3. කායේකායානුපස්සනාව – ආනාපාන පබ්බය

සතර සතිපට්ඨාන සූත‍්‍රයෙන් විග‍්‍රහ වන්නේ හේතුඵල පරම්පරාවක ක‍්‍රියාකාරීත්වයක් පිළිබදවයි. මේ විග‍්‍රහය නිවැරදිවම තේරුම් ගත් සෑම පුද්ගලයෙකුම, සෑම මිනිහෙකුම තමන් පිළිබඳව ”මම” පිළිබඳව මේ තාක් හිතාගෙන සිටි තේරුම් ගත් පුද්ගල සංකල්පය, සත්ත්ව සංකල්පය පිළිබඳව දැන් ඇත්ත ඇති සේ දැන ගනී. මෙතෙක් කලක් තමාම නුදුටු ”මම” පිළිබඳව තමාටම යථාවබෝධයකුත් ලැබේ. තමන්ගේ දෛනික පැවැත්ම තැන්පත් ස්වභාවයකින් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍යතාවයකුත් කැමැත්තකුත් දැන් ඉබේටම වාගේ ඇති වේ. තමන් ක‍්‍රියා කරන්නේ අසංවර ලෙසින් නම් තැන්පත් නොවූ නොඉවසන ස්වරූපයකින් නම් තමන් තුළම ගින්නක් අවුළුවා ගන්නා බවත් තමන්ම පසක් කර ගනී.

1. රූපාදී යම් අරමුණක් සිතට ස්පර්ශ කර ගැනීම.
2. ඒ ස්පර්ශය වූ අරමුණ දිගේ සිතුවිලි පරම්පරාවක් බිහි කර ගැනීම
3. ඇස, කන, මන ආදී ආයතන හයේමත් මේ ක‍්‍රියාකාරීත්වය සිදුවේ.
4. ක‍්‍රියාවක් සිදු කර එහි ඵලය උරුම කරගෙන එයම භුක්ති විඳී.

ඉහත පෙන් වූ ආකාරයට යම් බලාපොරොත්තුවක් ඇති වී යම් කිසි ක‍්‍රියාවක් කළ පසු ඒ ක‍්‍රියාව, ඵලය, විපාකය ගැන බලා දුක්වීම හෝ පසු තැවීම පෘථග්ජන පුද්ගලයෙකුගේ සාමාන්‍යම පුරුද්දයි. ක‍්‍රියාවක් කරන්නට පෙර ක‍්‍රියාත්මක වන්නට පෙර ඒ ක‍්‍රියාව හා ඊට උරුමවෙන ඵල විපාකයන් පිළිබඳවත් සිතා බැලීමට දැන් අලුතින් පුරුදු පුහුණු විය යුතුයි. ”කායේකායානුපස්සනාව” යනුවෙන් අර්ථ ගැන්වූයේ මෙම ක‍්‍රියාවලියයි. ”සෝ සතෝව අස්ස සති පස්ස සති” යනු මෙහිම දෙවන පියවරයි. හේතුවත් හේතුවට උරුම වන්නා වූ ඵලයත් යන දෙකම හොඳින් දැකගත් පුද්ගලයාට මේ අරමුණෙන් ඇතිවූ බලාපොරොත්තු ආශ‍්‍රය කළ යුත්තක්ද ආශ‍්‍රය නොකර බැහැර කර හිතෙන්ම ප‍්‍රහාණය කළ යුත්තක්ද යන්න නිගමනය කිරීමට දැන් හැකියාව ලැබේ. මෙය තවදුරටත් මෙනෙහි කළයුතු අරමුණක්ද, මෙනෙහි නොකරම සිත නිදහස් කරගත යුතුද යන්නත් නිගමනය කරගත යුතු වේ.

