අශෝක මහාධිරාජයා සහ ඔහු ගොඩ නැගූ බුද්ධ රාජ්‍යය

ඉන්දීය ඉතිහාස කථාවේ අසහාය රාජ්‍යය නායකයකු වූ, අධිරාජයකු වූ, අශෝක මහ රජතුමා විසින් ගෞතම බුදුන්ගේ පරිනිර්වානයෙන් වසර 280කට පමණ පසුව පසුව ඉන්දියාවේ තමා යටත් කරගත් ප්රදේශවල ධර්ම රාජ්‍යයක් පිහිටුවන ලද බව කියැවෙන කථාව කවුරුත් දන්නා සත්‍යය සිද්ධියකි. මෙහි ගැබ්ව ඇති තවත් සත්‍යය ම වූ කථා පුවතක් කාලයේ වැලි තලාවෙන් යටපත්ව ගොස් ඇත. අශෝක යුගය පිළිබඳව ඉන්දීය ඉතිහාසය ලියා තැබූ මහාචාර්ය එල්. ඒ. බෂාම් තම ඉන්දීය ඉතිහාස පොතේ සටහන් කර තැබූ බොහෝ දේවල් ද මේ සත්‍යය එළි දැක්වීම සඳහා අපට ප්‍රයෝජනවත්ය. මේ පොත පළවූයේ ඉංග්‍රීසි භාෂාවෙනි. පසුව මෙය සිංහල භාෂාවටද පරිවර්ථනය විය. මුල් ඉංග්‍රීසි පිටපතේ සටහන් වන සමහරක් කරුණු පරිවර්තනයේදී ගිලිහී ගොස් ඇත. එසේ නැත්නම් පරිවර්තකයන් දැරූ මතයන් ද පොතට ඇතුළු කර ඇති බව පෙනේ.

අශෝක අධිරාජයා ඉන්දියාව තුළ බලය අල්ලා ගත්තේ ග්‍රීක පාලකයින් පලවා හැරීමෙන් පසුව ය. පළමුවෙන් ම නැඟෙනහිර ඉන්දියාවත් බටහිර ඉන්දියාවත් ඊට පසුව උතුරු ඉන්දියාවත් තම අධිරාජ්යයට අල්ලා ගත් අශෝක මහරජු ඉන් පසුව දකුණු ඉන්දියාව දෙසට ද හැරුණේය. කාලිංග යුද්ධය අශෝක මහරජතුමා විසින් කරන ලද අවසාන ම හා දරුණු ම යුද්ධයයි. මිනිසුන් ලක්ෂ ගණනක් මරා ඒ හා සමාන ම මිනිසුන් ප්‍රමාණයක් සිරගත කොට විශාල ජීවිත විනාශයක් සිදු කළ මෙම යුද්ධයෙන් පසුව අශෝක අධිරාජයා කාවේරි නදිය දක්වා ම තම බලය පතුරුවා ගත්තේය.

හෙළදිව එදා පැවති දියුණු රාජ්‍යය ගැනද අසා දැන තිබූ අශෝක මහ රජතුමා කාලිංග දේශයේ ම රැඳී සිට හෙළදිව යටත් කර ගැනීමේ අදහසින් යුද්ධ හමුදා හෙළ දිවයින වෙතට එවීය. කිහිප වරක් ම මේ ආකාරයට හමුදාවන් හෙළ දිවයින කරා යැවුවත් ඒ කිසි ම හමුදාවකට හෙළ දිවට ළං වන්නට හෝ නොහැකි විය.

මේ වන විට හෙළ දිවයිනේ බොහෝ තැන් වල බුද්ධ ධර්මය ස්ථාපිත වී දකුණු ඉන්දියාවේ පවා බුද්ධ ශ්‍රාවකයින් නිතර දකින්නට ලැබිණි. කාවේරි නදිය තෙක් ම දකුණු ඉන්දියාවේ ද බුද්ධ ධර්මය ව්‍යාප්තව පැවතිණි. බුද්ධ ශ්‍රාවකයින් ගැනත්, බුද්ධ ධර්මයේ අවිහිංසාවාදී ප්‍රතිපත්ති ගැනත් අසා දැනගන්නට අශෝක මහ රජුට මේ වන විට අවස්ථාව ද ලැබිණි. කාලිංග යුද්ධයෙන් හෙම්බත්ව මානසිකව අසහනයට පත්ව සිටි අශෝක මහ රජුට අති මහත් මානසික සුවයක් මෙන්ම ජීවිත පැවැත්මේ නව පරිවර්තනයක් ඇති කරන්නට ද සමත් වූ විශේෂ සිදු වීමක් ද මේ අතර ම සිදු විය. ඒ බුද්ධ ශ්‍රාවකයින්ගේ දර්ශනයත් බුද්ධ ධර්මයේ ආ අවිහිංසා ප්‍රතිපත්ති මාර්ගය ගැනත් අසා දැන ගැනීමයි. හෙළ දිවයින ගැනත් බුද්ධ ධර්මය ගැනත් මේ වන විටත් යම්යම් තොරතුරු බුද්ධ ශ්‍රාවකයින්ගෙන් ම අසා දැන ගන්නටත් අශෝක අධිරාජයාට අවස්ථාව ලැබී තිබිණි.

යුද්ධ හමුදා මෙහෙයවා හෙළදිව යටත් කර ගන්නට අශෝක රජු මෙතෙක් දැරූ සියලු ප්‍රයත්නයන් ද අසාර්ථක විය. මේ අනුව බුද්ධ පුත්‍රයින්ගෙන් අශෝක මහරජු විමසා සිටියේ “මෙපමණ විශාල වූ භාරත දේශය ම ජයගත් මට මේ කුඩා හෙළ දිවයින යටත් කර ගන්නට නොහැකි වූයේ එහි ඇති කුමන බලයක් නිසාද?” යන්නයි.

