අනුබෝධ ඥාණය හා ප්‍රතිවේධ ඥාණය

”දුක්ඛං අරිය සච්චං පරිඤ්ඤෙයියන්ති මේ භික්ඛවේ.
පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි,
ඥාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි,
අලෝකෝ උදපාදි, තං කෝ පනිදං
දුක්ඛං අරිය සච්චං පරිඤ්ඤාතන්ති”

ධම්මචක්කපවත්තන සූත‍්‍ර දේශණාවේ පෙන්වා වදාළ පරිදි දුක්ඛ අරිය සත්‍යාවබෝධය ලබා ගැනීම යනු පරිඤ්ඤෙයියන්ති – පරිඤ්ඤාතන්ති” යනුවෙන් දේශණා කර පෙන්වා ඇත. දුක පිළිබඳ අරිය සත්‍යය ”පිරිසිඳ දැන පිරිසිඳ දැකගත යුතුය” යන්න මෙහි අර්ථයයි.

ජීවිත පැවැත්ම යනු ප‍්‍රිය දේට ඇලීමත්, අපි‍්‍රය දේට ගැටීමත්, ප‍්‍රිය අප‍්‍රිය අතර දේට මුළා වීමත්ය. ප‍්‍රිය, අප‍්‍රිය යනු සිතක ගති පුරුදු දෙකකි. ගති පුරුදුවල අන්ත දෙකකි. සියලු සංඛාර වලට ”පටිච්ච” වීමෙන් ප‍්‍රිය අප‍්‍රිය දේට ඇලීම හා ගැටීම නිසා ජීවිත පැවැත්ම දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන්නා වූ විඤ්ඤාණ ආහාර (සමුදය) බිහි වෙයි. ප‍්‍රිය අප‍්‍රිය සියලු සංඛාරයන්හි අනිච්ච බව දුක්ඛ බව හා ඒ නිසා මතුවන සමුදය ධර්මයන්හි අනත්ථ බව තේරුම් ගන්නට නොහැකි වීම ”අපරිඤ්ඤාතන්ති” යන මාගධී පදයෙන් පෙන්වා දී ඇත.

සබ්බේ සංඛාරා අනිච්චාතී, සබ්බේ සංඛාරා දුක්ඛාතී, සබ්බේ ධම්මා අනත්ථාතී යන්න යථා පරිදි පිරිසිඳ දැනගත් පුද්ගලයා ”පරිඤ්ඤාතන්තී” තත්ත්වයට පත් වූ දුක පිරිසිඳ දැකගත් පුද්ගලයෙකි. ඔහු දුක්ඛ අරිය සත්‍යයද අවබෝධ කරගත් කෙනෙකි.

මේ අනුව ජීවිතයක් පවත්වාගෙන යාම යනුවෙන් සිද්ධ වන්නේ තමන්ගේ චිත්තසංථානය තුළම බිහි වන, පවතින, නැතිවී යන හේතුපල පරම්පරාවක් විනා සැබෑවටම පවතින, නියත වශයෙන්ම, නිස්සිත වශයෙන්ම තමන් කැමති වූ ආකාරයෙන් පවත්වාගෙන දිගටම නවත්වා ගැනීමට හැකි දෙයක් නොවන බව පිරිසිඳ දැක ගන්නට ලැබෙයි. මේ ආකාරයෙන් දුක සකස් වන්නේ තම චිත්තසංථානය තුළදීමය. ප‍්‍රිය බවට ඇලීමත්, අප‍්‍රිය බවට ගැටීමත් එ් අතර ඇතිවන දෝලනයත් දුකට හේතුවයි. ප‍්‍රිය, අප‍්‍රිය දෙකම උපේක්ඛා සිතින් ඉවසා, විමසා දැක ධර්මතාවය නියම ආකාරයෙන්ම තේරුම් ගත් කෙනෙකු ධර්මතාවයට විරුද්ධව ක‍්‍රියා කිරීම නතර කිරීමත් සමඟම දුක සකස් වීමද නවතී.

