ස්වභාව ධර්මය, නියාම ධර්ම හා කර්ම විග්‍රහය

ස්වභාව ධර්මය යන්නෙහි තේරුම ස්වබව යන්නයි. බව යනු බිහිකරගත්, බිහිවූ දේ, ඇති කරගත් දේ, එකතු කරගත් දේ, සිද්ධවූ දේ යන අර්ථය දෙන පදයකි. ඒ ඒ සත්ත්වයින්, පුද්ගලයින් පෙනෙන නොපෙනෙන අනන්ත අප‍්‍රමාණ ජීවීන් තම තමාම බිහිකරගත් දේ ස්වභාව ධර්මය ලෙස අපි හඳුන්වමු. ඒ ඒ සත්ත්වයාම, පුද්ගලයාම, ඒ ඒ සත්ත්වයාගේ, පුද්ගලයාගේ පැවැත්ම පවත්වා ගැනීම සඳහාම බිහිකරගත් දේ ස්වභාව ධර්මය ලෙසින් පොදුවේ අපි දකිමු.

ස්වභාව ධර්මයේ ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන ධාතු හෝ භූත කොටස් සහ වර්ණ, ගන්ධ, රස, ඕජා නැමති ශුද්ධාෂ්ටක කොටස්ය. ශුද්ධාෂ්ටක කොටස් අටට අයිති කිසියම්ම කොටසකට කිසිම ආකාරයක බලයක්, ශක්තියක් හෝ වෙනත් ආකාරයක ස්වයංභූ හැකියාවක් ද නැත. මෙම ශුද්ධාෂ්ටක විඤ්ඤාණ ශක්තියෙන්ම එකතු කර සංඛත ලෙසින් සකස් කළ හැකි දේවල් මිස එකතු වීමේ, සකස් කිරීමේ ස්වයංක‍්‍රියා ශක්තියක් කිසිම ධාතු කොටසකට හෝ භූත කොටසකට හෝ ඇත්තේ නැත.

මේවා එකතු නොවූ ප‍්‍රාථමික අවස්ථාවේදී ගති හතරකි. එනම්,

1. තද ගතියෙන් යුත් පඨවි ගතිය.
2. ද්‍රව ගතියෙන් යුත් ආපෝ ගතිය.
3. උණුසුම් ගතියෙන් යුත් තේජෝ ගතිය.
4. සැහැල්ලු, චලනය වන ගතියෙන් යුත් වායෝ ගතියයි.

අවකාශයක් ඇති ඕනෑම තැනක මේ ගති හතර විඤ්ඤාණ ශක්තියද සමඟ එකතු වූ විට භූත වශයෙන් මහා භූත වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ සකස් වෙයි. මසැසට අපට පෙනෙන, ස්පර්ශ කරන්නට හැකි හැම දෙයක්ම මේ මූලික භූත කොටස් හතරටම අයත් ධාතු ලෙසින් ඝනීභවනය වූ දේවල්ය. මිනිසුන්, සත්ත්වයින්, ගස්, ගල්, කඳු, පර්වත, මහ මුහුද, ජලාශ ආදී සියලු දේ විඤ්ඤාණ ශක්තිය නිසාම එකතු කර සාදා සකස් කරගත් නිර්මාණයන්ය. දෙවි දේවතාවන්, පේ‍්‍රතයින්, භූතයින්, අමනුස්සයින් ආදී කොට ඇති අපමණ භූත කොටස් අපට අපේ මසැසට දැක ගත නොහැකිය. හේතුව ඒවා ඝනීභවනය නොවූ ධාතු කොටස් බවට පත් නොවූ සියුම් භූත කොටස් ලෙසම පැවතීමයි.

