ඡ ඡක්ක සූත්‍රයේ අර්ථය සරළ සිංහල භාෂාවෙන් විග්‍රහ කිරීම

ගෝතම බුදුපියාණන්වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන එක් සමයක එහි රැස්ව සිටි භික්ඛූන් පිරිස අමතා මෙම ”ඡ ඡක්ක” සූත‍්‍ර ධර්ම දේශණාව දේශණා කර වදාළ සේක. මෙහි ”භික්ඛු” යන පදයෙන් එදා අර්ථ ගැන්වූයේ උපාසක, උපාසිකා, මහණ, මෙහෙණි යන සිව්වනක් පිරිසටමය.

මෙම ඡ ඡක්ක සූත‍්‍ර දේශණාව මගින් ඉතාමත්ම පැහැදිළිව හා සරළ ලෙසින්ම පෙන්වා වදාළේ මිනිසෙකු ලෙස උපත ලැබූ හැම කෙනෙකුටම පහසුවෙන්ම අනුගමනය කර, අත්දැකගෙන, සාක්ෂාත් කරගත හැකි විමුක්ති මාර්ගයයි. ආදී කළ්‍යාණ වූ, මජ්ෙඣ කළ්‍යාණ වූ පරියෝසාන කළ්‍යාණ වූ මෙම සූත‍්‍ර ධර්මයෙන් විග‍්‍රහකර පෙන්වා වදාළේ බඹයක් පමණ වූ මෙම ශරීර කූඩුව කිළිටිවන්නට මෙන්ම මානසික දුකට, කායික දුකට හා සංසාරික  දුකට  පත්වන්නටද  මුල්  වූ  හේතූන්  විග‍්‍රහකර  පෙන්වා  දී  එ  සියලූ  දුක් නැතිකරගෙන ප‍්‍රඥා විමුක්තිය ළගාකර ගන්නට අනුගමනය කළ යුතු සරළ පිරිසිදු නිවැරදි මඟ පෙන්වා දීමයි. කළ්‍යාණ මිත‍්‍රයා යනුවෙන් මෙහිදී අදහස් කළේ ”කෙළෙස් නසන්නට මඟ කියා දෙමින් උපකාරවන්නා” යන පිරිසිදු අර්ථයෙනි.

බඹයක් පමණ වූ මෙම ශරීර කූඩුව තුළට කෙළෙස් ගති ගලා එන්නටත්, කෙළෙස් යළිි යළිත් සිතේ උත්පාදනය කර ගන්නටත්, ඒ නිසාම දුක නිර්මාණය කර දෙන්නටත් උපකාර වන ක‍්‍රියාකාරකම් (චක‍්‍ර) තිස්හයක් (6×6) පිළිබඳවම මේ සූත‍්‍රයේ පළමු කොටම පෙන්වා දී ඇත. ඇස, කන, නාසය, දිව, කය හා මනස යන සදොර මුල්කරගෙනම මේ තිස්හය ආකාර වූ චක‍්‍රයන්ම ක‍්‍රියාත්මක වෙයි. මෙහි සඳහන් කරන ලද ඇස, කන ආදී දොරවල් හයම වරෙක ඉන්ද්‍රියයන් ලෙසත්, තවත් වරෙක ආයතනයන් ලෙසත්, තවත් වරෙක චක‍්‍රයන් ලෙසත් (කායයන්) ක‍්‍රියාත්මක වෙයි.

චක්ඛුකාය,  සෝතකාය,  ඝානකාය,  ජිව්හාකාය,  කායකාය  හා  මනෝකාය  යන ආධ්‍යාත්මික චක‍්‍රයන් හයක් ලෙසින්ද ක‍්‍රියාත්මක වන අයුරු පෙන්වා දීම මෙම සූත‍්‍රයෙන් පෙන්වා වදාළ චක‍්‍රයන් තිස්හය අතර පළමුවන චක‍්‍රයයි. මේවා ආධ්‍යාත්මික ආයතන ලෙසින්ද ක‍්‍රියාත්මක වෙයි.

දෙවන චක‍්‍රයන් හය ලෙසින් පෙන්වා වදාළේ බාහිර ආයතන හයක් ක‍්‍රියාත්මක වන ආකාරයයි. ඇසට අරමුණු වන රූපායතනය, කනට අරමුණු වන ශබ්දායතනය, නාසයට අරමුණු  වන  ගන්ධායතනය,  දිවට  අරමුණු  වන  රසායතනය,  කයට  අරමුණු  වන පොට්ඨබ්බායතනය හා මනසට අරමුණු වන ධම්මායතනය යන බාහිර ආයතනයන්ද කි‍්‍රයාකාරකම්  හයක්  කි‍්‍රයාත්මක  කරවීම  සඳහා  උපකාර  වෙයි.  රූප  කාය,  ශබ්දකාය,

ගන්ධකාය, රසකාය, පොට්ඨබ්බකාය හා ධම්මකාය යන මේ බාහිර කායයන් හය මේ දෙවන චක‍්‍රයන් හයයි.

තුන්වන චක‍්‍රයන් හය ලෙසින් පෙන්වා වදාළේ විඤ්ඤාණකායන් හයයි. ඇසෙන් කරන කි‍්‍රයාකාරකමට පටිච්ච වන රූපායතනය  හේතුකොට   ගෙන  චක්ඛු විඤ්ඤාණකායක් උපදී. (”චක්ඛුං ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං”) ඒ වගේම කනෙන් කරන කි‍්‍රයාකාරකම සමඟ බාහිර ශබ්දායතනයක් පටිච්චවීම නිසා, සෝත විඤ්ඤාණකායක් උපත ලබයි. නාසයෙන් කරන කි‍්‍රයාකාරකම සමග ගන්ධායතනය පටිච්චවීම නිසා එය හේතුකොටගෙන ඝාන විඤ්ඤාණකායක් උපත ලබයි. දිවෙන් කරන කි‍්‍රයාකාරකම්   සමඟ රසායතනය   පටිච්චවීම නිසා  එය හේතුකොටගෙන ජීව්හා විඤ්ඤාණකායක් උපත ලබයි. ශරීරයෙන් කරන කි‍්‍රයාකාරකම් සමග  පොට්ඨබ්බායතනය  පටිට්චවීම නිසා ඒ පහස හේතුකොටගෙන කාය විඤ්ඤාණකායක්  උපත  ලබයි.  මනසින්  කරන  කි‍්‍රයාකාරකම්  සමඟ  ධම්මායතනය පටිච්චවීමේ  හේතුව නිසාම මනෝ විඤ්ඤාණකායක් උපත  ලබයි. මේ තුන්වන විඤ්ඤාණකායන් හයයි. (”මනා ච පටිච්ච ධම්මෝච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං”)

මේ අවස්ථාවේදී විග‍්‍රහ කරදිය යුතු වැදගත්ම මාගධී පදයක් මෙහිදී භාවිතාකර ඇත. මේ පදය නම් ”පටිච්ච” (පටි+ඉච්ච) යන පදයයි. චක්ඛු විඤ්ඤාණකාය, සෝත විඤ්ඤාණකාය, ඝාන විඤ්ඤාණකාය, ජිව්හා විඤ්ඤාණකාය, කාය විඤ්ඤාණකාය හා මනෝ විඤ්ඤාණකාය යන හයවැදෑරූම් විඤ්ඤාණ ශක්තීන්ම කෙනෙකු තුළ උපත ලබන්නේම මෙසේ පටිච්චවීමේ නියත හේතුව නිසාමය. ”පටිච්ච” (පටි+ඉච්ච) යනු සිතේ උපන් කැමැත්තට බැඳීම යන්නයි. මෙම පටිච්ච වීමද තුන් ආකාරයකින්ම සිතක් තුළ කි‍්‍රයාත්මක වෙයි.

(1)  ඇසෙන්  දුටු  රූපය  පිළිබඳව කැමැත්තක්,  පි‍්‍රය බවක්, එම රූපය  අල්ලා උපාදානය කරගැනීමේ   ආශාවක්, මනාපයක් ඇතිවීම නිසා ඇසින් දුටු රූපයට පටිච්ච වේ. මෙය පි‍්‍රය බවට ඇලීම නිසා සිතක උපත ලබන පළමුවන පටිච්චවීමේ ක‍්‍රමයයි.

(2)  ඇසෙන් දුටු රූපයට අපි‍්‍රය   බවක් අමනාප බවක්  සිතෙහි ඇතිවී නම් ඒ අවස්ථාවෙහි ද්වේෂයක් සිතෙහි ඇතිවෙයි. මේ දෙවෙනි වේෂයෙන් පටිච්චවීමයි. මේ දෙවෙනි වේෂයෙන් පටිච්චවීමෙන් ද සිතේ පටිඝයක්, ගැටීමක් ඇති වෙයි.

 (3) ඇසෙන් දුටු රූපය කෙරෙහි අදුක්ඛම අසුඛ ස්වභාවයෙන් පටිච්චවීම තුන්වන පටිච්චවීමයි.  මෙහිදී  වන්නේ  වැරදි  මැනීමක්  වැරදි  මානයක්  මඤ්ඤතාවයක් ඒ රූපය ගැනම සිතෙහි ඇතිවීමයි. ඒ මැනීම, මානය දුක හා සුඛ අතර උපදින මානයකි.  සිතක  විහිංසා  විතක්ක  විචාර  උපත  ලබන්නේ  මේ  ආකාරයෙන් පටිච්චවීමෙනි. මේ අනුව පි‍්‍රය දේට ඇලීම, අපි‍්‍රය දේට ගැටීම හා පි‍්‍රය අපි‍්‍රය දේ අතර  මුළාවීම  යන  තුන්  ආකාරයෙන්ම  ඇස,  කන,  නාසය,  දිව,  කය,  මනස යන  ආයතන  හයටමත්  පටිච්චවීම  නිසා  විඤ්ඤාණ  ශක්තියක්  බිහිවීම  සිදු වෙයි. මේ පටිච්චවීම  මූලික  හේතුව කොටගෙනම, නිධාන හේතුව කොටගෙනම, ප‍්‍රත්‍යවීම හේතු කොටගෙනම ඉහත සඳහන් කරන ලද චක‍්‍රයන් තිස් හයක්ම සිතක් තුළම කි‍්‍රයාත්මක වී, සමුදය ශක්තියක් ද උත්පාදනය කරයි. (”හේතුං පටිච්ච සංභූතං”)

 (4)  මේ  විග‍්‍රහයේ  පෙන්  වූ  හතර  වන  චක‍්‍රාකාර  වූ  කි‍්‍රයාකාරකම්  හය  වන්නේ සම්ඵස්සකායන් හයයි. ”චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, තින්නං  සංගති  ඵස්සෝ”  වශයෙන්  චක්ඛු  සම්ඵස්ස,  සෝත  සම්ඵස්ස,  ඝාන සම්ඵස්ස, ජිව්හා සම්ඵස්ස, කාය සම්ඵස්ස හා මනෝ සම්ඵස්ස යනුවෙන් පෙන්වා වදාළේ  පටිච්චවීමේ  ප‍්‍රතිඵලයන්  ලෙස  ආයතන  හයට  අදාළවම  උපත  ලබන චක‍්‍රාකාරව කි‍්‍රයාත්මක වන ස්පර්ශ කායයන් හයකි. මේ හතරවන චක‍්‍රයයි.

 (5) පස්වැනිව චක‍්‍රාකාරව උපත  ලබා කි‍්‍රයාත්මක වන කායයන් හය වන්නේ වේදනාකායයන් හයයි. චක්ඛු සම්ඵස්සය නිසා චක්ඛු සම්ඵස්ස  වේදනාකායද, සෝත සම්ඵස්සය නිසා සෝත සම්ඵස්ස වේදනාකායද, ඝාන සම්ඵස්ස නිසා ඝාන සම්ඵස්ස වේදනාකායයද, ජීව්හා සම්ඵස්සය නිසා ජිව්හා සම්ඵස්ස වේදනාකායද, කාය සම්ඵස්සය නිසා කාය සම්ඵස්ස වේදනාකායයද, මනෝ සම්ඵස්ස කාය නිසා මනෝ සම්ඵස්ස වේදනාකායයද සිතක උපත ලබයි. මේ  පටිච්චවීම  හේතුකොට  ගෙන  උපත  ලබන  පස්වැනි  වේදනා  කායයන් (කි‍්‍රයාකාරකම්) හයයි.

මේ සෑම වේදනාකායක්ම යළිත් තුන් ආකාර වෙයි.

i. සෝමනස්ස සහගත වූ සුව වේදනාව විඳීම නිසා පි‍්‍රය බවට ඇලීමෙන් ලබන ආමිස සුවය එක් වේදනාවකි.

ii. දෝමනස්ස  සහගත  වූ  දුක්  වේදනාවට  ගැටීම  (පටිඝ)  නිසා  සිතේ  උපදින ආමිස සුවය විඳීම දෙවෙනි වේෂයේ වේදනාවයි.

iii.  එමෙන්ම  අදුක්ඛම  අසුඛ  වූ  සොම්නස්  දොම්නස්  දෙක  අතර  ලබන  (උභයම අන්තරේ) වේදනාව විඳවීම තුන්වැනි ආකාර වූ වේදනාවයි.

අස්සුතවත් පෘථග්ජන  ලෝකයා  දුක්  විඳින්නේම  මේ  වේදනාවන්  උපාදානය  කරගෙන, සක්කාය දිට්ඨියෙන් ගෙන ඒ අනුව වේදනා විඳවීමෙනි. මේ වේදනා සියල්ලම විඳවීමට හේතුව ද සිතින්ම පටිච්චවීමයි. වේදනාව එකකි. විඳව විඳවා සිටීම තවත් සංසිද්ධියකි. (6) හයවන චක‍්‍රාකාර කි‍්‍රයාකාරකම් හය වන්නේ ඇස, කන, නාසය, දිව, කය හා මනස ආදිය මුල් කරගෙනම සිතේ උපත ලබන ”තණ්හාකායයන්” හයයි. ”තණ්හා’’ යනු යම් තැනක හාවීමයි. ඇසෙන් දුටු රූපය පි‍්‍රය මනාප එකක් නම් ඒ නිසා උපත ලබන ”සංඵස්ස ජා වේදනාව නිසා” එ් රූපය සමග සිතින් හා වෙයි. එහිදී ඇසෙන් හාවෙන්නේ නැත. ඇසින් දුටු රූපය නිසා උපත ලැබූ වේදනාව නිසාම බාහිර රූපය සමග සිතෙන් හාවෙයි. මේ හාවීම ”තණ්හාව” යන පදයේ අර්ථයයි. මේ ආකාරයටම කනෙන් ඇසුණු ශබ්දයට, නාසයෙන් ගත් ගඳ සුවඳට, දිවෙන් ලැබූ රසයට,  කයට  ලැබුණු  සුව  පහසට  හා  මනසට  පටිච්ච  වූ  ධම්මතාවයට  යන සදොරටම අරමුණු වූ ආරම්මණයන්ට සිතින්ම තණ්හා වෙයි. මෙතැනදී කාම තන්හා, භව තණ්හා, විභව තණ්හා යනුවෙන් ද තුන් ආකාරයකම තණ්හාවන්ද සිතකම උපත ලබයි. මේ කුමන ආකාරයේ් හෝ තණ්හා වීමක් සිතක උපත ලබන්නේ නම් එය ද පටිට්ච වීමේම ප‍්‍රතිඵලයකි. (හේතුං පටිච්ච සංභූතං* පටිච්ච වීමේ නියත ප‍්‍රතිඵලය ”සං” බිහිවීමයි. සමුදය ශක්තියක් චිත්තසංථානයේ බිහිවීමයි. සංසාර ගමන  දිගටම පවත්වාගෙන යාමට හා මතුවටත් දුක් නිර්මාණය කරදෙන්නට හේතුවන ශක්තිය සමුදය ශක්තියයි. මේ චක‍්‍රාකාර වූ කි‍්‍රයාකාරකම් හයෙන්ම විග‍්‍රහකර පෙන්වූයේ පටිච්ච වීමෙන් සමුදය බිහිවන ආකාරයයි.

මෙසේ චක‍්‍ර හයක් ලෙසින් ද, ආයතන හයකින්ම කි‍්‍රයාත්මක වී සිතකම උපත ලබන්නේ  සමුදය  ශක්තියකි.  සමුදය  යනු  ”සංභවං”  යන්නයි.  එනම්  සංසාර  ගමන පවත්වාගෙන දිගින් දිගටම යළි යළිත් උපත ලබන්නට මූලික හේතුව වන්නේ මේ කර්ම බීජ බිහිවීමයි. ”සංභවං, සමුදය” යන පද වලින් ද පෙන්වා දුන්නේ යළි උපතක් ලබන්නටම හේතුවන කර්ම බීජ උපත ලබන ආකාරය පිළිබඳවයි. මේ ආකාරයට ඡ ඡක්ක සූත‍්‍රයේ මුල් කොටසෙන්  විග‍්‍රහ  කර  පෙන්වා  වදාළේ  අවිද්‍යා  මූලයෙන්  පටිච්ච  සමුප්පාද  ධර්මය කි‍්‍රයාත්මක වන ආකාරය තිස්හය ආකාරයකින්ම පෙන්වා දීමයි. මේ විග‍්‍රහය සර්වසම්පූර්ණය. අවබෝධයට පහසුය. සරළ විග‍්‍රහයකි. තමන්ටම තමන්ගේම බඹයක් පමණ වූ ශරීර කූඩුව  තුළින්ම මෙසේ කි‍්‍රයාත්මක වන බලවේග (මත්වීම්) දැන හඳුනාගන්නට පහසුවන ආකාරයෙන් කරන ලද විග‍්‍රහයකි.

ඉන්පසුව මේ සූත‍්‍රයෙහි දෙවන කොටසෙන් විග‍්‍රහ වන්නේ ති‍්‍රලක්ඛණය පිළිබඳ මූලධර්මයන්ය. ”චක්ඛුං අත්ථා වා චක්ඛුං අනත්ථාවා, රූපං අත්ථා වා අනත්ථා වා චක්ඛු විඤ්ඤාණං අත්ථාවා අනත්ථාවා, චක්ඛු සංඵස්ස අත්ථාවා අනත්ථාවා, චක්ඛු වේදනා අත්ථා වා අනත්ථාවා, චක්ඛු තණ්හා අත්ථාවා අනත්ථාවා’’ යනාදී වශයෙන් කායයන් තිස්හයම මේ ආකාරයෙන්ම ද්වතාවයෙන්ම විග‍්‍රහ කිරීමයි. ”චක්ඛුස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති” යන ප‍්‍රකාශයෙහි   ”පඤ්ඤායති” යනු ප‍්‍රඥප්තියකි.  සිතින්ම, මඤ්ඤතාවයෙන්ම පනවාගත් සිතුවිල්ලක්ම පමණි යන්නයි. ඇසෙන් දුටු රූපය නිසා සිතේ උපත ලැබූ මත්වීම ඒ මොහොතේ පටන්ම ඒ උපත ලැබූ ශක්තියද ගෙවී ගෙවී විනාශය  කරාම  යන  බවත්  එහි  පනවා  ගන්නට,  මඤ්ඤතාවයෙන්,  මමත්වයෙන්, අස්මිමානයෙන් ”අත්ථාති” වශයෙන් ගන්නට යමක් නිශ්චිතව එහි පවතින්නේ නැති බවත් යථාපරිදි දැකගත් විට (යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි) එහි යථා තත්ත්වය ඇත්ත ස්වභාවය  යථාභූතඥාණ  දර්ශනයෙන්ම  දැකගත  හැකි  වෙයි.  මේ  අනුව  ”ඉච්චස්ස එවමාගතං හෝති” වෙයි. එනම් සිතේ උපන් කැමැත්තට බැඳීමෙන් සිදුවූ පටිච්චවීමෙන් නිදහස් වී සත්‍යය පිරිසිඳ දැකගනී. පිරි, අපිරි යන අන්ත දෙකෙන්ම මිදී කැමැත්තෙන්ද නිදහස්ව ඇත්ත ඇති සැටියෙන් දැකගත් විට ”චක්ඛුං අනත්ථා, රූපං අනත්ථා චක්ඛු විඤ්ඤාණං අනත්ථා, සංඵස්ස අනත්ථා, වේදනා අනත්ථා, තණ්හා අනත්ථා වශයෙන් මේ කි‍්‍රයාවලියේ සත්‍යම වූ ස්වභාවයද දකී. ”අත්ථ” යනු ආත්ම වාදය නොවේ. අනත්ථ යනු අනාත්ම වාදයද නොවේ. උතුම් බුද්ධ ධර්මය හේතුඵලධර්ම විග‍්‍රහයක් මිස අන්තවාදී ආත්ම අනාත්ම වාදයන් විග‍්‍රහ කළ දහමක් නොවේ.

රූපය අත්ත වශයෙන් දැක, ඊට තණ්හා වී, එය උපාදානය කර ගැනීමෙන් අනාථ බවට දුකට පත්වීමටද හේතුවන දෙයක් සිදුවූවා මිස හරයක්, සාරයක් මෙහි නැති බවද යථාපරිදි දකී. මේ අනත්ථ බව දැකීමයි. මේ විග‍්‍රහයේදී තිස්හය ආකාරයටම මෙසේ ”අනත්ථ බව” විග‍්‍රහ කරදී ඇත. අනත්ථ බව අවබෝධ කරගත යුතු ධර්මයකි. ඇසෙන් දකින රූපයකට පටිච්චවීම නිසාම ඒ රූපය දැකීමෙන් සිතේ වේදනාවක් උපත ලබයි නම් ඒ රූපය කෙරෙහි තණ්හාවක්ද උපදී. එවන් රූපයක් උපාදානය කර ගැනීමේ කැමැත්ත සිතින් නිශ්චිත කර ගන්නටම කි‍්‍රයාත්මක වීම එවන් පෘථග්ජන සිතක නියත හැසිරීම් ස්වභාවයයි. මෙවන් පෘථග්ජන සිතක නියත අවශ්‍යතාවයක් ද බිහිවෙයි.

”නිච්ච, සුඛ, අත්ථ” යන තුන් පදවලින් ද විග‍්‍රහ කර පෙන්වූයේ මේ ලෝක ධර්මතාවයයි. මේ ආමිස සුවයයි. මේ නිච්ච බව, සුඛ බව, අත්ථ බව සිතක කි‍්‍රයාත්මකව පවතිනා තුරුම සංසාර පැවැත්මද දිගින් දිගටම පවත්වාගෙන යන්නටම සියලූ කි‍්‍රයාකාරකම් ද (සබ්බ කාය) උපකාරී වෙයි. මේ ආමිස සැප හඹා යාමයි.

රූපය නිච්ච සේ, වේදනාව නිච්ච සේ, සංඥාව නිච්ච සේ, සංඛාරය නිච්ච සේ, විඤ්ඤාණය නිච්ච සේ, රූපය සුබ සේ සුව සේ, වේදනාව සුබ සේ සුව සේ, සංඥාව සුව සේ සුබ සේ, සංඛාරයෝ සුබ සේ සුව සේ, විඤ්ඤාණයෝ සුව සේ සුබ සේ දකීද එවන් පුද්ගලයා දකින රූපය ද මඤ්ඤතාවයෙන්, මමත්ත්වයෙන් අත්ථ සේ දකී. වේදනාව මඤ්ඤතාවයෙන්, මමත්ත්වයෙන් අත්ථ සේ දකී. සංඥාව, සංඛාරය හා විඤ්ඤාණය ආදී වශයෙන් පංචස්කන්ධයම මඤ්ඤතාවයෙන්, මමත්ත්වයෙන් අත්ථ සේ දකී. අත්ථ සේ ගනී. අත්ථ යන්නෙහි තේරුම අස්මිමානයෙන් වැරදි සේ මැනීමයි. මෙය ආත්ම දෘෂ්ඨියට වඩා වෙනස් වූ බලවත් එකකි. ‘‘එ්තං මම’’, ”එ්සෝ මේ හමස්මි, ඒ සෝමේ අත්ථාති” යනු මේ වැරදි සංසාර දෘෂ්ඨියයි. සක්කාය දෘෂ්ඨියයි. අස්මිමානයෙන් ගැනීමයි.

මේ ආකාරයට ”මනෝ විඤ්ඤාණං අත්ථාති යෝ වදෙය්‍ය” මනෝ විඤ්ඤාණය අස්මිමානයෙන් මැනීම, මමත්ත්වයෙන් අත්ථ සේ ගැනීම වරදකි. මනෝ විඤ්ඤාණයක් උපත ලැබීමත්, වැයවී යාමත් සිතින්ම පනවාගත් පඤ්ඤප්්තියක් පමණි. මේ සත්‍යය ධර්මතාවය යථාපරිදි යථාභූත ඥාණ දර්ශනයෙන් අවබෝධ කරගත් පසුව (ඉච්චස්ස එවමාගතං හෝති) මේ රූපය කෙරේ ඇති වූ කැමැත්ත සිතේ ඇති වූ මුළාවක් පමණක්ම බව  දැක  ඉන්  මිදී  නිදහස්වීම  සඳහා  ”ඉති  මනෝ  අනත්ථා,  ධම්මා  අනත්ථා  මනෝ විඤ්ඤාණං අනත්ථා” යන්න ද පසක් කොට අවබෝධ කර ගතහැකි වෙයි. මේ අනුවම මනෝ සම්ඵස්ස, මනෝ සම්ඵස්ස වේදනා, සහ තණ්හා යනාදී සියලූ චක‍්‍රාකාර කි‍්‍රයාකාරකම් ද සිතින්ම මවාගත් අස්මිමානයෙන් හා මඤ්ඤතාවයෙන්ම අත්ථ යැයි උපාදානය කරගත් දේවල් බව ද යථා පරිදිම දැක ගනී. එය උපාදානය කර ගැනීමෙන් අනාථ වන බවද යථා පරිදි දකී.

මේ අනුවම ”ඉති මනෝ අනත්ථා , ධම්මා අනත්ථා, මනෝ විඤ්ඤාණං අනත්ථා, මනෝ සම්ඵස්සෝ අනත්ථා, වේදනා අනත්ථා, තණ්හා අනත්ථා” ආදී වශයෙන් යථාභූත ඥාණ දර්ශනය ද ලැබෙයි. මේ අනුව ඇත්ත ඇති සැටියෙන්ම දැකගනී. මෙසේ චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය හා මනෝ යනාදී ආයතන හය සම්බන්ධයෙන්ම උපත ලබන ශක්තිය මේ ආකාරයෙන්ම මෙතෙක් කල් ”අත්ථ” යැයි අස්මිමානයෙන් ගත් සියල්ලම (සබ්බ කාය) ”අනත්ථ” බව දැන් පසක් කොට දැක ගනී. අනත්ථ යනු අනාත්ම යන අදහස නොවේ. අනාථ වීම යන අර්ථයයි.

ඊළඟ පියවරේදී මෙම ඡ ඡක්ක සූත‍්‍රයේ විග‍්‍රහකර පෙන්වා වදාළේ ”සක්කාය සමුදය ගාමිණී ප‍්‍රතිපදාව හා සක්කාය නිරෝධ ගාමිණී ප‍්‍රතිපදාව” නමැති ද්වතාවයයි. සංසාර ගමනට යළි යළිත් දිගටම බැඳ තබන, සංයෝජන දහයම උත්පාදනය කර දී, සකස් කර දී, දුක නිර්මානය කරනු ලබන ප‍්‍රතිපදාව වන්නේ සක්කාය සමුදය ගාමිණී ප‍්‍රතිපදාවයි. ”සං” උත්පාදනය වන්නේ සමුදය බිහිවී සංසාරයට බැඳෙන්නේ බඹයක් පමණ වූ මේ ති‍්‍රජකයම කිළිටි කරන්නේ (සංකිළිට්ඨේන) මෙම ”සක්කාය සමුදය ගාමිණී ප‍්‍රතිපදාව” අනුගමනය කිරීමෙනි. මේ නිසා මේ සමුදය, සං උපත ලබන ආකාරය යථාපරිදි තේරුම්ගෙන ඉන් මිදී නිදහස් විය යුතු බව තේරුම් ගත යුතුයි. සමුදය නිරෝධ කළයුතුය යන්න මෙහි තේරුමයි. මෙය ද ”චක්ඛුං එ්තං මම, එ්සෝහමස්මි, එසෝ මේ අත්ථාති” රූපේ එ්තං මම, එ්සෝ හමස්මි, එසෝ මේ අත්ථාතී, චක්ඛු විඤ්ඤාණං එ්තං මම, එසෝ හමස්මි, එසෝ මේ අත්ථාති, චක්්ඛු සම්ඵස්සං එ්තං මම, එසෝ හමස්මි, එසෝ මේ අත්ථාතී, වේදනාවන් හා තණ්හාව ද එ්තං මම, එසෝ මේ හමස්මි, එසෝ මේ අත්ථාති යන්න ”සමනුප්පස්සති” කළ යුතුයි.  ”සමනුප්පස්සති”  යනු  මනසින්  අනුපස්සනා  කරමින්  මෙතෙක්  කල්  ”අත්ථ” වශයෙන් මමත්ත්වයෙන්, මඤ්ඤතාවයෙන් මම, මගේ, මගේ ආත්මය වශයෙන් ගැනීම වැරදි බව තේරුම්ගෙන, ඉන් නිදහස්වීමට අනත්ථ බව අවබෝධ කරගෙන සක්කාය සමුදය ගාමිණී මාර්ගයෙන් ඉවත් වී නිදහස් වීමයි.

මේ ආකාරයටම ඇස, කන, නාසය, දිව, කය හා මනස යනාදී ආයතන හයෙන්ම උපත ලබන සක්කාය සමුදය වන හැටි දැක ගත් පසුව එ් පුද්ගලයා ”ධම්මෝ සංදිට්ඨිකෝ” යන  අවබෝධයද  ලැබූ  සක්කාය  සමුදය  ගාමිණී  ප‍්‍රතිපදාව  පිළිබඳව  ද  යථා  පරිදිම අවබෝධය ලැබුවෙක් වෙයි. කෙළෙස් උපදින, දුක නිර්මාණය කර දෙන, යළි යළිත් සසර උපත ලබන්නටම හේතුවන මේ සක්කාය සමුදය ගාමිණී මාර්ගය වැරදි මාර්ගය බවත්, පසක් කොට අවබෝධකරගෙන එ් වැරදි මාර්ගයෙන් ඉවත් විය යුතුය යන්න ද දැකගනී.

මෙහිදී පෙන්වා දුන් සක්කාය නිරෝධගාමිණී පටිපදාව ද මනාකොටම තේරුම් ගෙන අවබෝධ කරගත යුතු හා ප‍්‍රායෝගිකවම අනුගමනය කළයුතු ප‍්‍රතිපදාවයි. එනම් සමුදය නිරෝධ කිරීමේ ප‍්‍රතිපදාවයි. ”චක්ඛුං නේතං මම, නෙසෝ හමස්මි, නමේසෝ අත්ථාති රූපේ නේතං මම, නෙසෝ හමස්මි, නමේසෝ අත්ථාති, වේදනා හා තණ්හා දෙකම ද නේතං මම, නෙසෝ හමස්මි, නමේ සෝ අත්ථාති” ආදි වශයෙන් ආයතන හයෙන්ම කරුණු ලබන චක‍්‍රාකාර කි‍්‍රයාකාරකම් තිස්හයමත් මම යැයි ගැනීමට, මගේ යැයි ගැනීමට, මගේ ආත්ම යැයි ගැනීමට සුදුසු නොවන බව, උපාදානය කර ගැනීමට සුදුසු නොවන බව, තණ්හාවෙන් සුව වේදනාවක් හෝ අසුඛ වේදනාවත් හෝ අදුක්ඛම අසුඛ වේදනාවක් ලෙස හෝ විඳවීමට සුදුසු නොවන බවත් යථාපරිදිම තේරුම් ගත යුතුය. ”මම වෙමි” යන අන්තයද වැරදිය. ”මම නොවෙමි” යන අනිත් අන්තය ද වැරදිය. ආත්ම වාදය ද, අනාත්ම වාදය ද, උච්ෙඡ්ද වාදය ද, සාස්වත වාදය ද යන සියල්ලම අන්තවාදී අදහස් නිවනට බාධාවන සංසාරයට යළි යළිත් බැඳ තබන බැමි බව මනාකොට අවබෝධ කරගත යුතුය.

 මේ අනුව සක්කාය දැක්ම උපත ලබන සක්කාය සමුදය ගාමිණී මාර්ගයද , සක්කාය දැක්ම උපත නොලබන (අනුත්පාද වන) සක්කාය නිරෝධ ගාමිණී මාර්ග ප‍්‍රතිපදාව ද යන දෙකම යථාපරිදි අවබෝධ කරගැනීම ඊළඟ පියවරයි. මේ දෙකම මනාකොට, පසක් කොට තේරුම් ගත් අරිය ශ‍්‍රාවකයාට දුකෙන් මිදී නිදහස් වීමේ නිවැරදි (සම්මා) මාර්ගය ද යථාපරිදිම අවබෝධ වෙයි. එය සම්මා දැක්මයි. සම්මා දෘෂ්ඨියට පත්වීමේදී අත්හැරිය යුතු සක්කාය සමුදය ගාමිණී පටිපදාව ද, අනුගමනය කළයුතු සක්කාය නිරෝධ ගාමිණී පටිපදාව ද යන දෙකම දැකගනී. සක්කාය සමුදය ගාමිණී ප‍්‍රතිපදාව යථාපරිදි තේරුම්ගත් පුද්ගලයා චතුරාර්ය සත්‍යයන් හතරෙන් මුල් දෙක එනම් දුක්ඛ අරිය සත්‍යය ද, දුක්ඛ සමුදය අරිය සත්‍යය ද අවබෝධ කරගනී. එ්වාගේම සක්කාය නිරෝධ ගාමිණී පටිපදාව යථා පරිදි අවබෝධ කරගත් අරිය ශ‍්‍රාවකයා දුක්ඛ නිරෝධය හා දුක්ඛ නිරෝධ ගාමිණී ප‍්‍රතිපදාව යනාදි වශයෙන් චතුරාර්ය සත්‍යයන්ම ප‍්‍රත්‍යක්ෂ කොට අවබෝධ කර ගනී.

මෙයද ආන පාන භාවනාවකි. ”සං” උපත ලබන සමුදය බිහිවන සංඛාර ප‍්‍රහාණය කළ යුතුයි. එනම් රාග, ද්වේෂ, මෝහ ප‍්‍රහාණය කළ යුතුයි. ”සං” නිරෝධ වන වීත රාගී, වීත ද්වේශී, වීත මෝහී යහපත් සිතුවිලි ආශ‍්‍රය (ආන) කළ යුතුයි. නිරෝධ යනු නිර්උදා යන්නයි. අනුත්පාද යන්නයි.

ඊළඟ පියවරෙන්ද මේ පිළිබඳවම තවදුරටත් සම්පූර්ණ විග‍්‍රහයෙක්ම කරයි. මෙහිදීද අනුසය පිළිබඳව ද්වතාවයම විග‍්‍රහ කර පෙන්වයි. චක්ඛුංච පටිච්ච රූපේච උප්පඡ්ඡති චක්ඛු විඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සෝ, ඵස්ස පච්චයා උප්පජ්ජති වේදයිතං, සුඛංවා, දුක්ඛං වා, අදුක්ඛමසුඛං වා.

01. සෝ  සුඛාය  වේදනාය  ඵුට්ඨෝ  සමානෝ  අභිනන්දති,  අභිවදති,  අජ්ඣොසාය තිට්ඨති. (සුව වේදනාවට ආස්වාදයට ඇලෙයි.) ”තස්ස රාගානුසයෝ අනුසේති” (රාග අනුසය සිතක උපදින ආකාරය විග‍්‍රහ කර ඇත.)

02. සෝ දුක්ඛාය වේදනාව ඵුට්ඨෝ සමානෝ, සෝචති, කිලමති, පරිදේවති උරත්තාලිංකන්‍දති, සංමෝහං ආපජ්ජති. (අපි‍්‍රය වේදනාවෙන් ගැටෙයි.) ”තස්ස පටිඝානුසයෝ අනුසේති” (ද්වේෂය සිතක උපත ලබන ආකාරයයි.)

