මහා නිධාන සූත්‍රයේ ලාභ පර්යේෂණ පටිච්ච සමුප්පාද විග්‍රහය

දීඝ නිකායේ, මහා නිධාන සූත‍්‍රයේ ගෙනහැරපා වදාළ පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය විභංගප‍්‍රකරණයේ හා මහා වග්ගපාලියෙහි ඇතුළත් අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයට වඩා වෙනස් ආකාරයේ විග‍්‍රහයකි. මෙහිදී අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයේම වෙනත් පැතිකඩක් විග‍්‍රහවන බවත් තේරුම් ගත යුතුය.

මජ්ක්‍ධිම නිකායේ සඳහන් අරිය පර්යේෂණ සූත‍්‍රයේ විග‍්‍රහ කර පෙන්වා වදාරා ඇත්තේ අරිය තත්ත්වයට පත්වීමට උපකාර වූ බුද්ධත්වයට පත්වන්නට මඟ හෙළි කරදුන් තමන් වහන්සේම පර්යේෂණ කර සොයා දැනගත් විපස්සනා පර්යේෂණ පිළිබඳවයි. සංසාර ගමනට මුල් වූ, නිදාන වූ හේතුව අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද නිරෝධ කිරීමෙනුත්, කුසලමුල පටිච්චසමුප්පාද භාවිතා කිරීමෙනුත් රිය අරිය තත්ත්වයට පත්කර ගති හැකි බව මේ අරිය පර්යේෂණයෙන් යථා පරිදි අවබෝධකර ගත්හ. මහා නිධාන සූත‍්‍රයේ ගෙනහැර දක්වා වදාළේ් අරිය පර්යේෂණවලට විරුද්ධ පැත්ත වන රිය පර්යේෂණ පිළිබඳවයි. මේ රිය පර්යේෂණ, ලාභ පර්යේෂණ ලෙසින්ද මහා නිදාන සූත‍්‍රයේම සඳහන් කර ඇත. පෘථග්ජන ලෝක සත්ත්වයා ලාභ පර්යේෂණ කරමින් නිරන්තරවම ලාභ පර්යේෂණ සඳහාම යොමු වෙමින් තම තමන්ම එකතු කරගන්නා උපාදානය කරගන්නා සමුදය කරගන්නා පංචඋපාදානස්කන්ධයම සංසාර ගමනටද හේතුවන බව මෙහිදී ඉතාමත් පැහැදිළිව විග‍්‍රහ කර ඇත. අරිය පර්යේෂණ පිළිබඳව නිවැරදිවම කෙනෙකුට තේරුම් ගතහැකි වන්නේ මහානිදාන සූත‍්‍රයේ පෙන්වා වදාළ රිය පර්යේෂණ (ලාභ පර්යේෂණ) පිළිබඳවද තේරුම් ගන්නට හැකියාව ලැබුණොත් පමණි. මේ අදහස ඇතිවම ආනන්ද හිමි බුදුපියාණන් මහා නිදාන සූත‍්‍රයේ සඳහන් මෙම ලාභ පර්යේෂණ, අනරිය පර්යේෂණ, රිය පර්යේෂණ විග‍්‍රහයන් දේශණාකර වදාළ බවත් පෙනේ. ලෝක සත්ත්වයා දිගින් දිගටම සංසාර දුකට වැටී දුක් විඳින්නේම තමන්ම යමක් එකතු කරගන්නට, උපාදානය කරගන්නට කරනු ලබන්නා වූ ලාභ පර්යේෂණයන් නිසාම බවත් කවදා හෝ මේ සත්‍යයන් අවබෝධ කරගන්නා තුරුම ලාභ පර්යේෂණ කරමින් හේතුඵල පරමිපරාවකට බැඳී ඒ හේතුඵල පරම්පරාවම නිධානය කොට, ප‍්‍රත්‍ය කොට, සමුදය කොට සංසාර ගමනේ යෙදෙන බවත් (රිය ගමන) යන බවත් පෙන්වා වදාළහ. රිය ගමනට හේතුව නිවැරදිවම තේරුම් ගත් කෙනෙකුට පමණක් රිය අරිය කළ හැකි බවද මෙයින් පෙන්වා දී ඇත. මහා නිදාන සූත‍්‍රයේ ගෙනහැරපා වදාළ පටිච්චසමුප්පාද විග‍්‍රහය මෙසේය.

“ජාති පච්චයා ජරා මරණන්ති ඉති ඛෝ පනෙතං වුත්තං තදානන්‍ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යථා ජාති පච්චයා ජරා මරණං ජාති චාහි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සචි කිම්හිචි සොය්‍යතිදං….. තේසං තේසංච ආනන්ද සත්තානං තථත්තාය ජාති නා භවිස්ස සබ්බසෝ ජාතියා අසති ජාතිනිරෝධා අපි නු ඛෝ ජරාමරණං පඤ්ඤායෙථාති නො හේතං භන්තේ. තස්මානිහානන්‍ද එසේව හේතු, ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ ජරාමරණස්ස යදිදං ජාති

ඉති ඛෝ පනේතං ආනන්‍ද
වේදනං පටිච්ච තණ්හා
තණ්හා පටිච්ච පරියේසනං
පරියේසනා පටිච්ච ලාභෝ
ලාභං පටිච්ච විනිචජයෝ
විනිචජයං පටිච්ච ඡන්‍දරාගේ
ඡන්‍දරාගං පටිච්ච අපේඣාසානං
අපේඣාසානං පටිච්ච පරිග්ගහෝ
පරිග්ගහං පටිච්ච මච්ජරියං
මච්ජරියං පටිච්ච ආරක්ඛෝ
ආරක්ඛාධිකරණං පටිච්ච දණ්ඩදාන…
අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවන්තී.’’

අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයේ ඇතුළත් වේදනා, තණ්හා, උපාදාන, භව යන අවස්ථාවන්ගෙන් තණ්හා සහ භව අතර සිදුවන පටිච්ච සං උත්පාද ධර්මතාවය මෙහිදී ලාභ පර්යේෂණ වශයෙන් නැවතත් අවස්ථා නවයකදීම දියුණුවන ආකාරය (ප‍්‍රත්‍ය වීම) පෙන්වා දී ඇත. තැනකට හාවූ පසුව සිතින්ම කරනු ලබන ලාභ පර්යේෂණ හේතුවෙන්ම ලෞකික වශයෙන්, භෞතික වශයෙන් සියලු සත්ත්වයා මිහිපිට ඇති බොහෝ දේ අයිති කර ගන්නට, උපාදානය කරගන්නට කරනු ලබන ක‍්‍රියාදාමයත්, ඒ නිසාම කරන්නට සිදුවන දඬුමුගුරු ගැනීම, මිනිසුන්, සතුන් මැරීම ආදී සියලු ආකාර වූ පාපී ක‍්‍රියාවලට මුල්වන එකම හේතුවත් මේ ලාභ පර්යේෂණයන් කිරීමම බව මෙහිදී පැහැදිළිවම පෙන්වා ඇත. මේ සියල්ලමත් සිත තුළම ක‍්‍රියාත්මක වන දේය.