මෙයට පිළිතුරු දුන් බුද්ධ ශ්‍රාවකයන් ප්‍රකාශ කර සිටියේ, “මහරජ ඒ හෙළ දිවයින යනු ජන්බුද්වීපයයි, බුද්ධ රාජ්යයයි. එහි පවතින්නේ ධර්ම රාජ්යයක්. බුද්ධ රාජ්යය යුද්ධ බලයෙන් යටපත් කළ නොහැකියි. ඒ නිසා යුද්ධයෙන් හෙළදිව යටත් කර ගන්නට තිබෙන ආශාව අදහස අතහැර දමන්න” යනුවෙනි. මේ අනුව යුද්ධ කිරීමේ අදහස සම්පූර්ණයෙන් ම අත්හැර දැමූ අශෝක මහරජතුමාට අලුත් ම අදහසක් පහළ විය. ඒ අලුත් අදහස නම් තමන් ද බුද්ධ රාජ්යයක් – ධර්ම රාජ්‍යයක් තම රාජ්යය තුලම ස්ථාපිත කළ යුතුය යන්නයි. මේ අනුව වසර නවයක් තිස්සේ ම යුද්ධයෙන් බලයෙන් රට පාලනය කළ යුගය අවසන් කර ධර්මයෙන් රට පාලනය කිරීමේ යුගයක් ඇති විය. චණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් විය.

මේ අනුව බුද්ධ රාජ්‍යය යනු කුමක්ද, ජන්බුද්වීපය යනු කුමක්ද, එහි ඇති විශේෂ ස්ථාන හා වත්පිළිවෙත් මොනවාද යනාදී දේ ගැන කරුණු සොයා බලා තමන්ට වාර්තා කරන ලෙසින් අශෝක රජු පුරෝහිතයින් නව දෙනෙකු ම හෙළ දිවයින කරා පිටත් කර එවීය. බුද්ධ රාජ්‍යය,  ජන්බුද්වීපය පිළිබඳව සියලු තොරතුරු හා කරුණු සටහන් කරගෙන එන ලෙස ද ඔවුන්ට නියෝග කළේය. (මහාවංශයේද මේ බව පැහැදිලිවම සටහන් කර ඇත.). මේ අනුව හෙළ දිවයින ගැනත්, ජන්බුද්වීපයය ගැනත්, බුද්ධ රාජ්යය ගැනත්,  බුද්ධ ධර්මය ගැනත්,  බොහෝ තොරතුරු අශෝක රජුට තම පුරෝහිතයින් වෙතින් ලබා ගන්නට හැකි විය. මේ සියලු තොරතුරු දැන ගත් අශෝක මහ රජුට පුදුම විධියේ අදහසක් පහළ විය. ඒ අදහස නම් තම ඉන්දීය අධිරාජ්‍යය පුරාම බුද්ධ රාජ්‍යයක් කෘතීම ලෙසින් ප්‍රතිශ්ඨාපනය කිරීමයි. මේ අදහස අනුව හෙළදිව ජන්බුද්වීපයේ එදා පැවති සියලු වෙහෙර විහාර , ජනපද, පූජනීය ස්ථාන සියල්ල ම ඉන්දියාවේ ද ආකෘති ලෙසින් පිහිටුවීම එතුමා ආරම්භ කළේය. ඒ අනුව අශෝක මහ රජුගේ නියෝගයෙන් මුළු ඉන්දීය අධිරාජ්යය පුරාම විසිරී පැතිරී යන ආකාරයෙන් තුන්වසරක් තුලදී වෙහෙර විහාර අසූහාර දහසක් ගොඩ නංවා එදා හෙළදිව ජන්බුද්වීපයේ භාවිතා කරන ලද සමහරක් නම් ගම් පවා ඒවාට ආරෝපනය කෙළේය. මීට අමතරව එදා ජම්බුද්වීපයේ පැවති සොලොස් මහා ජනපදයන්ට අනුරූපව ඉන්දියාවේ ද සමහරක් ජනපදයන් ම නාමිකව නම් කෙළේය. විශෂයෙන් ම ගෞතම බුදුන්ගේ උපත, බුද්ධත්වය, පළමු ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානයන් මෙන් ම පිරිනිවන් පෑ ස්ථානයද සිහිපත් කිරීම සඳහා විශේෂ ස්මාරක ස්ථානයන් ගොඩ නැඟීය. ඒ වාගේම එදා හෙළදිව විශේෂ ස්ථානයන් වූ දෙව් රම් වෙහෙර, ජේතවනාරාමය, රජගහ නුවර වේළුවනාරාමය ආදී ප්‍රධාන ස්ථානයන් ද විශෙෂයෙන් ම ගොඩ නැංවීය. එසේම අශෝක මහරජතුමා ධර්ම අමාත්යයින් පත් කර මේ වෙහෙර විහාරවලට බුද්ධ ශ්‍රාවකයින් ද ගෙන්වා ගන්නටත් ක්‍රියා කළේය.

අශෝක මහරජතුමා ගොඩනැඟූ මෙම ආකෘති සිද්ධස්ථාන වල ආගම් බේදයකින් තොරව එදා ඉන්දියාවේ පැවති සියලු ආගමිකයින්ට ලැගුම් ගත හැකි බව ද ප්‍රකාශ කෙළේය. එදා ඉන්දියාවේ පැවති සියලු ආගම් වල අනුගමනය කළ යහපත් ප්‍රතිපත්ති සමග හෙළදිවෙන් ගෙන ආ බුද්ධ ධර්මයේ යම් යම් ලෞකික අවිහිංසාවාදී ප්රතිපත්ති ද, පංචසීල ප්‍රතිපදාව ද තවත් යම්යම් විශේෂ අංගයන් ද එක් කර මෙතෙක් හෙළදිව පැවැති පවිත්ර බුද්ධ ධර්මය වෙනුවට ඉන්දියාවේදී බුද්ධාගමක් ස්ථාපිත කරන්නටත් අශෝක මහරජතුමා සමත් විය. තම අධිරාජ්යය පුරාම මෙම අලුත් ආගම පැතිර වූ අශෝක මහරජතුමා ඉන්දියාවේ සියලු අසල්වැසි රාජ්‍යයන් වෙත ද මේ අලුත් ආගම පැතිරවීම සඳහා ධර්ම දූතයින් පිටත් කර යැවීය. මේ අනුව අශෝක මහරජුගේ ජීවිත කාලය තුලදී පෙරදිග බොහෝ රටවලට බුද්ධාගම පැතිර ගියේය. මෙහි නියත ප්‍රතිඵලය වූයේ නිවන් දකින්නට උපකාර වන ලෙසින් ම එදා ගෞතම බුදුපියාණන් දේශනා කර වදාළ පරම පවිත්‍ර බුද්ධ ධර්මය වසර 300 කට පමණ පසුව නැවතත් ආගම් සංකල්පවල බලයට යටත් වී බුද්ධාගමක් ලෙසින්  ව්‍යාප්ත වීමයි.

