්ධාමයට පත්වීම, දැඩි සතුටට පත්වීම නිසා අනිවාර්යයෙන්ම සිත ¥ෂණය වී කිළිිටි වන බවද දැකගත යුතුය.
17. අටලෝ දහමට අයත් සියලුම දේ මේ ආකාරයට ඉවසා දරා ගන්නට පුරුදු පුහුණු වීමෙන් පමණක් නිවන ද, නිදහස ද ලබාගත හැකිය. අටලෝ දහමට අයත් කුමන හෝ කෙළවරක් අල්ලාගත හොත් එය මතු ඵල විපාක ලැබිය හැකි නිවනට බාධක හේතු බවද දැක ගත යුතුය.
18. යහපත්, හොඳ, නිවැරදි යැයි සම්මතයෙන් පිළිගත් දේ බොහෝ ක‍්‍රියා, වදන්, සිතුවිලි නිසා තමන්ටම උරුම විය හැකි ඵල විපාක සොයා බලා ඒවා කෙබඳු ඵල විපාක දැයි දැන කටයුතු කළ යුතුය. එවැනි දේ තමාගේ සසර ගමන දික් කරන නිවන් මඟ පමා කරන හෝ නිවන් මඟ වසා දමන සසරට බැඳ තබන හේතු නම් ඒවා කොතරම් සම්මතයෙන් හොඳ යැයි පිළිගත්තත් ඒවායින් වැළකී සිටිය යුතුය. එවැනි ක‍්‍රියා, වදන්, සිතුවිලි සම්මතයෙන් කොපමණ හොඳ වුවත් වෙනත් සත්ත්වයකුගේ, පුද්ගලයෙකුගේ නිවන් මඟට බාධා පමුණුවන, නිවන ප‍්‍රමාද කරන, සසරට බැඳ තබන ආකාරයේ දේ් නම්, ඒවායින් ද ඉවත්ව නිදහස් විය යුතුය.
19. මතු දෙව් මිනිස් සැප ප‍්‍රාර්ථනා කර එවැනි චිත්තජ රූප නිපදවා එවැනි බලාපොරොත්තු ඇති කිරීම අද සම්මතයෙන් ඉහළම පින්කම් ලෙස හුවා දක්වති. මේවායෙහි ඵල විපාක ලෙස තමන්ම සංසාරයේ අතරමං වන බවත්, ලෞකික සැප ප‍්‍රිය මනාප දේ නිසා දෙව් මිනිස් සැප ගැන තැබූ බලාපොරොත්තු නිසා රාග, මෝහ වැඞී තම නිවන් මඟ වැසී යන බවත් දැන ගත යුතුය. මෙහි හේතු ඵල ගැනම සළකා බලා කටයුතු කළ යුතුය.
20. හැම මොහොතකම නිවන් මඟට නිදහස් වීමට උපකාර වන ක‍්‍රියා, වදන්, සිතුවිලි සතියෙහි පිහිටා දැක ගැනීමටත්, දැක ඒවා අනුගමනය කිරීමටත් පුරුදු විය යුතුය. රාග, ද්වේෂ, මෝහ ගති ගුණ ගති ලක්ෂණ දියුණු කරන ක‍්‍රියා, වදන්, සිතුවිලි වලින් නිතරම ඉවත් විය යුතුය.
21. හේතුඵල ධර්මයේ මූලික සිද්ධාන්තය තේරුම් ගත් පසුව මොහොතක්, මොහොතක් පාසා චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා තමන්ම බිහිකර, එකතුකර ගන්නා චිත්ත ශක්තීන් ගති ලක්‍ෂණ චරිත ලක්‍ෂණ එකතු කර ගන්නා ආකාරය දැක ගත හැකි විය යුතුය. මීට පෙර එසේ එකතු කරගත් චිත්ත ශක්තීන් ඵල විපාක ලෙසින් තමන්ටම අත් විඳින්නට වීමත් දැකගත හැකිය. පැවැත්මේ ඇතිවීම, නැතිවීම මෙය බවද මීට අමතරව මේ පැවැත්ම යැයි කියන ඇතිවීම නැතිවීම තුළ කිසියම් ආකාරයක හරයක් අර්ථයක් වටිනාකමක් නැති බවද දැක ගත හැකි විය යුතුය.
22. හැම හේතුවක් නිසා ඵල විපාකයක් උරුමවන්නා සේම හැම හේතුවක්ම අතීත ඵල විපාක සම්බන්ධතාවයක් නිසාම සිදුවන බවත් දැක ගත හැකි වනු ඇත. හේතු නිසා ඵල විපාකත් ඵල විපාක නිසාම හේතුත් ලෙසින් මතු මතුත් සම්බන්ධතාවයන් ඇතිවන බවත් දැකගත යුතුය. හේතු අත්හැරීම මගින්ම බලාපොරොත්තු අතහැර හේතු ඵල දෙකෙන්ම මිදී නිදහස් වන්නට හැකි බවද දැකගත යුතුය.
23. යම් හේතුවක් නිසා බිහිවන කිසිම ඵල විපාකයක් එක මොහොතක් හෝ එකලෙස පවත්වා ගත නොහැකි බවද දැකගත යුතුය. නිපදවූ චිත්ත ශක්තිය හෙවත් ඵලවිපාක ලෙස බිහි වූ දුක සැප ආදී කොයි ආකාර වූ ඵලවිපාක හෝ විපරිණාමයට පත්වී ගෙවී විනාශය කරාම යන බවද දැක ගත යුතුය.
24. හැම ඵල විපාකයකම නියත ලක්ෂණයක් වූ ගෙවී විපරිණාමයට පත් වී විනාශ වන ලක්ෂණය ධර්මතාවයක් බවද දැකගත හැකි විය යුතුය. ඒ නියත ධර්ම ස්වභාවය නිසා බිහි වූ කිසිම ඵල විපාකයක් තමන් කැමති සේ එක මොහොතකට වඩා නොපවතින බවත් දැන ගත යුතුය. කැමති සේ පැවැත්විය නොහැකි බව, කැමති සේ නොපවතින බව, කැමති සේ දිගටම නොලැබෙන බව, හැම සංඛාරයටම පොදු හැම සත්ත්වයෙකුටම පොදු නියත ලක්ෂණයක් බවද දැකගත යුතුය.
25. හැම සත්ත්වයකුම හැම පුද්ගලයකුම තම මුළු ජීවිත කාලය තුළම කරන්නේ එවන් ගෙවී යන ඵල විපාක අතීත සිදුවීම් තමන්ට කැමති සේ පවත්වා ගන්නට දරණ උත්සාහයක් බවද දැකිය යුතුය. ප‍්‍රිය මනාප ලෙසින්ම පවත්වා ගන්නට අප‍්‍රිය අමනාප දේ ප‍්‍රිය මනාප තත්ත්වයට වෙනස් කර ගන්නට දරණ උත්සාහයන්ම පමණක් බවද දැක ගත යුතුය. ඒවායේ නියත ස්වභාවය වෙනස් වීම ගෙවී යාම විනාශ වීම බව මොහොතකට වත් කල්පනා නොකරන නිසාම සියලු දුක් විඳවයි. හේතුඵල දහම දැක ධර්ම ස්වභාවය දැක සතියෙන් කළ යුත්තේ මේ තත්ත්වයෙන් ගැළවීමටයි. බිහි වූ හැම ඵලයක්ම, විපාකයක්ම කාලයත් සමඟම ගෙවී යයි. මේ ගෙවී යන ස්වභාවය ගමන් කරන ස්වභාවය ධර්මතාවය යමක් කැමති සේ පවත්වා ගන්නට නොහැකි වීමට මූලික හේතුව බවද දැකගත යුතුය.
26. මේ ධර්මතාවය මේ ධර්ම ස්වභාවය ගමන් කිරීමකි. මේ රිය ස්වභාවයට ශක්තිය උපදවා බිහි කර ගත්තේ තමන්මය. මෙහිදී සිදු වන්නේ තමන්ම උපදවා ගත් චිත්ත ශක්තිය ගෙවී යාමකි. ගමන යාමට නැවත නැවතත් ශක්තිය බිහි කර ගැනීමකි. මුළු ජීවිත කාලය තුළම කරන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව චිත්ත ශක්ති අලුතෙන් බිහි කර ගැනීමත් බිහිකළ චිත්ත ශක්ති ගෙවා දැමීමත් පමණි.