පෘථග්ජන මිනිසෙකුට මේ ලෞකිකත්වය තුළින් මොනයම් දෙයක් හෝ අල්ලා උපාදානය කරගන්නට කරනු ලබන සියලු ආකාර වූ උත්සාහයන් ලාභ පර්යේෂණ කොටසටම ඇතුළත්ය. ලෞකික ධ්‍යානයක් ලබා ගන්නට පවා කරනු ලබන සියලු උත්සාහයන්ද මීටම ඇතුළත් බව මෙයින් දැනගත යුතුය. අනරිය වූ ධ්‍යාන අෂ්ට සමාපත්ති, ඍද්ධි ප‍්‍රාතිහාර්යයන්, අභිඥා යන සියලු දේ ලාභ පර්යේෂණ කොටසටම අයත්වේ. මාර්ගඵල හා අරිය ධ්‍යානයන් පමණක් අරිය පර්යේෂණ කොටසකට ගැනෙන බව මෙයින් පැහැදිළිවම දේශණා කර වදාළ සේක. මහානිධාන සූත‍්‍රයේ මෙතරම් විග‍්‍රහ සහිතව විස්තර සහිතව ප‍්‍රකාශකර වදාළේ පෘථග්ජන ලෝක සත්ත්වයාට නිවන් මඟ වැසී, සංසාර දුකට පත් වී, ලෞකිකත්වය තුළම හිර වී, මංමුලා වී රිය ගමන යන්නට මුල්වන හේතුව පැහැදිළි කිරීමයි. මේ සූත‍්‍රයේ දක්වා ඇත්තේ නිවන් මඟට උපකාරවන කරුණු නොව නිවන වසා සිටින කරුණුය. සියලුම පාථග්ජන ලෝක සත්ත්වයා දහදුක් විඳිමින් මුළු ජීවිත කාලයම උත්සාහ දරන්නේ මෙවන් වූ කුණු පොදියක් ආශාවෙන්, තණ්හාවෙන් එකතුකර ඒ කුණු පොදියක හිමිකරුවා වීමටය. සියලුම ලාභ පර්යේෂණ කරන්නේ සංවර්ධනය කරන්නේ මේ පංචඋපාදානස්කන්ධයම නැවත නැවතත් තව තවත් අල්ලා බදාගැනීමේ ඒකායන අරමුණු ඇතිවය. මෙසේ අල්ලා උපාදානය කරගන්නා පංචඋපාදානස්කන්ධයන් හැර වෙන කිසිම දෙයක් නිසා තමන් ලෝකයාට බැඳී නැත. ඒ පංචඋපාදානස්කන්ධයන්ම නිසා බිමට බරක් වී ඇත. සංයෝජන දහයකටම බැඳී ඇත. මරණ මොහොතේ මාරයාට ණය ලෙසින් ආපසු ගෙවන්නට සිදු වන්නේ ද මෙසේ අල්ලාගත් උපාදානය කරගත්, ණයට ගත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයන්මය.

සත්ත්වයා අතර මිනිසුන් අතර සියලු සමාජගත ප‍්‍රශ්ණ ඇතිවන්නට හේතුවත් තරඟය, බලය, ධනය, නිලය වැනි ප‍්‍රශ්ණ ඇතිවන්නට හේතුවත්, යුද්ධ කලකෝලාහල ඇතිවන්නට මූලික හේතුවත්, නිධාන හේතුවත්, මනාකොට පැහැදිළි කර විග‍්‍රහකර පෙන්වා දුන්නේ මහානිධාන සූත‍්‍ර දේශණාවෙනි. සක්ක පඤ්ඤ, කලහ, විවාද සූත‍්‍ර වලින්ද මහානිධාන සූත‍්‍රයේ ගෙනහැර පා වදාළ ලාභ පර්යේෂණ, රිය පර්යේෂණ නියාය, තවදුරටත් උදාහරණ සහිතව විස්තර කර ඇත. මේ අනුව බලන කළ ඉතාමත් සුපරික්‍ෂාකාරීව දැකගත හැකි වැදගත්ම කරුණක් නම් මුළු බුද්ධ දේශණාවේම සඳහන් සියලුම සූත‍්‍ර ධර්මවලින් විග‍්‍රහ කර ඇත්තේ පටිච්චසමුප්පන්න නියායයේම අඩංගු මූලධර්මයන් විවිධාකාරයෙන් විග‍්‍රහ කර, විභජනය කර ඉදිරිපත් කිරීමකි. අද මේ උතුම් බුද්ධ ධර්මය තේරුම් ගන්නට නොහැකිව ඇත්තේ පටිච්චසමුප්පාද ධර්මයම විකෘති කර අර්ථයන් යටපත් කළ නිසයි. ”ඉච්ච” යන පදයේ අර්ථය නොදැනීමත්, සංදේශණාව යටපත්වීමත් නිසා සං උත්පාද, සමුදය වන ආකාරය තේරුම් ගැනීමට නොහැකි වී ගිය පසුව අද පදවැල් කියව කියවා නිවනක් පතති.

”පටිඉච්ච” යනු කැමැත්තට බැඳීමයි. අනිච්ච යනු එසේ කැමැත්තට බැඳුණු පසු කැමැති වූ දේ, කැමැති වූ ආකාරයට පැවැත්විය නොහැකි යන නියත ධර්මතාවයයි. දුක බිහිවන්නේ පටිඉච්ච වූ දෙයක නියත ලක්ෂණය වූ අනිච්ච බව තේරුම් නොගැනීම නිසයි. අනිච්ච ධර්මතාවය තේරුම් ගෙන එවන් අනිච්ච වූ දෙයකට නොබැඳී පටිඉච්ච නොවූයේ නම් දුකක් උරුම වන්නේ ද නැත.

විචිකිච්චාවෙන් කටයුතු කරන කෙනෙකුට පටිඉච්ච හෝ අනිච්ච යන ධර්මතාවන් කිසිවක්ම නුවණින් දැනගන්නට නොහැකි වෙයි. මේ නිසා ”විචිකිච්ච” යන්න තේරුම් ගෙන විඤ්ඤාණ චිත්තයේ කැමැත්තටම වහල්වී කටයුතු කිරීමෙන් වැළකී අනිච්ච ධර්මතාවය මෙනෙහි කරන්නට පුරුදු වුවහොත් ඒ පුද්ගලයා නිවන් දකින්නට සුදුසු තත්ත්වයටම පත් වූවෙකු වෙයි.