අශෝක මහරජතුමා බුද්ධ රාජ්‍යයක් පිහිටුවා ඉන්දියාවේ ධර්ම රාජ්‍යයක් ද ස්ථාපිත කර බුද්ධාගම ඉන්දීය රාජ්‍ය ආගම බවට ද ප්‍රකාශ කරන අවස්ථාව වන විටත් මේ හෙළ දිවයිනේ කොටසක එනම් දේව හෙළයේ (එදා බුදුන් උපත ලැබූ ජන්බුද්වීපයේ) බොහොමයක් ස්ථාන වල පරම පවිත්‍ර බුද්ධ ධර්මය අනුගමනය කරමින් මඟපල ලැබූ අරහතුන් වහන්සේලා ම විසි තිස් දහසකටත් වඩා වාසය කළ බවද ඉතිහාසයෙන්ම පැහැදිලි වෙයි. මේ යුගය වන විටත් හෙළදිව ජන්බුද්වීපයේ කොටසක පරම පවිත්‍ර බුද්ධ ධර්මය පැතිර පැවති අතර ම තවත් කොටසක කිසිම ආගමක් ධර්මයක් නැති ගෝත්‍රික ජනතාවක් ද වාසය කළහ. ඒ යක්ෂ හෙළයේ යි. එදා ගෞතම බුදුපියාණන් ජීවමානව ම හෙළදිව ජන්බුද්වීපයේ වැඩවසන යුගයේ දී පවා හෙළදිව මෙම කොටසේ ජීවත් වූ යක්ඛ, නාග, කුම්භාණ්ඩ , හා ගාන්ධර්ව ගෝත්‍රික ජනයාගෙන් බහුතර කොටසක් බුදුන් දේශනා කළ ධර්මය පිළිගත්තේ ම නැත. පසු කලෙක මෙම යක්ෂ ගෝත්‍රික නායකයින්ව මරවා ඉන්දියානු ජාතික විජය රජු යක්ෂ හෙළයේ පාලනය භාර ගත්තද එහි විසූ පොදු ජනයාට හෝ විජය රජුගෙන් පැවත ආ වෙනත් රජ වරුන්ට හෝ බුද්ධ ධර්මය අනුගමනය කරන්නට ද දැනුමක් නොවීය. මිහිඳු හිමියන් මෙන් ම අශෝක මහරජතුමා ද සිදු කළේ එදා මෙම යක්ෂ හෙළයේ විසූ රජුට මෙන්ම එහි ජීවත් වූ පන්සිල් පවා නොරැකි මිනිසුන්ට ද බුද්ධාගම හඳුන්වා දීමයි. මේ ආකාරයට අනුරපුර රාජධානියට අශෝක රජු හා මිහිඳු හිමියන් බුද්ධාගම හඳුන්වා දෙන අවස්ථාව වන විටත් දේව හෙළයට අයත් මේ රටේම බොහෝ ප්රදේශවල මඟපල ලාභී අරහතුන් වහන්සේලා දස දහස් ගණනින් වැඩ සිටි බව ඉතිහාසයේ පැහැදිලිව ම සඳහන් ය. ලංකාවට බුද්ධාගම ගෙනා බව කියන මිහිඳු හිමියන් මෙන් ම මිහිඳු හිමියන්ගේ සොහොයුරිය වූ සංඝමිත්තා මෙහෙණියද එදා හෙළදිව පිරිසිදු බුද්ධ ධර්මය පැවති සැවැත් නුවර, රජගහ නුවර වැනි ප්‍රදේශ වලට පැමිණ එදා එහි සිටි මහ අරහතුන් වහන්සේලා ගෙන් බුද්ධ ධර්මය අසා දැන ඉගෙන ගෙන මඟපල ලබාගත් බව ද පෙන්වා දිය යුතුය. මිහිඳු හිමියන් හෙළබස හා මාගධී බස ඉගෙන ගත්තේ ද මේ දේව හෙළයේදි ම ය.

මිහිඳු හිමියන් හා සඟමිත් කුමරිය ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන අවධිය වන විටත් හෙළදිව නැඟෙනහිර, මධ්යම, හා දකුණු දිග ප්‍රදේශ වල පිහිටි ශාක්ය ජනපද රාශියක්ම ශාක්‍ය කුමාරවරුන්විසින් ම පාලනය කරනු ලබමින් පැවතුණු බවද පෙනේ. කාවන්තිස්ස රජු, මහාසේන රජු, හා අභය රජු මෙන් ම තවත් නම් සඳහන් වන හා නම් සඳහන් නොවන රජවරුන් ගණනාවක් ම මේ හෙළදිව ජන්බුද්වීපයේම තිස්සමහාරාමය, සිතුල්පව්ව, රජගහනුවර, දෙව්දහනුවර, කිඹුල්වත්පුර ආදී නගරවල රජකම් කළ බවද පෙනේ.

බුද්ධාගම (ලංකාපුර) අනුරාධපුර රාජධානියට හඳුන්වා දීමත් සමඟම මෙතෙක් අනුරාධපුරයේ පැවති සතුන් දඩයම් කිරීමේ සංස්කෘතිය වෙනස් වී ගියේය. කෙත්වතු කුඹුරු වගා කිරීමේ ක්‍රමයක් ද එහි ක්‍රමයෙන් ආරම්භ විය. මිහිඳු හිමියන් බුද්ධාගම අනුරාධපුරයට ගෙනා අවධියේ පවා අනුරපුර රාජ්‍යයේ රාජ්‍ය පාලකයා ද තම යටත් වැසියන් ද සමග පසලොස්වක පොය දිනයේ දී පවා සතුන් දඩයම් කිරීමට ගිය බව ඉතිහාසයේ සඳහන් ය. මේ සතුන් දඩයම් කිරීමේ සංස්කෘතිය වෙනස් කර කෙත්වතු වගා කිරීමට පසු කලකදී ඉන්දියාවෙන් අනුරාධපුරයට පැමිණි කුල දහ අටකට අයත් උගත් වියත් පිරිසේ බලපෑම ද බෙහෙවින් ම හේතු වන්නට ඇත. මේ පිරිසගේ බලපෑම අනුව එදා අනුරපුර පැවති රාජ්‍යයේ යක්ෂ ගෝත්‍රික පාලනය අවසන්ව හෙළදිව පාලන බලයද සහමුලින්ම වෙනස් වී යක්ෂ හෙළය පමණක් නොව දේව හෙළයේ පාලනයද ක්රමයෙන් අනුරපුර පාලනයට නතු විය.

