ත්‍රිහේතුක පටිසංධිය

ත‍්‍රිහේතුක ප‍්‍රතිසංධියෙන් උපත ලැබූ උතුම් බුද්ධ ධර්මයද නිවැරදිව තේරුම් ගෙන ඒ මඟද, ප‍්‍රතිපත්තිද අනුගමනය කර, මඟඵල ලබාගත හැකි බොහෝ මිනිසුන් අදත් අප අතරම ජීවත්වෙති. මේ ත‍්‍රිහේතුක ප‍්‍රතිසංධිය යනු ධර්ම අර්ථයෙන් කිහිප ආකාරයකින් විග‍්‍රහ කළහොත් ලෝභ අලෝභ, ද්වේෂ අද්වේෂ, මෝහ අමෝහ වෙන්කොට දැන හඳුනා ගෙන ලෝභක්ඛය කිරීමේ, ද්වේෂක්ඛය කිරීමේ, මෝහක්ඛය කිරීමේ හැකියාවයි. ශක්තියයි. ධර්මය අසා යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන හැම මිනිසෙකුටම මේ හේතු තුන තේරුම් ගත හැකිය. ”තේ සං හේතුං තථාගතෝ ආහ, තේසං චයෝ නිරෝධෝ, ඒවං වාදී මහා සමනෝ” යනුවෙන් අස්සජී මහඅරහතන් වහන්සේ දේශණා කර පෙන්වූයේ මේ හේතු තුනයි. නිරෝධ කළයුතු හේතු තුනයි.

ත‍්‍රිහේතුක ප‍්‍රතිසංධියක් ලැබීම යනු තවත් ආකාරයකින් ද විග‍්‍රහ කර දුන් තැන් ත‍්‍රිපිටකයේම ඇත. හේතුඵල ධර්මයට අනුගතව මෙය විග‍්‍රහ කිරීමේදී,

1. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මයට අනුව, සංසාර ගමනට මුල් වූ හේතු තේරුම් ගැනීම (සංදා).
2. අවිද්‍යාමූල පටිච්චපමුප්පාද ධර්මයට අනුව, සංසාර ගමනට හේතු වූ කරුණු නිරෝධ කිරීමට තේරුම් ගැනීම (විසංදා).
3. කුසලමූල පටිච්චසමුප්පාද ධර්මයට අනුව, කුණු මුල් කපා හැර, සහමුළින් උදුරා දමා, ලෝකෝත්තර කුසල් පිරීමට තේරුම් ගැනීම යන කරුණු තුනයි (අනිබ්බිසං).

”යෝ පට්ච්චසමුප්පාදං පස්සති – සෝ ධම්මං පස්සති”
”යෝ ධම්මං පස්සති- සෝ මං පස්සති”

යැයි දේශණා කර වදාළේත් මේ ත‍්‍රිහේතුක ප‍්‍රතිසංධිය ගැනමයි.

අද මිනිසුන් ලෙස උපත ලබා ඇති බොහෝ දෙනෙකු මේ උතුම් ධර්මය අසා, මඟඵල ලබා නිවන් දකින්නට තරම් වාසනාව ඇති ත‍්‍රිහේතුක පුද්ගලයින්ම බව මෙය කියවන ඔබට නිවැරදිවම අවබෝධ වනු ඇත. මෙතෙක් කලක් මේ උතුම් පටිච්චසමුප්පාද ධර්මය වැසී, යටපත් වී භාවිතයෙන් තොරව වචන පදවැල් ටිකක් සේ පැවතියත් අද එය අර්ථ, ධර්ම, නිරුක්ති සහිතව ඔබටත් තේරුම් ගතහැකි පරිදිම විග‍්‍රහකර දීමට තේරුම් කරදීමට හැකි ශක්තියෙන් යුක්ත අය ඔබ අතරම සිටින බව සිතන්න. අරහත් මාර්ග ඵලය දක්වාම මේ මඟ වඩන්නට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබාදෙන්නටත්, විපස්සනා කර්මස්ථාන ලබා දෙන්නටත් දැනුම, ශක්තිය හා අත්දැකීම් ලැබූ අය අද ඔබ අතරම සිටී.

මේ අනුව නිවන් අවබෝධ කරගන්නට අවංකවම උත්සාහ දරණ කිසිවෙකුටත් මංදෝත්සාහිවන්නට හෝ එය තවත් කල්දමන්නට හෝ හේතුවක් නැත. මේ ජීවිතයේදීම නිවන් අවබෝධ කරගත හැකිය. ඒ සඳහා තම තමාම ධර්මය අසා, තමා තුළම ඇති ලෝභ, ද්වේෂ, මෝහ ගති ගුණ තමා විසින්ම සහමුළින්ම ඉවත් කර නිදහස් විය යුතුමය. ඇත්ත ඇති සැටියෙන් අසා දැන, ඒ අසාදැනගත් සත්‍යයන්ට අනුකූලව මඟ අනුගමනය කිරීම මගින් ඔබටම නිවන් සුවය අත්විඳගනු හැකිය.

