අටමස්ථාන සංකල්පය

එදා ගෞතම බුදුපියාණන් මේ හෙළබිම ජීවමානවම වැඩසිටි යුගයේදීත් අටමහ ස්ථානයක් වැඳපුදා ගැනීමේ සිරිතක් බෞද්ධ ලෝකයා අතරේ පැවතිණි. බුද්ධ ධර්මයේ එන අට්ඨාංගික මාර්ගයන් සිහිපත් කරමින් අටමස්ථානයන් වැඳපුදා ගැනීමේ සිරිත එදා පටන්ම හෙළබිම පැවති බවට ලංකාවේ ලියූ හත්‍ථසාලීනි නම් අති පැරණි ග‍්‍රන්ථයේද සඳහන් වේ. වලගම්බා, භාතිය, දුටුගැමුණු, විජයබා, මහා පරාක‍්‍රමබාහු මෙන්ම නිස්සංකමල්ල යන රජදරුවන්ද මෙම හෙළබිමේ පිහිටි අටමහ ස්ථාන වලින් කිහිපයක් හෝ වැඳ පුදා ගන්නට එ්වා කරා රජ පෙරහරෙන් ගිය බව ඉතිහාස පොත්වල සඳහන් වේ. මේ කිසිම හෙළ රජදරුවෙකු අටමස්ථාන වන්දනාව සඳහා ඉන්දියාවට හෝ භාරත දේශයට හෝ ගිය බවක් ඉතිහාසයේ නම් සඳහන්ව නැත. මහා පරිනිබ්බාන සුත‍්‍රයේ ගෞතම බුදුපියානන්ම අනුදැන වදාල පරිදි වැඳපුදා දැකබලාගත යුතු ස්ථාන හතරමත් මේ බෞද්ධ අටමස්ථාන සංකල්පයටද පාදක වන්නට ඇත. මේ අනුව සිරිපතුල් අටකුත්, බෝ අංකුර අටකුත් වැඳීම බෞද්ධ අටමස්ථාන සංකල්පයට හා අෂ්ටපල බෝධි සංකල්පයටද මුල් වුවාට සැකයක් නැත.

අද වන විටත් බෞද්ධ ලෝකයා අනුගමනය කරණ අනුරාධපුරයේදී අටමස්ථානයන් වන්දනා කරගැනීමේ සිරිතටද මුල් වූයේ මේ මුල්ම අටමස්ථාන වන්දනාවයි. එදා ඉන්දියාවට බුද්ධාගම හඳුන්වා දුන් අශෝක මහරජතුමාත් ඉන්දියාව තුළද මේ අටමස්ථාන වන්දනාව ආරම්භ කිරීමට ආකෘති වශයෙන් ස්ථාන අටක්ම ගොඩනංවා එ්වාට වන්දනා මාන කිරීමට ඉන්දීය ජනතාවටත් පුරුදු කළේය.

අටමස්ථාන වන්දනා සංකල්පය පසුව හිංදු හා වේද ආගම් වලටද ඇතුළත් වූ බව ඉන්දියාවේදී ලියූ ලලිත විස්තරය නමැති පොතේ සඳහන් වේ. ඉන්දියාවේදී හින්දුන් හා බමුණන් පව් සෝදා හරින තොටුපල අටක් ලෙසින් තීර්ථ ස්ථානයන් අටක් නම් කර එම ස්ථානයන් වැඳපුදා ගත් බවත්, ශිලාදිත්‍ය නම් ඉන්දියාවේ රජකම් කළ රජු පවා මෙම තීර්ථ ස්ථානයන් වැඳ පුදා ගන්නට ගිය බවත් ”දිව්‍යාවදානය” නම් සංස්කෘත පොතේ සඳහන් වෙයි. බෂාම්තුමා ලියු ඉන්දියා ඉතිහාසය පොතේද මෙම අටමස්ථාන වන්දනාව පිළිබඳව පැහැදිලිවම සටහන් කර තබා ඇත. ඉතා ඈත අතීතයේ පටන්ම මේ හෙළබිමේ ජන්බුද්වීපයේ – අනුරාධපුර යුගයටත් පෙර යුගවලදී පවා හෙළබිම බෞද්ධයාට වැඳපුදා ගන්නට – අටමස්ථානයන්ම ඉදිකර, නම් කර, පැවති බව පැහැදිලිය. මේ අටමහ ස්ථානයන් කලින් කලට වෙනස් විය. මෙසේ වෙනස් වූ බවට පැහැදිලිවම සාධක ඇත්තේ අප අද භාවිතා කරන සිංහල පිරිත් පොතේය. මේ පිරිත් පොතේ ”විහාර අස්න” යන නමින් ඒ ඒ යුගවල, ඒ ඒ ප‍්‍රදේශවල පිහිටුවා තිබූ අටමස්ථානයන් වෙන් වෙන්ව සඳහන් කර වෙන්ව පේළියට ලියා තබා ඇත. මේ ලෙසින් අටමස්ථානයන් ලියා තැබීම කවදා ආරම්භ වී දැයි තිරණය කරන්නට අපහසු නමුත් ඒ ඒ යුගයන්හීදී වැඳපුදාගත් ස්ථානයන්ගේ නම් වෙන් වෙන්වම එකම ඡේදයකට සඳහන් කර ලියා තබා ඇත.

විහාර අස්නෙහි එන අතීතයේදී වැඳපුදා ගත් විහාරයන් දක්වන නම්වල එක් පෙළකට ගොනුකර ලියා ඇති මෙම පූජනීය ස්ථානයන්ගේ නම් දෙස විමසිල්ලෙන් බලන්න. ”ජේතවන විහාරය, කපිල විහාරය, ඉසිපතනාරාමය, කුසිනාරාමය, පුර්වාරාමය, දක්‍ෂිණාරාමය හා උත්තරාරාමය, සිළුමිණි සෑය යන අටමස්ථානයන් අනුරපුර යුගයට පෙර එක්තරා වකවානුවක (බුද්ධ යුගයේදී) වැඳපුදාගත් විහාර ලේඛනයට ඇතුළත් කර ලියා තබා ඇත. මෙහි එන කපිල විහාරය යනු රජගල පිහිටි වේලුවනාරාමය අසල පිහිටි පැරණි බෞද්ධ මුලස්ථානයයි.

මෙයින් පැහැදිලි වන පරම සත්‍යය නම් මේ හෙළ බිමේ යම් අතීත යුගයක මේ නම්වලින් සඳහන් වූ බුදු පා පහස ලැබූ මෙම උතුම් ස්ථානයන් පිහිටුවා තිබුණු බවයි. අද මේවා ඉන්දියාවේ හෝ මහා භාරතයේ හෝ විහාරස්ථානයන් යැයි නම් කර අපේ හෙළ ඉතිහාසය යටපත් කරන්නට දරන අසාර්ථක උත්සාහයන් ගැනද හෙළබිමේ ජීවත්වන අවංක බෞද්ධයින් හැටියට අප කල්පනා කළ යුතුය. මේවා අපේ පිරිත් පොතේ ලියා තබා ඇත්තේ ඇයි?

කාලයාගේ ඇවෑමෙන් ඉසිපතනාරාමය ඉසින්බැස්සගල යන නමින්ද, – රජගහ නුවර – රජගල නමින්ද, ජේතවනාරාමය – රිටිගල නමින්ද, කුසිනාරාමය – බුදුගල යන නමින්ද කටට පහසු ලෙසින් නම් සකස් වී භාවිතයට ගෙන ඇත. මේ සියලුම ස්ථානයන් අද වන විට සොයා දැන බෞද්ධ ලෝකයාට සද්ධා සිතින් වැඳපුදා ගෙන බුද්ධ ශක්තියට අනුගතවන්නට අවශ්‍ය පරිදි ස්ථාන (ඨාන) වශයෙන්ම හඳුන්වා දීම මේ පොත් ලියා එලිදැක්වීමේ එකම පරමාර්ථයයි.

එදා ගෞතම බුදුපියාණන් වහන්සේ මේ හෙළබිමේ ජන්බුද්වීපයේ වැඩසිටි යුගයේදීම වැඳපුදා ගන්නට අනුදැන වදාළ අනුරාධපුර රාජධානිය දියුණු වන්නටත් පෙර වසර 600 ක් පමණම දීර්ඝ කාලයක් පුරාමත් රටේ පාලකයින්, රජදරුවන් හා මහජනයාද වැඳපුදා ගත් අතීත අටමහ ස්ථානයන් වෙන් කොට හඳුනා දැක බලා ගැනීමේ පහසුව සඳහා මෙහි සටහන් කර තබමි.

I. ගෞතම බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ ජයසිරි මහ බෝ සමිඳු පිහිටි ස්ථානය

අද වන විට හිරිවඩුන්න සිරිමහ බෝධීන් වහන්සේ ලෙසින් පොදුවේ කවුරුත් හඳුන්වන මෙම ජයසිරි මහ බෝ සමිඳු පිහිටා ඇත්තේ මෙම හෙළබිම ලංකාද්වීපයේ හරි මැදය. එනම් මධ්‍ය මණ්ඩලයේය. ලංකාව පිහිටි දේශාංශක හා අක්‍ෂාංශක ගැන බලා එ් අනුව හතරැුස් කොටුවක් ලෙසින් සකස් කර ගෙන එහි මුළු හතර යා කර කතිරයක් ගසා බලා ලංකාවේ හරිමැද ලක්‍ෂය ලබාගන්න. මෙම ලක්‍ෂය හරියටම හිරිවඩුන්න බෝ සමිඳු දැනටත් වැඩවාසය කරන ස්ථානයයි. දඹුල්ල හබරණ මාර්ගයේ 110 කී. මීටර් කණුව අසලින් වමට හැරී කී. මීටර් එකක් පමණ ගුරුපාර දිගේ ගමන් කරන විට මෙම රමණිය ස්ථානයට ළඟා විය හැකිය. එදා පටන්ම මේ බෝධීන් වහන්සේට සුදු බෝධිය යන නම ව්‍යවහාර කර තිබූ බවද පෙන්වා දිය යුතුය.

