ආර්ය අෂ්ඨාංගික මාර්ගය

නිවන පූර්ණ කරගැනීම සඳහා මිනිසෙකු විසින් අනුගමනය කළ යුතු නිවන් මඟ විස්තර කිරීමේදී ඉදිරිපත් කරන ලද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතුරින් අරිය අෂ්ටාංගික මාර්ගය ඉතාම වැදගත් අංගයයි. සංයුක්ත නිකායේ, මග්ග සංයුක්තයේ පෙන්වා වදාළේ මෙම අරිය අෂ්ටාංගික මාර්ගය පූරණය කර ගැනීමට උපකාරවන ප‍්‍රතිපදාවයි. මජ්ක්‍ධිම නිකායේ සම්මා දිට්ඨි සූත‍්‍රයේත්, අෂ්ටාංගික මාර්ගයේ මුල්ම අංගය වූ සම්මා දිට්ඨියට පත්විය හැකි නිවැරදි මාර්ගය චතුරාර්ය සත්‍යාවබෝධයම ලැබීම බව විවිධ ආකාරයෙන් පෙන්වා වදාරා ඇත. මීට අමතරව ත‍්‍රිපිටකයේ එන සූත‍්‍ර ධර්ම 600ක පමණම විග‍්‍රහ කර වදාළේ අරිය අෂ්ටාංගික මාර්ගයේ ඇති වැදගත් කමයි. මජ්ක්‍ධිම නිකායේ එන මහාචත්තාරික සූත‍්‍ර දේශණාවේ තරම් පිරිසිදුවත්, පැහැදිළිවත්, විස්තර සහිතවත් ලෝකෝත්තර අරිය අෂ්ටාංගික මාර්ගය පෙන්වා වදාළ වෙනත් තැනක් මුළු ත‍්‍රිපිටකයේම නැත.

බුදුපියාණන්වහන්සේ දේශණාකර වදාළ අරිය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය නැමති පළමුවන අංගය නිවැරදි ලෙසත්, පූර්ණ ලෙසත් පිරිසිඳ දැනගත් පුද්ගලයා සම්මා දිට්ඨියේ, සම්මා දිට්ඨිය තේරුම් ගත් අරිය පුද්ගලයෙකු වන බව සංයුක්ත නිකායේ පැහැදිළිවම පෙන්වා දී ඇත. මේ අනුව කොපමණ වෙහෙස දරා හෝ මහන්සී වී හෝ කෙනෙකු උත්සාහ ගත යුත්තේ බුදුපියාණන් දේශණා කරන ලද අරිය සම්මා දිට්ඨිය නිවැරදි ලෙස දැක ගැනීමටය. අරිය සම්මා දිට්ඨිය අවබෝධ කරගන්නට නොහැකිවීමේ එකම හේතුව නිසාම පෘථග්ජන ලෝකයා සංසාර දෘෂ්ඨියට යටවී, සංසාර දෘෂ්ඨියෙන් මත්වී, දහදුක් විඳිමින් සංසාර ගමනක යෙදී සිටිති. මිනිසෙකු ලෙස උපත ලබා උරුමයෙන් ලැබූ මනස දියුණු කරගෙන, කල්පනා කර, මේ පැවැත්ම, ජිවත්වීම පිළිබඳව සත්‍යාවබෝධයක් ලබාගන්නා තෙක්ම මේ සංසාර ගමනෙහි යම්කිසි සාරවත් බවක්ම දකී.

”සං” යනු එකතු කිරීම, උපාදානය කරගැනීම, රැුස්කිරීම යන තේරුම දෙන පදයකි. කුරා කුහුඹියාගේ පටන් මහා බ‍්‍රහ්මයා දක්වාම ඇති සියලුම ප‍්‍රාණීන්, සත්ත්වයන් තම මුළු ජීවිත කාලය තුළදීම නිරත වන්නේ යමක් එකතු කර අල්ලා උපාදානය කර ගැනීමේ ක‍්‍රියාවලියකයි. මේ එකතු කිරීමේ ක‍්‍රියාවලියේ ඇතිවීමක් සීමාවක් තෘප්තිමත් වීමක්ද නැත. එසේ එකතු කරගන්නේද වටිනවා, සාරයි කියා නිගමනය කරන දේවල්මය. මේ එකතු කිරීමේ නියත රටාව, ක‍්‍රියාවලිය දැක ගත හැකි නම් ඒ පුද්ගලයා ”සං” දැකගත් ”සංදිට්ඨිකෝ” යන තත්ත්වයට පත් වූ කෙනෙකි. මේ එකතු කරගත්, උපාදානය කරගත්, රැස්කර ගත් දේ සියල්ලම කුණු ගොඩක්, නිසරු දෙයක්, සංසාර බරක් බව නිවැරදිවම තේරුම් ගත් පුද්ගලයා සම්මා දිට්ඨියද තේරුම් ගත් කෙනෙකි. එකතු කරගත් දෙයින්, එකතු කරගත් කුණු ගොඩෙන් හැකි පමණ ඉක්මනින් බැහැර වී, කුණු ඉවත් කර, ඉන් මිදී නිදහස් විය යුතු බව දැන ගත්, තේරුම්ගත් තැනැත්තා, සම්මා දිට්ඨියේ අරිය සම්මා දිට්ඨියම තේරුම් ගත් කෙනෙකි.

