හෙළබිම මුල්ම යුගයේ පැවති බුද්ධ වන්දනා ක්‍රම

ගෞතම බුදුපියාණන් එදා හෙළ බිම ජන්බුද්වීපයේ ජීවමානවම වැඩ සිටි යුගයේදීත් බෞද්ධ ජනතාවට බුදුන් වහන්සේ සිහිපත් කර වැඳුම් පිදුම් කරගැනීමට ගෞතම බුදුපියාණන්ම අනුදැන වදාළ, නිද්දේස කර වදාළ පූජා වස්තූන් කිහිපයක්ම විය. මේවා කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.

I. පාරිභෝගික වස්තූන්
II. උද්දේසික වස්තූන්
III. ශාරීරික ධාතූන්

මේ කොටස් තුනටම එදා මුල්ම යුගයේ හෙළදිව බෞද්ධයා වැඳ පුදාගත් බව ති‍්‍රපිටකයේත්, මහාවංශයේත්, දීප වංශයේත් පැහැදිලිවම සඳහන්ව ඇත.

මේ අනුව සිදුහත් බෝසත් තුමා උපත ලැබූ, ගෞතම බුදු පියාණන් බුද්ධත්වයට පත් වූ, වසර හතළිස් පහක් පුරාම බුද්ධ ධර්මය දේශනා කරන ලද මේ හෙළබිමේ මුල්ම බෞද්ධ ජනතාවද බුදුන් සිහිපත් කිරීම සඳහා මේ කොටස් තුනටම අයත් පූජා වස්තූන්ට ශ‍්‍රද්ධාවෙන් යුතුව හා ගෞරව භක්තියෙන් යුතුව වන්දනාමාන කරන සිරිතක් එදා පැවතිණි.

ගෞතම බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමේදී පිට දුන්, උන්වහන්සේ පාරිභෝග කළ, ජය සිරි මහා බෝධිය හා ඒ බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේලා මෙසේ මුල්ම යුගයේදී හෙළදිව ජනයා වැඳ පුදාගත් වැදගත්ම පූජා වස්තුවයි. ගෞතම බුදුපියාණන්ම ආනන්ද හාමුදුරුවන්ට එදා උපදෙස් දී වදාළ පරිදි හිරිවඩුන්නේ සිට වඩම්මවා ගෙන ආ සිරි මහා බෝධි අංකුරයක් සැවැත්නුවර ජේතවනාරාම භූමියේ එනම් අද රිටිගල නමින් හඳුන්වන පුරාවිද්‍යා භූමියේ පිහිටි නා වනයේ (ජේතවනයේ) එදා රෝපනය කර වැඳුම් පිදුම් කරගත් බව අපේ රටේදීම ලියූ ඉතිහාස පොත් වලද සඳහන්ය. මේ ආනන්ද බෝධිය එදා රෝපණය කර තිබුණේ අද රිටිගල පිහිටි නා උයනේය. අද එය වනයෙන් යටවී අභාවයට ගොස් ඇති බව පෙනේ.

මීට අමතරව ගෞතම බුදුපියාණන් පරිහරණය කළ වජ‍්‍රාසනයටද එදා පටන්ම හෙළදිව බෞද්ධයා වැඳුම් පිදුම් කළහ. හිරිවඩුන්න ජය ශ්‍රී මහා බෝධි මුලයේ අදටත් දකින්නට ඇත්තේත්, බෞද්ධ ලෝකයා අදටත් වැඳුම් පිදුම් කරන්නේත් එදා ගෞතම බුදුන්ගේ බුදු පහස ලැබූ වජ‍්‍රාසනයටමය. තවත් මෙවැනිම වජ‍්‍රාසන කිහිපයක්ම අතීත හෙළබිමේ වැදගත් පූජනීය ස්ථානවල තිබු බව පෙනෙතත් අද ප‍්‍රසිද්ධියේ මේවා දැක ගන්නට නැත.

