7. ධම්මානුපස්සනාව

ගත, හිත යන කොටස් දෙකක්ම එකතු කර ”මමෙක්” සකස් කරගෙන මමෙක් ක‍්‍රියාත්මක වීමක් ජීවත්වීම යනුවෙන් හඳුන්වනු ලබයි. ගත හිත එකතු කිරීම සඳහා කරනු ලබන ක‍්‍රියාකාරකමුත් එකතුකර ගත්තු දේ දිගටම පවත්වා ගැනීමට දරණ උත්සාහයත් යන දෙකම දුක් විඳීමයි. යමෙකුගේ උත්සාහය තමන් කැමති සේ එයාට ප‍්‍රිය මනාප සේ තමන්ම හදාගත් ගත, සිත දිගටම පවත්වා ගැනීමයි. ඒ සඳහාම මේ සියලුම ක‍්‍රියාකාරකම් කරනු ලැබේ. මේ තත්ත්වය මුවහ කර ආවරණය කිරීම සඳහා ධර්මතාවයෙන්ම ක‍්‍රියාත්මක වන කාරණා පහක්ම ක‍්‍රියාත්මක වේ. මේ නිවන ආවරණය කරනු ලබන කාරණා පහ පංචකාම නීවරණ ධර්මයන් ලෙස ධර්මයේ හඳුන්වනු ලැබේ. නිවන, නිදහස සැපයයි. මේ සැපය ලැබීමට නොහැකි නීවරණ ධර්ම පහක්ම නිසයි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්චය, අවිද්‍යාව මේ නිවන වසා සිටින පංචකාම නීවරණ ධර්මයෝයි. ධම්මානුපස්සනාවේ පළමුවන පියවර එනම් මේ පංචකාම නීවරණ ධර්මයන් නිවැරදි ලෙසම තේරුම් ගෙන ඒවායින් වෙන් වී ඊට විරුද්ධ වූ යහපත් ධර්මතාවයත් තේරුම් ගෙන ඒවා භාවිතා කරන්නට පුරුදු වීමයි. කාමච්ඡන්දය වෙනුවට නෙක්ඛම්මයත්, ව්‍යාපාදය වෙනුවට මෙත් සිත පැතිර වීමත්, ථීනමිද්ධ වෙනුවට අලෝක සංඥාවත්, උද්ධච්චය වෙනුවට අවික්ඛේප සිත පැවැත්වීමත්, විචිකිච්චාව වෙනුවට හේතුඵල ධර්මයට බහා ගළපා බලා ක‍්‍රියා කරන්නට පුරුදු වීමත් සමඟම අවිද්‍යාවෙන් මිදී විරති තත්ත්වයට පත් වේ. මෙතැනත් මූලධර්මය ”ආන පාන” මූල ධර්මයමයි. එකක් ආශ‍්‍රය කරන විට අනික ප‍්‍රහාණය වීමේ මූල ධර්මයයි.

නෙක්ඛම්ම සිතක් ආශ‍්‍රය කරන විටම කාමච්ජන්දය ප‍්‍රහාණය වේ. මෙත් සිතක් ආශ‍්‍රය කරන විටම ව්‍යාපාදය, ද්්වේෂය ප‍්‍රහාණය වේ. ”මම” යන ලෝක සංඥාව අස්කර අලෝක සංඥාවක් මතු කරන විට ථීනමිද්ධය දුරු වේ. විසුරුණු සිත ඒකාග්ගතාවයට පත්වීමෙන් උද්ධච්චය දුරු වේ. හේතුඵල ධර්මයට බහා ගළපා බලා ක‍්‍රියාකරන්නට පුරුදු වීමත් සමඟම විචිකිච්ඡුාවත් දුරු වේ. අවිද්‍යාවත් දුරුවේ. මෙතැනදී සිදු වන්නේ පංචකාම නීවරණ ධර්මයන්ම තාවකාලිකව යටපත් වීමෙන් ලබන සිතේ සමථ තත්ත්වයක් සහ ධ්‍යාන තත්ත්වයක් මිස සමුච්ෙඡ්ද වශයෙන් සිදු කරගත යුතු රාග, ද්වේෂ, මෝහ මුල් උදුරා දැමීමක් නොවේ. නිවන යනු සමුච්ඡේදනප්ප‍්‍රහාණයකි. එනම් රාග, ද්වේෂ, මෝහ ගති සහමුළින්ම උදුරා දමා නිදහස් වූ ප‍්‍රභාශ්වර තත්ත්වයකි. පළමුවෙන්ම රාග, ද්වේෂ, මෝහ ගති විෂ්කම්භණ වශයෙන් හා තදංගම වශයෙන් ප‍්‍රහාණය කිරීම පංචකාම නීවරණ ධර්මයන් සමථ තත්ත්වයට පත් කිරීමෙන් සිදු වේ. සමුච්ෙඡ්ද වශයෙන් නිස්සරණ වශයෙන් හා පටිපස්සදි වශයෙන්ම රාග, ද්වේෂ, මෝහ යන ගති තුනම සහමුළින්ම උදුරා දමන්නට නැවත නොඋපදින ලෙසම ගළවා ඉවත් කරන්නට උපකාර වන ප‍්‍රතිපදා මාර්ගය ධම්මානුපස්සනාවෙන් පෙන්වා දුන් ත‍්‍රිලක්ඛණ භාවනාවයි.

මේ පංචකාම නීවරණ ධර්මයන් යම් කෙනකු තුළ ක‍්‍රියාත්මක වනතුරුම සැප සොයමින් ඉන්ද්‍රියයන් පිනවීම සඳහාම සිතේ බලාපොරොත්තු ඇති කර ගනී. නීවරණ ධර්මයන් ක‍්‍රියාත්මක නොවන්නට පටන් ගත් තැන් පටන් බලාපොරොත්තු කිසිවක්ම නැති නිසා කොතැනත් සැපයක් සේ දකී. ගහ මුලත්, රජ ගෙදරත් එක සේ දකී. දැන් කුණු ගොඩ කුණු ගොඩක් බව දකින නිසා කුණු පරිහරණය නොකරයි. සිතේ හටගත් කාමච්ඡන්දය නිසා තම සිත මත් වීමෙන්, රත් වීමෙන් හටගත් ශක්තිය නිසා බාහිර වස්තූන්, බාහිර අය, බාහිර දේ, බාහිර තැන් පරිහරණය කිරීම ආමිස සැපයයි. ඒ ඉන්ද්‍රියයන් පිනවීමකි.

කාමච්ඡන්දයෙන් තොරවූ රත්වීමෙන් තොරවූ මත්වීමෙන් තොර වූ නොඇලීම හා නොගැටීම බාහිර වස්තුන් උපාදානය කර නොගෙන පරිහරණය කිරීමට පමණක් පුරුදු වීම නෙක්ඛම්ම සිතක් පැවැත්වීමයි. මෙතනදී උපාදානයක් සිදු නොවේ. ලැබුණ දේ පමණක් පරිහරණය කරයි.

පෘථග්ජන පුද්ගලයෙකු මතු දුකින් නිදහස් වීමේ අදහසින්ම බලාපොරොත්තුවෙන්ම තව තවත් පංච උපාදානස්කන්ධයන්ම අල්ලා බදාගෙන උපාදානය කර තව තවත් කුණු එකතු කර ගැනීම නිසා සතුටු වේ. ”ජීවත් වීමයි” යනුවෙන් හිතන්නෙ මේ කුණු එකතු කිරීමේම ක‍්‍රියාවලියක නිරත වීමයි. මේ මුළා පදනම මත පිහිටා හැම පෘථග්ජන පුද්ගලයෙකුම මේ තරම් දීර්ඝ කාලයක් අතීත සංසාරයේ ක‍්‍රියා කරනු ලැබීය. පංචකාම නීවරණ ධර්මයන් සියල්ලම තමන්ගේ සිතේ කැමැත්තෙන්ම උපාදානය කරගැනීමට ක‍්‍රියාත්මක කරවන යම් වටිනාකමක් ඇතැයි යනුවෙන් හිතා අල්ලා, බදාගන්නා බදාගත් කුණු ගොඩකි. මෙසේ අතීතයේදී අල්ලා බදාගත් තමා සතු කුණු ගොඩවල් සියල්ලම ආපසු තමන්ටම බරක් බවට පත් වේ. බැම්මක් ලෙසින් ඒවාටම බැඳේ. ඒවා තමන්ට නැති වේ යන භයකුත් ඇති වේ. මේ බැම්ම, මේ බර, මේ භය උපාදානයට කලින් දැක ගැනීමට නොහැකි වීම පංචකාම නීවරණ ධර්මවලට බැඳී පංචස්කන්ධයම උපාදානය කර ගැනීමට හේතු විය. හැම පෘථග්ජන පුද්ගලයෙකුම උත්සාහ කරන්නේම තව තවත් අලුත් අලුත් දේ හැකිතාක් අල්ලා ගෙන තමන්ගේ ගොඩම ලොකු කරගෙන සතුටු වීමටයි. සංසාර ගමනට නියත වශයෙන්ම මුල් වන, නිදාන වන, හේතු ප‍්‍රත්‍ය වන කාරණය මේ සත්‍යය ධර්මය නොදැනීමයි. නොදැකීමයි.

