“ගෞතම බුදුපියාණෝ තෙවරක් ලංකාවට වැඩම කළහ” යන කතාවේ නියම ඇත්ත

එදා ගෞතම බුදුපියාණන් බුද්ධත්වයට පත් වූ ජන්බුද්වීපයේ සිට ලංකාපුරට තෙවරක් වැඩම කළ බව ඉතාමත් ප්‍රසිද්ධ කථාවකි. බොහෝ ඉතිහාස කතා පොත්වල ද බෞද්ධ ඉතිහාසයේ ද මහානාම හිමියන් ලියූ මහාවංශ පාලි අටුවාවේ ද මෙය පැහැදිළිවම සටහන් කර ඇත. නමුත් කිසිම ඉන්දීය ඉතිහාස පොතක පතක, ලියවිල්ලක හෝ වෙනත් කිසිම තැනක බුදුන් පිලිබඳව හෝ ලංකා ගමන ගැන හෝ ජන්බුද්වීපය ගැන හෝ කිසිම දෙයක් ඉන්දියාවේ දී ලියා තබා නැත. බුදුපියාණන් තෙවරක් ලංකාපුරයට වැඩම කළ බව හෙළ බසින් ලියූ මුල්ම මහාවංශයේ සඳහන් වී තිබීම නිවැරදිය. එහි තර්ක කරන්නට දෙයක් ද නැත. වරද සිදු වී ඇත්තේ මුල්ම හෙළ මහාවංශය ලියා වසර 300 කට පමණ පසුව හෙළ මහාවංශයට ලියූ පාලි මහාවංශ අටුවාවේ මෙම කථාව ලිවීමේදීය. එදා බුද්ධ කාලයේ ලංකාපුර – ආලකමංදාව – අලංකාරපුරය ආදී විවිධ හෙළ නාමයන්ගෙන් හැඳින්වූයේ වෙසමුණි නම් මහ රජු රජකම් කළ යක්ෂ හෙළ රාජධානියේ අගනුවරටයි. අද අපි ලංකාව යැයි හඳුන්වන්නේ මුළු තුන් හෙළයටමය. එදා ඒ දේව හෙළය, යක්ඛ හෙළය, නාග හෙළය යි. එදා යක්ඛ හෙළය හා නාග හෙළය එක් රාජ්‍යයක් ලෙස ද, දේව හෙළයේ පිහිටි ශාක්‍ය ජනපද වෙනම රාජ්‍යයන් ලෙස ද හැඳින්විණි.

එදා ලංකාපුරය වුයේ අද විලච්චිය, මහ විලච්චිය ප්‍රදේශවල පිහිටා තිබූ වෙස්සවන මහ රජුගේ රාජධානියේ අග නගරයයි. එදා එය ඉතා මනරම් , අලංකාර නගරයකි. එහි මනරම් බව, අලංකාර බව ආටානාටා සූත්‍රයෙහිත් මොනවට වර්ණනා කර ඇත. මෙය කුවේර රාජධානිය ලෙස ද නම් කර තිබුණි. විජය රජු ලංකාවට පැමිණෙන විටත් මෙහි පාලන බලයේ සිටියේ යක්ෂ ගෝත්‍රික රජවරුන්ය. විජය රජු කුවේණිය නම් යක්ෂ ගෝත්‍රික රජ කුමරියගේ උදව්ව ද ඇතිව යක්ෂ ගෝත්‍රික නායකයින් 80ක්ම මරා දමා පාලනය තමා යටතට ගත්තේ ද මෙම ලංකාපුරය අගනුවර කොටගත් රාජධානියේදීය.

එදා විජය රජු පැමිණියේ ද ලංකාවටය. මේ නිසාම එදා යක්ෂ රාජ්‍යයට පොදුවේ ලංකාපුර රාජ්‍යය යන නම ව්‍යවහාර විය.

