“සම්බුද්ධත්වයට පත්වීම” යන්නෙහි අර්ථය කුමක්ද?

බුද්ධ, සම්බුද්ධ, අභිසම්බුද්ධ, සම්මාසම්බුද්ධ යන ගෞරවණීය පද සියල්ලෙහිම එන ‘‘බුද්ධ’’ යන පදයේ ධර්ම අර්ථය පළමුකොටම තේරුම් කර ගත යුතුය. තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ, ‘‘බුද්ධ’’ තත්වයට පත් වූ සියලු උතුමන් වහන්සේලා බුදුවරයින් වහන්සේලා ලෙසින් ධර්මයේ හඳුන්වයි. මෙහි දී ලොව්තුරා බුද්ධත්වයට පත්වීම, පච්චේකබුද්ධ තත්වයට පත්වීම සහ අරහත්බුද්ධත්වයට පත්වීම යනුවෙන් තුන්තරා බෝධිය හඳුන්වනු ලබයි. බුද්ධ, සම්බුද්ධ, අභිසම්බුද්ධ, සම්මා සම්බුද්ධ යනාදී වශයෙන් අද භාවිතයේ පවතින පදයන් එක පුද්ගලයෙකුට හෝ එක චරිතයකට හෝ විශේෂණයක් වශයෙන් ආරෝපනය කරමින් වැරදි ආකාරයට භාවිතාකරන්නට පටන් ගත්තේ බෞද්ධ සාහිත්‍යය ලියු පෘතග්ජන සාහිත්‍යයකරුවන් විසිනි. එමෙන්ම බෞද්ධ ඉතිහාසය ලියූ පෘතග්ජන මිනිසුන් විසිනි. ඒ ඔවුන් බුදුන්වහන්සේ හෝ බුද්ධත්වය හෝ පරමාර්ථ වශයෙන් දැක හඳුනානොගත් හෙයිනි. නිවන් අවබෝධ කරගත්, සසර දුකෙන් සදහටම මිදී නිදහස් වූ සියලුම උත්තමයින් වහන්සේලා බුද්ධත්වයට පත්වූ සේක.

‘‘ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය’’ මෙයින් අග‍්‍ර වනසේක. එයටද හේතුවක් ඇත. ලෝකය බුදුවරයින් වහන්සේලාගෙන් හිස් වූ යුගයක, අවස්ථාවක, ස්වයං භූ ඥාණයෙන්ම, ගුරු උපදේශ රහිතවම, තමාගේම මනසේ ශක්තියම මතුකරමින් සියලු කෙලෙස් මුල් සහමුලින්ම ගලවා උදුරා දමා උතුම් බුද්ධත්වයට පත්වීම වැදගත්ම සිදුවීමයි. මේ සඳහා තවත් බාහිර ගුරුවරයෙකුගේ ගුරු උපදේශයන් නොලබාම රාග බව, ද්වේෂ බව, මෝහ බව සහමුලින්ම උදුරා ගලවා දමා තමන්ගේ සිත කෙලෙස්වලින් නිදහස් කරගන්නටත්, කෙලෙස් උදුරා ගලවා දමා සසර දුකෙන් සදහටම මිදී නිදහස් වන නිවැරදි මාර්ගය අවශේෂ ලෝකයාට ද ප‍්‍රකාශ කර කියාදෙන්නටත් හැකි ශක්තියක් සහිත වූ උත්තමයා ලොව්තුරා සම්මා සම්බුද්ධ නමින් හඳුන්වයි.

පච්චේක බුද්ධ හෙවත් පසේ බුද්ධත්වයට පත්වන උත්තමයා ද අනුන්ගේ ගුරු උපදේශයක් නැතිවම ස්වයං භූ ඥාණයෙන්ම රාග බව, ද්වේෂ බව හා මෝහ බව උදුරා ගලවා දමා බුද්ධ තත්ත්වයට පත්වෙයි. නමුත් මෙවන් යුගයක, එනම් අබුද්දෝත්පාද කාලයක ‘‘භව’’ උදුරා දමන මෙම ක‍්‍රමවේදය තවත් කෙනෙකුට ප‍්‍රකාශ කර පැහැදිලි කර කියාදෙන්නට නොහැකිවීම නිසා තමන් ස්වයං භූ ඥාණයෙන්ම අවබෝධ කරගත් ධර්මය තමාටම පමණක්ම සීමා වීම නිසා පච්ඡේකබුද්ධ යනුවෙන් මෙම බුද්ධ බව නම් කළහ.

අරහත් බුද්ධ, තත්ත්වයට පත්වන උතුමන්වහන්සේලා ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් ලෝකයාට දේශණාකර පෙන්වා වදාල මාර්ගයම අසාදැන, එ මග අනුගමනය කරමින්, එ ගුරු උපදේශවලට අනුකූලවම කි‍්‍රයාකරමින්, සාස්තෘන්වහන්සේ ගිය මග යමින් කි‍්‍රයාකර රාග බව, ද්වේෂ බව, මෝහ බව සහමුලින්ම උදුරා ගලවා දැමීම කළ නිසා අරහත් බුද්ධ නමින් හඳුන්වයි.

මෙහිදී තුන්තරා බෝධියටම පොදු ලක්‍ෂණය වන්නේ ‘‘භව’’ උදුරා දැමීමයි. එනම් රාග බව, ද්වේෂ බව, මෝහ බව යළි සිතෙහි නොඋපදින ලෙසින්ම රාගක්ඛය කිරීමයි. ද්වේෂක්ඛය කිරීමයි. මෝහක්ඛය කිරීමයි. එනම් මෙතුවක් කාලයක් සසරට බද්ද වන්නට හේතු වූ සසර බැමි තුනම සොයාදැන සහමුලින්ම බැමි කපා දමා බැමිවලින් නිදහස් වීමයි.

මේ අනුව බුද්ධත්වයට පත්වීම යනු සසරට බැඳෙන බානෙන් මිදී නිදහස්වීමයි. එයම ‘‘නිබ්බාන සච්ච කිරියා’’ යනුවෙන් ද හැඳින්වීය.

බුද්ධ (භව+උද්ධ ) යන මාගධී පදයෙන් අර්ථ ගැන්වූයේ මේ ජීවිත පැවැත්ම යලි යලිත් මතු මතුවටත් බිහිකරගන්නට හේතුවන ශක්තිය (භව) හෝ (බව) උදුරා ගලවා ඉවත්කර (උද්්ධ) ඉන් සදහටම මිදී නිදහස්වීම යන්නයි. බෞද්ධයා යනු බව උදුරා දමන්නට කැපවී කි‍්‍රයා කරන කෙනෙකු යන අදහසයි. මෙසේ උදුරා, ගලවා ඉවත් කර දැමිය යුතු (භව) වන්නේ රාග බව, ද්වේෂ බව හා මෝහ බව යන තුන් කෙලෙස් භවයි.

චිත්ත සංථානය තුළ රාග ගති පැවැතීම නිසා රාග බව අලුතින් උපදී. ද්වේෂ ගති පැවැතීම නිසා ද්වේෂ බව අලුතින් උපදී. මෝහ ගති පැවැතීම නිසා මෝහ බව අලුතින් උපදී. රාග අනුසයං අනුසේති, පටිඝඅනුසයං අනුසේති අවිජ්ජා අනුසයං අනුසේති’’, යනුවෙන් ඡඡක්ක සූත‍්‍රයේදී විග‍්‍රහ කලේ මෙසේ අලුතින් අනුසය උපත ලැබීම (බව) යන්නයි. මෙලෙස රාග බව, ද්වේෂ බව, මෝහ බව අලුතින් උපදවා ගනිමින්, ඒවා සාරයි, වටිනවා යනුවෙන් තීරණය කළේ එ පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් නොදැනීම නිසාමය. එසේ ඇත්ත නොදන්නා අවධියකදී මේ ගති හොඳයි. වටිනවා, සාරයි කියා නිච්චසේ, සුඛ සේ සුව සේ සුබ සේ දැක අත්ත සේ ගැනීම කළත් දැන් මේ ගති වල ඇති භයානක කම නිසරු බව, අනාථ වීමට හේතුවන බව යථා පරිදි දැක ගත් ආරිය ශ‍්‍රාවකයා ඒ කෙලෙස් ගති සහමුලින්ම උදුරා අස්කර දැමීමට කැමැත්තෙන්ම කි‍්‍රයා කරන්නෙකු බවට පත් වෙයි.

ගෞතම බෝසත්තුමන් ඇසතු වෘක්‍ෂය පාමුලදී බුද්ධ තත්ත්වයට පත් වූ බව ගිහි පැවිදි සෑම කෙනෙක්ම දන්නා, විශ්වාස කරන කරුණකි. නමුත් මෙතැනදි සිදු වු නියම, නිවැරදි සංසිද්ධිය කුමක්දැයි පරමාර්ථ වශයෙන් තේරුම් නොගැනීම බුද්ධත්වය පිළිබඳව ද තේරුම් නොගැනීමයි. ගෞතම බෝසත්තුමා මේ අවස්ථාවේ මාරයා සමග සටන්කොට මාරයා පරදවා, පසුව පැමිණි තන්හා, රතී, රඟා යන මාර දුවනියන් ද පරාජය කර බුද්ධත්වයට පත් වූ බව බෞද්ධ සාහිත්‍යයේ හා බෞද්ධ ඉතිහාසයේ පෙන්වා දෙන සාමාන්‍ය පිළිගත් ප‍්‍රකාශනයයි. මෙය සම්මත විග‍්‍රහයක්ම පමණි.

බෞද්ධයින් යැයි කියා ගන්නා භක්තියෙන් බුදුන් අදහන බොහොමයක් පෘතග්ජන මිනිසුන් තවමත් දන්නේත්, අදහන්නේත්, අසා දැනගෙන ඇත්තේත්, එමෙන්ම සිතේ ධාරණය කරගෙන ඇත්තේත්, විහාරස්ථානවල හා වෙනත් පූජනීය ස්ථානවල ඇඳ ඇති සිතුවම් ආශ‍්‍රයෙන් කලාකරුවෙකු, සාහිත්‍යකරුවෙකු මතුකර පෙන්වා දුන් පරිදි, බුදුන් වහන්සේ මාර පරාජය කිරීමේ කථාව මිස නියම නිවැරදි බුද්ධත්වයට පත්වීම පිළිබඳව නොවේ. හුදී ජන පහන් සංවේගය ඇති කිරීම සඳහා කලාකරුවා සාහිත්‍ය කරුවා විසින් කරන ලද මෙවන් නිර්මාණයන් මොන්ටිසොරි පන්තියේ මට්ටමට දැනුමක් ඇති බාලයන් හට ගැලපෙතත් නිවන් මාර්ගයට අනුගත වන්නට උත්සාහ දරණ බුද්ධ ශ‍්‍රාවකයින්ට මෙය නොගැලපෙයි.

මාරයා, වසවර්ති මාර පුත‍්‍රයා, නමැති සැඩ පරුෂ රෞද්‍ර පුද්ගලයෙකු සමග බෝසත්තුමා යුද වැදුණු බවත්, බෝසත්තුමන්ට අනේකාකාර වූ බාධා පැමිණ වූ බවත්, වද දුන් බවත්, මේ රුදුරු සටන දුටු දෙවියන් බ‍්‍රහ්මයින් පවා බයේ පලා ගිය බවත් චිත‍්‍රයකට මවා පෙන්වන්නේ බෞද්ධ සාහිත්‍ය කරුවාය. කළාකරුවාය. එමෙන්ම තරුණ රූමත් තරුණියන් තුන්දෙනෙකු පැමිණ බෝසත්තුමන් ඉදිරියේ රඟපෑමක් කළ බව පවසන්නේත් සාහිත්‍යකරුවා සහ කලා කරුවාය.

බෞද්ධ සාහිත්‍යකරුවා, කලා කරුවා මෙන්ම චිත‍්‍ර ශිල්පියා ද බෞද්ධ ඉතිහාසය ලියු බොහෝ ගත්කතුවරුන් ද බුද්ධ චරිතයක් ගොඩ නගන්නට උත්සාහ කළ බව පැහැදිලිවම පෙන්වා දිය යුතුය. නමුත් පරමාර්ථ වශයෙන් බුද්ධ ධර්මයේ හරය ලෙස පෙන්වා දුන් බුද්ධත්වයට පත්වීම යනු මීට හාත්පසින්ම වෙනස් සිද්ධියකි. මෙය අධ්‍යාත්මික විපරියාසයකි. සිත හා මනස මුල්කරගෙන චේතෝ විමුක්තිය හා ප‍්‍රඥා විමුක්තියට පත්වීමකි. මෙවන් අධ්‍යාත්මිකව සිදුකරගත් විශුද්ධියක්, විමුක්තියක් පෙන්වා දෙන්නට අපොහොසත් වූ කලාකරුවා බාහිර වශයෙන් යුද්ධයක් කරමින් මාරයා පරාජය කළ බව බුද්ධාගම් පොත්පත් වල ලියා තබා කුඩා දරුවන්ට උගන්වන ආකාරය නොමග යවන සුළු දර්ශනයකි. මෙම සාහිත්‍ය කරුවාගේ හා කලාකරුවාගේ සංකල්ප වලින් මිදී නිදහස්ව සිතා බුද්ධත්වයට පත්වීම යන්න පිළිබඳව යථාභූතඥාණ දර්ශනයක් ලබාගන්නට බෞද්ධයින් හැටියට අප උත්සාහ දැරිය යුතුය. කුඩා කාලයේ ඉගෙනගත් මේ අද්භූත අභව්‍ය දේ මිය යනතුරුම සිතෙහි දරාගෙන සිටින බොහෝ පෘතග්ජන පුද්ගලයින් අදටත් අප අතරම ජීවත් වෙයි.