මිනිසුන් ලෙස උපතලබා ජීවත්වන අය අතර පුද්ගලයින් කොටස් හතරක් වාසය කරන බව ධර්මයේ පෙන්වා දී ඇත.

1. උග්ඝඨිතඤ්ඤ
2. විපඨිතඤ්ඤ
3. නෙයිය
4. පදපරම

යනු මේ කොටස් හතරයි.

පදපරම පුද්ගලයා යනු භාෂා ව්‍යවහාරයේ එක යම් වචනයකින් පදයකින් කියාපාන දේවල්වල අර්තය, ධර්මය හෝ නිරුක්තිය තේරුම් ගත නොහැකි වෙන කෙනෙකුගෙන් අසා දැන හෝ තේරුම් ගත නොහැකි බාහිර ව්‍යවහාර අර්ථය පමණක්ම අදහන, විශ්වාස කරන පෘථග්ජන පුද්ගලයායි. ඔහුට යම් ධර්ම පදයක ධර්ම අර්ථය තේරුම් ගන්නට ශක්තියක් නැති නිසා නියත වශයෙන්ම තවත් කල්ප කාලාන්තරයක් සංසාර ගමන යෑමටද සිදුවෙයි. අනිත් පුද්ගලයින් තුන්දෙනාටම මේ උපතේදී ධර්මය අසා විපස්සනා නුවණ පහළ කර මඟඵල ලබා නිවන් අවබෝධ කරගැනීමටම වාසනාව ඇත.

කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන් ධර්මය අසා බුද්ධ භාෂිතයේ ගෙනහැර වදාළ ධර්ම නිරුක්ති තේරුම් ගැනීිම නිවන් මඟ අනුගමනය කරන්නට අවශ්‍ය දැනුමයි. පාලි භාෂාව නමින් අද නම්කර, ව්‍යවහාර කරන, ව්‍යවහාර භාෂාව බුද්ධ භාෂිතයේ එන පදවලට නොයෙකුත් පුද්ගලයින් සම්මත කර පනවාගත් ව්‍යවහාර අර්ථයන් සහිත වූ පාරිභාෂිත භාෂාවකි. ඊට අමතරව ඒ ධර්ම පදවැල්ම විපස්සනා ඥාණයෙන් තේරුම්ගත හැකි ලෝකෝත්තර ධර්ම අර්ථයද අවබෝධ කරගත හැකි හැම කෙනෙක්ම නිවන් අවබෝධයට සුදුසකම් ලබන ”පදපරම” නොවන පුද්ගලයින්ය.

ගිහිගෙයි සිටින ඔබට අනන්ත අප‍්‍රමාණ බැඳීම්ය. දරුවන්ගේ, නෑදෑයින්ගේ, මිත‍්‍රයින්ගේ, රටවැසියන්ගේ, හිතවතුන්ගේ වැඩ රාජකාරි නිමවා, නිදහසක් ලබාගන්නට අපට මේ ජාතියේදී නම් හැකියාවක් නැත. මේ ආදී වශයෙන් සිතන සියලුම දෙනා පංචඋපාදානස්කන්ධය දැඩිව අල්ලා බදාගත්, ඒවා අතහැරිය නොහැකි තත්ත්වයටම හිතට වහල්වූ, සංසාර ගමන තවත් බොහෝ කාලයක් ගත කරන විඤ්ඤාණ ශක්තියෙන්ම කටයුතු කරන පෘථග්ජන පුද්ගලයින් ය.

ඒ අතරම බොහෝ අය සිතන්නේ ගිහිගෙය අත්හැර, භාවනා මධ්‍යස්ථානයකට ගොස් ලෝකයාගෙන් වෙන් වී හෝ හිමාල වනයට ගොස් සියල්ල අතහැර නිදහස් වීමෙන්ම පමණක් නිවන් දකින්නට මඟපාදාගත හැකි බවයි. එසේ සිතන්නේ ධර්මය නොදන්නා අය මිස ධර්මය දැනගත් අය නොවේ. හිමාල වනයට හෝ ආරඤ්ඤයට හෝ ගියද තම සිත දමනය කරගත නොහැකි නම් ඉන්ද්‍රියයන් සංවර කරගත නොහැකි නම් සිතෙහි රාග මූල, ද්වේෂ මූල, මෝහ මූල සිතුවිලි නිරෝධ කර කුණුමුල් සළා හැර, නිදහස් විය නොහැකි නම් ඒ පුද්ගලයාට නිවනක් නැත. යමෙක් තම නිවසේම සිට ධර්මය අසා, සිත දමනය කර, උපාදානය කර ඇති පංචඋපාදානස්කන්ධයම සිතින් මුදාහැර රාග, ද්වේෂ, මෝහ මුල් කපාහැර සිත ශුද්ධ පවිත‍්‍ර කර ගන්නේ නම් එතැනම නිවනද ඇත. මේ අනුව පන්සලක, කැලයක, ආරඤ්ඤයක, භාවනා මධ්‍යස්ථානයක හෝ හිමාලය වනයේ නිවන නැති බවත් තමාගේම සිත තුළින්ම නිවන් අවබෝධය ලැබිය යුතු බවත් සෑම බෞද්ධයෙකුම තේරුම් ගත යුතුයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.