විඤ්ඤාණ ශක්තියෙන් උපතක් ලබන හැම සත්ත්වයෙක්ම, මිනිසෙක්ම, භූතයෙක්ම, දෙවියෙක්ම අපට පෙනුණත්, නොපෙනුණත් විශ්වයේ ඇති සතර මහා භූතවලින් කොටසක් ණයට ලබාගෙන තම ශරීරය, නිවස සාදා සකස් කරගනී. මෙසේ සතර මහා භූත වලින් යම්කිසි කොටසක් ණයට නොගත් කෙනෙකුට තම විඤ්ඤාණ ශක්තිය රඳවාගෙන යන්නට ජීවිතයක්ද පවත්වාගත නොහැකියි. එසේත් නැතිනම් විඤ්ඤාණ බීජයක් පැළවීමට නම් සතර මහා භූතයින්ගෙන් සැදුම්ලත් කෙතක් සකස් කරගත යුතුමය. මේ අනුව අපට පෙනෙන, නොපෙනෙන හැම සත්ත්වයෙක්ම, භූතයෙක්ම, හැම ද්‍රව්‍යයක්ම යම්කිසි විඤ්ඤාණ ශක්තියකින්ම සතර මහා ධාතු හෝ සතර මහා භූත කොටස්ම එකතුකර සාදා සකස් කරගත් දේවල්ය. උපදවාගත් විඤ්ඤාණ ශක්තිය ගෙවීයත්ම ඒ සකස් කරගත් සියලු දේමත් ගෙවී, විපරිණාමයට පත් වී වැනසී යාම සිදුවෙයි.

විඤ්ඤාණ ශක්තියෙන්ම සදා සකස් කරගන්නා මේ විශ්වයේ අපි දකින, නොදකින සියලු දේ නියාම ධර්ම පහකට අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම යටත්වෙයි. ස්වභාව ධර්මයේ නිර්මාතෘ වන නියාම ධර්මයකට අවනත නොවී කටයුතු කළහැකි කෙනෙක් ලොව නැත. සෑම කෙනෙක්ම දැන හෝ නොදැන නියත වශයෙන්ම නියාම ධර්මවලට යටත්විය යුතුමය. නියාම ධර්ම වෙනස් කරන්නට, සංශෝධනය කරන්නට හෝ මඟහැර කටයුතු කරන්නට හැකි කිසිම දෙවියෙක්, බ‍්‍රහ්මයෙක්, මිනිසෙක් නැත. බුදුපියාණන් වහන්සේටවත් නියාම ධර්ම වෙනස් කරන්නට ශක්තියක් හෝ බලයක් නැත. මේ නියාම ධර්මයන් තේරුම් ගෙන ඒවාට අවනත වී නියාම ධර්ම තුළම සිට බුුදුපියාණන් කළේ නියාම ධර්මයන්ට යමෙකු යටත් වන්නට හේතුව සොයා හේතුවම නැති කිරීමයි. විඤ්ඤාණ ශක්තියෙන් බිහිකරන, උපත ලබන හැම දෙයක්ම නියාම ධර්ම වලට යටත්වන නිසා විඤ්ඤාණ ශක්තිය නිරෝධ කිරීමෙන්ම පමණක් නියාම ධර්මයන්ට යටත් නොවී නිවනට, විමුක්තියට පත්විය හැකිබව බුදුපියාණන් සොයා දැන ස්වභාව ධර්මය අභිබවා යන ප‍්‍රඥා විමුක්තිය සොයා මතුකර ගන්නට සමත් වූ නිසාම බුද්ධ නම් වූ සේක.