මේ ආකාරයෙන් පංචස්කන්ධ කොටස් අතරින් ප‍්‍රිය මධුර කොටස් එකතු කිරීමත් එසේ එකතු කරගත් කොටස් උපාදානය කර රැස්කර ගැනීමත්, ඒවා ගබඩාකර තැන්පත් කර ගැනීමත්, ඒවා භාවිතයට ගෙන ආහාරයට ගෙන විඤ්ඤාණය ජීවත්වීමත් යන කරුණු පිළිබඳව දැන සංසාර දුකට හා සංසාර ගමනටද සමාජ දුකටද මුල්වන හේතුව මේ එකතු කිරීමම බවද යථා පරිදි දැන තේරුම් ගැනීිම ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්වීමයි. අලුතෙන් කුණු එකතු කිරීම නවත්වා, අතීතයේ එකතුකර මතු ප‍්‍රයෝජනය සඳහා ගබඩා කර තබාගත් කුණු සියල්ලද ප‍්‍රහාණය කර, අස් කර දමා ඉන් මිදී නිදහස් විය යුතු යැයි දැකීම සම්මා දිට්ඨියේ පිහිටීමයි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය යනු අතීත සංසාරයේදී එකතු කරගත් සියලු දෘෂ්ඨින්ගෙන්ද මිදී නිදහස් වීමයි.

චේතෝ විමුක්තිය, විද්‍යා විමුක්තිය හා ප‍්‍රඥා විමුක්තිය ලබන්නට නම් සියලුම දෘෂ්ඨින්ගෙන් මිදී නිදහස් වීම අවශ්‍යම දෙයකි. මහාචත්තාරිස සූත‍්‍ර දේශණාවේ සඳහන් කරුණු එකින් එක ගෙන විග‍්‍රහ කර බලා මිත්‍යා දෘෂ්ඨියෙන්ද මිදීමත් ලෞකික සම්මා දෘෂ්ඨියට පත්වීමත් ලෞකික සම්මා දිට්ඨියෙන්ද මිදී ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්වීමත් සඳහා අනුගමනය කළයුතු මාර්ගය නිවැරදිවම තේරුම් ගත යුතුව ඇත.

”අරියං – වෝ භික්ඛවේ, සම්මා සමාධිං දෙසිස්සාමි සඋපනිසං සපරිකඛාරං තං සුනාථ, සාධුකං මනසිකරෝත, භාසිස්සාමිති. කථමෝච භික්ඛවේ, අරියෝ සම්මා සමාධි සඋපනිසෝ සපරික්ඛාරෝ සෙය්‍යඨිදං සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති යා ඛෝ භික්ඛවේ ඉමෙහි සත්තහංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්කතා. අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි සඋපනිසෝ ඉතිපි සපරික්ඛාරෝ ඉතිපි”

මෙහි තේරුම : ”මහණෙනි අරිය සම්මා සමාධිය යනු කවරක් දැයි දේශණා කරමි. උතුම් බුද්ධ සාසනයේ මඟඵල ලබා අරිය සම්මා සමාධිය පූර්ණ කරන්නට නම් යෝනිසෝමනසිකාරයෙන් යුතුව මේ ධර්මය අසා, පිරිසිඳ දැන මේ මඟ උපනිශ‍්‍රය කරගෙන තම තමන්ම මේ මඟ අත්විඳ ගන්නටම උත්සාහ කළ යුතුය. සම්මා සමාධිය ලබා ගැනීම පරමාර්ථය කොට ගෙනම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති යන පූර්වාංග හතම තේරුම් ගෙන සිතෙහි ඒකාග්ගතාවය ඇති කර ගත යුතුයි. ඒකාග්ගතාවය යනු එකම අග‍්‍රවූ තත්ත්වය වන නිවන පූර්ණ කර ගැනීමයි”.

”තත‍්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති
කතඤ්ච භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති
මිච්ජා දිට්ඨං මිච්ජාදිට්ඨති පජානාති, සම්මා දිට්ඨිං සම්මා
දිට්ඨිති පජානාති සස්ස හෝති පජානාති”

මහණෙනි, සම්මා දිට්ඨිය සියල්ලටම මූලිකය. සියල්ලටම පෙර ගමන්කරුය. සම්මා දිට්ඨියට පත්වීම පළමුවන පියවරයි. මෙහිදී සම්මා දිට්ඨියට පත්වන්නට නම් මිත්‍යා දෘෂ්ඨිය පිළිබඳව පූර්ණ ලෙසින්ම දැන මිත්‍යා දෘෂ්ඨියට පත්වන්නට හේතූන් දැනගත යුතුය. මිත්‍යා දෘෂ්ඨියෙන් මිදීමෙන්ම සම්මා දිට්ඨියට පත්වේ. මෙහිදී දෘෂ්ඨිය යනු දැකීමයි. මිත්‍යා දෘෂ්ඨිය යනු අවිද්‍යාවෙන්, තණ්හාවෙන් මානයෙන් වැසුනු රාග, ද්වේෂ, මෝහ සහිත සිතකින් ලෝකය දෙස බැලීමයි. රාගයෙන් ලොව දෙස බලන කෙනෙකුට ලෝකයට ඇලෙන්නට, ලෝකය අයිතිකර, උපාදානය කරගන්නට බලවත් තෘෂ්ණාවෙන්, අභිජ්ජාවෙන්ම ක‍්‍රියා කරයි. මේ නිසා සියලු ආකාර වූ වෛර, ද්වේෂ, පටිඝ ගති ගුණද ඒ පුද්ගලයා තුළම පහළ වෙයි. ඔහු ඵල විපාක ගැන නොදනී. ඵල විපාක ඇතැයි නොසිතයි. පරලොවක් ඇතැයි නොසිතයි. මවුපිය, වැඩිහිටියන් වැනි ගරුකළ යුතු, සැළකිය යුතු අයට ගරු කිරීම, සැළකීම අවශ්‍ය නැතැයි සිතයි. ඕපපාතික සත්ත්ව කොටස්, දෙවි දේවතාවන් වැන්නන් ඇතැයි නොසිතයි. මහණ ශ‍්‍රමණ උතුමන්ගේ කීම පිළිනොගනී. මෙවන් අය සමාජ සම්මතයටද සදාචාරයටද නොගැළපෙන ලෙසින් පව් පින් හෝ නොසළකා තම ප‍්‍රයෝජන තකා පමණක් කි‍්‍රයා කරති. මෙවැන්නන් මිත්‍යා දෘෂ්ඨිකයෝය.

