සතර සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වා දුන් පියවර 21 පබ්බය

සතර සම්මප්පදාන, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රියය ධර්ම, පංච බල ධර්ම, සත්ත බොජ්ජංග මෙන්ම අෂ්ටාංගික මාර්ගයද යන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම මිනිසෙකුගේ සිත තුළ ක‍්‍රමානුකූලව පරිපූර්ණ වන්නේ සතර සතිපට්ඨානයෙහි පිහිටා සතියෙන් ක‍්‍රියා කරන්නෙකු බවට පත් වීමෙනි. සතර සතිපට්ඨාන වඩන්නට නොදන්නා සතිපට්ඨාන භාවනාව නිවැරදි ආකාරයට භාවිතා කරන්නට පුරුදු නොවූ කෙනෙකුට භාවනා කරනවා, ධුතාංග රකිනවා යැයි සිතා වෙන මොන යම් ක‍්‍රියාවක නිරත වූවත් සත්තිස් බෝධිපාක්ෂික ධම්මයන් නම් සම්පූර්ණ කරගෙන මඟඵල ලබාගන්නට නොහැකිය. අනුපූරක නිවන් මාර්ගයේ ධම්මානුධම්ම ප‍්‍රතිපදාවේ මුල්ම පියවර වන්නේ නිවැරදිව සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියා කරන්නට පුරුදු වීමයි. අවසාන වශයෙන් අරහත් ඵලය ලබන්නටද අරහත් ඵලය ලැබූ පසු නිවන් සුවය විඳින්නටද (ඉහාත්ම සුඛ විහරණය ලබන්නට) සතර සතිපට්ඨානයේම පිහිටා ක‍්‍රියා කළ යුතුයි.

සීල, සමාධි, පඤ්ඤා, ත‍්‍රිශික්ඛාවද සමථ, විපස්සනා භාවනා දෙකද චේතෝ විමුක්තිය හා ප‍්‍රඥා විමුක්තියද, සම්මා දිට්ඨියේ පටන් සම්මා සමාධිය තෙක් අරිය අෂ්ටාංගික මාර්ගයද, සම්මා ඥාණ හා සම්මා විමුක්තියද සම්පූර්ණ වන්නේත් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ගයන් හතර හා ඵලයන් හතර මෙන්ම නිබ්බාන නමැති අවසන් නිවීමද සම්පූර්ණ වන්නේත් සතර සතිපට්ඨානය යථාපරිදි දැන ප‍්‍රායෝගිකවම දෛනිකවම සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියාකරන්නෙකු බවට පත් වීමෙනි. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය යන චිත්තසංථානය කිළිටි කරන කෙළෙස් ගති සියල්ලම චිත්තසංථානයෙන් ප‍්‍රහාණය කර ඉවත් කර දමන්නටත් යළි යළිත් මේ කෙළෙස් ගති චිත්තසංථානයෙහි හටගන්නට බිහි වන්නට හේතු වන කෙළෙස් මුල් සමුච්ෙඡ්දනය කර කෙළෙස් මුල් සිඳ දමන්නටත් යළි කවදාවත්ම කෙළෙස් ගති බිහි නොවන ආකාරයට එනම් අනුප්පාද තත්ත්වයට චිත්තය පාරිශුද්ධතාවයට පත්කර ගන්නටත් උපකාර කරගත හැකි එකම ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ගයද සතර සතිපට්ඨාන භාවනාව ප‍්‍රගුණ කිරීමයි.

සුව අසුව දහසක් වූ මුළු බුද්ධ දේශණාවෙහිම මූලික හා ප‍්‍රායෝගික හරය මහා සතර සතිපට්ඨාන දේශණාවයි. වෙනත් කිසිම සූත‍්‍ර ධර්මයක ප‍්‍රකාශ නොකළ දෙයක් මේ සූත‍්‍රය ආරම්භයේ දී හා අවසානයේ දී පැහැදිළිවම දේශණා කර වදාරා ඇත. මහා සතර සතිපට්ඨාන සූත‍්‍රය ආරම්භයේම සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියා කිරීමෙන් නියත වශයෙන්ම ලබාගත හැකි ප‍්‍රතිඵල පළමු කොටම දේශණා කර පෙන්වා ඇත. එ්වාගේම මේ ඵල උරුමකර ගන්නට ගතවන උපරිම හා අවම කාලය අවසානයට පෙන්වා වදාරා ඇත. මුළු ත‍්‍රිපිටකයේ වෙනත් කිසිම සූත‍්‍රයක, ගාථාවක මෙවන් නිශ්චිත වූ ප‍්‍රකාශයක් කර නැත. මේ නිසා, නිවන් මඟ අනුගමනය කරන බෞද්ධයාට මෙය එ්කායන මාර්ගයයි.

”එකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විශුද්ධියා, සෝකපරිද්දවා නං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්‍ථගමාය,ඥායස්ස අධිගමාය, නිබ්බානස්ස, සච්ජිකිරියාය, යදිදං චත්තාරෝ සතිපට්ඨානා”

රාග, ද්වේෂ, මෝහ යන කෙළෙස් ගති වලින් කිළිටි වී සංසාර ගැටළුවට මැදිවී ක‍්‍රියා කරන ලෝක සත්ත්වයාට කෙළෙස් ප‍්‍රහාණය කර විශුද්ධත්වයට පත්වීමටත් සෝක පරිදේවාදී පළිබෝධයන් ගෙන් මිදී නිදහස් වන්නටත් දුක්ඛ දෝම්නස් වලින් සදහටම අත මිදෙන්නටත් උතුම් මඟඵල ලබා ගන්නටත් බානෙන් මිදී ”නිබ්බාන තත්ත්වය” සාක්සාත් කරගන්නටත් එ්කායන මාර්ගය සතර සතිපට්ඨානය භාවිතා කිරීමයි යන්න මෙහි සරළ සිංහල තේරුමයි.

පැය විසිහතර පුරාම සම්පූර්ණ කරගත යුතු ධම්මානුධම්ම ප‍්‍රතිපදාවක් මෙහිදී අනුගමනය කළ යුතුව ඇත. මේ සූත‍්‍රයේ අනුගමනය කළයුතු පබ්බ 21ක්ම පෙන්වා දී ඇත. මෙසේ 21 වරක්ම අවධාරණයෙන් නැවත නැවතත් පෙන්වා වදාළ පාඨයන් යළි අධ්‍යයනය කර අර්ථ, ධර්ම වශයෙන් තේරුම් ගත යුතුය.

1. ඉති අජ්ඣතං වා කායේ කායානු පස්සී විහරති
බහිද්ධාවා කායේ කායානුපස්සී විහරති
අජ්ඣත්ත බහිද්ධා වා කායේ කායානු පස්සී විහරති

2. සමුදය ධම්මානු පස්සීවා කායස්මිං විහරති
වය ධම්මානු පස්සීවා කායස්මිං විහරති
සමුදය වය ධම්මානු පස්සීවා කායස්මිං විහරති

3. අත්‍ථි කායෝතිවා පනස්ස
සති පච්චුපට්ඨිතා හෝති,
යාවදේව ඤාණ මත්තාය
පතිස්සති මත්තාය

4. අනිස්සි තෝච විහරති
නච කිංචි ලෝකේ උපාදියති ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානු පස්සී විහරති

මෙම මාගධී පදවැල් වලින් පෙන්වා වදාළ කාරණය මහා සතරසතිපට්ඨාන සූත‍්‍ර දේශණාවේ හරයයි. මේ මාගධී පදවැල් 21 අවස්ථාවකදීම මහා සතරසතිපට්ඨාන සූත‍්‍රයේදී 21 වරක්ම අවධාරණයෙන්ම ප‍්‍රකාශ කර ඇත.