“ජයෝ මුනින්දස්ස – සුබෝධි මුලේ
අහෝසි මාරස්ස – පරාජයෝහී”

යන බෝධි වන්දනා ගාථාවෙහි ”සුබෝධි” යනු මේ සුදු බෝධියට එදා භාවිතා කළ විශේෂ නාමයයි. ලංකාවේ හෝ ලෝකයේ හෝ වෙනත් කිසිදු බෝධීන් වහන්සේ නමකට සුදු බෝධිය යැයි නම් කර නැත. අදත් වසරකට වරක් ජයසිරි මහ බෝ සමිඳුන්ගේ බෝධි මූලයෙන් වෙසක් පොහොයට ආසන්න දිනයක සුදු බෝ අංකුරයක් මතුවීම මගින් මේ සුදු බෝධිය ලෝකයාට ප‍්‍රදර්ශනය කරනු ලැබේ.

මෙම ජයසිරි මහ බෝධි මුලයේ ගෞතම බුදුපියානන්ට බුද්ධත්වයට පත්වීම සඳහා වැඩ හිඳින්නට මුචලින්ද නම් නාග ගෝත‍්‍රික රජතුමා විසින් කරවා දුන් වජ්රාසනයද අදටත් ඒ බෝධි මූලයේම නොසෙල් වී තැන්පත් වී පවතී. මේ වජ්රාසනය කිසිවෙකුටත් සොලවන්නට, වෙනස් කරන්නට හෝ විනාශ කරන්නට බැරි ආකාරයටම ස්ථාවරවම තැන්පත් වී ඇති ආකාරය එය දැක බලාගෙනම ඔබටද සහතික කර ගත හැකිය.

පුරාවිදා රක්‍ෂිතයක් ලෙසින්ද වනවාසී නිකායට අයත් ආරඤ්ඤ සේනාසනයක් ලෙසින්ද අදටත් ආරක්‍ෂා වී පවතින මේ උතුම් පුන්‍යභූමිය එදා හෙළ රජදරුවන් විසින් වැඳපුදා ගත්, විහාර අස්නේද නම සඳහන් වන, උත්තරාරාමය ලෙසින් එදා හැඳින්වූ ජටිල කාශ්‍යප ඇතුළු භික්ෂුන් වහන්සේ දහසක් දෙනාද එකල වැඩ සිටි ස්ථානයයි.

අටමස්ථානයන්ට අයිති පළමුවන ස්ථානය වන මේ ස්ථානය පිළිබඳව වැඩි දුරටත් තොරතුරු දැන ගන්නට මුලින් ලියූ පළමුවන පොතද කියවා බලන්න.

II. සිදුහත් බෝසත් කුමරා උත්පත්තිය ලැබූ ලුම්බිණිය

එදා හෙළ රජදරුවන් විසින් ගල් කටාරම් කොටා ගෞතම බුදුරජාණන් වහන්සේටම පූජා කරන ලද මෙය උතුම් පූජනීය ස්ථානයකි. අටමස්ථාන අතරින් වැදගත්ම තැනක් ගත් මේ පූජනීය ස්ථානය පිහිටා ඇත්තේ මහනුවර දිස්ති‍්‍රක්කයේ තෙල්දෙණිය ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බඹරගල රජමහා විහාරය, වැවගම රජමහ විහාරය යන නම් වලින් අද හඳුන්වන ස්ථානයේය.

ඉන්ද්‍රසාල ගුහාව ඇතුළු කටාරම් කෙටු ගල්ගුහා 50 කට අධික සංඛ්‍යාවක් මේ රජමහ විහාර භූමියේ අදටත් දකින්නට ඇති අතර මෙයින් ගල්ලෙන් 14කම මුල්ම යුගයේ හෙළ බසින් ලියූ අකුරු සහිත සෙල්ලිපි 14 ක්ද ඇත. ගෞතම බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු 16 වැනි වසර ගත කළේ බඹරගල රජමහ විහාර භූමියේ පිහිටි ඉන්දසාල ගුහාවේදීය. මෙම ගල්ගුහාවේ කොටා ඇති සෙල්ලිපියකින් එය ඉන්දසාල ගුහාව බවට අද හඳුනාගෙන ඇත. එදා මේ ගුහාව ගෞතම බුදුපියාණන්ට වස් වසන්නට සුදුසු පරිදි අලංකාර ලෙසින් සකස් කර පිළියෙල කර දුන් බවට අදත් එහි දකින්නට ඇති චිත‍්‍ර වල නෂ්ටාවශේෂ වලින්ද පැහැදිලි වෙයි.

ති‍්‍රපිටකයේ දීඝ නිකායේ සඳහන් සක්ක පඤ්ඤහ සූත‍්‍රය ගෞතම බුදුපියාණන් එදා දේශනා කළේ මෙම ඉන්දසාල ගුහාවේ වැඩවාසය කරන අවස්ථාවේදීය. ඒ බව ති‍්‍රපිටකයේම පැහැදිලිවම සඳහන් කර ඇත. මහාචාර්ය පරණවිතාන මහතාද මෙම ස්ථානය ඉන්දසාල ගුහාව ලෙසින් හඳුනාගෙන ඒ බව ප‍්‍රකාශ කර ඇත. සක්කස්ස දේවානමින්ද නම් වූ චක‍්‍රවර්ති රජ පරපුරෙන් පැවත ආ වේදේහ නුවර විසු රජ කෙනෙකුට, එනම් ”දේවයන් වහන්සේ” යැයි මහජනයා එදා ආමන්ත‍්‍රණය කළ හෙළදිව පැරණි චක‍්‍රවර්ති රජ පරපුරෙන් පැවත ආ රජෙකුට, මේ සක්ක පඤ්ඤහ සුත‍්‍රය ගෞතම බුදු පියාණන් වහන්සේ මෙම ඉන්දසාල ගුහාවේදී දේශනා කර වදාළ සේක. පනිත නමින් වූ චක‍්‍රවර්ති රජ පරපුරටම අයත් රජ කෙනෙකුටත් මෙම ඉන්දසාල ගුහාවේදීම පනිත සුත‍්‍රය දේශනා කළ නමුත් එය අද ති‍්‍රපිටකයේ දක්නට නැත. සක්කස්ස දේවා නමින්ද සක්දෙවියන් ලෙසින් පසුව හැඳින්විය.

මෙම රජමහ විහාර භූමිය තුළ අදටත් සල්ගස් දැකගන්නට ඇති අතර වසර 3000 කටත් වඩා පැරණි විශේෂිත සල්ගසක් එහි අදටත් දක්නට ඇත. මේ සල්ගස මුලදී ගෞතම සිද්ධාර්ථ කුමාරයාගේ උපත සිදු විය. එදා ඒ ප‍්‍රදේශයේ රජකම් කළ සක්කස්ස රජ පරපුරේ රජදරුවන් සිදුහත් උපත සිහිපත් කරන්නට විශේෂ විහාරයක් කරවා ඊට වැඳුම් පිදුම් කළ බවද ඉතාම පැහැදිලිව දකින්නට ඇත. ගෞතම බුදුපියාණන් වහන්සේගේම බුදු පා පහස ලැබු බුදු සිරිපතුලක්ද මෙම විහාර භූමියේම විහාරයක තැන්පත් කර එදා රජ දරුවන් හා මහජනතාව වැඳුම් පිදුම් කරගත් බව දක්වන චිත‍්‍ර සටහනක් අදටත් මෙම බඹරගල රජ මහා විහාරයේම ඇති පැරණි පොතක දක්නට ඇත.

මහනුවර රාජධානි කාලය තෙක්ම මේ විහාරය අටමස්ථාන අතරින් එකක් ලෙසින් හෙළදිව වැසියන් වැදපුදාගත් බවත් පෙන්වා දිය යුතු කරුණකි. එදා පිරිත් පොතේ සඳහන් අටමස්ථානයන් අතරින් සිළුමිණි සෑය යනුවෙන් සඳහන් කළ ස්ථානය මෙයයි. මෙහි අතීතයේ මෙවැනි සෑයක් තිබී පසුකලෙක විනාශ වී ගිය බවද පෙනෙන්නට ඇත.

මේ ස්ථානයට යන මාර්ගය හා ඒ පිළිබඳව වැඩි මනත් තොරතුරු පළමුවන පොතේද විස්තර වශයෙන් සටහන් කර ඇති නිසා එයද කියවා බලන්න.

III. පළමු ධර්ම දේශනාව පැවැත් වූ ඉසිපතනේ මිගදාය

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මැදවච්චියට ආසන්නව පිහිටා ඇති ඉසින් බැස්සගල රජමහා විහාරය නමින් අද ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ එදා දම්සක් පැවතුම් සුත‍්‍රය දේශනා කළ උතුම් පුදබිමයි. ගෞතම බුදුපියාණන්ගේ ජීවමාන කාලයේම මෙම ස්ථානය ඉසිපතනාරාමය ලෙසින් හෙළබිම බෞද්ධයින් අතරේ ප‍්‍රසිද්ධ විය. අටමස්ථාන අතරින් මේ ස්ථානයද වසර අට සියයක් පමණ දීර්ඝ කාලයක් තුළම අතීත බෞද්ධ රජදරුවන්ගේ හා මහජනතාවගේ ගෞරවයට හා වන්දනාමාන වලට යොදාගන්නා ලදී.

