5. වේදනාසු වේදනානුපස්සනාව

සෑම පෘථග්ජන පුද්ගලයෙකුම ඉන්ද්‍රියයන් පිනවීම සැපය, සුවය, සතුට, සන්තෝෂය යනුවෙන් හඳුන්වයි. මෙසේ ඇස, කන ආදී ඉන්ද්‍රියයන් පිනවා සතුටක් ලැබිය හැක්කේ බලාපොරොත්තුවක් සිත තුළ රැඳී පවතින තුරුම පමණි. ”සුඛ වේදනං වේදියමානෝ” යන පදවලින් පෙන්වා දුන්නේ හිත පිනවන ආමිස – සාමිස බලාපොරොත්තුවක් හිතේ පවතින තුරාවටම කෙනෙකුගේ පංච ඉන්ද්‍රියයන්ම පිනවන ස්වරූපයක් පවතින බවයි. ”වේදියමානෝ” යනු විඳවීමේ, දැනීමක් පවතින අදහසයි. බලාපොරොත්තුවක් ඉටුවීමත් සමඟ හෝ බලාපොරොත්තුවක් කඩ වීමත් සමඟම හෝ මේ සැප විඳවීමේ වේගය අවසන් වේ. ඒ අවසන් වන්නේ සුඛ වේදනාවයි. දැන් මතුවෙන්නේ දුක් වේදනාවක් හෝ අදුක්ඛම අසුඛ වේදනාවකි. ”පජානාති” යනුවෙන් මෙතැනදීද මේ අවස්ථාව විග‍්‍රහ කර ඇත. පෘථග්ජන පුද්ගලයෙකුට පවා සතියෙන් යුතුව කටයුතු කරන විට මේ සුඛ වේදනාව, දුක් වේදනාව හෝ අදුක්ඛම අසුඛ වේදනාව උපදින ආකාරය තමා තුළින්ම තමාටම දැනගැනීමට හැකි නම් ඒ උසස් දැනුම මෙතැනදී ”පජානාති” කියන පදයෙන් අර්ථ ගන්වන ලදී. මෙහිදී වර්ග දෙකොටසක් විග‍්‍රහ කර පෙන්වා දී ඇත. ”සාමිසං සුඛං වේදනා වේදියාමීති පජානාති” ‘‘නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිස සුඛං වේදනං වේදියාමීති පජානාති”යන කොටස් දෙකයි.

සාමිස සුවය – සුඛය යනු බලාපොරොත්තුවක් සිත තුළ පවත්වාගෙන ඒ බලාපොරොත්තුවේ හිතින්ම එල්ලී ඇලී ඒ බලාපොරොත්තු පවතින තුරා ඉන්ද්‍රියන් පිනවීමයි. මෙතැන විග‍්‍රහ වන්නේ යමක් උපාදානය කර ගැනීමේ සුවයක් පිළිබඳවයි. ඒ බලාපොරොත්තු වූ දේ උපාදානය කර එහි අයිතිකරු බවට පත් වීම නිසා බැම්මකට බැඳේ. මේ බැඳීම නිසා බරක් ඉසිලීමටද සිදු වේ. ඒ බර වටිනවා යනුවෙන් සිතන නිසාත් සාරවත් නිසාත් අල්ලගෙන උපාදානය කරගනී. මේ නිසා බලාපොරොත්තුව ඉටු වනතුරු පැවති සාමිස සුවය දැන් බලාපොරොත්තුව ඉටුවීමත් සමඟම දුකක් බවටත් පරිවර්තනය වේ. මේ විපරිණාමය පෘථග්ජන පුද්ගලයෙකුට දැක ගත නොහැකියි. එසේ දැක ගැනීමට පෙර විඤ්ඤාණය අලුත් බලාපොරාත්තුවක් එම සිතේම බිහි කරයි. මතු කරයි. ඒ නිසා දැන් යළි යළිත් අලුත් බලාපොරොත්තුව තුළින් සාමිස සුවයක් විඳී. දුක යටපත් කරවනු ලැබේ.