කායානුපස්සනාවේ දී ”කායානුපස්සී විහරති”, ”කායස්මිං විහරති” යනුවෙන් 14 වරක්ද, වේදනානුපස්සනාවේ ”වේදනානුපස්සී විහරති” ”වේදනාස්මිං විහරති” යනුවෙන් එක් වරක්ද, චිත්තානුපස්සනාවේ ”චිත්තේ චිත්තානුපස්සී විහරති”, ”චිත්තස්මිං විහරති” යනුවෙන් එක් වරක්ද, ධම්මානුපස්සනාවේ” ධම්මේ ධම්මානු පස්සී විහරති” ”ධම්මස්මිං විහරති” යනුවෙන් පස්වරක් දැයි 21 වරක්ම දේශණා කර වදාළේ ”අනිස්සිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදියති” යන නියත ධර්මතාවයයි. යථා පරිදි මේ නියත ධර්මතාවය තේරුම් කරදීම සඳහාම මුළු සතර සතිපට්ඨාන සූත‍්‍රය පුරාවටම දරණ උත්සාහයක් මේ පදවැල් 21 වතාවක්ම අවධාරණයෙන්ම ප‍්‍රකාශ කිරීමෙන්ම මොනවට පැහැදිළි වෙයි.

”අනිස්සිතෝච විහරති” යන පදවල විරුද්ධ අර්ථය, අනික් පැත්ත ”නිස්සිතෝච නප්පජානාති” යන්නයි. ”අනිච්චානුපස්සී විහරති, නිච්ච සඤ්ඤා පජහති” යනුවෙන් ද අර්ථ ගැන්වූයේද එකම අදහසයි. ”අනිස්සිතෝච විහරති” තත්ත්වය අවබෝධ කරගත් කෙනෙකු,
දුක්ඛතෝච විහරති අනත්ථතෝච විහරති
නිබ්බිතෝච විහරති විරාගෝච විහරති
නිරෝධෝච විහරති පටිනිස්සග්ග තෝච විහරති – නච කිංචි ලෝකේ උපාදියති” යන්නද අවබෝධ කරගනී.

මේ පාඨයන්ගෙන් කියැවෙන අර්ථය සමඟ ද සසඳා බලන්න

අනිච්චානුපස්සී විහරති    –    නිච්ච සඤ්ඤා පජහති
දුක්ඛානුපස්සී විහරති    –    සුඛ සඤ්ඤා පජහති
අනත්ථානුපස්සී විහරති    –    අත්ථ සඤ්ඤා පජහති
නිබ්බිදානුපස්සී විහරති    –    නන්දි සඤ්ඤා පජහති
විරාගානුපස්සී විහරති    –    රාග සඤ්ඤා පජහති
නිරෝධානුපස්සී විහරති    –    සමුදයං පජහති
පටිනිස්සග්ගානු පස්සී විහරති – උපාදියං පජහති (සබ්බූපදි පටිනිස්සග්ගෝ)

”නච කිංචි ලෝකේ උපාදියති” යනු ”තම සිතින්ම මවාගෙන නිර්මාණය කරගත් මේ ලෝකය තුළ උපාදානය කරගන්නට තරම් වටිනා, සුදුසු කිසිම දෙයක් නැති බව සහතික කර අවබෝධ කරගනී” යන්නයි. ත‍්‍රිලක්ඛණ භාවනාව වැඞීම මෙහිදීද පැහැදිළිවම ඇතුළත් කර ඇති බව මින් පැහැදිළි වෙයි. ලෝකය යනුවෙන් මෙහිදී අදහස් කළේ බඹයක් පමණ වූ මේ තුන් ලෝකයයි. කායේකායානුපස්සනා වශයෙන් සඳහන් කළේ අපි සම්මත සිංහල භාෂාවේ අදහස් කරන ශරීර කූඩුව යන්න (කය) නොවේ. කාය මිස ”කය” යන පදයක් කිසි විටකත් මාගධී භාෂාවේදී භාවිතා කර නැත. ”කාය” යනු ක‍්‍රියාවක යෙදීම යන අදහසයි.

