කළ්‍යාණ, කළණ හා කාලේන යනු කෙලෙස් නැසීමයි

මිනිසෙකු ලෙසින් උපතක් ලැබූ කෙනෙකු ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදී ක‍්‍රියා කරනවාය, ධම්මානුධම්ම පිළිවෙතින් පෙළගැසෙනවාය යන්නෙන් අදහස් කරන්නේ, උතුම් බුද්ධ ධර්මය අසා දැන අවබෝධ කරගෙන එ ධර්ම මාර්ගය භාවිතයට ගැනීමයි. ”සුනේථ, ධාරේථ, චරේථ ධම්මෝ” යනුවෙන් පෙන්වා වදාළ පරිදි බුද්ධ ධර්මය යනු, භාවිතයට ගතයුතු ප‍්‍රායෝගිකවම අනුගමනය කර අත්විඳ ගත යුතු ප‍්‍රතිපදාවක් මිස අසා දැන උගතෙකු වන්නට පමණක් දේශණා කළ ධර්මයක් නොවේ. අද බොහෝ අය ධර්මය උගත් උගතුන් වෙතත් භාවිතයට ගන්නේ නැත. බුද්ධ ධර්මය දැනගත් පමණින් එ් දැනුම නිවනට හේතු නොවේ. එ් ධර්මය තුළින් සත්‍යය දැකගත යුතුය. ‘‘ජානතෝ, පස්සතෝ’’ යැයි ප‍්‍රකාශ කළේ එයයි.

බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළ නව ලෝකෝත්තර සිරි සද්ධර්මය උපකාර වන්නේත් උපකාර කරගතයුතු වන්නේත් රාගය, ද්වේෂය, මෝහය යන කෙළෙස් ගති සහමුළින්ම සිතින් ඉවත්කර දමා චිත්තසංතානයේ මුල් බැස ගෙන පවතින කෙළෙස් මුල් කපා දමා නැවත කෙළෙස් නොඋපදින ලෙසින්ම තම චිත්තසංථානය හා මනස පිරිසිදු කරගැනීමටය. එ් මිසක ලෞකිකත්වය තුළින් ලබාගත හැකි කාම සම්පත් උපාදානය කරගනිමින්, සුගති ලෝක වල යළි යළිත් උපදිමින්, දෙව් මිනිස් සැප සම්පත් ලබන්නට නම් නොවේ. ලෝකයෙන් එතෙර වන්නට ලෝකෝත්තර තත්ත්වයට පත්වන්නට මිස ලෝකය තුළ අතරමං වන්නට මේ ධර්මය දේශණා කළා නොවේ. මෙයට බුද්ධ ධර්මය යැයි නම් කළේ රාග, ද්වේෂ, මෝහ ගති උදුරා දමා, භව උදුරා දමන්නට බිහි කිරීමේ ශක්තිය උදුරා දමන්නට උපකාර කරගත යුතු ධර්මයක් නිසාමය. සංසාර ගමන, මතු උපත් බිහි කරන්නේම රාග, ද්වේෂ, මෝහ ගති මනෝමය කය තුළ ගබඩා වී, උපාදානය කරගෙන පවතින නිසයි. චිත්තසංථානයක් තුළින් ”රාග, ද්වේෂ, මෝහ ගති” යළි යළිත් බිහි වන්නේ මේ කෙළෙස් ගති මුල් බැසගෙන තමා තුළම පවතින නිසයි.

එසේ නම් මුළු බුද්ධ දේශණාවෙන්ම පෙන්වා දුන් ධම්මානු ධම්ම පරියාය, නිබ්බේදික පරියාය, වේදිතබ්බෝ ධම්ම පරියාය මඟින් විග‍්‍රහ කර පෙන්වා වදාළේ ප‍්‍රායෝගිකවම කෙළෙස් ප‍්‍රහාණය කරදමා කෙළෙස් මුල් සිඳ දමන්නට මාර්ගයයි. ආසවක්ඛ්‍යා ඥාණය අවබෝධ කරගැනීම යනු කෙළෙස් මුල් ගළවා දමා නැවත කෙළෙස් නොඋපදින ලෙසින්ම සම්මා විමුක්තියට පත් වීමයි.