මේ අතරම සංඛතවල ස්වරූපය වෙනස්කර ගැනීමට නම් විඤ්ඤාණ ශක්තියේ සංයුතියම (ගති) වෙනස්කරගත යුතු බවත් සොයා දැන දේශණා කළ සේක. නමුත් සංඛතයක අභ්‍යන්තර සංයුතිය වෙනස් කිරීමේ ශක්තියක් කාටවත්ම නැත. ඒවාද නියාම ධර්මයන්ට යටත්වන නිසාය. මිනිසෙකුව ඉපදී සිටින කෙනෙකුට තම ගතිගුණ ගති ලක්ෂණ වෙනස් කරගෙන විඤ්ඤාණ ශක්තිය වෙනස් කර ගෙන මතු ලබන උපතක්, වෙනත් ගති ලක්ෂණයකට පත් කර ගැනීමේ ශක්තියක් ඇත. නමුත් මිනිසාගේ හෝ බල්ලාගේ හෝ ස්වරූපය, ස්වභාවය, අභ්‍යන්තර සංයුතිය වෙනස් කිරීමේ බලයක්, හැකියාවක් විඤ්ඤාණයටද, මනසටද නැත. ඒවා නියාම ධර්මයන්ටම අනුගතවම සිදුවන හෙයිනි. මේ අනුව මනසින් කල්පනා කර මිනිසත් බවෙන් දෙව් බවටත්, බ‍්‍රහ්ම බවටත්, නිවන් දකින්නටත් මිනිසෙකුට කටයුතු කළ හැකියි. නමුත් මිනිසෙකුව උපන් කෙනෙකුගේ පැවැත්ම රඳාපවතින පෙනහළු, වකුගඩු, හෘදය වස්තුව, ලේ ගමන හෝ අභ්‍යන්තර සංයුතිය වෙනස් කර අලුත් විධියේ උපතක් බිහි කිරීමක් කරන්නට නොහැකිය. ඒ, ඒවා නියාම ධර්මවලටම යටත් වන හෙයිනි. නවීන විද්‍යාඥයින් මෙවැනි වෙනස්කම් කරන්නට යම් යම් උත්සාහයන් ගත්තද එවැනි උත්සාහයන් පවා මහා විනාශයකට මුල්වීම කාටවත් වෙනස් කළ නොහැකිය. ඒ නිසා මතු උපදින මිනිසුන් කවදා කොහේ ඉපදුනත් මිනිසාගේ ස්වරූපය, සංයුතිය සමස්ථයක් ලෙස වෙනස් කර වෙනස්ම ආකාරයේ මිනිසෙකු බිහිකළ නොහැකිය. මෙය ඉතාම ගැඹුරු සිතන්නටවත් නොහැකි තරම් සංකීර්ණ වූ ධර්මතාවයකි. ඒ අනුව විඤ්ඤාණ ශක්තියට හා මනසට ශක්තිය ඇත්තේ නියාම ධර්මයන් පහටම අවනතව නියාම ධර්මයන් පහ තුළම සිට විඤ්ඤාණ ශක්තියම නිරෝධ කර ගෙන නියාම ධර්මයන්ගේ සමස්ත බලපෑමෙන්ම නිදහස් වීමයි. නිවන විමුක්තිය යනු මෙයයි.

හැම පෘථග්ජන සත්ත්වයකුම, පුද්ගලයෙකුම, දෙවියකුම සියලුම නියාම ධර්මයන්ට යටත් විය යුතුමයි. ඊට හේතුව විඤ්ඤාණ ශක්තියක් උපද්දවා ගෙන ඒ විඤ්ඤාණ ශක්තියෙන්ම තමන් ජීවිතයක් පවත්වන නිසයි. විඤ්ඤාණ ශක්තිය නැමැති කිළිටි ශක්තිය, ගතිය තමන් තුළ ක‍්‍රියාත්මකව පවතිනා තුරාවටම නියාම ධර්මයන් පහටමත් අදාළව තමන්ටම ඵලවිපාකයන් ද උරුම වේ. එය වෙනස් කර ගත හැකි එකම පුද්ගලයාද තමාමයි. ඒ තමාම එකතු කරගත් කිළිටි ගති බැහැර කරලීමෙන්ම යි.

