මුළු බුද්ධ දේශණාවම, පරම පවිත්‍ර සිරි සද්ධර්මයම දේශණා කළේ ලෝකයාට නිවන් අවබෝධ කර ගැනීමට මඟ පෙන්වන එකම පරමාර්ථයෙනි. “නිවන” යන අකුරු තුනෙහි නිවනක් නැත. නිවන් දකිත්වා යැයි ලක්ෂ වාරයක් කීවද එහිද නිවනක් නැත. “මම නිවන් දකිම්වා, සියල්ලෝ නිවන් දකිත්වා” යන පදවල ද නිවනක් නැත.
මේ පවතින ලෝකය තුළද ලෞකිකත්වය මිස නිවනක් නැත. නිවන් අවබෝධ කර ගැනීමට උපකාර කර ගත හැකි එකම තැනත් මේ මිනිස් ලෝකයමයි. ලෝකයෙහි මිනිසෙකු ලෙස ජීවත් වන කාලය තුළදීම මේ සඳහා සියලු වීර්යය, ධෛර්යය කළ යුතුය. මේ ලෝකය ප්‍රයෝජනයට ගෙන, ලෝකය තේරුම් ගෙන, ඒ උපකාර කර ගත් ලෝකයෙන්ද මිදී නිදහස් වීම නිවන් දැකීමයි. මරණයෙන් පසු නිවන් දැකීමට කිසිවෙකු සිතතොත් එය ලොකුම මෝහයයි.
නිවන් අවබෝධ කර ගැනීම යනු මෝහයෙන් මිදී යථාවබෝධය ලැබීමයි. යථාවබෝධයක් ලබා ගත යුත්තේ, උපතට මරණයට නියත ලෙසම හේතු පාදක වන හේතුඵල පරම්පරාවේ ක්‍රියාත්මක වීම පිළිබඳව සත්‍යය අවබෝධ කර ගැනීමටයි. මේ ධර්මතාවය පිළිබඳව සත්‍යය වටහා ගත් පසු ධර්මාවබෝධයක් ලැබූ මිනිසෙකුට, තමා සිතන, කරන, කියන සෑම දෙයක්ම ධර්මයට බහා බලා කටයුතු කිරීමේ ශක්තියක් ලැබෙයි. මෙය පුරුදු පුහුණු කරගත් කළ තමා හිතන, කරන, කියන දේ තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ සසර ගමන දික් කිරීමට, නිවන ප්‍රමාද කිරීමට හේතු වේ නම්, එය ප්රහාණය කර, ඒ සිතිවිල්ල, ක්‍රියාව, කථාව, අතහැර, ඉන් මිදී නිදහස් විය හැක. එවැනි යම් සිතුවිල්ලක්, ක්‍රියාවක්, කථාවක් තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ හෝ නිවනට උපකාර වේ නම්, නිවන් මඟ විවෘත කර දෙයි නම්, නිවන් මඟට ඇති බාධක, කෙළෙස් දවා හැර මඟ ශුද්ධ කර දෙයි නම්, එවැනි දේ සිතීම, කථා කිරීම වැඩි වැඩියෙන් පුහුණු කළ යුතුය. මේ සතර සතිපට්ඨානය වැඞීමයි.
යම් සිතුවිල්ලක්, කථාවක්, ක්‍රියාවක් නිසා සංසාරයට බැඳීම, ලෝකයාට සම්බන්ධ වීම, ලෝකය කෙරේ වූ බලාපොරොත්තු ඇති කිරීම වර්ධනය කරන එකක් බව දැක්කොත්, එය නිවනට බාධා බව දැක, ඉන් මිදී නිදහස් වීමට හැකි වන්නේ හේතුඵල දහම දැකීමෙන්ම පමණි.
පහකළ යුතු දේ ප්රහාණය කිරීමත්, ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කිරීමත් කළ යුත්තේ තම සිතින් තමාමය. වෙන කවුරු හෝ අම්මා, තාත්තා හෝ බුදුපියාණන් හෝ මහා සංඝරත්නය හෝ ඔබ වෙනුවෙන් මෙය කර දීමට ඉදිරිපත් විය නොහැකි බව සහතික කොට වටහා ගත යුතුය.
තමා ඉපදුනේ වෙන කාගේවත් වරදකින් හෝ වෙන කාටවත් අවශ්‍ය නිසා හෝ නොවේ. මරණ මොහොතේත් නොතිත් ආශා බලාපොරොත්තු සිත තුළ පැවති නිසා, තව කලක් මතුත් ජීවත් වන්නට කැමැත්තක් තිබූ නිසාම තමා නැවත උපතක් ලබා ගති. තැනක හා විය.
එවන් සියලු බලාපොරොත්තු අතහැර නිදහස් වීම නිවනයි. සිතෙහි උපදින සියලු කෙළෙස්, කුණු පහකර ශුද්ධ පවිත්‍ර කර ගත යුතුවාක් මෙන්ම, මතු පළදිය හැකි යහපත් පින් කුසල් ආදී සියලු දේමත් අතහැර, ඒවායින් ද නිදහස් විය යුතුය. කර්මජ කෝෂය හොඳ නරක, පින් පව් සියල්ලෙන් හිස් විය යුතුය. එවිට ඵල විපාක දීමට යමක් එහි ඉතිරිව නැති නිසා මතු උපතක් සිදු නොවේ. මේ අනුව නිවන් අවබෝධ කර ගන්නවා, නිවන් දකිනවා යනු කුමක් දැයි බුද්ධිගෝචරව දැන, ඒ සඳහා ක්‍රියා කළ යුතු ආකාරය, මඟ පෙන්වීම ලබා දීම, ධර්ම දේශකයින්ගේ හා පොත පතෙහි ධර්මය ලියා පළ කරන්නන්ගේ වගකීමයි. යුතුකමයි. මිනිසත් බවක් ලැබ උපත ලැබූ මේ අවස්ථාවේදීම, තමාම මේ කටයුත්ත කර ගත යුතු බව නැවත මතක් කරමි.