ත්‍රිජ කය

විඤ්ඤාණ ශක්තියෙන් කර්මජ රූප නිපදවා උපතක් ලබන සෑම ප‍්‍රාණියෙකුටම, භූතයෙකුටම, සත්ත්වයෙකුටම කයවල් තුනක් ඇත. අපට පෙනුණත්, නොපෙණුනත් එවැනි හැම සත්ත්වයෙකුටම කරජ කය (සෘතුජ කය), කර්මජ කය හා චිත්තජ කය යැයි මේ කයෙහි කොටස් තුනක් ම පවතී.

කරජ කය(සෘතුජ කය)

වා, පිත්, සෙම් සහිත, මස් ලේ සහිත උපන්දා පටන් වෙනස්කම්වලට, විපරිණාමයට පත්වන කය කරජ කයයි. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාස, විඤ්ඤාණ යන නාම රූප එකතුවෙන් සකස් කර ගත් අපට විද්‍යමානව දැක ගත හැකි කය, කරජ කයයි. ආහාර අවශ්‍ය වන්නේ ජරාවට මරණයට පත්වන්නේ ඒ කයයි. සෘතු විපර්යාස වලට භාජනය වන්නේ, උපන්දා සිට ලොකු මහත් වී වයසට ගොස් මිය යන්නේ, ඒ කරජ කයයි.

කර්මජ කය

කර්මජ කය යනු විඤ්ඤාණය සහිත කරජ කයෙන් නිපදවූ චිත්ත ශක්තීන් ආහාර කොට පවත්වා ගෙන යන කයයි. චිත්තජ රූප වලින් චිත්තජ ශක්තීන්ගෙන් උපදවන සියලුම ශක්තීන් හොඳ- නරක, පින් – පව්, කුසල් – අකුසල් සියල්ල තැන්පත්ව පවතින කර්මජ කෝෂයට කර්මජ කය යැයි නම් කරමු. සත්ත්වයාට මතු උපත ලබන්නට අවශ්‍ය ශක්තිය දෙන්නේ කර්මජ කයෙනි. කර්මජ කෝෂවල ශක්තීන් ගැබ්ව පවතින තුරාවටම, කර්මජ රූපවල විපාක ලබා දෙන නිසා ඒවා ගැබ් කර ගෙන සිටීමට කර්මජ කයක් පවත්වාගෙන යායුතුයි.

උපතක් ලබන්නේ කර්මජ ශක්තීන්ගේ උපකාරයෙන්මය. ඒ උපත ලැබීමට මුල් වූ කර්මජ ශක්තිය ඵල විපාක දී අවසාන වන තුරු කරජ කය පවතින්නේ කර්මජ ශක්තිය බිහි කළ බලවේගය නිසාය. උපතින් ලබා දුන් ශක්තිය පවතිනා තුරු ජීවත් වී ශක්තිය ගෙවී යාමත් සමඟම වැනසී, විනාශ වී යන්නේ කරජ කයයි. කර්මජ කෝෂවල ඵල විපාක දීමට සමත් කර්මජ රූපයන් පවතින තුරු කර්මජ කය පවතී. නිවන් දුටු අරහතුන් වහන්සේටද කරජ කය යටපත් කර ගත්තත්, කර්මජ කය යටපත්කර ගැනීමට ශක්තියක් නැත. කර්මජ රූප ඵල විපාක දී අවසන් වී, ගෙවී ගොස් නිමා කළ පසු නිවන පූර්ණ වීම, පිරිනිවීම සිදුවීමත් සමඟම කර්මජ කයද අවසන් වේ. බුදුපියාණන් වහන්සේගේද සියලු කර්ම ශක්තීන් ඵල විපාක දී අවසන් වන තුරු කර්මජ කය පැවතුණු නිසාම බුදු බවට පත්වීමෙන් පසුවද කර්ම දාහතරක් (14) ඵල දුන් බව සඳහන්ය. ඵල දෙන්නට කර්ම ඉතිරිව නැති නම්, අලුතින් කර්මජ ශක්තීන් නොඋපදවයි නම්, කර්මජ කයට ආහාර නැතිවීම නිසා මතු පැවැතීමක් ද නැති වෙයි. අපවත්වීම සිදු වන්නේ එවිටය.