03. අදුක්ඛමසුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ වේදනාය සමුදයඤ්ච, අත්ථංගමඤ්ච, අස්සාදංච, ආදීනවඤ්ච, නිස්සරණඤ්ච, යථාභූතං නප්පජානාති (යථා භූත ඥාණයෙන්,  ඇත්ත සත්‍යය ඇති සැටියෙන් දැක ගැනීමට නොහැකි වෙයි.) තස්ස අවිඡ්ජා අනුසයෝ අනුසේති (අවිද්‍යා අනුසය සිතක උපත ලබයි.) මේ අනුව සිතක අවිද්‍යා අනුසය උපත ලබන්නේ අදුක්ඛම අසුඛ දෙක අතර මැන මැන සිතින් විඳවීමෙනි. පටිච්ච සමුප්පාද කි‍්‍රයාවලියම මේ ආකාරයෙන් චක්ඛුං, සෝතං, ඝානං, ජිව්හා, කායං, මනෝ ආදි ආයතන හයෙන්ම අවිද්‍යා මූලයෙන් කි‍්‍රයාත්මක වීමේ ප‍්‍රතිඵලය වන්නේ සිතක් තුළ නිරන්තරයෙන්ම පි‍්‍රය දේට ඇලෙන රාගානුසය, අපි‍්‍රය දේට පටිඝවන  (ගැටෙන)  පටිඝානුසය  හා  මානයෙන්,  මෝහයෙන්  මුළාවන්නට  හේතුවන අවිජ්ජානුසය (කෙළෙස්) උත්පාදනය වීමයි. මෙසේ කි‍්‍රයාත්මක වන සිතක් තුළ අවිජ්ජා සහිත හේතුඵල පරම්පරාවක් කි‍්‍රයාත්මක වන නිසාම දුකින් මිදී නිදහස් වීමේ මාර්ගය නිබ්බානගාමී  මාර්ගය  ආවරණය  කර  වසා  දමයි.  මේ  අයුරු  අවිද්‍යාවෙන්,  පංචකාම නීවරණ ධර්මවලින් නිවන් මාර්ගයම වැසෙයි. පංචකාම නීවරණ ධර්මයන්ම සිතක උපත ලබන්නේ සක්කාය සමුදය ගාමිණී මාර්ගය කි‍්‍රයාත්මක වීමේ හේතුවෙනි.

මේ විග‍්‍රහකර පෙන්වා දුන් ආකාරය තමන්ගේ මනසින්ම මෙනෙහි කර තමා තුළින්ම දැකගෙන සංසාර ගමන දිගින් දිගටම නිර්මාණය වන්නට මුල් වන, නිදාන වන, ප‍්‍රත්‍ය වන හේතු ද තේරුම් ගත යුතුමයි. සංසාර ගමන යළි යළිත් නිර්මාණය කරන්නේම රාග අනුසය, පටිඝානුසය හා අවිජ්ජානුසයෝයි.

පටිච්චසමුප්පාදය (සං උදය) නිරෝධ කරන, කුණු සළාහැර සිත ශුද්ධ පවිත‍්‍ර කරන, කුසලමූල පටිච්චසමුප්පාද කි‍්‍රයාවලිය ද මේ ධර්මය අසා අවබෝධ කරගත යුතු දෙයකි. එය ආශ‍්‍රය කළයුතු ”ආන” ධර්මයයි. පෙර පරිදිම මෙහිදීද හේතුඵල විග‍්‍රහයක් කරයි.

”චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති වේදයිතං
සුඛං වා, දුක්ඛංවා, අදුක්ඛමසුඛංවා.”

යන විග‍්‍රහය අවබෝධ කරගත යුතු ධර්මයයි. මේ බව යථා පරිදි අවබෝධකරගත් පසුව අරිය ශ‍්‍රාවකයා.

01. ”සෝ සුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ, නාභිනන්දති, නාභිවදති, නජ්ඣාසාය තිට්ඨති.” (අනත්ථ සේ දකී, නිසරු බව දකී) ”තස්ස රාගානුසයෝ නානුසේති”  (සිතෙහි රාග අනුසය නොඋපදියි)  සුව, සුඛසේ මෙතෙක් කල් සිතු දේ මායාවක්ම  පමණක්  බව  අනාථ  වන්නටම  හේතුවන  බව  දැක  විඳවීමෙන්  මිදී නිදහස් වෙයි.

02. සෝ දුක්ඛාය වේදනාව ඵුට්ඨෝ සමානෝ,  න සෝචති, න කිලමති, න පරිදේවති, න උරත්තාලිංකන්‍දති”  (අනත්ථසේ  දකී)    සම්මෝහං ආපජ්ජති. (ද්වේෂය, වෛරය සිතෙහි නොඋපදියි)  ”තස්ස පටිඝානුසයෝ නානුසේති”  (පටිඝ  අනුසය සිතේ  නොඋපදී)  දුක  යනු  විඳව  විඳවා  සිටිය  යුතු  දෙයක් නොවන බවත් එයද සිතේම උපත ලැබු මායාවක් බවත් දැක, විඳවීම නවතා දමයි.

03. අදුක්ඛමසුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ තස්සා වේදනාය සමුදයඤ්ච, අත්ථංගමඤ්ච, අස්සාදඤච,   ආදීනවඤ්ච, නිස්සරණඤ්ච, යථාභූතං පජානාති”  (සත්‍යය  දකී)  තස්ස  අවිජ්ජානුසයෝ  නානුසේති  (සිතෙහි  අවිද්‍යා අනුසය නොඋපදියි.) මේ ආකාරයටම මෙම කුසලමූල පටිච්චසමුප්පාද කි‍්‍රයාවලියද චක්ඛුං, සෝතං, ඝානං, ජිව්හා,  කායං, මනෝ යන    ආයතන හයෙන්ම වේදනා උපදින උපදින මොහොතේම නිරෝධ කරමින්, සුව වේදනාවට නොඇලී, දුක් වේදනාවට නොගැටී, අදුක්ඛමසුඛ වේදනාවට ද මුළානොවී, ඉවසීමෙන් විමසා බලා, එහි යථා තත්ත්වය දැන හඳුනාගෙන එයම උපාදානය වන්නට මුල්වන, නිධානවන හේතුවද සිතින් වේදනාවක් විඳවීමේ කැමැත්තම බවද තේරුම් ගෙන සියලූ සංඛාර උපේක්ඛා සිතින් දැක ගැනීමෙන්ම රාගානුසය නිරෝධ කරයි. නොඋපදී. රාග අනුසය සිතින් පහව යයි. පටිඝානුසයට නොගැටෙයි. (පටිවිනෝදෙත්වා)  අවිජ්ජා අනුසය සහමුළින්ම සිතින් ඉවත්  වෙයි. (සමූහනිත්වා) මේ අනුව ”අවිජ්ජං පහාය, විජ්ජං උප්පාදෙත්වා”. පැවැත්ම, ජීවත්වීම පිළිබඳව පරම සත්‍යය විනිවිද බලා දැක ගැනීමේ ශක්තිය තමන්ටම ලැබෙයි. ”සංසාරයි” කියා මෙතුවක් කල් දුකම නිර්මාණය කරගත්තේ තමන්ගේම නොදන්නා කම නිසාම බවත් යථා පරිදි දැක ගෙන ඉහාත්මයේදීම, මේ ජීවිත කාලය තුළදීම, සියලූ දුක් නිමාකර, අලූතින් දුක උපදවන්නට මුල් වූ සියලූ හේතුන්ද ප‍්‍රහාණය කර, කෙළෙස් මුල් උදුරා දමා නිදහස් වෙයි. (ඨාන මේතං විජ්ජති)

 මේ ධර්මතාවය (කුසලමූල පටිච්චසමුප්පාද ධර්මයයි.) තම සිතින්ම මේ සත්‍යය පසක් කොට දැකගත් අරිය ශ‍්‍රාවකයා (එ්වං පස්සං) චක්ඛුස්මිං නිබ්බින්දති, රූපේසු නිබ්බින්දති, චක්ඛු විඤ්ඤාණේ නිබ්බින්දති, චක්ඛු සංඵස්සයේ නිබ්බින්දති, වේදනාය නිබ්බින්දති,  තණ්හාය  නිබ්බින්දති,  සෝත,  ඝාන,  ජිව්හා,  කාය,  මනෝ  ආදී  චක‍්‍රයන් හයෙහිමත් නිබ්බින්දති, (නොබැඳෙති) නිබ්බින්දති යනු කළ කිරීම නොවේ. නිබ්බින්දං විරජ්ජති, (නොඇලෙති, නොගැටෙති) විරාගා විමුච්චති (මුළාවෙන් මිදී නිදහස් වෙති) විමුත්තස්මිං, විමුත්තමිති, ඥාණං හෝති (ප‍්‍රඥා විමුක්තියට පත්වේ.) නිබ්බින්දති යනු නොබැඳීමයි. සම්බන්ධ නොවීමයි. නොගැටීමයි. මුළා නොවීමයි. නිබ්බින්දති යන සිතින් නොබැඳීම නිසා සිතෙහි මතුවන අභිනන්දයෙන් සිත මිදී නිදහස් වෙයි. සැප විඳීමේ අපේක්ෂාවෙන් සිත මිදෙයි. ”නිබ්බින්දති” යන පදය ”කළකිරීම” ලෙසින් ති‍්‍රපිටක සිංහල පරිවර්තනයේ වැරදි ලෙසින් සිංහලයට පරිවර්තනය කර ඇත. කළකිරීම ද්වේෂය නිසා සිතක ඇතිවන ගතියකි. නොබැඳීම, නොඇලීම නිසා සිත රාගයෙන් වෙන් වෙයි. (විරජ්ජති) රාගයෙන් වෙන්වී, විරාග වූ සිත සහමුළින්ම විමුක්තියට පත්වෙයි. (විමුච්චති) මෙසේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස්ව කෙළෙස් වලින් විමුක්ත වූ සිත පිරිසිදු තත්ත්වයටම පත්වෙයි. මේ අනුව යථාභූත ඥාණ දර්ශනය හා විමුක්ති ඥාණ දර්ශනය නම් වූ බුද්ධ ඥාණයන්ද සිතේහි බලගැන්වෙයි. හය ආකාර වූ පිරිසිදුවීමක්, විමුක්තියක් මේ අනුවම ප‍්‍රත්‍යක්ෂකර ගෙන අරහත් ඵලයටම පත්වෙයි.

ඛීණා ජාති, වුසිතං බ‍්‍රහ්ම චරියං, කතං කරණීයං, නපරං ඉත්ථත්තායාති, පජානාති යන සියලූ අරහත් ගුණ අංගයන්ගෙන් සමන්විත වෙයි. උපතක් ලබන්නට හේතුවන සියලූ කර්ම බීජ සිඳ දමා කෙළෙස් අවසන් කළේය. (ඛීණා ජාති) රාග, ද්වේෂ පමණක් නොව මෝහය හා මානය ද සහමුළින්ම සිඳ දමා, බ‍්‍රහ්මත්වයට ඇලූම් කළ අරූපී සිතින් ද මිදී නිදහස් විය. (වුසිතං බ‍්‍රහ්ම චරියං) කළයුතු සියල්ල  නිමා  කර  නිවනට  අවශ්‍ය  සියලූ  අංගයන්  ප‍්‍රත්‍යක්ෂව  දැක  සත්‍යාවබෝධය සම්පූර්ණ  කර  ගත්තේය.  (කතං  කරණීයං)  මතු  දුක  නිර්මාණය  කරන්නට  හේතුවන ආයතනික රටාව ද සහමුළින්ම සිතින් උදුරා දැමීය. (නාපරං) පරම සත්‍යය යථාපරිදි අවබෝධ කරගන්නා ලදී. සම්මා විමුක්තියටම සිත පත්වෙන බව පසක් කොට දැකගති. (ඉත්ථත්තායාති පජානාති)

මෙම ඡ ඡක්ක සූත‍්‍ර ධර්ම දේසණාවෙන් අංග සම්පූර්ණ වූ ද, පරිපූර්ණ වූ ද සරළ නිවන් මාර්ගයම පැහැදිළිව, පිරිසිදුව විග‍්‍රහ කරදී ඇත. ප‍්‍රායෝගිකවම තමන්ම තමන්ටම කරගත යුතු වැඩපිළිවෙළක්, ප‍්‍රතිපදාවක් මෙහිදී විග‍්‍රහකරදී ඇත.

මෙම ඡ ඡක්ක සූත‍්‍ර දේසණාවේදී කරුණු විග‍්‍රහ කිරීමට උපමා කථා, උදාහරණ කථා, පරිවාර කථා හෝ එවැනි කිසිවක්ම යොදාගෙන නැත. පරමාර්ථ ධර්මයම, අභිධර්මයම, පටිච්චසමුප්පාද ධර්මයම, චතුරාර්ය සත්‍යය ධර්මයම මෙහිදී සරළව විග‍්‍රහ කර පෙන්වා දී ඇත. එනම් ප‍්‍රායෝගිකවම අනුගමනය කළ යුතු කෙටිම සරළම මාර්ගය පෙන්වා දී ඇත.

මෙහිදී භාවිතා කර ඇති ක‍්‍රමවේදය වන්නේ ද්වතාව ධර්මය විග‍්‍රහ කරමින් පටිච්ච සමුප්පාද ධර්මයම විග‍්‍රහ කර දීමයි. මෙම සූත‍්‍ර ධර්මය කියවාගෙන යන කෙනෙකුට අවබෝධ කරගත හැකි අවබෝධකර ගතයුතු වැදගත්ම දෙයක් නම් මෙහිදී ධ්‍යානයන් ගැන හෝ සමාධි ගැන හෝ භාවනා ගැන හෝ කිසිවක් ප‍්‍රකාශ කර නැත යන්නයි. අද සම්මත භාවනා මධ්‍යස්ථාන වල කියාදෙන ආකාරයේ ධ්‍යානයන් ලැබීමේ අවශ්‍යතාවයකින් තොරවම සතර මග සතර ඵලයන්ම ලබාගන්නට මෙම සරළ ක‍්‍රමය නියත වශයෙන්ම උපකාර වන බව පැහැදිළිවම හා පිරිසිදුවම සහතික කර පෙන්වා දීම මෙහි විශේෂත්වයයි.

මෙම සූත‍්‍රයේ අවසානම ඡේදයේ පෙන්වාදී ඇති පරිදි මේ සූත‍්‍රධර්මය ශ‍්‍රවණය කළ භික්ඛූන්ගෙන් සැට(60) නමක් එතැනදීම (සට්ඨිමත්තානං භික්ඛූනං) අරහත් තත්ත්වයටම පත් වූ බවද මෙහි පැහැදිළිවම ප‍්‍රකාශ කර දක්වා ඇත.(අනුපාදාය ආසවෙහි විත්තානි විමුච්චිං සුති) පසු කලෙකදීද මේ හෙළබිම තුළදීම මේ උතුම් සූත‍්‍ර ධර්මය හෙළබසින් හෙළ අටුවා ලෙසින් විග‍්‍රහ කරදීමෙන් ද අරහතුන්වහන්සේලා බිහි වූ බව ”දහමට සරිකොට හෙළුවෙන් පෙරකී නිවනට සපැමිණි සඟසැට නමකි.” යනුවෙන් ලෝවැඩ සඟරාවේ එන කවියෙන් ද පැහැදිළි කරදී ඇත. මේ අතරම අපේ පැරණි බෞද්ධ ඉතිහාස කථාවලට අනුව මලියදේව මහඅරහතුන් වහන්සේ අරහත් තත්ත්වයට – අරහත් ඵලයටම පත්වූයේ ද, මෙම උතුම් ඡ ඡක්ක සූත‍්‍ර ධර්මදේසණාව පවත්වන අවස්ථාවේදීමය. මේ නිසා මෙවන් උතුම් වූ ධර්ම දේශණාවක් නිවැරදිව දේශණා කිරීමෙන් පවා අරහත් මඟඵලයට පත්විය හැකි බවද මේ අනුවම පසක් කොට දැනගත යුතුය.

 අද  වන  විට  මෙවන්  උතුම්  සූත‍්‍ර  ධර්මයන්  භාවිතයෙන්  තොරව  අභාවයට පත්වන්නටත් සමහර විටකදී සම්මත ධර්ම දේශණා ලෙසින් පමණක්ම භාවිතයට ගෙන පදපරම විග‍්‍රහයක් ලෙසින් ඉදිරිපත් කරන්නටත් හේතු වූ මූලිකම කරුණ නම් ”හේතුඵල ධර්මය නම් වූ උතුම් ‘‘පටිච්ච සමුප්පාද ධර්මය” වැරදි ආකාරයෙන් විග‍්‍රහ කර කියාදීමයි. පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙහි එන තිපරිවට්ටයම දේශණා කරන්නට නොදැනීමයි. දේශණා නොකිරීමයි.

 මේ සූත‍්‍ර ධර්මයෙහි එන වැදගත්ම පදයක් වන ”පටිච්ච” (”චක්ඛුංච පටිච්ච රූපේච” සෝතංච පටිච්ච සද්දංච” ආදී වශයෙන්) විග‍්‍රහකළ පටිච්ච වීමේ කි‍්‍රයාවලිය ති‍්‍රපිටකය සිංහලයට පරිවර්තනය කිරීමේදී සහමුළින්ම ”පටිච්ච” යන පදය අමතක කර දමා, එය නොවැදගත් පදයක් ලෙසින් අතහැර දමා ඇත. මෙහිදී ති‍්‍රපිටක පරිවර්තකයා විසින් පරිවර්තනයේදී යොදාගෙන ඇති සිංහල පදවැල් ගැන විමසිලිමත්ව බලන්න. (”ඇස ද රූපායතනය ද නිසා චක්ෂුර් විඤ්ඤාණය උපදින්නේය. කනද ශබ්දායතනය ද නිසා ශ්‍රෝත විඤ්ඤාණය උපදින්නේය.) මෙම පරිවර්තනයේදී සහමුළින්ම ”පටිච්ච”වීම යන පදය අමතක කර දමා, අතහැර ඇති අතරම ”චක්ඛුංච” යන පදය ද වැරදියට ”ඇස” යනුවෙන්, සෝතංච යන පදය ”කන” යනුවෙන්, ඝානංච යන පදය”නාසය” යනුවෙන් , ජිව්හාච යන පදය ”දිව” යනුවෙන්, කායංච යන පදය කය යනුවෙන්, මනාච යන පදය ”මන” යනුවෙන් ආදී ලෙසින් වැරදියටම සිංහලයට පරිවර්තනය කර ඇත. චක්ඛු – චක්ඛුංච නොවේ, චක්ඛුංච – චක්ඛු නොවේ යනාදී වශයෙන් විභංගප‍්‍රකරණයේ මේ වෙනස පැහැදිළිවම විග‍්‍රහ කරදී ඇත. මේ පද දෙක දෙකකි. චක්ඛු යනු ඇස යන්නයි. ”චක්ඛුංච” යනු ඇසෙහි උපත ලබන යම් කි‍්‍රයාකාරී ශක්තියක් හැඳින් වූ පදයකි. මේ ආකාරයට ආයතන හයෙන්ම උපත ලබන ශක්තිය මෙහිදී විග‍්‍රහකර ඇත. මේ ශක්තිය උපත ලබන්නේ ”පටිච්ච” වීමේ එ්කායන හේතුවෙනි. මේ ශක්තිය විඤ්ඤාණ ශක්තියයි. සමුදය ශක්තියයි.

”චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං
චක්ඛුංච නපටිච්ච රූපේච අනුප්පාදෝ නිබ්බානං”

 මේ විග‍්‍රහයේදී පෙන්වා වදාළ ”පටිච්ච හා න පටිච්ච” යන ද්වතාවය වෙන්කර තේරුම් නොගත් ති‍්‍රපිටක පරිවර්තකයා ඇස, කන, නාසය, දිව, කය, මන ගැන මිසක් මේ ඉන්ද්‍රියයන්ගෙන් ශක්තියක් උපත ලබා එ්වා ආයතනයන් බවට පත්වීමේදී ලබන රත්වීම, මත්වීම ගැන හෝ ගිනි ගන්නා ස්වභාවය ගැන හෝ සංඛාර ශක්තිය ගැන හෝ දැනුමක් අවබෝධයක් නැතිවම මේ උතුම් ධර්මය සිංහල භාෂාවට පරිවර්තනය කරමින් පිරිසිදු නිවන් මඟ අවුරා වසා දමා ඇත යන්නද පෙන්වා දිය යුතුමය.

ඇස, කන ආදී වූ ඉන්ද්‍රියයන් හයම පාවිච්චි නොකර භාවිතා නොකර අරහතුන් වහන්සේට ද පිරිණිවන් පානාතුරුම ජීවත් විය නොහැකිය. ඇසෙන් රූපයක් බැලීම වරදක් නොවේ. ඇසෙන් බලන රූපයට මත්වීමෙන්, අසංවර බවට පත්වෙන්නේ පටිච්ච වීම නමැති හේතුව නිසාමය. ”පටිච්චවීමේ නියත ප‍්‍රතිඵලය (සං උත්පාදවීම) සමුදය බිහිවීමයි. කෙළෙස් උපදින්නට හේතුවන්නේ ඇස, කන ආදී ඉන්ද්‍රියයන්ට රූප, ශබ්ද ආදිය පටිච්චවීමේ කි‍්‍රයාවලිය නිසයි. මේ නිසා පටිච්චසමුප්පාද කි‍්‍රයාවලිය හේතුඵල ධර්මය පිළිබඳව කිසිම දැනීමක් හෝ අවබෝධයක් හෝ නැතිවම සිදු කරන ලද මේ ති‍්‍රපිටක සිංහල පරිවර්තනය නිසා උතුම් බුද්ධ ධර්මයම විකෘති කිරීමක් කර ඇත.

මාගධී බසින් දේශණා කරන ලද පෙළ දහම නමින් අද හඳුන්වන මේ උතුම් බුද්ධ භාෂිතය පද පරම ලෙසින් – මාගධී පදයට සිංහල පදයක් ලෙසින් – පදගත පරිවර්තනයක් කිරීම සුදුසු නොවන බව බුදුපියාණන්වහන්සේම බොහෝ තැන්වල පෙන්වා වදාරා ඇත. ගෝතම බුදුපියාණන් ජීවත් වූ යුගයේදීම මේ මාගධී බුද්ධ භාෂිතයට හෙළ අටුවා ලියා ලේඛන ගතකර එ්වා පවත්වාගෙන ආවේ මේ හේතුව නිසාය. අනුරාධපුර යුගය පටන් මහනුවර යුගය දක්වාමත් මාගධී බුද්ධ භාෂිතය පදගත ලෙසින් පදපරම ලෙසින් සිංහල භාෂාවට පරිවර්තනය නොකළේ මේ හේතුව නිසාමය. එ් වෙනුවට කළේ් අටුවා, ටීකා, ටිප්පනි ලියා පළ කිරීමයි. බුද්ධඝෝෂ හිමියන්ද ති‍්‍රපිටකය පරිවර්තනය කරන්නට ගියේ නැත. එ් හිමියන් පාළිියට පරිවර්තනය කළේ් එදා ප‍්‍රචලිතව පැවති හෙළ අටුවා පොත් සමූහයක්ම පමණි.

එතෙක් කල් මාගධී බසින් පමණක් පවත්වාගෙන ආ පිරිසිදු ති‍්‍රපිටක ධර්මය 1884 පමණ ජේම්ස් පි‍්‍රන්සස්, ජෝර්ජ් ටර්නර් යන ඉංගී‍්‍රසි ජාතික මහත්වරුන් හා වෙනත් සුදු මහත්වරුන් විසින් ඉංගී‍්‍රසියටත්, ජර්මන් බසටත් පසුව 1901 වර්ෂයේදී පමණ සිංහලයටත් පරිවර්තනය කරන ලද්දේ පෘථග්ජන මිනිසුන් විසිනි. ඒ පදගත පරිවතනයන් ලෙසිනි. එක මාගධී පදයකට ගැළපෙන සේ තෝරාගත් එක සිංහල පදයක් යොදාගෙන බුද්ධ භාෂිතය පරිවර්තනය කිරීම වැරදිය. 1954 වර්ෂයේදී රජයෙන් පත් කරන ලද ති‍්‍රපිටක පරිවර්තන මණ්ඩලයද  මේ  උතුම්  බුද්ධ  භාෂිතය  සිංහලයට  පරිවර්තනය  කිරීමේදී  මේ  පදගත පරිවර්තන ක‍්‍රමවේදයම භාවිතා කර ඇති අතර ඔවුන් බොහෝ විටම බුද්ධ භාෂිතයට කිසිසේත්ම  නොගැළපෙන  ශෘංගාරාත්මක  සංස්කෘත  භාෂාවේ  වචන  සිංහල  වචන වෙනුවට භාවිතා කරමින් කරන ලද පරිවර්තනය නිසා ද මේ උතුම් ධර්මයේ අර්ථයන් විකෘති විය.

මේ උතුම් ති‍්‍රපිටක ධර්ම දේශණාව (ඡ ඡක්ක සූත‍්‍රය) සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී මෙහි එන ඉතාම වැදගත් මාගධී පදයන් කිහිපයක්ම පද පරම ලෙස පදගත අර්ථයෙන් වැරදියට සිංහල බසට පරිවර්තනය කර පෙන්වා දී ඇත. මේ මාගධී පදවල අර්ථය මෙසේ නිවන් මඟට උපකාරවන සේ නිවැරදිව පෙන්වා දෙනු කැමැත්තෙමි.

01.  ”භික්ඛු” යන  පදය ”මහණෙනි” යනු වැරදි පරිවර්තනයකි. එදා භික්ඛුන් යනුවෙන් ආමන්ත‍්‍රණය කළේ  මහණ,  මෙහෙණි, උපාසක, උපාසිකා යන සිවුවනක්  පිරිසටය.  භව  ඛය  කරන්නට  ඇප  කැපවී  කි‍්‍රයා  කරන  පිරිසටය. (අංගුත්තර නිකාය)

02. ”කිඤෙචිතං පටිච්ච වුත්තං  – ඉද මේතං පටිච්ච වුත්තං” යනුවෙන් හය අවස්ථාවකදීම  යළි  යළිත්  අවධාරණයෙන්ම  විග‍්‍රහ  කරන  ලද  ”පටිච්ච”  යන පදය   විග‍්‍රහ නොකර අත්හැර දමා මුළු ධර්ම දේශණාවෙහිම මූල හේතුව සහමුළින්ම   අතහැර දමා ඇත. ”පටිච්ච”  යනු යමෙකුගේ සිතක ඇතිවන මත්වීමත්,  රත්වීමත්  නිසා  සිතකම  උපත  ලබන  කැමැත්තේ  තුන්  ආකාරයම විග‍්‍රහ කරන්නට යොදාගත්  උපකාර කරගත් පදයයි. පි‍්‍රය දේට ඇලීම පටිච්චවීමකි. ඒ අනුව සිතක රාගය උපදී. අපි‍්‍රය දේට ගැටීම ද ”පටිච්ච” වීමකි. සිතක  ද්වේෂය  උපත  ලබන්නේ  මේ  පටිඝය  නිසාය.  පි‍්‍රය  අපි‍්‍රය  දේ  අතර මුළාවීම ද වැරදියට මැනීමයි. (අදුක්ඛම අසුඛ බව)   පටිච්චවීමකි. මෝහය උපත ලබන්නේ මේ සත්‍යය නොදන්නා නිසාය. (නප්පජානාති)

03. අත්ථ,  අත්ථාති  යන  මාගධී  පද  දෙකම  ”ආත්ම”  යන  අර්ථයෙන්  භාවිතාකර වේද ආගමේ, ශිව ආගමේ එන ආත්ම වාදයක් බුදු දහමට ද ආරෝපණය කර ඇත.  මෙය  වැරදිය.  අත්ථ,  අත්ථාතී  යන  බුද්ධභාෂිතයේ  එන  උතුම්  පදයන් මඤ්ඤතාවය, මමත්ත්වය, අස්මිමානය යන අර්ථය විග‍්‍රහකරන්නට යොදා  ගත්හ.  පංචස්කන්ධයම  අස්මිමානයෙන්,  මඤ්ඤතාවයෙන්  මම,  මගේ, යැයි  ගැනීම  අත්ථ  සේ  ගැනීමයි.  මෙය  ආත්මවාදය  යන්නට  වඩා  බොහෝ වෙනස්ය. ”අත්ථ” යන පදයේ නිවැරදි අර්ථය තේරුම් ගන්නට නිච්ච, සුඛ යන පදවල ද අර්ථය තේරුම්ගත යුතුය. යමක් නිච්ච නම් එය සුවයකි. යමක් නිච්ච නම්  සුව නම් ඒ සුවය අස්මිමානයෙන් ගැනීම නිසා ”අත්ථ” වෙයි.

04. අනත්ථ, අනත්ථා යන පද දෙකම ද අනාත්ම වාදය ලෙසින් පරිවර්තනය කර තිබීම වැරදිය. අනත්ථ, අනත්ථා යන පද දෙකෙන්ම පෙන්වා විග‍්‍රහකර වදාළේ් සංසාරයේ අනාථ වන බව, අතරමං වන බව, මංමුළාවන බවයි. සිතේ මතු වූ කැමැත්තට  අනුව  යමක් නිච්ච   සේ, සුඛ සේ, අත්ථ  සේ පවත්වන්නට, නවත්වන්නට  නොහැකි  වීම  නිසා  පුද්ගලයා  අනාථ  බවට  පත්  වෙයි.  නාථ තත්ත්වයට පත් නොවන   බවයි. මේ නිසා මෙයින් ප‍්‍රකාශ කළේ නාථ ධර්මය හා අනාථ ධර්මය යන ද්වතාවය තේරුම් ගත යුතු බවයි.

05. ”අත්ථා  මේ  උප්පජ්ජති  ච  චේති  චාති  ඉච්චස්ස  එ්වමාගතං  හෝති”  යන  පද පෙළම හය වරක්ම හය අවස්ථාවකදීම වැරදි ලෙසින් අර්ථ දක්වා පරිවර්තනය කර  ඇත. ”මගේ ආත්මය උපදින්නේ යැයි යමෙක් කියා නම් එය නොයෙදෙයි.”  යනුවෙන්  මෙය  සිංහලයට  පරිවර්තනය  කර  ඇත.  මෙය  මම යැයි,  මගේ  යැයි,  මගේ  ආත්ම  යැයි  ගැනීමට  සුදුසු  නොවන  බව  යථා  පරිදි සිතේ පැවති කැමැත්තෙන් (ඉච්චස්ස) සහමුළින් මිදී නිදහස් වන්නේය, (එ්වමාගතං  හෝති)  යනුවෙන්  නිවැරදි  විය යුතුය. ”නොයෙදෙයි”  කියා පරිවර්තනය කිරීම අනියමාර්ථයෙන්, අනවබෝධයෙන් යොදාගත් යෙදුමකි.

06. ”ඒතං මම, එසෝ හමස්මි එසෝ මේ අත්ථාති” යන පද පේළියත් මෙහි ද්වතාව අර්ථය දක්වන ”නේතං මම, නෙසෝහමස්මි, න මේ සෝ අත්ථාති” යන පද පේළි දෙකමත්, ”මම වෙමි, මගේ වෙමි, මාගේ ආත්මය වෙමි” යනුවෙන් සහ ”මම  නොවේ, මාගේ  නොවේ,  මාගේ ආත්මය  නොවේ” යන වැරදි අර්ථයකින්  ආත්ම  වාදයට,  අනාත්ම  වාදයට  හා  උච්ෙඡ්ද  වාදයට  සාස්වත වාදයට  අදාළ  පරිදි  වැරදියට  පරිවර්තනය  කර  ඇත.  බුදු  දහම  කිසිසේත්ම ආත්ම වාදයක් හෝ අනාත්ම වාදයක් හෝ නොවේ. හේතුඵල ධර්මයම පදනම් කර හේතුඵල පරම්පරාවක් උපත ලබන  (සමුදය ධම්මාවා)  හා හේතුඵල පරම්පරාවක් කි‍්‍රයාත්මකවීම නිසාම උපතක්,  පැවැත්මක් යළි යළිත් (පුනබ්බවෝති)  බිහිවන  බව  ප‍්‍රකාශ  කරන  ලද  ධර්මයකි.  මේ  අනුව  මෙහිදී භාවිතා  කරන  ලද  ”මම  වෙමි”  යන්න  වැරදි  මතයකි.  එයද  අල්ලා  ගැනීමකි. ‘‘මම නොවෙමි’’    යන්න ද වැරදි මතයකි. අල්ලා ගැනීමකි. එහි නිවැරදි පරිවර්තනය විය යුත්තේ පංචස්කංධයම මම යැයි ගැනීමට, මගේ යැයි ගැනීමට, මගේ  ආත්ම යැයි ගැනීමට සුදුසු නොවන බව, උපාදානය කරගැනීමට සුදුසු නොවන බව යථා පරිදි අවබෝධ කරගත යුතුය යන්නයි.

07.  ”චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු  විඤ්ඤාණං”  යන්න ”ඇසත්, රූපයත් නිසා චක්ෂුර්විඤ්ඤාණය උපදී” යනුවෙන් ආයතන හයේදීම තිස්හය අවස්ථාවකදීම වැරදියට  පරිවර්තනය  කර  ඇත.  චක්ඛු  යනු  ඇස  යන්නයි. චක්ඛුංච යනු ඇස නොවේ. ඇසෙන් හටගන්නා රත්වීමේ, මත්වීමේ, ගිනිගන්නා, අසංවර  කි‍්‍රයාකාරීත්වය පෙන්වා දීමට භාවිතා කළ පදය ”චක්ඛුංච”  යනුයි. පටිච්ච වන්නේ මේ ශක්තිය නිසාමය. මේ නිසා මේ පරිවර්තනය ඉතාමත්ම වැරදි ලෙසින් සිංහලට පරිවර්තනය කර ඇත.

08. අවසාන කොටසේ එන ”චක්ඛුස්මිං  නිබ්බින්‍දති,  රූපේ  සු  නිබ්බින්‍දති”  ආදී වශයෙන් තිස් හය අවස්ථාවකදීම නිබ්බින්දති යනුවෙන් පෙන්වා වදාළ ධර්මතාවය චක්ෂුයෙහි කළකිරෙයි. රූපයෙහි කළකිරෙයි, ආදී වශයෙන් තිස්හය  අවස්ථාවකදීම වැරදියට කළකිරීම ලෙසින් පරිවර්තනය කර ඇත. කළකිරීම යන්න මානසික රෝගයකි. අසහනයකි. ද්වේෂය නිසා   සිතක ඇතිවන  පසු  බෑමක්  විග‍්‍රහ  කරන  සිංහල  පදයකි.  නමුත්  ”නිබ්බින්දති”  යන පදයෙන් මාගධී භාෂාවේ බුද්ධ භාෂිතයේදී  අදහස් කළේ, යථාභූතඥාණ දර්ශනය සඳහා නියත වශයෙන්ම උපකාර වන්නා  වූ නොබැඳීම (මුංචිතුකම්මතා ඥාණයයි) යන්නයි. ඒ වේදනාව විඳව විඳවා සිටීම යන වැරදි දෙයින් ද කැමැත්තෙන්ම මිදී, නොඇලී, නොබැඳී නිදහස් වීමයි. ඒ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වීමයි. කෙළෙස් වලින් මිදි නිදහස් වීමම නිබ්බින්දති යන පදයේ නිවැරදි අර්ථයයි.