ගෞතම බුදු පියාණන් ජීවමානව වැඩසිටි කාලයේදීම බොහෝ බෞද්ධයින් වැඳපුදාගත් උද්දේශික පූජා භාණ්ඩය වුයේ බුදු සිරි පතුලයි. බුදු සිරි පතුලේ පිහිටා තිබු විස්මිත ලකුණු නිසාම මේ විශේෂ ලක්ෂණ සහිතවම ගලේ කොටා සකස් කරගත් බුදු සිරිපතුල් වලට වන්දනා කිරීමට එදා හෙළ දිව බෞද්ධයා පටන් ගත්හ. බුදුන් ජීවමානව සිටි කාලයේදීම ගෞතම බුදුන්ගේම බුදු පා පහස ලැබූ සිරිපාද ස්පර්ශය ලැබූ සිරි පතුල් අටක් හෙළබිමේ අට ස්ථානයක තැන්පත් කර වැඳුම් පිදුම් කරන්නට එදා හෙළබිම ජනතාව පටන් ගත්හ. සිරි පතුල් යුගලයන් වශයෙන් සමහර තැනක පිහිටු වූ අතර, තනි සිරිපතුලක් ලෙස පිහිට වූ ස්ථානයන්ද තිබුණි. මේ ස්ථානයන් පසුව අට මහා ස්ථානයන් – අටමස්ථාන – වන්දනාව ලෙසින් එදා ලංකාවේ බෞද්ධයා අතරේද ප‍්‍රචලිත විය. අනුරාධපුර යුගයේදී පවා බොහෝ හෙළ රජ දරුවන්, ප‍්‍රභූවරුන්, සිටුවරුන් හෙළබිමේ පිහිටි මෙම පැරණි අටමස්ථානයන් වැඳ පුදා ගන්නට රජ පෙරහරින් ගමන් කළ බව “හස්තසාලිනී” නමැති අනුරපුර යුගයේදී ලියු පොතකද සඳහන් වී ඇත.

ගෞතම බුදුපියාණන් එදා ජීවමානව වැඩ සිටි යුගයේම ශාරීරික ධාතු වන්දනාවද අනුදැන වදාළ අතර ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ ශාරිරික ධාතු, පසේ බුදුවරයන් වහන්සේ කෙනෙකුගේ ශාරිරික ධාතු අරහතුන් වහන්සේ කෙනෙකුගේ ශාරිරික ධාතු හා චක‍්‍රවර්ති රජකෙනෙකුගේ ශාරිරික ධාතු තැන්පත් කර දා ගැබ් හා චෛත්‍යයන් ඉදිකර වන්දනාමාන කිරීම බුදුපියාණෝ එදා අනුදැන වදාළහ. ගෞතම බුදුපියාණන් බුද්ධත්වයට පත් වූ නොබෝ දිනකට පසුවම වැඳුම් පිදුම් කරගන්නට යමක් ඉල්ලා සිටි ”තපස්සු භල්ලුක” වෙළඳ දෙබෑයන්ට ලබා දුන් ශාරිරික ධාතුන් වුයේ කේස ධාතුන්ය. මේ කේස ධාතු තැන්පත් කර ඉදිකළ දාගැබ තිරියාය ”ගිරිහඬු සෑය” නම් විය. මේ දාගැබ පිහිටියේ ලංකාවේ ති‍්‍රකුණාමලය අසල එදා අංග රටට අයත් වූ ස්ථානයකය. සියලුම බෞද්ධයෝ මේ බව අදත් පිළිගනිති. ගෞතම බුදුන් වෙනුවෙන් මේ හෙළබිමේම ඉදිකළ දෙවන දාගැබ වන්නේද මහියංගනයේ සුමන රජු ඉදි කළ දාගැබයි. එහිද ගෞතම බුදුන්ගේම කේසධාතු තැන්පත් කර දාගැබක් ඉදිකළ බව ඉතිහාසයේ සඳහන්ය. ගෞතම බුදු පියාණන්ට පෙර පිරිනිවන් පා වදාළ අසුමහා ශ‍්‍රාවකයින් වහන්සේලා අතරින් සැරියුත්, මුගලන් ආදී මහ අරහතුන් වහන්සේලා දස නමකගේම ශාරිරික ධාතු තැන්පත් කර රජගහ නුවර චෛත්‍යයන් ඉදිකර වන්දනා මාන කළ බව ති‍්‍රපිටකයේ සඳහන්ය. අදටත් අම්පාරේ රජගල මේ චෛත්‍යයන් දහයේම නටඹුන් පැහැදිලිවම දැක ගන්නට ඇත. එසේ නම් මේ හෙළබිමේ අනුරාධපුර යුගයට බොහෝ පෙර යුගයයේදී ඉදිකරන ලද චෛත්‍යයන් හා දාගැබ් වැඳ පුදා ගැනීමද එදා හෙළ බෞද්ධයන්ගේ සිරිතක් විය.