චිත‍්‍ර ශිල්පියා, කලාකරුවා, සාහිත්‍යකරුවා මෙන්ම ඉතිහාසඥයා ද “බුද්ධත්වය” පිළිබඳව ආගම් අදහන්නන්ට, භක්තිවන්තයින්ට, ගැලපෙන ආකල්පයකින් බුද්ධ චරිතය දෙස බලන්නට මිනිසුන්ව පුරුදු කරන නමුත්, යථාවාදී තථාකාරී ලෙසින් පටු ආකල්ප වලින් ඔබ්බට ගොස්, පදපරම සම්මතයෙන් මිදී, පරමාර්ථ වශයෙන් බුදුන් දැක ගන්නට උත්සාහ නොකිරීම බලවත් වරදකි. අප බෞද්ධයින් හැටියට, නිවන් මාර්ගය සොයා යන්නන් හැටියට, හැම විටම අලුත් විධියකට සිතා බලා පරමාර්ථ ධර්මයම අවබෝධ කරගන්නට උත්සාහ දැරිය යුතුය.

“යෝ පටිච්ච සමුප්පාදං පස්සති
සෝ ධම්මං පස්සති
යෝ ධම්මං පස්සති
සෝ මං පස්සති”

යන බුද්ධ භාෂිතයෙන් මෙය මොනවට පැහැදිළි කරදෙයි. මෙහි තේරුම යමෙක් බුදුන් දකින්නට නම් පටිච්ච සමුප්පාද ධර්මය නමැති හේතුපල ධර්මය පසක් කොට දැකගත යුතුය. මේ පදවැල් කියවීම හෝ පදපරම ලෙසින් එය දැන ගැනීම හෝ පමණක්ද මේ සඳහා ප‍්‍රමාණවත් නොවේ.

‘‘බුද්ධ’’ යන මාගධී පදයේ අර්ථය විග‍්‍රහ කර පෙන්වන්නට උත්සාහ කරන බොහෝමයක් සිංහල භාෂාව උගත් උගතුන් මේ සඳහා අවබෝධය (බුද්ධ=අවබෝධය) යන පදය යොදා ගෙන ඇත. තවත් තැනකදී බුද්ධිය – බුද්ධිමත් යන පදය ද මේ සඳහා යොදාගෙන ඇත. බුද්ධ (භව+උද්ධ) (භු+උද්ධ)යන පදවල ධර්ම අර්ථය වන්නේ උගත්කම, බුද්ධිමත්කම හෝ අවබෝධය යන සිංහල පදවලින් විග‍්‍රහ වන අර්ථය නම් නොවේ. එය වැරදි විග‍්‍රහයකි. බුද්ධ, බුද්ධං, බුද්ධෝ යනාදී මාගධී පදවලින් විග‍්‍රහ වන්නේ ‘‘භව උදුරා දැමූ’’ යන අර්ථයයි. එනම් රාග බව, ද්වේෂ බව, මෝහ බව (කෙලෙස් භව) උදුරා දැමු යන අර්ථය එහි ඇත.

බුද්ධිමත් යන පදයෙහි අර්ථය වන්නේ භව+වෘර්ධිය යන්නයි. ලෝකය සකස්කර දිගටම පවත්වාගෙන යන්නට නම් රාග බව, ද්වේෂ බව හා මෝහ බව වර්ධනය කරගත යුතුයි. භව වෘර්ධිය (බුද්ධිය) නිසා මිනිසුන් බුද්ධිමත් යන තත්වයට පත්වෙයි. එනම් මත්වීමේ ස්වභාවයකි. භව (බව) යන පදයෙහි බිහිකිරීමට උපකාර වන, යන අර්ථයක් ඇත. එමෙන්ම භව යනු බීජ අවස්ථාව ලෙසින් ද පෙන්වාදිය හැකිය. උප්පජ්ජති යන අවස්ථාවට පෙර අවස්ථාව ‘‘භව’’ අවස්ථාවයි. බීජ අවස්ථාවයි.

පුද්ගලයෙකුගේ සත්වයෙකුගේ ඉපදීම පැවැත්ම, ජීවත්වීම මෙන්ම පංචස්කන්දයන් උපාදානය කරගැනීම යලි යලිත් මතු මතුවටත් සිද්ධ කරන්නේම, නිර්මාණය කරන්නේම පි‍්‍රය දේට ඇලෙන රාගබව, අපි‍්‍රය දේට ගැටෙන ද්වේෂ බව හා පි‍්‍රය අපි‍්‍රය අතර මනින (මානය) මුලාබව (මෝහබව) යන මූලික ගති ලක්‍ෂණයන් තුනම තම තමන් තුළම කි‍්‍රයාත්මක වන හෙයිනි. මේ ගති ලක්‍ෂණයන් තුනම පෘතග්ජන පුද්ගලයෙකුගේ සිතක් තුළ නිරන්තරවම උපත ලබන, නිර්මාණය වන, සමුදය වන ගති නිසාම මේවා ‘‘භව’’ යන පදයෙන් ද විග‍්‍රහ කර පෙන්වා දුන්හ. ‘‘උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති’’ යනුවෙන් පටිච්ච සමුප්පාද විග‍්‍රහයේදී මෙය පැහැදිලි කර පෙන්වා දී ඇත.

රාග ගතිය පවතිනා තුරාවට සිතක යලි යලිත් ‘‘රාග බව’’ උපදින බවත්, ද්වේෂ ගතිය පවතින තුරාවට සිතක යලි යලිත් ‘‘ද්වේෂ බව’’ උපදින බවත්, මෝහ ගතිය සිතක පවතින තුරාවට යලි යලිත් ‘‘මෝහ බව’’ උපදින බවත්, ධර්මයේ පෙන්වා දී ඇත. මේ අනුව රාග ගති හා රාග බව යනු එකක්ම නොවේ. ගති හා භව යනු අවස්ථා දෙකකි. රාග ගතිය සිතක් තුළ තැන්පත් වූ ඇතුළට ගත් දෙයකි. ‘‘ගති’’ යනු ගන්නවා, ගත්තා, තැන්පත් කරගත්තා යන අර්ථයයි. ‘‘බව’’ යනු අලුතින් බිහිකර, නිර්මාණය කර ගන්නවා යනුයි. යලි යලිත් අලුතින් නිර්මාණය කර නොගත්තේ නම් ‘‘භව’’ අනුත්පාද නිරෝධ වෙයි. යලි නොඋපදියි. මේ අනුවම ද්වේෂ බව හා මෝහ බව යන පදවලින් ද අර්ථ ගැන්වෙන්නේ අලුතින් බිහිකර නිර්මාණය කර ගත්තා යනුයි. ‘‘පුනබ්බවෝ’’ ‘‘යායං තන්හා පුනබ්බවෝ’’ ‘‘නත්‍ථි දානි පුනබ්බවෝ’’ යනාදි වශයෙන් පෙන්වා දුන්නේ මෙසේ අලුතින් නිර්මාණය කිරීම හා නිර්මාණය කිරීම නැවැත්වීම පිළිබඳවයි. මේ නිසා භව, සංභව, පුනබ්බව ආදී සියලුම පදවල අර්ථය අලුතින් බිහිකර නිර්මාණය කර ගැනීමයි. මෙසේ අලුතින් නිර්මාණය කර ගන්නා දේ රාග අනුසය, පටිඝ අනුසය අවිජ්ජා අනුසය ලෙසින් ද ධර්මයේ පැහැදිලි කර දී ඇත.

ජීවත්වීම, පැවැත්ම දිගටම පවත්වාගෙන යාම, පිළිබඳව යම් අවබෝධයක් පමණක් ලැබු පුද්ගලයා පෘතග්ජන පුද්ගලයෙකි. චතු අරිය සච්චයන් පිළිබඳව සත්‍යාවබෝධය (සච්චිකිරියාය) ලබා ‘‘බව උදුරා දැමු’’ පුද්ගලයා බුද්ධත්වයට පත් වූ උත්තමයායි. අවබෝධය හා සත්‍යාවබෝධය යන පද දෙකෙහි අර්ථයන් ද වෙනස්ය. අවබෝධය යන්න ලෝකය පිළිබඳව යම් විෂයානුබද්ධ දැනුමක් ලැබ ගැනීමයි. සත්‍යාවබෝධය යනු ලෝකය විද බලා ලෝකයෙන් එතෙර වන්නට හැකි ශක්තිය ලබා ගැනීමයි. මේ අනුව අවබෝධය යන්න ලෞකික වූත් නිවනට ප‍්‍රමාණවත් නොවුත් දැනුමකි. මහාචාර්යවරයෙකුගේ දැනුම අවබෝධයයි. සෝතාපත්ති ඵලයට පත්වුවෙකුගේ දැක්ම සත්‍යාවබෝධයයි. මේ දෙක සමාන කළ නොහැකිමය.

මේ අනුව රාග බව, ද්වේෂ බව, මෝහ බව සිතින් උදුරා ඉවත් කර දැමීමේ ඥාණයන්ම බුද්ධ ඥාණයන් වේ. රාග බව, මෝහ බව, ද්වේෂ බව උදුරා දමන බලයම බුද්ධ බලය වෙයි. රාග බව, ද්වේෂ බව, මෝහ බව සහමුලින් උදුරා දමා ලබන විමුක්තියම ප‍්‍රඥා විමුක්තිය වේ.

පටිච්ච සමුප්පාද ධර්මය නොදැන, යථාපරිදි පටිච්චසමුප්පාද විග‍්‍රහයේ තිපරිවට්ටයම තේරුම් නොගෙන, චතුරාර්ය සත්‍යයන් අවබෝධ කර ගත නොහැකිය. භව නිරෝධ කර, ජාති නිරෝධ කළ නොහැකිය. සම්මා අංගයන් තේරුම් ගත නොහැකිය. සම්මා දිට්ඨියට පත්වීම හෝ සම්මා සමාධියට පත්වීම හෝ සම්මා ඥාණ ලැබීම හෝ සම්මා විමුක්තියට පත්වීමට හෝ හැකිවන්නේ පටිච්චසමුප්පාද විග‍්‍රහයේ කුසලමූල උද්දේසය නිවැරදිවම දැන අනුගමනය කිරීමෙන්ම පමණි.

සම්මා සම්බුද්ධත්වයට පත්වීම නමැති අසිරිමත් සිදුවීම සිදුවන්නේ අරිය පර්යේෂණයක යෙදෙමින්, සංඛාර නිරෝධ කර, භව උදුරා ඉවත්කර අස්කර දමන්නට කි‍්‍රයාකිරීම මගින්ම පමණි. ‘‘භව නිරෝධෝ ජාති නිරෝධෝ’’ යන්න මෙහිදී සම්පූර්න කරගත යුතුය.

සම්මා සම්බුද්ධත්වයට පත්වන සියලුම උත්තමයින් (තුන්තරා බෝධියෙන්ම) ආර්ය අට්ඨාංගික මාර්ගය සම්පූර්ණ කරගෙන, සම්මා ඥාණ ලබාගෙන (බුද්ධ ඥාණයන්) සම්මා විමුක්තියට පත්විය යුතුමය. මේ සඳහා සම්මා දිට්ඨියම මුල් වේ. (සම්මා දිට්ඨි පුබ්බංගමා) අරිය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කරගත් පසුව පමණක් නවවැනි අංගය වූ සම්මා ඥාණ එනම් බුද්ධ ඥාණයන් ලැබෙයි. ඒ බුද්ධ ඥාණයන් ලැබු උත්තමයා කෙලෙස් මුල් උදුරා දමයි. මෙහිදී සඳහන් වන බුද්ධ ඥාණයන් යනු භව උදුරා දමන යන අර්ථය ගෙන දෙන බුද්ධ ඥාණයෝයි. කෙලෙස් උපත ලබන මුල් වන්නේ රාග බව, ද්වේෂ බව හා මෝහ බව යන මුල් තුනයි.මෙසේ කෙලෙස් මුල් උදුරා දැමු පසුව පමණක් සම්මා විමුක්තිය නමැති දස අංගයම සම්පූර්ණ වී අරහත් ඵලය ක්‍ෂාත් ක්‍ෂාත් කරගනී.