මිත්‍යා දෘෂ්ඨිය පාපයක් බව, වරදක් බව, සමාජ සම්මත නොවන බව හා සංවරත්වයට නොගැළපෙන බව තේරුම්ගත් අසා දැනගත් පුද්ගලයා ලෞකික සම්මා දිට්ඨියෙහි පිහිටා කටයුතු කරන යහපත්, හොඳ, නිවැරදි පුද්ගලයෙකි. මිත්‍යා දෘෂ්ඨික වී, අපායට යන බව තේරුම්ගත් දුක් විඳින්නට, දුක් උරුමවන්නට එය හේතුවන බව දැක ඉන් මිදී දෙව්ලොව යන්නට, මිනිස් ලොව උපත ලබා සැප සම්පත් විඳින්නට පාපයෙන් වැළකී, වරදින් වැළකී සම්මතයේ පිහිටා ක‍්‍රියා කිරීම සත්පුරුෂයෙකුගේ ලක්ෂණ බව දැන ක‍්‍රියා කරයි. එය ලෞකික සම්මා දිට්ඨියේ පිහිටා කි‍්‍රියා කිරීමයි. සම්මා දිට්ඨිය යන්න මේ ආකාරයෙන් තේරුම් ගත් පුද්ගලයා අනෙකුත් සම්මා අංගයන්ද ඊට අනුරූපවම දැන ගන්නා නිසා ඊට වෙනස් ලෝකෝත්තර අරිය සම්මා දිට්ඨියකට පත්වීමක් පිළිබඳව නොදනී. ලෞකික සම්මා දිට්ඨි පුබ්බංගම නිසා ඊට අනුරූපව සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති යන අංගයන් ද සම්මා සමාධියෙහිද පිහිටයි. ඒ ලෞකික සමාධියකි. අරිය සමාධියක් නොවේ. මේ නිසා මිත්‍යා දෘෂ්ඨියෙන් මිදී, ලෞකික සම්මා දිට්ඨියට පත්වීම පළමුවන පියවරයි.

”කථමාච භික්ඛවේ සම්මා දිට්ඨි,
සම්මා දිට්ඨිම්පහං භික්ඛවේ,
ද්වයං වදාමි, අත්‍ථි භික්ඛවේ,
සම්මා දිට්ඨි, සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා,
අත්‍ථි භික්ඛවේ, සම්මා දිට්ඨි,
අරියා අනාසවා, ලෝකුත්තරා මග්ගා අංගා”

මහණෙනි, සම්මා දිට්ඨිය යනු ඉතාම පැහැදිළි ලෙසින් දෙයාකාර වේයැයි මම ප‍්‍රකාශ කරමි. එකක් ලෞකිකය, ආසව සහිතය. ආසව ප‍්‍රහාණය කිරීමක් එහි නැත. පුඤ්ඤභාගිය, යහපත් පින්කම් කර ඇති නිසා ඒ පින් ඵල විපාක ලබන්නට පින උරුම වී ඉතිරිව ඇත. ඒ පින් ඵලදීම සඳහා නැවත නැවතත් උපතක් ලැබිය යුතුය. උපධි විපාකයන් ලබන්නට ඉතිරි වී පවති. ඒ නිසා සසර නිමාකර නැත. යහපත් ලෞකිකත්වයක් තුළම උරුමකරගන්නා එය මතු සුගති උපත් ලබන තත්ත්වයකි. අරිය තත්ත්වයට පත්වී නැත. මෙය ලෞකික සම්මා දිට්ඨිය යැයි ප‍්‍රකාශ කර පෙන්වා දෙමි. එය හොඳ, යහපත්, නිවැරදි පැවැත්මක් පමණි. එහි නිවනක් නැත.