ගෞතම බුදුපියාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වූ කුසිනාරා නුවරදී (බුදුගල) එදා සියලුම සර්වඥ ධාතූන් වහන්සේලා කොටස් අටකට බෙදා වෙන්කර භාර දුන්නේ එවකට මේ හෙළබිමේම රජකරන ලද රජවරුන් අට දෙනෙකුටය. එදා පටන්ම මේ ධාතූන් වහන්සේලා හෙළබිම වැසියන්ගේ වැඳුම් පිදුම් වලට පාත‍්‍ර විය. ඉන්දියාවේ සිට ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම වු බවක් කිසිම ඉතිහාසය පොතක පතක හෝ මහාවංශයේ හෝ කොතැනක වත්ම සඳහන්ව නැත. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු දන්ත ධාතුන් වහන්සේ වැඩමවාගෙන අනුරාධපුරයට ආවේ බුදුගල කුසිනාරා නුවරින් මිස වෙනත් තැනකින් නොවේ. කුසිනාරා නුවර පිහිටියේද ජන්බුද්වීපයේය. අද නම් එ් රත්නපුර දිස්ති‍්‍රක්කයේ බුදුගලයි.

ගෞතම බුදුපියාණන් ජීවමානව වැඩ සිටි යුගයේ පටන්ම ජය සිරි මහ බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමේ සිරිත හෙළ බෞද්ධ ලෝකයා අතරේ ප‍්‍රචලිත විය. මේ අනුව ගෞතම බුදුන් ජීවමානව වැඩ සිටි යුගයේම හිරිවඩුන්නේ පිහිටි ජය සිරි මහා බෝ සමිඳුගෙන් බෝ අංකුර රැුගෙන විත් රෝපණය කර වැඳුම් පිදුම් කිරීමේ සිරිත අනුව එහි පළමුවැනි බෝධි අංකුරය වඩම්මවාගෙන ගියේ ඉසින්බැස්සගල ඉසිපතනාරාමයටය. මැදවච්චියේ පිහිටි ඉසින්බැස්සගල එදා කසී රටට අයත් වූ ස්ථානයකි. එදා රෝපණය කළ ජය ශ්‍රී මහ බෝ අංකුරය අද දක්වාමත් ඉසින්බැස්සගල රජමහ විහාර භූමියේ ආරක්ෂා වී පවති. අදටත් බෞද්ධ හෙළ ජනතාව මේ බෝධීන් වහන්සේට වැඳුම් පිදුම් කරති.

ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ තවත් බෝ අංකුරයක් රජගහනුවර අම්පාර රජගල වේලුවනාරාමයේත් රෝපණය කර ඊට වැඳුම් පිදුම් කරන්නට පටන් ගත්තේද ගෞතම බුදුන් ජීවමාන කාලයේදීමය. මේ බෝධීන් වහන්සේ පිළිබඳව අද වන විට තොරතුරු දැනගන්නට නොලැබෙන්නේ පසුගිය වසර 1000 කටත් වැඩි කාලයක් ඒ රජගල ප‍්‍රදේශයම මහ කැලයෙන් වැසී යටපත්ව ගිය හෙයිනි.

ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ තවත් ශාඛාවක් පසු කලෙක සිද්ධාර්ථ කුමාරොත්පත්තිය සිදු වු ලුම්බිණියේ, (අද නම් බඹරගල) රෝපණය කරවූ අතර අදටත් බඹරගල වැවගම රජමහා විහාර භූමියේ මේ බෝධීන් වහන්සේ ජීවමානවම වැඩ සිටී.