මෙසේ තම චිත්තසංථානයට අරමුණු වන්නා වූ සියලු අරමුණු නිස්සිත වශයෙන්ම ගැනීමට හෝ කැමති වූ පරිදිම සංඛාර කරමින් දිගටම පවත්වාගෙන යන්නට හෝ නොහැකි බව, නුසුදුසු බව යථා පරිදි නොදැනීම නොදන්නාකම ”දුක්ෙඛි අඤ්ඤාණං” ස්වභාවයයි. සබ්බේ සංඛාරා අනිච්චාතී බව තේරුම් ගැනීම දුක්ඛේ ඥාණයයි. අනිස්සිත වූ, අනිච්ච වූ යම් දෙයක්, තැනක් කෙනෙක් හෝ ධර්මතාවයක් නිච්ච සේ, නිස්සිත සේ වැරදි ආකාරයට දැක එය උපාදානය කරගන්නට සංඛාර කිරීම දුකට පත්වීමටත් අනාථ
තත්ත්වයට පත් වීමටත් හේතුවයි. පංචස්කන්ධයම උපාදානය කරගැනීමම මගේ, මගේ ආත්මය යන වැරදි දෘෂ්ඨියෙන් ක‍්‍රියා කරන්නේ ”අනිස්සිතෝච විහරති නච කිංචි ලෝකේ උපදියති” යන්න අවබෝධකර නොගත් නිසාමය.

රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධයන් පහම කෙනෙකුට උපාදානය කරගන්නට හැකි දේවල්ය. මීට අමතරව කිසිවක්ම ලෝකයේ නැත. පෘථග්ජන ලෝකයා පංචස්කන්ධයේ නියම, නිවැරදි ස්වභාවය, ස්වරූපය, නිවැරදි ආකාරයෙන්, යථා පරිදි නොදන්නා නිසාම පංචස්කන්ධයම සිතින් අල්ලා බදාගෙන, උපාදානය කරගන්නට වැර දරති. ජීවිත කාලය පුරාම උත්සාහ කරති.

චතු අරිය සත්‍යයන් අනුබෝධ ඥාණයෙන් අසා දැන යම් අවබෝධයක් ලැබූ කෙනෙකුට මෙසේ උපාදානය කරගන්නට උත්සාහ කරන පංචඋපාදානස්කන්ධය පිළිබඳවද යථා තත්ත්වය අසා දැන ගන්නට හැකි වෙයි. චතුරාර්ය සත්‍යයන් පිළිබඳව අරිය උත්තමයෙකුගෙන්ම, කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන්ම අසා දැන ලබාගත යුතු දැනුම, ඥාණය අනුබෝධ ඥාණයකි. මෙවන් අනුබෝධ ඥාණයක් ලබාගත් පසුව යා යුතු මඟ හා නොයා යුතු මඟ වෙන්කර තේරුම් ගෙන, යායුතු මාර්ගයේ ගමන් කිරීමෙනුත්, නොයා යුතු මාර්ගය අත්හැරීමෙනුත්, ධම්මානුධම්ම පටිපදාවෙහි හැසිරීමෙන් ප‍්‍රතිවේධ ඥාණයද සම්පූර්ණ කරගත හැකිය.

උදාහරණයකින් පෙන්වා දුන්නොත් ඔබට කොළඹට යා යුතු නම් කොළඹට ගිය කෙනෙකුගෙන්ම කොළඹට යන මාර්ගයේ මං සළකුණු නිවැරදිව අසා දැන ගත යුතුය. එ් මං සළකුණු සිත්හි දරාගෙන, එ් සියලු මං සළකුණු පසු කරමින් තමාම තම ගමන් මග පසුකරමින් ගමන් කර, කොළඹ කරා යා යුතුය. කොළඹට යන පාර මීට පෙර කොළඹ නොගිය කෙනෙක්ගෙන් අසා දැන ගැනීමද ප‍්‍රමාණවත් නොවේ. කොළඹට යන පාර අසා දැන ගත්තත් ගමන නොගියේ නම් කොළඹ දැකගත නොහැකිය. එසේම නිබ්බානගාමී මාර්ගය අරිය උත්තමයෙකුගෙන්ම අසා දැන, නිවැරදි අනුබෝධ ඥාණයක් හා පරතෝඝෝෂක ප‍්‍රත්‍යයද ලබාගත යුතුය. ඉන් අනතුරුව නිවැරදි මඟ දැක, සම්මා දිට්ඨියට පත් වී, යෝනිසෝමනසිකාරයෙන් මඟ අනුගමනය කර, ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදී, අනුබෝධ ඥාණය, ප‍්‍රතිවේධ ඥාණයක් ලෙසින් අත්විඳ ගතයුතුමය. නිබ්බාන යනු බැමි ලෙහා දමා නිදහස අත්විඳ, අත්දැක ගතයුතු දෙයක් මිස අසා දැනගත් පමණින් ලබාගත හැකි එකක් නොවේ.

