බුද්ධගයාව (ගයා බෝධිය)

http://maps.google.com/maps?q=8.022746,80.735792&hl=en&t=h&z=16

hiriwadunna

අද බෞද්ධයා සම්මතයෙන් අදහන, බුද්ධගයාව යැයි අනුමාන කරන ස්ථානයක් ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ ගයා දුම්රියපළට කි.මීටර් 11 ක් දුරින් ද, ථාල්ගු නම් ගංඟාවට කි.මී. 10 ක් දුරින් ද පිහිටා ඇත. කලකට පෙර ධර්මපාලතුමන් විසින් මෙම ස්ථානය ගෞතම බුදුන් සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය ලෙසින් හඳුනාගෙන එය ලෝකයට මෙසේ පෙන්වා දෙන ලදී. මෙම ස්ථානයේ එදා අශෝක රජතුමා විසින් බුද්ධ රාජ්‍යයේ ආකෘතියක් ගොඩනඟද්දී හින්දු හා ග්‍රීක සම්ප්‍රදායයන්ට අනුව එහි ගොඩනැඟූ ගොඩනැඟිලි කිහිපයක් ද, ඇසතු බෝධිය සිහිපත් කිරීම සඳහා පසුව රෝපණය කරන ලද මුල්ම බෝධීන් වහන්සේ අශෝක රජතුමාගේ ජීවිත කාලය තුළ දී අශෝක අධිරාජ්‍යයාගේ බිසවක විසින් ම කටුගසා විනාශ කර මරා දමන ලද බවක් ද ඉතිහාසයේ සඳහන් ය.

ගෞතම බුදුන්ට උතුම් බුද්ධත්වයට පත් වීමේ දී පිට දෙන්න‍ට උපකාර වූ ඒ අති උතුම් ඇසතු බෝධිය පන්දහසක් කල් යන තුරුම ජන්බුද්වීපයේ මධ්‍ය මණ්ඩල‍යෙහි ආරක්ෂා වී පවතින එකකි. එය කිසිම භූමි කම්පාවකින්, ජල ගැලීමකින්, ගින්නකින්, කුණාටුවකින් හෝ යම්කිසි මිනිස් ක්‍රියාකාරකමකින් හෝ විනාශ කළ හැකි එකක් නොවේ. පන්දහසක් කල් යන තුරු උතුම් බුද්ධ ධර්මය ආරක්ෂා වී පවතින්නාක් මෙන් ම නිවන් දකින්නට පිං ඇති ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට විශ්ව ශක්තිය සමඟින් අනුගත වී “බුද්ධ” බවට පත් වන්නට (අරහත් බුද්ධ බවට) පත් වන්නට මේ ඇසතු බෝධීන් වහන්සේ ද උපකාර වනු ඇත. තවත් දීර්ඝ කාලයක් ඉදිරියටත් මෙම උතුම් බෝධි වෘක්ෂය ජීවමානව පවතිනු ඇත.

අශෝක මහ රජතුමා විසින් හෙළදිව ජන්බුද්වීපයෙන් එදා ඇසතු බෝ පැළයක් ගෙන්වා ‍ගෙන ඉන්දියාවේ අද බුද්ධගයාව නමින් සම්මත කරගත් ස්ථානයේ එය රෝපණය කර වූ බවට නිවැරදි සාක්ෂි ඉන්දීය ඉතිහාසයේ ම සඳහන්ව ඇත. අශෝක රජුගේ ආගමික ක්‍රියාකලාපයන් අගය කරන්නටත් ලෝකයාට ප්‍රදර්ශණය කරන්නටත් එදා ඉදි කරන ලද සාංචි තොරණේ අදටත් දකින්නට ඇති රූ සටහන්වලින් පැහැදිළිව ම දැක්වෙන්නේ ජන්බුද්වීපයෙන් එදා වැඩමවාගෙන ආ ඇසතු බෝ පැළය මහරජ විසින් පිළිගෙන එය රොපණය කළ බවයි. එය සාංචි තොරණේ අශෝක රජුගේ කාලයේ දී ම සටහන් කර තබා ඇත.අද එය ද වැරදි ආකාරයට අර්ථකථනය කරන බව පෙනේ.