නිරාමිස සුවය, නිරාමිස ප‍්‍රීතිය, නිරාසව සුඛය, නිරාසව ප‍්‍රීතිය යනුවෙන් සුවයක් ප‍්‍රීතියක් මිනිහෙකුට මේ මිනිස් ජීවිතය තුළදීම ලබාගත හැකියි. මේ සුවය සැපය දුකෙන් මිදී නිදහස් වීමේ සුවයයි. ප‍්‍රීතියයි. දුකක් නැතිකම මෙතැන සුවයයි. සැප සොය සොයා, සැප හඹා ගොස් ඉන්ද්‍රියයන් පිනවීම ආමිස සුවයයි. ආමිස ප‍්‍රීතියයි. එය ආසව සහිතයි. ආසව මිශ‍්‍ර සුවයකි. කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිද්‍යාසව සහිත සුවය ආමිස සුවයයි. ආමිස ප‍්‍රීතියයි. ඉන්ද්‍රියයන් පිනවීමෙන් යමෙකු ලබන මේ ආමිස ප‍්‍රීතිය, ආමිස සුවය සිතක පවතින්නේ මොහොතක් පමණි. තමන් කොතරම්ම කැමති වුණත් මේ ආමිස සුවය මොහොතකින්ම වෙනස් වී යයි. විපරිණාමයට පත්වෙයි. නමුත් නිරාමිස සුවය, නිරාමිස ප‍්‍රීතිය දුකින් මිදී නිදහස් වීමේ සුවය, ප‍්‍රීතිය එසේ වෙනස් නොවේ. අතහැර මිදී නිදහස් වීම සදාකාලික වේ. නිවන් සුවය යනු මෙයයි.

ඉන්ද්‍රියයන් පිනවීමෙන් පෘථග්ජන පුද්ගලයෙකු ලබා ගැනීමට බලාපොරොත්තු වන සැපය එක දිගටම පවත්වා ගන්නට නොහැකි වන්නා වූ ධර්මතාවයක්, ධර්ම ස්වභාවයක් ලෝකේ පවතී. ලෝකය වෙනස් වන විපරිණාමයට පත්වන ගෙවී විනාශ වී යන දේවල් සමුහයකි. ලෝකේ හදා ගනු ලැබුවේත් ඒ ඒ පුද්ගලයාම තමන්ගේම හිතෙනි. මෙසේ සිතින් සාදා ගත් සිතින්ම පවත්වා ගැනීමට උත්සාහ දරණ ලෝකය පිළිබඳව ඇත්ත නොදන්නාකම නිසා දුක් විඳී. ලෝකය තුළ අතරමං වී අනාථ වේ. හැම පුද්ගලයෙක්ම පෘථග්ජන තත්ත්වයෙන් කටයුතු කරන තාක් කල් ”නිච්ච සුඛ අත්ථ” ලෝකයක් හදා ගැනීමටත් නිච්ච සුඛ අත්ථ ලෝකයක් පවත්වා ගැනීමටත් නිරන්තරවම උත්සාහ දරති’

”නිච්ච සුඛ අත්ථ” යනු යම් කෙනෙකුගේ හිතකම මතුවන හිතකම පවතින ගති තුනකි. දුක, සැප යනුද හිතකම උපදින ගති දෙකකි. යමෙක් සැප විඳීමේ කැමැත්තෙන් යම්කිසි ක‍්‍රියාවක් කරයි නම් ඒ ක‍්‍රියාව කිරීමෙන් දිගින් දිගටම ඒ සැප විඳීමටත් බලාපොරොත්තු වේ. ඒ සැපය විඳීමට තමන්ම බලාපොරොත්තු වන නිසා එතැනදී ”නිච්ච සුඛ අත්ථ” සඤ්ඤාවන් තමන්ගේම හිතේ පහළ වේ. ඒ මිස බාහිර ලෝකයක ”නිච්ච සුඛ අත්ථ” සඤ්ඤාවන් බිහි නොවේ. ඒ ඒ පුද්ගලයාටම පෞද්ගලික වූ ආත්මීය වූ අභ්‍යන්තර ස්වභාවයක් මේ ”නිච්ච සුඛ අත්ථ” පද වලින් විග‍්‍රහ වන ධර්මතාවයයි.

කර්ම නියාමය, ධර්ම නියාමය, චිත්ත නියාමය, සෘතු නියාමය, බීජ නියාමය යන පංච නියාම ධර්මයන් මේ විශ්ව ශක්තියෙන් ක‍්‍රියාත්මක වෙන නිසාත් මේ නියාම ධර්ම කාටත් පොදු, කාටත් සාධාරණ ඒවා නිසාත් මේ නියාම ධර්ම වෙනස් කිරීමේ හැකියාවක් කිසිම ජගතෙකුට නැත. බුදුපියාණන්වහන්සේට හෝ මහා බ‍්‍රහ්මයාටවත් ඒවාට පිටුපා ක‍්‍රියා කිරීමේ ශක්තියක් බලයක් නැත. මේ නියාම ධර්මයන් ක‍්‍රියාත්මක වන තුරු සිතක මතුවන ”නිච්ච සුඛ අත්ථ” ස්වභාවය ඒ ආකාරයෙන්ම කැමැත්ත පරිදි පවත්වා ගන්නටත් නොහැකි වේ. තමන් කැමති වූ, තමන්ගේ සිතේ කැමැත්ත පරිදි සකස් කරගත් තමාගේ ලෝකය තමන්ට රිසි පරිදි, මනාප පරිදි, එක දිගටම පවත්වා ගැනීමට හැම පෘථග්ජන පුද්ගලයාම උත්සාහ ගනී. මේ අයුරින් නිච්ච සුඛ අත්ථ ලෝකයක් පවත්වාගන්නට දරණ උත්සාහය නියාම ධර්ම වලට විරුද්ධ නිසා තමන්ගේ ඇස් පනාපිටදීම වෙනස් වී විපරිණාමයට පත් වී තමන්ගේ කැමැත්තට වෙනස් වූ ලෝකයක් උරුම වීම දුක උරුම වීමයි.

”නිච්ච සුඛ අත්ථ” යන තමන්ගේම සිතේ හටගත් වැරදි දෘෂ්ඨිය තේරුම් ගෙන නියාම ධර්මයන්ද තේරුම් ගෙන තමන්ගේ හිතේ කුමන ආකාරයේ සිතුවිල්ලක්, අරමුණක් බිහි වුණත් ඒ අරමුණ තමන් කැමති සේ එක දිගටම පවත්වා ගන්නට හැකි එකක් නොවන බව සහතික ලෙසම තේරුම් ගෙන තමන්ගේ හිතින් ඒ සියල්ලම උපේක්ඛාවෙන් ඉවසා විමසා දරා ගත හැකි තත්ත්වයට තම සිතම හදා ගැනීම කළයුතු වන එකම පිළියමයි. තමන්ගේම සිත නිවැරදි කරගන්නට උත්සාහ දරනවා වෙනුවට බාහිර ලෝකය තමන්ගේ සිතට ගැළපෙන ලෙසින් සකස් කරන්නට, පවත්වා ගන්නට උත්සාහ දැරීම නිසා සියලුම ආකාර වූ දුක් දොම්නස් උපායාස සිත් තුළ බිහි වීමට මුල් වන්නා වූ එකම හේතුවයි. මේ අයුරින් ක‍්‍රියා කරන්නේ නොදැනුවත්කම නිසයි. අවිiාව නිසයි. අවිද්‍යාවෙන් කටයුතු කරන්නේ තණ්හාව නිසයි.

පුද්ගලයකුට ”නිච්ච” සංඥාවක් තමන්ගේ හිතේ හටගත් විගසම එහි ”අනිච්ච” බව මෙනෙහි කර ඇත්ත ඇති ආකාරයට දැක ගත හැකි නම් ඔහු ජයග‍්‍රහණය ලබා ගනී. තමන් මොන තරම් උත්සාහ දැරුවත් තමන්ගේ හිතේ මොන තරම් ප‍්‍රිය මනාප බවක් පැවතුණත් ඒ ප‍්‍රිය මනාප වූ බාහිර ලෝකය තමන්ට කැමති සේ, මනාප සේ, රිසිසේ එක දිගටම පැවැත්වීමට හෝ නැවැත්වීමට නොහැකි බව සහතික වශයෙන්ම අවබෝධ කර ගැනීමට නම් ”අනිච්ච” බව යථාපරිදි අවබෝධ කර නිච්ච බව, නිච්ච සංඥාව තමන්ගෙ හිතින්ම ඉවත් කරගත යුතුයි.