‘‘බෝධිසත්ව’’ යන අවස්ථාවේදී භව උදුරා දමන්නට උපකාර වන පරියේෂණයන් කරමින්, ඊට අවශ්‍ය වන්නා වූ කරුණු කාරණා සොයමින් සිටින අවස්ථාවයි. බුද්ධත්වයට පත් වූ බුදුපියාණන් වහන්සේම වරක් මේ බව ප‍්‍රකාශ කර ඇත. (සංයුත්ත නිකාය – නගර සූත‍්‍රය) ‘‘පුබ්බේව මේ භික්ඛවේ සම්බෝධා, අනභිසම්බුද්ධස්ස, අසම්බුද්ධස්ස, බෝධිසත්තස්සෙව, සතෝ එතදහෝසිං නිච්චං වතායං ලෝකෝ ආපන්නෝ ජායති ච, ජීයති ච, මීයති ච, චවතිච, උප්පජ්ජති ච, අථ ච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති’’

බුද්ධත්වයට පත්වූ පසුව, තමන් වහන්සේම බුද්ධත්වයට පත්වන්නට පෙර බෝධි සත්වයන් ලෙසින් අවබෝධ කරගන්නට බැරිවූ බොහෝ දේ දැන් යථාභූත ඥාණයෙන් ප‍්‍රත්‍යක්‍ෂ කර දැක ගත් බව මෙයින් පැහැදිලි කරයි.

‘‘පුබ්බේච මේ සම්බෝධා’’ යනුවෙන් ප‍්‍රකාශ කලේ සම්බුද්ධත්වට පත්වන්නට පෙර තමන්වහන්සේ අසම්බුද්ධ විය. අනභිසම්බුද්ධ විය. බෝධි සත්තස්ස විය. එනම් භව උදුරා නොදැමූ, භව උදුරා දමන්නට නොදත්, භව උදුරා දමන මග සොයමින් ගිය කෙනෙකු පමණක් විය යන්න මෙහි තේරුමයි. හේතුඵල ධර්මය ගැන පූර්ණ අවබෝධයක් නොතිබූ බවත් (නප්පජානිති) උපත, ජිවත් වීම, පැවැත්ම, මියයාම වැනි දේ හේතුවක් නිසාම සිදුවන හේතුඵල දහමටම අදාල බව යථාභූත ඥාණයෙන් අවබෝධ කර ගන්නට අසමත් වූ බවත් ප‍්‍රකාශ කළහ. සියලුම ලෝකසත්වයා මේ ජීවිත පැවැත්මෙන් මිදී නිදහස්වන්නට නොදැන, ඉන් මිදිය නොහැකි ආකාරයෙන්ම, උගුලකට අසුවී සිටී. යලි යලිත් උගුලටම අසුවීම මිස ඉන් මිදී නිදහස්වීමට මගක් නොදනී (නප්පජානාති) උපතක් ලබයි. ජීවත්වෙයි. දුක් විඳියි. මිය පරලොව යයි. සැප හඹාගොස් දුකම උරුම කරගැනීමක් විනා වෙනත් කිසිදු හරයක් මේ ජීවිත පැවැත්ම පවත්වාගෙන යාමේ නැති බව තේරුම් ගන්නට බැරිවීමම මේ උගුලෙන්ද මිදී නිදහස් වන්නට බැරි වීමයි.

මෙවන් සියළුම ප‍්‍රශ්න වලට, ගැටලු වලට මුල් වූ හේතුව වන්නේ ඇස, කණ, නාසය, දිව කය හා මන යන ආයතනයන් හයෙන්ම පි‍්‍රයමනාප දේවලට සම්බන්ධවීමයි. බැඳීමයි. ආලය, ආදරය, ඇලීම, තන්හාවීම, උපාදානය කර ගැනීම ආශාව, ලෝභකම යනාදී පද වලින් විග‍්‍රහ කර පෙන්වා දෙන ලද්දේ පි‍්‍රය වින්දනය, ආස්වාදය යලි යලිත් විඳවීමේ, පිනවීමේ අවශ්‍යතාවයයි. කැමැත්තයි. මනාපයයි. එයම රාගී බවට පත්වීමට හේතුව ද වෙයි. ලෝභ බව, තන්හා බව මේ නිසාම සිතක උපත ලබයි. මෙවන් වූ රාග බව, ලෝභ බව, තන්හා බව සිතින් උදුරා ගලවා දමා උපේක්‍ඛා සිතක් ඇති කර ගැනීම දුක නැති කර ගැනීමේ නිවැරදි මාර්ගයයි. එයම බව උදුරා දමා බුද්ධ බවට පත්වීමයි. මෙසේ සසරට බැඳ තබන බැමි නිර්මාණය කරන රාග බව, ලෝභ බව, ද්වේෂ බව, මෝහ බව මිනිසෙකුට මනස මෙහෙයවා තම සිතින්ම උදුරා ඉවත්කර දමා නිදහස්වීමේ මාර්ගයක් ක‍්‍රමවේදයක් නැත්නම් බුද්ධත්වයට පත් වූ බුදු කෙනෙක් ලෝකයාට මෙවන් බුද්ධ ධර්මයක් දේශනා කරන්නේ ද නැත. මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව ප‍්‍රායෝගික කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කිරීමෙන්ම සිතින් ගලවා උදුරා දමා ඉන් නිදහස් විය හැකි නිසාම බුද්ධ ධර්මය දේසනා කර ලෝකයාට නිවැරදි මග පෙන් වූ සේක.

පෘතග්ජන ලෝකයා රාගයෙන් මත් වී, ද්වේෂයෙන් මත් වී, මෝහයෙන් මත් වී මානයෙන් මත්වී කි‍්‍රයාකරන ධර්මතාවයක් ලොවපවතී. පි‍්‍රය, අපි‍්‍රය දේවල්වලට මෙසේ මත්වී කි‍්‍රයා කරන පෘතග්ජන ලෝකයාට සංසාර දුකෙන් මිදී නිදහස් වන නිවැරදි මාර්ගයක් ගැන හිතා ගන්නට වත්, කල්පනා කරන්නටවත් ශක්තියක් හෝ හැකියාවක් නැති වන්නේ ඔවුන් රාග ද්වේෂ මෝහ ගති නිසා මත වී, උන්මත්තකයින් ලෙසින් කි‍්‍රයා කරන්නට වීම නිසාය. ‘‘සබ්බේ පෘතග්ජනා උන්මත්තකා’’ යැයි පැවසුවේ එ නිසාය. මේ අනුව පෘතග්ජන ලෝකයා සැප හඹායන නමුත් එසේ සැප සොයා හඹායන්නේ තමන්ම මත්වීමේ ප‍්‍රතිඵලයක් නිසාම බව ඔවුන්ට තේරුම් ගත නොහැකිය. මේ අනුව ප‍්‍රශ්නයෙන් මිදී දුකෙන් නිදහස් වන්නට කල්පනා කරන හැම විටකම පෘතග්ජන ලෝකයා යළිත් කරන්නේම තව තවත් පංචස්කන්ද ලෝකයම උපාදානය කරගෙන අලුතින් තව තවත් ප‍්‍රශ්න හා ගැටලු වලට පටලැවීමයි. මෙය අවිද්‍යාවයි. නොදන්නා කමයි. දුකෙන් මිදී නිදහස් වන්නට තාවකාලිකව යොදන සියලුම පිළියම් යලි යලිත් බහුල ලෙසම දුකටමපත් කරවන ආකාරයේ එ්වාමය. මේ නිසා දුකට මුල්වු හේතුවම සොයා දැන ‘‘භව’’ උදුරා දැමීම මගින්ම නිබ්බාන ගාමී විය යුතුය.

රාග බව, මෝහ බව, ද්වේෂ බව උපදින්නේම සිතකය. අලුතින් මෙසේ උපත ලබන ‘‘භව’’ උදුරා ඉවත් කරන්නට කි‍්‍රයා කිරීම බෝධි පාක්‍ෂික ධර්මයන් සම්පූර්ණ කිරීමට කි‍්‍රයා කිරීමයි. බෝධිසත්ව තත්වය එයයි.

 2. භව නිරෝධෝ ජාති නිරෝධෝ

මාගධී බුද්ධ භාෂිතයේ පෙන්වා වදාල භව (සංභවං, සමුදය, සංභූතං) යන පදයන් හා ජාති (උප්පජ්ජති, උදය, උත්පත්ති) යන පදවල අර්ථය නිවැරදිව තේරුම් ගත යුතුය.

නූතන ගිහි පැවිදි බොහෝ උගතුන් ලියු හා පරිවර්තනය කළ බොහොමයක් සිංහල පොත් පත් වල භවය ( බවය) යනුවෙන් වැරදියට පදයක් ලියා දක්වා භාවිතා කරන අතර මාගධී භාෂාවේ භවය (බවය) යනුවෙන් ලියා පදයක් භාවිතා කර නැති බව පෙන්වා දිය යුතුය. ‘‘උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති’’ යනුවෙන් පෙන්වු තැනට ‘ය’ යන්නක් එකතුකර ලිවීම හෝ කියවීම ද වැරදිය. එය බුද්ධ ධර්මය විකෘති කිරීමකි.

බුද්ධ දේශනාවේ භව, සංභව (බීජ) යන පදවලින් පෙන්වුයේ හෝ අදහස් කලේ උපත හෝ ජාති හෝ නොවේ. මේ පදයෙන් (භව) විග‍්‍රහ කළේ කර්ම බීජ අවස්ථාවයි. එනම් උපතට පෙර අවස්ථාවයි. බීජයක් සකස් නොවුන හොත් පැලයක් උපද්දවිය නොහැකිය. පටිච්ච සමුප්පාද විග‍්‍රහයේ එන ‘‘උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති’’ යනුවෙන් පෙන්වා වදාල ආකාරය ඉතාම පිරිසිදුව තේරුම් ගත හැකිය.

‘‘යායං තන්හා පොනොභවිකා, පුනබ්බවෝති’’ මේ ආදි පදවලින් ද පෙන්වා දුන්නේ ‘‘භව’’ (බීජ) අවස්ථාවයි. මෙහි අර්ථය නම් යමක් යලි යලි උපත ලබන්නේම බීජ නිපදවන නිසාමය යන්නයි. බීජ බිහි නොකරන අවස්ථාවක උපතක් සිද්ධ විය නොහැකිය. (නත්‍ථි දානිපුනබ්බවෝ) මේ අනුව පුනරුත්පත්ති කථාවක් බුද්ධ ධර්මයට නොගැලපේ. පුන පුනා ‘භව’ බිහිවීම පුනබ්බවෝති යන්නයි. එය බුදු දහමට ගැලපෙයි.

කර්ම බීජ සිතක් තුළ උපත ලැබීමේ ක‍්‍රමය තමන් තුළින්ම තේරුම් ගෙන, කර්ම බීජ සහමුලින්ම උදුරා ගලවා දමා යලි කර්ම බීජ නොඋපදින ලෙසින්ම (අනුප්පාද ලෙසින්) සිත පිරිසිදු කරගැනීම සඳහා භව උදුරා දැමිය යුතුය. මෙසේ භව උදුරා දැමු බුදුපියාණන් වහන්සේම මෙවන් ප‍්‍රකාශයක් කර වදාලහ.

“ඥාණංච පනමේ දස්සනං උදපාදි,
අකුප්පා මේ චේතෝ විමුක්ති අයමන්ති මා ජාති,
නත්‍ථිදානි පුනබ්භවෝ’’

තමන් තුළ මතු මතුත් ජාති උපදවා ගන්නා බීජ ශක්තිය දැන් නැති බවත්, බිහි කිරීමේ ශක්තිය වූ ‘භව’ මුලින්ම උදුරා අස්කර දැමු බවත්, එ අනුව යලි උපතක් නොලබන අතර මේ තමන්ගේ අවසන් උපතයි යන්න ද මෙහි දී ප‍්‍රකාශ කළ සේක.

මේ අනුව සංසාර දුකෙන් මිදී නිදහස්වන්නට නම් මතු උපතක් (ජාති) ලැබීම, අවසන් කළ යුතුය. උපතට මුල් වූ හේතුව වන්නේ ‘භව’ සකි‍්‍රයව පැවතීමයි. භව යලිත් බිහි කිරීම (බීජ සකස් කිරීම) නවතා දැමු පසුව, භව උදුරා දැමු පසුව, යලි සසරට බැඳෙන බැමි ද සකස් නොවේ. මෙය බුද්ධ තත්ත්වයට පත්වීමයි.

