දේව හෙළය හා දේව සංකල්පය

අනුරාධපුර යුගයට පෙර මේ හෙළදිව දීප හතරකට බෙදා උතුරුකුරු දීපය, ජන්බුද්දීපය, අපරගෝයානය හා පූර්ව විදේහය යන නම් වලින් මේ රටේම ජනයා සිවු හෙළය ලෙසින් භාවිතා කළ අතර ජන්බුද්දීපයේ දඹදිව වාසය කළේ දේව ගෝත‍්‍රික ජනතාවය. මොවුන් ආර්යයන් ලෙසින් ලෝකයා එවකටත් පිළිගෙන තිබිණි. බ‍්‍රාහ්මණ, ක්ෂති‍්‍රය, ඛත්තිය (කැත්කුලය) හා ශුද්‍ර නමින් කුල හතරකටම අයත් මිනිසුන් එදා වාසය කළේ දේව හෙළයේ ජන්බුද්දීපයේය. යක්ෂ හෙළයේ එවන් කුළ බෙදීමක් නොතිබිණි. යක්ෂ හෙළයේ තද බල ලෙසින් කුලගොත් අනුව මිනිසුන් බෙදා වෙන් කළ සමාජයක් නොවීය. නාග හෙළයේද යක්ෂ හෙළයේද රජ පෙළපත් වලට අයත් රජවරු රාජ්‍යය පාලනය කළහ.

ආර්යයන් විසින් පාලනය කරන ලද දේව හෙළය යාපනයේ සිට මාතර දක්වාම රට දෙකට මැදින් බෙදූ  කළ නැගෙනහිර අර්ධයට අයත් ප‍්‍රදේශවල ව්‍යාප්තව තිබිණි. නමුත් නාග ගෝත‍්‍රයට අයත් ජනතාව රට හැම තැනම වාගේ වෙළඳාම, ප‍්‍රවාහණය වත්කම් පාලනය කරමින් නගරවල වාසය කළ බවක් පෙනේ.

නා+ගර යනු නාග ගෝත‍්‍රිකයින් ගෘහයන් හදාගෙන ජීවත්වූ ප‍්‍රදේශයි. න+ගර නමින්ද, පසුව නගර බවට ද එ් ප‍්‍රදේශ පත්විය. දේව ගෝත‍්‍රිකයින්ගේ වාසස්ථාන නුවර හෝ පුරයන් විය. කපිලවස්තු පුරය, ශ‍්‍රාවස්ති පුරය, වරානාසි පුරය ආදී වශයෙනි. විශාලා මහ නුවර, රජගහ නුවර, සැවැත් නුවර ආදී වශයෙන් නුවරවල් තිබුණේද දේව හෙළයේය. ආටානාටා, පුරනාටා, කුසිනාටා ආදී වශයෙන් නාටා නමින් නගර පිහිටා තිබුනේ යක්‍ෂ හෙළයේය. (ආටානාටා සූත‍්‍රයේ 23 ගාථාව බලන්න)

දේව හෙළයේ රජකම් කළ බලවත් ප‍්‍රාදේශිය රජුන්ට, නායකයින්ට ”දේවයන් වහන්සේ” යන නමින් පොදු ජනයා දේවත්වයෙන් ආමන්ත‍්‍රණය කිරීමේ සිරිතක් පුරුද්දක් එදා තිබිණි. මේ අනුව බුද්ධ දේශනාවට අනුවද අංගුත්තර නිකායේ තික නිපාතයේ පෙන්වා දෙන ආකාරයට එවකට ජනුබුද්වීපයේම දේව කොට්ඨාසයන් තුනක් ගැනම සඳහන් වෙයි. එ්

I විශුද්ධි දේව
II උත්පත්ති දේව
III සම්මත දේව

යන දේව කොටස් තුනයි. එදා විශුද්ධි දේව යන නාමය භාවිතා වූයේ ද්වේශයෙන් තොර වු අරහතුන් වහන්සේලාටය. ද්වේශයෙන් වෙන් වු නිසා ”දෙවි” යන නම භාවිතා කළබව ත‍්‍රිපිටකයේම සඳහන් වෙයි. උත්පත්ති දේව යනු අප අද විශ්වාස කරණ දෙව්ලොව යනුවෙන් සළකන සදෙව් ලෝකයේ උපදින ඕපපාතික දේව කොට්ඨාසයන්ටය. ඔවුහු උපතින්ම දේව ලෙසින් හඳුන්වනු ලැබූහ.