”නිච්ච” ”අනිච්ච” යන ගති දෙකම තම තමන්ගේම සිත තුළම ක‍්‍රියාත්මක වන ගති දෙකකි. ”පටිච්ච” වීමෙන් තොරව සිතක් තුළ ”නිච්ච සංඥාවක්” බිහි නොවේ. අනිච්ච අනුපස්සනා කර තේරුම් ගත යුත්තේ ”පටිච්ච” වීම නවතා දැමීමටයි. පටිච්ච වීම යනු ප‍්‍රිය දේට ඇලීම හා අප‍්‍රිය දේට ගැටීම යන ගති දෙකයි. ”පියේහි විප්පයෝගෝ, අප්පියේහි සංපයෝගෝ” යන දෙකමත් පටිච්චවීම නිසා උරුම වන ඵල විපාකයෝයි. ප‍්‍රිය දේට අන්තවාදී ලෙස අලුණේ නැත්නම් අප‍්‍රිය දේ සමඟ ගැටුණේ නැත්නම් ”පටිච්ච” නොවේ. ”නිච්ච සංඥාවත් දුරු වේ. ඒ සඳහා, ”අනිච්ච” බව ප‍්‍රත්‍යක්ෂ කර අවබෝධ කරගත යුතුමයි. අනිච්චානුපස්සනාව යනු මේ අර්ථයයි. එසේ නම් විපස්සනා භාවනාවක්, අනුපස්සනා භාවනාවක් කර අවබෝධ කර ගැනීමට උත්සාහ ගත යුතු වන්නේ තම තමන්ගේම සිත්වල මෙතෙක් ක‍්‍රියාත්මක වෙමින් පැවති ගතියක් වූ ”නිච්ච සුඛ අත්ථ” සංඥාවන් ප‍්‍රහාණය කර ”අනිච්ච, දුක්ඛ, අනත්ථ” යන යථා තත්ත්වය යථාභූත ඥාණයෙන් ප‍්‍රත්‍යක්ෂ කර ගැනීමටයි.

”සබ්බේ සංඛාරා අනිච්චාති
සබ්බේ සංඛාර දුක්ඛාති
සබ්බේ ධම්මා අනත්ථාති
යථා පඤ්ඤාය පස්සති
අත නිබ්බිංදති දුක්ඛෙ
ඒස මග්ගෝ විශුද්ධියා”

යන මේ විග‍්‍රහයෙන් ඉතාමත්ම පැහැදිළිව සරළව මේ නියත ධර්මතාවය විග‍්‍රහ කර පෙන්වා දී ඇත.

නියාම ධර්මයන් කාටත් පොදු, සර්ව සාධාරණ නිසා ”සංඛාර” අනිච්ච වේ. සංඛාර දුක්ඛ වේ. සංඛාර යනු (සං+ඛාර) රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් එකතු කර හදාගත් සංඛත යන අර්ථයයි. මේ ආකාරයට රාග, ද්වේෂ, මෝහ ගති නිසා තමාම එකතු කර හදාගත් ඵලය සංඛතයි. සංඛත තමන් කැමති සේ පැවැත්විය නොහැකියි. තමන් කොතරම් කැමති වුණත් හිතින්ම එකතු කර හිතින්ම හදාගත් සංඛත තමන්ට කැමති සේ පවත්වා ගැනීම හෝ නවත්වා ගැනීම හෝ කළ නොහැකියි. ඒ බව ප‍්‍රත්‍යක්ෂ කර තමන්ම අවබෝධ කර විරාග අනුපස්සනා කිරීමෙන් රාග සංඥාව ප‍්‍රහාණය කිරීමත්, නිරෝධ අනුපස්සනා කිරීමෙන් සමුදය සංඥාව ප‍්‍රහාණය කිරීමත් පටිනිස්සග්ගානුපස්සනාව කිරීමෙන් උපාදානය කිරීමේ ක‍්‍රියාවලියෙන් වෙන්වී සබ්බූපදි පටිනිස්සග්ග කිරීමත් ධම්මානු පස්සනාව වැඞීමයි. සබ්බ – උපදි යනු තමන් සංසාර ගමනේදි සාරයි යනුවෙන් උපාදානය කරගත් සියලු ගති (රාග, ද්වේෂ, මෝහ) තමන් තුළම ක‍්‍රියාත්මකව පැවතීමයි. මේ ගති සියල්ලම තමා තුළම පැවතීම නිසා තමන්ට දුක් උරුම කර දේ. තමන්ව සංසාරයේ නැවත නැවතත් අනාථ තත්ත්වයටම පත්කරයි. මේ නිසා මේ කෙළෙස් ගති තුන තමන්ගේ ම චිත්තසංථානයෙන් උදුරා දමා සහමුළින්ම ඉවත්කර දමා නිදහස් වීම ”පටිනිස්සග්ග” කිරීමයි. ”පටිච්ච, න පට්ච්ච” යන තත්ත්වයට පත්කර ගැනීමෙන් මෙය සිදු කරගත හැකි වේ. ”ඛණ, ඛය, ඛීණා” යන පද තුනත් මෙතැනදි නිවැරදිවම විග‍්‍රහ කර තේරුම් ගත යුතු වේ.

ඛණ – ත‍්‍රිලක්ඛණ – ඛණ සම්පත්තියයි
ඛය – ආසවක්ඛය – රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය, අනුසයක්ඛ්‍යය
ඛීණ – ඛීණං පුරාණං, බීණා ජාති, ඛීණාශ‍්‍රවයන්වහන්සේ

ඛණ, ඛය, ඛීණා යන පද තුනම අතීත වර්තමාන හා අනාගත කාලත‍්‍රය දක්වන එකම අර්ථයක් ඇති පදයකි. මේ පදයේ තේරුම ”සහමුළින්ම ගළවා ඉවත් කළ යුතු ගති” යන්නයි. සමුච්ෙඡ්දනප්ප‍්‍රහාණය ලෙසද මෙය අර්ථ ගැන්වේ. මේ ආකාරයට සමුච්ඡේදනප්ප‍්‍රහාණය කළ යුතු වෙන්නේ පෘථග්ජන පුද්ගලයකුගේම හිතේ ගබඩා වී පවතින රාග ගතිය, ද්වේෂ ගතිය හා මෝහ ගතිය යන ගති තුනම වේ. රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං යනුද මේ සත්‍යයි.

ආසවඛ්‍යය කිරීම සඳහා ඥාණයක් අවශ්‍ය වේ. ආසවඛ්‍යා ඥාණය යනු එයයි. ආසව කොටස් හතරක්ම විග‍්‍රහ කර ඇත. කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව එම ආසව වර්ග හතරයි. මේවා ගති හතරකි. කය රමණය කිරීමේ, ඉන්ද්‍රියයන් පිනවීමේ ආසාව, කැමැත්ත කාමාසව යනුවෙන් විග‍්‍රහ වේ. යම් යම් ”බවට” පත්වීමේ කැමැත්ත ධනවත් බව, කුලවත් බව, රූපවත් බව, නිලවත් බව, උගත් බව ආදී සියල්ල භවාසව නිසාම මතුවන ගතියකි. දිට්ඨාසව යනු මම යන, මගේ යන, අස්මිමානය නිසා මතුවන දෘෂ්ඨීන් වේ. ඒවා සිතේ පවතින ගතියි. අවිජ්ජාසව යනු ඇත්ත සත්‍යය දැක ගැනීමට නොහැකි වීමයි. සම්මතය විද බැලිය නොහැකි අවිද්‍යාසව නිසයි.

මේ ආසව සහමුළින්ම ගළවා ඉවත් කරන තුරාවටම පෘථග්ජන පුද්ගලයෙකුගේ ලෞකික සැප විඳීමේ බලාපොරොත්තුද තම චිත්තසංථානය තුළින්ම මතු වේ. නිරාමිස සැපය යනු නිරාසව සුවයම වේ. දුක් නැතිකම යන නිරාමිස සැපය කිනම් ආකාරද යන්න මෙවැනි පෘථග්ජන මිනිහෙකුට තේරුම් ගත නොහැකියි. පෘථග්ජන පුද්ගලයා සොයන්නේම ලෞකික වශයෙන්ම යම් වටිනා දෙයක්, සාරවත් දෙයක් ප‍්‍රිය මනාප දෙයක් එකතු කර උපාදානය කර ලබන්නා වූ තාවකාලික සැපයක්ම පමණි. මේ සැපය ආමිස සැපයකි. මේ සැපය ආසව සැපයකි. ලෞකිකත්වය තුළින්ම ලබාගත හැකි තාවකාලික එකකි. යමක් උපාදානය කර ගැනීමෙන් ලබන සැපයකි. ගිහියා හෝ පැවිද්දා හෝ යනුවෙන් වෙනසක්ද මෙහි නොවේ. හොඳ යහපත්, නිවැරදි පි‍්‍රිය ලෝකයක් තුළින් යම් සැපයක් බලාපොරොත්තු වේ නම් ඒ සියල්ලම ආමිස සැප මිස නිරාමිස සැප නොවේ. සෑම ආමිස සැපයක්ම උපාදානය කරගැනීමේ ප‍්‍රතිඵලය දුකක් උරුම වීමයි.

ධම්මානුධම්ම ප‍්‍රතිපදාවේ පිහිටා ධම්මානුපස්සනා කිරීම යනු අවබෝධයෙන්ම කරගත යුතු දෙයකි. යථාවබෝධයක්, සත්‍යාවබෝධයක් නැති තැනක, නැති කෙනකුට, ධම්මානුධම්මපස්නාවෙහි යෙදීම යන භාවනාව කරගත නොහැකි වේ.