ශරීරය යනු ආයතන හයක ක‍්‍රියාකාරීත්වයකි. ශරීරයේ යම් තැනකින් කරනු ලබන ක‍්‍රියාවකින් උපදින ශක්තියේ වේගයේ ප‍්‍රමාණයට අනුව හදවතේ ලේ ධාතුවේ ඇති රූප කලාප නැත්නම් පරමාණු භ‍්‍රමණය වීමත් වේගවත් වීමත් සිදු වේ. කම්පනය වීමත් වේගවත් වේ. මේ භ‍්‍රමණය වීම කම්පනය වීම අභ්‍යන්තරයේ ගින්නක් බවටත් පත්වේ. ආශ්වාස ප‍්‍රාශ්වාසය දෙස බලා සිටීමෙන් මේ වේගය, ගින්න, කම්පනය සංසිඳවීම කළ නොහැක්කක් බව ඔබට දැන් වැටහෙනු ඇත. වේගයක් සිතේ උපද්දවන්නට මුල් වූ ක‍්‍රියාව දෙසම බලා ඒ ක‍්‍රියාව නිසා උපදින වේගය, ශක්තිය, ගින්න නොඋපදවන ආකාරයට ඉවසා, විමසා, උපේක්ඛා සිතින් කටයුතු කිරීම ”සතෝව අස්සසති සතෝ පස්ස සති” යන පද වලින් විග‍්‍රහ කර පෙන්වා ඇත. මේ අනුව හේතුවත් හේතුවෙන් උත්පාදනය වන්නා වූ ඵලයත් යන දෙකම තමා තුළින්ම පැහැදිළිව නිරවුල්ව දැක ගැනීම මෙතනදී අදහස් වේ. හේතුව ආශ‍්‍රය කළ යුතු මෙනෙහි කළ යුතු එකක් නම් මෙනෙහි කිරීමත් ආශ‍්‍රය නොකළ යුතු අතහැර නිදහස් විය යුතු එකක් නම් ප‍්‍රහාණය කිරීමත් මෙතැනදී කළ යුතු ක‍්‍රියාවයි. ආන – පාන යනුවෙන් අර්ථ ගැන්වූයේ මෙයයි. මේ අනුව තේරුම් ගත යුතු වැදගත්ම දේ වන්නේ අද භාවනා මධ්‍යස්ථානවලදී සාමාන්‍යයෙන් උගන්වන ආශ්වාසය ප‍්‍රාශ්වාසය නැත්නම් හුළං රැුල්ල වදින තැනකට හිත පිහිටුවා සිටීම මගින් යමෙකු නොමඟ යෑමට හොඳින්ම ඉඩ ඇති බවයි. මෙම ක‍්‍රමය මගින් සතියෙහි පිහිටා සතියෙන් යුතුව කළ යුතු දේ සහ නොකළ යුතුදේ කිරීමක් කිසිසේත්ම සිදු නොවේ. භාවිතා කළ යුතු දේ (අස්ස සති) සහ නොකළ යුතු (පස්ස සති) යන දෙකමත් සිතින් ඉවත් කිරීම නිසා පුද්ගලයා අසඤ්ඤ ධ්‍යානයකට පත් වීමට පුරුදු වීම නිසා අසඤ්ඤ ධ්‍යානයකින් ගමන අතරමං වන බව කාටත්ම දැන් පැහැදිළිවම අවබෝධ විය යුතුයි.

”දීඝංවා අස්සසන්තෝ – රස්සංවා අස්සන්තෝ
දීඝංවා පස්සසංතෝ – රස්සංවා පස්සසංතෝ”

ආදී වශයෙන් මෙතැනදී විග‍්‍රහ කර පෙන්වූ ක‍්‍රියාවත් නිවැරදිව තේරුම් ගත යුතුයි. ”දීඝංවා’’ යනු අති දීර්ඝ සංසාරයේදී තමන්ම පුරුදු පුහුණු කරගත් ගති පුරුදු වේ. ”රස්සංවා” යනු අලුතින් අද අද තමා පුරුදු පුහුණු කර ගන්නා අලුත් ”ගති” පුරුදුයි.

දීර්ඝ සංසාරයේදී පුරුදු පුහුණු කරගත් ගතිගුණ වලත් කොටස් දෙකක්ම ඇත. ඉන්ද්‍රියයන් හයෙන්ම ක‍්‍රියාත්මක කරන අරමුණු වලට ඇලීම්, බැඳීම්, ගැටීම් හා මුළාවීම්, දිර්ඝ සංසාරයේදි ප‍්‍රියයි යනුවෙන් තීරණය කර කටයුතු කිරීම නිසා අද වන තුරුම මෙතෙක් කාලයක් මේ දිර්ඝ සංසාර ගමන නොනවත්වාම මේ තාක්ම පවත්වා ගෙන ආ බව වටහා ගත යුතුයි. මේ පුරුද්ද ගතිය දැන් වෙනස් කර ගත යුතුයි. ඒවාගේම දිර්ඝ සංසාර ගමනේදි අපි බොහෝ අවස්ථාවලදී සංසාර දුකෙන් මිදීම සඳහා උපකාර වන ආශ‍්‍රය කළයුතු වීතරාගී, වීතද්වේසී හා වීතමෝහී ගති පිළිබඳවත් අපි අසා දැන ගත්තද ඒවා අතීතයේදී පුරුදු කිරීමක් හෝ ආශ‍්‍රය කිරීමක් හෝ නොකෙළෙමු. දැන් එවැනි දේ ආශ‍්‍රය කිරීමට, පුරුදු වී ඒවා බහුලවම භාවිතා කිරීමටත් පුරුදු විය යුතුයි.

ඒවාගේම අලුතින් අද අද අසා දැක තේරුම් ගන්නා නොයෙකුත් දේවල ආශ‍්‍රය කළයුතු හා ආශ‍්‍රය නොකළ යුතු කොටස් දෙකක්ම ඇත. මේ දෙකොටසම පිළිබඳවම ”රස්සංවා” යන පදයෙන් විග‍්‍රහ කරන ලදී. දිර්ඝ සංසාර ගමනට මෙතෙක් උපකාර වූ ප‍්‍රිය දේට ඇලීමේත්් අප‍්‍රිය දේට ගැටීමේත් මෝහයයෙන් මුළා වී කටයුතු කිරීමේත් පුරුද්ද අත්හැර (පස්ස) හේතුඵල දහමට බහා ගළපා බලා ආශ‍්‍රය කළයුතු වන්නේ උපේක්ඛා සිතින් ඉවසා කටයුතු කිරීමයි. මේ නිවනට මඟ පහදා දෙන ප‍්‍රතිපදාව වේ. (අස්ස)

”සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති” යන්නෙහි ”කාය” යනු ක‍්‍රියාකාරකම් හැඳින් වූ පදයයි. ”සබ්බ කාය” යනුවෙන් මෙහි සටහන් කර පෙන්වූයේ චක්ඛු කාය, රූප කාය, සෝත කාය, සද්ධ කාය, ඝාන කාය, ගන්ධ කාය, ජිව්හා කාය, රස කාය, කාය කාය, පොට්ඨබ්බ කාය, මනෝ කාය, ධම්ම කාය යන ක‍්‍රියාකාරකම් යුගලයන් හය හා විඤ්ඤාණ කායයන් හයක් පිළිබඳවයි. යම්කිසි ක‍්‍රියාකාරකමක් කරමින් බාහිර ලෝකයේ හා ආධ්‍යාත්මික ලෝකයේ පැවැත්ම දිගටම පවත්වා ගැනීමට යමක් එකතු කරගනී නම් එතැනදී අපි ඒ ක‍්‍රියාකාරකම ”සංඛාර” යනුවෙන් හඳුන්වනු ලැබේ. මේ ”සංඛාර” අවිද්‍යාමූල සංඛාර නම් ඒ සංඛාර සියල්ලන්ගෙන්ම උත්පාද වන සියලු ශක්තීන් නිසා ආධ්‍යාත්මයේ මත්වීමත් විඤ්ඤාණ ශක්තිය උත්පාදනයත් සිදු වේ. ඒ ශක්තිය සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යෑමට උපකාර කර ගනී. එම නිසා මේ ආකාර වූ අවිද්‍යා මූලයෙන් සංඛාර ක‍්‍රියාත්මක කිරීම පැවැත්වීම නවතා ඒවා ප‍්‍රහාණය කළ යුතුයි (පස්ස). කුසල මූල සංඛාර ක‍්‍රියාත්මක කරනවා නම් එතැනදී කරනු ලබන ක‍්‍රියාකාරකම් වලින් සිදුවන්නේ අතීතයේ එකතු කරගත් චිත්තසංථානයේ ගබඩා වී පවතින කෙළෙස් ගති ඉවත් කර අස් කර චිත්තසංථානය පිරිසිදු කර ගැනීමයි. එම නිසා කුසල මූල සංඛාර කර ඒවා ආශ‍්‍රය කර රාග, ද්වේෂ, මෝහ ගති සිතින්ම ප‍්‍රහාණය කළ යුතුයි. එය අස්ස යනුයි. මේ කුසල මූල සංඛාර ආශ‍්‍රය කිරීමයි. සබ්බ කාය යනු සියලු ක‍්‍රියාකාරකම් යන අදහසයි. දැන් අලුතින් ලැබූ ධර්ම අවබෝධයට අනුව සියලුම ක‍්‍රියාකාරකම්හි යෙදෙමින් කෙළෙස් ගති ශුද්ධ පවිත‍්‍ර කරන අතර අලුතින් කුණු කෙළෙස් එකතු කර නොගන්නා ක‍්‍රමවේදයකට දැන් හුරු පුරුදු වීමත් කළ යුතුවේ. පටිසංවේදී අස්ස, පටිසංවේදී පස්ස යනු මේ අලුත්ම ක‍්‍රමවේදයයි. මෙයට කලින් ධර්මාවබෝධයක් ලැබීමට පෙර කාලයේදී ක‍්‍රියාත්මක කරන ලද්දේ කෙළෙස් කුණු එකතු කරගන්නා කෙළෙස්ම භාවිතා කරමින් එකතු කරගත් කෙළෙස් ගබඩා කර ගනිමින් ඒවා වටිනවාය, සාරවත්ය යන නිගමනයට බැස ඒ අනුව ක‍්‍රියා කිරීමයි. දැන් ඊට හාත්පසින්ම වෙනස් වූ යථාභූත ඥාණ දර්ශනයක් ලැබූ නිසා කෙළෙස් යනු කුණු ගොඩක් පමණක්ම බව දැන් නිවැරදිවම දැක ගත් නිසා සම්මා දිට්ඨියටම පත් වූ නිසා දැන් කුණු ඉවත් කර සිත සංසිඳවාගෙන, කාය පස්සදියට හා චිත්ත පස්සදියට” පත් වීමෙන් ලබන ඉහාත්ම සුඛවිහරණයත් ලබා ගත හැකියි. මෙය නිරාමිස සුවයයි.

තමන්ම අදටත් විඳවන, අතීතයේත් විඳි සියලු දුක්වලට සියලු කරදර වලට එකම හේතුව තම ක‍්‍රියාකාරකම් නිසා උපදවාගන්නා අනවශ්‍ය මත්වීමේ රත්වීමේ ශක්තියයි. වෙනත් කිසිම බලවේගයක් මේ විශ්වය තුළ නැති බවත් දැන් දකී. මේ ක‍්‍රියාකාරකම් සියල්ලටම මුල් වූයේත් නිධාන හේතුව වූයේත් ප‍්‍රිය, අප‍්‍රිය යන අන්ත දෙකකට ගැතිවී ක‍්‍රියා කිරීමට පුරුදු වීමයි. ප‍්‍රිය දේ අල්ලා ගැනීමටත් අප‍්‍රිය දේ තල්ලු කර බැහැර කිරීමටත් මේ සියලුම ක‍්‍රියාකාරකම් කළ බව පැහැදිළි විය යුතුයි. උපේක්ඛා සිතින් මේ අන්ත දෙකම ඉවසා සියලු ක‍්‍රියාකාරකම් එකසේ ඉවසා දරාගත හැකිනම් කාය පස්සදි, වේදනා පස්සදි, චිත්ත පස්සදි තුනමත් සම්පූර්ණ කරගත හැකිවේ.

