6. චිත්තානුපස්සනාව

සෝවාන් ඵලය ඉලක්ක කරමින් සෝවාන් ඵලයක් ගැන හෝ වෙනත් මාර්ග ඵලයක් ගැන හෝ දැඩි බලාපොරොත්තුවක් සිතේ ඇතිව භාවනා කිරීම හෝ කර්මස්ථාන වැඞීම හෝ යමෙකු කරයි නම් එයද වැරදි ක‍්‍රමයකි. මාර්ග ඵලයක් ලැබීමය යන්න එසේ දැඩි බලාපොරොත්තු ඇති කරගෙන ලබාගත හැකි එකක් නොවෙයි. ලෞකික වශයෙන් යම් භාණ්ඩයක් අයිතිකර ගැනීමේදී නම් යම් බලාපොරොත්තුවක් තබා ගෙන ඒ සඳහා ක‍්‍රියා කිරීම කළ හැකිය. නමුත් මෙතැන මාර්ග ඵලයක් ලබාගැනීම එවැනි බලාපොරොත්තු ඇති කර ගනිමින් එහිම එල්බ ගෙන සිට ලබාගත හැකි දෙයක් නොවේ. යම් බලාපොරොත්තුවක් සිතක ඇති වූ විට එය ලබා ගන්නා තෙක් සිතේ ඉවසීමක් නැත. සිත විසිරේ. ගිනි ගනී. මාර්ග ඵලයක් යනු නිදහස් වීමකි. සිත ගිනි ගන්නා, සිත විසිරෙන, සිත මත් කරවන, සියලු දේ අත්හැරීමෙන්ම ලබාගත හැකි නිදහස් තත්ත්වයකි. යමෙකු සෝවාන් ඵලය බලාපොරොත්තු වේ නම් ඒ ඵලය නොලැබෙන තුරාවටම සිතත් රිදේ. නමුත් සෝවාන් ඵලය යනු ප‍්‍රායෝගික වශයෙන්ම අත්හැරිය යුතු දේ අත්හැරීමෙන්ම ගින්නේ වේගය නිවීයන ක‍්‍රියාවලියකි. මෙහි අලුතින් ලබාගත යුතු අලුත් තත්ත්වයක් ලබා ගැනීමක් නැත. සිතේ මෙතෙක් කල්ම ගබඩා වී තිබූ කුණු කන්දල් දැක ඒවා ඉවත් කර සිත පිරිසිදු කරගැනීම මෙතැනදී ඵලයක් ලැබීම ලෙස සැළකිය යුතුයි.

”සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා” යන ක‍්‍රියාකාරකම් දෙකෙන්ම සිදු වන්නේ සිත පිරිසිදු වීමකි. ”අකරණං” යනු පාපකාරී ක‍්‍රියාවන් කිරීම අත්හැරීමයි. අලුතින් කෙළෙස් එකතු වන්නේම පාපකාරී ක‍්‍රියාවලිනි. අලුතින් කෙළෙස් ගති චිත්තසංථානයට එකතුකර නොගන්නේ නම් සිත තවදුරටත් කිළිටි වීම නවතී. ”කුසලස්ස” යනු අතීතයේ කරන ලද පව්කම් නිසා එකතු කරගත් කුණු, කෙළෙස් ගති සොළව සොළවා චිත්තසංථානයෙන් අස්කර ඉවත් කර දැමීමට කරන ක‍්‍රියාකාරකමයි. මේ අනුව මෙතැන පෙන්වා දුන් ක‍්‍රියාකාරකම් දෙකම උපකාර වන්නේ චිත්තසංථානයම පිරිසිදු කර ගැනීම සඳහායි. ඒවාගේම අස්ස පස්ස, ආන පාන යන ක‍්‍රියාකාරකම් දෙකමත් උපකාර වන්නේ චිත්තසංථානය පිරිසිදු කර ගැනීම සඳහාමයි. අලුත් කුණු ඇතුළට ගැනීම නතර කළ යුතු වේ. ඇතුළේ ඇති පරණ කුණු (කෙළෙස්) සොළවා ගළවා ඉවත් කිරීමද කළ යුතු වේ.

ක‍්‍රියාවේ වේගය සංසිඳවීමත් සමඟම වේදනා විඳීමද නතර වේ. වේදනා විඳවීම නතර වූ විට චිත්තාවේගයද නතර වේ. දැන් සිත බොහොම සංසුන් සිතකි. විසුරුණු ගිනිගත් සිතක් දැන් නොපවතී.

ද්වතාවය පැහැදිළිවම තේරුම් ගත් කෙනෙකුට සරාගී සිතත් වීතරාගී සිතත් වෙන් කර තේරුම් ගැනීම දැන් කළ හැකි වේ. සරාගී සිතින් ගින්න ඇවිළෙන බවත් සිත විසිරෙන බවත් සමුදය බිහිවන බවත් දකී. වීතරාගී සිතින් චිත්තාවේගය නැති වී සිත නිවෙන බවත් දකී. ඒවාගේම සදෝස සිතින් හා වීතදෝසී සිතින් කෙරෙන ක‍්‍රියාකාරකම් දෙකත් සමෝහී සිතින් හා වීතමෝහී සිතෙන් කෙරෙන ක‍්‍රියාකාරකම් දෙවර්ගය පිළිබඳවත් නිවැරදි පිරිසිදු දැනීමක් දැන් ලැබේ. ”පජානාති” යනු සමුදය ප‍්‍රජනනය වන ආකාරය දැකීමයි. වේදනාව, වේගය, ගින්න, රත්වීම යන සියල්ලම සමුදය ප‍්‍රජනනයමයි. බිහිවීම, උත්පාදනය වීම සිදුවෙන්නේ සරාගී සිතත් හා සමෝහී සිතත් එකතු වීමෙන් හෝ සදෝසී සිතත් හා සමෝහී සිතත් එක සමඟ එකටම ක‍්‍රියාත්මක වීමෙන්මයි.