තමන් ළඟ ඇති, තමන්ටම අයිති, තමන්ට පමණක්ම පාලනය කරගත හැකි තමන්ගේම ඇස, කන, නාසය, දිව, කය, මන යන ඉන්ද්‍රියයන් හය පාලනය කර ගැනීමට දරණ උත්සාහය නොගෙන බාහිර ලෝකයා හදන්නට, පාලනය කරන්නට තමන්ට ගැළපෙන පරිදි බාහිර ලෝකය පවත්වා ගන්නට උත්සාහ කිරීම නිසා සියලුම පෘථග්ජන මිනිසුන් දුක් විඳිති. විඳින තරමක් සියලුම ආකාර වූ දුක් විඳින්නේම කළයුතු දේ නොකර නොකළ යුතු දේ කිරීමට උත්සාහ දැරීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි. මෙයට හොඳ උදාහරණයක් නම් රටේ පාලකයා, රජතුමා නුවර ඇවිදින විට පාරේ ඇති ගල් තමන්ගේ කකුලේ ඇණෙන නිසා මුළු රටේම පාරවල් කාපට් එලීමට නියෝග දෙනවා හා සමාන ක‍්‍රියාවකි. තමන්ගේ කකුලට සපත්තු දෙකක් දමා කකුලෙ ගල් ඇනීම වළක්වා ගන්නවා වෙනුවට කළ නොහැකි දෙයක් කිරීමට නියෝග කිරීමත් මේ ක‍්‍රියාව හා සමාන වේ. තමා ළඟම ඇති තමන්ගේම ගති තුනක් වෙනස් කර නොගෙන ලෝකයාගේ ගති වෙනස් කිරීමට උත්සාහ දැරීම අනුවණ ක‍්‍රියාවකි. ඒ අනුව සියලුම පෘථග්ජන ලෝකයා හදන්නේම තමන්ට ප‍්‍රිය මනාප වූ තමන්ගේ කැමැත්තට ගැළපෙන පරිද්දෙන් ලෝකයක් හදාගෙන එවන් ලෝකයක්ම පවත්වාගෙන යෑමටයි. දුක උරුම වන්නේම මේ ”නිච්ච” ලෝකයක් පවත්වන්නට යාම නිසාමයි. යම් කෙනකුට මේ සත්‍යය ධර්මතාවය මේ ධර්ම ඥාණය ලැබුණොත් එදාට තමන්ටම මේ ගති පවතින්නේ තමන් ළඟම බවත් මේ ගති වෙනස් කර ගත හැකි තමන්ටම බවත් දැක ගනී. මේ ගති වෙනස් කර ලෝකය දෙස උපේක්ඛා සිතින් බලන්නට පුරුදු පුහුණු වුවහොත් එතැන නිවනයි. එතැන නිදහසයි. මම කැමති ආකාරයට, මගේ කැමැත්ත හා මනාපය පරිද්දෙන් පවත්වන්නට හැකි ලෝකයක් නැති බවත් මම, මගේ හිත වෙනස් කර ගත යුතු බවත් දැක ගනී. මේ ලෝකයේ නියත ස්වභාවය, තමන්ගේ හිතේ මනාපයට රිස්සට කැමැත්තට ලෝකය පවත්වන්නට උත්සාහ දරණ තාක් කල් ලෝකයක් වෙනස් වී විපරිණාමයට පත් වී හිත දෙවැනි වේෂයකට පත් වී දුක්ම උරුම කර දීමයි.

මේ සත්‍යයවාබෝධ කර ගැනීම ”අනිච්ච, දුක්ඛ, අනත්ථ” යන ත‍්‍රිලක්ඛණය යථාපරිදි අවබෝධ කරගැනීමයි. තමන්ගේම හිතේ හටගන්නා ”නිච්ච” සංඥාව ප‍්‍රහාණය කරගන්නා තුරුම අනිච්ච අනුපස්සනා කර අවබෝධ කරගත යුතුයි.

1. තමන්ගේ සිත යම් ප‍්‍රිය අරමුණකට බැඳීම නිසා කාමච්ඡන්දයක් උත්පාදනය වේ නම් කාමච්ඡන්දයෙන් සිත කිළිටි වේ නම් එම කාම අරමුණ කෙරෙහි වූ කැමැත්ත යථා පරිදි තේරුම් ගත යුතුයි.
2. කාමච්ඡන්දයක් නොඉපදුණොත් සිතේ මත්වීමක්, රත්වීමක් නොවන නිසා එවන් සිතක් පැවතීමත් තේරුම් ගත හැකි විය යුතුයි. මේ සිත් දෙකේම වෙනස වෙන්කොට දැකගත යුතුයි.
3. කාමච්ඡන්දය උපදින ආකාරයේ සිතක් නම් කාමච්ඡන්දය ප‍්‍රහාණය කිරීමෙන් සිත සමථයට පත්කර ගැනීමට හැකි බවත් තේරුම් ගත යුතුයි.
4. කාමච්ඡන්දය ප‍්‍රහාණය කළ සිතක ඉන්ද්‍රිය ධර්මයන් මිස ආයතන ලෙසින් ඒවා ක‍්‍රියාත්මක නොවෙන බවත් තේරුම් ගත හැකි විය යුතුයි.

සංඛාර සිත් ක‍්‍රියාත්මක වීමෙන් වැළකී සිට ක‍්‍රියා සිත් පමණක් ක‍්‍රියාත්මක කිරීමට දැන් පුරුදු පුහුණු විය යුතුයි. ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්චය, විචිකිච්චාව ආදී අනෙකුත් නීවරණ ධර්මයන් කෙරෙහිත් මේ ආකාරයෙන්ම පැවතිය යුතුයි.

මේ කායානුපස්සනාව වැඞීමයි. වේදනානුපස්සනාව වැඞීමයි. චිත්තානුපස්සනාව වැඞීමයි. සිත සමථයට පත් කර ගැනීිම කාය පස්සදිය මගින් චිත්ත පස්සදියට පත්වීමයි. මෙයම චේතෝ විමුක්තියට පත්වීමයි. මේ අනුව ධම්මානුපස්සනාව වැඞීම සඳහා සිත තුළම සුදුසු පරිසරයක් සකස් වේ. ඒ අනුව නිච්ච සංඥාව දුරු කිරීම සඳහා අනිච්චානු පස්සනාව වැඞීමත්, සුඛ සංඥාව ප‍්‍රහාණය කිරීම සඳහා දුක අනුපස්සනා කිරීමත්, අත්ථසංඥාව (අස්මිමානය) දුරු කිරීම සඳහා අනත්ථ අනුපස්සනා කිරීමත් යථාවබෝධයෙන්ම කළ යුතුයි. ඇහැට ප‍්‍රිය හෝ අප‍්‍රිය රූපයක් කෙරෙහි පටිච්ච වී ”සං උත්පාදනය” වේ නම් වහාම ඒ ක‍්‍රියාවේ වේගය සංසිඳවීම සඳහා ”රූපං අනිච්චා, දුක්ඛා, අනත්ථා” යනුවෙන් මෙනෙහි කර සමුදය බිහිවීම නවත්වා ක‍්‍රියාවේ වේගය නිරෝධ කර යුතුයි. නිරෝධ කිරීම (නිර්උදා) අනුත්පාද යන තේරුම වේ. එයම විඤ්ඤාණ ශක්තිය උත්පාදනය වීම නැවැත්වීම, නිරෝධ කිරීම යනුවෙන් අර්ථ දක්වා ඇත. ”උප්්පාදෝ දුක්ඛං අනුප්පාදෝ සුඛං” අනුප්පාදය යනු නිරෝධයම වේ.

ඇස, කන, නාසය, දිව, කය, මන යන තමන්ගේ ඉන්ද්‍රියයන් හය බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හා මතක සටහන් සමඟින් බැඳීම, ඇලීම, ගැටීම, පටළැවීම ක‍්‍රියාත්මක වන ආකාරය දැන් තමන්ටම පැහැදිළි ලෙසම දැන හඳුනා ගැනීමට හැකියාව ලැබේ. ”පජානාති” යනු මේ දැන හඳුනා ගැනීමේ හැකියාව විග‍්‍රහ කිරීම සඳහා යොදා ගත් පදයයි.

”පුනචපරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති ජසු අජ්ඣත්තික බාහිරේසු ආයතනේසු…. චක්ඛුංච පජානාති, රූපේච පජානාති. යංච තදුහයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති.”

”පජානාති” යන උසස් මට්ටමේ දැනුම ඇත්තේ සතිපට්ඨානය පුරුදු වූ සතියෙන් කටයුතු කරන කෙනෙකුට පමණි. මෙය හේතුඵල ධර්මයට බහා ගළපා බලා කටයුතු කිරීමයි.

”යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තඤ්ච පජානාති” ”යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතිං අනුප්පාදෝ හෝති තඤච පජානාති”

අනුප්පන්නස්ස යනු ක‍්‍රියාවේ වේගයෙන් ශක්තියක් ඉපදීම නැවැත්වූවා යනුයි. ”සංයෝජන උප්පාදෝ හෝති.” දැන් සංයෝජන උප්පාද වන ශක්තියත් අහෝසි වේ යන අර්ථයයි. ඒ අනුව ක‍්‍රියාවේ වේගය සංසිඳීමෙන්, අනුප්පාද වීමෙන් සහමුළින්ම ප‍්‍රහාණය වීමෙන් සංයෝජන දුරු වේ. අනුසය ඛය වේ.