කළ්‍යාණ මිත‍්‍රයෙකු විසින් අරිය ධර්මය පැහැදිළි කර පෙන්වා දී, අනුශාසනා ප‍්‍රාතිහාර්ය මගින් අනුගමනය කළයුතු ධම්මානු ධම්ම ප‍්‍රතිපදාව පෙන්වා දෙන විට, සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥාණයත්, සෝතාවදානේ පඤ්ඤා චින්තාමයේ ඥාණයත්, සෝතාවදානේ පඤ්ඤා භාවනාමයේ ඥාණයත් ලබාගත හැකිය. මෙය අනුමාන ඥාණයකි. ඒ නිසා එයට අනුබෝධ ඥාණය යැයිද නම්කර ඇත. එසේ තවත් බාහිර කෙනෙකුගෙන් අසා දැනගත් දේ තමන්ගේම මනසින්, යෝනිසෝමනසිකාරයෙන් අවබෝධ කරගත් පරිද්දෙන් ප‍්‍රායෝගිකවම එ් ධර්ම මාර්ගය අනුගමනය කිරීමෙන් එ් ප‍්‍රතිවේධ වශයෙන් ප‍්‍රත්‍යක්‍ෂ කරගැනීම ප‍්‍රතිවේධ ඥාණයයි. ”පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිතී” යන ධර්ම ගුණයේ පෙන්වා වදාළේද තමා තුළින්ම තමාම කෙළෙස් ප‍්‍රහාණය කළ බව විනිවිද දැකගත යුතු බව පෙන්වා දීමයි. මෙයද ප‍්‍රතිවේධ ඥාණයමයි.

1. අනුබෝධ ඥාණයෙන් ලබාගත් පූර්වභාග නුවණ නොලබා, සම්මා දිට්ඨියට පත්නොවී ප‍්‍රතිවේධ ඥාණය ලබන්නේද නැත.
2. අනුබෝධ ඥාණයෙන් අසා දැනගත් නිවැරදි මාර්ගය සම්පූර්ණයෙන්ම අනුගමනය නොකර චතුරාර්ය සත්‍යයන් ප‍්‍රත්‍යක්ෂ කරගත නොහැකිය.
3. අනුබෝධ ඥාණයෙන් තොරව සම්මා දිට්ඨියද, සම්මා දිට්ඨිය නැතිව සම්මා සමාධියද, සම්මා ඥාණයෙන්ද සම්මා විමුක්තියද ලබන්නටත් නොහැකිය.
4. අනුබෝධ ඥාණයේ පටන් ප‍්‍රතිවේධ ඥාණය සම්පූර්ණ කරගැනීම දක්වාම අනුගමනය කළයුතු ගමන් මඟ නිබ්බේදික පරියාය, ධම්ම පරියාය, වේදිතබ්බෝ පරියාය යනුවෙන්ද බුද්ධ ධර්ම විග‍්‍රහයේ පෙන්වා දී ඇත.
5. දුක්ඛ අරිය සත්‍යය, දුක්ඛ සමුදය අරිය සත්‍යය, දුක්ඛ නිරෝධ අරිය සත්‍යය හා දුක්ඛ නිරෝධගාමී මාර්ග ප‍්‍රතිපදා අරිය සත්‍යය අනුමාන ඥාණයෙන් අසා දැන ගත යුතුය. ඊළඟට දුක්ඛ අරිය සත්‍යය ”පරිඤ්ඤෙයන්ති පරිඤ්ඤාතන්ති” ලෙසින්ද, දුක්ඛ සමුදය අරිය සත්‍යය ”පහාතබ්බන්ති පහීයන්ති” ලෙසින්ද දුක්ඛ නිරෝධ අරිය සත්‍යය ”සච්ජිකාතබ්බන්ති සච්ජිකතන්ති” ලෙසින්ද, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සත්‍යය, ”භාවේතබ්බන්ති භාවිතන්ති” ලෙසින්ද දහම් ඇස පහදාගත යුතුය. (චක්ඛුං උදපාදි) ඥාණය උපදවා පහදා ගත යුතුය. (ඥාණං උදපාදි) ප‍්‍රඥා ඇස උපදවා පදාගත යුතුයි. (පඤ්ඤා උදපාදි) විනිවිද බැලීමේ ශක්තිය උපදවා, පහදා ගත යුතුය. (විජ්ජා උදපාදි) අලෝකෝ උදපාදි නම් ලෝක තත්ත්වය අතහැරීමට, මෝහය සහමුළින්ම බැහැර කළ යුතුය.
6. ජීවිතයක් පවත්වාගෙන යාමේ අනිස්සිත බව, දුක්ඛිත බව, අනාථ බව හා අසුබය යථා පරිදි තේරුම් ගෙන ”නිච්ච, සුඛ, අත්ථ සුබ සංඥා’’ ප‍්‍රහාණය කළයුතු බව ප‍්‍රත්‍යක්ෂ කර දැනගැනීම ප‍්‍රතිවේධ ඥාණයයි.

