සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා

සියලුම සත්ත්වයින් ආහාර නිසාම ජීවිතය රැුක ගනී. සමහර සත්ත්වයින් ජීවත්වීමට ආහාර සොයා ගනී. තවත් බොහෝ සත්ත්වයින් ජීවත්වන්නේ ආහාර සොයාගැනීම සඳහාය. බුදුපියාණන් දේශණා කළ ආහාර පිළිබඳ විග‍්‍රහයට අනුව සත්ත්වයෙකු, පුද්ගලයෙකු පරිභෝග කරන ආහාර මූලික කොටස් හතරකට බෙදා වෙන් කර පෙන්වීය.

1.    කබලිංකාර ආහාර    
2.    සංචේතනා ආහාර
3.    ස්පර්ශ ආහාර    
4.    විඤ්ඤාණ ආහාර

මේ සතර වර්ගයේම ආහාර භාවිතයට ගැනීම, ලෝක සත්ත්වයා ලෝකය උරා බීම ලෙසින්ද විග‍්‍රහ කර ඇත. ලෝකය උරා බී, ලෝකය රහ බලන්නටම ජීවත් වන සියලු පෘථග්ජන සත්ත්වයින් මේ ආහාර සතර වර්ගය සඳහාම ජීවත් වෙති. මේ ආහාර නිසාම ජීවත්වෙති. සතර ආකාර වූ සියලු ආහාරයන්හි රස බැලීම පූර්ණ ලෙසින්ම අතහැර, ලෝකය රහ බැලීම අවසන් කරන උත්තමයා අරහත් යන නමින් හැඳින්විය. මෙහි සත්‍ය දැක ගැනීමට ආහාර වර්ග හතර පිළිබඳව සොයා බලා නිවැරදිව තේරුම් ගත යුතු වෙයි.

1. කබලිංකාර ආහාර(ක+බලිං+ආකාර) කබලිංකාර යන පදය කය බලියක ආකාරයට පත් කරන ආහාර යන තේරුම් ඇති පදයකි. කය බලියක් ආකාරයට පත්කරන්නට උපකාර වන සියලුම ආකාරයේ ආහාර මේ කොටසට අයත්ය. කැබලිකර කන ආහාර යන තේරුමක් මෙහි නැත. කටින් ගන්නා සෑම ආහාරයක්ම, පානයක්ම මේ කොටසට අයත්ය. ඊට අමතරව කය බලියක් සේ හැඩ ගන්වන ඇඳුම් පැළඳුම්, මාලා, ගන්ධ විලේපන, කය සැරසීම්, හිස සැරසීම්, පා සැරසීම්, ආදී සියලු ආකාර වූ දේද මෙම කොටසට අයත්ය. රන් රිදී භාවිතයද මීට අයත්ය. රස තණ්හාව නිසා කටින් රස බලන්නට ගන්නා සියලු ආහාර වලින් කයේ ස්වරූපය බලියක හැඩයක් ගන්නා නිසා ඒ සියල්ලද කබලිංකාර ආහාර කොටසටම අයත් වේ.

අරහත් තත්ත්වයට පත්වීම යනු මේ සියලු ආකාර වූ ආහාර රස බැලීම අත්හැරීමයි. ආහාර ගැනීම අත්හැරියා නොවේ. සිවුපසය ගැනීම අත්හැරියා නොවේ. රස බැලීම සඳහා රස තණ්හාව සඳහා ආහාර පරිභෝග කිරීම සම්පූර්ණයෙන්ම අත්හැරීම මෙහිදී සිදු වෙයි. කන බොන ආහාර වළදින්නේ දිවි රැුක ගන්නට මිස, රස විඳින්නට රස බලන්නට නොවේ. සිවුරු පළදින්නේ සීතයෙන්, ඌෂ්ණයෙන් බේරී විළි වසා ගන්නට මිස කය සරසවන්නට නොවේ. කය සතප්පවන්නේ කයට සුවයක්, ප‍්‍රිය මනාප බවක් ලබා දෙන්නට නොවේ. වෙහෙස නිවා ගන්නට පමණි. මේ අනුව කබලිංකාර ආහාරයෙන් වැළකීම යනු කය බලියක් බවට පත්කරවන සියලු ආහාර වලින් වැළකී අත්හැර නිදහස් වීමයි.