මේ ආකාරයට ඉන්ද්‍රියයන් සංවර කර ගැනීමෙන් ක‍්‍රියාවේ වේගය පාලනය කර ගැනීමෙන් සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියා කිරීමට දිගින් දිගටම සිත පුරුදු කර ගැනීමෙන් අනිච්ච දුක්ඛ අනත්ථ අනුපස්සනා කිරීමෙන් නිච්ච සුඛ අත්ථ සංඥා ප‍්‍රහාණය කිරීමෙන් ක‍්‍රමානුකූලව සත්ත බොජ්ජංග සම්පූර්ණ වීමට ආරම්භ වේ. මෙතැනදී සිදු වන්නේ රාග, ද්වේෂ, මෝහ යන කිළිටි ශක්ති උත්පාදනය වීම අනුප්පාද තත්ත්වයට පත්වීමයි. සත්ත බොජ්ජංග සම්පූර්ණ වීම යනු යම් කිසි දෙයක් එකතු කර ගැනීමක් නම් නොවේ. තමා තුළම මෙතෙක් ගබඩා කරගෙන තිබූ ශක්ති විශේෂයක් මත්වීමේ ශක්ති විශේෂයක් ක‍්‍රමයෙන් හත් අවස්ථාවකදී ප‍්‍රහාණය කර අනුප්පාද තත්ත්වයටම සිත පත් කර ගැනීමකි. මේ ප‍්‍රහාණය කිරීම අවබෝධයෙන්ම සිදුවන්නකි.

මේ ආකාරයට දිගින් දිගටම සතර සතිපට්ඨානයේ පිහිටා ක‍්‍රියා කිරීම මගින් විශේෂයෙන් ධම්මානුපස්සනාව යථා පරිදි තේරුම් ගෙන,

1. අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති
අනිච්චානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති
2. විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති
විරාගානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති
3. නිරෝධානුුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති
නිරෝධානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති
4. පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති
පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති

යන භාවනා කර්මස්ථානයන් යථාවබෝධයෙන්ම බහුලවම භාවිතකර නිච්ච සුඛ අත්ථ සංඥාවන් හතර වරකදීම ප‍්‍රහාණය කර යුතුයි. මේ සතර අවස්ථාවන්හි සතර මඟ සතර ඵලයන් සම්පූර්ණ වේ. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම සම්පූර්ණ වන්නේ සතර සතිපට්ඨාන භාවනාව දිගටම ප‍්‍රායෝගිකවම කිරීමෙන් මිස වෙනත් කිසිම ආකාරයකින් නොවන බවත් තේරුම් ගත යුතුයි.

ජීවත් වීමේදී ජීවිතයක් පවත්වාගෙන යෑමට දරණ උත්සාහයන් නිසා ලබන එකම ප‍්‍රතිඵලය දුක් විඳින්නට සිදුවීම බව හේතු සහිතවම යථා පරිදිම වැටහුණු විට මේ ජීවත් වීමෙන්ද ගැළවීමේ අවශ්‍යතාවයක් තමාටම ඇති වේ. මේ පැවැත්ම අපැවැත්මක් බවට පත්කර ගැනීම සඳහා ක‍්‍රමයක් සෙවීමට උත්සුක වේ. මෙය කළකිරීමක් නොවෙයි. අවබෝධයකි. කළකිරීමෙන් ඇති වන්නෙ ද්වේෂයකි. සැනසීමක් ලබා ගත යුත්තේ අවබෝධයෙනි. දුක්ඛ අරිය සත්‍යය, සමුදය අරිය සත්‍යය, නිරෝධ අරිය සත්‍යය නිරෝධ ගාමී මාර්ග අරිය සත්‍යය යන චතුරාර්ය සත්‍යයන් මේ පැවැත්ම තුළින්ම තමන්ම යථාපරිදිම අවබෝධ කරගත යුතු දේ මිස කළකිරීමෙන් ලබාගත හැකි දේ නොවෙයි.

මේ අනුව සතර සතිපට්ඨාන භාවනාව පුරුදු කරගැනීමත් සමඟම හේතුඵල ධර්මයට බහා ගළපා බලා සතියෙන් යුතුව සතියෙහි පිහිටා කටයුතු කරන්නට පුරුදු පුහුණු වීමත් සමඟම හිතට, හැඟීමට වහල් වී සැප හඹා යමින් මෙතෙක් කාලයක් ප‍්‍රිය දේට ඇළීමෙන් හා අප‍්‍රිය දේට ගැටීමෙන් ක‍්‍රියා කිරීමෙන් උපාදානය කරගත් විඤ්ඤාණය ශක්තිය දැක උපේක්ඛා සිතින් ඉවසා විමසා ක‍්‍රියාකර විඤ්ඤාණ ශක්තිය අනුත්පාදෝ යන තත්ත්වයට පත්කර ගැනීමේ හැකියාව ලැබේ. හේතුවකින් තොරව ඵලයක් උරුම නොවන බවත් හේතුවක් කොතරම්ම ප‍්‍රිය මනාප වුවද ඉන් උරුම වන ඵලය අයහපත් නම් ඒ ඵලය තමන්ටම දුක උරුම කර දෙන බවත් හේතුව මොනතරම් අප‍්‍රිය වුවද අමාරු වුවද ඉන් උරුම වන ඵලය යහපත් නම් ඒ ඵලය තමන්ට සැප උරුම කර දෙන බවත් දැන් යථාපරිදි තමන්ටම අවබෝධ කරගන්නටත් හැකියාව ලැබේ.

තමන්ටම පීඩාවක් නොවන ආකාරයට තමන්ටම පළිබෝධයක් නොවන ආකාරයට තමන්ගේම ජීවිතය පරිහරණය කළයුතු බව දැන් ඒ පුද්ගලයාම අවබෝධ කරගනී. මේ ලෝක ධාතුවේ ජීවිත පවත්වන වෙනත් කිසිම කෙනෙකුට හෝ තවත් බාහිර පුද්ගලයෙකුට හෝ මේ නිවන ප‍්‍රායෝගිකවම තමන්ටම අත්පත් කර දිය නොහැකි බවත්් දැන් අවබෝධ වේ. බුදුපියාණන්වහන්සේ බුද්ධ ධර්මය දේශණා කර වදාළේ මිනිසුන්ට හිතන්නට ඉගැන්වීම සඳහායි. යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීමට මිනිසුන්ට මග පෙන්වා දීම සඳහායි.

පුද්ගලයෙකුට කේන්ති යෑම, තරහා යෑම, රෞද්‍ර වීම යනු එම පුද්ගලයා අසරණ වීමකි. එනම් ඔහු විසින් දැරූ මතය කඩා වැටීම ඔහුට දරා ගැනීමට නොහැකි වීම නිසා කෑ මොර දීමට, බැණීමට පෙළඹී තමන්ගේ වේදනාව පිට කර සැනසීමට උත්සාහ දරයි. යථාවබෝධයෙන් ක‍්‍රියා කරන කෙනෙකු දැන් එසේ තරහින්, වේදනාවෙන් කෑ මොර දෙන කෙනෙකුගේ ක‍්‍රියාව කෙරෙහි ප‍්‍රතික‍්‍රියාවක් නොදක්වයි. ”අජ්ඣත්තවා බහිද්ධාවා කායේ කායානුපස්සි විහරති” යනුවෙන් පෙන්වා දුන්නේ මෙයයි.

පෘථග්ජන පුද්ගලයාය යනු සිත දූෂණය වූ නරක ගති ඇත්තෙකි. රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති ලෙස හඳුන්වන නරක ගතිගුණ තමන් තුළ ඇති බව හෝ පෘථග්ජන පුද්ගලයා නොදනී. මේ බව නොදන්නා කම නිසා නරක දේ පරිහරණය කර ඔහුගේම සිත දූෂණය කර ගැනීම නිසා නැවත නැවතත් මෝහයෙන් මනස මුවහ කර ගැනීම තමන් විසින්ම කර ගනී. මේ තමන් තමන්ටම කර ගන්නා අපරාධයක් විනාශයක් බව තමන්ටම නොපෙනී යයි. මෙසේ තමන් විසින් කරන, කරන, හිතන නරක දේ නිසා ඔහුටම උරුම වන, අයිති වන, විඳින්නට සිදුවන මෙවැනි අයහපත් ඵල විපාකයන් ගැන ඔහුම දැක ගත්තොත් කිසිම දවසක මෙවැනි නරක ගති කිසි විටෙකත් ඔහු විසින් ඇසුරු නොකරනු ඇත. නමුත් බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළ ධර්මය අසා දැන ගැනීමෙන් තමන්ම විඳින, විඳවන දුක නොපෙණෙන්නට හේතු වූ කාරණය අවබෝධ කරගත හැකි වේ. අවිiාව බිහිවන ආකාරයද වටහා ගත හැකි වේ.