ගෞතම බුදුපියාණන්ගේ පිරිනිවීමත් සමගම කුසිනාරා නුවරටද ජය සිරි බෝධීන් වහන්සේ ගෙන් බෝධි අංකුරයක් වඩම්මවාගෙන විත් එහි රෝපණය කර ගැනීම සිදුවිය. අදටත් බුදුගල හා කුරගල අතර කාටත් දැක වැඳ පුදා ගත හැකි ටැම්පිටයාය බෝධිය නමින් ප‍්‍රසිද්ධ අති පැරණි බෝධීන් වහන්සේ මෙසේ ලබාගත් බෝ අංකුරයකි. ගෞතම බුදුපියාණන් පිරිනිවීමෙන් වසර 280 කට පමණ පසු යුගයක සංඝමිත්තා මෙහෙණිය විසින් අනුරාධපුරය කරා හිරිවඩුන්නේ ජය සිරි මහ බෝ සමිඳුන්ගෙන් ලබාගත් බෝ අංකුරයක් වැඩමවීමේ සත්‍ය පුවත වටා ගෙතුණු කථාවද බෝධි වංශයේ සඳහන් වේ.

බෝධී වංශය ලියා පළ කළේ දඹදෙණි යුගයේදී වන අතර මේ පිළිබඳව එන කතා පුවත උත්තරවංශයේද, මහාවංශයේද දීපවංශයේද කෙටියෙන් සඳහන් වෙයි.

මිහිඳු කුමාරයා, සඟමිත් කුමරිය හා සුමනා, සුනන්දා යන කුමරියන් තිදෙනාත් සමඟ අශෝක රජුගේ යුද්ධ සමයේ හෙළ බිමට පැන ආ අතර එම රජකුමර කුමරියන් එදා සැඟවී ගත්තේ අම්පාරේ රජගල වේලුවනාරාම භූමියේය. මේ සතර දෙනාම කාලිංග ප‍්‍රදේශයේ ඉන්දීය රජ පවුලකට අයත් රජ කුමර කුමරියන්ය. අශෝක රජුටද නෑකම් ඇති මේ රජ කුමර කුමරියන් හෙළබිමට පැන ආවේ අශෝක රජුගේ යුද්ධයට බියෙන්ය. අශෝක රජු ඉන්දියාවේ රජකම් කළ ප‍්‍රාදේශීය රජ පවුල්වලට අයත් තමන්ගේම නෑදෑයින් සමුලඝාතනය කළ බව ඉතාමත් ප‍්‍රසිද්ධය. මේ කුමර කුමරියන් එදා හෙළබිමට පැන අවේ තම ජීවිතය බේරා ගන්නටය. රජගලට ආ මේ කුමර කුමරියෝ සියලු දෙනාම පළමුව මහණ වූහ. මිහිඳු මහ රහතන් වහන්සේ නමින් මහණ වී මඟඵල ලබාගෙන සිංහල, මාගධී හා බුද්ධ ධර්මයද ඉගෙන ගෙන පසු කලෙක අනුරාධපුරයට බුද්ධ ධර්මය හඳුන්වා දෙන ලද්දේද රජගල අම්පාරේ රජගහනුවර වේලුවනාරාමයේ ජීවත් වූ මිහිඳු හිමියන් විසිනි. පසු කලෙක අශෝක රජු බුද්ධාගම වැළඳගෙන ධර්මාශෝක බවට පත් වූ පසුව ඉන්දියාවට ගොස් එහි බුද්ධාගම පැතිර වීමටද උන්වහන්සේ කි‍්‍රයා කළහ. මිහිඳු හිමියන් තම අවසාන කාලය ගත කළේත් පිරිනිවන් පා වදාළේත් අම්පාරේ රජගල නමින් ප‍්‍රසිද්ධ වූ රජගහනුවරදීය.

අම්පාරේ රජගලින් හමු වූ පිහිටි ගලක ලියා ඇති සෙල්ලිපියකුත් ඒ සෙල්ලිපිය ආසන්නයේම ඇති චෛත්‍යයක නටඹුන්ද අදටත් මේ පුවත සනාථ කරයි. මේ අනුව එදා මිහිඳු හිමියන් මහණ වූ ධර්මය ඉගෙනගත් මඟඵල ලබාගත් ලෝක බෞද්ධ මුලස්ථානය වුයේ අම්පාරේ අද රජගල නමින් ප‍්‍රසිද්ධ වූ එදා රජගහනුවර වේලුවනාරාමයේදීය. මිහිඳු හිමියන් ඉන්දියාවේ යම් තැනක සිට අනුරාධපුරයට වැඩම කර වදාළේ නම් උන්වහන්සේ පිරිනිවන් පෑම සඳහා සහ තම අවසාන ජීවිත කාලය ගත කිරීම සඳහා අනුරාධපුරයෙන් ඉතා ඈත පිහිටි රජගල තෝරා ගන්නට කිසිදු හේතුවක් නැත. රජගහ නුවරින් අනුරාධපුරයට වැඩම කළ මිහිඳු හිමියන් නැවතත් රජගහ නුවරටම ආපසු වැඩම කළ බවත් ඒ වන විටත් ඉතාම දියුණු හා ධනවත් තත්ත්වයකින් රජගල පිහිටි හෙළ රාජධානිය පැවති බවත්, බෞද්ධ විද්‍යා ස්ථානයක්ව එය පැවති බවත් මේ සාක්ෂි වලින්ම ඔප්පු කළ හැකියි.