ගෞතම බුදුන්ට පමණක් නොව මේ මිහිතලය මත සම්මා සම්බුද්ධ තත්වයට පත්වන සියළුම ලොව්තුරා බුදුවරයින් වහන්සේලාට අතීතයේ මෙන් ම මතු අනාගතයේ ද බුද්ධත්වයට පත් විය හැක්කේ එක ම තැනකදී ය. ඒ ස්ථානය යහපත් විශ්ව ශක්තිය කේන්ද්‍රගතව පවතින ජන්බුද්වීපයේ (බුදුන ජන්මය ලබන ද්වීපයේ හෙළදිව) මධ්‍ය මණ්ඩලයයි. එම ස්ථානය මේ හෙළදිව හරිමැද ස්ථිර වශයෙන් ම පිහිටා ඇති අතිරමණීය සථානයකි. ලංකාවේ සිතියමක් ගෙන අක්ෂාංශක දේශාංශක අතර ඇති හරස් කැපුමක හරි මැද ලක්ෂය හිරිවඩුන්නයි. හෙළබිමේ මධ්‍ය මණ්ඩලයේ අදටත් මේ උතුම් ඇසතු බෝධීන් වහන්සේ කාටත් දැක බලා ගත හැකි ආකාරයෙන් ම රැකී රැඳී ආරක්ෂා වී පවතී. (සිතියම බලන්න) මේ ස්ථානය අදත් ලංකාදීපයේ හරි මැදයි.

මෙම පැරණි ඇසතු බෝධීන් වහන්සේ දැනට වසර 2700ක් හෝ ඊටත් වැඩි වසර ගණනක් පැරණි බව එය දකින හැම කෙනෙකුටම මනාව වටහා ගත හැකිය. ගෞතම බෝසත් තුමා එදා මේ රමණීය බිම් කඩට පැමිණ තමන්ට පිටදීමට සුදුසු වෘක්‍ෂයක් සොයද්දී මෙම ඇසතු බෝධීන් වහන්සේ ඊට සුදුසු ප්‍රමාණයෙන් හැදී වැඩී උස් මහත් වී කදිම තත්වයෙන් පවතින්නට ඇත.එය ධර්මතාවයෙන් ම සකස් වූ බෝධිය මිස කවුරුන් හෝ කෘතිමව සකස් කළ එකක් ද නොවේ.

“හිරිවඩුන්න” නමින් මේ ස්ථානය අද හැඳින්වෙයි. මේ ස්ථානය එදා “සිරිවැඩඋන්න” ස්ථානය ලෙසින් ජන්බුද්වීප වැසියන් ගේ ව්‍යවහාරයට පැමිණ අද එය සිරිවැඩඋන්න වෙනුවට කටට හුරු ලෙසින් හිරිවඩුන්න බවට පත්ව ඇති බව පෙනේ. මේ ස්ථානය හබරණ දඹුල්ල පාරේ කි.110 කණුව අසලින් බටහිර දෙසට සැතපුමක් පමණ දුර ගමන් කිරීමෙන් අදටත් දැකගත හැකිය.

hiriwadunna2

පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසින් ද, අරඤ්ඤ සේනාසනයක් ලෙසින් ද අදටත් රැකී ආරක්ෂා වී ඇති මේ රමණීය බිම අද කාටත් දැක ගත හැකිය. එදා ගෞතම බුදුපියානන්ට බුද්ධත්වයට පත්වීමට උපකාර වූ ඊට ම සම්බන්ධ ස්ථාන රාශියක් ද අදටත් මේ ස්ථානයේදීම දැකගත හැකිය.