භව උදුරා දමන්නට උපකාර වන කි‍්‍රයාකාරකම් – කරණීය ධර්ම – තේරුම් ගෙන එය කි‍්‍රයාත්මක කිරීම භව+උද්ද වශයෙන් පෙන්වා දුනි. බෞද්ධ යනුවෙන් මෙය සම්මත භාෂාවේ සඳහන් වෙයි. කරණීය ධර්ම කරන, අකරණීය ධර්ම නොකරන පුද්ගලයා බෞද්ධයෙකි.

භව උදුරා දැමු පසුව එය අතීතයට ගිය අතීත දෙයක් වේ. භූ+උද්ද බුද්ධ යන මෙම අතීතකාල පදය භාවිතා වන්නේ භව උදුරා දැමු උත්තමයින් සඳහාම පමණි.

ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් උපායාස ආදී සියල්ලම උපතක් සිද්ධවීමත් සමගම උරුම වන පලවිපාකයන්ය. මේ සියලු ආකාර වූ දුක් කන්දරාවෙන්ම නිදහස් වන්නට නම් උපත නම් වූ හේතුවෙන්ම නිදහස් විය යුතුමය. උපත සිදුවන හැම විටකම ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් එ් සමගම උරුම වෙයි. උපතට ද නියත වූ, මුල් වු හේතුවක් ඇත. උපතට හේතුව කර්ම බීජ නිපදවීම හා නිපද වූ බීජ සකි‍්‍රයව පැවැතීමයි. කර්මබීජ යනුවෙන් අදහස් කලේ කෙලෙස් ගතීන්ය. කෙලෙස් ගති රඳා පවතින්නේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළම ඇති මනෝමය කය තුළය. මේ අනුව තමන්ගේම මනෝමය කය තුළ ගබඩා වී පවතින කෙලෙස් ගති නිවැරදිවම දැන හඳුනාගෙන එ කෙලෙස් ගතීන් උදුරා දමා යලි කෙලෙස් බව නොඋපදවන්නටම උපකාර වන ප‍්‍රතිපදාව අනුගමනය කිරීමෙන් භව උදුරා දැමීම ද සිද්ධ වෙයි. මෙසේ කෙලෙස් ගති සහමුලින්ම උදුරා දමා යලි කෙලෙස් නොඋපදින තත්ත්වයට පාරිශුද්ධ වූ උත්තමයා බුද්ධත්වයට පත් වූ උත්තමයෙකි. ලොව්තුරා බුද්ධ, පච්චේක බුද්ධ, අරහත් බුද්ධ යන කුමන තත්ත්වයකින් බුද්ධත්වයට පත්වුවත් ‘‘භව උදුරා දැමීම අනිවාර්යයෙන්ම සිදුකරගත යුතුමය. භව උදුරාදමා ඉන් නිදහස් වු සියලුදෙනාම අරහතුන්වහන්සේලාය. ප‍්‍රඥා විමුක්තියට පත් වූ අයය. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් ආර්යයන්වහන්සේලාය. සංසාර රිය ගමන ඉදිරියටත් පැවැත්වීම නවතා දැමුවන්ය.

‘‘චර’’ බව අවසන් කළ නිසා කාමාවචර ලෝකවල හෝ රූපාවචර ලෝකවල හෝ අරූපාවචර ලෝකවල හෝ යලි නොඋපදියි. මේ නිසාම ‘‘විජ්ජාචරණ සම්පන්න’’ නමින් ද හඳුන්වයි. කාමාවචර යනු කාම ලෝකවල සැරි සැරීමයි. රූපාවචර යනු රූපලෝකවල සැරි සැරීමයි. අරූපාවචර යනු අරූපී ලෝකවල සැරි සැරීමයි.

මෙහිදී රාග විරාග කර, අවිජ්ජා විහතා කර, තමෝ විහතා කර, විජ්ජා අධිගතා, විජ්ජා උදපාදි, අලෝකෝ උදපාදි යන ශුද්ධ වූ තත්ත්වයට ද පත්වෙයි. චර බව නවතා දැමීම ‘‘චරණ’’ යන්නෙහි තේරුමයි.

භව උදුරා දමා බුද්ධත්වයට පත්වූ උතුමන් ‘‘විරජං වීතමලං’’ යනුවෙන් ද බුද්ධ දේශනාවේ හඳුන්වයි. මෙහිදී විරජං යනු හය ආකාර වූ රජස් උදුරා ගලවා ඉවත් කිරීමයි. රාගය උපදින්නේම රජස් උපදින නිසාමය. මලං යනු මලකඩ කා මොට්ට වීමයි. මෝහයයි. වීතමලං යනු කෙලෙස් කපා බැමි සිඳ දමන්නට උපකාර වන ආකාරයෙන් මනීන්ද්‍රිය පන පෙවීමයි.

බුද්ධත්වයට පත්වූ ගෞතම බුදුපියාණන්වහන්සේ එදා පස්වග මහනුත් ඇතුළු පිරිසට ධම්මචක්කපවත්වන සූත‍්‍රය දේශණා කරන අවස්ථාවේදී එය ශ‍්‍රවණය කළ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගෙන, පටිච්චසමුප්පාද ධර්මයද අවබෝධ කරගෙන, දහම් ඇස පහදාගෙන සම්මා දිට්ඨියටම පත්වූහ. මෙසේ දහම් ඇස පහදා, දස්සනේන සංපන්නවීමට උපකාර වූ දැක්ම – සම්මා දිට්ඨිය – ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. ධම්මෝ සංදිට්ඨිකෝ, සම්මදක්ඛාතා යන තත්ත්වයන්ට පත්ව – ‘‘යං කිංචි සමුදය ධම්මං, සබ්බත්තං නිරෝධ ධම්මං’’ යන්න ද යථාපරිදි දැකගත්හ.එනම් සමුදය යන්න තේරුම් ගෙන – ‘සං’ දැක සමුදය නිරෝධ කළ යුතුය යන ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්ව සම්මා අංගයන් අටම යථා පරිදි තේරුම් ගත්හ.

බඹයක් පමණ වූ මේ ශරීර කූඩුව ආශ‍්‍රයෙන්ම තුන්ලෝකයම පවතින බවත්, එ කාමලෝක, රූපලෝක, අරූපලෝක නමැති තුන්ලෝකයම උපද්දවා ගන්නේ රාග අඳුර, ද්වේෂ අඳුර හා මෝහ අඳුර නිසාම බවත් බුදුපියාණන් වහන්සේ පැහැදිලිව පෙන්වා වදාලහ.

රාග විරාග කර, අඳුර විහතා කර, (තමෝ විහතා) විජ්ජා අධිගතා යන තත්ත්වයට පත්වීමේදී මෙවන් වූ ලෝක අඳුර දුරුවී අලෝකෝ උදපාදි වෙයි. විජ්ජා උදපාදි වෙයි. පඤ්ඤා උදපාදි වෙයි. අලෝකෝ උදපාදි යනු තුන්ලෝක අඳුරම දැක, තේරුම් ගෙන කෙලෙස් අඳුර දුරු කිරීමයි. භෞතිකවූත්, ලෞකිකවූත් මේ තුන්ලෝකයම නිර්මාණය කරගත්තේ තන්හාව හා අවිද්‍යාව පවතින නිසාය. අඳුර නිර්මාණය කරගන්නේ කෙලෙස් ගති (ආසව, අනුසය) උපදින තාක්කල් පමණි. රාගය, ද්වේෂය, මෝහය යන ගති තුනම තම සිත තුළම මුල්බැස ගෙන පවතින බව තේරුම් ගෙන මේ ගතිතුනම සහමුලින්ම උදුරා ඉවත්කර දැමීම ‘‘භව’’ උදුරා බුද්ධ බවට පත්වීම. තම චිත්තසංථානය තුළ උපදින, කි‍්‍රයාත්මක වන, පැලපදියම් වන මේ වැරදි සහගත වූ කෙලෙස් ගති තුන වෙනත් බාහිර කිසිවෙකුට වත් උදුරා ඉවත් කර දමන්නට නොහැකි බවත්, තමන්ටම එය උදුරා ඉවත්කර දමන්නට හැකි බවත්, මනා කොට තේරුම් ගත් පුද්ගලයා අරිය ශ‍්‍රාවකයෙකු, සද්ධස්ස කුලපුත‍්‍රයෙකු බවට ද පත්වෙයි.

3. බුද්ධත්වයට පත්වන සියළුම උත්තමයින් පහත සඳහන් කරනු ලබන ගුණාංගවලින්ද පරිපූර්ණ වෙයි.