එවන් පුද්ගලයා අභිජ්ජාවෙන් මුළා නොවෙයි. උද්ධච්ච, කුක්කුච්ච යන ගති ලක්ෂණවලින් ද ඉවත් වෙයි. මේ නිසා ”ඉච්ච” යන පදයෙන් බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ පදයේ තේරුම නිවැරදිවම තේරුම් ගන්නා තුරාවට, කෙනෙකුට නිවන් අවබෝධ කරගත නොහැකි වෙයි. පෘථග්ජනයා යනු තම සිතේ පහළවන කැමැත්තට වහල්වී, කැමති දේ එකතුකරන්නට උත්සාහ දරමින් කුණු එකතුකර ගන්නා පුද්ගලයායි.

Share Button

ත්‍රිහේතුක පටිසංධිය

ත‍්‍රිහේතුක ප‍්‍රතිසංධියෙන් උපත ලැබූ උතුම් බුද්ධ ධර්මයද නිවැරදිව තේරුම් ගෙන ඒ මඟද, ප‍්‍රතිපත්තිද අනුගමනය කර, මඟඵල ලබාගත හැකි බොහෝ මිනිසුන් අදත් අප අතරම ජීවත්වෙති. මේ ත‍්‍රිහේතුක ප‍්‍රතිසංධිය යනු ධර්ම අර්ථයෙන් කිහිප ආකාරයකින් විග‍්‍රහ කළහොත් ලෝභ අලෝභ, ද්වේෂ අද්වේෂ, මෝහ අමෝහ වෙන්කොට දැන හඳුනා ගෙන ලෝභක්ඛය කිරීමේ, ද්වේෂක්ඛය කිරීමේ, මෝහක්ඛය කිරීමේ හැකියාවයි. ශක්තියයි. ධර්මය අසා යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන හැම මිනිසෙකුටම මේ හේතු තුන තේරුම් ගත හැකිය. ”තේ සං හේතුං තථාගතෝ ආහ, තේසං චයෝ නිරෝධෝ, ඒවං වාදී මහා සමනෝ” යනුවෙන් අස්සජී මහඅරහතන් වහන්සේ දේශණා කර පෙන්වූයේ මේ හේතු තුනයි. නිරෝධ කළයුතු හේතු තුනයි.

ත‍්‍රිහේතුක ප‍්‍රතිසංධියක් ලැබීම යනු තවත් ආකාරයකින් ද විග‍්‍රහ කර දුන් තැන් ත‍්‍රිපිටකයේම ඇත. හේතුඵල ධර්මයට අනුගතව මෙය විග‍්‍රහ කිරීමේදී,

1. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මයට අනුව, සංසාර ගමනට මුල් වූ හේතු තේරුම් ගැනීම (සංදා).
2. අවිද්‍යාමූල පටිච්චපමුප්පාද ධර්මයට අනුව, සංසාර ගමනට හේතු වූ කරුණු නිරෝධ කිරීමට තේරුම් ගැනීම (විසංදා).
3. කුසලමූල පටිච්චසමුප්පාද ධර්මයට අනුව, කුණු මුල් කපා හැර, සහමුළින් උදුරා දමා, ලෝකෝත්තර කුසල් පිරීමට තේරුම් ගැනීම යන කරුණු තුනයි (අනිබ්බිසං).

”යෝ පට්ච්චසමුප්පාදං පස්සති – සෝ ධම්මං පස්සති”
”යෝ ධම්මං පස්සති- සෝ මං පස්සති”

යැයි දේශණා කර වදාළේත් මේ ත‍්‍රිහේතුක ප‍්‍රතිසංධිය ගැනමයි.

අද මිනිසුන් ලෙස උපත ලබා ඇති බොහෝ දෙනෙකු මේ උතුම් ධර්මය අසා, මඟඵල ලබා නිවන් දකින්නට තරම් වාසනාව ඇති ත‍්‍රිහේතුක පුද්ගලයින්ම බව මෙය කියවන ඔබට නිවැරදිවම අවබෝධ වනු ඇත. මෙතෙක් කලක් මේ උතුම් පටිච්චසමුප්පාද ධර්මය වැසී, යටපත් වී භාවිතයෙන් තොරව වචන පදවැල් ටිකක් සේ පැවතියත් අද එය අර්ථ, ධර්ම, නිරුක්ති සහිතව ඔබටත් තේරුම් ගතහැකි පරිදිම විග‍්‍රහකර දීමට තේරුම් කරදීමට හැකි ශක්තියෙන් යුක්ත අය ඔබ අතරම සිටින බව සිතන්න. අරහත් මාර්ග ඵලය දක්වාම මේ මඟ වඩන්නට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබාදෙන්නටත්, විපස්සනා කර්මස්ථාන ලබා දෙන්නටත් දැනුම, ශක්තිය හා අත්දැකීම් ලැබූ අය අද ඔබ අතරම සිටී.

මේ අනුව නිවන් අවබෝධ කරගන්නට අවංකවම උත්සාහ දරණ කිසිවෙකුටත් මංදෝත්සාහිවන්නට හෝ එය තවත් කල්දමන්නට හෝ හේතුවක් නැත. මේ ජීවිතයේදීම නිවන් අවබෝධ කරගත හැකිය. ඒ සඳහා තම තමාම ධර්මය අසා, තමා තුළම ඇති ලෝභ, ද්වේෂ, මෝහ ගති ගුණ තමා විසින්ම සහමුළින්ම ඉවත් කර නිදහස් විය යුතුමය. ඇත්ත ඇති සැටියෙන් අසා දැන, ඒ අසාදැනගත් සත්‍යයන්ට අනුකූලව මඟ අනුගමනය කිරීම මගින් ඔබටම නිවන් සුවය අත්විඳගනු හැකිය.

මිනිසුන් ලෙස උපතලබා ජීවත්වන අය අතර පුද්ගලයින් කොටස් හතරක් වාසය කරන බව ධර්මයේ පෙන්වා දී ඇත.

1. උග්ඝඨිතඤ්ඤ
2. විපඨිතඤ්ඤ
3. නෙයිය
4. පදපරම

යනු මේ කොටස් හතරයි.

පදපරම පුද්ගලයා යනු භාෂා ව්‍යවහාරයේ එක යම් වචනයකින් පදයකින් කියාපාන දේවල්වල අර්තය, ධර්මය හෝ නිරුක්තිය තේරුම් ගත නොහැකි වෙන කෙනෙකුගෙන් අසා දැන හෝ තේරුම් ගත නොහැකි බාහිර ව්‍යවහාර අර්ථය පමණක්ම අදහන, විශ්වාස කරන පෘථග්ජන පුද්ගලයායි. ඔහුට යම් ධර්ම පදයක ධර්ම අර්ථය තේරුම් ගන්නට ශක්තියක් නැති නිසා නියත වශයෙන්ම තවත් කල්ප කාලාන්තරයක් සංසාර ගමන යෑමටද සිදුවෙයි. අනිත් පුද්ගලයින් තුන්දෙනාටම මේ උපතේදී ධර්මය අසා විපස්සනා නුවණ පහළ කර මඟඵල ලබා නිවන් අවබෝධ කරගැනීමටම වාසනාව ඇත.

කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන් ධර්මය අසා බුද්ධ භාෂිතයේ ගෙනහැර වදාළ ධර්ම නිරුක්ති තේරුම් ගැනීිම නිවන් මඟ අනුගමනය කරන්නට අවශ්‍ය දැනුමයි. පාලි භාෂාව නමින් අද නම්කර, ව්‍යවහාර කරන, ව්‍යවහාර භාෂාව බුද්ධ භාෂිතයේ එන පදවලට නොයෙකුත් පුද්ගලයින් සම්මත කර පනවාගත් ව්‍යවහාර අර්ථයන් සහිත වූ පාරිභාෂිත භාෂාවකි. ඊට අමතරව ඒ ධර්ම පදවැල්ම විපස්සනා ඥාණයෙන් තේරුම්ගත හැකි ලෝකෝත්තර ධර්ම අර්ථයද අවබෝධ කරගත හැකි හැම කෙනෙක්ම නිවන් අවබෝධයට සුදුසකම් ලබන ”පදපරම” නොවන පුද්ගලයින්ය.

ගිහිගෙයි සිටින ඔබට අනන්ත අප‍්‍රමාණ බැඳීම්ය. දරුවන්ගේ, නෑදෑයින්ගේ, මිත‍්‍රයින්ගේ, රටවැසියන්ගේ, හිතවතුන්ගේ වැඩ රාජකාරි නිමවා, නිදහසක් ලබාගන්නට අපට මේ ජාතියේදී නම් හැකියාවක් නැත. මේ ආදී වශයෙන් සිතන සියලුම දෙනා පංචඋපාදානස්කන්ධය දැඩිව අල්ලා බදාගත්, ඒවා අතහැරිය නොහැකි තත්ත්වයටම හිතට වහල්වූ, සංසාර ගමන තවත් බොහෝ කාලයක් ගත කරන විඤ්ඤාණ ශක්තියෙන්ම කටයුතු කරන පෘථග්ජන පුද්ගලයින් ය.

ඒ අතරම බොහෝ අය සිතන්නේ ගිහිගෙය අත්හැර, භාවනා මධ්‍යස්ථානයකට ගොස් ලෝකයාගෙන් වෙන් වී හෝ හිමාල වනයට ගොස් සියල්ල අතහැර නිදහස් වීමෙන්ම පමණක් නිවන් දකින්නට මඟපාදාගත හැකි බවයි. එසේ සිතන්නේ ධර්මය නොදන්නා අය මිස ධර්මය දැනගත් අය නොවේ. හිමාල වනයට හෝ ආරඤ්ඤයට හෝ ගියද තම සිත දමනය කරගත නොහැකි නම් ඉන්ද්‍රියයන් සංවර කරගත නොහැකි නම් සිතෙහි රාග මූල, ද්වේෂ මූල, මෝහ මූල සිතුවිලි නිරෝධ කර කුණුමුල් සළා හැර, නිදහස් විය නොහැකි නම් ඒ පුද්ගලයාට නිවනක් නැත. යමෙක් තම නිවසේම සිට ධර්මය අසා, සිත දමනය කර, උපාදානය කර ඇති පංචඋපාදානස්කන්ධයම සිතින් මුදාහැර රාග, ද්වේෂ, මෝහ මුල් කපාහැර සිත ශුද්ධ පවිත‍්‍ර කර ගන්නේ නම් එතැනම නිවනද ඇත. මේ අනුව පන්සලක, කැලයක, ආරඤ්ඤයක, භාවනා මධ්‍යස්ථානයක හෝ හිමාලය වනයේ නිවන නැති බවත් තමාගේම සිත තුළින්ම නිවන් අවබෝධය ලැබිය යුතු බවත් සෑම බෞද්ධයෙකුම තේරුම් ගත යුතුයි.

Share Button

අලෝභ, අද්වේශ, අමෝහ සංකාර

අද බොහෝ දේශකයින් මේ සංඛාර තුනම නිවන් දකින්නට උපකාර වන කුසල මූල සංඛාර තුන ලෙස හුවා දක්වන්නට පටන් ගෙන ඇත. මෙයට හේතුව කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය නොදැනීමයි. අලෝභ, අද්වේෂ, අමෝහ යනුද ලෞකික ක‍්‍රියාවක් පෙන්නුම් කරන, ”සං” එකතු කරන චිත්ත ශක්තියක් එකතු කරන ”භව” නැමති ගති ලක්ෂණයට පත් කරන සංඛාරයෝමය.

ලෝභ, ද්වේෂ, මෝහ යනු අකුසල්ය. පව් හෝ අධර්මිෂ්ට ක‍්‍රියාවෝය. ඒවායින් බලවත් ලෙස කුණු එකතු කරගනී. අලෝභ, අද්වේෂ, අමෝහ යනු ලෞකික පින්කම් හෝ පින් පව් දෙකටම අදාළ නොවන ක‍්‍රියාවෝය. නමුත් එවැනි දේ කිසිසේත් කුසල් කොටසට අයත් නොවේ. කුසල මූල සංඛාර වන්නේ ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කරන සංඛාර පමණි. මෙහි වචනයේ අර්ථයෙන්ම එය තේරුම් ගත හැකිය. කුණු, කිළිටි දේ සළා හැර ශුද්ධ පවිත‍්‍ර වීමට නම් ඒවා අත්හැර, ඛය කර ගත යුතුයි. එය කපා දමා අත්හැර, සෝදා, පවිත‍්‍ර කරගත හැකි නිසා ඛය කරගත යුතුයැයි පෙන්වා දුනි.

අලෝභ, අද්වේෂ, අමෝහ යන සංඛාර කොටසට පින්කම් වලට අමතරව අනුකම්පාව, ආදරය, සෙනෙහස, පේ‍්‍රමය, උපකාරය, පිහිට වැනි දේ ද අයත් වේ. එවැනි දේ ලෝභකමක් හෝ ද්වේෂයක් නිසා කරන දේ නොවේ. නමුත් ඒ සියල්ලෙහිම ප‍්‍රතිඵලය ”සං” උපදවා ගැනීම නිසා යම් කිසි සම්බන්ධකමක්, සංසාරයට බැඳීමක් ඇතිවීමයි.

මෙයින් පැහැදිළි කරගත යුත්තේ සංඛාර පැහැදිළිවම දෙකොටසකට බෙදා දැක්විය හැකි බවත් ඒවා අවිද්‍යා මූල හා කුසල මූල බවත් කුසල මූල සංඛාර පමණක් නිවනට උපකාර වන බවත්ය.