09. ”අදුක්ඛම සුඛාය වේදනාය” යනුවෙන් ත‍්‍රිපිටකයේ මාගධී බසින් සඳහන් කළ දේ සිංහල භාෂාවට පරිවර්තනය කරන විට එය ”උපේක්ඛා වේදනාව” ලෙසින් පරිවර්තනය කර ඇත. එය වැරදිය. අදුක්ඛම සුඛ වේදනාව නිසා සිතක අවිජ්ජා අනුසය උපත  ලබන බව මෙහි  පැහැදිළිවම   ලියා   දක්වා ඇත.   එය ”උපේක්ඛා” යන  ස්වභාවය ලෙසත්  උපේක්ඛාව, වේදනාවක් ලෙසත් පෙන්වාදීම යන දෙකම වැරදිය. උපේක්ඛා යනු  සිතක  ඇතිවන උතුම් තත්ත්වයකි. රාගයෙන් ප‍්‍රියදේට නොඇලෙන, ද්වේෂයෙන්  අප‍්‍රිය  දේට නොගැටෙන, ප‍්‍රිය අප‍්‍රිය අතර මෝහයෙන් මුළා නොවන පිරිසිදු සිතක් උපේක්ඛා සිතකි. එය වේදනාවක් විඳවීමක් ද නොවේ.

ඡ  ඡක්ක  සූත‍්‍රය  වැනි  ඉතාමත්ම  උතුම්  වූ  නියත  වශයෙන්ම  නිවන්  මඟඵල ලබාගන්නටම උපකාරවන සේ විග‍්‍රහ කර වදාළා වූ අති උතුම් ධර්ම දේශණාවන් අපේ සිංහල බෞද්ධයාට සරළ සිංහල භාෂාවෙන් විග‍්‍රහකර, පිරිසිදු බුද්ධ ධර්මයම මතුකර පෙන්වා දුනහොත් බොහෝ සද්ධස්ස කුලපුත‍්‍රයින් ද මඟඵල ලබා සසර දුකින් මිදී නිදහස් වන බව පිරිසිදුවම දුටු නිසා මෙම උතුම් ධර්ම දේශණාව කාටත් තේරුම් ගතහැකි ආකාරයට මෙසේ ලියා විග‍්‍රහ කරන්නට තීරණය කළෙමි. මේ උතුම් මාර්ග ප‍්‍රතිපදාව කිහිප වරක් හෝ කියවා තමා තුළින්ම තම නිවන් මාර්ගය දැක ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

Share Button

ආසවක්ඛයා ඥානය – රථ විනීත සූත්‍රය

රථ විනීත සූත‍්‍රයේ පෙන්වා වදාළ පරිදි නිවන් මාර්ගය සම්පූර්ණ කර ගන්නට නම් පියවර  අටකින් සම්පූර්ණ වන විශුද්ධි මාර්ගයක් සම්පූර්ණ කර ගත යුතුය. මේ අට ආකාර වූ විශුද්ධි මාර්ගයම සම්පූර්ණ වන්නේ ආසව අනුසය සහමුළින් ම කපා ඉවත් කර දමා චිත්තසංථානය හා මනස ශුද්ධ පවිත‍්‍ර කර ගැනීමෙනි.

මේ අනුව බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ පිරිසිදු නිවන් මාර්ගය ඒකායන අර්ථයෙන් ම ”අනුප්පාදෝ ඥාණං” මුල් කොටගත් අනුප්පාදය අවසාන පරම අර්ථය කොටගත් අනූපූරක නිවන් මාර්ගයක්ම වේ.

මේ නිවන් මාර්ගය පැහැදිළිවම පිරිසිදුවම දැන ගැනීමත්, ඒ නිවෙන මාර්ගය යථාවබෝධයෙන්ම අනුගමනය කිරීමත් ඒ දැනගත් මඟ තමන් ම අත්විඳ ගැනීමත් නිවනයි.

මේ  මාර්ගය  සමස්තයක්  වශයෙන්  සමාලෝචනය  කරනවා  නම්  එය  බුද්ධ දේශණාවට අනුව මෙසේ ලියා දැක්විය හැකිය.

1.        සංවරට්ඨේන           –        සීල විශුද්ධිං අභිඤ්ඤෙයියා
2.        අවික්ඛේපට්ඨේන    –        චිත්ත විශුද්ධිං අභිඤ්ඤෙයියා
3.        දස්සනට්ඨේන         –        දිට්ඨි විශුද්ධි අභිඤ්ඤෙයියා
4.        මුත්තට්ඨේන          –        විමොක්ඛා අභිඤ්ඤෙයියා
5.        පටිවේදට්ඨේන       –        විජ්ජා අභිඤ්ඤෙයියා
6.        පරිච්චාගට්ඨේන      –        විමුත්ති අභිඤ්ඤෙයියා
7.        සමුච්ජේදට්ඨේන     –        ඛ්‍යයේ ඥාණං අභිඤ්ඤෙයියා
8.        පටිපස්සද්ධට්ඨේන  –        අනුප්පාදෝ ඥාණං අභිඤ්ඤෙයියා

මේ  එකින්  එක  පියවරම  විග‍්‍රහ  කර  යථා  පරිදි  අවබෝධය  පූර්ණ  කරගෙන අභිඤ්ඤෙයියං යන උසස්ම පරිපූර්ණ සත්‍යාවබෝධයක් ලැබීම නිවනයි. හැම මිනිහකුටම යෝනිසෝමනසිකාරයෙන්  ධම්මානුධම්ම  පටිපදාවෙහි  යෙදීමෙන්  මේ  පියවර  අටම සම්පුර්ණ කරගන්නට හැකියාවක් තිබේ.

1. සංවරට්ඨේන – සීල විශුද්ධිං

සංවරවීම යන අර්ථයෙන්ම සීල විශුද්ධිය පරිපූර්ණ කරගත යුතුය යන අදහසයි. ඉන්ද්‍රියය සංවරය, ප‍්‍රත්‍යය සංවරය (සිවුපසය පරිභෝග කිරීම) ප‍්‍රාතිමෝක්ඛ සංවරය,(නිවන් මඟට උපකාර වන සේඛ සීලය) කෝටියක් සංවර සීලය යන දේ දැන සංවර වීමේ අර්ථයෙන් ම සීල විශුද්ධියට පත් විය යුතුයි. මෙතැන සීලය යනු සංවරත්වය පිළිබඳ ලැබූ යථාවබෝධයයි. මේ අනුව තමන්ම සංවර වන තම ඉන්ද්‍රියයන් සංවරත්වයට පත්වන සංසුන් වී, සංයමයට පත් වී, සම්මා දිට්ඨියෙහි පිහිටා ක‍්‍රියා කිරීමේ ශක්තියයි. හැකියාවයි. සංවරත්වයෙන් තොර සීලයක් බුද්ධ දේශණාවෙහි නැති බවයි.

 2. අවික්ඛේපට්ඨේන – චිත්ත විශුද්ධිං

සිතේ ඇති වන වික්ෂෝප ගතිය නැති කර ගැනීම යන අර්ථයෙන් අවික්ඛේප වශයෙන් සිත ඒකාග්ගතාවයට පත්කර ගැනීම චිත්ත විශුද්ධියයි. නිතරම පෘථග්ජන හිතක් රාගයට ඇලීම, ද්වේෂයට ගැටීම හා මුළාව නිසා ඒකාග්ගතාවයෙන් තොර වූ විසුරුණු විවිධ තත්ත්වයට පත්වන්නා වූ සිතක් ලෙසින් පවතී. වේදනා විඳගන්නට පුරුදු වූ සිතක් නිරන්තරයෙන් ම සුඛ, සුව, සැප වේදනා සොයා ප‍්‍රිය දේ මධුර දේ සොයා හඹා යයි. එවන් විසුරුණු සිතක කම්පනය, නියත ගතියකි. සිත සමථ තත්ත්වයට සමාධි ගත කරගත හැකි වන්නේ අවික්ඛේප  තත්ත්වයට පත් කර ගැනීමෙන්ම  පමණි. උද්ධච්ච සිතක්, විචිකිච්චාවෙන් යුතු සිතක් නිරන්තරයෙන්ම වික්ඛේප වූ සිතකි. එවැනි සිතක සමථයක් හෝ සමාධියක් නැත. සංවර සීලයෙහි පිහිටි සිතක සමාධිය හා සමථය පිහිටයි. අවිඛේප සිතකින් ඇති කර ගන්නා සමාධිය අරිය සමාධියයි.

3.  දස්සනට්ඨේන  –  දිට්ඨි විශුද්ධිං

දස්සනට්ඨේන යනු සම්මා දිට්ඨියට පත්වීමයි. ධම්මෝ සංදිට්ඨිකෝ  වීමයි. දස්සනේන සංපන්නෝ වීමයි. මිච්ඡා දිට්ඨියෙන් වෙන් වී, ලෞකික සම්මා දිට්ඨියෙනුත් ඔබ්බට ගොස්, ලෝකෝත්තර සම්මා දිට්ඨියෙහි ම පිහිටා ක‍්‍රියා කිරීමට ඇති හැකියාව දිට්ඨි විශුද්ධියයි. හොඳ, යහපත්, නිවැරදි දැකීම යන්නත් සම්මා දිට්ඨියකි. නමුත් එහි නිවනක් නැත. එහි ඇත්තේ ලෞකික, හොඳ, යහපත් නිවැරදි පැවැත්මකි. එවන් හොඳ යයි සම්මත ලෝකයක් පැවැත්වීමෙන් මිදී නිදහස් වීමම  නිවනයි. දිට්ඨි විශුද්ධියට පත්වීම සෝතාපන්න මාර්ගයට හා සෝතාපන්න ඵලයට පත්වීමයි

4. මුත්තට්ඨේන – විමෝක්ඛ විශුද්ධිං

මුච්චති යන අර්ථයෙන් මිදී නිදහස් වීම විමෝක්ඛා ලෙසින් ද හඳුන්වයි. සතර ආකාර වූ රූපී ධ්‍යානයන් හතරත්, අරූපී ධ්‍යානයන් හතරත් ‘‘සමය විමොඛෝ’’ලෙසින් ධර්මයේ හඳුන්වයි. ඒවා චේතෝ විමුක්තියයි. සතර ආකාර වූ අරිය මාර්ග සෝවන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය හා අරහත් මාර්ගයත් සතර ආකාර වූ සාමඤ්ඤා ඵල (මාර්ග ඵලයන්) මෙන්ම නිවනත් අසමය විමෝක්ඛා ලෙසින් ද හඳුන්වයි. මෙය ප‍්‍රඥා විමුක්තියට පත් අකුප්පා චේතෝ විමුක්තියයි. මේ මුත්තවීම යනු අතහැර මීදී නිදහස් වීම, නොඇලීම, නොගැටීම, මුලා නොවීම ‘‘අසෝස විරාග නිරෝධ’’ යන සියලූ පදවලින් විග‍්‍රහ කරන ලද අතහැරීමයි. සමය විමෝක්ඛෝ යනුවෙන් විග‍්‍රහ කරන ලද්දේ ධ්‍යානයයි. රාග, ද්වේෂ දවා හැර, යටපත් කර දැමීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් තාවකාලිකව ලබන සුවය ධ්‍යාන සුවයයි. චේතෝ විමුක්ති සුවයයි. අසමය විමොක්ඛෝ යනු මෝහය ද ඇතුලූව රාග, ද්වේෂ, මෝහ ගති තුන යටපත් කිරීමෙන් නොව ඒවා මුළින්ම උපුටා දමා ගති ඉවත් කිරීමෙන් ලබන විද්‍යා විමුක්තියයි. අකුප්පා චේතෝ විමුක්තිය ලෝකෝත්තර විමුක්තියයි. අනාසව, නිරාමිස විමුක්තියයි. ඒවාගේම අනිමිත්ත, අප්පණිහිත, සුඤ්ඤත විමුක්තියයි.

5. පට්වේධට්ඨේන – විජ්ජා විශුද්ධිං

විද්‍යා විමුක්තිය ලබා ගත හැකි වෙන්නේත්, සත්‍යය ප‍්‍රත්‍යක්ෂ කර දැකගත හැකි වන්නේත් පටිනිස්සග්ගානු පස්සනා කිරීමෙනුයි. ”පටි” යනු බැඳීමයි. කාම උපාදානය යනු පටියකි. බැඳීමකි. දිට්ඨි උපාදානය පටියකි. බැඳීමකි. සීලබ්බත උපාදානය බැඳීමකි. පටියකි. අත්තවාදුපාදානය පටියකි, බැඳීමකි. පටි ලෙසින් මෙසේ දැක්වූ බැඳීම් හතරෙන්ම නිදහස් වීම පටිවේද අර්ථයෙන් විග‍්‍රහ කරන ලදී. මේ පටිවලින් මිදී නිදහස් වූ කෙනෙකුට සියලූ ආකාර වූ බැඳිම් වලින්ද මිදී නිදහස් වීමේ ශක්තියක් හා හැකියාවක් ද ලැබේ. මේ විද බැලීමේ ශක්තිය පරමාර්ථ ධර්මයන් දැකීමයි. යථාභූත ඥාණ දර්ශනය ම ලැබීමයි. යථාභූතඥාණ දර්ශනයත් ලැබූ විජ්ජා විමුක්තියටත් පත් වු පුද්ගලයා චතුරාර්ය සත්‍යයන් ප‍්‍රත්‍යක්‍ෂ කර අවබෝධ කර ගත් කෙනෙකි. අරිය උත්තමයෙකි.

6. පරිච්චාගාට්ඨේන – විමුක්ති විශුද්ධිං

චාගෝ, පරිච්චාගෝ යනු අත්හැරීම, ප‍්‍රහාණය කර බැහැර කිරීම යන අර්ථයෙන් මිදී නිදහස්  වීමයි.  ”චගෝ”  පටිනිස්සග්ගෝ  මුත්ති  අනාලයෝ”  යනුවෙන්  නිරෝධ  අරිය සත්‍යයෙහි වදාරා, විග‍්‍රහ කළේ මේ අත්හැර මිදී නිදහස් වීම ගැනයි. විමුක්තිං යනු මුදනු කැමති බවයි. කැමැත්තෙන්ම සත්‍යවබෝධයෙන් ම අත්හැරීමයි. ප‍්‍රත්‍යාවේක්ෂා කිරීමෙන්, හේතුඵල  දැකීමෙන්,  අධ්‍යුපේක්ඛාවෙන්  අත්හැරීමයි.  පරිච්චාගෝ  යන  පදයේ  අර්ථය කැමැත්තෙන් ම, අනුපත්ති වශයෙන් ම, පූර්ණ ලෙසින් ම අත්හැර මිදී නිදහස් වීමයි. මේ සඳහා සංඛාරුපෙක්ඛා ඥාණයම උපදවා ගත යුතුයි. නිමිත්ත මුදනු කැමති වීම ආයුහන (කර්ම සකස් කිරීම) මුදනු කැමති බව පටිසන්ධිය මුදනු කැමති බව විපාක ප‍්‍රවෘත්තිය මුදනු කැමති බව පරිච්චාග අර්ථයෙන් විමුක්තියට පත්වීමයි. ඒ නිසා උපාදානය කරගත් පංච උපාදානස්කන්ධයෙන්ම  කැමැත්තෙන්ම  සංඛාර  උපේක්ඛා  ඥාණයෙන්ම  උපාදානය කරගත් දේ අතහැර මිදී නිදහස් වීම මෙහිදී අදහස් කෙරෙයි.

7. සමුච්ඡේදනට්ඨේන – ඛ්‍යයේ ඥාණං

සමුච්ඡේද යනු සහමුළින් ම යමක් ගළවා උදුරා ඉවත් කිරීමයි. මෙහි එන අර්ථය ද ආසව, අනුසය ධර්මයන් චිත්තසංථානයෙන් ශේෂයක්වත් ඉතිරි නොවන සේ සහමුළින්ම ගළවා ඉවත් කර දැමීම යන අර්ථයෙන් ”ඛ්‍යයේ ඥාණං” ඇති කර ගත යුතුය, යන්නයි. එසේ නම් ”ඛය ” යන පදයෙන් ”ක්ෂය” කිරීම යන අර්ථයට වඩා ”ගළවා උදුරා ඉවත් කර දැමීම” යන අර්ථයම ඉස්මතු වෙයි. ”බණ සම්පත්තිය” යන්නෙහි ”ඛණ” යනු ”ඛය” යන පදයේම කාරක පදයයි ”ඛණ ඛය’’ යන පදයන්හි අතීත කාල පදය ”ඛීණා’’ ‘‘ඛීණා ජාති” ”ඛීණං පුරාණං” යන පදවලින් පිළිබිඹු වෙයි. ත‍්‍රිලක්ඛණය, බණ සම්පත්තිය යන පදවලින් එන අර්ථයම මේ ඛ්‍යයේ ඥාණයයි. එය ආසවඛ්‍යා ඥාණයයි. අනුසයඛ්‍යා ඥාණයයි. මේ ‘‘ඛ්‍යයේ ඥාණං’’ යන පදය තේරුම ගන්නට නොහැකි වීම හේතු කොට ගෙනම අද බෞද්ධයාට නිවන් මාර්ගය වැසී ඇහිරී පවතී.

 8. පටිපස්සද්ධට්ඨේන – අනුප්පාදේ ඥාණං

මේ අරහත් ඵලය පිළිබඳවම කරන ලද ප‍්‍රකාශකයකි. අරහතුන්වහන්සේ කිසිම සංඛාරයකට පටිච්ච නොවේ. සංඛාරයක් නොකර ක‍්‍රියා සිත් පමණක් පවත්වන අරහතුන් වහන්සේ  ඉන්ද්‍රියයන්  හයම  භාවිතා  කළත්  පරිහරණය  කළත්  ඒවා  ආයතන  ලෙසින් පරිහරණය නොකරන නිසා පට්ච්ච වීමෙන් වැළකී ”පටිවිරතෝ” යන තත්ත්වයටම පත්ව සිටී. චක්ඛුං රූපයක් සමඟ පට්ච්ච වීමෙන්, සංඛාරයක් කිරීමෙන්, සමුදය ශක්තියක් විඤ්ඤාණය විසින් උපදවා ගනී. දැන් චක්ඛු ඉන්ද්‍රියයක් ලෙසින් භාවිතා කරන විට ”දිට්ඨේ දිට්ඨා වාදිතා” යන වේදනාවෙන් තොර වන නිසා සංපස්සජා වේදනා තත්ත්වයට පත් නොවන නිසා අනුප්පාදෝ ඥාණයෙන් යුතු අරහතුන්වහන්සේ ඉන්ද්‍රියයන් හයමත් පරිහරණය කරයි. භාවිතා කරයි. ක‍්‍රියා සිත් පවත්වයි. නමුත් සංඛාර සිත් නොපවත්වයි. පංචස්කන්ධම  පරිහරණය  කරයි.  පංචඋපාදානස්කන්ධයෙන්ම  තොර  වී,  පටිපස්සදී තත්ත්වයට පත්ව සිටී. එවන් අරහතුන්වහන්සේ කිසිම ආකාරයක කර්ම බීජ සකස් කිරීමක් සිදු නොකරයි. ඒ නිසා පෘථග්ජන පුද්ගලයකු මෙන් අරමුණු වලට බැඳී පටිච්ච වී සංඛාර පවත්වමින් සමුදය බිහි කරමින් භව උප්පාද කිරීමක් උන්වහන්සේ සිදු නොකරයි. ඒ නිසා ”අනුප්පාදෝ  නිබ්බානං”  යන  උතුම්  නිවන්  අවබෝධය  පරිපූර්ණ  කරගත්  අරහතුන් වහන්සේ නිස්සරණ සුවයෙන් කාලය ගෙවති.

බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ නිවන් මාර්ගයට උපකාර වන මේ සීල විශුද්ධි, දිට්ඨි විශුද්ධි ආදී අංග අටම සඳහා ත‍්‍රිපිටකයේ ධර්ම විග‍්‍රහයක් අර්ථ දීමක් කර ඇත. සංවර අර්ථයෙන් සීල විශුද්ධියත්, අවික්ඛේප අර්ථයෙන් චිත්ත විශුද්ධියත්, දර්ශන (සංදිට්ඨි) අර්ථයෙන් දිට්ඨි විශුද්ධියත්, මිදී නිදහස් වීම යන මුත්ති අර්ථයෙන්, විමෝක්ඛ විශුද්ධියත්, පටිවේධාර්ථයෙන්  විජ්ජා  විශුද්ධියත්,  පරිච්චාග  අර්ථයෙන්  විමුක්ති  ඥාණ  දර්ශනයත් සමුච්ඡේදනාර්ථයෙන් ඛ්‍යයේ ඥාණයත්, පටිපස්සදී වශයෙන් අනුප්පාද ඥාණයත් ලැබිය යුතුයි. මේ කරුණු අට ගැනම හෝ ඉන් කරුණු කිහිපයක් ගැන හෝ වෙනත් ආකාරයේ අර්ථ ගැන්වීම් වලින්ද විවිධ ආකාර වූ විග‍්‍රහයන්, අර්ථගැන්වීම් පසුකාලීනව කර ඇත. හැම අටුවාවකම, ටිප්පණියකම, ටීකාවකම සීලා දී මේ විශුද්ධි අටම සඳහා විවිධ අර්ථ කථනයන් ලබා දී ඇති බවත් පෙනේ. පසු කාලයකදී මේ අර්ථ ගැන්වීමට ලියූ අට්ඨකථා නිසාම සීල විශුද්ධිය සංවර අර්ථයෙන් බැහැර වී වේරමණී අර්ථයෙන් ම පමණක් විග‍්‍රහ කරන්නට යෑම නිවන් මාර්ගයේ මුල්ම පියවර ලෞකිකත්වයට හැරවීමක් ලෙසින් ද පෙන්වා දිය හැකිය. යමෙක් සීල විශුද්ධිය විග‍්‍රහ කරන්නේ සංවර අර්ථයෙන් තොර වූ, සංදේශණාවෙන් තොර වූ විග‍්‍රහයකින් නම් එය නිවන් මඟට උපකාර වන සේ සීලය විග‍්‍රහ කර පෙන්වා දීම ද කළ නොහැකි වේ. විරමණය, වේරමණී යන පද වලින් විග‍්‍රහ වන්නේ වෙන්වීම, වැළකී සිටීම යන අර්ථයයි. නමුත් බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ ”පටිවිරතෝ” යන සිල් පදයෙහි පටිච්ච වීමෙන් තොර වූ, ඉන්ද්‍රියයන් සංවරකර ගත්, චේතනා සීලය, ප‍්‍රහාණය සීලය මෙන්ම අවිතික්කම සීලය ද ඇතුළත් වන නිසා මෙහි නිතැතින් ම වේරමණී සීලයද ඇතුළත් වේ. මේ අනුව සංවර අර්ථයෙන් තොරවූ සීලය නිවනට මඟ නොවේ.

මේ ආකාරයෙන්ම අවික්ඛේප අර්ථයෙන් තොර වූ චිත්ත විශුද්ධියක් ද නිවනට උපකාර වන්නේ නොවේ. සිතක් වික්ඛේප වන්නේම කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථිනම්ද්ධය, උද්ධච්ච, විචිකිච්චා යන පංචකාම නීවරණ ධර්මවලින් යුත් සිතක් විසුරුණු ස්වභාවයකින් පවතින නිසායි. සිතක් වේදනාවට පත් වන්නේ තැති ගැනීමට, බිය වීමට, කම්පනයට, නොසන්සුන් වීමට මුල් වන්නේ මේ පංචකාම නීවරණ ධර්ම වලින් මනස වැසී, මුවහ වී පවතින නිසාමයි. කාමයෙන් විවිච්ච වූ, පාප ධර්මවලින් විවිච්ච වූ සිතක් ඇති කර ගැනීමෙන්ම සිත අවික්ඛේප තත්ත්වයට පත් කරගත හැකි වෙයි. ඒ සඳහා නිවැරදි අරිය ආනාපාන සතියම භාවිතා කළ යුතුයි. හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම, බඩ පිම්බීම, හැකිළීම වැනි  අනරිය  ආනාපානා  භාවනා  ක‍්‍රම  වලින්  කාමයෙන්  විවිච්ච  වූ  (වෙන්  වූ)  පාප ධර්මවලින් විවිච්ච වූ (වෙන් වූ) සිතක් ඇති කර ගෙන සිත අවික්ඛේප තත්ත්වයට පත්කර ගත නොහැකිය. නමුත් ඒ අනරිය භාවනා ක‍්‍රමවලද කසින භාවනා ක‍්‍රමවලද සිත සමථ තත්ත්වයට පත් කර ගැනීමේ යම් හැකියාවක් ද පවතියි. මෙහි වෙනස අරිය භාවනාවකින් ලබා ගත හැකි අවික්ඛේප අර්ථයෙන් චිත්ත විශුද්ධිය, අනරිය භාවනාවෙන් ලබාගත නොහැකි වීමයි. නීවරණ ධර්ම යටපත් කර බලයෙන් ලබාගත් සමාධි තත්ත්වයක් සමථ තත්ත්වයක් ධ්‍යාන තත්ත්වයක් අනරිය ධ්‍යානයකින් ද ලබා ගත හැකිය. නමුත් අනරිය යනු අවික්ඛේප අර්ථයෙන් ඇති කරගත් චිත්ත විශුද්ධියක් නොවෙයි. අවික්ඛේපාර්ථයෙන් ම අරිය සමාධි ලබා ගත හැකියි.

දස්සනට්ඨේන දිට්ඨි විශුද්ධි යන විග‍්‍රහයෙහිදී අර්ථය, ධර්මය සළකා බැලිය යුතුයි. අපායෙන් මිදී, සුගති ලෝකයක්, මිනිස් ලොව, දෙව්ලොව, බ‍්‍රහ්ම ලෝකය හෝ යම් ලෞකික සැප සම්පත් විඳවීමේ දෘෂ්ඨීයක් ඇතිව යහපත්, නිවැරදි ලොවක් දකින්නේ නම් එයද නිවනට සාපේක්ෂව මිච්ඡුා දාෂ්ඨියකි. මේ නිසා බුද්ධ ධර්මයේ පරමාර්ථ ධර්මයන් දැක ධම්මෝ සංදිට්ඨිකෝ තත්ත්වයට පත් වූ අරිය ශ‍්‍රාවකයාගේ දස්සනය නිදහස් වීම, අනුප්පාදය,  පැවැත්ම  අමරණීය  යන  තත්ත්වයෙන්ම  අරමුණු  කරගත්  සම්මා  යන ලෝකොත්තර  දිටිඨි  විශුද්ධියයි.  ඉන්  මෙපිට  ඇති  ලෞකික  වූත්  ආසව  සහිත  වූත්, පුණ්‍යභාගී වූත්, උපධිවිපෙක්ඛා සහිත වූත් සම්මා දිට්ඨිය ”දස්සනට්ඨේන දිට්ඨි විශුද්ධිං” යන තත්ත්වයට වඩා පහත් වූ ලෞකික දෘෂ්ඨියකි.

 මේ ආකාරයෙන්ම විමොක්ඛ විශුද්ධියට පත්වීමේදී ද අත්හැර, මිදී, නොඇලී, නිදහස් විය යුතු සියලූම රාග, ද්වේෂ, මෝහ ගති අතහැර කැමැත්තෙන් ම ඒවා බැහැර කළ යුතුයි. ප‍්‍රහාණය කළ යුතුයි. ඉවත් කළ යුතුයි. ඒ නිසා මුත්ති යන අර්ථය එහි අවධාරණය කර තිබේ. මුත්ති යනු යළිත් නොඇලෙන ලෙසින්ම අත්හැර, මිදී නිදහස් වීමයි. ධ්‍යාන වලින් ලබන විමෝක්ඛ තත්ත්වය රාග, ද්වේෂ ගති දෙක පමණක් යටපත් කර තාවකාලිකව ලබන විමුක්ති සුවයකි. එය රූපී, අරූපී ධ්‍යානවලින් ලබන චේතෝ විමුක්ති සුවයකි. එම චේතෝ විමුක්තිය අකුප්පා චේතෝ විමුක්තිය නොවේ. අකුප්පා චේතෝ විමුක්තියම, මුත්ති අර්ථයෙන් විමොක්ඛ විශුද්ධිය ලෙසින් විග‍්‍රහ කරනු ලැබේ. අවිද්‍යා විරාගයෙන් ලබන විද්‍යා විමුක්තිය මාර්ගය මෙන්ම ඵලයන් ද අකුප්පා චේතෝ විමුක්තිය ලබා ගැනීමට උපකාර වන ප‍්‍රඥා විමුක්තියයි. මේ නිසා අරිය මාර්ගයේ පෙන්වූ විමෝක්ඛ විශුද්ධිය, එතෙක් කලක් ලෞකික ආගම් සංකල්පවල භාවිතයේ පැවති චේතෝ විමුක්තිය නොවන බවත් පැහැදිළිවම දැක ගත යුතුයි. අද ලංකාවේ මෙන්ම තායිලන්තය, බුරුමය වාගේම බටහිර  රටවලද  භාවනාවේ  යෙදෙන  ලක්ෂ  සංඛ්‍යාත  වූ  මිනිසුන්  බලාපොරොත්තු වන්නේද චේතෝ විමුක්තියයි. එය අකුප්පා චේතෝ විමුක්තිය නම් නොවේ. එහි නිවනක් නැත. නිවනක් පතමින්ම අනරිය චේතෝ විමුක්තියක් සඳහාම භාවනා කිරීම ද කරන බව ඉතාමත් පැහැදිළියි.

ඒවාගේම පටිවේද අර්ථයෙන් ම විද්‍යා විමුක්තියත්, විජ්ජා විශුද්ධියත් ලබාගත යුතුයි. පටිසංවේදී හා පටිවේද යන පද අතර ඇති වෙනස මෙහිදී තේරුම් ගත යුතුයි. පටිඉචිච වීමෙන් සං උදය වන බවත් උදයව්‍ය ඥාණයෙන් නිවැරදිවම තේරුම් ගත යුතුයි.

පටිවේධ අර්ථයෙන් විද්‍යා විශුද්ධියට පත්වීම යන්නෙහි අදහස රූපාරම්මණයන් ආදී අරමුණු වලට පටිච්ච නොවී වේදනාවෙන් තොර වූ උපේක්ඛා සිතකින් අරමුණු ඉවසා, විමසා එහි ”අනිච්ච” බව ප‍්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කර ගැනීමේ ශක්තියයි. මෙය සම්මතය විද බලා පරමාර්ථය දැක ගැනීමේ විජ්ජා විශුද්ධියයි. ඒ නිසා ම එය”පටිවේධ අර්ථයෙන්ම” අවබෝධ කර ගත යුතුයි. යම් අරමුණකට ප‍්‍රියවී හෝ අප‍්‍රිය වී හෝ එය පටිසංවේදී වෙයි නම්  එතැන  උපේක්ඛා  ඥාණයක්  නැත.  ”සංඛාර  උපේක්ඛා”  ඥාණයම  ලබාගෙන, පටිසංවේදී බවෙන් තොරව, උපේක්ඛා සිතින් ඉවසා, විමසා, සැනසීම ලබන මාර්ගය විජ්ජා විශුද්ධියයි.

ඊලඟට පෙන්වූයේ පරිච්චාග අර්ථයෙන්ම විමුක්ති ඥාණ දර්ශනය ලබා ගැනීම කළ යුතු බවයි. මෙතැන ”විමුක්තිය” යනු විමෝක්ඛ යනුවෙන් කලින් සඳහන් කළ අර්ථයට වඩා තරමක් වෙනස් අදහසකි. විමෝක්ඛ වීමෙන්ම විමුක්ති තත්ත්වයටද පත්විය යුතුයි. චාග යනු අත්හැරීමයි. පරිච්චාග යථාභූත ඥාණ දර්ශනයෙන්ම ප‍්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම ”සං” අත්හැරීමයි. රාග, ද්වේෂ, මෝහ ගති අත්හැරීමයි. පංචස්කන්ධය උපාදානය කර ගැනීමේ ක‍්‍රියාවලිය අත්හැරීමයි. පරිච්චාග යන පදයේ අර්ථය පූර්ණ වශයෙන්ම අත්හැර නිදහස් වීමයි. කැමැත්තෙන්ම අත්හැර නිදහස් වීමයි. කුණු ගොඩක්, බරක්, බැම්මක්, භය උපදවන දෙයක් බව යථා    පරිදි   දැක    රාගය, ද්වේෂය, මෝහය යන කිළිටි     ගති අවබෝධයෙන් ම සිතින් අත්හැරීමයි.

සමුච්ෙඡ්ද අර්ථයෙන්ම ඛයේ ඥාණය ලැබීම ඊළඟ පියවරයි. සමුච්ඡේද යනු ”සං උදය” සහමුළින්ම ගළවා මුලින් ම උදුරා දමා ඉවත් කිරීම යන අර්ථයයි. ඛයේ ඥාණය යන පදයේ අර්ථය ද යමක් සහමුළින්ම ගළවා උදුරා දමා ඉවත් කිරීම යන අදහසයි. ”අසේස විරාග නිරෝධෝ” යන ශේෂයක්වත්, කෙස්ගහක තරම් දෙයක් වත් ඉතිරි නොවන්නට ම මුළින්ම ගළවා දමා නිදහස් වීම යන අර්ථය, ඛයේ ඥාණං යන පදයේ අඩංගු වේ. ”ඛණ සම්පත්තිය” යන පදවල සඳහන් ”ඛණ” යන්නෙහි අර්ථයද ත‍්‍රිලක්ඛණය යන පදවල සඳහන් ”ඛණ” පදයෙහි අර්ථයද මේ ඛයේ ඥාණං යන පදයෙහි ම ඇතුළත්ය. ආසවඛ්‍යා ඥාණය, අනුසයඛ්‍යා ඥාණය ලබන්නේ ඛයේ ඥාණයෙනි. ඛීණස‍්‍රවයන්වහන්සේ, ”ඛීණාජාති” ”ඛිණං පුරාණං” යන පදවල ”ඛීණා” යන අර්ථයෙන් දැක්වෙන්නේ ”ඛයේ ඥාණය”  පූර්ණ  කරගත්  යන  අදහසයි.  මේ  අනුව  ”රාගක්ඛය”  ”ද්වේෂක්ඛය”  හා මෝහක්ඛය  යනු  ඛයේ  ඥාණයයි.  රාගය,  ද්වේෂය,  මෝහය  යන  කිළිටි  ගති  (කුණු) සහමුළින්ම සිතින් අස්කර දමා සමුච්ෙඡ්ද වශයෙන් ම ප‍්‍රහාණය කර නැවත කවමදාකවත් මතු  නොවන  ආකාරයට  අස්කර  දැමීම  සමුච්ෙඡ්ද  ප‍්‍රහාණයයි.  ඛයේ  ඥාණයයි.  සං උත්පාදනය වීමේ හැකියාව මුලින් උදුරා දැමීමයි.

පටිපස්සද්ධි අර්ථයෙන්ම අනුප්පාදෝ ඥාණය අවසාන වශයෙන් ලබා ගැනීම ”අමතෝගධං නිබ්බානං” ලෙස  ධර්මයේ පෙන්වා දේ. ”පටිපපස්සද්ධි” යනු දස සංයෝජනයම ”විවට්ට” තත්ත්වයට පත් කිරීමෙන් පටි දහයම ගළවා ඉවත් කර සියලූ සංයෝජන ප‍්‍රහාණය කිරීමයි. සංයෝජන දහය ම ප‍්‍රහාණය කර දැමූ පසුව එහි ”උප්පාදෝ” තත්ත්වයක් නොපවතී. අනුප්පාදෝ යන සුඤ්ඤත තත්ත්වයක් බවටම පත් වේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පමණක්ම ලෝකයට අයත් වන සියලූ සංඛත ධර්ම උත්පාදනය කර ගැනීම සිදු වේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සහමුලූන්ම තොර වූ සිතක විඤ්ඤාණ ශක්තියක් ක‍්‍රියාත්මක නොවන තත්ත්වය සුඤ්ඤත යන අදහස දේ. රාගයෙන් තොරවූ,  ද්වේෂයෙන්  තොරවූ,  මෝහයෙන්  තොරවූ  සිතක්  විඤ්ඤාණ  ශක්තියෙන්ද තොරවූ විඤ්ඤාණ ශක්තිය සුඤ්ඤත වූ තත්ත්වයට පත් වීමත් සමඟම ප‍්‍රඥා ශක්තිය පූර්ණ ලෙසින්ම ක‍්‍රියාත්මක වන සිතක් බවටත් ප‍්‍රභාස්වර සිතක් බවටත් පත් වේ. ප‍්‍රභාස්වර වූ සිතකින් කර්ම බීජ උත්පාදනය කිරීමේ ශක්තිය, ආයුහන ශක්තිය, සහමුලූන්ම ඉවත්ව යන  නිසා  එවැනි  සිතක  ”අනුප්පාදෝ  ඥාණං”  මිස  ”උප්පාදෝ  විඤ්ඤාණං”  යන තත්ත්වයන්  නොපවතී.  කර්ම  බීජ  සකස්  නොවේ.  එමනිසා  අනුප්පාදෝ  නිබ්බානං යනුවෙන් හඳුන්වනු ලබයි.