අශෝක මහරජතුමාගේ රාජ්‍ය පාලනයේ දසවැනි වර්ෂයේ පටන් මහරජුගේ මරණය දක්වාම ඔහු ධර්ම රාජ්‍ය සංකල්පයෙන්ම රට පාලනය කෙළේය. නමුත් පරම පවිත්ර බුද්ධ ධර්මයේ ගෞතම බුදුපියාණන් පෙන්වා වදාළ නිවන් දැකීම පිළිබඳව හෝ පවිත්‍ර බුද්ධ ධර්ම මාර්ගය අනුගමනය කිරීම හෝ අශෝක රජතුමා කිසි විටකත් විශ්වාස නොකළ බවත් පැහැදිලිව ම පෙනේ. ඔහු එතෙක් විශ්වාස කළ, ඉන්දීය ජනයාගෙන් බහුතරයක් ද විශ්වාස කළ හින්දු දේව ආගම් සංකල්ප ඔහු කිසි විටකත් අත නොහැරියේය. නිරතුරුව ම ආගමික සංචාරයන්හි යෙදුණේ හින්දු තීර්ථයන් කරා බවද බෂාම්තුමා පැහැදිලිව ම සඳහන් කරයි. ඒ වාගේම කිසි ම අශෝක සෙල්ලිපියක පවිත්‍ර බුද්ධ ධර්මය ගැන කිසිම සටහනක් සඳහන් නොවන බවත් ආගම් සංකල්ප හා දේව ඇදහිලි පිලිබඳව නිරතුරුව ම විස්තර ලියා ඇති බවත් ඉතාමත් ම පැහැදිලිව දකින්නට ඇත. ඒ අනුව අශෝක මහරජතුමා බුද්ධ රාජ්‍යයක්, ධර්ම රාජ්‍යයක් මෙන් ම කෘතිම ජන්බුද්වීපයක් ද ඉන්දියාවේ ස්ථාපිත කළේ තමා යුද්ධ කර අල්ලා ගත් විශාල අධිරාජ්‍යය ධර්මානුකූලව ආරක්ෂා කර තම බලය පවත්වා ගන්නටත් යුද්ධයෙන් තොර වූ ධර්ම පාලනයක් තම රටේ පවත්වා ගන්නටත් පමණි. නිවන පිළිබඳව කිසිම දැනුමක් ඔහුට නොවීය. විශ්වාසයක් ද නොවීය.

එදා ඉන්දියාවේ ප්‍රචලිතව පැවති වේද, ශිව, ජෛන, ආගම්වල පැවති යාග හෝම බලි බිලි සත්ව ඝාතන සියල්ල ම නවතා දමා සත්ව හිංසාව ද නවතා දමා අවිහිංසාව ජනයා අතරේ ප්‍රචලිත කරන්නටත් බුද්ධාගම අශෝක රජුට බලවත් සේම උපකාර විය.

අශෝක මහරජ තුමාගේ සංකල්පයක් අනුව බිහි වූ බුද්ධාගම ඉන්දියාවේ මෙන් ම අසල්වැසි සියලු ම රට වලත් කෙටි කලකට හෝ ව්යාප්ත විය. හෙළදිව යක්ෂ ගෝත්‍රික රාජ්‍යක්ව පැවති අනුරාධපුර කොටසේ ද මෙම බුද්ධාගම ව්‍යාප්ත විය. ඒ සමගම සිදු වූ විපර්යාසය නම් එතෙක් රුහුණේ දේව හෙළයේ ජන්බුද්වීපයේ පැතිර පැවති නිවන් දකින්නට උපකාර වූ පරම පවිත්‍ර බුද්ධ ධර්මය ක්‍රමානුකූලව අභාවයට ගොස් අවසානයේ බුද්ධාගම පමණක් හෙළදිවයින පුරා ජනප්‍රිය වීමය. නිවන් දකින්නට උපකාර වන පරම පවිත්‍ර බුද්ධ ධර්මය පෘතග්ජන ලෝකයා අතරේ එතරම් ජනප්‍රිය දෙයක් නොවේ. එය හුදී ජනයාට ගැලපෙන හිතවාදී ආගම් සංකල්පයක් ද නොවේ. පරම පවිත්‍ර බුද්ධ ධර්මයට අනුව සැප කියා දෙයක් නැත. එය මායාවක් ම පමණි. දුක උරුම කර දෙන්නේ සැප හඹා යන හෙයිනි. නමුත් අශෝක රජතුමා දේව ආගම් සංකල්ප ද සමග ඒකාබද්ධ කර සකස් කළ බුද්ධාගමට අනුව දෙව් සැප මිනිස් සැප විඳිමින් ම නිවන් දකින්නට පැතුම් පතන ලෞකික ආගමික සංකල්පයන් ද බිහි විය. දෙව් සැප මිනිස් සැප අත්කර ගැනීම සඳහා ම සියලු පිංකම් කළයුතු බව පෙන්වා දුන් ලෞකික වූත් හුදී ජනයාගේ සිත් ගත්තා වූත් රජ සිටු වරුන්ට ප්‍රිය මනාප වූත් ආගමක් බවට ම බුද්ධාගම ද පරිවර්තනය විය. මේ අනුව නිවන් දකින පරම පවිත්‍ර බුද්ධ ධර්මය යටපත්ව ගොස් ලෞකික සැප සඳහා ම ක්‍රියා කරන බෞද්ධ ආගමිකයින් පිරිසක් මේ හෙළදිවෙහි ද පසු කාලයකදී බිහි වූහ. එදා අනුරාධපුරයේදී සිදු වූයේ මේ විපරියාසයයි.