කළ්‍යාණ, කළණ, කාලේන, කාලාමා, කාලෝ යනාදී මාගධී පදවලින් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළේ් කෙළෙස් නැසීම, කෙළෙස් සහමුළින්ම ඉවත් කිරීම, කෙළෙස් වලින් මිදී නිදහස් වීම, කෙළෙස් මුල් ගළවා දැමීම යන අදහසයි. කළ්‍යාණ ධර්ම සූත‍්‍රය, කළ්‍යාණ මිත‍්‍ර සූත‍්‍ර 5ක් හා කළ්‍යාණ සීල සූත‍්‍රයේත්, කුසල සූත‍්‍ර 4 කත්, කාල සූත‍්‍ර දෙකකත්, කාලාමා සූත‍්‍රයේත්, ඵග්ගුණ සූත‍්‍රයේත් තවත් සූත‍්‍ර ධර්ම විශාල ගණනකමත් කාලෙණ, කළ්‍යාණ, කළන යන පද විග‍්‍රහ වී ඇත.

කළ්‍යාණ – යන පදයෙන් විග‍්‍රහ කළේ කෙළෙස් නසන්නට, කෙළෙස් ප‍්‍රහාණය කරන්නට උපකාර වන යන අර්ථයයි.
කළණ – යන පදයෙන් විග‍්‍රහ කළේද කෙළෙස් ප‍්‍රහාණය කරදමා, කෙළෙස් නසා දමන්නට උපකාර වන යන අර්ථයයි.
කාලේන – යනු කෙළෙස් නසන, නැති කරන යන අර්ථයයි.
කාලාමා – යනු කෙළෙස්, කළු ධර්ම සහමුළින්ම උදුරා දමා, මිදී නිදහස් වීම යන අර්ථයයි.
කාලෝ – යනු කෙළෙස් තවන, කෙළෙස් දවන, යන අර්ථයයි.

අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතයේ එන කාල සූත‍්‍ර හා දුතිය කාල සූත‍්‍රයේත් අංගුත්තර නිකායේම ඡක්ක (6) නිපාතයේ එන ඵග්ගුණ සූත‍්‍රයේත් ”කාලේන” යන මාගධී පදය බහුලවම භාවිතා කර ඇත (කාල+න). දුතිය කාල සූත‍්‍රයේ එන මේ මාගධී පදවැල් හොඳින් විමර්ශණය කරන්න.

”කාලේන ධම්ම සවණං, කාලේන ධම්ම සාකච්ඡ, කාලේන සමථෝ, කාලේන විපස්සනා, ඉමේ ඛෝ භික්ඛවේ චත්තාරෝ කාලා සම්මා භාවියමානෝ, සම්මා අනුපරිවත්තිය මානා, අනුපුබ්බේන ආසවානං ඛ්‍යයං පාපෙන්ති”