මේ විශුද්ධි විග‍්‍රහයේදී අවසානයට දෙයාකාර වූ ප‍්‍රහාණයක්, අත්හැර මීදී නිදහස් වීමක්  විග‍්‍රහ වේ.

1. සමුච්ඡේදප්පහාණං             2. පටිපස්සද්ධිප්පහාණං

1. සමුච්ඡේදප්ප‍්‍රහාණය මඟින් ”ලෝකෝත්තර ඛයගාමීමග්ගං භාවයතෝ” යන්නත් (සෝතපන්න ආදී මාර්ග හතරක්)

2. පටිපස්සද්ධිප‍්‍රහාණයෙන්  පලක්ඛණ  ප‍්‍රතිලාභයත්  ලැබෙන  බවත්  පැහැදිළිවම ප‍්‍රකාශ කර ඇත.( සෝතාපන්න ආදී ඵල හතරක්)

නිවන්  අවබෝධ  කර  ගැනීමේ  උත්සාහයේදී  පළමුවෙන්ම  මාර්ගය  සම්පූර්ණ කරගත යුතුයි.  මාර්ගය සම්පූර්ණ කර  ගැනීමේදී සතර  අවස්ථාවකදීම සමුච්ෙඡ්ද වශයෙන්ම ආසව අනුසය ප‍්‍රහාණය කළ යුතුයි. සෝවාන් මාර්ගයේදී දිට්ඨාසව, දිට්ඨි අනුසය හා විචිකිච්චා අනුසය ඛය කළ යුතුයි. සකෘදාගාමී මාර්ගයේදී කාමාසව, භාවාසව තුනීකර ගත යුතුයි.  ඕලාරික ආසව තුනීකර ගත යුතුයි. අනාගාමී මාර්ගයේදී කාමාසව, පටිඝාසව සියල්ල අනුසහගත වශයෙන්ම සහමුළින්ම සමුච්ෙඡ්දප්ප‍්‍රහාණයට පත් වී යා යුතුයි. අරහත්ත මාර්ගයේ දී ”සබ්බ කිලේසේ පජහතෝ” සියලූ ආකාර වූ රාග, ද්වේෂ, මෝහ කෙළෙස් මුලින් ගැළවී ගොස් භවාසව, අවිජ්ජාසව සමුච්ඡේද වශයෙන් ප‍්‍රහාණය වී යයි. මාර්ගය සම්පූර්ණ කර ගැනීමත් සමඟම පලක්ඛණ ප‍්‍රතිලාභයක් හතර අවස්ථාවකදීම සම්පූර්ණවීමත් සමඟම පටිපස්සධි තත්ත්වයට පත්වීම නිවනයි. ”සංයෝජනා පහීයන්ති, ආසවා ඛයා හොන්තී” යනු මේ දෙයාකාරයයි.

Share Button

අසවක්ඛ්‍යා ඥාණය – නව ආකාර කෙළෙස් ප්‍රහාණය

නිවන්  මාර්ගය  සම්පූර්ණ  කර  ගැනිම  සඳහා  අනුගමනය  කළ  යුතු  මාර්ගය බුදුපියාණන් වහන්සේ විවිධ තැන්වල විවිධ ආකාරයෙන් පෙන්වා වදාරා ඇත. සබ්බාසව සූත‍්‍රයෙන් මෙය ආසව පහාතබ්බා හැටියටත් අංගුත්තර නිකායේ (3.6) මෙය ප‍්‍රහාණය කිරීමක් හැටියටත් පෙන්වා දී ඇත. ඉතාම සරළ ලෙසින් අංගුත්තර නිකායේ පෙන්වා දුන් මෙම ක‍්‍රියාමාර්ගය යථා පරිදි දැන, නිවැරදිව අනුගමනය කිරීමෙන් කෙටිකාලයක් තුළ නිවන් මඟ, අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත හැකිවෙයි. මෙහිදී පියවර නවයක් ලෙසින් පෙන්වා වදාළ අතහැර මිදී නිදහස් වීමේ ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ගය තුළින් අනිමිත්ත සමාධියටත්, අප්පණිහිත සමාධියටත්, සුඤ්ඤත සමාධියටත් පත් වීමෙන් සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පත් වී ප‍්‍රඥා විමුක්තියටත්, අකුප්පා චේතෝ විමුක්තියත් ලබා නිවන පූර්ණ කරගත හැකිවෙයි.

ඒ  ඒ  සත්ත්වයා  තුළ  මුල්  බැසගෙන  ඇති  රාගය,  ද්වේෂය,  මෝහය  නිසාම මානයෙන් අවිද්‍යාවෙන් කටයුතු කරයි. මෙවන් රාග, ලෝභ, තණ්හා, ද්වේෂ, ක්‍රෝධ, වෛරී ගති ලක්ෂණයන් මෙන්ම මානය, අවිද්‍යාව, මෝහය හා දිට්ඨිගත වීම වැනි සියලූම ලක්ෂණයන් ඒ ඒ සත්ත්වයාම, පුද්ගලයාම සංසාරයේ කවදා හෝ තම තමන්ම එකතු කරගත් ගති ලක්ෂණයන්මය. විඤ්ඤාණයට සංසාර ගමන දිගින් දිගටම නොකඩවා පවත්වා ගෙන යන්නට උපකාරීවන ශක්ති ප‍්‍රභවය, එසේත් නැතිනම් කර්ම බීජ සපයා දෙන්නේ මේ ගති ලක්ෂණයෝය. තම තමන් තුළම පවතින මෙවැනි ගති ලක්ෂණයන් එකින් එක දැන හැඳින මේ ගති ලක්ෂණයන් නිසාම ප‍්‍රිය බව, සුව බව, මධුර බව සිතෙහි උපත ලබන බව යථා පරිදි තේරුම් ගෙන සංසාර ගමන යාමට මුල් වූ සමුදයම මේ ගති ලක්ෂණ සහමුළින්ම තම සිත තුළින් කර්මානුකූලව ඉවත් කර පිරිසිදු වන්නට ක‍්‍රියාකිරීම නිවන් අවබෝධ කර ගැනිමයි. බුදුපියාණන්වහන්සේ ඒ ඒ පුද්ගලයාගේ, සත්ත්වයාගේ චිත්ත පාරිශුද්ධතාවයට මඟ පෙන්වා දෙමින් මේ ලෙස අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ගය අවස්ථාවන් නවයක් ලෙසින් පෙන්වා වදාළහ.

1. පරිඤ්ඤෙයිය      2.පරික්ඛෙයිය        3.ප්‍රහාණය
4. ඛ්‍යාය                 5.ව්‍යාය                6.විරාගය
7. නිරෝධය            8.චාගය               9.පටිනිස්සග්ගාය

මේ අවස්ථා නවය පිළිබඳවම යථාපරිදි  මුලින්ම තේරුම් ගත යුතුය.

 01. පරිඤ්ඤෙයිය

පිරිසිඳ දැන ගැනීමයි. තමාගේම සිත මනා ලෙස හදාරා තම සිත තුළම පහළවන අරමුණු පිළිබඳව පූර්ණ අධීක්ෂණයක් කිරීමයි. රාග අරමුණු, ද්වේෂ අරමුණු, මෝහ අරමුණු නිසාම රාග ගතිය, ලෝභ ගතිය, තණ්හා වීමේ ගතිය ප‍්‍රිය බව, මධුර බව සිතෙහි හටගනී. ද්වේෂ ගතිය, ක්‍රෝධ ගතිය, වෛර ගතිය, විරෝධ ගතිය, ප‍්‍රකෝප ගතිය, සිතෙහි හටගනී. මානය හා අවිද්‍යාව නිසාම මමත්ත්්වය, තම්මතාවය, මඤ්ඤතාවය, අස්මිමානය සිතෙහි හටගනී. මෙවන් ගතිගුණ තමාගේම සිත තුළ ඇති වන බව පිරිසිඳ දැනගත යුතුයි.

තමන්ගේම ක‍්‍රියාව, කථාව, සිතුවිල්ල කරන්නේ, කියන්නේ්, සිතන්නේ මෙවන් ගති ගුණ නිසාම කිළිටි වූ, කහට ගැන් වුණු කෙළෙස් සහිත වූ සිතක් නිසාම බවද නිවැරදිව තේරුම් ගත යුතුයි. කෙළෙස් සහිත අරමුණු, සිතුවිලි තමාගේ සිත අඳුරු කරන බවද මුවහා කරන බවද දැක තේරුම් ගත යුතුයි. මේ ගති ගුණ තමාගේ චිත්තසංථානය තුළට ඇතුලූ වූයේ කෙසේද? මේවා සිත තුළට කිඳා බැස ස්ථිර ගතිගුණ ලෙස ස්ථාපිත වූයේ කෙසේද? කාගේ අවශ්‍යතාවයකට මේවා සිත තුළ පැළපදියම් කර ගත්තේද?

මෙවන් ගතිගුණ, ගති ලක්ෂණ තමා තුළම පවතින තාක් කල්ම කාමාසව, භවාසව, අවිද්‍යාව සිතෙහි පවතින බවත් ඒ ගති ලක්ෂණ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක, පාපාවිතක්ක ලෙසින් තම සිතටම අරමුණු වන බවත් තේරුම් ගත යුතුය. තම සිත ගැනම මනාකොට අධ්‍යයනය කර සිතෙහි ගති ලක්ෂණයන්, හැසිරීම් රටාව, සිතෙහි අරමුණු මතුවන ආකාරය දෙස නිහඬව බලා සිටිය යුතුය. සිතෙහි මතුවන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක, පාප විතක්ක තෝරා බේරා වෙන්කර ගන්නට සමත් විය යුතුය. ඒවා සිත අඳුරු කරන, කහට ගන්වන, කිළිටි කරන මෝහය හා මානය වැනි දේ උපදවන රාග,ද්වේෂ, මෝහ චිත්තජ රූපයන් බව  දැක ඒ චිත්තජ ශක්තීන් නිරුත්සාහයෙන්ම   උපදවන්නේ විඤ්ඤාණය  බවද   දැක මේ පිළිබඳව පූර්ණ විශ්ලේෂණයක් කර පිරිසිඳ දැන ගැනීම පරිඤ්ඤයිය යන තත්ත්වයයි.

 02. පරික්ඛෙයිය

තමාගේ සිත තුළ අඳුරු කෙළෙස්, කහට ගති ලක්ෂණයන් ඇති බවත් සංසාර ගමනට, දුක් විඳීමට, උපතට හේතුව තමා තුළම ඇති මේ ගති ලක්ෂණ බවත් පිරිසිඳ දැන ඒ ගති ලක්ෂණයන් සහමුළින් ඉවත් කළ යුතු බව තීරණය කිරීම පරික්ඛෙයිය යනුයි. ආශාව පහකර, ලෝභය ඛය කර, ද්වේෂය ඛය කර, මෝහය ඛය කර සිත ප‍්‍රභාස්වර තත්ත්වයට පත්කර ගත යුතු ක‍්‍රමය නිවැරදිව දැන ඒ සඳහා අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්ති පිළිබඳව යථාවබෝධය ලැබීම මෙයින් අදහස් කෙරේ. පරිඤ්ඤෙයිය, පරික්ඛෙයිය යන අවස්ථා දෙකම යථාවබෝධයෙන්ම තේරුම් ගත යුතු පියවරයන් දෙකක් මිස තවම ක‍්‍රියාත්මක වන්නට පටන්ගත් දෙයක් නොවේ. දැනගත යුතු දේ නිවැරදිවත්, සම්පූර්ණයෙනුත් දැන පරීක්‍ෂණය, නිරීක්‍ෂණය කර නිගමනයට බැසීම පමණි. මෙයින් පසුව විස්තර කරන පියවරයන්ගෙන් කළයුතු දේ කළහැකි වන්නේ මේ නිවැරදි දැක්ම මත පමණි.

03.  ප‍්‍රහාණය

ඉවත්  කිරීම,  මඟහැරීම,  පළවා  හැරීම  වැනි  දේ  මෙහිදි  කළ  යුතුය. රාගයට, ලෝභයට, තණ්හාවට මුල්වන ගතිගුණයන් තම සිත තුළ මතුවෙනවාත් සමඟම ඒවා ප‍්‍රහාණය කළ යුතුයි. අතහැර නිදහස්විය යුතුය. ඉවසීමෙන් යුතුව තම සිත දෙසම බලාසිට, විමසිල්ලෙන් හොඳ නරක, හේතුඵල සළකා බලා ඉවත් කළ යුතු, ප‍්‍රහාණය කළ යුතු දේ හා ආශ‍්‍රය කළයුතු, භාවිතා කළයුතු දේ වෙන්කොට දැන් හඳුනා කටයුතු කිරීම මෙහිදී ඉතාමත් වැදගත්ය. හේතුඵල ධර්මයට බහා ගළපා බලා කටයුතු කරන්නට පුරුදු පුහුණු වන්නේ මේ අවස්ථාවේදීය. තමා යම් ක‍්‍රියාවක්, කථාවක්, සිතුවිල්ලක් කළොත් එහි ඵලය කාට කිනම් ලෙස බලපායිද එය තමාගේ නිවන් මඟට බාධාවන ක‍්‍රියාවක්, කථාවක්, සිතුවිල්ලක් ද එසේ නම් එය වහාම ප‍්‍රහාණය කර නිදහස් විය යුතුය.

04. ඛ්‍යාය

ඛ්‍යා යනු ඛය කර දැමීමයි. එක්වරම අතහැර මිදී නිදහස් විය නොහැකි බොහෝ දේ ක‍්‍රමයෙන් ඛය කර දමා ශුද්ධ පවිත‍්‍ර කර ගත යුතුය. තරහ, ද්වේෂය, වෛරය වැනි ගති ලක්ෂණයන් එක මොහොතකින් අතහැර දමා පූර්ණ ලෙසට නිදහස් විය නොහැකිය. මේ සඳහා ක‍්‍රම ක‍්‍රමයෙන් ඉවසීමෙන් ක‍්‍රියාකර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණයන් දියුණු කර නරක ගති ඛය කර දැමිය යුතුය.

05. ව්‍යාය

ව්‍යාය යනු වැයකර, ගෙවා දමා නිදහස් වීමයි. අතීත සංසාරයේ තමා කෙනකුට යම් ආකාරයකින් ණය වී ඇත්නම් ඒ ණය ගෙවා දමා, භෞතික හෝ ද්‍රව්‍යමය වශයෙන්ම ණය ගෙවා දමා නිදහස් විය යුතුය. වත්කම්, දේපල ආදිය තම දරුවන්ට පවරා සහමුළින්ම අයිතිය අතහැර වැයකර දැමිය යුතුය. ඉන් නිදහස් විය හැකි වන්නේ ඉන් පසුව පමණි. ඒ පිළිබඳව සිතින්ද අයිතිය ඉවත්කර පාලනයෙන් ඉවත්වීම ව්‍යාය යන තේරුමයි.

06. විරාගය

විරාග යනු රාගයෙන් වෙන් වීමයි. රාග යනු චන්දරාගයමයි. කැමැත්තෙන්ම හිතට වහල්වී කාම රාග, රූප රාග, අරූප රාග වලට තණ්හා ඇතිකර ගත්තොත් ඒ කාම රාග, රූප රාග, අරූප රාග උපාදානය කරගත් ඒවාට බැඳීම, සම්බන්ධවීම නිසා ඒ ගතියටද පත්වෙයි.  මෙය  කර්ම  භවට  පත්වීමයි.  මේ  නිසා  රාගය  විරාග  කර  චන්දරාගයෙන් කාමච්ඡන්දයෙන් වෙන් වී නිදහස් විය යුතුය. ජීවත්වන සත්ත්වයෙකුට හැම ප‍්‍රශ්ණයකටම මුහුණ දෙන්නට වන්නේ හැම දුකක්ම විඳින්නට වන්නේ, අනාථ තත්ත්වයට පත්වන්නේ, කාමච්ඡන්දයෙන් මුළාවී ක‍්‍රියා කිරීමෙනි. ඒ නිසා රාගයෙන් වෙන් වී විරාග තත්ත්වයට පත්වීම මේ සියලූ දුක්වලින් නිදහස් වීමට නොවරදින පහසුම මඟයි. විරාග තත්ත්වයට පත්කර ගත යුතු වන්නේ තමාගේම සිතයි.

 07. නිරෝධාය

නිරෝධ කිරීම යනු තම සිතුවිලිම නිරෝධ කිරීමයි. රාගයෙන් ප‍්‍රිය බවෙන් සිත යම් දෙයකට, යම් කෙනෙකුට, යම් අවස්ථාවක බැඳුණු පසු ඒ ප‍්‍රණීත සිතුවිල්ල, ප‍්‍රිය මධුර සිතුවිල්ල  දිගේ  කල්පනා  කර  දහ  අතේ  සිතුවිලි  පතුරුවා  ඒ  ප‍්‍රිය  දෙය  කෙරෙහි තණ්හාවෙන් එය උපාදානය කරගනී. මේ තැනක හාවීමට යමක් උපාදානය කර ගන්නට  ඒ ගතියට, භවට පත් වන්නට හේතුවූයේ ඒ අරමුණ දිගේ සිතුවිලි පැවැත්වීමයි. මෙය සිතින් රෝද කිරීමයි. මේ සිතුවිලි ආරම්භක අවස්ථාවේම තේරුම් ගෙන එවන් ප‍්‍රිය මනාප අරමුණකට බැඳී, සිතින් රෝද කිරීම නවතා දමන්නේ නම් එය සිත නිරෝධ කිරීමයි. මේ නිසා නිරෝධ කිරීම යනු යමක් නැති කිරීම නොවන බව තේරුම් ගත යුතුය. යම් අරමුණක්, සංඥාවක් දිගේ සිතින් රෝද කිරීම නැවැත්වීම නිරෝධ කිරීමයි. මෙතැනදීද සිදුවන්නේ අතහැර මිදී නිදහස් වීමකි.

08. චාගාය

චාග යනු සහමුළින්ම අතහැර මිදී නිදහස් වීමයි. චාග යනු දානය, ත්‍යාගය, දීමනාව යන අර්ථයෙන්ද තේරුම් කළත් මෙහිදී ත්‍යාගය, දානය යන අර්ථයට වඩා බලවත් අත්හැරීමේ ක‍්‍රියාවක් සිදුවේ. යම් දෙයක් දානයක්, ත්‍යාගයක් ලෙසින් තවත් කෙනෙකුට දෙන්නේ යමක් බලාපොරොත්තුවෙනි. අඩුම වශයෙන් පින් රැුස්කර ගැනීම සඳහාය. ඒ දීමනාව දානය සංසාර ගමන දිගින් දිගටම යහපත් ලෙසින් පවත්වා ගන්නට උපකාර වන පිනකි. චාග යනු සම්පූර්ණ අත්හැර මිදී නිදහස් වීමයි. පිනක් හෝ වෙනත් මොනයම්ම ආකාරයක හෝ ප‍්‍රතිලාභයක් බලාපොරොත්තු වේ නම් එතැන චාග යන අර්ථය සම්පූර්ණ නොවේ. යම් කෙනෙකු ගිහිගෙය අතහැර, දේපල අත්හැර, පැවිදි බවට පත්වූවත් ඒ ඒ වත්කම් දේපල තවමත් අල්ලාගෙන සිතින් හෝ උපාදානය කරගෙන සිටී නම් එතැන චාග යන තේරුම දෙන දානයක්, ත්‍යාගයක් සිදුවී නැත. ඒ නිසා චාග යනු මුළු සිතින්ම අතහැර මිදී නිදහස් වීමයි. නිවනට නිදහසට උපකාරවන්නේ තම සිතම නිදහස්කර ගැනීමයි.

9. පටිනිස්සග්ගෝ

හැම පෘථග්ජන පුද්ගලයෙකුම ගිහි හෝ පැවිදි හෝ වුවත් සංයෝජන දහයකින් බැඳී සංසාර ගමනට එකතු වී එය කැමැත්තෙන්ම යන ගමනක් බවට පත්කර ගෙන ඇත. මේ සංයෝජනය ලෙසින් බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළේ පටි දහයකි. පටි යනු සුවදායක, ආරක්ෂා සහිත, සුරක්ෂිත බැඳීමකි. ඒ බැඳීම විඤ්ඤාණයේ සංසාර බැඳීමයි. පටි වලින් සංසාර ගමනට බැඳී සිටිනා තුරාවට විඤ්ඤාණයේ මතු උපතද සුරක්ෂිතය. සහතිකය. මේ සංසාර ගමනට සත්ත්වයා, පුද්ගලයා බැඳී පටිසංසග්ග වී සිටින ආකාරය තේරුම් ගෙන පටි ලෙහා, නිස්සග්ග තත්ත්වයට පත්වීම නිවන් අවබෝධයට අත්‍යාවශ්‍යයෙන්ම උපකාර වෙයි. ”වොස්සග්ග පරිණාමී” යනුද පටිලෙහා, ගළවා සහමුළින්ම නිදහස් වීමයි. මේ ආකාරයෙන් විග‍්‍රහ කර බලන විට නිවන් අවබෝධය යනු තම තමන්ම සංසාර ගමනට බැඳී සම්බන්ධ වී සිටින රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණයන් ශේෂයක් වත් ඉතිරි නොවන ලෙස අතහැර මිදී නිදහස් වීමයි. කෙස් ගහක් පමණවත් දෙයක් ප‍්‍රිය යැයි සුවයැයි, මධුර යැයි, වටිනවා යැයි, සාරවත් යැයි අල්ලාගෙන, උපාදානය කරගෙන සිටිනතාක් සංසාර ගමනට එයම උපකාරවෙයි. භෞතික, ලෞකික, සංඛතයන්ගෙන් මිදී නිදහස් විය හැකිවන්නේ සිතෙහි පහළවන සංකල්පනාවලින් සංඛාර වලින් මිදී නිදහස් වී, සංඥා නිසා උපදින සමුදය නිරෝධකර ගැනීමෙනි. ”යං කිංචි සමුදය ධම්මං, සබ්බත්තං නිරෝධ ධම්මං” යනුවෙන් ප‍්‍රකාශ කළේ මෙයයි.

Share Button

ආසව හා ආසවක්ඛය කිරීමේ ඥානය

පුද්ගලයෙකු, සත්ත්වයෙකු තමාගේම ඉන්ද්‍රියයන් හයම ආයතන ලෙස භාවිතා කරමින් එකතු කර ගන්නා ගති ලක්ෂණයන් රාග, ලෝභ- අලෝභ, ද්වේෂ- අද්වේෂ, මෝහ- අමෝහ යන මූලික ගති ලක්ෂණයන්ය. කෙළෙස් 1500ක් ඇතැයි සමහර පොත්වල සඳහන් වන්නේ මේ ගති ලක්ෂණයන්ය. ඔබ දන්නා පරිදි කලින් විග‍්‍රහ කර පෙන්වා දී ඇති පරිදි මේ කෙළෙස් 1500 ම එකම මූලයකින් සමුදය වූ ”සං” නිසා උපත ලත් කිළිටි වූ කෙළෙස්මය. කුණුගොඩක්මය. මේ කෙළෙස් 1500 ම එකම මූලයකින් උපත ලබා ඇති බව හොඳාකාරවම තේරුම් ගත් පසුව ඒ මූලය නිවැරදිව (සමුදය) සොයා දැනගත හොත් මේ කෙළෙස් 1500ම ඒ එකම මූලය නිරෝධ කිරීමෙන් ප‍්‍රහාණය කර අලූතෙන් කුණු එකතු කිරීමෙන්ද වැළකී සිටිය හැක. අතීතයේ එකතු කළ දේ භාවිතා කිරීමෙන්ද වැළකී සිටිය හැක. අතීතයේ එකතු කරගත් යළි යළිත් චිත්තසංථානයේ මතුවන කෙළෙස් 1500ම සංසිඳවා, සම්මා තත්ත්වයට පත්වීමද තමන්ටම සිදුකරගත හැකිය.

ඉන්ද්‍රියයන් හයම උපකාරයෙන් එකතුකර ගන්නා දැනුම ගොඩනැගී ඇත්තේ ලෝක නිරුක්ති, ලෝක සම්මත, ලෝක පඤ්ඤපති හා ලෝක ව්‍යවහාර මත්තේය. මෙතනදී අල්ලා ගන්නා, එකතුකර ගන්නා, දෙයක් හෝ තැනක් කෙනෙක් හෝ ධර්මතාවයක් ඇතිවා වාගෙම අල්ලා ගන්නා කෙනෙක්ද සිටී. එනම් කර්තෘ කෙනෙක් හා කර්මයක් යන දෙකක්ම පවතී. නියත වශයෙන්ම සළකා බැලූ විට මේ ද්වතාවය පවතින නිසා හැම කෙනෙක්ම හිතින් රෝද ගසයි. රිය ගමනක් යයි. දුටුව බව දකී. දුටුව කෙනෙක්, දෙයක් පවතී. එහෙම ද්වතාවයක් දැක්කේ නැති නම් එකතු කර ගන්න හැකියාවක්ද නොපවතී.

ලෝභ, ද්වේෂ, මෝහ ලෙසින් අපි අපේම ඉන්ද්‍රියයන් හරහා මෙසේ එකතු කරගත් මේ ගතිගුණ, ගති ලක්ෂණ අපේම චිත්තසංථානයේ තැන්පත් වේ. මේවා ලෝභ, ද්වේෂ, මෝහ ලෙස එකතු කරගත්තත් චිත්තසංථානය, කර්මජ කෝෂය තුළදී මෝරා, පැසී, පාක වී, ආසව අරිෂ්ඨ බවට පත් වේ. ඒවා චිත්තසංථානයට ඇතුලූ කරගත් ආකාරයට වඩා දහස්

ගුණයෙන් බලවත් ස්වරූපයෙන් ඵල විපාක ලබා දෙයි. ඒ නිසාම ඒවා ආසව ලෙසද හඳුන්වයි. මේ ලෙසින් කෙළෙස් 1500කට බෙදා පෙන්වූයේ කාමාසව, භවාසව, අවිද්‍යාසව යන කොටස් තුනට අයත් ගති ලක්ෂණයම සමුදය ධර්මයන් ලෙසින් චිත්තසංථානයේ විවිධාකාරයෙන් මතුවී ක‍්‍රියාත්මක වීමයි.

යම් කෙනෙකුට මේ සමුදය ධර්මය පිළිබඳව තේරුම් ගෙන ”කාමසව” මතුවීමට, උපත ලැබීමට මුල් වූ කරුණු කාරණා සහමුළින්ම නැතිකර කටයුතු කළ හැකි නම් මේ කෙලෙස් 1500න් 1000ක්ම පමණ අත්හැර මිදී නිදහස් කර ගත හැකියි. කාමච්ඡන්දය දුරු කරන අනිච්ච, අනත්ථ බව පසක්කර ගන්නට හැකි දුකට මුල් වූ හේතුව සොයා දැන ගන්නට උපකාර වන කර්මස්ථාන භාවනා කිරීමෙන්ද ”සම්මා” තත්ත්වයට පත්වීමෙන්ද මෙය කරගත යුතු වේ.

එසේම භවාසව, අවිද්‍යාව දෙකම ඇති වීමට හේතුව වන ලෝභ, ද්වේෂ යන ලක්ෂණ  දෙක  ගතිගුණ  දෙක  බව  නිවැරදිවම  තේරුම්  ගෙන  හැම  සත්ත්වයෙකුටම භූතයෙකුටම, දෙවියෙකුටම සම මෙත පතුරවන පරම මෙත් වැඞීම පුරුදු පුහුණු කර ගතහොත් කෙළෙස් 1500 ඉතිරි කොටසද අත්හැර සිත නිදහස් කර ගැනීමටද හැකියාව ලැබේ.

මේ අනුව ආසව, ආසව ලෙසින් නිවැරදිව දැන ගැනීමත් ආසව සමුදය, උපත ලබන ආකාරය නිවැරදිව තේරුම් ගැනීමත් ආසව නිරෝධ කරන්නට කළ යුතු දේ පිළිබඳව නිවැරදිව  තේරුම්  ගැනීමත්  ආසව  සිතේ  ක‍්‍රියාත්මක  වීම  අවසන්  වනතුරු  ආසව නිරෝධගාමී මාර්ගයේ යමින් ප‍්‍රතිපදාව සම්පූර්ණ කර ගැනීමත් ආසවඛ්‍යා ඥාණය උපදවා ගැනීමයි.

මෙය ආසවඛ්‍යා ඥාණය උපදවා ගෙන චතුරාර්ය සත්‍යයන් අවබෝධ කර ගැනීමයි. ආසවඛ්‍යා ඥාණය නොලබා, ආසව ඛය කරන්නට නිවැරදිවම මඟ නොදැන, කිසිවෙකුටත් නිවන් අවබෝධ කරගනු නොහැකිය. අෂ්ට සමාපත්තියට පත්වී අටවැනි ධ්‍යානයට පත් වූවත් ආසවඛ්‍යා ඥාණය පහළ නොවූයේ නම් මෝහයේ මුල් සිඳනැති නිසා අළුයට ගිනි පුපුරු මෙන් ආසව පවතී. කවදා හෝ යළි ගින්න ඇවිළෙන්න ආසවම හේතුවයි. අරිය පරියේෂණ සූත‍්‍රයේත්, තවත් සූත‍්‍ර ධර්මයන් ගණනාවකමත් පිරිසිදු ලෙසම පෙන්වා වදාළ පරිදි නිවන් අවබෝධකර ගැනීම යනු ආසවඛ්‍යා ඥාණය ලැබ ”ඛීණාසව” තත්ත්වයට පත්වීමයි. ලෝභක්ඛය කිරීම, ද්වේෂක්ඛය කිරීම, මෝහක්ඛය කිරීම නිවනයි යනුවෙන් දේශණා කළේද මේ අර්ථයෙන්මය.

 ධ්‍යාන වැඞීමෙන් කරන්නේද ලෝභ, ද්වේෂ, මෝහ යන ආසව කොටසක් දවා හැරීමයි. ධ්‍යානයක් ලබා ගැනීමෙන් සිදුවන්නේ අලූතින් ආසව එකතු කිරීම නැවැත්වීමත්, තාවකාලිකව ආසව භාවිතයෙන් ඉවත්වීමත්ය. නමුත් අතීතයේ එකතු කර, ගබඩා කරගත් ආසව මුල් චිත්තසංථානයේ, කර්මජකෝෂයේ ගබඩා වී තැන්පත් වී ඇති බව දකින්නට තරම් ශක්තියක් ධ්‍යාන්‍යවලට නැත. එසේ අතීතයේ කවදා හෝ චිත්තසංථානයේ තැන්පත් කළ මතු භාවිතට ගැනීමට විඤ්ඤාණය විසින්ම ගබඩා කර ඇති ආසව කොටස් දැක ඒවා සහමුළින්ම ඛය කර, ප‍්‍රහාණය කර චිත්තසංථානය ආසව වලින් තොර තැනක් බවට පත්කර ගත හැකිවන්නේ ආසවක්ඛ්‍යා ඥාණය පහළ කර ඒ මගින් ආසව නිරෝධගාමී මාර්ග ප‍්‍රතිපදාව සම්පූර්ණ කර ගැනීමෙන්ම පමණි. එයම   විපස්සනා නුවණ පහළ වීමද වේ.

”සං” යන පදයෙන් විග‍්‍රහ කර එකතු කිරීම මගින් පෙන්වා දුන්නේද ආසව එකතු කිරීමයි. මේ අනුව ”තේසං පහීනා” යනුවෙන් පෙන්වා දුන් ”සන්නිට්ඨති, සංනිසීදති, සමාධියති” යන පදවලින් විග‍්‍රහ කළේද ආසවක්ඛ්‍යා ඥාණය උපදවාගෙන සංවර වී, සංසිඳුවාගෙන, සම්මා සමාධියට පත්වීමටයි. ආසවක්ඛ්‍යා ඥාණය පහළ නොවී සම්මා සමාධියෙහි පිහිටා කටයුතු කළ නොහැකිය. ”සංමා ” යන පදයෙන් පෙන්වා දුන්නේ අතීතයේ එකතු කළ (සං) සියලූ ආකාර වූ ආසව සහමුළින්ම අතහැර, ඒවායින් මිදී නිදහස් වීමයි. (විතක්ක සංඨාන සූත‍්‍රය)  ”සංඝාරව සූත‍්‍රයේත්, සංසුධෝතක සූත‍්‍රයේත්”මේ  ක‍්‍රියාපිළිවෙත් තවදුරටත් පැහැදිළි කර, විග‍්‍රහ කර පෙන්වා දී ඇත. සංඝාරව සූත‍්‍රයෙන් පෙන්වා දෙන්නේ ”සං” බිඳ දමා ආසව ඛය කරගන්නට බුදුපියාණන් පෙන්වා වදාළ මාර්ගයයි. සංයුධෝතක සූත‍්‍රයෙහි පෙන්වා වදාළේ එකතු කරගත් (සං), ආසව ප‍්‍රහාණය කර ශුද්ධ පවිත‍්‍ර කරගෙන කර්මජ කෝෂය,  චිත්තසංථානය  ආසව  වලින්  තොර  තැනක්  බීණාසව  තත්ත්වයට  පත්කර ගැනිමට මඟ පෙන්වීමයි.

කුසල  මූල  පටිච්චසමුප්පාද  ධර්මය  නිවැරදිව  තේරුම්  ගත්  කෙනෙකුට  ඉතා පහසුවෙන්, ඉතාම සරළ ලෙසින් ආසව ඛය කර ඛීණාසව තත්ත්වයට පත්වීමේ ශක්තියද වාසනාවද ලැබේ. කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය බුදුපියාණන් පෙන්වා වදාළේ අතීතයේ මහා කල්ප ගණනක් පටන් චිත්තසංථානයේ එකතුකර (”සං” ඛාර) ගබඩාකර ගෙන  ඇති  ආසව  ප‍්‍රහාණය  කර  ඛය  කර  ගන්නට  මඟ  දැකගන්නට  උපකාර  වන ලෙසින්මය. මේවා ලෝකෝත්තර කුණුය. සංසාරයේ කවදා හෝ තමාම එකතුකර, ගබඩා කරගත් කුණුය. මේ කුණු සළාහැර ලෝකෝත්තර කුසලය පුරා ගැනීමට වෙනත් කිසිම ක‍්‍රමයක් ද නැත. මේ නිසා ආසවඛ්‍යා ඥාණය පහළ වීම යනු කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය නිවැරදිව තේරුම් ගෙන ඒ අනුව විපස්සනා කිරීම පුරුදු පුහුණු වීමයි.