ද්වේෂයෙන්, වෛරයෙන් කෑ ගැසීමේ ක‍්‍රියාව නිසාත් යම් පුද්ගලයෙකුට වින්දනයක් ලැබිය හැකි වේ. තමන්ගේ සිත තුළ පුපුරමින් තිබූ ද්වේෂයෙන් මත් වූ ශක්තිය දැන් ඔහු විසින් මොහොතකට පිට කිරීමෙන් යම් සහනයක් ලබා ගනී. ධර්මාවබෝධය ලැබූ සතර සතිපට්ඨානයෙන් ක‍්‍රියා කිරීමට සිත සකස් කරගත් පුද්ගලයන් ලෙස මෙවැනි අයට අනුකම්පා කළ යුතු වේ. ඒවාට පටළැවීම හෝ රාගයෙන් ක‍්‍රියා කරන පුද්ගලයින්ට ඇලීම නුසුදුසු වේ. මේ අන්ත දෙකමත් ”අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි” යනුවෙන් නිතරම යථාවබෝධයෙන්ම මෙනෙහි කිරීමට පුරුදු විය යුතුයි. මේ සතර සතිපට්ඨානයෙහි පිහිටීම නිසා සත්ත බොජ්ජංගයන්ම වැඩෙන ආකාරයයි.

බාහිර ලෝකයෙන් හෝ තම චිත්තසංථානය තුළින්ම හෝ මතු වී එන සියලුම අරමුණු (ආරම්මණයන්) දෙස ඉතාමත්ම විමසිල්ලෙන් බලා සිට ඒවා ක‍්‍රියාත්මක වීමට පෙර ඒවා තෝරා බේරා ඒ ඒ අවස්ථාවේදී තමන් හමුවට පැමිණෙන ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල ධර්මයන්ට අදාළ වූ අරමුණු නම් ඒවා වෙන් කොට දැකගෙන ඒ ඒ මොහොතේම ඒවා ප‍්‍රහාණය කිරීමට පුරුදු විය යුතුයි. කල් දැමීමක් කිසි විටකත් නොකළ යුතු වේ. හිතට වහල් වී අරමුණු කෙතරම් ප‍්‍රිය වුවත් ඊට ඇලී ඉන්ද්‍රීයයන් පිනවීමද නොකළ යුතුයි. අරමුණු කොතරම් අප‍්‍රිය වුවද ඊට ගැටී ඉන්ද්‍රීයයන් පිනවීම නොකළ යුතු වේ. මානයෙන්, මමත්වයෙන් කටයුතු කිරීමද නොකළ යුතු වේ. මෙතැනදී ඉක්මන් වීමෙන් සිත කම්පනයට බයට පත් වුණොත් වේදනාවට චලනයට පත් වුණොත් නොඉවසිල්ලක් සිතටම ඇති වී අරමුණ ක‍්‍රියාත්මක වීමට පටන් ගනී. මුළු දවස පුරාම ඒ ඒ මොහොතේදීම ඉවසා විමසා කටයුතු කිරීමටත් මොහොතක් හෝ ප‍්‍රමාද නොකර ආරම්මණයක් සිතට අරමුණු වූ වහාම මැන, පෙරා, තෝරා, බේරා, භාවිත කළ යුතු දේ භාවිත කිරීමටත් (ආන) භාවිත නොකළ යුතු දේ බැහැර කිරීමටත් (පාන) පුරුදු විය යුතුයි.

මේ ක‍්‍රියාවලිය ඉතාමත් සියුම් ක‍්‍රියාවලියකි. ඒ ඒ අවස්ථාවේදීම ක‍්‍රියාත්මක නොවුන හොත් පසුවට කල් දැමීම අනාථ වීමකි. විසුරුණු අවිවේකී සිතකින් කිසි විටෙකත් ඉහත විස්තර වූ ක‍්‍රියාවලියට අනුගතව ක‍්‍රියා කළ නොහැක. මේ සඳහා තමාගේ සිත මනාකොට පුරුදු පුහුණු කරගත යුතුයි. සතර සතිපට්ඨානයෙහිම පිහිටා කටයුතු කිරීමට තමන්ගේම සිත තමන්ම පුරුදු පුහුණු කර පදම් කරගත් පසුව ඒ ධර්මතාවය, ඒ යථාවබෝධය, ඒ සත්‍යවබෝධය කිසිවෙකුට හෝ මන ආකාරයේ සුන්දර දේකින් හෝ කර්කශ දේකින් හෝ වික්සෝපයට පත් කරවීමටත් නොහැකි වේ. උද්ධච්චයට පත් කරවීමටද නොහැකිය. මේ ”උද්ධච්ච විග්ගහිත මානසං” යන ක‍්‍රියාවලියයි.

හැම පෘථග්ජන පුද්ගලයෙක් තුළම මේ සංසාර ගමන පවත්වා ගැනීමට අවශ්‍ය කාන්දම් ශක්තියක් උත්පාදනය කර ගන්නා විශේෂ බලයක් ඇත. රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, පොට්ඨබ්බ කාම, ධම්ම කාම යනුවෙන් ධර්මයේ නම් කරන මේ කාම ගුණයන් තමන්ගේම ඇස, කන, නාසය, දිව, කය, මන යන ඉන්ද්‍රියයන්ට ස්පර්ශ වීම මේ කාම ධාතුවේ විශේෂ ශක්තියක් ඉපදවීමට නියත වූ හේතුව වේ. අපගේ චිත්තසංථානයේම තැන්පත් වී ගබඩා වී පවතින මේ කාම ගුණයන්ගේ ශක්තිය සිත තුළම අවධි වීමෙන් ප‍්‍රිය දේට ඇලීම සිදු වේ. පටිච්ච වීමද සිදු වේ. මේ කාම ගුණයන්ගේ ශක්තිය අවධි වුණොත් ඒ ශක්තියට යට නොවී සිටින්නට පෘථග්ජන පුද්ගලයෙකුට නොහැකි වේ. ඊට හේතුව මත ්වීමයි. සියලුම පීඩාවන් විඳීමට, සියලුම පලිබෝධයන් උරුම වීමට, දුක් විඳීමට මේ කාම ගුණයන් තම තමන්ගේම චිත්තසංථානය තුළම ගබඩා වී පැවතීම හේතුවෙන් මේ කාම ගුණයන්ගේ රස බැලීමට විඤ්ඤාණය නිතරම සැදී පැහැදී සිටී. මේ කාම ගුණයන්, විඤ්ඤාණයට ආහාර සපයා දීම කරනු ලැබේ. පස්ස ආහාර, සංචේතනා ආහාර, කබලිංකාර ආහාර, විඤ්ඤාණ ආහාර කොටස් හතරම උත්පාදනය කර බැඳීම සිදු වන්නේ විඤ්ඤාණයට ආහාර සපයා දීම සඳහායි. අරහත් තත්ත්වයට පත්වූ කෙනෙක් මේ කාම ගුණයන් වල රහ නොබලයි. රහ බැලීමෙන් වෙන් වී, රස අත්හැර, සහමුළින්ම රහ බැලීම අත්හල නිසා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කිසිවක් සිතේ උත්පාදනය නෙවේ. ඒ නිසා පංචස්කන්ධයම උපාදානය කර නොගනී. අතීතයේ උපාදානය කර පරිහරණය කරමින් සිටි පංචස්කන්ධයම අත්හැර නිදහස් වීමත් අලුතින් පංචස්කන්ධය උපාදානය කර නොගැනීමත් පංචඋපාදානස්කන්ධයම උපාදානය කරගැනීමේ ක‍්‍රමවේදය සිතින්ම බැහැර කර නිදහස් වීමත් නිවන් දැක ගැනීම වේ.

බුදුපියාණන්වහන්සේ සතර සතිපට්ඨාන භාවනාව දේශණා කර පෙන්වා දීමෙන් අපට වැදගත්ම පණිවිඩයක් ලබා දුන්හ. මේ නිවැරදි පණිවුඩය පළමුවෙන්ම පැහැදිළිවත්, සරළවත් තමන්ම යථා පරිදි අවබෝධ කරගත යුතුයි. ඒ පණිවුඩය දැන, අසා, භාරගෙන නිහඩවම සිටිය යුතු නොවේ. ඒ පණිවුඩයට අනුව තම තමන්ගේ පැවැත්ම සංවිධානය කර ගැනීම තමන් දුකින් මිදීමටත් සැපයට ළං වීමටත් හේතු වේ. මේ පණිවුඩයෙන් පෙන්වා වදාළ අනුගමනය කළයුතු ප‍්‍රතිපදා මාර්ගයේ කිසිම ආකාරයක සැපයක් බලාපොරොත්තුවක් පිළිබඳව දක්වා නැත. කළ යුත්තේ දුක් දෙන දේ, දුක් දෙන්නට හේතුවන දේ අස් කිරීම පමණි. තමන් කළයුතු දේ කළ යුතුයි. නමුත් ඒ ක‍්‍රියාව කිරීම නිසා කිසිම ආකාරයක ප‍්‍රතිලාභයක් තමන්් බලාපොරොත්තු නොවිය යුතුයි. ප‍්‍රතිලාභයක් තමන් ආපසු බලාපොරොත්තු වේ නම් දුකට මුල් වන හේතුවත් එයම වේ.