Share Button

කුසල මූල පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය

කුසල, කුසල්, කුසලමූල යනාදී වචන වල අර්ථය මුලින්ම නිවැරදිවම තේරුම් ගත යුතුය. බුද්ධ ධර්මයේ ”කු” යන වචනයෙන් පෙන්වා වදාළේ රාග, ද්වේෂ, මෝහ යන කළු ධර්මයන්ය. කිළිටි, කෙළෙස්, කහට ගති ලක්ෂණයන්ට පොදුවේ භාවිතා කළේ ”කු” යන්නයි. මේ කුණු ගති ලක්ෂණයන් පැවතීම නිසා නිතරම කෙනෙකුගේ ලේ ධාතුව අපිරිසිදු වන බව, අපිරිසිදු වී මොළයේ ශෛලයන් වසා මුවහ කර මෝහය, මෝඩකම, මොට්ටකම අවිද්‍යාව උපදවන බව ඔබ දන්නා දෙයකි. කෙළෙස් සහිත කුණු ගති ලක්ෂණවලින් මොළයේ ශෛලයන් වැසී, මුවහවී ගිය පසුව මිනිසෙකුට, සත්ත්වයෙකුට මනසිකාරය, යෝනිසෝමනසිකාරය කිරීමටද නොහැකි වෙයි. හේතුඵල, හොඳ නරක, ආදීනව ආනිසංස, අවිද්‍යාමූල කුසලමූල ආදී මනස මෙහෙයවා තේරුම් ගත යුතු ද්වතා ලක්ෂණයන් තේරුම් ගැනීමද කළ නොහැකි වේ.

යම් කෙනෙකුට, යම් මිනිසෙකුට මේ කුණු, කිළිටි ගති කෙළෙස් ගති තමා තුළම එකතු වී තමාගේම චිත්තසංථානයේම තැන්පත් වී තමාගේම මනස වසා මුවහකර තමන්වම මුළාකර මායා දර්ශන මවාපාමින් ක‍්‍රියාත්මක වන බව දැන දැක ගැනීමට යථාභූතඥාණ දර්ශනයක් ලද හොත් ඒ පුද්ගලයාට කුසලමූල පටිච්චසමුප්පාද ධර්මය අසා දැන අනුගමනය කරමින් ප‍්‍රතිපත්ති පුරා තමා තුළම ඇති කුණු, කිළිටි කෙළෙස් ගති ලක්ෂණයන් සළාහැර අස් කර ඉවත්කර ගැනීමටද හැකිවෙයි. ”කුසලස්ස උපසම්පදා” යනුවෙන් පෙන්වා වදාළේ මෙයයි. උපසම්පදා යන පදයේ අර්ථය අද වැසී යටපත්ව ගොස් ඇති නිසා ධර්මය තේරුම් ගැනීමටද නොහැකි වී ඇත. මෙහි වචන තුනක් ඇත. උප+සං+පහදා යනු අතීතයේ තමාම එකතුකර තමා තුළම තැන්පත් කර ඇති ”සං” ගති ලක්ෂණ (රාග, ද්වේෂ, මෝහ) ඉවත් කර මනස පහදා ගැනීමට ඇප කැපවී ක‍්‍රියා කිරීම උපසම්පදා යන්නෙහි අර්ථයයි. එවන් කුණු කිළිටි කෙළෙස් සහිත ගති එකතු කිරීම සඳහා කරන සියලු ක‍්‍රියාවන් අකුසල් ලෙසින් ද බුද්ධ ධර්මයේම පෙන්වා දී ඇත.

කුසලමූල පටිච්ච සමුප්පාද ධර්මය කෙනෙකුට අනුගමනය කිරීමට හැකියාව, ශක්තිය, දැනුම ලැබෙන්නේ අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මයත්, අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධයත් යන දෙකම පිළිබඳව මුලින්ම පූර්ණ දැනීමක් ලබාගැනීමෙන් පසුවමය. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙකුට පවා කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන් පමණක් මේ පිරිසිදු ධර්ම පරියාය අසා දැන මේවා තේරුම් ගත හැකි කාරණාවෝයි. අවිද්‍යාමූල සංඛාර විග‍්‍රහය දේශණාකර ආරම්භ වන පටිච්චසමුප්පාද ධර්මයෙන් විග‍්‍රහ වන්නේ්, පංචස්කන්ධයන්ම අල්ලා උපාදානය කර ගැනීමට කරනු ලබන අවිද්‍යා සහගත ක‍්‍රියාදාමයයි. කිසිම ආකාරයක ධර්මයක් පිළිබඳව දැනීමක් ඇතත් නැතත්, මේ අවිද්‍යාමූල ක‍්‍රියාවලිය නිරන්තරයෙන්ම පෘථග්ජන සිතක් තුළ ක‍්‍රියාත්මක වෙයි. මෙහිදී සිදුවන්නේ අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් බලවත් කුණුගොඩක්ම අල්ලා එකතු කර මම, මගේ යනුවෙන් තම චිත්තසංථානයේම තැන්පත් කර ඒ කුණු ගොඩම වටිනවා, සාරයි, හොඳයි යැයි දෘෂ්ඨියකට පත්වීමයි. උපාදානය කර ගැනීමයි.

ධර්මය අසා දැන, ඇත්ත තේරුම් ගත් කෙනෙකුට පමණක් මේ ආකාරයෙන් තම සිත තුළම මුල්බැස පවතින වැරදි දෘෂ්ඨින් කපා හැර දමා ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීමටද හැකිවෙයි. ඒ සමඟම අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධ කිරීමේ මාර්ගයද අවබෝධ වෙයි.

අවිද්‍යාමූල පටිච්චසමුප්පාදය නිරෝධ කිරීමෙන් සිදුවන්නේත්, කරගතහැකි වන්නේත් මේ ධර්මය තේරුම් ගත් මොහොතේ පටන් අලුතින් ඉදිරියට කුණු කිළිටි, කෙළෙස් ගති එකතු කිරීම නවතා දමා සංවර වන්නට අවශ්‍ය පියවර ගැනීමයි. නමුත් අතීතයේ තමාම එකතුකරගත් තම චිත්තසංථානයේම අතීතයේ ගබඩා කරගත් ආසව ලෙසින් ක‍්‍රියාත්මක වන කුණුමුල් කපාහැර ශුද්ධ පවිත‍්‍ර වන්නට නම් කුසලමූල පටිච්චසමුප්පාද පරියායම තේරුම් ගෙන එයම භාවිතා කළ යුතුය. මේ අනුව චිත්තසංථානයේ කාලයක් මුළුල්ලේම තැන්පත් වී පවතින රාග මුල්, ද්වේෂ මුල්, මෝහ මුල් සහමුළින්ම ගළවා, උදුරා දමා, ”සමුජ්තේජේති” කරගත හැකි වන්නේ කුසලමූල පටිච්චසමුප්පාද පරියායම තේරුම් ගෙන ප‍්‍රායෝගිකවම අනුගමනය කිරීමෙනි.