මෙවන් රිය ස්වභාවය ගමන් කරන ධර්මතාවය ස්වභාවික විද්‍යා සිද්ධාන්තයකි. කිසිවක් කැමති සේ පවත්වන්නට නවත්වන්නට නොහැකි ධර්ම ස්වභාවයයි. මේ ධර්ම ස්වභාවයේ සත්‍යය නොදන්නාකම මෝහයයි, අවිද්‍යාවයි. එහි විද්‍යාත්මක සත්‍යය නොදැනීම නිසාම හැම මිනිසෙකුම හැම පෘථග්ජන පුද්ගලයකුම යම් යම් අය හා සම්බන්ධ වන්නට යම් යම් තැන් වලට බැඳෙන්නට හා යම් යම් බලාපොරොත්තු ඇති කරගන්නට දරණ උත්සාහය තණ්හාවයි. මේ නොදැනීම හා තණ්හාව නිසා හැම පෘථග්ජන පුද්ගලයකුම නියත වශයෙන්ම අනාථ තත්ත්වයට පත්වෙයි. හේතුඵල දහම දැක ඒවායේ නියත ස්වභාවය දැක, නියම තත්ත්වය තේරුම් ගත්තේ නම් අනාථ තත්ත්වයෙන් මිදිය හැකිය.