1. ඇසතු බෝධීන් වහන්සේ (ශ්‍රී මහා බෝධිය)
2. ගෞතම බෝසත්තුමා වෙනුවෙන් එදා සකස් කළ වජ්‍රාසනය (ශිලා ආසනය)
3. කුසතණ පඳුරු (බෝධිය පිහිටි බිමේදීම දැක ගත හැකිය.මේ කුසතණ කවුරුන් හෝ වගාකළ ඒවා නොවේ) මේ කුසතණ ඒක දේශික බෝගයකි.
4. රුවන් සක්මන (ගෞතම බෝසත්තුමා වෙනුවෙන් සකස්කළ සක්මන)
5. මුචලින් ද රජු විසින් (නාග ගෝත්‍රික) ගෞතම බුදුන්ට මහ වැස්සෙන් බේරෙන්නට සාදා සකස් කර දුන් කුටිය හා සැතපෙන්නට සකස් කර දුන් කුටිය හා සැතපෙන්නට සකස් කර දුන් ගල් ආසනය (ඇඳ)
6. සුජාතා සිටු දුව කිරිපිඬු පිළිගැන්වූ අජපල් නුගරුක (මුල් නුගය විනාශ වී ඇතත් ඉන් පැන නැගී ආ නුගයක් අදටත් එහිදී දකින්නට ඇත)
7. බුද්ධත්වයට පත්වීම අධිෂ්ඨාන කරමින් බෝසත්තුමා එදා තම පාත්‍රය උඩුගං බලා පාකර යැවූ නේරංජන නදියේ පාත්‍රය උඩුගං බලා ගිය ගංගාවේ ඉතිරි වූ කොටස, හාස්කමකින් සේ අදටත් ඒ ගංගාවේ යාර 200ක් පමණ වූ කොටසක් ඉතිරි වී ඇත.
8. නදී කාශ්‍යප, ගයා කාශ්‍යප හා උරුවෙල් කාශ්‍යප යන අරහතුන් වහන්සේලා වෙනුවෙන් එදා සකස් කර දුන් ආරාමවල බොහෝ නටඹුන් (හිරිවඩුන්න ගමේ ම කොටසක් අදටත් “කස්සප ගම”) නමින් හඳුන්වන්නේ කාශ්‍යප තුන් බෑයන් සිහිපත් කිරීම සඳහාය.

ගෞතම බුදු පියාණන් එදා බුදු වන්නට අධිෂ්ඨාන කරමින් තම පාත්‍රය නේරංජන ග‍ඟේ උඩුගං බලා යැවූ බව ඉතිහාසයේ සඳහන්ය. අදටත් හිරිවඩුන්නට උඩින් (ඉහත්තාවේ) ඇති ගම “උඩංගාව” නමින් හඳුන්වයි. (උඩ+ගං+ආ) “උඩංගාව” යනු උඩුගං බලා ගිය පාත්‍රය සිහිපත් කිරීමට අතීතයේ විසුවන් විසින් තබන ලද නමකි. හිරිවඩුන්නට තරමක් දුරින් පිහිටි ඒ අසලම වූ ගමක් අදටත් “මාමිණියාව” නමින් හැඳින්වෙයි. මෙය “මහ මුණි ආව” යන අර්ථයෙන් තැබූ නමකි. මහමුණි යනු ගෞතම බුදුපියාණන්ය. බුද්ධත්වයටපත් වූ ගෞතම බුදුන් එදා පළමුවෙන්ම මේ ගමට පැමිණි බව පෙන්වා දිය හැකිය.

