කරණීය ධර්ම හා අකරණීය ධර්ම

”බුද්ධ ධර්මය තේරුම් ගන්න බැහැ. ධර්මය අවබෝධ කර ගන්න බැහැ. මේ ධර්මය හරිම ගැඹුරුයි. අපට මේව ගැළපෙන්නෙ නැහැ” ආදී වශයෙන් යම් කෙනෙකු හිතනවා නම්, ප‍්‍රකාශ කරනවා නම් එතැනදී බුද්ධ ධර්මය යථා පරිදි අවබෝධ කරගැනීමට තරම් තමන්ගේම මනස පිරිසිදු නැති බව අවබෝධ කරගත යුතුයි. තමන්ගේ මානසිකත්වය අපිරිසිදුයි යන්න තමන්ම දැන ගත යුතුයි. තමන්ගේම මනස මෝහයෙන්, මිච්ජා දෘෂ්ඨිවලින් උපාදානය කරගත් ප‍්‍රිය අප‍්‍රිය දේ වලින් වසාගෙන මුවහ කරගෙන සංසාර දෘෂ්ඨියකින්, ලාභ දෘෂ්ඨියකින්, ආස්වාද දෘෂ්ඨියකින් කටයුතු කරන්නට පුරුදු වූ පුහුණු වූ කෙනෙකුගේ කිළිටි සිතකින් බුද්ධ ධර්මය වැනි පිරිසිදු උතුම් ධර්මයක් අවබෝධ කරගන්නට තරම් සුදුසු තත්ත්වයක් සිතේ නොපවතී. ඒ අනුව උතුම් බුද්ධ ධර්මය තේරුම් ගන්නට, අවබෝධ කර ගැනීමට නොහැකි වීම වෙනත් කාගේවත්ම වරදක් නොවේ. තමන්ගේම වරද බවත්, තමන්ගේ මානසිකත්වය, යෝනිසෝමනසීකරණ ශක්තිය දුර්වලයි යන බවත්් මිනිසකු ලෙස තම තමන්ම තේරුම්ගත යුතුයි.

තවත් බොහෝම අය ප‍්‍රකාශ කරන්නේ ”මට අහගත්තු ධර්මය මතකයේ තියාගන්න බැහැ. සියල්ලම ටික වෙලාවකින්ම අමතක වෙලා යනවා” යනුවෙනි. එසේ නම් ඒ පුද්ගලයාත් දැනගත යුතු වන්නේ ඒ පුද්ගලයාගේම චිත්තසංථානය අනවශ්‍ය කුණු වලින්, කෙළෙස් වලින් පුරවාගෙන ඇති නිසා චිත්තසංථානය අපිරිසිදු නිසාම උතුම් ධර්මය යහපත් දේ මතක තබා ගැනීමට තමන්ට නොහැකි බවයි. චිත්තසංථානය අපිරිසිදු වීමට හේතුව ප‍්‍රිය දේට ඇලීම යන රාගයෙන් මත්වීම නිසාත්, අප‍්‍රිය දේට ගැටීම යන ද්වේෂය, වෛරය සිතේ පැවතීම නිසාත්ය. සිත අසහනයට, කම්පනයට පත් වූ විට චිත්තසංථාන තුළට ගතයුතු දේ හා නොගත යුතු දේ තීරණය කර ගැනීමට නොහැකි වීම අමතක වීම ලෙස හැඳින්වේ.

චිත්තසංථානය අපිරිසිදු වීමෙන් මනස මුවහ වේ. මනසේ සෛලයන් වැසී, මුවහ වී මනසීකරණ ශක්තිය දුර්වල වේ. අසා දැනගත් ධර්මය ආශ‍්‍රයෙන්ම දැකගතයුතු යථා තත්ත්වය යථාභුත ඥාණ දර්ශනය දැක ගැනීමටත් නොහැකි වීමට හේතුව තම තමන්ගේම මනසීකරණ ශක්තිය දුර්වල වීමයි.

බොහෝමයක්ම පෘථග්ජන පුද්ගලයින් ප‍්‍රිය අප‍්‍රිය අරමුණු නිසා රාගයෙන් ඇලී බැඳී කටයුතු කරති. ද්වේෂයෙන්, වෛරයෙන් ගැටෙති. චිත්තසංථානය තමන්ම අපිරිසිදු කර ගනී. ලේ ධාතුව කිළිටි වී, මනසත් මෝහයෙන් මුවහ කරගනී. යම් කිසි ආකාරයකින් මේ උතුම් බුද්ධ ධර්මය අහගන්නට ලැබුණොත්, ඒ පුද්ගලයා හේතුඵල ධර්මතාවය යම් තරමකින් හෝ තේරුම් ගත්තොත්, සතියෙහි පිහිටා සතියෙන් කටයුතු කරන්නට සිත පුරුදු කර ගත්තොත් ඒ පුද්ගලයාට තමන්ගේම සිත පිරිසිදු කරගන්නට ලේ ධාතුව පිරිසිදු කරගන්නට මනස පිරිසිදු කරගෙන මනසීකරණ ශක්තිය භාවිතා කරන්නට ශක්තියක් ලැබේ. මනසීකරණ ශක්තිය තමා තුළම දියුණු වූ විට කරණීය ධර්ම හා අකරණීය ධර්ම යන දෙපැත්ත වෙන්කොට තෝරා බේරා ගත හැකි වේ. සතර සතිපට්ඨානයෙහිම පිහිටා කටයුතු කරන්නටත් තමාම පුරුදු වේ. ඒ අනුව නිරෝධගාමී මාර්ගයත් සම්පූර්ණ වේ. රාග, ද්වේෂ, මෝහ ගති තමන් තුළම පවතින්නෙත් එවන් කිළිටි ගති තමාම පරිහරණය කරමින්, භාවිතා කරමින්, අකුසල් සිතකින් කටයුතු කරන්නෙත් තමන්ගේම මනස මෝහයෙන්, අවිද්‍යාවෙන් මුවහ වී පවතින නිසයි. මේ කිළිටි ගති තමන්ම එකතු කර ගත් දේවල් වේ. කැමැත්තෙන්ම එකතු කර ගත් දේවල්ය. ඒ නිසාම ඒවාට ”ගති” ලෙස හඳුන්වයි. තමන්ම එකතු කරගත් තමන්ගේම චිත්තසංථානයේ තැන්පත් වූ මුල් බැසගත් මෙවැනි ”ගති” බාහිර කාටවත් දැකිය නොහැකියි. වෙන බාහිර පුද්ගලයෙකුට ඒ ගති අස් කර, අයින් කර, ප‍්‍රහාණය කර ඉවත් කළ නොහැකියි. සීල, සමාධි, පඤ්ඤා යන ත‍්‍රිශික්ෂාවම තමන්ම පිළිපැදිය යුතු තමන්ම අනුගමනය කළයුතු ප‍්‍රතිපදාවන් සමුහයකි. මේ ප‍්‍රතිපදාවන් තුළ ප‍්‍රායෝගිකවම භාවිතා කළයුතු හා භාවිතා නොකළ යුතු ලෙස තෝරා බේරා ගතයුතු දෙපැත්තක්ම ඇත.