ඒ අතරම ශාක්‍ය ජනපද සොළොසක්ම දේව හෙළයේ ද තිබූ අතර ශාක්‍ය වංශයෙහි ඉපදී බුද්ධත්වයට පත් වූ ගෞතම මුනිඳුන් වැඩ සිටි ප්‍රදේශයට එදා බුදුන් ජන්මය ලැබූ දේශය යන අර්ථයෙන් “ ජන්බුද්වීපය” යැයි නම් කොට තිබුණි. “ජන්බුද්වීපය යන නම දේව හෙළයේ එදා පැවති සොළොස් මහා ජනපදයටම පොද්වේ ව්‍යවහාර කළ නාමයකි.

කැළණිය, නාගදීපය, මහියංගණය, ශ්‍රීපාද කන්ද පිහිටි සමනල අඩවියත් එදා යක්ෂ ගෝත්‍රික නායකයින්ගේම පාලනයට නතු වූ ලංකාපුර රාජ්‍යයටම අයත් ප්‍රදේශයෝයි. එදා පැවති දේව හෙළය හා යක්ෂ හෙළය යනු පැහැදිළිවම රාජ්‍යයන් දෙකකි. පාලන අධිකාරිය ද දෙවිධියකම පැවතිණි. කැළණිය යනු නාග ගෝත්‍රිකයන් වාසය කළ නගරයකි. එදා ජන්බුද්වීපයේ සැවැත් නුවර සිට හෝ රජගහනුවර සිට හෝ මේ රටේම බටහිර වෙරළේ පිහිටි කැළණියට ගමන් කිරීම පිටරටකට ගමන් කරනවාට වඩා අපහසු කාර්යයක් විය. පාරවල්, මංමාවත්, පාලම් ආදී කිසිවක් නොවූ එදා බුදුපියාණන් මේ මඟ ගෙවා කැළණියට පැමිණියේ එදා හෙළදිවම පිහිටි ජන්බුද්වීපයේ සිටය. කැළණිය පිහිටියේ ලංකාපුර රාජධානියේය. එමෙන්ම නාගදීපය ද පිහිටියේ ලංකාපුර රාජධානියේමය. අද මහියංගනය පිහිටි තැනට ඔබ්බෙන් වූ ලග්ගල මහ වනය ද එදා යක්ෂ රාජධානියටම අයත් විය. අද ශ්‍රී පාද අඩවිය අයත් විශාල කැළෑ ප්‍රදේශය ද එදා යක්ෂ රාජධානියට අයත් ලංකා පුරයේම කොටසකි. ශ්‍රී පාද අඩවිය එදා පාලනය කළ “සමන” ප්‍රාදේශීය රජුගේ නම ආටානාටා සූත්‍රයේ සඳහන් වූ නායකයින් හතළිස් දෙනාගේ නම් අතර විය. ඒ වාගේ ම බුදුන්ට මඟදී හමු වූ හේමවත, සාතාගිර යන ප්‍රාදේශීය පාලකයින් දෙදෙනා ද මේ ආටානාටා සූත්‍රයේ ද සඳහන් වෙයි.

චූලෝදර, මහෝදර, මනිඅක්ඛිත ඇදී නාග ගෝත්‍රයට අයත් වූ ප්‍රාදේශීය නායකයෝ එදා ලංකාපුර රාජධානියේ ම  කොටස්කරුවෝ වූහ. ලංකාපුරට අයත් කැළණියේ පිහිටි ප්‍රදේශ පාලනය කළ ප්‍රාදේශීය රජුන් දෙදෙනෙකු අතර සිදු වූ හබයක් නිරවුල් කිරීමට ගෞතම බුදුපියාණන් වැඩම කළේ ද මේ හෙළය තුළම එක් ස්ථානයක සිට තවත් ස්ථානයකටයි. එදා නම් ජන්බුද්වීපයේ සිට ලංකාපුරයටයි. අද නම් අම්පාරේ සිට කැළණියටයි.