නියම ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිටිඨිය ඉක්ම වූ අරිය තත්ත්වයකි. චතුරාර්ය සත්‍යයන්ම අවබෝධ කරගත් කෙනෙකුටම ලබාගත හැකි සම්මා දිට්ඨියකි. මෙය ලෝකෝත්තර මාර්ගයේ අංගයන් යථාපරිදි දැන ගෙනම ලබාගත යුතු උතුම් අරිය තත්ත්වයකි. ආසව ඛයකර දමා, ආසව පහකර දමන්නටම දැනගත් ඒ සඳහාම ක‍්‍රියා කරන කෙනෙකුගේ සම්මා දැක්මයි. සංසාරයේ මෙතෙක් කාලයක් තුළ එකතු කරගත්, ගබඩාකරගත්, සියලු රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණ ඛය කර දමා නිදහස් විය යුතු බව පසක් කොට දැනගත්, දැකගත් ධම්මෝ සංදිට්ඨිකෝ තත්ත්වය තේරුම්ගත් උත්තමයෙකුගේ දැක්මයි. ”සං’’ දැක, ”සං” වලින් මිදී නිදහස් විය යුතු බව දැනගත්, දැකගත් කෙනෙකු, ලෝකෝත්තර සම්මා දිට්ඨියෙහිම පිහිටා ක‍්‍රියා කරයි. මෙය ලෞකික අනරිය සම්මා දිට්ඨයෙන් හාත්පසින්ම වෙනස්ය. ”සංදෙස්සේති, සංමාදපේති, සමුත්තේජේති සංපහංසේති” යන ලොව්තුරා බුදුපියාණන් ම දේශණාකර වදාළා වූ සංදේශණාවේ උතුම් ඥාණ පද හතරම නිවැරදිව අසා දැන අවබෝධ කරගත් කෙනෙක්ම, ලෝකෝත්තර මාර්ග අංගය වූ සම්මා දිට්ඨියෙහි පිහිටයි. සම්මාදපේති යන ඥාණ පදය තුළ ඇතුළත් ධර්ම අර්ථයම සම්මා වීමට මඟ පෙන්වා දෙති යන්නයි. සම්මා දිට්ඨියට පත්විය හැකි වන්නේ සංදෙස්සේති හා සම්මාදපේති යන ඥාණ පද දෙක නිවැරදිවම අසා දැන තේරුම් ගැනීමෙන්ම පමණි. ඒ උතුම් සංදේශණාව භාවිතයෙන් ඉවත්ව, යටපත් වීම නිසා අද කෙනෙකුට ලෝකෝත්තර සම්මා දිට්ඨිය යනු කුමක්දැයි සිතාගන්නට පවා නොහැකිව, ලෞකිකත්වය නැමැති මැදක් අල්ලා ගෙන, ඒ මැදම කකා ඒ මදයෙන් මත්වී සංසාර ගමනක් යන බව නිවැරදිවම තේරුම් ගත යුතුයි. පෘථග්ජන තත්ත්වයෙන් මිදී අරිය තත්ත්වයට පත්වන්නට පවා අද මිනිසෙකුට ශක්තිය නැත්තේ හැකියාව නැත්තේ බුද්ධ ධර්මය නොදන්නාකම මිස වෙනත් කිසිම අඩුපාඩුවක් නිසා නොවේ. ලෝකෝත්තර අරිය අෂ්ටාංගික මාර්ගය යනු කුමක්දැයි තේරුම් ගන්නට නොහැකි වූ කලක මිනිසෙකුට අරිය තත්ත්වයට පත්විය නොහැකිය.

මේ අනුව මහාචත්තාරික සූත‍්‍රය කිහිප වරක් හෝ කියවා ලෞකික සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර අරිය සම්මා දිට්ඨිය යන දෙක අතර ඇති වෙනස්කම් තේරුම් ගෙන බුදුපියාණන් පෙන්වා වදාළ නිවන් මාර්ගයේ ගමන් කිරීමට ඔබද සුදුස්සෙකු වන්න. මේ අනුව ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් අරිය පුද්ගලයාගේ ගති ලක්ෂණ පිළිබඳව සරළ ලෙසින් තේරුම් ගත යුතුය.

1. ඔහු ”සං” දැක, ”සං” උපදින ආකාරයද දැකගත් කෙනෙකි. එනම් පටිඉච්ච සං උප්පන්න ධර්මතාවය පිළිබඳව යථාවබෝධය ලැබූ කෙනෙකි. තමා තමන් තුළින්ම සං උපදවා ගන්නා ආකාරය පැහැදිළිව දැකගත් කෙනෙකි.

2. තමා පටිච්චසමුප්පන්න ධර්මතාවයට බැඳීම නිසා උපදවා ගන්නා (සං) සමුදය ධර්මයන්ම ”අනිච්ච’’ බව දැකගත් කෙනෙකි. එනම් එසේ උපදවා ගන්නා සමුදය නිසා තමන් සංසාරයට බැඳෙන බවත් ඒ සංසාරයට බැඳීම තම කැමැත්ත පරිදි, රිසිසේ දිගින් දිගටම පවත්වා ගත හැකි එකක් නොවන බවත් දැකීමයි. වයසට යාම, දුකට පත්වීම, මරණයට පත්වීම, නියත වශයෙන්ම සිදුවන බව තේරුම් ගැනීම ”අනිච්ච” ධර්මතාවය තේරුම් ගැනීමයි. තමන්ට කැමති සේ, තම කැමැත්ත පරිදි පැවැත්විය හැකි දෙයක් නැති බව දැකීමයි.

3. මෙසේ පටිඉච්ච වීම නිසා තමන් උපදවා ගන්නා සමුදය ධර්මයන් උපදවීම නවතා ගැනීමට තමන්ටම ක‍්‍රමයක් ඇති බව අසා දැන ගැනීමයි. එනම් සමුදය නිරෝධ (නිර්-උදා) කිරීමෙන් නිදහස් විය හැකි බව දැකීමයි. අවිද්‍යා මූල සංඛාර නිරෝධ කිරීමෙන් ”භව” නිරෝධ කළ හැකි බව දැකීමයි.

4. සංවරා – සං එකතු කිරීමෙන් වැළකී සංසිඳවා – අතීතයේ එකතු කර, ගබඩා කරගත් සං සිඳවා දමා සම්මා තත්ත්වයට පත්වී, සහමුළින්ම ”සං” උපදවන ගති මුල් ගළවා දමා සං වලින් මිදී නිදහස් වී යාමට මඟක් ඇති බව දැනගත්, දැකගත් පුද්ගලයා ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වූ අරිය උත්තමයෙකි.

සංදේශණාවක් අසා මේ කරුණු තේරුම් ගෙන ඉහත දැක් වූ පියවර හතරම යථා පරිදි අවබෝධ කරගත් පුද්ගලයා ලෝකෝත්තර සම්මා දිට්ඨියෙහි පිහිටා ක‍්‍රියාකළ හැකි අරිය පුද්ගලයෙකි.