මෙම ගල්තලාව එතරම් උස නැතත් ලක්ෂ ගණනකට එකවර රැස් විය හැකි ස්ථානයකි. පස්වග මහණුන් එදා භාවනානුයෝගීව වැඩසිටියේ මෙම ගල් පර්වතයේම නැගෙනහිර බෑවුමේ පිහිටා ඇති අරහත් ගුහාව නමින් අදටත් හඳුන්වන ස්වාභාවිකව පිහිටා ඇති ගල් ගුහාවේය. කවදාවත්ම ජලය නොසිඳෙන ලිඳක්ද එහි පිහිටා ඇත. අරහත් ගුහාවට නැගෙනහිර දෙසින් මහා අරුම පුදුම නුග යායක් වැනි විශාල ප‍්‍රදේශයක පැතිරුණු නුග ගසකි. නුග ගසට ඔබ්බෙන් අක්කර 100ක පමණ ප‍්‍රදේශයක් පුරා පැතිරුණු මුව වනයකි. මේ මුව වනයට අදත් මුවන් මොනරුන් ආදී සතුන් පැමිණෙනු දැක ගත හැකිවෙයි. මෙය ස්වාභාවික දසුනකි.

එදා ගෞතම බුදුපියාණන් පළමුවන ධර්ම දේශනාව පැවැත් වූ මේ ප‍්‍රදේශයේ පාලකයාව සිටියේ සාතාගිර නම් යක්ෂ ගෝති‍්‍රක රජුයි. හේමවත යනු සාතාගිර රජුගේ මිත‍්‍ර රජෙකි. මේ ප‍්‍රදේශය එදා කසී රටට අයත්ව තිබු බවද පෙන්වා දිය යුතුයි.

සාතාගිර ප‍්‍රාදේශීය රජු විසින් මෙහි විශාල ගල් තලාව මැද එනම් එදා ගෞතම බුදුපියාණන් පළමුවන ධර්ම දේශනාව පැවැත්වු ස්ථානයේම කුඩා දාගැබක් තනවා තමන්ගේ වැඳුම් පිදුම් සඳහා යොදා ගන්නා ලදී. පසු කලකදී හිරිවඩුන්න ජය සිරි මහ බෝ සමිඳුන් ගෙන් බෝ අංකුරයක් ගෙන්වා ගෙන එහි රෝපණය කළ අතර අදටත් ඒ අති පැරණි බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නට හැකි අයුරින්ම එහි රැකී ආරක්ෂා වී පවතී. මේ ආසන්න කාලයකදීම ගෞතම බුදු පියාණන්ගේ බුදු පා පහස ලැබූ බුදු සිරි පතුල් යුගලයක්ද මෙම ස්ථානයෙහි තැන්පත් කර විහාරයක් කරවා වන්දනා මාන කිරීම සඳහා යොදාගත් අතර මෙම ස්ථානයද අටමස්ථාන වලින් එකක් බවට එදා ප‍්‍රසිද්ධ විය. ඉසිපතනාරාමය ලෙසින් පිරිත් පොතේ විහාර අස්නෙහි මෙය නම් කර ඇත.

නයිපෙන සහිත නාගරූප කෙටු ගල් පුවරුවක්ද මේ ස්ථානයේම තැන්පත් කර ඇත්තේ නාග ගෝත‍්‍රයේ රජ වරුන්ද මෙම ස්ථානය වැඳපුදා ගත් බවට සාක්ෂියක් වශයෙනි.

බුද්ධත්වයට පත් වු ගෞතමයන් වහන්සේගේ පළමුවන ධර්ම දේශනාව අසා මේ බුද්ධ සාසනයේ බිහි වු පළමුවන සංඝයා වහන්සේත්, පළමු ශ‍්‍රාවකයින් වහන්සේලා හැට නමකුත් බිහිවුයේද මෙම උතුම් ස්ථානයේදීය. මේ නිසා මේ බුද්ධ සාසනයේ ආරම්භය සිදු වුයේ මේ පුන්‍ය භූමියේදීය. පසුකලක හෙළබිම රජ සිටුවරු හා මහජනයා මේ උතුම් ස්ථානයද අටමස්ථාන වලින් එකක් සේ දීර්ඝ කාලයක් තුළ වැඳුම් පිදුම් කරගත්හ.

IV. ගෞතම බුදුපියාණන්ගේ පිරිනිවීම සිදු වු කුසිනාරාමය

රත්නපුර දිස්ති‍්‍රක්කයේ බලන්ගොඩට නුදුරු කල්තොට ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයට අයත් වලවේ ගංගාධාරයේ උඩ කොටසේ පිහිටි ඉතාම රමධෑය භූමි භාගයකි (බුදුගල). කුසිනාරාමය, එදා මල්ලව රජදරුවන් මේ ප‍්‍රදේශයේ රජකම් කරන යුගයේදී ගෞතම බුදු පියාණන් වහන්සේ පිරිනිවී වදාළේ අද බුදුගල නමිනුත්, එදා කුසිනාරා නුවර නමිනුත්, ප‍්‍රසිද්ධ වූ මෙම කුඩා නගරයේදීය.

බුදුගලට නුදුරෙන් පිහිටි අද රජවක නමින් හඳුන්වන ප‍්‍රදේශයේ එදා මල්ලව රජදරුවන්ගේ රාජධානියේ අගනුවර පිහිටියේය. ඇඹිලිපිටියේ සිට වලව ගංතීරයේ උඩහට පිහිටි සරු සාරවත් ප‍්‍රදේශයක් එදා මල්ලව රටට අයත් ප‍්‍රදේශ ලෙසින් සැලකිණි.

මහා පරිනිබ්බාන සුත‍්‍රයේ සඳහන් වන පාඨයන් සිහිපත් කරවන පරිසරයක් බුදුගල කුසිනාරා නුවරදී අදටත් එහි ගිය කෙනෙකුට දැකගත හැකිය. මේ කුසිනාරාව දුර්ගයන්ද සහිත කුඩා නුවරකි. මේ නුවර පිරිනිවන් පාන්නේ නැතිව රජගහනුවර, චම්පා නුවර, ශ‍්‍රාවස්ති නුවර හෝ වෙනත් ප‍්‍රධාන නගරයක පිරිනිවන් පාන්නට ආනන්ද හිමියන් ගෞතම බුදු පියාණන්ට ආරාධනා කළත් එය නොපිළිගෙන ගෞතමයන් වහන්සේ එහිදීම පිරිනිවන් පා වදාළ සේක.

මේ ආකාරයෙන් මල්ල රජුගේ උපවර්තන නම් සල් උයනේදී පිරිනිවන් පා වදාළ බුදු පියාණන් වහන්සේගේ දේහය ආදාහනය කිරීමට සකස් කරන ලද ආදාහනාගාරය අදටත් එහිදී දැකගත හැකිය.

බුදුගල විහාරස්ථානයට ආසන්නවම පිහිටි ඉඩමේ එනම් පුරාවිද්‍යා ආරක්ෂිත බිමේදී අද මෙය දැකගත හැකිය. මල්ලව රජුන්ට ලැබුණු දන්ත ධාතූන් වහන්සේ ඇතුළු අනිකුත් ධාතුන් වහන්සේලා තැන්පත් කර වැඳපුදා ගන්නට දන්ත ධාතු මන්දිරයක් මුලින්ම හෙළබිම ඉදිකළේද මෙම මල්ලරට කුසිනාරා නුවරය. අදටත් මෙම දළදා මාලිගාවේ නටඹුන්ද එහිදී දැකගන්නට ඇත. හිරිවඩුන්න සිරිමහ බෝ සමිඳුන් ගෙන් ලබාගත් බෝධි අංකුරයක් ද මේ අසලම ස්ථානයක එදා රෝපනය කරවා පංචවාස නමින් ස්ථූප පහක් ද එහි ඉදිකරවා වැඳුම් පිදුම් කරන්නට පටන් ගන්නා ලදී. ඒ අනුව මෙයද අටමස්ථාන වලින් එකක් බවට පත්විය.

ගෞතම බුදුපියාණන් පිරිනිවන් පා වදාළ කටාරම් කෙටු එම ගල් ලෙනෙහි ගෞතම බුදුපියාණන් ගේ පාද ස්පර්ශය ලැබු බුදු සිරිපතුලක්ද තැන්පත් කර එයට වන්දනා මාන කිරීමක්ද ඒ යුගයේදීම ආරම්භ විය. මේ අනුව මේ හෙළබිමේ අටමස්ථානයන් අතරට කුසිනාරානුවරද ඇතුළත් විය. මල්ල රජ පරපුරේ අන්තිම සමාජිකයින් වු දන්ත කුමරු හා හේමමාලා කුමරිය දළදා වහන්සේ ආරක්ෂා කරගෙන පුද පූජා පවත්වන්නට තරම් තමන්ට හැකියාවක් හෝ ශක්තියක් නොවු නිසාත්, මේ වන විට අනුරපුර රාජධානිය දියුණු වී බලවත් රජවරුන් යටතේ පාලනය වූ නිසාත් දන්තධාතුන් වහන්සේ හොර රහසේම කුසිනාරා නුවර සිට අනුරාධපුරයට වඩම්මවාගෙන විත් එවකට අනුරපුර රජකළ කිත්සිරි මෙවන් රජුට භාර දුන්හ. අනුරපුර රාජධානියේ එතෙක් කාලයක් තුළ දන්ත ධාතුන් වහන්සේලා වැඳ පුදාගත් බවක් ඉතිහාසයේ ලියැවී නැත.