 ලෝකෝත්තර කුණු ලෙසින් පෙන්වා දුන් කාමාසව, භවාසව, අවිද්‍යාසව සංවර සීලයෙන්  හෝ  ධ්‍යානයන්  ලබා  සංසිඳවීමෙන්  හෝ  සහමුළින්ම  ඉවත්කර  ඛීණාසව තත්ත්වයට සිත පත්කර ගත නොහැකිය. මේ සඳහා ලෝකෝත්තර කුසලයම පුරාගත යුතුය. එනම් ලෝක තත්ත්වයෙන් එතෙර වීමට සළාහැර ඉවත්කළ යුතු කුණු සොය සොයා මතුකර, ප‍්‍රහාණය කර සිත පිරිසිදු කරගත යුතුය. සිතක කාම විතක්ක මතුවීමට හේතුව  වන්නේ  කාමාසව  චිත්තසංථානයේ  ගැබ්වී  පැවතීමයි.  සිතක  ද්වේෂ,  වෛර බිහිවීමට හේතුව ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක මතුවීමයි. ඒ අවිද්‍යාසව හා භාවාසය මුල්කරගෙනම සිතෙහි බිහිවන ගතිගුණයන්ය. කාම විතක්ක ප‍්‍රහාණය කර පළවා හැර යටපත් කිරීමෙන් හෝ ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පළවා හැර යටපත් කිරීමෙන් හෝ ලෝකෝත්තර කුණු සළාහැරීමක් සිදු නොවේ. ඒ සඳහා කාමඡුන්දය දුරුකරන කුසලමූල සංඛාර භාවිතා කර කාමයේ ආදීනව හා ආනිසංස මනා ලෙස දැකගෙන කාමච්ඡන්දය මුල් සිඳ දමන්නටම අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ත‍්‍රිලක්ඛණ භාවනා කිරීම හෝ ඡුන්දරාගයෙන් වෙන්වීමට සුදුසු කුසලමූල කර්මස්ථානයක්ම භාවිතා කළ යුතුය.

වෛරයෙන්, ක්‍රෝධයෙන්, ව්‍යාපාදයෙන්, විහිංසාවෙන් සහමළින්ම මිදී නිදහස් වන්නට නම් සම මෙත පතුරුවන මෙත්තා කර්මස්ථානයක් වඩා ලෝකෝත්තර කුණු සළාහැරීම  කරගත  යුතුය.  කාමරාග  හා  ව්‍යාපාද,  ද්වේෂය  සහමුළින්ම  ප‍්‍රහාණය  කර දැමීමෙන් මෝහයෙන් ද මිදී නිදහස් විය හැකිය. මෝහයෙන් මිදී නිදහස් වීම යනුද කාමරාග, පටිඝ, ව්‍යාපාද යන ගති ලක්ෂණවලින් මිදී නිදහස් වීම නිසා චිත්ත පාරිශුද්ධියට පත්වීමයි. මානය නැමති ලක්ෂණයත් අවිද්‍යාවත් සිතක් තුළ පවතින්නේ ආසව ක‍්‍රියාත්මක වීම නිසාමය. ආසව ඛය කර දමා ඛීණාසව තත්ත්වයට පත්වූ චිත්තයකින් අස්මි මානය, රූපරාග, අරූප රාග, උද්ධච්ච කුක්කුච්ච අවිද්‍යා යන සංයෝජන වලින් බැඳී කටයුතු කිරීමෙන්ද වැළකී නිදහස් වෙයි. මේ අනුව උද්ධම්භාගිය සංයෝජන වලින් සහමුළින්ම නිදහස් අරහත් තත්ත්වයට පත්වීමට උපකාර වන්නේ ආසව පිළිබඳ ඥාණයත් පහළ කරගෙන  ආසව සමුදය තේරුම්ගෙන ආසව නිරෝධ කිරිමට ක‍්‍රමය දැන ආසව නිරෝධගාමී මාර්ගය අනුගමනය කිරීමය. මේ ආකාරයෙන්ම ආසව අනිච්ච බව, දුක්ඛ බව, ආසව අනත්ථ බවද තේරුම් ගත යුතුයි. මේ ආසව පිළිබඳව වූ ති‍්‍රලක්ඛණය, ඥාණයන් ලෙසින් මතුවීමයි. කැමති සේ පැවැත්විය හැකි නැවැත්විය හැකි කිසිම ආසව කොටසක් නැති  බවත්  එසේ  කැමති  සේ,  ප‍්‍රිය  මනාප  සේ  පැවැත්විය  නොහැකි  සියලූ  ආසව, චිත්තසංථානයේ පැවතීම දුක ඇතිවීමට මුල්ම හේතුව බව දැක ගැනීමත් කැමති සේ පැවැත්විය නොහැකි දුකම උරුම කර දෙන ආසව, හේතුඵල ලෙසින් භාවිතා කරන තුරාවට තමාට අනාථ තත්ත්වයක් නියත ලෙසම උරුම වන බවත් යථාවබෝධයෙන් තේරුම් ගැනිීම ආසව පිළිබඳ වූ ත‍්‍රිලක්ඛණය අවබෝධ වීමයි.

ආසවඛ්‍යා ඥාණය පහළවීම යනු කොටස් හතකින් සම්පූර්ණ වූ ඥාණ හතක් පහළ වීමයි.

01. ආසව ලෙසින් දැන ගැනීමේ ඥාණය
02. ආසව සමුදය (සං උපත) දැන ගැනීමේ ඥාණය
03. ආසව නිරෝධ කිරීමේ ක‍්‍රියාවලිය පිළිබඳ ඥාණය
04. ආසව නිරෝධගාමී මාර්ගය ප‍්‍රතිපදාව අවසානය තෙක් අනුගමනය කිරීමේ ඥාණය
05. ආසව අනිච්ච බව දැක ගැනීමේ ඥාණය
06. ආසව දුක්ඛ බව දැනගැනීමේ ඥාණය
07. ආසව අනත්ථ (අනාථ) බව දැනගැනීමේ ඥාණය

මේ ඥාණ හත පහළ වීමත් සමඟම චතුරාර්ය සත්‍යයද සම්පූර්ණයෙන් අවබෝධ වී දුක්ඛෙ ඥාණං, දුක්ඛ සමුදයේ ඥාණං, දුක්ඛ නිරෝධ ඥාණං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඥාණං යන චතුරාර්ය සත්‍යාවබෝධයද සම්පූර්ණ වෙයි.

ආසව ඛය කර ගැනීමේ ඥාණය පහළ කර ගන්නට පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳ යම් දැනීමක්, තේරුමක් ඇති කර ගත යුතුය. ආසව චිත්තසංථානයේ පවතින තුරාවට සෑම පුද්ගලයෙකුම අවිද්‍යාවෙන් කටයුතු කරයි. අවිද්‍යා නාමරූප බිහිවීම, ඉන්ද්‍රියයන් අවිද්‍යා ක‍්‍රියාවලට  සම්බන්ධ  වීමට  හේතුවයි.  ඉන්ද්‍රියයන්  ආයතන  බවට  පත්වන්නේ  අවිද්‍යා සහගතව යමක් එකතු කරන නිසාමය. අවිද්‍යාවෙන් එකතු කරමින් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හා සංකල්පනා විඤ්ඤාණයේ ස්පර්ෂ වීම නිසා අවිද්‍යා සහගත වේදනා ඉපදීමත් සමඟම විඤ්ඤාණය තැනකට හාවීම සිදුවෙයි. අවිද්‍යාවෙන් තැනක යාවූ සිත එතැනම උපාදානය කරගෙන එතැන අල්ලා බදා ගනී. එයින් නොනැවතුණු සිත උපාදානය කරගත් අවිද්‍යා ගතිගුණයට භවට පත්වෙයි. මේ ජාති උපතයි.

 මේ අනුව  සළකා බලන  විට ආසව චිත්තසංථානයේ පවතින තුරාවට නිරන්තරයෙන්ම, නිරුත්සාහයෙන්ම අවිද්‍යා සහගත කර්ම බීජ උපදවා කර්මජ කෝෂයේ සටහන් කර ගැනීම විඤ්ඤාණයේ ආහාර සොයා යන ගමන් මඟට උපකාර වන හේතුඵල ක‍්‍රියාදාමයක්, හේතුඵල පරම්පරාවක් පැවැත්වීමයි. හේතුඵල පරම්පරාවක් සිතක් තුළ ක‍්‍රියාත්මක වන ආකාරය නිවැරදි ලෙසම තේරුම් ගත් පුද්ගලයෙකුට ඊට මුල් වූ පළමුවන හේතුව ආසව බවත් තේරුම් ගත හැකි වේ. ආසව ඛය කරගැනීමේ ඛීණාසව තත්ත්වයට සිත පත්කර ගැනීමෙන්ම හේතුඵල පරම්පරාවෙන්ද නිදහස් වී, මතු උපතක් ලැබීමෙන්ද ගැළවීමට ක‍්‍රියාකළ යුතු නිවැරදි ආකාරය ද කෙනෙකුට පහසුවෙන්ම තේරුම් ගත හැකි වනු ඇත.

හේතුඵල  පරම්පරාවක්  ක‍්‍රියාත්මක  වන්නේ  භව  චක‍්‍රයකට  අනුව  යැයි  පටිච්ච සමුප්පාද විවරණයක් ඉදිරිපත් කරමින් බොහෝ පොත්පත්වල වැරදි ආකාරයෙන් එය විග‍්‍රහ කර ඇත. ඒ සියලූ වැරදි විග‍්‍රහයන්ට මුල් වූයේ විශුද්ධි මාර්ගය පෙන්වා දුන් වැරදි මඟ ගුරු කොට ගෙන එයම අනුගමනය කර ඒ පොත් ලියූ නිසයි. හේතුඵල පරම්පරාවක් ක‍්‍රියාත්මක වන්නේ චක‍්‍රාකාරව රවුමට නොව ගඟක් ගලන්නාසේ ඉදිරියට යාමෙනි. කිසිසේත්ම එය චක‍්‍රාකාර නොවේ. අතීතයට ගිය හේතු ඵලයක් නැවත කිසිම දවසක ඒ ආකාරයෙන්ම  ආපසු  යළි  යළිත්  සිතක  මතු  නොවේ.  යම්  ආකාරයකින්  හේතුඵල පරම්පරාවක් වක‍්‍රාකාරයෙන් ක‍්‍රියාත්මක වේ යැයි කෙනෙකු නිගමනය කළහොත් කවම කවදාකවක් හේතුඵල පරම්පරාවෙන් ඉවත් වී නිවන් අවබෝධ කර ගැනීමක්ද සිදුකරගත නොහැකිය. හේතුවක් හෝ හේතු රාශියක් නිසා ඵලයකුත්, ඵලයම හේතුව කොට නැවත ඵලයකුත් ආදී වශයෙන් හේතුඵල පරම්පරාවක් එක දිගටම සිතේ ක‍්‍රියාත්මක වෙයි. අතීතයට ගිය හේතුව හෝ ඵලය මතු කිසිම ආකාරයකින් ඒ අයුරින්ම ඒ සිත තුල යළිත් මතු නොවේ.

ආසව  සිත  තුළ  ගබඩා  වී  පැවතීම  නිසා  සිදුවන්නේ  අලූත්  අලූත්  හේතුඵල පරම්පරාවක් නිරතුරුවම බිහිවීමයි. කෙනෙකු නිවැරදි ලෙසම තේරුම් ගත යුතු වන්නේ අතීත හේතුඵල පරම්පරාවක සම්බන්ධතාවයක් නොතිබුණේ නම් වර්තමානයක් හෝ අනාගතයක්ද ඇති වන්නට ඉඩ නැති බවයි. පටිච්චසමුප්පාද විග‍්‍රහයෙන් පෙන්වා වදාළ අංග එකොළහ අතරින් (ආසව, අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව) මොනයම් අංගයක් හෝ පිළිබඳව නිවැරදි ලෙස තේරුම් ගෙන ඊට අදාළ ඥාණ හතම තේරුම් ගත්තේ නම් ඒ සමඟම ආසවඛ්‍යයා ඥාණයද, චතුරාර්ය සත්‍යයන්ද පහළ වන්නේමය.

උදාහරණයක් ලෙස වේදනාව ගත්තොත් වේදනාව පිළිබඳ

1.        වේදනාව තතු පරිදි දැන ගැනීමේ ඥාණය
2.        වේදනාව සමුදය පිළිබඳ ඥාණය
3.        වේදනා නිරෝධ කිරීම පිළිබඳ ඥාණය
4.        වේදනා නිරෝධගාමී පටිපදාව පිළිබඳ ඥාණය
5.        වේදනා අනිච්ච බව දැකගතහැකි ඥාණය
6.        වේදනා දුක්ඛ බව දැකගත හැකි ඥාණය
7.        වේදනා අනත්ථ (අනාථ) බව දැකගත හැකි ඥාණය

යන වේදනා පිළිබඳව වූ මේ ඥාණ හත ලැබීම මගින් දුක්ඛෙ ඥාණං, දුක්ඛ සමුදයේ ඥාණං, දුක්ඛ නිරෝධ ඥාණං, දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ඥාණං යන චතුරාර්ය සත්‍යයද ලබන්නේය. වේදනාව පිළිබඳ මේ සඳහන් කළ ඥාණ හත ලැබීමට හේතුව ආසවඛ්‍යා ඥාණය පහළ වීමයි. වේදනාවට මුල්ම හේතුව ආසව සිතෙහි මතුවීම බව නිවැරදිවම තේරුම් ගැනීමයි. හේතුඵල පරම්පරාවට බැඳී වේදනා විඳින්නට හේතුව විඤ්ඤාණය ආසව මතු කරමින් විඤ්ඤාණය ආහාර සොයාගැනීමට දරණ උත්සාහය බව නිවැරදිව දැක ගැනීමයි.

මේ ආකාරයෙන් පටිච්චසමුප්පාද විග‍්‍රහයේ පෙන්වූ අංග එකොළහට අදාළ ඥාණ 77ක්ම පහළ වන්නේ ආසවඛ්‍යා ඥාණය පහළ වීමත් සමඟම බව තේරුම් ගත යුතුය. පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගැනීමෙන් අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයේ පෙන්වූ සංඛාර  නිරෝධයෙනුත්,  කුසලමූල  පටිච්චසමුප්පාද  විග‍්‍රහයේ  පෙන්වූ  පරිදි  කුණුසළා හැරීමට කටයුතු කිරීමෙනුත් පමණක් සහමුළින්ම ආසව ඛය කර දමා නිදහස නිවන, විමුක්තිය ලබාගත හැකි බව දැන් පැහැදිළිි ඇතැයි සිතමි.

බුදුපියාණන්වහන්සේ සබ්බාසව සූත‍්‍රය නමින් සූත‍්‍රයක් මූල පරියාය වග්ගයෙහි, මූලපරියාය සූත‍්‍රයට පසුව දෙවැනිව ඉදිරිපත් කළේ මෙම ආසව ප‍්‍රහාණය කිරීමම නිවන් මඟට උපකාරවන එකම ක‍්‍රියාවලිය බවද පෙන්වා දීමටයි. මූලපරියාය වග්ගයෙහි ඉදිරිපත් කළ සබ්බාසව සූත‍්‍රය සියලූ ආසව ප‍්‍රහාණය කර පහාතබ්බා කරගත යුතු බව පෙන්වා දුන් පසුවත් සූත‍්‍ර පිටකයේ විවිධ තැන්වල තවත් සුත‍්‍ර ධර්ම 30 කට වැඩි ගණනකම සබ්බාසව සූත‍්‍රයේ පෙන්වා වදාළ කරුණුම විස්තර ලෙසින් විග‍්‍රහකර එකින් එක පැහැදිළි කර දුන්නේ ආසව ඛයකර ගැනීමේ ඥාණය, දැනුම, අවබෝධය නිවන් මඟට අත්‍යාවශය දෙයක් බව දුටු නිසාමය.

සබ්බාසව සූත‍්‍රයට අමතරව මූලපරියාය වග්ගයේම සල්ලේඛ සූත‍්‍රය යැයි ඉතා වැදගත් සූත‍්‍ර දේශණාවක් ඉදිරිපත් කරමින් ආසව නැවතත් වෙනත් ආකාරයකින් බෙදා විග‍්‍රහ කළහ.

1.        සල්ලේඛ පරියායෙන් ප‍්‍රහාණය කළ යුතු ආසව
2.        චිත්තුපාද පරියායෙන් ප‍්‍රහාණය කළ යුතු ආසව
3.        පරිකම්මත පරියායෙන් ප‍්‍රහාණය කළ යුතු ආසව
4.        උපරිභාව පර්යායෙන් ප‍්‍රහාණය කළ යුතු ආසව
5.        පරිනිබ්බාණ පරියායෙන් ප‍්‍රහාණය කළ යුතු ආසව

යැයි කොටස් පහකට බෙදා, විග‍්‍රහ කර පෙන්වා වදාළහ. කෙළෙස් 1500ක් යැයි බෙදා වෙන්කර පොත්වල පසුකාලයෙහි ලියා දැක්වූයේ මෙම සල්ලේඛ සූත‍්‍ර දේශණාවෙන් පෙන්වා වදාළ කෙළෙස් දස දහස් ගණනක් 1500කට ගොනු කිරීමෙනි. සල්ලේඛ සූත‍්‍ර දේශණාවෙන් කරන ලද ආසව විග‍්‍රහය මහසයුර මෙන් ගැඹුරු බවත්, පරක් තෙරක් නොපෙනෙන බවත් එහිම පෙන්වා වදාරා ඇත.

ධර්මය පිළිබඳව ගැඹුරින් තේරුම්ගත් කෙනෙකුට මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය වග්ගයෙහි එන සූත‍්‍ර ධර්ම දහයෙන්ම විවිධ පැතිකෝණ වලින් දැකගත හැකි වන්නේ ආසව ඛය කර ගන්නට ඒ සූත‍්‍රධර්ම හැම එකකින්ම සෘජු ලෙසම මඟ පෙන්වා දී ඇති බවයි. ඉන් ඉදිරියට මුළු සූත‍්‍ර පිටකයෙහි ඉදිරිපත් කර ඇති සෑම සුූත‍්‍ර‍්‍ර ධර්මයක්ම විග‍්‍රහ කර, විස්තර කර ඉදිරිපත්  කර  ඇත්තේ  මූළිකව  ගෙනහැර  දැක්වූ  මූළික  කරුණු  සාක්ෂාත්  කරගන්නට උපකාර කරගත හැකි විවිධ ධර්ම කාරණාවෝමය.

සියලූ ආකාර වූ ධර්ම කාරණාවෝ අසා, කියවා යම් කෙනෙකු තේරුම්ගත යුතු වන්නේ තමා ගැනම, තම පැවැත්මට මුල් වූ, හේතු වූ (සමුදය) කරුණු ගැනමය. තමාට දුක උරුම වූයේ තමා දුක්විඳින්නේ සංසාර ගමන දිගින් දිගටම පවත්වන්නට හේතුව කුමක්ද යන්න තේරුම් ගැනීමයි. විඤ්ඤාණය තම ආහාර සඳහා ”ආසව” එකතු කිරීම, ආසව ගබඩා  කිරීම,  ආසව  භාවිතා  කිරීම,  ආසව  පරිභෝග  කිරීම  හැර  වෙනත්  හරයක්, වටිනාකමක්, අර්ථයක් ඇති කිසිවක් මේ ජීවත් වීමේ නැත. මේ නිවැරදි දර්ශනය දැකගත හොත් දස්සනේන සම්පන්න වුවහොත් පමණක්ම ආසව ප‍්‍රහාණය කර, අසාව සළාහැර, ඛීණාසව තත්ත්වයට සිත පිරිසිදු කරගතහොත් විඤ්ඤාණයට ආහාර හිඟවී, ආහාර නැතිවී විඤ්ඤාණය මියැදී යනු ඇත.

පුද්ගලයෙකුට ආහාර පාන නැතිව ජීවත් විය හැකි වන්නේ උපරිම දින හතකි. මේ  ආකාරයෙන්ම විඤ්ඤාණයට ආහාර පාන දෙකම ලබාදීම සහමුළින්ම නවතා දමා දින හතක් විඤ්ඤාණය  නිරාහාරව තබන්නට හැකි ශක්තිය, උත්සාහය ලැබුණොත් විඤ්ඤාණය මියැදී, යළි කවදා හෝ උපතක් ලබන්නට නොහැකි තත්ත්වයක් නැති වී අක‍්‍රීය වී යනු ඇත. විඤ්ඤාණය මියැදුණු පසු චිත්ත තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වන චිත්තය ලෝකය තනන්නට කටයුතු නොකරන නිසා නිවන, විමුක්තිය අත් කර ගන්නේය.

                          සියල්ලන්ටම ආසවඛ්‍යා ඥාණයම පහළවේවා!

Share Button

සබ්බාසව සූත්‍රය

සතර මඟ සතර ඵලයන්ට පත්වීමෙන් නිවන් අවබෝධ කර ගැනීම යනු මෙතෙක් කලක් විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වූ තම සිතින්ම පූර්ණ ලෙස මිදී නිදහස්වී චිත්ත පාරිශුද්ධත්වයට පත්වීමයි. අනන්ත අප‍්‍රමාණ වූ කාලයක් විඤ්ඤාණ තත්ත්වයෙන්ම ක‍්‍රියාත්මක වූ තමාගේ සිත පිළිබඳව මනා ලෙස තේරුම්ගෙන විඤ්ඤාණය හැසිරෙන ආකාරය පිළිබඳ යථා පරිදි දැන හඳුනාගෙන විඤ්ඤාණ තත්ත්වයෙන් පවතින තමන්ගේම සිත උපකාර කරගෙන ඒ විඤ්ඤාණ තත්ත්වයෙන් මිදී නිදහස් වීම නිවන් අවබෝධයයි. මේ  සඳහා  වෙනත්  සිතක්  පහළ  වන්නේ  ද  නැත.  මිනිසකු  ලෙස  උපත  ලැබූ  මේ ආත්මභාවයේදීම මනස මෙහෙයවා, මනසින් කල්පනා කර,උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් යථා පරිදි සම්පූර්ණ කරගෙන තමාම තමාගෙන් මිදී නිදහස් වීම නිවන් අවබෝධ කර ගැනීමයි.

මම, මගේ ආත්මය යැයි දැඩිව ගත් සත්ත්ව, පුද්ගල දෘෂ්ඨියකට පත්වීමෙන් ඇතිවන, නැතිවන, එකතු කරන, එකතු කළ දේ ගෙවී යන නියත හැසිරීම් රටාවකට එකම හේතුව කිළිටි වූ සිතින් නිරතුරු චිත්තජ ශක්තීන්, විඤ්ඤාණ ශක්තීන් (බීජ) එකතු කර ගබඩා කිරීමයි. මේවාට අපි කර්ම බීජ යැයි ද නම් කරමු. මේ ආකාරයෙන් විඤ්ඤාණ එකතු කරන විඤ්ඤාණ ශක්තීන් (බීජ) හොඳ, යහපත් හෝ නරක, අයහපත් ආකාරයේ ඒවා විය හැකිය. ඒවා අපි පින් පව් අකුසල් යැයි නම් කරමු. ඒවා කිනම් ආකාරයක හෝ චිත්තජ ශක්තීන් වුවත් මෙම බීජ සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යාමට පමණක් නියත වශයෙන්ම හේතු කාරක වෙයි.

හොඳ, නරක, පින්, පව්, අකුසල් යැයි අප නම් කරන ලෝභ, අලෝභ, ද්වේෂ, අද්වේෂ, මෝහ, අමෝහ යන ගති ලක්ෂණයන් මිස වෙනත් කිසිම ආකාරයක චිත්තජ ශක්තියක්,  කර්මජ බීජයක්  කිසිම සත්ත්වයෙකුට,මිනිසෙකුට,දෙවියෙකුට හෝ ප‍්‍රාණියෙකුට තම විඤ්ඤාණයෙන් නිපදවීම එකතු කර ගැනීම කළ නොහැකිය. සංඛාර කරමින් ”සං” එකතු කර, චිත්තසංථානයේ තැන්පත් කර ගැනීමේ ක‍්‍රියාවලිය මේ ඉහත දැක්වූ  ගතිගුණ  එකතු  කිරීමයි.  ජීවත්වන  හැම  සත්ත්වයෙකුගේම,  ප‍්‍රාණියෙකුගේම, භූතයෙකුගේම,  දෙවියෙකුගේම  විඤ්ඤාණයේ  එකම  රාජකාරිය  නිරතුරුවම  මෙවන් චිත්ත ශක්තීන් (බීජ) එකතු කරමින් ඒවා චිත්තසංථානයේ ගබඩාකර, භාවිතයට ගතහැකි ලෙස පවත්වාගෙන යාමයි. මෙලෙස එකතුකළ ගබඩා කළ චිත්තජ ශක්තීන් (බීජ) ඵල විපාක දීමෙන් මතු මතුත් උපතක් බිහිවෙයි. කර්මජ බීජ චිත්තසංථානයේ පවතින තුරාවට මතු උපතක්ද නියත ලෙසින්ම අනිවාර්යයෙන්ම ඇතිවෙයි.යම් මිනිසෙකු චිත්තසංථානයේ    ගබඩා  වී  පවතින  චිත්තජ  ශක්තීන්, කර්මජ බීජ සළාහැර යම් ක‍්‍රියාමාර්ගයකින්  අවසන්  කරගත  හොත්  ඒ  මිනිසාට  මතු  උපතක්  ලැබීමට  කිසිම ආකාරයකින් හේතුවක් ද නැත. චිත්තජ ශක්තීන් අලූතින් එකතු කිරීමද නවත්වා අතීතයේ එකතුකර ගබඩාකර ගත් කර්මජ බීජ ද සම්පූර්ණයෙන්ම සළාහැර ශුද්ධ පවිත‍්‍රවීමෙන් ම මතු උත්පත්තිවලින් ද නියත වශයෙන්ම වැළකිය හැකිවෙයි. එයම නිවන් අවබෝධයයි.

බුද්ධ ධර්මයේ කෙළෙස් ලෙස කුණු ලෙස පෙන්වා වදාළ මෙම කර්මජ බීජ,චිත්තජ ශක්තීන්, පින් හෝ පව් යන කුමන ආකාරයේ ඒවා වුවත්, නියත වශයෙන්ම ඒවා සංසාර ගමන දික්කරන සංසාර සාගරයේ සත්ත්වයා අතරමං කරන විඤ්ඤාණයේම ආහාර ලෙස භාවිතා කල හැකි දේවල්ය.

හැම පෘථග්ජන පුද්ගලයෙකුම විඤ්ඤාණයෙන් කටයුතු කරනතාක් කල් මෙසේ තමන්ම එකතුකර, ගබඩාකර ගත් කර්මජ ශක්තීන් නිසා සංයෝජන දහයකින්ම සංසාරයට බැඳී සංසාර ගමන යයි. ඒ බැඳුනු බැමිවල යම්කිසි සාරවත් බවක්, වටිනාකමක්, සුරක්‍ෂිත බවක් දකිනා නිසාම තව තවත් ඒ බැමි දහයම තදකර ගැනීමට, සියලූ ආකාර වූ ලෞකික ක‍්‍රියාකාරකම් ද කරති. මේ බැමි දහයම ඒ ඒ සත්ත්වයාම, පුද්ගලයාම, තම තමන්ගේ කැමැත්තෙන්ම, චන්දරාගයෙන්ම එකතුකරගත්, බැඳගත් බැමිය. පෘථග්ජන පුද්ගලයෙකු උපන්දා පටන් මරණ මොහොත දක්වාම හැම උත්සාහයක්, වීර්යයක්ම ගන්නේත්, හැම දුකක්ම විඳින්නේත්, පව්කම්, පින්කම් කරන්නේත් මේ බැමි දහයම තව තවත් තරකර, මතු උපතක් ලැබීම සහතික කර, විඤ්ඤාණ පැවැත්ම සුරක්‍ෂිත කර ගැනීමේ එකම බලාපොරොත්තුවෙනි. එවැනි බලාපොරොත්තු පැවැත්වීම විඤ්ඤාණයේ නියත ගති ලක්ෂණයයි. එයම අවිද්‍යාවයි, තණ්හාවයි.

මේ සංයෝජන දහයම, බැමි දහයම බැඳී ඇත්තේ ඒ ඒ සත්ත්වයාගේ, පුද්ගලයාගේ සිත තුළමය. විඤ්ඤාණ තත්ත්වයේ පවතින සිතෙහිමය. මේ අනුව මේ සංයෝජන දහයෙන් මිදීම මිදී බැමි දහයම ගළවා ලෙහා දමා නිදහස් විය යුත්තේද තම සිතෙන්මය. එසේ නිදහස් විය හැකි වන්නේත් ඒ ඒ සත්ත්වයාටමය. මිනිසෙකු ලෙස මනසක් ලැබ උපත ලත් මේ ආත්මභවයේ දී මේ පිළිබඳව අසා දැන තේරුම් ගෙන ලබාගත් යථාවබෝධයෙන්ම ක‍්‍රියාකල හොත් නිවන් අවබෝධ කර ගැනීම යනු පැතුමකට සීමා කර, කල් දැමිය යුතු දෙයක් නොව අද තමා තමාටම අත්විඳ ගතහැකි සත්‍යයකි. මිනිසෙකුට හැර වෙනත් කිසිම ප‍්‍රාණියෙකුට, සත්ත්වයෙකුට මේ උතුම් ධර්මය අසා දැන තේරුම් ගෙන ඒ අනුව ප‍්‍රතිපත්ති පුරා කටයුතු කරන්නට හැකි ආකාර වූ මනසක් ලබා ඔවුන් උපත ලබා නැත. මේ අනුව මිනිසත් බවටම උරුම වූ ශක්තිය මේ හැකියාව ප‍්‍රායෝජනයට ගෙන උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් අප‍්‍රමාදව අසා දැන තේරුම් ගන්නටම මිනිසත් බවෙහි ජීවත් වන සුළු කාල පාරාසේදී උපරිම ලෙස උත්සාහ කළ යුතුය.

හැම මිනිසෙකුටම මනසින් කල්පනා කර, මනස මෙහෙයවා, තේරුම්ගත හැකි ආකාරයෙන් බුදුපියාණන් දේශණා කර වදාළ නිවන් මාර්ගය අනුපුබ්බංගම වූ මාර්ගයකි. එනම්  ක‍්‍රමානුකූලව  අනුගමනය  කළයුතු  අනුපූරක  මාර්ගයකි. අද  බොහෝ  දෙනෙකු විශේෂයෙන්ම බෞද්ධයින් යැයි කියා ගන්නා අය මේ අනුපුබ්බංගම නිවන් මාර්ගයේ මුල, මැද, අග නිවැරදිව තේරුම් ගෙන කටයුතු කරන බවක් නම් පෙනෙන්නට නැත. කුමක් හෝ කරන්නන් වාලේ කරනු මිස බුදුපියාණන් දේශණාකර වදාළ නිවැරදි නිවන් මඟ අනුගමනය නොකරන හේතුව නිසාම සංසාරයේ අතරමං වීමට කටයුතු කරති. උතුම් මිනිසත් බව ලබා උපන් මේ අවස්ථාවෙන් නිසි ඵල ප‍්‍රයෝජන ලබාගන්නට දැනුමක් තේරුමක් නැතිවම කාලය අපතේ යවති. මේ නිසාම නිවන් දැකීම යනු අද බෞද්ධයින්ගේ පැතුමකට පමණක්ම සීමා වූ දෙයකි.

නිවන් දැක ගන්නට, නිවන් අවබෝධ කර ගන්නට මේ මිනිස් ආත්මභාවයේදීම යම් මිනිසුන් පිරිසක් අවංකවම කටයුතු කරයි නම් ඒ අයගේ දැන ගැනීම සඳහා ඒ අයට මඟ අනුගමනය කර, නිවන නිදහස අත්විඳ ගැනීම සඳහා මඟ පෙන්වීමක් කිරීමට බුදුපියාණන් සූත‍්‍ර ධර්ම කිහිපයකම දේශණාකර වදාළ අනුපුබ්බංගම නිවන් මාර්ගය නිවැරදිව පැහැදිළි කර දීම අපේ යුතුකමක් සේ සළකමු.

සබ්බාසව සූත‍්‍රය කවුරුත් අසා ඇති ඉතාමත් සරළ ලෙස නිවන් මඟ පියවරෙන් පියවර විස්තර කළ මජ්ක්‍ධිම නිකායේ මුළින්ම ඉදිරිපත් කල සූත‍්‍රයකි.

සබ්බාසව සූත‍්‍රයට අනුව, අංග හතක් අනුපිළිවෙලින් සම්පූර්ණ කරගත යුතුයි.

01.      ආසවා දස්සනා පහාතබ්බා
02.      ආසවා සංවරා පහාතබ්බා
03.      ආසවා පටිසේවනා පහාතබ්බා
04.      ආසවා අධිවාසනා පහාතබ්බා
05.      ආසවා පරිවජ්ජනා පහාතබ්බා
06.      ආසවා විනෝදනා පහාතබ්බා
07.      ආසවා භාවනා පහාතබ්බා යන

මේ අනුපූරක නිවන් මාර්ගයයි.

මේ අනුපූරක නිවන් මාර්ගය තවත් තැනක සංයෝජන දහයකින් මිදීමේ මාර්ගයක් ලෙසද පෙන්වා වදාරා ඇත.

01.      සක්කාය දිට්ඨියෙන් මිදී නිදහස් වීම.
02.      විචිකිච්චාවෙන් මිදී නිදහස් වීම.
03.      සීලබ්බතපරාමාසයෙන් මිදී නිදහස් වීම.
04.      කාම රාගයෙන් මිදී නිදහස් වීම.
05.      ව්‍යාපාද පටිඝයෙන් මිදී නිදහස් වීම.
06.      රූප රාගයෙන් මිදී නිදහස් වීම.
07.      අරූප රාගයෙන් මිදී නිදහස් වීම.
08.      මානයෙන්, මඤ්ඤතාවෙන් මිදී නිදහස් වීම.
09.      උද්ධච්චයෙන්, කුක්කුච්චයෙන් මිදී නිදහස් වීම.
10.      අවිද්‍යාවෙන් මිදී නිදහස් වීම.

යනුවෙන් දේශණාකර වදාළේ ද, දස සංයෝජනවලින් ද අනුපිළිවෙළටම නිදහස් විය යුතු බව පෙන්වා දීමටයි. තවත් සූත‍්‍ර දේශාණවකදී සුනේථ, ධාරේථ, චරාථ යනුවෙන් පියවර තුනක් පෙන්වා වදාරා ඇත.

සංච්ච විභංග සූත‍්‍රයේත්, මහා චත්තාරෝ සූත‍්‍රයෙත්, ධම්මචක්කපවත්වන සූත‍්‍රයේත් දේශණා කර පෙන්වා වදාළ පරිදි චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ද අනුපිළිවෙලටම අනුපුබ්බංගම  නිවන්  මාර්ගය  ක‍්‍රමානුකූලව  අනුගමනය  කිරීමෙන්  පමණක්  සම්පූර්ණ කරගත යුතු බව පැහැදිළිවම පෙන්වා වදාරා ඇත.

මේ ලෙසින් ප‍්‍රකාශ කර පෙන්වා දුන් අනුපුබ්බංගම නිවන් මාර්ගය අද බොහෝ ගිහි පැවිදි අය දන්නවා යැයි සිතා සිටියත් ඒ අය ක‍්‍රියාකරන ආකාරයෙන් නම් පෙනෙන්නේ පළමු පියවර අතහැර, දෙවන තුන්වන පියවරයන් හෝ අගටම පෙන් වූ පියවර හෝ අනුගමනය කරනු මිස පළමු පියවර ගැන සිතා බලන්නටවත් ශක්තියක් ලැබී නැති බවයි.

හැම සූත‍්‍ර දේශාණවකදීම පැහැදිළිව පෙන්වා දුන් ආකාරයට මුල්ම පියවර වන්නේ දස්සනේන සංපන්න වී, දස්සනේන පහාතබ්බා කිරීමයි. මෙයම සුනේථ අසා දැනගත යුතුදේ ලෙසින් ද, ”ධම්මෝ සංදිට්ඨිකෝ” යනුවෙන් ධර්මානුකූලව ”සං” දැක ගැනීම ලෙසින් ද, ”සම්මා දිට්ඨි” ලෙසින් ”සං” වලින් සම්පූර්ණ ලෙස මිදෙනා ආකාරය අසා

දැනගත යුතු බවද ඉතා පැහැදිළිවම දේශණාකර ඇත.