බීජ නියාමය පළමු වන හේතුවයි. තමන් ”කර්ම බීජ” උපදවන්නෙක් නම් ඒවා තම චිත්තසංථානයේ ම ”විඤ්ඤාණ බීජ” ලෙසින් තැන්පත් වෙයි. විඤ්ඤාණ බීජ තම මනෝමය කය තුළම තැන්පත් වී පවතී නම් ඒවා ”උත්පත්ති බීජ (සංභව) බවට පත් වී උත්පාදනය වීම උප්පජ්ජති බවට පත්වීම බීජ නියාමයට අනුවම සිදු වෙයි. තමන් උපද්දවා ගත් කර්ම බීජ වලට අනුරූපවම තමන්ගේම මතු උපත ද සිදු වෙයි. මෙය ධර්ම නියාමයයි. බීජ නියාමයයි. කර්ම නියාමයයි. සමුදය ධර්මයන් තමන් බිහි කරගන්නා තුරාවටම සංසාර ගමනේ පැවැත්ම ද දිගින් දිගටම ඇදී යයි. තමන්ගේ කැමැත්තට අනුව හෝ පැතුමට අනුව හෝ මතු උපතක් ලබාගත නොහැකිය. කර්ම බීජයට අනුරූප වූ, අනුකූල වූ උපතක් ම තමන්ට උරුම වෙයි.

උපන් හැම මිනිහෙකුගේම, සත්ත්වයෙකුගේම එකම බලාපොරොත්තුව තම ජීවිතය කැමති සේ පවත්වාගෙන යාමයි. මේ දිවිපැවැත්ම තමන් කැමති පරිදි තමන්ගේ මනාපය පරිදි පවත්වන්නට යාමේදී පවත්වා ගන්නට උත්සාහ දැරීමේදී තම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ බොහෝ පව්කම් හා අකුසල කර්මයන් කරන්නටත් සිදු වන්නේය. කොතෙක් පින්කම් කළත් කෙළෙස් සහිත සිතකින් පව්කම් හා අකුසල්ද කරන්නේ නම් සංසාර ගමනෙන් හා සංසාර දුකෙන් නම් මිදී නිදහස් වීමක්ද සිදු නොවන්නේමය. අකුසල් හා පව්කම් නිසා යළි යළිත් කිළිටි වන අඳුරු වන තම චිත්තසංථානයෙන් මෙන්ම මෝහයෙන් මුලා වූ මනසින්ද කරන, කියන, හිතන බොහෝමයක් දේ රාග, ද්වේෂ, මෝහ සහිත වූ සිතකින්ම කරන ක‍්‍රියාකාරකම් බවටම පත් වෙයි. පංචකාම නීවරණ ධර්මයන් නිසා නිවන ආවරණය වන්නටත්, සංසාර ගමන දිගටම පවත්වා ගෙන යමින් දුක් විඳින්නටත් හේතුව නියාම ධර්මයන් තමන්ගේ පාලනයෙන් තොරවම ක‍්‍රියාත්මක වී ඊට අනුරූපව ඵලවිපාකද ආපසු තමන්ටම උරුම කර දීමයි.

”තමන් පෙර කරන ලද කර්මය නිසාම සියල්ල සිදු වේ.” (පුබ්බේ කථ හේතු) ”ඊශ්වරයා හෝ මහා බ‍්‍රහ්මයා හෝ නිර්මාණය කර දුන් දේ අපට දැන් වෙනස් කළ නොහැකිය” (ඉස්සර නිම්මාන හේතු) ”මේ සිදු වන සියල්ලම අහම්බෙන් සිදු වන දේය” (අහේතුක ප‍්‍රත්‍ය) යනාදී වශයෙන් සිතන බොහෝ අය එදා මෙන්ම අදටත් අප අතර ම සිටිති. සැප, දුක්, ලාභ, අලාභ ආදී අටලෝ දහමම මේ ඉහත කරුණු අනුවම සිදු වේ නම්, තමන්ගේ පාලනයෙන් බැහැරවම සිදු වෙනවා නම් ”කුමන විද්‍යාවක්, කුමන ධර්මයක් දැන ඉගෙන ගත්තත් ඵලක් නැත” යන්නත් ඔවුන්ගේ මතයයි.