1. බුද්ධ තත්වය, බුද්ධ බව, යනු තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් බුද්ධත්වයට පත්වීමයි. භව උදුරා අස්කර දැමීමයි. ලොව්තුරා බුදුපියාණන් වහන්සේලාත්, පසේ බුදුවරුන් වහන්සේලාත්, සියලුම අරහත් බුදුවරුන් වහන්සේලාත් ‘‘භව උදුරා දැමු’’ – සියලු කෙලෙස්බැමි කපා සිඳ දැමූ උතුමන්ය. එ නිසාම බුද්ධ නම් විය.
2. බුද්ධත්වයට පත්වූ උතුමන් වහන්සේලා හැම කෙනෙක්ම චතුරාර්ය සත්‍යයන් මනාකොට අවබෝධ කරගත් ආර්යයන් වහන්සේලා වෙති. දුක්ඛේ ඥාණං, දුක්ඛ සමුදයේ ඥාණං දුක්ඛ නිරෝධේ ඥාණං, දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ඥාණං යන අරිය සත්‍යයන් හතරම මනාකොට අවබෝධ කරගෙන ආසය, අනුසය යනු කිමැයි තේරුම් ගෙන, ආසව සමුදය වන ආකාරය දැක, ආසය, අනුසය නිරෝධ කරන්නට කි‍්‍රයාකර, ආසය අනුසය නිරෝධ ගාමිණි ප‍්‍රතිපදාව ජීවිත කාලය තුළම කි‍්‍රයාත්මක කරන උතුමන් වෙයි. එ නිසාම බුද්ධ නම් විය.
3. ආර්ය අට්ඨාංගික මාර්ගය, ලෝකෝත්තර නිවන් මාර්ගය ලෙසින්ම අවබෝධ කරගෙන සම්මා දිට්ඨියේ පටන් සම්මා සමාධිය තෙක්ද, සම්මා ඥාණ, සම්මා විමුක්ති යන බුද්ධ ඥාණ, විමුක්ති ඥාණ දර්ශනය යථාපරිදි අවබෝධ කරගත් උතුමන් වෙයි. (ලෞකික අට්ඨාංගික මාර්ගයකුත් පවතින බවත්, එ නිවනට ප‍්‍රමාණවත් නොවෙන බවත්, එ ලෞකික සම්මා අංගයන් ආමිස සහිත වූ පුන්‍යභාගී වූ, යලි පලවිපාක උරුම කර දෙන (උපධිවිපක්ඛා) බවත්, යථාපරිදි තේරුම්ගෙන ලෝකෝත්තර ආර්ය අට්ඨාංගික මාර්ගයම සොයා දැන අවබෝධ කරගත යුතුයි.) මේ අනුව ‘‘සම්මා’’ අංග (10) සම්පූර්ණ කරගැනීම බුද්ධ බවට පත්වීමයි.
4. උභතෝ භාග විමුක්තියම සම්පූර්ණ කරගත් උතුමන් බුද්ධ බවට පත්වූ අයයි. චේතෝ විමුක්තිය නම් වූ රාග විරාග කිරීමත්, ප‍්‍රඥා විමුක්තිය නම් වු අවිජ්ජා විහතා කරමින් විජ්ජා අධිගතා තත්ත්වයට පත්වීමත්, උභතෝ භාග විමුක්තියට පත්වීමයි. මෙතැනදී ලබන චේතෝ විමුක්තිය අකුප්පාචේතෝ විමුක්තියයි. ප‍්‍රඥා විමුක්තිය නිසාම අකුප්පා චේතෝ විමුක්තියද ලබාගනී. විමුක්ති ඥාණ දර්ශනය ලැබීම විවට්ටේ ඥාණ දර්ශනය පහලවීම, පටිපස්සදි ඥාණ දර්ශනය ලැබීම ප‍්‍රඥා විමුක්තිය ලැබීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් ක්‍ෂාත් ක්‍ෂාත් කරගනී. මේ අනුව උභතෝ භාග විමුක්තිය සම්පූර්ණ කර ගැනීම බුද්ධ බවට පත්වීමයි.
5. තුන්තරා බෝධියක් අතරින් එක්තරා බෝධියකින් බුද්ධත්වයට පත් වූ සියලුම උතුමන් ‘‘ති‍්‍ර විද්‍යා අධිගතා’’ විය. ති‍්‍ර විද්‍යාලාභීන් විය. පුබ්බේ නිවාසානුස්සති ඥාණය, චූතූපපාද ඥාණය, ආවසක්ඛයේ ඥාණය යන බුද්ධ ඥාණ තුන ති‍්‍රවිද්‍යා යන්නට අයත්ය. අභිඥාලාභී, අනාර්ය ධ්‍යානලැබු, කිසිවෙකුට හෝ මෙම ති‍්‍රවිද්‍යා ඥාණ නොලැබෙයි. අෂ්ඨ අභිඥාලාභීයෙකුට උවත් ති‍්‍රවිද්‍යා ඥාණයන් ලබා ගැනීමට නොහැකිවී නම්, නැවත නැවත අපාගත වන්නට, සසර සැරිසරන්නට සිදුවෙයි. ති‍්‍රවිද්‍යා ඥාණයන් ලබාගත හැකි වන්නේ බුද්ධ තත්වයට පත්වීමෙන්මය.
6. බුද්ධ තත්ත්වයට පත්වෙන සියලුම ආර්යයන් වහන්සේලා සතර මාර්ගයන් අනුගමනය කරමින්, ගමන් මග පසුකර, සතර පලයන්ටම පත්වූ උතුමන් වෙයි. සෝතාපන්න මාර්ගය පසුකර සෝතාපත්ති ඵලයට පත්වුහ. සකදාගාමී මාර්ගය  අනුගමනය කර සකදාගාමී ඵලයට පත්වූහ. අනාගාමී මාර්ගය අනුගමනය කරමින් අනාගාමී ඵලයට පත්වීය. අරහන්ත මාර්ගය අනුගමනය කරමින් අරහත් ඵලයට පත්වීය. මේ සතර මාර්ගයන්ම දැන, මාර්ගයන් අනුගමනය කරමින් සතර ඵලයන් ක්‍ෂාත් ක්‍ෂාත් කරගැනීම අනිවාර්යෙන්ම බුද්ධ බවට පත්වීම යනුවෙන් ද පෙන්වා දිය හැකිය. භව උදුරා දමා යලි උපතක් නොලබන තත්වයටම පත්වන්නට නම් (නත්‍ථි දානි පුනබ්භවෝ) සතර ඵලයන්ගේම අධිගමනය සම්පූර්ණ කරගත යුතුමය.
7. රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං – : පුද්ගලයා සත්වයා, දෙවි බඹුන් පවා, සසරට බැඳ තබන, බද්ධ කරන බැමි තුන රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්මයි. පෘතග්ජන ලෝකයා තම ඉන්ද්‍රියයන් පිනවීමේදී ලෝකය උරාබීමේ කි‍්‍රයාවලිය කි‍්‍රයාත්මක කරන තුරුම මේ බැමි තුනම යලි යලිත් තමන්ම සකස් කරගනී. නිර්මාණය කරගනී. මේ බැමි තුනම කපා ඉවත්කර සිත නිදහස් කර ගැනීමෙන් ම නිබ්බාන තත්ත්වයට ද පත්වෙයි. බැමි තුනෙන්ම නිදහස්ව, බැමිතුනම කපා දැමීම භව උදුරා දැමීම – බුද්ධත්වයට පත්වීම යනුවෙන් ද බුද්ධ ධර්මයෙහි පෙන්වා දෙයි. යලි යලිත් සසර බැමි අලුතින් සකස් නොකරන පුද්ගලයා බුද්ධ නම් වේ.
8. බුද්ධත්වයට පත්වීම යනු සත්තිස් (37) බෝධිපාක්‍ෂික ධර්මයන්ම අවබෝධ කර ගැනීමයි. ‘‘බෝධිපාක්‍ෂික’’ යන පදයෙන් විග‍්‍රහවන්නේ බුද්ධ පාක්‍ෂික – භව උදුරා අස්කර දමන්නට උපකාර වන ධර්මය කොටස් 37කට බෙදා පෙන්වා දීමයි. සතර සතිපට්ඨානයන් වැඞීම, සතර සම්මප්ප‍්‍රධාන වැඞීම, සතර ඉර්ධිපාද ධර්මයන් සම්පූර්ණ කරගැනීම, පංච ඉන්‍ද්‍රිය ධර්මයන් මතුකර ගැනීම, පංච බල ධර්මයන් බලගැන්වීම, සත්ත බොජ්ජංග (භව උද්ධ කරන ධර්ම බොජ්ජංග නම්වේ.) ධර්මයන් සම්පූර්ණ කරගැනීම හා ආර්ය අට්ඨාංගික මාර්ගය (සම්මා අංග) සම්පූර්ණ කරගැනීම මෙසේ අනුපිළිවෙලින් පූර්ණකරගත යුතු ධර්මයෝය. මේ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් සෑම එකකින්ම සිද්ධ කරගත යුතු වන්නේ තම සිත තුළම උපත ලබන කෙලෙස් ගති (භව) උදුරා ඉවත්කර අස්කර දමන්නට උපකාර වන ප‍්‍රතිපදාව ප‍්‍රායෝගික වශයෙන්ම අනුගමනය කරමින් බුද්ධ බවට පත්වීමයි. යලි යලිත් කෙලෙස් නොඋපදින ආකාරයෙන්ම කෙලෙස් මුල් උදුරා දමා තම සිත හා මනස යන දෙතැනම පිරිසිදු කර ගැනීමයි.
9. I සීල – සතර සංවර සීලය II සමාධි – සමථ, විපස්සනා – අනුපස්සනා වැඞීමෙන් සංසිඳවීම හා III පඤ්ඤා – සංමා අංග අට සම්පූර්ණ කර ගැනීම මගින් ද යමෙකු බුද්ධත්වයට පත්වෙයි. මේ අනුව සීල, සමාධි, පඤ්ඤා යන ති‍්‍රශික්‍ඛා සම්පූර්ණ කර ගැනීම මගින් ද භව උදුරා දමා බුද්ධත්වයට පත්විය හැකිය. ‘‘සං’’ දැක ධම්මෝ සංදිට්ඨිකෝ – සම්මදක්ඛාතා – සම්මා දිට්ඨි යන තුන් ආකාර වූ ශික්‍ඛා සම්පූර්ණ කරගත හැකි වන්නේ ‘‘සං’’ තේරුම් ගත් පමණටමය. මේ අනුව සීල, සමාධි, පඤ්ඤා යන ති‍්‍ර ශික්ඛා සම්පූර්ණ කර ගැනීම ද බුද්ධත්වයට පත්වීමය.
10. පංචකාම නීවරණ ධර්මයන් තම සිතින් ගතෙන්,කි‍්‍රයාවෙන් සහමුලින්ම ඉවත් කර දැමීම ද බුද්ධ බවට පත්වීමයි. නිබ්බානගාමී වීමයි. පෘතග්ජන ලෝක සත්වයාට නිවන් අවබෝධ කරගත නොහැකි වන සේ නිවන ආවරණය වී පවතින්නේමමෙම පංචකාම නීවරණධර්මයන්ගෙන් නිවන ආවරණය වී පවතින හෙයිනි. කාමච්ඡුන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්චිතාවය යන මේ ධර්මතාවයන් පහ නිසාම කෙනෙකු තම නිවන වසාගෙන සසර දුක් විඳිමින් නොනවත්වාම ගමන් කරයි. ‘‘චර’’ බවට පත්වෙයි. මේ අනුව පංචකාම නීවරණ ධර්මයන් සහමුලින්ම ඉවත්කර දැමීම ද බුද්ධත්වට පත්වීමයි.

මෙම පංචකාම නීවරණ ධර්මයන් නිසා යමෙකුගේ සිතක් කිලිටි කර අඳුරු කරයි ද ඔහු පංචස්කන්ද ලෝකයම සාරයි කියා උපාදානය කරගනී. යලි යලිත් කෙලෙස් ගති සිතේ උපත ලැබීමත් සමගම සංසාර ගමන පවත්වාගෙන දිගින් දිගටම සසර ගමනේ ගමන් කරන්නට අවශ්‍යවන විඤ්ඤාණ ශක්තිය, විඤ්ඤාණ බීජ නිපදවා ගනී. බුද්ධ බවට පත්වීම යනු මේ පංචකාම නීවරණ ධර්මයන් සහමුලින්ම සිතින් උදුරා ගලවා ඉවත්කර අස්කර දමා යලි එවන් පංචකාම නීවරණ ධර්මයන් තම සිත තුළ නොඋපදවන්නටම අවශ්‍ය ප‍්‍රතිපදාව අනුගමනය කිරීමයි. දස සංයෝජනයන් ප‍්‍රහාණය වන්නේ මේ අනුවමයි.

මෙම කරුණු කාරනා දහය ගැනම ගැඹුරින් සිතා බලා තේරුම්ගන්නා විට ඔබට අවබෝධ විය යුතු වැදගත්ම දෙයක් ද මම මෙතැනදී ඔබට පැහැදිලි කර දෙන්නෙමි. මේ කරුණු කාරනා දහය තුළ කොතැනක හෝ ධ්‍යාන ගැන හෝ අභිඥා ගැන හෝ සෘධිපාතිහාර්ය ගැන හෝ කසින භාවනා ගැන හෝ ධ්‍යාන සම්පූර්ණ කරගැනීමේ අවශ්‍යතාවයක් ගැන හෝ පෙන්වා දී නැති බව තේරුම් ගත යුතුය. යම් කෙනෙක් ධ්‍යාන ලැබීමට, අභිඥා ලැබීමට, ඉර්ධිප‍්‍රාතිහාර්ය පෑමට, බ‍්‍රහ්මත්වයට පත්වෙන්නට බලාපොරොත්තු වෙමින් යම් මාර්ග ප‍්‍රතිපදාවක් අනුගමනය කරන්නේ නම් එවන් දේ ලබාගත හැකි වන අතර එ් මගින්ද නිවන් මග වැසී යටපත් වන්නේය. මේ අනුව තේරුම් ගතයුතු වැදගත්ම කාරනය වන්නේ ධ්‍යාන හෝ අභිඥා හෝ ලබාගැනීම, බුද්ධ බවට පත්වීමට, මගඵල ලබාගැනීමට අනිවාර්යයෙන් අවශ්‍ය වූ අංගයක් නොවන බවයි.

බුද්ධත්වයට පත්වන්නට පෙර බෝසත් වූ ගෞතම බුදුන්වහන්සේ ද අනාර්ය ධ්‍යානයන් අටටම පත්වීය. අභිඥාලාභියෙකු ද විය. නමුත් තමන් එ් වන විටත් අභිසම්බුද්ධත්වයට පත්නොවූ, අනභිසම්බුද්ධ වූ බෝධිසත්තස්ස පමණක් වූ බව බුද්ධත්වයට පත් වූ පසුව බුදුපියාණන් වහන්සේම ප‍්‍රකාශ කර ඇත. (භය භේරව සූත‍්‍රය) ධ්‍යානයන් ලැබීම, අභිඥා ලැබීම, චේතෝ විමුක්තියට පත්වීම, සමාධි ලැබීම මෙන්ම ඉර්ධිප‍්‍රාතිහාර්යයන් පෑම ගෞතම බුදුපියාණන් බුද්ධත්වයට පත්වන්නට පෙරත් ජීවත් වූ මිනිසුන් අතරේ ප‍්‍රායෝගිකවම පිළිගත්, භාවිතයේ පැවතුන දේවල්ය. නමුත් කෙලෙස් (බව) උදුරා දමා බුද්ධත්වයටපත්වීමේ ක‍්‍රමයක් එ් කිසි අභිඥාලාභියෙකු දැන නොසිටියහ. මේ අනුව රාග, ද්වේෂ ගතිදෙක තාවකාලිකව යටපත් කරගෙන ලෞකික වශයෙන් යම්කිසි ලෞකික සුවයක් ලබාගන්නා ක‍්‍රම වේදයක් පෙර පටන්ම ලෝකයා භාවිතා කළහ. දැන සිටියහ. එය තාවකාලික සුවයකි. මීට පෙර බුද්ධ සාසනයන් පැවති යුගයන්හිදී ද මිනිසුන් රාග බව, ද්වේෂ බව, මෝහ බව සහමුලින්ම උදුරා අස්කර දමා බුද්ධත්වයට පත්ව සිටිබව සමහර මිනිසුන් අසා දැන සිටියහ. නමුත් එ සඳහා අනුගමනය කළයුතු නියම නිවැරදි මාර්ග ප‍්‍රතිපදාව භාවිතයෙන් ඉවත්ව ධ්‍යාන ලැබීමේ අභිඥා ලැබීමේ ක‍්‍රමයක් පමණක් භාවිතයේ පැවතුනි. ගෞතම ශ‍්‍රමණයන් වහන්සේ සොයා දැන ලෝකයාට දේශනාකර වදාලේ භව උදුරා දමා නිදහස් වන ක‍්‍රමවේදයයි.