මිහිඳු හිමියන් එදා වැඩසිටි රජගල වේලුවනාරාමය භූමියේම පිහිටා තිබු මෙහෙණි ආරාමයකදී මහණ වූ සඟමිත් කුමරියද පසු කලෙක මගඵල ලබාගෙන මිහිඳු හිමියන් සමඟ අනුරාධපුරයට වැඩමවා වදාළේ ලංකා පුරයේ මෙහෙණි සසුන පිහිටු වීම සඳහාය. මේ යන ගමනකදී අනුරාධපුර බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් කර ගැනීමට හිරිවඩුන්නේ ජයසිරි මහ බෝධීන් වහන්සේ ගෙන් බෝධි අංකුරයක් අනුරාධපුරයට වඩම්මවා ගෙන ගිය පුවත බෝධි වංශයේම සඳහන් වෙයි.

එදා ගෞතම බුදුපියාණන් බුද්ධත්වයට පත් වූ දවස වන විට හිරිවඩුන්න ප‍්‍රදේශය පාලනය කළේ මුචලින්ද නම් නාග ගෝති‍්‍රක රජු විසිනි. මුචලින්ද නම් නාග ගෝති‍්‍රක රජු ගෞතම බුදුන්ට වැස්සෙන් බේරී වාසය කිරීමට සකස් කර දුන් කුටියත්, සැතපෙන්නට සකස් කර දුන් ගල් ආසනයත් අදත් හිරිවඩුන්නේ දකින්නට ඇත. බුද්ධත්වයට පත් වීමේදී භාවිතා කරන ලද ආසනය වූ වජ්රාසනයද සකස් කර දුන්නේ මුචලින්ද රජුමය. සංඝමිත්තා මෙහෙණිය අනුරාධපුරයට ජය ශ්‍රී මහ බෝධියෙන් බෝ අංකුරයක් වඩම්මවා ගෙන යන්නට හිරිවඩුන්නට පැමිණි අවස්ථාවේද එහි පාලනය භාරව සිටියේ නාග ගෝත‍්‍රයටම අයත් රජවරුන්ය. මේ බව සනාථ කරන සත්‍යමවූ පුවතක් බෝධි වංශයේත් මහාවංශයේත් සඳහන් වෙයි. මේ පුවත නම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගෙන් ලබා ගත් බෝ අංකුරය අනුරාධපුරයට වඩම්මවාගෙන යන්නට පෙර නා ලොවදී පුද පූජා කළ බවයි.

”නා ලොව සතියක් පුද ලද බෝධිය” නමින් අදටත් බෝධි වන්දනාවේදී කවි පෙළක සඳහන් වන්නේද මේ පුවතයි. එදා නා ලොව වුයේ නාග ගෝත‍්‍රයට අයත් වූ මේ රාජධානියය. එදා හෙළබිම නාග රාජධානි ගණනාවක්ම තිබුණි.

රජගහ නුවර (අම්පාරේ) සිට හිරිවඩුන්නට පැමිණි සංඝමිත්තා කුමරිය නාග ගෝති‍්‍රක රජුගේ අනුග‍්‍රහයද ඇතිව එදා අනුරාධපුරයට ජයසිරි මහ බෝධිය වැඩම කර වුයේ නේරංජනා නදිය දිගේය. අද හුරුළුඔය හා යාන්ඔය නමින් හඳුන්වන ගඟ එදා විශාල ගංගාවක් ලෙසින් ගලාගෙන ගිය නේරංජනා නදියයි. මේ නදිය දිගේ ජය සිරි මහා බෝ අංකුරය වඩම්මවා ගෙන ගොස් දේවානම් පියතිස්ස රජුට එය මහ කනදරාව අසල තොටුපලකදී භාර දී ඇත.