”කුසලමූල සංඛාර පච්චයා කුසලමූල විඤ්ඤාණං
කුසලමූල විඤ්ඤාණ පච්චයා කුසලමූල නාමරූපං
කුසලමූල නාමරූප පච්චයා කුසලමූල සළායතනං
කුසලමූල සළායතන පච්චයා කුසලමූල පස්ස
කුසලමූල පස්ස පච්චයා කුසලමූල වේදනා
කුසලමූල වේදනා පච්චයා කුසලමූල පසාදෝ
කුසලමූල පසාද පච්චයා කුසලමූල අධිමොක්කෝ
කුසලමූල අධිමොක්ක පච්චයා කුසලමූල භවෝ
කුසලමූල භව පච්චයා කුසලමූල ජාති
කුසලමූල ජාති පච්චයා
කුසලමූල ජරා මරණං
ඒවමේතේ සං ධම්මානං සමුදයෝ හෝති”

යනුවෙන් දේශණා කළේ කුණු සළා හැර, ශුුද්ධ පවිත‍්‍ර වන්නට උපකාර කරගත හැකි පටිච්චසමුප්පාද ධර්මයයි. චිත්තසංථානයේ මතක සටහන් ලෙස එකතු කර කාලාන්තරයක් මුළුල්ලේ තැන්පත්ව ඇති ලෝභ, ද්වේෂ, මෝහ ගති ලක්ෂණ සමාධි ගත වූ සිතක සංඛාර ලෙසින් මතුවී සිත මත්කරවීමට ක‍්‍රියා කිරීම විඤ්ඤාණයේම උපායකි. යථාවබෝධය ලැබූවෙකුට පටිච්චසමුප්පාද ධර්මය යථා පරිදි තේරුම් ගැනීමට හැකි නිසාම හේතුඵල ධර්මය අනුව කටයුතු කර සිතෙහි මෙවන් ආකාරයෙන් මතුවන කිළිිටි, කෙළෙස් ගති ලක්ෂණ පහ කර, සළාහැර ශුද්ධ පවිත‍්‍ර විය යුතු බවද තේරුම් ගත හැක. ඒ අනුව කටයුතු කර ඒ කුණු සළාහැර ශුද්ධ පවිත‍්‍ර වීමට සංඛාර විසංඛාර මෙනෙහි කිරීම ලෝභක්ඛය කිරීම, ද්වේෂක්ඛය කිරීම, මෝහක්ඛය කිරීම සඳහා කටයුතු කිරීමයි.

හේතුඵල ධර්මය ගැන මනා අවබෝධයක් ඇති කෙනෙකුගේ සිත සමාධි ගතවූ මොහොතේ පටන් අවදියෙන් සිට සිතට අරමුණු වන සෑම සංඛාරයක්ම තෝරා දැන හඳුනා අවිද්‍යාමූල සංඛාර ප‍්‍රහාණය කර නිදහස් වීමත් කුසලමූල සංඛාර ආශ‍්‍රය කර භාවිතා කර කුණු සළා හැර ශුද්ධ වීමත් යන දෙයාකාරයෙන්ම නිරෝධ ගාමිණී පටිපදාව පූර්ණ කරගත හැකිය. කුසලමූල පටිච්චසමුප්පාද ධර්මය නොදැන, ඒ පිළිබඳව නිවැරදි වැටහීමකින් තොරව, කුසල මූල සංඛාර දැන හඳුනා නොගෙන ලෝකෝත්තර කුසලය පූර්ණ කර ගැනීමට හෝ සම්මා දිට්ඨියේ සිට සම්මා සමාධිය තෙක් අරිය අෂ්ටාංගික මාර්ගය පුරා, නිරෝධ ගාමිණී පටිපදාව සම්පූර්ණ කර ගැනීමට හෝ හැකියාවක් නැත. අද කුසල මූල පටිච්චපමුප්පාද ධර්මය පිළිබඳව කිසිම අදහසක් නොමැතිව එය ලෝකයාට තේරුම් කර දීමට නොහැකි වී ඇත්තේ අග සිට මුල දක්වාම මේ උතුම් ධර්මය වැසී යාමෙහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. එය නිවන් මඟ වැසී යාමට මුල් වූ හේතුව බවද කාටත් පැහැදිළි වනු ඇත.

චිත්තසංථානය යනු විඤ්ඤාණය එකතු කර ගන්නා ”සං” තැන්පත් කරගන්නා ස්ථානය යන තේරුම ඇතිව භාවිතා වන පදයකි. කාලයක් මුළුල්ලේ චිත්තසංථානයේ එකතු කර පවත්වාගෙන එනු ලබන රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණ සිත සමාධි ගත වීමත් සමඟම විවිධ මිත‍්‍ර ස්වරූපයෙන්, යහපත් වේෂයෙන්, මායා දර්ශන මවමින් සිතෙහි මතුවෙයි. විඤ්ඤාණය තම පැවැත්ම සඳහා ඒ සියල්ල කරන බව හේතුඵල දහම අවබෝධ කරගත් කෙනෙකුට පමණක් තේරුම් ගත හැකිය. විපස්සනා කිරීම යනු සමාධි ගත වූ සිතක විවිධ වේෂයෙන් මතුවන මෙවන් කිළිටි, කෙළෙස් සහිත සංඛාර කෙරෙහි තියුණු ලෙස, පරීක්‍ෂාකාරීව සිට ඒවායේ විවිධ වේෂයන්, විවිධ ගති ලක්ෂණයන් දැන හඳුනාගෙන අවිද්‍යා මූලයෙන් මතුවන සියලු සංඛාර නිරෝධ කර ප‍්‍රහාණය කිරීමත්, කුසල මූලයෙන් මතු වූ සංඛාර දැන හඳුනාගෙන එවන් සංඛාර ආශ‍්‍රය කර, භාවිතා කර, චිත්තසංථානයේ එකතු වී පවතින කුණු සළාහැර පිරිසිදු වීමත්ය.