මහා චත්තාරිස සූත‍්‍රය සියවරක් කියවා කට පාඩම් කර ගත්තත් ”සං” යනු කුමක්දැයි තේරුම් නොගත් කෙනෙකුට එහි අර්ථ, ධර්ම, නිරුක්ති තේරුම් ගත නොහැකි නිසා එහි වෙනසක්ද දැකගත නොහැකිය.

”කථමා ච භික්ඛවේ, සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගඅංගා, යා ඛෝ භික්ඛවේ අරියචිත්තස්ස, අනාසවචිත්තස්ස, අරිය මග්ගසමංගිනෝ අරියමග්ගං භාවියතෝ, පඤ්ඤා, පඤ්ඤින්‍දියං පඤ්ඤාබලං ධම්මවිචයසංබොජ්ජංගෝ සම්මා දිට්ඨි මග්ගඅංගං අයංචුච්චති භික්ඛවේ සම්මා දිට්ඨි, අරියා අනාසවා ලෝකුත්තරා මග්ගාඅංගා සෝ මිච්ඡ දිට්ඨියා පහානාය වායාමති, සම්මා දිට්ඨියා උපසම්පදාය, ස්වාඅස්ස හෝති සම්මා වායාමෝ සෝ සතෝ මිච්ඡ දිට්ඨිං පජහති සතෝ සම්මා දිට්ඨිං උපසම්පජ්ජ විහරති සාස්ස හෝති සම්මා සති ඉතිඉස්සිමේ තයෝ සම්මා සම්මා දිට්ඨිං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති සෙය්‍යතිදං සම්මා දිට්ඨි, සම්මා වායාමෝ සම්මා සති”

බුද්ධ දේශණාවෙන් පෙන්වා දෙන මෙම ධර්ම අර්ථය තරම් වටිනා එතරම් ගැඹුරු ධර්මයක් මුළු ත‍්‍රිපිටකයේම තවත් තැනක ඇතැයි දැකගත නොහැකි තරම්ය. මුළු අෂ්ටාංගික මාර්ගයම, අරිය ධර්මයම සත්තිස් බෝධි පාක්ෂික ධර්මයම පිරිසිඳ දැනගත හැකි ධර්ම සම්භාරයක් මේ ධර්ම පාඨයේ ගැබ්වී ඇත. පිටු දහසක තරම් වූ පොතකින් හෝ මෙය විස්තර කර, පෙන්වා දී, අවසන් කළ නොහැකි වුවත් මෙහි අර්ථය කෙටියෙන් පැහැදිළි කරන්නට උත්සාහ කරමි.