ජන්බුද්වීපයේ දේවහෙළයෙහි එදා ඇදහූ ආගම් හැට ගණනක් ම බැහැර කරමින් ගෞතම බුදුපියාණන් ලෝකයාට පෙන්වා වදාළ, දේශනා කර වදාළ, උතුම් නිවන් මාර්ගය බුද්ධ පරිනිර්වානයෙන් වසර 1000 ක් පමණ කාලයකට පසුවමේ ආකාරයට හෙළදිවෙන් ද සහමුලින් ම යටපත් වී අභාවයට ම ගියේය. නැවතත් ආගමික සංකල්පවලට ම ජනයා හුරු පුරුදු වී බුද්ධාගම ද ඇදහිල්ලක් බවට ම පත්වී, දේව ආගම් සංකල්ප සමග එකතු වී වසර 1500 ක් පමණම කාලයක් අද වන විට ගෙවී ඇත. මේ අනුව හෙළදිව ඉතිහාසයේ බොහෝ යුගයන්හිදී බුද්ධාගම රාජ්ය ආගම ලෙසින් ද පිළිගෙන තිබුණේය. ගෞතම බුදුපියාණන් පෙන්වා වදාළ පිරිසිදු නිවන් මඟ නම් වැසී යටපත්ව ගියේය. එය ධර්මතාවයයි.

ජන්බුද්වීපය නමින් එදා ප්‍රචලිතව පැවති බුද්ධෝත්පත්තිය සිදු වූ මෙම දේව හෙළයේ එදා ප්‍රධාන ජනපද දහසයක් ම විය. මෙම ජනපද බොහොමයකමත් අශෝක රාජ්‍ය යුගය වන විටත් පිරිසිදු පවිත්‍ර බුද්ධ ධර්මය ක්‍රියාත්මකව පැවතිණි. මහ රහතුන් වහන්සේලා මෙන් ම මඟපල ලාභීහුද වැඩ සිටියහ. පිරිසිදු බුද්ධ ධර්මය අනුගමනය කිරීම නිසාම, එහි ප්‍රතිඵලයක් ලෙසින් ම, හෙළ රජදරුවන් පවා මහණ වී යුද්ධ කිරීම අතහැර දමා, රජසැප හැර දමා, යෑම නිසා ක්‍රමානුකූලව රාජ්‍ය බලයද ගිලිහී හීනවී ගියේය. රාජ පරම්පරාවෝ ද අභාවයට ම ගියහ. අනුරාධපුරයේ පිහිටුවා ගත් අලුත් රාජ්‍යයට මේ සමගම රටේ බොහෝ ප්‍රදේශ ද යටත් විය. දුටුගැමුණු රජු කලකට පසුව දේවහෙළයේ රාජධානියකින් බිහි වූ එමෙන් ම අනුරපුර රාජ්‍යයද යටපත් කරගත් හෙළදිව එක්සේසත් කළ පළමුවන රජතුමා බවට පත් විය. අප දන්නා හෙළ ඉතිහාසයේ සිව් හෙළය ම එක් සේසත් කළ පළමු රජතුමා රුහුණෙන් පැමිණි දුටුගැමුණු මහරජතුමා ය.

දුටුගැමුණු රජතුමා රජ වන විටත් රුහුණේ දේවහෙළයේ සමහර රාජධානි වල පිරිසිදු බුද්ධ ධර්මය ම රැඳී පැවතිණි. නමුත් දුටුගැමුණු මහරජ බලයට පත් වීමත් සමග ම ඉන්දියානු බලපෑම්වලට ඔහු ද යටත් වී බුද්ධාගම දියුණු කරන්නට ඔහු ද සියලු ම කටයුතු කෙළේය. මේ අනුව ගෞතම බුදුපියාණන් පමණක් නොව අතීතයේ මේ මිහිතලය මත බුද්ධත්වයට පත් වු සියලු ම බුදුවරයින් වහන්සේලාට ම ඒ උතුම් බුද්ධ තත්වයට පත් වීමට ස්වභාව ධර්මයෙන් ම උපකාර වූ, උරුම වූ මේ රුහුණේ පිංබිම ක්‍රමයෙන් වල්බිහි වී මහ ඝණ වනයෙන් වෑසී යන්නට විය. කල් යත්ම මිනිසුන්ගෙන් ද තොර වූ මහා වනයක් බවට ම පත් විය. මුල් යුගයේ ඉදිකරන ලද දෙවිරම් වෙහෙර, රජගහනුවර මෙන් ම අනිකුත් සියලු ම සිද්ධස්ථාන ද වල් බිහි වී ජම්බුද්වීපය මහ වනයෙන් වෑසී මිනිසුන්ගේ මතකයෙන් නම් ගම් පවා ඉවත් වී සහමුලින් ම යටපත්ව ගියේය. මේ විනාශයට ස්වභාවිකව සිදු වු සුනාමි ජලගැලීම් හා නියගයන් මෙන්ම මිනිසුන් විසින්ම නිර්මාණය කරගත් බොහෝ අකටයුතු ක්‍රියාවන්ද මුල් විය.

දේව හෙළයේ ඉදිකරන ලද වෙහෙර විහාර වල් බිහි වී ගියත් අශෝක මහරජ විසින් පසුව ඉන්දියාවේ ඉදිකරන ලද බුද්ධ රාජ්‍යයේ ආකෘතිය එතරම් ඉක්මනින් විනාශ නොවීය. ඒ බුද්ධ රාජ්‍ය ආකෘතියට අයත් සිද්ධස්ථාන පසුව හින්දුන් විසින් තම ආගමික සිද්ධස්ථාන ලෙසින්ද පවත්වාගෙන යන ලදී.  අනුරාධපුර රාජධානියේදී පොතපත ලියූ බොහෝ ඉන්දීය ජාතික මෙන් ම ලාංකික ගත්කතුවරුන් ද ඉන්දියාවේ පිහිටු වූ බුද්ධ රාජ්‍යයේ ආකෘතිය ගැන දැන සිටී අතර එදා හෙළදිව ජන්බුද්වීපයේ බුද්ධ කාලයේ දී ඉදිකරන ලද මුල් ගොඩනැගිලි හෝ ඒවා පිහිටි ස්ථානයන් පිලිබදව හෝ දැන නොසිටින්නට ඇත. මේ අනුව අනුරපුර යුගයෙන් පසු එදා මෙදා තුර පොත පත ලියු සියලු දෙනාමත් ජන්බුද්වීපය යනුවෙන් ලියා තැබුයේත් අදහස් කළේත් අශෝක රජු විසින් දෙවනුව ඉදිකර ලද ආකෘති බුද්ධ රාජ්‍යයේ නටබුන් මිස හෙළ දිව පිහිටි මුල් බුද්ධ රාජ්යයේ නටබුන් නොවේ. නමුත් හෙළ දිව ඉතිරි වූ නටබුන් අදටත් විනාශ නොවී ධර්මතාවයෙන්ම රැකී පවතින බව පෙන්වා දිය යුතු ය.