මේ අනුව කිත්සිරි මෙවන් රජු දවස වන විට අනුරාධපුරය අංග සම්පූර්ණ බෞද්ධ අගනගරය බවට පත්විය. ජය ශ්‍රී මහ බෝධි අංකුරය, බුදු සිරිපතුළ, සිරි දළදා වහන්සේ හා සියලු හෙළ අටුවා පොත් ද මේ වන විට රුහුණේ සිට අනුරාධපුරයට රැුගෙන විත් අනුරාධපුර නගරයේ තැන්පත් කර තිබුණි. ඒ කි‍්‍ර.ව. 303 පමණ වන විටදීය.

V. සැවැත්නුවර ජේතවනාරාමය

අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ රිටිගල නමින් අද හඳුන්වන කඳු වලින් වට වූ ප‍්‍රදේශය පුරා පැතිරුණු ඓතිහාසික පුරාවස්තූන් හමු වූ ප‍්‍රදේශය එදා සැවැත් නුවර ජේතවනාරාමය යනුවෙන් හැඳින්වු අටමස්ථානයන්ගෙන් එකකි.

බුද්ධත්වයට පත් වූ ගෞතම බුදුපියාණන් වහන්සේ තම මුල් කාලය ගත කළේ රජගහ නුවර වේලුවනාරාමය ආශ‍්‍රය කරගෙනය. අනේපිඬු සිටුතුමා විසින් අලංකාර ලෙසත්, මහා ධනයක් වැය කරමින් රිටිගල කන්දේ නා වනය තුළ ජේතවනාරාමය ඉදිකර දුන් පසුව අවසාන වසර 20 ක් පමණම ගෞතම බුදුපියාණන් ජීවත් වුයේත්, ධර්මය දේශනා කළේත් මෙම රිටිගල ජේතවනාරාමය මුලස්ථානය කර ගනිමින්ය.

කොසොල් රාජ්‍යය නමින් එදා හෙළබිම දේවහෙළයට අයත් වූ ප‍්‍රධානතම රාජ්‍යයේ අගනුවර වුයේද සැවැත් නුවරයි. රිටිගලට නැගෙනහිරින් වූ අද මහවනයක් සහිත වූ ප‍්‍රදේශයේ එදා කොසොල් රටේ අගනුවර වන සැවැත් නුවර පිහිටියේය. මේ ප‍්‍රදේශය පසුගිය වසර 1000 කටත් වැඩි කාලයක්ම මහ වනයෙන් වැසී වනගතව පවතින නිසා සැවත් නුවර ද ඉතිහාසයෙන්ම මැකී යන්නට ඇත.

ගෞතම බුදු පියාණන් වහන්සේ ජීවමානවම වැඩසිටි යුගයේදීම. සැවැත්නුවර ජේතවනාරාම භූමියේ මඟඵල ලාභී භික්ෂුන් වහන්සේලා දහස් ගණනක් වාසය කළ බව අදටත් එහි දකින්නට ඇති නටඹුන් වලින් මනා සේ පැහැදිලි වෙයි. සුදත්ත සිටුතුමා විසින් කරවන ලද මෙම සුවිශේෂි පූජාභූමියේ විශේෂත්වය වන්නේ එහි සියලු ඉදිකළ විහාර ආරාම තනි කලුගල් වලින් නිම කිරීමයි.

මේ යුගයට අයත් වන ගොඩනැගිලි ලංකාවේ හෙළබිම සෑම ප‍්‍රදේශයකින්ම දැනට සොයාගෙන ඇති අතර මේ සියලුම තැන්වලදී දකින්නට ඇත්තේ එකම තාක්ෂණයක් උපයෝගී කොට ගෙන කලු ගලෙන්ම නිම වූ අතිවිශිෂ්ඨ නිර්මාණයන් එදා මේ හෙළබිම පුරා විසිරී තිබුණු ආකාරයයි. රිටිගල ජයසේන යනුවෙන් අතීතයේ විසු කෙනෙකු පිළිබඳව රිටිගල ඉතිහාස කථාවේ කවුරුත් සඳහන් කරති. මේ රිටිගල ජයසේන යනු එදා සුදත්ත සිටුතුමාට ජේතවනාරාමය නිර්මාණය කරන්නට අතහිත දුන් ප‍්‍රධාන තාක්ෂණ ශිල්පියාය. අදටත් රිටිගල පැරැුන්නෝ ජයසේන යන නම සිහිපත් කරන්නේ ගෞරවයෙනි.

ගෞතම බුදුපියාණන්ට සුදත්ත සිටුතුමා ජේතවනාරාමය සාදවා පූජා කළ ආකාරයටම එවකට සැවැත් නුවර විසු තවත් මහධන සිටුවරයෙක් යශෝධරා අරහත් තෙරණියටද එවන්ම වූ විශ්මිත ආරාමයක් සාදවා පූජා කෙළේය. ඒ රිටිගල කන්දට බටහිරින් පිහිටි ”මානෑව කන්ද” නමින් අද හඳුන්වන ස්ථානයේය. මෙම කන්ද එදා ”මෙහෙණි ආරාම කන්ද” යන නමින් ප‍්‍රසිද්ධ වී තිබුණි. රිටිගලට ආසන්නයේම පිහිටි මරදන්කඩවල නගරයට කි.මීටර් 1 ක් පමණ දුරින් පිහිටා ඇති මානෑව කන්දේ ද රිටිගල ඉදිකළ විහාර ආරාම අංගයන් හැකිතාක් දුරට ඒ ආකාරයෙන්ම තනවා සකස් කර පූජා කරන්නට උත්සාහ ගෙන ඇති බවද පෙනෙන්නට ඇත. ජලය රැස් කළ විශාල පොකුණු, ගල්ලෙන්, විහාර ආරාම හා ඊට අදාළ වෙනත් පහසුකම් මෙන්ම මෙහෙණින් වහන්සේලා 500 කට පමණ ලැගුම් ගන්නට අවශ්‍ය කුටිද මෙහි අදටත් දකින්නට ඇත. මේ සියල්ලම රිටිගල මෙන්ම තනි කලුගලින්ම නිමවා තිබීම විශේෂ වූ ලක්ෂණයකි. මේ ස්ථාන දෙකම එකම යුගයක එකම තාක්ෂණයෙන් නිම කළ බවත් පැහැදිලිය.

රිටිගල නමින් අද ප‍්‍රසිද්ධව ඇති ජේතවනාරාමය යනුවෙන් ති‍්‍රපිටකයේ, පිරිත් පොතේ හා මහාවංශයේද නම් කර ඇති මෙම ඓතිහාසික පූජා භූමිය එදා අනුරාධපුර යුගයට පෙර යුගයේදී බෞද්ධයින් වන්දනා මාන කරගත් අටමස්ථානවලින්ද එකක් විය. ගෞතම බුදුන්ගේම අනුදැනුම මත හිරිවඩුන්න ජය සිරි මහ බෝ සමිඳුන්ගෙන් ලබාගත් බෝධි අංකුරයක් මෙහි රෝපණය කර එයට ආනන්ද බෝධිය යනුවෙන් නම් කර ඒ අසළම බුදු සිරි පතුල් යුගලයක්ද පිහිටුවා එදා වැඳුම් පිදුම් කරගත් බව ඉතිහාසයෙන් පැහැදිලි වෙයි. ආනන්ද බෝධිය රෝපණය කර තිබුණේ දැනට රිටිගල පුරාවිද්‍යා වැඩබිම ලෙසින් හඳුනාගෙන ඇති ගෞතම බුදුපියාණන් උදෙසා පිළියෙළ කර දුන් ගඳකිළියට උතුරු දෙසින් වු නා වනයේය. අද මේ බෝධීන් වහන්සේ පෙනෙන්නට නැත්තේ එය මහ වනයට යට වී අභාවයට ගිය නිසාය. රිටිගල කන්ද වටාම පිහිටි කඳුවැටි ආශි‍්‍රතව තවත් පූජා භූමි 8ක්ද එදා මෙහි පැවති බව ඉතිහාසයේ සඳහන්ය.

VI. රජගහනුවර – වේලුවනාරාමය

රජගහනුවර වේලුවනාරාමය එදා පිහිටා තිබුණේ අද අම්පාර දිස්ති‍්‍රක්කයට අයත්, අම්පාර මහඔය පාරේ රජගල පුරා විද්‍යා නටඹුන් නමින් අද සඳහන් කරන විශාල බිම් ප‍්‍රදේශයකය. මේ මිහිතලය මත මේ බුද්ධ කල්පයට අයත් වූ විශාලතම බෞද්ධ උරුමය පිහිටා තිබුණේ මෙතැනය. ඒ අම්පාරේ රජගලය. අක්කර 1600 කටත් වැඩි භූමි ප‍්‍රදේශයක් පුරා පැතිරි පැවති විහාර, ආරාම, දාගැබ්, වැව්, වන උයන්, පිරිවෙන්, විද්‍යායතන, බෙහෙත් ශාලා, දාන ශාලා ඇතුළු සියලු අංගයන්ගෙන් සමන්විත වූ රජගහනුවර වේලුවනාරාමය එදා බෞද්ධ ලෝකයාගේ පළමුවැනි පූජනීය ස්ථානය බවටද පත්වී තිබිණි. අසුමහ ශ‍්‍රාවකයින් වහන්සේලාගෙන් වැඩි දෙනෙකුම පැවිදි වී තම ඉතිරි ජීවිත කාලය ගෙවුයේ මෙම රජගල වන උයන මුලස්ථානය කරගෙනය. අගසවු සැරියුත්, මුගලන් යන අරහතුන් වහන්සේලා දෙනමත් මහ ප‍්‍රාඥයන් වහන්සේ කෙනෙකු වූ මහා කච්චායන අරහතුන් වහන්සේත් තම ජීවිතයේ වැඩිම කාලයක් ගත කර පිරිනිවන් පා වදාළේ රජගල පිහිටි මෙම ස්ථානයේදීය.