27. හේතුඵල ධර්මතාවය ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ යථාවබෝධයක් යථාභූත ඥාණයක් ලැබූවෙකුට තමන් විසින් අත් විඳිනු ලබන සියලු දුක් වලට හේතුව තමන්ම උපදවාගත් චිත්ත ශක්තීන් පමණක් බවද දැකගත හැකිය. එය ප‍්‍රඥාව පහළ වීමයි. අඳුරින් අනාථ බවෙන් මිදීමට මාර්ගය දැකීමයි. හේතුඵල දහමට බහා ගළපා හැම දෙයක් ගැනම පරම සත්‍යය තේරුම් ගැනීමට හැකි බවද දැකගත හැකිය. තම බුද්ධියෙන් ලැබූ යථාවබෝධය නියම මඟ පෙන්වන්නා බවට පත් කරගත හැකි බවද දකී.
28. මේ රිය ගමනට හේතුව තමන් විසින්ම කරන, කියන, හිතන දේ නිසා තමන්ම වගා කර ගන්නා ගති ලක්ෂණ, චරිත ලක්ෂණ හා චිත්ත ශක්තිය බවද දැන් පැහැදිළිය. තමන් මෙතෙක් කල් සිතූ සියල්ල කළේ දුකෙන් බේරීමට, දුකෙන් නිදහස් වීමට, දුක වෙනස් කර ගැනීමට, දුක වෙනුවට සැප සොයා ගන්නට, ප‍්‍රිය මනාප දේ අයිති කරගන්නට අත්විඳ ගන්නටමය. දුකින් ඉවත් වීමට දරණ උත්සාහය සැප ප‍්‍රිය මධුර දේ ලුහු බැඳ ඒ පසුපස දුවන ස්වභාවය සංසාර රිය ගමනකි. දුක පිළිබඳ පරම සත්‍යය නොදන්නා නිසා කරන රිය ගමනකි.
29. දුක රිය තත්ත්වයක් බව නොදැනීම නිසාම යන මේ ගමනේ විද්‍යාත්මක සත්‍යය දැකීම ”දුක්ඛ අරිය සත්‍යය” අවබෝධ වීමයි. සත්‍යය තේරුම් නොගත් නිසා හේතුඵල දහම සත්‍ය ලෙස තේරුම් නොගත් නිසා මෙතෙක් කල් දුක මේ රිය ගමනට හේතුව කරගත් බවත් දැන් දුක පිළිබඳව සත්‍යාවබෝධ වීම නිසා ගමන නවත්වා රිය අරිය කිරීමට හැකි බවත් දැක ගත හැකි වෙයි. යම් ප‍්‍රියමනාප දෙයක් කැමති සේ නොලැබෙයි නම් ඊට ප‍්‍රියමනාප බවක් පවතින තුරාම ඒ ගති ලක්ෂණයම ඒ ගති ස්වභාවයම දුකටද හේතු වෙයි. මේ ගමනටද හේතු වෙයි. මෙහි හේතුඵල දහම දැක ගැනීම විද්‍යාත්මක සත්‍යය දැකීම දුක්ඛ අරිය සත්‍යය අවබෝධ වීමයි. සත්‍යය දැක ප‍්‍රිය මනාප බව යනු මායාවක්, කැමති සේ පැවැත්විය නොහැකි දෙයක්ය යන්න යථා පරිදි අවබෝධ කරගත් විට මේ ප‍්‍රිය මනාප දේ පසුපස හඹායාම නවතී. රිය ගමන නවතී. සියලු සංඛාර කැමති සේ පැවැත්විය නොහැකි බව (සබ්බේ සංඛාරා අනිච්චාතී) නියත ධර්ම ස්වභාවයක් බව දැක ඒවා පසු පස ලුහු බැඳීම නවතා දැමීම කල් හැක්කේ මේ යථාවබෝධයෙනි.
30. හැම සත්ත්වයකුම, පුද්ගලයකුම සාරයි, වටිනවා යැයි අල්ලා ගන්නට උපාදානය කර ගන්නට පවත්වන්නට උත්සාහ දරණ වෙර වීරීය දරණ මේ පංචස්කන්ධය පිළිබඳව යථාස්වභාවය දැක ගත හැක්කේ එය පිළිබඳව හේතු ඵල දහම දැකීමෙනි. මේ පංචස්කන්ධය හැම සත්ත්වයකුගේම පුද්ගලයකුගේම ලෝකයයි. මේ ලෝකය ප‍්‍රියමනාප සේ පවත්වා ගන්නට පංචස්කන්ධය දුකින් මුදවා ගන්නට දුක් නැති කර සැප අත්කර ගන්නට හැම මොහොතකම ගන්නා උත්සාහය මේ ගමන යාමයි. රිය ගමන යාමයි. මේ රිය ගමන අරිය කළ හැකි වන්නේ පංචස්කන්ධය පිලිබඳ හේතුඵල දහම දැකීමෙනුත්, පංචස්කන්ධය අල්ලාගෙන විඳවන දුක පිළිබඳව හේතු ඵල දැකීමෙනුත් පමණි.