සියලුම සත්ත්වයින්, ප‍්‍රාණීහු ක‍්‍රියාකාරකම් (කාය) හයක් කරමින්් යම් යම් දේ එකතු කර ගනිති. ක‍්‍රියාකාරකම් කරමින් යමක් එකතු කරගන්නට කරන ක‍්‍රියාවට ”සංඛාර” යන පදයද මාගධී භාෂාවේ භාවිතා කර ඇත. වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර යනු වචනයෙන්, ක‍්‍රියාවෙන් හා සිතින් යමක් එකතු කරගන්නට කරන ක‍්‍රියාකාරකමක් හැඳින්වීමකි. එ්වාගේම චක්ඛු කාය, සෝත කාය, ඝාණ කාය, ජිව්හා කාය, පොට්ඨබ්බ කාය, මනෝ කාය යනුවෙන්ද එ එ ඉන්ද්‍රියයන් ගෙන් කරන ක‍්‍රියාකාරකම් හඳුන්වයි. මේ ක‍්‍රියාකාරකම් හයම ක‍්‍රියාත්මක කරන්නේ අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් නම් එතනදී යමක් උපාදානය කරගෙන සිතින් ලෝකයක් නිර්මාණය කිරීමේ නියත අපේක්ෂාවක් හා බලාපොරොත්තුවක් ද ඇතිවයි. මේ ක‍්‍රියාව අවිද්‍යා සංඛාර පැවැත්වීමක් ලෙස ධර්මයේ පෙන්වා දෙයි. මේ අපේක්ෂාව, බලාපොරොත්තුව නිසා යමක් බිහිකර උත්පාදනය කරගනී. මෙසේ උත්පාදනය කර ගන්නේ සමුදයයි. (සං+උදය) සංසාර ගමන පවත්වාගෙන දිගටම ගෙන යන්නට උපකාර වන මෙවැනි ”සමුදය” බිහි නොකරන්නේ නම් කර්ම බීජ, විඤ්ඤාණ බීජ සකස් නොවේ. (අනායුහණං) ආයුහණං යනු කර්ම බීජ සැකසීමයි. ”අනායුහණං” යනු කර්ම බීජ සකස් නොවීම යන අර්ථයයි.

ඉන්ද්‍රියයන් හයටම අරමුුණු වන රූප, ශබ්ද, ගන්ධ ආදී බාහිර අරමුණු වලට ඇස කන ආදී ඉන්ද්‍රියයන් පටිච්ච වීමෙන් සංඛාර කරමින් පංචස්කන්ධයම උපාදානය කරගෙන තමාගේම සිතෙන් ලෝකයක් තමන්ම නිර්මාණය කරගනී. එසේ නිර්මාණය කරගත් ලෝකය තමන්ට රිසි සේ මනාප සේ කැමති සේ දිගින් දිගටම පවත්වාගෙන යන්නට දරණ උත්සාහය අපි ජීවිතයක් පැවැත්වීම යනුවෙන්ද සඳහන් කරමු.

පෘථග්ජන පුද්ගලයකුගේ උත්සාහය, බලාපොරොත්තුව මෙසේ මවාගෙන නිර්මාණය කරගත් ලෝකය හැමදාම තමාට කැමති සේ, නිස්සිත සේ පවත්වාගෙන යාමයි. නමුත් මේ ලෝකය අවිනිශ්චිතය. එ් බව යථාපරිදි අවබෝධ කරගත යුතුය. අපේ කැමැත්තට අනුව ලෝකය නොපවතී.

”අනිස්සිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදියති” යනු හේතුඵල පරම්පරාවක් ක‍්‍රියාත්මක කිරීම නිසා සාදා සකස් කරගත් මනෝමය ලෝකය තමන්ට කැමති සේ පැවැත්විය නොහැකියි. මෙසේ සකස්කර නිර්මාණය කරගත් ලෝකයේ නියත ස්වභාවය, ස්වරූපය ”අනිච්ච” බවයි. කැමති සේ පවත්වාගත නොහැකි ලෝකයක් තුළ මම, මගේ, මගේ ආත්මය යැයි අල්ලා උපාදානය කරගන්නට සුදුසු වූ කිසිවක්ම නැති බව පසක් කොට අවබෝධ කරගත් පුද්ගලයා රිය ගමන අතහැර, අරිය තත්ත්වයටම පත්වෙයි. ලෝකයේ ඇති අසාර බව, අනාථ බව, අනිච්ච බව, අනිස්සිත බව, අසුබ බව, දුක්ඛිත බව, අනාථ බව මනාව තේරුම් ගත් විට උපාදානය කර ගැනීම නවතා දමයි. (සබ්බූපදි පටිනිස්සග්ගෝ) උපාදානය කරගත් සියල්ලම පටිලෙහා, ගැටලෙහා සිතින් බැහැර කර දමයි.