”සබ්බ පාපස්ස අකරණං” යනු භාවිතා නොකළ යුතු අකරණීය ධර්මයන් කොටසයි. ”කුසලස්ස උපසම්පදා” භාවිතා කළයුතු කරණීය ධර්මයන් කොටසයි. ”සේවිතබ්බා” යනුද භාවිතා කළයුතු, සේවනය කළයුතු ධර්මයෝයි. ”අසේවිතබ්බා” යනු සේවනය නොකළ යුතු, ආශ‍්‍රය නොකළ යුතු බැහැර කළයුතු අධර්මයන් කොටසටයි. ”අස්ස” ‘‘ආන’’ යන පදවලින් බොහෝ තැන්වල පෙන්වා දුන්නේද ආශ‍්‍රය කළයුතු, ඇතුළට ගතයුතු යහපත් ධර්මයන් යන අදහස අර්ථය ඇතිවයි. ”පස්ස” ”පාන” යන පදවලින් පෙන්වා දුන්නේ සහමුළින්ම ගළවා ප‍්‍රහාණය කළ යුතු බැහැර කළයුතු අයහපත් අධර්මයන් යන අර්ථයෙනුයි.

ආශ‍්‍රය කළයුතු වන්නේ, සුදු ධර්මයන්ය. චිත්තසංථානය හා මනස යන දෙකම පිරිසිදු කරන, පවිත‍්‍ර කරවන, කුණු සළා හැර, අස් කර දමන්නට උපකාර වන ක‍්‍රියාකාරකම් ආශ‍්‍රය කළ යුතුයි. ප‍්‍රහාණය කර අස්කර දැමිය යුත්තේ කළු ධර්මයන්ය. චිත්තසංථානය කිළිටි කරන, මනස මුවහ කර, මෝහය මතු කරන කෙළෙස් ධර්මයන් සිතින්ම ගළවා සහමුළින්ම ඉවත්කර දැමිය යුතුය.

මේ කළු, සුදු යන ධර්මයන් දෙකම ඇතුළට ගැනීමටත්, පිට කිරීමටත් උපකාර කරගතහැකි දොරවල් හයක්ම හැම කෙනෙකුටම උපතින්ම ලැබී ඇත. මේ දොරවල් හයකින්ම ඇතුළට ගැනීමේ ක‍්‍රියාවත් පිටතට බැහැර කිරීමේ ක‍්‍රියාවත් යන දෙකම හැම පුද්ගලයෙකුටම පාලනය කළ හැකිය. ඇතුළට ගත යුතුදේ මොනවාද බැහැර කළයුතු දේ මොනවාද යන්න තීරණය කිරීම හා ඒ තීරණයන් ක‍්‍රියාත්මක කිරීම නම් හැම මිනිහෙකුටම එක හා සමානවම ක‍්‍රියාත්මක කළ නොහැකිය. තමාට ප‍්‍රිය දේ ඇතුළට ගැනීමත්, අප‍්‍රිය දේ බැහැර කිරීමත් පෘථග්ජන පුද්ගලයෙකුගේ සංසාර පුරුද්දයි.

කළු ධර්ම කෙළෙස් බැහැර කිරීමත්, සුදු ධර්ම චිත්තසංථානය හා මනස පිරිසිදු කරන වීතරාගී, වීතද්වේෂී, විතමෝහී ක‍්‍රියා ආශ‍්‍රයට ගැනීමත්, භාවිතයට ගැනීමත්, ධර්මාවබෝධය ලැබූ ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදෙන පුද්ගලයෙකුගේ ප‍්‍රතිපදාවයි.

මෙය අරිය විනයෙහි, බුද්ධ භාෂිතයෙහි පෙන්වා වදාළ ආනාපාන සති භාවනාවයි. සතර සතිපට්ඨානයෙහි පිහිටා කටයුතු කළ හැකි වන්නේ මේ ආකාරයට ආනාපාන සතියෙහි පිහිටා ක‍්‍රියා කරන්නට පුරුදු පුහුණු වීමෙනි.

”ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ,
සත්තානං විශුද්ධියා,
සෝකපරිද්දවා නං සමතික්කමාය,
දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය,
නිබ්බානස්ස සච්ජිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා”

සතර සතිපට්ඨාන භාවනාව බුද්ධ භාෂිතයට අනුකූලව නිවැරදි ආකාරයට භාවිතා කරන ඕනෑම පුද්ගලයෙකුට මෙහි ඉහත සඳහන් වන ආනිසංස යහපත් ප‍්‍රතිඵල සියල්ලමත් නොවරදවාම ලබාගත හැකි වීම නියත වේ. මේ ඉහත සඳහන් ආනිසංස පහෙන්මත් විග‍්‍රහ වන්නේ නිවනම වේ.

”සත්තානං විශුද්ධියා” – චේතෝ විමුක්තියත්, ප‍්‍රඥා විමුක්තියත් යන දෙකම සම්පූර්ණ කර ගැනීමෙන්ම ලබා ගත යුතු ශුද්ධ පවිත‍්‍ර වීමක් චිත්ත පාරිශුද්ධියක් යෝනිසෝ මනසීකරණ ශක්තියෙන්ම ලබාගත යුතු ප‍්‍රඥා ශක්තියත් යන දෙකමත් ලබා ගැනීමට නොවරදින මාර්ගය නම් සතර සතිපට්ඨානයෙහි යෙදීමයි.

මතු නැවත නැවතත් උපත ලබයි නම් ”උප්පජ්ජති” යන තත්ත්වයට මතු මතුත් පත් වේ නම් ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස නියත වශයෙන්ම තමන්ටම උරුම වේ. කුමන ආකාර වූ සුගති ලෝකයකදීත් මේ සියල්ලමත් උරුම වේ. හිමි වේ. උතුම් බුද්ධ ධර්ම මාර්ගය අනුගමනය කළයුතු වන්නේ මෙවන් ප‍්‍රශ්න වලට තාවකාලිකව පැලැස්තර දමා ලෞකිකත්වය යහපත් කරගැනීමට නම් නොවේ. කුමන හෝ ලෝකයක ජීවත් වුවද එතන ජීවත් වෙන්නේ ප‍්‍රශ්න රාශියක්ම උරුම කරගෙනම වේ. කවදා හෝ මරණය උරුම වේ. ජී+වත යනු දිරාපත් වන, ගෙවී විනාශ වී මරණය කරාම ගමන් කිරීම යන අර්ථයයි. මෙසේ ජරා ජීර්ණ තත්ත්වයට පත් වීමටත් මරණයෙන්ම කෙළවර වීමටත් හේතුව කෙළෙස් වලින් හිත දූෂණය වී මනස මුවහ වී කළු ධර්ම භාවිතයෙන් තව තවත් චිත්තසංථානය කිළිටි කර ගැනීමමයි. සියලු දුක්, සියලු ප‍්‍රශ්න නැති කිරීමේ ඒකායන මාර්ගය ”ඤාණස්ස අධිගමාය – නිබ්බානස්ස සච්ඡුිකිරියාය” යන පදවලින් ධර්මයේ පෙන්වා වදාළ රාගය, ද්වේෂය, මෝහය යන කිළිටි ගති සහමුළිින්ම චිත්තසංථානයෙන් උදුරා ගළවා දමා ඉවත් කිරීමයි. බුද්ධ බවට පත්වීමද එයමයි. මෙහි ප‍්‍රායෝගික මාර්ග ප‍්‍රතිපදාව සතර සතිපට්ඨානයෙහි සිත පවත්වාගෙන කටයුතු කිරීමයි. තමා තමාවම තේරුම් ගෙන භාවිතා කළයුතු, අනුගමනය කළයුතු ක‍්‍රියාමාර්ගය සතර සතිපට්ඨාන භාවනාවයි.