ඉන්ද්‍රියයන් හරහා අරමුණක් සිතට ලැබෙන විටම මෙය හේතුවක්ද ඵලයක් ද කියා තෝරා බේරා ගන්නට, පුරුදු පුහුණු විය යුතුය. මෙහිදී පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය යන තිපරිවට්ටය උපකාර කර ගත යුතුය. හේතුවක් නම් ඊට සම්බන්ධ වූ ඵල විපාකද දැක ගත යුතුය. ඒ හේතුව කිරීමෙන් එහි ඵල විපාකයන් ලෙස අත්විඳින්නට ලැබෙන ආනිසංස ගැනද දැක ගත යුතුය. මෙලෙස සිතට අරමුණු වන හැම සිතුවිල්ලකම හේතුඵල දහම විපස්සනා කර දැක ගන්නට පුරුදු විය යුතුය.

ඵල විපාක කිනම් අයුරකින් තමාටම උරුමවේද යන්න හැම විටම සිතා බලා නිගමනය කරන්නට පුරුදු පුහුණු විය යුතුය. තම සිත කිළිටි කරන චිත්ත ශක්තියක් උපදවන, ”සං” එකතු කරන රාග, ද්වේෂ, මෝහ සංඛාර මෙන්ම අලෝභ, අද්වේෂ, අමෝහ සංඛාර වුවත් ”සං” එකතු කරන, සංඛාරයෝ නම් ඒවා පැහැදිළිව හඳුනාගන්නට පුරුදු පුහුණු විය යුතුය. එහි ඵල විපාක ලෙසින් තම සංසාර ගමන දික් කරයි නම් එවැනි ගති ලක්ෂණයක්, චරිත ලක්ෂණයක් වඩවයි නම් එය කුණු බව දැක, කිළිිටි දේ බව දැක, ඒවා අවිද්‍යාමූල සංඛාර බව දැක වහාම එවැනි දේ ප‍්‍රහාණය කර නිදහස් විය යුතුය.

ලෝභ, ද්වේෂ, මෝහ ඛය කරන චිත්ත ශක්ති හෝ ගති ලක්ෂණ එකතු නොකරන ඒ වෙනුවට එවැනි ගති ලක්ෂණ බැහැර කරන කුසල මූල සංඛාරයක් නම් ඒ කුණු සළාහැරීම අවසාන වනතුරු එවන් සංඛාර ආශ‍්‍රය කර භාවිතාකර සම්පූර්ණයෙන් ඒ ගති ලක්ෂණයෙන් චරිත ලක්ෂණයෙන් මිදී නිදහස් විය යුතුය.මෙලෙස තම චිත්ත පාරිශුද්ධතාවයත්, මෝහයෙන් මිදීමත් නොකඩවාම පුරුදු පුහුණු කරගත යුතුය.

මේ අතරම තම චිත්තසංථානයෙහි පහළ වන යම් අරමුණක් නිසා එය හේතු කොට ගෙන වෙනත් සත්ත්වයෙකුගේ නිවන් මඟට යම් බාධාවක් අවහිරයක් වේ නම් නිවන ප‍්‍රමාද කරවන ක‍්‍රියාවක් නම් එයින් ද හැකි පමණ ඉක්මනින් ඉවත් වී සිතුවිලි ප‍්‍රහාණය කර ඉන් නිදහස් විය යුතුය. වෙනත් කෙනෙකුගේ නිවන් ප‍්‍රමාද කරන්නට නිවන් මඟට බාධා කරන්නට තමන් කරන, කියන, සිතන දෙයක් හේතුවෙයි නම් එය තමාටද ඍජුවම බලපෑමක් කරන දෙයක් බව දැක, ඉන් ඉවත් වී එයින් ද නිදහස් විය යුතුය.

තමන් කරන, කියන, හිතන ක‍්‍රියාවක ඵල විපාක ලෙසින් තවත් කෙනකුගේ නිවන් මඟ හෙළි කර දෙයි නම් නිවන් මඟට ඇති බාධක ඉවත් කර දෙයි නම් මෝහයෙන් මිදී බුද්ධිය දියුණු කර ගත හැකි නම් එය කුසල මූල සංඛාරයක් බව දැක ඒ ක‍්‍රියාව කිරීම දිගටම කරගෙන යා යුතුය. එය තමන්ගේ නිවන් මඟටද උපකාර වන බව දැන ගත යුතුය.