අනුරාධපුරයේදී එදා පැවැත් වූ මෙම ජයසිරි මහ බෝ අංකුර රෝපණ උත්සවයට එවකට නැගෙනහිර හා රුහුණේ රජකම් කළ හෙළ රජදරුවන්ටද ආරාධනය කළ බවත් මෙසේ ආරාධනා ලැබ එහි පැමිණි රුහුණු රජදරුවන් ආපසු යන ගමනේදී හිරිවඩුන්නේ පිහිටි ජය සිරි මහා බෝධියෙන් ලබාගත් බෝ අංකුර කිහිපයක් රුහුණට රැගෙන ගොස් එහි රෝපණය කළ බවත් මහා වංශයේම සඳහන් වෙයි. කතරගම බෝ සමිඳු මෙයින් එක බෝධියකි.

මීට ආසන්නම කාලයකදී එවකට ඉන්දියාවේ රජකම් කළ අශෝක රජතුමා වෙතද හිරිවඩුන්නේ පිහිටි ජය ශ්‍රී මහ බෝධියෙන් ලබාගත් බෝධි අංකුරයක් තෑගි කර යැවු බවත් අශෝක රජතුමා ඒ බෝ අංකුරය තමන් නිර්මාණය කළ ආකෘති බුද්ධගයාවේ රෝපණය කරගෙන වන්දනා මාන කළ බවත් ඉතිහාසයේ සඳහන් වේ. සාංචි තොරණේ දැක්වෙන්නේද අශෝක රජු මෙම බෝ අංකුරය භාර ගන්නා චිත‍්‍ර සටහනකි.

මෙම බෝ අංකුරය අශෝක රජුගේ ජීවිත කාලයේම අවසාන යුගයේදී අශෝක අධිරාජයාගේම බිසවක විසින් කටුගසා විනාශ කර දැමු බවත් ඉතිහාසයේම ලියා තබා ඇත. පසු කලෙකදී ඉන්දියාවට තවත් ජයසිරි මා බෝ අංකුරයක් වැඩමවා ගෙන යන්නට ගත් උත්සාහයද වැළකී ගිය බවත් සඳහන්ය. මෙසේ පසුව වැඩමවාගෙන යන්නට උත්සාහ ගත් මෙම බෝධීන් වහන්සේ තන්තිරිමලේ පූජාභුමියෙන් ඔබ්බට වැඩමවා ගෙන යන්නට නොහැකි වූ බවත් අදටත් ඒ බෝධි අංකුරය තන්තිරිමලේ පූජාභූමියේ බෞද්ධ ජනයාට වැඳපුදා ගන්නට සුදුසු සේ ජීවමානවම එහි වැඩ සිටින බවත් පෙන්වා දිය යුතුය.

බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටි යුගයේදීම මේ හෙළබිමේ අටමහාස්ථානයක බෝධීන් වහන්සේලා අටනමක් බෞද්ධ මහජනයාගේ වැඳපුදා ගැනීම සඳහා සුදුසු සේ රෝපණය කර ස්ථාපිත කර තිබිණි. මේ ආකාරයට ජය සිරි මහ බෝධීන් වහන්සේගේ බෝ අංකුරයන් රෝපණය කළ සියලුම ස්ථානවලත් හිරිවඩුන්නේ ජයසිරි මහ බෝධීන් වහන්සේ අසලත් එදා බුදු සිරිපතුල්ද සකස් කර ගෞතම බුදුපියාණන් වහන්සේගේම පාද ස්පර්ශය ලබාගෙන තැන්පත් කර වැඳ පුදාගන්නට එදා බෞද්ධයෝ පටන් ගත්හ. හෙළබිම දේව හෙළයේ ජන්බුද්වීපයේ පිහිට වූ බුදු සිරි පතුල් යුගල වශයෙන් සිරි පතුල් දෙකම සහිතව ස්ථාන හයක එදා තැන්පත් කර තිබුණි. ඒ හිරිවඩුන්න ජය සිරි මහ බෝධිය අසල ඉසින්බැස්සගල ඉසිපතනාරාමයේ, බඹරගල සිදුහත් උපත සිදු වු භූමියේ, කුසිනාරා නුවර බුදුගල අසල ටැම්පිටයායේ, රිටිගල ජේතවනාරාමයේ හා රජගල වේලුවනාරාම පුදබිමේ යන ස්ථානයන් හයකය. ඊට අමතරව එදා නාග රාජ්‍යයට අයත්ව තිබු මොක්කෙම (කල්පිටිය) නම් ස්ථානයේත්, සමනල කන්ද මුදුනේත් සිරිපතුල් පිහිටු විය. සමනල කන්දේ හා මොක්කෙම තනි සිරිපතුලක් බැගින් තැන්පත් කළ අතර අනෙක් ස්ථාන වල සිරිපතුල් යුගලයන් බැගින් තැන්පත් කරන්නටද විශේෂ හේතුවක් තිබෙන්නට ඇත.