සතියෙන් යුතුව කටයුතු කිරීම අවශ්‍යවන්නේ මේ අවස්ථාවේහිදීය. සතිය යනු හොඳ සිහිය නම් නොවේ. සතියෙන් කටයුතු කිරීම යනු හේතුඵල දහමට බහා බලා, සිතෙහි මතු වූ අරමුණු, සිතිවිලි පිළිබඳව පරම සත්‍යය දැක ඊට අනූරූපව කටයුතු කිරීමයි. නැතිනම් සත්‍යය දැක කටයුතු කිරීම සතියෙන් කටයුතු කිරීමයි. හොඳ සිහියෙන් කටයුුතු කිරීම යනු තවමත් විඤ්ඤාණයෙන්ම කටයුතු කිරීමයි. කොපමණ හොඳ වුවත් තවම මෝහය ඇත. විඤ්ඤාණය පවතින තුරු හේතුඵල ධර්මය නොදකින තුරු සතියෙන් කටයුතු කළ නොහැකිය. සතියෙන් කටයුතු කිරීමට පුරුදු පුහුණු වීමෙන් පමණක්ම අවිද්‍යාමූල හා කුසල මූල සංඛාර තෝරා බේරා දැන හඳුනා ගැනීමට හැකි වෙයි. භාවනානුයෝගියෙකු විපස්සනා භාවනාවෙහි යෙදෙන විට, චිත්තසංථානයේ නිතැතින්ම මතු වී එන්නේ, පසුගිය උපත් ගණනාවක සිට කාලාන්තරයක් තිස්සේ පුරුදු පුහුණු කර ගෙන ආ, එකතු කර හදා වඩාගෙන ආ, කෙළෙස් සහිත ගති ලක්ෂණයන්ය. එවැනි දේ මතුවෙන්නා හා සමඟම සංඛාරයෙහි ස්වරූපය දැන, හේතුඵල දහමට බහා ගළපා බලා, ඒවා ඛය කර දමන්නට කටයුතු කිරීම කුසල මූල සංඛාර පැවැත්වීමයි.

මෙවන් කුසල මූල සංඛාරයක් අරමුණු වූ අවස්ථාවේදී ද, අවිද්‍යා මූල සංඛාරයක් අරමුණ වීමේදී මෙන්ම නව අවස්ථාවක් පසු කර එය සළාහැර ශුද්ධ පවිත‍්‍ර විය යුතුයි. අවිද්‍යාමූල සංඛාරයකදී ”සං” එකතු කරන අතර, කුසල මූල සංඛාරයකදී කෙරෙන්නේ එවැනි ගති ලක්ෂණ සළා හැර පිරිසිදු වීමයි.

මෙවැනි කුසල මූල සංඛාරයක නව අවස්ථා මෙසේය.

01.    සංඛාර         02.    විඤ්ඤාණ         03.    නාමරූප
04.    සළායතන    05.    ස්පර්ශ               06.    වේදනා
07.    පසාදෝ       08.    අධිමොක්ඛෝ    09.    භව

මෙතැනදී ”සං” එකතු නොකරන නිසා, තැනකට හා වීම ”තණ්හා” හෝ තැනක් අල්ලා බදා ගැනීම උපාදානය හෝ සිදු නොවේ. ඒ වෙනුවට මෙහිදී සිදුවන්නේ කුණු සළාහැර පිරිසිදු වීමකි. එය නිදහස් වීමකි. ඒ නිසාම ”පසාදෝ” යන අවස්ථාවට පත් වේ. මෙය කෙළෙස් ගති, කිළිටි ගති සළාහැර ශුද්ධ පවිත‍්‍ර වීමකි. ප‍්‍රසාදය නිසා ලැබූ නිදහස නිසා ”අධිමොක්ඛ” භවට පත්වේ. ඒ ආශාවන්ගෙන්, තණ්හාවන්ගෙන් මිදී පාරිශුද්ධ තත්ත්වයට පත්වීමයි.

කුසල මූල සංඛාරයක් පැවැත්වීමේදීද ”භව” තත්ත්වයට පත්වෙයි. මෙතැන ”භව” යනු බුද්ධ බවයි. ලැබූ බුද්ධ ”භව” නිසා බුද්ධ ”ජාතියට” පත්වෙයි. එනම් චිත්ත ශක්තිය නොඋපදවා, කර්මජ කෝෂය සියලු කුණු වලින්, කෙළෙස් වලින් තොර කර ගැනීමයි. අලුතෙන් කුණු එකතු කිරීම නවතා අලුතින් ගති ලක්ෂණ (රාග, ද්වේෂ, මෝහ ආදී ) එකතු කිරීම නවතා දමා, මෙතෙක් සංසාරයේ එකතු කර තිබූ එවැනි ගති ලක්ෂණ, චරිත ලක්ෂණ සියල්ලද සළා හැර, ශුද්ධ පවිත‍්‍ර කරගත් පසු මෝහයේ මුල් සිඳ ඇති නිසා මෙතෙක් කල් පුන පුනා භවට පත්වීමත් ”ජාති” එකතු කිරීමත්, චිත්ත ශක්ති එකතු කිරීමත් නවතා දැමූහ, යනුවෙන් බුදුපියාණන් වහන්සේ මෙසේ දේශණා කර වදාළ සේක.

”අයමන්තිමා ජාති නත්‍ථිදානිපුනබ්භවොති” පුන පුනා භවට පත්වීම, ගති ලක්ෂණ එකතු කිරීම නැවැත්වීම මෙන්ම ජාති එකතු කිරීමද නවත්වා සංසාර ගමනෙන්, රිය ගමනෙන් පූර්ණ ලෙස ඉවත් විය හැකි වන්නේ මිනිසෙකු ලෙස ජිවත්ව සිටියදීම බව මෙයින් පැහැදිළිව තේරුම් ගත යුතුය.

බුද්ධියෙන්, ප‍්‍රඥාවෙන් කටයුතු කළ හැකි වන්නේ සම්මත සත්‍යය විද බලා, පරම සත්‍යය දැක ගැනීමෙනි. පරම සත්‍යය දැක ගැනීමට නම් මෙතෙක් කල් එකතු කර තිබූ ගති ලක්ෂණ, ”සං” ගසා බිඳහැර, නිදහස් විය යුතුයි. කුසල මූල සංඛාර වඩා දියුණු කර, බුද්ධ ”ජාති” යටපත් උත්තමයා, ”සං” ගසා හැර, බිඳ දමා, පිරිසිදු වී ඇති නිසාම ”සංඝ” යන නමින් හැඳින්වූහ.

අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයේදී ”ජාති” පච්චයා ජරා, මරණං, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යන සියලු ඵල විපාකයන් උරුමයෙන්ම ප‍්‍රත්‍යවන බව පෙන්වා දී ඇති නමුත්, කුසලමූල පටිච්චසමුප්පාද ධර්මයේදී ”ජාති පච්චයා ජරා මරණං ඒවමේතේ සං ධම්මානං සමුදයෝ හෝති” යනුවෙන් දක්වන්නේ, ”සං” නිරෝධකර, ඉවත් කර සම්මා තත්ත්වයට පත්වීමෙන් සමුදය අවසන් වන බව පෙන්වා දීමයි. මේ නිවන් මඟ ප‍්‍රායෝගිකවම පෙන්වා දුන් ආකාරයයි.