නිරාමිස සුවය යනු මීට හාත්පසින්ම වෙනස් සුවයකි. බලාපොරොත්තුවක් නිසා ලෞකික යමක් උත්පාදනය කර ගැනීම හිතේ භයට, බැම්මට, බරට මුල් වේ. දැන් යමක් උත්පාදනය කරගැනීමේ බලාපොරොත්තුවක් නැතිනම් එතැනදී බරක්, භයක්, බැම්මක් හෝ බලයක්ද සිත තුළ ඇති නොවේ. සිත නිදහස් වේ. දැන් නැති වීමට හෝ අහිමි වීමට හෝ දෙයක් නොමැත. මේ සුවය නිරාමිස සුවයයි. ”නිරාමිසං දුක්ඛං වේදනං වේදියාමීති පජානාති’’ යනුවෙන් විග‍්‍රහ වන දේ පිළිබඳවත් මෙහිදී දැනගත යුතුයි. අතීතයේදී තමන් අල්ලාගෙන සිටි, උපාදානය කරගෙන සිටි දේ දැන් අතහැර එක් වරම නිදහස් වීමත් වේදනාවක්, හිතට දුකක් ලෙස දැනෙතත් එයද උපේක්ඛා සිතින් ඉවසීමට පුරුදු වීම නිසා දැන් නිදහස් වීමේ සුවය බලවත්ව අත්විඳ ගැනමට හැකිවේ. ඒ නිසා අත්හැරීමේ සුවය දිගින් දිගටම අනන්තය තෙක්ම ලබන සුවයක් බවට පත්වේ. මේ නිරාමිස සුවයයි. සදහටම බරෙන්, බයෙන් බැම්මෙන් මිදී නිදහස් වීම නිරාමිස සුවයයි. මේ සුවය පිළිබඳව ඇතිවන දැනුම වේදනානුපස්සනාවයි. මෙතැනත් ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් සිතේ මතුවන බලාපොරොත්තු අත්හැරීමෙන් ”මම”, ”මාගේ”, ”අපි”, ”අපේ” යන කොටස් දෙකම පිළිබඳව තිබූ උපාදානයත් අත් හැරේ. ”නච කිංචි ලෝකේ උපාදියති” උපාදානය කරගත් කිසිම දෙයක් සිතේ නැති කළ සිතින් හදාගත් ලෝකයකුත් නොපවතී. ලෝකය යනු සිතින්ම උපාදානය කර ගත් සියලුම දේ සහ ඒවාම පරිහරණය කිරීම බව දැන් මනාව තමාටම අවබෝධ වේ.

මෙතනදී වේදනානුපස්සනාව යනුවෙන් විශේෂයෙන් කළ යුතු දෙයක් නැත. ක‍්‍රියාවේ වේගය කායේ කායානුපස්සනාව වැඞීමත් සමඟම එහි වේදනාවේ වේගය සංසිඳීමත් දැන ගැනීම (පජානති) පමණක් අවශ්‍ය වේ. මෙතැනදී යථා පරිදි දැන ගත යුතු දේ වනුයේ අපි ඉන්ද්‍රියයන් පිනවීම සඳහා ප‍්‍රිය දේ සමඟ ඇලී, ප‍්‍රිය දේ උපාදානය කර ගැනීමට ඇති බලාපොරොත්තු සුව වේදනාව බවත් අප‍්‍රිය දේ සමඟ ගැටී ඒවා බැහැර කිරීමට ඒවාට විරුද්ධව ක‍්‍රියා කිරීමට ඇතිවන බලාපොරොත්තු නිසා ඇති කරගනු ලබන උපාදානය (විභව තණ්හා) දුක් වේදනාව ලෙසත් මෙහිදී වේදනාව පිළිබඳව වටහා ගත යුතු වේ. මේ අනුව කායේ කායානුපස්සනාව වැඞීමේ ප‍්‍රතිඵලයක් ලෙස ක‍්‍රියාවේ වේගය සංසිඳී, උපේක්ඛා සිතින් ඉවසා විමසා කටයුතු කරන්නට වීම නිසා දැඩිව ප‍්‍රිය දේට ඇලීමත්, දැඩිව අප‍්‍රිය දේ සමඟ ගැටීමත්, මානයෙන් මෝහයෙන් මුළා වීමත් ක‍්‍රමානුකූලවම අවමකර ගැනීමෙන් වේදනානුපස්සනාවද සම්පූර්ණ වේ. දැන් විඳවීමේ වේගයද සංසිඳ වේ.