එදා සංඝමිත්තා මෙහෙණිය විසින් සිරි මහ බෝ අංකුරයක් අනුරාධ පුරයට වඩම්මවාගෙන ගොස් සුළු කලකට පසුව හිරිවඩුන්න සිරි මහ බෝ සමිඳු වැඩ සිටි භූමියේම බෞද්ධයාට වන්දනාමාන කරන්නට සකස් කර ගෙන තිබූ බුදු සිරිපතුල්ද අනුරාධපුරයට වඩම්මවා ගෙන ගොස් අනුරාධපුරයේ රජ මාලිගය අසල ම අලුතින් ගොඩ නඟන ලද විහාරයක තැන්පත් කරනු ලැබිණි. අලුතින් රෝපනය කරන ලද සිරිමා බෝ අංකුරයටත්, රජ මාලිගාව අසල සිරිපතුල් තැන්පත් කර ඉදිකළ විහාරයටත්, රජ පවුලේ අයත් මහජනයාත් එදා වන්දනාමාන පැවැත්වූහ. මේ අනුව අනුරපුර රාජධානියේ මුල්ම යුගයේදී බෞද්ධයින් වන්දනාමාන කරන ලද්දේ සිරි මහබෝ සමිඳුන්ට හා බුදු සිරි පතුලටත්ය.

රුවන්වැලි මහසෑය, ථූපාරාමය ආදී මහ දාගැබ් ඉදි කළ පසුව සිරිපතුල් වන්දනාව ක‍්‍රමානුකූලව අහෝසි වී ගියේය. බුදුපිලිම වන්දනාව පටන් ගත් පසුව සමනල කන්ංදේ පිහිට වූ සිරි පතුලට පමණක් වන්දනා මාන කළත් බුදු සිරිපතුලට වන්දනා මාන කිරීම සම්පූර්ණයෙන්ම අභාවයට ගියේය. සමනල කන්ද මුදුනේ පිහිට වූ බුදු සිරිපතුලටද අද බෞද්ධ ජනයා වන්දනාමාන කරන්නේ සමන් දෙවියන්ට පුදපූජා කිරීමේ දේව භක්තියකින් මිස බුදු බැතියෙන් නම් නොවේ.

එදා හෙළ රජදරුවන් හා හෙළබිමේ බෞද්ධයින් විසින් ගෞරවයෙන් වන්දනාමාන කරන ලද මේ උතුම් පාරිභෝගික වස්තූන්ට පසු කලෙක අත් වූ ඉරණම නම් අතිශය ඛේදජනකය.

එදා හිරිවඩුන්නේ සිරි මහ බෝ සමිඳුන් අසල නාග ගෝත‍්‍රික මුචලින්ද රජු විසින් වැඳ පුදාගන්නට සකස් කර තැන්පත් කර තිබූ බුදු පා පහස ලැබූ බුදු සිරිපතුල් යුගලයද පසු කලකදී අනුරාධපුර නගරයට ගෙනැවිත් අනුරාධපුර මහමෙවුනා උයනේ රජවාසල අසලම තැනූ විහාරයක තැන්පත් කර වන්දනා මාන පවත්වන්නට විය. දේවානම්පියතිස්ස රජුගේ පටන් බොහෝ කාලයක් අනුරපුර රජකම් කළ හෙළ රජදරුවන් මෙම බුදු සිරිපතුල් වන්දනා කර ගත්තත් පසු කලෙක මහ දාගැබ් තනවා බුදුපිලිම ඉදිකර ඒවාට වන්දනාමාන කරන්නට පටන්ගත් පසුව උතුම් සිරිපතුල් වැඳීමේ බොදු සිරිත බෞද්ධ ජනයා අතරින් නැත්තටම නැතිවී ගියේය.