ප‍්‍රඥා බලය, ප‍්‍රඥා ඉන්ද්‍රිය, ප‍්‍රඥාව යන සියල්ල අවස්ථා කිහිපයකදී හෝ මතුකර උපදවා පහදා ගත හැකි වන්නේ රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණ ක‍්‍රමයෙන් පහකර දමා, චිත්තසංථානයෙන් ඒ ගති ඉවත් කර ගැනීමෙනි. රාග, ද්වේෂ, මෝහ ගති වලින් සහමුළින්ම මිදී නිදහස් වීම ”සම්මා” වීමයි. ”සං” වලින් මිදී නිදහස් වීමයි. සම්මා දිට්ඨියට පත්වීම එකවරම කරගත නොහැකි නිසා මේ සඳහා මුලින්ම සම්මා විරිය, සම්මා වායාමය දැරිය යුතුය. එනම් සං වලින් මිදී නිදහස් වීම සඳහා යම් වීර්යයක් යම් උත්සාහයක්, යම් වායාමයක් භාවිතා කළ යුතු බවයි. සම්මා වායාමය පිරීමෙන්් නිසි ප‍්‍රතිඵල ලබාගත හැකි වන්නේ සම්මා සතියෙහිම පිහිටා ක‍්‍රියා කළහොත් පමණි. සම්මා සතිය යනුවෙන් පෙන්වා දුන්නේ හොඳ සිහිය යන අදහසට වඩා ඉතාම බලවත් අර්ථවත් එකකි. හේතුඵල ධර්මයට බහා ගළපා බලා, හේතුවම ඉවත් කිරීමෙන් – පටිඉච්ච ධර්මතාවයට නොබැඳී, නොගැටී, මිදී නිදහස් වීමෙන් සමුදය ධර්මයන් බිහි කිරීම නිර්උදා කර ගැනීමේ ශක්තිය සතියයි. සමුදය නිරෝධ කරගත හැකි වන්නේ සතියෙහි පිහිටා ක‍්‍රියා කිරීමෙන් පමණි. මේ සඳහා තවත් වැදගත් බෝධි පාක්ෂික ධර්මයක්ද උපකාර වේ. එය නම් ධර්ම විචය සම්බොජ්ජංගයයි. ධම්ම විචය සම්බොජ්ජංගය යනුද හේතුඵල විග‍්‍රහයේම විවිධ විග‍්‍රහයන් තුළින් විග‍්‍රහ කරන ලද සමුදය නිරෝධ කරගන්නට උපකාර වන ද්වතාවය ධර්මයන් විචක්ෂණය කර විචාරය කර බැලීමේ හැකියාවයි. රාග, ද්වේෂ, මෝහ ප‍්‍රහාණය කර දැමීමත් සමඟම මිච්ඡුා දිට්ඨිය ප‍්‍රහාණය වී මිච්ඡුා දිට්ඨියෙන් ඉවත්වීමද සිදුවෙයි. මිච්ඡුා දිට්ඨියෙන් ඉවත් වූ පමණටම අරිය චිත්තයක්, අනාසව චිත්තයක් ඇති නොවේ. ඒ සඳහා සීල, සමාධි පඤ්ඤා යන කොටස් තුනම සම්පූර්ණ කර ගැනීම සඳහා සංවර, සංසිඳවීම හා සම්මා වීම යන පියවර තුනම උපකාරයෙන් ”සං” ඉවත් කරගත යුතුය. චිත්තසංථානය (සං තැන්පත් කර ගන්නා තැන) සහමුළින්ම පිරිසිදු කරගෙන, ”සං වලින්” තොර තැනක් බවටම සිත පත්කර ගැනීම ප‍්‍රභාශ්වර චිත්තයක් බවට පත්කර ගැනීමයි. අරිය තත්ත්වයට පත්වීමයි. මෙතැනදී සම්මා දිට්ඨිය ලෝකෝත්තර වශයෙන් පූර්ණ වීම යනු සම්මා වායාමයත්, සම්මා සතියත්, සම්මා දිට්ඨියත් යන ධර්මයන් තුනම එනම් මිදි නිදහස්වන්නට උපකාරවන පියවර තුනම එකවර පුර්ණ වීමයි. මේ ධර්මයන් තුන සම්පූර්ණ කර ගැනීම යනු යමක් එකතු කර ගැනීම, දියුණු කර ගැනීම, වර්ධනය කර ගැනීම හෝ පූරණය කරගැනීම යන අදහස් නොවේ. අතහැර මිදී නිදහස් වීම යන අර්ථයෙන්ම ”සම්මා” යන පදය භාවිතා කළ තැනකි. ලෞකික සම්මා දිට්ඨියේ පිහිටිම යනු යහපත් දේ එකතු කර ගැනීමකි. දියුණු කර ගැනීමකි. පූර්ණය කර ගැනීම හොඳ යහපත් පූණ්‍ය කර්ම රැස්කර ගැනීමත් එහිදී අදහස් කරයි. නමුත් මෙතැනදී පින්, පව්, හොඳ, නරක, සියලු රැස්කරගත්, ගබඩා කරගත් කර්ම බීජ, විඤ්ඤාණ බීජ, උත්පත්ති බීජ, ප‍්‍රහාණය කර දමා, අස්කර දමා, ගති ලක්ෂණයන් ඉවත් කරගත යුතු බව ප‍්‍රඥාවෙන්ම දැකීමයි. එය ලෝකෝත්තර මාර්ග අංගයන් පූර්ණකර ගත හැකි දැකීමයි. සම්මා දිටිඨියයි. සම්මා සංකප්පය විග‍්‍රහ කිරීමේදීත් මේ ආකාරයෙන්ම විස්තර කෙරේ. ”කථමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ, සම්මා සංකප්පම්පනං භික්ඛවේ ද්වයං වදාමි. අත්ථි භික්ඛවේ සම්මා සංකප්පෝ සාසවෝ පුඤ්ඤභාගියා උපධිවෙපක්කෝ, අත්ථි භික්ඛවේ සම්මා සංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ”

”මහණෙනි, සම්මා සංකප්පය දෙයාකාර යැයි වදාරමි. එකක් ලෞකිකය. ආසව සහිතය. රැුස්කර ගත් පුඤ්ඤභාගයන්ගෙන් යුක්තය. ඵලවිපාක දෙන්නට සමත් උපාදානය කරගත් ගති වලින් යුක්තය. රාග, ද්වේෂ, මෝහ ගති සහිතය. අනික ලෝකෝත්තර සම්මා සංකප්පයයි. ආසව සහිත වූ, පුණ්‍යභාගිය වූ, උපධි විපාක ඇත්තා වූ, නෙක්ඛම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්පය, අවිහිංසා සංකප්පය යනු ලෞකික සංකප්පයයි. අද බුද්ධාගමේ ධර්මය දේශණා කරන කවුරුත් සම්මා සංකප්පය ලෙසින් විග‍්‍රහ කරන්නේ මෙය පමණකි. මෙය ලෞකික වූත්, හොඳ යහපත් වූත් නිවැරදි ජීවිතයක් ගෙවා දැමීම සඳහා උපකාර වෙයි. නිවන් අවබෝධ කරගැනීමට නම් මේ ලෞකික සංකප්පය ඉක්මවා ගිය ලෝකෝත්තර සම්මා සංකප්පයම කුමක්දැයි දැන, තේරුම් ගෙන එහිම පිහිටා ක‍්‍රියා කළ යුතුය.

එය මෙසේ විග‍්‍රහ කර පෙන්වා දෙයි.

”කථමෝච භික්ඛවේ, සම්මා සංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ, යෝ ඛෝ භික්ඛවේ අරියචිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ගසමග්ගිනෝ, අරිය මග්ගංගං භාවයතෝ තක්කෝ, විතක්කෝ, සංකප්පෝ අප්පණා ව්‍යප්පණා චේතසෝ අභිනිරෝපණා වචීසංකාරෝ අයං භික්ඛවේ සම්මා සංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ.”