අනුබෝධ ඥාණය මඟින් අසා දැනගත් නිබ්බාන මාර්ගය නිවැරදිව අනුගමනය කිරීමෙන් චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගැනීම යනු ප‍්‍රතිවේධ ඥාණය සම්පූර්ණ කර ගැනීමයි.

අනුමාන ඥාණය ලබාගැනීම, චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගැනීම, සම්මා දිට්ඨියට පත්වීම, ප‍්‍රතිවේධ ඥාණ සාක්ෂාත් කරගැනීම ආදී සියලුම පියවරයන්හීදී ප‍්‍රායෝගිකවම කරගත යුත්තේ ”රාග ද්වේෂ මෝහ” නමැති කෙළෙස් ගති ප‍්‍රහාණය කිරීමයි. චිත්තසංථානයේ මුල් බැසගෙන ක‍්‍රියාත්මකව පවතින කෙළෙස් සහමුළින්ම උගුල්ලා දැමීම කරන්නට නොහැකි නම් එ් මාර්ගය නිබ්බාන මාර්ගය නොවේ.

චේතෝ විමුක්තිය හා ප‍්‍රඥා විමුක්තිය යන පාරිශුද්ධ තත්ත්වයන් දෙකම ලබාගත හැක්කේ කෙළෙස් ප‍්‍රහාණය කිරීමෙන්ම පමණි.

අනුබෝධ ඥාණය ලෞකික ඥාණයකි. එය ලෝකය තුළින්ම, ලෞකිකත්වය තුලින්ම දැනගත යුතුය. නමුත් ප‍්‍රතිවේධ ඥාණය ලෝකෝත්තර ඥාණයකි. ලෞකිකත්වයෙන් මිදී නිදහස් වී, ලෝක තත්ත්වයෙන් එතෙර වන්නට ”නාපරං” තත්ත්වයට පත්වන්නට උපකාර වන ඥාණය ලෝකෝත්තර ඥාණයකි. අනුබෝධ ඥාණය තුළින් දුක, දුක්ඛ සමුදය, ලෝක, ලෝක සමුදය තේරුම් ගත යුතුය. ප‍්‍රතිවේධ ඥාණය යන්න සමුදය නිරෝධ කිරීමෙන්ම නිරෝධගාමී මාර්ගය අනුගමනය කිරීමෙන්ම අත්විඳ ගතයුතු තත්ත්වයකි. ලෝකෝත්තර යනු ලෝකයෙන් එතෙර වීමයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.