කෙළෙස්, කළු ධර්ම හා කුණු

ආසව, අනුසය ධර්ම, අකුසල්, සමුදය ධර්මය, කළු ධර්ම, පාප කර්ම, කුණු යනාදී විවිධ පදවලින් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළේ කෙළෙස් පිළිබඳවමයි. චිත්ත සංථානය කිළිටි වන්නේ ආගන්තුකව එකතු කරගන්නා උපක්ලේශයන් නිසාමය. මනස මුවහ වී, මොට්ට වන්නේද මේ කෙළෙස් ගති නිසාමය. ”කම්මං කණ්හං කණ්හ විපාකං” ”කම්මං සුක්ඛං සුක්ඛ විපාකං” යනුවෙන් පෙන්වා වදාළ කම්ම කොටස් දෙකම හේතුකොට ගෙන සිතක කෙළෙස් උපදවයි. කළු ධර්ම යනුවෙන්ද කුණු ලෙසින්ද මේ කෙළෙස් නම් කර ඇත.

මාගධී භාෂා ව්‍යවහාරයේ කණ්හ, කාල, කාලං, කාලි, කාලා, ක්ලේසා, කළු යන විවිධ පදවලින් විවිධ තැන්වල කෙළෙස් විග‍්‍රහ කර පෙන්වා දී ඇත. සත්ත්වයාගේ චිත්තසංථානය කිළිටි වන්නටත්, මිනිසාගේ මනස මොට්ටකර මෝහයෙන් මුවහ කරන්නටත් එකම හේතුව කෙළෙස්, චිත්තසංථානයේ ගති ලෙසින් ක‍්‍රියාත්මක වී පැවැතීමයි. සත්ත්වයාගේ මතු උපතට, පැවැත්මට, දුකට හා ජරා මරණයට හේතුවත් කෙළෙස් සහිත වූ සිතක් ක‍්‍රියාත්මකව පැවැතීමයි.

සුව අසුව දහසක් බුද්ධ ධර්මය දේශණා කරමින් සියලුම ලොව්තුරා බුදුවරයින් වහන්සේලා ලෝකයාට පෙන්වා වදාළේ මේ කෙළෙස්, කළු ධර්ම චිත්තසංථානයෙන් බැහැර කර, ඉවත් කර, අස්කර දමන්නට මාර්ගය කියා දීමත් මනස වැසී, මුවහ වී පවතින කෙළෙස් සහමුළින්ම උදුරා දමා නැවත කෙළෙස් මතු නොඋපදින ලෙසින්ම කෙළෙස් මුල් ගළවා දමන්නටත් අනුගමනය කළ යුතු නොවරදින මාර්ගය කියා දීමයි.

සතියෙහි පිහිටා, සතියෙන් යුතුව ක‍්‍රියාකරන යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කරන පුද්ගලයාය අසතියෙන් ක‍්‍රියාකරන, අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කරන දුප්පඤ්ඤස්ස පුද්ගලයාය යැයි කොටස් දෙකකට බුද්ධ දේශණාවේදී මිනිසුන්ව බෙදා වෙන් කර දක්වයි. අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන පුද්ගලයා කෙළෙස්, කෙළෙස් යැයි නොදනී. කෙළෙස් මුල් පිළිබඳවද නොදනී. මෙනෙහි කළ යුතු දේ සහ මෙනෙහි නොකළ යුතු දේ පිළිබඳවද නොදනී.

එවන් පුද්ගලයා අනිච්ච දේ නිච්ච සේම දකී. අනිච්ච ස්වභාවයද නොදනී. දුක්ඛ ස්වභාවයෙන් යුතු දේ සුඛ සේ සැප සේම දකී. අනත්ථ ස්වභාවයෙන් යුතු දේ අත්ථ සේ දකී. අස්මිමානයෙන්, මඤ්ඤතාවයෙන් ක‍්‍රියා කරමින් පංචස්කන්ධයම උපාදානය කරගනී. අසුබ දේ, සුබසේ, සුන්දර සේ දැක උපාදානය කරගනී. නිරන්තරවම යළි යළිත් කෙළෙස් එකතු කරගෙන චිත්තසංථානයද කිළිටි කරගනී.

එවන් පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන කෙනෙකි. අසතියෙන් ක‍්‍රියා කරන්නෙකි. දුප්පඤ්ඤස්ස පුද්ගලයෙකි. කළ යුතු දේ සහ නොකළ යුතුදේ තෝරාබේරා ගන්නට නොදන්නා, මඟ හා නොමඟ නොදත් පෘථග්ජන කෙනෙකි.

යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා කෙළෙස් කෙළෙස් ලෙස නිවැරදිවම හඳුනා ගනී. කෙළෙස් මුල් ද නිවැරදිවම හඳුනා ගනී. කෙළෙස් යනු ප‍්‍රහාණය කළයුතු, වහාම සිතින් ඉවත් කරදමා නිදහස් විය යුතු දෙයක් සේම දකී. කෙළෙස් ප‍්‍රහාණය නොකර භාවිත කිරීමේ ආදීනව හා ආනිසංසද දකී. සම්මා දිට්ඨියට පත්වන්නටත්, යථාභූත ඥාණ දර්ශනය ලබන්නටත්, චතුරාර්ය සත්‍යයන් අවබෝධ කර ගන්නටත් ඔහුට අවස්ථාව ලැබෙයි.