තමන් සිතින්ම නිර්මාණය කරගත් තුන් ලෝකයම (කාමලෝක, රූපලෝක, අරූප ලෝක) සාරවත් සේ, වටිනා සේ, සුබ සේ දකින්නා හැකි තරම් දේ උපාදානය කරගෙන කෙළෙස් පොදියක් කරගසාගෙන සංසාර සාගරයේ අතරමං වී සසර සැරිසරයි. දුක්විඳියි. සැප සොයමින් රිය ගමනක යෙදෙයි.

තමන් අද අද උපාදානය කරගන්නා අතීතයේදී උපාදානය කරගත් අනාගතයේදී උපාදානය කරගන්නට බලාපොරොත්තු වන මේ පංචස්කන්ධය තුළ කිසියම්ම කොටසක් හෝ තමන්ට රිසි සේ, කැමති සේ, මනාප පරිදි, නිච්ච වශයෙන් එක දිගටම එසේම පවත්වා ගන්නට, නවත්වා ගන්නට නොහැකි බව තමන්ටම යථාපරිදි අවබෝධ වීම ”යාව දේව ඥාණ මත්තාය, පතිස්සති මත්තාය, අනිස්සිතෝච විහරති” යනුවෙන් සරළ ලෙසම මෙහිදී පැහැදිළි කර ඇත. නිර්මාණය කරගත් මේ ලෝකයේ නියම නිවැරදි තත්ත්වය තමන්ගේම නුවණින්, සතියෙන් යථා පරිදි තේරුම්ගත් අවස්ථාවක මෙහි උපාදානය කරගන්නට උපාදානය කරගෙන දිගටම තමන් සන්තකයේ පවත්වාගෙන යන්නට තරම් වටිනා, සාරවත්, කිසිවක්ම ලෝකයේ නැති බව අවබෝධ කරගනී. එවන් ලෝකයක් පවත්වා ගන්නට දරණ උත්සාහයම දුකක් බවත්, අනාථ වීමක් බවත් තේරුම් ගනී. ”නච කිංචි ලෝකේ උපාදියති” යන පද වලින් මහා සතර සතිපට්ඨාන සූත‍්‍රයේ විසිඑක් (21) වරක්ම, අවධාරණයෙන්ම සඳහන් කර ඔබට අවබෝධ කරදෙන්නට උත්සාහ ගන්නේ මේ ලෝකයේ නියත ධර්මතාවය වූ ”අනිච්ච, දුක්ඛ, අනත්ථ” යන ත‍්‍රිලක්ඛණයයි. ”අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි” යන්න වැරදි භාවිතයකි. වැරදි පරිවර්තනයකි.

මේ ප‍්‍රකාශය බුද්ධ දේශණාවේ හරයයි. ලෝකයක් නිර්මාණය කර බිහි කරගන්නට, ලෝකයක් දිගින් දිගටම ජීවමානව පවත්වාගෙන යන්නට උපකාර වන්නේ තමන්ගේම සිතේ පවතින රාග ගතිය, ද්වේෂ ගතිය හා මෝහ ගතිය නිසා උපත ලබන සමුදය ධර්මයන්ය. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය සහමුළින්ම සිතින් ප‍්‍රහාණය කර දමා සමුදය බිහිවීම නවතා දැමීම ”නිරෝධ” කිරීම යන්නයි. නිර්උදා කිරීම යනු මෙයයි. නැවත නොඋපදින ලෙසින්ම අනුත්පාද වශයෙන්ම සමුදය නිරෝධ කිරීම නිස්සරණප්ප‍්‍රහාණයයි. එයම නිබ්බාන යන අදහසයි’