මීටත් වඩා ඛේදජනක සිදුවීම නම් එදා රිටිගල ජේතවනාරාමයේ බෞද්ධ රජදරුවන් හා පොදු ජනතාව විසින් වැඳ පුදාගත් බුදු සිරිපතුල් යුගලය සමග තවත් පුජනීය ස්ථානවලින් සොයාගත් සිරිපතුල් යුගලයන් කිහිපයක්ම අද වන විට රුවන්වැලි සෑයේ සලපතල මලුවේ ගල් අතරට අල්ලා බිම සවිකර එ්වා පොදු මහජනයාට පෑගෙන්නට සැලැස්වීමයි. මෙම බුදු සිරි පතුල් යුගලයක් රිටිගලින් හමු වූ කෞතුක වස්තූන් ලෙස සලකා ඒවා ආරක්‍ෂා කරන්නට රුවන්වැලි සෑ සලපතල මලුවේ බිම තැන්පත් කර තැබූ බවක් එච්. සී. පී. බෙල් මහතා තම දිනපොතේ සටහන් කර ඇති බව පරණවිතාන මහතාද සඳහන් කර ඇත.

හිරිවඩුන්නෙන් එදා රාජ ගෞරව සහිතව අනුරාධපුරයට වඩම්මවා ගෙන ආ සිරි පතුල් යුගලයන්ද අද වන විට අනුරාධපුර පුරාණ කෞතුකාගාරය ඉදිරිපිට එලිමහනේ අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් අනාරක්‍ෂිත ලෙසින් බිම දමා ඇත. අද එය කෞතුක භාණ්ඩයක් පමණක් සේ සලකති.

ඉසින්බැස්සගල පිහිට වූ සිරිපතුල්ද දැන් විශේෂයෙන් වන්දනා මාන සඳහා භාවිතා නොකරන අතර අද බුද්ධ රූපයක් තැබීමට පාදමක් ලෙසින් එය භාවිතා කරන බව පෙනේ. ඉසින් බැස්සගල සිරි මා බෝධිය අසලම ඇති බුදු පිලිමය අද තැන්පත් කර ඇත්තේ මේ සිරි පතුල් උඩය.

බුදුගල ද එදා සිරිපතුල් යුගලයක් සකස් කොට වැඳුම් පිදුම් කළ අතර අද ඒ සිරිපතුල් යුගලය යටකර සිමෙන්ති දමා සැතපෙන බුදුපිළිමයක් ඉදිකර ඇත.

මක්කම පිහිටුවා තිබු සිරිපතුල් යටකර එහි කල්පිටියේ නාවුක හමුදා කඳවුරක් ඉදිකර ඇත්තේ පෘතුගීසි පාලන කාලයේදීමය.

රජගහ නුවර වේලුවන විහාරයේ එදා තැන්පත් කර තිබූ බුදු සිරිපතුල් යුගල දෙකම මෑතකදී සොයාගෙන ඇති අතර අද ඒවා පුරාවිද්‍යා කාර්යාලය (රජගල) අසල බිමදමා මහජන ප‍්‍රදර්ශනය සඳහා තබා ඇත.

මේ ආකාරයට එදා බෞද්ධ ලෝකයා විසින්ද හෙළ රජ දරුවන් විසින් ද සද්ධාවෙන් වන්දනාමාන කරගත් බුදු පා පහස ලැබූ බුදු සිරිපතුල් පසුව කෞතුක වස්තූන් බවට පත් වී අභාවයට පත්වීම සිදුවිය. දැන් බුද්ධ ධර්මය නොදත් ආගම් අදහන හෙළදිව නාමික බෞද්ධයින්ද අද වන්දනාමාන කරන්නේ බුද්ධ පිළිමයන්ට මිස බුදු පා පහස ලද උතුම් පූජනීය වස්තුන්ට නම් නොවේ.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.