බාහිර ලෝකයේ අනන්ත අප‍්‍රමාණ වූ සිද්ධීන් සිදු වේ. එක පුද්ගලයෙක් පිළිබඳව සලකා බැලූ විට ලෝකයේ සිදුවන සියලුම සිද්ධීන් නිසා පුද්ගලයෙකුගේ සිතට වේදනාවක් ඇති නොවේ. තමන්ගේ සිතට අරමුණ වූ යම් වෙනස්කමක් සිත තුළ ඇති කරවන සිද්ධියක් නිසා පමණක් කෙනෙකුට වේදනාවක් ඇති වේ. වේදනාව සැප වේදනාවක් වන්නේ ඒ සිදුවීමට ප‍්‍රිය වුවහොත් පමණි. වේදනාව දුක් වේදනාවක් වන්නේ ඒ සිදුවීම අප‍්‍රිය, අමිහිරි වෙනස්කමක් සිතේ ඇති කරවන්නට හේතුවෙනවා නම් පමණි. ප‍්‍රිය දේත් උපාදානය කරගනී. අප‍්‍රිය දේත් අතීතයේ උපාදානය කරගත් දේවල්ම වේ. මේ ආකාරයට සිතේ යම් වෙනසක් සිදුවීම වෙනසක් දැනීම සංඥා යනුවෙන් හඳුන්වයි. සිතේ ඇති වූ වෙනසට ප‍්‍රිය අප‍්‍රිය වීම නිසා ඒ වෙනසට දිගටම සම්බන්ධ වීම සංඛාර කිරීමයි. ක‍්‍රියා සිතකින්, කාර සිතකින් කරන්නේ ඒ දැනීම අනුව යම් ක‍්‍රියාවක් කිරීමයි. ක‍්‍රියා සිතකින් යමක් උපාදානය කර නොගනී. නමුත් පරිහරණය කිරීම පමණක් සිදු කරයි. යමක් අල්ලාගෙන තමාටම යනුවෙන් බදාගෙන දිගින් දිගටම පරිහරණය කිරීමේ ආසාවක්, අවශ්‍යතාවයක් උපාදානය කිරීම යනුවෙන් හඳුන්වයි. එහෙම නැතිනම් තමාගේම තනි පරිහරණයට වෙන් කර ගැනීම උපාදානය කර ගැනීමයි. තමන්ට හිමි කොටස පමණක් පරිහරණය කිරීම උපාදානය කර ගැනීමක් නොවේ. ඒ මොහොතට අවශ්‍ය දේ පරිහරණය කිරීම පමණක් සිදු කරයි. මතුවට පරිහරණය කිරීමේ බලාපොරොත්තුව ඇතහැර ඇත. බුදුපියාණන්වහන්සේ බුද්ධත්වයට පත්වී ගත කළ වසර හතළිස් පහම තුළදී පංචස්කන්ධයම පරිහරණය කළ නමුත් පංචස්කන්ධය උපාදානය කර ගත්තේම නැත. මේ දෙක අතරෙ ඇති වෙනස දැන ගැනීමත් සමගම වේදනානුපස්සනාවත්, චිත්තානුපස්සනාවත්, ධම්මානුපස්සනාවත් යන තුනම වැඬේ.

”සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට” පත්වූ අරහතුන්වහන්සේ කෙනෙකුන් පමණක් ලබා ගන්නා උසස්ම සමාපත්තියට පත්වීමේදී සිදුවෙන්නේ සංඥා සියල්ල නැතිවීමක් නොවෙයි. අරහතුන්වහන්සේලාට පෘථග්ජන පුද්ගලයෙකුටත් වඩා බොහොම පිරිසිදුව පැහැදිළිව සියලුම සංඥා ලැබුණත් ඒ සංඥාවන් හේතු කොට ගෙන උත්පාදනය වන විඳවීම, වේදනාව නොලබන තත්ත්වයට ”වේදයිත” තත්ත්වයට පත්වේ. ”වේදයිත” යනු වේදනා විඳීමෙන් තොරවූ තත්ත්වයයි. සැප විඳීමේ හෝ දුක් විඳවීමේ හෝ බලාපොරොත්තුවෙන් තොරව ක‍්‍රියාකාරකමක් නොකරන විට සමුදය නිරෝධ වේ. ”සං” උත්පාදනය නොවී නිර්උදා තත්ත්වයට සිත පත් වේ. එහෙම නම් ”සං” උදාවීමට මූළික වන හේතුව සංඥාවකට ඇලීම හෝ ගැටීම නිසා වේදනාවක් රත්වීමක් මත් වීමක් නිසාම යම් ශක්තියක් සිත තුළම ජනිත කරගැනීමයි. මේ ශක්තියක් ජනිත වීම ”සංපජානනය” වීම යථා පරිදි දැක ”සං” ප‍්‍රහාණය කර වේදනා නොවිඳින වේදනාවෙන් තොරවූ තත්ත්වයට පත්වීම ”සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය” වේ. ”සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට” පත් වූ අරහතුන්වහන්සේ ”අස්ස පස්ස” යන ක‍්‍රියාකාරකම් දෙකම නොකරයි. මෙතැන ”අස්ස පස්ස” යනුවෙන් අර්ථ ගැන්වූයේ රාග, ද්වේෂ මෝහ ගතියෙන් යුතුව කරන, කියන, සිතන සියලුම ක‍්‍රියාකාරකම් ආශ‍්‍රය නොකිරීම පිළිබඳවයි. හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම පිළිබඳව මෙහිදී කිසිවිටෙකත් අදහස් නොකෙරේ. ප‍්‍රහාණය කිරීමට දැන් එවැනි ගති තමා තුළ නොමැති නිසා දැන් ඒවා ප‍්‍රහාණය කිරීමකුත් නොකරයි.

සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පත් වූ අරහතුන්වහන්සේට හුස්ම නොගෙනම දිගටම සිටිය හැකි බව යම් කෙනෙකු පවසනවා නම් එය වැරදි මතයකි. විවේක නිශ‍්‍රිත, විරාග නිශ‍්‍රිත, වොස්සග්ග පරිණාමී තත්ත්වයට පත්වීම මෙතැනදී සිදුවේ. ක‍්‍රියාවේ වේගය සංසිඳවා වේදනාවේ වේගය සංසිඳවා චිත්තාවේගය සංසිඳවා සියලු උපාදානයෙන් තොර වූ වොස්සග්ග තත්ත්වයට පත් වූ විට සංඥා වේදයිත තත්ත්වයට පත්වේ. හුස්ම ගැනීම පිට කිරීම දැනුමක් නැතිවම මෙතැනදී සිදු වේ. මෙතුවක් කාලයක් තම පාලනයෙන් තොර වූ සිතට වහල් වීමෙන් කැමැත්තට වහල් වී සිදු වූ දේ දැක දැන් සම්පූර්ණ වශයෙන්ම ඒවායේ වේගය පාලනය කර සංවරව, සංසුං වී, සංයමයට පත්වීමෙන් සම්මා තත්ත්වයට පත්වීම මෙතැනදී සිදු වේ.

අපි සම්මත ලෝකය යනුවෙන් නම් කරන මේ බාහිර ලෝකයේ යම් වරදක් නිසා දුක්, දෝමනස්ස වැනි වද වේදනා කිසිවිටෙකත් නොවිඳවමු. අපේ හිතේම කෙළෙස් ගති මුල් බැසගෙන පවතින නිසා දුකක් දොම්නසක් ඇති වීම සිදු වේ. තමන්ගේම හිතේ මුල්බැස ගෙන ක‍්‍රියාත්මකව පවතින මේ කෙළෙස් ගති තමන්ටම නොපෙනී තමන්ටම නොදැනීම (නප්පාජනාති) චතුරාර්ය සත්‍යයන් අවබෝධ නොවීමත් අවිද්‍යාවෙන් තණ්හාවෙන් කටයුතු කිරීමත් ලෙස හැඳින්වේ. යම් කෙනෙකුට ධර්මාවබෝධය ලැබී පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගැනීමට ශක්තිය හා හැකියාව ලැබුණොත් ඔහු ”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වයට පත්වේ. තමන්ගේම සිතෙහි මුල් බැසගෙන පවතින ක‍්‍රියාත්මක වන ”සමුදය” දැක ගනී. එනම් තමන්ගේම සිතේ මුල් බැස ගෙන ක‍්‍රියාත්මක වන රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති නිසාම මිස බාහිර ලෝකයේ වරදක්, දෝෂයක් නිසාවෙන් දුක් විඳින කෙනෙක් නැති බවත් දකී. මේ දැකීම දුක පිළිබඳව අරිය සත්‍යය අවබෝධ වීමයි. දුක්ඛ අරිය සත්‍යය අවබෝධය මෙන්ම සමුදය අරිය සත්‍යය අවබෝධ වීමත් මෙහිදී එක වරම සිදු වේ. ”සං” උදා වීම දුකට හේතුව බව නිවැරදිව දැන ගත් පුද්ගලයාට ”සං” නිරෝධ (නිර් උදා) කිරීමටත් හැකි වේ. මේ නිරෝධ ආර්යිය සත්‍යයයි.

Share Button

One thought on “5. වේදනාසු වේදනානුපස්සනාව

  1. ​ඉතාම වටිනා වෙබ් අඩවියකි.වර්තමානයේ සමාජයට ධර්මය ඉගෙනීමටත් , ඒ අනුව ජීවිත පවත්වාගෙන යාමට පිහිට වෙනු ලබන මෙවෙනි ධර්ම ගබඩාවන් වැඩි දියුණු වේවා. මා පිට රටක සිට ධර්ම පිපාසාවෙන් සිටින විට අන්තර්ජාලයෙන්ම මෙම ධර්ම ගබඩාව සොයා ගත හැකි විය. මෙය සැකසු හිමිවරුන් ඇතුළු සැමට සත්‍යාවබෝධය ලැබේවා . තෙරුවන් සරණයි. ​

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.