පෙර කළ කර්මයෙන්ම සියල්ල සිදු වේ යන්න, බුද්ධ දේශණාවට විරුද්ධය. බුද්ධ දේශනාවට නොගැළපේ. එය එක හේතුවක්ම පමණි. පෙර කළ පින්කම් සහිත වූ නිසාම ඔබ අද මිනිස් බව ලබා ඉපදී ඇත. නමුත් අද අදම කරගත යුතු හා අද අදම නොකර බැහැර කළයුතු යැයි කර්ම කොටස් දෙකක්ම ඇත. ”කර්ම” යනු ක‍්‍රියාකාරකම්ය. ”පුණ්‍ය ක‍්‍රියා හා පාප ක‍්‍රියා යනුවෙන්ද” කුසල කි‍්‍රයා හා අකුසල කි‍්‍රයා” යනුවෙන්ද දෙකොටසකට පැහැදිළිවම බෙදා දක්වා ඇත. ”කුසල ක‍්‍රියා” යන පදයෙන් අදහස් කළේ චිත්තසංථානයෙහි අතීතයෙහි පටන්ම මුල්බැසගෙන පවතින අදටත් ක‍්‍රියාත්මකව පවතින කෙළෙස් ගති සිතින්ම උගුල්ලා දමා සහමුළින්ම තම චිත්තසංථානය පිරිසිදු කර ගැනීමයි. පුණ්‍ය ක‍්‍රියා, පාප ක‍්‍රියා, අකුසල ක‍්‍රියා යන ක‍්‍රියාකාරකම් (කර්ම) තුනෙන්ම සිදුවන්නේ චිත්තසංථානයට තව තවත් අලුත් කෙළෙස් ගති එකතු කර උපාදානය කර ගැනීම පමණකි. ඒවා නිසා සංසාර ගමන හොඳින් හෝ නරකින් හෝ දික් වෙනවා මිස සංසාර ගමන නිමා වන්නේ නැත.

මේ ඉහත සඳහන් කරන ලද පුබ්බේ කථ හේතු, ඉස්සර නිම්මාන හේතු හා අහේතුක ප‍්‍රත්‍ය යන දේ දැඩිව විශ්වාස කරමින් පිළිගන්නා යම් කෙනෙකුන්, මිනිසෙකු ලෙස උපත ලබා සිටියත්, ඔහු තමාගේ ශක්තිය, තමන්ට කළහැකි දේ, තමන්ට කෙළෙස් අතහැර ඉන් නිදහස් විය හැකි බව මනුස්ස බලය නොදන්නා කෙනෙකි. ඒ නිසාම අඥාණ, දුප්පඤ්ඤස්ස, අමනසිකරණීය, මොට්ටස්ස, මෝඝ යනාදී විශේෂණ පදවලින් ධර්මයේ එවන් මිනිසුන්වම හඳුන්වා දී ඇත. මනුස්සත්ත පටිලාභයක් එවන් අයට නැත.

තමන්ගේම අහේතුව නිසා, නොලැබීම නිසා, දෙවියන්ගේ කැමැත්ත නිසා, පෙර කර්මය නිසා, අප‍්‍රත්‍ය නිසා සියල්ලම සිදුවේය, යනුවෙන් යම් මිනිසෙක් කල්පනා කරයි නම්, තීරණය කරයි නම් ඔහු සතියෙහි පිහිටා, සතියෙන් ක‍්‍රියා කරන කෙනෙකු වන්නේද නැත. ඔහු තම මනස භාවිතා නොකරන කෙනෙකි. හිතට වහල් වී, හිතට යට වී, විඤ්ඤාණයට ගැති වී ක‍්‍රියා කරන, දුක් විඳින කෙනෙකි. මෙවැනි මිනිසුන් කරණීය ධර්ම හා අකරණීය ධර්ම, කළයුතු දේ හා නොකළ යුතු දේ, හේතුඵල ධර්මය හෝ ආනාපාන සතියෙහි පිහිටා ක‍්‍රියා කරන්නට හෝ නොදත් මිනිසුන්මය.