Share Button

කළ්‍යාණ, කළණ හා කාලේන යනු කෙලෙස් නැසීමයි

මිනිසෙකු ලෙසින් උපතක් ලැබූ කෙනෙකු ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදී ක‍්‍රියා කරනවාය, ධම්මානුධම්ම පිළිවෙතින් පෙළගැසෙනවාය යන්නෙන් අදහස් කරන්නේ, උතුම් බුද්ධ ධර්මය අසා දැන අවබෝධ කරගෙන එ ධර්ම මාර්ගය භාවිතයට ගැනීමයි. ”සුනේථ, ධාරේථ, චරේථ ධම්මෝ” යනුවෙන් පෙන්වා වදාළ පරිදි බුද්ධ ධර්මය යනු, භාවිතයට ගතයුතු ප‍්‍රායෝගිකවම අනුගමනය කර අත්විඳ ගත යුතු ප‍්‍රතිපදාවක් මිස අසා දැන උගතෙකු වන්නට පමණක් දේශණා කළ ධර්මයක් නොවේ. අද බොහෝ අය ධර්මය උගත් උගතුන් වෙතත් භාවිතයට ගන්නේ නැත. බුද්ධ ධර්මය දැනගත් පමණින් එ් දැනුම නිවනට හේතු නොවේ. එ් ධර්මය තුළින් සත්‍යය දැකගත යුතුය. ‘‘ජානතෝ, පස්සතෝ’’ යැයි ප‍්‍රකාශ කළේ එයයි.

බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළ නව ලෝකෝත්තර සිරි සද්ධර්මය උපකාර වන්නේත් උපකාර කරගතයුතු වන්නේත් රාගය, ද්වේෂය, මෝහය යන කෙළෙස් ගති සහමුළින්ම සිතින් ඉවත්කර දමා චිත්තසංතානයේ මුල් බැස ගෙන පවතින කෙළෙස් මුල් කපා දමා නැවත කෙළෙස් නොඋපදින ලෙසින්ම තම චිත්තසංථානය හා මනස පිරිසිදු කරගැනීමටය. එ් මිසක ලෞකිකත්වය තුළින් ලබාගත හැකි කාම සම්පත් උපාදානය කරගනිමින්, සුගති ලෝක වල යළි යළිත් උපදිමින්, දෙව් මිනිස් සැප සම්පත් ලබන්නට නම් නොවේ. ලෝකයෙන් එතෙර වන්නට ලෝකෝත්තර තත්ත්වයට පත්වන්නට මිස ලෝකය තුළ අතරමං වන්නට මේ ධර්මය දේශණා කළා නොවේ. මෙයට බුද්ධ ධර්මය යැයි නම් කළේ රාග, ද්වේෂ, මෝහ ගති උදුරා දමා, භව උදුරා දමන්නට බිහි කිරීමේ ශක්තිය උදුරා දමන්නට උපකාර කරගත යුතු ධර්මයක් නිසාමය. සංසාර ගමන, මතු උපත් බිහි කරන්නේම රාග, ද්වේෂ, මෝහ ගති මනෝමය කය තුළ ගබඩා වී, උපාදානය කරගෙන පවතින නිසයි. චිත්තසංථානයක් තුළින් ”රාග, ද්වේෂ, මෝහ ගති” යළි යළිත් බිහි වන්නේ මේ කෙළෙස් ගති මුල් බැසගෙන තමා තුළම පවතින නිසයි.

එසේ නම් මුළු බුද්ධ දේශණාවෙන්ම පෙන්වා දුන් ධම්මානු ධම්ම පරියාය, නිබ්බේදික පරියාය, වේදිතබ්බෝ ධම්ම පරියාය මඟින් විග‍්‍රහ කර පෙන්වා වදාළේ ප‍්‍රායෝගිකවම කෙළෙස් ප‍්‍රහාණය කරදමා කෙළෙස් මුල් සිඳ දමන්නට මාර්ගයයි. ආසවක්ඛ්‍යා ඥාණය අවබෝධ කරගැනීම යනු කෙළෙස් මුල් ගළවා දමා නැවත කෙළෙස් නොඋපදින ලෙසින්ම සම්මා විමුක්තියට පත් වීමයි.

කළ්‍යාණ, කළණ, කාලේන, කාලාමා, කාලෝ යනාදී මාගධී පදවලින් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළේ් කෙළෙස් නැසීම, කෙළෙස් සහමුළින්ම ඉවත් කිරීම, කෙළෙස් වලින් මිදී නිදහස් වීම, කෙළෙස් මුල් ගළවා දැමීම යන අදහසයි. කළ්‍යාණ ධර්ම සූත‍්‍රය, කළ්‍යාණ මිත‍්‍ර සූත‍්‍ර 5ක් හා කළ්‍යාණ සීල සූත‍්‍රයේත්, කුසල සූත‍්‍ර 4 කත්, කාල සූත‍්‍ර දෙකකත්, කාලාමා සූත‍්‍රයේත්, ඵග්ගුණ සූත‍්‍රයේත් තවත් සූත‍්‍ර ධර්ම විශාල ගණනකමත් කාලෙණ, කළ්‍යාණ, කළන යන පද විග‍්‍රහ වී ඇත.

කළ්‍යාණ – යන පදයෙන් විග‍්‍රහ කළේ කෙළෙස් නසන්නට, කෙළෙස් ප‍්‍රහාණය කරන්නට උපකාර වන යන අර්ථයයි.
කළණ – යන පදයෙන් විග‍්‍රහ කළේද කෙළෙස් ප‍්‍රහාණය කරදමා, කෙළෙස් නසා දමන්නට උපකාර වන යන අර්ථයයි.
කාලේන – යනු කෙළෙස් නසන, නැති කරන යන අර්ථයයි.
කාලාමා – යනු කෙළෙස්, කළු ධර්ම සහමුළින්ම උදුරා දමා, මිදී නිදහස් වීම යන අර්ථයයි.
කාලෝ – යනු කෙළෙස් තවන, කෙළෙස් දවන, යන අර්ථයයි.

අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතයේ එන කාල සූත‍්‍ර හා දුතිය කාල සූත‍්‍රයේත් අංගුත්තර නිකායේම ඡක්ක (6) නිපාතයේ එන ඵග්ගුණ සූත‍්‍රයේත් ”කාලේන” යන මාගධී පදය බහුලවම භාවිතා කර ඇත (කාල+න). දුතිය කාල සූත‍්‍රයේ එන මේ මාගධී පදවැල් හොඳින් විමර්ශණය කරන්න.