සමුදය ධර්ම යන පදයේ අර්ථය හොඳින්ම අවබෝධ කරගත යුතු වේ. සං+උදය එනම් සමුදය බිහි කිරිම නිසා අපගේ ජීවිත කිළිටි වීම සිදු වේ. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය නැවත නැවතත් සිතක් තුළින් උත්පාදනය වීම වන්නේ සමුදය හේතු කොට ගෙන වේ. විඤ්ඤාණයට මේ පැවැත්ම තමන්ට රිසි පරිදි, කැමති පරිදි දිගටම පවත්වා ගතහැකි වන්නේ මේ සමුදය ධර්ම උත්පාදනය කර ගන්නා නිසාමයි. සමුදය ධර්ම ක‍්‍රියාත්මක වන තුරාවට කෙනෙකුගේ චිත්තසංථානය කිළිටි වන නිසා කම්සැප බලාපොරොත්තු වේ. පව්කම් කරයි. අවිද්‍යාවෙන් මෝහයෙන් බොහෝමයක් අකටයුතු දේ කරයි. නොකළයුතු දේ කරයි. ඉන් දුක් විඳී.

”නිරෝධ කිරීම” යනු නිර්උදා යන අර්ථයයි. සමුදය වීම නැවැත්වීම නිරෝධ කිරීමයි. නිරෝධ යන්නට අනුප්පාදෝ යන අර්ථයද භාවිතා වේ. එසේ නම් සමුදය උත්පාදෝ – නිරෝධය අනුත්පාදෝ, සමුදය උප්පජ්ජති – නිරෝධ අනුප්පාදෝ (අජාති), උප්පාදෝ සංඛාරං යනුවෙන් ධර්ම විග‍්‍රහයේ පෙන්වූයේ සමුදය නිසා ඇතිවන ප‍්‍රතිවිපාකයි. සමුදය නිරෝධ කිරීමෙන් අනුප්පාදෝ යන තත්ත්වයට පත්වූ විට නිදහසයි. නිවනයි.

”අනුප්පාදෝ සුඛං, අනුප්පාදෝ ඛේමං, අනුප්පාදෝ නිරාමිසං, අනුප්පාදෝ නිබ්බානං” නිවන යන නිදහස් තත්ත්වයට පත් වීමට නිරෝධගාමී ප‍්‍රතිපදාව දිගින් දිගටම අනුගමනය කර සමුදය නිරෝධ කිරීමට පුරුදු පුහුණු වීම කළ යුතුම වේ.

අපි මෙතෙක් කාලයක් සංසාරේ හිතන්නට පුරුදු වී සිටිය සම්මත ක‍්‍රමයක් අපි ළඟ තිබුණි. මෙය සිතිය යුතු නිවැරදි ක‍්‍රමය නොවෙයි. වැරදි ආකාරයට සිතූ නිසා ඒ අනුව ක‍්‍රියාකළ නිසා අපි දුක් විඳ ඒවා විඳිමින් ඒවාම උරුම උරුම කර ගතිමු. මෙතෙක් කාලයක් සිතූ වැරදි ක‍්‍රමය දැන් අපිම වෙනස් කර ගත යුතු බව යථාපරිදි අවබෝධ කරගැනීමත් කළ යුතු වේ. අළුත් ක‍්‍රමයට සිතා ක‍්‍රියා කිරීමට පුරුදුවීම සතර සතිපට්ඨානයෙහි පිහිටා කටයුතු කිරීමයි. තමන්ගේම සිත අන්තගාමී ලෙසින් ප‍්‍රිය දේට ඇලේ නම්, අප‍්‍රිය දේට ගැටේ නම්, තරහා ගනී නම්, මානයෙන් මුළාවෙන් ක‍්‍රියා කරයි නම් ඒ මෙතෙක් සංසාර ගමනට උපකාර වූ වැරදි සිතිුවිලි පැවැත්වූ පෘථග්ජන ක‍්‍රමවේදයයි. දැන් කොතරම් ප‍්‍රිය වුණත් නොඇලේ. කොතරම් අප‍්‍රිය වුණත් නොගැටේ. මෝහයෙන් මානයෙන් මුළා නොවේ. උපේක්ඛා සිතින් ඉවසා විමසා සැනසීම ලබයි. නිවන් දැකීම යනු මෙම අත්දැකීමයි.

අපි අපේම අතීත හැසීරීම් රටාව දෙස කල්පනාවෙන් විමසා බලමු. මම ඇසින් බැලුවේ, කනිින් ඇසුවේ, නාසයෙන් ආග‍්‍රාහණය කළේ, දිවෙන් රස වින්දේ, කයෙන් ස්පර්ශ කළේ, මනසින් සිහින මැව්වේ, සිතිවිලි දිගේ රවුම් ගැහුවේ මට අවශ්‍ය වන නිසා නොවේ. ජීවිතය පවත්වා ගැනීමට විඤ්ඤාණයට අවශ්‍ය වූ නිසයි. ජීවිතය පවත්වා ගෙන යාම සඳහා මේ කාම ධර්මයන් නියත වශයෙන්ම උපකාර වන නිසා අප හැම කෙනෙක්ම ප‍්‍රිය දේට ඇලීමටත්, අප‍්‍රිය දේට ගැටීමටත් මේ දෙක අතරේ මුලා වීමටත් විය. මේ කාන්දම් ශක්තියකි. විඤ්ඤාණ ශක්තියකි. මේ ශරීර කූඩුව තුළම මෙම ශක්තිය පවත්වා ගෙන යනු ලබයි. මේ ශක්තිය ”කායේ කායානුපස්සනාවෙන්” සංසිඳවා ගත යුතු වේ. ජීවත් වීම සඳහා කරන, කියන, හිතන හැම දෙයක්ම දුකකුත් උත්පාදනය කර දෙනු ලැබේ. ජීවත් වීමට බලාපොරොත්තුවක් ඇති නිසාත් බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉටු නොවූ නිසාත් දුක උරුම වේ.

ඇස, කන, නාසය, දිව, කය හා මන පිනවීමේ ආශාව කය රමණය කිරීමේ ආශාවයි. මිනිසා යන සත්ත්වයාට හැර වෙනත් කිසිම සත්ත්වයකු මේ ක‍්‍රියා හයට ඇලීම නිසා දුක් විඳීම නොකරයි. කාමයට යටත්වීම කාමය පළිබෝධයක් වීම කැමති වූ දේ නොලැබීම හා කැමති වූ දේ ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට නොහැකි වීම කියන සියලුම දේ දුක් විඳවීමට මූලික හේතුන් වේ. බොහෝම මිනිසුන්ට ජීවිතය එපා වීමට සියදිවි නසා ගැනීමට හේතුව මේ දුක ඉවසා දරා ගැනීමට නොහැකි වීමයි. මිනිසා හැර වෙනත් කිසිම සත්ත්වයෙකු සියදිවි හානි කර නොගනී. මිනිසාට ඇති ශක්තිය වෙනත් කිසිම දෙවියෙකුවත් ලබා නැත. කාමය නිසාම ජීවත්වන කාමය නිසාම ජීවත්වීම එපා වෙන එකම සත්ත්වයාත් මිනිසායි.

ත‍්‍රිපිටකගත බුද්ධ දේශණාවේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් සතර සතිපට්ඨාන සූත‍්‍රයේත් ආනාපාන සති සූත‍්‍රයේත් ගිරිමානන්ද සූත‍්‍රයේත් දීඝනිකායේ සඳහන් මහා සතර සතිපට්ඨාන සංයුක්තය පුරාමත් පටිසම්භිදා මග්ගප‍්‍රකරණයේ සඳහන් වන සතිපට්ඨාන විග‍්‍රහයේත් විවිධාකාරයෙන් විග‍්‍රහකර පෙන්වා වදාළ සතර සතිපට්ඨාන භාවනා ක‍්‍රමය නිසි අවබෝධයකින් යුතුවම ප‍්‍රායෝගිකවම තමන්ම භාවිතා කළ යුතු භාවනා ක‍්‍රමයකි. නිවන් මඟඵල අවබෝධය සඳහා උපකාර වන සතර සතිපට්ඨාන භාවනාව වැඞීමේ නිවැරදි ක‍්‍රමය බොහෝ දෙනෙකු භාවනා කරනු ලබන්නේ ධ්‍යාන ලබාගැනීමේ ඒකායන බලාපොරොත්තුවකිනි. මඟඵල අවබෝධ කර ගැනීමේ අදහසින් නොවේ. එදා ගෝතම බුදුපියාණන්වහන්සේ සතර සතිපට්ඨාන භාවනා ක‍්‍රමය ලෝකයාට අනුදැන දේශණා කර වදාළේ ලෞකික වශයෙන් යමක් ලබාගැනීමේ අරමුණින් නොවේ. කෙළෙස් ප‍්‍රහාණය කර චිත්තසංථානය පිරිසිදුකර ගැනීමේ ක‍්‍රමවේදයක් ලෙසයි. දිර්ඝ සංසාර ගමනේදී කවදා හෝ කොතැනක දී හෝ තමන්ම එකතු කර අදටත් පරිහරණය කරනු ලබන අයහපත් ගති පුරුදු කිහිපයක් භාවිතයෙන් අතහැරීමටත් යහපත් ගති පුරුදු ඒ වෙනුවට භාවිතයට පරිහරණයට ගැනීමටත් ක‍්‍රමවේදයන් කිහිපයක්ම මේ මහා සතරසතිපට්ඨාන සූත‍්‍රයේදී පෙන්වා වදාරා ඇත.