”මා මෙසේ දේශණාකර පෙන්වා දෙන උතුම් පටිච්ච සමුප්පාද ධර්මය කාටවත්ම නිග‍්‍රහ කළ නොහැකි ධර්මයකි. කාටවත්ම වෙනස් කළ නොහැකි ධර්මයකි. කාටවත්ම කිළිටි කළ හැකි, දූෂණය කළ හැකි ධර්මයක්ද නොවේ.” යැයි බුදුපියාණන්ම දේශණා කර පෙන්වා වදාරා ඇත. ඒ නිසාම උතුම් බුද්ධ ධර්මය ”අනිග්ගහිතෝ, අසංකිළිට්ඨෝ, අනුපවජ්ජෝ, අප්පතිකුට්ඨෝ, අප්පමානෝ” ධර්මයකි. ධර්මයට නිග‍්‍රහ කරන්නට, කිළිටි කරන්නට, වෙනස් කරන්නට, අපවාද කරන්නට, ධර්මය බැහැර කර, ප‍්‍රමාණ කර, සීමා කරන්නට උත්සාහ දරණ පුද්ගලයාම කිළිටි වෙනු මිස දුගතියට පත්වෙනු මිස ධර්මය නම් වෙනස් නොවේ. කිළිටි නොවේ. විකෘති නොවේ.

යමෙක් අනවබෝධයෙන්, අනුමාණ වශයෙන්, උගත්කමෙන් දැනගත් අනුසාරයෙන් පමණක්ම උතුම් ධර්මය වැරදි ආකාරයට ලෝකයාට දේශණා කර ලෝකයා නොමඟ යවන්නට හේතුවන ආකාරයෙන් ක‍්‍රියා කරන්නේ නම් එම දේශකයාටම අයහපත් ඵලවිපාක විඳීමට ද සිදුවෙනු නියතය. උතුම් බුද්ධ ධර්මය දේශණා කර ලෝකයාට ප‍්‍රකාශ කළ යුත්තේ තමන් අත්දැක, අත්විඳ ගැනීමෙන් පසුවම පමණි. එසේ නොවන හැම විටකම එය අනුමානයෙන් කරනු ලබන අඩමාන ප‍්‍රකාශයක් පමණක් වෙයි. ධර්මයට බහා ගළපා බලා විනයටද සැසඳේ් නම් එයම බුද්ධ ධර්මයයි. බුද්ධ ධර්මය යනු පටිච්චසමුප්පාද ධර්මයයි. ධර්මයට බහා ගළපා බලන්නට නම් අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයත්, අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධයත්, කුසල මූල පටිච්චසමුප්පාද විග‍්‍රහයත් යන තිපරිවට්ටයම යථා පරිදි අවබෝධ කරගත යුතුය.

විනය යනු ”ණය” යන්නෙන් වෙන් වී, මිදී ණයෙන් නිදහස් වීමයි. යමක් උපාදානය කරගන්නා හැම විටකදීම එසේ යමක් උපාදානය කරගන්නා පුද්ගලයා ලෝකයාටම ණය වෙයි. මෙය මාරයාට ණය වීමකි. බුදුපියාණන් විනය පිටකයේ හැම විටකදීම ”ණය” විග‍්‍රහයක් දේශණා කර ඉන් පසුව ”විනය” විග‍්‍රහ කර දී ඇත. සම්මතයේ හෝ ව්‍යවහාරයේ හෝ පනවාගත් විනය නීති පද්ධතියකට වඩා බුද්ධ භාෂිතයේ එන ”විනය” ගාම්භීර අර්ථයකින් දේශණා කර වදාළ දෙයකි. ණය හා විනය (වි+නය) පද දෙකම තේරුම් ගත යුතුයි.

බාහිර වශයෙන් මෙන්ම, අභ්‍යන්තර වශයෙන්ද තමන් උපාදානය කරගෙන, අල්ලාගෙන ”මම, මගේ’’ යැයි කියා පවත්වාගෙන යන්නට උත්සාහ දරණ මේ පංච උපාදානස්කන්ධයෙන්ම සහමුළිින්ම මිදී නිදහස් විය හැකි එකම ක‍්‍රමවේදය ධර්මයට බහා ගළපා බලා විනයට සැසඳේ නම් එයම අනුගමනය කිරීමත්, එය නොගැළපේ නම්, නොසැසඳේ නම්, එය අත්හැර නොකිරීමත් යන කරණීය, අකරණීය ධර්ම දෙකම යථා පරිදි දැන තමන්ම අනුගමනය කිරීම කළ යුතුය. මෙයම උතුම් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ ආනාපාන සතියම බවද හැම බෞද්ධයෙකුම නිවැරදිවම අවබෝධ කරගත යුතුයි.