සංඛාරයක් කර අවසාන වීමෙන් පසුව තවදුරටත් ඒ ගැනම සිතා කම්පාවීම හෝ උද්දාම වීම කළ යුතු දෙයක් නොවේ. ඵල විපාක කොයි ආකාර වුවත් දැන් එය සිදු වී අවසානය. දැන් ඵලය වෙනස් කරන්නට කුමන ආකාරයකින් හෝ නොහැකිය. අතීත සිදුවීම නිසා දුක් විඳීම කිසිසේත්ම කළයුතු නොවේ. එය කිසිම අර්ථයක් තේරුමක් ඇති දෙයක් නොවේ. කළයුතු එකම දේ ලැබූ ඵල විපාක මතු තවත් ඵල විපාක දෙන හේතුවක් ලෙස භාවිතා කිරීමට කටයුතු කිරීමෙන් වැළකී සිටීමයි.

තමා අතින් දැන හෝ නොදැන යම් වරදක් පාපයක් අසාධාරණයක් සිදු වී නම් දැන් එය සිදුවී අවසානය. එහි ප‍්‍රතිඵලය දැක මින් මතු එවන් වරදක් පාපයක් අසාධාරණයක් නොකරන්නට, එවැනි දෙයින් මිදෙන්නට පමණක් කටයුතු කළ යුතුයි. එවන් වරදක්, පාපයක් නිසා වෙනත් සත්ත්වයෙකුට, පුද්ගලයකුට අසාධාරණයක් අවැඩක් සිදු වී ඇත්නම් ඒ සඳහා ප‍්‍රතිකර්ම කර, සමාව ගෙන, වන්දිගෙවා, ණය ගෙවා, පින් පවරා, මෙත්තා, කරුණා සිත පතුරුවා සිත නිදහස් කරගත යුතුය. හේතු ඵල දැකීමට නොහැකි පෘථග්ජන අය, තම මුළු ජීවිතකාලය තුළම කරන්නේ සිතන්නේ අතීතයට ගිය මෙවන් දේ ගැන සිතා තැවී දැවී දුක් විඳීම පමණි. සිතින් දුක් විඳ නැවත නැවතත් ඒ ඵල විපාකයන්ම හේතු ලෙස අල්ලා ගෙන ඊට සම්බන්ධවී නැවත නැවතත් හේතු ඵල බිහිකර ගැනීම මගින් මුළු ජීවිත කාලයම අපතේ යවයි. ඵල විපාක දුක් නම් ඒවා වෙනස් කර ගන්නට උත්සාහ දැරීමත් ඵල විපාක සැප නම් ඒවා පවත්වා ගන්නට උත්සාහ දැරීමත් මිස වෙනත් හරයක් අර්ථයක්, තේරුමක් ඇති දෙයක් මුළු ජීවිත කාලය තුළම නොකරන බව යථාභූත ඥාණයෙන් හේතු ඵල තේරුම් ගත හැකි කෙනෙකුට දැක ගත හැකිය.

ඵල විපාක දුක් හෝ සැප හෝ අතරමැදි හෝ විය හැකිය. ඒ මත්තේම වෙහෙස වී දාහය, ගින්න බිහිකර ගැනීම මතු දුකට මුලයි. රිය ගමන මෙයයි. කැමති සේ වෙනස් කර ගන්නට කැමති සේ පවත්වා ගන්නට උත්සාහ දරණ හැම පෘතග්ජන පුද්ගලයෙකුම තම මුළු ජීවිත කාලයම තේරුමක් අර්ථයක් නැති උත්සාහයක යෙදෙන බව දැකීමෙන් පමණක් මේ තත්ත්වයෙන් මිදී අර්ථයක් ඇති විමුක්තියක් නිවනක් සඳහා කටයුතු කළ හැකිය.

සාරයි කියා නොනවත්වාම බලාපොරොත්තු තබාගෙන යන මේ ගමන දුවවන්නට උපකාර වන එකම සංඛාරය ”දුක” බව විද්‍යාත්මක ලෙසින් තමන්ටම දැකගත හැකි වන්නේ දුක පිළිබඳ හේතු ඵල ධර්මය දැකීමෙනි. දුක රියක් බවට පත් කරගෙන මේ ගමන යන්නේ නොදැනුවත් කම නිසාමය. දුක යනු කුමක්දැයි නොදන්නේ එහි විද්‍යාත්මක වූ, පරම සත්‍යය නොදැනීමයි. දුක තමන්ම සිතින් බිහිකරගත් එකක් බව නොදැනීමයි. දුක පිළිබඳව මේ සත්‍යය ස්වරූපය දැක තමන්ම සිතින් සාදා ගත් එකක් බව දැක ගන්නට ලැබුනු විට දුක පිළිබඳ සත්‍යය දැන ගත හැකි වෙයි. එවිට ”දුක්ඛ අරිය සත්‍යය” අවබෝධ වෙයි.