බුදුන් උපන් දේශය යන අර්ථය ඇතිව ජම්බුද්වීපය යනුවෙන් එදා බුද්ධ කාලයේ දී දේව හෙළයට භාවිතා කළ නාමය, පසුව මේ රටේ ම විසූ ගත්කතුවරු හා අර්ථ කථා ලියු අය ඉන්දියාවට භාවිතා කළ නමකැයි අනුමානයෙන් සිතා ක්‍රියා කළහ. එය පොත්පත් වල ද ලියූහ. ජන්බුද්වීපය යන නාමය පිලිබදව මුල් බැසගත් මේ වැරදි මතය වෙනස් කර මේ පිලිබදව සත්ය නිවැරදි ලෙසින් ලෝකයාට හෙලිකර දෙන්නට දැන් කාලය පැමිණ තිබේ. මේ පිලිබදව එදා මෙදාතුර කාලය තුළ බොහෝ අය යම් යම් උත්සාහ දැරුවද එය පිලිබදව සත්‍ය හෙලි කරන්නට ඔවුහු අපොහොසත් වූහ. මෙයට මූලික ම හේතුව බුද්ධාගම හා බුද්ධ ධර්මය යනු එකක් ම යැයි තවමත් බොහෝ අය දැඩිව විශ්වාස කිරීම යි. බුද්ධ ධර්මය නොදැනීම යි.

පිරිසිදු පවිත්‍ර බුද්ධ ධර්මය යලින් මතු වී නිවන් දකින්න උපකාර වන ලෙසින් ලෝකයාට බුද්ධ ධර්මය දේශනා කරන්නට පටන් ගැනීමත් සමගම “ජන්බුද්වීපය” හා එහි ඉතිහාසය පිලිබදව ද මෙතෙක් පැවති දුර්මත බැහැර වී පිරිසිදු ලෙස ම නියම සත්‍ය හෙලි කිරීමට ද දැන් කාලය පැමිණ ඇත. මෙය යුග මෙහෙවරක් ඉටු කිරීමකි.

අශෝක මහරජතුමා එදා ඉන්දියාවේ තම අධිරාජයය තුළ බුද්ධ රාජ්‍යයේ ආකෘතියක් ඉදි කළේ කිසිවකු නොමග යවන්නට හෝ වෙනත් වංක වැරදි අදහසක් හෝ නොවේ. බුදුන් උපන් දේශය ඉන්දියාව යැයි ලෝකයාට පවසා සිටීමේ කිසි ම අදහසක් එදා අශෝක මහ රජතුමා තුළ නොවීය. අශෝක ලිපි සියල්ල ම පිහිටු වූයේත් මේ ස්ථානයෙන් සිහිපත් කිරීම සදහම පමණි. අශෝක රජුට අවශය වූයේ තමන් යුද්ධ කර අල්ලා ගත් විශාල අධිරාජ්‍යය දැහැමෙන් සාමයෙන් තම මුලු ජීවිත කාලය තුළම යුද්ධයකින් තොරව පාලනය කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමටයි. එය සාර්ථක විය.  ඒ අතර ම ලංකාවේ ම ගත්කතුවරු පසු කාලයකදී මෙය වැරදි ආකාරයෙන් ලෝකයාට ඉදිරිපත් කළහ. මේ විකෘති කිරීම ඉන්දියාවේදී සිදු වූවක් නොවේ.

අශෝක මහරජතුමා එදා හෙළදිව ජන්බුද්වීපයේ පැවති වැදගත් ස්ථාන ඉන්දියාවේ ද ඉදිකරන අවස්ථාවේදී මේ ස්ථානයන් අතර දුර ප්‍රමාණයන් ගැන පවා සලකා නැත. ඔහුට අවශ්‍ය වූයේ තම රාජ්‍යය පුරාම මේ ස්ථානයන් ඉදි කිරීම ය. වංචාවක් කිරීමේ අදහසක් වූයේ නම් මේ දුර ප්‍රමාණයන් ද සලකා කටයුතු කරන්නට තිබුනි.

කිඹුල්වත්නුවර සුද්ධෝදන මාලිගාවේ සිට දෙව්දහ නුවරට එදා සිදුහත් කුමාරොත්පත්තිය සිදු වූ ස්ථානයට හෙළදිව ජන්බුද්වීපයේ නියම වශයෙන් ම පැවති දුර කි.මීටර් 40ක් 50ක් පමණ වූ දුරකි. ඒ අද දිඹුලාගල සිට කුණ්ඩසාලය තෙල්දෙනිය අසල ප්‍රදේශයටයි. නමුත් අද ඉන්දියාවේ කපිලවස්තු පුරය යැයි මුලින්ම හඳුනාගත් තැන සිට නේපාලයේ ලුම්බිනියට දුර කි.මී. 3000 ක් පමණ වේ. (පසු කලෙක මේ දුර ගැන ම සලකා, කපිලවස්තුපුරය ලෙස වෙනත් තැනක ද අලුතින් හදුනාගෙන නම් කර ඇති බවත් පෙනේ. ඒ අද උගතුන් විසිනි) දරු ප්‍රසූතියට ආසන්නයේ ගැබ් පෙරහර පාන්නට තම දෙමවුපියන් වෙත ගමන් කරන මවු කෙනෙකුට යාන වාහන නොවූ එවන් යුගයක මෙවැනි දුරක් මග ගෙවා ගමන් කිරීම කිසි සේත් ම සිතාගත නොහැකිය. ගැබ් පෙරහර පෑම ලංකාවේ එදා මෙන් ම අදටත් පවතින සිරිතකි. ඉන්දියාවේ මෙවැනි සිරිත් නැත. ගැබ් පෙරහර පෑම යනු දරු  ප්‍රසූතියට ළංවූ මවක තම දෙමව්පියන් කරා යෑමයි. ඒ වාගේ ම අද ඉන්දියාවේ බුද්ධගයාව යැයි හදුනාගෙන නම් කළ ස්ථානයේ සිට පළමු ධර්ම දේශනය කළ ඉසිපතනය යැයි හඳුනා ගත් ස්ථානයට කි. මීටර් 450 ක් පමණ දුර ගමන් කළ යුතුය.