සම්මත දේව යනුවෙන් හැඳින්වූයේ දේව ගෝත‍්‍රය යැයි සම්මතයෙන් පිළිගත්, ”දේවයන් වහන්සේ” යන සම්මත පදයෙන් එදා පොදු ජනයා හැඳින්වූ රජවරුන්ටය. ද්වේශයෙන් තොරව, මහජනයා කෙරෙහි මෛත‍්‍රියෙන් කරුණාවෙන් රටපාලනය කල බොහෝ රජවරුන් එදා සම්මතයෙන්ද දේවයන් වහන්සේ යන ගෞරව නාමයෙන්ද අමතනු ලැබූහ. එවැනි උතුම් රජවරු පසුව දේව නාමයෙන්ම පොදු ජනතාවගේ පුද පූජාවලටද වන්දනා මාන වලටද පාත‍්‍රවූහ.

එදා රුහුණේ කාචරගාම ප‍්‍රදේශයේ රජකම් කළ මහාසේන නමැති දේව ගෝත‍්‍රික රජතුමාට පොදු මහජනයා දේව සංකල්පයක් ආරූඪ කළහ. රජුගේ මරණයෙන් පසුවද අද වන තෙක්ම මහාසේන රජු දේවත්වයෙන් මහජනයා අතර පිළිගැනීමක් ඇත. කතරගම කිරිවෙහෙර ඉදිකළේද මහාසේන රජතුමාය. එම කිරිවෙහෙර භූමියේම මහාසේන රජතුමාගේ පිළිමයක් අදටත් දකින්නට ඇත. පසු කලෙක මහාසේන රජු මහාසේන දෙවියන් බවටත් ඊට පසු කලක කතරගම දෙවියන් ලෙසටත් හෙළ මහජනයා අතර ප‍්‍රසිද්ධ විය. ඒ අනුවම වැඳුම් පිදුම් කරන්නටද විය. දෙමළ හා හින්දු භක්තිකයෝ ස්කන්ධ පුරාණයේ සඳහන් ස්කන්ධ දෙවියන්, කතරගම දෙවියන් ලෙසින් අදත් අදහති.

එදා කුරුවිට හා ශ්‍රී පාද අඩවිය අයත් වූ කුරු රට රජකම් කළ ”සමන” රජතුමා ගෞතම බුදුපියාණන්ටද නෑදෑකම් ඇති රජ කෙනෙකි. ජනප‍්‍රවාදයට අනුව සුද්ධෝදන රජුගේ බාල සොහොයුරිය සරණ පාවා ගත්තේ සමන මහරජතුමාය. ගෞතම බුදුපියාණන්ගේ වාසයට සුදුසු පරිදි දිවා ගුහාව සකස් කර එක් වසක් එහි වැඩ හිඳුවා ගෙන ඇප උපස්ථාන කළේද සමන මහ රජුය. ගෞතම බුදුපියාණන්ගේ බුදු සිරිපතුල තම රාජ්‍යයට අයත් උසම ස්ථානයේ කොටවා එයට ගෞතම බුදුපියානන්ගේ බුදු පා පහසද ලබාගෙන හුදී ජනතාවට වැඳුම් පිදුම් කරන්නට ස්ථානයක් සකස් කර දුන්නේද ”සමන” මහ රජතුමාය. ගෞතම බුදුපියාණන්ගේ කේස ධාතූන් මිටක් ලබා ගෙන මහියංගනයේ දාගැබක් කරවා වැඳුම් පිදුම් කරන්නට පටන් ගත්තේද සමන මහරජතුමාය. ගෞතම බුදුපියාණන්ගෙන් ධර්මය අසා සෝවාන් මාර්ග ඵලයට පත් වු සමන මහ රජතුමාට එතුමාගේ අභාවයෙන් පසුව මේ රටේ වැසියන් දේවත්වයෙන්ම වැඳුම් පිදුම් කරන්නටද පටන් ගත්හ. අද දක්වාම සමන් දෙවියන්, සුමන සමන් දෙවියන්, යනුවෙන් දේවාල ගොඩ නංවා, දේව පිළිම තැන්පත් කර වැඳුම් පිදුම් කරන්නේ එදා සමන රජ නමින් කුරුරට රජකම් කළ හෙළදිව රජකම් කළ රජතුමාටය. එදා කුරුරට වෙළඳාම සඳහා පැමිණි අරාබි වෙළදුන් පවා සමන් දෙවියන්ට මෙන්ම බුදු සිරිපතුලටද වන්දනා මාන කරගත් බව ඉතිහාසයෙන් පැහැදිලි වෙයි.