සංසාර ගැටළුව කාටත් පොදු වූත්, මූලිකම වූත් ගැටළුවයි. පෘථග්ජන ලෝකයාට නොපෙනෙන්නේත් තේරුම් ගැනීමට නොහැකි වන්නේත් මෙය ගැටළුවක් බවයි. සාරයි, වටිනවා කියා ලෝකයෙන් යමක් එකතු කරගෙන මගේ, මම කියා උපාදානය කරගන්නේ එහි සාරවත් බව දකින නිසාමය. ”සං” යනු රාගයෙන්, ද්වේෂයෙන් හෝ මෝහයෙන් යුත් සිතින් සාරවත් යැයි කියා දකින දේ උපාදානය කර ගැනීමයි. එකතු කර ගැනීමයි. මෙතනදී සංසාර ගැටළුව තමන්ම සාදා සකස් කර ගන්නා එකක් බව තමන්ට නොපෙනෙයි. මෙසේ වටිනවා, සාරවත් යැයි කියා අල්ලා උපාදානය කරගත් කිසිම දෙයක් තමන්ට අයිති නැති බව තමා සන්තකයේ දිගටම පවත්වා ගත නොහැකි බව නොදැනීම නිසාම පෘථග්ජන ලෝකයා මාරයාට ණය වෙයි. මේ සියල්ලෙහිම නියම අයිතිකරු මාරයායි. පංචඋපාදානස්කන්ධයම මාරයාට හිමි දේවල්ය. ඒවා පරිහණය කරන්නට භාවිතා කරන්නට හැම ප‍්‍රාණියෙකුටම, හැම සත්ත්වයෙකුටම සමාන අයිතියක් ඇතත් උපාදානය කරගන්නට නම් කිසිම අයිතියක් නැත. පංචස්කන්ධයම උපාදානය කරගත් පුද්ගලයා හෝ සත්ත්වයා හෝ දෙවියා හෝ මාරයාටද ණය වෙයි. තමන් මෙතෙක් උපාදානය කරගත් සියලු දේ (සබ්බූපදි) අත්හැර දමා ණයෙන් නිදහස් වූ අරහතුන්වහන්සේ මාරයාගෙන්ද මරණයෙන්ද නිදහස් වූවකු බවට පත්වෙයි. ඒ මාරයාගෙන් මාරයාට මෙතෙක් පැවති ණයෙන් නිදහස් වූයේ විනයෙහි පිහිටා ක‍්‍රියාකර ණයෙන් නිදහස් වීමෙනි. විනය යනු වෙන්වීමයි. ණයෙන් වෙන්වීමයි.

”සං” තේරුම් නොගත් ”සං” දිට්ඨිකෝ බවට පත් නොවූ සංසාරයි කියා තීරණය කරගත්, ”සංවර” නොවූ සංසුන් නොවූ සංයමයට පත් නොවූ, සංසිඳවීම නොකළ හැකි පුද්ගලයා ”සම්මා දිට්ඨියට පත් නොවූවෙකි.” ඔහු නියත වශයෙන්ම ”සංසාර ගැටළුවට” මැදිහත්ව ඉන් මිදෙන්නට මඟක් නොදුටු, දුක් විඳින සත්ත්වයෙකි. ඔහු ”රහමෙර” නිසා මත් වූවෙකි. රාගයෙන් මත්වීම, ද්වේෂයෙන්, මෝහයෙන් මත්වීම සංසාර ගැටළුවේ එකම හේතුවයි. රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය නිවනයි. ”ඛය” යනු මුල් සිඳ, මුල් කපා දමා කෙළෙස් ගති වලින් නිදහස් වීමයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.