මෙයින් පැහැදිළි කරන්නට උත්සාහ ගන්නේ දුක පිළිබඳ වතුරාර්ය සත්‍යය ප‍්‍රත්‍යක්ෂ ලෙසින් අවබෝධ කරගත හැකි වන්නේ දුක පිළිබඳ පටිච්ච සමුප්පාද ධර්මය, හේතුඵල ධර්මය පූර්ණ ලෙස අවබෝධ කර ගැනීමෙන්ම පමණක් බවයි. හේතුඵල අවබෝධයෙන් තොරව දුක නමැති ඵලයට විපාකයට පාදක වූ සත්‍යයම හේතුව දැක ගත නොහැකිය. මේ නිසා නිවන් දකින්නට සැබෑ අවංක උත්සාහයක් ඇති සෑම මිනිසෙකුම උත්සාහ ගත යුතු වන්නේ ”දුක” යන සංඛාරය පිළිබඳ විද්‍යාත්මක හේතුවම සොයා හේතුවෙන්ම ඉවත් වන්නටයි. හේතුවම නැති කර ගන්නටයි. ”සබ්බේ සංඛාර දුක්ඛාතී යදා පඤ්ඤාය පස්සති අතනිබ් බිංදති දුක්ඛේ, ඒස මග්ගෝ විශුද්ධියා” යනුවෙන් බුදුපියාණන් දේශණා කළේ මේ සත්‍යයයි. මිනිසෙකුට නිවන් දකින්නට උපකාර වන, උපකාර කරගත යුතු බුද්ධ ධර්මය පටිච්ච සමුප්පාද ධර්මයයි.

ලොව්තුරා බුදුපියාණන්වහන්සේ උතුම් බුද්ධ බවට පත්වීමේදී, පූර්ණ ලෙසින් සත්‍යාවබෝධ කරගත්, ස්වයංභූ ඥාණයෙන්ම මතුකර සොයා දැන ගත් එකම විද්‍යාව මෝහය නැත්නම් නොදන්නාකම නැමැති රෝගයෙන් මිදී ප‍්‍රඥාව උදාකර ගත හැකි ක‍්‍රමයයි. මේ විද්‍යාත්මක සත්‍යය ගෙන හැර දක්වා බුදුපියාණන්වහන්සේ දුක් විඳින ලෝක සත්ත්වයාට, රෝගීන්ට, මෝහයෙන් මිදෙන්නට ලබාදුන් බෙහෙත පටිච්ච සමුප්පාදය ධර්මයයි. පටිච්චසමුප්පාදය ධර්මයෙන් විග‍්‍රහ කළ නොහැකි සංඛාරයක්, සමුදය ධර්මයක් මේ මිහිපිට නැත. අභ්‍යන්තර වේවා, බාහිර වේවා, සියුම් වේවා, ඝන වේවා, දුර වේවා, ළඟ වේවා, හීන වේවා, ප‍්‍රණීත වේවා, අතීත වේවා, අනාගත වේවා සියලුම ධර්මයෝ පටිච්ච සමුප්පාද ධර්මයෙන් විස්තර කර විග‍්‍රහ කර දිය හැකිය. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන යන සියල්ල විග‍්‍රහ කර විස්තර කර දුන්නේද පටිච්චසමුප්පාද ධර්මයෙනි. ඒ නිසා බුද්ධ ධර්මය නම් පටිච්ච සමුප්පාද ධර්මයයි.

බුදුපියාණන්වහන්සේ බුද්ධත්වයට පත්වන්නටත් පෙර අතීතයේ පටන්ම භාවිතයේ පැවති විවිධ දර්ශනවාද වලටද යම් ආකාරයකින් හෝ හේතුඵල සම්බන්ධයක් ගෑවී තිබුණ නමුත් ඒ සියලු මතවාද අසම්පූර්ණ ඒවා විය. අනුමානයෙන් පදනම් රහිතව ඇතිකරගත් මත පමණක්ම විය. පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය නමින් විභංගප‍්‍රකරණයේත් මහාවග්ග පාලියේත්, සංයුක්ත නිකායේත් අනිකුත් සූත‍්‍ර ධර්මවලත් එන බුදුපියාණන් ඉදිරිපත් කළ හේතුඵල විග‍්‍රහය සර්ව සම්පූර්ණ වූත් කාටත් පිළිගත හැකිවූත් නිවනට නිවැරදිවම මඟ පෙන්වන්නා වූත් ධර්ම මාර්ගයයි. අද ඒ උතුම් ධර්ම විග‍්‍රහය බෞද්ධයා අතරේ භාවිතා වන්නේ නැත. මේ උතුම් පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙන් ඉතාමත්ම සුළු කොටසක් අද භාවිතා කළත් එහිද අර්ථ, ධර්ම, නිරුක්ති නැති නිසා නොදන්නා නිසා එයද වැරදි අර්ථයෙන්ම භාවිතා කරති. විභංගප‍්‍රකරණයේ පච්චයා විභංගයෙහි එන විවිධාකාර පටිච්චසමුප්පාද විග‍්‍රහයන් විවිධාකාරයෙන් බෙදා දක්වා ඇති අතර අදටත් ඒ සියල්ලම කාටත් කියවා දැනගත හැකිය. පසු කාලීනව ලියාපළ කරන ලද අටුවා, ටීකා, ටිප්පනි වලින් මේ උතුම් ධර්මය විකෘති කරන ලද නිසා අද භාවිතයේ පවතින පටිච්චසමුප්පාද විවරණයන් නිවන් මඟට උපකාර නොවන ආත්මවාදී ලෞකික දේවල් පමණි.