අනිච්ච දේ අනිච්ච බව යථාපරිදි දැනගනී, දැකගනී. ” නිච්ච” සංඥාව සිතින් ඉවත් කරගනී. දුක, දුක සේ යථාපරිදි දැනගනී. දැක ගනී. සුඛ සංඥාව සිතින් ප‍්‍රහාණය කර ගන්නටද හැකිවෙයි. අනත්ථ දේ අනත්ථ බව යථාපරිදි වටහා ගනී. අත්ථ සංඥාව අස්මිමානය, මමත්වය, අත්හරී. අසුබ දේ අසුබ බව දකී. සුබ සංඥාව අත්හරී.

මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නට දන්නා ඔහු මෙනෙහි නොකළ යුතු දේ සිතින් අතහැර ප‍්‍රහාණය කර නිදහස් වන්නටද දැනගනී. අනුගමනය කළයුතු ප‍්‍රතිපදාව ධම්මානුධම්ම ප‍්‍රතිපදාව තේරුම්ගත් ඔහු මග්ගේ මග්ග ඥාණ දර්ශනයද ලබයි. සම්මා දෘෂ්ඨියටද පත්වෙයි. නොබෝ කලකින්ම චතු අරිය සත්‍යයන් අවබෝධ කරගත් අරිය පුද්ගලයෙකු බවටද පත්වෙයි.

මග්ගාමග්ග (මඟ හා අමඟ) ඥාණ දර්ශනයක් නොලැබූ පුද්ගලයා අරිය පර්යේෂණයන් ගැන හෝ අනරිය පර්යේෂණයන් ගැන හෝ වෙන්කොට දැකගන්නට හැකියාවක් නැති කෙනෙකි. කුසල හා අකුසල ගැනද නොදන්නා ඔහු පින් පව් ගැනද යථාවබෝධයකින් ක‍්‍රියා නොකරන්නෙකි. කුසල මූලයන් ගැන හෝ අකුසල මූලයන් ගැන හෝ කිසිසේත්ම යථාවබෝධයක් නැති නිසා කෙළෙස් පිලිබඳ නිසි අවබෝධයක් නැත. බොහෝ විටම කෙළෙස්ද වටිනා දේ ලෙසින් දකී. පින්කම් කිරීමේදී පවා අකුසලයක්ම කරගනී. සංසාර ගැටළුව ගැන කිසිම තේරුමක් ඇත්තේම නැත. තේරුම් ගන්නටද උත්සාහ නොකරයි. මේ ගැටළුව සකස් කරගත්තේ තමන්ම බවවත් ඔහු නොදනී. කෙළෙස් සහිත වූ සිතකින් කටයුතු කරන හැම මොහොතක් පාසාම මේ සංසාර ගැටළුවට යළි යළිිත් තමන් පැටළැවෙන බවක් පවා ඔහු නොදනී. කෙළෙස් තමාගේ සිත තුළම මුල් බැස ගෙන පවතී නම් කිළිටි වන්නේ තමන්ගේම චිත්තසංථානයම බවවත් ඔහු නොදනී. මේ කෙළෙස් නිසා තමාගේ මනස මුවහ වී මොට්ටයකු මෝඩයකු බවට පත්වන්නේද තමන්ම බවවත් ඔහුට නොපෙනෙයි. තමන් අවිද්‍යාවෙන්, තණ්හාවෙන් ක‍්‍රියාකරන පෘථග්ජන පුද්ගලයෙකු බවට පත් වූයේ මේ කෙළෙස් (කුණු) තමාගේ චිත්තසංථානය තුළම ගබඩා වී ඇති නිසා බවද නොදනී. දුක්ඛේ අඥාණං, දුක්ඛ සමුදයේ අඥාණං යනු මෙහි අර්ථයයි.

මෙවන් කෙළෙස් ගති ඇති පුද්ගලයා තමා අපායට යන මාර්ගයේ, දුගතියට යන මාර්ගයේ ගමන් කරන බව නොදනී. අපායට යන මාර්ගය හා සුගතිට යන මාර්ගය වෙන්කොට තෝරා බේරා ගන්නට නොදත් ඔහු සංසාර ගැටළුවෙන් මිදී නිදහස් වන්නට කිසිසේත්ම නොදන්නා කෙනෙකි. දුගතිය වූ අපායත්, සුගතිය වූ කාමලෝකයත් යන දෙකම ඇත්තේ මේ ලෞකික පැවැත්ම තුළම බවත් ලෝකෝත්තර නිවන (නිබ්බාන) යනු මේ සසරට බැඳ තබන බැමි වලින්, කෙළෙස් වලින් මිදී නිදහස්වීම බවවත් ඔහුට තේරුම් ගන්නට නොහැකි වෙයි. ඒ සඳහා සිතන්නට සුදුසු ගැළපෙන මනසීකරණ ශක්තියක් ද ඔහුට නැත.