”සෝ මිච්ඡ සංකප්පස්ස පහාණාය වායමති, සම්මා සංකප්පස්ස උපසම්පදාය, ස්වාස්ස හෝතී, සම්මා වායාමෝ, සෝ සතෝ මිච්ඡ සංකප්පං පජහති. සතෝ මිච්ක්‍ා සංකප්පං පජහති. සතෝ සම්මා සංකප්පං උපසම්පජ්ජ විහරති. සාස්ස හෝති, සම්මා සති, ඉතිඉස්සිඉමේ තායෝ ධම්මා සම්මා සංකප්පං අනුපරිධාව්ති, අනුපරිවත්තන්ති, සෙය්‍යඨිදං, සම්මා දිට්ඨි, සම්මා වායාමෝ, සම්මා සති”

මෙතැන විග‍්‍රහ කරන ලෝකෝත්තර සම්මා සංකප්පය පූර්ණ කරගත හැකි වන්නේ ”සං” දැක ගැනීමේ හැකියාව ඇති කරගත් කෙනෙකුට පමණි. සිතක කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා හා පාප විතර්ක මතුවන්නේ අතීතයේ එකතුකර, ගබඩා කරගත් ”සං” චිත්තසංථානයේ ගබඩාවී පවතින හෙයිනි. මේ ”සං” පහදා ඉවත්කර දමන්නට දරණ උත්සාහය සම්මා වායාමයයි. මේ ”සං” ක‍්‍රියාත්මක වන ආකාරය හේතුඵල ධර්මයට බහා ගළපා බලා දැක ගන්නට හැකි ශක්තිය සම්මා සතියයි. ”සං” පහදා, උපදවා, ඉවත්කර, අස්කර ගන්නට ඇප කැපවී ක‍්‍රියාකරන පුද්ගලයා ”උපසම්පදා” යන උසස් නාමයෙන් හැඳින්වූ පුද්ගලයායි. සම්මා දිට්ඨියේ, සම්මා දිට්ඨියට පත් නොවූ කෙනෙකු බුද්ධ භාෂිතයේ එන ”උපසම්පදා” යන උසස් ක‍්‍රියාව එනම් ”සං” උපදින තැන දැක, ”සං” පහදා දැන ”සං” ඉවත්කර, ඉන් මිදී නිදහස්වන්නට ඇප කැපවී ක‍්‍රියා කරන කෙනෙකුන් නොවේ. ලෝකෝත්තර සම්මා අංග අටම විග‍්‍රහ කර, විස්තර කිරීමේදී ”මිච්ඡ දිට්ඨි පහානාය – සම්මා දිට්ඨියා උපසම්පජ්ජති, මිච්ඡ වාචාය පහානාය සම්මා වාචාය උපසම්පදාය, මිච්ඡුා කම්මන්තස්ස පහානාය – සම්මා කම්මන්තස්ස උපසම්පදාය, මිච්ජා ආජීව පහානාය සම්මා ආජීව උපසම්පදාය” යනුවෙන් අවස්ථා පහකදීම ”සං” උපදින තැන දැක, ”සං” පහදා දැකගෙන ”සං” ඉවත්කර මිදී ”සං” වලින් තොර චිත්තසංථානයක් ඇති කර ගන්නට ඇප කැප වී ක‍්‍රියා කිරීම උපසම්පදා යනුවෙන් පෙන්වා දුන් ලෝකෝත්තර සම්මා අංගයන් සම්පූර්ණ කර ගැනීමයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන සම්මා අංගයන් පහම පූරණය කරගන්නට සම්මා දිට්ඨිය පුබ්බංගම වෙයි. පෙර ගමන්කරු වෙයි. එනම් ”සං” උපදින තැන දැකීම අනිවාර්යය වෙයි. ”සං” දැකගත් පසුව ඉවත් කර අස්කර දැමිය යුතු ”සං” රාග, ද්වේෂ, මෝහ ගති පහදා ඉවත් කිරීමටද සම්මා වීර්යයක්, වායාමයක් උත්සාහයක් දැරිය යුතුය. ඒ සඳහා සත්‍යාවබෝධයක්ම තිබිය යුතුය. ඒ සම්මා සතියෙහි පිහිටා ක‍්‍රියා කිරීමට ඇති සත්‍යාවබෝධයයි.

ලෝකෝත්තර සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා සංකප්පය, ලෝකෝත්තර සම්මා වාචා, ලෝකෝත්තර සම්මා කම්මන්තය හා ලෝකෝත්තර සම්මා ආජිවය යන අවස්ථා පහකදීම ”සං” ප‍්‍රහාණය කර ”සං” ඉවත් කර දමන්නට ක‍්‍රියා කිරීමේදී සම්මා දිට්ඨිය පුබ්බංගමය. එනම් ”සං” වලින් මිදී නිදහස් විය යුතු බව ප‍්‍රත්‍යක්ෂ කර දැකගත යුතුමය. ඉවත් කර, අස්කරගත යුතු කිළිිටි, කැත, කුණු, කෙළෙස් නිවැරදිවම තමා තුළම මුල්බැස ගෙන ඇති බව යථා පරිදි නොදුටු කෙනෙකුට අස්කර ඉවත්කරගත යුතු දේ කුමක්දැයි තේරුම් ගත නොහැකිය. එය නිවැරදිවම තේරුම් ගත් පසුව පමණක් එය ඉවත් කර, අස්කර දැමීමටද උත්සාහයක්, වීර්යයක් දැරිය හැකි වෙයි. අවසාන වශයෙන් ඒ කිළිිටි, කහට, කැත, කුණු කෙළෙස් චිත්තසංථානයෙන් ඉවත් කර දැමූ බව ප‍්‍රත්‍යක්ෂ කර දැන ගැනීම කළ හැක්කේද සම්මා සතියෙහි පිහිටා බැලීමෙනි.