මෙතනදී මේ සත්‍යයන් යථා පරිදිම අවබෝධ කරගත් කෙනෙකුට පරමාර්ථ වශයෙන්ම ඇත්ත දැක ගන්නත් ලැබේ. ලෝකය යනු තමන්ම හදා ගත් එකක් බවත් මම විසින් ගොඩ නඟා ගත් මගේ ලෝකය විපරිණාමයට පත් වී, වෙනස් වී, කැඞී, බිඳී, ගෙවී විනාශ වී යන බවත් මනාව වැටහෙන්නට පටන් ගනී. ලෝකය යනු රාග, ද්වේෂ, මෝහ ගතිවලින් යුක්ත වන තත්ත්වයයි. ප‍්‍රිය බවෙන් ඇලෙන නිසා අප‍්‍රිය බවෙන් ගැටෙන නිසා, මානයෙන්, මෝහයෙන් මේ අන්ත දෙකටම පටළැවෙන නිසා මුංමුළා වෙන්නේ මම හදා ගත් ලෝකය තුළයි. මේ තත්ත්වය යථා පරිදි අවබෝධ කරගැනීමෙන්ම ”සබ්බකාය පටිසංවේදී” තත්ත්වයෙන් මිදී ”පටිනිස්සග්ග” යන අලුත් තත්ත්වයට පත් වීමෙන් ”පටිච්ච” නොවී සමුදය නිරෝධ කරගන්නටත් හැකි වේ.

මම දුක් විඳින්නේ මගේ සිතේම පවතින මෙතෙක් පැවතුණු ගති තුනක් නිසාම බවත් බාහිර ලෝකයක වරදක් නිසා නොවෙන බවත් දැන් යථා පරිදි තේරුම් ගැනීමට හැකි ශක්තිය දුක්ඛ අරිය සත්‍යාවබෝධය යනුවෙන් හඳුන්වනු ලැබේ. රාග, ද්වේෂ, මෝහ ගති තුනම පවතින්නේ තමන් තුළම වේ. ප‍්‍රිය, අප‍්‍රිය අන්ත දෙකක් පවතින්නේත් මේ ගති පවතින නිසයි. තමන් ලෝකයක් හදාගෙන ලෝකයක ජීවත්වන්නෙත් මේ ගති නිසයි.

”පස්සම්භයං කායසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති
පස්සම්භයං කායසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති”

අපි යමක් හොඳයි, ප‍්‍රියයි, මධුරයි යනුවෙන් තීරණයක් ගන්නේ මේ හොඳ දේ දිගින් දිගටම ඒ රිසි වූ පරිදිම තම මනාපය පරිදිම දිගටම පවත්වාගෙන යෑමට ඇති වූ බලවත් කැමැත්තක් නිසයි. ඒවාගේම අප‍්‍රියයි, අමනාපයි යනු ඒ අප‍්‍රිය දේ අකමැති දේ දිගටම පවත්වාගෙන යෑමට ඇති වූ බලවත් අකමැත්තයි. එහෙම නම් යමක් හොඳයි යනුවෙන් අදහස් කරන්නේ ඒ දේ ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පැවතීම හොඳයි යන බලාපොරොත්තුවයි. මේක තමන්ගේ හිතේම ඇති වූ පෞද්ගලික ප‍්‍රිය, අප‍්‍රිය බවක් නිසා මිස මෙය ලෝකයේ කාටත් පොදු වූ සර්ව සාධාරණ වූ නියත හේතුවක් මුල්කරගෙන ඇති වූ දෙයක් නොවන බව වටහා ගත යුතුයි.

හොඳයි යනුවෙන් තමන්ගේම සිතේ මතු වූ ප‍්‍රිය දේට ඇලෙන ගතිය නිසා තමන් ප‍්‍රිය කළ දේ දිගටම පවත්වා ගැනීමටත් අප‍්‍රිය දේ අත්හැරීමටත් දරණ උත්සාහය නිසා පුද්ගලයෙකු දුක් විඳී. මෙය තමන්ගේ සිතේ පවතින පුරුදු වී ක‍්‍රියාත්මක කරමින් පවතින ගතියක් බව තමන්ටම නොදැනීම නොතේරීම අඥාණකමයි. මේ නොදැනීම සියලුම ආකාර වූ භයට, වේදනාවට, කම්පනයට, චලනයට මුල් වේ. සියලුම ආකාරයේ සංඛාර සිත් කෙනෙකුගේ චිත්තසංථානයෙහි පහළවන්නේ තමන්ගේම සිත තුළ මෙවන් කෙළෙස් ආසව අනුසය මුල් බැස පවතින නිසයි. කෙළෙස් ක‍්‍රියාත්මක වන නිසයි.

ආශ‍්‍රය කළයුතු දේ සහ ආශ‍්‍රය නොකර බැහැර කළයුතු දේ යන කොටස් දෙක තුළට සියලුම ක‍්‍රියාකාරකම් බෙදා බලා පරිහරණය කිරීමට සුදුසු දේ පරිහණය කිරීමට හුරු පුරුදු වුණොත් එතැනදී ”පස්සම්භයං කායසංඛාකාරං” අස්ස පස්ස යන තත්ත්වයට පත් වේ.