මෙවැන් නම් ගම් තම මී මුත්තන්ගේ කාලයේ පටන්ම ධර්මතාවයෙන්ම රැකී රැඳී පවතින බව අදත් හිරිවඩුන්න වැඩිහිටියෝ පවසති. එදා ගෞතම බුදුපියාණන්ට බුද්ධත්වයට පත් වීමට උර දුන් , උපකාර වූ මෙම ශ්‍රී මහා බෝධීන් වහන්සේත් රමණීය භූමියත් ඕනෑම කෙනෙකුට දැක බලා ගත හැකි ආකාරයෙන් අදත් විවෘත බව ප්‍රකාශ කළ යුතුය. මෙම මුල් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සලසා දෙන්නේ අති පුදුම නොපෙනෙන බලවේගයකිනි. එහි රනින් කළ රන් වැටවල් නැත. එදා ගෞතම බුදුන් බුදු වූ මොහොතේ පටන් ම මෙම අදෘශ්‍යමාන බලවේගයන් මෙම ස්ථානයට අරක් ගෙන පවතින බව කිව යුතුය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ මේ බලවේගය ජීවමානව ම අදටත් සිටින බව මෑතක දී සිදු වූ සිද්ධීන්ගෙන් කාටත් දැන ගත හැකි විය. මෙම ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව එදා සංඝමිත්තා මෙහෙණිය විසින් හිරිවඩුන්නේ සිට අනුරාධපුර නගරය බලා වැඩමවා ගෙන ඒම එදා සිදු වූ සත්‍යය ම සිදුවීමයි. මෙය මහා වංශයේ ද සඳහන්ය. මෙය “ජන්බුද්ධීපා ඉධා ගතා ලංකාපුර” යනුවෙන් මාගධී බසින් බෝධීන් වහන්සේ වැඩමවීම ගැන මහා වංශයේ සටහන් වෙයි. ජන්බුද්වීපය යනුවෙන් එදා අදහස් කළ ප්‍රදේශය බුදුන් ජන්මය ලැබූ මේ හිරිවඩුන්න ප්‍රදේශයයි. එහි සිට සංඝමිත්තා මෙහෙණිය විසින් පාත්‍රයක් තුළ පැළ කරන ලද මෙම බෝ පැළය ඔරුවක පටවාගෙන මහකනදරාව තෙක් ගඟ දියේ ගෙනවුත් දෙවන පෑ තිස්ස රජුට එහි දී බාර දුන් බව ද පෙන්වා දිය යුතුය. එදා නේරංජනා ගඟ නමින් නම් කරන ලද විශාල ගංගාවක් හිරිවඩුන්න ආරඤ්ඤ සේනාසනය අසල ම ප්‍රදේශයේ සිට සැවැත් නුවර හරහා ගලාගොස් කෝකිලායි කලපුව ළඟින් මුහුදට ගලා ගිය බවද පෙනේ. අද ඒ විශාල ගඟ ඔයක් (හුරුලු ඔය) බවට පත් වූයේ මහාපරාක්‍රමබාහු රජතුමා විසින් පසු කාලයක දී ඇලහැර දී අඹන් ගඟ හා සුදු ගඟ හරවා එහි ජලය පරාක්‍රම සමුද්‍රයට හැරවීමත් ඊට පහළ ප්‍රදේශවල දී මෙම ගඟ හරස් කර හිරිවඩුන්න වැව, හුරුළු වැව, මහගල් කඩවල වැව, වාහල්කඩ වැව හා පදවිය වැව වැනි විශාල වැව් ගණනාවක් පසු කාලයක දී සෑදීමත් නිසාය. අද මේ විශාල ගංඟාව කුඩා ජල පහරක් බවට (යාන් ඔය, හුරුළු ඔය) පත් වී තිබේ. නමුත් එදා සැවැත් නුවරට වෙළඳ බඩු ප්‍රවාහනය කළේ මේ ග‍ඟේ ගමන් කළ ඔරු පාරු හා කුඩා නැව්වලින්ය. සඟමිත් තෙරණිය ද එදා හිරිවඩුන්නේ සිට අනුරාධපුරයට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව වැඩමවා ගෙන ගියේ ද මේ නේරංජනා ගඟ දිගේම ඔරුවකිනි. ඒ හෙළදිව ජන්බුද්වීයේ සිට ලංකාපුරයටයි. ලංකාපුර පසු කලෙක අනුරපුර ලෙසින් ව්‍යවහාර විය.