මෙතන කාලේන යන මාගධී පදයෙන් විග‍්‍රහ කළේ (කාලේ+න) කෙළෙස් නැසීම යන අර්ථයයි. හතර අවස්ථාවේදීම කාලේන යන පද කෙළෙස් නසන යන අර්ථයෙන්ම භාවිතා කර ඇත. නමුත් ත‍්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කිරීමේදී ”කාලේන” යන්න ”නිසි කාලය, සුදුසු කාලය” යන ”පද+පරම” අර්ථයෙන් වැරදියට පරිවර්තනය කර ඇති බව පැහැදිළිවම දැකිය හැකිය. ”සම්මා භාවියමානෝ සම්මා අනුපරිවත්තිය මානෝ ආසවානං ඛ්‍යයා” යනුවෙන් පෙන්වා දුන්නේ කෙළෙස් ප‍්‍රහාණය කිරීමයි. සංමා කිරීම යන අර්ථයෙනි. ”කාලේන සමථෝ” යනු සමථ භාවනාවෙන්ද තාවකාලිකව කෙළෙස් දුරලා කෙළෙස් ප‍්‍රහාණය කරගත හැකි බව පෙන්වා දීමයි. ”කාලේන විපස්සනා” යනු කෙළෙස් සහමුළින්ම නසා දමන්නට විපස්සනා භාවනාව උපකාර කරගත යුතු බවයි. ”කාලේන ධම්ම සවනං” කීවේ උතුම් බුද්ධ ධර්මය ශ‍්‍රවණය කළ යුත්තේ කෙළෙස් නැසීම සඳහාය යන්නයි. ධර්මය සාකච්ඡුා කළ යුත්තේද කෙළෙස් දැන හඳුනා, කෙළෙස් ප‍්‍රහාණය කිරීම සඳහාය යන්න මේ සූත‍්‍රයේදී ඉතාම පිරිසිදුව, පැහැදිළිව දේශණා කර ඇත. ධර්මය අවශ්‍ය වන්නේ කෙළෙස් ප‍්‍රහාණය කර දමන්නටමය යන්න මෙයින් ඔප්පු වෙයි.

මේ අනුව කාල, කාලේ යනු කෙළෙස්ය. කාලේ+න යනු කෙළෙස් නැසීමය. උතුම් බුද්ධ ධර්මය අසා දැනගත යුතු වන්නේත් ධර්මය සාකච්ජා කළයුතු වන්නේත් සමථ විපස්සනාදී ධම්මානු ධම්ම ප‍්‍රතිපදාවන්හි යෙදී භාවනා කළයුතු වන්නේත් ආසව කපා දැමීමට කෙළෙස් මුල් කපා ගළවා දැමීමට සම්මා තත්ත්වයට පත්වීමට බව මෙහිදී පැහැදිළිවම තේරුම් ගත යුතුය.

බුද්ධ ධර්මය දේශණා කරන්නට බුද්ධ ධර්මය සාකච්ඡ කරන්නට හෝ සමථ විපස්සනා භාවනා කරන්නට හෝ නුසුදුසු හෝ අනිසි කාලයක් හෝ නැත. සුදුසු හෝ නිසි විශේෂ කාලයක්ද නැත. දවසේ පැය විසිහතර පුරාම මුළු ජීවිත කාලය පුරාම ලැබුණු හැම අවස්ථාවකදීම මේ සඳහා සුදුසුය. එ් නිසා මෙහි නිසි කාලයක් පෙන්වා දී නැත. බුද්ධ ධර්මයේ පෙන්වා වදාළේ ”අප්පමාදේන සම්පාදේත” යනුවෙනි.

”බුද්ධ ධර්මය” යන පදවලම ඇති පරම අර්ථය නම් ”කෙළෙස් ප‍්‍රහාණය කරන්නට කෙළෙස් උදුරා දමන්නට උපකාර වන දරාගත යුතු දේ” යන්නයි. කෙළෙස් ප‍්‍රහාණය කරන්නට උපකාර නොවන යම් දේශණාවක් වේ නම් එය බුද්ධ ධර්මයද නොවේ. එය ”කාලේන ධම්ම” කොටසට අයත් නොවේ.

මහා මංගල සූත‍්‍රයේදීත් ඔබ නිතර කියවා පුරුදු ”කාලේන ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ජා” යනු කෙළෙස් නැසීමට කෙළෙස් ප‍්‍රහාණය කර දැමීමට බුද්ධ ධර්මය භාවිතා කළ යුතු බව මිස නිසි හෝ සුදුසු කාලයට යන අර්ථයක් මෙහි නැත. නිවන වසා සිටින, නිවනට ප‍්‍රතිපක්‍ෂ වූ, කෙළෙස් ප‍්‍රහාණය කර දැමීම කෙළෙස් නසා දැමීම බුද්ධ ධර්මය භාවිතා කිරීමේ ඒකායන පරමාර්ථයයි.