පෙර බුද්ධ සාසනයන්හි මෙන්ම මේ ගෞතම බුද්ධ සාසනය ද යම් සීමිත වූ කාල පරාශයක් තුළ පමණක් භාවිතයේ පැවතී ක‍්‍රමයෙන් ධර්මය අභාවිතයට ගොස් බුද්ධ බවට, අරහත් බුද්ධ බවට පත්වීමේ නිවැරදි ක‍්‍රමවේදය ද මිනිසුන් අතරින් අභාවයටම පත් වන්නේමය.

නමුත් මේ පදවැල් පදපරම ලෙස භාවිතයේ පවතින්නේය. අනුරාධපුර යුගයේ අගභාගයේ මෙන්ම පොලොන්නරු යුගයේ දී ද තාවකාලිකව අභාවයට ගිය බුද්ධ සාසනය දේව ආගම් සංකල්ප වලට යටවි සහමුලින්ම බුද්ධ ධර්මය යටපත් වී ආගමක් පමණක් බවට පත්වීම පැහැදිලිව පෙන්වා දිය හැකිය. මෙසේ තාවකාලිකව යටපත්ව තිබු බුද්ධ සාසනය එනම් බුද්ධ තත්වයට පත්වීමේ නිවැරදි ප‍්‍රතිපත්ති මාර්ගය, යලි මතු කර භාවිතයට ගන්නේ ද තවත් මිනිසෙකු විසින්මය. දෙවියෙකුට, බ‍්‍රහ්මයෙකුට හෝ වෙනත් අමනුස්සයෙකුට හෝ සත්වයෙකුට හෝ බුද්ධ සාසනයක් මතු කරමින් අවශේෂ ලෝකයාටත් බුද්ධ තත්වයට පත්වීමේ නිවැරදි මාර්ගය මතුකර පෙන්වාදීමේ හැකියාවක් හෝ ශක්තියක් ලැබෙන්නේ ද නැත.

4. බුද්ධං, ධම්මං, සංඝං

1. ‘‘ගච්ඡාමි සරණං බුද්ධං
ගච්ඡාමි සරණං ධම්මං
ගච්ඡාමි සරණං සංඝං’’

2. ‘‘නත්‍ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං, නත්‍ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං, නත්‍ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං,’’ මාගධී භාෂාවෙන් දේසනා කරන ලද මේ ප‍්‍රකාශණ දෙකම බුද්ධ ශක්තිය යනු කුමක්දැයි තේරුම් ගන්නට උපකාර වන පරිදි අර්ථ විග‍්‍රහ කර තේරුම් ගත යුතුය. මේ ප‍්‍රකාශණ දෙකෙහිම පෙන්වා මතුකර දුන් බුද්ධ, ධම්ම, සංඝ යන ති‍්‍රවිධාකාර රත්නයන්ම උපකාර කරගත යුතු වන්නේ සසර සැරිසැරීම නවතා දැමීමටය. සසර බැමි උදුරා ගලවා ඉවත් කර දැමීමම මෙහි අවධාරණයෙන් ප‍්‍රකාශ කර ඇත. චර, සර, සැරි සර, ආදි පදවලින් මාගධී භාෂාවේ පෙන්වුයේ සංසාර ගමන සාරවත් එකක් සේ දැක දිගින් දිගටම සසර පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන කි‍්‍රයාකාරකම් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස උරුම වන ගමන් කිරීමයි. බුද්ධ, ධම්ම, සංඝ යන ති‍්‍රවිධ රත්නයම මිනිසෙකු විසින් උපකාර කරගත යුතු වන්නේ ජීවිත පැවැත්ම තුළ යලි යලිත් උපත ලබන කෙලෙස් ගති (පුනබ්භවොති) උපද්දවීම නවතා දමන්නටය. කෙලෙස් ගති සහමුලින්ම උදුරා ඉවත් කර දමා දුක් සහගත පැවැත්ම අවසන් කරන්නටය. සමුදය තේරුම් ගෙන නිරෝධය ක්‍ෂාත් ක්‍ෂාත් කර ගන්නටය. එනම් චතුරාර්ය සත්‍යයන්ම අවබෝධකර ගන්නටය.

කාමාවචර, රූපාවචර, අරූපාවචර යන තුන්ලෝකය තුළම පවතින්නේ ‘‘චර’’ බවකි. ගමන් කිරීමේ ස්වභාවයකි. ‘චර’ බව යනු නොනවත්වාම යන ගමනක යෙදෙන ස්වභාවයකි. මේ නොනවත්වාම යන ගමන යන්නට (රිය ගමනට) – යම් ශක්ති ප‍්‍රභවයක් අවශ්‍ය වෙයි. ‘සං’ සාරයි කියා දකින තුරාවටම මේ ශක්තිය බිහිවෙයි. සංසාර ගමන යාමේදී දුක නිර්මාණය කර දෙයි. දුකෙන් සදහටම මිදී නිදහස් වන්නට නම් යලි යලිත් උපත් ලබ ලබා මැරි මැරී යන සංසාර ගමන (චර බව) ‘චරණ’ බවට පත්කර, ගමන අවසන් කළ යුතුය. ‘චර’ යනු ගමන් කිරීමයි. ‘චරණ’ යනු ගමන නැවැත්වීමයි. මේ අනුවම ‘සර’ යනු ගමන් කිරීමයි. ‘සරණං’ යනු ගමන් කිරීම නැවැත්වීමට අවශ්‍ය කි‍්‍රයාකාරකම් කිරීමයි. මේ නිවැරදි කි‍්‍රයාකාරකම් කිරීමෙන් භව උදුරා දැමිය යුතුය. භව උදුරා (බුද්ධ) අස්කර දැමීම මගින් ‘චරණ’ බවට පත්වීම ද සිදුවෙයි. මේ සඳහා අවශ්‍ය මාර්ග ප‍්‍රතිපදාව සොයා දැන මග අනුගමනය කිරීම ‘ගච්ඡාමි’ යන පදයෙන් පැහැදිලි කරයි. මේ අනුව ‘‘ගච්ඡාමි සරණං බුද්ධං’’ යැයි බුද්ධ දේසනාවේ ප‍්‍රකාශ කල දේ පරමාර්ථ ධර්මයක් ලෙස දැක ගත් විට ‘‘සසර සැරිසැරීම නවතා දැමීමට භව උදුරා ඉවත් කරන මග අනුගමනය කළ යුතුය’’ යන්න අවබෝධ වේවි.

‘සං’ සාරයි කියා, සාරවත් සේ මෙතෙක් කලක් දුටුවේ, සම්බන්ධතා ඇති කරගත්තේ, රාග බව ද්වේෂ බව, මෝහ බව කි‍්‍රයාත්මක වීමේ ප‍්‍රතිඵලයක් හැටියටයි. මේ ගතිවල නිස්සාරත්වය, අසාරත්වය රිසි සේ, මනාප සේ පවත්වන්නට, නවත්වන්නට නොහැකි බව යථාපරිදි දැකගත් පසුව එ ගති තුනම යලි යලිත් බිහිකිරීම නවතා දමා ‘‘විජ්ජා චරණ සංපන්න’’ තත්ත්වයට පත්වීමම ගච්චාමි සරණං බුද්ධං යන පදවලින් ද ගම්‍ය වෙයි. ‘‘චර’’ බව පවතින්නේ ‘‘භව’’ උදුරා දමන තෙක් පමණි. භව උදුරා දැමු උත්තමයා චර බව නවතා දමා ‘‘චරණ’’ තත්වයට පත්වූවෙකි.

මේ ආකාරයෙන්ම හේතුඵල ධර්මයට බහා ගලපා බලා, විනයට සසඳා බලා ‘‘චර’’ (අනරිය) තත්ත්වයට හේතු පාදක වූ හේතුඵල පරම්පරාවෙන් ද මිදී නිදහස් වීම ‘‘ගච්ඡාමි සරණං ධම්මං’’ යන්නෙහි අර්ථයයි. මෙතැන ධම්මං යනු හේතුඵල ධර්මය – පටිච්ච සමුප්පාද ධර්මයම දැනගෙන අනුගමනය කිරීමයි. පටිච්ච සමුප්පාද ධර්මය යථාපරිදි පසක් කොට දැකගත් කෙනෙකුට මිස, නිවන් අවබෝධ කරගන්නට උපකාරවන, සමුදය නිරෝධ කරන්නට උපකාර වන, උතුම් බුද්ධ ධර්මය දැකගත් කෙනෙකුයැයි පැවසිය නොහැකිය. බුද්ධ ධර්මය පෙන්වා වදාල මාර්ගය අනුගමනය කිරීම තුළින් රාග බව, ද්වේෂ බව මෝහ බව උදුරා දමා නිදහස් වන්නට හැකි ශක්තියක් ලැබෙන්නේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද කි‍්‍රයාවලියෙහි ආදීනව ආනිසංස දැක කුසලමූල පටිච්චසමුප්පාද කි‍්‍රයාවලියෙන් කෙලෙස් මුල් උදුරා දැමීමෙනි. මේ නිසා ධර්මය උපකාර වන්නේ ද ‘‘චර’’ බව අවසන් කර ‘‘චරණ’’ තත්වයට පත්වීමටය.

ඒවාගේම ‘‘ගච්ඡාමි සරණං ‘සංඝං’ යන්නෙහි ධර්ම අර්ථය වන්නේ, ‘සං’ දැක, ධම්මෝ සංදිට්ඨිකෝ යන තත්ත්වය තේරුම්ගෙන සංවලින් මිදී නිදහස්වන්නට ‘සං’ ගසා බිඳ හැර නිදහස් විය යුතුය යන්නයි. මේ අනුව ‘සංඝ’ යන පදය ‘සං’ (රාග, ද්වේෂ, මෝහ) ගසා බිඳ හැර දැමු යන තේරුම ඇති පදයකි. සම්මා දිට්ඨියට පත්වීම සිදුවන්නේ ද සමුච්චේද ප‍්‍රහාණයෙන් ‘සං උදුරා’ දැමීමෙනි. සංඝ යන පදයෙහි යොදාගත් ‘ඝ’ (ඝංඨාර) ගයන්නෙන් අදහස් කරන්නේ යමක් ගහල බිඳල කපා දමා සිඳ දැමීම යන්නයි. සාමාන්‍ය භාවිතයේ එන ‘ග’ යන්න භාවිතා කරන්නේ යමකට ගෑවීම හාවීම යන අර්ථය විග‍්‍රහ කරන්නටයි. සංගණිකා දෝෂය යනු සාරවත් දේ එකතුකර ඊටම හාවී සිටීම ගැවී සිටීම යන අර්ථයයි. ඇලීමේ, ගැටීමේ, උපාදානය කරගැනීමේ දෝෂය සංගණිකා දෝෂයයි.

‘‘නත්‍ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං, ධම්මෝ මේ සරණං වරං, සංඝෝ මේ සරණං වරං’’ ආදි වශයෙන් එන මාගධී පදවලින් ප‍්‍රකාශවන ධර්ම අර්ථය මේ අනුසාරයෙන්ම තේරුම් ගත යුතුය. ‘සරණං’ යනු (චරණ) චර බව නැවැත්වීම සසර සැරි සර බව නැවැත්වීම යන අර්ථයෙනි.

1. භව උදුරා දැමීම මගින් ‘චර’ බව අවසන් කළහැකිය. එ් රාග භව, ද්වේෂ බව හා මෝහ බව උදුරා ඉවත් කර දැමීමයි. ”බුද්ධෝ” යනු භව උදුරා දැමු යන්නයි. බුද්ධං යනු භව උදුරා දැමීමේ කි‍්‍රයාවලියේ නිරත වීමයි.
2. හේතුපල ධර්මයට බහා ගලපා බලා විනයට සසඳා බලා කුණු සලා හැරීම මගින් චර බව අවසන් කරමින් චරණ තත්ත්වයට පත්විය හැකිය. එ් ධම්මෝ මේ සරණං යන්නයි.
3. සංවර වී සංසිඳුවා සම්මා තත්ත්වයට පත්වීම ‘සංඝෝ’ යන තත්ත්වයට පත්වීමයි. එ සංඝං සරණං යන්නයි. නමුත් අද වනවිට බුද්ධ භාෂිතයේ එන මෙම පදවැල් වලට පදපරම අර්ථ විග‍්‍රහයක් ඉදිරිපත් කරමින් සම්මත පිළිගැනීමක් හැටියට ප‍්‍රකාශ කරන්නේ,

‘‘බුදුන්ගේ සරණ මිස මට වෙනත් සරණක් නැත.
ධර්මයේ සරණ මිස මට වෙනත් සරණක් නැත.
සංඝ සරණ මිස මට වෙනත් සරණක් නැත.’’ යනුවෙනි.