ජීවී අජීවි ලෝකයේ අපට පෙනෙන නොපෙනෙන මේ පැවැත්ම තුළ බිහිවන හැම සංඛතයක්ම බිහිවන්නට හේතුවත් බිහිවූ හැම සංඛතයක්ම යම් කාලයක් පැවති නියත වශයෙන්ම ගෙවී විපරිණාමයට පත්වී විනාශ වී යන්නටත් හේතු විග‍්‍රහ කර පෙන්වා වදාළේ පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙනි. ඒවාගේම එකම අසංඛත ධර්මය වූ නිවන් අවබෝධකර ගන්නට මඟ පෙන්වා වදාළේද කුසලමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙනි. නිවන යනු පැවැත්මේ නැවැත්මයි. පැවැත්මට මුල්වූ හේතුව දැන සොයා එවන් හේතු නිරෝධ කිරීමෙන්ම, සමුදය නිරෝධ කර නිවන් අවබෝධ කරගත හැකි බවද පෙන්වා දුන්නේ පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙනි. මේ සඳහා අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මයකුත් අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධ කිරීමකුත් ඊට අමතරව කුසලමූල පටිච්ච සමුප්පාද ධර්මයකුත් යැයි තුන් ආකාරවූ ධර්ම විග‍්‍රහයක්ම බුද්ධ දේශණාවේ අඩංගුය. අද කුසලමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයේ පෙන්වූ ප‍්‍රතිපත්ති ක‍්‍රමයන් ප‍්‍රායෝගිකව භාවිතා කරන්නට දන්නා අයනම් බෞද්ධයින් අතර ඉතාමත් විරලය.

මේ අනුව යම් කෙනෙක් නිවන් අවබෝධ කරගන්නට අවංකවම උත්සහ දරණවා නම් කල්පනා කරනවා නම් ක‍්‍රියා කරනවා නම් ප‍්‍රතිපත්ති පුරණවා නම් පළමුකොටම කළයුතු වන්නේ පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව යම් පමණකට හෝ දැනුමක් ලබාගැනීමයි. බුදුපියාණන්වහන්සේම මේ බව ඉතාමත් පැහැදිළිවම දේශණාකර පෙන්වා වදාළහ. ”යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” මෙහි තේරුම, යමෙක් පටිච්චසමුප්පාද ධර්මය යම් පමණකට පසක් කොට දනීද, තේරුම් ගනීද, ඔහු ඒ තරමටම බුද්ධ ධර්මයද දනී. ධර්මාවබෝධය ලැබුවෙකුද වෙයි. පටිච්චසමුප්පාද ධර්මය යම් පමණකට තේරුම් ගනීද, ඔහු එපමණටම තමන් පිළිබඳවද තේරුම් ගනී. බුද්ධ ධර්මය හා බුදුපියාණන් යනු කවුදැයි ඔහු තේරුම් ගනී යනු මෙහි අදහසයි.

මෙයින්ම ගම්‍ය වන අනෙක් යථාර්ථය නම් යම් කෙනෙකු පටිච්චසමුප්පාද ධර්මය තේරුම් නොගත්තේ නම් ඒ පුද්ගලයා තමන් කවුදැයි තේරුම් ගත් කෙනෙකු නොවේ. ඒවාගේම බුදුපියාණන් කවුදැයි කෙබඳු උත්තමයෙකුදැයි තේරුම් ගත් කෙනෙකුද නොවේ. බුද්ධ ධර්මය යනු කුමක්දැයි තේරුම් ගත් කෙනෙකුද නොවේ. ”භව” උදුරා දමා බුද්ධත්වයට පත්වී නිවන් දකිනවා යනු කුමක්දැයි තේරුම් ගත් කෙනෙකුද නොවන්නේය.