ගෞතම බුදුපියාණන් බුද්ධත්වයට පත් වී පළමු වන වස ඉසිපතනාරාමයේ (මැදවච්චිය අසල) වැඩ වාසය කළ බවත් ඉන් පසුව එළඹුණු වසර 25 ක් පමණම දිගු කාලයක් තුළම වරින් වර රජගහ නුවර වේලුවනාරාමයේ වැඩ විසු බවද ති‍්‍රපිටකයේම සඳහන්ය.

බිම්බිසාර රජු විසින් පාලනය කළ මගධ රාජ්‍ය එදා පිහිටා තිබුණේ මෙම ප‍්‍රදේශයේය. අම්පාර දිස්ත‍්‍රික්කය, මොනරාගල දිස්ති‍්‍රක්කයේ, බිබිල, මැදගම ආදී විශාල ප‍්‍රදේශයක්, බදුල්ල දිස්ති‍්‍රක්කයේ විශාල ප‍්‍රදේශයකුත් එදා මගධ රාජ්‍යයට අයත් විය. මගධ රට රජකම් කළ බිම්බිසාර රජු එදා රජගහනුවර වේලුවනාරාමය සාදවා ගෞතම බුදුපියාණන්ට අත පැන්වත් කර පූජා කළ බව සඳහන් වී ඇත්තේ මේ හෙළබිමේ දීම ලියූ ති‍්‍රපිටකයේය. මෙය මේ හෙළබිම තුළදීම සිදු වු සිද්ධියක් මිස ඉන්දියාවේදී සිදු වුවක් නොවේ. අනුරාධපුරයේ රාජධානියක් ආරම්භ කරන්නට පෙරත් වසර දහස් ගණනක් පුරාම මේ හෙළබිමේ දියුණුම රාජ්‍යයක්ව පැවතියේ මේ මගධ රාජ්‍යයි. ඉන්දියාවට දුරින් පිහිටා තිබු නිසාත්, ස්වභාවිකවම කඳු වලල්ලකින් හා මඩකලපුවේ කලපු වලින් වට වූ නිසාත් මගධ රාජ්‍යයට බාහිර ආක‍්‍රමණ හෝ වෙනත් බාහිර සංස්කෘතික බලපෑම් හෝ ඇති නොවීය. මේ නිසා කාශ්‍යප බුද්ධ ශාසනය පැවති යුගයේදී පටන්ම ධර්මතාවයෙන්ම මාගධී භාෂාව රැුකී රැුඳී පැවතියේ මෙම මගධ දේශයේය. රජගල පිහිටි වේලුවනාරාමය අද වල්බිහි වී කැළයට යට වී පැවතුණත් එදා මෙහි පැවති ශ්‍රී විභූතිය විදහාපාන්නට තරම් සමත් පුරා විද්‍යා නටඹුන ලක්ෂ ගණනක් අදටත් එහි ඉතිරිව ඇත.

අශෝක රජු එදා ඉන්දියාවේ රජ පරම්පරාවල සාමාජිකයින් සොයා සමූල ඝාතනය කළ අවස්ථාවේ මිහිඳු කුමාරයා සහ සොහොයුරියන් තුන්දෙනා මේ හෙළබිමට පැනවිත් තම දිවි බේරා ගන්නට සැඟව ගත්තේ මගධ රාජ්‍යයේ රජගහනුවරය. ඒ අද අම්පාරේ රජගලය. එදා මේ පුන්‍යභූමිය ඉතාමත්ම ආරක්ෂිත ස්ථානයක්ව පැවති බවටත් මේ හොඳම සාක්ෂියකි. මිහිඳු කුමරු සංඝමිත්තා කුමරිය හා සුමනා, සුනන්දා කුමරියන්ද රජගහනුවරට පැමිණ හෙළ බස ඉගෙන ගෙන, මගධ බස ඉගෙන ගෙන, බුද්ධ ධර්මය ඉගෙන ගත්තේද රජගල වේලුවනාරාමයේ පිහිටි බෞද්ධ විද්‍යායතනයෙන්ය. ගෞතම බුදුන්ගේ පිරිනිවීමෙන් වසර 280 කට පමණ පසුවත් මේ බෞද්ධ විද්‍යාස්ථානය තුළ මඟඵල ලාභී අරහතුන් වහන්සේලා සිය දහස් ගණනක් වාසය කළ බව මෙයින් මොනවට ඔප්පු වෙයි.

රජගහනුවරදී ධර්මය ඉගෙන ගෙන මහණ වී, මඟඵල ලැබූ මිහිඳු මහ අරහතුන් වහන්සේ ඉන්දියාවේ රජ පවුලකට අයත්ය. අශෝක රජුගේද ළඟම නෑදෑයෙකි. නමුත් අශෝක රජුගේ පුත‍්‍රයෙකු නම් නොවන බව ඉන්දීය ඉතිහාසඥ බෂාම් තුමාද පැහැදිලිවම ප‍්‍රකාශ කරයි.

මිහිඳු හිමියන් අනුරාධපුර පිහිටි ලංකාපුර රාජධානියට බුදු දහම හඳුන්වා දෙන්නට එහි පැමිණියේ අම්පාරේ රජගහනුවර වාසය කළ කාලයේදීය. එනම් රජගල සිට අනුරාධපුරයටය. කලකෝලාහල, යුදබිය හා අවුල් වියවුල් සහිතව පැවති උතුරු ඉන්දියාවේ මේ යුගය වනතුරාවටත් බුද්ධ ශ‍්‍රාවකයෙක් දැකගන්නට වත් නොවීය. අශෝක රජතුමාද පළමු වරටම බුද්ධ ශ‍්‍රාවකයෙකු දැක ගත්තේ කාලිංග යුද්ධය අවසන් වීමෙන් පසුව කාවේරී නදිය අසලදීය. කාවේරි නදිය තෙක් දකුණු ඉන්දිය ප‍්‍රදේශවලටත් මේ වන විට හෙළබිමේ බලපෑම අනුව බුද්ධ ධර්මය ව්‍යාප්ත වී තිබිණි. ඉසින්බැස්සගලදී පැවැත් වූ ධර්ම චක‍්‍ර බලය කාවේරි නදි මායිම් කොට ගත් ප‍්‍රදේශය තෙක්ම බලපැවැත් වු නිසා කාවේරි නදිය තෙක්ම ඉන්දීය ප‍්‍රදේශ වලද බුද්ධ ශ‍්‍රාවකයින් වහන්සේලා මේ යුගය වන විටත් වැඩ සිටියහ.

අශෝක රජු යුද්ධය අත්හැර දමා බුදු දහම වැළඳගත් පසුව මිහිඳු හිමියන්ද ඉන්දියාවට ගිය බවත් සත්‍යයකි. නමුත් මිහිඳු හිමියන් මේ හෙළබිමට යළි ආපසු පැමිණ තමන් මහණ වූ රජගහනුවරම තම ඉතිරි ජීවිත කාලයද ගෙවා එහිදී පිරිනිවන් පා වදාළ බවත්, මිහිඳු හිමියන්ගේ භස්මාවශේෂ තැන්පත් කළේ අම්පාරේ රජගල බවත් එහි ඇති සෙල්ලිපි මගින්ද ඔප්පු වී ඇත. රජගල පුරාවිද්‍යා වැඩ බිමේ දැනට සොයා ගෙන ඇති සෙල්ලිපි 48 ක් අතරින්, පිහිටි ගලකම කොටා ඇති එක් සෙල් ලිපියක මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ මෙම ස්ථානයේ තැන්පත් කළ බව පැහැදිලිවම සඳහන් කර ඇත. පිහිටි ගලක කෙටු මේ සෙල් ලිපිය අසල ම දැනට නිදන් හොරුන් හාරා විනාශ කළ චෛත්‍යයක නටඹුන්ද අදටත් දකින්නට ඇති අතර ඒ චෛත්‍යය මිහිඳු මහ සෑය බවටත් තහවුරු කරගෙන ඇත.

උතුම් බුද්ධ ධර්මය එදා හෙළ බසින් ලියැවී තිබුණු හෙළ අටුවා ලීවේත් හෙළ අටුවා පොත් එදා තැන්පත් කර තිබුණේත් රජගල පිහිටා තිබු වේළුවනාරාම පුද බිමේ බෞද්ධ විද්‍යාස්ථානයේය. මෙම හෙළ අටුවා පොත් ලියා තිබුණේ පැරණි හෙළ බසිනි. මේවා ලියුවේ ති‍්‍රපිටකය ලියා තබන්නටත් වසර සිය ගණනකට පෙර යුගකදීය. ගෞතම බුදුපියාණන් ජීවත්ව සිටි යුගයේදීම බුදු කැලි අටුවාව නමැති හෙළ අටුවාව ලියා තිබිණි. මහා ප‍්‍රාඥ මහා කච්චායන අරහතුන් වහන්සේගේ මුලිකත්වයෙන් ලියැවුණු බුදු කැලි අටුවාව මිහිඳු හිමියන් අනුරාධපුරයට එන විට රැගෙන ආ බව මහාවංශයේද සඳහන් වෙයි.