ගින්න නිවා දැමීමට නම් වීතරාගී, වීතදෝසී, වීතමෝහී සිත් භාවිතා කළයුතු බවත් දැන් දකී. මේ අනුව චිත්තානුපස්සනාව වැඩෙනවාත් සමඟම කායේ කායානුපස්සනාවෙහි පිහිටා ක‍්‍රියා කිරීමේ හැකියාවත්, පුරුද්දත් ක‍්‍රමයෙන් දියුණු වේ.

සංඛිත්ත වන සිතත්, වික්ඛිත්ත වන සිතත් දැන් දැක ගනී. සංඛිත්ත වීම යනු රාග, ද්වේෂ, මෝහ ගති වලින් මත්වන සිතයි. වික්ඛිත්ත වීම යනු එවැනි මත් වීමෙන් තොරවූ වෙන් වුණු සිතයි.

මේ වගේම මහග්ගත සිතත්, අමග්ගහ සිතත්, අසාමාහිත වන සිතත්, අවිමුක්ත සිතත්, විමුක්ත සිතත් යන සිතේ හට ගන්නා විවිධ ස්වරූපයන්ගේ ද්වතාවයත් දකී. මෙහිදී වැදගත් වන්නේ මේ ද්වතාවය දැකීමයි. ද්වතාවය දෙපැත්ත දැකිය නොහැකි කෙනකුට මෙවන් විපස්සනා නුවණක් පහළ නොවේ. සුව – අසුව යන දෙපැත්තම දැක ක‍්‍රියා කිරීමේ ශක්තියක් ලැබීමට මේ ආකාරයට චිත්තානුපස්සනාව වැඩිය යුතුයි. මෙතැනත් ”අජ්ඣත්තාවා බහිද්ධාවා” යන ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් යන දෙපැත්තමත් දැක ගත හැකියි. තමන් හිතන සිතුවිලි නිසා තමන්ගේ සිතේ නිවීම ඇති වීමත් බාහිර පුද්ගලයින්ගේ සිතේ නිවීමක් ඇති වීමත් යන ද්වතාවයම දකී. තමන්ගේ සිතේ මතුවන ගින්න වගේම අනෙක් බාහිර කෙනෙකුගේ සිතේ ගින්නක් මතුවන ක‍්‍රියාකාරකමුත් වෙන්වම දකිී. දැක, ඒවායින් වෙන් වීමටත් ක‍්‍රියා කරයි. සමුදය වන ධර්මතාවයත් දකී. ”නච කිංචි ලෝකේ උපාදියති” යන ධර්මතාවය අවබෝධ කරගනී. ”උපාදානය කරගත් දෙයක් සිත තුළ නොපවතී නම් සාදා සකස් කරගත් ලෝකයකුත් නැත” යන ධර්මතාවයම අවබෝධ වේ.

බාහිර ලෝකයා මොන තරම් අසාධාරණ අකටයුතුකම් කළත් දැන් දැන් තමන් ඒවායින් හිත කම්පා කර නොගනී. ඒවායින් හිතේ ආවේගයක් ඇති නොවේ. එහෙම අසාධාරණ, අකටයුතුකම් කරන අයත් සමඟ වුවද දැන් තමන්ගෙ හිතේ වෛරයක්, තරහක්, ද්වේෂයක් ඇති නොවේ. අසාධාරණ අයුරින් ක‍්‍රියාකරන්නේ ඒ ඒ අයගේ නොදැනීම, නොහැකියාව අනුවයි. මෙවැනි බාහිර හේතුවක් නිසා මගේ සිත රිදවාගන්නවා නම් ඒය මගේ දුර්වල කමක් මිස බාහිර ලෝකයේ ඇති වරදක් නොවන බවත් දැන් දකී. වැරදි ක‍්‍රියාවන්හි නිරත වන පුද්ගලයාවත් එයින් වළක්වා ගත හැකි නම් ඒ සඳහා හැකි සෑම උත්සාහයක්ම ගනී. ඒ මිස අනුන්ගේ වැරද්දක් දැක ඊට තමන් උරණ නොවේ. මේ සත්‍යාවබෝධය නිවනට උපකාර වන ධර්මයයි. මේ කායේ කායානුපස්සනාව, වේදනා වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාවයි. මේ තුනටම මුල් වන්නේ තමන්ගේම ක‍්‍රියාවෙන් උත්පාදනය වන වේගය සංසිඳවා ගැනීමයි. මේ අරිය උත්තමයෙකුගේ සංසිඳවීම, සංසුන්කම, සම්මා දිට්ඨියට පත්වීම යන අරිය මාර්ගයේ ගමන් කිරීමයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.