මෙතැනදී ”භමකාරෝ භමකාරන්තේවාසීවා” යනුවෙන් උදාහරණයක් මගින් ද මෙය විග‍්‍රහ කරා පෙන්වා දී තිබේ. ”භම කාර” යනු යකඩයක් රත් කරන කම්මල්කරුවෙකු පිළිබඳව පෙන්වා දී කරන ලද උපමාවකි. මේ උපමාවෙනුත් පෙන්වන්නේ යකඩය රත්වන්නේ මයිනහම අදින ප‍්‍රමාණය අනුවයි යන බවයි. මයිනහමෙන් පිටකරන හා ඇතුලු කරන හුළගේ බලයේ වේගය අනුව යකඩයක් රත්වේ යන්න අස්ස, පස්ස යන්නට යොදාගෙන ඇත. මේ ආකාරයට අපත් දොරවල් හයකින්ම කරන, කියන, හිතන ක‍්‍රියාකාරකම් අනුව විඤ්ඤාණ ශක්තියත් උපදී. හිත රත් වන්නේත් මත් වන්නෙත් ඒ අනුවයි. හේතුඵල පරම්පරාවක් ක‍්‍රියාත්මක කරවමින් දිගටම සංසාර රිය ගමන ගමන් කරවන්නේත් මේ පිටතින් ඇතුළට එකතුකර ගන්නා ශක්තියේ ප‍්‍රමාණයටයි. මේ ශක්ති නිපදවන, ශක්ති ප‍්‍රභවය කරන හේතුවම පාලනය කරගන්නට තමන්ටම හැකි නම් මයිනහම අදින පුද්ගලයාට යකඩෙ රත්වීම පාලනය කර ගැනීමට හැකියාව ඇතිවා මෙන් අපටත් අපේම හිත පාලනය කර ගැනීමටත් ශක්තියක් ඇති වේ.

”ඉති අජ්ඣත්තංවා කායේ කායානුපස්සී විහරති
බහිද්ධාවා කායේ කායානුපස්සී විහරති
අජ්ඣත්ත බහිද්ධා වා කායේ කායානු පස්සී විහරති”

මෙතැනදී ”අජ්ඣත්ත” යනුවෙන් අර්ථ ගැන්වූයේ තමන් පිළිබඳවයි. ”බහිද්ධා” යනු බාහිර ලෝකයා පිළිබඳවයි. තමන් කරන, කියන, හිතන යම් කිසි ක‍්‍රියාකාරකමක්, හේතුවක් නිසා තමන්ට උරුම වන ඵලය, විපාකය යහපත් එකක් නම් ඒ ක‍්‍රියාව කළ යුතුයි. බාහිර ලෝකයාට එයින් උරුම වන ඵලය, විපාකය යහපත් ආකාරයේ ඵලයක්, විපාකයක් නම් ඒ ක‍්‍රියාවත් ක‍්‍රියාත්මක කළ යුතුයි.

තමන් කරන, කියන, හිතන යම් කිසි ක‍්‍රියාකාරකමක් නිසා එහි ඵලය, විපාකය ලෙසින් උරුම වන දේ තමන්ට අහිත කර නම් අපායගාමීවන ඵලයක් විපාකයක් උරුම වන්නේ නම් එම ක‍්‍රියාකාරකම නොකළ යුතුයි. ඒ ක‍්‍රියාකාරකම නිසා බාහිර ලෝකයාට උරුම වන ඵලය, විපාකය අයහපත් නම් අපායගාමී ඵලයක් විපාකයක් නම් එම ක‍්‍රියාකාරකම් නොකළ යුතුයි.

තමන්ටත් බාහිර ලෝකයාටත් යන දෙපාර්ශවයටම යහපතක් වන්නා වූ දෙපාර්ශවයේ ම නිවනට මඟ පාදන්නා වූ ක‍්‍රියාකාරකමක් නම් එය ක‍්‍රියාත්මක කළ යුතුයි. එවැනි දේ නිතර නිතර බහුලව කළ යුතුයි. තමන්ගේත්, අනුන්ගේත් නිවන් මඟට බාධාවන නිවන් මඟ අසුරා සිටින ක‍්‍රියාකාරකමක් නම් එවැනි ක‍්‍රියාකාරකමක් නොකර සිටිය යුතුයි. කායානුපස්සනාව ආධ්‍යාත්මික වශයෙන් තමන්ටත් බාහිර වශයෙන් බාහිර ලෝකයටත් යන දෙපාර්ශවයටම යහපතක් වන නිවනක් වන එකක්ම විය යුතුයි. මෙතැනදී තවත් අර්ථ විග‍්‍රහයක් පෙන්වා දිය හැකියි. තමන් විසින් කරන, කියන, හිතන යම් ක‍්‍රියාකාරකමකින් ආධ්‍යාත්මය (සිත) කිළිටි වේ නම් ඒ ක‍්‍රියාකාරකම නිසා තම සිත කිළිටි වේ නම් සිතේ කෙළෙස් උපදී නම් ඒ ක‍්‍රියාකාරකම නිසා බාහිර පුද්ගලයෙකුගේ සිතේ රාගය, ද්වේෂය, මෝහය උත්පාදනය වේ. ඒ ක‍්‍රියාව, කථාව, සිතුවිල්ල වහාම අතහැර දමා සිතින් අස්කර සිත නිදහස් කර ගත යුතුයි.