සතර සතිපට්ඨාන සූත‍්‍රයේ ”යාවදේව ඥාණ මත්තාය, පතිස්සති මත්තාය” යනුවෙන් දේශණා කළ දේම ධම්මචක්කපවත්තන සූත‍්‍රයේ ”චක්ඛුං උදපාදි, ඥාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, අලෝකෝ උදපාදි” යනුවෙන් දොළොස් වරක්ම සඳහන් කර ඇත. චිත්තසංථානයක ගබඩා වී පවතින කෙළෙස් ප‍්‍රහාණය කර, ඉවත් කර දමන විට දහම් ඇස පහදයි. ඥාණය උපදී. සිත පහදී. ප‍්‍රඥාව උපදී. විනිවිද බැලීමේ ශක්තිය උපදී. (විජ්ජා උදපාදි) ලෝකය අතහැර අලෝක තත්වයට පත් වෙයි. මෙතෙක් උපාදානය කරගෙන සිටි ලෝකය අතහරී. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මෙතෙක් අල්ලා උපාදානය කරගෙන සිටි ලෝකය අතහැර ලෝකයෙන් මිදී නිදහස් වීමයි. එවිට අලෝක තත්ත්වයට පත් වෙයි.

”කායේකායානුපස්සී විහරති, කායස්මිං විහරති” යනුවෙන් මහා සතරසතිපට්ඨාන සූත‍්‍රයේ ඉතා පහැදිළිවම පෙනවා දුන්නේ ක‍්‍රියාවේ වේගය අනු කොටස්වලට බෙදා බලා ක‍්‍රියාවේ වේගය පහ කිරීමෙන් ක‍්‍රියාවේ වේගය පාලනය කරගනිමින් ක‍්‍රියාවේ වේගය සංසිඳවා ගැනීමයි. ක‍්‍රියාවේ වේගය සංසිඳවා ගැනීමෙන් සිත මත්වීමේ වේගය මත් ස්වාභාවය සංසිඳවා සිත සංවර කර ගැනීමයි. සිත සංසුන් කරගැනීමයි. සිත ”සංමා” (සම්මා) තත්ත්වයට පත්කර ගැනීමයි. ”විහරති” යනු විහාරය යනු විහරණය යන අර්ථයයි. ක‍්‍රියාවේ වේගය පාලනය කරගනිමින්, සිත ශික්ෂණය කරගනිමින්, සිත සංසුන් කරගනිමින්, ඉන්ද්‍රියයන් හය සංවර කරගනිමින් වාසය කිරීම ”විහරති” යන්නයි. විවේක නිස්සිතව වාසය කිරීමයි.

මහා සතරසතිපට්ඨාන සූත‍්‍රයේ පෙන්වා වදාළ පරිදි තුදුස් (14) අවස්ථාවකදී පියවර 14 කින්ම ක‍්‍රියාවේ වේගය සංසිඳවිය යුතුය. ”කායේකායානුපස්සී විහරති, කායස්මිං විහරති” යනුවෙන් පෙන්වා වදාළේ මේ 14 අවස්ථාවයි.