2. සංචේතනා ආහාර ”සං” යනු එකතු කිරීමයි. සිතුවිලි, අරමුණු දිගේ රවුම් ගසා යම් ආකාරයක ගති ලක්ෂණ වලට පත්වීම සඳහා සංකල්පනා පැවැත්වීම සංචේතනා ආහාර එකතු කිරීම සඳහා කරන ක‍්‍රියා කිරීමකි. රාග, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ යන ගති හයටම පත් වීමට උපකාර වන සිතුවිලි පැවැත්වීම, සංචේතනා ආහාර ලෙසින් පෙන්වා දිය හැකිය. චිත්තසංථානයේ ගබඩා කර ගන්නට එකතු කරන සියලු ආහාර සංචේතනා ආහාර වේ.

3. ස්පර්ශ ආහාර ඇසට ස්පර්ශ වන රූප, කනට ස්පර්ශ වන ශබ්ද, නාසයට ස්පර්ශ වන ගන්ධ, දිවට ස්පර්ශ වන රස, කයට ස්පර්ශ වන පොට්ඨබ්බ, මනසට ස්පර්ශ වන ධම්ම යන හය ආකාර වූ අභ්‍යන්තර, බාහිර ස්පර්ශයන්ගෙන් හට ගන්නා සියලු මනෝ විඤ්ඤාණයන් ස්පර්ශ ආහාර ලෙසින් සැළකිය හැකිය. රස පහස විඳීම සඳහා කරන සියලු දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත යන ක‍්‍රියාකාරකම් වලින් ස්පර්ශ ආහාර ද උපදවා ගනී. ඒ නිසා ”දිට්ඨේ දිට්ඨ මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති” යන තත්ත්වයට පත්වී හැම ස්පර්ශයක්ම ස්පර්ශ මාත‍්‍රයකට පමණක් සීමා කරගෙන, ආහාරයට නොගෙන, අතහැරීම ලෝකය රහ බැලීම අත්හැරීමයි.

4. විඤ්ඤාන ආහාර ඉහත සඳහන් කළ මුල් තුන් ආකාරයෙන් එකතු කර ගන්නා ආහාරද විඤ්ඤාණය පරිභෝග කරයි. ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ ගති ලක්ෂණ හයම නිසා පිරිසිදු චිත්තය වැසී මුවහ වී පවත්වා ගැනීම විඤ්ඤාණය ආහාර ගැනීම යනුවෙන් අදහස් කළ දෙයයි. මේ ගති ලක්ෂණ සහමුළින්ම නැති වුවහොත් විඤ්ඤාණයට පැවැත්මක්ද නැත. විඤ්ඤාණය පවතින්නේ, ජීවත්වන්නේ යට කී ගති ලක්ෂණයන් හය චිත්තසංථානයේ පවතින තාක් කල් පමණි.

අරහත් තත්ත්වයට පත්වීම යනු මේ ආහාර හතර වර්ගයම රස බැලීමෙන් වෙන්වී, රස බැලීම අතහැර දැමීමයි. ඒ අනුව සියලු රස තණ්හාවලින් ද නිදහස් වේ. හැම පෘථග්ජන මිනිසෙකුටම ලෝකයක් අවශ්‍ය වන්නේ මේ ආකාර වූ රස තණ්හාවක් විඤ්ඤාණයෙහි පවතින නිසාමය. අතෘප්තිකර රස තණ්හාවක් පවතින තුරාවට ලෝකයේ ඌණතාවයක්ද ඇත. එකතු කර ගන්නට දෙයක්ද ඇත. රස බලන්නට කැමැත්තක්ද ඇත.

අරහතුන්වහන්සේ සියලු රස තණ්හාවලින් මිදී ගිය නිසා රස බලන්නට, එකතු කරගන්නට තරම් වටිනා කිසිවක් ලෝකය තුළින් නොදකී. ඇසින් බලා, කනින් අසා, නාසයෙන් ආග‍්‍රහණය කර, කටින් රස බලා, කයෙන් ස්පර්ශයක් ලබා, මනසින් අල්ලා ගන්නට තරම් වටිනා කිසිවක් මේ ලෝකය තුළින් නොදකී. ඒ අනුව අලෝක බවට පත්වීම අරහත් තත්ත්වයට පත්වීමත් සමඟ සිදුවෙයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.