ගෞතම බුදුපියාණන් සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කළ යුගයේ රුහුණේ රජකම් කළේ උත්පලවන්නා නම් රජ කෙනෙකි. උපුල්වන් දෙවියන් ලෙසින් පසු කලෙක දෙවිනුවර දේවාලයක් කර වැඳුම් පිදුම් කරන්නට පටන් ගත්තේ මේ රජතුමාටය. පසුව විශ්ණු පුරාණය ලියා එළි දැක්වු පසුව විෂ්ණු දෙවියන් යැයි දේවාල සකස් කර වැඳුම් පිදුම් කරන්නේද මේ රජතුමාගේ නාමයටය. මේ අනුව උපුල්වන් දෙවියන් විෂ්ණු දෙවියන් බවට පත්විය.

විභීසන දෙවියන්, අයියනායක දෙවියන්, ගලේ බංඩාර දෙවියන්, මින්නේරිය දෙවියන්, රංවල දෙවියන්, පත්තිනි මෑණියන් ආදී වශයෙන් හෙළබිම පොදු මහජනයා අතරේ අදත් දේවත්වයෙන් සලකා ගෞරවයෙන් වැඳුම් පිදුම් කරන්නේ එදා දේව හෙළයේ ජීවත් වූ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩිමනත් විශේෂ බලයකින් කටයුතු කළ මිනිසෙකුගේම නාමයටය. මෙවන් දෙවියන්ගෙන් මිනිසුන් උදව් උපකාර ඉල්ලා සිටීමද පැතීමද පැරණි හෙළ ජනතාවගේද පුරුද්දක් විය. මේ ආකාරයෙන් දේවාලයන් තනා දෙවියන්ට පුද පූජා පවත්වා භාරහාර වී සිත සනසවා ගන්නට හෙළබිම වැසියෝ අතිතයේ පටන්ම පුරුදුවූහ. මෙවන් දේව ඇදැහිලි හා පුදපූජා කාටවත්ම වරදක් හෝ පාපයක් හෝ නොවන නිසා අහිංසක කි‍්‍රයා සේ සලකා බුද්ධාගමටද මේවා ඇතුළු කරගත් බවද පෙනෙන්නට ඇත. ඉන්දියාවේ අතීතයේ පටන්ම දේව ඇදහිලි, පුද පූජා පැවති අතර ඉන්දියාවේ බලපෑම නිසාද ලංකාවේ බුද්ධාගමටද දේව ඇදැහිල්ල පසු කලෙක තදින්ම ඇතුළු විය.

උතුරුකුරු දිවයින, යක්ෂ හෙළය යන නම් වලින් එදා අතීතයේ හැඳින්වුයේ යාපනයේ පුනරින් සිට අලව්ව ගිරිඋල්ල දක්වාම වූ මහනෙරු නම් විශාල කඳුවැටියෙන් ඔබ්බෙන් වූ වනගත ප‍්‍රදේශයයි. මහනුවර හා මාතලේ දිස්ති‍්‍රක්ක වල සමහර ප‍්‍රදේශයන්ද යක්ෂ හෙළයේම පාලකයින් විසින් පාලනය කරන ලදි. ගෞතම බුදුපියාණන් බුද්ධත්වයට පත් වී ටික කාලයකින්ම ගෞතම බුදුන් මහියංගනයට වැඩම කළේ එහි වාසය කළ යක්ෂ ගෝති‍්‍රක මිනිසුන් ගෙන් බුද්ධ ශ‍්‍රාවකයින්ට කරදර වූ නිසා යක්ෂ ගෝති‍්‍රකයින්ට කරුණු කියා යකුන් දමනය කර ඔවුන් මෙල්ල කරන්නටය. ගෞතම බුදු පියාණන් මහියංගනයට වැඩම කළේ අම්පාරේ රජගල වාසය කරණ යුගයේදීය.