“සමන” යනු එදා සමනල අඩවිය පාලනය කළ යක්ෂ ගෝත්‍රයට ම අයත් ප්‍රාදේශීය පාලකයෙකි. ඔහු ද ලංකාපුර රාජධානියේම කෙනෙකි. “සමන” රජු පාලනය කළ ප්‍රදේශය සමනල කන්ද සිට මහියංගනය දක්වාම වූ වනගත ප්‍රදේශයකි. බුද්ධ ශ්‍රාවකයින්ට කරදර කළ යකුන් දමනය කරන්නට ගෞතම බුදුන් මේ “සමන” රජුගේ පාලනය පැවති ප්‍රදේශයට පැමිණීමත් ලංකාපුරයටම ආ ගමනක් විය. එදා බුදුන් ලංකාපුරට පැමිණියේ ද ජන්බුද්වීපයේ සිටය. බුදුන් නාගදීපයට වැඩම කළේ ද ජන්බුද්වීපයේම සිටයි. එදා නාගදීපය යනු ද ලංකාපුර රාජධානියේම නාග ගෝත්‍රික ප්‍රාදේශීය පාලකයින් විසින් පාලනය කරන ලද ප්‍රදේශයක්ය. මේ අනුව මුල්ම මහා වංශයේ සඳහන් කළ මේ කථා පුවත් ඉතාමත්ම නිවැරදියි. වරද සිදු වූයේ මුල් හෙළ මහා වංශයට පාලි අටුවාවක් ලියූ අවස්ථාවේය. මේ පාලි අටුවාව ලියා ඇත්තේ මුල් මහා වංශය ලියා වසර 300කට පමණ පසු කාලයේදීය. එය ලියූ කතුවරයා ද ඉන්දීය ජාතික මහානාම හිමි යනුවෙන් සඳහන් වුණු කෙනෙකි.

බුද්ධ පරිණිර්වානයෙන් වසර 600කට පසුවත්, අශෝක යුගයෙන් වසර 300කට පමණ පසුව කාලයකදීත් මහානාම හිමියන් මේ අට්ඨ කතාව ලියන අවස්ථාව වන විට ඉන්දියාවේ අශෝක මහ රජු විසින් ඉදිකරන ලද බුද්ධ රාජ්‍යයේ ආකෘති ජනයා අතර ජනප්‍රිය වන්නට ඇත. හෙළදිව එදා පැවති ශාක්‍ය ජනපදවල පාලනය ද මේ වන විට දුර්වල තත්වයට පත් වී තිබිණි. මේ අනුව ජන්බුද්වීපය යන නම ද ඉන්දියාවටම ආරූඪ කරගෙන භාවිතා කර පොත් ලියූ බවත් පෙනෙන්නට තිබේ. මේ සියල්ලම විකෘති කළේ අනුරාධපුරයේදී පොත් ලියූ, අටුවා ලියූ පසුකාලීන අපේම රටේ ගත් කතුවරුන් මිස ඉන්දි‍යාවේ දී පොත් ලියූ අය නොවේ. ඉන්දි‍යාවේ ලියූ කිසිම පොතක පතක ලියවිල්ලක හෝ අශෝක ලිපියක පවා ඉන්දියාවෙහි කිසිම ස්ථානයකට හෝ “ජන්බුද්වීපය” යන නම එදා අතීතයේ භාවිතා කර නැත. මේ අනුව ඉතිහාසයේ ඇත්ත වශයෙන්ම සිදු වූයේ ගෞතම බුදුපියාණන් එදා වැඩසිටි ජන්බුද්වීපය නැමැති මේ හෙළදිවේ ම එක් ස්ථානයක සිට ලංකාපුර නමින් එදා භාවිතා කළ හෙළයේම තවත් ස්ථානයකට ගෞතම බුදුන් වැඩම කිරීමයි. ලංකා ගමන් තුන ම මේ ආකාරයේ ඒවා ම ය.