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ පැවිදි වුයේද රජගල වේලුවනාරාම පුදබිම අසලම පිහිටා තිබු මෙහෙණි ආරාමයකදීය. සුමනා, සුනන්දා යන දෙසොහොයුරියන්ද පසු කලක එහිදීම මහණ වුවත් පසුව සිවුරු හැර බෝධිගුප්ත නම් කුමරු සමඟ විවාහ වූ බවත් බෝධි වංශයේ සඳහන් වෙයි. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ හිරිවඩුන්න ජය සිරි මහ බෝ සමිඳුන්ගේ බෝ අංකුරයක් අනුරාධ පුරයට පෙරහරින් වඩම්මවාගෙන යන්නට ගමන් ආරම්භ කළේද, රජගල අම්පාරේ වේලුවනාරාමයෙනි. හිරිවඩුන්න පිහිටියේ රජගල හා අනුරාධපුරය අතර මැද ස්ථානයකය.

ගෞතම බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙරදීම සැරියුත් මුගලන් ආදී අසුමහ ශ‍්‍රාවකයින් වහන්සේලා අතරින් කිහිප නමක්ම පිරිනිවන් පා වදාළහ. ගෞතම බුදුපියාණන්ගේ උපදෙස් වලට අනුව පිරිනිවන් පා වදාළ අරහතුන් වහන්සේසෙලාගේ ධාතුන් තැන්පත් කිරීම සඳහා රජගල රජගහනුවර වේලුවනාරාම භූමියේ චෛත්‍යයන් ඉදිකර ඒ ධාතුන් වහන්සේලා එදා එහි තැන්පත් කරන ලදී. රජගල පුරා විද්‍යා වැඩ බිමේදී මෙවන් චෛත්‍යයන් දහයකට වැඩි ගණනක් දැනටමත් සොයාගෙන ඇත. මේ සියලු චෛත්‍යයන් අද වන විට නිදන් සොරුන් විසින් හාරා විනාශ කරදමා ඇත. ඊට හේතුව මේ ධාතුන් වහන්සේලා එදා තැන්පත් කර තැබුවේ රත්රන් කරඬුවලවීමය. රත්රන් සොරා ගැනීමට නිදන් හොරුන් විසින් චෛත්‍යයන් හාරා විනාශ කර ඇත.

අනිකුත් අටමස්ථාන වලද පිහිටුවා තිබූ, ආකාරයෙන්ම ගෞතම බුදුපියාණන් වහන්සේගේම බුදු පා පහස ලැබූ බුදු සිරිපතුල් යුගලක්ම රජගහනුවරද (රජගල) තැන්පත් කර විහාරයක් කරවා එය වන්දනා මාන කරගන්නට එදා බෞද්ධයා පුරුදුව සිටියහ. අදටත් මෙම බුදු සිරිපතුල් යුගලය රජගල පුරාවිද්‍යා වැඩබිමේ තැන්පත් කර ඇත. මෙම සිරිපතුල් යුගලයන් අනුරාධපුර කෞතුකාගාරයේ රුවන්වැලි මහ සෑ සලපතල මළුවේ සහ ඉසින් බැස්සගල යන ස්ථානවල තැන්පත් කර ඇති සිරිපතුල් හා සමඟද සසදා බලා ඒවායේ එක සමාන වූ ලක්ෂණ දැන හඳුනාගත හැකිය. හිරිවඩුන්න පිහිටි ජයසිරි මහ බෝ සමිඳුගෙන් ලබාගත් සිරි මා බෝ අංකුරයක් රජගහ නුවරද රෝපණය කර එදා මගධ රට රජ සිටුවරු හා මහජනයාද වැඳුම් කරගන්නට ඒ අතීතයේදී පුරුදුව සිටියහ. අද දැඩි වනගහනයට යට වූ රජගල මහවනයේ කොතැනක හෝ අදටත් මේ බෝධීන් වහන්සේ ජීවමානවම ඇති බව පෙන්වා දිය යුතුය.

රජගහනුවර පිහිටි විහාර ආරාම 28 කම මගඵල ලාභී භික්ෂුන් හා භික්ෂුධෑන් ද එදා වැඩ සිටි බව මහා පරිනිබ්බාන සූත‍්‍රයේ පැහැදිලිවම සටහන් වී ඇත. මහාපරිනිබ්බාන සූත‍්‍රයේ දැක්වෙන පරිදි ගෞතම බුදුපියාණන් රජගහ නුවරින් පිටත් වී කුසිනාරා නුවරදී පිරිනිවන් පාන්නට යන අවසන් ගමන ආරම්භ කරන්නට පෙර රජගල විහාර ආරාම 28 ක වැඩ සිටි සියලුම භික්ෂුන් හා සංඝයා රැස්කර ඒ බව දැනුම් දී කුසිනාරා ගමන ආරම්භ කළ බව ති‍්‍රපිටකයේ සඳහන් වේ.

ලංකාවේදී – හෙළ බිමේදී – එදා ලියු ති‍්‍රපිටකයේ මෙන්ම ලංකාවේදීම ලියූ මහාවංශයේද (3 වන පරිච්ඡේදය) ලියා තැබූ විශේෂ කාරණයක් පිළිබඳවද අපේ අවධානය යොමු කළ යුතුය. එම කථා පුවත නම් පළමුවැනි ධර්ම සංගායනාව පැවැත්වීම පිළිබඳවයි.

ගෞතම බුදුපියාණන්ගේ පිරිනිවීමෙන් මාස තුනක් ගත වූ අවස්ථාවේදී රජගහ නුවරදී පළමුවන ධර්ම සංගායනාව පැවැත් වූ බව මහාවංශයේ සඳහන්ය. මහාවංශයේ මේ බව මෙසේ ලියා තැබුවේ එය මේ හෙළ බිමේම ඉතිහාසය නිසායි. ඉන්දියාවේදී සිදු වූ දෙයක් මහාවංශයේ ලියා තබා නැත. මෙය හොඳ සිහියෙන් මධ්‍යස්ථ මනසකින් කල්පනා කරන්නෙකුට මනාව අවබෝධ කරගත හැකිය. මෙවන් ධර්ම සංගායනාවක් එදා ඉන්දියාවේදී සිදු වී නම් ඉන්දියාවේදී ලියු පොත්වල හෝ ලේඛන වල මිස එදා ලංකාවේදී ලියු පොත පතේ මේවා මෙසේ සඳහන් වන්නට හේතුවක් නැත.

පළමුවන ධර්ම සංගායනාව පැවැත්වීමට අජාසත්ත රජු රජගහනුවර වේලුවනාරාම භූමියේ සාදා සකස් කර දුන් සප්තපර්ණි ගල් ගුහාව අදටත් රජගල පුරාවිද්‍යා භූමියේදී කාටත් දැකගන්නට ඇත. එම ප‍්‍රධාන ගුහාව හා ඒ වටා ඇති ගුහා හයක 500ක් අරහතුන් වහන්සේලා එදා පැවැත් වූ පළමු ධර්ම සංගායනාවට සහභාගීවීම සඳහා වැඩ සිටි බව මහාවංශයේත් ති‍්‍රපිටකයේත් සඳහන් වේ. රජගල ගල් ගුහා මැද පිහිටි කුඩගල යනුවෙන් අද හඳුන්වන කුඩයක හැඩය ගත් ගල්ගුහාව අදටත් රජගලදී දැකගන්නට ඇති විස්මිත නිර්මාණයකි. රජගලට යන ඕනෑම කෙනෙකුට අදටත් මේ සප්තපර්ණි ගුහාව තම දෑසින්ම දැකබලාගෙන මහාවංශයේ සටහන් වන විස්තරයද කියවා සත්‍යය වටහා ගත හැකි වනු ඇත. එදා ලංකාවේදීම ලියු මහාවංශයේ මෙසේ සඳහන් වන මේ සියලුම කරුණු ලියා දැක්වුයේ එදා මේ හෙළ බිමේදීම සිදු වූ සිද්ධීන්ම සම්බන්ධ කරගෙනය. මේ හෙළදිවදී සිදු වු මෙවන් සත්‍ය සිද්ධීන් ඉන්දියාවට පවරා දෙන්නට අදත් කි‍්‍රයා කරන්නේ පරම මිත්‍යා දෘෂ්ඨිකයින්ය. රජගල පුරාවිද්‍යා භූමියේ නැෙඟනහිර මායිමේ පිහිටි අක්කර 500ක් තරම් විශාල ගල්පර්වතයක් අදටත් එහි යන ඕනෑම කෙනෙකුට දැක බලා ගත හැකිය. පියංගල ආරඤ්ඤ සේනාසනය පිටුපස ඇති මේ විශාල ගල් පව්ව ති‍්‍රපිටකයේ සඳහන් වන ගිජ්ජකූට පර්වතයයි. මේ ගිජ්ජකූට පර්වතය වටාම එහි පාමුල කටාරම් කෙටු ගල්ලෙන් විශාල සංඛ්‍යාවක් අදටත් දැකගත හැකිය. රජගහනුවර වේලුවනාරාම මායිමේම මෙම ගිජ්ජකූට පර්වතය පිහිටා ඇති බව ති‍්‍රපිටකයේ සඳහන් වෙයි. ති‍්‍රපිටකයේ ගිජ්ජකූට පර්වතය පිළිබඳව හා රජගහනුවර පිළිබඳව සඳහන් කළ සියලු කරුණු අදටත් එහි යන ඕනෑම කෙනෙකුට සහතික කොට තම දෑසින්ම දැක බලා ගත හැකිය.