”කාලි” යනු කෙළෙස්ය. රාග, ද්වේෂ, මෝහ ගති ගුණයන්ය. කාලි මැණියෝ, භද්‍රකාලී දේවිය යනුවෙන් කෙළෙස් වලට අධිපති දේව සංකල්පයක් දේව ආගම්වල ඇත. රාගයට, ද්වේෂයට, මෝහයට අධිපති දේවතාවිය කාලි මෑණියන්ය. පළිගහන්නට, වෛරය පිරිමහන්නට, රාගයෙන් බැමි තද කරගන්නට, මෝහයෙන් යදින්නට, බොහෝ අය ”කාලි” පිහිට පතන බව බෞද්ධයින් නිවැරදිව තේරුම් ගත යුතුය. කුසලයක් කරගන්නට හෝ පින්කමක් කරගන්නට හෝ කාලි මෑණියන් ළඟදී හැකියාවක් නැත. එහිදී පාපයක්, අකුසලයක්ම සිද්ධ කරගත හැකි වෙයි. ”ධම්මස්සවණ කාලෝ අයං භදන්තා” යනුවෙන් හැම ධර්ම දේශකයින්වහන්සේ කෙනකුම ධර්ම දේශණාව ආරම්භයේදී ආරාධනා පාඨයක් ලෙසින් ප‍්‍රකාශ කරතත් මෙහි නිවැරදි අර්ථය දැන භාවිතා කරන බවක් නොපෙනේ. ”මේ ධර්මය අසා දැන කෙළෙස් තවන්නට, කෙළෙස් දවන්නට, කෙළෙස් ප‍්‍රහාණය කරන්නට අවධානය යොමු කරන්න” යනු මේ පාඨයේ අර්ථයයි. එසේ නැතිව ධර්මය දේශණා කරන කාලයක් මෙහිදී අර්ථ දක්වා නැත. ධර්ම දේශණාවකට සවන් දෙන්නට පැමිණි දේව, මනුස්ස දෙකොටසටම තවත් වරක් එ් බව ප‍්‍රකාශ කළ යුතු වන්නේ නැත. මේ ධර්ම දේශණාවෙන් ප‍්‍රකාශ කරන දේ අසා දැන, කෙළෙස් ප‍්‍රහාණය කරගෙන, සිත ඒකාග්ගතාවයටත්, චේතෝ විමුක්තියටත් පත්කර ගැනීම සඳහා මීට කන් යොමු කරන්න යන අර්ථය මෙහි ඇත.

වස්සාන සමයෙහි ”අයං වස්සාන කාලෝ” යනුවෙන් බොහෝ විහාරස්ථාන වලත්, ආරඤ්ඤ සේනාසන වලත් ලියා දක්වා ප‍්‍රදර්ශනය කරනු ලැබේ. මෙහි අර්ථය කෙළෙස් තවමින්, කෙළෙස් දවමින් ධම්මානු ධම්ම පතිපදාවෙන් වෙසෙන බව දැන්වීම මිසක ”මම වැසි කාලය ගතකරමි” යන වැරදි අර්ථයක් මෙහි නොවේ. එදා ගෝතම බුදුපියාණන් ජීවමානව වැඩ සිටි යුගයේ බොහෝ නවක භික්ඛුන් කර්මස්ථාන ගෙන නිදහස් තැනකට ගොස් ධම්මානුධම්ම ප‍්‍රතිපදාවෙහි යෙදී කෙළෙස් දවාහැර, මඟඵල ලබාගත්තේ මේ වස්සාන සමයේදීය. මේ අනුව ”අයං වස්සාන කාලෝ” යන්න නිවැරදිව දැන භාවිතා කරන්නේ නම් වස් සමය කෙළෙස් තැවීම සඳහාම වෙන් කරගත යුතුය. වස් අධිශ්ඨානය යනුද කෙළෙස් තැවීමට යම් වේලාවක් සිතින් වෙන්කර ගැනීමයි. අද මේ පදවැල් සම්මත කරගත් දේ මිස නිවන් මඟඵල පිණිස භාවිතා කරන කෙළෙස් තවන්නට උපකාර කරගන්නාදේ ලෙසින් භාවිතා නොවේ. ඊට හේතුව මේ පදවැල් වල ධර්ම අර්ථය යටපත්ව ගොස් සම්මත පදපරම අර්ථය ඉස්මතු වී භාවිතයට ගැනීමයි.