යම් කිසි ක‍්‍රියාකාරකමක්, සිතුවිල්ලක් තමා විසින් ක‍්‍රියාත්මක කිරීම නිසා එහි ඵල විපාකය ලෙසින් තම සිත, ආධ්‍යාත්මය පිරිසිදු වේ නම් කෙළෙස් ප‍්‍රහාණය වේ නම් එසේම බාහිර පුද්ගලයෙකුගේ චිත්තසංථානයේ පවතින කෙළෙස් රාග, ද්වේෂ, මෝහ ගති ඉවත්කර ගැනීමට හැකියාව ලැබේ නම් ඒ පුද්ගලයාටත් මේ ගති වලින් නිදහස් වී ඔහුගේ චිත්තසංථානය පිරිසිදු කරගැනීමට එම ක‍්‍රියාව, කථාව, සිතුවිල්ල උපකාර වේ නම් එම සිතුවිල්ල දිගටම පැවැත්වීමෙන් සිත පිරිසිදු කරගත යුතුයි.

ඒ අනුව මේ සූත‍්‍රයේදී ප‍්‍රකාශ කළ පරිදි ”අස්ස, පස්ස” යන අවස්ථා දෙකේදීම සිත පිරිසිදු කර ගැනීමට හැකියාව ලැබේ. ආධ්‍යාත්මය පාරිශුද්ධ වේ. තමන්ගේ සිතත් පිරිසිදු වේ. බාහිර පුද්ගලයෙකුගේ සිතත් පිරිසිදු වේ. හිතට වහල් වී හැඟීමට වහල් වී යමෙක් ක‍්‍රියා කරන්නේ විඤ්ඤාණයට ආහාර සොයා දීමේ අරමුණෙනිි. විඤ්ඤාණයේ වැඩකාරයෙකු ලෙසින්ම ඒ අරමුණ ක‍්‍රියාත්මක කරනු ලැබේ. නමුත් හිතට වහල් නොවී හැඟීමට වහල් නොවී ප‍්‍රිය බවට නොඇලී අප‍්‍රිය බවට නොගැටී මුළා නොවී කටයුතු කිරීමට නම් තම සිතුවිලි පාලනයක් කර ගත යුතුයි. හේතුඵල ධර්මතාවයට බහා ගළපා බලා තමන් ක‍්‍රියාත්මක වීමට නිතරම පුරුදු විය යුතුයි. සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියාකිරීම යනු මෙවන් අලුත් පුරුද්දක් ඇති කර ගැනීමයි. පුරුද්ද දිගටම පුහුණු කර ගැනීමයි. සිත ඒ සඳහාම පදම් කර ගැනීමයි.

”සමුදය ධම්මානු පස්සීවා කායස්මිං විහරති
වයධම්මානු පස්සීවා කායස්මිං විහරති
සමුදය – වයධමමානු පස්සීවා කායස්මිං විහරති”

ජීවිත පැවැත්ම දිගින් දිගටම සසර පුරාම පවත්වාගෙන යෑමට නම් යම්කිසි ශක්තියක් උත්පාදනය කරගැනීම අවශ්‍යම වේ. මේ ශක්තිය සමුදය ශක්තිය ලෙස ධර්ම විග‍්‍රහයේදී පෙන්වා දී ඇත. සමුදය ශක්තියේ කොටස් දෙකක්ම විග‍්‍රහ වේ. මේ උපන් ජීවිතය මරණය තෙක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය ශක්තිය උත්පාදනය කර නිපදවීම පළමු වැන්නනයි. මේ පවතින ජීවිතයෙන් පසුවත් මතු යළි යළිත් උපතක් ලැබීමට අවශ්‍යවන උපකාරවන විඤ්ඤාණ බීජ සකස් කිරීම දෙවැනි ආකාර ශක්තියයි. විඤ්ඤාණ බීජ නිපදවන පංචස්කන්ධයම උපාදානය කරගන්නට උපකාරවන, සංඛාර සිත් පැවැත්වීම යන දෙවන ක‍්‍රියාව වෙන්කර දැක ගැනීම අත්‍යාවශ්‍ය වේ. නිවන් අවබෝධ කර ගැනීම යනු මේ දෙවැනි ආකාරයේ සංඛාර කරමින් ශක්තියක් ප‍්‍රභවය කරගන්නා ආකාරය පැහැදිළිවම දැක ඊට මුල්වන ඊට නිදාන වන හේතුවම නිරෝධ කර ඒ ශක්තියම අනුත්පාද කිරීම කළ යුතුයි. පංචස්කන්ධය පරිහරණය කිරීම පංචස්කන්ධය භාවිතා කිරීම සේම ඉන්ද්‍රියයන් හයම භාවිතා කරමින් ක‍්‍රියා සිත් පැවැත්වීමත් මේ උපන් ජීවිතය මරණය දක්වාම පවත්වාගෙන යෑමට අවශ්‍යයෙන්ම උපකාර වන නිසා අරහත් තත්ත්වයට පත් වූ නිවන් දුටු අරහතුන්වහන්සේත් ක‍්‍රියා සිත් පැවැත්විය යුතුයි.

