බුද්ධ කාලයේ හෙළදිව භාවිතා කළ භාෂා

එදා හෙළදිව (දේව හෙළය)පාලනය කළ සියලුම පාලකයන් විසින් භාවිතා කරන ලද ප්‍රධාන භාෂාවන් දෙකක් විය.

1. මාගධී ප්‍රාකෘත භාෂාව හා
2. හෙළ බසයි.

සමස්තයක් වශයෙන් එදා මුළු හෙළ දිවයිනේ ම පොදු මහ ජනතාවගේ ව්‍යවහාර භාෂාව වූයේ හෙළ බසයි.හෙළබස කථා කරන භාෂාවක්  මෙන්ම ලිඛිත භාෂාවක් ලෙසින් ද එදා භාවිතා කර ඇත. පොදු මහජනයාගේ එදිනෙදා දිවිපැවැත්මෙහිදීත් වෙළහෙළඳාම් කිරීමෙහිදීත් හෙළබස හැම තැනකම භාවිතා විය.

ප්‍රාකෘත මාගධී භාෂාව ඊට වඩා උසස් උගතුන් ගේ  භාෂාවක් විය. තාක්ෂණය, විද්‍යාව හා ශිල්ප ක්‍රම උගැන්වූයේත්, රාජ්‍ය පාලනය සඳහා යොදා ගත්තේත් මාගධී භාෂාව ම විය. රජගහ නුවර අග නගරය කොට ගත් මගධ රටේ ප්‍රධාන වශයෙන් ම මාගධීභාෂාව බහුලව භාවිතා කළ බව පෙනේ. උගත්තු, රාජ්‍ය පාලකයෝ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ, පූජකයෝ හා සමහර සි‍ටුවරු ද මාගධී භාෂාව හදාරා භාවිතා කළහ.මාගධී භාෂාව භාවිතා කළ හැමෝම වාගේ හෙළ බස ද දැන සිටියහ. හෙළ බස හා මාගධී භාෂාව අතර පරතරයද එතරම් විශාල නොවීය. යම් විශේෂිත කාරණයක්, ශිල්ප ශාස්ත්‍රයක්, විද්‍යාවක් පිලිබඳව හදාරන්නට මාගධී භාෂාවම භාවිතා කළහ. හුදීජනයා බොහෝ දෙනෙකු ගැඹුරු මාගධී භාෂාව භාවිතා කළ බවක් පෙනෙන්නට නැත.