හෙළදිව ජන්බුද්වීපයේ සිරි මහා බෝධින් වහන්සේ අදත් වැඩ සිටින හිරිවඩුන්නේ සිට කසී රට පිහිටි නියම ඉසිපතනයට [අද මැදවච්චිය අසල පිහිටි ඉසින්බැස්සගල නම් ස්ථානයට] ගෞතම බුදුන් එදා පස්වග මහණුන් සොයා ඇවිද්ද දුර කි. මීටර් 60 ක් පමණ වූ දුරකි. මේ දුර ගමන් කරන්නටත් එදා ගෞතම බුදු පියානන්ට දින 3ක් පමණ කල් ගත විය. එදා කී. මීටර් 450ක් දුර ගෙවා යන්නට නම් ඒ අනුව දින 20 ක් වත් ගත විය හැක. නමුත් වෙසක් පොහොය දින බුද්ධත්වයට පත් වූ ගෞතමයන් වහන්සේ සත්සතියක් එහි ගතකොට අටවැනි සතිය අවසානයේ ඇසල පොහොය දින ඉසිපතනයේ දී පස්වග මහණුන්ට දහම් දෙසූ බව ද සඳහන් ය. මේ කරුණු ගැන තර්කානුකූලව නැතත් ධර්මානුකූලව කරුණු සලකා බැලිය යුතු ය.

ඒ වාගේ ම එදා හෙළදිව ජන්බුද්වීපයේ විශාලා මහනුවර සිට කුසිනාරාව තෙක් ද රජගහ නුවර සිට විශාලා මහනුවර තෙක් ද පැවතී දුර ප්‍රමාණයන් හා අද ඉන්දියාවේ ඒ ස්ථානයන් ලකුණු කර ඇති ස්ථාන වලට ඇති දුර ප්‍රමාණයන් ද සලකන විට මෙම ස්ථාන සියල්ල ම හිතාගත නොහැකි තරම් දුරින් පිහිටා ඇත. මේ කරුණු ද සසදා බලා කෙනෙකුට ඇත්ත නැත්ත තේරුම් ගත හැකි ය. ඉන්දියාවේ වන්දනා චාරිකාවල යන, චාරිකාවල ගිය, හැම කෙනෙකුට ම මේ ගැන අත්දැකීම් ද ඇත. ( ඉදිරි පරිච්චේදයක දී මේ ස්ථානද විස්තර කරදී ඇත.)

එදා ඉන්දියාවේ අශෝක රජතුමා ව්සින් ඉදිකරන ලද බුද්ධ රාජ්‍යයේ ආකෘතිය සහ ඊට වර්ෂ 300 කට පමණ පෙර කාලයකදී මේ හෙළදිව ජන්බුද්වීපයේ මුල් බුද්ධ රාජ්‍යය තුළ ඉදිකරන ලද ගොඩනැගිලිවල පදනම් ද අදටත් ඉතිරිව ඇත. මේ නටබුන් සන්සන්දනය කර බලන කෙනෙකුට පහත සදහන් වෙනස්කම් ද දැක බලාගත හැකි ය. සත්‍යවබෝදයට මේවා බෙහෙවින් ම උපකාර කරගත හැකි ය.

1. බුද්ධ කාලයේ හෙළදිව ජන්බුද්වීපයේ රජකම් කළ රජදරුවන්, සිටුවරුන්, ධනවතුන් ඉදිකළ විවිධ ගොඩනැගිලි වෙහෙර විහාර ආදියේ අදටත් ඉතිරිව ඇති සුවිශේෂී නටබුන් දෙස බලන විට ඒ සියලු ගොඩනැගිලිවල පදනම තනි කලුගලෙන්, පදම් කරන ලද කලුගල් පුවරුවලින් සකස් කර ඇති බව පෙනේ . ඒ සියලු ගල් පුවරු උසස් තාක්ෂණයක් යොදාගෙන සකස් කරගෙන ඇති පවත් පෙනේ. අද කළු ගල් සකස් කර ග්රෑනයිට් සාදාන්නාක් මෙන් එදා හෙළදිව වැසියන් කළුගල් පදම්කර සකස් කර ගත් බව පෙනේ. අදටත් රිටිගල, හිරිවඩුන්න, අම්පාරේ බුද්ධංගල, රජගල, නිල් ගල, තිරියාය ප්‍රදේශවල හා බලංගොඩ බුදුගල, කුරගල ප්‍රදේශවලත්, සිතුල්පව්ව, තිස්සමහාරාමය, මාලිගාවිල, කුඩුම්බිගල, මුහුදු මහ විහාරය මෙන් ම විශේෂයෙන් ම සේරුවිලට දකුණෙන් ඇති කොට්ටියාරම් නුවරත්, කටාරම් පුරයේත් එදා ඉදිකල කළුගල් පුවරු හා ගොඩනැගිලිවල පදනම් අදටත් ඉතිරිව ඇති නිසා මේ කළුගල් තාක්ෂණය දියුණුව පැවති ආකාරය සිතාගත හැකි ය. නමුත් ඉන්දියාවේදී අශෝක මහරජ විසින් ගොඩනැගූ බුද්ධ රාජ්‍යයේ ආකෘතිය ගොඩනැගීමේදී භාවිතා කර ඇත්තේ ගඩොල් ය. අනුරාධපුර යුගයට පෙර බුද්ධ කාලයේ දී හෙළදිව ගඩොල් භාවිතා කර නැත.