සංඛාර සිතක් පවත්වනාත් සමඟම සමුදය ශක්තියක්ද උත්පාදනය වේ. ශක්තිය බිහිවූ මොහොතේ පටන්ම ඒ උත්පාදනය කරගත් සමුදය ශක්තියත් වැය කර ගෙවා දමා හේතු ඵල පරම්පරාවක් ක‍්‍රියාත්මක කරමින් සංසාර ගමන පවත්වාගෙන යයි. අවිද්‍යා මූලයෙන් උපදින සංඛාර සිත් පැවැත්වීම නිරෝධ කර නවතා දැමීමත් සමඟම සමුදය ශක්තියක් බිහි නොවේ. සමුදය ශක්තියක් උත්පාදනය නොවෙන විට රාගයෙන් මත් වී ඇලීමක් ඇති නොවේ. ද්වේෂයෙන් මත් වීමෙන්ද ගැටීමක් ඇති නොවේ. මෝහයෙන් මත් වී මුළාවෙන් පටිච්ච නොවේ. මත් නොවූ සිතකින් රත් නොවූ සිතකින් අනවශ්‍ය වේගයක්, ශක්තියක් අලුතින් බිහිනොවන නිසා ක‍්‍රියාවේ වේගය දැන් සංසිඳුණු බවත් තේරුම් ගනී. මේ ක‍්‍රියාවලියට අපි සමුදය නිරෝධ කිරීම යනුවෙන් හඳුන්වමු. ”ඒවංපි භික්ඛවේ කායේ කායානුපස්සී විහරති” යනුවෙන් ඉතාම පැහැදිළිව දේශණා කර වදාළේ එවන් වූ භික්ඛුවක් භව ඛයකර දමන්නට බිහි කිරීමේ ශක්ති මූලය උදුරා දමන්නට ක‍්‍රියා කරන බව පෙන්වා දීමටයි.

ප‍්‍රිය, අප‍්‍රිය යන අන්ත දෙකටම මෝහයෙන් මුළාවෙන් පටිච්ච නොවන අරහතුන් වහන්සේට පෙර කරන ලද ඉතිරි අතීත කර්ම කොටසක් ඵල දුන්නත් ඒවායෙන් මතුවන විපාකයන් උරුම කර නොගනී. උපේක්ඛා සිතින් ඒ සියල්ලමත් බැහැර කරන නිසා පටිච්ච නොවූ තත්ත්වයක් යටතේ ”අනුත්පාදෝ නිබ්බානං” යන්න අරහතුන්වහන්සේගේ තත්ත්වය ලෙස විග‍්‍රහ කළ හැක. පටිච්ච වීමක් සිදු වුවහොත් පමණක්ම ”සං” උත්පාද වේ. සමුදය ධර්මයක් බිහි වේ. ”නපටිච්ච” නම් සං උත්පාද නොවන නිසා අනුත්පාදෝ තත්ත්වය පවතී.

”සං උත්පාද වීමයි දුකට හේතුව    –    අනුප්පාදෝ සුඛං
සං උත්පාද වීමයි භයට හේතුව    –    අනුප්පාදෝ ඛේමං (සහනයයි)
සං උත්පාද වීමයි ආමිසයට හේතුව    –    අනුප්පාදෝ නිරාමිසං
සං උත්පාද වීමයි සංඛාර කිරීමට හේතුව    –    අනුප්පාදෝ නිබ්බානං”

මේ ආකාරයට හේතුඵල දහමට බහා ගළපා බලා කටයුතු කිරීමට යම් කෙනෙකු පුරුදු පුහුණු වුණොත් සමුදය නිරෝධ කිරීමට පුරුදු පුහුණු වුණොත් ඔහු සතර සති පට්ඨානයෙහිම පිහිටා ක‍්‍රියා කරන්නකු බවටත් අරිය මාර්ගය අනුගමනය කරන අරිය උත්තමයෙකු බවටත් පත්වේ. අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගන්නා පුද්ගලයා අරිය මාර්ගයේ ගමන් කරන්නෙකු බවටම පත් වේ.

පෘථග්ජන පුද්ගලයෙකු ඉරියාපත හතරෙදීමත් සියලුම ඉරියවුවලදීත් අසතියෙන්, අනවබෝධයෙන් කටයුතු කරයි නම් ඒ පුද්ගලයා අතින් පව්කම් සිද්ධ වේ. පව්කම් කරනවා යනු ඇලීමක් ගැටීමක් හෝ මුළාවක් නිසා කරන වැරදි ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමයි. හැම පෘථග්ජන පුද්ගලයෙකුම ඔහුගේ අවබෝධයේ ප‍්‍රමාණයට අනුව දැකීම අනුව ඔහුම හුරු පුරුදු කරගත් ජීවිත රටාවකට කොටු වී කටයුතු කරති. ඒ ජීවිත රටාවට ගැළපෙන කතාවක්, ක‍්‍රියාවක්, සිතිවිල්ලක් නම් ඔහුට එය සැපයකි. පි‍්‍රය දෙයකි. ඒ ජීවිත රටාවෙන් පිට පනිනවා නම් එයම දුකකි. අප‍්‍රිය දෙයකි. නමුත් පෘථග්ජන පුද්ගලයා නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ මැදි වී ඉන්නේත් බාහිර ලෝකයත් සමග බව ඔහුටම හිතාගත නොහැකියි. අභ්‍යන්තර ලෝකය බාහිර ලෝකය ලෙස ලෝක දෙකක් තමන් හදාගෙන නොතිබිණි නම් අභ්‍යන්තර ලෝකයට හැම අතින්ම ගැළපෙන ආකාරයේ බාහිර ලෝකයක්ද හැම විටම පවතිනවා නම් එය සදාකාලික සැපතකි. එසේම අපට බාහිර ලෝකය වෙනස් කළ නොහැකි බවත් තේරුම් ගත යුතුයි. නමුත් අභ්‍යන්තරව තමන්ම හදාගත් තමාගේම ලෝකය නම් වෙනස් කර ගැනීමටත් සුඤ්ඤත තත්ත්වයට පත්කර ගැනීමටත් හැකියි. අභ්‍යන්තර ලෝකය හා බාහිර ලෝකය අතර බැඳීමක් ඇති නිසාම පෘථග්ජන කෙනෙකුට මේ සියලු රිදීම් සියලු වේදනා දුක් උරුම විය. හැම පෘථග්ජන පුද්ගලයෙකුම අවිද්‍යාව නිසා ඇත්ත ඇති සැටි නොදන්නා කම නිසා උත්සාහ ගන්නේම බාහිර ලෝකය වෙනස් කිරීමටයි. තමන්ට ගැළපෙන, තමන්ට සුදුසු, තමන්ගේ මනාපයට සුදුසු පරිදි වූ බාහිර ලෝකයක් නිර්මාණය කිරීමට දරණ හැම උත්සාහයකදීම තව තවත් දුක් දොම්නස්, උපායාස, පරිදේව තමන්ටම උරුම වන බව, හිමිවන බව නොදන්නා නිසා බාහිර ලෝකය සෑදීමටම උත්සාහ ගනී. මේ අවිද්‍යාව, නොදැනීම දුකට මුල් වේ.