මාගධී බුද්ධ භාෂිතයේ කළු, කාල, කාලි, කාලේන, කාලාමා, කාලෝ, කාලං, කණ්හ ආදී සියලුම පද භාවිතා කළේත් මේ පදවලින් අර්ථ දැක්වූයේත් කෙළෙස් හා කෙළෙස් ප‍්‍රහාණය පිළිබඳවමය.

මාගධී භාෂාවේ වේලාව, කාලය දක්වන්නට යොදාගත් පදයන් කිහිපයක්ම ඇත. ”යාමය, සමය, යුගය, කප්පය” යන පදයන් කාලය, වේලාව, අවස්ථාව දැක්වීමට යොදාගෙන ඇත. කෙටි කාලයක් දක්වන්නට සමය, යාමය යන පදද දිගු කාලයක් දක්වන්නට යුගය, කප්පය (කල්පය) යන පදයන්ද භාවිතා කර ඇත.

මේ අනුවම බුද්ධ භාෂිතයේ, බුද්ධ ධර්මයේ ගුණ විග‍්‍රහ කරන ධර්මය වන්දනා කරන ගාථා පාඨයක ”අකාලිකෝ” යන පදය සඳහන් වේ. ”අ”=යන්නෙන් අත්හැරීම, අත්මිදීම, අභාවිතය යන අර්ථය ලබා දෙයි. බුද්ධ භාෂිතයේ අත්හැරීම, ප‍්‍රහාණය කිරීම, අස්කිරීම, පෙන්වා දීමට නිතරම ”අ” යන්න යොදාගෙන ඇත. නිවන විග‍්‍රහ කළ පද 21 කම ”අ” යන්නෙන් අත්මිදීම විග‍්‍රහ කර ඇත. ”අජාතං, අමතං, අශෝකං, අභූතං, අසංකතං, අජරං, අමරං, අනුපායෝ, අනපායෝ, අසද්ධෝ, අකතඤ්ක්‍දුතේ, අනිච්චං, අනත්ථං, අප්පටිබද්ධෝ, අනනිස්සිතෝ, අරහං” මේ හැම පදයකම ”අ” යන්නෙන් අත්හැර දැමීම, අස්කර දැමීම, අභාවිතය විග‍්‍රහ කර ඇත. නිබ්බාන යනු බාන ලෙහා, බාන අත්හැර දැමීමයි. මේ අනුව ”අකාලිකෝ” යන පදයේ ධර්ම අර්ථය කෙළෙස් අත්හැර, කෙළෙස් වලින් මිදී, කෙළෙස් ප‍්‍රහාණය කරන්නට උපකාර වන දේ බුද්ධ ධර්මය බව මෙහිදී පෙන්වාදී ඇත. මෙය කාලයකට, යුගයකට සම්බන්ධ කළ නොහැකිය.