බුදුපියාණන් එදා හෙළ දිව ජන්බුද්වීපයේ පිහිටි ජනපද දහසයේම ජීවත් වූ අයට ධර්මය දේශනා කළේ මාගධී භාෂාවෙනි. මාගධී භාෂාවෙන් එදා දේශනා කල බුද්ධ ධර්මය හෙළ බස භාවිතා කළ පොදු බොහෝමයක් ජනයාටද පහසුවෙන් ම අවබෝධ කරගත හැකි විය. මාගධී භාෂාවෙන් දේශනා කළ ගැඹුරු බුද්ධ ධර්මයට අර්ථ, ධර්ම, නිරුක්ති හා පටිභාන ඉදිරිපත් කළ හැකි හෙළ බසද උගත් උගත්තු එදා හෙළ දිවේ වාසය කළහ.මේ නිසාම ගෞතම බුදුන් මාගධී බසින් දේශනා කළ බුද්ධ ධර්මය විග්‍රහ කර ඒ යුගයේදී ම හෙළ අ‍ටුවා ලිවීමද සිදු විය. මාගධී බස ලියා දක්වන භාෂාවක් නොවූවද හෙළ බස ලියා දැක්වීය. ඒ නිසා ගෞතම බුදුන් විසින් දේශනා කරන ලද බුද්ධ ධර්මයට හෙළ බසින් අර්ථ කථා ලිවීමද ඒදා ඒ යුගයේදීම සිදු විය. හෙළ අ‍ටුවා, කුරුන්දි අ‍ටුවා, බුදුකැලි අ‍ටුවා සීහල අට්ඨ කථා, මාහට්ඨ  කථා යනුවෙන් හෙළ බසින් ම එදා බුද්ධ දේශනාව විග්‍රහ කිරීමට ලියූ අර්ථ කථා පහක් ම අතීතයේ හෙළදිව භාවිතා වූ බව දකින්නට ඇත. මේ සියලුම අර්ථ කථා වලින් ලියා දැක්වූයේ එදා ගෞතම බුදුන් මාගධී බසින් දේශනා කර වදාල බුද්ධ ධර්මය මයි.මේ මුල් ම හෙළ අ‍ටුවා අනුරාධපුරයේදීත් දකින්නට ලැබිණි. මාගධී බසට හා හෙළ බසට ද භාවිතා කළේ එකම පොදු අක්ෂර හෝඩියකි.වෙන වෙනම අක්ෂර හෝඩි දෙකක් මෙහි නොවීය.මේ භාෂාවන් දෙකටම එදා භාවිතා කළේ ප්‍රාකෘත අක්ෂර ක්‍රමයකි.නමුත් මේ යුගයේ ඉන්දියාවේ භාවිතා කළේ බ්‍රාහ්මී අක්ෂර හා සංස්කෘත භාෂාවය.ඉන්දියාවේ පොදු ජනයා අතර කිසි දිනක මාගධී හෝ හෙළ බස භාවිතා නොවීය. මේ අනුව ලංකාවේ අතීත යුගයේදී එනම් අනුරාධපුර යුගයටත් පෙර බුද්ධ කාලයේදී හෙළබිමේ භාවිතා කල අකුරු හා අශෝක යුගයෙන් පසු අනුරාධපුර යුගයේදී භාවිතා කළ අකුරු වල යම් වෙනස්කම් ඇති බවද පෙනේ.මේ නිසාම බුද්ධ කාලයේදී හෙළදිව ලියූ සෙල්ලිපි කියවීමට බැරි අපහසු තත්වයක් අනුරපුර යුගයේ සෙල්ලිපි කියවන්නාට ඇති විය හැකිය. නමුත් අනුරපුර යුගයේ හා අශෝක යුගයේ අක්ෂර රටාව බොහෝ දුරට එක සමානය.එය ඉන්දියාවෙන් ලැබූ බලපෑමකි. එදා හෙළදිව යක්ෂ ගෝත්‍රිකයින් වාසය කළ යක්ෂ හෙළයේත්, නාග හෙළයේත් විසූ රාජ්‍ය පාලකයෝ මෙන් ම සමහර උගත්තු හෙළ බස හා මාගධී බස යන භාෂා දෙකම දැන සිටියහ. ගෞතම බුදු පියාණන් මාගධී බසින් දේශනා කළ ධර්මය සාතාගිරි, හේමවත යන යක්ෂ ගෝත්‍රික පාලකයෝ එදා තේරුම් ගත්හ. සමන මහරජු ද තේරුම් ගත්තේය. එමෙන් ම එදා වෙස්සවන මහ රජු ගෞතම බුදු පියාණන්ට ආටානාටා ප්‍රඥප්තිය හඳුන්වා දුන්නේ මාගධී බසින්ය. බුදු පියාණන් ද එය තම ශ්‍රාවකයින්ට මාගධී බසින් ම නැවත දේශනා කළ සේක.