බුද්ධ දේශණාවේ පැහැදිලිවම ප‍්‍රකාශ කලේ ‘‘අත්‍ථාහි අත්ත නො නාථෝ – කොහි නාථෝ පරාසියා’’ යනුවෙනි. එසේ නම් එදා බුද්ධත්වයට පත්වූ එදා පිරිනිවන් පා වදාල බුදුපියාණන් වහන්සේ හෝ පිරිනිවන්පා වදාල මහා සංඝරත්නය හෝ අපට කුමන ආකාරයකින් අද පිහිටවන්නද? මේ කළ නොහැකි දෙයකි. තම තමන්ගේම සිත් තුළ බඹයක් පමණ වූ මේ ශරීරකූඩුව තුළම පවතින තුන්ලෝකයම දැක මේ තුන් ලෝකයෙන්ම මිදී නිදහස් වන්නට නම් ‘‘භව’’ උදුරා දැමිය යුතුය. හේතුඵල දහමට බහා ගලපා බලා විනයට සසඳා බලා කි‍්‍රයා කළයුතුය. ‘‘සංඝ’’ තත්ත්වයට පත්විය යුතුය. එසේ කළ හැකි වන්නේ ‘සං’ දැකගැනීමෙන්මය. සසර සැරිසර ස්වභාවය නවතා දමන්නට නම් අත්‍යවශ්‍යයෙන්ම භව නිරෝධ කළයුතුය. එනම් රාග බව, ද්වේෂ බව, මෝහ භව සිතින් උදුරා දමා බුද්ධ බවට පත්විය යුතුය.

සරණ, පිළිසරණ යන සිංහල භාෂා ව්‍යවහාරයේ භාවිතයේ එන පදයේ අර්ථය පිහිටක් උපකාරයක් වැනි බාහිරයෙන් ඉල්ලා, යැද ලබාගත හැකි තත්ත්වයකි. නමුත් සරණං (චරණ) යන මාගධී පදයේ මෙවන් බාහිර පුද්ගලයෙකුගේ, දෙවියෙකුගේ හෝ බලවේගයක හෝ උදව්වක්, උපකාරයක්, පිහිටක් ලබාගැනීමක් මෙතැන අදහස් නොවේ. මින් අදහස්වන්නේ ‘චර’ බව ‘අනරිය’ බව නැතිකර ගැනීම යන අර්ථයයි. තමා තුළම ගබඩා වී පවතින කෙලෙස් ගති, යලි උපදින කෙලෙස් බව වෙනත් කාටවත්ම අස්කර ඉවත්කර ගලවා උදුරා දමන්නට නොහැකිය. මේ ධර්මතාවය නිසාම බුදුවරයින් වහන්සේලා මග පෙන්වන්නන් සහ මග කියාදෙන්නන් පමණක් බව බුද්ධ දේසනාවේ පැහැදිලිවම පෙන්වාදී ඇත. මේ පෙන්වා වදාල නිවැරදි මාර්ගය අසා දැන, සොයාගෙන, එ නිවැරදි මග අනුගමනය කිරීමෙන්ම තවත් බාහිර කෙනෙකුට ද නිවන් මගට පිවිසිය හැකිවෙයි.

චතුරාර්ය සත්‍යයන්, පටිච්චසමුප්පාද ධර්මය, සීල සමාධි පඤ්ඤා යන ති‍්‍රශික්ඛා, ද්වතාවය, තිපරිවට්ටය, සං දේසනාව, සත්තිස්බෝධිපාක්‍ෂික ධර්ම යන මේවා හැම කාලයටම සාධාරණ හැම කල්හිම පවතින ධර්මයෝය. මෙවැනි උතුම් ධර්ම කරුණු කාරනා මිනිසෙකු විසින්ම සොයා මතුකර දේශණාකරන අතර, තවත් මිනිසුන් විසින් වැරදියට අර්ථ විග‍්‍රහ කරමින් ධර්මය විකෘති කර කාලයෙන් කාලයට වැරදි දේ භාවිතයට හුරු කරමින් ධර්ම අර්ථය අභාවයට පත් කරන්නේය. මේ සියල්ලම මනසක් ඇති මිනිසුන් කරන හොඳ නරක චේතනාවන් හා දැනීම නොදැනීම යන විවිධත්වය නිසාම කරන දේවල්ය. මේ අනුව නියම කාලයට උතුම් බුද්ධ ධර්මය ද මතු වී, නිවන් අවබෝධ කරගන්නට හැකි ආකාරයට අර්ථ, ධර්ම, නිරුක්ති, පටිසම්භාදාඅර්ථ විග‍්‍රහ කර නිවන් මග විවෘත කර දෙන්නේ ද මිනිසෙකු විසින්මය. ‘‘භව’’ උදුරා දැමීමට (රාග බව, ද්වේෂ බව, මෝහ බව) සසර දුකෙන් සදහටම මිදී නිදහස් වන්නට අනරිය බවෙන් මිදී නිදහස් වන්නට ‘‘සරණං’’ යනුවෙන් පෙන්වා වදාල ‘‘චර’’ බවෙන් සහමුලින්ම මිදී නිදහස්වන්නට අත්‍යාවශ්‍යයෙන්ම අනුගමනය කළයුතු ක‍්‍රමවේදය වන්නේ බුද්ධං සරණං, ධම්මං සරණං, සංඝං සරණං ගතෝ (ගච්චාමි) වීමයි. (ජීවක සූත‍්‍රය)

මිනිසෙකුව උපතලත් හැම කෙනෙකුටම උපතින්ම මනසක් උරුම වී ඇත. මේ මනසේ ශක්තිය පිරිසිදු කරගෙන මනස පහදා උපද්දවා ගත යුතුය. (උදපාදි) එවිට ප‍්‍රඥාව මතුවෙයි. පඤ්ඤා උදපාදි තත්ත්වයට පත් වූ මිනිසාට කෙලෙස් සහමුලින්ම ගලවා උදුරා ඉවත්කර දැමීමේ ශක්තියක් ද ලැබෙයි. මෙයම මනුස්සකමයි.

දේව ආගම් සංකල්ප සියල්ලම හැමවිටම මිනිසෙකු සතුව පවතින අධ්‍යාත්මික ශක්තිය යටපත් කරමින් භක්තියෙන් ආගම් අදහන්නෙකු බවට මිනිසාව පත්කරවයි. ශිව ආගම, වේද ආගම මෙන්ම බටහිර රටවල පවතින බොහෝ දේව ආගම්වල ද ඇත්තේ ඇදහිල්ල මුල්කරගත් භක්තියෙන් පිළිගත් යාඥා කිරීමෙන් දෙවියන්ගෙන් පිළිසරණක්, දේව පිහිටක් යැදීමේ වැරදි සංකල්පයකි. අද වන විට බුද්ධාගමට ද පෙරදිග ආගම් වල පිළිගත් බොහෝ ආගම් සංකල්ප යාඥා ක‍්‍රම ක‍්‍රමානුකූලව ඇතුලත් වී උතුම් බුද්ධ ධර්මයේ පෙන්වා වදාල නිවන් මාර්ගය යටපත්ව ගොස් ඇත. අධ්‍යාත්මිකවූත් මානසික වූත් මනසේ ශක්තිය – ප‍්‍රඥාව – යටපත්ව භක්තිය මතුවීම නිසා අද ප‍්‍රායෝගික වශයෙන්ම බුද්ධාගම ද තවත් එක ආගමක් බවට පත්වී ඇත. එදා බුදුපියාණන් වහන්සේ සොයා මතුකර පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්ම මාර්ගය – භව උදුරා දැමීම – යටපත්ව එ වෙනුවට – භව සකස්කිරීමේ – ආමිස පිළිවෙත් වලට මුල්තැන දී කි‍්‍රයාකිරීමේ – ක‍්‍රමවේදයක් අද ප‍්‍රචලිතව බුද්ධාගමේද භාවිතා කරන බව කණගාටුවෙන් නමුත් පෙන්වා දිය යුතුමය.

පිළිවෙතින් පෙළ ගැසිය යුත්තේ, පිළිවෙත් පිරිය යුතුවන්නේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ නොනවත්වාම උපත ලබන ‘‘භව’’ උදුරා ඉවත් කර අස්කර දමා ‘‘භව’’ නිරෝධ කිරීමෙන් ජාති නිරෝධ කර සංසාර දුකෙන් සදහටම මිදී නිදහස් වීම සඳහාය.

5. බොජඣඞග – බොජ්ජංග – බෝධි අංග – යනු කුමක්ද?

නිවන් අවබෝධ කර ගැනීමේදී අනිවාර්යෙන්ම සම්පූර්ණ කරගත යුතු සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් අතරින් සත්ත බොජ්ජංග ධර්මයන් ඉතාමත්ම වැදගත් දෙයකි. බොජ්ජංග – බෝධි අංග බුද්ධ අංග – යන පදවලින් විග‍්‍රහකර පෙන්වූ පදයන්හි ධර්ම අර්ථය නිවැරදිව තේරුම් ගැනීමත්, ප‍්‍රායෝගික වශයෙන්ම මෙහිදි කරගත යුතු කෙලෙස් ප‍්‍රහාණයට උපකාර වන කරණීය ධර්මයනුත් තේරුම් ගත් කෙනෙකුට පමණක්ම මගඵල අධිගමයට උපකාර වන සේ නිවන් මග සම්පූර්ණ කරගත හැකිවෙයි.

මේ නිසා ති‍්‍රපිටකයේ – පටිසම්භිදා මග්ගප්පකරණයේදී- බෝජජංග විග‍්‍රහය පැහැදිලිකර දුන් ආකාරය කෙරෙහි අවධානය යොමුකල යුතුය.

‘‘බොජඣඞගාති කේනටේඨ්න බොජඣඞගා’’
(කිනම් ධර්ම අර්ථයකින් බොජ්ජංග යන පදය විග‍්‍රහ කෙරේද ?)

1. බෝධාය සංවත්තන්තීති බොජඣඞගා
2. බුජ්ඣන්තීති බොජඣඞගා
3. අනුබුජ්ඣන්තීති බොජඣඞගා
4. පටිබුජ්ඣන්තීති බොජඣඞගා
5. සම්බුජ්ඣන්තීති බොජ්ඣඞගා

මේ පස් (5) ආකාරයෙන් බොජ්ජංගයන් වැඞීම යන්න මෙහිදී අර්ථ ගන්වා ඇත. මෙසේ පටිසම්භිදාමග්ග ප‍්‍රකාරණයේදී කළ විග‍්‍රහය සිංහලයට ති‍්‍රපිටකය පරිවර්තනය කළ අය මේ සඳහා භාවිතා කළ (විග‍්‍රහ කළ) සිංහල පදයන් ද තේරුම් ගැනීම කළ යුතුය.

1. අවබෝධය පිණිස පවතිත්නුයි.
2. අවබෝධ කෙරෙත්නුයි.
3. අනුබෝධ කෙරෙත්නුයි.
4. ප‍්‍රතිබෝධ කෙරෙත්නුයි.
5. මොනවට අවබෝධ කරණුයි.බොජ්ජංග නම්වේ.

මෙහිදී බොජ්ජංග (බෝධි අංග) යනු අවබෝධ කිරීම, අවබෝධ කරගැනීම, යන සිංහල භාෂාවේ එන පදය භාවිත කර විග‍්‍රහ කරදී ඇත. ‘‘බොජ්ඣඞග’’ බෝධි අංග යන පදයෙහි අවබෝධය, අවබෝධ කරගැනීම යනාදී අර්ථයක් කිසිසේත්ම ගැබ් වී නැත. බොජ්ජංග යනු බුද්ධ අංග බෝධි අංග පුර්ණ කරගැනීම යන අර්ථයයි. භව උදුරා දැමීම යන්න බෝධි අංග නම්වෙයි.

මේ ජීවිත පැවැත්ම යලි යලිත් නිර්මාණය කර මතු මතුත් ‘‘පුනබ්බවෝති’’ තත්ත්වයට පත් කරවන්නේම භව (සංභව, සංභූතං) සකස් කර ගැනීම හේතුකොට ගෙනයි. භව යනු රාග බව, ද්වේෂ බව, මෝහ බව යන දෛනිකව අලුතින් නිර්මාණය කරගන්නා කෙලෙස් සහගත (අනුසය) ධර්මයෝය. මෙසේ ජීවිත පැවැත්ම දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන, අලුතින් නිර්මාණය කර ගන්නා මේ කෙලෙස් ගති (භව) අලුතින් නොඋපදවා වර්තමාන මොහොත සහමුලින්ම එ්වායින් මිදී නිදහස් වීම කළ හැක්කේ – භව උදුරා දැමීමෙනි. මේ ආකාරයට භව උදුරා දැමීම යන අර්ථයෙන් බොජ්ඣඞග නම් විය.