ගිජ්ජකූට පර්වතය පා මුල ඇති සීත වනය නමින් අදත් හඳුන්වන තැනකින් පානය සඳහා සුදුසු ඉතාම පිරිසිදු ජලය නොකඩවාම උල්පතකින් ගලාගෙන එන බව අදටත් දැකගත හැකියි. මේ පිරිසිදු පානීය ජලය එදා එහි වාසය කළ භික්ෂුන් වහන්සේලා ගේ පරිහරණය පිණිස ගබඩා කර රැස්කර ගන්නට ඒ යුගයේදීම සකස් කළ අතිවිශාල ප‍්‍රමාණයේ තනි කලු ගලින් නෙලු පාත‍්‍රයක හැඩය ගත් ජල ටැංකි අදටත් මෙම වේලුවනාරාම භූමියේදී දැක ගත හැකිය. මේ ආකාරයට සකස් කළ කලුගල් පාත‍්‍රයේ ජලය ගැලුම් සියයක් වත් ගබඩා කරන්නට හැකි බවද පෙන්වා දිය යුතුයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටවත් නිවැරදි ලෙසින් කාල නිර්ණය කරන්නට නොහැකි වූ තරම් පැරණි, අනුරාධපුර යුගයටත් පෙර යුගයක භාවිතා කළ හෙළ අක්ෂර වලින් ලියු සෙල්ලිපි 28 ක් පමණ දැනටමත් මෙම රජගල පුරාවිද්‍යා වැඩබිමෙන් සොයාගෙන ඇත. මේවායේ සඳහන් වන අකුරු අනුරාධපුර යුගයට පෙර යුගයේදී භාවිතා කළ හෙළ අක්ෂර බව විද්වතුන්ගේ මතයයි.

අනුරාධපුර යුගයට පෙර මගධ රාජ්‍ය යුගයේදී, එනම් ගෞතම බුදුපියාණන් ජීවමානව වැඩසිටි යුගයේදී ඉදිකරණ ලද රජගහනුවර ගොඩනැගිලි (මෙම පුරාවිද්‍යා නටඹුන්) ඉදිකර, නිර්මාණය කර ඇත්තේ සියයට සියයක්ම තනි කලුගල් වලිනි. ගෞතම බුදුපියාණන් ජීවත් වූ ඒ අතීත යුගයේදී මේ හෙළබිමේ ඉදිකළ සියලුම පුජනීය ස්ථානයන් හි පදනම ඉදිකර ඇත්තේ තනි කලු ගලෙනි. බුදුගල, රිටිගල, හිරිවඩුන්න, තිරියාය, මනෑව කන්ද, ඉසින්බැස්සගල, මාලිගාවිල ආදී සියලුම ස්ථාන වලදීද අපට අදටත් දැක ගත හැක්කේ රජගලදීද දැකගත හැකි ආකාර වූ එකම රටාවක නිර්මාණයන්ය. ඒවා ගඩොලින් කර වූ නිර්මාණ නම් නොවේ. ඉන්දියාවේ ඉදිකළ සියලුම ආකෘති ගොඩනැංවුයේ ගඩොල් වලිනි. එදා හෙළබිම ගොඩනැංවූ සියලුම පූජනීය ස්ථානවල පදනම තනි කලුගලෙන්ම ගොඩනගා ඇති බව පෙන්වා දිය යුතුය.

පසු කලකදී ජන ශුන්‍ය තත්වයට පත් වූ රජගල පුරාවස්තු අද වන විට නිදන් හොරුන් විසින් හාරා වටිනා රන්රුවන් සොරාගෙන ගොස් ඇත. මේ රජගල පුරාවිද්‍යා පුදබිම ඉන්දියානු ආක‍්‍රමණ වලින් කිසිදා විනාශ නොවීය. පෘතුගිසීන්, ලන්දේසින් හෝ ඉංගී‍්‍රසින්ද මේවා විනාශ කළේ නැත. කොඩිරිංග්ටන්, එච්.සී.පී.බෙල් වැනි අතීත පුරාවිද්‍යාඥයින් ද මේවා ගැන තොරතුරු දැන සිටියේ නැත. මහචාර්ය පරණවිතාන මහතාටද අක්කර 1600 ක් පමණ විශාල වූ රජගහ නුවර නටඹුන් සියල්ලම දැකගන්නට නොලැබිණි.

අම්පාර දිස්ති‍්‍රක්කයේ පිහිටි තවමත් ජනාවාස නොවු රජගල, නිල්ගල, බුද්ධංගල, සමන්ගල, පියන්ගල හා නුවරගල යන කඳුවලල්ලකින් වට වූ මේ විශාල භූමි භාගය එදා මගධ රාජ්‍යයේ අගනුවර වූ රජගහනුවරය. ගෞතම බුදුපියාණන්ට පූජා කළ වේලුනාරාමය හා ඒ ආශි‍්‍රත විහාර ආරාම 28 ක් පිහිටි ප‍්‍රදේශය බව දැන් සහතික කර පෙන්වා දිය හැකිය. රුහුණේ හා නැෙඟනහිර මුල් හෙළ රාජධානි විනාශ වී ගිය පසුවද අනුරාධපුර නගරය අග නගරය බවට පත් වූ යුගයකදී මේ රජගල ප‍්‍රදේශයද ක‍්‍රමයෙන් වල්බිහි වී ගොස් මගධ රාජධානිය, ලිච්ඡුවි රාජධානිය හා වජ්ජි රාජධානියද ශාක්‍ය රාජධානියද යන සියල්ලම මහවනයෙන් යට වී තොරතුරක් පවා දැනගන්නටම නොහැකි ආකාරයටම යටපත් වී අභාවයටම ගිය බවද පෙන්වා දිය යුතුය.

මහාවංශයේ හා ති‍්‍රපිටකයේ මේ ස්ථාන ගැන පැහැදිලි විස්තර ලියා තැබුවත් පසු කලෙක පොත පත ලියු විද්වතුන්ට මේ පිළිබඳව සිතාගන්නට හෝ ක‍්‍රමයක් නැති වූ නිසාත්, ඉන්දියාවේ අශෝක රජු ඉදිකළ ආකෘති ස්ථාන ගැන මධ්‍යකාලීන බෞද්ධයින් අසා දැනසිටි නිසාත් මේ සියලු ස්ථාන ඉන්දියාවේ පිහිටි තැන් හැටියට සිතා කටයුතු කිරීමද සිදු විය. අද ජීවත්වන හෙළදිව බෞද්ධයින්ටත් මේවා දැක බලාගන්නට ධර්මතාවයෙන්ම මේ පුරාවිද්‍යා බිම් රැකුණේ මේ අයුරින්ය.

ගෞතම බුදුපියාණන් දේශනා කර වදාළ, නිවන් දැකගන්නට උපකාර වූ, උතුම් බුද්ධ ධර්මය ඉගෙන ගන්නට එදා දෙස් විදෙස් වලින් මහජනයා රජගහනුවරට පැමිණියහ. පැරණි ලෝක බෞද්ධ මුලස්ථානය, මධ්‍යස්ථානය වුයේ මේ හෙළබිමේ පිහිටි එදා රජගහනුවර නමින් ප‍්‍රසිද්ධ වූ අද රජගල නම් වූ ස්ථානයයි. ගෞතම බුදුපියාණන් පිරිනිවන්පා වදාළ කාලයට පසුවත්, තවත් වසර දහසක් පමණම දිගු කාලයකුත් මේ බෞද්ධ විද්‍යාස්ථානය දියුණු තත්වයෙන් පැවති නමුත් ඉන් පසුව මෙය කාටවත්ම සිතාගන්නටවත් බැරි ආකාරයට විනාශ වී අභාවයට ගොස් ජන ශුන්‍ය ප‍්‍රදේශයක් බවටම පත් විය. අදටත් තවමත් එය ජන ශුන්‍ය ප‍්‍රදේශයකි.

VII සමනල කන්දේ පිහිට වූ සිරිපතුල

ගෞතම බුදුපියාණන් ජීවමානවම වැඩසිටි අවධියේ සමනල කන්ද හා කුරුරට ප‍්‍රදේශයන් පාලනය කළ ප‍්‍රාදේශීය රජතුමා වුයේ ”සමන” රජතුමාය. ”සමන” රජතුමාගේ ආරාධනයෙන් එදා කුරු රටට වැඩම කර වදාළ ගෞතම බුපියාණන් එක් වසක් එහි වස් විසූහ. මෙසේ වස් විසු අවස්ථාවේදී කාලය ගත කළේ කුරුරට පිහිටි දිවා ලෙනෙහිය. අද දිවා ගුහාව යන නමින් ප‍්‍රසිද්ධව ඇති මෙම පර්වත ලෙන් විහාරය එදා සමන රජු විසින් ගෞතම බුදුපියාණන්ට වස් වසන්නට පිළියෙල කර සකස් කර දුන් ස්ථානයයි.

එදා සමන රජුගේ රාජධානිය මහියංගනයේ සිට කුරුවිට තෙක්ම පැතිර පැවති කඳු සහිත රාජධානියකි. මේ රාජධානියෙහි උසම හා රමධෑයම ස්ථානයක් වූ සමනල කන්ද මුදුනේ බුදු සිරිපතුලක් කොටා එම බුදු සිරි පතුළට ගෞතම බුදුපියාණන්ගේ පාද ස්පර්ශය ලබා ගෙන ඊට වැඳ පුදා ගන්නට, මහජනයාට අවස්ථාවක් ලබා දුන්නේ සමන මහ රජුය. ගෞතම බුදු පියාණන් ගෙන් බුද්ධ ධර්මය අසා දැන සෝවාන් ඵලයට පත් වූ සමන මහ රජ පසුව සමන් දෙවියන් ලෙසින් ලාංකික මහජනතාව අතරේ වන්දනාමානයටද පාත‍්‍ර විය.