”කාලේන ධම්ම සවණං, කාලේන ධම්ම සාකච්ඡ, කාලේන සමථෝ, කාලේන විපස්සනා, ඉමේ ඛෝ භික්ඛවේ චත්තාරෝ කාලා සම්මා භාවියමානෝ, සම්මා අනුපරිවත්තිය මානා, අනුපුබ්බේන ආසවානං ඛ්‍යයං පාපෙන්ති”

මෙතන කාලේන යන මාගධී පදයෙන් විග‍්‍රහ කළේ (කාලේ+න) කෙළෙස් නැසීම යන අර්ථයයි. හතර අවස්ථාවේදීම කාලේන යන පද කෙළෙස් නසන යන අර්ථයෙන්ම භාවිතා කර ඇත. නමුත් ත‍්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කිරීමේදී ”කාලේන” යන්න ”නිසි කාලය, සුදුසු කාලය” යන ”පද+පරම” අර්ථයෙන් වැරදියට පරිවර්තනය කර ඇති බව පැහැදිළිවම දැකිය හැකිය. ”සම්මා භාවියමානෝ සම්මා අනුපරිවත්තිය මානෝ ආසවානං ඛ්‍යයා” යනුවෙන් පෙන්වා දුන්නේ කෙළෙස් ප‍්‍රහාණය කිරීමයි. සංමා කිරීම යන අර්ථයෙනි. ”කාලේන සමථෝ” යනු සමථ භාවනාවෙන්ද තාවකාලිකව කෙළෙස් දුරලා කෙළෙස් ප‍්‍රහාණය කරගත හැකි බව පෙන්වා දීමයි. ”කාලේන විපස්සනා” යනු කෙළෙස් සහමුළින්ම නසා දමන්නට විපස්සනා භාවනාව උපකාර කරගත යුතු බවයි. ”කාලේන ධම්ම සවනං” කීවේ උතුම් බුද්ධ ධර්මය ශ‍්‍රවණය කළ යුත්තේ කෙළෙස් නැසීම සඳහාය යන්නයි. ධර්මය සාකච්ඡුා කළ යුත්තේද කෙළෙස් දැන හඳුනා, කෙළෙස් ප‍්‍රහාණය කිරීම සඳහාය යන්න මේ සූත‍්‍රයේදී ඉතාම පිරිසිදුව, පැහැදිළිව දේශණා කර ඇත. ධර්මය අවශ්‍ය වන්නේ කෙළෙස් ප‍්‍රහාණය කර දමන්නටමය යන්න මෙයින් ඔප්පු වෙයි.

මේ අනුව කාල, කාලේ යනු කෙළෙස්ය. කාලේ+න යනු කෙළෙස් නැසීමය. උතුම් බුද්ධ ධර්මය අසා දැනගත යුතු වන්නේත් ධර්මය සාකච්ජා කළයුතු වන්නේත් සමථ විපස්සනාදී ධම්මානු ධම්ම ප‍්‍රතිපදාවන්හි යෙදී භාවනා කළයුතු වන්නේත් ආසව කපා දැමීමට කෙළෙස් මුල් කපා ගළවා දැමීමට සම්මා තත්ත්වයට පත්වීමට බව මෙහිදී පැහැදිළිවම තේරුම් ගත යුතුය.

බුද්ධ ධර්මය දේශණා කරන්නට බුද්ධ ධර්මය සාකච්ඡ කරන්නට හෝ සමථ විපස්සනා භාවනා කරන්නට හෝ නුසුදුසු හෝ අනිසි කාලයක් හෝ නැත. සුදුසු හෝ නිසි විශේෂ කාලයක්ද නැත. දවසේ පැය විසිහතර පුරාම මුළු ජීවිත කාලය පුරාම ලැබුණු හැම අවස්ථාවකදීම මේ සඳහා සුදුසුය. එ් නිසා මෙහි නිසි කාලයක් පෙන්වා දී නැත. බුද්ධ ධර්මයේ පෙන්වා වදාළේ ”අප්පමාදේන සම්පාදේත” යනුවෙනි.

”බුද්ධ ධර්මය” යන පදවලම ඇති පරම අර්ථය නම් ”කෙළෙස් ප‍්‍රහාණය කරන්නට කෙළෙස් උදුරා දමන්නට උපකාර වන දරාගත යුතු දේ” යන්නයි. කෙළෙස් ප‍්‍රහාණය කරන්නට උපකාර නොවන යම් දේශණාවක් වේ නම් එය බුද්ධ ධර්මයද නොවේ. එය ”කාලේන ධම්ම” කොටසට අයත් නොවේ.

මහා මංගල සූත‍්‍රයේදීත් ඔබ නිතර කියවා පුරුදු ”කාලේන ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ජා” යනු කෙළෙස් නැසීමට කෙළෙස් ප‍්‍රහාණය කර දැමීමට බුද්ධ ධර්මය භාවිතා කළ යුතු බව මිස නිසි හෝ සුදුසු කාලයට යන අර්ථයක් මෙහි නැත. නිවන වසා සිටින, නිවනට ප‍්‍රතිපක්‍ෂ වූ, කෙළෙස් ප‍්‍රහාණය කර දැමීම කෙළෙස් නසා දැමීම බුද්ධ ධර්මය භාවිතා කිරීමේ ඒකායන පරමාර්ථයයි.

”කාලි” යනු කෙළෙස්ය. රාග, ද්වේෂ, මෝහ ගති ගුණයන්ය. කාලි මැණියෝ, භද්‍රකාලී දේවිය යනුවෙන් කෙළෙස් වලට අධිපති දේව සංකල්පයක් දේව ආගම්වල ඇත. රාගයට, ද්වේෂයට, මෝහයට අධිපති දේවතාවිය කාලි මෑණියන්ය. පළිගහන්නට, වෛරය පිරිමහන්නට, රාගයෙන් බැමි තද කරගන්නට, මෝහයෙන් යදින්නට, බොහෝ අය ”කාලි” පිහිට පතන බව බෞද්ධයින් නිවැරදිව තේරුම් ගත යුතුය. කුසලයක් කරගන්නට හෝ පින්කමක් කරගන්නට හෝ කාලි මෑණියන් ළඟදී හැකියාවක් නැත. එහිදී පාපයක්, අකුසලයක්ම සිද්ධ කරගත හැකි වෙයි. ”ධම්මස්සවණ කාලෝ අයං භදන්තා” යනුවෙන් හැම ධර්ම දේශකයින්වහන්සේ කෙනකුම ධර්ම දේශණාව ආරම්භයේදී ආරාධනා පාඨයක් ලෙසින් ප‍්‍රකාශ කරතත් මෙහි නිවැරදි අර්ථය දැන භාවිතා කරන බවක් නොපෙනේ. ”මේ ධර්මය අසා දැන කෙළෙස් තවන්නට, කෙළෙස් දවන්නට, කෙළෙස් ප‍්‍රහාණය කරන්නට අවධානය යොමු කරන්න” යනු මේ පාඨයේ අර්ථයයි. එසේ නැතිව ධර්මය දේශණා කරන කාලයක් මෙහිදී අර්ථ දක්වා නැත. ධර්ම දේශණාවකට සවන් දෙන්නට පැමිණි දේව, මනුස්ස දෙකොටසටම තවත් වරක් එ් බව ප‍්‍රකාශ කළ යුතු වන්නේ නැත. මේ ධර්ම දේශණාවෙන් ප‍්‍රකාශ කරන දේ අසා දැන, කෙළෙස් ප‍්‍රහාණය කරගෙන, සිත ඒකාග්ගතාවයටත්, චේතෝ විමුක්තියටත් පත්කර ගැනීම සඳහා මීට කන් යොමු කරන්න යන අර්ථය මෙහි ඇත.