”යෙ ධම්මා හේතුප්පබවා
තේ සං හේතුං තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ
ඒවා වාදී මහා සමණෝ”

හේතුඵල ධර්මය ”පටිච්චසමුප්පාද ධර්මය” ඉදපච්චයතාවය යන නම් වලින් බුද්ධ භාෂිතයේ  පෙන්වා  වදාළ  ”සං”  (එකතුකිරීමේ)  ක‍්‍රියාවලියට  මුල්  වූ  හේතුඵල  ධර්මය පිළිබඳව තේරුම් ගෙන ”සං” නිරෝධ කිරීම ඒ භගවත් ශ‍්‍රමණයන් වහන්සේගේ දේශණාව වන බව මෙයින් මනා ලෙස ප‍්‍රකාශ වෙයි. ඒ අනුව ”දස්සනේන පහාතබ්බා” යන පළමුවන පියවර සම්පූර්ණ කර ගැනීම සඳහා,

01. හේතුඵල ධර්මය,පටිච්චසමුප්පාද ධර්මය නිවැරදිව අසා තේරුම් ගැනීම.

02. ද්වතාවය-සංඛතයකම  –  හැම  සංකල්පනාවකම  ඇති  අන්ත දෙක, දෙපැත්ත දැක ගැනීමේ ශක්තිය ලැබීම.

03. අනිච්ච, දුක්ඛ,  අනත්ථ යනුවෙන් දේශණාකර  වදාළ  ති‍්‍රලක්ඛණය නිවැරදිව තේරුම් ගැනීම.

යන පියවර තුන පළමුකොට සම්පූර්ණ කරගැනීමෙන් චතුරාර්ය සත්‍යය අවබෝධය සඳහා පදනම දමා ගැනීමයි. මේ කරුණු ගැන අසා දැන මනා අවබෝධයක් ලැබීමෙන් ම, සක්කාය දිට්ඨීයෙන් මිදී, විචිකිච්ඡාවෙන් මිදී, සිලබ්බත පරාමාසයෙන් ද වෙන් වී සෝවාන් මාර්ග ඵලයට පත්වීම සිදුවෙයි.

හේතුඵල ධර්මතාව අසා දැන තේරුම් නොගෙන ද්වතාවය නැමති පැවැත්මෙහි ඇති නැතිවෙන අන්ත දෙක තේරුම් නොගෙන මේ සංසාර ගමන නැමති රිය ගමන ගැන හෝ මෙහි නියත ස්වභාවය වූ අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ත‍්‍රිලක්ඛණය ගැන හෝ නිවැරදිව තේරුම් ගත නොහැකිය. මේ කරුණු තුන පිළිබඳව යම්කිසි යථාවබෝධයක් ලැබීමෙන් ම පමණක් චතුරාර්ය සත්‍යයේ මූලික අංගයන් ද එනම් දුක්ඛ සත්‍යයද අවබෝධ කරගත හැකිවෙයි.

ජීවිත කාලයක් තුළම සිල් රැකීම හෝ සිල් වතක් සමාදන් වීම හෝ ධූතාංගයන් රැකීම මෙන්ම මුළු ජීවිත කාලයම භාවනා කිරීමෙන් කාලය ගෙවා දැමීමත්, ‘‘දස්සනේ පහාතබ්බා’’ යන මුල් පියවර සම්පූර්ණ කර ගැනීමක්් නම් සිදු නොවේ. පළමු පියවර ලෙසින් පෙන්වා වදාළ දස්සනේන පහාතබ්බා සම්පූර්ණ කරනොගෙන නිවන් අවබෝධයද සිදු නොවන බව හැම බෞද්ධයෙකුම නිවැරදිව තේරුම් ගත යුතුය. සීල, සමාධි, ප‍්‍රඥා යනු නිවන් මගේ ප‍්‍රධාන අංගයෝයි. සංවරවීම, සංසිඳුවීම, සම්මාවීම යනු ද මේ ප‍්‍රධාන අංගයෝ තුනම වෙන වචනවලින් සම්පූර්ණ කිරීමකි. මේ අංග තුනම සම්පූර්ණ කරගත හැකි වන්නේ ”සං” දැකගත හැකි වුවහොත් පමණි. ”දස්සනේන සංපන්නෝ”යනුවෙන් ද ”ධම්මෝ සංදිට්ඨිකෝ” යනුවෙන් ද ”සම්මා දිට්ඨිය” යනුවෙන් ද ”සුනේථ”යනුවෙන් ද බුද්ධ භාෂිතයේ ප‍්‍රකාශකර පෙන්වා වදාළේ ”සං” දැක ”සං” තේරුම් ගැනීම ”සං” එකතුකර ගන්නා ආකාරය නිවැරදිව දැක ගැනීමෙන් ම සංවර වී, සංසිඳවා, සම්මා වී නිවන් අවබෝධය කරගත හැකි බව පෙන්වා දීමටයි.

පරම පවිත‍්‍ර සිරි සද්ධර්මය කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන්ම ඇසා දැන ”සෝතාවධානේ පඤ්ඤා සුතමයේ ඥාණං” යන තත්ත්වයට පත්වී, පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලැබීමටත්, සෝතාපන්න මාර්ග ඵලයට පත්වීමටත් මිනිසෙකුට උපකාරවන දස්සනේන පහාතබ්බා වීම පළමුවන පියවරයි.

 ත‍්‍රිපිටකය හෝ වෙනත් බෞද්ධ ඉතිහාසය පොත් පත් හෝ කියවා ඇති හැම මිනිසෙකුම තේරුම්ගත යුතු වැදගත්ම දෙයක් නම් එදා බුදුපියාණන් වැඩසිටි කාලයේත්, අරහතුන්  වහන්සේලා  වැඩසිටි  යුගයේත්  බුදුපියාණන්  හමුවට  ආ  දස  දහස්  ගණන් විවිධාකාර මිනිසුන්ට බුදුපියාණන් මුලින්ම පන්සිල් සමාදන් කරවීමක් හෝ තිසරණයෙහි පිහිටුවීමක් හෝ නොකළ බවයි. මිනිස්සු බුදුපියාණන් ඉදිරියේ වැඳ නමස්කාර කර, එකත්පසව ඉඳගෙන, පරම පවිත‍්‍ර ධර්මයම ශ‍්‍රවණය කළහ. පැයක් දෙකක් ධර්මය ශ‍්‍රවණය කළ බොහෝ මිනිසුන් එතනින් නැගිට්ටේ සෝවාන් මාර්ගඵලයට ද පත්වීමෙන්ය. මේ මාර්ගඵලයට පත්වීම සිදු වූයේ දස්සනේන සම්පන්නෝ වීම නිසාම මිස සිල් රැකීමෙන් හෝ භාවනා කිරීමෙන් කර්මස්ථාන වැඞීමෙන් නම් නොවේ. බුදුපියාණන් මිනිසුන්ට දේශණා කර වදාළේ හේතුඵල ධර්මය, ද්වතාවය හා ත‍්‍රිලක්ඛණයයි. මේ මූලික කරුණු තුන පැහැදිළි කර දුන් පසුව ලැබූ ධර්මාවබෝධය නිසාම සෝවාන් මාර්ගඵලයට පත්වීම සිදුවිය. උපමා කතා, උපහැරණ කතා, චරිත කතා මෙන්ම විවිධ පරිවාර කතාද ගෙනහැර දැක්වූයේ හේතුඵල ධර්මය, ද්වතාවය, ත‍්‍රිලක්ඛණය විග‍්‍රහකර විවරණය කරදීම සඳහාමය.

හේතුඵල ධර්මය දේශණා කිරීමෙන් ද, ද්වතාවය පෙන්වා පැහැදිළි කර දීමෙන් ද, අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ත‍්‍රිලක්ඛණය පැහැදිළි කරදීමෙන් ද බුදුපියාණන් පෙන්වා වදාළේ  මේ  ලෞකික  පැවැත්මෙහි,  ජීවත්වීමෙහි  ඇත්ත  ස්වරූපය,  සත්‍ය  ස්වභාවය, යථාභූතඥාණයෙන් මූලික කරුණු පහදා දීමයි. මේ පැවැත්ම තුළ, ජීවත්වීම තුළ, අතරමංවී, මංමුළාවී, සැප ප‍්‍රිය මධුර දේම සොයායමින්, දුකම උරුම කරගන්නා දුක්ම විඳිමින්, සංසාර රිය ගමනක් යනවා මිස වෙනත් අර්ථයක්, වටිනාකමක් ඇති යමක් නොකරන බව පෙන්වා පැහැදිළි කරදීමට ම ධර්මය දේශණා කළ සේක.

මේ සංසාර ගමන, රිය ගමනට හේතුකාරක වූ තමන්ගේම හැසිරීම් රටාව නිවැරදිව තේරුම්ගත් මොහොතේ පටන්ම තමන්ම සාරයි කියා මෙතුවක් කල් තම කැමැත්තෙන්ම එකතු කළ ඒ හේතුන්ගේම චිත්ත ශක්තීන් නිපදවීමෙන්ම කර්මජ බීජ රැස්කිරීමෙන් ම නිදහස් වීමට  ඕනෑකමක්, ශක්තියක්, හැකියාවක් අවබෝධයක් ලැබීම අරිය මාර්ගයට සම්ප‍්‍රාප්ත වීමයි.

නිවන් අවබෝධ කරගන්නට උපකාර වන උතුම් පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය නිවැරදිව අසා දැනගත හැකි වන්නේ කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන්ම පමණි. කළ්‍යාණ මිත‍්‍රයා යනු කෙළෙස් කුණු සළාහැර, කළු නසන්නට මඟ කියා පැහැදිළි කරදෙන උත්තමයායි. කුණු සළාහැර, කෙළෙස් නසා හැර, කුණු එකතු කිරීමෙන් ද, කුණු භාවිතා කිරීමෙන් ද වැළකී, පාරිශුද්ධතාවයට පත්වන්නට තවත් මිනිසෙකුට නිවැරදිව මඟ කියා පැහැදිළි කර විග‍්‍රහ කරදිය හැකි වන්නේ කළ්‍යාණ මිත‍්‍රයෙකුටම පමණි. අප‍්‍රමාණ දුක්විඳින ලෝක සත්ත්වයා කෙරෙහි හටගත් අනුකම්පාවෙන්ම ඒ ලෝක සත්ත්වයා විඳින දුක් දැක ඒ දුකෙන් ඔවුන්වත් නිදහස් කිරීමේ එකම බලාපොරොත්තුවෙන් නිවන් මඟ කියා පැහැදිළි කරදිය හැකි වන්නේ  ඒ  මඟ  අත්විඳ  ගත්,  මඟනැණ  පහළ  වූ,  පූර්වභාග  නුවණ  පහළ  වූ  අරිය උත්තමයෙකුට ම පමණි.

මේ සංසාර රිය ගමන පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැකගත් රිය අරිය කළ අරිය උත්තමයෙකුටම පමණක් අනෙකුත් පෘථග්ජන මිනිසුන්ටත් කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබාදීමටත් පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලබාදීමටත් පරම පවිත‍්‍ර සිරි සද්ධර්මය කියා පැහැදිළි කර නිවැරදිව තේරුම් කර දෙන්නටත් ශක්තිය හා හැකියාව ඇත. එවන් උත්තමයෙකු ලෞකිකත්වයේ ඇති නිසරු බව, නොවටිනා බව, අනාථ බව, අනිච්ච බව, නිවැරිදිවම තේරුම්ගෙන ඇති නිසා ලෞකිකත්වය සංවර්ධනය කිරීම සඳහා හෝ වෙනත් ලෞකික යහපතක් පිණිස හෝ යමක් දේශණා නොකරති.

කළ්‍යාණ මිත‍්‍රයෙකු ලෙසින් අනිකුත් ලෝක සත්ත්වයාට ධර්මය දේශණා කරන්නේ කිසියම්  ආකාරයකින්  තමන්ට  ආපසු  යම්  ප‍්‍රතිලාභයක්  බලාපොරොත්තුවෙන්  හෝ වචනයකින්වත්  කිර්තියක්,  ප‍්‍රශංසාවක්,  ප‍්‍රසිද්ධියක්,  බලාපොරොත්තුවෙන්  හෝ  රජ සිටුවරු සතුටු කිරීම පිණිස හෝ වෙනත් ලෞකික, භෞතික වශයෙන් ලැබිය හැකි කිසියම් ප‍්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් හෝ නොවේ. චතුරාර්ය සත්‍යය අවබෝධකරගත් එවැනි අරිය උත්තමයෙකු උතුම් බුද්ධ ධර්මය දේශණාකර ලෝකයාට පැහැදිළි කර දෙන්නේ තමන් අවබෝධකරගත් සත්‍යයන් පින්වත් දෙව් මිනිසුන්ට ද අවබෝධ කර දී නිවන් මඟ හෙළි පෙහෙළි කරදීමේ පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලබාදීමේ එකම බලාපොරොත්තුවෙනි.

පොතපත කියවාගත් උගත්කමෙන් හෝ තවත් කෙනෙකුගෙන් අසා දැන කියාගත් දේ අනුව හෝ පෘථග්ජන පුද්ගලයෙකු කරනු ලබන දේශණාවකින් තවත් පෘථග්ජන පුද්ගලයෙකුට කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියක් නොලැබෙයි.පරතෝඝෝෂක ප‍්‍රත්‍යයද නොලැබෙයි. පොත පත කියවා හෝ උගතුන්ගෙන් අසා දැනගත් දේ අනුව හෝ කරනුලබන දේශණා අනුමානයෙන්ම කරන දේශණා මිස ප‍්‍රකාශ මිස තමන්ම අත්විඳගත්, අත්දැකගත් සත්‍යයයන් ප‍්‍රකාශ කිරීම නොවේ. මේ ලෞකිකත්වය තුළම යම්කිසි වෙනස්කමක් ඇති කරගන්නට   සුගතියට පත්වන්නට ඒවා  උපකාර වුවත්, ලෞකිකත්වයෙන් මිදී ලෝකෝත්තර තත්ත්වයට පත්වන්නට නම් ඒවා උපකාර නොවේ.

බාහිර පෙනුමෙන්, හැසිරීමෙන් හෝ ගිහි පැවිදිකම නිසා හෝ අරිය උත්තමයෙකු හා පෘථග්ජන පුද්ගලයෙකු අතර ඇති වෙනස බාහිර ලෝකයට පහසුවෙන් තේරුම් ගන්නටද අපහසුය. නිවන් අවබෝධ කර ගන්නට අවංකවම උත්සාහ දරණ නිවන් මඟ සොයන කෙනෙකුට අරිය උත්තමයෙකු තෝරා බේරා හඳුනාගත හැකි වන්නේ ඔහු දේශණා  කරන  ධර්මය  ඇසුරෙන්ම  පමණි.  නිවන්  අවබෝධ  කරගන්නට  අවංකවම උත්සාහ  නොකරන  ඒ  පිළිබඳ  විශ්වාස  නොකරන  ලෞකිකත්වයෙන්  සුවයම  පතන බොහෝ මිනිසුන්ට අරිය උත්තමයෙකුගේ වටිනාකම හෝ ඒ දේශණා කරන උතුම් ධර්මය තේරුම් ගන්නට ශක්තියක් නැත. එවන් මිනිසුන් පරම පවිත‍්‍ර ධර්මයද දකින්නේ සැප සම්පත් විනාශකරන, පැවැත්මට විරුද්ධ වූ විනාශකාරී දෙයක් ලෙසින් පමණි.

සංවරත්තේන සීලං (ආසවා සංවරා පහාතබ්බා)

අනුපුබ්බංගම  නිවන්  මාර්ගයේ  දෙවන  පියවර  වන්නේ  සංවරේන  පහාතබ්බා යනුවෙන් දේශණා කළ සංවරත්වයට පත්වීමෙන් සීලයේ පිහිටීමයි. තම ක‍්‍රියා, වදන්, සිතිවිලි යන තුන්දොරම පාලනය කරගත හැකි වන්නේ තමන්ගේම ඉන්ද්‍රියයන් හයම සංවර  කරගැනීමෙනි.  විඤ්ඤාණය  හැම  විටම  උත්සාහ  දරන්නේ  ඉන්ද්‍රියයන්  හයම උපකාරයෙන් ලෝභ-අලෝභ, ද්වේෂ – අද්වේෂ, මෝහ-අමෝහ ගති ලක්ෂණ එකතුකර විඤ්ඤාණයේ ආහාර සඳහා ඒවා ගබඩා කර ගැනීමටයි. මේ එකතු කරන ආහාර එකතු කිරීමෙන් වැළකී, එකතු කිරීමෙන් වෙන්වී, වාරණය කිරීම සංවරත්වයට පත්වීමයි. මෙහිදී කළ යුතු දේ නිවැරදිව තේරුම් නොගත්තොත් ඉන්ද්‍රියයන් සංවර කරගත නොහැකිය. අපි ඉන්ද්‍රියයන් හයම ආයතන හයක් ලෙසද නම් කරන්නේ මේ ආයතන හයෙහිම එකම රාජකාරිය එකතු කිරීම නිසයි. ආයතන යනු එකතු කරන – අයකරන තැන් යන තේරුමයි.

අද සම්මත භාෂාවෙන් ”සංවර” යන පදයෙන් අදහස් කරන ”සංවර” වීමත්, බුද්ධ භාෂිතයේ ”සංවරේන පහාතබ්බා” යනුවෙන් වදාළ ”සංවර” වීමත් යන ක‍්‍රියාමාර්ග දෙක අතර විශාල වෙනසක් ඇත. ඉන්ද්‍රියයන් හය හරහාම විඤ්ඤාණය එකතු කරන ගතිගුණ, ගති ලක්ෂණ දැකගත්තේ නැතිනම් ” සංදිට්ඨිකෝ් නොවුයේ නම් සංවර විය නොහැකිය. මේ  නිසා  මුල්  පියවර  නිවැරදිව  තේරුම්  නොගෙන  ”ධම්මෝ  සංදිට්ඨිකෝ”  නොවී, දස්සනේන  සම්පන්නෝ  නොවී,  සං  දැකනොගෙන  ”සංවර”  වීමක්  ගැන  සිතීමටවත් නොහැකිය. සංවරත්වයට පත්විය හැකි වන්නේ හේතුඵල දහමට බහා ගළපා ඉන්ද්‍රියයන් හරහා එකතු කරගන්නා ගති ලක්ෂණයන් වල ආදීනව හා ආනිසංස නිවැරදිව දැක ගැනීමෙන් ම පමණි.

 භාවනා කිරීමට, විපස්සනා අනුපස්සනා   කිරීමට, සමාධි ගත වීමට පෙර සංවරත්වයට පත්ව, සීලයේ පිහිටා කටයුතු කළයුතු යැයි බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළේ මේ ආකාරයෙන් සංවරත්වයට පත්වීමයි. ”සංවර” එකතු කිරීමෙන් වැළකී, සංවරත්වය තුළින්ම පිහිටන සීලයේ පිහිටා කටයුතු නොකළ හොත් සමාධියක පිහිටා, එකදිගටම සමාධිගත වී සමාපත්තියක පිහිටීමටද නොහැකිය. මේ අනුව ඵල සමාපත්තියට පත්වීම සඳහා සංවරත්වය තුළින්ම පිහිටන සීලය මිස සිල්වතක් සමාදන් වී, සිල් රැකීමෙන් ලබන ලෞකික ශික්ෂණය ප‍්‍රමාණවත් නොවේ.

නිවන් අවබෝධ කර ගන්නට අවංකවම උත්සාහ දරණ සෑම කෙනෙක්ම ”සංවර සීලය”  නැමති  බුද්ධ  භාෂිතයේ  පෙන්වා  වදාළ  වදන්වල  ධර්ම  අර්ථයම  නිවැරදිවත්, යථාපරිදිත් තේරුම් ගැනීම ඉතාම වැදගත්ය. විපස්සනා නුවණ පහළ කර ගැනීමටත්, සමාපත්තියට පත්වීමටත්, සම්මා අංගයන් නිවැරදිව තේරුම් ගෙන, ”සං” වලින් පූර්ණ ලෙස මීදි නිදහස්ව නිවන් අවබෝධ කරගන්නටත් මිනිසෙකුට හැකියාව ලැබෙන්නේ යථාවබෝධයෙන්ම පිහිටන සංවර සීලයේ පිහිටා කටයුතු කිරීමෙන් පමණි. ජීවිතයක් පැවැත්වීම සඳහා විඤ්ඤාණය එකතුකරගන්නා ආහාර, ලෝභ-අලෝභ, ද්වේෂ – අද්වේෂ, මෝහ-අමෝහ සියල්ලම එකතු කිරීම, ”සං” යන පදයෙන් බුද්ධ භාෂිතයෙහි ගෙන හැර දැක්වීය. මේ ලෙස ඉන්ද්‍රියයන් හරහා එකතු කර ගන්නා ”සං” එකතු කිරීමෙන් වැළකී, ”සංවර” වීම සඳහා ”සං” නිවැරදිව දැක ගත යුතුය. නිවැරදිව ”සං” දැකගත හැක්කේ හේතුඵල දහමට බහා ගළපා බලා සත්‍යය දැක ගැනීමෙන්ම පමණි. ”සම්මා” යනු මෙසේ ඉන්ද්‍රියයන් හරහා එකතු කරගන්නා ලෝභ – අලෝභ, ද්වේෂ- අද්වේෂ, මෝහ – අමෝහ එකතු කිරීමෙන් ද, ගබඩා කිරීමෙන්ද, භාවිතා කිරීමෙන්ද වැළකී මිදී නිදහස් වීමයි. කර්ම බීජ ලෙසින් පෙන්වා වදාළ මෙම චිත්ත ශක්තීන් එකතු කිරීම නවත්වා අතීතයේ එකතුකර, ගබඩාකර පවතින සියලූ කර්ම බීජද සළාහැර, ප‍්‍රහාණය කර ඒවා භාවිතයෙන් ද වැළකී, මිදී නිදහස් වීම නිවන් අවබෝධ කර ගැනීමයි.

බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ ”සංවර සීලය” යනු යම් කිසි සිල් වතක් සමාදන්වීම හෝ සිල්වතක් රැකීම හෝ ධූතාංගයක් රැකීම හෝ කරමින් කල්ප ගණනක් කාලය ගත කළත්  සම්පූර්ණ  කර  ගත  හැකි  සංවර  සීලයක්  නොවේ.  ඉන්ද්‍රියයන්  හරහා  එකතු කරගන්නා ගති ලක්ෂණයන් පිළිබඳව යථාභූත ඥාණයෙන්, යෝනිසෝමනසිකාරයෙන් නොදැක,  ”සං”  නොදැක,  සිල්වතක්  සමාදන්  වීමෙන්  හෝ  සිල්වතක්  රැකීමෙන්  හෝ ධූතාංගයක් සමාදන් වීමෙන් හෝ නිවනට උපකාරවන සංවර සීලයේ නොපිහිටන බව නිවැරදිවම තේරුම් ගැනීම ඉතාම වැදගත්ය.

 “යං සමාදානං තං වතං – සංවරත්තේන සීලං”

යන  පදයේ  බුදුපියාණන්  වතක්  සමාදන්  වීමෙහිත්  සංවර  වී  සීලයේ  පිහිටා  කටයුතු කිරීමෙහිත්, වෙනස්කම් ඉතාම පැහැදිළිව ප‍්‍රකාශ කර වදාළ සේක. මේ අනුව සමාදන් වී රකින සිල්වතක් ”සං” දැක, සංවර වී, සංවරත්වය තුළින් පිහිටන සීලයත් යන දෙක එකක්ම නොව දෙයාකාර දෙවිධියක ක‍්‍රියා දෙකක් බව තේරුම් ගත යුතුය. එකක් සමාදන් වී තාවකාලික වෙන්වීමකි. අනික පූර්ණ යථාවබෝධයෙන් සම්පූර්ණයෙන් ම වැළකී, වෙන් වී නිදහස් වීමකි.

 එදා බුදුපියාණන් වැඩසිටි යුගයේ ජන්බුද්වීපයේ පැවති ආගම් හැට ගණනකම මූලික හරය වූයේ යම් සිල්වතක්, ධූතාංගයක් සමාදන් වී ඒ වත, ඒ සීලය රැකීම පරම ආහාරය කොට එයම පරම විමුක්තියට පත්වීමේ එකම මඟ ලෙසින් තේරුම්ගෙන ක‍්‍රියා කිරීමයි. නිගණ්ඨ වත ගැන නිගණ්ඨයින් කල්පනා කළේ විමුක්තිය සඳහා වූ එකම සිල්වත එයම ලෙසයි. බුදුපියාණන් වසර හයක්ම එදා ජන්බුද්වීපයේ පැවති සියලූ ආගම්වල විවිධ ආකාර වූ සිල්වත්, ධූතාංග, ප‍්‍රායෝගිකවම අත්හදා බලා ඒ කිසිම වතකින් හෝ සිල්වතක් රැකීමෙන් හෝ ධූතාංගයකින් හෝ නිවන, ප‍්‍රඥා විමුක්තිය නොලැබෙන බව අධ්‍යයනය කර, පර්යේෂණ කර යථාවබෝධය ලබාගත් බව බ‍්‍රහ්මජාල සූත‍්‍රයේ පෙන්වාදුන් කරුණු වලින්ම මනා ලෙස ඔප්පුවෙයි. මේ කිසිඳු ආගමක, කිසිඳු සිල්වතක, ”සංවර” වීමෙන් ලබන සංවරත්වයෙන් පිහිටන ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳ දැනුමක් හෝ ඉගැන්වීමක් හෝ නොතිබූ බව දුටු බුදුපියාණන් සංවර සීලයේ පිහිටුවා ක‍්‍රියාකිරීම ම පමණක් නිවනට, පූර්ණ විමුක්තියට මඟ බව නිවැරදිවම පෙන්වා වදාළහ. බුදුපියාණන් වැඩසිටි එකල ඇදහූ සියලූ ආගම්වල හරය වූ සිල්වතක් රැකීම, ධූතාංගයක් රැකීම මෙන්ම විවිධ ආකාර වූ වතක පිහිටා කටයුතු කිරීම හෝ වතක් සමාදන් වීම මේ ලෞකිකත්වය තුළම අතරමං වෙන, සංවරත්වයට බාධාවන් වන වතක් රැකීමක්ම පමණක් බව දැක සීලබ්බත පරාමාසයෙන් ද වෙන්වී, මිදී නිදහස්වීම නිවන් දැකීමට අත්‍යාවශ්‍ය වූ සංයෝජනයකින් මිදීමක් බවද ප‍්‍රකාශ කර වදාළ සේක. සිල්වතකම එල්ලී, සිල්වත්කම පරම ආහාරය කොට, එකම විමුක්ති මාර්ගය  කොට,  දැඩි  දෘෂ්ඨියකට  පත්වීම  දෘෂ්ඨිගතවී  කටයුතු  කිරීම,  යම්  බැඳීමක් සංයෝජනයක් මිස සංවරත්වයට පත්වීමක් නොවන බවද දේශණා කළ සේක. සියලූ දෘෂ්ඨි වලින් මිදී, සියලූ වත් වලින් මිදී නිදහස් වීමම නිවන ලෙස ද දේශණා කළ සේක. සම්මා (සං+මා) දෘෂ්ඨියෙහි පිහිටීම යනු එකතු කරගත් සියලූ ගති ලක්ෂණ වලින් පූර්ණ ලෙස මිදී නිදහස් වීමයි.

මේ ප‍්‍රකාශය ගැන කලබල නොවී, ඉවසීමෙන් විමසා බලා, කිහිප වරක් කල්පනා කර මනස මෙහෙයවා තේරුම් ගත යුතුය. මජ්ක්‍ධිම නිකායේ එන නිවාපම සූත‍්‍රයෙත්, චුල්ලහත්ථිපදෝපම සුත‍්‍රයේත් තවත් සූත‍්‍ර දේශණා රාශියකමත් ඉතාම සරළ ලෙසත්, ඉතාම පැහැදිළි ලෙසත් බුදුපියාණන් පෙන්වා වදාළේ යථාවබෝධයෙන් පිහිටන සංවර සීලය පිළිබඳවයි. මෙය සමාදන් වීමෙන් හෝ සමාදන් කරවීමෙන් හෝ පිහිටිය හැකි සීලයක් නොවේ. ලැබූ ධර්මාවබෝධය නිසාම සංවර වී පිහිටන සීලය ”පටිවිරතෝ හෝති ” නැතහොත් වෙන්වී, වාරණය කිරීම බව එහිදී ප‍්‍රකාශ කර ඇත.

පානාතිපාතං පහාය පානාතිපාතා පටිවිරතෝහෝති
අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝහෝති
අබ‍්‍රහ්මචරියා පහාය බ‍්‍රහ්මචාරි හෝති
මුසාවාදං පහාය මුසාවාද පටිවිරතෝහෝති
පිසුනාවාචා පහාය පිසුනාවාචා පටිවිරතෝහෝති
පරුෂාවාචා පහාය පරුෂාවාචා පටිවිරතෝහෝති
සම්ඵප්ප‍්‍රලාපං පහාය සම්ඵප්ප‍්‍රලාපා පටිවිරතෝහෝති

යනු සංවරත්වයෙන් සීලයේ පිහිටීමයි.

 මෙතැන පටිවිරතෝ හෝති යනු යම් සමාදන්වීමක් පමණක්ම නොවේ. සීලයක් රැක අත්කරගත හැකි දෙයක් නොවේ. සංදිට්ඨික තත්ත්වයට පත්වී ”සං” දැක, එකතු කිරීමේ ආදීනව හා ආනිසංස තේරුම් ගෙන සම්බන්ධයෙන් මිදී, නොබැඳී, නොඇලී රති- විරති කර, පටි ගළවා සංවර වීමයි. ධම්මෝ සංදිට්ඨිකෝ වී, දස්සනේන සම්පන්නෝ වී, සම්මා දිට්ඨිය තේරුම් ගැනීමෙන් ම පමණක් පටිවරතෝ හෝති යන තත්ත්්වයට ද පත්විය හැක. සිල් රැකීමෙන් හෝ වතක් සමාදන් වීමෙන් හෝ පටිවිරතෝ හෝති යන තත්ත්වය පූර්ණ කරගත නොහැකිය. විශුද්ධි මාර්ගය ගුරු කොට ගැනීම නිසා එදා සිට අද දක්වාම හැම බෞද්ධයෙකුම ”සික්ඛාපදං සමාදියාමි” යැයි වතක් සමාදන් වී සංවර වීමට උත්සාහ දැරුවත් ”සං” නොදැක, සංවරත්වයට පත්වීමක් නම් සිදුනොවේ.

බුදුපියාණන් පෙන්වා වදාළ පිරිසිදු නිවන් මඟ වූ ”ආසවා සංවරා පහාතබ්බා” යන්න  අද  හෝ  යම්  බෞද්ධයෙකුට  නිවැරදිව  තේරුම්  ගන්නට  හැකියාව,  ශක්තිය ලැබුණහොත් සීලබ්බත පරාමාස නැමති සංයෝජනයෙන් ද මිදී, සංවරත්වයෙන් සීලයෙහි ද පිහිටා නිවන නිදහස සඳහා ප‍්‍රතිපත්ති පුරාගත හැකිවෙයි.

”සුත්වාන සංවරේ පඤ්ඤා සීලමයේ ඥාණං” යනුවෙන් බුද්ධ වචනයෙන්ම විස්තර කළේ සංවරත්වයට පත්වී, සීලයේ පිහිටිමක් මිස සීලයෙන් සංවර වීමක් ගැන නොවන බවද ඉතාම පැහැදිළිය.

පන්සිල්, අටසිල්, දසසිල්, සාමණේර සිල්වැනි සිල්වතක් රැකීම, සීලයක් සමාදන් වී යහපත් ජීවිතයක් ගත කිරීම මිනිසෙකු වූ හැම කෙනෙකුටම ප‍්‍රයෝජනවත් සමාජයට සුවදායක ක‍්‍රියාවකි. සිල්වතක් රැකීම, සීලයක් සමාදන් වී කටයුතු කිරීම වැළැක්වීමේ හෝ එය නරක, නුසුදුසු දෙයක් යැයි පෙන්වා දීමට හෝ කරන උත්සාහයක් මේ ප‍්‍රකාශවල නැත. යහ පැවැත්මක් සඳහා සුචරිත සමාජයක් සඳහා ලෞකික සමාජ සම්මත සැප විඳීම සඳහා සිල්වත් රැකීම බොහෝ සේ උපකාර වෙයි. බුදුපියාණන් නිවන් මඟ සොයා පැහැදිළි  කර  දෙන්නට  පෙර  අනන්ත  අප‍්‍රමාණ  කාලයක  පටන්  මිනිස්  ඉතිහාසයේ පෙහෙවස් සමාදන් වීම කරගෙන ආ බව ඉතාම පැහැදිළිය. දස රාජ ධර්මයෙන් රජකළ සියලූම රජවරුන්ගේ ලෞකික සැපත සඳහා පන්සිල්, අටසිල් රැකීමද අනිවාර්යය අංගයක් විය. මහාමායා දේවියද සිද්ධාර්ථ උප්පත්තිය සිදුවන අවස්ථාවේ පවා අටසිල් සමාදන්ව සිටි  බව  බුද්ධ  ඉතිහාසයේ  පෙන්වා  දී  ඇත.  බෞද්ධයින්ට  පමණක්  නොව  හැම මිනිසෙකුටම පන්සිල්, අටසිල් වැනි සීලයක් රැකීම ලෞකික පැවැත්ම යහපත් කරගැනීම සඳහා මහෝපකාරී වේ. ඒ නිසා සිල් රැකීම, සිල්වතක් සමාදන් වීම වැරදි ක‍්‍රියාවක් හෝ නුසුදුසු ක‍්‍රියාවක් යැයි පෙන්වා දීමේ උත්සාහයක් කිසිසේත්ම මෙහි නැත.

බුදුපියාණන් සොයා දැන, පෙන්වා වදාළ උතුම් නිවන් අවබෝධකර ගැනීමේ එකම බලාපොරොත්තුවෙන්  ක‍්‍රියා  කරන  ලෞකිකත්වයෙන්  සඳහටම  මිදෙන්නට  තීරණය කරගත් මිනිසෙකුට නම් සීල්වතක් රැකීමේ, සීලයක් සමාදන්වීමේ සම්මත ක‍්‍රියාවෙන් ඉදිරියට ගොස් සංවරත්වයෙන් සීලයේ පිහිටා කටයුතු කිරීමේ ක‍්‍රියාමාර්ගයන් තේරුම් ගෙන ඒ අනුගමනය කළ යුතු බව අවධාරණයෙන් ප‍්‍රකාශ කිරීම මෙහි එකම උත්සාහයයි. ඒ නිසා සිල්වතක් රැකීම හා සංවරත්වයෙන් සීලයේ පිහිටීම යන ක‍්‍රියාමාර්ග දෙකෙහි වෙනස නිවැරදිව දැන හඳුනා, ඉන්ද්‍රියයන් හයම සංවර කර ගැනීමෙන්ම පමණක් සීලයේ පිහිටා කටයුතු කිරීම නිවන් අවබෝධ වීමට උපකාර වන එකම මඟ බවද දැකිය යුතුයි. මෙම ප‍්‍රකාශය බුද්ධාගමෙහි පෙන්වා දෙන සිල් රැකීම, සිල් සමාදන්වීම වෙනස් කිරීමට හෝ ඊට විරුද්ධ වීමට හෝ කරන ප‍්‍රකාශයක් හෝ උත්සාහයක් නොවන බව තේරුම් ගෙන සංවරත්වයෙන් සීලයේ පිහිටා කටයුතු කිරීමේ නිවැරදි මඟට පිවිස නිවන් මඟ හෙළි පෙහෙළි  කරගැනීමට  අතරමං  වී  යන  සංසාර  ගමනෙන්  සඳහටම  අත්මිදෙන්නට ක‍්‍රියාකරන අතළොස්සකට හෝ නිවැරදි මඟ පෙන්වා පැහැදිළි කරදීමේ එකම අරමුණෙන් කරන සත්‍ය ප‍්‍රකාශයක් පමණක් බවද සළකත්වා.