1. ආනාපාන පබ්බයේදී – ආශ‍්‍රය කළයුතු හා ආශ‍්‍රය නොකර බැහැර කළ යුතු යයිද දෙකොටසකට අරමුණු වෙන්කර, බෙදා බලා ආශ‍්‍රය කිරීම හා ප‍්‍රහාණය කිරීම මින් අදහස් කෙරේ. (අස්ස සති, පස්ස සති යනු මෙයයි)
2. ඉරියාපත පබ්බයේදී – නිසින්නෝවා, ගච්චන්තෝවා, ඨිතෝවා, සයානෝවා යන ඉරියවු හතරේදීමත් ආශ‍්‍රය කළ යුතු දේ හා ආශ‍්‍රය නොකළ යුතු දේ යන අරමුණු දෙකොටස වෙන්කර, දැක බලා ආශ‍්‍රය කිරීම හා ප‍්‍රහාණය කිරීම ඉරියව් හතරේදීමත් කළ යුතුය.
3. සංපජඤ්ඤ පබ්බය – සංපජානකාරී හෝති යන්නයි. සමුදය ප‍්‍රජනනය (බිහිවෙන) වන හැම ක‍්‍රියාවකදීම ”සං” ප‍්‍රජනනය වන ආකාරය දැක ”සං” ප‍්‍රහාණය කිරීමයි.
4. පටික්කූල මනසිකාර පබ්බය – කේසා, ලෝමා, නඛා, දන්තා ආදී කුණප කොටස් 32 මෙනෙහි කිරීමයි. එ මගින් සත්ත්ව, පුද්ගල ඝණ සංඥාව දුරු වෙයි. එ් නිසා ක‍්‍රියාවේ වේගය සංසිඳවා ගත හැකි වෙයි.
5. ධාතු මනසිකාර පබ්බය – ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාස, විඤ්ඤාණ යන ධාතු හය හා සතර මහා භූත වෙන් කොට, දැකබලා ක‍්‍රියාවේ වේගය සංසිඳවා ගැනිමයි.
6-14. නවසීවතික පබ්බයේදී නව වරක්ම මේ ශරීරය මරණයට පත් වීමෙන් විපරිණාමයට පත් වී, විනාශ වී යාම නව අවස්ථාවකදී මෙනෙහි කර කායේ කායානුපස්සනාව අවබෝධ කර ගැනීමයි. ක‍්‍රියාවන්ගෙන් තොර වූ විට කඳක ස්වභාවය අවබෝධ කරගැනීමයි.
15. ”වේදනාසු වේදනානුපස්සී විහරති වේදනාස්මිං විහරති” මෙහි සටහන්ව ඇත්තේ ”පජානාති” යන වචනයයි. සැප වේදනාව සැප වේදනාවක් විඳීම යැයි ද, දුක් වේදනාව දුක් වේදනාවක් විඳීමි යයිද, ආමිස වේදනාව නිරාමිස වේදනාව යථාපරිදි දැන ගැනීමත්, දැනගෙන අනවශ්‍ය ආමිස වේදනා කොටස ප‍්‍රහාණය කිරීමත් අවශ්‍ය නිරාමිස සුවය විඳීමත්ය. එය වේදනාසු වේදනානුපස්සනාවයි. පජානාති යනු නිවැරදි දැනුම ලැබීමයි.
16. චිත්තේ චිත්තානුපස්සී විහරති යන්නෙහි ඇත්තේද පජානාති යන වචනයයි. පජානාති යනු යථාවබෝධයෙන් සතියෙහි පිහිටා සිතෙහි ප‍්‍රජනනය වන, මතුවන අරමුණ නිසි පරිදි දැන තේරුම් ගැනීමයි. සරාගී සිත, වීතරාගී සිත වෙන් කොට දැන ගැනීම, ද්වේෂ සිත, වීතද්වේසී සිත වෙන් කොට දැන ගැනීම ආදී වශයෙන් සිත් 16 (යුගල අටක්) වෙන් කොට දැන තේරුම් ගෙන ප‍්‍රහාණය කළයුතු සිත් නිරෝධ කිරීමත්, භාවිතා කළ යුතු සිත් භාවිතා කිරීමට පුරුදු වීමත් මෙම චිත්තානුපස්සනාවෙහි දී පෙන්වා දී ඇත. මෙහිදී ප‍්‍රහාණය කිරීම සඳහා විශේෂයෙන් කළ යුත්තක් නැත. කායේ කායානුපස්සනාවට අනුවම සිත් වෙන්කර දැක භාවිතයට ගැනීම පමණක් කළ යුතුය.
17-21. පබ්බ පහක්ම අයත් වන්නේ ධම්මේසු ධම්මානුපස්සනාවටය. පංච නීවරණ ධර්මයන් වන කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්චය, විචිකිච්චාව යන නිවන ආවරණය කරගෙන සිටින ධර්මයන් සිතින් ඉවත්කර නෙක්ඛම්ම සිත, අව්‍යාපාද මෙත්සිත පැතිරීම, අලෝක සංඥාව මතුකර ගැනීම, අවික්ඛේප සිතක් ඇතිකර ගැනීම, සතියෙහි පිහිටා ක‍්‍රියා කරන්නට ධම්ම වවත්ථාන තත්ත්වයට සිත පත්කර ගැනීම (හේතුඵල ධර්මයට බහා ගළපා ක‍්‍රියා කරන්නෙකු වීම) මෙහිදී ඉටු කරගත යුතුය.