මෙතැනදී ක‍්‍රියාත්මක වන සංඛාර කුණුමුල් ගළවා දමා ඉවත් කරන්නටම ක‍්‍රියාත්මක කළ යුතු කුසලමූල සංඛාරයෝය. රාගය වෙනුවට වීතරාගී ක‍්‍රියා සිතක් ඇතුළට ගත යුතුය. කාම සංකල්පනාවක් වෙනුවට නෙක්ඛම්ම සංකල්පනාවක් ඇති කර ගත යුතුයි. ආසව වෙනුවට නිරාසව, නිරාමිස උපේක්ඛා සිතුවිලි ඇතුළට ගත යුතුයි. වෛරය, ද්වේෂය, ක්‍රෝධය වෙනුවට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ඇතුළට ගත යුතුයි. මානය, මමත්ත්වය වෙනුවට මානයෙන්, මමත්ත්වයෙන් ඉවත් වී ආත්ම – අනාත්ම සංකල්ප දෙකෙන්ම ඉවත්විය යුතුය. මේ නිවැරදි නිවන් මඟයි. ආනාපාන සති සූත‍්‍ර දේශණාවෙහි පෙන්වා වදාළ මාර්ගයම මෙහිදී ද පෙන්වා දිය හැකි වෙයි. ප‍්‍රායෝගිකව නිවන් ප‍්‍රතිපත්තිය පිරීම එකම ආකාරයක් ගනී.

යථාභූත ඥාණය, සත්‍යාවබෝධය නොලැබූ කෙනෙකුට කුසලමූල සංඛාරයක් පැවැත්වීමද කළ නොහැකියි. කුණු, කුණු ලෙසින්ම පළමුවම නිවැරදිවම දැකගත යුතුයි. කුණු උපත ලබන සමුදයවන ආකාරයද දැක තේරුම් ගත යුතුය. කුණු ඉවත් කර චිත්ත පාරිශුද්ධිය ලබන්නට අනුගමනය කළ යුතු මඟද අනුගමනය කළ යුතුය.

මේ දර්ශනය නිවැරදි ලෙසින්ම දැකගත් උත්තමයා දුක්ඛේ ඥාණං, දුක්ඛ සමුදයේ ඥාණං, දුක්ඛ නිරෝධ ඥාණං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඥාණං යන චතුරාර්ය සත්‍යයන්ම අවබෝධ කරගත් අරිය උත්තමයෙකුම වෙයි. මේ අනුව පටිච්ච සමුප්පාද ධර්මාවබෝධයෙන් තොරව ලැබිය හැකි නිවනක් නැත.

අවිද්‍යාමූල සංඛාර පැවැත්වීමේදී පච්චයා, හේතු, නිදාන, සම්ප‍්‍රයුක්ත අඤ්ඤාමඤ්ඤ ආදී විවිධ ආකාරයෙන් සංඛාර අනිකුත් නව අවස්ථාවන් සමඟමත් යෙදෙයි. නමුත් කුසලමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයේදී පච්චයා යන එකම ආකාරයක් පමණක් ක‍්‍රියාත්මක වන බව නිවැරදිවම තේරුම් ගත යුතුය. මෙහිදී සිදුවන්නේ හේතුව මුලින් උදුරා දා නැති කිරීමයි. ”සං” මා (සම්මා) යනු එයයි. හේතුව නැති කිරීම නිසා දැන් නිදානයද නැතිවිය. අඤ්ඤාමඤ්ඤ ලෙසින් හෝ සම්ප‍්‍රයුක්ත ලෙසින් ද හෝ යෙදෙන්නටද නොහැකිය. හේතුව නැති කිරීමේ ඵලය ප‍්‍රත්‍ය වීමෙන් අනික් අංගයන් ද, ආදීනව අංගයන් ද බලරහිත වී කුණු මුල් ගැළවී යාම සිදුවෙයි. හේතුව මුලින්ම ගළවා ඉවත් කිරීම නිසා, දැන් සමුදය වීමත්, සං උපත ලැබීමත් සිදුනොවේ. සං උපත ලැබීමක් නොවන විට සංසාර ගති ලක්ෂණයන් අහෝසි වී යයි. ඵල විපාක දීමට නම් (සං උපතක්) සමුදය ධර්මයක් උපත ලැබිය යුතුමය. ”සං” උපත ලැබීම අවසන් වූ පසුව ඵල විපාක දීමක් නොවන නිසා (ජාති) උත්පත්තියක් ලැබීමද නවතී. නමුත් නිවැරදිවම තේරුම් ගතයුතු වන්නේ අතීතයේ උපදවාගත් මේ දැන් පවතින ජීවත්වන ”ජාති”, ඵලය, මරණයෙන්ම කෙළවර කරගත යුතු බවයි. මේ ජාතිය අතීත හේතුවක ඵලයක් නිසා එය නැතිකරගත හැකි වන්නේ අතීත ශක්තිය ගෙවීයාමෙන් පමණි.

කුසලමූල පටිච්චසමුප්පාද ධර්මය යැයි විභංගප‍්‍රකරණයේ දක්වා ඇති වචන වල, පදවැල් වල නිවනක් නැත. මේ පදවැල් කියව කියවා කටපාඩම් කර ගත්තද එතැනත් නිවනක් නැත. මේ පදවැල් කියවා, තේරුම් ගෙන තමාගේම චිත්තසංථානයේම ගැබ්වී පවතින කුණුමුල් තුනම ප‍්‍රායෝගිකවම ගළවා දමා තමන්ම ඉන් නිදහස් වීම නිවනයි.

රාග, ද්වේෂ, මෝහ යන ගති ලක්ෂණ තම තමන්ම අතීතයේ කවදා හෝ සාරයැයි ඇතුළට ගෙන තැන්පත් කරගත් ගති ලක්ෂණයන්මය. ඒ ගති ලක්ෂණයන් තමා තුළ පවතින තුරාවට කුණුමුල් ක‍්‍රියාත්මක වී, රාගයෙන් කාම විතර්කයන්, ද්වේෂයෙන් ව්‍යාපාද විතර්කයන්, මෝහයෙන් පාප විතර්කයන් තමා තුළින්ම මතුවන බව තේරුම් ගත යුතුය. මේ නිසා තමන්ම එකතු කරගත් තමා තුළම ගැබ් වී පවතින දුකට මුල් වූ මෙවන් කුණු මුල් තුන තමාටම විනා පිට කෙනෙකුට ගළවා මුලින් උදුරා දමා තමාගේම චිත්තසංථානය පිරිසිදු කර ගන්නට වෙනත් කිසිම ක‍්‍රමයක්ද නැත. ඒ අනුව පටිච්චසමුප්පාද ධර්මය මනාකොට දැන, තේරුම්ගත් කෙනෙකුට සියලු කුණු සළාහැර, ප‍්‍රභාශ්වර තත්ත්වයට චිත්තය පත්කර ගැනීම අපහසු දෙයක් නොවන්නේමය.

Share Button