එදා බුදුපියාණන් පිට දී බුද්ධත්වයට පත් වූ මෙම බෝ සමිඳුන්ගේ දකුණු ශාඛාව ගලවාගෙන ගිය ස්ථානයේ ම අදටත් සමහර වර්ෂවල මහා ආශ්චර්යයන් පාමින් සුදු බෝධීන් වහන්සේ නමක් මතු වී ඉන් බුදුරැස් විහිදුවන බව කවුරුත් නොදන්නා කරුණකි. 2009 මැයි මස 08 වැනි දින වෙසක් පුන් පොහොය දිනයේ හිරිවඩුන්නේ ශ්‍රී මහා බෝධිරාජයාගේ මුලින මතු වූ මෙම විශ්මිත සුදු බෝ අංකුරයේ සේයාරුවක් (2009-05-17 ගන්නා ලද) මෙහි ඇතුළත් කර ඇත. මෙම බෝ අංකුරය සති හතක් පවතී. ඉන්පසු ව අපවත් වී යාම ද සිදු වෙයි. මෙම සුදු බෝධි අංකුරය මතු වන්නේ ද වෙසක් පොහොය දිනයටමය. මෙම ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පත්‍ර පවා වෙනත් කිසිම බෝධියක දකින්නට නැති විශේෂ ලක්ෂණවලින් ද යුක්තය. අදත් මෙහි බෝ පත් වලින් පවා රශ්මියක් කිරණයක් විහිදේ. වෙනත් බෝ ගස්වල නැති විශේෂ ලක්ෂණ රාශියක් මෙහි දී දැකගත හැක. මෙම ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුර වැඩ සිටින ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මවු බෝධීන් වහන්සේ බව විද්‍යාත්මකව ද ඔප්පු කර පෙන්විය හැකි කරුණකි. ගෞතම බෝසත්තුමාට එදා සුජාතා සිටු දේවිය කිරිපිඞු පූජා කළේත් මේ බෝධීන් වහන්සේට නුදුරින් පිහිටි අජපල් නුග රුක මුලදී ය. ඒ නුග රුක මෙන් ම නේරංජනා නදියේ පාත්‍රය පා කර හැරිය, පාත්‍රය උඩු ගං බලා ගිය අඩි 300ක් 400ක් පමණ ගංඟාවේ කොටසක් ද අදටත් නිරුපද්‍රිතවම ඒ ආකාරයෙන් ම කාටත් දැක ගත හැකි සේ මෙම ආරඤ්ඤ භූමියේ ම ආරක්ෂා වී පවතී. ඒ ග‍‍ඟේඋඩ කෙළවර ප්‍රදේශය අදටත් “උඩංගාව” ලෙසින් නම් කළ ගමකි. ඒ උඩ ගං ආව යන අර්ථයෙනි. උඩු ගං බලා ආවේ පා කර හැරිය පාත්‍රයයි. එදා මේ ස්ථානයට කිට්ටු ම වූ පාලකයා වූයේ මුචලින්ද රජුය. මුචලින්ද රජුගේ නම ආටානාටා සූත්‍රයේ ද සන්ටුහන් වේ. මේ රජු නාග ගෝත්‍රික රජ කෙනෙකි. (නයෙක් නොවේ.) මුචලින්ද රජු එදා පැවති උසස් තාක්ෂණය යොදා ගෙන බුදු පියාණන්ට සකස් කර දුන් ගල් කුටිය හා ගල් ආසනය ද (දිග අඩි 6.5, පළල අඩි 3) අදටත් එතැනම දකින්නට ඇත.

බුදු පියාණන් එදා බුද්ධත්වයට පත් වී පස්වග මහණුන්ට පළමු ධර්ම දේශනාව පවත්වන්න‍ට ගිය ගමන ආරම්භ කළේ මේ බෝධි මූලයේ සිටය. පස්වග මහණුන් හා යසකුල පුත්‍රයා හා පිරිස ද මහණ කර වූ බුදු පියාණන් ටික කලකින් ම යළිත් ශ්‍රී මහා බෝධිය කරා පැමිණියේ ය. හිරිවඩුන්නේ ශ්‍රී මහා බෝධිය අසලම වූ කස්සප ගමේ එදා (අදටත් කස්සප ගම පවතී.) ජීවත් වූ නදී කස්සප, ගයා කස්සප හා උරුවෙල් කස්සප යන ජටිල තුන් බෑයන්ට ධර්මය දේශනා කළේත් මේ ශ්‍රී මහා බෝධි මූලයේදී ම ය. මේ අනුව ජටිල තුන් බෑයන් හා ඔවුන්ගේ පිරිස මඟ පල ලබාගෙන ඉන් පසුව හිරිවඩුන්න නම් වූ මෙම ස්ථානයේ ම ආරඤ්ඤ සේනාසන සකස් කර ගෙන වැඩ සිටි බවත් පැහැදිළිය. අදටත් අක්කර 11ක පමණ වූ මෙම භූමි භාගය තුළ මේ අතීත ආරඤ්ඤ සේනාසනවල සියළුම නටබුන් දක්නට ඇත. ඒ සියලු නටබුන් අනුරාධපුර යුගයට වඩා වසර 300ක්වත් පැරණි ඒවාය.