18. පංච උපාදානස්කන්ධයේ කොටස් පහ වෙන්කොට දැක බලා රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යනුවෙන් පෙන්වා වදාළ උපාදානය කරගත හැකි දේවල ඇති අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව, අසුබය මෙනෙහි කර පංචඋපාදානස්කන්ධයෙන් මිදීමට හැකිවිය යුතුය.
19. ආධ්‍යාත්මික ආයතන හය (ඇස, කන, නාසය, දිව, කය, මනස) හා බාහිර ආයතන හය (රූප, ශබ්ද, ගඳ, සුවඳ, රස, සුව පහස හා ධම්ම) වෙන් කර අනුපස්සනා කරමින් එ්වායේ ක‍්‍රියාකාරීත්වය නිසා උපත ලබන වේගය, රත්වීම, මත්වීම පාලනය කරගන්නට අනුගමනය කළයුතු වැඩ පිළිවෙලයි. සමුදය බිහිවන අවස්ථාවේදීම සමුදය නිරෝධ කිරීමෙන් ක‍්‍රියාවේ වේගය පාලනය කර ඉන්ද්‍රියයන් හයම සංවර කරගත හැකිවීම මෙහිදී අවබෝධ කරගත යුතු දේයි.
20. සත්ත බොජ්ජංගය (සති සම්බොජ්ජංගයේ පටන් උපේක්ඛා බොජ්ජංගය තෙක්) සම්පූර්ණ කර ගැනීම මෙහිදී විග‍්‍රහ කරන ලදී. බොජ්ජංග ධර්ම වැඞීම යනුවෙන් අදහස් කරන ලද ක‍්‍රියාවලිය බොහෝමයක්ම දෙනෙකු නිවැරදිව අවබෝධ කරගෙන නැත. බෝධි අංග – බොජ්ඣගේසු යනු රාග, ද්වේෂ, මෝහ නමැති පැවැත්ම යළි යළිත් බිහි කරන කිළිටි ශක්තිය උදුරා දැමීමයි. හත් අවස්ථාවේදීම සමුදය බිහි කිරීමේ ශක්තිය ප‍්‍රහාණය කර දමා චිත්තසංථානය පිරිසිදු කර ගත යුතුය. බොජ්ජංග යනු අවබෝධ යන අර්ථය නොවේ.
21. චතු අරිය සත්‍යයන් – ධම්මේසු ධම්මානු පස්සී විහරති චතුසු අරිය සච්චේසු
I. දුක්ඛ අරිය සත්‍යය – ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. පරිඤ්ඤෙයියන්ති – පරිඤ්ඤාතන්ති
II. සමුදය අරිය සත්‍යය – අයං දුක්ඛ නිරෝධෝති යථාභූතං පජානාති – පහාතබ්බන්ති – පහීනං
III. නිරෝධ අරිය සත්‍යය – අයං දුක්ඛ නිරෝධෝති යථාභූතං පජානාති – සච්ජිකාතබ්බන්ති – සච්ජිංකරෝති
IV. නිරෝධ ගාමිණී මාර්ග සත්‍යය, අයං දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාති යථාභූතං පජානාති, භාවේතබ්බංච – භාවිතං.

මේ චතු අරිය සත්‍යයන් අවබෝධ කරගන්නට නියත වශයෙන්ම උපකාර වන තිපරිවට්ටයයි.

මේ අවස්ථා 21 හිදීම යථාපරිදි අවබෝධ කරගතයුතු වන්නේ ”අනිස්සිතෝච විහරති, න ච කිංචි ලෝකේ උපාදියති” යන නියත ධර්ම ස්වභාවයයි. නිවන් අවබෝධය යනුද එ් යථාවබෝධය ලැබීමමයි. උපාදානය කරගත්, සිතින්ම අල්ලාගෙන, බදාගෙන සිටින්නේ මෙවන් නොවටිනා කෙළෙස් පොදියකි. පලිබෝධ රාශියකි. මේ බව යථාපරිදි තේරුම් ගැනීමට සතර සතිපට්ඨාන භාවනා ක‍්‍රමය හැර වෙනත් සම්පූර්ණ ක‍්‍රමවේදයක් බුද්ධ දේශණාවෙන් වෙනත් තැනකදී හෝ පෙන්වාදී නැත. මේ අනුව සතර සතිපට්ඨාන වැඞීම බුද්ධ දේශණාවේ හරයයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.