අනුරාධපුර හා පොළොන්නරු යුගවලදීත් පැරණි රජදරුවන් අටමස්ථානයන් වැඳපුදා ගැනීමේ දීත් සමනල කන්ද මුදුනේ පිහිටුවා තිබු බුදු සිරිපතුලද වන්දනා කරගත් බව අපේ ඉතිහාසයේ පැහැදිලිවම සටහන් කර ඇත. නිස්සංකමල්ල නම් පොළොන්නරුවේ රජ කළ රජුගේ කාලයේදී සමනල කන්දේ පිහිටි බුදු සිරි පතුල තැන්පත් කර වන්දනා කිරීමට පැමිණි එම රජ විසින් එතෙක් අනාරක්ෂිතව පැවති බුදු සිරිපතුලට ආරක්ෂක ආවරණයක් සකසා අද පවතින තත්වයට එය සකස් කරන ලදී. අද අප වන්දනා කරගන්නේ නිස්සංකමල්ල රජු විසින් ඉදිකරන ලද බුදු සිරිපතුල ආවරණය කරන ලද ගල් පුවරුවටය. ගෞතම බුදුන්ගේ බුදු පා පහස ලැබූ බුදු සිරි පතුල ඇත්තේ ඊට අඩි අටක් පමණ යටින් ආරක්ෂා සහිතවය.

VIII. මොක්කෙම සිරිපතුල

මෙම අටවැනි බුදු සිරිපතුල පිහිටියේ කල්පිටිය මුහුදු තීරයේ කෙළවරය. කල්පිටිය යනු එදා අතීත හෙළයේ නාග රාජධානියට අයත් ප‍්‍රදේශයකි. නාග රාජධානියට-නාගදීපයට-වැඩම කළ බුදු පියාණන්ගේ පාද ස්පර්ශය ලබාගෙන එදා කල්පිටියේ මුහුදු කෙළවරේ පිහිටි ගලක කෙටු බුදු සිරිපතුළක් වන්දනා මාන කරගැනීමට එදා නාග රාජධානියේ වැසියෝ පුරුදු වී සිටියෝය. මුහුදු වැල්ලේ මහගල් තලාවක විහාරයක් කරවා එහි බුදු සිරිපතුලක් කොටවා නාග රජ දරුවන් හා මහජනයා ඊට වන්දනා මාන කරණ බව දැකගත් වෙළඳාම සඳහා ලංකාවට පැමිණි අරාබි වෙළෙන්දෝද එදා බුදු සිරි පතුළට වන්දනාමාන කරන්නට පුරුදු වූහ.

පෘතුගිසින් ලංකාවට පැමිණි පසුව එදා කල්පිටියේ මොක්කෙම පිහිටි මුහුදු මහ විහාරය බලකොටුවක් බවට පත්කර එහි ගල්කඩා විහාරය විනාශ කළේය. දැන් මේ වන විට කල්පිටියේ මොක්කෙම ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික හමුදා කඳවුරකි. මෙහි අදටත් ගෞතම බුදුන්ගේ පා පහස ලැබූ බුදු සිරි පතුල ආරක්ෂා වී පවතී.

අනුරාධපුර රාජධානිය ආරම්භ කරන්නට පෙර අතීත යුගයේදී මේ හෙළබිමේ ජීවත් වූ බෞද්ධ රජදරුවන් හා මහජනතාව වැඳපුදා ගත්තේ බුදු සිරිපතුලට හා ජයසිරි මහ බෝධීන් වහන්සේටය. ඒ යුගයේ බුදු පිළිම වන්දනාමාන කිරීමේ සිරිතක් මේ හෙළ බිම තුළ නොවීය. නිවන් දැක ගැනීමේ ඒකායන පරමාර්ථයෙන් බුද්ධ ධර්මය අනුගමනය කළ (ධම්මානු ධම්ම ප‍්‍රතිපදාව අනුගමනය කළ) හෙළ බෞද්ධ පිරිස ගෞතම බුදුපියාණන් ගේ පිරිනිවීමෙන් වසර 900 ක් පමණ කාලයක් ගත වන තුරුත් මේ අටමස්ථානයන් වැඳපුදා ගැනීමේ සිරිතක් එදා හෙළදිව පැවතිණි. අනුරාධපුර රාජධානියේද පසු කලෙක අට මහා ස්ථානයන් ඉදිකර වන්දනා මාන කරන්නට පටන් ගත්තේ පැරණි අටමස්ථානයන් අනුරාධපුරයට ඉතාම දුර බැහැර ප‍්‍රදේශවල පිහිටි බැවිනි. පසුව පොළොන්නරුවේද මෙවැනිම අටමස්ථානයන් ඉදිකර වන්දනා මාන කළ බවක් දැකගන්නට ඇත. රාජධානිය වෙනස්වීමත් සමගම අටමස්ථානයන්ද වෙනස් වූ බව පිරිත් පොතේ සඳහන් විහාර අස්නෙන් පැහැදිලි වෙයි.

ලංකාවේදී බුදු පිළිම වන්දනාව පටන්ගත්තේ කි‍්‍රස්තු වර්ෂ තුන්වන හෝ හතරවන සියවසේදී පමණය. ඉන්දියාවේදී ආරම්භ වූ මහායාන බුද්ධාගමේ බුදු පිළිම වන්දනාව ඉතාම ජනපි‍්‍රය අංගයක් වූ අතර මේ සිරිත හෙළබිමටද වැද්ද ගැනීම නිසා පසුකාලීන ලාංකික බෞද්ධයාද අද මුල්තැනදී ඇත්තේ බුදුපිළිම වන්දනාවටය. බුද්ධාගම ඉන්දියාවේ සිට ලංකාවට ගෙනාවේය යන මතය ගොඩ නැඟුණේ ද මෙවැනි වූ බොහෝ බෞද්ධ සංස්කෘතික අංගයන් හා පුදපූජා ක‍්‍රම ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කර ගෙනා නිසාය. මේ අනුව නම් අද ලංකාවේ අදහන බුද්ධාගමේ බොහෝ අංගයන් ඉන්දියාවෙන් ලංකාවට ගෙනා ඒවාය.

ගුප්ත පාලන යුගයේත්, කුෂාන් රජ පෙළපත පැවති යුගයේත් මහායාන බුද්ධාගම ඉන්දියාව තුළ ඉතාම දියුණු තත්ත්වයකට පත් විය. දේව ආගම්වල බලපෑම් ලෙසින් පොදු මහජනයාගේ භක්තිය කුළුගැන් වූ පුද පූජා ක‍්‍රම, වත්පිළිවෙත්, සජ්ඣායනා ක‍්‍රම, පෙරහැර පැවැත්වීම, ශබ්ද පූජා, බෙර දවුල් ගැසීම හා වෙනත් බොහෝ ජනප‍්‍රිය අංගයන් හෙළබිමටද ක‍්‍රමයෙන් ඇතුළු වී පිරිසිදු බුද්ධ ධර්මය හා නිවන් දකින පිළිවෙත් පිරීමේ මඟ වැසී ගියේය. නිවන් පතන, භක්තියෙන් ආගම ඇදහු පිරිසක් ලංකාවේද බිහිවිය. හුදී ජන පහන් සංවේගය සඳහාත්, සාංස්කෘතික අංගයන් ලෙසත් සමාජ සුබ සාධනය සඳහාත්, බුද්ධාගම නමට පමණක් අදහන පිරිසක් මේ හෙළබිම තුළද බිහිවීම මෙහි ප‍්‍රතිඵලයයි.

එදා බුද්ධ දේශය, ධර්ම දීපය, ධර්ම රාජ්‍යය, ලෝකෙන්ම උතුම් රට, රත්න දීපය ආදී විරුදාවලි ලත් බුදුන් ජන්මය ලැබූ මේ උතුම් රට ධර්ම දීපය මේ ආකාරයෙන් විනාශය කරා ගියේය.

අපේ ඉතිහාස කථා පොත්වල, මහාවංශයේ, දීපවංශයේ, බෝධිවංශයේ, ථූප වංශයේ හෝ වෙනත් කිසිම පොතක හෝ නම් සඳහන් වන කිසිම හෙළබිම රජ කෙනෙකු අටමස්ථානය වැඳපුදාගන්නට ඉන්දියාවට ගිය බව නම් සඳහන් නොවේ. ලංකාවේදීම ලියු ”අත්ථසාලිනී” නමැති ග‍්‍රන්ථයේ පැහැදිලිවම ලියා සටහන් කර ඇති පරිදි නම් අපේ හෙළ රජදරුවන් හෙළබිම පිහිටි අටමස්ථානයන් වැඳපුදා ගන්නට රජ පෙරහරෙන් එදා අටමස්ථාන කරා ගමන් කළ බව නම් (පැහැදිලිවම) සඳහන් වෙයි.

හෙළබිම එදා පැවති අටමස්ථාන වැඳපුදා ගැනීමේ මෙම සිරිතට අනුව අශෝක මහරජ තුමාද අටමස්ථානයක් ඉන්දියාවේද ඉදිකර ඒවාට වන්දනා ගමන් ගිය බවද පැහැදිලිවම පෙන්වා දිය හැකිය. අශෝක ශිලා ලිපිවල සඳහන් වන්නේ අශෝක රජුගේ මේ වන්දනා ගමන් ගැනය. අශෝක රජු සියලු ආගම් සඳහා තැන වූ මෙම පොදු අටමස්ථානයන් ශිලාදිත්‍යය රජුගේ පාලන සමය වන විට, ශිව ආගමේ, වේද ආගමේ, හින්දු ආගමේ අටමස්ථානයන් බවට පත්ව තිබු බව දිව්‍යාවදානය, ලලිත විස්තරය වැනි සංස්කෘත පොත්වල පැහැදිලිවම සටහන් කර ඇත.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.