මිනිසෙකු ලෙසින් අද උපත ලබා ජීවත්වන ඔබ මේ දෙකොටසෙන් කුමන කොටසට අයිති වන්නේද? ඔබ තුළ ඇත්තේ මේ ලක්ෂණ වලින් කුමන කොටසට අයත් ගති ලක්ෂණද? දැන් එකින් එක කාරණයක් කෙරෙහිම ආවර්ජනය කර තමා තුළින්ම තමා ගැනම තමන්ම සළකා බලා තීරණයක් ගන්නට තරම් ඔබ සමත් වේ නම් මේ මිනිසත් බවට පත්වීමේ නිසි ඵල ප‍්‍රයෝජනයක්ද ඔබ ලබා ගත්තා වන්නේය.

කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන් අරිය උත්තමයෙකුගෙන් පරම පවිත‍්‍ර සිරි සද්ධර්මයම අසා දැන තේරුම් ගැනීම මේ සඳහා පළමුවන අවශ්‍යතාවයයි. පරතෝඝෝෂක ප‍්‍රත්‍ය ලැබෙන්නේ ඒ මාර්ගයෙනි. හේතුඵල දහමට බහා ගළපා ක‍්‍රියා කරන්නටත් ඔබට ඒ අනුව පුරුදු විය හැකිය. යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන්නෙකු බවට පත්වීම නිසා සම්මා දාෂ්ඨියට පත් වූවෙකු බවටද පත්වෙයි. එවිට මග්ගේ මග්ග ඥාණ දර්ශනයද ලැබෙයි. දැන් අපායට යන මඟත් දැනගනී. අපායෙන් මිදෙන මඟත් දැනගනී. කාමා ලෝකයත් දැනගනී. නිවනත් දැනගනී. නිවනට යන මඟත් දැක ගනී. චතු අරිය සත්‍යයන්ද අවබෝධ කරගනී.

”අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ” ආදී වශයෙන් විග‍්‍රහ කරන ලද සංසාර දුකට මුල්වන අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහය යථා පරිදි දැන් තේරුම් ගනී. විද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයේදී විග‍්‍රහ කර පෙන්වා දෙන්නේ නිවන නොවන බවත් ඉන් පෙන්වා දෙන්නේ නිවන වසා සිටින නිවනට ප‍්‍රතිපක්ෂ වූ අවිද්‍යාව නිසා සසර බැම්මට බැඳෙන ආකාරයත් බව මනාව දැන් තේරුම් ගනී. අවිද්‍යා නිරෝධ පටිච්චසමුප්පාද විග‍්‍රහයත් තේරුම් ගනී. සංඛාර නිරෝධ කරමින් විඤ්ඤාණ නිරෝධ කරමින්, භව නිරෝධය තෙක්ම නිරෝධ ගාමිණී මාර්ගයම අනුගමනය කළ යුතු බවත් දැන් යථාපරිදි තේරුම් ගනී.

තෙවනුව කුසලමූල පටිච්ච සමුප්පාද ධර්මයත් තේරුම් ගනී. කුණු මුල් ගළවා සිතින් චිත්තසංථානයේ කෙළෙස් අස්කර දමන තුරාවට ”සං” උත්පාදනය වන බවත් දැක කෙළෙස් මුල් ගළවා දමන්නට අනුගමනය කළ යුතු නිවැරදි මාර්ගයම කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන් නිවැරදිව අසා දැන ඒ මාර්ගයම අනුගමනය කර සම්මා විමුක්තියටම පත්විය යුතු බවද තේරුම් ගනී.

මේ අනුව අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීම සත්ත්වයාගේ සංසාර දුකට මුල් වු පළමුවැනි හේතුවයි. අවිද්‍යාව, තණ්හාව, නොදන්නා කම, මෝහය ආදී සියලු ලාමක ගති සිතක දිගින් දිගටම පවතින්නේ අයෝනිසෝමනසිකාරයෙන් දිවි පැවැත්ම පවත්වාගෙන යාම නිසයි.

ධම්මානුධම්ම පටිපදාව අනුගමනය කිරීමෙන්ම යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන මග්ගේ මග්ග ඥාණයෙන් ක‍්‍රියාකරන සම්මා දිට්ඨියටද පත් වූවෙක් බවට පත්විය හැකි එවන් පුද්ගලයා ධම්මචාරී වෙයි. අධම්මචාරී නොවෙයි. සමචාරී පුද්ගලයකු වෙයි. විෂමාචාරී, අසමචාරී ගතිවලින් ඉවත් වෙයි. අකුසල කිරියා වලින් ඉවත් වී, කුසල කිරියාවන්හි යෙදෙන්නෙකු වෙයි. පාප කිරියා වලින් ඉවත් වී, පුණ්‍ය කිරියා කරන්නෙකුද වෙයි. මිච්ජා දෘෂ්ඨියෙන් ඉවත් වූ සම්මා දෘෂ්ඨියට පත් වූ කෙනෙකුද වෙයි

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.