”සංදිට්ඨිකෝ” ගුණයට පසුවම ”අකාලිකෝ” ගුණය දැක්වූයේ ”සං” (සමුදය) දැකගත් කෙනෙකුටම මිස කෙළෙස් අත්හැර, කෙළෙස් ප‍්‍රහාණය කර දමන්නට කි‍්‍රයා කරන්නට නොහැකි නිසා ”සං” නොදුටු කෙනෙකුට අකාලිකෝ වන්නට ද නොහැකි හෙයිනි. මේ අනුව ‘‘සංදිට්ඨිකෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති’’ යන ධර්මයේ සියලු ගුණයන්ගෙන් විග‍්‍රහ කර පෙන්වා වදාළේ කෙළෙස් සොයා දැන කෙළෙස් ප‍්‍රහාණය කර කෙළෙස් අත්හැර කෙළෙස් උපත ලබන කෙළෙස් මුල් ගළවා දමා සව් කෙළෙස් නසා මඟඵල ලබන්නට අනුගමනය කළ යුතු අනුපූරක වූ නිබ්බාන මාර්ගය විග‍්‍රහ කිරීම බව තේරුම් ගත යුතුය. බුද්ධ ගුණ හෝ සංඝ ගුණ හෝ යම් පුද්ගලයෙකු තුළ ප‍්‍රත්‍යක්ෂ ලෙසින් පිහිටන්නේත් ලෝකෝත්තර නිවන් සුවයට පත්වන්නේත් ධර්මයේ ගුණයන් හයම තමා තුළින්ම ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදීමෙන්ම සම්පූර්ණ කරගැනීමෙනි. ධර්ම ගුණයන් අවබෝධ කර නොගත් පුද්ගලයා බුද්ධ වන්නේද නැත. සංඝ වන්නේද නැත. මේ හේතුව නිසාම බුදුපියාණන්වහන්සේද ධර්මයම ගුරුතන්හි ලා ගෞරව කළ සේක. බුද්ධ ධර්මයම ලෝකයාට දේශණා කළ සේක. ධර්මයේ පිහිටා කටයුතු කරන ලෙසින්ම ලෝකයාටද අනුශාසනා කළ සේක.

මානසික ආතතිය, මෝහය, මොට්ටකම, රාගයෙන් ඇලීම, ද්වේෂයෙන් ගැටීම ආදී සියලු ළාමක ගති ගුණ මිනිසෙකු තුළින් ක‍්‍රියාත්මක වන්නේ චිත්තසංථානය කෙළෙස් වලින් කළු ධර්ම වලින් පිරී පවතින නිසාමය. තමන්ම උපාදානය කරගෙන, ගබඩා කරගෙන, තමන්ගේම චිත්තසංථානයේ පොදි ගසාගෙන පවතින මේ කෙළෙස් පොදිය දැක එ් කෙළෙස් පොදිය සිතින් අත්හැර අලුතින් කෙළෙස් උපදවීමද සහමුළින්ම නවතා දමා කෙළෙස් වලින් නිදහස් වූ තත්ත්වයට පත්වීම නිබ්බාන සච්ඡුිකිරියා තත්ත්වයයි.

”කාල කිරියා (කාල ක‍්‍රියා) කාලං කරෝති” යනුවෙන්ද මාගධී බුද්ධ භාෂාවේ බහුලවම ”කාල” පදය භාවිතා කර ඇත. කාල යනු මෙතැනද කෙළෙස් පොදිය යන්න අදහස් කෙරේ. කෙළෙස් පොදිය කරගහගෙන ගමන් කිරීම ක‍්‍රියා කිරීම කාල කිරියා, කාලං කරෝති යන්නෙහි අදහසයි. යමෙකු මරණයට පත්වන විට කෙළෙස් පොදියද කරගහගෙන මරණයට පත්වූයේ නම් ඔහු කරන්නේ මනෝමය කයෙහි තැන්පත් කරගෙන ඇති කෙළෙස් පොදියද සමගම වෙනත් ජාතියක උපත ලැබීමයි. කෙළෙස් පොදිය සහමුළින් ප‍්‍රහාණය කර සියලු කෙළෙස් බහා තැබූ අරහතුන්වහන්සේට ‘‘කාලං කරෝති’’ යන්න භාවිතා කරන්නේ නැත. ‘‘අරහතුන්වහන්සේ අපවත් වූහ’’යනුවෙන් අපි භාවිතා කරමු. උන්වහන්සේ පවැත්ම අවසන් කර, පැවැත්ම අත්හැර, අපවැත්ම යන තත්ත්වයට නිදහස් වූ කෙනෙකි.

