හැඳින්වීම – “අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි” දෙවන ග්‍රන්ථය

(මීට මාස 16කට පමණ පෙර ලියා එළිදක්වන ලද “අප උපන් මේ හෙලබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි” යන පොතෙහි දෙවන කොටස මෙසේ ප‍්‍රකාශයට පත් කරන්නට තීරණය කළෙමි.)

මේ හෙලබිමේම උපන්, මේ හෙලබිමේම ජීවත්වන මිනිසුන් හැටියට මේ පොතෙහි සඳහන් වන පරම සත්‍යයන් අප කවුරු කවුරුත් හොඳින් කියවා විමසා බලා අවබෝධ කරගන්නට උත්සාහ දැරීය යුතුමය. ඇත්ත කථාකිරීමේ හා ලියා ලේඛනගත කර තැබීමේ අයිතිය සෑම මිනිසෙකුටම උරුමවූ මානසික නිදහසකි.

මේ පොතෙහි ලියා එලි දක්වන බොහොමයක් දේ කියවා දැනගත් පසුව ඔබ මෙතෙක් දැන සිටි, උගත් සම්මතයෙන් පිළිගත්, මතයන්ට වඩා වෙනස් ධර්ම අර්ථයක් මෙහිදී ඔබට දැනගන්නට ලැබෙනු ඇත. ”සම්මතයන් තුලින්ම පරමාර්ථ ධර්මය දැකීම” බුද්ධ ධර්මයයි. පොතපතින් කියවා කාගෙන්වත් අසා දැනගත් දේ සම්මතයන්ය. ඒවා අනුමානයෙන් අසා දැන ඉගෙනගත් දේවල්ය. ඔබ දැන ඉගෙන ගත් සම්මතයන් විනිවිද බලා ඒ අනුසාරයෙන් පරම සත්‍යයම දැක ගතයුතුය. පරම සත්‍යය දැකගැනීම තම තමන්ම කරගතයුතු දෙයකි. ඔබ වෙනුවෙන් තවත් කෙනෙකුට පරම සත්‍යය දැකගත නොහැකිය. මෙතෙක් කලක් පොත පත කියවා හෝ විශ්ව විද්‍යාල වලින් හෝ ඔබ ලැබූ දැනුම් සම්භාරය අනුමාන ඥාණයෙන් ලබාගත් දැනුමක්ම පමණක් බව ඔබටම වැටහෙන්නේ ප‍්‍රතිවේද ඥාණයෙන් පරම සත්‍යය දැකීමෙන්ම පමණි.

නීති පනවා, අනපනත් පනවා අටුවා, ටීකා ටිප්පනි ලියා පරම සත්‍යය යටපත් කර දැමීමට හැකි වන්නේ කෙටි කළකට පමණි. නියම නිවැරදි අවස්ථාවට පිංපිරූ දෙවි මිනිසුන්ට සත්‍යය අවබෝධ කරගන්නට පහසු වනු පිණිස පරම සත්‍යයන් මෙසේ හෙලි දැක්වීම මේ පොත් ලියා පලකිරීමෙහි එකම අරමුණයි.

ගෞතම බුද්ධ සාසනය තුලදීම නිවන් අවබෝධ කරගන්නට තරම් පිංපිරූ වාසනාවන්ත පිරිසක් මේ බුද්ධ භූමියෙහි – ජන්බුද්වීපයෙහි මේ හැදින්වීම වනවිට උපත ලබා සිටී. මේ සියලු කරුණු කාරණා හෙලි පෙහෙලි කිරීම් කරන්නේ එවන් අයගේ නිවන් මාර්ගය විවෘත කරදීමේ පරමාර්ථයෙන්ම, නිස්සරණ අධ්‍යාසයෙන්ම මිස වෙනත් පෞද්ගලික වූ බලාපොරොත්තුවක් මෙහි නැති බවද සියල්ලෝම තේරුම් ගනිත්වා.

පෘතග්ජන ලෝකයාට, පදපරම පුද්ගලයින්ට යම් තරමකින් හෝ ආර්ය මාර්ගය පිළිබඳවත් යම් දැනුමක් ලබාගන්නටත්, ආශ්චර්යයන් හා අත්භුත දේව සංකල්ප වලින් ඉවත් වී මිනිසාගේ මනසේ ශක්තිය තේරුම් ගන්නටත් මෙහි සඳහන් බොහෝ කරුණු උපකාරවෙනු ඇතැයි මම සිතමි. ඔබත් එවැනි පින්වතෙකු නම්, උතුම් බුද්ධ ධර්ම මාර්ගය අනුගමනය කරන්නෙකු නම්, මේ පරම සත්‍යයන් ඔබ සඳහා ම බව සිතන්න. ”නිවන් අවබෝධ කරගන්නට උපකාර වන පරම පවිත‍්‍ර සිරි සද්ධර්මය” නමින් පොත් 26ක්ම ලියා පලකිරීමෙන් පසුව ”බුදුන් උපන් දේශය හා බුද්ධ ශක්තිය පිළිබඳවත් මේ සත්‍යය කරුණු හෙලිකරන්නේ මහා පරිනිබ්බාන සුත‍්‍රයේ සඳහන් වන අවශ්‍යතාවක් ඌන පූරණය කරගැනීමට උපකාරවන පරිද්දෙනි. මේ යුග මෙහෙවර මා විසින් මෙසේ ඉටු නොකලේ නම් සම්මා දිට්ඨිය හා පරතෝඝෝෂක ප‍්‍රත්‍යය අද ලබාගන්නට දෙව් මිනිසුන්ට ලැබී ඇති උතුම් අවස්ථාවද මගහැරී යන්නට ඉඩ තිබුනි. මේ අනුව මෙය ධර්ම නියාමයටම අනුගතව සිද්ධ කරණ පරම සත්‍යයන් හෙලි දැක්වීමක් පමණි. ධම්මානු ධම්ම ප‍්‍රතිපදාවෙහි යෙදෙන පිංවතුන්ට නිවන් මග මතුකර ගැනීමට පිළිවෙතින් පෙළගැසීම සඳහාම මෙහි සඳහන් කරුණු උපකාර වේවා !

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි

2010 ඔක්තෝබර් 02,
පරම නිබ්බාන ධර්මායතනය,
වටරැක,
පාදුක්ක.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button