මේ අනුව ලෞකික සම්මා දිට්ඨිය යනු මේ පැවැත්ම තුළම ඇති හොඳ, යහපත් නිවැරදි දැකීමකි. නමුත් ලෝකෝත්තර සම්මා දිට්ඨිය යනු ඉවත් කර, අස්කර දැමිය යුතු රාග, ද්වේෂ, මෝහ ගති උපදින තැන දැක ගැනීමකි. ඒවායින් මිදී නිදහස් විය යුතු බව දැකීමකි. සම්මා සංකප්පය ලෞකික වශයෙන් හොඳ, නිවැරදි, යහපත් සංකල්පනා පැවැත්වීමයි. නමුත් ලෝකෝත්තර සම්මා සංකප්පය යනු කාම විතර්ක, ව්‍යාපාද, විහිංසා විතර්ක උපදින්නට හේතු වූ මූල් වූ නිදාන වූ ගති ලක්ෂණයන් දැක ඒවා සහමුළින්ම චිත්තසංථානයෙන් ඉවත් කර දැමීම සඳහා ක‍්‍රියා කිරීමයි. සම්මා වාචා යනු හොඳ, යහපත්, නිවැරදි වචන භාවිතා කිරීමයි. ලෝකෝත්තර සම්මා වාචා යනු අයහපත් වචන භාවිතා කිරීමට මුල් වූ හේතුව දැක ඊට මුල් වූ නිදානය දැක ඒ ගති ලක්ෂණයන් සිතින්ම ඉවත් කර චිත්ත පාරිශුද්ධිය ඇති කර ගැනීීමට ක‍්‍රියා කිරීමයි. සම්මා කම්මන්ත යනු යහපත් කර්මාන්ත, ක‍්‍රියාවන් කිරීමයි. ලෝකෝත්තර සම්මා කම්මන්ත යනු සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන ”සං” උපදවන කර්ම බීජ උපදවන මුල් දැක ඒ මුල් ගළවා දමා නිර් උදා කර දැමීමයි. සම්මා ආජිව යනු යහපත්, හොඳ ජීවිතයක් පැවැත් වීමයි. ලෝකෝත්තර සම්මා ආජීව යනු ජරාවට පත්වන්නට, දිරායන්නට, ගෙවී යන්නට හේතුවන සියල්ලම අස්කර දමා ඉන් නිදහස් වීමයි. ආජීව යනු ජීවත් වීම අවසන් වීම යන්නයි. ජීවත් වීම යනු දිරාපත්වන, ජරාවට පත්වෙන, ගෙවී, විපරිණාමයට පත්වන වතක් පැවැත්වීමයි.

මහා චත්තාරික සූත‍්‍ර දේශණාවේදී මේ සියල්ලම විස්තර කර පෙන්වා දී, ඊළඟට මෙහි අනුපිළිවෙලද පෙන්වා දෙයි.

”තත‍්‍ර භික්ඛවේ, සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති, කථඤ්ච භික්ඛවේ,
සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති,
සම්මා දිට්ඨිස්ස භික්ඛවේ සම්මා සංකප්පෝ පහෝති,
සම්මා සංකප්පස්ස, සම්මා වාචා පහෝති,
සම්මා වාචස්ස සම්මා කම්මන්තෝ පහෝති,
සම්මා කම්මන්තස්ස සම්මා ආජිවෝ පහෝති,
සම්මා ආජිවස්ස සම්මා වායාමෝ පහෝති,
සම්මා වායාමස්ස, සම්මා සති පහෝති,
සම්මා සතිස්ස සම්මා සමාධි පහෝති,
සම්මා සමාධිස්ස සම්මා ඥාණං පහෝති,
සම්මා ඥාණස්ස සම්මා විමුක්ති පහෝති,
ඉති ඛෝ භික්ඛවේ අට්ඨංග සමන්නාගතෝ
සේඛෝ දසාංග සමන්නාගතෝ අරහා හෝති ”

මෙහි පෙන්වා දෙන පරිදි සම්මා දිට්ඨිය යන්න වැදගත්ම මූලිකම, ප‍්‍රධානතම අංගයයි. එනම් මෙතෙක් සංසාරයේ එකතු කරගත් තවදුරටත් එකතු කරන ”සං” පිළිබඳව යථාපරදි දැන සියලු දුකට හේතුව, මුල, නිදානය මේ ”සං” ගති බව දැක ඉන් මිදී නිදහස් විය යුතුය යන දෘෂ්ඨියට පත්වීමයි. එවන් ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්වූ පුද්ගලයා සම්මා සතියෙහි පිහිටා, සම්මා වායාමයක් දරත්ම අෂ්ටාංගික මාර්ගයම සම්පූර්ණ වී, සේඛ (අරිය) තත්ත්වයටත්, සම්මා ඥාණ ”සං” වලින් මිදුණු ඥාණයන් ලැබගෙන සම්මා විමුක්තියට පත් වී, ප‍්‍රඥා විමුක්තියටත් පත්වීමෙන් අරහත් තත්ත්වයටම පත්වේ, යන්න මෙහි තේරුමයි. මේ අෂ්ටාංගික මාර්ගය අනුපූර්ව ප‍්‍රතිපදාවකි. එකක් මුල්කොට ගෙනම ඊළඟ අවස්ථාව සම්පූර්ණ වෙති යන්න අවධාරණය කර පෙන්වා දීමකි. ”පහෝති” යන පදය භාවිතා කළේ ඒ නිසයි. ”සං දැක” ”සං” වලින් මිදිය යුතු බව දැක ”සං” වලින් මිදී නිදහස් වන්නට අනුගමනය කළයුතු මඟ දැකීම සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨියේ පිහිටීමත් සමඟ සම්මා වායාමය ද ඒ අනුව සම්මා සංකප්ප (සං වලින් මිදී නිදහස් විය යුතු බව දැකීම) සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අවස්ථා වලින්ද මිදී නිදහස් වන්නටද ක‍්‍රියා කිරීම නිවන් මාර්ගයේ ගමන් කිරීමයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.