කෙළෙස් පොදිය බහා තබන්නට නොදන්නා අසමත් පුද්ගලයා, කෙළෙස් පොදියද කරගසාගෙන සංසාරයේ අතරමංවී, මංමුළාවී සැරිසරණ බව ප‍්‍රකාශ කළේ ”කාලං කරෝති, කාලකිරියා” යන මාගධී පද වලිනි. ”කාලං කරෝති” යන පදයෙහි තවත් අර්ථයක් ඇත. මතුවට තව තවත් කෙළෙස් එකතු කරමින් කෙළෙස් පොදිය තව දුරටත් තර කරගන්නට ක‍්‍රියා කිරීම යන අර්ථයද ”කාලං කරෝති” යන පදයේ ඇත. උතුම් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ මාගධී පදවැල් වල මෙවැනි ඉතාම වැදගත් අර්ථ, ධර්ම ගැබ්වී ඇතත්, අද මේ පදවැල් පදපරම ලෙසින් අර්ථ ගන්වා ධර්මය විකෘති කර ඇත.

කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය යනු කෙළෙස් නසන්නට උපකාර වන කෙළෙස් නසන්නට මාර්ගය කියා දෙන අරිය උත්තමයාගේ ආශ‍්‍රය යන්නයි. එ් මිසක් අද සම්මතයෙන් හඳුන්වන යාළුවා, මිත‍්‍රයා හෝ නෑයා යන අර්ථයක් මෙහි නැත. ලෝකයෙන් එතෙර වීමට කෙළෙස් බර පහා තබන්නට සංසාර බැමි ගළවා දමන්නට උපකාර වන ආකාරයෙන් කළු නසන්නට උපකාර වන පුද්ගලයාම කළ්‍යාණ මිත‍්‍රයාම වෙයි. අතීත අනුරාධපුර යුගයේදී පවා ”කළු” යන්න කෙළෙස් නසන අර්ථයෙන් භාවිතා කළ බව පෙන්වා දෙන්නට හොඳ උදාහරණයක් ඇත.

කළු බුද්ධරක්ඛිත හිමි කළුවර රැයෙක, කළුදිය පොකුණ ළඟ, කළු තිඹිරිගහ යටදී, කාලේන ධර්ම දේශණාවක් කර, කළු නැසූ බව සඳහන් කථාව ඔබද අසන්නට ඇත. කළුදිය පොකුණ යනු කෙළෙස් පොදියක් සහිත වූ චිත්තසංථානය උපමා කොට පෙන්වීමකි. කාලේන ධර්ම දේශණාවක් කර, කෙළෙස් බිහිකිරීම උදුරා දැමූ නිසා, බුද්ධ (බු+උද්ධ) නම් විය. මෙහි සඳහන් සියලු තැන්වල ”කළු” යනු කෙළෙස් යන අර්ථයයි. කාලේන යනු කෙළෙස් ප‍්‍රහාණය කිරීමයි.

බුද්ධ දේශණාවේ නිතර භාවිතා කර ඇති කාල, කාලි, කළු, කාලාමා, කළ්‍යාණ, කළණ, කාලේන යන පද කෙළෙස් හා කෙළෙස් ප‍්‍රහාණය කිරීම සම්බන්ධව විස්තර කිරීමට යොදාගත් පද බව නිවැරදිව තේරුම් කර ගැනීමට නොහැකි වීම නිසා අද බොහෝමයක් දෙනා පින්කම් හා කුසල් යන පද දෙකද පටලවා ගෙන ධර්මාවබෝධයෙන් තොරව සංසාර සාගරයේ අතරමංවී ඇති බවත් පැහැදිළිවම පෙන්වා දිය යුතුය.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.