”කායේ කායානුපස්සනාව” මඟින් විග‍්‍රහ කර පෙන්වා දුන් ”පබ්බ” හයේදීමත් ”අජ්ඣත්තංවා කායේකායානුපස්සී විහරති, බහිද්ධාවා කායේ කායානුපස්සී විහරති” පිළිබඳව විශේෂයෙන්ම හැම තැනකදීමත් පෙන්වා වදාළේ මේ ආධ්‍යාත්මික හා බාහිර යන ලෝක දෙකක් අතර පවතින බැඳීම, සම්බන්ධය විග‍්‍රහ කර පෙන්වා පැහැදිළි කර දීම සඳහායි. මේ ආකාරයට ද්වතාවයක් පවතින තුරු සිතින්ම ඇති කරගන්නා හැම බැඳීමක්ම සම්බන්ධයක්ම දුකට මුල් වේ. මේ බැඳීම පිළිබඳව යථා තත්ත්වය, සත්‍ය තත්ත්වය, අරිය සත්‍යය තේරුම් ගැනීම චතුරාර්ය සත්‍යයන් අවබෝධ කර ගැනීමයි. මේ බැඳීම ආධ්‍යාත්මික වූ කැමැත්තක්, රුචියක් නිසාම සිදුවන්නකි. මේ බැඳීම ”පටිච්චවීම” යි. මේ බැඳීම නිසා සම්බන්ධයක් උපත ලබයි. මේ සම්බන්ධතාවයට මුල් වූ ක‍්‍රියාවලිය පටිච්ච සමුප්පාද කි‍්‍රියාවලියයි. හේතුඵල ක‍්‍රියාදාමයක් යනුවෙන් සිංහල බසින් හඳුන්වන්නේත් මෙයමයි.

අභ්‍යන්තර, බාහිර වශයෙන් වෙන් කර මේ බැඳීම් වලට හේතුවත් හේතුව නිසා උපදින ඵලයත්, සම්බන්ධයත් වෙන් කොට දැකගත හැකි වන්නේ ඉරියාපත පබ්බය නිවැරදිවම අවබෝධ කර ගැනීමෙනුයි. ”සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා” යන පද යුගලයෙන් මෙය තවත් පැහැදිළි වේ. ”සං උදය” නොවුණොත් සම්බන්ධයක් සිද්ධ නොවුණොත් වැය වීමට හෝ ගෙවී යාමට හෝ කිසිවක් නොවේ. එහෙම නැත්නම් සියලුම සමුදය ධර්මයන් යම් ශක්තියකින් හිතින්ම හදාගත්, බිහිකරගත් දේ නිසා නියාම ධර්ම ක‍්‍රියාත්මක වීමත් සමඟ ඒ සියලු බැඳීම් සම්බන්ධතා වැය වී, ගෙවී වෙනස් තත්ත්වයන්ටත් පත් වේ. එහෙම නම් හිතින්ම හදා ගත්, හිතේම මතු වූ ”පටිච්ච” වීම මේ සියල්ලන්ටම මුල් වූ හේතුව වේ. සමුදය වීම (සං උපත) නැවැත්වීමට හැකි එකම ක‍්‍රමවේදය ”පටිච්ච” නොවී සිත උපේක්ඛා තත්ත්වයෙන් පවත්වාගෙන යාමට පුරුදු වීම, පුහුණු වීමයි.

මේ අනුව ”සං” උපදින ආකාරය, සමුදය හා ”සං” ක‍්‍රියාත්මක වන ආකාරය සම්බන්ධය දැන ගැනීමට නම් සංදේශණාවක් අසාම කරුණු කාරණා තේරුම් ගත යුතුයි. සතර සතිපට්ඨානයේම පිහිටා ක‍්‍රියා කිරීමට නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට නම් ”සංදිට්ඨිකෝ” තත්ත්වයට පත් වී සම්මා දිට්ඨියටත් පත් විය යුතුමයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.