රාවණා පරපුරෙන්ම පැවත එන යක්ෂ ගෝති‍්‍රක රජවරුන් අතුරෙන් වෙස්සවන මහ රජතුමා ඉතාම බලවත් සියලුම යක්ෂ ගෝති‍්‍රක රජවරුන්ගේද නායක රජු ලෙසින් එදා කටයුතු කළ බවද ආටානාට සූත‍්‍රයේත්, මහා සමය සුත‍්‍රයේත් පැහැදිලිවම සඳහන් වෙයි. මේ අනුව පසු කලෙක වෙසමුණි රජතුමාටද, දේවත්වයක් ආරූඪ කර සතර වරම් දෙවියන් යන නාමය පටබැඳ අදවනවිට දේවත්වයෙන් සලකන්නට වන්නියේ ඇත්තෝ කි‍්‍රයා කරති.

යක්ෂ ගෝති‍්‍රකයින් කුම්භාණ්ඩ ගෝති‍්‍රකයන් හා සමහර නාග ගෝති‍්‍රකයින්ද එදා වෙසමුණි රජු තමන්ගේ මහ රජු ලෙසින් සලකා කි‍්‍රයා කළ බවද ති‍්‍රපිටකයේ ම සඳහන් වෙයි. එදා බුදුපියාණන් ජීවමානවම මේ හෙළ බිමේ වැඩවසන යුගයෙහි දේවත්වය සම්මතයෙන් ලබා ගත්, පොදු ජනයා දේවත්වයෙන්ම සැළකූ තවත් දේව කොටසක් මේ රටේම සමහර තැන් වල විසුහ. විශේෂයෙන්ම උඩරට මහනුවර ප‍්‍රදේශයේ එදා විසු ඒ ප‍්‍රදේශයන්හි අධිපති කම් කළ මේ රජුන් මේ රටේ අතීතයේ විසු රාවණා චක‍්‍රවර්ති රජ පරපුරෙන් පැවත එන පාරම්පරික නමින් පමණක් සක්විති රජවරුන්ය.

හෙළබිම විසු, හෙළබිමේම රජකම් කළ, රාවණා පරම්පරාවට අයත් වූ සක්විති රජවරුන් හත් දෙනාගෙන් පසුව සක්විති බලය නොලැබූ චක‍්‍රරත්නයේ බලය අහිමි වී ගිය එසේ නමුත් ඒ රජ පරපුරේම පසුකාලීනව පාරම්පරිකව පැවත එන්නන්ද මේ සක්විති නාමයම භාවිතා කළ බව පෙනේ. ”සමන” රජු මෙන්ම වෙස්සවන රජුද මේ සක්විති රජ පරම්පරාවටම නෑදැකම් කියු රජවරුන්ය. නමුත් ඔවුන් සක්විති නම භාවිතා කළේ නැත.

ති‍්‍රපිටකයේ සඳහන් වන පරිදි එදා ගෞතම බුදුපියාණන්ගෙන් ධර්මය අසන්නට පැමිණි සක්කස්ස දේවා නමින්ද, සක්කස්ස පනිත ආදී රජවරුන් මෙම සක්විති රජ පරම්පරාවට අයත් දේව නම ගත් රජවරුන්ය. අපි අද ”සක්දෙව් රජු” ”සක‍්‍රදේවේන්ද්‍රයා” ආදී පද වලින් මනඃකල්පිතව අදහන මේ නාමය යෙදුවේ භාවිත කළේ එදා මේ රටේම වාසය කළ ගෞතම බුදුන්ගෙන් බණ ඇසූ ”දේවානමින්ද” නම් සක්විති පරපුරේ රජුටය. ඊට හේතුව ඔහු සම්මත දේව කොටසේ නායකයා වීමයි. සක්කස්ස දේවානමින්ද යනු බුදුන්ගෙන් බණ ඇසු එදා මේ හෙළබිම ජීවත් වූ මිනිසෙකි.

මේ අනුව ඉන්දියාවේ ඇදහු දේව ආගම් සංකල්ප වලට වෙනස් දේව සංකල්පයන් මේ හෙළ බිමේ එදා ජීවත් වූ ජනතාව අතරේ පැතිරී තිබුණු බව පෙනේ. මේ රටේ අදත්, වැඳුම් පිදුම් කරණ සියලුම දෙවියන් සක්දෙවියන්ද ඇතුළුව එදා මේ හෙළ බිමේම වාසය කළ සාමාන්‍ය මිනිසුන්ට වඩා යම් විශේෂ වූ මානසික හෝ කායික ශක්තියක් ලබාගෙන මහජනතාවට යම් විශේෂ සේවයක් කළ මේ රටේම අතීතයේ වාසය කළ මිනිසුන්මය.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.