වස්සාන සමයෙහි ”අයං වස්සාන කාලෝ” යනුවෙන් බොහෝ විහාරස්ථාන වලත්, ආරඤ්ඤ සේනාසන වලත් ලියා දක්වා ප‍්‍රදර්ශනය කරනු ලැබේ. මෙහි අර්ථය කෙළෙස් තවමින්, කෙළෙස් දවමින් ධම්මානු ධම්ම පතිපදාවෙන් වෙසෙන බව දැන්වීම මිසක ”මම වැසි කාලය ගතකරමි” යන වැරදි අර්ථයක් මෙහි නොවේ. එදා ගෝතම බුදුපියාණන් ජීවමානව වැඩ සිටි යුගයේ බොහෝ නවක භික්ඛුන් කර්මස්ථාන ගෙන නිදහස් තැනකට ගොස් ධම්මානුධම්ම ප‍්‍රතිපදාවෙහි යෙදී කෙළෙස් දවාහැර, මඟඵල ලබාගත්තේ මේ වස්සාන සමයේදීය. මේ අනුව ”අයං වස්සාන කාලෝ” යන්න නිවැරදිව දැන භාවිතා කරන්නේ නම් වස් සමය කෙළෙස් තැවීම සඳහාම වෙන් කරගත යුතුය. වස් අධිශ්ඨානය යනුද කෙළෙස් තැවීමට යම් වේලාවක් සිතින් වෙන්කර ගැනීමයි. අද මේ පදවැල් සම්මත කරගත් දේ මිස නිවන් මඟඵල පිණිස භාවිතා කරන කෙළෙස් තවන්නට උපකාර කරගන්නාදේ ලෙසින් භාවිතා නොවේ. ඊට හේතුව මේ පදවැල් වල ධර්ම අර්ථය යටපත්ව ගොස් සම්මත පදපරම අර්ථය ඉස්මතු වී භාවිතයට ගැනීමයි.

මාගධී බුද්ධ භාෂිතයේ කළු, කාල, කාලි, කාලේන, කාලාමා, කාලෝ, කාලං, කණ්හ ආදී සියලුම පද භාවිතා කළේත් මේ පදවලින් අර්ථ දැක්වූයේත් කෙළෙස් හා කෙළෙස් ප‍්‍රහාණය පිළිබඳවමය.

මාගධී භාෂාවේ වේලාව, කාලය දක්වන්නට යොදාගත් පදයන් කිහිපයක්ම ඇත. ”යාමය, සමය, යුගය, කප්පය” යන පදයන් කාලය, වේලාව, අවස්ථාව දැක්වීමට යොදාගෙන ඇත. කෙටි කාලයක් දක්වන්නට සමය, යාමය යන පදද දිගු කාලයක් දක්වන්නට යුගය, කප්පය (කල්පය) යන පදයන්ද භාවිතා කර ඇත.

මේ අනුවම බුද්ධ භාෂිතයේ, බුද්ධ ධර්මයේ ගුණ විග‍්‍රහ කරන ධර්මය වන්දනා කරන ගාථා පාඨයක ”අකාලිකෝ” යන පදය සඳහන් වේ. ”අ”=යන්නෙන් අත්හැරීම, අත්මිදීම, අභාවිතය යන අර්ථය ලබා දෙයි. බුද්ධ භාෂිතයේ අත්හැරීම, ප‍්‍රහාණය කිරීම, අස්කිරීම, පෙන්වා දීමට නිතරම ”අ” යන්න යොදාගෙන ඇත. නිවන විග‍්‍රහ කළ පද 21 කම ”අ” යන්නෙන් අත්මිදීම විග‍්‍රහ කර ඇත. ”අජාතං, අමතං, අශෝකං, අභූතං, අසංකතං, අජරං, අමරං, අනුපායෝ, අනපායෝ, අසද්ධෝ, අකතඤ්ක්‍දුතේ, අනිච්චං, අනත්ථං, අප්පටිබද්ධෝ, අනනිස්සිතෝ, අරහං” මේ හැම පදයකම ”අ” යන්නෙන් අත්හැර දැමීම, අස්කර දැමීම, අභාවිතය විග‍්‍රහ කර ඇත. නිබ්බාන යනු බාන ලෙහා, බාන අත්හැර දැමීමයි. මේ අනුව ”අකාලිකෝ” යන පදයේ ධර්ම අර්ථය කෙළෙස් අත්හැර, කෙළෙස් වලින් මිදී, කෙළෙස් ප‍්‍රහාණය කරන්නට උපකාර වන දේ බුද්ධ ධර්මය බව මෙහිදී පෙන්වාදී ඇත. මෙය කාලයකට, යුගයකට සම්බන්ධ කළ නොහැකිය.

”සංදිට්ඨිකෝ” ගුණයට පසුවම ”අකාලිකෝ” ගුණය දැක්වූයේ ”සං” (සමුදය) දැකගත් කෙනෙකුටම මිස කෙළෙස් අත්හැර, කෙළෙස් ප‍්‍රහාණය කර දමන්නට කි‍්‍රයා කරන්නට නොහැකි නිසා ”සං” නොදුටු කෙනෙකුට අකාලිකෝ වන්නට ද නොහැකි හෙයිනි. මේ අනුව ‘‘සංදිට්ඨිකෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති’’ යන ධර්මයේ සියලු ගුණයන්ගෙන් විග‍්‍රහ කර පෙන්වා වදාළේ කෙළෙස් සොයා දැන කෙළෙස් ප‍්‍රහාණය කර කෙළෙස් අත්හැර කෙළෙස් උපත ලබන කෙළෙස් මුල් ගළවා දමා සව් කෙළෙස් නසා මඟඵල ලබන්නට අනුගමනය කළ යුතු අනුපූරක වූ නිබ්බාන මාර්ගය විග‍්‍රහ කිරීම බව තේරුම් ගත යුතුය. බුද්ධ ගුණ හෝ සංඝ ගුණ හෝ යම් පුද්ගලයෙකු තුළ ප‍්‍රත්‍යක්ෂ ලෙසින් පිහිටන්නේත් ලෝකෝත්තර නිවන් සුවයට පත්වන්නේත් ධර්මයේ ගුණයන් හයම තමා තුළින්ම ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදීමෙන්ම සම්පූර්ණ කරගැනීමෙනි. ධර්ම ගුණයන් අවබෝධ කර නොගත් පුද්ගලයා බුද්ධ වන්නේද නැත. සංඝ වන්නේද නැත. මේ හේතුව නිසාම බුදුපියාණන්වහන්සේද ධර්මයම ගුරුතන්හි ලා ගෞරව කළ සේක. බුද්ධ ධර්මයම ලෝකයාට දේශණා කළ සේක. ධර්මයේ පිහිටා කටයුතු කරන ලෙසින්ම ලෝකයාටද අනුශාසනා කළ සේක.