සාසන ළදරුවන් පළමු කොට පන්සිල්, අටසිල්, දසසිල් ආදී සීල සමාදන් වී, සිල් රැක ඒ තුළින් යම් ශික්ෂණයක් ලබා දෙවනුව පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයම අසා ”සුත්වාන සංවරේ පඤ්ඤා සීලමෙයේ ඥාණං” යන උතුම්  තත්ත්වයට   ද පත්විය යුතුමය. සම්මතයෙහි ඇලී කටයුතු කරනවාට වඩා යථාභූතඥාණයෙන් මේ ගැන කිහිපවරක් සිතා ඇත්ත ඇති සැටියෙන් තේරුම්ගෙන කටයුතු කරන්නට හැම මිනිසෙකුටම සත්‍යාවබෝධය ලැබේවා.

එදා බුදුපියාණන් වැඩි සිටි යුගයේ ධර්මය ශ‍්‍රවණය කරන්නට බුදුපියාණන් ඉදිරියේ වාඩි වූ කිසිවෙකුටත් පළමු කොටම බුදුපියාණන් පන්සිල්, අටසිල් හෝ වෙනත් කිසිම සීලයක් සමාදන් නොකරවූ බවත්, තිසරණයෙහි නොපිහිට වූ බවත් ඉතාම පැහැදිළිය. නමුත් ධර්ම දේශණාව ශ‍්‍රවණය කිරීමෙන් පසුව වාඩි වී සිටි තැනින් නැගිට්ටේ සංවරත්වයේ, සීලයේ පිහිටා, තිසරණ සරණ ගිය මඟඵලලාභී උත්තමයකු ලෙසින්ය. ත‍්‍රිපිටකයේ හැම තැනකම පෙන්වා ඇති මේ සත්‍යය හැම කෙනෙකුම තේරුම් ගත යුතුය. මිනිසුන් කිහිපදෙනෙකු නොව නිවන් අවබෝධ කරගත් මඟඵල ලැබූ කෝටි ගණනක් මිනිසුන්ට එදා මේ මඟ මිස වෙනත් මඟක් ඒ සඳහා සරණ නොවීය. කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා පරතෝඝෝෂක ප‍්‍රත්‍යය හා පරම පවිත‍්‍ර සිරි සද්ධර්මයද ශ‍්‍රවණය කිරීමෙන්ම මාර්ග ඵල අවබෝධයට අත්‍යාවශ්‍ය වන අංගයක් සම්පූර්ණ කරගන්නවා මිස සිල්වතක් රැකීම ඒ සඳහා අවශ්‍ය අංගයක් ලෙස  ත‍්‍රිපිටකයේ නම්  කොතැනකවත්  පෙන්වා  වදාරා  නැත.  නොපැකිළ නොබියව මේ අදහස් ලෝකයා වෙත පැහැදිළි කරදිය යුතුවන්නේ පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය අසා දැන, පිරිසිදු නිවන් මඟ අත්විඳින්නට පින්් ඇති මිනිසුන්ට ද සිතා බලන්නට අවස්ථාව උදාකර දීම සඳහාමය. මං මුළා වූ අතරමං වූ මිනිසුන්ට ද සිතා බලා කටයුතු කරන්නට නිවැරදි මඟ පෙන්වා දීම සඳහාමය.

 අනුපුබ්බංගම නිවන් මඟෙහි ඉදිරි පියවරයන්

සබ්බාසව සූත‍්‍රයේ පෙන්වා වදාළ පරිදි මෙම නිවන් මාර්ගය අනුපුබ්බංගම නිවන් මාර්ගයකි. එහි පළමුවන පියවර පළමුකොටම තේරුම් නොගෙන දෙවන හෝ තුන්වන පියවරකින් පටන් ගැනීමෙන් නිවන් මඟ පූර්ණ කරගත නොහැකිය. සෝතාපන්න මඟ ඵලයට  පත්වීම  සඳහා  මිනිසෙකුට  උපකාර  වන  දස්සනේන  පහාතබ්බා  යන  පළමු පියවරත්, සංවරේන පහාතබ්බා යන සංවර සීලයේ පිහිටා කටයුතු කරන්නට උපකාර වන දෙවන  පියවරත්  නිවැරදිව  තේරුම්  ගත්  කෙනෙකුට  ඊළඟ  පියවරයන්  අනුගමනය කරන්නට බාහිර කාගේ හෝ උපදෙස් හෝ මඟ පෙන්වීමද අවශ්‍ය නොවේ. ඒ සඳහා විර්යය,  උත්සාහය  ගැනීමද  අවශ්‍ය  නොවේ.  ලැබූ  යථාවබෝධය  නිසාම  ධර්මයෝ ධර්මයෝ පවත්වති යන න්‍යායට අනුව ගඟක් මුහුද කරාම ගලාගෙන යන්න සේ ඒ පුද්ගලයා නිවන කරාද ගමන් කරයි.

කෙසේ වෙතත් ඊළග පියවරයන් පිළිබඳවත් දැනගෙන සිටීම ඉතාම වැදගත්ය. මේ හැම පියවරකින්ම සිදුවන්නේ මෙතෙක් සිත අඳුරු කර, සිත වසා සිටි ආසව තට්ටු ප‍්‍රහාණය කර, කුණු සළාහැර, චිත්තපාරිශුද්ධියට පත්වීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කර ගැනීමයි. හැම පෘථග්ජන පුද්ගලයෙකුගේම සිතෙහි ඇති ආසව කොටස් තුනකට බෙදා බුදුපියාණන් පෙන්වා වදාළ සේක.

01.      කාමාසව       02.      භවාසව        03.      අවිද්‍යාසව

යනු මේ කොටස් තුනයි. මෙ ආසව තට්ටුවලින් සිත මුවහ කර, වසා සිටින තුරාවට කිසිම පෘථග්ජන පුද්ගලයෙකුට මේ පැවැත්ම ජීවත්වීම යන හේතුඵල පරම්පරාවෙහි සත්‍යම වූ ස්වරූපය ඇත්ත ඇති සැටියෙන් දැකගත නොහැකිය. ඒ ආසව තට්ටු පහකර දමා කුණු සළාහැර ආසව තට්ටුවලින් සිත මුදවා ගත්තොත් එතැනදී ප‍්‍රඥාව උදාවෙයි. පැවැත්මෙහි ඇත්ත, ඇති සැටියෙන් යථාභූතඥාණයෙන් දැක ගන්නට ලැබෙයි. පැවැත්මේ නිසරු බව, නොවටිනා බව දැකගත් පසුව දුක අවබෝධ වෙයි. ඒ මොහොතේ පටන් හැකි ඉක්මනින් මේ කුණු කන්දරාවම පහකර දමා නිදහස්වීම එකම අරමුණ කරගනී. ගමන නවතා දමා රිය අරිය කිරීම එතැන් පටන් සිතෙහි පවත්වන එකම අපේක්ෂාවයි. පළමුවන හා දෙවන පියවරයන්  අවබෝධ  කරගත්  පුද්ගලයා  අරිය  උත්තමයෙකි.  දෙවන  පියවරේදී  ලැබූ යථාවබෝධය නිසාම ඉන්ද්‍රියයන් හයෙන්ම මේ තාක් එකතු කරමින් සිටි විඤ්ඤාණ ආහාර එකතු කිරීම නවත්වා ඉන්ද්‍රියයන් හයම සංවර කරගෙන ඇත. ඒ ඉන්ද්‍රියයන් සංවර කරගත  යුත්තේ  ලැබූ  යථාවබෝධය  නිසාමය.  සංවරත්වයට  පත්වීමත්  සමඟම  ලැබූ සත්‍යාවබෝධය  නිසා  තුන්වැනි  පියවර  වන  පටිසේවනා  පහාතබ්බා  සිට  විනෝදනා පහාතබ්බා  යන  හයවන  පියවර  දක්වාම  ක‍්‍රමානුකූලව  ආසව  ප‍්‍රහාරණය  කර  චිත්ත පාරිශුද්ධතාවයට පත්වීමට අවශ්‍ය පියවරයන් සම්පූර්ණ කරගත හැකිවෙයි.

පටිසේවනා පහාතබ්බා යනු පටිසංඛා යෝනිසෝමනසිකාරයෙන් යුතුව කටයුතු කිරීමයි. පැවිද්දෙකු නම් දායකයින්ගෙන්, අනුගාමිකයින්ගෙන්, අනුග‍්‍රාහකයන්ගෙන් ලබාගන්නා සිවු පසයට නොබැඳී, වහල් නොවී, ඊට නොඇලී දානය දෙන පුද්ගලයාට නොබැඳී ප‍්‍රත්‍යවේක්‍ෂා නුවණින් යුතුව සිවුපසය පරිභෝග කිරීමයි. රස තෘෂ්ණාවෙන්, ප‍්‍රිය මධුරතාවය පතා යමක් උපාදානය කර ගන්නට සම්බන්ධවන්නට හෝ ඒ මත්තේම යැපෙන්නට හෝ කටයුතු කිරීමෙන් වැළකී චතුරාර්ය සත්‍යාවබෝධය පූර්ණ කර ගැනීමේ එකම අරමුණෙන් සිවුපසය පරිභෝග කිරීමට පුරුදුවීම, පුහුණුවීම පටිසේවනා පහාතබ්බා යන්නෙහි තේරුමයි. දෙවන පියවරේ දී සංවරා පහාතබ්බා සම්පූර්ණ කරගත් කෙනෙකු ඉන්ද්‍රිය හයම සංවර කරගෙන ඇති නිසා ඉන්ද්‍රියයන් පිනවන්නට, රස තණ්හාවෙන් රස බලන්නට, රස විඳින්නට කටයුතු කිරීමෙන් වැළකී නිදහස ්වෙයි. ධර්ම මාර්ගයේ හැසිරී චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගෙන නිවන නිදහස පූර්ණ කර ගැනීමේ එකම අරමුණ ඇතිව මේ කය පවත්වාගෙන යනු මිස සැප සුව පතා යමක් ඉල්ලා ලබාගෙන, පරිභෝග කිරීමෙන්ද වැළකෙයි.

අධිවාසනා පහාතබ්බා යනු ඉවසීමෙන් කටයුතු කර සැනසීම අත්කර ගැනීමයි. සීතල, උෂ්ණ, මැසි මදුරු, සර්පයින් ආදී බාහිර කරදර, උපද්‍රව ඉවසා දරා ගැනීමත්, ඒවා මඟහැර ඒවාට නොපැටළවී අතහැර, නිදහස් වීමත්, සැර පරුෂ වචන භාවිතා කරන්නන් මෙන්ම සංදර්ශන, සන්නිවේදන, සංචාරයන්ගෙන් ද වෙන් වී ඒවා බැහැර කොට, ඒවාට නොඇලී කටයුතු කිරීමත් අධිවාසනා පහාතබ්බා යනුයි.

පරිවප්ජනා පහාතබ්බා යනුවෙන් පෙන්වා වදාළ ඊළග අවස්ථාව ඇති විය හැකි බාහිර බාධක, උපද්‍රව මඟහැර ඒවායින් මිදී නිදහස් වීමයි. නපුරු මිනිසුන්, අඳ බාල මිනිසුන් මෙන්ම නපුරු රුදුරු තිරිසන් සතුන්ගේ ආශ‍්‍රයෙන් ද ඉවත් වී, ඔවුන් මඟහැර තමාම ඉවත් වීමයි. නුසුදුසු වාසස්ථාන වලින් මිදී නිදහස් වීමද නිවන් මඟට බාධක ඇති සුව පහසු යාන වාහන, නිදියහන්, මන්දිර මෙන්ම ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශ වලින් ද ඉවත් වී, වෙන්වී යාම පරිවජ්ජනා පහාතබ්බා යන කොටසට අයත්ය. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කර මෙවැනි දේවල හේතුඵල ධර්මතාවයම තේරුම්ගෙන හේතුන්ම අතහැර, මඟහැර, හේතුවෙන්ම මිදී, පරම්පරාවෙන් ද මිදී නිදහස් වීමයි. අන්තරායකාරී දේ ආශ‍්‍රය කිරීම මෙන්ම ප‍්‍රිය මනාප දේවලට ඇලීමද නිවනට බලවත් බාධක ලෙසින්ම දැක ඒවා මඟහැර යා යුතුයි.

විනෝදනා පහාතබ්බා යනු ඊළග අවස්ථාවයි. මේ පියවර නිවන් මාර්ගයේ ඉතාම වැදගත් අවස්ථාවකි. තම සිත තුළින්ම උපත ලබන කාම විතක්ක, විහිංසා විතක්ක දැන හඳුනාගෙන ඒවා සියල්ලම ලෝභ- අලෝභ, ද්වේෂ – අද්වේෂ, මෝහ – අමෝහ ගති ලක්ෂණයන් නිසාම උපත ලබන සමුදය ධර්මයන් බව තේරුම් ගෙන ඒවා ප‍්‍රහාරණය කර, නිදහස් වීම, විනෝදනා පහාතබ්බා යනුයි. මිනිසෙකුගේ සිතක මතුවන සියලූම අවිද්‍යා සංඛාර මතු වෙන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක හෝ විහිංසා විතක්ක ලෙසින්ම පමණි. අතීත සම්බන්ධතා පවතින තුරාවට මෙවැනි විතක්ක මතුවී විචාර පැවැත්වීම ද ස්වභාවික දෙයකි. හේතුඵල දහම ගැන මනා වැටහීමක් ලැබුවෙකු මෙවැනි විතක්ක විචාර සිතෙහි අරමුණු වෙනවාත් සමඟම ඒවා දැක, දැන හඳුනා ඒවායින් ඉවත්වීමට පුරුදු විය යුතුය. මෙම විතක්ක විචාර අතහැර ඒවායින් නිදහස්වීම සඳහා නෙක්ඛම්ම සවිතක්ක සවිචාර පැවැත්වීම අව්‍යාපාද සවිත්තක සවිචාර පැවැත්වීම අවිහිංසා සවිත්තක සවිචාර පැවැත්වීමට ද පුරුදු පුහුණු කරගත යුතුයි.

කාමවිතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක සිතෙහි අරමුණු වීම සහමුළින්ම නැතිකර ගැනීම සඳහා පරම මෙත්තා භාවනාවක් පුරුදු පුහුණු කර ගැනීම සියලූ ලෝක සත්ත්වයා වෙත සම මෙත පැතිරවීමට පුරුදු පුහුණුවීම හැම කෙනෙකුම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි. සංසාරයේ අනන්ත අප‍්‍රමාණ කාලයක සිට එකතු කරගත් ද්වේෂ – අද්වේෂ ගති ලක්ෂණයන්ගෙන් සඳහටම මිදී නිදහස්විය හැකි වන්නේ පරම මෙත් පැතිර වීමෙන්ම පමණි.

හේතුඵල දහම දැක ත‍්‍රිලක්ඛණය අවබෝධ කරගත් පසුව ලෝක සත්ත්වයා කෙරෙහි උපන් අවංක අනුකම්පාවෙන් ඔවුන් කෙරෙහි සම මෙත පැතිරවීමට ශක්තියක් හැකියාවක් ලැබුණු පසුව සිතක කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක මතුවූවත් ඒවා දිගේ දිගින් දිගටම සිතා රෝද ගසා කටයුතු කිරීමෙන් වැළකී ඒවා නිරෝධ කර සිත සමනය කර ගනී. මේ අවස්ථාව වන විට ලැබූ ධර්මාවබෝධය සත්‍යාවබෝධය නිසා සතියෙහි පිහිටා සියලූ කටයුතු කරන්නටද පුහුණුව ලැබෙයි. එය සතර සතිපට්ඨානයේ පිහිටා කටයුතු කිරීමයි.

අනුපුබ්බංගම නිවන් මාර්ගයේ අවසාන පියවර වන්නේ භාවනා පහාතබ්බා යන අංගයයි. වෙනකිසි ආකාරයකින් ක‍්‍රියාමාර්ගයකින් ප‍්‍රහාණය කරගත නොහැකි බලවත් අවිද්‍යාසව කොටසක් රූප රාග, අරූපරාග, මාන, දිට්ඨි, අවිද්‍යා ලෙසින් තවමත් සිතෙහි රැඳී පවතී.

දැන් මේ අවස්ථාව වන විට ලැබූ යථාවබෝධය නිසාම දස්සනයෙන් පහකළ යුතු ආසව කොටස් පහකර, කුණු සළාහැර, ඉන්ද්‍රියයන් හයම සංවරත්වයට පත්කර, සීලයෙහි පිහිටා, අලූතින් ආසව එකතු කිරීමද නතර කර, කාම විතක්ක, ව්‍යාපාද විතක්ක පහකර, විපස්සනා අනුපස්සනා නුවණ මතුකරගන්නට තරම් යථාවබෝධය ශක්තිමත් වී ඇත. භාවනාවෙන් පහකර ගත යුතු ආසව කොටස් ප‍්‍රහාණය කරන්නට විපස්සනා අනුපස්සනා නුවණම උපකාර කර ගත යුතුය. ඒ නිසා බුද්ධ භාෂිතයේ ගෙනහැර දැක්වූ විපස්සනා අනුපස්සනා භාවනාව වෙනත් කිසිදු ආගමික දර්ශනයක පෙන් වූ එකක් නොවේ.

මහා කල්ප 91ක පටන් එකතු කරගත් ගතිගුණ, ගති ලක්ෂණ, කාමාසව, භවාසව හා අවිද්‍යාසව ලෙසින් තම චිත්තසංථානය තුළම ගබඩා වී පවතී. මෙවන් බලවත් ආසව තට්ටු සළාහැර, ප‍්‍රහාණය කර චිත්තපාරිශුද්ධතාවයට පත්විය හැකි වන්නේ විපස්සනා අනුපස්සනා භාවනාවකින් පමණි. මෙතැනදී කළයුතු වන්නේත් සිදුවන්නේත් මහා කල්ප ගණනක් තුළ චිත්තසංථානය තුළ ක‍්‍රියාත්මක වෙමින් පැවති කර්මජ බීජ, ආසව ක‍්‍රමයෙන් ප‍්‍රහාණය  කර  දැමීම  නිසා  ලෝකෝත්තර  කුණු  සළාහැර,  ශුද්ධ  පවිත‍්‍ර  වීම  නිසා, සත්තසම්බොජ්ජංග සම්පූර්ණ වීමයි. සත්තසම්බොජ්ජංග යනු බුද්ධියේ අංග හතයි. හැම පෘථග්ජන මිනිසෙකුගේම සිතෙහි මේ අංග හතම රැදී පැවතුනත් ලෝභ- අලෝභ, ද්වේෂ – අද්වේෂ, මෝහ- අමෝහ යන කෙළෙස් නිසා ඒවා වැසී ආවරණය වී පවතී. කුණු සළාහැර ඉවත්කරත්ම කෙළෙස් ප‍්‍රහාණය කරත්ම බුද්ධියේ අංග හතම නිරාවරණය වී ප‍්‍රඥාව මතුවෙයි. ප‍්‍රඥාව යනු ප‍්‍රකෘති ඥාණයයි. ඥාණයේ පරම තත්ත්වයයි. ප‍්‍රඥාව යනු නැවත කවදාවත් කෙළෙස් නිසා කුණු නිසා, කිළිටි කළ නොහැකි, අඳුරු කළ නොහැකි, වසා මුවහ කර තැබිය නොහැකි පිරිසිදු තත්ත්වයකි. ප‍්‍රඥාලෝකය උදාවීමත් සමඟම මෙතෙක් සිතින් මවාගෙන සිටි ලෝකය අලෝක වෙයි. විඤ්ඤාණ තත්ත්වයෙන් තොර චිත්තය, ඉතාම පිරිසිදු, ශාන්ත වූ කම්පා නොවන, විවේක නිශ‍්‍රිත, විරාග නිශ‍්‍රිත, නිරෝධ නිශ‍්‍රිත, වොස්සග්ග පරිණාමී තත්ත්වයකි.

සිත මේ පිරිසිදු තත්ත්වයට පත්වීම යනු අලූතින් සිතක් හෝ ප‍්‍රඥාවක් හෝ බුද්ධියක් හෝ වර්ධනයක් කර ලබා ගන්නා එකක් නොවේ. මෙතෙක් සිත අඳුරු කර, මුවහකර වසා සිටි සිත විකෘති කළ, විෂම තත්ත්වයට පත් කළ කුණු සළාහැර විඤ්ඤාණ තත්ත්වයෙන් මිදී පරම පවිත‍්‍ර තත්ත්වයට පත් කරගැනීමයි.

සිතින් එකතු කරගත් කර්මජ බීජම භාවිතා කරමින් මෙතෙක් කලක් ”සං” සාරය කියා ”සං” එකතුකරගෙන ගිය සංසාර රිය ගමන පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැක, අවිද්‍යාවෙන්, තණ්හාවෙන් සාරයි කියා නිගමනය කර ගිය ගමන නිමාකොට ”සං” එකතු කිරීමට මෙතෙක් කලක් රෝද කළ සිත රෝද – නිරෝධ කර, රාග – විරාග කර, රිය – අරිය කර, භූත අභූත කර, ජාත – අජාත කර, සංඛත – අසංඛත තත්ත්වයට පත්කර ගැනීම ලෝකය රහබැලීම සම්පූර්ණයෙන්ම අත්හැර ලෝක – අලෝක කර, ලෝකය රහබැලීම අවසන් කිරීම අරහත් තත්ත්වයට පත්වීමයි.

 භාවනේය පහාතබ්බා විපස්සනා අනුපස්සනා භාවනා ක‍්‍රමය

බුදුපියාණන්  පෙන්වා  වදාළ  අරිය  භාවනා  ක‍්‍රමය  එනම්  විපස්සනා  භාවනාව, වෙනත් කිසිම ආගමක හෝ දර්ශනයක හෝ නැති බුද්ධ භාෂිතයේම පමණක් පෙන්වා දුන් කර්මස්ථාන භාවනා ක‍්‍රමයකි. බුදුපියාණන් පෙන්වා අනුදැන වදාළ කර්මස්ථානයෝම භාවනා කිරීමෙන් පමණක් චන්දරාගය දුරලා ව්‍යාපාදයෙන්, ද්වේෂයෙන්, විහිංසාවෙන් වෙන් වී මෝහයෙන් මිදී, ලෝකෝත්තර කුණු සළාහැර නිවන් අවබෝධ කරගන්නටම උපකාර වන එකම මඟ විපස්සනා භාවනා මාර්ගයයි.

සිතකට අරමුණු වන සංඛාර බොහෝ විටම අවිද්‍යා මූලික සංඛාරයෝය. කාම විතක්කයක්, ව්‍යාපාද විතක්කයක් හෝ විහිංසා විතක්කයක් දිගේම සිතින් රවුම් ගැහුවොත්, ආදීනව අවස්ථාවන්ම පසුකර, එම විතක්කයට අදාළ වූ විත්තජ ශක්තියක් බිහිවෙයි. එය කර්මජ බීජයක් ලෙස චිත්තසංථානයේ තැන්පත්වීමද ඒ සමඟම සිදුවෙයි. විපස්සනා නුවණ මෙහෙයවා යමෙක් කරගතයුතු වන්නේ සිතෙහි මතුවන මෙවන් අරමුණු කාම විතක්කයක්, ව්‍යාපාද විතක්කයක් හෝ විහිංසා විතක්කයක් වැනි අවිද්‍යා සංඛාරයක් අරමුණු කරගත්තේ නම් එම විතක්කය සිතෙහි මතු වෙනු දැක ඒ වහාම අරමුණු ප‍්‍රහාණය කර ඉන් මිදී නිදහස් වීමයි.

නිතර නිතර සිතෙහි මෙවන් අවිද්‍යා සහගත විතක්ක විචාර මතුවන්නේ නම් ඒ චිතක්ක විචාර යටපත් කිරීමට සවිතක්ක සවිචාර මෙනෙහි කිරීම පුරුදු පුහුණු කළ යුතුය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැනි සම මෙත පතුරවන සවිතක්ක සවිචාර නිතර භාවනා කිරීමෙන් චන්දරාගය දුරලා වෛරය, ද්වේෂය, ව්‍යාපාදය දුරලා එවන් චිත්තජ ශක්තීන් නිපදවීමෙන් වැළකී නිදහස්විය හැකිවෙයි.

කෙටි කාලයක් මෙවන් මෙත්තා කර්මස්ථානයක් භාවනා කරන්නට පුරුදු වූ විට, සිත සමථයකට පත්වීම ද සිදුවෙයි. දැන් සිතෙහි මතුවන්නේ ප‍්‍රීති, සුඛ, ඒකාග්ගතා වැනි යහපත් අරමුණුය.    විතක්ක විචාර මෙන්ම සවිතක්ක සවිචාර ද අත්හැරී        ක‍්‍රමයෙන් සිත නිදහස් වෙයි. ක‍්‍රමයෙන් සමාධිගත වීමත් සමඟම සිතද සමථ තත්ත්වයට පත්වී, ප‍්‍රීතිය හා සුඛය  යන  තත්ත්වයන්ද  සිතට  බරක්  සේ  දැනී,  ඒවාද  ටිකෙන්  ටික  අත්හැරී  ගොස්, ඒකාග්ගතාව පමණක් සිතේ පවතී. අරිය ධ්‍යානයකදී ලබන ඒකාග්ගතාවය යනු එකම උතුම් අරමුණ වූ නිවන – නිදහස්වීම කෙරෙහි සිත පවත්වා ගැනිීමයි. නමුත් අනරිය ධ්‍යානයකදී ඒකාග්ගතාවය යනු යම් ලෞකික සුවයක් විඳීමට ඇති කැමැත්තයි. ඒකාග්ගතා යනු එකම අග‍්‍ර වූ තත්ත්වය යන තේරුමයි. අරිය තත්ත්වයට පත් වූ යථාවබෝධය ලැබූ දස්සනේන සම්පන්න වූ පුද්ගලයෙකු තමා ලැබූ යථාවබෝධයෙන්ම අරිය ධ්‍යානයකටම පත්වනු  මිස  අනරිය  ධ්‍යානයකට  පත්වන්නේ  ද  නැත.  ඒ  නිසා  අරිය  ධ්‍යානයකට පත්වන්නා නිවන එකම අග‍්‍ර තත්ත්වය කොට ඒ අරමුණෙහිම සිත පිහිටුවා ගනී.

අරිය ධ්‍යානයකට පත්වීමෙන් මෙන්ම අනරිය ධ්‍යානයකට පත්වීමෙන් ද සිදුවන්නේ කෙළෙස් දවා හැරීමයි. කුණු සළා හැරීමයි. අරිය ධ්‍යානයකට පත්වන්නා කුණු සළාහැර කෙළෙස් දවා හරිනවා යනු රිය ගමනට උපකාර වන චිත්තජ ශක්තීන් එකතු කිරීමේ ක‍්‍රියාවලියෙන් මිදීමට විපස්සනා නුවණ මෙහෙයවීමයි. අනරිය ධ්‍යානයකට පත්වන්නා කුණු සළාහරින්නේ මේ ලෞකිකත්වය තුළින්ම ලැබිය හැකි යම් සුවයක් වින්දනයක්

ලැබීම සඳහාය. එක් කෙනෙකු මඟ දැක යායුතු ගමන යයි. අනෙකා මඟ නොදැක මත්වී, ධ්‍යානයෙහි ඇලී අතරමං වෙයි. මේ දෙදෙනාම දවා හරින්නේ තම තමන්ගේම සාරයි කියා එකතු කරගත් (සං) කෙළෙස්ය.   එක්කෙනෙකු යථාවබෝධයෙන් කුණු   සළාහැර නිදහස්වීමේ  අරමුණු  ඇතිව  කෙළෙස්  දවාහරී.  අනෙකා  කෙළෙස්  දවා  හැර,  බර අඩුකරගෙන ඒ සුවය විඳීම සඳහා කෙළෙස් දවාහරී. අරිය ධ්‍යානයකට පත්වන පුද්ගලයා සංයෝජන ගැන අසා දැනගෙන හේතුඵල ධර්මය අසා තේරුම්ගෙන ද්වතාවය අවබෝධ කරගෙන ත‍්‍රිලක්ඛණය වටහා ගෙන දුක පිළිබඳව සත්‍යය අවබෝධ කරගත් කෙනෙකි. අනරිය ධ්‍යානයකට පත්වන පුද්ගලයා මේ කිසිවක අගක් මුලක් නොදැන, කවුරුන් හෝ කියූ  නිසා,  කරන්නන්  වාලේ  යම්  සුවයක්,  වින්දනයක්  පතා  භාවනා  කරයි.  යම් ආකාරයකින් සිත මත් වී, සුවයකට පත් වී, ඒ සුවයෙහිම ඇලී, එය විමුක්තිය සේ තේරුම් ගෙන කටයුතු කිරීම අනරිය ධ්‍යාන ලැබීමයි. අනරිය ධ්‍යානලාභීන්ටද පංච අභිඥා පවා ලබාගත හැකිවෙයි. නමුත් මෝහයේ මුල් සිඳ දමා නිදහස්වී නැත. ඒ නිසා මතු කවදා හෝ සතර අපායෙහි ද උපත ලැබීම ද සිදුවෙයි. අරිය ධ්‍යානලාභියා කෙළෙස් දවා හරින්නේ, කුණු සළාහරින්නේ ලැබූ යථාවබෝධයෙන්මය. හේතුඵල දහම දැකීමෙන්මය. ඒ නිසා කවදාවත්  සතර  අපායකට යන ක‍්‍රියා, වදන්,   සිතුවිලි වලට නොපැටළැවෙයි. ධර්මතාවයෙන්ම ඒවායින් මිදී නිදහස්වෙයි.

අරිය  ධ්‍යානයකදී  වුවත්  අනරිය  ධ්‍යානයකදී  වුවත්  දවා  හරින්නේ  වර්තමාන මොහොතේ සිතට අරමුණු වන අවිද්‍යා සංඛාරයෝය. අතීතයේ එකතුකරගත් කර්මජ බීජ ලෙසින් චිත්තසංථානයේ ගබඩා වී පවතින කාමාසව, භවාසව හා අවිද්‍යාසව යන බලවත් කෙළෙස් දවා හරින්නට හැකියාව ධ්‍යානකයට ඇත්තේ නැත. මෙවන් බලවත් ආසව කොටස් දවා හැරීමට හැකියාව ඇත්තේ අරිය ධ්‍යානයකට සමවැදී විපස්සනා නුවණින්, ආසවඛ්‍යා නුවණ පහළ කර ගැනීමෙන් පමණි. අනරිය ධ්‍යානයකදී ආසවඛ්‍යා ඥාණය පහළ වන්නේ ද නැත.

පළමුවන, දෙවන, තුන්වන හා හතරවන ධ්‍යානයන් රූපී ධ්‍යාන ලෙසටත් එතැන් පටන් ලබන ආකාසානඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, විඤ්ඤානඤ්චායතන, නේවසංඤ්ඤානාසඤ්ඤායතන ආදී ධ්‍යානයන් අරූපී ධ්‍යානයන් ලෙසත් නම්කර ඇත. අරූපී ධ්‍යානයකට පත් වී, විපස්සනා භාවනාවක් කිරීමටද හැකියාවක් නැත. ඒ නිසා, අරිය ධ්‍යානයකට පත්වී දෙවන තුන්වන හෝ හතරවැනි ධ්‍යානයකට සමවැදීමෙන්ම විපස්සනා භාවනාවක් ප‍්‍රගුණ කරගතහැකි වෙයි. මේ අනුව රූපී ධ්‍යානයන් අතරින් ද තුන්වැනි අරිය ධ්‍යානයට සමවැදී ආසවඛ්‍යා ඥාණය පහළ කරගෙන විපස්සනා කිරීම නිවන් අවබෝධ කරගන්නට පහසුම හා සුදුසුම මාර්ගයයි. මේ අනුව තුන්වන අරිය ධ්‍යානයේ පිහිටා සිට විපස්සනා නුවණින් හේතුඵල දහම මෙනෙහි කරන්නට හැකි ශක්තිය ලබාගත් උත්තමයා නොබෝ කලකින්ම සියලූ ආසව ඛයකර දමා කෙළෙසුන් නසා ප‍්‍රඥා විමුක්තියත්, අකුප්පා චේතෝ විමුක්තියත් සම්පූර්ණ කරගෙන නිවනද අත්විඳ ගන්නේය.

පංච අභිඥා ලැබීම හෝ අෂ්ට සමාපත්තියට පත්වීම හෝ අරමුණු කරගත් එවන් බලාපොරොත්තු ඇතිව භාවනා කරන යම් කෙනෙකුට ආසව ඛයකර ගැනීමේ ඥාණය පහළ වන්නේ නැත. යථාවබෝධයෙන්ම නිවන නිදහස යනු කුමක්දැයි තේරුම් ගෙන සංසාර ගමනට මුල් වූ සමුදය නිරෝධය කිරීමේ අරමුණෙන්ම විපස්සනා කිරීමෙන්ම පමණක් මෝහ මුල් සිඳ තමාම සංසාරයේ කවදා හෝ එකතු කර ගබඩාකරගත් කර්මජ බීජද (ආසව) සළාහැර බැඳගත් පටි ගළවා දමා තමාම මිදී නිදහස් විය යුතුය. වෙනත් කිසිම ආකාරයක ලෞකික සුවයක්, සැප සුව මධුර තත්ත්වයක් අරමුණු කරගෙන භාවනා කිරීමද විපස්සනා භාවනාවක් නොවේ.  විපස්සනා භාවනාවක තවත් නියත ලක්ෂණයක් වන්නේ සතියෙහි පිහිටා විපස්සනා භාවනාව කළයුතු වීමයි. සතිය යනු හොඳ සිහිය ලෙසින් වැරදියට විග‍්‍රහ කරන්නට වීම නිසා අද භාවනා කරන බොහෝ මිනිසුන්ට සතියෙහි පිහිටා විපස්සනා කිරීමද කළ නොහැකිය. සතියෙහි පිහිටා කටයුතු කිරීම යනු සත්‍යය දැක සත්‍යයට අනුරූපව යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීමයි. සත්‍යය දැකගත හැකිවන්නේ හේතුඵල දහමට බහා ගළපා බලන්නට පුරුදු පුහුණු වීමෙන්ය. හේතුඵල දහමට බහා ගළපා බැලීම පටිච්චසමුප්පාද දේශණාවට අනුව විපස්සනා කිරීම මිනිසෙකුට තේරුම්ගත හැකි ඉතාමත් සරළ දෙයකි. තමන් කරන, කියන, හිතන සෑම දෙයක්ම ආදීනව හා ආනිසංස දැක ගැනීමයි. තමන් කරන, කියන, හිතන දෙයක් නිසා එහි ඵල විපාක ලෙස තමන්ට හෝ වෙනත්  ලෝක සත්ත්වයෙකුට හෝ උරුම විය හැකි ඵල විපාක දැනගෙන කටයුතු කිරීමයි. ඒ ඵල විපාක තමන්ගේ නිවන් මඟ වසා දමන නිවන් මඟ ප‍්‍රමාද කරවන නිවන් මඟට බාධා පමුණුවන එකක් නම් ඒ සිතුවිල්ල, ක‍්‍රියාව, කථාව වහාම අත්හැර ඉන් මිදී ප‍්‍රහාණය කර අත්හැර දැමීම කළ යුතුය. ඒ ආකාරයෙන්ම තමන් සිතන, කියන, කරන දේ නිසා වෙනත් කෙනෙකුගේ වෙනත් සත්ත්වයෙකුගේ නිවන් මඟ වසා දමන්නේ නම් නිවන් මඟ ප‍්‍රමාද කරන්නේ නම් නිවන් මාර්ගය අසුරා බාධා කරන්නේ නම් ඒ සිතුවිල්ල, ක‍්‍රියාව, කථාව අතහැර, ඉන්මිදී එයද ප‍්‍රහාණය කළ යුතුය.