එදා ලංකාපුර යක්ෂ රාජධානියෙහි විසූ බහුතර ජනතාව බුද්ධ ධර්මය පිළි නො ගත් අතර බුද්ධ ශ්‍රාවකයින්ට ද යම් යම් හිරිහැර කරදර කළ බවත් ආටානාටා සූත්‍රයේ ද, මහා සමය සූත්‍රයේ ද යක්ෂ දමනය, ආලවක දමනය, පාරිලෙයිය වනයේ කථා පුවත වැනි ත්‍රිපිටකයේ ම සඳහන් කථා වලින් මනාව පැහැදිළි වන දෙයකි. ඒවා ත්‍රිපිටකයේ ම සටහන් වන දේවල් මිස පෘතග්ජන පුද්ගලයන් විසින් පසු කාලයක දී අනුමානයෙන් ගොතන ලද කථා නොවේ.

වසර හතළිස් පහක් තරම් දීර්ඝ කාලයක් පුරාම බුදු පියාණන් වහන්සේ දිවා රෑ නොතකා චාරිකා කරමින් ධර්මය දේශනා කළේ යාපනය, මුලතිවු සිට රුහුණේ තිස්සමහාරාමය, මාතර දක්වා එදා පැතිර පැවති දේව හෙළයේ ජනපද දාසයම එදා පිහිටා තිබුණේ මේ හෙළදිවෙහිම දේව හෙළය නමින් ඉතිහාසගත වූ “ජන්බුද්වීපයේමය”.

එදා අශෝක මහ රජු විසින් කෘතිම වහයෙන් ගොඩනැඟූ බුද්ධ රාජ්‍යයේ වෙහෙර විහාර අසූහාර දහසක් ගොඩනංවා ඉදි කළ කෘතිම බුද්ධ රාජ්‍යයට “ජන්බුද්වීපය” යන නම පසු කාලයක දී ආරූඪ කළ බවක් ද ඉතිහාසයෙහි පෙනෙන්නට ඇත. අශෝක අධිරාජ්‍යයාගේ පාලන කාලයෙන් පසුව ආ යුගයේ දී මේ විකෘති කිරීම කළේ මේ හෙල දිවයින තුළදීම ඉතිහාසය ලියන ලද හා බුද්ධ සාහිත්‍යයට අදාළ පොත පත ලියන ලද මේ රටේම ගත්කතුවරුන් විසින්මය. ඉන්දීයයන් නොවේ.

මේ කරුණ පිළිබඳව කිවයුතු විශේෂ දෙයක් නැවතත් සඳහන් කළ යුතුය. එනම්, අප ජීවත්වන මේ මිහිතලය මත යම් දිනෙක ලොව්තුරා බුද්ධත්වයට පත් වන උත්තමයකුට සම්මා සම්බුද්ධ යන උතුම් තත්වයට පත්වීමට ස්වභාව ධර්මයෙන් ම ලැබෙන විශ්ව ශක්තිය ලැබෙන්නේ මේ මිහිතලයේ එකම ස්ථානයක දී පමණි. ඒ ස්ථානය නම් “ජන්බුද්වීපයේ මධ්‍ය මංඩලයයි.” මේ මධ්‍ය මංඩලය පිහිටියේ ලංකාව නමින් අද අප හඳුන්වන  මේ පුණ්‍ය භූමියේ, මේ දිවයිනේ හරිමැද පිහිටි රමණීය ආරඤ්ඤ භූමියකදීයි. බුද්ධ ධර්මයට අර්ථ, ධර්ම, නිරුක්ති හා පටිභාන ධර්ම කීමත් සමඟම ජන්බුද්වීපයේ අර්ථය ධර්මය හා නිරුක්තිය මතු වී එය බුදුන් උපදින ද්වීපය ජන්මය ලබන ද්වීපය ලෙසින් දැන් හඳුනාගෙන ඇත.

ඊළඟ පරිච්ඡේදයට ..

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.