මානසික ආතතිය, මෝහය, මොට්ටකම, රාගයෙන් ඇලීම, ද්වේෂයෙන් ගැටීම ආදී සියලු ළාමක ගති ගුණ මිනිසෙකු තුළින් ක‍්‍රියාත්මක වන්නේ චිත්තසංථානය කෙළෙස් වලින් කළු ධර්ම වලින් පිරී පවතින නිසාමය. තමන්ම උපාදානය කරගෙන, ගබඩා කරගෙන, තමන්ගේම චිත්තසංථානයේ පොදි ගසාගෙන පවතින මේ කෙළෙස් පොදිය දැක එ් කෙළෙස් පොදිය සිතින් අත්හැර අලුතින් කෙළෙස් උපදවීමද සහමුළින්ම නවතා දමා කෙළෙස් වලින් නිදහස් වූ තත්ත්වයට පත්වීම නිබ්බාන සච්ඡුිකිරියා තත්ත්වයයි.

”කාල කිරියා (කාල ක‍්‍රියා) කාලං කරෝති” යනුවෙන්ද මාගධී බුද්ධ භාෂාවේ බහුලවම ”කාල” පදය භාවිතා කර ඇත. කාල යනු මෙතැනද කෙළෙස් පොදිය යන්න අදහස් කෙරේ. කෙළෙස් පොදිය කරගහගෙන ගමන් කිරීම ක‍්‍රියා කිරීම කාල කිරියා, කාලං කරෝති යන්නෙහි අදහසයි. යමෙකු මරණයට පත්වන විට කෙළෙස් පොදියද කරගහගෙන මරණයට පත්වූයේ නම් ඔහු කරන්නේ මනෝමය කයෙහි තැන්පත් කරගෙන ඇති කෙළෙස් පොදියද සමගම වෙනත් ජාතියක උපත ලැබීමයි. කෙළෙස් පොදිය සහමුළින් ප‍්‍රහාණය කර සියලු කෙළෙස් බහා තැබූ අරහතුන්වහන්සේට ‘‘කාලං කරෝති’’ යන්න භාවිතා කරන්නේ නැත. ‘‘අරහතුන්වහන්සේ අපවත් වූහ’’යනුවෙන් අපි භාවිතා කරමු. උන්වහන්සේ පවැත්ම අවසන් කර, පැවැත්ම අත්හැර, අපවැත්ම යන තත්ත්වයට නිදහස් වූ කෙනෙකි.

කෙළෙස් පොදිය බහා තබන්නට නොදන්නා අසමත් පුද්ගලයා, කෙළෙස් පොදියද කරගසාගෙන සංසාරයේ අතරමංවී, මංමුළාවී සැරිසරණ බව ප‍්‍රකාශ කළේ ”කාලං කරෝති, කාලකිරියා” යන මාගධී පද වලිනි. ”කාලං කරෝති” යන පදයෙහි තවත් අර්ථයක් ඇත. මතුවට තව තවත් කෙළෙස් එකතු කරමින් කෙළෙස් පොදිය තව දුරටත් තර කරගන්නට ක‍්‍රියා කිරීම යන අර්ථයද ”කාලං කරෝති” යන පදයේ ඇත. උතුම් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ මාගධී පදවැල් වල මෙවැනි ඉතාම වැදගත් අර්ථ, ධර්ම ගැබ්වී ඇතත්, අද මේ පදවැල් පදපරම ලෙසින් අර්ථ ගන්වා ධර්මය විකෘති කර ඇත.

කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය යනු කෙළෙස් නසන්නට උපකාර වන කෙළෙස් නසන්නට මාර්ගය කියා දෙන අරිය උත්තමයාගේ ආශ‍්‍රය යන්නයි. එ් මිසක් අද සම්මතයෙන් හඳුන්වන යාළුවා, මිත‍්‍රයා හෝ නෑයා යන අර්ථයක් මෙහි නැත. ලෝකයෙන් එතෙර වීමට කෙළෙස් බර පහා තබන්නට සංසාර බැමි ගළවා දමන්නට උපකාර වන ආකාරයෙන් කළු නසන්නට උපකාර වන පුද්ගලයාම කළ්‍යාණ මිත‍්‍රයාම වෙයි. අතීත අනුරාධපුර යුගයේදී පවා ”කළු” යන්න කෙළෙස් නසන අර්ථයෙන් භාවිතා කළ බව පෙන්වා දෙන්නට හොඳ උදාහරණයක් ඇත.

කළු බුද්ධරක්ඛිත හිමි කළුවර රැයෙක, කළුදිය පොකුණ ළඟ, කළු තිඹිරිගහ යටදී, කාලේන ධර්ම දේශණාවක් කර, කළු නැසූ බව සඳහන් කථාව ඔබද අසන්නට ඇත. කළුදිය පොකුණ යනු කෙළෙස් පොදියක් සහිත වූ චිත්තසංථානය උපමා කොට පෙන්වීමකි. කාලේන ධර්ම දේශණාවක් කර, කෙළෙස් බිහිකිරීම උදුරා දැමූ නිසා, බුද්ධ (බු+උද්ධ) නම් විය. මෙහි සඳහන් සියලු තැන්වල ”කළු” යනු කෙළෙස් යන අර්ථයයි. කාලේන යනු කෙළෙස් ප‍්‍රහාණය කිරීමයි.

බුද්ධ දේශණාවේ නිතර භාවිතා කර ඇති කාල, කාලි, කළු, කාලාමා, කළ්‍යාණ, කළණ, කාලේන යන පද කෙළෙස් හා කෙළෙස් ප‍්‍රහාණය කිරීම සම්බන්ධව විස්තර කිරීමට යොදාගත් පද බව නිවැරදිව තේරුම් කර ගැනීමට නොහැකි වීම නිසා අද බොහෝමයක් දෙනා පින්කම් හා කුසල් යන පද දෙකද පටලවා ගෙන ධර්මාවබෝධයෙන් තොරව සංසාර සාගරයේ අතරමංවී ඇති බවත් පැහැදිළිවම පෙන්වා දිය යුතුය.

Share Button

කෙළෙස්, කළු ධර්ම හා කුණු

ආසව, අනුසය ධර්ම, අකුසල්, සමුදය ධර්මය, කළු ධර්ම, පාප කර්ම, කුණු යනාදී විවිධ පදවලින් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළේ කෙළෙස් පිළිබඳවමයි. චිත්ත සංථානය කිළිටි වන්නේ ආගන්තුකව එකතු කරගන්නා උපක්ලේශයන් නිසාමය. මනස මුවහ වී, මොට්ට වන්නේද මේ කෙළෙස් ගති නිසාමය. ”කම්මං කණ්හං කණ්හ විපාකං” ”කම්මං සුක්ඛං සුක්ඛ විපාකං” යනුවෙන් පෙන්වා වදාළ කම්ම කොටස් දෙකම හේතුකොට ගෙන සිතක කෙළෙස් උපදවයි. කළු ධර්ම යනුවෙන්ද කුණු ලෙසින්ද මේ කෙළෙස් නම් කර ඇත.