එදා පැවති මුචලින්ද විල නමින් ප්‍රසිද්ධ වූ විල නේරංජනා නදියට බටහිරින් අදටත් දකින්නට ඇත. අද ඉන්දියාවේ වන්දනාවේ යන පිරිසට දක්නට ලැබෙන්නේ බුද්ධ කාලයට වසර 300කට පමණ කාලයකට පසුව අශෝක මහ රජතුමා විසින් ගඩොලින් සාදා ගොජ නැංවූ බුද්ධගයාවේ ස්මාරකයකි. නමුත් හිරිවඩුන්නේ ඇති සියළු අංග ධර්මතාවයෙන් රැකී ආරක්ෂා වූ දේවල්ය. අරිය පර්යේෂණ සූත්‍රයේ ඉතා ම පැහැදිළිව පෙන්වා දෙන පරිදි “ඉතාම රමණීය භූමි භාගයකින් ද සිත් ගන්නා නේරංජනා ගඟ අසලම පිහිටි වැලි තලාව ද, ඒ අසලම පිහිටි ගොදුරු ගම ද සිත්කළු යැයි බුදු පියාණන් ම පවසයි. අද හිරිවඩුන්න ආරඤ්ඤයට යන ඕනෑම කෙනෙකුට තම දෑසින් ම මේ සියළු දර්ශන අරිය පර්යේෂණ සූත්‍රයේ එන වර්ණනාවට බිඳකුදු නොඅඩුවම දැක ගත හැකි අයුරු ආරක්ෂා වී පවතී. ඒ අතරම ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදෙන යෝගාවචරයෙකුට ම  සුදුසු වූත් සියළුම බුදුවරයින් වහන්සේලාට ද අරහත් ඵල සමාපත්තියට ම පත් වීමට උපකාර වූත් ඒ සමාපත්ති සුවය ලබාගත හැකි වූ විස්මිත විශ්ව ශක්තියක් ද මෙම ස්ථානයේ අදටත් පවතින බවත් මා ලැබූ අත්දැකීමෙන්ම ප්‍රකාශ කර සිටිමු.

ගෞතම බුදුන් ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයට පූර්ණ කර ගත්තේ මේ ස්ථානයේ දී ම බව පෙන්වා දීමට මෙයට වඩා තවත් උපමා උදාහරණ සාක්ෂි අවශ්‍ය නොවේ.

උතුම් විශ්ව ශක්තිය මේ ආකාරයට කේන්ද්‍ර ගත වූ වෙනත් තැනක් මේ මිහිතලය මත නැති බවත් මේ ස්ථානයේ දී ලබාගත හැකි මෙම විශ්ව ශක්තිය ධර්ම මාර්ගයේ යන අයට පමණක් ම ලබා ගත හැකි එකක් බවත් අවංකවම පෙන්වා දිය යුතුය. මෙතෙක් කාලයක්, වසර 1200කටත් වැඩි කාලයක් මෙම උතුම් ස්ථානය සොයාගත නොහැකි වන ආකාරයට මහ වනයෙන් වැසී යටපත්ව තිබිණි. එයට හේතුව ද ධර්මතාවය මිස වෙනත් හේතුවක් නොවේ. පවිත්‍ර බුද්ධ ධර්මය යළි මතුවීමත් සමඟ ම මෙම උතුම් ස්ථානයන් ද ධර්මතාවයෙන් ම මතුවීම සිදුවිය. ඔබත් ධර්ම මාර්ගයම අනුඟමනය කර මේ සත්‍යයන් අත් දැක ගන්න.

හිරිවඩුන්න ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථානයට යන ගමන් මාර්ගය :

කොළඹ ත්‍රිකුණාමලය පාරේ දඹුල්ල පසු කර කි. මීටර් 20ක් පමණ ගිය පසුව කි. මීටර් 110 කණුව ළඟින් වමට හැරී කි. මීටර් 1ක් ගුරු පාර දිගේ යා යුතු ය. හබරණ සිට හෝ අනුරාධපුර පොළොන්නරුව සිට හෝ පැමිණෙන විට හබරණ දඹුල්ල පාරේ කි. මීටර් 2 ක් පමණ පැමිණ දකුණට හැරී කි. මීටර් 1ක් ගුරු පාරේ ගමන් කළ පසුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින ආරඤ්ඤ සේනාසනය හමු වේ. කොළඹින් පොළොන්නරුව, ත්‍රිකුණාමලය, සෝමවතී පුදබිම, කන්තලේ, හිඟුරක්‍ගොඩ, මැදිරිගිරිය, කදුරුවෙල, දෙහිඅත්තකණ්ඩිය, මඩකලපුව බලා යන ඕනෑම බස් රථයක නැඟී හිරිවඩුන්නෙන් බැස මෙම පින් බිමට ළඟාවිය හැකිය. අක්කර 11ක් පමණ විශාල ආරඤ්ඤ සේනාසන භූමිය පුරා විසිරුණු පුරා වස්තු ඇති අතර සත් සතියට අදාළ සියළුම ස්ථාන අදටත් දැක බලාගත හැකිය.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.