චිත්තජ කය

චිත්තජ කය මේ දෙකම නොවේ. නමුත් චිත්තජ කයක් නොතිබුණේ නම් කර්මජ හෝ කරජ කයකට රැුඳී සිටීමට එකක් ද නැත. චිත්ත යනු රාග, ද්වේෂ, මෝහ වලින් තොර පිරිසිදු පවිත‍්‍ර තත්ත්වයයි. එවැනි චිත්තය රාග, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ යන සංඛාරවලින් කිළිටි කර, අපිරිසිදු කරන්නේ විඤ්ඤාණයයි. ඒ විඤ්ඤාණයට තම පැවැත්ම සඳහා කරජ කයක් හා කර්මජ කයක් පවත්වා ගැනීම සඳහාම පමණි. සෘතුජ කය හා කර්මජ කය දෙකම දරා සිටින්නේ චිත්තජ කය යටපත් කිරීමෙනි. චිත්තජ කය කවදාවත්, කාටවත් නැති කළ හැකි, අහෝසි කළ හැකි එකක් ද නොවේ. නමුත් කරජ කයෙන් හා කර්මජ කයෙන් නිදහස් වූ චිත්තජ කයට කිසිදු බලාපොරොත්තුවක්, අල්ලා ගැනීමක් හෝ සම්බන්ධයක් අවශ්‍ය නොවන නිසා නැවත උපතක්, පැවැත්මක්ද අවශ්‍ය නොවේ. හිස් අවකාශයේ අන්තර්දහනය වී අක‍්‍රිය වී යයි. ඒ නිසා නිවන් දුටු පසුත්, නිවනින් පසුත් චිත්තජ කය අහෝසි නොවී පවතී. නමුත් කිසිම බලයක් උපද වීමක්, එකතු කිරීමක්, අල්ලා ගැනීමක් නැති විට ක‍්‍රියාත්මක බවින් නිදහස් වී හිස් අහසේ අතුරුදහන් වී යයි. නැවත කිසි දිනක ඒ චිත්තජ කයට කිසි ලෙසකින් ක‍්‍රියාත්මක තත්ත්වයට පත්විය නොහැකිමය.

චිත්තජ කය යටපත් කර ගෙන කර්මජ කය හා කරජ කය ක‍්‍රියාත්මක වනතුරු ජිවත්වීම, පැවැත්ම, උපත, මරණය ආදී නම් වලින් අප හඳුන්වන හේතුඵල පරම්පරාවක ක‍්‍රියාකාරකම් සිදුවෙයි. චිත්තජ රූප නිපදවන්නේ විඤ්ඤාණය සහිත වූ කරජ කයෙනි. කර්මජ කය කරන්නේ විඤ්ඤාණය නිපද වූ චිත්තජ රූප එක් රැුස් කර පෙළ ගස්වා, ශක්තියක් ලබා දී මතු උපතකට ඒවා තැන්පත් කර තබා ගැනීම හා අවශ්‍ය විටක ඒවා ඵල විපාක දීමට ශක්ති ගැන්වීම යි. අලුතින් චිත්තජ රූප එකතු කිරීම නැවැත්වීමත්, කර්මජ කෝෂවල තැන්පත් වී ඇති අතීත කර්මජ ශක්තීන් දවා හැර හෝ සළා හැර, කුණු ශුද්ධ කර ගැනීමත්, විමුක්තිය නැති නම් නිවන් දැකීම ලෙස විස්තර කළ චිත්තජ කය නිදහස් කර ගැනීමයි. චිත්තජ කය පූර්ණ ලෙස කරජ කයෙන් හා කර්මජ කයෙන් නිදහස් කර ගත් පසු, එය නිවන් පූර්ණ කර ගැනීමයි. ඒ සඳහා කළ යුතු එකම දෙය ආසවඛය කිරීමයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.