මෙැතනදී හැම කෙනෙකුම තේරුම් ගතයුතු වැදගත්ම දෙයක් ඇත. බුදුපියාණන් අවබෝධ කරගත් දැනගත් අනන්ත අප‍්‍රමාණ ආකාරවූ සියලුම පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයන් තවත් බුදු කෙනෙකුන්ටම හැර වෙනත් මිනිසෙකුට, දෙවියෙකුට, බ‍්‍රහ්මයෙකුට ඒ ආකාරයෙන්ම තේරුම් ගත නොහැකි බවයි. තවත් කෙනෙකුට වචනයෙන් කියා පැහැදිළි කරදිය නොහැකි බවයි. සැරියුත්, මුගලන් ආදී අග‍්‍ර ශ‍්‍රාවකයින් වහන්සේලා හෝ ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද හාමුදුරුවන් හෝ දැන ගත්තේ තේරුම් ගත්තේ බුදුපියාණන් දේශණා කර වදාළ පටිච්ච සමුප්පාද විග‍්‍රහයෙන් ඉතාමත් සුළු කොටසකි. නිවන් අවබෝධ කරගන්නට නම් අනිවාර්යයෙන්ම පටිච්චසමුප්පාද ධර්මයේ මූලික කොටස් තුන තේරුම් ගත යුතුමය. චතුරාර්ය සත්‍යය ධර්මයන් නිවැරදිවත් පූර්ණ වශයෙනුත් අවබෝධ කරගන්නට නම් අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මයත්, අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධයත්, කුසලමූල පටිච්චසමුප්පාද ධර්මයත් යථාභූත ඥාණයෙන් තේරුම් ගැනීම හොඳටම ප‍්‍රමාණවත්ය.

අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මයෙන් පැහැදිළි කර දෙන්නේ ”සං” උපත ලබන, සමුදය ධර්මයන් සිතක හටගන්නා ආකාරයයි. ”සංඥා” ”සංඛාර” ”සමුදය” ”සංඛත” ‘‘සම්බන්ධ’’ සංසාර ගමනට උපකාර වන ආකාරයයි. අවිද්‍යාමූල සංඛාරයක් ක‍්‍රියාත්මක වී ”භව”තත්ත්වයටත් ජාති තත්ත්වයටත් සිත තුළදීම පත්වන ක‍්‍රියාවලිය පෙන්වා දුන්නේ අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙනි. සිතෙහි මතු වූ යම් සංඛාරයක් අවිද්‍යාමූලයෙන් හටගත් එකක් බව දැන තේරුම් ගෙන එය නිරෝධ කර සිත තුළින්ම ඉවත්කර දමා නිදහස්වන්නට මඟ පෙන්වා දුන්නේ අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධ මාර්ගයෙනි. කුසලමූල පටිච්ච සමුප්පාද ධර්මය යනු මීට හාත්පසින්ම වෙනස් එකකි. අතීතයේ කවදා හෝ යම් කිසි සාරවත් බවක් දැක එකතුකර ගත් යම් ගති ලක්ෂණයක් සිත තුළ මුල්බැස ගබඩා වී පවතී. එය අවිද්‍යාවෙන් හා තණ්හාවෙන්ම එකතුකරගත් රාග මූලික, ද්වේෂ මූලික හෝ මෝහ මූලික ගති ලක්ෂණයක් බව දැක එය සිත කිළිටි කරන කුණු ගොඩක් බවද තේරුම් ගෙන මුලින් උදුරා දමා සළාහැර අස්කර ගන්නට අනුගමනය කළයුතු ක‍්‍රියාමාර්ගය කුසලස්ස යනුවෙන් පෙන්වා වදාළ කුසළ මූල පටිච්චසමුප්පාද ධර්ම මාර්ගයයි. සංසාර ගමනට උපකාර වන තම චිත්තසංථානයේ ගබඩා කරගෙන මුල්බැසගෙන පවතින රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණයන් කුණු කන්දරාවක් බව යථාභූත ඥාණයෙන්ම තේරුම්ගත් කෙනෙකුට පමණක් එවැනි කුණු සළාහැර ඒ ගති ලක්ෂණ මුළින් උපුටාදමා, ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයට ප‍්‍රභාශ්වර තත්ත්වයට පත්විය හැකිය. එය ප‍්‍රඥාව උපදවා පහදා ගැනීමේ ක‍්‍රමයයි.

”අවිද්‍යා පච්චයා සංඛාරා – සංඛාර පච්චයා විඤ්ඤාණං” ආදී කොට කියවන වචනවල පදවැල්වල පටිච්චසමුප්පාද ධර්මයක් නැත. ඒ පදවැල් වලින් කියැවෙන අර්ථය ධර්මතාවය තමා තුළින්ම තමාම දැකගත යුතුය. යථාවබෝධයක් ලැබ තමාම කරන, කියන, හිතන සංඛාර පිළිබඳව යථාභූත ඥාණ දර්ශනයක් ඇතිකර ගැනීමම පටිච්චසමුප්පාද ධර්මය තුළින් ලබන ධර්මාවබෝධයයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.