මාගධී භාෂා ව්‍යවහාරයේ කණ්හ, කාල, කාලං, කාලි, කාලා, ක්ලේසා, කළු යන විවිධ පදවලින් විවිධ තැන්වල කෙළෙස් විග‍්‍රහ කර පෙන්වා දී ඇත. සත්ත්වයාගේ චිත්තසංථානය කිළිටි වන්නටත්, මිනිසාගේ මනස මොට්ටකර මෝහයෙන් මුවහ කරන්නටත් එකම හේතුව කෙළෙස්, චිත්තසංථානයේ ගති ලෙසින් ක‍්‍රියාත්මක වී පැවැතීමයි. සත්ත්වයාගේ මතු උපතට, පැවැත්මට, දුකට හා ජරා මරණයට හේතුවත් කෙළෙස් සහිත වූ සිතක් ක‍්‍රියාත්මකව පැවැතීමයි.

සුව අසුව දහසක් බුද්ධ ධර්මය දේශණා කරමින් සියලුම ලොව්තුරා බුදුවරයින් වහන්සේලා ලෝකයාට පෙන්වා වදාළේ මේ කෙළෙස්, කළු ධර්ම චිත්තසංථානයෙන් බැහැර කර, ඉවත් කර, අස්කර දමන්නට මාර්ගය කියා දීමත් මනස වැසී, මුවහ වී පවතින කෙළෙස් සහමුළින්ම උදුරා දමා නැවත කෙළෙස් මතු නොඋපදින ලෙසින්ම කෙළෙස් මුල් ගළවා දමන්නටත් අනුගමනය කළ යුතු නොවරදින මාර්ගය කියා දීමයි.

සතියෙහි පිහිටා, සතියෙන් යුතුව ක‍්‍රියාකරන යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කරන පුද්ගලයාය අසතියෙන් ක‍්‍රියාකරන, අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කරන දුප්පඤ්ඤස්ස පුද්ගලයාය යැයි කොටස් දෙකකට බුද්ධ දේශණාවේදී මිනිසුන්ව බෙදා වෙන් කර දක්වයි. අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන පුද්ගලයා කෙළෙස්, කෙළෙස් යැයි නොදනී. කෙළෙස් මුල් පිළිබඳවද නොදනී. මෙනෙහි කළ යුතු දේ සහ මෙනෙහි නොකළ යුතු දේ පිළිබඳවද නොදනී.

එවන් පුද්ගලයා අනිච්ච දේ නිච්ච සේම දකී. අනිච්ච ස්වභාවයද නොදනී. දුක්ඛ ස්වභාවයෙන් යුතු දේ සුඛ සේ සැප සේම දකී. අනත්ථ ස්වභාවයෙන් යුතු දේ අත්ථ සේ දකී. අස්මිමානයෙන්, මඤ්ඤතාවයෙන් ක‍්‍රියා කරමින් පංචස්කන්ධයම උපාදානය කරගනී. අසුබ දේ, සුබසේ, සුන්දර සේ දැක උපාදානය කරගනී. නිරන්තරවම යළි යළිත් කෙළෙස් එකතු කරගෙන චිත්තසංථානයද කිළිටි කරගනී.

එවන් පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන කෙනෙකි. අසතියෙන් ක‍්‍රියා කරන්නෙකි. දුප්පඤ්ඤස්ස පුද්ගලයෙකි. කළ යුතු දේ සහ නොකළ යුතුදේ තෝරාබේරා ගන්නට නොදන්නා, මඟ හා නොමඟ නොදත් පෘථග්ජන කෙනෙකි.

යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා කෙළෙස් කෙළෙස් ලෙස නිවැරදිවම හඳුනා ගනී. කෙළෙස් මුල් ද නිවැරදිවම හඳුනා ගනී. කෙළෙස් යනු ප‍්‍රහාණය කළයුතු, වහාම සිතින් ඉවත් කරදමා නිදහස් විය යුතු දෙයක් සේම දකී. කෙළෙස් ප‍්‍රහාණය නොකර භාවිත කිරීමේ ආදීනව හා ආනිසංසද දකී. සම්මා දිට්ඨියට පත්වන්නටත්, යථාභූත ඥාණ දර්ශනය ලබන්නටත්, චතුරාර්ය සත්‍යයන් අවබෝධ කර ගන්නටත් ඔහුට අවස්ථාව ලැබෙයි.

අනිච්ච දේ අනිච්ච බව යථාපරිදි දැනගනී, දැකගනී. ” නිච්ච” සංඥාව සිතින් ඉවත් කරගනී. දුක, දුක සේ යථාපරිදි දැනගනී. දැක ගනී. සුඛ සංඥාව සිතින් ප‍්‍රහාණය කර ගන්නටද හැකිවෙයි. අනත්ථ දේ අනත්ථ බව යථාපරිදි වටහා ගනී. අත්ථ සංඥාව අස්මිමානය, මමත්වය, අත්හරී. අසුබ දේ අසුබ බව දකී. සුබ සංඥාව අත්හරී.

මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නට දන්නා ඔහු මෙනෙහි නොකළ යුතු දේ සිතින් අතහැර ප‍්‍රහාණය කර නිදහස් වන්නටද දැනගනී. අනුගමනය කළයුතු ප‍්‍රතිපදාව ධම්මානුධම්ම ප‍්‍රතිපදාව තේරුම්ගත් ඔහු මග්ගේ මග්ග ඥාණ දර්ශනයද ලබයි. සම්මා දෘෂ්ඨියටද පත්වෙයි. නොබෝ කලකින්ම චතු අරිය සත්‍යයන් අවබෝධ කරගත් අරිය පුද්ගලයෙකු බවටද පත්වෙයි.

මග්ගාමග්ග (මඟ හා අමඟ) ඥාණ දර්ශනයක් නොලැබූ පුද්ගලයා අරිය පර්යේෂණයන් ගැන හෝ අනරිය පර්යේෂණයන් ගැන හෝ වෙන්කොට දැකගන්නට හැකියාවක් නැති කෙනෙකි. කුසල හා අකුසල ගැනද නොදන්නා ඔහු පින් පව් ගැනද යථාවබෝධයකින් ක‍්‍රියා නොකරන්නෙකි. කුසල මූලයන් ගැන හෝ අකුසල මූලයන් ගැන හෝ කිසිසේත්ම යථාවබෝධයක් නැති නිසා කෙළෙස් පිලිබඳ නිසි අවබෝධයක් නැත. බොහෝ විටම කෙළෙස්ද වටිනා දේ ලෙසින් දකී. පින්කම් කිරීමේදී පවා අකුසලයක්ම කරගනී. සංසාර ගැටළුව ගැන කිසිම තේරුමක් ඇත්තේම නැත. තේරුම් ගන්නටද උත්සාහ නොකරයි. මේ ගැටළුව සකස් කරගත්තේ තමන්ම බවවත් ඔහු නොදනී. කෙළෙස් සහිත වූ සිතකින් කටයුතු කරන හැම මොහොතක් පාසාම මේ සංසාර ගැටළුවට යළි යළිිත් තමන් පැටළැවෙන බවක් පවා ඔහු නොදනී. කෙළෙස් තමාගේ සිත තුළම මුල් බැස ගෙන පවතී නම් කිළිටි වන්නේ තමන්ගේම චිත්තසංථානයම බවවත් ඔහු නොදනී. මේ කෙළෙස් නිසා තමාගේ මනස මුවහ වී මොට්ටයකු මෝඩයකු බවට පත්වන්නේද තමන්ම බවවත් ඔහුට නොපෙනෙයි. තමන් අවිද්‍යාවෙන්, තණ්හාවෙන් ක‍්‍රියාකරන පෘථග්ජන පුද්ගලයෙකු බවට පත් වූයේ මේ කෙළෙස් (කුණු) තමාගේ චිත්තසංථානය තුළම ගබඩා වී ඇති නිසා බවද නොදනී. දුක්ඛේ අඥාණං, දුක්ඛ සමුදයේ අඥාණං යනු මෙහි අර්ථයයි.