2. අශෝක මහ රජු විසින් එදා ඉන්දියාවේ ඉදිකළ බොහෝ ගොඩනැගිලිවල අදටත් ඉතිරිව ඇති නටඹුන් සියල්ල ම ගැන සලකන විට ඒවාගේ හින්දු සංස්කෘතියට, හින්දු ගෘහහනිර්මාණ ශිල්පයට හෝ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයට  අයත් ලක්ශණයන් හා ඒවාගේ බලපෑම් ඇති බව පැහැදිලිවම දකින්නට ඇත. නමුත් එදා හෙළ දිව බුද්ධ කාලයේ ඉදිකරන ලද සියලු ම ගොඩනැගිලි පදනම්වල දක්නට ඇත්තේ අපට ම ආවේනික වූ, ලොව වෙනත් තැනක දක්නට නැති ශිල්ප ක්‍රම හා ලක්ෂණයන් ය. මේ බව රිටිගල පුරාවිද්යා නටඹුන්වලින් පමනක් ම වුවත් දැකගත හැකි ය. අද රිටිගල යැයි අප හදුන්වන්නේ එදා සුදන්ත (අණේපිඬු) සිටුතුමා තම ධනය වැය කර ඉදිකරන ලද දෙව්රම්වෙහෙරේ නටඹුන් ය. එය ගෞතම බුදුපියාණන් වසර විස්සක් පමණ ම වැඩසිටී ජේතවනාරාමය යි. මේ අනුව ම එදා ජන්බුද්වීපය යැයි විරුදාවලිය ලැබූ, දේව හෙළයට අයත්ව තිබු සොලොස් මහ ජනපදවලම රජ කළ රජදරුවන් හා මහ ධන සිටුවරුන් බුද්ධ ප්‍රමුඛ මහා සන්ඝයාට පූජා කළ වෙහෙර විහාර කිසිවක් ගඩොලින් සෑදු ඒවා නොවේ. හින්දු හෝ ග්‍රීක සංස්කෘතියක ලක්ෂණවලින් යුතු ඒවා ද නොවේ. නමුත් පසු කලෙක අනුරාධපුර යුගයේ හෝ ඊට පසුව හෝ ඉදිකළ ගොඩනැගිලි වෙහෙර විහාර බොහොමයක් ගඩොල් භාවිතයෙන් ඉදිකළ හින්දු හා ග්‍රීක ගෘහනිර්මාන ශිල්පිය බලපෑම් සහිත වු ඉදිකිරීම් ය. ඒ ඉන්දීය බලපෑම්වලට පසු යුගයයි.

3. පිළිම නෙළීම, පිළිම වන්දනාව හෝ පිළිම තැනීම එදා බුද්ධ යුගයේ මුල් හෙළදිව ජන්බුද්වීපයේ දකින්නට නොතිබිණි. පිළිම නෙළීම හා පිළිම වන්දනාව භාවිතයට පැමිණියේ ග්‍රීක බලපෑමක් අනුව ය. අනුරාධපුර යුගයේද පසුව ඉන්දීය බලපෑම් මත පිළිම නෙළීම, පුදසුන් සකස් කිරීම, ලංකාවේ ද ආරම්භ කළේ ඉන්දියා වෙන් ලංකාවට පැමිණි කුල දහඅටක ශිල්පීන්ගේ ක්‍රියාකාරකම් නිසා ය. පවිත්‍ර බුද්ධ ධර්මයේ මේවා කිසිවක්ම නොවීය. බුද්ධාගමේ, බෞද්ධ සංස්කෘතියේ මේවා සියල්ල අඩංගු ය. එදා හෙළදිව වැසියන් වන්දනාමාන පැවැත්වුයේ බුදු සිරි පතුලට හා ඇසතු බෝධියටය.

4. එදා හෙළදිව ජන්බුද්වීපයේ භාවිතා කරන ලද කළුගල් පදම් කර සකස් කරගත් විශ්මිත තාක්ශණය පිළිබදව ද මෙහි සටහනක් තැබිය යුතු ය. මෙය ඉතාමත් ම දියුණු තාක්ශණයකි. ගල් වඩුවන් විසින් ගල් කඩා, ගල් කොටා සකස් කර, ගල් පුවරු සකස් කරගත් ක්රමයක් මෙහි නැත. විශේෂයෙන් ම මෙම ගල් පුවරු භාවිතා කළේ ආගමික ගොඩනැගිලි නැනීමේදී ම පමණක් බව ද දකින්නට ඇත. මෙසේ කළුගල් පදම් කර සකස් කර ගන්නට එදා භාවිතා කළේ කැළයෙන් ම සපයා ගත් කැලෑ කොළ තුන් වර්ගයක් යම් පදමකට කොටා මිරිකා සකස් කරගත් දියරයකට තවත් කැළයෙන් ම සොයාගත් ගෙඩි වර්ගයක යුෂ ද මිශ්‍ර කිරීමෙනි. මෙම මිශ්‍රණය යොදාගෙන කළුගල් සියුම් ආකාරයට පැලීමටත් කිරිමැටි මෙන් කළුගල් මෙලක් කර කැමති ආකෘතියට ගල් සකස් කර, කැමති හැඩයකින් ගල් පුවරු ලබා ගන්නටත් හැකි වු උසස්  ක්‍රමවේදයක් එදා හෙළදිව තිබිණි. ඉන්දියාවේ සෘෂිවරු පවා මෙම උසස් ක්‍රමවේදයක් එදා ඉන්දියාවේ සෘශිවරුන් පවා මෙම උසස් ක්‍රමවේදය එදා දැන සිටියේ නැති බව මෙහිදී පැවසිය යුතුය.

බුද්ධ කාලයේ හෙළදිව මෙවන් උසස් තාක්ෂශනයක් නොවුයේ නම් අද රිටිගල අක්කර 1000 ක තරම් විශාල ප්‍රදේශයක් තුළ විශේෂ ස්ථාන 58 ක විසිරී පැතිර පවතින ලක්ෂ සංඛ්‍යාත වූ මට සිලිටු ගල් පුවරු සකස් කරගන්නට වසර දහසකටත් වැඩි දීර්ඝ කාලයක් ගත වෙනු ඇත. නමුත් එදා මේ සියල්ල සකස් කරගෙන ඇත්තේ වසරක් හෝ දෙකක් ඇතුළතදී ය. අද මෙය විශ්ව ක්‍රමයකුගේ ක්‍රියාවක් ලෙසින් දකින්නට ඇතත් එය එදා ජන්බුද්වීපයේ පැවති උසස් තාක්ශණය විදහා පෙන්වීමකි.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button