මිනිසෙකු සතුව පවතින විපස්සනා ඥාණයම මතුකර සිත පිරිසිදු කර ගැනීමෙන් මාර්ගය කියා දී මිනිසා සතු සිතීමේ හැකියාව යෝනිසෝමනසිකරණීය ශක්තියම විපස්සනා ගුණය ලෙසින්ම ඉස්මතු කර භාවිතා කිරීමට ඒ ඒ පුද්ගලයාටම මඟ පෙන්වා දීම බුද්ධ ධර්ම මාර්ගයයි. තම තමන්ගේ සිත කිළිටි වූ තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වන තුරාවට තමන් දුක් විඳින බවත් සැප සොයා, සැප හඹා යන බවත් තණ්හාවෙන් අවිද්‍යාවෙන් තමන් ක‍්‍රියාත්මක වන බවත් දැන ගන්නට හෝ දැක ගන්නට හෝ තමන්ටම නොහැකි වන බවත් මිනිසුන්ට පෙන්වා දුන්නේ බුද්ධ ධර්මයෙන්ම පමණි. ඒ ඒ පුද්ගලයාටම වෙන වෙනම පෞද්ගලිකවම තම තමන්ගේම චිත්තසංථානයේ ගබඩා වී පවතින කෙළෙස් ගති පුරුදු ප‍්‍රහාණය කර ගැනීමට සමුච්ඡෙද දුන් එකම ධර්මය බුද්ධ ධර්මයයි. වශයෙන්ම ඉවත්කර මුලින් උදුරා දමන්නට මඟ කියා

මනසක් සහිතව උපත ලත් මිනිසෙකුට අනුගමනය කළ හැකි ආකාරයෙන් තම මනස මෙහෙයවා ඉවසා විමසා බලා ඇත්ත ඇති සැටියෙන් දැක ගන්නට යථා පරිදි දැක ගත් නිවැරදි මාර්ගය අනුගමනය කර දුකින් නිදහස් වන්නටත් මඟ පෙන්වූ එකම දහම බුදු දහමයි. කිසිම ආගමකින් මෙවැනි පරම පවිත‍්‍ර මඟ පෙන්වීමක් පෙන්වා දී නැත. මේ නිසා බුදු දහම යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී ධර්මයකි.

කාය, වේදනා, චිත්ත, ධම්ම යනු තමන්ගේම සිත තුළම ක‍්‍රියාත්මක වන අවස්ථා හතරකි. මේ අවස්ථා හතරම සිත තුළ ක‍්‍රියාත්මක වීමට මුල් වූ නිදාන වූ එකම හේතුව ප‍්‍රිය අප‍්‍රිය යන ගති දෙකක් හිතේම උප්පත්තිය ලැබීම හා ක‍්‍රියාත්මක වීමයි. කැමැත්ත, අකැමැත්ත, මනාප බව, අමනාප බව, මිහිරි බව, අමිහිරි බව යන දෙපැත්තට, දෙකෙළවර නිසාම දුක, සැප යන අන්ත දෙක සිතේ බිහි වේ. ලාභ අලාභ, යස අයස, නින්දා ප‍්‍රසංසා යන අෂ්ටලෝක ධර්මයට අදාළ සියලු දේම සිතක මතුවන දේවල් වේ. සිතක ක‍්‍රියාත්මක වන ගති පුරුදු මේ අන්ත දෙක අතර දෝලනය වන බව වටහා ගත යුතුයි. විඤ්ඤාණය දිගින් දිගටම ජීවත් කරවීම සඳහා ආහාර සපයන්නේ මේ ගති පුරුදු වල දෙඅන්තයෙන්මයි. ”උභෝ අන්තෝ අනුපගම්ම මජ්ජිමා ප‍්‍රතිපදා භගවතේන අභිසම්බුද්ධා” යනු උපේක්ඛා සිතකින් මේ අන්ත දෙකටම නොවැටී මත් නොවී, මිදී නිදහස් වීමයි. මෙවන් උපේක්ඛා සිතත් පැතිර වීමටත්, පවත්වාගෙන යාමටත් පුරුදු පුහුණු විය යුතුයි. සතර සතිපට්ඨානයෙහි පිහිටා උපේක්ඛා සිතකින් ක‍්‍රියාකර ප‍්‍රිය අප‍්‍රිය අන්ත දෙකටම නොඇලී, නොගැටී, ඉවසා විමසා කටයුතු කිරීම නිවනට නිදහසට මාර්ගයයි.

”ලෝකය හොඳයි ලෝකය නරකයි” යනුවෙන් ප‍්‍රිය, අප‍්‍රිය යන අන්ත දෙක තෝරන ගති පුරුද්දක් සිතක පවතී නම් ඒ ගති පුරුද්ද සිතින් ඉවත් කරගන්නා තුරුම ඒ පුද්ගලයා සතර සතිපට්ඨානයෙහි පිහිටා කටයුතු කරන පුද්ගලයකු යනුවෙන් සඳහන් කළ නොහැකි වේ. මේ ආකාරයෙන් ලෝකයේ යථාස්වභාවය දැක ගැනීමෙන් ”අනිච්ච, දුක්ථ, අනත්ථ” අනුපස්සනා කර ”නිච්ච සුඛ අත්ථ ” සංඥා සිතින් ඉවත් කර ගැනීමත් කළ හැකි වේ. හොඳ ලෝකයක් හොයන්නෙත් නරක ලෝකය සමඟ ගැටෙන්නෙත් හිතේ නිච්ච සුඛ අත්ථ දෘෂ්ඨියක්, ආකල්පයක් පැවතීම නිසාමයි.

”අනිච්ච, දුක්ඛ, අනත්ථ” අනුපස්සනා කර යථා පරිදි ලෝකය අවබෝධ කරගත් කෙනෙකුට තමන්ගේ හිත හදාගෙන බාහිර ලෝකය තමන්ට කැමති පරිදි පවත්වාගන්නට, නවත්වන්නට නොහැකි බවත් තේරුම් ගනී. තමන්ගේ ලෝකය හෝ බාහිර ලෝකය හෝ තමන්ගේ ප‍්‍රිය මනාප ආකාරයට කැමැත්තට ගැළපෙන ආකාරයට පවත්වන්නට තමන් උත්සාහ දරණ තුරාම එය ඉෂ්ඨ සිද්ධ නොවීම නියත නිසා දුකට පත්වන බවත්, අනාථ තත්ත්වයට තමන්ම පත්වෙන බවත් යථාපරිදි දැනගනී. දැකගනී. තේරුම් ගනී. මේ දැකීම යථාභූත ඥාණ දර්ශනයයි.

යම් කෙනෙක් මේ බුද්ධ ධර්මය ගැඹුරුයි, තේරුම් ගැනීම අවබෝධ කර ගැනීම අමාරුයි යනුවෙන් සිතයි නම් ඊට එකම හේතුව තමන්ගේ මානසික ශක්තිය අපිරිසිදු වීමයි. තමන්ගේම මනස රාගයෙන් ද්වේෂයෙන් මුවහ වී ඇති නම් ගැඹුරු ධර්මය තේරුම් ගත නොහැකියි. පළමුව කළ යුත්තේ රාගය, ද්වේෂය තුනී කර මනසීකරණ ශක්තිය පිරිසිදු කරගැනීමයි. සීල, සමාධි, පඤ්ඤා යන ත‍්‍රිශික්ඛාවම පිළිපැදිය යුතු ප‍්‍රතිපදාවන් සමූහයකි. ප‍්‍රායෝගිකවම තමන් කළයුතු හා නොකළ යුතුදේ වෙන් කර තේරුම් ගෙන සීලයේ පිහිටා, සමාධියෙන් හා ප‍්‍රඥාවෙන් කටයුතු කිරීම සතර සතිපට්ඨානයේ පිහිටා ක‍්‍රියා කිරීමමයි. සතර සතිපට්ඨාන සූත‍්‍රයෙන් පෙන්වා වදාළ පිළිපැදීම් සමූහය ප‍්‍රායෝගිකව අනුගමනය කරයි නම් සීල සමාධි පඤ්ඤා ත‍්‍රිශික්ඛාවම තමා තුළින්ම පූර්ණ වේ.

එදා ලොව්තුරු බුදුපියාණන් මහා සතර සතිපට්ඨාන සූත‍්‍රය ලෝකයාට දේශණා කර පෙන්වූයේ මෙම ක‍්‍රමවේදයයි. මේ ක‍්‍රමවේදය අදවන විට පදපරම අර්ථයෙන් තේරුම් ගෙන ලෝකයාට ලෞකික සුවයම හුවා දක්වන්නට ක‍්‍රියා කිරීම නිවන වැසී යාමට හේතුවයි. නිවැරදිව සතර සතිපට්ඨාන භාවනාව භාවිතා කිරීම එකම නොවරදින මාර්ගය බව සැම දෙනාම අවබෝධ කර ගනිත්වා.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.