මෙවන් කෙළෙස් ගති ඇති පුද්ගලයා තමා අපායට යන මාර්ගයේ, දුගතියට යන මාර්ගයේ ගමන් කරන බව නොදනී. අපායට යන මාර්ගය හා සුගතිට යන මාර්ගය වෙන්කොට තෝරා බේරා ගන්නට නොදත් ඔහු සංසාර ගැටළුවෙන් මිදී නිදහස් වන්නට කිසිසේත්ම නොදන්නා කෙනෙකි. දුගතිය වූ අපායත්, සුගතිය වූ කාමලෝකයත් යන දෙකම ඇත්තේ මේ ලෞකික පැවැත්ම තුළම බවත් ලෝකෝත්තර නිවන (නිබ්බාන) යනු මේ සසරට බැඳ තබන බැමි වලින්, කෙළෙස් වලින් මිදී නිදහස්වීම බවවත් ඔහුට තේරුම් ගන්නට නොහැකි වෙයි. ඒ සඳහා සිතන්නට සුදුසු ගැළපෙන මනසීකරණ ශක්තියක් ද ඔහුට නැත.

මිනිසෙකු ලෙසින් අද උපත ලබා ජීවත්වන ඔබ මේ දෙකොටසෙන් කුමන කොටසට අයිති වන්නේද? ඔබ තුළ ඇත්තේ මේ ලක්ෂණ වලින් කුමන කොටසට අයත් ගති ලක්ෂණද? දැන් එකින් එක කාරණයක් කෙරෙහිම ආවර්ජනය කර තමා තුළින්ම තමා ගැනම තමන්ම සළකා බලා තීරණයක් ගන්නට තරම් ඔබ සමත් වේ නම් මේ මිනිසත් බවට පත්වීමේ නිසි ඵල ප‍්‍රයෝජනයක්ද ඔබ ලබා ගත්තා වන්නේය.

කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන් අරිය උත්තමයෙකුගෙන් පරම පවිත‍්‍ර සිරි සද්ධර්මයම අසා දැන තේරුම් ගැනීම මේ සඳහා පළමුවන අවශ්‍යතාවයයි. පරතෝඝෝෂක ප‍්‍රත්‍ය ලැබෙන්නේ ඒ මාර්ගයෙනි. හේතුඵල දහමට බහා ගළපා ක‍්‍රියා කරන්නටත් ඔබට ඒ අනුව පුරුදු විය හැකිය. යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන්නෙකු බවට පත්වීම නිසා සම්මා දාෂ්ඨියට පත් වූවෙකු බවටද පත්වෙයි. එවිට මග්ගේ මග්ග ඥාණ දර්ශනයද ලැබෙයි. දැන් අපායට යන මඟත් දැනගනී. අපායෙන් මිදෙන මඟත් දැනගනී. කාමා ලෝකයත් දැනගනී. නිවනත් දැනගනී. නිවනට යන මඟත් දැක ගනී. චතු අරිය සත්‍යයන්ද අවබෝධ කරගනී.

”අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ” ආදී වශයෙන් විග‍්‍රහ කරන ලද සංසාර දුකට මුල්වන අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහය යථා පරිදි දැන් තේරුම් ගනී. විද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයේදී විග‍්‍රහ කර පෙන්වා දෙන්නේ නිවන නොවන බවත් ඉන් පෙන්වා දෙන්නේ නිවන වසා සිටින නිවනට ප‍්‍රතිපක්ෂ වූ අවිද්‍යාව නිසා සසර බැම්මට බැඳෙන ආකාරයත් බව මනාව දැන් තේරුම් ගනී. අවිද්‍යා නිරෝධ පටිච්චසමුප්පාද විග‍්‍රහයත් තේරුම් ගනී. සංඛාර නිරෝධ කරමින් විඤ්ඤාණ නිරෝධ කරමින්, භව නිරෝධය තෙක්ම නිරෝධ ගාමිණී මාර්ගයම අනුගමනය කළ යුතු බවත් දැන් යථාපරිදි තේරුම් ගනී.

තෙවනුව කුසලමූල පටිච්ච සමුප්පාද ධර්මයත් තේරුම් ගනී. කුණු මුල් ගළවා සිතින් චිත්තසංථානයේ කෙළෙස් අස්කර දමන තුරාවට ”සං” උත්පාදනය වන බවත් දැක කෙළෙස් මුල් ගළවා දමන්නට අනුගමනය කළ යුතු නිවැරදි මාර්ගයම කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන් නිවැරදිව අසා දැන ඒ මාර්ගයම අනුගමනය කර සම්මා විමුක්තියටම පත්විය යුතු බවද තේරුම් ගනී.

මේ අනුව අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීම සත්ත්වයාගේ සංසාර දුකට මුල් වු පළමුවැනි හේතුවයි. අවිද්‍යාව, තණ්හාව, නොදන්නා කම, මෝහය ආදී සියලු ලාමක ගති සිතක දිගින් දිගටම පවතින්නේ අයෝනිසෝමනසිකාරයෙන් දිවි පැවැත්ම පවත්වාගෙන යාම නිසයි.

ධම්මානුධම්ම පටිපදාව අනුගමනය කිරීමෙන්ම යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන මග්ගේ මග්ග ඥාණයෙන් ක‍්‍රියාකරන සම්මා දිට්ඨියටද පත් වූවෙක් බවට පත්විය හැකි එවන් පුද්ගලයා ධම්මචාරී වෙයි. අධම්මචාරී නොවෙයි. සමචාරී පුද්ගලයකු වෙයි. විෂමාචාරී, අසමචාරී ගතිවලින් ඉවත් වෙයි. අකුසල කිරියා වලින් ඉවත් වී, කුසල කිරියාවන්හි යෙදෙන්නෙකු වෙයි. පාප කිරියා වලින් ඉවත් වී, පුණ්‍ය කිරියා කරන්නෙකුද වෙයි. මිච්ජා දෘෂ්ඨියෙන් ඉවත් වූ සම්මා දෘෂ්ඨියට පත් වූ කෙනෙකුද වෙයි

Share Button