ඒ ආකාරයෙන්ම තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ හෝ   වෙනත් සත්ත්වයෙකුගේ හෝ නිවනට උපකාර වන නිවනට ඇති බාධක ඉවත් කරන නිවනට උපනිශ‍්‍රය වන සිතුවිල්ලක් නම් කථාවක් නම් ක‍්‍රියාවක් නම් එය දිගටම කිරීම කළයුතු වන්නේය. මෙය හේතුඵල ධර්මතාවය දැක කටයුතු කිරීමයි. අවිද්‍යා සංඛාර දැක, ඒවා අතහැරීමත්, කුසල මූල අරමුණු දැක, ඒවා භාවිතා කිරීමත් සතියෙහි පිහිටා කටයුතු කිරීම විපස්සනා භාවනාවයි.

මේ අනුව කෙනෙකු තේරුම් ගතයුතු වැදගත්ම කරුණ නම් සතියෙහි පිහිටා කරන සති භාවනාවකින් මිස වෙනත් කිසිම අනාර්ය භාවනාවකින් සත්‍යය දැක  සත්‍යයේ පිහිටා චිත්තසංථානය  ශුද්ධ  පවිත‍්‍ර  කරගත  නොහැකි  බවයි.  නිවන්  අවබෝධ  කරගැනීමට අවංකවම උත්සාහ කරන හැම මිනිසෙකුම බුදුපියාණන් පෙන්වා වදාළ නිවැරදි මඟ පෙන්වන  ”සති”  භාවනාවක්ම,  කර්මස්ථානයක්  ලෙසින්  ගෙන  භාවනා  කරණු  මිස පසුකාලෙක හඳුන්වා දුන් අනරිය භාවනා ක‍්‍රම භාවිතා කර සංසාරයේ අතරමං වීමට ක‍්‍රියා කිරීම සුදුසු නැත. සති භාවනාවක් භාවනා කිරීමට පටන්ගත් පසු නොබෝ කලකින්ම සිත නිවී මානසික හා කායික සුවයද ලබා චිත්ත සාමය හා චිත්ත ශාන්තිය ද ලැබී සමථයට පත්වීම මුළින්ම සිදුවේ.

ඉන්පසුව  ක‍්‍රමානුකූලව  තමාගේම  සිත  පිළිබඳව  තම  සිතෙහිම  හැසිරීම්  රටාව පිළිබඳව විපස්සනා නුවණින් ප‍්‍රත්‍යාවේක්ෂා කර හේතුඵල ධර්මයට අනුකූලවම තමාගේම සිතෙහි මෙතෙක් කලක් ක‍්‍රියාත්මක වූ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පැවැත්වීමේ රටාවෙන් ද වෙන් වී විඤ්ඤාණයේ කැමැත්තට ඉඩනොදී මනස මෙහෙයවා කුණු සළාහැර ප‍්‍රඥාව උපදවා පහදා ගත යුතුය. මෙතෙක් කල් තමාගේම විඤ්ඤාණය තමාව මෙහෙය වූ ආකාරය දැක තමාගේම සිතට වහල් වී සිතේ කැමැත්තට ඉඩ දී ඉන්ද්‍රියයන් පිනවීමේ එකම අභිලාෂයෙන් මෙතෙක් කල් තමා නොමඟ ගිය බව දැක ඊට හේතු කාරක වූ කරුණු කාරණාවන්ද තමා තුළින්ම දැක ඒ අවිද්‍යා සංඛාර ප‍්‍රහාණය කිරීමට, විපස්සනා භාවනාවම භාවිතා කළ යුතුය. තමා සංසාරයට බැදුණේ සැප සොයමින්, සැප ලූහු බැඳ මේ සංසාර රිය ගමන් ගියේ දුක යනු කුමක්දැයි තේරුම් නොගත් නිසාම බව දැන් ප‍්‍රත්‍යක්ෂ ලෙසින්ම අවබෝධ වෙයි. විඤ්ඤාණයේ නියම ස්වරූපය දැන හඳුනාගෙන, විඤ්ඤාණයේ කිළිටි වූ කැමැත්තට ඉඩ නොදී, අයාලේ නොගොස්, මනස මෙහෙයවා කරන, කියන හිතන සියලූ කටයුතු කරන්නට පුරුදු වීමෙන්, මෙතෙක් කුණු ගබඩාකර, කුණුම ආහාරයට ගෙන ජීවත් වූ විඤ්ඤාණයෙන්ද පූර්ණ වශයෙන්ද මිදී නිදහස් වීම ප‍්‍රඥා විමුක්තියට පත්වීමයි. ”කරණීයමත්ථ කුසලේන” යනුවෙන් කුණු සළාහැරීමට ක‍්‍රමානුකූලව අනුගමනය කළයුතු මඟ බුදුපියාණන්ම ”කරණීයමත්ථ සූත‍්‍රයෙන්” දේශණා කර පෙන්වා දී ඇත.

සතියෙහි පිහිටා, හේතුඵල පරම්පරාව ක‍්‍රියාත්මක වන සත්‍යයම වූ ස්වරූපය දැකගත නොහැකි නම් රාග, ද්වේෂ, මෝහ සළාහැර චිත්ත පාරිශුද්ධියට පත්විය නොහැකිය. ජීවත්වීමේ ඇති නැති වීමේ යථා ස්වරූපය තේරුම්ගන්නට උපකාර නොවන කිසිම කසින භාවනාවක් හෝ අනරිය භාවනාවක් හෝ විපස්සනා භාවනාවක් නම් නොවේ. බොහෝ අනරිය භාවනා ක‍්‍රමද කසින භාවනා ක‍්‍රමද ධ්‍යානයක් ලබාදීමට නම් සමත්ය. ඒ අනරිය ධ්‍යානයෝ නිවන් අවබෝධ කර ගැනීමට නම් කිසිසේත් උපකාර නොවේ.

බුද්ධ භාෂිතයෙහි පෙන්වා අනුදැන වදාළ සියලූම ”සති” භාවනා ක‍්‍රම, දස්සේන සම්පන්න  වූ  පසුව  පූර්වභාග  නුවණ  පහළ  වූ  පසුව  පමණක්  භාවිතා  කළ  හැකි කර්මස්ථානයෝය. ධර්මය අසා, ධර්මය ශ‍්‍රවණය කර ලබාගත් ධර්මාවබෝධයෙන් යුතුවම භාවනා කළ යුතුය. යථාවබෝධය ලැබූ තරමට සත්‍යය තේරුම් ගත් තරමට හේතුඵල දහමට බහා ගළපා බලන්නට පුරුදු වූ තරමට  විපස්සනා භාවනාව ද ප‍්‍රතිඵල දායක වෙයි.

මුලින්ම ධර්මය අසා දැනගත් නිවන, නිදහස්වීම තමාට අත්දැක, අත්විඳ ගන්නට  විපස්සනා භාවනාව මිස වෙනත් ක‍්‍රමයක් ද නැත.

යම්කිසි  ආකාරයක  ලෞකික  සුවයක්  හෝ  වින්දනයක්  බලාපොරොත්තුවෙන් යම්කිසි බලයක්, පංච අභිඥා හෝ ඍද්ධි ප‍්‍රතිහාර්යය පෑමේ බලාපොරොත්තුවෙන් හිත කය නැතිකර ගැනීමේ හෝ යම් එළියක්, අලෝකයක්, බුදුරැස්, බුදුරුව දැක ගැනීමේ අදහස් හෝ වෙනත් යම්කිසි තත්ත්වයකට පත්වීමේ ලෞකික බලාපොරොත්තුවකින් හෝ කරන භාවනාවක් විපස්සනා භාවනාවක් නොවේ. මේ සියලූ ආකාරවූ ලෞකික සුවයන්ගෙන්, වින්දනයන්ගෙන් නිදහස් වීමට, සියලූ ලෞකික සම්බන්ධතා වලින් නිදහස්වන්නට කරන භාවනා විපස්සනා භාවනාවෝය. ලෝකය පිළිබඳව ලෞකිකත්වය පිළිබඳව සුළු වශයෙන් හෝ සිතෙහි යම් අරමුණක් මතුවන්නේ නම් එයද විඤ්ඤාණයෙන්ම බිහිකරගත්  කාම විතක්කයක් බව ද තේරුම් ගත යුතුය.

බෞද්ධයෙකු ලෙස නිවන් අවබෝධ කර ගැනීමේ ඒකායන අරමුණෙන් කටයුතු කරන්නේ නම්  විපස්සනා භාවනාවක් කළ යුත්තේ මේ කය නැති කර ගැනීමට නාම රූප නැතිකර ගැනීමට හෝ කායික මානසික වින්දනයක් සුවයක් පතාද නොවේ. කය නැතිකර ගන්නට කය නොපෙනී යන්නට අරූපී ධ්‍යානයක් ලබන්නට දරණ මෙවැනි උත්සාහයක්ද නිවනට උපකාර වනවාට වඩා නිවනට බාධකයෝමය.

මේ ශරිර කූඩුව වත යනු ගත සිත එකතු කර සාදා සකස්කරගත් සංඛතයකි. විඤ්ඤාණයට ලගින්නට විඤ්ඤාණයම සාදාගත් තාවකාලික කූඩුවකි. මේ වත ඔබට කැමැති පරිදි එක මොහොතක් හෝ පවත්වන්නට, නවත්වන්නට හෝ නොහැකිය. මේ වත, තමන් කැමති පරිදි එකම විධියක පවත්වන්නට හෝ වෙනස් වී විපරිණාමයට පත්වීම නවත්වන්නට හෝ දරණ සියලූ උත්සාහයන් අවිද්‍යාවෙන්, මෝහයෙන්ම කරන දේවල්ම පමණි. ඒ නිසා විඤ්ඤාණය සාදාගත් මේ කූඩුව සුවපත් කරන්නට, ප‍්‍රිය මධුර දේ ලබා දී පිනවන්නට හෝ ධූතාංග, වත් රැක දුක් දෙවන්නට, දුක් විඳවන්නට හෝ කටයුතු කිරීම අන්තයක් අල්ලාගෙන කටයුතු කිරීමක්ම පමණි. මේ අන්ත දෙකම හෝ අන්ත දෙක අතර මැද ඇති මොනයම් තත්ත්වයක් හෝ අල්ලා ගැනීම සංසාර රිය ගමන දිගටම ගෙන යාමට හේතුවක් වෙනවා මිස රිය ගමන නවත්වා අරිය වීමට නම් උපකාර නොවේ.

බුදුපියාණන් දේශණා කර වදාළ විපස්සනා භාවනාවක නියත ලක්ෂණයන් වන්නේ සිතක මතුවන අවිද්‍යා සංඛාර සහිත අරමුණු ලෝභ – අලෝභ, ද්වේෂ – අද්වේෂ, මෝහ – අමෝහ අරමුණු දිගේ සිතින් රෝද ගැසීම නවතා නිරෝධ කිරීමයි. සිත නිරෝධ කිරීමත් සමඟම රාග-විරාග වෙයි. රිය ගමන නැවතී අරිය තත්ත්වයට පත්වෙයි. සිතට අරමුණු වන සියළු අවිද්‍යා සංඛාර අතහැර, ඒවාට නොබැඳී, ඒවායින් මිදී, ඒවාට යළි නොඇලී නිදහස් වීම නිවනයි. ”චගෝ පටිනිසග්ගෝ මුත්ති අනාලයෝ අසේස විරාග නිරෝධා” යනුවෙන් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළේ මෙම දුක්ඛ නිරෝධ අරිය සත්‍යයයි. භාවනාවක් කළ යුතු වන්නේ සිත දියුණුකර ගැනීමට යැයි බොහෝ දෙනෙකු තුළ වැරදි මතයක් ඇත. සිත යනුවෙන් අදහස් කරන්නේ ප‍්‍රකාශ කරන්නේ කිළිටි වූ විඤ්ඤාණයම මිස වෙන කිසිවක් නොවේ. මෙසේ තමන්ම එකතු කරගත් කුණු කන්දරාවක් නිසා කිළිටි වූ සිත පිරිසිදු කර ගන්නවා මිස මෙය දියුණු කරගත හැකි එකක් නොවේ. දියුණු කර ගැනීම සංවර්ධනය කර ගැනීම යනු තව තවත් ”සං”  එකතු කර ගැනීමක් ම පමණි.  ඒ නිසා භාවනා කළ යුත්තේ රාග ගති, ලෝභ ගති, ද්වේෂ ගති, මෝහ ගති සිත තුළින් සළාහැර, ශුද්ධ පවිත‍්‍ර කර ගැනීමටයි. විඤ්ඤාණ තත්ත්වයෙන් පවතින සිත සම්පූර්ණයෙන්ම කර්මබීජ වලින් තොර, චිත්තජ ශක්තීන් ගෙන් තොර තත්ත්වයට පත්කර ගැනීමට නම් පළමුව ලෝභ, ද්වේෂ, මෝහ සළාහැර, දෙවනුව අලෝභ, අද්වේෂ, අමෝහ ද සළාහැර පූර්ණ වශයෙන් ”සං” වලින් තොරවූ සම්මා තත්ත්වයට පත්කර ගත යුතුය. ලෝභ – අලෝභ, ද්වේෂ- අද්වේෂ, මෝහ – අමෝහ යන අන්තයන් දෙක අතර මැද ඇති මොනයම් තත්ත්වයක් හෝ අල්ලා ගත්තත් එය සංසාරයට සම්බන්ධ වීමකි. භව තත්ත්වයක් උපදවා දීමට හේතුවන බැඳීමකි. ඒ අනුව සියලූ කෙළෙස් නසා, කුණු සළාහැර, චිත්ත පාරිශුද්ධිතාවයට පත්විය හැකි වන්නේ අන්ත දෙකෙන් මෙන්ම අන්ත දෙක අතර මැදින් ද සම්පූර්ණයෙන්ම මිදී නිදහස් වීමෙනි. ”මා මඤ්ඤති” යනුවෙන් බුදුපියාණන් පෙන්වා වදාළේ මැදින් මිදී නිදහස් වීමයි. මානය, මමත්වය බිහිවන්නේ මැදින් අල්ලා ගැනීමෙනි.

පෘථග්ජන පුද්ගලයා යනු කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්චා යන පංචකාම නීවරණ ධර්මයන්ගෙන්ම චිත්තය ආවරණය කර, වසාගෙන සිටින  පුද්ගලයායි.  සිත  ආවරණය  කර  ගන්නේ  අඳුරු  කරගන්නේ  තමාමය.  තම කැමැත්තෙන්මය. චිත්තය ආවරණය වීම යනු අඳුරු පටලයක්, ආසව තට්ටු කිහිපයක් නිසා කුණු කෙළෙස් කන්දරාවකින් චිත්තය වැසී මුවහ වී, ඇත්ත ඇති සැටියෙන් දැක, කෙළෙස් දැක ගන්නට නොහැකි ලෙසින් සත්‍ය වසං වීමයි. මෙයම දෘෂ්ඨිගත වීමක් ලෙසද පෙන්වා දිය හැකිය. පාට කණ්නාඩි කිහිපයක් පැළඳ සිටින කෙනෙකුට යමක් දෙස බලා එහි නියම ස්වරූපය දැක ගත නොහැකිවාක් වැනි දෙයකි. මේ දෘෂ්ඨිගත වීමයි.

ශුද්ධාව,  වීර්යය,  අධිෂ්ඨානය,  උත්සාහය,  බුද්ධිය,  ප‍්‍රීතිය,  සුඛය,  උපේක්ඛාව, සතියෙහි පිහිටීම ආදී ගුණාංග මිනිසෙකුට අවශ්‍යවන්නේ අවසාන අරමුණ වූ නිවන් අවබෝධකර ගැනීම සඳහා පමණි. මෙකී ගුණාංග කිසිවක් හෝ නිවන නොවේ. ගිනිගොඩ නිවාදමන්නට රිය ගමනෙන් නිදහස් වී, සංසාර ගමන නිමා කරන්නට උපකාර කරගත යුතු, භාවිතා කළ යුතු මෙවලම් සමූහයක් පමණි. ඒ නිසා මෙවැනි යමක් අල්ලා ගත්තත්, උපාදානය කරගත්තත් එයද නිවනට බාධකය.

සංවරත්වයේ සීලයේ පිහිටා සංසිඳුවීමෙන් සමාධියට පත්වී සම්මා අංග සම්පූර්ණ කරගැනීමෙන් පුර්ණ ලෙස ”පහාතබ්බා” යන තත්ත්වයට පත්වීමකි. මේ නිසා සංවර, සංසිඳුවීම, සම්මා යන බුද්ධ භාෂිතයේ එන පදවල අර්ථය නිවැරදිව තේරුම් නොගෙන, කළයුතු දේ නිවැරදිව අනුගමනය නොකර නිවන් අවබෝධ කරගත නොහැකිය.

”සං” යනු එකතු කිරීමයි. වටිනවා යැයි, සාරවත් යැයි සිතා එකතුකරගත් දේ ”සංසාර” ගමනට එකම හේතුවයි. මේ එකතු කරගත් දේ කර්මජ බීජ නමින් හැඳින්වේ. බොහෝ උත්සාහයෙන්, මහන්සියෙන්, දුක්විඳ, හරිහම්බකර, ආදරයෙන් රැස්කරගත් මේ කර්මජ  බීජ  පැළවීමේ  ශක්තියෙන්  ද  යුක්තය.  මතු  උපතටද  නියත  වශයෙන්  ම හේතුකාරකය. මෙය හරියට ගොවියෙකු උත්සාහයෙන්, මහන්සියෙන් වපුරා, හදා, වේලා, සකස් කරගත් බිත්තර වී අටුවේ තැන්පත් කළා වැනි ක‍්‍රියාවකි. මතු උපතකට එකම හේතුව, මේ කර්මජ බීජ නිපදවීමත්, ඒවා ගබඩා කර රැස්කිරීමත්ය. ”තේ ඛීණ බීජා අවිරුල්හි චංදෝ” යැයි බුදුපියාණන්ම පෙන්වා වදාළේ ද මේ ”සං” නැමති එකතුකරගත් බීජ, සීලයෙන්, සමාධියෙන්, ප‍්‍රඥාවෙන්් ප‍්‍රහාණය කල යුතු බවයි.

මේ අනුව නිවන් අවබෝධ කරගන්නවා යනු,

01. වර්තමානයේ මොහොතක්  මොහොතක්  පාසා  එකතු  කර ගන්නා, ලෝභ අලෝභ, ද්වේෂ- අද්වේෂ, මෝහ – අමෝහ ගති ලක්ෂණයන් එකතු කිරීමෙන් වැළකී ඉන්ද්‍රියයන් හයම සංවර කර ගැනීමත්,

02. අතීතයේ  තමන්  එකතුකරගත්,  ගබඩාකරගත්  මෙම  ගති  ලක්ෂණ  නිසා  බිහිවූ කාමාසව, භවාසව හා අවිද්‍යාසව සංසිඳුවා, සළාහැරීමත්,

03. ඒ  ආසව  සියල්ල  සහමුළින්ම  ඉවත්කිරීමට  සම්මා  අංග  අටම  සම්පුර්ණ  කර ගෙන,  පූර්ණ  චිත්තපාරිශුද්ධියට,  සම්මා  සමාධියට  පත්වීමත්  යන  පියවරයන් තුනම සම්පූර්ණ කර ගැනීමයි.

මේ අනුව ඉතාම සරළ ලෙස පැහැදිළි කර ගත යුතු වන්නේ තමාම කවදා හෝ සංසාරයේ දී වටිනවා යැයි, සාරයයි, එකතු කරගත් ගතිගුණ වලින් තමාම මිදී නිදහස් වෙනු මිස වෙනත් කිසිම තේරුම් ගත නොහැකි ආශ්චර්යයක් හෝ ප‍්‍රාතිහාර්යයක් හෝ මෙම නිවන් දැකීම යන්නෙහි අර්ථය නොවන බවය.

ධ්‍යානයන්  ලබා  හෝ  ධ්‍යානයන්  නොලබාම  හෝ  අරහත්  බුද්ධ  තත්ත්වයට පත්වන්නට පින් ඇති, ශක්තිය ඇති වාසනාවන්ත මිනිස්සු අද කාලයේ ද උපත ලබා, අප අතරම ජීවත් වෙති. නිවැරදි අනුපුබ්බංගම නිවන් මඟ පැහැදිළි කර, විග‍්‍රහ කර කියා දෙන්නේ එවැනි මිනිසුන්ට තේරුම්ගෙන අනුගමනය කර නිවන අත්විඳ ගැනීම සඳහාමය.

සතර සතිපට්ඨාන භාවනා ක‍්‍රමය බුදුපියාණන් අනුදැන වදාළ පහසුම හා සරළම නිවැරදි අරිය භාවනා ක‍්‍රමයයි. ”සති” යන පදය මෙහි ඇති වැදගත්ම පදයයි. සතියෙහි පිහිටා  කටයුතු  කිරීමෙන්ම  සිත  ගත  දෙකම  ශික්ෂණය  කර,  හික්මවා,  සංවර  කර, චිත්තසංථානයේ ගබඩා වී පවතින කර්මජ බීජද සංසිඳුවා, සම්මා අංග යන සියල්ලද සම්පූර්ණ කර ගත හැක.

බුද්ධ භාෂිතයේ ගෙනහැර දක්වා වදාළ ”සති” සූත‍්‍ර දේශණා සියල්ලම සෘජුවම නිවන් මඟ පෙන්වන කර්මස්ථාන ලෙසින් සෑම මිනිසෙකුටම භාවිතාකල හැකි දේශණාවන්ය.

1. සතර සතිපට්ඨාන සූත‍්‍රය
2. ආනාපානසති සූත‍්‍රය
3. බුද්ධානුස්සති සූත‍්‍රය
4. ධම්මානුස්සති සූත‍්‍රය
5. සංඝානුස්සති සූත‍්‍රය
6. මරණානුස්සති සූත‍්‍රය
7. අසුභානුස්සති සූත‍්‍රය
8. කායාගතාසති දේශණාව
9. චාගානුස්සති දේශණාව
10. මෙත්තානුස්සති දේශණාව

යන ”සති” දේශණා දහයම බුද්ධ භාෂිතයයි.

මේ කොයියම් ”සති” භාවනාවක් භාවිතා කළත් අවසානයේ සතර සතිපට්ඨානය සම්පූර්ණ කර ගැනීමෙන්ම සිත කය සංවර වී, ඉන්ද්‍රියයන් හයම සංවර වී, ත‍්‍රිවිධ සුචරිතයද පූර්ණ  වෙයි.  පටිවිරතෝහෝති  යනුවෙන්  පෙන්වා  වදාළ  ශික්ෂණයට,  සංවරත්වයට පත්විය හැකිවන්නේ සතියෙහි පිහිටීමෙන්ම පමණි.

හේතුඵල පරම්පරාවක් ඇති නැතිවීමේ ක‍්‍රියාවලිය, උපතට මරණයට මුල් වූ චිත්තජ ශක්තීන් නිපදවා තැන්පත් කිරීමේ ක‍්‍රියාවලිය නිවැරදිව දැක ගත්තේ නැතිනම් ඒ පිළිබඳව සත්‍යය තේරුම් නොගත්තේ නම් කිසිම මිනිසෙකුට සති භාවනාවද නිවන් දැකීමට උපකාර වන ලෙසින්  විපස්සනා කළ නොහැකිය. ඒ නිසා බුදුපියාණන් අනුදැන වදාළ සියලූම සති භාවනා නිවැරදිව භාවිතා කර නිසි ඵල ලබාගත හැකි වන්නේ ”සං” දැක, ධම්මෝ සංදිට්ඨික වී, දස්සනේන සම්පන්නෝ තත්ත්වයට පත්වීමෙන්ම පමණි.

සති යන වචනයේ සම්මත ලෝක ව්‍යවහාර අර්ථය හොඳ සිහිය යන්නයි. එහි බුද්ධ භාෂිතයේ ධර්ම අර්ථය සත්‍යය දැක, ඒ අනුව ක‍්‍රියා කිරීම යන්නයි. ඇත්ත ඇති සැටියෙන් දැක, ඊට අනුරූපව සිහිය, ක‍්‍රියාව, කථාව පැවැත්වීම සතියයි.

පිරිසිදු බුද්ධ දේශණාවට අනුකූලවත්, යථාවබෝධයෙනුත් විපස්සනා භාවනාවක යෙදීම කළ හැකි වන්නේ සතියෙහි පිහිටා කටයුතු කිරීමට පුරුදු පුහුණු වීමෙන්ම පමණි. සතියෙහි පිහිටීමෙන්ම පමණක් මිනිසෙකු ශික්ෂණ වන බවත් සංවර වන බවත්, ඒ අනුවම ඉන්දියයන් හයම සංවර වී, සතර ඉරියව්වේදීම කරන, කියන, සිතන සියලූ ආකාර වූ, ඇවතුම්, පැවතුම් ක‍්‍රියාකාරකම්, සිතුවිලි තමාගේ නිදහසට, නිවනට උපකාර වන ලෙස පැවැත්වීම සතියෙහි පිහිටීමයි.

තමා සිතන සිතුවිල්ලක්, කරන ක‍්‍රියාවක්, කථාවක්, හේතු කොට ගෙන ඉන් බිහිවන ඵලවිපාක  තමාටම  උරුම  වන  ආකාරය  දැක  කටයුතු  කරන්නට  පුරුදු  වීම  සතර සතිපට්ඨානයේ පිහිටා කටයුතු කිරීමයි. ඒ සඳහා ”ආදී නව” අවස්ථා දකින්නට සමත්විය යුතුය. විපස්සනා කිරීම යනු ද මෙයයි. මේ අනුව විපස්සනා භාවනාවකින් සිදුවන්නේ

තමන් සිතන සිතුවිල්ලක්, කරන කථාවක්, කරන ක‍්‍රියාවක් කරන්නට, සිතන්නට පෙර හේතුඵල දහමට බහා ගළපා බලා එය තමාගේම නිවනට බාධක වේ නම් එය අත්හැර ප‍්‍රහාණය කර නිදහස් වීමත් එය වෙනත් කෙනෙකුගේ නිවනට බාධක වේ නම් නිවන ප‍්‍රමාද කරයි නම් එය වහාම අත්හැර, මිදී නිදහස් වීමට කටයුතු කිරීමත්ය. එම සිතුවිල්ල,

තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ හෝ නිවනට උපකාර වන නිවනට මඟ පෙන්වන, නිවන් බාධක ඉවත්කරන ආකාරයක එකක් නම් ඒ සිතුවිල්ල කථාව, ක‍්‍රියාව දිගටම භාවිතා කිරීමත්, සතර සතිපට්ඨානයෙන් කටයුතු කිරීමයි. මේ අනුව සෑම ”සති” භාවනාවක්ම නිවනට උපකාරවන නිවැරදි ලෙසින් විපස්සනා කිරීමට හේතුඵල දහමට බහා ගළපා බලා කටයුතු කිරීමේ දැනුම, ශක්තිය, හැකියාව, පුරුද්ද ලබාගත යුතුමය. හේතුඵල නොදැන, හේතුඵල නොදැක, කටයුතු කිරීම ”අමනසී කරෝති” යනුවෙන් බුදුපියාණන්ම සබ්බාසව සූත‍්‍රයේ දේශණා කර ඇත. තමන්ම යථාපරිදි තමා සිතන, කරන, කියන දේ පිළිබඳව තේරුම් ගැනීමත්, ඒ අනුව කටයුතු කිරීමත් ”යෙ ධම්මා මණසිකරණිය” යනුවෙන් පෙන්වා වදාළහ.

විපස්සනා භාවනාවක යෙදීමෙන් ප‍්‍රායෝගිකව කළ යුතු වන්නේ නිවනට බාධක, නිවන් මඟ වසා අසුරා සිටින ලෝභ – අලෝභ, ද්වේෂ- අද්වේෂ, මෝහ – අමෝහ යන පංචකාමනීවරණ ධර්මවලින් ඉවත්වී ඒවා අතහැර චිත්ත පාරිශුද්ධතාවයට පත්වීමයි. ඒ සඳහා හේතුඵල දහම දැක ඒ අනුව කටයුතු කළ යුතු බව නැවත නැවතත් සිතිය යුතුය. හුස්ම ඉහළ පහළ දැමීම කෙරෙහිම පමණක් සිත යොමු කර අනෙකුත් සිතුවිලි සියල්ලම අමතක කර කාලය ගත කිරීම හෝ අවිද්‍යාමූල සංඛාර හා කුසල අරමුණු වෙන්කොට දැන හඳුනා නොගෙන අසිහියෙන් කටයුතු කිරීම හෝ විපස්සනාවක් නොවන බව පැහැදිලිවම තේරුම් ගත යුතුය. එයද භාවනාවකි. එය අනරිය වූත් ලෞකික වූත් වායෝ කසින භාවනාවයි. එයින් ද ධ්‍යානයන් ලබා ගත හැකිය. ඒවා අනරිය ධ්‍යානයෝය

අත්හැර  මිදී  නිදහස්විය  යුතු  දේත්,  ආශ‍්‍රය  කර,  භාවිතා  කළයුතු  දේත්  යැයි ආනාපානා සති විග‍්‍රහයේදී බුදුපියාණන් සියලූ සංඛාර කොටස් දෙකකට බෙදා පෙන්වා වදාළහ. ”සතෝච අස්ස සති””සතෝව පස්ස සති” යනුු මේ දෙකොටසටමයි. අස්ස යනු ආශ‍්‍රය කිරීමයි. පස්ස යනු ප‍්‍රහාණය කර, පහකර දැමීමයි. මේ අස්ස යන වචනයත්, පස්ස යන වචනයත් බුද්ධ භාෂිතයේ පෙන්වා දුන් ධර්මය තේරුම් ගන්නට අසමත් වූ අය පසු කාලයේ දී අස්සාස (ආශ්වාස) පස්සාස (ප‍්‍රාශ්වාස) යන පද දෙක සමඟ පටළවා ගත්හ. ඒ අනුවම ආනාපාන ”සති” නැමති උතුම් බුද්ධ භාවනාව ද වායෝ කසින භාවනාව නැමති අනරිය භාවනාව සමඟ එකතුකර අලූත් භාවනාවක් ද සකස් කරගත්හ. අද බොහෝ අය භාවිතා කරන්නේ මේ කසින  භාවනාවයි.

ආනාපානසති භාවනාවෙන් මෙන්ම සතර සතිපට්ඨාන භාවනාවෙන්ද අනෙකුත් ”සති” භාවනාවලින් ද බුදුපියාණන් පෙන්වා වදාළ කායානුපස්සනා, වේදනානුපස්සනා චිත්තානුපස්සනා  හා ධම්මානුපස්සනා යන සතර අංගයම තමා තුළින්ම විපස්සනා කර දැකගනු මිස බාහිර ලෝකයෙන් දැකගත නොහැකිය. කථාවෙන්, ක‍්‍රියාවෙන් කරන සියලූ ක‍්‍රියාකාරකම් වලටද මුල් වන්නේ සිතයි. කිසිම කථාවක්, ක‍්‍රියාවක්, සිතුවිල්ලකින් තොරව කළ නොහැකිය. මේ නිසා චිත්ත සංඛාර, මනෝ සංඛාර යන පද තේරුම් කර ගත යුතුය. ”සං” යනු එකතු කිරීමයි. කාර යනු ක‍්‍රියාකාරකමයි. යමක් එකතු කිරීම සඳහා කරන හැම ක‍්‍රියාකාරකමක්ම සංඛාරයකි. මෙසේ තමන් එකතු කර ගන්නා හැම දෙයක්ම තමාට උරුම වෙයි. මේ ලෞකිකත්වය තුළින් කිනම් ආකාරයක දෙයක් එකතු කර ගත්තත්, එය බරක් කුණු ගොඩක් බව නිවැරදිව දැක ඒ සියලූ දෙයින් නිදහස් වීම ලෞකිකත්වයෙන් මිදීම හෙවත් ලෝකෝත්තර තත්ත්වයට පත්වීම බවද තේරුම් ගත යුතුය.

සිතකට අරමුණු වන සියලූ සිතුවිලි අතහැර දමා අසංඥ තත්ත්වයට පත්වෙන ක‍්‍රියාදාමයක් කිසිවිටකත් බුදු දහමෙහි අනුමත කළේ නැත. කළයුතු දේත්, නොකළ යුතු දේත්, ආශ‍්‍රය කළයුතු දේත්, අත්හැර මිදී නිදහස්විය යුතු දේත් යනුවෙන් දෙකොටසක්, ද්වතාවයක්  බුදු  දහමේ  නිතරම  පෙන්වා  දී  ඇත.  එය  පටිච්චසමුප්පාද  ධර්මයෙන් මනාකොට විග‍්‍රහ කර දී ඇත.

එදා ජන්බුද්වීපයේ ආගම්වල හා දර්ශන වල ධ්‍යාන ලබා ගැනීමට, පංච අභිඥා ලබා ගැනීමට,  සිත  සමාධිගත  කිරීමට  උපකාරවන  බොහෝ  භාවනා  ක‍්‍රම  ප‍්‍රගුණ  කළහ. බුදුපියාණන්වහන්සේ ද බුදුවන්නට පෙර මේ සියලූ දේ අධ්‍යයනය කර, පර්යේෂණ කර, අත්විඳ ගත්සේක. මේ බොහෝ ආගම් වල භාවිතා කරනු ලබන භාවනා ක‍්‍රම වලින් ද කරන්නේ රාග, ද්වේෂ, මෝහ වැනි කෙළෙසුන් එකතු කිරීම නවතා දමා කෙළෙසුන් භාවිතා කිරීමද තාවකාලික නවතා දැමීමයි. එසේ කෙළෙසුන් භාවිතා කිරීම නවතා දැමු පසු සිත සමාධිගත වෙයි. අරූපී ධ්‍යානයකට පත්වීමෙන් ලබන සුවය මේ ලෞකිකත්වය තුළදී ලබා ගත හැකි උපරිම සුවයයි. නමුත් මෝහයේ මුල්සිඳ, කෙළෙස් උපදින්නට හේතු කාරක වන  ආසව  ප‍්‍රහාණය  කර,  චිත්තපාරිශුද්ධියට  පත්වන්නට  ඒ  ධ්‍යානයෝ  ප‍්‍රමාණවත් නොවේ. මෙවන් රූපී, අරූපී අනරිය ධ්‍යානයන් උපදවාගෙන ප‍්‍රකෘති ලෞකික ජිවිතයෙන් තාවකාලිකව මිදී, වෙන්වී මේ ලෞකිකත්වය තුළම වෙනත් තලයක මානසික අනුභූතීන් ලැබීම සිදුවෙයි. එය මනසින් ලබාගත හැකි උපරිම සුවයකි. ඉන්ද්‍රියයන් සංතර්පනය කර ලෝකයා ලබන සංඥා වේදයිත සුවයකට වඩා ආශ්වාද කර, අති ප‍්‍රණීත සුඛ වින්දනයක් මෙහිදී ලැබෙයි. මේ ලෞකික සුවය බුදුපියාණන් පෙන්වා වදාළ ”සංඥා වේදයිත නිරෝධ සුවය” නොවේ. භව නිරෝධය, ජාති නිරෝධය නිසාම ලැබිය හැකි සංඥා චේදයිත නිරෝධ සුවය නිවන් සුවයයි. එය නැවතත් කවදාවත් වෙනස් නොවන වෙනස් කරගත නොහැකි සුවයකි. ඒ නිසා සංසාර දුක සඳහටම නිමාකර උතුම් නිවන් අවබෝධ කර ගන්නට උපකාර වන එකම ධ්‍යානය සංඥා වේදයිත නිරෝධ තත්ත්වයට පත්වීමයි. සීල, සමාධි, ප‍්‍රඥා යන අංග තුන පිළිබඳව නිවැරදිව තේරුම් ගෙන සංවරත්වයට පත්වී, සංසිඳුවාගෙන, සම්මා අංග  සම්පූර්ණ කරගත හැකි වන්නේ සතර සතිපට්ඨාන භාවනාවෙහි  යෙදීමෙනි.  හේතුඵල  දහම  තේරුම්  ගෙන  ද්වතාවය  ද  අවබෝධ  කර ගැනීමෙන් පමණක් ත‍්‍රිලක්ඛණය ද වටහා ගත හැකි වෙයි. මේ පංචස්කන්ධය පිළිබඳව ඇති සැටියෙන් තේරුම් ගෙන චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට නිවැරදි මඟ එයයි.

Share Button