මිහිඳු හිමියන් එදා (ලංකාවට) හෙළදිවට පැමිණ මගධ රාජ්‍යයේ රජගහ නුවරට (අම්පාරේ) ගොස් වසර කීපයක් පුරාම මාගධී බසත් හෙළ බසත් යන භාෂා දෙකම ඉගෙන ගෙන, හෙළ බසින් ලියූ බුදුකැලි අ‍ටුවාවද ‍රැගෙන අනුරාධපුරයට ගොස් දෙවනපෑතිස් රජුට බුද්ධ ධර්මය දේශනා කළේ මාගධී හා හෙළ බස යන භාෂා දෙකෙන් මය. මේ අනුව එදා අනුරාධපුර රාජධානියේ ජීවත් වූ බොහෝ අයද හෙළ බස මෙන් ම මාගධී බසත් හොඳින් ම දැන සිටි බව පෙනේ. කල් යත් ම හෙළ බස පොදු ජනයාගේ භාෂාව බවටත් මාගධී බස උගතුන්ගේ භාෂාව බවටත් පත් වීමද ක්‍රමයෙන් සිදු විය.

එදා හෙළදිව ජනපද දාසයෙහිමත් යක්ෂ හෙළයේ මෙන් ම නාග හෙළයේත් උගතුන් භාවිතා කළ මෙම මාගධී භාෂාව ඉන්දියාවේ කිසිම ප්‍රදේශයක හෝ රාජ්‍යයක හෝ භාවිතා කළ භාෂාවක් නොවේ. එදා ඉන්දියාවේ පැවති සියලු භාෂාවන් සංස්කෘත පදනම් කරගත් භාෂාවන් මිස ප්‍රාකෘත පදනම් කරගත් භාෂාවන් නොවේ.

ගෞතම බුදුන් හෙළදිව බුද්ධ ධර්මය දේශනා කළායින් පසුව ක්‍රමයෙන් දකුණු ඉන්දියාවටත් නැගෙණහිර කේරලය වැනි ප්‍රදේශ වලටත් බුද්ධ ධර්මය ව්‍යාප්ත විය. මෙසේ බුද්ධ ධර්මය ව්‍යාප්ත වීමත් සමගම පසු කාලයකදී දකුණු හා නැගෙණහිර ඉන්දීය රාජ්‍ය වලද මාගධී බස භාවිතා වන්නට විය. ඒ අනුව එදා හෙළදිව මාගධී හා හෙළබසින් ලියා තිබූ පොත්පත් ඉන්දීය භාෂා වලටත් පරිවර්ථනය කරන්නටද විය. ඉන්දීය විශ්ව විද්‍යාල වල පවා අතීතයේ මාගධී බස උගන්වන්නටද පටන් ගත්තේ බුද්ධ ධර්මය ව්‍යාප්ත වීමත් සමග මය.පෙළ යනු භාෂාවක් නොවේ. පෙළ දහම යනු මාගධී බසින් ලියූ පෙළ ගස්වා පේලි ලෙසින් සකස් කර ගත් බුද්ධ ධර්ම පාඨයන්ය. එසේ බුද්ධ ධර්මය පෙළ ගස්වා සකස් කළේ වනපොත් කර කටපාඩම් කරගෙන දිගටම මතකයේ පවත්වාගෙන ඒම සඳහා උපකාර වන ලෙසිනි. ශතවර්ෂ 7 කට පමණ පසුව, පෙළ දහම පාලි භාෂාවක් ලෙසින් ද අනුරපුර යුගයේ අවසානයේදී ව්‍යාප්ත වී එය ව්‍යාකරණ සහිත භාෂාවක්  ලෙසින්ද සකස් කර ගැනීම සිදු විය.අද භාවිතා කරන, ඉගෙන ගන්නා මෙම පාලි භාෂාව කෘත්‍රිමව සාදා සකස් කරගත් භාෂාවක් මිස බුදුන් එදා ධර්මය දේශනා කළ මාගධී භාෂාව ම නොවේ. මේ දෙක අතර වෙනස් කම් බොහෝය. බුද්ධ භාෂිතයේ එන මාගධී පද වලට අර්ථ, ධර්ම, නිරුක්ති, දැක්වීම කළ හැකිය. පාලි භාෂාවට ඇත්තේ ව්‍යවහාර අර්ථයන් පමණි.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.