1. භව උදුරා දැමීම පිණිස කි‍්‍රයාකිරීම. (සංවත්තන්ති)
2. භව උදුරා දැමීම ප‍්‍රායෝගිකව දිගටම කරගෙන යාම.
3. අලුතින් උපත ලබන (අනුසය) භව උදුරා දැමීම.
4. භව උදුරා දැමීම නිසා බැමි (සසර බැමි) කැපීම.
5. යලි මතුවට භව නොඉපදවීම. (බැමි සකස් නොකිරීම)

‘‘රාග අනුසයං න අනුසේති
පටිඝ අනුසයං න අනුසේති
අවිජ්ජා අනුසයං න අනුසේති’’

යන අර්ථයෙන් බොජ්ජංග විය. බුද්ධ අංග නම් විය. සත්ත බොජ්ජංග ලෙස ධර්මයේ පෙන්වා දෙනු ලබන,

1. සති සංබොජ්ජංග
2. ධම්ම විචය සම්බොජ්ජංග
3. විරිය සම්බොජ්ජංග
4. පීති සම්බොජ්ජංග
5. පස්සදි සම්බොජ්ජංග
6. සමාධි සම්බොජ්ජංග
7. උපේක්‍ඛා සංබොජ්ජංග යනුවෙන් අංග හතකි.

මේ අංග හතම සම්පූර්ණ කර ගැනීමෙන් රාග බව, ද්වේෂ බව, මෝහ බව සහමුලින්ම උදුරා ඉවත් කර දැමීම කළ හැකිය. එය කෙලෙස් යලි නොඋදවන්නටමත් හේතු වෙයි.

මෙසේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට උපකාර වන ප‍්‍රතිපදාවක් නිසාම බොජ්ජංග නමින් නම් කළ බව ඉතාම පැහැදිලිය. මේ බව පටිසම්භිදා මග්ගප‍්‍රකරණ විග‍්‍රහයේ තව දුරටත් විග‍්‍රහ වෙයි.

1. පච්චයටෙඨන බොජ්ජංගා (කර්ම හේතු උදුරා දමන්නට උපස්ථම්බක වන බැවින් බොජ්ජංග නම්වේ)
2. විශුද්ධටෙඨන බොජ්ජංගා (සප්ත විශුද්ධිය පරිපූර්ණ වන්නට උපකාර වන නිසා බොජ්ජංග විය.)
3. අනවජ්ජටෙඨන බොජ්ජංග (වැරදි දේ, කෙලෙස් ගති, ඉවත් කර දමන්නට උපකාරවන නිසා බොජ්ජංග විය)
4. නෙක්ඛම්මටෙඨන බොජ්ජංගා (කය රමනය කිරීමේ කි‍්‍රයාවලියෙන් නිදහස්වන හෙයින් බොජ්ජංග නම් විය)
5. විමුක්තටෙඨන බොජ්ජංගා – කෙලෙස් වෙන්කර කලෙස්වලින් මිදී නිදහස් වන අර්ථයෙන් බොජ්ජංග විය.
6. අනාසවටෙඨ්න බොජ්ජංගා (ආසය අනුසය නැතිකරන, ප‍්‍රහාණය කරන, නොඋපදවන අර්ථයෙන් බොජ්ජංග නම් විය.
7. විවේකටේඨන බොජ්ජංගා (කාය (කි‍්‍රයාව) වේදනාවන්ගෙන් වෙන්වන ස්වභාවයක් ඇතිවන නිසා බොජ්ජංග නම් විය.
8. වොස්සග්ගටේඨන බොජ්ජංගා (උපාදානය කරගත් සියලු උපධීන් මුලින් ගලවා නැවත නොඋපදින ලෙස හැරපීම් කරන අර්ථයෙන් බොජ්ජංග නම් විය.

මේ හැම අවස්ථාවකදීම විග‍්‍රහ කර පෙන්වුයේ රාග, ද්වේෂ, මෝහ බව (යලි යලිත් මේ ගති අලුතින් සිතක උපත ලැබීම.)නවතා දමන්නට උපකාර වන අර්ථයෙන් මේ සියලු කි‍්‍රයාකාරකම් කිරීම බොජ්ජංග නම් වූ බවයි. බොජ්ජංග, බුද්ධ අංග, බෝධි අංග යන මේ පදවලින් අර්ථ ගැන්වුයේ භව උදුරා දමන්නට උපකාර වන දේ යන අර්ථයෙනි.

ති‍්‍රපිටකය සිංහලයට පරිවර්තනය කිරීමේදී මෙම පදය (බොජ්ඣඞග, බෝධිඅංග) අවබෝධය යන පදයෙන් වැරදි ලෙස අර්ථ ගැන්වීමකි. එ් සහමුලින්ම උතුම් බුද්ධ ධර්මය විකෘති කිරීමකි. අවබෝධය යන්න පෘතග්ජන පුද්ගලයෙකු තුළ පවතින බාහිර ලෝකය පිළිබඳව ඇති දැනුම විග‍්‍රහ කරන පදයකි. ලෝකය යනු රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අඳුරු වූ පැවැත්මයි. අවබෝධය උපකාර වන්නේ ලෝකය (අඳුර) සකස් කරගන්නටය. ලෝකෙන් මිදී ලෝකෝත්තර තත්ත්වයට පත්වන්නට නම් පූර්ණ සත්‍යාවබෝධයම ලබාගත යුතුය. එය ආර්ය තත්ත්වයට බුද්ධ තත්ත්වයට පත්වීමයි. බොජ්ජංග සම්පූර්ණ කරගැනීමේ විග‍්‍රහයේදී පෙන්වාදෙන සියලුම පියවරයන් උපකාරවන්නේ භව උදුරා දමා දුක් සහිත පැවැත්ම අපවැත්මක් බවට පත්කර ගන්නටය.

බොහෝ අරහතුන් වහන්සේලාට මෙන්ම ගෞතම බුදුපියාණන් වහන්සේටත් යම් යම් කායික අබාධයන් ඇති වූ අවස්ථාවලදී බොජ්ජංග පිරිත් සජ්ජායනා කළ බව බෞද්ධ ඉතිහාසයේ විවිධ තැන්වලදී සඳහන් කර ඇත. මෙසේ බොජ්ජංග පිරිත සජ්ජායනා කරමින් අරහත් ඵලයට පත් වූ උත්තමයින්ටත් යළි මෙය සිහිපත් කළේ මේ ශරීරයට ඇතිවන්නා වූ සියලු ආබාධයන්ට වේදනාවන්ට හේතුව රාග බව, ද්වේෂ බව, මෝහ බව මුල් කොට ගෙනම අතීතයේදී සකස් කරගත් තම ශරීර කූඩුව අනිච්ච නිසා අනත්‍ථ නිසා මෙසේ දුක උරුම වන බව සිහිපත් කර එ දුකෙන් මිදී නිදහස් වන්නට බොජ්ජංග නැවත සිහිපත් කරන්නට උපකාර වන ආකාරයටයි. මතු සංසාර දුකෙන් සදහටම මිදී නිදහස් වූ – නිස්සරණ ප‍්‍රහාණයෙන්ම කෙලෙස් උදුරා දැමු අරහතුන් වහන්සේටත්, මේ ජාතියේදී උපත ලබන අවස්ථාවේදී උරුමකර ගත් ශරීර කූඩුව – කරජ කය – තවදුරටත් ලෙඩ රෝග වලට ආබාධවලට හේතු භූත වන බවත්, එය පවත්වාගෙන යනතුරාවට වැය කර ගෙවා දමන්නට තව තවත් යම් යම් පෙර කරන ලද පුන්‍ය, පාප කර්ම ශක්තීන් ඉතිරි වී පවතින බවත් පෙන්වා දෙන්නටය. භව උදුරා දැමු වීතරාගී, වීත ද්වේශි, වීතමෝහී අරහතුන් වහන්සේට ද ශරීර කූඩුවට වේදනා ඇතිවෙයි. එම කායික වේදනාවන් උපේක්‍ඛා සිතින් ඉවසා විමසා සැනසෙන්නට උපකාර වනසේ තමන් ලබාගත් බුද්ධ බලයන් ඉස්මතු කරන්නටම බොජ්ජංග පිරිත් සජ්ජායනා කළ බව ඉතාමත්ම පැහැදිලිය.

මේ විග‍්‍රහයන් සියල්ලෙන්ම පෙන්වා දෙන්නට උත්සාහ ගත්තේ බුද්ධ, බුද්ධං, බෝධි, බුද්ධෝ ආදී වශයෙන් අප නිතර නිතර භාවිතා කරන මෙම මාගධී වචන වලින් විග‍්‍රහ කරන ලද පරමාර්ථ ධර්මයම මතුකර පෙන්වා දෙන්නටය. බුද්ධ, බුද්ධෝ, බෝධි ආදී පදයන් එක චරිතයකට එක පුද්ගලයෙකුට හෝ එක උත්තමයෙකුට හෝ අයත් එවා නොවේ. භව උදුරා දමන්නට සමත් වූ රාග බව, ද්වේෂ බව, මෝහ බව තම සිතෙන් සහමුලින්ම උදුරා යලිත් එවැනි සිතුවිලි නොඋපදවන්නටම සමත් වූ උත්තමයා බුද්ධ නම් වේ. සම්බුද්ධ වේ. සම්මා සම්බුද්ධ වේ. අභි සම්බුද්ධවේ. මේ සියලු නම් යම්කිසි එක්තරා චරිතයකට ආරෝපනය කර පුද්ගලයෙකුගේ චරිතයක් ගොඩ නගන්නට, ඉස්මතු කර පෙන්වන්නට, පසු කාලීනව සාහිත්‍යකරුවන්, ඉතිහාසය ලියු කතුවරුන් උත්සාහ ගැනීම නිසා අද වන විට බුද්ධ, සම්බුද්ධ, අභිසම්බුද්ධ සම්මා සම්බුද්ධ යනාදී පදවල එන උතුම් ධර්ම අර්ථය යටපත්වන තත්ත්වයටම මේ පදවැල් ව්‍යවහාර භාෂාවලදී සම්මත ලෙසින් භාවිතා කරන බව පෙන්වා දිය යුතුය.

රාග බව, ද්වේෂ බව, මෝහ බව යලි යලිත් සිතේ නොඋපදින ආකාරයටම (අනුප්පාද නිරෝධය) භව උදුරා දැමූ සියලුම උත්තමයින් වහන්සේලා බුද්ධත්වයට පත් වූ උතුමන්ම වන්නේමය. එය මිනිසත් බව තේරුම් ගෙන, යෝනිසෝමනසිකාරයෙන් කි‍්‍රයාකර, ධම්මානු ධම්ම පටිපදාවෙහි හැසිරීමෙන් ඕනෑම මිනිසෙකුට මගඵල ක්‍ෂාත් ක්‍ෂාත් කරගත හැකි බව පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය තේරුම් ගැනීමයි.

බුද්ධ ගුණ, බුද්ධ ඥාණ, බුද්ධ බල, බුද්ධ ශක්ති බුද්ධ ධර්මය යනාදි පද සියල්ලෙන්ම විග‍්‍රහ කරන්නේ, විග‍්‍රහ කර පෙන්වන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා සිතින් අස්කර දමන්නට උපකාර වන අංගයන් හැටියටත්, එසේ භව උදුරා දැමු උත්තමයින් සියලු දෙනා තුළ පවතින ශක්තීන් හැකියාවන් හැටියටත්ය.

ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේලා මේ අතරින් අග‍්‍රගන්‍ය වන්නේ මෙවන් උතුම් බුද්ධ ධර්මයක් භාවිතයේ නොපැවති යුගයක, තමන්ගේම ශක්තියෙන් ස්වයංභූ ඥාණයෙන්ම, ගුරු උපදේශ රහිතවම සියලු ආකාරයෙන්ම අංග සම්පූර්ණ මේ උතුම් ප‍්‍රතිපදාව සොයා දැන, එ ප‍්‍රතිපදාව අනුගමනය කරමින් ලොව්තුරා බුද්ධ බවට පත්වීම නිසාත්, අවශේෂ ලෝකයාටද බුද්ධ තත්ත්වයට පත්වීමේ නිවැරදි මාර්ගය පැහැදිලිව ප‍්‍රකාශ කර දේශණා කරන නිසාත්ය.

1. මේ අනුව භව+උද්ධ = බුද්ධ යන්න පිරිසිදුව තේරුම් ගත යුතුය.
2. භව+වෘද්ධිය = බුද්ධිය සංවර්ධනය කරගෙන මත්වීම (බුද්ධිමත්) යන්න ද වෙන්කොට තේරුම් ගත යුතුය.
3. රාග අනුසය=රාග බව, පටිඝ අනුසය=ද්වේෂ බව අවිද්‍යා අනුසය = මෝහ බව යන්න ද තේරුම්ගත යුතුයි. මෙහි අනුසය = අලුතින් උපදවා නිර්මාණය කරගන්නා කෙලෙස් උත්පාදනය යන්න ද තේරුම් ගත යුතුය.
4. මෙසේ භව (බව) යන පදය හා අනුසය යන පදය ද අර්ථ, ධර්ම, නිරුක්ති, පටිසංභිදා ලෙසින්ම විග‍්‍රහකොට තේරුම් ගැනීම නිවනට උපකාර වෙයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.